අපි හැමෝම ආදරේ කරනවා. ඒ වගේම ආදරේ විඳිනවා. ඒත් අපි එක එක්කෙනා ආදරේ කරන්නෙත් ආදරේ විඳින්නෙත් එක එක විදිහට. මේක හින්ද නිතර ආදරවන්තයන් අතර ඇහෙන දෙයක් තමයි, එයා මට දැන් ආදරේ නෑ.. එතකොට අනිත් පැත්තෙන්, මං දන්නෙ නෑ මොනවා කරන්නද කියල.. ඔය වගේ කතන්දර.

විවාහ සම්බන්ධතා ගැන විශේෂඥයෙක් වුනු ආචාර්ය ගැරී චැප්මන් මේ ප්‍රශ්නෙ දිහා සීරියස් විදිහට බැලුවා. එයා අවුරුදු ගානක් එයා ළඟට ආපු විවාහක පෙම්වතුන්ගේ අර්බුද විශ්ලේෂනය කළා. මෙතනදි එයාට තේරුම් ගන්න පුළුවන් වුනා මේ ප්‍රශ්නවල රටාවක් තියෙනවා කියල.

එක එක අයගේ පෞර්ෂය අනුව ඒ අයගෙ ආදරේ ස්වභාවය වෙනස් වෙනවා. අනෙකාගේ ආදරයේ භාෂාව තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙනවා වඩා හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. නැත්තං අන්තිමට අපේ ආදරේ බිඳෙන්නෙ සන්නිවේදන ගැටළුවක් හින්ද.

ආචාර්ය චැප්මන් ආදරයේ භාෂා පහක් හඳුනාගන්නවා. හැමෝටම මේ භාෂාවන් අතර ප්‍රමුඛ වූ භාෂාවක් තියෙනවා කියල එයා කියනවා. ඒ ප්‍රමුඛ ආදර භාෂාව හරහා අපිට පුළුවන් වඩාත් ආදරේ දනවන්න.

1. වචන – අපිව දිරිමත් කරන, අපිව පිළිගන්නාසුළු, අපිව ඔසවා තබන වචන තමයි සමහරුන්ට ආදරය වඩාත් දනවන භාෂාව වෙන්නෙ. ඒ අය මානසිකව අවිනිශ්චිත හෝ දුර්වල මොහොතක ඒ වචනවලට පුළුවන් වෙනවා නැවත ඒ අයව සොයාගන්න උදව් කරන්න. ජීවිතයට මුහුණ දෙන්න හුදකලාව නැති කරන්න. ළඟින්ම තව කෙනෙක් ඉන්නවා කියලා දනවන්න. හරියටම දැනෙන අවශ්‍ය වචනය ළඟ ඉඳන් කියන්න පුළුවන්කම ආදරේදි ආර්ට් එකක්.

2. සේවය – අපිට අවශ්‍ය දේ අවශ්‍යම වෙලාවට කරලා දෙන්න කෙනෙක් ඉන්නවා කියන්නෙත් ආදරයේ ක්‍රියාවක්. ඕනම දෙයක් කරද්දි සහායට ඉන්න ආදරවන්තයෙක් තමයි සමහරුන්ට වඩාත් හදවතට සමීපව දැනෙන්නෙ. ඕනම දේකදි එයාගෙ හැම දෙයක්ම දෙවෙනි කරලා අපේ උවමනාව වෙනුවෙන් වෙහෙසෙන ආදරයේ භාෂාවක් තමයි මේ ළඟම ඉන්න උදව්කාරයා වීම.

3. තෑගි- තව සමහර කෙනෙකුට ආදරය දැනෙන්නෙම තෑගි හරහා. එයා කැමති දේවල් එයාට තෑගි විදිහට දීම හරහා ඒ ආදරේ ගොඩක් දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. හරියටම ගැලපෙන, එයා හොයමින් ඉන්න දේ තෑග්ගක් විදිහට තෝරගන්න සාස්තරේ තමයි මෙතනදි වැදගත්ම කලාව වෙන්නෙ.

4. වෙලාව – කෙනෙක් තමන් එක්ක ගත කරන කොලිටි ටයිම් එක තමයි තව පිරිසකට ආදරය දනවන ලොකුම දේ වෙන්නෙ. ඔෆිස් වැඩ නැතුව, ෆෝන් එකේ ෆේස්බුක් එකේ නැතුව තමන් එක්ක කතාබහ කරන්න, තමන් එක්ක ගත කරන්න, තමන් වෙනුවෙන් හදාගන්න වෙලාව තමයි ඒ ආදරේ භාෂාව වෙන්නෙ.

5. ස්පර්ශය – තව කෙනෙකුට ශාරීරික ස්පර්ශය තරම් ආදරය දනවන වෙනත් දෙයක් නෑ. හොඳ හග් එකක්, සමහර විට අතින් අල්ලන් ළඟින් ඉන්න එක, සමහර විට තුරුල් කරගෙන ඉන්න එක, කොයි විදිහකින් හරි අපේ ස්පර්ශය අනෙකා සමග හුවමාරු කරගැනීම තමයි මේ භාෂාව. එතනදි අපි කොයිතරම් අනෙකාගේ ස්පර්ශ සංවේදනයන් තේරුම් ගන්නවද, ඒ ස්පර්ශයේ මෘදුරළු ස්වභාවයන් තේරුම් ගන්නවද කියන එක වැදගත්.

ඉතින් මේ ආදරේ භාෂා පහ තමයි හැම කෙනෙක්ම ආදරය තේරුම් ගනිද්දි පාවිච්චි කරනවා කියල ආචාර්ය චැප්මන් කියන්නෙ. ඒ වගේම තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරයේ භාෂාව අඳුරගන්න එක අනිවාර්යෙන්ම ඒ සම්බන්ධතාවය දුර අරගෙන යනවද කියන කාරණය තීරණය කරනවා. මැසිවිලි නොනගන ආදර සම්බන්ධයකට ආදරයේ පංචවිධ භාෂාවන් ප්‍රගුණ කරන එක වැදගත් වෙනවා.