ප්‍රශ්නය

අර්ථ යන්න ප්‍රධාන යැයි සළකන ඇතැම්හු මෙසේ කියති. තෘප්තිය සොයා යා නොයුතුය. එය අර්ථ සහ ධර්ම දෙකට බාධාවක් වෙයි. ඒ දෙකම ඊට වඩා ප්‍රධානය. එමෙන්ම මේ තෘප්තීන් සත්පුරුෂයන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. මේ තෘප්තීන් නිසා මිනිසා ආතතියට අපහසුතාවයට පත්වෙයි. පහත් අය ඇසුරු කිරීමට හුරු වෙයි. මේ අය විසින් මොහුව වැරදි දේ කිරීමට පොළඹවන අතර එනිසාම ඔහු අපවිත්‍ර වෙයි. අනාගතය ගැන නොසිතන්නටත්, නොසැලකිලිමත් සහ ගරුත්වයෙන් තොර ජීවිතයකටත් ඔවුන් විසින් මොහුව පොළඹවනු ලබයි. අවසානයේදී මේ නිසා මොහු කිසිවෙකු විශ්වාසය නොතබන, කිසිවෙකු විසින් බාර නොගන්නා, සියල්ලන් විසින් පිළිකුල් කරන, ඔහුටම පවා ඔහුව අප්‍රිය වුනු තැනකට පත්වෙයි. අවසනාවන්ත තත්වය වන්නේ මෙසේ තෘප්තීන්ට ඇබ්බැහි වූ බොහෝ අය ඔවුන්ගේ පවුල් සහ සම්බන්ධතා සියල්ල විනාශ කරගැනීමයි. මෙයාකාරයෙන් භෝජා වංශයේ දන්දක්‍ය රජු විසින් දුෂ්ට අරමුණු ඇතිව බ්‍රාහ්මණ දුවක් පැහැර යාම නිසා ඔහු පරිහාණියට පත්වී රාජ්‍යයද අහිමි විය. ඉන්ද්‍රටද අහල්‍යාගේ පතිව්‍රතතාවය කෙළෙසීමේ වරදින් අපමණ විඳවීමට සිදුවිය. තවද, ධීරවීර කිචක විසින් දෘපාදිව පොළඹවාගැනීමට යාමෙන්ද, රාවණ සීතාව පැහැරගෙන යාමෙන්ද දඬුවම් වින්දෝය. මෙවන් තව බොහෝ දෙනෙක් තෘප්තිය හඹාගොස් පරිහාණියට පත්ව ඇත්තේය.

පිළිතුර

මෙය පිළිගත හැක්කේ නොවේ. ශරීරයේ යහපත සඳහා ආහාර අවශ්‍ය වන්නේ යම්සේද එපරිදිම පැවැත්ම සඳහා තෘප්තිය අවශ්‍ය වේ. මේ තෘප්තීන් ධර්ම සහ අර්ථයන්ගේ ප්‍රතිඵලයෝය. මේ නිසා ප්‍රමාණවත් පරිදි දැනුවත් බවකින් යුතුව තෘප්තීන් හඹා යා යුතුය. යාචකයන් විසින් ඉල්ලාවි යැයි සිතා කිසිවෙකු ආහාර නොපිස සිටින්නේ නැත. මුවන් විසින් වනසාවි යැයි සිතා බීජ වපුරන්නේ නැතිව සිටින්නේද නැත.
මේ නිසා ධර්ම, අර්ථ, කාම පුහුණු කරන පුරුෂයා මෙලොවත් පරලොවත් සතුට හිමිකර ගනී. යහපත් ලෙස මේ ක්‍රියාවන්ගේ යෙදෙන්නාට පරලොවදී අත්වන ප්‍රතිඵල ගැන බියක් නැත. මෙලොවදී ඔවුන්ගේ සුබසිද්ධියට හානියක්ද නැත. ධර්ම අර්ථ කාම යන මේ තුනට අයත් වන යමක් හෝ, මේ දෙකකට අයත් වන යමක් හෝ මේ එකකට අයත් වන යමක් හෝ ක්‍රියාවේ යෙදවීම සිදුකළ යුත්තකි. එකක් ක්‍රියාවේ යෙදවීමෙන් අනෙක් දෙකට හානියක් වේ නම් පමණක් එය නොකළ යුතුය.


දෙවන පරිච්ඡේදය

පුරුෂයෙක් විසින් කාම සුත්‍රයත් ඒ යටතේ එන කලාවන් සහ විද්‍යාවනුත් අධ්‍යනය කළ යුතුය. ධර්ම සහ අර්ථ දෙක යටතට ගැනෙන්නා වූ කලාවන් සහ විද්‍යාවන් අධ්‍යනයට අතිරේකව එය කළ යුතුය. තරුණ යුවතියක් වුවද ඇගේ විවාහයට පෙර කාම සූත්‍රය සහ ඒ යටතේ එන කලාවන් සහ විද්‍යාවන් පුහුණු කළ යුතුය. විවාහයෙන් පසු සැමියාගේ අනුදැනුම මත ඒවා පුහුණුවීම කළ යුතුය.

මෙතැනදී ඇතැම් වියතුන් කියන්නේ කාන්තාවන්ට වෙනත් කිසිඳු විද්‍යාවක් ඉගෙනීමට අවසර නැති බැවින් කාම සූත්‍රය ඉගෙනීමටද අවසර නොදිය යුතු බවයි.

නමුත් වාත්ස්‍යානගේ මතය වූයේ මේ අදහස යහපත් එකක් නොවන බවයි. කාම සූත්‍ර හොඳින් දන්නා කාන්තාවන් සිටී. එය කාම ශාස්ත්‍ර හෙවත් කාමය පිළිබඳ විද්‍යාවෙන් ඍජුවම ඔවුන් ලබාගත් දැනුමකි. මෙපරිදිම තවත් බොහෝ අංශන්ගේද විද්‍යාවේ පුහුණුව සියල්ලන් දැන සිටියද විද්‍යාව පදනම් වී ඇති නීති ආදිය පිළිබඳ දන්නේ කීප දෙනෙකු පමණි. යජ්නිකා හෙවත් පූජා පවත්වන්නන් විසින් ව්‍යාකරණ නොදැන සිටියද ඔවුහු අදාල දෙවිවරුන්ට ආමන්ත්‍රණය කිරීමේදී ගැලපෙන වචන යොදා ප්‍රතිඵල ලබාගනිති. ඒ අය මේ වචන සකස් වී ඇති ආකාරය ගැන නොදනී. එමෙන්ම නැකැත් දිනවලට වතාවත් කරන අයද ඒ නැකැත්වල විද්‍යාව ගැන නොදැන සිටියද ඒ ජ්‍යොතිෂමය කාර්යය මැනවින් ඉටු කරගනිති. අශ්වයන් ඇතුන් පුහුණු කරන්නෝද ඒ සතුන් පුහුණු කරනුයේ එහි විද්‍යාව පිළිබඳ දැනගෙන නොවේ. පුහුණුවේ මහිමයෙනි. දුරබැහැර ප්‍රාන්තවල ජනයා රාජ්‍යයේ නීතිවලට අවනත වන්නේද ඔවුන්ට ඉහළින් රජෙකු සිටින නිසා මිස ඒ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කොට දැනගෙන නොවේ. එපරිදිම අප අත්දැකීමෙන්ම දන්නා පරිදි බිසෝවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ දියණිවරුන්ද, ප්‍රසිද්ධ කාන්තාවන්ද, ආදී ඇතැම් කාන්තාවන් කාම ශාස්ත්‍රය මැනවින් ප්‍රගූණ කළ අයවලුන්ය.

එනිසා ගැහැණියක් අනිවාර්යෙන්ම කාම ශාස්ත්‍රය උගත යුතුය. විශ්වාසවන්ත මිතුරෙක් සමග අධ්‍යනය කරමින් අඩුම තරමේ එහි කොටසක් හෝ උගත යුතුය. කාම ශාස්ත්‍රයේ කොටසක් ලෙස එන සූසැට ශිල්පය ඇය විසින් තනිව උගත යුතුය. ඇගේ ගුරුවරයා පහත දැක්වෙන කෙනෙක් විය යුතුය. ඇය සමග හැදී වැඩුනු දැන් විවාපත්ව සිටින සේවිකාවකගේ දියණියක්. නොඑසේනම් සියල්ලක් පිළිබඳ විශ්වාසය තැබිය හැකි මිතුරියක්. ඇගේ මවගේ සහෝදරියක්. නැතහොත් වැඩිමහල් සේවිකාවක්. තවද කලින් විවාහකව සිටි හිඟන්නියක වුවද මීට සුදුසුය. නැත්නම් ඇගේම සහෝදරියක්.

මතු සබැඳියි.