Tag: feature

  • හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

    හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

    Exit Bag ෆිල්ම් එක ගැන පෝස්ටර් එක දැක්කට ඒක බලන එක පස්සට දදා හිටියෙ ජෝ දිසානායකගෙ කලින් වැඩේ moment මගේ බලාපොරොත්තු කඩකරපු හින්ද. හුදු රූපමය සෞන්දර්යයකට සහ තාක්ෂණික හැකියාවකින් ඔබ්බට කතාවක් හරියට කියාගන්න බැරි ගතියක් ඒකෙ තිබුන. ජීවිතේ අල්ලන නාඩියෙ දුරස් බවකුත් දැනුනා. ඒ හින්දා දෙවෙනි එක බලන්න ඒ තරං උනන්දුවක් ඇතිවුනේ නෑ.

    ඒත් ෂා , සමනලී මට මේ ෆිල්ම් එකේ ලින්ක් එක එව්වා.
    ‘මේක බලලා කතා කරන්න දෙයක් තියෙනවා කියල හිතනවා නම් විතරක් ලියන්න..’ එයා මට කිව්වා.

    මං ‘හා’ කිව්වා.

    Exit Bag මාව පුදුමයට පත් කළා. ඒ වගේ ෆිල්ම් එකක් ලංකාවේ නිර්මාණය වීම ගැන පවා මං ආඩම්බර වෙනවා. ඒක පරිපූර්ණ විශිෂ්ට නිර්මාණයක්.

    ෆිල්ම් එක තියෙන්නෙ රිවෙන්ජ් නැත්නම් පලිගැනීමක් ගැන.

    මෙතනින් එහා ටික කියෙව්වොත් ෆිල්ම් එක බලන ආතල් එක නැති වෙනවා. ඒ හින්දා ඒක බලලා තියෙන අය විතරක් මෙතනින් පහලට කියවන්න.

    ඒක අනිවාර්යයෙන්ම දෙපාරක් බලන්න ඕන ෆිල්ම් එකක්. පලවෙනි පාර කතාවෙ කෙලවරදි තේරුම් ගන්න දේවල් එක්ක ආපහු කතාවෙ මුල ඉඳන් ඩීටේල් කියවන්න ඕන. එතකොටයි ඒක පූර්ණව විඳින්න හම්බුවෙන්නෙ.

    මට Exit Bag කියන්නෙ රිවෙන්ජ් පෝර්න් එකක්.

    තමන්ගේ බිරිඳ තමන්ගේ නිවසේම වෙන කවුරුන් හෝ සමග රමණය කළ වීඩියෝවක් සැමියා අතේ තියෙනවා. ඒ සිදුවීම ගැන දරුණු වේදනාවකින් සහ පලිගැනීමේ ආස්වාදයකින් සැමියා පෙළෙනවා. තමන් දැඩිව ආදරය කළ ගැහැණිය සහ තමන්ව අමු අමුවේ පාවාදුන් ගැහැණිය (සම්මත මිම්ම අනුව) එකම ශරීරයක පිහිටීමේ දරාගත නොහැකි ට්‍රෝමැටික අත්දැකීමක ඔහු ආතුරව ඉන්නවා.

    මේ අතර ගැහැණියගේ සංකීර්ණ මනෝභාවයන් අතර චාරිකාවක අපිව අරන් යනවා. මේ සැමියා කතා කරන වල් ගැහැණිය අපිට චිත්‍රපටියෙ මුනගැහෙන්නෙ නෑ. අපි දකින්නෙ තමන් කළ වරද ගැනත් (ඒ ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. අපි දන්නෙ උමතු පිරිමියා කියන සෙක්ස් කතාව විතරයි), තමන් දැන් විඳින ජීවිතය ගැනත්, ඒ වගේම දැන් නරුමයෙක් බවට පත්ව සිටින පෙරදී තමන් බෙහෙවින් ආදරය කළ පෙම්වතා ගැනත් දුක්වෙන හැඟුම්බර ගැහැණියක්.

    කතාව පටන් ගන්නෙම ඇගේ ජීවිතය කොයිවගේද කියන එක අපිට සජීවීව විඳින්න පුළුවන් තරමෙ රූප රාමුවකින්. ඇගේ මුහුනට පොලිතින් බෑග් එකක් දාලා හුස්ම හිරකිරීමකින්. එතකොට අපි දකිනවා පූස් පැටියෙක් වගේ ගුලිවෙලා නිදන සැමියෙක්.

    කතාව එලිදරව් වෙන්නෙ ටිකෙන් ටික. අපි දකින ලෝකය වෙනස් වෙන්නෙ අපිට නොදැනීම. අන්තිමට බලද්දි අපි මේ බලන් ඉන්නෙ වධකාගාරයක් දිහා. ගැහැණියක් තමන්ගේ කැමැත්තෙන් කළ රමණයක වරදට පිරිමියෙක් විසින් ඇයව ජීවිතාන්තය දක්වා වධයට නියම කරලා තියෙනවා.

    ඒත් ෆිල්ම් එක යන්නෙ තියරි උඩ නෙමෙයි. ඒ වෙනුවට නිශ්චිත නැති, වරින්වර මාරුවෙන, හැඟීම් කුනාටු අතර ඉන්න මිනිස්සු දෙන්නෙක් අතර.

    සමනලීගේ සහ රන්දිකගෙ රංගනය අතිවිශිෂ්ටයි. ඒ සංකීර්ණ සියුම් හැඟීම් ප්‍රකාශ කිරීම් මයිල් කෙලින් කරනසුලුයි. ඒ චරිතවලට කළ හැකි උපරිම සාධාරණයක් මේ නළුනිළි දෙපල විසින් කරනවා. ඕන නම් ලේයර්වලට ගලවමින් කතා කරන්න පුළුවන් තරමෙ බඩු ඒ චරිත තුල පේනවා.

    අනික කැමරාව. රූප රාමු අනායාසයෙන්ම භාවය විසින් ඉල්ලන තැන පිහිටනවා. බොරු ආයිත්තම් නෑ. වර්ණ හැඩතල, රාමුවේ ප්‍රමාණය, චලනය හැමදෙයක්ම කතාවේ කොටසක්.

    ෆිල්ම් එකේ සංගීතය පාවිච්චි වෙන්නෙ අවසාන දර්ශනයෙදි විතරයි . එතකල් අපි ඉන්නෙ හිස්කම සහ සද්ද බද්ද එක්ක. සංගීතය නිකංම රසකාරකයක් විදිහට පාවිච්චි වෙනවා වෙනුවට තවත් යටිපෙල වියමනක් හැටියට මෙහෙයවෙනවා. ඒකෙන් ෆිල්ම් එක විශාල වෙනවා.

    බිරිඳ ෆිල්ම් එකේ අන්තිමට විතරක් හිනාවෙනවා. එතෙක් ඇය සිරකොට ගසා ඇති බඳු කම්බි දැල ඈ වීණාවක් වගේ වයනවා.

    මේ ලිංගික ඊර්ෂ්‍යාව ගැන කතාව මාව කම්පනය කරපු ලංකාවේ රිවෙන්ජ් පෝර්න් එකක් එක්ක මාව ගැටගහනවා. ඒ පසුබිම් කතාවත් මේකමයි. පෙම්වතා විසින්ම ලීක් කරන්න ඇතැයි හිතන්න පුළුවන් ඒ පෝර්න් එක මාව තිගැස්මකට ලක් කළා. ඒ කවුරු හෝ හරි හෝ වැරදි කියන අදහසින් නෙමෙයි . ඒ පෝර්න් එක ඇතුලෙ මං දැකපු මිනිස් හැගීම් පොදිය හින්ද. ඒ චරිතවලට වෙන හානිය නොවේනම් ඒ ක්ලිප් එක ඉදිරියෙන් සහ පසුපසින් ටයිට්ල් කීපයක් දැමීමෙන් විශිෂ්ට කෙටි චිත්‍රපටයක් කරන්න තිබුන. ඒ තරම් සංකිර්ණ මිනිස් භාවයන් අපිට ලියලා රූගත කරලා අල්ලන්න බෑ කියලයි මට හිතුනෙ. Exit Bag ඒ අත්දැකීම ඊට වඩා ගැඹුරු සෞන්දර්යාත්මක අත්දැකීමකට ගෙනියනවා කියලයි මට දැනුනෙ.

    ප.ලි – සැමියා විසින් බිරිඳට පහරදෙන සීන් එක ගැන යමක් නොලියා අවසන් කිරීම අසාධාරණයක්. ඒක ලංකාවේ මං චිත්‍රපටයක මෙතෙක් දැකපු දරුණුම ප්‍රචණ්ඩ දර්ශනය වග කියන්න ඕන. ඒක බලන්න අමාරු තරම් රිදෙන්න කරලා තියෙනවා.


    චින්තන ධර්මදාස

  • බබෙක් හදන්නෙ නැද්ද?

    බබෙක් හදන්නෙ නැද්ද?

    යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?

    මම – ඇයි උඹ ළමයි හදන්නෙ?

    යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?

    මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?

    යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?

    මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්

    යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා….

    මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවිතයක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද? දරුවෙක් කියන්නෙ රිටයර්මන්ට් ප්ලෑන් එකකටද?

    යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි….

    මම – මට එහෙම හිතෙන එකක් නෑ. ඒත් බැරි වෙලාවත් එහෙම හිතුනොත් දරුවෙක් අරගෙන හදාගන්න පුළුවන්නෙ. උඹට කවද හරි හිතුනොත් උඹ ළමයෙක් හදපු එක අපරාදෙ කියල. ජීවිත කාලයක් පුරා හදපු දරුවා ගැන උඹ පසුතැවුනොත්? උඹ එදාට මොකද කරන්නෙ?

    යාලුවා – උඹට පොඩි එකෙක් හිනා වෙනව දකිද්දි ආස හිතෙන්නැද්ද? උඹේම කියල පොඩි එකෙක් හුරතල් කරන්න ආසාවක් ඇත්තෙම නැද්ද බං?

    මම – උඹට පණ තියෙන බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න ආසයි කියල මේ ජීවිතය කියන සටනට අරගල කරන්න තවත් ජීවිතයක් නිර්මාණය කරන එක සාධාරණයි කියල උඹ හිතනවද? ජීවිතය කියන්නෙ කට්ටක් බං. අපි දෙන්නම බලහං. මොන කට්ටක් කනවද කියල. ඇයි මේ දුක තවත් කෙනෙක්ට දෙන්නෙ?

    යාලුවා – යකෝ, උඹේ පරම්පරාව ගෙනියන්නේ කවුද? උඹේ ගෑණි කැමතිද ළමයි නොහදා ඉන්න? අම්මලා තාත්තලා පව් නැද්ද?

    මම – මට මගේ පරම්පරාව ගෙනියන්න කිසිම උවමනාවක් නෑ. මොකක්ද බං ඔය මහලොකු පරම්පරාව කියන්නෙ? අම්මලා තාත්තලාගේ ආසාව නිසාම මම මගේ ජීවිතේ තීරණ ගන්නෙ නෑ. මම ඒ අයට ඇහුම්කන් දෙනව. ඒ අය කියන හරි දේවල් අහනවා. හැබැයි ඒ අයගේ අදහස් හරි කියල ඒ අය පැහැදිළිව තහවුරු කරන වෙලාවල් වලදි විතරයි. හැමවෙලේම ඒ අය ගහන පදයට නටන්න මම පඹයෙක් නෙමේනෙ බං. කෙල්ල ගැන උඹ ඇහැව්වා නේද? මෙහෙමයි, උඹට වගේ නෙමේ මම කෙල්ලට මේ ගැන ඒ ටූ එසෙඩ් කියල තියෙන්නෙ. මෙච්චර සරල කාරණාවක්වත් තේරුම්ගන්න බැරි නම් ඒ කෙල්ල එක්ක මට මැරෙනකල් කොහෙත්ම එකට ජීවත් වෙන්න බෑ.

    යාලුවා – ඒ කියන්නෙ කෙල්ල කැමතියි ළමයි නොහදා ඉන්න.

    මම – ඔව්. දැන් එයා ඉන්නෙ මම කැමති වුනත් එයා කවදාවත් ළමයි හදන්න කැමති වෙන්නෙ නෑ කියන තැන.

    යාලුවා – තොටම හරියන ගෑණි….

    මම – මචන්, ළමයි හදන එකේ සදාචාරාත්මක අවුලක් තියෙනවා. ඒක වෙනම දිගට කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ වගේම ප්‍රායෝගික අවුලකුත් තියෙනවා. යකෝ ළමයෙක් හදනවා කියන්නේ උඹට උඹව නැතුව යනවා කියන එකට. උඹේ මුළු ජීවිතය විතරක් නෙමේ උඹේ මුළු පැවැත්මම ඒ ළමයා වෙනුවෙන් කැප කරන්න වෙනවා අඩුම ගානේ අවුරුදු පහලවක් විස්සක්වත් යනකල්. උඹේ ස්වාධීනත්වය නැතුව යනවා, උඹට උඹ ආස දේ කරන්න තියා හිතන්නවත් වෙලාවක් නැතුව යනවා. හම්බ කරන සල්ලි වලින් බාගෙකටත් වඩා ළමයා වෙනුවෙන් වියදන් කරන්න වෙනවා. හරියටම බැලුවොත් ළමයෙක් හදනවා කියන්නේ අවුරුදු විසි පහක් විතර මාස් පතා පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙන ලෝන් එකක් ගන්නව වගේ වැඩක්. වියදම ගැන විතරයි ඒ, ළමයාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම එන්නේ උඹට. උඹට සැනසිල්ලේ කෑම ටික කන්නවත් බැරුව යනවා. ළමයා ගැනමනේ ඔලුවේ තියෙන්නෙ, මූ කොහෙ යයිද කොහෙ වැටෙයිද කොහෙ ඇණ ගනියිද කියල. කැමති අය කැමැත්තෙන් ඒ කට්ට කයි. මට අවුලක් නෑ. ඒත් ඔය වගේ අමු කට්ටක් බලෙන් ඇඟේ දාගන්න මට පිස්සු නෑ බං. මට මගේ නිදහස ඕන. මට මගේ සැනසිල්ල ඕන. ජීවිතේ උවමනාවෙන්ම තවත් සංකීර්ණ කරගන්නෙ මගුලකටද? මේ තියෙන ප්‍රශ්න මදිවටයැ.

    යාලුවා – ඉතින් බං ඕවා කලාම කවද හරි ඒවයේ ප්‍රතිපල තියෙනවනෙ.

    මම – මොනවද ප්‍රතිපල? හැමෝම තමා දරුවො වෙනුවෙන් මේ කට්ට කන නිසා දරුවන්ගෙන් අම්බානට දේවල් බලාපොරොත්තු වෙනවා. දරුවාගේ ඉගෙනීම, විවාහය වගේ ජීවිතයේ වැදගත්ම දේවල් විතරක් නෙමේ දරුවාගේ හැසිරීමේ ඉඳල ආකල්ප දක්වාම තමන් කැමති විදියට දරුවා හැදෙයි වැඩකරයි කියලයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කට්ටක් කාලා හදන එකාවත් තමන්ගේ පදයට නටන හිතන්න බැරි පඹයෙක් කරන එකද මේකෙන් ලැබෙන ප්‍රතිපලේ? මොන මගුලක්ද? මොන දෙමාපියාද තමන්ගේ දරුවා හදන්නේ මනුෂ්‍යය සංහතියට යහපත් මනුස්සයෙක් බිහි කරන අරමුණින්? හැමෝම ළමයි හදන්නේ තමන්ගේ පුද්ගලික උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න. තමන්ට ළඟා කරන්න බැරි වුන ජීවන ඉලක්ක දරුවා ලවා ළඟා කරගෙන ඒ මානසික ආතල් එක ගන්න. දරුවාට ඒවා කරගන්න බැරි වුනාම දෙමව්පියෝ හැසිරෙන විදිය පොඩ්ඩක් සමාජයට බැහැල බලහන්. මේක මහ විකාරයක්. පටලැවිලි ගොඩක්. මම මේ නාඩගමේ කොටස්කාරයෙක් වෙන්න කීයටවත් කැමති නෑ.

    යාලුවා – උඹට තේරෙන්නෑ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරයේ වටිනාකම ගැන. ඒක කොයි තරම් උතුම් දෙයක්ද කියල උඹට තේරෙන්නෑ බං

    මම – මචන්, ඔය උතුම්ය කියල කියන දේවල් තියෙනව නේද? අන්න ඒවලින් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකයේ සර්වසම්පූර්ණ පරමාදර්ශී උතුම් මගුල් මුකුත්ම නෑ බං. හැමදේම අඩුපාඩු වලින් කුජීත බවින් පිරුන දේවල්. එනිසා ඔය උතුම් ලණුව කන්න එපා.

    යාලුවා – මොකක්ද දැන් උඹ කියන්නෙ?

    මම – උඹ කියන්නෙ දරුවො ගැන දෙමාපියන්ගේ තියෙන හැඟීම තර්කයටවත් බුද්ධියටවත් අහුවෙන්නැති පාලනය කරන්න බැරි බිඳලා දාන්නත් බැරි තරමේ ශක්තිමත් හැඟීමක් කියලනෙ. මොකකින් හරි මිනිස්සුන්ව හැඟීම් වලට ඔයතරම්ම වහල්ලු කරනවා නම් එතන ඇති පොයෙටික් මගුලක් නෑ බං. ඒ බැඳීමම හානිකර පට්ට ඇඩික්ෂන් එකක්. ඔය වගේ බුද්ධියතට අහුනොවන හැඟීම් වලටම වහල් වෙන බැඳීමක් නිර්මාණය කරගෙන ඒකට ඇඩික්ට් වෙයිද මොළයක් තියෙන මනුස්සයෙක්? ඔය කියන විදියට ඕක කුඩු ඇබ්බැහියටත් වඩා අන්තයිනෙ. මට කුඩුත් එපා ඔය වගේ ගොං බැඳීමුත් එපා….

    යාලුවා – උඹේ ප්‍රශ්නය මොකක්ද දන්නවද? උඹ හිතනවා වැඩියි.

    මම – උඹ දන්නවද උඹේ ප්‍රශ්නය මොකක්ද කියල? උඹ හිතන්නෙම නෑ.

    යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන

    මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?

    යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න

    මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?

    යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…

    මම – ඉතින් ඒක තමා බොල මම අහන්නේ අහවල් මගුලකටද වර්ගයා බෝ කරන්නෙ??

    යාලුවා – හරි හරි උඹ ළමයි නොහදා හිටහං එහෙනම්. මං කියපුව ගැන හිතල බලහංකො පොඩ්ඩක්.

    මම – හා. හැබැයි මීට කලින් අහපු නැති මුකුත් නම් උඹ කිව්වෙ නෑ. හැමෝම කියන කතා ටික තමා ඔය. මම කිව්ව ඒව ගැනත් හිතල බලහන් කැමති නම්. වෙන වෙලාවක මේ ගැන හිමීට වැඩිදුර කතා කරමු.

    යාලුවා – හ්ම්….

    මම – එල


    ජේමිස් බණ්ඩා