Tag: naked

  • ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත

    ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත

    මලට නොඑන බඹරු චිත්‍රපටිය තියෙනවා යූටියුබ් එකේ. ලංකාවෙ ෆිල්ම්වලට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නං මේක බලන්න වටින ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය ලාංකේය ශෘංගාර සිනමාවෙ සුවිශේෂී සලකුනක්.

    යූටියුබ් එකෙන් මේ ෆිල්ම් එක බලලා අරුණ ගුණරත්නගේ ඩේලි ෆිල්ම් රිවීව් එකත් බැලුවා නං වැඩේ සම්පූර්ණයි.

    චිත්‍රපටියක් බලද්දි ඒ චිත්‍රපටියෙ අඩුපාඩු මොනවද කියල බලාගෙන ඉන්න එකෙන් ඒ සිනමාවෙ ආස්වාදය ලබන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඒ චිත්‍රපටකරුවා අලුතෙන් පෙන්නන්න හදන්නෙ මොනවද කියන එකයි නැරඹුම්කාමය උද්දීපනය කරන කවුළුවක් වෙන්නෙ. මට නම් නිර්භීතකම සහ අවංකබව කියන එකයි චිත්‍රපටයක ඇගයුම් මිම්ම වෙන්නෙ.

    මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ 1982දි. ඒ කාලෙ ලංගමේ වැඩ කරපු ෂෙල්ටන් පයාගල සහ චන්ද්‍රරත්න මාපිටිගම කියන දෙන්නා අතින් පළවෙනි වැඩේ විදිහටයි මේක හැදෙන්නෙ. චන්ද්‍රරත්න මාපිටිගම කියපු ගමන් මතක් වෙන්නෙ කීඨයා වෙන්න පුළුවන්. හැබැයි සුරබිදෙන වගේ අමුතු චිත්‍රපටිත් මාපිටිගම අතින් හැදුනා.

    පළමු වතාවට ලංකාවෙ සිනමාවෙ සමරිසි ආදරය තේමා කරගන්නෙ මේ වැඩේදි. ඒක කාලයේ හැටියට අතිශය නිර්භීත වැඩක්. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ සමරිසි සබඳතා කියන්නෙ මානසික රෝගයක්. ඉතින් ඒ වගේ තේමාවක් ගැන චිත්‍රපටියක් හදන එක වගේම ඒ වගේ චිත්‍රපටියක චරිත රඟපාන එකත් අභියෝගයක්.

    මේක සමරිසි ප්‍රේමය ගැන චිත්‍රපටියක් කිව්වට මේක ඇතුලෙ පී‍ඩොෆීලියා නැත්නම් කුමාරකාමය වගේ කතාවක් තමයි මතු වෙන්නෙ. ප්‍රධාන චරිතය වන සනී හාමු ආදරෙන් බැ‍දෙන්නෙ ඉස්කෝලෙ යන වයස යන්තම් පහුකරපු අනුර එක්ක. අනුරගෙ චරිතය කරන්නෙ මඩොල් දූවෙ ජින්නා විදිහට අපිට මුනගැහුනු අජිත් ජිනදාස.

    ඒ වගේම සනී හාමු මේ සමරිසි/ පී‍ඩෝෆයිල් ප්‍රේමයට ඇබ්බැහි වී තියෙන්නෙ ඒ හාමු බලාගන්න හිටපු තවත් වැඩිඑිටියෙකුගේ අතවරයකින් වග කියවෙනවා. පාසැල් වයසේ කොල්ලන් දඩයම් කරන වයස්ගත පිරිමින්ගෙ සංස්කෘතියකුත් පසුබිමෙන් ගෙතෙනවා. මේ නිසා මේ චිත්‍රපටය සමරිසි ප්‍රේමයකට වඩා තවත් ආන්දෝලනාත්මක ශෘංගාර කලාපයකට දැන හෝ නොදැන අතගහනවා. පීඩ‍ෝෆීලියා ගැන චිත්‍රපටයක් අසූ ගනං වල හදන්නත් එහිදී ඒ පී‍ඩෝෆීලියා මානසිකත්වය ගැන යම් හෝ මානුෂීය බැල්මක් හෙලන්නත් නිර්මාණයක් ඇතුලෙ වෑයම් කරනවා කියන්නෙ සියදිවි නසාගැනීමක් වගේ තත්වයක්. ඒත් අසූ ගනංවල ලංකාවෙ ලිංගික සහ ශෘංගාර සංස්කෘතියෙ අදට වඩා නිදහසක් තිබුන. එදා රටේ වැඩිහිටියො හිටියා. හාමුදුරුවරු පන්සල්වල හිටියා.

    මේ වයස්ගත සනී හාමු කියන්නෙ ගරා වැටෙන වලව් පරම්පරාවක අවසාන පුරුක. එයා විවාහ වෙලා ඉන්නෙ සරාගී ස්ටෙලා එක්ක. ස්ටෙලා ඒ වත්තෙම වැඩ කරන තවත් තරුණයෙක් එක්ක ලිංගික සබඳතා පවත්වනවා. ඇය හේතුවක් නැතුවත් නිතරම කාමයෙන් උමතු වෙලයි ඉන්නෙ.

    මේ අනුරාගය ප්‍රදර්ශනය කරන විදිහත් මරු. හෝස් පයිප්පයකින් පිරිමි කකුල් ‍තෙමාගෙන ටිකෙන් ටික උඩට විදින වතුර පාරක් ඇගේ ආශාව කියනවා. ලංකාවෙ චිත්‍රපටි අතර පිරිමි ශරීරයේ අනුරාගය ඉතාම හොඳින් ඉස්මතු කරන රූපරාමු සිනමාවට එකතු වෙනවා.

    ඇත්තටම මේ චිත්‍රපටය ඇතුලෙ අපි දකින සියලු සම්බන්ධතා බලය ඇතුලෙ සිද්ද වෙන බලහත්කාරකම්. සනී හාමු අනුරට කරන ආදරය වගේම ස්ටෙලා කඩවසම් තරුණයාට කරන ආදරයත් සිද්ද වෙන්නෙ ප්‍රතික්ෂේප කරන්න බැරි බල සම්බන්ධතා ඇතුලෙ. ඒ අර්ථයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නිදහස් ආදරයට වඩා වැඩවසම් යටත් වීම් විදිහට.

    අපිට නිතර පසුබිමෙන් පල්ලියේ දේව ගීතිකා සංගීතය විදිහට ඇහෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ කැමැත්තට විරුද්ධව හඹා යන පිරිමි ආශාවේ වරදකාරී බව, අඳුර තමයි චිත්‍රපටයේ ගමන වෙන්නෙ.

    චිත්‍රපටිය යතාර්ථවාදී රීතියෙන් බැහැරව ගූඪ අඳුරු මනෝභාවයන් තුල ගැවසෙන සිහිනමය ස්වභාවයක් ගන්නවා. හැම රංගනයක්ම වගේ ඕවර් ඩ්‍රැමටික්. මේ රංගනය වෙනුවෙන් ජෝ අබේවික්‍රම නැවත නැවත සම්මානයට පාත්‍ර වෙනවා. ඒත් මගේ අදහස නම් ජෝගේ රංගනය මේකෙ ගොඩක් දුර්වලයි කියන එකයි. මේ සමරිසි ආත්මය පිළිබඳ නොදැනුවත් බව නිසාමත් පිටපතෙන් එවන් කිසිම පදනමක් ලබා නොදීම නිසාත් ජෝ කරන්නෙ නිකං ගැඹුරු ඉරියව් මවාගෙන බලන් ඉන්න එක විතරයි.

    මේ වගේම පිටපතේ අසාධාරණයට ලක්වුනු තවත් චරිතයක් තමයි ස්ටෙලා. එයා කරන්නෙ නිතර හිස්ටරික විදිහට හිනාවෙන එන විතරයි. හුදු පිරිමියෙකුගේ පහස ‍නොලැබීම හැරුනු කොට ඒ චරිතයට පිටපත ඇතුලෙ වෙන කිසිදු මිනිස් අවකාශයක් ලබා දීලා නෑ. ඇය අපිට හිස් උමතු ගැහැණියක් විදිහට දිගටම මුනගැහෙනවා.

    නමුත් ෂෙල්ටන් පයාගලගේ මේ ගූඨ සිනමා භාවිතාව ඇතුලෙ අවශ්‍ය අඳුරු නාටකීය බව මතු කරගන්න ඒ ප්‍රමාණවත්. ඒක ජීවිතය තුල සිද්ද වෙන දේකට වඩා මනස් තිරය මත දකින පරාවර්තන විදිහටයි මුනගැහෙන්නෙ. ෂෙල්ටන්ගෙ මේ ෆ්‍රොයිඩීයානු අඳුරු ලිංගික මනෝභාවයන් තුල හැසිරෙන සිනමාව මෙතනින් ආරම්භ වෙලා ගොළුමුහුදේ කුණාටුව වගේ චිත්‍රපට ඇතුලෙ වඩාත් බිහිසුණුව මුනගැහෙනවා.

    චිත්‍රපටයේ කැමරාව ඉතාම සුවිශේෂයි. ඒක සාර්ථකයි කියනවට වඩා ඒ විසින් සළකුනු කරන විශේෂතාවයක් තියෙනවා එකයි නිවැරදි. ඒ කැමරාව කිසිම වෙලාවක පරිපූර්ණ රූපයක් අපිට හසුකරලා දෙන්නෙ නෑ. ඒ වෙනුවට කොහේ හෝ අන්තයකින් පටන් අරගෙන ඒ රූප රාමුව තුලම ක්‍රමයෙන් දේවල් අනාවරණය කිරීමක් තමයි දකින්න තියෙන්නෙ. ඒ හින්ද හැමතිස්සෙම අපි ඊළගට දකින දේ ගැන කුතුහලයකින් ආශාවකින් කැමරාව හඹා යනවා.

    ඒ වගේම දුර රූප රාමු ඇත්තෙම නැති තරම්. මධ්‍යම සහ සමීප රූප රාමුවලින් තමයි කතාව කියන්නෙ. මේක පුද්ගලයා ‍කේන්ද්‍ර වූ කතාවක් බවත්, එය පිටතට වඩා ඇතුලතට යොමුවුනු කතාවක් බවත් ඒ කැමරාවෙන් කියවෙනවා.

    මේක හිතා මතා දැඩිවම කරන්න යාම නිසා චිත්‍රපටිය ඇතුලෙ ලොකු වෙහෙසක් නරඹන්නාට දැනෙනවා. තියරියක් විදිහට කොයිතරම් මේ භාවිතාව හොඳ වුනත් ඒක තිරයක් ඉදිරියේ නරඹන ප්‍රේක්ෂකයාගේ මනස උවමනාවට වඩා මහන්සි කිරීමක් වෙනවා.

    ලාල් පියසේන අතින්සංස්කරණය සිද්ද වෙන්නෙ මේ කතාවෙ ගූඪත්වයට ගැලපෙන විදිහටයි. කතාව සමාන්තර විදිහටයි ඡේදනය වෙන්නෙ. ඒක සරල රේඛීය ගමනක් නෙමෙයි. නිතරම මතකයන් ආවර්ජනයන් මතින් ඉස්සරහට පස්සට යන ගමනක්. කැපෙන්නෙත් අමුතු විදිහට, සමහර විට අපිව හොල්මන් කරමින්.

    එක දර්ශනයක සනී රාගයෙන් මුසපත්ව අනුරගේ පිට සිගරට්ටුවකින් පුච්චනවා අපි දකිනවා. නමුත් ඇත්තටම සිදුවෙමින් තියෙන්නෙ සනී වේදනාවෙන් මුසපත්ව අනුරගේ පිංතූරයක් සිගරට්ටුවකින් පිලිස්සීම.

    ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත් දර්ශනය ඇතුලත් වෙන්නෙ මලට නොඑන බඹරු චිත්‍රපටියෙ. ඊට කලින් කිසිම චිත්‍රපටයක නොතිබුනු ආකාරයෙන් පියයුරු අනාවරණය වන දර්ශනයක් මේ දෙපල සිනමාවට එකතු කරනවා.

    සමරිසි ප්‍රේමයට අමතරව ඊට සමාන්තරව අනියම් ප්‍රේමයන් ගැනත් චිත්‍රපටයෙ දිගහැරෙනවා. ඒ කාලෙ තිබුනු දැනීමේ හැටියට සමරිසිභාවය යනු මානසික රෝගී තත්වයක් යන ඇසින් චිත්‍රපටය නිර්මාණය වුනා කියල පේනවා. ඒ වගේම යම් කෙනෙකුට කුඩා කාලයේ සිදුවන අතවරයකින් මේ තත්වය ඇතිවෙනවා වගේ අපරිණත නිගමනයකුත් මේ හරහා මතු වෙනවා. හුලගෙන් ඒඩ්ස් බෝවෙනවා කියල අද කාලෙත් විශ්වාස කරන රටක ඒ කාලෙ හැටියට ඇත්තටම සමරිසිභාවය මානුෂිකත්වයකින් සැලකීම වුනත් අගය කල යුතු තත්වයක්.

    මේ චිත්‍රපටයේ මං ආසම දර්ශනය ස්ටෙලාව බාත්ටබ් එකේ මරාදැමීමේ දර්ශනය. ඒක එක්තරා ආකාරයකින් ‘කකෝල්ඩින්’ ස්වභාවයක් මතු කරන දර්ශනයක්. වෙන කෙනෙක් සමග තමන්ගේ බිරිඳ රමණය කරනු දැකීමෙන් ඇති වුනු අනුරාගයෙන් ඇය හා රති ක්‍රියාවකට එළඹෙන ස්වරූපයක් එතන තියෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට එය පුරුෂ ඊර්ශ්‍යාව මත පදනම් මිනිමැරුමක් බවට පත්වෙනවා. ඒ රූපරාමු කැමරාවට ග්‍රහණය කරගෙන තියෙන හැටි පංකාදුයි. සුවිනීතා වීරසිංහගේ පාද සමග සනීගේ ආශාව, වේදනාව පොරබදන රූප පෙලක් එතනදි නිර්මාණය වෙනවා. බාත් ටබ් නිසාදෝ හිච්කොක්ගෙ සයිකො චිත්‍රපටයත් මතක් වෙනවා.

    මලට නොඑන බඹරු කියන්නෙ ලංකාවෙ මෙතුවක් සිනමාවෙ සාකච්ඡාවට බඳුන් නොකළ ශෘංගාර කලාපයන් විසල් තිරය මතට ගෙන ආපු විප්ලවීය වෑයමක්. අවිද්‍යාත්මක පදනමකින් ඊට මුහු කළ මනෝ ව්‍යාධිමය ස්වරූපය පැත්තකින් තිබ්බම මේ සිනමාව ඇතුලෙන් මේ දෙපල ඇතුල්වෙන්න උත්සාහ දරන මනෝ ලිංගික කලාපය විස්මිත එකක්.

    ඊට පස්සෙ තුන්වෙනි යාමය විසින් මේ මනෝ ලිංගික සිනමාව තවත් ඉදිරි පියවරකට අරගෙන යනවා.

  • කොටට ඇන්දොත් නඩුව පරාදයි

    කොටට ඇන්දොත් නඩුව පරාදයි

    මේ මෑතක වීඩියෝවක් සංසරණය වුනා මුස්ලිම් හාදයෙක් කාන්තාවන් කොටට ඇඳීම අපරාධයක් වන්නේ කෙසේද කියන එක විද්‍යාත්මකව පැහැදිලි කරන.

    ‘මං ආගම, සංස්කෘතිය පැත්තකින් තියන්නංකො. මං විද්‍යාවෙන් පැහැදිලි කරන්නං’ කියල තමයි එයා වැඩේ පටන්ගන්නෙ.

    මෙතනදි මේ උත්තර දෙන හාදයාට වඩා වැදගත් වෙන්නෙ ප්‍රශ්න අහන කාන්තාව. බොහෝ දුරට ඒ මුස්ලිම් කාන්තාවක් වෙන්න පුළුවන්. ඇය අහන්නෙ,

    ‘ඔයගොල්ලො අමුඩයක් ගහ‍ගෙන හිටියට අපිට ප්‍රශ්නයක් නැත්තං අපි කොටට ඇන්දම ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?’ කියල. කාන්තාවක් විදිහට නැගිටලා එහෙම ප්‍රශ්නයක් අහන තරමට මුස්ලිම් සංස්කෘතිය ප්‍රගතිශීලී වෙලා තිබීම ඉතා හොඳ තත්වයක්.

    ඒ මයික් එක ළඟ ඉන්න හාදයා විස්තර කරනවා ගැහැණියකගෙ නිරුවතක් දැකීමෙන් පිරිමින්ගෙ ටෙස්‍ටෙස්ටරොන් ශ්‍රාවය වෙන්න ගන්නවය, එතකොට අම්මා අක්කා පේන්නෙ නැතුව යනවය, ඒ හින්ද කාන්තාව සියල්ල වසා සිටීම සමාජයේ පැවැත්මට අවශ්‍යය කියල.

    මේ වීඩියෝව මුස්ලිම් රැස්වීමක සිදුවීමක් පාදක කරගත්තා වුනාට මේ පිලිගැනීම මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි භේදයක් නැතුව දරන ආගමික අදහසක්. කොටට ඇඳන් යනවට විරුද්ධව උපහාස අපහාස කරමින් ඒවා ධර්ම දේශනා යැයි හඳුන්වපු හාමුදුරුවරු රටේ ඉන්නවා. කිරිබත්ගොඩ ඥානානාන්ද වගේම විද්‍යාත්මකව දොස්තර පාදෙණිය වගේ කෙනෙකුගෙන් ඇහුවත් මේ මතය ඉහළින්ම සාධාරණීකරනය කරනවා විතරක් නෙමෙයි බෙදා හරින්නත් ඉතසිතින් දායක වෙනවා. අගරදගුරු වුනත් එතනදි වෙනසක් වෙන්නෙ නෑ.

    නිරුවත් ශරීරයක් දැක්කම ටෙස්ටස්ටරොන් ශ්‍රාවය වැඩි‍වෙනවා කියන එක ඇත්තක්. දෘෂ්‍ය උත්තේජනයකින් හෝමෝන ශ්‍රාවය වැඩිකරන්න පුළුවන්. හැබැයි ඒ හෝමෝන මගින් විතරක් ලිංගික ආශාව නැත්තං සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි කරනවද කියන එක නිශ්චිත නොවූ කාරණයක්. බලපාන තවත් හේතු ගණනාවක් අතර හෝමෝනත් එක දර්ශකයක්.

    ටෙස්ටස්ටරොන් කියන හෝමෝනය පිරිමින්ගෙ පමණක් තියෙන එකක් නෙමෙයි. පිරිමින්ගෙන් දහයෙන් පංගුවක් විතර ප්‍රමාණයක් ගැහැණුන්ටත් ටෙස්ටස්ටරෝන් තියෙනවා. ඇගේ ලිංගික ආශාව හෙවත් ලිබිඩෝව වැඩි කරන්න ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටොන් සමග ටෙස්ටස්ටරොන් දායක වෙනවා. ඔසප් කාලය ආසන්න වෙද්දි පිරිමින් වගේම දැඩි ලිංගික ආශාවකින් කාන්තාවත් මුසපත් වෙනවා. ඒත් පිරිමින්ව වහලා තියන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

    ටෙස්ටස්ටරොන් කියන්නෙ මේ කියන විදිහෙ ලිංගික උන්මත්තකභාවය ඇති කරන හෝමෝනයක් නෙමෙයි. මාංශ වර්ධනය සහ ශක්තිමත් කිරීම, රතු සෛල නිෂ්පාදනය, අස්ථිවල ඝනත්වය, සිරුරේ මේදය බෙදාහැරීම ආදී කාරණා ගණනාවටම මේ හෝමෝනය හේතුවෙනවා.මේ ආගමික තර්කනයේ ‍තියෙන ප්‍රධානම අවුල ඒක පිරිමි කේන්ද්‍රීය, විෂම ලිංගික කේන්ද්‍රීය එකක් වීම. ගැහැණු ලිංගික ආශාවේ තර්කය මගහරින අතරම සමලිංගික ආශාව පිළිබඳ තර්කයත් මෙතනදි නොතකා හරිනවා. ඒ වගේම නිරුවත සම්බන්ධ සංස්කෘතික තර්කනයත් සම්පූර්ණයෙන්ම අමතක කරනවා. උදා විදිහට නියුඩිස්ට් සමාජයක කිසි කෙනෙක් නිරුවතක් දැකීමෙන් පාලනය කළ නොහැකි විදිහට ලිංගිකව ආශාවකින් පිස්සු වැටෙන්නෙ නෑ. රැලෙක්ස් රණසිංහ මේ ගැන ලස්සන කතාවක් කියනවා.

    ‘නිරුවතින් සිටින කාන්තාවකගේ රුවට වඩා සිල් රෙද්ද යන්තමින් ඔසවා වැටකින් පනින තරුණ උපාසිකාවකගේ රුවක් අනුරාගී විය හැකිය’ කියල.

    සියලු කාමයන්ගෙන් වසා තැබූ අයෙක් ඉතාම සාමාන්‍ය දේකින් පවා ලිංගිකව උන්මාදයට පත්විය හැකි ආකාරය චුල්ලප‍ලෝභන ජාතකයෙ ලස්සනට විස්තර කරනවා. මේ කුමාරයා වශී වෙන්නෙ රුවක් දැකීමෙන් නෙමෙයි ගායනා කරන ස්ත්‍රී හඩක් ඇසීමෙන්.

    විෂුවල් ස්ටිමියුලස් එක නැති වුනාට ශරීරය තව කොතෙකුත් අනුරාගී උත්තේජන නිර්මාණය කරගන්නවා. යටලීයෙන් නාරිලතා මල් පිපෙන්න පටන් ගන්නවා. තාපසයන්ට ලියතඹරා මල් පිපෙනවා. ගහකින් කොලයකින්, සතෙකුගෙන් හෝ උත්තේජනය වෙන තරමට නොපැසුනු ඉන්ද්‍රිය සංවේදන බලහත්කාරී වෙනවා.

    පිරිමින් ගැහැණුන්ට වඩා දෘෂ්‍යමය දෙයින් උත්තේජනය වෙනවා කියන එක පර්යේෂණවලදි පෙනුනා. ගැහැණියක් දකින යමකින් පමණක් උත්තේජනය ලැබීමේ ප්‍රවනතාවය අඩුයි. ඇගේ ශෘංගාරමය අර්ධය එතනදි වඩාත් පරිණතයි.තමන්ගේ ආශාවන් පාලනය කරගත නොහැකිවීම වෙනුවෙන් සමස්ත සමාජයම වසා තැබිය යුතුයි කියන එකයි මේ ආගමික කොට ඇඳුම් කතාවේ හරය වෙන්නෙ. අතීතයේ බෞද්ධ භික්ෂුන් අඩු තරමේ මේ ආශාවන් පාලනය කරගත නොහැකි නිසා තමන් වනගත වීම යෝජනා කළා. ඒත් වත්මන් භික්ෂුන්ගේ සහ අනෙකුත් ආගමික පූජකයන්ගේ යෝජනාව වෙන්නෙ තමන්ගේ අශිෂ්ට මනස පාලනය කිරීම වෙනුවෙන් සකල සමාජය වසා තැබීමයි. තමන්ගේ දරුවන් හදාගැනීමට නොහැකි නිසා සමස්ත සමාජයේ වැඩිහිටි අයිතිය උදුරාගැනීමයි.

    පුද්ගල නිදහස පිළිබඳ දැක්මක් තිබුනා නම් අඩුම තරමෙ විද්‍යාවෙ දියුණුවත් එක්ක තමන්ගේ ටෙස්ටස්ටරොන් ප්‍රමාණය අඩු කරගැනීමෙන් ඔය කියන ලිංගික ආතිතය මගහරවා ගැනීමේ යෝජනාවක්වත් මේ අයට ගේන්න තිබුන.

    හෝමෝනවලින් පමණක් ලිංගික උත්තේජනය නැත්තං ආශාව පාලනය කරනවා කියන්න සාක්ෂි නෑ. ඒකට තවත් ගොඩක් සංකීර්න මොළයේ ක්‍රියාකාරීත්වයන් බලපානවා කියන එකයි අදහස. අපේ පූර්ව මස්තිෂ්ක කොටසින් අපි දකින යමක් ලිංගිකව ප්‍රමාණවත්ද කියන එක සලකා බලනවා. අපි හැමෝම එකම දේකින් එකම පමණකට උත්තේජනය වෙන්නෙ නෑ. අපේ උත්තේජනය පාලනය කරන ස්නායු ක්‍රියාකාරීත්වයන්ට මොළයේ විවිධ ප්‍රදේශවලින් සංකීර්ණ බලපෑම් ඇතිකරනවා.

    ගැහැණු පිරිමි ලිංගික උත්‍තේජන වෙනසට හෝමෝන, මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සහ අපි අවට පවතින ලෝකය නැත්තං සංස්කෘතිය කියන තුනම හේතු වෙනවා. නිරුවත සම්බන්ධ ලිංගික සංඥා නිර්මාණය කරන්නෙ සංස්කෘතිය විසින්. නියුඩිස්ට් සමාජයක නිරුවත ලිංගික සංඥාවක් නොවන අතර අපේ සමාජයේ ඒක අධි ලිංගික සංඥාවක් වෙන්නෙ සංස්කෘතික වෙනස්කම හරහා. ඔව් එතනදි ඇත්තටම පිරිමින් කේන්ද්‍ර කරගනිමින් අධිමාත්‍රාවෙන් ස්ත්‍රී නිරුවත පිළිබඳ ලිංගික සංඥා බෙදාහැරීමක් සිද්ද වෙනවා. ඒක නිසා පාලනය කරගත නොහැකි පිරිමි ආශාවේ ගොදුර ගැහැණිය විය යුතුද?

    මිනිසාගේ පූර්ව මස්තිෂ්ක ප්‍රදේශයේ තියෙනවා ඕර්බිෆ්‍රන්ටල් කෝටෙක්ස් කියල කලාපයක්. මේ මගින් ලිංගික ආශාව පාලනය කරනවා. ඉතාම දියුණු ස්නායු ප්‍රදේශයක් වන මෙයින් යමක් කිරීම සුදුසුද නැද්ද කියන එක ගැන දැනීමක් ඇති කරනවා. උදා විදිහට නිරුවතින් සිටින කාන්තාවක් දකින පිරිමියෙකුට ලිංගික උත්තේජනයක් ඇතිවුනාට පිහියක් අතින් අරන් තමන් දිහාවට නිරුවතින් එන උමතු කාන්තාවක් දැකීමෙන් පිරිමියෙකුගේ ශිෂ්නය ප්‍රාණවත් වෙන්නෙ නෑ. ඕර්බිෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් ආරක්ෂාව පිළිබඳ හැඟීම මතුකරනවා. සමහර වෙලාවට මත්ද්‍රව්‍යයක් අරගෙන ඉන්න කෙනෙකුගේ මේ ක්‍රියාවලිය නිසි විදිහට සිද්ද නොවෙන්න පුළුවන්. ඒත් එතනදි තමන්ගේ ක්‍රියාවෙ වගකීම පැවරෙන්නෙ මත්වූ අයට මිස කොටට හැඳි කතට වෙන්න බෑ. තමන්ගේ ලිංගික ආශාව පාලනය කරගත නොහැකියි කියන්නෙ මොළයේ මේ කලාපය අඩුවෙන් සංවර්ධනය වීමක්. ඒ වගේ කෙනෙකුට කෑමක් දැක්කත් අධික ආශාවක් ඇතිවෙලා ඒක පාලනය කරගත නොහී මිනිහෙක් මරලා හරි කෑම එක කන්න හිතෙන්න පුළුවන්.

    තත්වය මෙහෙම වුනත් නිදහස් යැයි සලකන බටහිර රටවල පවා ප්‍රසිද්ධියේ නිරුවතින් හැසිරීම ගැන බොහෝ විවාද ඇතිවෙනවා. බොහොමයක් රටවල තාමත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒත් මොකක්ද මේ ගැන පර්යේෂණවලින් කියවෙන්නෙ?

    මිනිස්සු නිරුවත් සමක් දැකීමෙන් අතිශයින් උත්තේජනය වෙන බව ඇත්තක්. අපේ ඇස අනෙක් හැම රූපයක්ම පරදවලා නිරුවත් රූපය ඉක්මනින් අඳුරගන්නවා. හැබැයි නිරුවත් ගැහැණු රූපයක් දකින පිරිමින්ගේ ප්‍රචන්ඩකාරී හැසිරීම් අඩුවෙනවා. ඔවුන් සාමකාමී වෙනවා. ඒ ගොල්ලො ලිංගිකව උත්තේජනය වෙනවා තමයි.

    මේ උත්තේජනය ලිංගික ප්‍රකාශනය නැත්තං ඔරියන්ටේෂන් එක අනුවත් වෙනස් වෙනවා. කාන්තාවන් උත්තේජනය වෙන්නෙ යම් ලිංගික ක්‍රියාවක් දැකීමෙනුයි. නිකංම නිරුවත් රූපයක් ඔවුන් උත්තේජනය කරන්නෙ නෑ. සමලිංගික කාන්තාවන් පිරිමින්ටත් වඩා නිරුවත් කාන්තාවන් දැකීමෙන් උත්තේජනය වෙනවා. විෂම ලිංගික ගැහැණුන් පිරිමි ගැහැණු නිරුවත් දෙකෙන්ම උත්තේජනය ලබනවා.

    සැන්ෆ්‍රැන්සිස්කෝවල ප්‍රසිද්ධ නිරුවත සම්බන්ධ සංවාදයේදි මතුවුනු කාරණය තමයි ඉන්ඇඩ්වර්ටන්ට් විවර් නැත්තං අහම්බ ප්‍රේක්ෂකයා කියන එක. ඒ කියන්නෙ නොදැනුවත්ව මේ දර්ශනයට ලක්වෙන අයට හානියක් වෙනවා කියන අදහස. මේක තමයි ළමයින්ට අසභ්‍ය දර්ශන දකින්න ලැබීමෙන් වෙන හානිය කියල අපි නිතර අහන්නෙ. මේ ගැන කිසිම පර්යේෂණයක් නොකරපු කාලෙදි සම්මත සමාජයේ විශ්වාසය මත පිහිටා විද්‍යාවත් කියන්න ගත්තෙ ‍මේක දරුවන්ට භයානක තත්වයක් ඇතිකරන්න පුළුවන් කියල.

    ඒත් මේ සම්බන්ධයෙන් අවුරුදු 18ක් තිස්සෙ දරුවන් කුඩා අවධියේ පටන් නව යොවුන් වියට එළඹෙන තෙක් පර්යේෂණ සිද්ද කළා. දෙමව්පියන්ගේ නිරුවත දකිමින් වර්ධනය වෙන දරුවන් මේ අධ්‍යනයට පාත්‍ර වුනා. එතනදි පෙනුනෙ එමගින් කිසිදු ආකාරයක මානසික කම්පනයක් හෝ අහිතකර බලපෑමක් ඇති කරන්නෙ නෑ කියන එකයි.

    ඒ වෙනුවට මේ නිරුවත දැකීමෙන් ඇතිවෙන හොඳ ප්‍රතිඵල ගණනාවක් හෙලිදරව් වුනා. මේ දරුවන්ගේ ආත්ම විශ්වාසය ආත්ම සංයමය වර්ධනය වුනා. කායික සම්බන්ධතාවලදි ඒ අය වඩාත් සුවපහසු වුනා. ආදරය සම්බන්ධයෙන් වඩා පරිණත වුනා. පවුලේ සහ පවුලෙන් බාහිර සම්බන්ධතාවලදි ඒ අය කැපී පෙනෙන විදිහට යහපත් ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තා. නිරුවත දැකීමෙන් මනුස්ස ජීවිතය වඩා යහපත් කරන බවට පෙනී ගියා.

    මේ ආගමික නීති සීමා ආදිය මහා බයකින් කතා කරන්නෙ අනුරාගය හෙවත් සිඩක්ෂන් ගැනයි. ඒ අනුරාගය දරාගැනීමට තමන්ට තියෙන නොහැකියාව ගැනයි. ඇත්තටම මනුස්ස ජීවිතය වඩා රසවත් කරන්නෙ මේ අනුරාගී කලාපයන් විසිනුයි. හුදු ලිංගික ක්‍රියාවෙන් ඔබ්බට ගිහින් විවිධ ශරීර කොටස් හෝ ශරීරයෙන් බැහැර කොටස් උත්තේජන ලෙස ගනිමින් පිබිදෙන්න පුළුවන් වීම හොඳ දෙයක්. ඒක තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන පරිදි පාලනය කරගන්න පුළුවන් වීම ශිෂ්ටත්වයේ නැත්තං සංස්කෘතියේ වැදගත් පුහුණුවක්. ඒ අනුරාගය කලාත්මකව විවිධ ස්වරූපයන්ගෙන් බුක්ති විඳිමින් සංතර්පණය වීම දියුණු මානව සංස්කෘතියක ලක්ෂණයක්.

    ඒ වෙනුවට එයින් බියපත්ව අන්තර්ජාල, සිනමා, කලා සහ කාන්තා ශරීරය පවා වසා දමා, වාරණය කළ ජීවතයක් ගත කරන්න තීරණය කිරීම කියන්නෙ හරිහැටි සංස්කෘතික පරිණාමයක් නොලැබූ දුර්වල මිනිස් ප්‍රජාවක කරුමයක්.