Tag: nude

  • ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත

    ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත

    මලට නොඑන බඹරු චිත්‍රපටිය තියෙනවා යූටියුබ් එකේ. ලංකාවෙ ෆිල්ම්වලට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නං මේක බලන්න වටින ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය ලාංකේය ශෘංගාර සිනමාවෙ සුවිශේෂී සලකුනක්.

    යූටියුබ් එකෙන් මේ ෆිල්ම් එක බලලා අරුණ ගුණරත්නගේ ඩේලි ෆිල්ම් රිවීව් එකත් බැලුවා නං වැඩේ සම්පූර්ණයි.

    චිත්‍රපටියක් බලද්දි ඒ චිත්‍රපටියෙ අඩුපාඩු මොනවද කියල බලාගෙන ඉන්න එකෙන් ඒ සිනමාවෙ ආස්වාදය ලබන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඒ චිත්‍රපටකරුවා අලුතෙන් පෙන්නන්න හදන්නෙ මොනවද කියන එකයි නැරඹුම්කාමය උද්දීපනය කරන කවුළුවක් වෙන්නෙ. මට නම් නිර්භීතකම සහ අවංකබව කියන එකයි චිත්‍රපටයක ඇගයුම් මිම්ම වෙන්නෙ.

    මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ 1982දි. ඒ කාලෙ ලංගමේ වැඩ කරපු ෂෙල්ටන් පයාගල සහ චන්ද්‍රරත්න මාපිටිගම කියන දෙන්නා අතින් පළවෙනි වැඩේ විදිහටයි මේක හැදෙන්නෙ. චන්ද්‍රරත්න මාපිටිගම කියපු ගමන් මතක් වෙන්නෙ කීඨයා වෙන්න පුළුවන්. හැබැයි සුරබිදෙන වගේ අමුතු චිත්‍රපටිත් මාපිටිගම අතින් හැදුනා.

    පළමු වතාවට ලංකාවෙ සිනමාවෙ සමරිසි ආදරය තේමා කරගන්නෙ මේ වැඩේදි. ඒක කාලයේ හැටියට අතිශය නිර්භීත වැඩක්. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ සමරිසි සබඳතා කියන්නෙ මානසික රෝගයක්. ඉතින් ඒ වගේ තේමාවක් ගැන චිත්‍රපටියක් හදන එක වගේම ඒ වගේ චිත්‍රපටියක චරිත රඟපාන එකත් අභියෝගයක්.

    මේක සමරිසි ප්‍රේමය ගැන චිත්‍රපටියක් කිව්වට මේක ඇතුලෙ පී‍ඩොෆීලියා නැත්නම් කුමාරකාමය වගේ කතාවක් තමයි මතු වෙන්නෙ. ප්‍රධාන චරිතය වන සනී හාමු ආදරෙන් බැ‍දෙන්නෙ ඉස්කෝලෙ යන වයස යන්තම් පහුකරපු අනුර එක්ක. අනුරගෙ චරිතය කරන්නෙ මඩොල් දූවෙ ජින්නා විදිහට අපිට මුනගැහුනු අජිත් ජිනදාස.

    ඒ වගේම සනී හාමු මේ සමරිසි/ පී‍ඩෝෆයිල් ප්‍රේමයට ඇබ්බැහි වී තියෙන්නෙ ඒ හාමු බලාගන්න හිටපු තවත් වැඩිඑිටියෙකුගේ අතවරයකින් වග කියවෙනවා. පාසැල් වයසේ කොල්ලන් දඩයම් කරන වයස්ගත පිරිමින්ගෙ සංස්කෘතියකුත් පසුබිමෙන් ගෙතෙනවා. මේ නිසා මේ චිත්‍රපටය සමරිසි ප්‍රේමයකට වඩා තවත් ආන්දෝලනාත්මක ශෘංගාර කලාපයකට දැන හෝ නොදැන අතගහනවා. පීඩ‍ෝෆීලියා ගැන චිත්‍රපටයක් අසූ ගනං වල හදන්නත් එහිදී ඒ පී‍ඩෝෆීලියා මානසිකත්වය ගැන යම් හෝ මානුෂීය බැල්මක් හෙලන්නත් නිර්මාණයක් ඇතුලෙ වෑයම් කරනවා කියන්නෙ සියදිවි නසාගැනීමක් වගේ තත්වයක්. ඒත් අසූ ගනංවල ලංකාවෙ ලිංගික සහ ශෘංගාර සංස්කෘතියෙ අදට වඩා නිදහසක් තිබුන. එදා රටේ වැඩිහිටියො හිටියා. හාමුදුරුවරු පන්සල්වල හිටියා.

    මේ වයස්ගත සනී හාමු කියන්නෙ ගරා වැටෙන වලව් පරම්පරාවක අවසාන පුරුක. එයා විවාහ වෙලා ඉන්නෙ සරාගී ස්ටෙලා එක්ක. ස්ටෙලා ඒ වත්තෙම වැඩ කරන තවත් තරුණයෙක් එක්ක ලිංගික සබඳතා පවත්වනවා. ඇය හේතුවක් නැතුවත් නිතරම කාමයෙන් උමතු වෙලයි ඉන්නෙ.

    මේ අනුරාගය ප්‍රදර්ශනය කරන විදිහත් මරු. හෝස් පයිප්පයකින් පිරිමි කකුල් ‍තෙමාගෙන ටිකෙන් ටික උඩට විදින වතුර පාරක් ඇගේ ආශාව කියනවා. ලංකාවෙ චිත්‍රපටි අතර පිරිමි ශරීරයේ අනුරාගය ඉතාම හොඳින් ඉස්මතු කරන රූපරාමු සිනමාවට එකතු වෙනවා.

    ඇත්තටම මේ චිත්‍රපටය ඇතුලෙ අපි දකින සියලු සම්බන්ධතා බලය ඇතුලෙ සිද්ද වෙන බලහත්කාරකම්. සනී හාමු අනුරට කරන ආදරය වගේම ස්ටෙලා කඩවසම් තරුණයාට කරන ආදරයත් සිද්ද වෙන්නෙ ප්‍රතික්ෂේප කරන්න බැරි බල සම්බන්ධතා ඇතුලෙ. ඒ අර්ථයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නිදහස් ආදරයට වඩා වැඩවසම් යටත් වීම් විදිහට.

    අපිට නිතර පසුබිමෙන් පල්ලියේ දේව ගීතිකා සංගීතය විදිහට ඇහෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ කැමැත්තට විරුද්ධව හඹා යන පිරිමි ආශාවේ වරදකාරී බව, අඳුර තමයි චිත්‍රපටයේ ගමන වෙන්නෙ.

    චිත්‍රපටිය යතාර්ථවාදී රීතියෙන් බැහැරව ගූඪ අඳුරු මනෝභාවයන් තුල ගැවසෙන සිහිනමය ස්වභාවයක් ගන්නවා. හැම රංගනයක්ම වගේ ඕවර් ඩ්‍රැමටික්. මේ රංගනය වෙනුවෙන් ජෝ අබේවික්‍රම නැවත නැවත සම්මානයට පාත්‍ර වෙනවා. ඒත් මගේ අදහස නම් ජෝගේ රංගනය මේකෙ ගොඩක් දුර්වලයි කියන එකයි. මේ සමරිසි ආත්මය පිළිබඳ නොදැනුවත් බව නිසාමත් පිටපතෙන් එවන් කිසිම පදනමක් ලබා නොදීම නිසාත් ජෝ කරන්නෙ නිකං ගැඹුරු ඉරියව් මවාගෙන බලන් ඉන්න එක විතරයි.

    මේ වගේම පිටපතේ අසාධාරණයට ලක්වුනු තවත් චරිතයක් තමයි ස්ටෙලා. එයා කරන්නෙ නිතර හිස්ටරික විදිහට හිනාවෙන එන විතරයි. හුදු පිරිමියෙකුගේ පහස ‍නොලැබීම හැරුනු කොට ඒ චරිතයට පිටපත ඇතුලෙ වෙන කිසිදු මිනිස් අවකාශයක් ලබා දීලා නෑ. ඇය අපිට හිස් උමතු ගැහැණියක් විදිහට දිගටම මුනගැහෙනවා.

    නමුත් ෂෙල්ටන් පයාගලගේ මේ ගූඨ සිනමා භාවිතාව ඇතුලෙ අවශ්‍ය අඳුරු නාටකීය බව මතු කරගන්න ඒ ප්‍රමාණවත්. ඒක ජීවිතය තුල සිද්ද වෙන දේකට වඩා මනස් තිරය මත දකින පරාවර්තන විදිහටයි මුනගැහෙන්නෙ. ෂෙල්ටන්ගෙ මේ ෆ්‍රොයිඩීයානු අඳුරු ලිංගික මනෝභාවයන් තුල හැසිරෙන සිනමාව මෙතනින් ආරම්භ වෙලා ගොළුමුහුදේ කුණාටුව වගේ චිත්‍රපට ඇතුලෙ වඩාත් බිහිසුණුව මුනගැහෙනවා.

    චිත්‍රපටයේ කැමරාව ඉතාම සුවිශේෂයි. ඒක සාර්ථකයි කියනවට වඩා ඒ විසින් සළකුනු කරන විශේෂතාවයක් තියෙනවා එකයි නිවැරදි. ඒ කැමරාව කිසිම වෙලාවක පරිපූර්ණ රූපයක් අපිට හසුකරලා දෙන්නෙ නෑ. ඒ වෙනුවට කොහේ හෝ අන්තයකින් පටන් අරගෙන ඒ රූප රාමුව තුලම ක්‍රමයෙන් දේවල් අනාවරණය කිරීමක් තමයි දකින්න තියෙන්නෙ. ඒ හින්ද හැමතිස්සෙම අපි ඊළගට දකින දේ ගැන කුතුහලයකින් ආශාවකින් කැමරාව හඹා යනවා.

    ඒ වගේම දුර රූප රාමු ඇත්තෙම නැති තරම්. මධ්‍යම සහ සමීප රූප රාමුවලින් තමයි කතාව කියන්නෙ. මේක පුද්ගලයා ‍කේන්ද්‍ර වූ කතාවක් බවත්, එය පිටතට වඩා ඇතුලතට යොමුවුනු කතාවක් බවත් ඒ කැමරාවෙන් කියවෙනවා.

    මේක හිතා මතා දැඩිවම කරන්න යාම නිසා චිත්‍රපටිය ඇතුලෙ ලොකු වෙහෙසක් නරඹන්නාට දැනෙනවා. තියරියක් විදිහට කොයිතරම් මේ භාවිතාව හොඳ වුනත් ඒක තිරයක් ඉදිරියේ නරඹන ප්‍රේක්ෂකයාගේ මනස උවමනාවට වඩා මහන්සි කිරීමක් වෙනවා.

    ලාල් පියසේන අතින්සංස්කරණය සිද්ද වෙන්නෙ මේ කතාවෙ ගූඪත්වයට ගැලපෙන විදිහටයි. කතාව සමාන්තර විදිහටයි ඡේදනය වෙන්නෙ. ඒක සරල රේඛීය ගමනක් නෙමෙයි. නිතරම මතකයන් ආවර්ජනයන් මතින් ඉස්සරහට පස්සට යන ගමනක්. කැපෙන්නෙත් අමුතු විදිහට, සමහර විට අපිව හොල්මන් කරමින්.

    එක දර්ශනයක සනී රාගයෙන් මුසපත්ව අනුරගේ පිට සිගරට්ටුවකින් පුච්චනවා අපි දකිනවා. නමුත් ඇත්තටම සිදුවෙමින් තියෙන්නෙ සනී වේදනාවෙන් මුසපත්ව අනුරගේ පිංතූරයක් සිගරට්ටුවකින් පිලිස්සීම.

    ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත් දර්ශනය ඇතුලත් වෙන්නෙ මලට නොඑන බඹරු චිත්‍රපටියෙ. ඊට කලින් කිසිම චිත්‍රපටයක නොතිබුනු ආකාරයෙන් පියයුරු අනාවරණය වන දර්ශනයක් මේ දෙපල සිනමාවට එකතු කරනවා.

    සමරිසි ප්‍රේමයට අමතරව ඊට සමාන්තරව අනියම් ප්‍රේමයන් ගැනත් චිත්‍රපටයෙ දිගහැරෙනවා. ඒ කාලෙ තිබුනු දැනීමේ හැටියට සමරිසිභාවය යනු මානසික රෝගී තත්වයක් යන ඇසින් චිත්‍රපටය නිර්මාණය වුනා කියල පේනවා. ඒ වගේම යම් කෙනෙකුට කුඩා කාලයේ සිදුවන අතවරයකින් මේ තත්වය ඇතිවෙනවා වගේ අපරිණත නිගමනයකුත් මේ හරහා මතු වෙනවා. හුලගෙන් ඒඩ්ස් බෝවෙනවා කියල අද කාලෙත් විශ්වාස කරන රටක ඒ කාලෙ හැටියට ඇත්තටම සමරිසිභාවය මානුෂිකත්වයකින් සැලකීම වුනත් අගය කල යුතු තත්වයක්.

    මේ චිත්‍රපටයේ මං ආසම දර්ශනය ස්ටෙලාව බාත්ටබ් එකේ මරාදැමීමේ දර්ශනය. ඒක එක්තරා ආකාරයකින් ‘කකෝල්ඩින්’ ස්වභාවයක් මතු කරන දර්ශනයක්. වෙන කෙනෙක් සමග තමන්ගේ බිරිඳ රමණය කරනු දැකීමෙන් ඇති වුනු අනුරාගයෙන් ඇය හා රති ක්‍රියාවකට එළඹෙන ස්වරූපයක් එතන තියෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට එය පුරුෂ ඊර්ශ්‍යාව මත පදනම් මිනිමැරුමක් බවට පත්වෙනවා. ඒ රූපරාමු කැමරාවට ග්‍රහණය කරගෙන තියෙන හැටි පංකාදුයි. සුවිනීතා වීරසිංහගේ පාද සමග සනීගේ ආශාව, වේදනාව පොරබදන රූප පෙලක් එතනදි නිර්මාණය වෙනවා. බාත් ටබ් නිසාදෝ හිච්කොක්ගෙ සයිකො චිත්‍රපටයත් මතක් වෙනවා.

    මලට නොඑන බඹරු කියන්නෙ ලංකාවෙ මෙතුවක් සිනමාවෙ සාකච්ඡාවට බඳුන් නොකළ ශෘංගාර කලාපයන් විසල් තිරය මතට ගෙන ආපු විප්ලවීය වෑයමක්. අවිද්‍යාත්මක පදනමකින් ඊට මුහු කළ මනෝ ව්‍යාධිමය ස්වරූපය පැත්තකින් තිබ්බම මේ සිනමාව ඇතුලෙන් මේ දෙපල ඇතුල්වෙන්න උත්සාහ දරන මනෝ ලිංගික කලාපය විස්මිත එකක්.

    ඊට පස්සෙ තුන්වෙනි යාමය විසින් මේ මනෝ ලිංගික සිනමාව තවත් ඉදිරි පියවරකට අරගෙන යනවා.

  • සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ

    සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ

    උදයකාන්ත වර්ණසූරිය ආපහු වැඩිහිටි සිනමාවට ඇවිත්. උදයකාන්ත කියන්නෙ අපේ සිනමාවෙ අමුතු වැඩකාරයෙක්. ගිනිඅවි සහ ගිනිකෙලි, බහුබාර්යා, රාජ්‍ය ‍සේවය පිනිසයි වගේ සිරාම ෆිල්ම් හදපු පොරක්. ඒ වගේම හිරිපොද වැස්ස, රෝස වසන්තය, ආසයි මං පියාඹන්න වගේ රොමැන්ටික් කොමර්ෂල් වැඩත් කරපු, යකඩ පිහාටු වගේ ඉතා හොඳ මට්ටමේ කොපිත් කරපු බඩුවක්. කොස්තාපල් පුන්‍යසෝම, බහුබූතයෝ හරියට එනකොට උදයකාන්තට අහුවෙනවා ලංකා‍වට වැඩකරන ලෝබජට් තියරියක්. උදයකාන්ත ස්වයං රැකියාවක් විදිහට චිත්‍රපටි හදන්න පටන් ගන්නවා. පොඩි ප්‍රොඩක්ෂන් ටීම් එකක් එක්ක, නැගලා යයි කියල හිතෙන ඕන විදිහක ප්ලොට් එකක් ගහලා බලන්න එයා පෙළඹෙනවා. ඒ වගේම ඒවායින් සාර්ථකත් වෙනවා.

    ඉතිං අපිට සෞන්දර්යාත්මක අර්ථවලින් මොන විවේචන තිබුණත් උදයකාන්තගේ සිනමාව ෆේල් නෑ. තාමත් ජරාවක් කළත් ඒකෙ මොකක් හරි කොලිටියක් තියෙනවා.

    උදයකාන්ත තමන්ගෙ ෆිල්ම් ගේම් එක ගැහුවෙ සිනමාව ඇතුලෙ. රජකතා බණකතා වගේ පොලිටිකලි පුම්බපු මාර්කට්වලට එයා ෆිල්ම් ගැහුවෙ නෑ. ඒක නිසාම එයා චිත්‍රපටි කලේ ඇත්තට පවතින සිනමා ප්‍රේක්ෂාගාරයකට. කෘතිමව ක්‍රියේට් කරපු එකකට නෙමෙයි.

    බහුබාර්යා කියන්නෙ මං උදයකාන්තගේ ඉතා කැමති චිත්‍රපටයක්. අනූ ගනංවල ඇඟ සීතල කරපු ශෘංගාරයක්. සංගීතා වීරරත්නගේ අනුරාගී රංගනයත්, උදයකාන්තගේ වැඩිහිටි සිනමාවත් එතනින් ඉවර වුනා. ඊට පස්සෙ වෙන වෙන ජොන්රා ගානක වැඩ කරලා එයා දැන් ආයිමත් ඇවිත් ඉන්නවා ඉරොටික් ත්‍රිලර්ස් වලට.

    උදයකාන්ත වර්ණසූරියත්, සෝමරත්න දිසානායකත් දෙන්නම තමන්ගේ වැඩිහිටි තේමා රැගත් චිත්‍රපට නිකුත් කරන්න තීරණය කිරීම මට අනුව ලාංකේය ප්‍රේක්ෂාගාරය කොටහළු වුනා කියන එකට හැඟවුමක්. සෝමරත්න කියන්නෙ ළමා චිත්‍රපටවලින් පටන් අරගෙන දේශපාලනිකව පුම්බපු සිනමාවෙ ඒ අතට මේ අතට පීනපීන හිටපු කෙනෙක්. ජාතියම පුළුවන් තරම් කාලයක් ළමා මානසිකත්වයක තියාගන්න සෝමරත්න තමන්ගේ නිර්මාණ හරහා උත්සාහ කළා කියලයි මං හිතන්නෙ. ඒත් අවසානයේ එයාටත් සිද්ද වෙලා තියෙනවා වැඩිහිටි වෙන්න.

    සෝමරත්න දිසානායකගේ ජංගි හොරා ගැන පස්සෙ ලියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වෙද්දි ජංගි හොරා කියන නමවත් කොතනකවත් කියන්නෙ නෑ. පිටින් වාරණයක්ද නැත්තං ස්වයං වාරණයක්ද කියල දන්නෙ නෑ. කොහොම හරි මේ වෙද්දි ඒක අන්ඩර්පෑන්ට් තීෆ් වෙලා.

    මේ සටහන උදයකාන්ත වර්ණසූරියගේ ගිනිමල් පොකුරු ගැන. ඒ ෆිල්ම් එකට ප්‍රචාරක උපක්‍රමය වුනේ චුලක්ෂිගේ ලීක් එකක් විදිහට ෆිල්ම් එකේ කෑල්ලක් එලියට දාන එක. ඒක අතිසාර්ථක මෙහෙයුමක්. සහ චුලක්ෂි කියන්නෙ වැඩේට නිවැරදිම තෝරාගැනීම. ගිනිමල් පොකුරු ෆිල්ම් එක කියන්නෙම චුලක්ෂි.

    මුලින්ම මේ ෆිල්ම් එක බලන්න අපේ අම්මයි තාත්තයි ගියා.

    ‘පුතේ උදයකාන්ත වර්ණසූරියගෙ අලුත් ෆිල්ම් එක හොඳයි වගේ නේද? අපි බලන්න යන්න ඉන්නෙ’

    අම්මයි තාත්තයි දෙන්නම හතරපෝයට සිල්ගන්න, කුසල් වඩන අය. ඒ හින්ද ගිනිමල් පොකුරු කියන්නෙ ඉරොටික් ෆිල්ම් එකක් කියල අනතුරු ඇඟවීමක් කරන්න හිතුනත් බැලුවට පස්සෙ එන කම්පනය රසවිඳීමේ කාලකණ්ණි සතුට වෙනුවෙන් මං ඒක නොකර හිටියා.

    ‘ආහ් ඔව් අම්මෙ, මාත් තාම බැලුවෙ නෑ. බලන්න ඉන්නෙ’
    දවස් කීපෙකට පස්සෙ දෙන්නම ගිහින් ෆිල්ම් එක බැලුවා.

    කොහොමද අම්මෙ ෆිල්ම් එක?

    ‘ඉතාම හොඳයි පුතා. සමාජයට හොඳ පණිවුඩයක් දෙනවා. ඇත්තම කතාවකිංනෙ කරලා තියෙන්නෙ. ඔහොම දේවල් කොච්චර වෙනවද. පොලිස්කාර‍යො කොයිතරම් කරදරේ වැටුන ගෑනුන්ව තවත් අමාරුවල දානවද? ටිකක් සෙක්ස් සීන් නං වැඩියි. හැබැයි ඒ කතාවට ගැලපෙන විදිහට, මේ සමාජෙ ඇත්තට වෙන දේ පෙන්නන්නයි ඒවා පාවිච්චි කරලා තියෙන්නෙ. මං මගේ යාළුවන්ටත් කතා කරලා රෙකමන්ඩ් කළා.’

    මගේ වයර් මාරු වුනා. ඒ ෆිල්ම් එක සාම්ප්‍රදායික මහා සමාජයට යන්නෙ ඒ විදිහට. වල් ෆිල්ම් එකක් වුනත් හොඳ පණිවුඩයක් දෙන එකයි වැදගත්. එතකොට වල් ටික ගන්න එන අපි වගේ උන් වල් ටික බලනවා. අනිත් අය හොඳ ටික අරගෙන යනවා. අපි කරන ෆිල්ම්වල තියෙන ලොකුම අවුල ඔය පණිවුඩය නැති එක.

    උදයකාන්ත පළවෙනි ඇණය සාර්ථකව ගහනවා. රාගය මුසු වූ සමාජ පණිවුඩයක් දෙන කතාවක්. මේක මං හිතන්නෙ ලංකාව වගේ රටක ශෘංගාර සිනමාවෙදි වැදගත් කාරණයක්. ප්‍රේක්ෂකයාට තමන් වල් ෆිල්ම් එකක් බැලුවා කියන ගිල්ටිය නොදෙන එක. ඇගේ වෛරය ෆිල්ම් එක ආවෙත් කාන්තා විමුක්තියේ දෝංකාරය කියල.

    අම්මාගේ අනපේක්ෂිත ප්‍රතිචාරය මගේ උනන්දුව වැඩි කළා. මාත් පීවීආර් එකේ ෆිල්ම් එක බලන්න ගියා.

    ෆිල්ම් එක පටන් ගන්න කලින් ‘කෝල්ඩ් ඕපන්’ එකක්, අනංමනං මොකුත් නෑ. අමුවෙන්ම ටයිට්ල් එක වැටෙනවා. එතනින් ෆිල්ම් එකට. අසූ ගනංවල රූපරාමු වලින් තමයි කතාව කියන්නෙ. කලාත්මක රූපරාමු, සංස්කරණ මොකුත් නෑ. කතාවම විතරයි.

    මට හිතෙන්නෙ මේ ෆිල්ම් එක ටාර්ගට් කරන්නෙ කාවද කියන අදහස නැතුව ෆිල්ම් එක කියවන එක තේරුමක් නෑ. පැහැදිලිවම ඒකෙ ඕඩයන්ස් එක ‘මාස්’. සිනමා සාක්ෂරතාවයක් ඇති අය නෙමෙයි කොහොමවත්ම. කොයිතරම් පර්වර්ට් කතාවක් උදයකාන්ත විසින් හොඳ පණිවුඩ දවටනයක ඔතලා දෙනවද කියන එකයි මාව චූන් කරපු කාරණය.

    ගිනිමල් පොකුරු ෆිල්ම් එක දුවන්නෙ ගෑණු තුන්දෙනෙක් උඩ. කතාවෙ ප්‍රධාන නළුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට එන්ට්‍රන්ස් එක හදන, දූෂනයට ලක්වෙන ස්ත්‍රිය. ඊළඟට චුලක්ෂි. අනිත් කෙනා චුලක්ෂිගෙ නංගි. මේ ගැහැණු තුන්දෙනාව ශෘංගාරකරණය (ඕන නං ඔබ්ජෙක්ටිෆයින්ග් කියලත් කියන්න පුළුවන්) කිරීම තමයි චිත්‍රපටියේ කේන්ද්‍රීය කාරණය.

    මේක බලලා තමන්ගෙ අදහස් ලියපු කීපදෙනෙක්ම මේකෙ සෙක්ස් නෑ වගේ ඒවා කියල තියෙනවා මං දක්කා. ඒත් මට අනුව නම් ගිනිමල් පොකුරු ඉතාම සරාගී චිත්‍රපටයක්. වෙන විදිමකින් කිව්වොත් ඒක තනිකරම සෙක්ස්. සෙක්ස් කියන්නෙ නිරුවත ප්‍රදර්ශනය කිරීම නෙමෙයි. සෙක්ස් කියන්නෙ මූඩ් එක, තේමාව, කතාව සහ රූප රාමු කැරකෙන කේන්ද්‍රය. ඇත්තටම නිරුවත පෙන්නීමට වඩා නිරුවත නොපෙන්නීමයි ඉරොතික වෙන්නෙ. නිරුවත දකින මොහොතෙම ප්‍රේක්ෂකයාගේ ආශාව කූටප්‍රාප්තවෙලා ඉවර වෙනවා. ඉරොතික චිත්‍රපටයක තියෙන වැදගත්ම කාරණය ඒ ශෘංගාරය අවසානය දක්වා අරගෙන යන්නෙ කොහොමද කියන එකයි. උදයකාන්ත අර ගැහැණු ශරීර තුන මතින් ආස්වාදය කතාව පුරාම පවත්වාගන්නවා.

    මේ කතාව හරියට ගත්තොත් රේප් සීන් තුනක්. පළවෙනි එක ගැන්ග් රේප් එකක්. දෙවෙනි එක තමන්ගේ බලය, තත්වය පාවිච්චි කරලා කරන රේප් එකක්. තුන්වෙනි එක මනෝ ව්‍යාධියකින් පෙළෙන කෙනෙක් රේප් කරන්න උත්සාහ කිරීමක්.

    රේප් එකක් රෑපයට නගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඒ රූප හරහා අපිට ඒ රියල් එක අත්විඳින්න සැලැස්වීම. ඉරෙවර්සිබල් වගේ ෆිල්ම් එකකදි කරන්නෙ ඒක. එතකොට අපේ කාමය ලොප් වෙනවා. අනුරාගය ලෙෆ්ට් වෙනවා. අනිත් විදිහ තමයි රේප් එක පුළුවන් තරම් රියල් එකෙන් ඈත් කිරීම. පෝර්න්වලදි කරන්නෙ ඒක. එතනදි රඟපෑම දුර්වල වීම, ඒ චරිතයේ හැඟීම් මතු නොකිරීම, බිහිසුණු බව මගහැරීම වගේ තාක්ෂණයන් වැඩකරනවා. ඒ අතර අඟපසඟ අනුරාගීව පෙන්නීම, ආශාව ගොඩනැගීම හරහා අපිට ඇගේ අකමැත්ත පවා ශෘංගාරයට පෙරලන්න පුළුවන්. උදයකාන්ත අනුගමනය කරන්නෙ මේ දෙවෙනි පිළිවෙත.

    කතාව පටන්ගනිද්දි මිනිහෙක් මරාදමන රිය අනතුරට කතාව ඇතුලෙදි ලැබෙන සැලකිල්ලම මේ එළඹුම සනාථ කරනවා.

    ගිනිමල් පොකුරු කියන්නෙ රේප් තුනක් තිබ්බත් රේප් තුනම ඉතාම තෘප්තිමත් හැඟීමකින් නිමා කරන චිත්‍රපටයක්. හැපි එන්ඩින්ග් එකක්. පළවෙනි රේප් එක කරන මෝටිවේෂනල් අප්පච්චි ඇතුලු පිරිස පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. එතනදි වීරයා බවට පත්වෙන පොලිස් නිලධාරියා අතින් තමයි කතාවෙ මූලිකම පරිශ්‍රය වන දෙවෙනි රේප් එක වෙන්නෙ. මානසිකව රෝගී නැගෙණිය ගොදුරු වෙන්න යන තුන්වෙනි රේප් එකේදි ඒ දුෂ්ටයා බවට පත්වුනු නිලධාරියා කතුරු පාරක් කනවා. කොහොම හරි ප්‍රේමය දිනනවා, යුක්තිය ජයගන්නවා (වාහනේ හැපිලා මැරුනු මිනිහට හැර)

    ෆිල්ම් එක කරද්දි උදයකාන්ත තමන්ගේ ඕඩියන්ස් එක ගැන පට්ට දැනුවත්. වාහනේ පදවන අතරෙ ඇතුලත සීන් key කරලා තියෙන හැටි අජූතයි. ඒ මදිවට වීදුරුවෙන් එලියෙ පේන දේයි පැති කන්නාඩියෙන් පේන දේයි ෆුල් මඤ්ඤං. ඒත් උදයකාන්ත දන්නවා තමන්ගෙ ප්‍රේක්ෂකයා බලන් ඉන්නෙ ඔය මොකක්වත් දිහා නෙමෙයි චුලක්ෂි දිහා විතරමයි කියල.

    රංගනය පැත්තෙන් කතා කරන්න දෙයක් තියෙන්නෙ ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ විතරයි. මං මීට කලින් දැකලා නැති නළුවෙක් වුනත් පොලිස් නිලධාරියාගෙ චරිතය ඉසුරු හොඳට දැනෙන්න කරනවා. ඒ වගේම හින්දි සිනමාවෙ විතරක් දැකලා තියෙන කෙල්ලො මැරෙන්න හදන හැන්ඩි පොලිස්කාරයා ලංකාවෙ සිනමාවටත් ගේනවා.

    රංගනය දුර්වල වීම ඇතුලෙ අනුරාගය වැඩියෙන් මතුවෙනවා කියල මට හිතෙනවා. එතකොට අපිට ඒ අයව මිනිස්සු විදිහට දැනෙනවට වඩා අපේ අනුරාගයේ වස්තු විදිහට දකින්න ඉඩ වැඩියි. ඔබ්ජෙක්ටිෆයි කරනවා කියන්නෙ ඕකට. ෆිල්ම් එක පුරාම චුලක්ෂි කියන අනුරාගී වස්තුව අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ විදිහට පාවිච්චි කරනවා.

    සමහර තැනක රූප සහ ශබ්ද අතිපිහිත කිරීම්වලින් අපේ හිත ඇතුලෙ වල්කම මවන්න ගන්න උත්සාහයත් ආතල්. චුලක්ෂි තුවාය කඩලා දානකොටම අපි දකින්නෙ ඉසුරුගෙ මූන. හැබැයි අපිට දැනෙන්නෙ චුලක්ෂි තුවාය කඩලා දැම්මම තමයි කියල. තව තැනක ‘මට ඇති’ කියන්නෙ බත්. ඒත් ඒක කැපෙන්නෙ සෙක්ස් එක්ක. මේ වගේ අමුතු තැන්වල උදයකාන්ත සෙල්ලං කරනවා. එක තැනකදි නංගි ගැන පොලිස් නිලධාරියාගේ ආශාව වඩවන ජනෙල් රෙදි නැටුමක් තියෙනවා. ඒ කාමෝද්දීපනය කරන ජනෙල් රෙදි පැටලුම උදයකාන්තගේ විශ්වයකම සිද්ද වෙන්න පුළුවන් දෙයක් විතරයි.

    චිත්‍රපටයෙ ගිනිමල වෙන්නෙ චුලක්ෂි. චුලක්ෂිගේ වඩාත්ම අනුරාගී කලාපය වෙන්නෙ එයාගෙ තොල් කියලයි මං හිතන්නෙ. ඒ දෙතොල් කාමාතුරව සිපගැනීමම ආශා අවුළුවන දසුනක්. නිතර දකින, සිපගන්න පතන ඒ දෙතොල් කාමාතුර පොලිස්කාරයෙකුට අවනත වෙනවා දැකීම ප්‍රේක්ෂකයා උන්මාද කරවන්නක් බව අධ්‍යක්ෂ දන්නවා.

    චුලක්ෂි පොලිස් නිලධාරියාගේ සිතැඟිවලට ඉඩදීමේ අවස්ථාවෙදි , උදයකාන්ත රේප් පෝර්න්වල ඉතා සුලබව දකින, මුලින් අකමැතිව පස්සෙ කැමති වීමේ ප්‍රපංචය ගේනවා. එක විදිහකට ඒක ස්ත්‍රී මනෝභාවයේ යතාර්ථයකුත් කියන්න පුළුවන්. කාන්තාවකගේ මනසට අවශ්‍ය දේ සහ ශරීරය ප්‍රකාශමාන කරන දේ අතර පරතරය මේකට හේතු වෙනවා. පොලිස් නිලධාරියා සමග සිද්ද වෙන ලිංගික එක්වීම ස්ත්‍රී දූෂණයක් වෙන්නෙ ඒ හින්දයි. ඒක කැමැත්තකට වඩා යටත්වීමක්.

    ඒ වගේම මානසික අසමතුලිතතාවකින් පෙළෙන සරාගී නැගෙණිය පිළිබඳ පර්වර්ට් ආශාවත් චිත්‍රපටිය ඇතුලෙ ඇවිලෙනවා. ගැන්ග් රේප්, ෆෙටිෂ් ඔක්කොම මැද්දෙන් තමයි ගිනිමල් පොකුරු පිපෙන්නෙ.

    මේ චරිතය බය නැතුව බාරගැනීම ගැන චුලක්ෂිට මගේ ගෞරවය හිමිවෙනවා. ඒ වගේම සහෝදරියගේ චරිතය කරන දිල්රුෆා ෂානාස්ගෙත් නිර්භීතබව අගය කරන්න ඕන. ලංකාව වගේ රටක වැඩිහිටි චිත්‍රපටයක රඟපානවා කියන්නෙ ලොකු අභියෝගයක්.

    ලිංගික දර්ශන රූගත කරද්දි උදයකාන්ත අනුගමනය කරන්නෙ මල්ලු චිත්‍රපට සම්ප්‍රදාය. මිරිකෙන අත්, පැටලෙන කකුල්, හැපෙන තොල්පෙති, වැහෙන ඇසිපිය වගේ දේවල් කැමරාවට හසුකර ගන්න එක. නිතරම ඇඟ වටා එතුනු කොහොමවත් නොගැලවෙන රෙද්දක් තියෙනවා. ඒක සිනමාවක් විදිහට ගොඩනැගුනු, අපිට හුරු ශෘංගාර රසයක්.

    මං කලින් කිව්වා වගේ ස්ත්‍රී ශරීර තුනක අනුරාගය උඩ දුවන කතාව මට තාම තේරුම්ගන්න බැරි විදිහට හතරවෙනි වස්තුවක් වටෙත් කැරකෙනවා. ඒ තමයි අනතුර සිදුකරන ජීප් එක. මේ ජීප් එක නිදහස් කරගන්න කියල ඉං‍ජිනේරුවෙක් වන චරිත් අබේසිංහ හෙන මොංගල් පාර්ට් එකක් දානවා. මට හිතෙන්නෙ ජීප් එක අදාල වෙන්නෙ ෆිල්ම් එක අවශ්‍ය තරමට දික්කරගන්නයි. පැය දෙකකටවත් වැඩි නැත්තං ලංකාවෙ හෝල්වල ෆිල්ම් දුවන්න බෑ.

    වැදගත්ම දේ මේ අතිබිහිසුණු ස්ත්‍රී දූෂණ පිරුනු කතාවක් වුනත් අවසානය ඉතාම සාමකාමී වීම. සියල්ල සතුටින් විස‍දෙනවා. ජෝඩුව බැඳලා කවදාවත් ලංකාවෙ එයාර්පෝර්ට් එකක බාන්නෙ නැති ෆ්ලයිට් එකක රට යනවා. පොලිස් නිලධාරියාට අලුත් දඩයමක් හම්බුවෙනවා.
    අර මානසිකව දුර්වල නංගිව මඩමකට දානවා.

    රට ගැන, කොළඹ ගැන, පවුල් සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා ගැන අපේ ප්‍රායෝගික දැනීම මේ ෆිල්ම් එක බලද්දි අමතක කරන්න වෙනවා. ඒ තිරය උඩ පිලිගන්වන යතාර්ථය සද්දෙ වහලා බාරගන්න වෙනවා. මේ ශෘංගාරාත්මක සමාජ පණිවුඩය විඳින්න කෙනෙකුට ලැබෙන්නෙ එතකොටයි.

    ගිනිමල් පොකුරු බලලා එද්දි මට අදහසක් ආවා. ඒ අනිවාර්යෙන්ම ගිනිමල් පොකුරු 2 කරන්න ඕන කියන එක. ඒ කතාව අර මඩමට ගිය නංගිගෙ. ඒ අනුරාගී උමතු කෙල්ල දවසක එලියට එන්නෙ සීරියල් කිලර් කෙනෙක් විදිහට. පිරිමි එක්ක යහන්ගත වෙලා ඒ අයව කතුරෙන් ඇනලා මරන කාමාධික කෙල්ලෙකුගේ කතාවක් ඒක.

    මට පුළුවන් ලියලා දෙන්න. හැබැයි එ්ක ඩිරෙක්ට් කරන්න ඕන උදයකාන්තමයි. මොකද මේ දෙන ආතල් දෙන්න මට නං කීයටවත් බෑ.


    චින්තන ධර්මදාස