Tag: romance

  • තුරුල් වෙන්න….

    තුරුල් වෙන්න….

    දෙන්නෙක් අතර සම්බන්ධයක් දිග කාලයක් හොඳට පවත්වාගෙන යනවා කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම දීර්ඝ කාලයක් හොඳ ලිංගික සම්බන්ධතාවයකුත් එක්ක දෙන්නෙක් ජීවත්වෙනවා කියන්නෙ ඊටත් වඩා අමාරු වැඩක්. කාලයත් එක්ක සම්බන්ධතාවය පරණ වෙන්න ගනිද්දි රොමාන්තික ආදරයේ උත්කර්ෂය අඩු වෙන්න පටන් ගන්නවා. අපි වෙන වෙන දේවල් එක්ක කාර්යබහුල වෙනවා. සම්බන්ධතාවය ඇතුලෙ දේවල් චාරිත්‍ර වගේ වෙනවා. හැඟීමෙන් තොර වෙනවා.

    මෙතනදි සෙක්ස් කියන එක ඊටත් වඩා වෙනස් කතාවක්. සෙක්ස්වල ආශාව තියෙන්නෙම අලුත්බව නැත්තං කුතුහලය එක්ක. කාලයත් එක්ක ගතවෙන සම්බන්ධයක ඒ සෙක්ස් ගැන උනන්දුව අඩුවෙන එක ස්වභාවිකයි. මේ ගැන එමිලි නගොස්කි කියන ලිංගික උපදේශිකාව විස්තර කරනවා.

    එයා කියන විදිහට කාලයත් එක්ක අමතක නොවෙන අනුරාගී සම්බන්ධයක රහස තියෙන්නෙ සෙක්ස්වල නෙමෙයි. සෙක්සි නෑ කියල හිතෙන මිත්‍රත්වය, තුරුල් වීම, විශ්වාසය, මූලිකත්වය දීම වගේ කාරණාවලින් තමයි සම්බන්ධයක් අනුරාගී කරන්නෙ.

    අපි නිතර හිතන්නෙ සෙක්ස් කරන වාර ගණන හෝ ඒකෙ යෙදෙන ඇඩ්වෙන්චරීය ගතිය සම්බන්ධයක පැවැත්ම තීරණය කරනවා කියල. ඒත් දීර්ඝ කාලීන සම්බන්ධයකදි ඔය කාරණා ඒ තරම් අදාල වෙන්නෙ නෑ. ජීවිතේ ගතවෙනවත් එක්ක අපි බිසී වෙනවා. අපේ සම්බන්ධතාවෙ ස්වරූපය වෙනස් වෙනවා. ඔය කියන වික්‍රම කතාවට විතරක් වෙනවා.

    එමිලි කියන විදිහට සෙක්ස් කරන විදිහ හෝ වාර ගණන හෝ කරන ආකාරය නෙමෙයි වැදගත් වෙන්නෙ සෙක්ස් කළාට පස්සෙ තුරුල් වෙලා කොයිතරම් කාලයක් ගතකරනවද කියන එකයි.

    දෙන්නෙක් දැක්කම අල්ලන්නෙ නැතුව ඉන්න බැරිකම, කොයිවෙලාවෙත් තුරුල්වෙන්න ඕනකම අපි කියන්නෙ ස්පොන්ටෙනියස් ඩිසයර් එකක් නැත්තං නිරායාස ආශාවක් කියල. ඒක හොඳ දෙයක්. සම්බන්ධතාවයකදි මුල් කාලෙ අපි දකින්නෙ ඒ විදිහෙ උද්දීපනයක්. ඒක තෘප්තියක් අපේක්ෂාවෙන් යන දිශාවක්.

    සම්බන්ධතාවයක් පරණ වෙද්දි වැදගත් වෙන්නෙ රෙස්පොන්සිව් ඩිසයර් කියන එක. ඒ කියන්නෙ ප්‍රතිචාරාත්මක ආශාව. මේකෙදි සිද්ද වෙන්නෙ තෘප්තියට ප්‍රතිචාර දැක්වීමක්. ඒ කියන්නෙ කලින් ලබා ඇති, මතක ඇති තෘප්තියක් පිළිබඳ ආශාවෙන් උද්දීපනය වෙන එක.

    එමිලි මේක විස්තර කරන්නෙ හරියට පාටියකට යන්න ලෑස්ති වෙනවා වගේ. පාටිය යාළුවෙකුගෙ වුනත් ඇඳුම් අඳින්නයි, එලියට බහින්නයි, ට්‍රැෆික් එකේ යන්නයි තියෙන කම්මැලිකමට නොයා ඉන්නම හිතෙනවා වෙන්න පුළුවන්. ඒත් අපි කොහොම හරි එතනට ගියොත් ආපු එක මරු කියල හිතෙනවා. සෑහෙන ෆන් එකක් ගන්නවා. රෙස්පොන්සිව් ඩිසයර් එක එහෙම දෙයක්.

    අපි ඇඳේ එකිනෙකා එක්ක තැවරෙද්දි, ඒ උනුසුම, ස්පර්ශය දැනෙද්දි, ඒ සුවඳ විඳිද්දි අතීත මිහිරියාවකින් අපිව පිරෙනවා. අපිට නැවත ඒ සුන්දරත්වය ලබන්න ඕන වෙනවා. ඒ ආශාවෙන් ප්‍රමුදිත මොහොතට ආශක්ත වෙනවා. ඒක අපි දන්න හඳුනන තෘප්තියක්. සාමකාමී අනුරාගයක්.

    මේ වගේ හැඟීමක් දිග කාලයක් තිස්සෙ දැනෙන්න කාරණා දෙකක් බලපානවා. ප්‍රධානම එක මිත්‍රත්වය සහ විශ්වාසය. ඕනම වෙලාවක අනෙකා ඉන්නවා කියල දැනෙන හැඟීම. එයා ළඟ ඉන්නකොට ගෙදර ඉන්නවා වගේ දැනෙන එක. දෙවෙනි කාරණය සෙක්ස් මූලික කර ගැනීම. ඒ කියන්නෙ අනිත් හැමදෙයක්ම දෙවෙනි කරලා දෙන්නා නිරුවත්ව වැළඳගැනීම කියන දේට ප්‍රමුඛත්වය දීම.

    කාලයක් ගතවුනු සම්බන්ධතාවල ජීවත් වෙන අයගෙන් ඒ අය අතර සෙක්ස් ගැන ඇහුවොත්, ඒ අයට ගොඩක් වෙලාවට අපහසුතාවයක් දැනෙන්න ගන්නවා. ඒ මාතෘකාවෙන්ම අප්‍රසන්න බවක් ඇති කරනවා. මේකට හේතුව විදිහට එමිලි කියන්නෙ අපි ඇතුලෙ ඉන්න නිහඬ ඉත්තෑවො කියල.

    නිහඬ ඉත්තෑවො කියන්නෙ අපේ හිතේ කාලයත් එක්ක තැන්පත් වෙලා තියෙන අනෙකා ගැන අප්‍රසන්න මතකයන්. කතා නොකර හිතේ තියාගත්ත දේවල්. අමිහිරි අත්දැකීම්. මේ දේවල් හිත ඇතුලෙ තිබිලා ඒ කෙනා එක්ක නිරුවතින් ගත කරන මොහොතක් ගැන සිතීම පවා ප්‍රතික්‍ෂේප කරනවා. ගොඩක් සාමකාමීව ජීවත් වෙන පවුල්වල වුනත් දෙන්නා සෙක්ස් ගැන කතා නොකරන්නෙ මේ හින්ද.

    හොඳ මිත්‍රත්වයක් පවතිනවා නම් ඒ සිත් තැවුල් ගැන විවෘතව කතා කරනවා. හිතේ පැහැවන්න නොදී එලියට මුදා හරිනවා. සම්බන්ධතාවය අලුත් කරනවා. නැවත ආදරෙන් වෙළෙනවා. හිතේ තියෙන හැමදෙයක්ම අනෙකා එක්ක බෙදාගන්න තරම් නිදහස් සමීපත්වයක් වැදගත් වෙන්නෙ ඒ හින්ද.

    සෙක්ස්වලට මූලිකත්වය දෙන්න කියන්නෙත් ඒකමයි. ජීවිතේ අන් සියලුම දේවල්වලට වඩා එයත් එක්ක ගත කරන හුදකලා මොහොතක් වටිනවා කියල දෙන පණිවුඩයක් ඒක. කාලයත් එක්ක තාමත් ඒ නිරුවත් මොහොත විඳිනවා කියල දනවන තැනක්. ඒක හුදු සංසර්ගය ගැන කාරණයක් නෙමෙයි. ලෝකයේ අනිත් සියල්ලෙන් බැහැරව තමන්ගේ ආදරය කරන අනෙකා සමග හුදකලාවීමට තියෙන අනුරාගය ගැන කාරණයක්.

    ආදරය කරන අනෙකාගේ ඇස් ඇතුලෙන් බලද්දි තමන්ට තමන්ගේ මිහිරිතම දවස් මැවෙනවා නම් ඒ සම්බන්ධය තාමත් දළුදානවා. අපි ඒ අනෙකාගේ ඇස් ඇතුලෙන් අපිට ආදරය කරන්න ගන්නවා. කොයිතරම් කාලයක් ගියත් ඒ අනෙකාගේ ආදරයේ පිළිඹිබුව අපේ ඇස් ඇතුලෙන් පේනවා කියන්නෙ ඒ ආදරය කල් ඉකුත් වෙන්නෙ නෑ කියන එක.

  • ශෘංගාරය යනු කුමක්ද?

    ශෘංගාරය යනු කුමක්ද?

    ජෝර්ජ් බටායි කියන්නෙ ප්‍රංශෙ හිටපු දාර්ශනිකයෙක් සහ බුද්ධිමය ක්‍රියාකාරිකයෙක්. එයා ශෘංගාරය, අධිතාත්විකවාදය, අද්භූතවාදය, විපරීත කලාව වගේ අංශ ගවේෂණය කළා. පශ්චාත් ව්‍යුහවාදය වගේ ගොඩනැංවීම්වලට බටායිගේ අදහස් ගොඩක් බලපෑවා. බටායි ගොඩක් දේවල් ලිව්වා. ගොඩක් ප්‍රකාශන කළා. එයාගෙ ප්‍රකාශන වැඩිහරියක් තහනමට ලක්වුනා.

    බටායිගෙ ජීවිත කාලෙදි එයාගෙ අදහස් පිලිගැනීමට ලක්වුනේ නෑ. ඒ වෙනුවට ෂන් පොල් සාත්‍ර වගේ සමකාලීනයන් බටායිට අපහාස කළා. ඒත් මරණයෙන් පස්සෙ එයාගෙ අදහස් මිෂෙල් ෆුකො, ඩෙරීඩා, පිලිප් සොලර්ස් වගේ අයට දැනෙනසුලු බලපෑමක් කළා. ෂන් ලුක් නැන්සි, බොද්‍රිලා, ජුලියා ක්‍රිස්ටිවා වගේ අයගේ වැඩ අතුලෙත්, ලැකාන්ගෙ මනෝවිශ්ලේෂණ න්‍යාය ඇතුලෙත් බටායිගේ බලපෑම හොඳටම තියෙනවා. ඒ වගේම බටායි නිර්මාණය වෙන්නෙත් ඉතාම සංකීර්ණ අදහස් ධාරාවන් අතර ගැලපීමක් විදිහට. හේගල්, ෆ්‍රොයිඩ්, මාක්ස්, මාකි ඩි සාද්, ෆෙඩි්‍රක් නීට්ෂ වගේ අයගෙ අදහස්වලින් බටායි දරුණුවට ඉන්ෆ්ලුවන්ස් වුනා.

    එයා එයාගෙ දර්ශනය ප්‍රායෝගිකව ජීවිතේ ඇතුලෙත් අත්හදාබැලුවා. අසිෆාල් කියල කල්ට් එකක් හැදුවා. මේ කල්ට් එකේ ලෝගෝ එකේ ඉන්නෙ හිස නැති මිනිහෙක්. බටායි පැරණි ගෝත්‍ර සමාජවල ඉඳන් පැවත එන ආත්ම පූජාවෙ ආධ්‍යාත්මික අර්ථයක් දැක්කා. එයාගෙ කල්ට් එකේ හැමෝම තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න සූදානමෙන් හිටියා කියලයි කියන්නෙ. ඒත් ගහලයා වෙන්න කිසි කෙනෙක් කැමති වුනේ නෑලු. ඒ හින්ද බටායි ජීවත් වුනා.

    එයාගෙ පළවෙනි විවාහය සිද්ද වුනේ සිල්වියා මක්ලේස් එක්ක. පස්සෙ ඇය ලැකාන්ගෙ පෙම්වතිය බවට පත්වෙනවා. බටායි එයාගෙ අන්තිම සම්මුඛ සාකච්ඡාවෙදි එයා ජීවිතේ ඇතුලෙ කරපු වැඩේ විස්තර කරන්නෙ මෙහෙමයි.

    ‘මං ඇත්තටම ආඩම්බර වෙන දේ තමයි මං හැමදේකම සීමාවන් බොඳ කරන්න වැඩකරපු එක. කම්පනය ඇතිකරන, ඉතාම ගැඹුරු හාස්‍යයක් එක්ක මිනිස්සු තිගස්සවන විදිහට ඒක කරපු එක. ප්‍රකෝපකාරී ආන්දෝලනාත්මක වෙන අතරෙම ගැඹුරු ආධ්‍යාත්මිකබවක් ඇතුව ඒ දේ කරන්න මං උත්සාහ කළා’ – බටායි.

    ඇත්තටම බටායි ඒ කියන දේ කළා. එක එක ව්‍යාජ නම්වලින් ඉතාම දරුණු ගණයේ ශෘංගාර ප්‍රබන්ධ මුදාහැරියා. තව පැත්තකින් තමන්ගේම කල්ට් එකක් එක්ක වනාන්තර ඇතුලෙ ඩයොනීසියානු උත්සව පවත්වමින් ආධ්‍යාත්මිකත්වය ගවේෂණය කළා. ඒ අතරෙ විවිධ දාර්ශනික තේමාවන් ගැන අනෙක් බුද්ධිමතුන් ප්‍රකෝප කරනසුලු කතිකා ඇති කළා.

    මේ ජෝර්ජ් බටායි ශෘංගාරය ගැන කියන කතාව.

    ශෘංගාරය කියන්නෙ මොකක්ද? ඒක අපියි සත්තුයි හැමෝම කරන දෙයක්ද? බටායිට අනුව ශෘංගාරයේ ඉතාම ගැඹුරු තේරුමක් තියෙනවා. මේ තේරුම කරා යන්න අපිට අපි සහ සතුන් අතර වෙනස තේරුම් ගන්න වෙනවා.
    උදා විදිහට පූසෙක් ගන්න. අපිට පූසෙක් හිටියට පූසාට පූසෙක් කියල එකෙක් නෑ. ඌට සෙල්ෆ් එකක් නෑ. අතීතයක් හෝ අනාගතයක් ගැන අදහසක් සැලසුමක් නෑ. මේ අතීතය සහ අනාගතය ගැන හැඟීම තමයි සෙල්ෆ් එකක පැවැත්ම. කාපේඩියම් කියන වචනෙන් හඳුන්වන දේ තමයි පූසාගෙ ජීවිතය. වර්තමානය විතරයි. බටායි කියන්නෙ පූසාට අනෙක් සමස්තයෙන් වෙන්වුනු පැවැත්මක් නෑ කියල. ඌ ඉන්නෙ තනි එකක. පරිසරයයි පූසයි අතර බෙදීමක් පූසට නෑ. මේකට බටායි කියන්නෙ අඛන්ඩත්වයක් කියල. පූසා ජීවත්වෙන්නෙ කන්ටිනියුටි යතාර්ථයක.

    අපි ඉන්නෙ මේකෙ අනිත් පැත්තෙ. අපි ඉන්නෙ ඛන්ඩනීය යතාර්ථයක. ඩිස්කන්ටිනියුටියක. පරිණාමයේ එක තැනකදි අපි අතීතය සහ අනාගතය නිර්මාණය කරගත්තා. අනාගතය වෙනුවෙන් වර්තමානය කැපකරන්න පටන් ගත්තා. අපි ආයුධ හදාගත්තා. මේ ආයුධවලින් වැඩකරන්න ගත්තා. මේ මානවයට අපි කියනවා හෝමෝ ෆාබර් කියල. වැඩකරන මානවයා. අපි වැඩකරලා අපේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න ගත්තා.

    අපි උපකරණ නිර්මාණය කළා විතරක් නෙමෙයි. උපකරණවලින් අපිවත් නිර්මාණය කළා. ඒවා අපේ වැඩට උදව් වුනා. අපිට පරිසරයෙන් වෙන්ව අපිව දකින්නත් උදව් වුනා. ඒ උපකරණ නිසා ඒවා පාවිච්චි කරන අපි ගැන වෙන්වුනු හැඟීමක් ඇතිවුනා. අපේ සෙල්ෆ් එක නිර්මාණය වෙන්න ගත්තා. අපේ වෙන්වීම ආරම්භ වුනා. බටායි කියන්නෙ මේ උපකරණ නිසා අපි විෂය සහ වස්තුව කියන බෙදීම ඇතිකරගත්තා කියල. අපි අනිත් හැමදේකින්ම හුදකලා වුනා.

    බටායි කියන විදිහට අනිත් සතුන්ට සෙල්ෆ් කියල එකක් නෑ. පූසෙක් ගත්තොත් ඌට ලෝකෙ තියෙන්නෙ හරියට වතුර උඩ වතුර වගේ පැවැත්මක්. පූසට අපි නම කියල කතා කළාම පූසා දුවගෙන එන්නෙ ඒ නම අයිති ඌට කියල ඌ දන්න නිසා නෙමෙයි. අපි ඌව ඒ සද්දෙට කන්ඩිෂන් කරලා හින්ද.

    මේ වෙන්වීම නැත්තං හුදකලා වීම නිසාම අපිට ගැඹුරු සාංදෘෂ්ටික උවමනාවක් තියෙනවා නැවත ඒකීයත්වය හොයාගෙන යන්න. අඛණ්ඩත්වයට යන්න. හැබැයි අපිට නැවත ඒ අඛන්ඩත්වය අත්විඳින්න ලැබෙන්නෙ මරණයෙන් විතරයි. මරණයෙන් පස්සෙ අපිට දැනෙන සදාතනික තනිකම ඉවර වෙනවා.

    මරණයේදී මැරෙන්නෙ අපේ සෙල්ෆ් එක. එතනදි මෙතෙක් අපිට මිස් වුනු අපි හොයපු දේ අපිට ලැබෙනවා.
    ජීවත්වෙන කාලෙදි මේ අඛන්ඩත්වය නැත්තං කන්ටිනියුටිය අපිට අත්විඳින්න ලැබෙන්නෙ එකම එක විදිහකින් විතරයි. ඒ තමයි ශෘංගාරය.

    හෝමෝ ෆාබර් කාලෙ ඉඳන්ම මානවයා එයාගෙ වැඩකරන ලෝකෙ ආරක්ෂා කරගන්න උත්සාහ කළා. ඒ වෙනුවෙන් විවිධ නීති සීමා පැනවුවා. ටැබූ නැත්තං තහංචි කියන ඒවා හැදුනෙත් මේ වැඩකරන ලෝකෙ ආරක්ෂාව වෙනුවෙන්. හැම ටැබූ එකක්ම තියෙන්නෙ අනිවාර්යෙන් කඩන්න කියල බටායි කියනවා. ටැබූ එකක් අතික්‍රමණය කරන්න පුළුවන් වෙන්නෙ ශෘංගාර අත්දැකීමක් හරහා විතරයි.

    බටායි ශෘංගාර අත්දැකීම් කාණ්ඩ තුනක් ගැන කතා කරනවා.

    1. කායිකමය ශෘංගාරය.

    දෙන්නෙක් නිරුවත්ව එක්වෙද්දි දැනෙන අනුරාගී අත්දැකීම. මේ අත්දැකීම වෙන්නෙ දෙන්නෙක් එක්කෙනෙක් බවට පත්වෙන එක. නැවත ඒකත්වයක්, කන්ටිනියුටියක් අත්විඳින්න ලැබෙන එක. එතනදි අපේ හුදකලාව නැති වෙනවා. අපේ ශරීර සීමා බොඳ වෙනවා. අපි මරණයට සමාන තත්වයක් සුරතාන්තයෙදි අත්විඳිනවා. සෙක්ස් සහ මරණය සමාන අත්දැකීම් දෙකක් විදිහට බටායි කියවනවා.

    ‘ලා පෙටිට් මෝට්’ කියල ප්‍රංශ වචනයක් තියෙනවා. ඒකෙ තේරුම පුංචි මරණය කියන එක. සුරතාන්තයෙදි කෙනෙක් මේ පුංචි මරණයක් අත්විඳිනවා. අතීතයක් හෝ අනාගතයක් නැති මොහොතක පවතිනවා. ආපහු කන්ටිනියුටිය මොහොතකට විඳිනවා. අපි පූසෙක් වෙනවා.

    2. හැඟුම්මය ශෘංගාරය

    ආදරය කියල අපි අත්විඳින්නෙ හැඟුම්මය ශෘංගාරයක්. අපිට අනෙකා බවට පත්වෙන්න පුළුවන් කියන හැඟීම මෙතන තියෙනවා. අපි එකම හැඟීම් පද්ධතියක කොටසක් වෙනවා. එයාගෙ මානසික කලාපයම මම බවට නැත්තං මගේ මානසික කලාපයම එයා බවට පත්වෙනවා. අපි නැවත අඛන්ඩත්වයේ මොහොතක් අත්විඳිනවා. ආදරය ඒ තරම් ශෘංගාරාත්මක ඒ නිසයි.

    ඒත් අපිට මේක සම්පූර්ණයෙන්ම අත්පත් කරගත හැකි තත්වයක් නෙමෙයි. ඒක අත්පත් කරගන්න නම් සෙල්ෆ් කියන එක සම්පූර්ණයෙන් මැරෙන්න ඕන. ඉතිහාසෙ ඉඳන් ප්‍රේමවන්තයො මේ මරණයෙන් කෙලවර වෙන ආදරයක් ගැන රෝමාන්තික වෙන්නෙ මේ ශෘංගාරයේ මත්වීම නිසා.

    3. ආගමික ශෘංගාරය

    ආගමත් එක්ක ශෘංගාරය කිව්වම නිකං නොගැලපෙන දෙකක් වගේනෙ. ඒත් බටායි ආගම් තුලින් මුනගැහෙන දෙවියන් කියන්නෙ නැවත මේ ඒකීයත්වයට, කන්ටිනියුටි එකට යන මාවතක් විදිහට දකිනවා. ආගම්වලට මිනිස්සු බැඳෙන්නෙ මේ අනුරාගය නිසා. ආදරයකදි වගේ නෙමෙයි මෙතනදි විශ්වයම බවට පත්වීමේ හැකියාවක් මිනිස්සු ලබනවා.

    නූතන ආගම්වල මේ ශෘංගාරය යටපත් වෙලා තියෙනවා කියල බටායි කියනවා. ඒ හින්ද එයා ඈත අතීතයේ ඉඳන් පැවතගෙන එන ආගමික පූජාක්‍රම ගැන උනන්දු වෙනවා. ආත්ම පූජාව නැත්තං බිලිපූජාව මේ ආගමික ශෘංගාරයේ උපරිම මොහොතක් විදිහට බටායි දකිනවා. බිලිපූජාවක අරමුණ වෙන්නෙ සෙල්ෆ් නැත්තං හුදකලා ආත්මය අවසන් කරමින් නැවත අඛණ්ඩ විශ්වීයත්වය එක්ක සම්බන්ධ කිරීම. දෙවියන් සමග සම්බන්ධ වීම. මේ පූජාවට සම්බන්ධ වෙලා ඉන්න නරඹන්නන්ට තමන්ගේ මරණයෙන් කෙලවර වෙන සීමිත ආත්මය ගැන හැඟීම ඇතිවෙනවා. එතනින් මිදීමේ මොහොත, කම්පනය දැනෙනවා.

    බොහෝ ආගම්වල ප්‍රචන්ඩත්වය මතුවෙන්නෙ මේ ශෘංගාරය ඇතුලෙන්. ක්‍රිස්තියානියේ ජේසුස් පවා කුරුසියට ඇණගසා පළකරන ප්‍රචන්ඩත්වයේ තේරුම සීමිත මනුෂ්‍ය ආත්මය නිමාකරමින් අසීමිත දෙවියන් සමග එක්වීම.

    ඩයොනීසියානු ඕර්ජීස් කියන්නෙ මේ ආගමික ශෘංගාරය සහ කායික ශෘංගාරය කියන දෙකම එකතු කරන ආධ්‍යාත්මික පූජාවක්. ඕර්ජි එකක අතීතයක් නෑ, අනාගතයක් නෑ. මේ මොහොතේ උපරිමය විතරයි.

    ඕර්ජි කියන ග්‍රීක වචනයේ තේරුම වෙන්නෙත් සෙරමනි නැත්තං උත්සවය කියන එක.

    ශෘංගාරය කියන්නෙ මරණය දක්වාම ජීවිතය අත්පත් කරගැනීම කියල බටායි කියනවා. ඒ කියන්නෙ මරණය දක්වාම ජීවිතයේ අඛණ්ඩත්වය තුල පැවතීම.

    මේ ශෘංගාරය අපේ සෙල්ෆ් එක මූලික පැවැත්මට අහිතකර වෙන්න පුළුවන්. අපිව කායිකව සහ මානසිකව බොහෝ අවුල්වලට යන්න පුළුවන්. අපි නිරෝගී යැයි විශ්වාස කරන පැවැත්මෙන් එලියට විසිවෙන්න පුළුවන්. මේ නිසා ශෘංගාරය කියන්නෙ බියජනක, විනාශකාරී අත්දැකීමක් කියල කියන්නත් පුළුවන්.

    ඒක නිසා ශෘංගාරය අයිති නිර්භීත ධෛර්යවන්ත මිනිස්සුන්ට කියල ජෝර්ජ බටායි කියනවා. එහෙම අයට විතරයි පූසො වෙන්න පුළුවන්.