Author: Chinthana Dharmadasa

  • ඇයි ස්ටෙෆනිට බයද?

    ඇයි ස්ටෙෆනිට බයද?

    ස්ටෙෆනි සිරිවර්ධනව බන්ධනාගාරයේ යම් නිරීක්ෂණ ධූරයකට පත් කරලා කියල ගොසිප් එකක් සෝෂල් මීඩියාවල යනවා. ඒක ඇත්ත නම් මේ රජය පැත්තෙන් ගත්ත ඉතාම හොඳ තීන්දුවක්. ඇත්තටම මේ ආන්ඩුවට මගේ තියෙන ප්‍රධානතම චෝදනාවක් වෙන්නෙ රටේ ජීවිතවලින් ශෘංගාරය අහිමි කිරීම කියන කාරණය. මේ පත්කිරීම ගැන කතාව මාව පුදුමයට පත්කලේ ඒ හින්දමයි.

    බොහෝ පැරණි අදහස්ධාරීන් මෙතනදි ස්ටෙෆනිගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනයි, ඇගේ බිකිනිය ගැනයි ප්‍රශ්න කරනවා දකින්න තියෙනවා. ඇත්තටම ඒ හේතූන්ම තමයි ස්ටෙෆනි වගේ වසගකාරී ගැහැණියක් සිරගෙදර නිරීක්ෂණයට සුදුසුම. ඇත්තටම ඒක ඇත්ත නම් රැඩිකල් පත්කිරීමක්.

    හිරගෙයක් කියන්නෙ හරිම ආතතිකාරී පරිසරයක්. විශේෂයෙන් පිරිමි රැදෙවියන් සිටින කොටස් බලය, ශක්තිය මත දිවෙන අසහනකාරී කලාප. හිර කුටියක යමෙක් කූඩු කිරීම හරහා අපි කරන්නෙ නිල වශයෙන් ආශාව නැතහොත් ජීවිතයේ ශෘංගාර කලාපය තහනම් කිරීම. සෙක්ස් කියන එක බලහත්කාරීව අත්හිටුවනවා. විෂමලිංගික දැක්මකින් නිර්මාණය වුනු මේ දඩුවම් කඳවුරු සංකල්පයේදී සමලිංගිකත්වය ගැන සවිඥානකත්වයක් තිබුනෙ නෑ. ඒ නිසා ස්වභාවයෙන්ම සමලිංගික අය වගේම වෙනත් විකල්පයක් නොමැති තැනදි සමලිංගික වෙන අය වශයෙන් සමස්තර හිරගෙවල් ආකෘතියම සමලිංගිකත්වයට නතු වෙනවා. බලය පිළිබඳ ප්‍රකාශනයක් විදිහටත් මේ සමලිංගික රමණය/දූෂනය පවතිනවා.

    ස්ටෙෆනි කියන්නෙ අනුරාගික ස්ත්‍රියක්. වසගයක්. ආශාවක්. සෙලිබ්‍රි‍ටි කෙනෙක් නොහොත් අතිරික්තයක්. මේ වගේ කෙනෙක් හිරගෙයක් නිරීක්ෂණයට යනවා කියන්නෙම අතිශය හිගය පවතින තැනක විශාල වෙනසක් ඇති කරන තත්වයක් වෙනවා. බලය වෙනුවට වසගය පාවිච්චි කිරීමක් වෙනවා.

    පිරිමි සිරගෙවල් විශේෂයෙන් සැලකුවොත් ස්ටෙෆනි කියන්නෙම ලිංගික ආතතිය සමනය කරන්නක් වෙනවා. අනුරාගික ස්ත්‍රීන් හමුවේ පිරිමින් මෘදු වෙනවා. ප්‍රචන්ඩත්වය අවම වෙනවා. ඒ වගේම පොදු කාරණයක් විදිහට මෙවන් තරු පංතියේ කාන්තාවක් තමන්ගේ ජීවිතය නිරීක්ෂණය කිරීම ගැන ඒ අයට වටිනාකමක් දැනෙනවා. මෙච්චර කාලයක් නිල ඇදුම්, නිලධාරි බලය, අධිකාරිය, පාලනය මත මෙහෙයවුනු බන්ධනාගාරය සාමාන්‍ය සමාජයේ ආකර්ශනීය, ආදරනීය කාන්තාවකගේ නිරික්ෂණයට ලක්වෙනවා.

    ස්ටෙෆනි වගේ කෙනෙකුගේ පිටස්තරභාවය නිස‍ාම, එයාගෙ අතිරික්ත ජීවිතය නිසාම හිරගෙදරක හිරවුනු මිනිස්සුන්ගෙ අවුල ගැන සංවේදීබවත් වැඩිවෙන්න පුළුවන්. එයාගෙ නිරීක්ෂණය අනිවාර්යෙන්ම බන්ධනාගාරවල පුහුණු අධිකාරීන්ට වඩා වෙනස්. වැදගත් කාරණය වන්නේ මේ නිරීක්ෂණයට රැදෙවියන් වගේම නිලධාරීනුත් අයිති වෙනවා. තමන්ව මෙවන් තරු ගැහැණියක් විසින් නිරීක්ෂණය කරනවා කියන හැගීම ඒ අයගෙ නිලධරවාදී ආකෘතියට අභියෝග කරන ආශාවාදී එළඹුමක් වෙනවා. එතනදි ස්ටෙෆනි කියන්නෙ අනුරාග අවියක්.

    සිහිතබා ගත යුතු කාරණය වන්නේ මේ නිරීක්ෂණයක් මිස අධීක්ෂණයක් නොවන වගයි. නිරීක්ෂණයකදි වඩා වැදගත් වන්නේ උපරිම නිදහස්භාවයකින්, සංවේදීබවකින් දේවල් දැකීමයි. එතනදි පුහුණු කෙනෙකුට වඩා නුපුහුණු කෙනෙකුගේ දැක්ම විවෘතයි.

    ස්ටෙෆනීගේ පත්වීම ප්‍රශ්න කරන සාම්ප්‍රදායික අය බොහොමයක් මතු කරන්නෙ ප්‍රධාන කාරණා තුනක්. තාර්කිකත්වය, සහතිකලත්භාවය, සහ පද්ධතිය නොහොත් ක්‍රියාවලිය කියල කියන්න පුළුවන්. නමුත් මෙතනදි ස්ටෙෆනි යොදාගැනීම මේ සාම්ප්‍රදායික එළඹුමට සහමුලින්ම විකල්ප එළඹුමක් යෝජනා කරනවා. ඒ තමයි ආශාව, කැරිස්මාව, ශරීරය සහ බලපෑම කියන කාරණා. ඒක පාලනයේ ආකෘතිය වෙනස් කරන යෝජනාවක්.

    ඉතින් අහන්න තියෙන්නෙ ස්ටෙෆනි නරකද කියලා නෙමෙයි,

    ඇයි ස්ටෙෆනිට බයද?

  • ඇවිලෙනසුලු තාබු 

    ඇවිලෙනසුලු තාබු 

    තාබු කියන්නෙ වයසට යන්න යන්න තව තවත් අනුරාගය උතුරා හැලෙන නිළියක්. වයසත් එක්ක එයාගෙ ආනුභාවය, වසගය තවත් වැඩි වෙනවා. කාන්තාවක් හැටියට තාබුගෙ දකින්න ලැබෙන ස්වාධීනත්වය, නිදහස මේ සරාගීබව තවත් වැඩි කරන කාරණයක්.

    මේ හින්දම තාබුගෙ විවිධ ප්‍රකාශවලින් වරින්වර මාධ්‍ය ගිනියම් වෙ   නවා. ගොඩක් වෙලාවට ඒ ප්‍රකාශ මාධ්‍ය විසින් මවන ලද ඒවා. නමුත් තාබුගේ පෞර්ෂයත් එක්ක ඒ බොරු කතාවල වුනත් සම්බන්ධයක් දැනෙනවා.

    ‘මට පිරිමියෙක් ඕන වෙන්නෙ ලිංගිකව සතුටු වෙන්න විතරයි. එතනින් එහාට තනියම ඉන්න එක ගැන මං උපරිමෙන් තෘප්තිමත්’

    තාබු මෙහෙම කතාවක් කිව්වා කියලා මෑතකදි ගොසිප් සයිට්වල පත්තු වෙලා ගියා. නමුත් තාබු මේ ප්‍රකාශය අසත්‍ය සහ නොමග යවනසුලුයි කියල නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබුන.

    තාබු ගැන මේ කතාවලට මූලික හේතුව වෙන්නෙ අවුරුදු 52ක් වෙලත් එයා තාමත් අවිවාහක වීම.

    ‘ගෑනියෙක් තනියම ජීවත් වෙන එක මේ තරම් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. මම නම් කවදාවත් කෙනෙක්ව විවාහකද නැද්ද කියන එක උඩ විනිශ්චය කරන්නෙ නෑ’ තාබු කියලා තිබුන.

    තාබුට තියෙන්නෙ අතිශය අප්‍රකට පෞද්ගලික ජීවිතයක්. එයා කිසි දවසක ඒ පුද්ගලික දේවල් මාධ්‍ය ඉස්සරහට අරගෙන ආවෙ නෑ. ඒ වගේම තාබුගෙ ප්‍රේම සම්බන්ධතා කියලා දැනගන්න තියෙන දේවල් වුනත් කෙටි, සරල, ලිංගික සබඳතා නෙමෙයි. ඒවා කාලයක් පැවතුනු, යම් හැගීම්මය බැඳීමක් පැවති සම්බන්ධතා.

    එයාගෙ තියෙන වැදගත්ම දෙයක් තමයි නිහඩතාවය. තාබු බොහෝ දේ ගැන නිහඩයි. ඒ නිහඩබවම ප්‍රකාශනයක් වෙන අවස්ථා බොහොමයි.

    එයාගෙ චරිතය පැවැත්මෙන්ම ආන්දෝලනාත්මකයි.

    කාන්තාවක් විදිහට ආයතනගත නොවී පවතින ප්‍රේමයන් විශ්වාස කිරීම. ප්‍රදර්ශනාත්මක නොවන ආදරයක පැවතීම. තමන්ගේ ආශාව පිළිබද කිසිදු පැහැදිලි කිරීමක් සමාජයට නොකිරීම. මේ කාරණා හින්දම තාබු කියන්නෙ කැරැල්ලක්.

    සිනමාව ඇතුලෙ වුනත් තාබුගේ රූපයේ පරිණාමය අධ්‍යනය කරන්න වටිනවා. අවුරුදු 40ට පෙර තාබු, ඒ කියන්නෙ අවුරුදු විසිතිස් ගණන්වලදි වුනත්, එයා නිරූපණය කරපු චරිතවල තිබුනා ලස්සනට අමතරව ගැඹුරක්. තරමක සංකීර්ණත්වයක්. එයා මාසාලා වීරවරියක් වුනේ නෑ කවදාවත්.

    අවුරුදු 40න් පස්සෙ තාබු ඉන්දියානු සිනමාවෙ රැඩිකල් පෙරලියක් කරනවා. එයා අපූර්ව ගැහැණියක් සිනමාවට අරගෙන එනවා. විවෘතව ආශා කරන, තමන්ගේ ලිංගිකත්වය ගැන විශ්වාසයෙන් යුතු, එය වරදක් ලෙස  බාරනොගන්නා, පිරිමින් ඉදිරියේ දියාරු නොවන, සමාජයට තමන්ව පැහැදිලි කිරීමට උත්සුක නොවන, අන්ඇපොලොජටික් ගැහැණියක් එයා සිනමාවෙ නිරූපණය කරන්න ගන්නවා.

    අන්ධාදූන්, හයිඩර්, ද්රිශ්‍යම් වගේ චිත්‍රපටිවල මේ ගැහැණිය දැකගන්න පුළුවන්. ඒ චරිත හරහා ඇය ආශාවේ වස්තුව බවට පත්වෙනවා වෙනුවට ඇයම ආශාව බවට පත්වෙනවා.

    මේ වෙනසත් එක්ක අවුරුදු හතලිහෙන් පස්සෙ තාබු වයසත් එක්ක මැකී යනවා වෙනුවට වඩාත් කේන්ද්‍රීය චරිතයක් බවට පත්වුනා. එයා වයස අඩු තරුණියක් වෙන්න දගලනවා වෙනුවට වයසත් එක්ක ස්වාධිපත්‍යයක් නිර්මාණය කරගත්තා. ඒ පෞර්ෂය බලවත්. ඒක පොළඹවන, අවුස්සනසුලුයි. ඉරොතිකයි. ඒත් සරල වාණිජ ස්වරූපයෙන් නෙමෙයි.

    වයස එක්ක ගැහැණියක් මත පවරන අම්මෙක්, බිරිඳක් කියන ආකෘතීන් තාබු අභියෝග කරනවා. එයා වයසත් එක්ක ආශාව පවත්වාගෙන යනවා. බිරිඳක්, මවක් විදිහට සමාජය වෙනුවෙන් පවතින ගැහැණිය වෙනුවට තාබු තමන් වෙනුවෙන් ජීවත්වෙන නිදහස් ගැහැණියකගේ ආකෘතිය ගන්නවා.

    තාබු කියන්නෙ පිරිමින්ට විස්තර කළ නොහැකි, එමෙන්ම මග හැර යා නොහැකි, තමන්ගේ ලිංගිකත්වයේ බලය තමන් අතට ගත්, තනිව ජීවත් වෙන භයානක ගැහැණියක් වෙන්නෙ ඒකයි.

  • ඩඩ්ලිගේ ශෘංගාරය

    ඩඩ්ලිගේ ශෘංගාරය

    ඩඩ්ලි සිරිසේන ලොකු ගානක ලිමිටඩ් එඩිෂන් වර්ගයේ වාහනයක් අරගෙන. මේ ගැන විවිධ අය විවිධාකාරයේ පෝස්ට් ලියලා තිබුන. සමහරු අහලා තිබුනා ඩඩ්ලි මේ වාහනය පදින එකෙන් පොලොන්නරුවෙ ගොවියන්ට මොනවද ලැබෙන්නෙ කියල. කොහොම හරි ඒ ගොඩක් කතාවල  ඩඩ්ලි මේ වාහනය පදින එක ගැන අවුලක් තිබුන.

    මේ අවුල එන්නෙ කොහොමද?

    හොඳට බැලුවොත් මේක මූලිකවම එන්නෙ ඉරිසියාව කියන තැනින්.

    ‘පිස්සුද? මට සල්ලි තිබුනත් මං ඔහොම එකක් ගන්නෙ නෑ’ කියල කෙනෙක් කියන්න පුළුවන්. ඔව්, අපි නොගත්තත් ඩඩ්ලි ගත්ත එක ගැනයි ඉරිසියාව. මොකද ඩඩ්ලි ආස දේ ඩඩ්ලි අරන් තියෙනවා. ඒ ආසාවේ අතිරික්තයක් බුක්ති විදීම ගැනයි මේ අවුල එන්නෙ.

    ඩඩ්ලිගේ වාහනය සහ අපේ ආශාව තේරුම් ගන්න හොඳම තැන තමයි ජෝර්ජ් බටායි. බටායි මේක විස්තර කරන්නෙ ‘සේක්රඩ් එක්සස්’ නැත්නම් ශුද්ධ වූ අතිරික්තයක් විදිහට.‍ බටායිගෙ ආර්ථිකය ගැන අදහස වුනේ අපි සදාචාරාත්මකව නාස්තියක් විදිහට දකින අතිරික්තය ආර්තිකයට,  ජීවිතයට සහ සංස්කෘතියට විශාල වශයෙන් වැදගත් කියන එකයි.

    ඩඩ්ලිගේ වාහනය ගත්තොත් ඒකෙ මුදල්මය වටිනාකම එන්නෙ සංකේතාත්මකව. සිම්බොලික් වටිනාකමක් විදිහට. ඒක හරියට ටෝකන් එකක් වගේ. ඩඩ්ලිගේ ආශාව ඒ සීමිත වර්ගයේ වාහනයක් දක්වා ඉහළ යනවා. ඒ ආශාවේ ඉහල යාමට අනුපාතිකව ඩඩ්ලිගේ ඉපැයීම් ඉහල යනවා. ඩඩ්ලි ලංකාවෙ ඉඳන් ඒ ඉපැයීම් ඉහල නංවනවා කියන්නෙ ඒ වෙනුවෙන් තව බොහෝ පිරිසක් වැඩ කරන්න ඕන වෙනවා. ඒ කියන්නෙ  බොහෝ පිරිසක් රැකියා කරන, තම තමන්ගේ පවුල් නඩත්තු කරන ආර්ථිකයක් නිර්මාණය වෙනවා. ඩඩ්ලිට අර වගේ සංකේතාත්මක ආසාවක් තිබුනෙ නැත්තං රජයේ රස්සාවක් කරගෙන මාසෙ පඩියෙන් ජීවත් වෙනවා.

    අපිට ධනවාදී වේවා සමාජවාදී වේවා ආර්ථිකය ගැන පොදුවේ තියෙන්නෙ මෙන්න මේ වගේ අදහසක්. උපයනවා, ඉතුරු කරනවා, පුළුවන් නම් ආයෝජනය කරනවා, වර්ධනය කරනවා, හැකිතාක් කාර්යක්ෂම වෙනවා, රිපීට්. මේ චක්‍රය නැවත නැවත කරකවනවා. මේ ක්‍රමයට අනුව නාස්තිය කියන්නෙ දෝෂයක්. අතිරික්තය කියන්නෙ පාපයක්. සුඛෝපභෝගීත්වය කියන්නෙ සැක කළ යුතු තත්වයක්.

    බටායිගේ ආර්ථික දර්ශනය වෙනස්. එයා කියන්නෙ අපි කොහොමත් අපිට ඵලදායීව පාවිච්චි කළ හැකි පමණට වඩා අතිරික්තයක් නිෂ්පාදනය කරනවා. මේ අතිරික්තය නාස්ති නොකලොත් ඒක ප්‍රචන්ඩත්වය, යුද්ධය , අර්බුද ඇති කරන තත්වයන් දක්වා ගමන් කරනවා. ඔය පන්සල් හදන්නෙ, පිළිම හදන්නෙ, මහා පූජා පවත්වන්නෙ මේ ශුද්ධ වූ   නාස්තිය වෙනුවෙන් තමයි. ඒක අපි මහා යාගයන් විදිහට ඈත අතීතයේ පටන්ම පාවිච්චි කරපු සංස්කෘතියක්. ඒකෙම ලෞකික වර්ෂන් එක තමයි ඩඩ්ලිගෙ කාර් එක.

    බටායි කියන්නෙ සුඛෝපභෝගීත්වය ‘සේක්‍රඩ් වේස්ට්’ එකක් කියල. මෙතනදි උත්සව පැවැත්වීම, සැණකෙලි, පාර්ටි, ආර්ට්, පූජා, තෑගි දීම්, කැසිනෝ විශේෂයෙන් ශෘංගාරය කියන කලාපය අයිති වෙනවා. ඒවායින් අරමුණු කරන්නේ ලාභයක් නෙමෙයි. අතිරික්තය පුළුස්සා දැමීමක්.

    මේක සමාජයට තේරුම් ගන්න අමාරුයි. මේ මුදල් අර්ථවත්ව ඵලදායීව පාවිච්චි කරන්න ඕන කියල මිත්‍යාවක තමයි ජනතාව ඉන්නෙ. හැබැයි මේ අතිරික්තය තමයි අපිට කියන්නෙ ජීවිතය කියන්නෙ යන්තම් ගැටගසා යුතු දෙයක් නෙමෙයි කියල. ඒක උපරිමයෙන් විඳිය යුතුයි කියල. ආර්ථිකය කියන්නෙ ඵලදායිතාව විතරක් නෙමෙයි කියල. ආශාව කියන්නෙ තාර්කික දෙයක් නෙමෙයි කියල.

    ඕනෑම අතිරික්තයක් විසින් ප්‍රකට කරනවා විශාල නිදහසක්. ඒක ස්වාධීනත්වය එක්ක බැදුනු දෙයක්. තමන් අනාගත ලාභයන් ගැන හෝ, මිනිස්සු තමන් ගැන හිතන්නෙ කොහොමද කියන එක ගැන හෝ තවදුරටත් වද වෙන්නෙ නෑ කියල ඩඩ්ලි කාර් එක පැදගෙන යමින් කියනවා.

    ඉතින් මේ කාර් එක කියන්නෙ ගමනාගමනය සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක තර්ක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වඩා ප්‍රයෝජනවත් වීම හෝ යහපත් වීම ගැන කාරණයක් නෙමෙයි. ඒක තමන්ගේ අතිරික්තය දහනය කිරීම පිළිබඳ යාතුකර්මයක්. රිචුවල් එකක්.

    ඒ හින්ද ලක්ෂරි කාර් එකක් අපි දකින කොට අපි ‍මතක තියාගන්න ඕන. මේ නාස්තියක් නෙමෙයි.  සමාජය පාලනය කළ නොහැකි ප්‍රචන්ඩත්වයෙන්, විනාශයෙන් ආරක්ෂා කරන සංකේතාත්මක  පූජාවක්. මට සල්ලි හම්බුනොත් මං ඩඩ්ලි වගේ කාර් එකක් ගන්න එකක් නෑ. චිත්‍රපටියක් හදයි. හැබැයි ඩඩ්ලිගේ කාර් එකයි, මගේ චිත්‍රපටියයි අතර මට උස් පහත් වෙනසක් නෑ. දෙකම අතිරික්තය දැල්වෙන තැන්.

     

  • කවදා හරි එහෙම මැරෙන්න ඕනි.

    කවදා හරි එහෙම මැරෙන්න ඕනි.

    ඉලංගො රාම්ගෙ නෙළුම් කුළුණ බලලා ඉවර වුනාම මට හිතුනෙ එහෙම.

    ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකල්ම ප්‍රේක්ෂාගාරය මහ සද්දෙන් හිනාවෙවී බලපු ෆිල්ම් එකක්. ලංකාවෙ පළවෙනි ‘ඩික් කොමඩි’ වර්ගයේ සිනමා කෘතිය. කවුරු හරි ‘ඇමරිකන් පයි’ බලලා තියෙනවා නම් මේ තමයි ‘ශ්‍රී ලංකන් පයි’. අති උත්කර්ෂවත් වැඩක්.

    ලංකාවෙ මෑතක ‘ඩික්’ කොමඩි වර්ගයේ වේදිකා නාට්‍යයක් කලේ අසංක සායක්කාර. ඒ ‘මං කෙලින් මිනිහෙක්’.

    ඩික් කොමඩි කියන්නෙ පුරුෂ ලිංගයක් හෝ ඒ සම්බන්ධ විහිලු කතා මුල් කරගන්න කොමඩිවලට. ‘ඩික් ජෝක්ස්’ කියන එක කොමීඩියන්ලා අතර ප්‍රකට දෙයක්. පුරුෂ ශිෂ්නය ගැන විහිලු කිරීමෙන් සමාජ සංස්කෘතික දේශපාලන කතාවක් කියන්න හරි නැත්නම් ප්‍රේක්ෂාගාරය ප්‍රකෝප කරන්න, නැත්නම් නොනවත්වා හිනස්සන්න මේ විහිලු වැඩ කරනවා. මේ වගේ ශිෂ්න කේන්ද්‍රීය හාස්‍ය‍ෝත්පාදක සිනමාවකට අපිට අවිධිමත් ලෙස කියන්න පුළුවන් ‘ඩික් කොමඩි’ කියල.

    නෙළුම් කුළුණ කියන්නෙ බ්ලොක් ඇන්ඩ් ඩීනෝ- වස්ති එක්ක ප්‍රසන්න විතානගේ තුන්කොන් රමණයක්  කළා නම් බිහිවෙන වර්ගයේ සිනමාවක්. ඉලංගො ප්‍රබුද්ධ/ සම්භාව්‍ය සිනමාව ඇතුලෙන් මේ වෙලාවෙ ‘වල්’  යූටියුබ් වයිබ් එක අල්ලනවා. ඒ මික්ස් එක මරු. ඒක ඩාර්ක් කොමඩියක්ද කියල මට ෂුවර් නෑ. හැබැයි ඒක මාර කොමඩියක්.

    නෙළුම් කුළුණ කතාව තියෙන්නෙ අප්පච්චිගෙ මරණය ගැන. හැබැයි මැරිලත් කුළුණ කෙලින්. ඒක විවිධාකාර අර්ථවලින් ගන්න පුළුවන්. රට වැටුනත් කුළුණ කෙලින් කියන ටැග් ලයින් එක එක විදිහක්. නෙළුම් කුළුණ කියන්නෙ ඇත්තටම අපේ රටේ ජාතිකවාදී, සිංහලබෞද්ධ,  චූලවාංශික මතවාදයේ මහා ශිෂ්නය.

    පවුලේ අප්පච්චිගෙ මේ කෙලින් වුනු ‘ෆැලික්’ සිම්බල් එක වටේ තමයි චිත්‍රපටියම ගොඩනැගෙන්නෙ. සියල්ල ඒ කුළුණ උඩ ඉඳලා විස්තර කරන්න ගන්නවා. මරණයට වඩා කෙලින් වුණු ශිෂ්නය ජීවිතය ගැන ආශාව වැඩි කරනවා. අපි මරණයක් උඩ හිනාවෙවී ඉන්නවා.  අපි අප්පච්චිගෙ ඩික් එකට හිනාවෙනවා. ඒක මනෝවිශ්ලේෂණාත්මක කියවීමකට හොඳ දොරටුවක්.

    මේ චිත්‍රපටියෙ කේන්ද්‍රය වෙන්නෙ ‘ඩෙත් ඉරෙක්ෂන්’ කියන තත්වය. කෙනෙක් මියගියාට පස්සෙ ශිෂ්නය ප්‍රාණවත් වීම. මේකට ‘ඒන්ජල් ලස්ට්’ නැත්නම් දිව්‍යමය කාමය කියලත් කියනවා. බොහෝ විට එල්ලා මරන ලද අයගෙ තමයි මේ තත්වය දකින්න තියෙනවා කියන්නෙ. ට්‍රෝමැටික් විදිහෙ මරණවලදි තමයි ඩෙත් ඉරෙක්ෂන් හෙවත් මරණීය උත්ථානය  සුලබ.

    එතකොට ඉලංගො චිත්‍රපටිය ඇතුලෙ කියන්නෙ කවර ට්‍රෝමැටික් මරණයක් පතුලෙන් සිදුවුනු උත්ථානයක් ගැනද? මට හිතෙනවා ඒක වික්ටෝරියානු සහ අපේ යක්ඛ පැවැත්ම අතර දෙබිඩි ගැටුම පලාගෙන එන ශිෂ්නෝත්ථානයක් කියල. වික්ටෝරියානු අර්ථයෙන් කෙලින් වුනු ඩික් එකක් ලැජ්ජාවක්. ඒත් යක්ඛ අර්ථයෙන් අප්පච්චිගෙ ඩික් එක ආඩම්බරයක්. වන්දනා කරන ටෝටමයක්. (totem)

    ඉලංගොගෙ ෆිල්ම් එක  ‘පවුලේ සැමට’ බලන්න පුළුවන් ‘ඇඩල්ට්’ කොමඩියක්. ඒකෙ කොහේවත් සෙක්ස් නෑ. හැබැයි ෆිල්ම් එකම සෙක්ස්. ඉතාම ශෝකී සාම්ප්‍රදායික සමූහ අවමංග්‍ය උත්සවයක් කෙලින් වුනු ලිංග ප්‍රදර්ශනයක් බවට පත්වෙනවා කියන්නෙ ලොකු සංස්කෘතික කම්පනයක්. නමුත් ඉතාම මරණීය තත්වයේ පතුලේදී පවා ජාතියේ අප්පච්චිගේ පුරුෂ ලිංගය සියල්ල පලාගෙන මතුවෙන හැටි අපි දැකලා තියෙනවා.

    ඉලංගො නිර්මාණය කරන ගැහැණු වුනත් තමන්ගේ දුර්වල සැමියන්ව මැරුනු තාත්තාගේ ලිංගයත් එක්ක සංසන්දනය කරමින්  කතා කරන්න තරම් ප්‍රොග්‍රෙසිව් ගෑනු. නියම් බිරිඳයි අනියම් බිරිඳයි පවා එකට අක්කයි නංගියි කියාගන්නා තරම් විවෘත සංස්කෘතියක් මේ  මළගම නිසා ඇතිවෙනවා. මේ සියල්ල සිද්ද වෙන්නෙ කොඩිගහ වගේ ඉහළ එසැවුනු අප්පච්චිගේ ලිංගයේ අනුහසින්.

    අප්පච්චිගේ ලිංගය කියන්නෙ ෆ්‍රොයිඩ් කතා කරන  ඊඩිපස් සංකීර්ණයේ සුවිශේෂ කාරණයක්. දරුවෙක් තමන්ගේ ශිෂ්නය පියා විසින් කප්පාදු කරනු ඇතැයි බයෙන් පසුවෙන බව ෆ්‍රොයිඩ් කියනවා. ඒ බියෙන් තාත්තාගේ අණට, සමාජයේ සම්ප්‍රදායට දරුවා එකග වෙන බව ෆ්‍රොයිඩ් කියනවා. නෙළුම් කුළුණ කියන්නෙ අප්පච්චිගේ ලිංගයට යටවුණු ලාංකේය දූ දරුවන්ගේ කතාව.

    අප්පච්චිගේ ශිෂ්නය කපා දමන්න එක පුතෙක් තීරනය කරද්දි, අප්පච්චිගේ ශිෂ්නය වන්දනා කරන්න තව පුතෙක් තීරනය කරනවා. දොස්තර ශිෂ්නය කපා දාන්න යද්දි, කට්ටඩියා කියන්නෙ ශිෂ්නයේ අප්පච්චිගේ ආත්මය පවතින බවයි.

    හරිම ටෙලි ගතියක් තියෙන තේමාවක් ‘අප්පච්චිගෙ මළගම’ අරගෙන ඒකට අප්පච්චිගේ ශිෂ්නය ඇතුල් කිරීමෙන් ඉලංගො අනපේක්ෂිත ට්විස්ට් එකක් ගන්නවා. අපිට අපේ අප්පච්චි ගැන කදුළු පෙරාගෙන කතා කරන්න පුළුවන් වුනත් අප්පච්චිගේ ඩික් එක ගැන කතා කරන එක මොන වගේ වෙයිද? ඒ අවිඥානක බලය පිළිබඳ කාරණය අපි අවුල් කරමින් පුපුරා යන සිනාවක් බවට පත්වෙනවද? නැත්නම් තවදුරටත් තිරය දිහා බලන් ඉන්න බැරි අපහසුතාවයක් දනවනවද? ඒක පරීක්ෂාවක්.

    එක්තරා  විදිහකට මේක චූලවාංශික ‘අප්පච්චීගේ’ කෙලින් කරපු මහා ශිෂ්නය සහ ඒ ඉදිරියේ අපේ 56 පරපුර විදිහටත් කියවන්න  පුළුවන්. දොස්තරලා, හාමුදුරුවරු, පුතාලා, දුවලා, කට්ටඩි, ත්‍රීවීල් සමාජෙ ආදී සියල්ලන් ඒ නෙළුම් කුළුණ සෙවනේ උන් හැටි කෙනෙකුට මතක් කරගන්නත්  පුළුවන්.

    ඒත් ඊට වඩා මේක අපි කාගෙ කාගෙත් අප්පච්චිලාගේ නෙළුම් කුළුණ විදිහ‍‍ට දකින එකයි ආතල්. හරිම පුංචි ප්ලොට් එකක්, පුංචි වටපිටාවක, දක්ෂ නළුනිළියො ටිකක් වට කරන්  කරපු ‘බරසොමියක්’ මේක. අතිශයින්ම ලේ පිරිසිදු කරන වැඩක්.

    ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත් වගේම කෞෂල්‍යා, අලෝකා, සුලෝචනා ආදී  හැමෝගෙම රංගනය ඉස්තරම්. විශේෂයෙන් චාන්දනී හරිම ලස්සන මතක හිටින චරිතයක්  කරනවා.

    සංගීතය නම් මට හිතුනා සෙට් වෙන්නෙ නෑ කියල. ඒක අර සම්භාව්‍ය පැත්ත විතරක් අරගෙන නිර්මාණය කරපු සංගීතයක්. ප්ලොට් එක ඇතුලෙ යන ‍සොමිය  සංගීතයට ඇවිල්ලා නෑ.

    අපේ සිනමාවට මේ වගේ චිත්‍රපටි ඕන. මෑත සිනමා කෘති බැලුවම මට හිතෙන දෙයක් තමයි අපි හරියටම නාඩිය ස්පර්ශ කරමින් ඉන්නවා කියල. හොඳ පබ්ලිසිටියක් ලැබුනොත් නෙළුම් කුළුණ කියන්නෙ හෝල් කඩාගෙන සෙනග එන ෆිල්ම් එකක්.

    එහෙම ‘මාස්’ වැඩක් කරන අතරෙ  ඉලංගො ඉතාම නිර්භීත තැනකත් හිටගන්නවා. අප්පච්චිගේ ඩික් එක ගැන කතා කරන්න ගන්නවා. ඒක කොහෙත්ම සරල නෑ. මං ඉලංගො  අදුරන කෙනෙක් විදිහට නෙළුම් කුළුනෙන් මේ පැනලා තියෙන පිම්ම  කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු එකක්.

    මරණයක් මෙහෙම සොමියක් කරන්න පුළුවන් සිනමාවක් කියන්නෙ සැපක්. අනිවාර්යෙන්ම මේකෙ ටැමිල් වර්ෂන් එකත් බලන්න යනවා. ලංකාවෙ අපේ චිත්‍රපටියක් දමිළ සිනමාවට කොපි කරනවා කියන්නෙ සමරන්න ඕන වැඩක්.

    අවසානෙදි ඒක සිංහල දෙමළ අපි හැමෝගෙම අප්පච්චිගෙ කෙලින් වුනු නෙළුම් කුළුණ.

     

  • රාණි නම් වූ නාගරික ගැහැණිය

    රාණි නම් වූ නාගරික ගැහැණිය

    හඳයාගෙ රාණි කියන්නෙ මං මගබලාගෙන හිටපු චිත්‍රපටියක්. ඒ තරම් කාලයක් තිස්සෙ ලංකාවෙ සිනමාව ඇතුලෙ පැහුණු ප්ලොට් එකක්. දැවැන්ත අධ්‍යක්ෂවරුන් දෙන්නෙක් සිතේ මැවුනු නමුත් සැබෑ නොවුනු සිනමාවක්. ඊට පස්සෙ හඳයා අතට අහම්බෙන් ලැබෙන අභියෝගයක්.

    අධ්‍යක්ෂවර‍ැන් මාරු වුනාට චිත්‍රපටියෙ රාණි මාරු වෙන්නෙ නෑ. කවුරුන් එක්ක නිදිවැදුනත් දරුවා මගේ කියන අම්මා කෙනෙක් වගේ ස්වර්ණා මේ චරිතය දරාගෙන පිරිමි අධ්‍යක්ෂවරුන් තුන්දෙනෙක් තරණය කරනවා. දරුවා බිහිකරන්නෙ හඳගම.

    මේ චිත්‍රපටිය පටන් ගනිද්දි මගේ ඇස්වලට කඳුළු ආවෙ ස්වර්ණා කියන නිළිය මේ චරිතය වෙනුවෙන් කළ ඇදහිය නොහැකි කැපකිරීම මතක් වෙලා. ඒක පූජාවක් වගේ. ලංකාවෙ නිළියක් චරිතයක් වෙනුවෙන් කරපු සුවිසල්ම කැපකිරීම කියල කියන්න පුළුවන්. රාණි කියන සිනමා ව්‍යායාමයේ යෝධ සෙවනැල්ල ස්වර්ණා.

    හදයා හරියට සෙන් ගුරුවරයෙක් වගේ රාණි නිර්මාණය කරනවා. අර සුවිසල් දේශපාලන විස්තරාත්මක බාහිරය වෙනුවට රාණිගේ අභ්‍යන්තරය ස්පර්ශ කරනවා. මහා වියමනක් මැද්දට මයික්‍රො කියවීමක් ඇතුව ඇතුල් වෙනවා.

    තමන්ගේ දරුවා අහිමිවෙන ජීවිතයේ අතිරික්තයක් සහිත නාගරික ගැහැණියයි රාණි. එහෙම චරිතයක් මෙතෙක් ලංකාවෙ සිනමාවට නැගිලා නෑ. අපි හැමදාම දකින්නෙ තමන්‍ගේ දරුවා එකම ජීවිතය වුනු ගැමි මවගේ අහිමි වීම. ඒත් රාණි එහෙම නෙමෙයි.

    අපි හැමදාම දකින්නෙ තමන්ගේ එකම ‘පිරිමි’ දරුවා අහිමි වීමෙන් කම්පා වෙන ගැමි ‘අම්මාගෙ’ කතාව. හඳයා නිර්මාණය කරන්නෙ තමන්ගේ ‘සමලිංගික’ පුතා අහිමි වීමෙන් කම්පා වෙන නාගරික ‘ගැහැණියගේ’ කතාව. අම්මාට වඩා අතිරික්තයක් ගැහැණියට තියෙනවා. ගැමි අම්මා ඒ දුකෙන් වැලපි වැලපී සිහිසුන් වෙද්දි රාණි ඒ දුක දේශපාලන මෙහෙයුමක් බවට පෙරලනවා.

    රාණි ගැන දකින බොහෝ කන්කෙඳිරිගෑම්වලට හේතුව හඳයා කරන මේ සබ්වර්ෂන් එකයි. ලිංගික දේශපාලනය ඇතුලෙ පිටත දේශපාලනය කුඩා කිරීමයි. රාණි ඇතුලෙන් ප්‍රේමදාසට සහ පුළුවන් නම් රනිල්ටත් එක්ක ඉමෝෂනල් පහර දීමක් බලාපොරොත්තුවෙන් සිනමාශාලාවට එන මාලිමාලෝලියෙක් නම් කුඩුසංසාර වෙනවා.

    හඳයා රාණි ඇතුලෙ සමලිංගික පුතෙක් සහ දොස්තර අම්මා කෙනෙක් අතර අසම්මත සම්බන්ධතාවයක් දිගහරිනවා. ඒ අපි දැකලා විඳලා කවියට ගීතයට දේවත්වයට නගලා තියෙන අම්මා පුතා සම්බන්ධය නෙමෙයි. එකට විස්කි බොන, යාලුවො වගේ ඇසුරු කරන, අනෙකාගේ නිදහසට සීරීමක්වත් නොවන්නට වගබලාගන්නා අම්මෙක් සහ පුතෙක් අතර සම්බන්ධයක්. එකිනෙකා මත වැටුනු, අනෙකාට බරක් වුනු සාම්ප්‍රදායික සම්බන්ධයක් නෙමෙයි. ඒක නිදහස මත පවතින සම්බන්ධයක්. දියුණු නාගරික මව්-පුතු සම්බන්ධයක්.

    මට රාණි සහ රිචඩ් මුනගැහෙන්න අවස්ථාවක් නොලැබුනත් මං මීට කිට්ටුසම්බන්ධයක් දැකලා තියෙනවා සුනිලා සහ එයාගෙ පුතා සංජය අතර. එහෙම සම්බන්ධයක් ගොඩනැගෙන්න නම් ඒ අම්මා තුල තියෙන්න උවමනායි අතිරික්තයක්. සියල්ල පුතා කේන්ද්‍ර කරගත් ජීවිතයක් නෙමෙයි. අම්මාට පිටතින් පවතින ගැහැණිය ජීවත් වෙන්න ඕන. අපි දැකලා තියෙන්නෙම අම්මාකම වෙනුවෙන් ඒ ගැහැණිය මරාදැමූ මිනිස්සු.

    රිචඩ්ව හොයාගෙන රාණි බලන්න යන අයත් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. රිචඩ් කියන්නෙ රාණිගේ කො‍ටසක් විතරයි. හඳයා රාණි තුල පවතින රිචඩ් ‘නොවෙන’ විශාල කොටසක් පෙන්නනවා. එයා තනියම ඉන්න පුළුවන් ගැහැණියක් බව පෙන්නනවා. එයාගෙ ලෝකය ඇතුලෙ පිටත පවතින ප්‍රේමදාසගේ ලෝකය පවතින්න පුළුවන්කමක් නෑ. රිචඩ්ව පැහැරගෙන යද්දී පවා ඇයට ඒක විශ්වාස කරන්න බැරි වෙනවා.
    ‘එහෙම කොහොමද අරගෙන යන්නෙ?’
    එහෙම නැතත් දුරකතන ඇමතුමක් දෙන සැනින් සියල්ල නැවත නිවැරදි කරන්න පුළුවන් වගත් ඇය දැනගෙන හිටියා වෙන්න පුළුවන්. ඒ තරමට ඇය පාලනයේ ඉහළම තැන් එක්ක සම්බන්ධයි.

    නමුත් රාණිගේ සුන්දර ලෝකය ඇතුලට ප්‍රේමදාසගේ කරුවල ලෝකය කඩා පනිනවා.
    රිචඩ් හඳග‍මගෙ රාණි ඇතුලෙ විශාල චරිතයක් නෙමෙයි. රිචඩ් කියන්නෙ අසාධාරණයට එරෙහිව ආවේගයෙන් මත්වුනු තරුණයෙක් විතරයි. ඒක ඒ වයසෙ විප්ලවකාරීත්වය. තමන්ගේ සමරිසි ප්‍රේමයේ ගවේෂණයත්, තමන්ට නොතේරෙන වෙනස් පංතියක තරුණයන් වෙනුවෙන් උත්තරා‍රෝපිත යුක්තිය පිළිබඳ හැගීමකුත් අතර ගතවෙන තාරුණයෙක් රිචඩ්. රාණි වගේම රිචඩුත් පොලොවේ දේශපාලනය දැනගෙන හිටියෙ නෑ. ප්‍රේමදාස-ජවිපෙ යුගයේ කරුවල ගැන තක්සේරුවක් තිබුනෙ නෑ.

     

    හඳයාගේ චිත්‍රපටිය ඇතුලෙ රිචඩ් මරා දමන්නෙ ප්‍රේමදාස නෙමෙයි. ප්‍රේමදාස – ජවිපෙ යුගයේ අන්ධකාරයයි. පුද්ගලයෙක් ඉලක්ක කරගෙන වරද නොපැවරීම බොහොමයක් මේ යුගයේ බොළඳ විප්ලවවාදීන්ගේ දොම්නසට හේතුවෙන්න පුළුවන්. ඒත් හඳගම කියන්නෙ පරිණත නිර්මාණකරුවෙක් මිස බොළඳ වාමාංශික විප්ලවකාරයෙක් නෙමෙයි. ඒ වගේම හඳගම තමන්ගේ නිර්මාණ හිතුවක්කාරකම ඇතුලෙ නරඹන්නා විසින් අපේක්ෂා කරන දේ කෘතිය තුල නොදී මගහරිනවා. ඒ ඉල්ලන සිල්ලර යුක්තියේ ආස්වාදය හඳයා රාණිගෙන් ලබන්න දෙන්නෙ නෑ.

    රාණි ඇතුලෙ ඉතාම චමත්කාර විදිහට අපිට දන්න කියන නූතන දේශපාලනයේ චරිත මුනගැහෙනවා. තරුණ මහින්ද, මංගල, ලලිත් වගේම ප්‍රේමදාසත් ඉන්නවා. පෙන්නන්නෙ නැති වුනාට රංජන් විජේරත්නත් ඉන්නවා. අපි සිනමා තිරය මත විජයබාහුලා පරාක්‍රමබාහුලා දැකලා තිබුනට නූතන පාලකයන්ව දැකලා නෑ. ඒ චරිත සිනමා තිරය මත ප්‍රතිනිර්මාණය කිරීම ආස්වාදනීය වගේම හරිම නැවුම් අත්දැකීමක් වෙනවා. මහින්ද මහරජානෝ බිහිවීමට පෙර තරුණ වාමාංශික නායකයා අපිට රාණි එක්ක මුනගැහෙනවා හරිය. දේශපාලනයට අවතීර්ණ වුනු තරුණ ජේත්තුකාර මංගලත් ඉන්නවා. අද වගේම එදත් මංගල කඳවුරු අතර පාලම් බඳිනවා. ප්‍රේමවන්ත, සංවේදී හිතැති ලලිත්, රාණි ළග නිතර ඉන්නවා. මේ මොහොතවල් දේශපාලනයේ ප්‍රවෘත්තිමය දුරස්ථ මොහොතවල් විදිහට ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට ඒ අයගෙ පුද්ගලික කන බොන කතාබහ කරන තැන් ඇසුරෙන් ඒ අයගෙ ‘යුනික් ට්‍රේට්ස්’ ඉස්මතු කරමින් නිර්මාණය වෙලා තියෙනවා. හඳයා පුළුවන් තරම් ප්‍රවෘත්තිමය කාරණා මගහරිනවා. ප්‍රවෘත්තියක් විදිහට ස්පර්ශ වෙන්නෙ ප්‍රේමදාස විතරයි.

    රිචඩ් පැහැරගෙන ගිය තැන පටන්කොතනවත් රාණි හඩාවැටෙන්නෙ නෑ. දුක පිටතට පිටකරනවා වෙනුවට ඇය හුදකලාව, දුක තමන් ඇතුලට උරාගන්නවා. රාණි හඩාවැටෙන්නෙ ලලිත්ගේ මරණයේදි විතරයි. ලලිත් මළ බව කියන්නෙත් ඇගේ හැඩීමම විතරයි. ඒ පෙම්වතෙක් අහිමිවීමනිසාද නැත්නම් මිතුරෙක් අහිමි වීම නිසාද යන්න ගැන චිත්‍රපටිය නිශ්චිත නෑ.

     

    හඳයා මේ සියලු සැබෑ චරිතවලට බැහැරින් එක් ප්‍රබන්ධමය චරිතයක් ඇතුල් කරනවා. ඇය සිතින් රිචඩ්ට ආදරය කරන තරුණියක්. ඇගේ දරුවා බිහිකරන්න සහාය වෙන දොස්තර රාණි. ඒ දරුවා ඇගේ කුස තුල වැඩෙද්දී ඇගේ සැමියා මරා දමන්නේ ජවිපෙන්. රිචඩ්ව මරා දමන ප්‍රේමදාස අන්ධකාරයේ අනෙක් පාර්ශ්වකරුවා ජවිපෙ. හඳයා අන්ධකාරයේ තනි අයිතිය ප්‍රේමදාසට පවරා දෙන්නෙ නෑ.

    මේ ප්‍රබන්ධමය කාන්තාව සිංදු හදන ඇගේ සැමියාට බැහැරින් රිචඩ්ට සිතින් පෙම්කරනවා. සැමියා තමන් ළගම සිටියත්, දුරින් වෙනකෙකුට පෙම්කරන ඇය ගැන රොමාන්තික සිංදු හදනවා. රාණි මෙන් ඉහල පාංතික නොවුනත් මේ තරුණියත් අතිරික්තයක් ඇති ගැහැණියක්. මං හඳයාට විශේෂයෙන්ම ආදරය කරන්නෙ මවක් බිරිඳක් හැටියෙන් නිශ්චිත භූමිකාවල මිය නොගිය ගැහැණුන් නිර්මාණය කිරීම වෙනුවෙනුයි. ඒ අය විවාහය ඇතුලෙත් ඉන් පිටතත් දිගටම ප්‍රේම කරනවා.

    රාණි තමන්ගේ දමනය කළ නොහැකි ගැහැණුකම ඉදිරියේ සැමියා දික්කසාද වූ බව කියන්නෙ හිනාවෙවී.
    ‘ඉතින් දැනුත් හිතෙන් ආදරයකරන අය නැද්ද?’
    තරුණිය රාණිගෙන් අහන්නෙ දඟකාර විදිහට, සමවයස් මිතුරියක් වගේ.
    ‘ඉන්නවා. එයා මැරීඩ්’
    රාණි තමන්ගේ විශාල ගැහැණු හදවත ගැන කියන්නෙ විවෘත කෙටි දෙබසකින්.

    හඳයා සිනමාකරුවෙක් විදිහට හරිම තරුණ වැඩ ටිකක් රාණි ඇතුලෙ කරනවා. තමන්ගෙම මාඝාත නාට්‍යය මේ චිත්‍රපටියෙ වීරවරිය, රාණි ලවා හාස්‍යයට ලක් කරනවා. රිචඩ් මාඝාත නරඹා පිනාගොස් සිටිද්දී රාණි කියන්නෙ ඒ ආර්ට් නෙමෙයි හුදු ‘ප්‍රොපගැන්ඩා’ වැඩක් බවයි. රිචඩ් සහ රාණි අතර පරතරය මාඝාත කළ හඳයා සහ රාණි කළ හඳයා තරම් දුරයි. මේ විදිහෙ ‘සෙල්ෆ් පැරඩි’ වැඩ අපේ සිනමාවට ආගන්තුකයි.

    ප්‍රේමදාස යුගය අවසන් වෙමින් චන්ද්‍රිකා යුගය කරලියට එනවා. ඒ යුගය නිර්මාණය කරන්නේ මහින්ද. ප්‍රේමදාස දුෂ්ටයා වන විට වීරයා වුනු රාජපක්ෂ අද ලොකුම දුෂ්ටයා බවට පත්වෙලා තියෙනවා. යුක්තිය වෙනුවෙන් පැමිණි පිරිසම අද අයුක්තිය බවට පත්වෙලා තියෙනවා. මේ වීරයා දුෂ්ටයා බවට පත්වීමේ පරිණාමය විසල් තිරයක් මත දැකීම මාලිමාවෙන් පසු බිහිවෙන අලුත් රටක් ගැන ළාබාල පැතුමෙන් පිරුණු තරුනෙකුගේ හඳුන්පොත රිදවන්නක් වෙන්න පුළුවන්.

    චිත්‍රපටිය 90 දශකයේ නිසාම ආර්ට් ඩිරෙක්ෂන් කියන්නෙ ලොකු වැඩක් වෙනවා. හැම පොඩි දෙයක්ම ඒ දශකයට ටයිම් ට්‍රැවල් කරන්න වෙනවා. 89-90 ගැන කරපු සියලු සිංහල චිත්‍රපට අසමත් වුනු තැනක් මේක. රාණි මේ අභියෝගය ඉතාම සාර්ථකව ජයගන්නවා. ඒ වෙනුවෙන් බිමල් දුෂ්මන්තට ක්‍රෙඩිට් එක හිමි වෙන්න ඕන. තෝරාගත් අවම සීමිත කලාප ඇතුලෙ ඉතාම මැනවින් සිතා බැලීමකින් යුතුව පසුතලයන් නිර්මාණය වෙලා තියෙනවා.

    මේ සංගීතයට වඩාත් ගැලපෙනම තෝරාගැනීම රෝහණ වීරසිංහ. 88-89 යුගය කියන්නෙ තාරුණ්‍යය ආවේගයෙන් මුසපත් කළ නන්දා මාලිනීගේ පවන යුගය. රෝහණ කියන්නෙ ඒ යුගයේ පුරෝගාමියෙක්. හඳයා චිත්‍රපටිය අවසානයේ රෝහණ විසින්ම සංගීතවත් කළ, නන්දාගේ හඩ බදුවම ඇසෙන ගීතයක් යොදාගැනීම එදා අරුත් මෙදා අරුත් ගලපමින් රෝමෝදගමනය කරවන්නක්.

    චිත්‍රපටියෙ මං කැමතිම නාමාවලියෙන් පසුව ‘කම්බැක්’ එකක් ලෙස දිගහැරෙන දර්ශනයටයි. එය යොමුවන්නේ රිචඩ් මරා දමනු පිනිස එන මැරයන්ගේ ජීප් රථය ඇතුලටයි. රිචඩ් යනු කරදරකාරයෙක් යැයි ලොක්කා කී පමණින් එදා රෑ රිචඩ් මරා දැමීමේ විධානයක් නොලත් තීරණය ක්‍රියාත්මක කරන්නේ ඔවුන්. අන්ධකාරයේ ස්වභාවය වන්නේම වියවුලයි. එය නිශ්චිත තීන්දු තීරණ ඉහල සිට පහලට ක්‍රියාත්මක වෙන කලාපයක් නෙමෙයි. පිස්සු බල්ලන් නිදහසේ සපාකෑමට ලෙහා දැමීම එහි ක්‍රියාකාරීත්වයයි. මැරයන්ගේ බීමත් ප්‍රචන්ඩ විනෝදය සහ, රිචඩ් ‘පොන්නයෙක්’ වීම, ඒ ඝාතනය ඒ මොහොතේ සිදුවීමට හේතු වෙනවා. ඒක සිනමාත්මක යෝජනාවක්.

    මැරයන් එන්නේ ‘යදමින් බැඳ විලංගු ලා’ සිංදුව ජීප් එකට තඩිබාමින් විනෝදයෙන් ගායනා කරමින්.ඒක හරිම රූපකමය යොදාගැනීමක්. නන්දාගේ ගීත විප්ලවීය තරුණයන් වගේම ඔවුන්ගේ මැරයනුත් එකසේම විඳිනවා. ආන්ඩුවේ මැරයන් වගේම දේශප්‍රේමී මැරයනුත් ‍එකම සංගීතයෙන් මෙහෙයවෙනවා.

     

    රාණි කියන්නෙ 88-89 දිහා ස්ත්‍රීමය කෝණයකින් හැරී බැලීමක්. රාණි දේශපාලනික පිරිමිබව වෙත අරන් යනවා වෙනුවට හඳයා රාණි කියන ගැහැණිය තිරය මතට අරන් එනවා. මේ සෙක්සොපොලිටිකල් වෙනස් ස්ථානගත කිරීම නරඹන දේශපාලන පිරිමින් අවුල් කරන්නට නියමිතයි.හඳගම කියන්නෙම ඒ අවුලට.

    රාණි කියන්නෙ ලංකාවෙ බොහෝ කලකින් බිහිවුනු ‘classy’ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. චිත්‍රපටියෙ කැමරාව, සංස්කරණය මේ හැම දෙයක්ම ඒ ඔසවා තැබීමට හේතුවෙනවා.