Category: Lust Cinema

  • පත්මා ගැන මතකය

    පත්මා ගැන මතකය

    කටුබැද්දෙ ගෙදර යන හැම වෙලාවකම බෙලෙක්කඩේ හන්දියෙ පත්මා ෆිල්ම් හෝල් එක පහුවෙනවා. කොයිතරම් ට්‍රැෆික් එකක හිටියත් මට ඒ පැත්ත නොබලා යන්න බැරි වෙනවා. වැඩියෙන්ම අවදානම්කාරී වෙන්නෙ ඒ බලන මොහොතෙන් අතීත මතක ගොන්නක්ම එකපාර එබෙන එක. වාහනේ එලවනවා වුනාට මම මොහොතකට එතන නැති වෙනවා. පත්මා එක ඇතුලෙ හිතෙන් ඇවිදින්න ගන්නවා.

    පත්මා එක තියෙන්නෙ බෙලෙක්කඩේ බුදු පිලිමෙ පිටිපස්සෙ. ඒකට ඒ දවස්වල ආවෙම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි. ඉස්‍කෝලෙ යන කාලෙ  ඇඩල්ට්ස් ඔන්ලි කියන අකුරු ටික දැකපු ගමන් චිත්‍රපටියෙ නම ‍මොකක්ද කියලවත් බලන්නෙ නැතුව හෝල් එකට රිංගන එක අපේ ඇබ්බැහියක් වෙලා තිබුන.  ඇත්තටම පත්මා එකේ බලපු චිත්‍රපටිවලින් මට නමකට මතක ‘මෙලඩි ඉන් ලව්’ 1978 විතරයි. මොකක් හරි තේරුමක් නැති හේතුවකට ඒ ෆිල්ම් එක මට සීන්ස් පිටින් මතකයි.

    ඒ නිළිය සිල්වියා ක්‍රිස්ටල් බවත්, ඒ වෙද්දි එම්මානුවල් ෆිල්ම් එකෙන් ඇය ශෘංගාර රැජිනක්ව හුන් බවත් දැනගත්තෙ පස්සෙ. ෆිල්ම් එකේ ඩිරෙක්ටර් හියුබර්ට් ෆ්‍රෑන්ක්. චෙකොස්ලෝවියානු අධ්‍යක්ෂවරයෙක් වුනු හියුබර්ට් තමයි, ට්‍රෑන්ගල් ඔෆ් ලස්ට්, පැට්‍රීෂියා සහ මෙලඩි ඉන් ලව් චිත්‍රපටි තුනම නිර්මාණය කලේ.

    සිල්වියා ක්‍රිස්ටල්ගෙ  එම්මානු‍වල් මට බලන්න ලැබුනෙ වීඑච්එස් කැසට් එකක් විදිහට. රාවතාවත්තෙ ගාමිනී වීඩියෝ සෙන්ටර් එකෙන් බොරු අයිඩී තියලා අරන් ආපු ඩබල් එක්ස් කෑල්ලක් විදිහට. කොහොම නමුත් මෙලඩි ඉන් ලව් චිත්‍රපටියෙ බොහෝ දර්ශන ලංකාවෙ රූගත කර තිබුනු බව පස්සෙ කාලෙක කියවන්න ලැබුන.

    මේ කතාව ඒ ගැන නෙමෙයි. පත්මා සිනමාව ගැන.

    ඉස්සරහ දැවැන්ත බුදු පිලිමයක් තිබුනු එක පත්මා එක‍ට කවදාවත් ප්‍රශ්නයක් වුනේ නෑ. බුදු පිලිමෙ දැක්කම බස්වල පස්ස උස්සන උපාසක අය ආපහු පස්ස බිම තිබ්බෙ පත්මා එකත් පහුවුනාට පස්සෙ. අද වගේ කාලෙක නම් මේ සිනමා ශාලාව බුදු දහමට නිගාවක් කියල කස්සප වගේ අය පාරට බහින්න ඉඩ තිබුන.

    පත්මා එකේ චිත්‍රපටිවල පිංතූර පෝස්ටර් ඇලෙව්වෙ  නෑ. ඇතුලෙ ෂෝකාර්ඩ් කීපයක් තිබුනා. සම්පූර්ණ ආකර්ශනයම තිබුනෙ දම්පාට රතුපාට මුසු  අකුරුවලින් ලියවුනු ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි’ කොටසෙ.

    ඒ හෝල් එකටම අනන්‍ය සංස්කෘතියක් තිබුනා. හෝල් එක ඇතුලෙ මිනිස්සු සිගරට් බිව්වා. නිරුවත් දර්ශන යද්දි ස්වයං වින්දනයෙ යෙදුනා. සෙක්ස් කෑලි මදි නම් හූ කිව්වා. සමහරු සෙක්ස් කෑලි තියනවා කියලා රවටපු එකට ආපහු ටිකට් එකේ සල්ලි ඉල්ලලා රන්ඩු වුනා.

    ඒ වගේම සමහර ජෝඩු මේ චිත්‍රපටි බලන්න ආවා. ඒ අය පුටු දෙකක් උඩ ආලිංගනයට ඉඩ මදි වුනාම පත්තර කොල එලාගෙන අයිනෙ තීරුවෙ දිගාවුනා. තව සමහරු ආවෙම මේ වගේ පෙම්කෙලින ජෝඩු දිහා බලන් ඉන්නමයි. ෆිල්ම් එකට වඩා ආස්වාදයක් ඒ අය මේ අනුන්ගෙ රතිකෙලිවලින් ලැබුවා. කොහොම වුනත් ෆිල්ම් එකක් බලන්න ගිය හැම වෙලාවකම සීට් එක හොඳට අතගාලා බලලා ඉඳගන්න පුරුද්දක් අපිට තිබුන. නැත්නම් බොහෝ විට වෙන කෙනෙකුගේ ශුක්‍රානු අපේ කලිසමේ ඇලවෙන්න ඉඩ තිබුන.

    මේ හැමදෙයක්ම ඒ සිනමාවට අදාල සංස්කෘතිය. ඒ චිත්‍රපටි බලන්න ආපු අයගෙ ආශාවන් ඒ අන්ධකාරයෙ නිදහස් වුනු හැටි. සිනමාව තිබුනෙ  තිරෙන් පිටිපස්සෙ විතරක් නෙමෙයි. තිරෙන් ඉස්සරහ තිබුනෙත් සිනමාව.

    කාලයත් එක්ක මේ සිනමා ශාලාව වැහිලා ගියා.  ටිකෙන් ටික පත්මා වනගත වෙන හැටි මම බලන් හිටියෙ ලොකු මනස්තාපයකින්. ඒ මහා ගස්වල සෙවනෙ තිබුනු පොදු ජනතාවගේ අනුරාග සිනමා ශාලාව  අස්ථානගත වුනේ අපේ මතකත් එක්ක.

    දැන් ඒ සිනමා ශාලාව වහගෙන මහා ගස් වැවිලා. තාම ඒ  ගස් අතු අතරින් පරණ  බිත්ති පාරට පේනවා. මේ සිනමා ශාලාව ඇතුලට ආයිමත් යන්න තිබුනා නම් කියල ලොකු ආසාවක් හිතේ නලියනවා. කොම්පඤ්ඤවීදියෙ රියෝ සිනමාව වගේ අඩුම තරමෙ විශේෂ සිනමා හෝ කලා ප්‍රදර්ශනවලටවත් පත්මා සිනමාව විවෘත වෙනවා නම් කොයිතරම් දෙයක්ද? සිනමා ශාලාවක් කියන්නෙ  ප්‍රජාවකගේ ආශා සංස්කෘතියක් දරාගත්ත තැනක්.

    පත්මා කියන්නෙ තාමත් ඒ නිදහස් රාගයේ රහස් දරාගනෙ ඉන්න ඉරොතික පූජාභූමියක්.

  • කෙළියා නේද තරුණ කැළ?

    කෙළියා නේද තරුණ කැළ?

    ෆාදර් චිත්‍රපටිය ගැන හතරවටෙන්ම ඇහෙන්නෙ උණුසුම් ප්‍රතිචාර. චිත්‍රපටිය හෝල් කඩාගෙන දුවන වගත් පේන්න තියෙනවා. ඒක හදවතෙන්ම සතුටු වෙන කාරණයක්.

    චිත්‍රපටියක් එහෙම උණුඋණුවෙම බැලුවට පස්සෙ මං ඒ ගැන කියන්න තියෙන හොඳ ටික මුලින්ම කියනවා.  ඊට පස්සෙ ටිකක් දුර යන්න ඇරලා ආපහු වතාවක් චිත්‍රපටිය බලලා කියන්න තියෙන නරක ටික කියනවා. ඒ ලියන්නෙත් මං ලියන ‘නරක’ කියෙව්වට පස්සෙ වුනත් කෙනෙකුට, අනේ මූ දන්න සිනමාව’ කියලා මට බැනලා චිත්‍රපටිය බලන්න යන්න හිතේවා කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්.

    ෆාදර් චිත්‍රපටිය හදන්නෙ ගම්පහ ඔස්මන්ඩ් කියන පාතාල චරිතය ඇසුරින්. ඒ වගේම චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ නිර්ප්‍රභූ දේශපාලනය වෙනුවෙන් කියලා කොඩි දාගෙන මාලිමාව බලයට ආපු කාලෙක.  චිත්‍රපටිය ඇතුලෙ කතාව තියෙන්නෙත් කසිප්පු පෙරන, ඩීල් දාන ඥානෙ අයියාගෙන් හිතහොඳ ඩෙස්මන්ඩ් මල්ලිට පාතාලෙ ඔටුන්න මාරුවෙන  කතාව. ඥානෙ අයියා කන බොන, කප්පං ගන්න, දේශපාලකයො එක්ක සම්බන්ධ සීනියර් මැරයා. ඩෙස්මන්ඩ් කියන්නෙ සිගරට් එකක්වත් බොන්නෙ නැති, දේශපාලන සම්බන්දකම් මොකුත් නැති, දේවධාර්මික මැරයා. චිත්‍රපටියෙ මූලික කේන්ද්‍ර දෙක හැදෙන්නෙ මේ වගේ සරල සමීකරණයකින්. පාතාලය යුක්තිගරුක පාතාලය සහ අයුක්තිසහගත පාතාලය වශයෙන් වර්ග කරගෙන.

    මේ චිත්‍රපටිය කියවද්දි අපි මුලින්ම ‍මීට අදාල සැබෑ සිදුවීම් සහ චරිත පැත්තකින් තියන්න ඕන. චිත්‍රපටිය ඇතුලෙ අපි දකින දේ කියවගන්න ඕන. එතනදි අපිට තේරෙන්න පටන් ගන්නවා පිටත කතාව නොදන්නා කෙනෙකුට චිත්‍රපටිය ඇතුලෙ හිස්තැන් ගොඩක් මුනගැහෙන වග. කතාව ගලපගන්න දඟලන්න වෙන වග.

    අපි මුල ඉඳන් පටන් ගමු.

    කතාව පටන් ගන්න තැන ගත්තොත් ඩෙස්මන්ඩ් වයසට ගිහින් සෞම්‍ය බවට පත්වෙලා කියන පළවෙනි දෙබස අන්තිම නීරසයි. ඒක ඒ චරිතයට කොහෙත්ම අදාල නොවෙන සංදර්භයකින් ලියවුනු එකක්. හරියට හයිඩගර්ගෙ කතාවක් වගේ දාර්ශනික වදන් ටිකක් වයසක ඩෙස්මන්ඩ් කියාගෙන යනවා.   ඊට පස්සෙ අපි ඩෙස්මන්ඩ්ව තරුණ කාලෙදි මුනගැහෙනවා. 

    පූජන දන්දෙනිය කියන්නෙ ඉතාම දක්ෂ නළුවෙක්. ලංකාවෙ වැඩකට නවසුදීන් සිද්දික් වගේ කෙනෙක්ව ඕන වුනොත් බය නැතුව පූජනව ගන්න පුළුවන්. ඒ මූන ඒ තරම් අපූරු මූනක්.

    ඒත් ඩෙස්මන්ඩ් සම්බන්ද මේ ගැටුම් චිත්‍රපටියෙ අන්තිම සරල ග්‍රාමීය මට්ටමකයි ලියවිලා තියෙන්නෙ.  හරියට කෝපිකඩේ රත්නෙ අයියා සහ සෝමෙලා අතර ඇතිවෙන රන්ඩු  වගේ. එහෙම ගම්පලාතක වුනත් ගැටුමක සංකීර්ණත්වය නිර්මාණය වෙන්නෙ ඒක පිහිටුවන වියමන අනුව. ඒ ගැටුමට අදාල හැගීම් කලාපය නිර්මාණය කිරීම අනුව. එතනදි අපිට අදාල ගැටුමේ සිදුවීම්වලට බාහිරෙන් මිනිස් සම්බන්ධතා චිත්‍රපටියට ගේන්න සිද්ද වෙනවා. ඒ ගැටුම එක්ක පරිබාහිරින් සිද්ද වෙන්න ගන්න වෙනස්කම් ග්‍රහණය කරන්න වෙනවා.   නමුත් ෆාදර් චිත්‍රපටියෙ දිගටම අපි දකින්නෙ මොකක් හරි පොඩි සිදුවීමක් වෙනවා, ඊට පස්සෙ ඒකට ප්‍රතිචාරයක් සිද්ද වෙනවා. ඊට ගැඹුරින් දිවෙන  කිසි දෙයක් නෑ. ඒ හින්ද අපිට අතරමගදි හිතෙන්න ගන්නවා මුං මොකට මෙහෙම කෙලගන්නවද කියල. 

    චිත්‍රපටියෙ කිසිම චරිතයකට අදාල ක්‍රියාව කරන්න ‘මෝටිවේෂන්’ එකක් නෑ. ඒකට අදාල හේතු ගොඩනැංවීමක් නෑ. සිදුවීම් ඔහේ සිද්ද වෙනවා විතරයි. මෝටිවේෂන් එකක් නැති චරිත එක්ක ප්‍රේක්ෂකයාට සම්බන්ධයක් ‍ගොඩනැගෙන්නෙ නෑ. 

    ප්‍රධාන දුෂ්ටයා ඥානෙ වුනත් චිත්‍රපටියට අනුව අන්තිම අසරණයෙක්. ඌට දේශපාලකයන්ගෙන්වත් උදව්වක් නෑ. උගේ පිරිසෙන්වත් උදව්වක් නෑ. නිකං හන්දියක ඉඳගෙන සද්දෙ දැම්මට වටෙන්ම ගුටිකන නොන්ඩියෙක්. ඥානෙගෙ පවුල් විස්තර, ගෑනු ළමයි  සම්බන්ධතා කිසිම දෙයක්  නෑ. උන් නිකංම ඔහේ ඉන්නවා විතරයි. ඥානෙ ලබන විනෝදය මොකක්ද? 

    චිත්‍රපටියෙ දර්ශන ගත්තොත් වෙන වෙනම දර්ශන වගේ. ඒ දර්ශන අතර දෙබසකින්වත් රූපයකින්වත් සම්බන්ධතා ගොඩනැගෙන්නෙ නෑ.    සමහර විට වෙන වෙන අය විසින් අධ්‍යක්ෂණය කරලා තරමට  රිද්මය පවා වෙනස්. මේ හින්ද එක දිගට සම්බන්ධ වුනු කතාවක් වෙනුවට අපි දකින්නෙ තනි තනි සිදුවීම් පෙලක්. උදා විදිහට සුරාජ් මාපා නිරූපණය කරන චරිතය එහෙම පිටපතට කිසිම අදාලත්වයක් නැති ආකස්මික එකක්.  චන්ඩියෙක් වුනත් මිනිහට තනියටවත් කෙනෙක් නෑ. කපලා මරලා දාලා ගියත් දන්නෙ නෑ. අහේතුක චරිතයක්.

    පිටපතේ තියෙන දරුණුම අර්බුදය තමයි මේ චිත්‍රපටියෙ චරිත මනුස්සයන් විදිහට තේරුම් නොගැනීම. ඒ අයගෙ විනෝදය, ආස්වාදය, අතාර්කිකත්වය  අපි කතාවෙ දකින්නෙ නෑ. මේ කිසි චරිතයකට ලිංගික හෝ ශෘංගාර අර්ධයක් නෑ. උන්ගෙ ආශාව මෙහෙයවෙන දිශාවක් නෑ.  තණකොල ගලවන පොලිස් ලොක්කා වගේ චරිත  එකපාර ආගිය අතක් නෑ.

    චිත්‍රපටියෙ මනුස්සයෙක් විදිහට නිර්මාණය වෙලා තියෙන්නෙ සේකරගෙ චරිතෙ විතරයි කියන්න පුළුවන්. ඒක අහම්බයක්. ඒ වුනත් හිරගෙදර අපචාරවලට ලක්වීමේ ඉඳන් ෆිල්ම් හෝල් එකක පෙම්වතිය සමග ඉඳිද්දි මරණයට පත්වීම දක්වා ගමනෙ සේකර මනුස්සයෙක් විදිහට නිර්මාණය වෙනවා. වෙන කිසිම චරිතයක මෙහෙම මනුස්ස කතාවක් ‍ගොඩනැගෙන්නෙ  නෑ. 

    වෙන් වෙන් සිද්ධි හැටියට ගත්තම හරිම ලස්සන තැන් තියෙනවා. ගමේ වාද බයිලා තරගය එහෙම එකක්. ඒක මරු. ඒත් කතාවට වැඩක් නෑ. ඒ චරිත එනවා යනවා. එතන ඇතිවෙන වලිය වුනත් කිසිම පදනමක් නැති එකක්. අපිට වීරයාව දැවැන්තව ගොඩනැගීමට අවශ්‍ය නම් දුෂ්ටයාව ඒ පමණට ගොඩනගන්න සිද්ද වෙනවා. ඒත් ෆාදර් චිත්‍රපටියෙ  අපි දැවැන්ත ඩෙස්මන්ඩ්ව ගොඩනගන්නෙ  පිදුරු ගස් මතින්.

    ඥානෙ අයියා මැරෙන තැනින් චිත්‍රපටිය ඇත්තටම ඉවරයි. අනෙක් කොටස බලෙන් එල්ලපු එකක්. කතාව ගොඩනැගෙන්නෙ ඥානෙ සහ ඩෙස්මන්ඩ් අතර. වවුල්කැලේ සිද්ධිය පිටපතට ඇතුල්වෙන්නෙ බලහත්කාරයක් විදිහට. ඒ සිදුවීම පත්තරවලින් දන්නෙ නැති කෙනෙකුට කිසිම විදිහකින් ඒක තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. ඩෙස්මන්ඩ් ජපානෙ ගිය වගක් අපි දැනගන්නෙ මන්ත්‍රීගෙන්. මෙච්චර කාලයක් ගමේ හිටපු ඩෙස්මන්ඩ්  ගනං ගත්තෙ නැති මන්ත්‍රී ජපානෙ ඉන්න ඩෙස්මන්ඩ් හතුරෙක් විදිහට ගනං ගන්නෙ ඇයි?  චිත්‍රපටියෙ මේ ඇමිනුම පිටපතේ විශාල හිලක් පෙන්නනවා.

     ඩෙස්මන්ඩ්ගෙ සහෝදරයන් ඝාතනය කිරීමේ වේදනාව එකම රූපයකින්වත්  සටහන් වෙන්නෙ නෑ. අන්තිමට මන්ත්‍රී සහ පොලිස් අධිකාරීවරයා මරා දාන කොටස වෙද්දි සියල්ල ලොකු පැටලැවිල්ලක්. ඒ දර්ශනවලදි සංස්කරණය පවා අන්තිම දුර්වලයි. ( හැබැයි සිතුම් කියන්නෙ අපිට ඉන්න දක්ෂම සංස්කාරකවරයෙක්) එහාට මෙහාට වේගයෙන් රූපරාමු රාශියක් කැපුනත් සිදුවීමේ භාවය දනවන්න ඒ කැපිල්ල බාධාවක් වෙනවා විතරයි. 

    ඩෙස්මන්ඩ්ගෙ පෙම්වතිය කොහෙන් ආවද කියන්න අපි දන්නෙ නෑ. කොට ගවුමක් ඇඳන් එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටපු කෙල්ලෙක් එකපාර බයිසිකලේ උඩ ඩෙස්මන්ඩ්ගෙ පෙම්වතිය බවට පත්වෙනවා. චිත්‍රපටිය නිර්මාණය කිරීමේ අතිශය වියළි බව පසක් වෙන්නෙ මේ දර්ශනයත් එක්ක. අඩුම තරමෙ ඩෙස්මන්ඩ්ට ආදරය කරන්න තරම්වත් ඉඩක් පිටපතේ ලියවිලා නෑ.

    මේ චිත්‍රපටියෙ මේ චරිත ගොඩනැංවීමේ අවුල  එක්තරා විදිහට ජවිපෙ දේශපාලනය ඇතුලෙත් මං දකිනවා. ඒක එක්තරා විදිහකට අවිඥානකව ප්‍රකට කරන ජීවන දෘෂ්ටියක් වගේ.  ජවිපෙ සමාජිකයන්  සමාජය සමග මනුස්ස ගනුදෙනු පවත්වාගන්නෙ නෑ. (මනුස්ස ගනුදෙනු ‍කියන්නෙ නිවැරදි ගනුදෙනු කියන එක නෙමෙයි. මනුස්ස කියන්නෙ රූල්ගත නොවූ කියන එක) ඒ අය කවදා හරි සිද්ද වෙන විප්ලවයක් වෙනුවෙන් ඒ අය විශ්වාස කරන කැපකිරීම් කරනවා.  ඒ හින්ද කෘතිම ගතියක් තියෙනවා. ඩෙස්මන්ඩුත් ඒ වගේ. ගමේ මිනිස්සු එක්ක ගනුදෙනුවක්, පෙම්වතියක් එක්ක, මත්වීමක්, විනෝදයක් එක්ක කිසිම මිනිස් ගනුදෙනුවක් නැතුව යුක්තියක් හෝ ඒ වගේ දෙවියන් විසින් තමාට අණකළා යැයි සිතන දෙයක් වෙනුවෙන් මෙහෙයවෙනවා විතරයි.

    මේ චිත්‍රපටිය ලියවිලා තියෙන්නෙ එලියෙ ඉඳන් බලන් ඉන්න සිදුවීම් පෙලක් විදිහට. ඒ හින්ද චරිතවල අභ්‍යන්තරයක් නෑ. තියෙන්නෙ බාහිරයක් විතරයි.  අඩුම තරමෙ තමන්ගෙ සහෝදරයාව යාලුවන්ව පැහැරගෙන ගිහින් මරාදැමීම ගැනවත් ඩෙස්මන්ඩ්ගෙන් සුසුමක්වත් පිටවෙන්නෙ නෑ.

    මේ අලුතින් ගොඩනැගෙන නිර්ප්‍රභූ සිනමා ධාරාවෙ විශේෂත්වයක් මං දකිනවා. ඒ තමයි මේ චිත්‍රපටි තඩි පිරිමි චිත්‍රපටි. එක පැත්තකින් පිටපතේ චරිතවල ස්ත්‍රීමය,  අතාර්කික හැගීම්මය අර්ධය (පර්ස්පෙක්ටිව් එක) ගොඩනැංවීම බැහැර කරමින්  පිරිමි අර්ධය ඉස්මතු කරනවා. ලිංගිකත්වය සහ ශෘංගාරය බැහැර කරනවා.  අනෙක් පැත්තෙන් මේ චිත්‍රපටිවල ගැහැණු නෑ. තැන් තැන්වල ගැහැණු හිටගෙන හිටියට ඒ අය කතාවට කේන්ද්‍රීය නෑ. මේවා පිරිමි කතන්දර. ස්ත්‍රීත්වය වාරණය කරපු ගොඩනැංවීම්. 

    මේ චිත්‍රපටිය සිනමාව ගැන උනන්දු අය බලන්නම ඕන එකක් කියල මං ලිව්වා. ඒකට හේතුව මේක ‘පේසින්’ හෙවත් චිත්‍රපටයේ රිද්මය වේගය අසමත් වීම ගැන උදාහරණයක් හින්ද. අපිට චරිතයක් සිදුවීමක් හැගීමක් බවට පරිවර්තනය කරන්න රූපවල රිද්මය සහ වේගය වැදගත් වෙනවා. මැද හුස්ම ගන්න බ්‍රීතින්ග් ඕන වෙනවා.  ඒක අසමත් වුනාම අපි නිකං බලං ඉන්නවා විතරයි. ඒ සිදුවීම් එක්ක අපේ හැගීම්මය සම්බන්ධයක් ගොඩනැගෙන්නෙ නෑ. අපිට ඩෙස්මන්ඩ් එක්කවත්, ඥානෙ එක්කවත් කිසිම සම්බන්ධයක් නිර්මාණය වෙන්නෙ නෑ. උන්ට මොනවා වුනත් අපිට දැනෙන්නෙ නෑ. 

    මේ චිත්‍රපටිය එක දිගට මරාගෙන මරාගෙන යන කතාවක් කියල ගමු. ජෝන් වික් කියන්නෙ එහෙම චිත්‍රපටියක්. ඒත් ජෝන්වික්ගෙ බල්ලා මරා දැමීම එක්ක අපිට ඒ ආවේගය, ආවේශය දනවන්න ඒ රූපරාමු පෙලගැසීම සමත් වෙනවා. අපිත් ජෝන් වික් එක්ක සතුරන් දඩයමේ යනවා. ෆාදර් චිත්‍රපටියෙ අපි ඉන්නෙ එලියෙ. ජෝන්වික්ගෙ බල්ලව මැරුවම දැනෙන දුකවත් අපිට මිනිහෙක් මැරුවට දැනෙන්නෙ නෑ.

    මට හිතෙනවා අධ්‍යක්ෂවරයා හැගීම්වලින් පලායනවා කියලා. ඒ මොහොත මගහරිනවා. මං ඒකට කියන්නෙ ‘ගැහැණිය’ මගහරිනවා කියල.

    චිත්‍රපටියෙ සංගීතය ඉතාම විශිෂ්ට බව කියන්න ඕන.  සරල කාකොටා ගැනීම්වලට යම්කිසි හෝ ගැඹුරක් දෙන්න සංගීතය බරපතල උත්සාහයක යෙදෙනවා. ප්‍රධාන ගීතය විදිහට ඉස්මතු වෙන චාමර වීරසිංහගෙ සිංදුව ලස්සනයි. ඒත් ඒකට චාමර යොදාගැනීමේ තේරුමක් නෑ (ප්‍රචාරනාත්මක වටිනාකම හැර නිර්මාණාත්මක වටිනාකමක් නෑ). මොකද ඒ ගීතයේ චාමරගෙ කිසිම අනන්‍යතාවයක් නෑ.

    ෆිල්ම් එක හොඳට ෂූට් කරලා තියෙනවා. මං හිතන්නෙ ඕනවටත් වඩා තොග ගානට ෂොට් තියෙන්න ඇති. උදා විදිහට පාරෙ ඉන්න සාරවිටකාරයා පවා හයහත් වතාවක් ෂූට්වෙලා තියෙනවා. කොයිතරම් අඩුමකුඩුම තිබුනත් චිත්‍රපටිය එක අරමුණක් කරා ගෙනියන අධ්‍යක්ෂවරයෙකුගේ අඩුව චිත්‍රපටිය පුරාම දැනෙනවා. 

    චිත්‍රපටියක් ඇතුලෙ ස්ක්‍රිප්ට් ඩොක්ටර් කියන පිරිසක් අපි දකින පළවෙනි වතාවත් මේක වෙන්න ඕන. දොස්තරලා වැඩිවීමෙන්ම සුප් එක නරක් වුනාද කියලත් හිතෙනවා. 

    අනෙක් කාරණය මේ චිත්‍රපටියෙ වගේම මෑතක තවත් චිත්‍රපටි කීපයකම දකින්න තිබුනු දෙයක්. අපි ටික ටික අපේ රටේ සංස්කෘතියෙන් ගැලවිලා මලයාලම් දෙමළ චිත්‍රපටිවල දකින දර්ශන අමුවෙන් අපේ කතා ඇතුලට ඔබන්න උත්සාහ ගන්න වග පේන්න තියෙනවා. උදා විදිහට ෆාදර් චිත්‍රපටියෙ කොටහළු මගුල්‍ ගෙදර මිදුල තනිකරම ඉන්දියාවෙන් උස්සන් ආපු එකක්.  තව ටික දවසක් යද්දි අපේ චිත්‍රපටියක ලංකාවෙ කියන ගතිය සම්පූර්ණයෙන්ම නැතිවේවි. ඒ වෙනුවට අපිට කොහෙත්ම සම්බන්දයක් නැති මලයාලම් නැටුම් සිංදු ජවනිකා අපේ චිත්‍රපටිවල පිරේවි. ඉස්සර හින්දි චිත්‍රපටි කොපි කරලා හදපු ලංකාවෙ චිත්‍රපටිවල වුනත් ලංකාවෙ ගතිය තිබුනා. ඉන්දියානු පාලම එන්නත් කලින් අපි හොඳම එකෙන් සංස්කෘතික කොලනියක් වෙමින් යනවා. 

    චිත්‍රපටිය වෙනුවෙන් අධ්‍යක්ෂවරයා අරන් තියෙන්න මහන්සිය හොඳටම පේනවා. වැඩේ හොඳටම කරන්න හැම කෙනෙක්ම තදටම කැපවෙලා තියෙන වගත් දැනෙන්න තියෙනවා. හැමෝම හොඳ කියන චිත්‍රපටියක නරක ගැන කිව්වා කියල චිත්‍රපටිය හදපු එවුන් අමනාප නොවෙයි කියලත් හිතනවා. නිර්දය විවේචනයක් නැති වුනාම හොඳ චිත්‍රපටියක් වුනත් දුර්වල වෙනවා.

    ෆාදර් චිත්‍රපටිය කිසිම අමාරුවක් නැතුව පැය දෙකක්  බලාගෙන ඉන්න පුළුවන්. අපේ යාලුවො හැම කෙනෙක්ම වගේ කොතන හරි රූප රාමුවක දකින්න ලැබීමත් ආනන්දජනකයි.  චිත්‍රපටියක් විදිහට ෆාදර් වෙනුවෙන් හැදිච්ච හයිප් එකත් මාරයි.  හැබැයි එච්චරයි.

     

  • කවදා හරි එහෙම මැරෙන්න ඕනි.

    කවදා හරි එහෙම මැරෙන්න ඕනි.

    ඉලංගො රාම්ගෙ නෙළුම් කුළුණ බලලා ඉවර වුනාම මට හිතුනෙ එහෙම.

    ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකල්ම ප්‍රේක්ෂාගාරය මහ සද්දෙන් හිනාවෙවී බලපු ෆිල්ම් එකක්. ලංකාවෙ පළවෙනි ‘ඩික් කොමඩි’ වර්ගයේ සිනමා කෘතිය. කවුරු හරි ‘ඇමරිකන් පයි’ බලලා තියෙනවා නම් මේ තමයි ‘ශ්‍රී ලංකන් පයි’. අති උත්කර්ෂවත් වැඩක්.

    ලංකාවෙ මෑතක ‘ඩික්’ කොමඩි වර්ගයේ වේදිකා නාට්‍යයක් කලේ අසංක සායක්කාර. ඒ ‘මං කෙලින් මිනිහෙක්’.

    ඩික් කොමඩි කියන්නෙ පුරුෂ ලිංගයක් හෝ ඒ සම්බන්ධ විහිලු කතා මුල් කරගන්න කොමඩිවලට. ‘ඩික් ජෝක්ස්’ කියන එක කොමීඩියන්ලා අතර ප්‍රකට දෙයක්. පුරුෂ ශිෂ්නය ගැන විහිලු කිරීමෙන් සමාජ සංස්කෘතික දේශපාලන කතාවක් කියන්න හරි නැත්නම් ප්‍රේක්ෂාගාරය ප්‍රකෝප කරන්න, නැත්නම් නොනවත්වා හිනස්සන්න මේ විහිලු වැඩ කරනවා. මේ වගේ ශිෂ්න කේන්ද්‍රීය හාස්‍ය‍ෝත්පාදක සිනමාවකට අපිට අවිධිමත් ලෙස කියන්න පුළුවන් ‘ඩික් කොමඩි’ කියල.

    නෙළුම් කුළුණ කියන්නෙ බ්ලොක් ඇන්ඩ් ඩීනෝ- වස්ති එක්ක ප්‍රසන්න විතානගේ තුන්කොන් රමණයක්  කළා නම් බිහිවෙන වර්ගයේ සිනමාවක්. ඉලංගො ප්‍රබුද්ධ/ සම්භාව්‍ය සිනමාව ඇතුලෙන් මේ වෙලාවෙ ‘වල්’  යූටියුබ් වයිබ් එක අල්ලනවා. ඒ මික්ස් එක මරු. ඒක ඩාර්ක් කොමඩියක්ද කියල මට ෂුවර් නෑ. හැබැයි ඒක මාර කොමඩියක්.

    නෙළුම් කුළුණ කතාව තියෙන්නෙ අප්පච්චිගෙ මරණය ගැන. හැබැයි මැරිලත් කුළුණ කෙලින්. ඒක විවිධාකාර අර්ථවලින් ගන්න පුළුවන්. රට වැටුනත් කුළුණ කෙලින් කියන ටැග් ලයින් එක එක විදිහක්. නෙළුම් කුළුණ කියන්නෙ ඇත්තටම අපේ රටේ ජාතිකවාදී, සිංහලබෞද්ධ,  චූලවාංශික මතවාදයේ මහා ශිෂ්නය.

    පවුලේ අප්පච්චිගෙ මේ කෙලින් වුනු ‘ෆැලික්’ සිම්බල් එක වටේ තමයි චිත්‍රපටියම ගොඩනැගෙන්නෙ. සියල්ල ඒ කුළුණ උඩ ඉඳලා විස්තර කරන්න ගන්නවා. මරණයට වඩා කෙලින් වුණු ශිෂ්නය ජීවිතය ගැන ආශාව වැඩි කරනවා. අපි මරණයක් උඩ හිනාවෙවී ඉන්නවා.  අපි අප්පච්චිගෙ ඩික් එකට හිනාවෙනවා. ඒක මනෝවිශ්ලේෂණාත්මක කියවීමකට හොඳ දොරටුවක්.

    මේ චිත්‍රපටියෙ කේන්ද්‍රය වෙන්නෙ ‘ඩෙත් ඉරෙක්ෂන්’ කියන තත්වය. කෙනෙක් මියගියාට පස්සෙ ශිෂ්නය ප්‍රාණවත් වීම. මේකට ‘ඒන්ජල් ලස්ට්’ නැත්නම් දිව්‍යමය කාමය කියලත් කියනවා. බොහෝ විට එල්ලා මරන ලද අයගෙ තමයි මේ තත්වය දකින්න තියෙනවා කියන්නෙ. ට්‍රෝමැටික් විදිහෙ මරණවලදි තමයි ඩෙත් ඉරෙක්ෂන් හෙවත් මරණීය උත්ථානය  සුලබ.

    එතකොට ඉලංගො චිත්‍රපටිය ඇතුලෙ කියන්නෙ කවර ට්‍රෝමැටික් මරණයක් පතුලෙන් සිදුවුනු උත්ථානයක් ගැනද? මට හිතෙනවා ඒක වික්ටෝරියානු සහ අපේ යක්ඛ පැවැත්ම අතර දෙබිඩි ගැටුම පලාගෙන එන ශිෂ්නෝත්ථානයක් කියල. වික්ටෝරියානු අර්ථයෙන් කෙලින් වුනු ඩික් එකක් ලැජ්ජාවක්. ඒත් යක්ඛ අර්ථයෙන් අප්පච්චිගෙ ඩික් එක ආඩම්බරයක්. වන්දනා කරන ටෝටමයක්. (totem)

    ඉලංගොගෙ ෆිල්ම් එක  ‘පවුලේ සැමට’ බලන්න පුළුවන් ‘ඇඩල්ට්’ කොමඩියක්. ඒකෙ කොහේවත් සෙක්ස් නෑ. හැබැයි ෆිල්ම් එකම සෙක්ස්. ඉතාම ශෝකී සාම්ප්‍රදායික සමූහ අවමංග්‍ය උත්සවයක් කෙලින් වුනු ලිංග ප්‍රදර්ශනයක් බවට පත්වෙනවා කියන්නෙ ලොකු සංස්කෘතික කම්පනයක්. නමුත් ඉතාම මරණීය තත්වයේ පතුලේදී පවා ජාතියේ අප්පච්චිගේ පුරුෂ ලිංගය සියල්ල පලාගෙන මතුවෙන හැටි අපි දැකලා තියෙනවා.

    ඉලංගො නිර්මාණය කරන ගැහැණු වුනත් තමන්ගේ දුර්වල සැමියන්ව මැරුනු තාත්තාගේ ලිංගයත් එක්ක සංසන්දනය කරමින්  කතා කරන්න තරම් ප්‍රොග්‍රෙසිව් ගෑනු. නියම් බිරිඳයි අනියම් බිරිඳයි පවා එකට අක්කයි නංගියි කියාගන්නා තරම් විවෘත සංස්කෘතියක් මේ  මළගම නිසා ඇතිවෙනවා. මේ සියල්ල සිද්ද වෙන්නෙ කොඩිගහ වගේ ඉහළ එසැවුනු අප්පච්චිගේ ලිංගයේ අනුහසින්.

    අප්පච්චිගේ ලිංගය කියන්නෙ ෆ්‍රොයිඩ් කතා කරන  ඊඩිපස් සංකීර්ණයේ සුවිශේෂ කාරණයක්. දරුවෙක් තමන්ගේ ශිෂ්නය පියා විසින් කප්පාදු කරනු ඇතැයි බයෙන් පසුවෙන බව ෆ්‍රොයිඩ් කියනවා. ඒ බියෙන් තාත්තාගේ අණට, සමාජයේ සම්ප්‍රදායට දරුවා එකග වෙන බව ෆ්‍රොයිඩ් කියනවා. නෙළුම් කුළුණ කියන්නෙ අප්පච්චිගේ ලිංගයට යටවුණු ලාංකේය දූ දරුවන්ගේ කතාව.

    අප්පච්චිගේ ශිෂ්නය කපා දමන්න එක පුතෙක් තීරනය කරද්දි, අප්පච්චිගේ ශිෂ්නය වන්දනා කරන්න තව පුතෙක් තීරනය කරනවා. දොස්තර ශිෂ්නය කපා දාන්න යද්දි, කට්ටඩියා කියන්නෙ ශිෂ්නයේ අප්පච්චිගේ ආත්මය පවතින බවයි.

    හරිම ටෙලි ගතියක් තියෙන තේමාවක් ‘අප්පච්චිගෙ මළගම’ අරගෙන ඒකට අප්පච්චිගේ ශිෂ්නය ඇතුල් කිරීමෙන් ඉලංගො අනපේක්ෂිත ට්විස්ට් එකක් ගන්නවා. අපිට අපේ අප්පච්චි ගැන කදුළු පෙරාගෙන කතා කරන්න පුළුවන් වුනත් අප්පච්චිගේ ඩික් එක ගැන කතා කරන එක මොන වගේ වෙයිද? ඒ අවිඥානක බලය පිළිබඳ කාරණය අපි අවුල් කරමින් පුපුරා යන සිනාවක් බවට පත්වෙනවද? නැත්නම් තවදුරටත් තිරය දිහා බලන් ඉන්න බැරි අපහසුතාවයක් දනවනවද? ඒක පරීක්ෂාවක්.

    එක්තරා  විදිහකට මේක චූලවාංශික ‘අප්පච්චීගේ’ කෙලින් කරපු මහා ශිෂ්නය සහ ඒ ඉදිරියේ අපේ 56 පරපුර විදිහටත් කියවන්න  පුළුවන්. දොස්තරලා, හාමුදුරුවරු, පුතාලා, දුවලා, කට්ටඩි, ත්‍රීවීල් සමාජෙ ආදී සියල්ලන් ඒ නෙළුම් කුළුණ සෙවනේ උන් හැටි කෙනෙකුට මතක් කරගන්නත්  පුළුවන්.

    ඒත් ඊට වඩා මේක අපි කාගෙ කාගෙත් අප්පච්චිලාගේ නෙළුම් කුළුණ විදිහ‍‍ට දකින එකයි ආතල්. හරිම පුංචි ප්ලොට් එකක්, පුංචි වටපිටාවක, දක්ෂ නළුනිළියො ටිකක් වට කරන්  කරපු ‘බරසොමියක්’ මේක. අතිශයින්ම ලේ පිරිසිදු කරන වැඩක්.

    ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත් වගේම කෞෂල්‍යා, අලෝකා, සුලෝචනා ආදී  හැමෝගෙම රංගනය ඉස්තරම්. විශේෂයෙන් චාන්දනී හරිම ලස්සන මතක හිටින චරිතයක්  කරනවා.

    සංගීතය නම් මට හිතුනා සෙට් වෙන්නෙ නෑ කියල. ඒක අර සම්භාව්‍ය පැත්ත විතරක් අරගෙන නිර්මාණය කරපු සංගීතයක්. ප්ලොට් එක ඇතුලෙ යන ‍සොමිය  සංගීතයට ඇවිල්ලා නෑ.

    අපේ සිනමාවට මේ වගේ චිත්‍රපටි ඕන. මෑත සිනමා කෘති බැලුවම මට හිතෙන දෙයක් තමයි අපි හරියටම නාඩිය ස්පර්ශ කරමින් ඉන්නවා කියල. හොඳ පබ්ලිසිටියක් ලැබුනොත් නෙළුම් කුළුණ කියන්නෙ හෝල් කඩාගෙන සෙනග එන ෆිල්ම් එකක්.

    එහෙම ‘මාස්’ වැඩක් කරන අතරෙ  ඉලංගො ඉතාම නිර්භීත තැනකත් හිටගන්නවා. අප්පච්චිගේ ඩික් එක ගැන කතා කරන්න ගන්නවා. ඒක කොහෙත්ම සරල නෑ. මං ඉලංගො  අදුරන කෙනෙක් විදිහට නෙළුම් කුළුනෙන් මේ පැනලා තියෙන පිම්ම  කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු එකක්.

    මරණයක් මෙහෙම සොමියක් කරන්න පුළුවන් සිනමාවක් කියන්නෙ සැපක්. අනිවාර්යෙන්ම මේකෙ ටැමිල් වර්ෂන් එකත් බලන්න යනවා. ලංකාවෙ අපේ චිත්‍රපටියක් දමිළ සිනමාවට කොපි කරනවා කියන්නෙ සමරන්න ඕන වැඩක්.

    අවසානෙදි ඒක සිංහල දෙමළ අපි හැමෝගෙම අප්පච්චිගෙ කෙලින් වුනු නෙළුම් කුළුණ.

     

  • රාණි නම් වූ නාගරික ගැහැණිය

    රාණි නම් වූ නාගරික ගැහැණිය

    හඳයාගෙ රාණි කියන්නෙ මං මගබලාගෙන හිටපු චිත්‍රපටියක්. ඒ තරම් කාලයක් තිස්සෙ ලංකාවෙ සිනමාව ඇතුලෙ පැහුණු ප්ලොට් එකක්. දැවැන්ත අධ්‍යක්ෂවරුන් දෙන්නෙක් සිතේ මැවුනු නමුත් සැබෑ නොවුනු සිනමාවක්. ඊට පස්සෙ හඳයා අතට අහම්බෙන් ලැබෙන අභියෝගයක්.

    අධ්‍යක්ෂවර‍ැන් මාරු වුනාට චිත්‍රපටියෙ රාණි මාරු වෙන්නෙ නෑ. කවුරුන් එක්ක නිදිවැදුනත් දරුවා මගේ කියන අම්මා කෙනෙක් වගේ ස්වර්ණා මේ චරිතය දරාගෙන පිරිමි අධ්‍යක්ෂවරුන් තුන්දෙනෙක් තරණය කරනවා. දරුවා බිහිකරන්නෙ හඳගම.

    මේ චිත්‍රපටිය පටන් ගනිද්දි මගේ ඇස්වලට කඳුළු ආවෙ ස්වර්ණා කියන නිළිය මේ චරිතය වෙනුවෙන් කළ ඇදහිය නොහැකි කැපකිරීම මතක් වෙලා. ඒක පූජාවක් වගේ. ලංකාවෙ නිළියක් චරිතයක් වෙනුවෙන් කරපු සුවිසල්ම කැපකිරීම කියල කියන්න පුළුවන්. රාණි කියන සිනමා ව්‍යායාමයේ යෝධ සෙවනැල්ල ස්වර්ණා.

    හදයා හරියට සෙන් ගුරුවරයෙක් වගේ රාණි නිර්මාණය කරනවා. අර සුවිසල් දේශපාලන විස්තරාත්මක බාහිරය වෙනුවට රාණිගේ අභ්‍යන්තරය ස්පර්ශ කරනවා. මහා වියමනක් මැද්දට මයික්‍රො කියවීමක් ඇතුව ඇතුල් වෙනවා.

    තමන්ගේ දරුවා අහිමිවෙන ජීවිතයේ අතිරික්තයක් සහිත නාගරික ගැහැණියයි රාණි. එහෙම චරිතයක් මෙතෙක් ලංකාවෙ සිනමාවට නැගිලා නෑ. අපි හැමදාම දකින්නෙ තමන්‍ගේ දරුවා එකම ජීවිතය වුනු ගැමි මවගේ අහිමි වීම. ඒත් රාණි එහෙම නෙමෙයි.

    අපි හැමදාම දකින්නෙ තමන්ගේ එකම ‘පිරිමි’ දරුවා අහිමි වීමෙන් කම්පා වෙන ගැමි ‘අම්මාගෙ’ කතාව. හඳයා නිර්මාණය කරන්නෙ තමන්ගේ ‘සමලිංගික’ පුතා අහිමි වීමෙන් කම්පා වෙන නාගරික ‘ගැහැණියගේ’ කතාව. අම්මාට වඩා අතිරික්තයක් ගැහැණියට තියෙනවා. ගැමි අම්මා ඒ දුකෙන් වැලපි වැලපී සිහිසුන් වෙද්දි රාණි ඒ දුක දේශපාලන මෙහෙයුමක් බවට පෙරලනවා.

    රාණි ගැන දකින බොහෝ කන්කෙඳිරිගෑම්වලට හේතුව හඳයා කරන මේ සබ්වර්ෂන් එකයි. ලිංගික දේශපාලනය ඇතුලෙ පිටත දේශපාලනය කුඩා කිරීමයි. රාණි ඇතුලෙන් ප්‍රේමදාසට සහ පුළුවන් නම් රනිල්ටත් එක්ක ඉමෝෂනල් පහර දීමක් බලාපොරොත්තුවෙන් සිනමාශාලාවට එන මාලිමාලෝලියෙක් නම් කුඩුසංසාර වෙනවා.

    හඳයා රාණි ඇතුලෙ සමලිංගික පුතෙක් සහ දොස්තර අම්මා කෙනෙක් අතර අසම්මත සම්බන්ධතාවයක් දිගහරිනවා. ඒ අපි දැකලා විඳලා කවියට ගීතයට දේවත්වයට නගලා තියෙන අම්මා පුතා සම්බන්ධය නෙමෙයි. එකට විස්කි බොන, යාලුවො වගේ ඇසුරු කරන, අනෙකාගේ නිදහසට සීරීමක්වත් නොවන්නට වගබලාගන්නා අම්මෙක් සහ පුතෙක් අතර සම්බන්ධයක්. එකිනෙකා මත වැටුනු, අනෙකාට බරක් වුනු සාම්ප්‍රදායික සම්බන්ධයක් නෙමෙයි. ඒක නිදහස මත පවතින සම්බන්ධයක්. දියුණු නාගරික මව්-පුතු සම්බන්ධයක්.

    මට රාණි සහ රිචඩ් මුනගැහෙන්න අවස්ථාවක් නොලැබුනත් මං මීට කිට්ටුසම්බන්ධයක් දැකලා තියෙනවා සුනිලා සහ එයාගෙ පුතා සංජය අතර. එහෙම සම්බන්ධයක් ගොඩනැගෙන්න නම් ඒ අම්මා තුල තියෙන්න උවමනායි අතිරික්තයක්. සියල්ල පුතා කේන්ද්‍ර කරගත් ජීවිතයක් නෙමෙයි. අම්මාට පිටතින් පවතින ගැහැණිය ජීවත් වෙන්න ඕන. අපි දැකලා තියෙන්නෙම අම්මාකම වෙනුවෙන් ඒ ගැහැණිය මරාදැමූ මිනිස්සු.

    රිචඩ්ව හොයාගෙන රාණි බලන්න යන අයත් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. රිචඩ් කියන්නෙ රාණිගේ කො‍ටසක් විතරයි. හඳයා රාණි තුල පවතින රිචඩ් ‘නොවෙන’ විශාල කොටසක් පෙන්නනවා. එයා තනියම ඉන්න පුළුවන් ගැහැණියක් බව පෙන්නනවා. එයාගෙ ලෝකය ඇතුලෙ පිටත පවතින ප්‍රේමදාසගේ ලෝකය පවතින්න පුළුවන්කමක් නෑ. රිචඩ්ව පැහැරගෙන යද්දී පවා ඇයට ඒක විශ්වාස කරන්න බැරි වෙනවා.
    ‘එහෙම කොහොමද අරගෙන යන්නෙ?’
    එහෙම නැතත් දුරකතන ඇමතුමක් දෙන සැනින් සියල්ල නැවත නිවැරදි කරන්න පුළුවන් වගත් ඇය දැනගෙන හිටියා වෙන්න පුළුවන්. ඒ තරමට ඇය පාලනයේ ඉහළම තැන් එක්ක සම්බන්ධයි.

    නමුත් රාණිගේ සුන්දර ලෝකය ඇතුලට ප්‍රේමදාසගේ කරුවල ලෝකය කඩා පනිනවා.
    රිචඩ් හඳග‍මගෙ රාණි ඇතුලෙ විශාල චරිතයක් නෙමෙයි. රිචඩ් කියන්නෙ අසාධාරණයට එරෙහිව ආවේගයෙන් මත්වුනු තරුණයෙක් විතරයි. ඒක ඒ වයසෙ විප්ලවකාරීත්වය. තමන්ගේ සමරිසි ප්‍රේමයේ ගවේෂණයත්, තමන්ට නොතේරෙන වෙනස් පංතියක තරුණයන් වෙනුවෙන් උත්තරා‍රෝපිත යුක්තිය පිළිබඳ හැගීමකුත් අතර ගතවෙන තාරුණයෙක් රිචඩ්. රාණි වගේම රිචඩුත් පොලොවේ දේශපාලනය දැනගෙන හිටියෙ නෑ. ප්‍රේමදාස-ජවිපෙ යුගයේ කරුවල ගැන තක්සේරුවක් තිබුනෙ නෑ.

     

    හඳයාගේ චිත්‍රපටිය ඇතුලෙ රිචඩ් මරා දමන්නෙ ප්‍රේමදාස නෙමෙයි. ප්‍රේමදාස – ජවිපෙ යුගයේ අන්ධකාරයයි. පුද්ගලයෙක් ඉලක්ක කරගෙන වරද නොපැවරීම බොහොමයක් මේ යුගයේ බොළඳ විප්ලවවාදීන්ගේ දොම්නසට හේතුවෙන්න පුළුවන්. ඒත් හඳගම කියන්නෙ පරිණත නිර්මාණකරුවෙක් මිස බොළඳ වාමාංශික විප්ලවකාරයෙක් නෙමෙයි. ඒ වගේම හඳගම තමන්ගේ නිර්මාණ හිතුවක්කාරකම ඇතුලෙ නරඹන්නා විසින් අපේක්ෂා කරන දේ කෘතිය තුල නොදී මගහරිනවා. ඒ ඉල්ලන සිල්ලර යුක්තියේ ආස්වාදය හඳයා රාණිගෙන් ලබන්න දෙන්නෙ නෑ.

    රාණි ඇතුලෙ ඉතාම චමත්කාර විදිහට අපිට දන්න කියන නූතන දේශපාලනයේ චරිත මුනගැහෙනවා. තරුණ මහින්ද, මංගල, ලලිත් වගේම ප්‍රේමදාසත් ඉන්නවා. පෙන්නන්නෙ නැති වුනාට රංජන් විජේරත්නත් ඉන්නවා. අපි සිනමා තිරය මත විජයබාහුලා පරාක්‍රමබාහුලා දැකලා තිබුනට නූතන පාලකයන්ව දැකලා නෑ. ඒ චරිත සිනමා තිරය මත ප්‍රතිනිර්මාණය කිරීම ආස්වාදනීය වගේම හරිම නැවුම් අත්දැකීමක් වෙනවා. මහින්ද මහරජානෝ බිහිවීමට පෙර තරුණ වාමාංශික නායකයා අපිට රාණි එක්ක මුනගැහෙනවා හරිය. දේශපාලනයට අවතීර්ණ වුනු තරුණ ජේත්තුකාර මංගලත් ඉන්නවා. අද වගේම එදත් මංගල කඳවුරු අතර පාලම් බඳිනවා. ප්‍රේමවන්ත, සංවේදී හිතැති ලලිත්, රාණි ළග නිතර ඉන්නවා. මේ මොහොතවල් දේශපාලනයේ ප්‍රවෘත්තිමය දුරස්ථ මොහොතවල් විදිහට ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට ඒ අයගෙ පුද්ගලික කන බොන කතාබහ කරන තැන් ඇසුරෙන් ඒ අයගෙ ‘යුනික් ට්‍රේට්ස්’ ඉස්මතු කරමින් නිර්මාණය වෙලා තියෙනවා. හඳයා පුළුවන් තරම් ප්‍රවෘත්තිමය කාරණා මගහරිනවා. ප්‍රවෘත්තියක් විදිහට ස්පර්ශ වෙන්නෙ ප්‍රේමදාස විතරයි.

    රිචඩ් පැහැරගෙන ගිය තැන පටන්කොතනවත් රාණි හඩාවැටෙන්නෙ නෑ. දුක පිටතට පිටකරනවා වෙනුවට ඇය හුදකලාව, දුක තමන් ඇතුලට උරාගන්නවා. රාණි හඩාවැටෙන්නෙ ලලිත්ගේ මරණයේදි විතරයි. ලලිත් මළ බව කියන්නෙත් ඇගේ හැඩීමම විතරයි. ඒ පෙම්වතෙක් අහිමිවීමනිසාද නැත්නම් මිතුරෙක් අහිමි වීම නිසාද යන්න ගැන චිත්‍රපටිය නිශ්චිත නෑ.

     

    හඳයා මේ සියලු සැබෑ චරිතවලට බැහැරින් එක් ප්‍රබන්ධමය චරිතයක් ඇතුල් කරනවා. ඇය සිතින් රිචඩ්ට ආදරය කරන තරුණියක්. ඇගේ දරුවා බිහිකරන්න සහාය වෙන දොස්තර රාණි. ඒ දරුවා ඇගේ කුස තුල වැඩෙද්දී ඇගේ සැමියා මරා දමන්නේ ජවිපෙන්. රිචඩ්ව මරා දමන ප්‍රේමදාස අන්ධකාරයේ අනෙක් පාර්ශ්වකරුවා ජවිපෙ. හඳයා අන්ධකාරයේ තනි අයිතිය ප්‍රේමදාසට පවරා දෙන්නෙ නෑ.

    මේ ප්‍රබන්ධමය කාන්තාව සිංදු හදන ඇගේ සැමියාට බැහැරින් රිචඩ්ට සිතින් පෙම්කරනවා. සැමියා තමන් ළගම සිටියත්, දුරින් වෙනකෙකුට පෙම්කරන ඇය ගැන රොමාන්තික සිංදු හදනවා. රාණි මෙන් ඉහල පාංතික නොවුනත් මේ තරුණියත් අතිරික්තයක් ඇති ගැහැණියක්. මං හඳයාට විශේෂයෙන්ම ආදරය කරන්නෙ මවක් බිරිඳක් හැටියෙන් නිශ්චිත භූමිකාවල මිය නොගිය ගැහැණුන් නිර්මාණය කිරීම වෙනුවෙනුයි. ඒ අය විවාහය ඇතුලෙත් ඉන් පිටතත් දිගටම ප්‍රේම කරනවා.

    රාණි තමන්ගේ දමනය කළ නොහැකි ගැහැණුකම ඉදිරියේ සැමියා දික්කසාද වූ බව කියන්නෙ හිනාවෙවී.
    ‘ඉතින් දැනුත් හිතෙන් ආදරයකරන අය නැද්ද?’
    තරුණිය රාණිගෙන් අහන්නෙ දඟකාර විදිහට, සමවයස් මිතුරියක් වගේ.
    ‘ඉන්නවා. එයා මැරීඩ්’
    රාණි තමන්ගේ විශාල ගැහැණු හදවත ගැන කියන්නෙ විවෘත කෙටි දෙබසකින්.

    හඳයා සිනමාකරුවෙක් විදිහට හරිම තරුණ වැඩ ටිකක් රාණි ඇතුලෙ කරනවා. තමන්ගෙම මාඝාත නාට්‍යය මේ චිත්‍රපටියෙ වීරවරිය, රාණි ලවා හාස්‍යයට ලක් කරනවා. රිචඩ් මාඝාත නරඹා පිනාගොස් සිටිද්දී රාණි කියන්නෙ ඒ ආර්ට් නෙමෙයි හුදු ‘ප්‍රොපගැන්ඩා’ වැඩක් බවයි. රිචඩ් සහ රාණි අතර පරතරය මාඝාත කළ හඳයා සහ රාණි කළ හඳයා තරම් දුරයි. මේ විදිහෙ ‘සෙල්ෆ් පැරඩි’ වැඩ අපේ සිනමාවට ආගන්තුකයි.

    ප්‍රේමදාස යුගය අවසන් වෙමින් චන්ද්‍රිකා යුගය කරලියට එනවා. ඒ යුගය නිර්මාණය කරන්නේ මහින්ද. ප්‍රේමදාස දුෂ්ටයා වන විට වීරයා වුනු රාජපක්ෂ අද ලොකුම දුෂ්ටයා බවට පත්වෙලා තියෙනවා. යුක්තිය වෙනුවෙන් පැමිණි පිරිසම අද අයුක්තිය බවට පත්වෙලා තියෙනවා. මේ වීරයා දුෂ්ටයා බවට පත්වීමේ පරිණාමය විසල් තිරයක් මත දැකීම මාලිමාවෙන් පසු බිහිවෙන අලුත් රටක් ගැන ළාබාල පැතුමෙන් පිරුණු තරුනෙකුගේ හඳුන්පොත රිදවන්නක් වෙන්න පුළුවන්.

    චිත්‍රපටිය 90 දශකයේ නිසාම ආර්ට් ඩිරෙක්ෂන් කියන්නෙ ලොකු වැඩක් වෙනවා. හැම පොඩි දෙයක්ම ඒ දශකයට ටයිම් ට්‍රැවල් කරන්න වෙනවා. 89-90 ගැන කරපු සියලු සිංහල චිත්‍රපට අසමත් වුනු තැනක් මේක. රාණි මේ අභියෝගය ඉතාම සාර්ථකව ජයගන්නවා. ඒ වෙනුවෙන් බිමල් දුෂ්මන්තට ක්‍රෙඩිට් එක හිමි වෙන්න ඕන. තෝරාගත් අවම සීමිත කලාප ඇතුලෙ ඉතාම මැනවින් සිතා බැලීමකින් යුතුව පසුතලයන් නිර්මාණය වෙලා තියෙනවා.

    මේ සංගීතයට වඩාත් ගැලපෙනම තෝරාගැනීම රෝහණ වීරසිංහ. 88-89 යුගය කියන්නෙ තාරුණ්‍යය ආවේගයෙන් මුසපත් කළ නන්දා මාලිනීගේ පවන යුගය. රෝහණ කියන්නෙ ඒ යුගයේ පුරෝගාමියෙක්. හඳයා චිත්‍රපටිය අවසානයේ රෝහණ විසින්ම සංගීතවත් කළ, නන්දාගේ හඩ බදුවම ඇසෙන ගීතයක් යොදාගැනීම එදා අරුත් මෙදා අරුත් ගලපමින් රෝමෝදගමනය කරවන්නක්.

    චිත්‍රපටියෙ මං කැමතිම නාමාවලියෙන් පසුව ‘කම්බැක්’ එකක් ලෙස දිගහැරෙන දර්ශනයටයි. එය යොමුවන්නේ රිචඩ් මරා දමනු පිනිස එන මැරයන්ගේ ජීප් රථය ඇතුලටයි. රිචඩ් යනු කරදරකාරයෙක් යැයි ලොක්කා කී පමණින් එදා රෑ රිචඩ් මරා දැමීමේ විධානයක් නොලත් තීරණය ක්‍රියාත්මක කරන්නේ ඔවුන්. අන්ධකාරයේ ස්වභාවය වන්නේම වියවුලයි. එය නිශ්චිත තීන්දු තීරණ ඉහල සිට පහලට ක්‍රියාත්මක වෙන කලාපයක් නෙමෙයි. පිස්සු බල්ලන් නිදහසේ සපාකෑමට ලෙහා දැමීම එහි ක්‍රියාකාරීත්වයයි. මැරයන්ගේ බීමත් ප්‍රචන්ඩ විනෝදය සහ, රිචඩ් ‘පොන්නයෙක්’ වීම, ඒ ඝාතනය ඒ මොහොතේ සිදුවීමට හේතු වෙනවා. ඒක සිනමාත්මක යෝජනාවක්.

    මැරයන් එන්නේ ‘යදමින් බැඳ විලංගු ලා’ සිංදුව ජීප් එකට තඩිබාමින් විනෝදයෙන් ගායනා කරමින්.ඒක හරිම රූපකමය යොදාගැනීමක්. නන්දාගේ ගීත විප්ලවීය තරුණයන් වගේම ඔවුන්ගේ මැරයනුත් එකසේම විඳිනවා. ආන්ඩුවේ මැරයන් වගේම දේශප්‍රේමී මැරයනුත් ‍එකම සංගීතයෙන් මෙහෙයවෙනවා.

     

    රාණි කියන්නෙ 88-89 දිහා ස්ත්‍රීමය කෝණයකින් හැරී බැලීමක්. රාණි දේශපාලනික පිරිමිබව වෙත අරන් යනවා වෙනුවට හඳයා රාණි කියන ගැහැණිය තිරය මතට අරන් එනවා. මේ සෙක්සොපොලිටිකල් වෙනස් ස්ථානගත කිරීම නරඹන දේශපාලන පිරිමින් අවුල් කරන්නට නියමිතයි.හඳගම කියන්නෙම ඒ අවුලට.

    රාණි කියන්නෙ ලංකාවෙ බොහෝ කලකින් බිහිවුනු ‘classy’ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. චිත්‍රපටියෙ කැමරාව, සංස්කරණය මේ හැම දෙයක්ම ඒ ඔසවා තැබීමට හේතුවෙනවා.