ෆාදර් චිත්‍රපටිය ගැන හතරවටෙන්ම ඇහෙන්නෙ උණුසුම් ප්‍රතිචාර. චිත්‍රපටිය හෝල් කඩාගෙන දුවන වගත් පේන්න තියෙනවා. ඒක හදවතෙන්ම සතුටු වෙන කාරණයක්.

 

චිත්‍රපටියක් එහෙම උණුඋණුවෙම බැලුවට පස්සෙ මං ඒ ගැන කියන්න තියෙන හොඳ ටික මුලින්ම කියනවා.  ඊට පස්සෙ ටිකක් දුර යන්න ඇරලා ආපහු වතාවක් චිත්‍රපටිය බලලා කියන්න තියෙන නරක ටික කියනවා. ඒ ලියන්නෙත් මං ලියන ‘නරක’ කියෙව්වට පස්සෙ වුනත් කෙනෙකුට, අනේ මූ දන්න සිනමාව’ කියලා මට බැනලා චිත්‍රපටිය බලන්න යන්න හිතේවා කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්.

  

ෆාදර් චිත්‍රපටිය හදන්නෙ ගම්පහ ඔස්මන්ඩ් කියන පාතාල චරිතය ඇසුරින්. ඒ වගේම චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ නිර්ප්‍රභූ දේශපාලනය වෙනුවෙන් කියලා කොඩි දාගෙන මාලිමාව බලයට ආපු කාලෙක.  චිත්‍රපටිය ඇතුලෙ කතාව තියෙන්නෙත් කසිප්පු පෙරන, ඩීල් දාන ඥානෙ අයියාගෙන් හිතහොඳ ඩෙස්මන්ඩ් මල්ලිට පාතාලෙ ඔටුන්න මාරුවෙන  කතාව. ඥානෙ අයියා කන බොන, කප්පං ගන්න, දේශපාලකයො එක්ක සම්බන්ධ සීනියර් මැරයා. ඩෙස්මන්ඩ් කියන්නෙ සිගරට් එකක්වත් බොන්නෙ නැති, දේශපාලන සම්බන්දකම් මොකුත් නැති, දේවධාර්මික මැරයා. චිත්‍රපටියෙ මූලික කේන්ද්‍ර දෙක හැදෙන්නෙ මේ වගේ සරල සමීකරණයකින්. පාතාලය යුක්තිගරුක පාතාලය සහ අයුක්තිසහගත පාතාලය වශයෙන් වර්ග කරගෙන.

 

මේ චිත්‍රපටිය කියවද්දි අපි මුලින්ම ‍මීට අදාල සැබෑ සිදුවීම් සහ චරිත පැත්තකින් තියන්න ඕන. චිත්‍රපටිය ඇතුලෙ අපි දකින දේ කියවගන්න ඕන. එතනදි අපිට තේරෙන්න පටන් ගන්නවා පිටත කතාව නොදන්නා කෙනෙකුට චිත්‍රපටිය ඇතුලෙ හිස්තැන් ගොඩක් මුනගැහෙන වග. කතාව ගලපගන්න දඟලන්න වෙන වග.

 

අපි මුල ඉඳන් පටන් ගමු.

 

කතාව පටන් ගන්න තැන ගත්තොත් ඩෙස්මන්ඩ් වයසට ගිහින් සෞම්‍ය බවට පත්වෙලා කියන පළවෙනි දෙබස අන්තිම නීරසයි. ඒක ඒ චරිතයට කොහෙත්ම අදාල නොවෙන සංදර්භයකින් ලියවුනු එකක්. හරියට හයිඩගර්ගෙ කතාවක් වගේ දාර්ශනික වදන් ටිකක් වයසක ඩෙස්මන්ඩ් කියාගෙන යනවා.   ඊට පස්සෙ අපි ඩෙස්මන්ඩ්ව තරුණ කාලෙදි මුනගැහෙනවා. 

 

පූජන දන්දෙනිය කියන්නෙ ඉතාම දක්ෂ නළුවෙක්. ලංකාවෙ වැඩකට නවසුදීන් සිද්දික් වගේ කෙනෙක්ව ඕන වුනොත් බය නැතුව පූජනව ගන්න පුළුවන්. ඒ මූන ඒ තරම් අපූරු මූනක්.

 

ඒත් ඩෙස්මන්ඩ් සම්බන්ද මේ ගැටුම් චිත්‍රපටියෙ අන්තිම සරල ග්‍රාමීය මට්ටමකයි ලියවිලා තියෙන්නෙ.  හරියට කෝපිකඩේ රත්නෙ අයියා සහ සෝමෙලා අතර ඇතිවෙන රන්ඩු  වගේ. එහෙම ගම්පලාතක වුනත් ගැටුමක සංකීර්ණත්වය නිර්මාණය වෙන්නෙ ඒක පිහිටුවන වියමන අනුව. ඒ ගැටුමට අදාල හැගීම් කලාපය නිර්මාණය කිරීම අනුව. එතනදි අපිට අදාල ගැටුමේ සිදුවීම්වලට බාහිරෙන් මිනිස් සම්බන්ධතා චිත්‍රපටියට ගේන්න සිද්ද වෙනවා. ඒ ගැටුම එක්ක පරිබාහිරින් සිද්ද වෙන්න ගන්න වෙනස්කම් ග්‍රහණය කරන්න වෙනවා.   නමුත් ෆාදර් චිත්‍රපටියෙ දිගටම අපි දකින්නෙ මොකක් හරි පොඩි සිදුවීමක් වෙනවා, ඊට පස්සෙ ඒකට ප්‍රතිචාරයක් සිද්ද වෙනවා. ඊට ගැඹුරින් දිවෙන  කිසි දෙයක් නෑ. ඒ හින්ද අපිට අතරමගදි හිතෙන්න ගන්නවා මුං මොකට මෙහෙම කෙලගන්නවද කියල. 

 

චිත්‍රපටියෙ කිසිම චරිතයකට අදාල ක්‍රියාව කරන්න ‘මෝටිවේෂන්’ එකක් නෑ. ඒකට අදාල හේතු ගොඩනැංවීමක් නෑ. සිදුවීම් ඔහේ සිද්ද වෙනවා විතරයි. මෝටිවේෂන් එකක් නැති චරිත එක්ක ප්‍රේක්ෂකයාට සම්බන්ධයක් ‍ගොඩනැගෙන්නෙ නෑ. 

 

ප්‍රධාන දුෂ්ටයා ඥානෙ වුනත් චිත්‍රපටියට අනුව අන්තිම අසරණයෙක්. ඌට දේශපාලකයන්ගෙන්වත් උදව්වක් නෑ. උගේ පිරිසෙන්වත් උදව්වක් නෑ. නිකං හන්දියක ඉඳගෙන සද්දෙ දැම්මට වටෙන්ම ගුටිකන නොන්ඩියෙක්. ඥානෙගෙ පවුල් විස්තර, ගෑනු ළමයි  සම්බන්ධතා කිසිම දෙයක්  නෑ. උන් නිකංම ඔහේ ඉන්නවා විතරයි. ඥානෙ ලබන විනෝදය මොකක්ද? 

චිත්‍රපටියෙ දර්ශන ගත්තොත් වෙන වෙනම දර්ශන වගේ. ඒ දර්ශන අතර දෙබසකින්වත් රූපයකින්වත් සම්බන්ධතා ගොඩනැගෙන්නෙ නෑ.    සමහර විට වෙන වෙන අය විසින් අධ්‍යක්ෂණය කරලා තරමට  රිද්මය පවා වෙනස්. මේ හින්ද එක දිගට සම්බන්ධ වුනු කතාවක් වෙනුවට අපි දකින්නෙ තනි තනි සිදුවීම් පෙලක්. උදා විදිහට සුරාජ් මාපා නිරූපණය කරන චරිතය එහෙම පිටපතට කිසිම අදාලත්වයක් නැති ආකස්මික එකක්.  චන්ඩියෙක් වුනත් මිනිහට තනියටවත් කෙනෙක් නෑ. කපලා මරලා දාලා ගියත් දන්නෙ නෑ. අහේතුක චරිතයක්.

 

පිටපතේ තියෙන දරුණුම අර්බුදය තමයි මේ චිත්‍රපටියෙ චරිත මනුස්සයන් විදිහට තේරුම් නොගැනීම. ඒ අයගෙ විනෝදය, ආස්වාදය, අතාර්කිකත්වය  අපි කතාවෙ දකින්නෙ නෑ. මේ කිසි චරිතයකට ලිංගික හෝ ශෘංගාර අර්ධයක් නෑ. උන්ගෙ ආශාව මෙහෙයවෙන දිශාවක් නෑ.  තණකොල ගලවන පොලිස් ලොක්කා වගේ චරිත  එකපාර ආගිය අතක් නෑ.

 

චිත්‍රපටියෙ මනුස්සයෙක් විදිහට නිර්මාණය වෙලා තියෙන්නෙ සේකරගෙ චරිතෙ විතරයි කියන්න පුළුවන්. ඒක අහම්බයක්. ඒ වුනත් හිරගෙදර අපචාරවලට ලක්වීමේ ඉඳන් ෆිල්ම් හෝල් එකක පෙම්වතිය සමග ඉඳිද්දි මරණයට පත්වීම දක්වා ගමනෙ සේකර මනුස්සයෙක් විදිහට නිර්මාණය වෙනවා. වෙන කිසිම චරිතයක මෙහෙම මනුස්ස කතාවක් ‍ගොඩනැගෙන්නෙ  නෑ. 

 

වෙන් වෙන් සිද්ධි හැටියට ගත්තම හරිම ලස්සන තැන් තියෙනවා. ගමේ වාද බයිලා තරගය එහෙම එකක්. ඒක මරු. ඒත් කතාවට වැඩක් නෑ. ඒ චරිත එනවා යනවා. එතන ඇතිවෙන වලිය වුනත් කිසිම පදනමක් නැති එකක්. අපිට වීරයාව දැවැන්තව ගොඩනැගීමට අවශ්‍ය නම් දුෂ්ටයාව ඒ පමණට ගොඩනගන්න සිද්ද වෙනවා. ඒත් ෆාදර් චිත්‍රපටියෙ  අපි දැවැන්ත ඩෙස්මන්ඩ්ව ගොඩනගන්නෙ  පිදුරු ගස් මතින්.

 

ඥානෙ අයියා මැරෙන තැනින් චිත්‍රපටිය ඇත්තටම ඉවරයි. අනෙක් කොටස බලෙන් එල්ලපු එකක්. කතාව ගොඩනැගෙන්නෙ ඥානෙ සහ ඩෙස්මන්ඩ් අතර. වවුල්කැලේ සිද්ධිය පිටපතට ඇතුල්වෙන්නෙ බලහත්කාරයක් විදිහට. ඒ සිදුවීම පත්තරවලින් දන්නෙ නැති කෙනෙකුට කිසිම විදිහකින් ඒක තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. ඩෙස්මන්ඩ් ජපානෙ ගිය වගක් අපි දැනගන්නෙ මන්ත්‍රීගෙන්. මෙච්චර කාලයක් ගමේ හිටපු ඩෙස්මන්ඩ්  ගනං ගත්තෙ නැති මන්ත්‍රී ජපානෙ ඉන්න ඩෙස්මන්ඩ් හතුරෙක් විදිහට ගනං ගන්නෙ ඇයි?  චිත්‍රපටියෙ මේ ඇමිනුම පිටපතේ විශාල හිලක් පෙන්නනවා.

 

 ඩෙස්මන්ඩ්ගෙ සහෝදරයන් ඝාතනය කිරීමේ වේදනාව එකම රූපයකින්වත්  සටහන් වෙන්නෙ නෑ. අන්තිමට මන්ත්‍රී සහ පොලිස් අධිකාරීවරයා මරා දාන කොටස වෙද්දි සියල්ල ලොකු පැටලැවිල්ලක්. ඒ දර්ශනවලදි සංස්කරණය පවා අන්තිම දුර්වලයි. ( හැබැයි සිතුම් කියන්නෙ අපිට ඉන්න දක්ෂම සංස්කාරකවරයෙක්) එහාට මෙහාට වේගයෙන් රූපරාමු රාශියක් කැපුනත් සිදුවීමේ භාවය දනවන්න ඒ කැපිල්ල බාධාවක් වෙනවා විතරයි. 

 

ඩෙස්මන්ඩ්ගෙ පෙම්වතිය කොහෙන් ආවද කියන්න අපි දන්නෙ නෑ. කොට ගවුමක් ඇඳන් එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටපු කෙල්ලෙක් එකපාර බයිසිකලේ උඩ ඩෙස්මන්ඩ්ගෙ පෙම්වතිය බවට පත්වෙනවා. චිත්‍රපටිය නිර්මාණය කිරීමේ අතිශය වියළි බව පසක් වෙන්නෙ මේ දර්ශනයත් එක්ක. අඩුම තරමෙ ඩෙස්මන්ඩ්ට ආදරය කරන්න තරම්වත් ඉඩක් පිටපතේ ලියවිලා නෑ.

 

මේ චිත්‍රපටියෙ මේ චරිත ගොඩනැංවීමේ අවුල  එක්තරා විදිහට ජවිපෙ දේශපාලනය ඇතුලෙත් මං දකිනවා. ඒක එක්තරා විදිහකට අවිඥානකව ප්‍රකට කරන ජීවන දෘෂ්ටියක් වගේ.  ජවිපෙ සමාජිකයන්  සමාජය සමග මනුස්ස ගනුදෙනු පවත්වාගන්නෙ නෑ. (මනුස්ස ගනුදෙනු ‍කියන්නෙ නිවැරදි ගනුදෙනු කියන එක නෙමෙයි. මනුස්ස කියන්නෙ රූල්ගත නොවූ කියන එක) ඒ අය කවදා හරි සිද්ද වෙන විප්ලවයක් වෙනුවෙන් ඒ අය විශ්වාස කරන කැපකිරීම් කරනවා.  ඒ හින්ද කෘතිම ගතියක් තියෙනවා. ඩෙස්මන්ඩුත් ඒ වගේ. ගමේ මිනිස්සු එක්ක ගනුදෙනුවක්, පෙම්වතියක් එක්ක, මත්වීමක්, විනෝදයක් එක්ක කිසිම මිනිස් ගනුදෙනුවක් නැතුව යුක්තියක් හෝ ඒ වගේ දෙවියන් විසින් තමාට අණකළා යැයි සිතන දෙයක් වෙනුවෙන් මෙහෙයවෙනවා විතරයි.

මේ චිත්‍රපටිය ලියවිලා තියෙන්නෙ එලියෙ ඉඳන් බලන් ඉන්න සිදුවීම් පෙලක් විදිහට. ඒ හින්ද චරිතවල අභ්‍යන්තරයක් නෑ. තියෙන්නෙ බාහිරයක් විතරයි.  අඩුම තරමෙ තමන්ගෙ සහෝදරයාව යාලුවන්ව පැහැරගෙන ගිහින් මරාදැමීම ගැනවත් ඩෙස්මන්ඩ්ගෙන් සුසුමක්වත් පිටවෙන්නෙ නෑ.

 

මේ අලුතින් ගොඩනැගෙන නිර්ප්‍රභූ සිනමා ධාරාවෙ විශේෂත්වයක් මං දකිනවා. ඒ තමයි මේ චිත්‍රපටි තඩි පිරිමි චිත්‍රපටි. එක පැත්තකින් පිටපතේ චරිතවල ස්ත්‍රීමය,  අතාර්කික හැගීම්මය අර්ධය (පර්ස්පෙක්ටිව් එක) ගොඩනැංවීම බැහැර කරමින්  පිරිමි අර්ධය ඉස්මතු කරනවා. ලිංගිකත්වය සහ ශෘංගාරය බැහැර කරනවා.  අනෙක් පැත්තෙන් මේ චිත්‍රපටිවල ගැහැණු නෑ. තැන් තැන්වල ගැහැණු හිටගෙන හිටියට ඒ අය කතාවට කේන්ද්‍රීය නෑ. මේවා පිරිමි කතන්දර. ස්ත්‍රීත්වය වාරණය කරපු ගොඩනැංවීම්. 

 

මේ චිත්‍රපටිය සිනමාව ගැන උනන්දු අය බලන්නම ඕන එකක් කියල මං ලිව්වා. ඒකට හේතුව මේක ‘පේසින්’ හෙවත් චිත්‍රපටයේ රිද්මය වේගය අසමත් වීම ගැන උදාහරණයක් හින්ද. අපිට චරිතයක් සිදුවීමක් හැගීමක් බවට පරිවර්තනය කරන්න රූපවල රිද්මය සහ වේගය වැදගත් වෙනවා. මැද හුස්ම ගන්න බ්‍රීතින්ග් ඕන වෙනවා.  ඒක අසමත් වුනාම අපි නිකං බලං ඉන්නවා විතරයි. ඒ සිදුවීම් එක්ක අපේ හැගීම්මය සම්බන්ධයක් ගොඩනැගෙන්නෙ නෑ. අපිට ඩෙස්මන්ඩ් එක්කවත්, ඥානෙ එක්කවත් කිසිම සම්බන්ධයක් නිර්මාණය වෙන්නෙ නෑ. උන්ට මොනවා වුනත් අපිට දැනෙන්නෙ නෑ. 

 

මේ චිත්‍රපටිය එක දිගට මරාගෙන මරාගෙන යන කතාවක් කියල ගමු. ජෝන් වික් කියන්නෙ එහෙම චිත්‍රපටියක්. ඒත් ජෝන්වික්ගෙ බල්ලා මරා දැමීම එක්ක අපිට ඒ ආවේගය, ආවේශය දනවන්න ඒ රූපරාමු පෙලගැසීම සමත් වෙනවා. අපිත් ජෝන් වික් එක්ක සතුරන් දඩයමේ යනවා. ෆාදර් චිත්‍රපටියෙ අපි ඉන්නෙ එලියෙ. ජෝන්වික්ගෙ බල්ලව මැරුවම දැනෙන දුකවත් අපිට මිනිහෙක් මැරුවට දැනෙන්නෙ නෑ.

 

මට හිතෙනවා අධ්‍යක්ෂවරයා හැගීම්වලින් පලායනවා කියලා. ඒ මොහොත මගහරිනවා. මං ඒකට කියන්නෙ ‘ගැහැණිය’ මගහරිනවා කියල.

චිත්‍රපටියෙ සංගීතය ඉතාම විශිෂ්ට බව කියන්න ඕන.  සරල කාකොටා ගැනීම්වලට යම්කිසි හෝ ගැඹුරක් දෙන්න සංගීතය බරපතල උත්සාහයක යෙදෙනවා. ප්‍රධාන ගීතය විදිහට ඉස්මතු වෙන චාමර වීරසිංහගෙ සිංදුව ලස්සනයි. ඒත් ඒකට චාමර යොදාගැනීමේ තේරුමක් නෑ (ප්‍රචාරනාත්මක වටිනාකම හැර නිර්මාණාත්මක වටිනාකමක් නෑ). මොකද ඒ ගීතයේ චාමරගෙ කිසිම අනන්‍යතාවයක් නෑ.

 

ෆිල්ම් එක හොඳට ෂූට් කරලා තියෙනවා. මං හිතන්නෙ ඕනවටත් වඩා තොග ගානට ෂොට් තියෙන්න ඇති. උදා විදිහට පාරෙ ඉන්න සාරවිටකාරයා පවා හයහත් වතාවක් ෂූට්වෙලා තියෙනවා. කොයිතරම් අඩුමකුඩුම තිබුනත් චිත්‍රපටිය එක අරමුණක් කරා ගෙනියන අධ්‍යක්ෂවරයෙකුගේ අඩුව චිත්‍රපටිය පුරාම දැනෙනවා. 

 

චිත්‍රපටියක් ඇතුලෙ ස්ක්‍රිප්ට් ඩොක්ටර් කියන පිරිසක් අපි දකින පළවෙනි වතාවත් මේක වෙන්න ඕන. දොස්තරලා වැඩිවීමෙන්ම සුප් එක නරක් වුනාද කියලත් හිතෙනවා. 

 

අනෙක් කාරණය මේ චිත්‍රපටියෙ වගේම මෑතක තවත් චිත්‍රපටි කීපයකම දකින්න තිබුනු දෙයක්. අපි ටික ටික අපේ රටේ සංස්කෘතියෙන් ගැලවිලා මලයාලම් දෙමළ චිත්‍රපටිවල දකින දර්ශන අමුවෙන් අපේ කතා ඇතුලට ඔබන්න උත්සාහ ගන්න වග පේන්න තියෙනවා. උදා විදිහට ෆාදර් චිත්‍රපටියෙ කොටහළු මගුල්‍ ගෙදර මිදුල තනිකරම ඉන්දියාවෙන් උස්සන් ආපු එකක්.  තව ටික දවසක් යද්දි අපේ චිත්‍රපටියක ලංකාවෙ කියන ගතිය සම්පූර්ණයෙන්ම නැතිවේවි. ඒ වෙනුවට අපිට කොහෙත්ම සම්බන්දයක් නැති මලයාලම් නැටුම් සිංදු ජවනිකා අපේ චිත්‍රපටිවල පිරේවි. ඉස්සර හින්දි චිත්‍රපටි කොපි කරලා හදපු ලංකාවෙ චිත්‍රපටිවල වුනත් ලංකාවෙ ගතිය තිබුනා. ඉන්දියානු පාලම එන්නත් කලින් අපි හොඳම එකෙන් සංස්කෘතික කොලනියක් වෙමින් යනවා. 

 

චිත්‍රපටිය වෙනුවෙන් අධ්‍යක්ෂවරයා අරන් තියෙන්න මහන්සිය හොඳටම පේනවා. වැඩේ හොඳටම කරන්න හැම කෙනෙක්ම තදටම කැපවෙලා තියෙන වගත් දැනෙන්න තියෙනවා. හැමෝම හොඳ කියන චිත්‍රපටියක නරක ගැන කිව්වා කියල චිත්‍රපටිය හදපු එවුන් අමනාප නොවෙයි කියලත් හිතනවා. නිර්දය විවේචනයක් නැති වුනාම හොඳ චිත්‍රපටියක් වුනත් දුර්වල වෙනවා.

 

ෆාදර් චිත්‍රපටිය කිසිම අමාරුවක් නැතුව පැය දෙකක්  බලාගෙන ඉන්න පුළුවන්. අපේ යාලුවො හැම කෙනෙක්ම වගේ කොතන හරි රූප රාමුවක දකින්න ලැබීමත් ආනන්දජනකයි.  චිත්‍රපටියක් විදිහට ෆාදර් වෙනුවෙන් හැදිච්ච හයිප් එකත් මාරයි.  හැබැයි එච්චරයි.