Category: Features

  • අපේ ගෙදර ගිනි තියයිද?

    අපේ ගෙදර ගිනි තියයිද?

    ගෙදරක් කියන්නෙ නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් තියෙනවා home සහ house කියල වචන දෙකක්. හවුස් කියන්නෙ ගොඩනැගිල්ල. ඒක home එකක් වෙන්නෙ ජීවත් වෙන මිනිස්සුත් එක්ක. ඒ හින්ද ගෙදරක් කියන්නෙ මිනිස් ජීවිත ගොඩක්. බැඳීම් ගොඩක්. කතා ගොඩක්.

    ගෙවල් ගිනි තියනවා කියන එක මෑත කාලෙදි අරගලයේ ප්‍රකාශනයක් වුනා. දූෂිතයන්ගෙ ගෙවල් ගිනි තිබ්බා. ඒ හරහා ජනතාව යම් යුක්තියක් බලාපොරොත්තු වුනු බව පේනවා. ඒ යුක්තිය ඇතුලෙ දූෂිත යැයි උපකල්පනය කළ අයගේ පවුල්, ඒ අයගෙ සම්බන්ධතා, ඒ අයගෙ මිනිස් සංකීර්ණත්වය ආදියට ඉඩක් තිබුනෙ නෑ. දූෂිතබව යනු මිනිස් ගුණයක් කියන අසීරු වටහා ගැනීම තිබුනෙ නෑ. ගෙවල් ගිනිගත්තා. මිනිස්සු පලිගත්තා. රාජිත දිසානායක නාට්‍යයක් කළා.

    රාජිතගේ නාට්‍යයේ නම ‘අපේ ගෙදර ගිනි තියයිද?’. එක යුගයක සිදුවුනු සමාජ ප්‍රචන්ඩත්වයක් රාජිත මනුස්ස ජීවිතේ ඇතුලෙ සලකුණක් විදිහට ඉතිහාසගත කරනවා කියල මට හිතෙනවා. රාජිත ගෙදර ඇතුලෙන් රාජ්‍යය දිහා බලනවා. අරගලයෙදි සිද්ද වුනේ රාජ්‍ය නැත්නම් සමාජය පැත්තෙන් ගෙදර ඇතුලට එබෙන එක.

    රාජිත ගෙදර සහ රාජ්‍යය එකක් බවට පත් කරනවා. ගෙදරක් කියන්නෙ පවුලක්. පවුල තමයි රාජ්‍යයේ මූලික පරම ඒකකය. පවුලේ සම්බන්ධතා ඇතුලෙන් තමයි රාජ්‍යයේ සම්බන්ධතා නිර්මාණය වෙන්නෙ. පවුල් සම්බන්ධතා ඇතුලෙ පවතින රැවටීම, ගැලපීම ආදියම තමයි දේශපාලනය තීරණය කරන ආශාව වෙන්නෙත්.

    රාජිත සෙක්ස් ඇතුලෙන් පොලිටික්ස් දිහා බලනවා.

    මේ නාට්‍යයේ හරිම අපූරු ගැහැණු චරිත හතරක් මුනගැහෙනවා. මං හිතන්නෙ අපි ඒ වගේ ගැහැණු ටිකක් ‘චික්ෆ්ලික්මය’ ගතියෙන් වේදිකාව මත දකින්නෙ පළවෙනි වතාවට. එකිනෙකට වෙනස් චරිත හතරක්. මට හිතෙන්නෙ රාජිත ගැහැණුබව හරිම ලස්සනට නිරූපණය කරලා තියෙනවා කියල. රහස, අතාර්කික බව, අනාරක්ෂිත බව, වචනවල අසමත් බව, වියවුල ආදිය පැවැත්මේ ස්ත්‍රී ගුණයන්. ඒවා විසින් තමයි පිරිමි ආකෘතීන්  තර්ජනයට ලක් කරන්නෙ.

    ගෙදරක් කියන්නෙ රාජ්‍යයේ සංකේත ආකෘතියක්. ඒකයි නිතරම රාජ්‍යය සදාචාරය රකින්න මැදිහත් වෙන්නෙ. හරියටම කිව්වොත් ගෙදර/ පවුල තමයි ආශාවේ සමාජ ආකෘතිය. සම්මතය. ඒක ඇතුලෙ තමයි ආශාව සංවිධානය කරලා තියෙන්නෙ.

    ගෙදරක් ගිනි තියනවා කියන්නෙ ආශාව විසින් ඒ ආකෘතිය පුපුරුවා හැරීමට. තව දුරටත් ඒ ඩිසයින් එකට බැරි වෙනවා ආශාවේ කැරැල්ල දරාගන්න. ඒක ගිනි වැදිලා විනාශ වෙනවා. මං හිතන්නෙ රටේ සිද්ද වුනෙත් ඒකමයි. රටට තව දුරටත් බැරි වුනා රාජපක්ෂලාගේ ආශාවේ අතිරික්තය දරාගන්න. රට ගිනි ගත්තා.

    රාජිත මේක ඇතුලෙ පෙන්නනවා හරිම ලස්සන දෙයක්. මේ පවුල කියන ආකෘතිය පවතින්නෙම බොරුව කියන ලිහිල්වීම මත කියන එක. රැවටීම, රැවටෙන බව දැනීම සහ ‍නොදැනීම, ඉවසීම මේ වගේ දේවල් නිසා තමයි ආශාවෙ දගකිරීම් පවුලට දරාගන්න පුළුවන් වෙන්නෙ. මේක ජීවිතයේ නම්‍යශීලීත්වය. එහෙම නැත්නම් අපි හැමෝම විඳින විපරීතත්වය. එක පිරිමියෙක් එක ගැහැණියක් කියන සම්මත නීතියට අපි හැමෝම එකග වෙමින් බොරු කරනවා. ඒ බොරුවලින් ආස්වාදයක් විඳිනවා. ඒක පවුල කියන බොරුව සතුටෙන් පවත්වාගෙන යන්න උදව්වක් වෙනවා.

    මේකට අපිට කියන්න පුළුවන් ‘චීටින්ග්’ කියල. චීටින්ග් කියන දේ මේ පනවා ගත් විපරීත ආකෘතිය පවත්වාගෙන යන්න අවශ්‍ය මිනිස් කොන්දේසියක්.

    මෙතනදි මේ පවතින සම්මතය, නීතිය, ආකෘතිය පරම විදිහට විශ්වාස කරන කෙනෙක් එනවා. එයා තදින්ම විනයගත වූ කෙනෙක්. මේ හින්ද එයා ‘රහස’ හොයාගෙන ගිහින් ඒකට විරුද්ධව ප්‍රචන්ඩ අරගලයක් කරනවා. ඒක කරන්නෙ නීතිය/පවුල/ රාජ්‍යය රැකගැනීම වෙනුවෙන්. එයාට ‘හියුමන් එරර්ස්’ කියන දේ දරාගැනීමේ හැකියාව නෑ. පරම පෙම්වතෙක් වගේ එයා සම්මත ආදරයෙන් බැදෙනවා. ඒකෙන් උමතු වෙනවා. එය රැක ගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත පවා අහිමි කරනවා. ඒ තමයි අයිඩිලොජිය සත්‍යම බැව් විශ්වාස කිරීමේ විපරීතබව. ආගම, ජාතිය, පවුල, මතවාදය පරම යැයි අදහන ඕන කෙනෙකුට මේක වෙන්න පුළුවන්.

    මේ චරිත අතර බොරු නොකරන එක චරිතයක් හේෂාන්. එයා පෙනී සිටින්නෙ පරම යුක්තිය වෙනුවෙන්. බොරු නොකිරීමේ පරම ගුණය විසින් ඒ චරිතයේ මිනිස්බව අහිමි කරනවා. එයා පාලනය අතට ගන්නවා. පැරණි ආකෘති ගිනි තියනවා. අලුත් ආකෘතියේ පාලකයා බවට පත්වෙනවා.

    මේ හේෂාන්ගෙ චරිතය කරන තරුණයා මරු. ඒ රංගනය තනිකරම සීරියල් කිලර් කෙනෙක් මතක් කරනවා. පරම විදිහට අයිඩියොලොජිය විශ්වාස කරන්නෙ ‘කිලර්’ කෙනෙක් තමයි. එක්කො තමන්ව මරා දමන, නැත්නම් අනෙකාව මරා දමන කිලර් කෙනෙක්.  ඒ තරමට මිනිස් බවකින්, මිනිස් වරදකින් තොරව ආකෘතියට බැදෙන්න පුළුවන් ‘කිලර්’ කෙනෙකුට විතරයි. සමාජයේ මේ ‘එරර්’ එක හරිම වැදගත්.

    යුක්තිය ඉටුවීමෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ මොකක්ද කියන එක රාජිත නාට්‍යයේ පෙන්නනවා. තව දුරටත් ආදරය පවතිනවද කියන ප්‍රශ්නය පෙම්වතිය තරුෂිට  ඉතුරු වෙනවා. එතැන් පටන්  ඝාතකයෙකුට ආදරය කරන්න ඇයට සිද්ද වෙනවා.

    මේ ඝාතනයට ලක්වෙන ගායකයා නැත්නම් සෙලිබ්‍රිටි චරිතයත් හරිම සංකේතාත්මකයි. එයා වයස්ගතයි. සමහර විට රනිල් හෝ මහින්ද  වගේ වෙන්නත් පුළුවන්. එයා තමන්ගේ ප්‍රභූත්වයේ බලය මත  සමාජයේ අසම්මතය/ අතිරික්තය නිදහසේ විඳින බව පේනවා. වයර් එකකින් ගෙල හිරකරලා පීඩිතයා විසින් එයාව ඝාතනය කරනවා.

    රාජිත ඒ කාලයේ සමාජය ඇතුලෙ සිදුවුනු, කතාබහට ලක්වුනු සිදුවීම් නාට්‍යය ඇතුලට ගේනවා. ඒවා ලිංගිකත්වය, ඊර්ශ්‍යාව, ඒ නිසා උපදින ප්‍රචන්ඩත්වය මත නැවත කියවීමට ලක් කරනවා.

    සමාජ බලවේග විදිහට මතුවෙන්නෙ පුද්ගල ආශාවෙ විවිධ ස්වරූප. ඇතැම් විට ඒවා ලිංගික ඊර්ශ්‍යාව නිසා ඇතිවෙන වෛරයේ සහ ක්‍රෝධයේ ප්‍රතිඵල. ගෙවල් ගිනි තැබීම කියන්නෙ පියුරිෆිකේෂන් එකක්. සිස්ටම් එක පිරිසිදු කිරීමක්. පරම යහපත යලි ගොඩනැගීමක්. ඒ අර්ථයෙන් අරගලය කියන්නෙ රටක් විදිහට කරපු සමූහ යාගයක්.

    මේ කතාවෙ ‍බොරු නොකියන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සියල්ලට දෙවියන් සරණ පතන නයනි. එයා තමන් ඇතුලෙන් තමන්ගේ ලිංගිකත්වය යටපත් කරමින් තමන්ගේ ආශාව මරා දමන වේදනාත්මක අරගලය තෝරගන්නවා.  අනිත් කෙනා තමන්ගේ යටපත් කළ ලිංගිකත්වය වෙනුවෙන් අනෙකා මරා දමන්නට ප්‍රචන්ඩ අරගලය තෝරගන්නවා.  ආගම සහ විප්ලවය කියන්නෙ දෙවිදිහක පරම ආගමික ඇදහිලි. දෙකම ලිංගික පරාජිත බවේ ප්‍රතිඵල.

    වර්තමාන ආන්ඩුව බිහිවෙන මොහොත රාජිත සළකුණු කරනවා. ඒ ආන්ඩුව බිහිවෙන්නෙ බොරු කීමෙන්. බොරු කියන්නෙ ආදරය පවත්වාගන්න. ඊට පස්සෙ බොරුව දූෂනය දක්වා ගමන් කරනවා. ඒක තමයි මනුස්ස දේශපාලනයේ ස්වභාවය. හැබැයි මේ ආන්ඩුව බලයට ගේන කතිකාව හැදෙන්නෙ හේෂාන්ලාගෙන්. පරාජිත බවේ වෛරයේ සහ ඊර්ශ්‍යාවේ පදනමෙන්. ඒ වගේ කතිකාවක් එක්ක කිසිම මනුස්ස ආන්ඩුවකට පවතින්න පුළුවන්කමක් නෑ. ඒ අපේක්ෂාවේ තරමට නිවැරදි වීම කියන්නෙම කර්කශ වියළිභාවයකට පත්වීම. පෙට්‍රල් ලීටර් හතරට මනුස්සයෙක් හි‍රේ යන තරම් අමානුෂික නිරවද්‍යභාවයක් ඒක.

    කිසිම ආන්ඩුවක් අපේ ගෙදර ගිනි තියයිද කියල බයෙන් දේශපාලනය කරන්න උවමනා නෑ කියලයි මං හිතන්නෙ. වැරදි කරන, බොරු කියන මනුස්ස සමාජයක් බාරගන්න පුළුවන් තරමට පරිණත පුරවැසි සමාජයක් අපිට ඕන කරනවා.

    හේෂාන් විසින් තරුෂිට පිරිනමන්නෙ මිනීමරලා රැකගත්ත ආදරයක්. ජනතාව විසින් මේ ආන්ඩුවට පිරිනැමුවෙත් ගෙවල් ගිනි තියලා උදුරාගත්  ආදරයක්. ඒ ව‍ගේ බිහිසුණු ආදරයක් ඉස්සරහ ආන්ඩුවක් කියන්නෙ වින්දිතයෙක්.

    අපි වෙනසක් ඕන කියලා කියන්නෙ අපිට පොඩි පොඩි වැරදි කරන්න ඉඩ තියෙන වෙනසක් බව අපි පසක් කරගන්න ඕන.

  • පත්මා ගැන මතකය

    පත්මා ගැන මතකය

    කටුබැද්දෙ ගෙදර යන හැම වෙලාවකම බෙලෙක්කඩේ හන්දියෙ පත්මා ෆිල්ම් හෝල් එක පහුවෙනවා. කොයිතරම් ට්‍රැෆික් එකක හිටියත් මට ඒ පැත්ත නොබලා යන්න බැරි වෙනවා. වැඩියෙන්ම අවදානම්කාරී වෙන්නෙ ඒ බලන මොහොතෙන් අතීත මතක ගොන්නක්ම එකපාර එබෙන එක. වාහනේ එලවනවා වුනාට මම මොහොතකට එතන නැති වෙනවා. පත්මා එක ඇතුලෙ හිතෙන් ඇවිදින්න ගන්නවා.

    පත්මා එක තියෙන්නෙ බෙලෙක්කඩේ බුදු පිලිමෙ පිටිපස්සෙ. ඒකට ඒ දවස්වල ආවෙම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි. ඉස්‍කෝලෙ යන කාලෙ  ඇඩල්ට්ස් ඔන්ලි කියන අකුරු ටික දැකපු ගමන් චිත්‍රපටියෙ නම ‍මොකක්ද කියලවත් බලන්නෙ නැතුව හෝල් එකට රිංගන එක අපේ ඇබ්බැහියක් වෙලා තිබුන.  ඇත්තටම පත්මා එකේ බලපු චිත්‍රපටිවලින් මට නමකට මතක ‘මෙලඩි ඉන් ලව්’ 1978 විතරයි. මොකක් හරි තේරුමක් නැති හේතුවකට ඒ ෆිල්ම් එක මට සීන්ස් පිටින් මතකයි.

    ඒ නිළිය සිල්වියා ක්‍රිස්ටල් බවත්, ඒ වෙද්දි එම්මානුවල් ෆිල්ම් එකෙන් ඇය ශෘංගාර රැජිනක්ව හුන් බවත් දැනගත්තෙ පස්සෙ. ෆිල්ම් එකේ ඩිරෙක්ටර් හියුබර්ට් ෆ්‍රෑන්ක්. චෙකොස්ලෝවියානු අධ්‍යක්ෂවරයෙක් වුනු හියුබර්ට් තමයි, ට්‍රෑන්ගල් ඔෆ් ලස්ට්, පැට්‍රීෂියා සහ මෙලඩි ඉන් ලව් චිත්‍රපටි තුනම නිර්මාණය කලේ.

    සිල්වියා ක්‍රිස්ටල්ගෙ  එම්මානු‍වල් මට බලන්න ලැබුනෙ වීඑච්එස් කැසට් එකක් විදිහට. රාවතාවත්තෙ ගාමිනී වීඩියෝ සෙන්ටර් එකෙන් බොරු අයිඩී තියලා අරන් ආපු ඩබල් එක්ස් කෑල්ලක් විදිහට. කොහොම නමුත් මෙලඩි ඉන් ලව් චිත්‍රපටියෙ බොහෝ දර්ශන ලංකාවෙ රූගත කර තිබුනු බව පස්සෙ කාලෙක කියවන්න ලැබුන.

    මේ කතාව ඒ ගැන නෙමෙයි. පත්මා සිනමාව ගැන.

    ඉස්සරහ දැවැන්ත බුදු පිලිමයක් තිබුනු එක පත්මා එක‍ට කවදාවත් ප්‍රශ්නයක් වුනේ නෑ. බුදු පිලිමෙ දැක්කම බස්වල පස්ස උස්සන උපාසක අය ආපහු පස්ස බිම තිබ්බෙ පත්මා එකත් පහුවුනාට පස්සෙ. අද වගේ කාලෙක නම් මේ සිනමා ශාලාව බුදු දහමට නිගාවක් කියල කස්සප වගේ අය පාරට බහින්න ඉඩ තිබුන.

    පත්මා එකේ චිත්‍රපටිවල පිංතූර පෝස්ටර් ඇලෙව්වෙ  නෑ. ඇතුලෙ ෂෝකාර්ඩ් කීපයක් තිබුනා. සම්පූර්ණ ආකර්ශනයම තිබුනෙ දම්පාට රතුපාට මුසු  අකුරුවලින් ලියවුනු ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි’ කොටසෙ.

    ඒ හෝල් එකටම අනන්‍ය සංස්කෘතියක් තිබුනා. හෝල් එක ඇතුලෙ මිනිස්සු සිගරට් බිව්වා. නිරුවත් දර්ශන යද්දි ස්වයං වින්දනයෙ යෙදුනා. සෙක්ස් කෑලි මදි නම් හූ කිව්වා. සමහරු සෙක්ස් කෑලි තියනවා කියලා රවටපු එකට ආපහු ටිකට් එකේ සල්ලි ඉල්ලලා රන්ඩු වුනා.

    ඒ වගේම සමහර ජෝඩු මේ චිත්‍රපටි බලන්න ආවා. ඒ අය පුටු දෙකක් උඩ ආලිංගනයට ඉඩ මදි වුනාම පත්තර කොල එලාගෙන අයිනෙ තීරුවෙ දිගාවුනා. තව සමහරු ආවෙම මේ වගේ පෙම්කෙලින ජෝඩු දිහා බලන් ඉන්නමයි. ෆිල්ම් එකට වඩා ආස්වාදයක් ඒ අය මේ අනුන්ගෙ රතිකෙලිවලින් ලැබුවා. කොහොම වුනත් ෆිල්ම් එකක් බලන්න ගිය හැම වෙලාවකම සීට් එක හොඳට අතගාලා බලලා ඉඳගන්න පුරුද්දක් අපිට තිබුන. නැත්නම් බොහෝ විට වෙන කෙනෙකුගේ ශුක්‍රානු අපේ කලිසමේ ඇලවෙන්න ඉඩ තිබුන.

    මේ හැමදෙයක්ම ඒ සිනමාවට අදාල සංස්කෘතිය. ඒ චිත්‍රපටි බලන්න ආපු අයගෙ ආශාවන් ඒ අන්ධකාරයෙ නිදහස් වුනු හැටි. සිනමාව තිබුනෙ  තිරෙන් පිටිපස්සෙ විතරක් නෙමෙයි. තිරෙන් ඉස්සරහ තිබුනෙත් සිනමාව.

    කාලයත් එක්ක මේ සිනමා ශාලාව වැහිලා ගියා.  ටිකෙන් ටික පත්මා වනගත වෙන හැටි මම බලන් හිටියෙ ලොකු මනස්තාපයකින්. ඒ මහා ගස්වල සෙවනෙ තිබුනු පොදු ජනතාවගේ අනුරාග සිනමා ශාලාව  අස්ථානගත වුනේ අපේ මතකත් එක්ක.

    දැන් ඒ සිනමා ශාලාව වහගෙන මහා ගස් වැවිලා. තාම ඒ  ගස් අතු අතරින් පරණ  බිත්ති පාරට පේනවා. මේ සිනමා ශාලාව ඇතුලට ආයිමත් යන්න තිබුනා නම් කියල ලොකු ආසාවක් හිතේ නලියනවා. කොම්පඤ්ඤවීදියෙ රියෝ සිනමාව වගේ අඩුම තරමෙ විශේෂ සිනමා හෝ කලා ප්‍රදර්ශනවලටවත් පත්මා සිනමාව විවෘත වෙනවා නම් කොයිතරම් දෙයක්ද? සිනමා ශාලාවක් කියන්නෙ  ප්‍රජාවකගේ ආශා සංස්කෘතියක් දරාගත්ත තැනක්.

    පත්මා කියන්නෙ තාමත් ඒ නිදහස් රාගයේ රහස් දරාගනෙ ඉන්න ඉරොතික පූජාභූමියක්.

  • ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය

    ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය

    මෙය වසර 400 ක් පුරා “ඔඩිසි” (The Odyssey) කාව්‍යයේ සිංහල පරිවර්තන සහ එහි පැවති ස්ත්‍රී පුරුෂ පක්ෂපාතීත්වය පිළිබඳ එමිලි විල්සන්ගේ (Emily Wilson) විප්ලවීය පරිවර්තනය ඇසුරින් සැකසුණු ලිපියේ සිංහල අනුවාදයයි:

    “වසර 400 ක් පුරා පිරිමින් ‘ඔඩිසි’ පරිවර්තනය කළා — ඔවුන් ඒ හැමෝම එක දෙයක් රහසින් වෙනස් කළා: ඒ ස්ත්‍රීන්වයි.”

    හෝමර්ගේ මෙම වීර කාව්‍යයේ සෑම ඉංග්‍රීසි පරිවර්තනයක්ම සිදු කළේ පිරිමින් විසිනි. චැප්මන්, පෝප්, ෆිට්ස්ජෙරල්ඩ්, ලැටිමෝර්, ෆේගල්ස් — ඔවුන් සියල්ලෝම දක්ෂ විද්වතුන් විය. නමුත් 2017 දී අසාමාන්‍ය දෙයක් සිදු විය.

    එමිලි විල්සන් ඉතිහාසයේ ප්‍රථම වතාවට “ඔඩිසි” කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළ කාන්තාව බවට පත් වූවාය. ඇගේ කෘතිය එළිදැක්වුණු මොහොතේම පාඨකයින් කම්පනයට පත් කරවන සත්‍යයක් වටහා ගත්හ: අපි වසර 400 ක් තිස්සේ කියවා ඇත්තේ මුසාවක් බවය.

    1. “පොලිට්‍රොපොස්” (Polytropos) – වීරයාගේ සැබෑ ස්වරූපය

    හෝමර් තම වීරයා වන ඔඩිසියස්ව හැඳින්වීමට භාවිතා කරන මුල්ම වචනය මෙයයි. සෑම පිරිමි පරිවර්තකයෙකුම ඔහුව හැඳින්වූයේ “සම්පත්දායක,” “බහුවිධ දක්ෂතා ඇති” හෝ “බුද්ධිමත්” ලෙසයි. එමඟින් ඔහු උදාර වීරයෙකු ලෙස චිත්‍රණය විය.

    නමුත් එමිලි විල්සන් එය පරිවර්තනය කළේ “සංකීර්ණ” (Complicated) යනුවෙනි. ඒ එක වචනයෙන් සියල්ල වෙනස් විය. ඔඩිසියස් යනු පරිපූර්ණ වීරයෙකු නොවේ; ඔහු සදාචාරාත්මකව ගැටලු සහගත, බොරුකාරයෙකු සහ තමාගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පුද්ගලයෙකි. හෝමර් ඇත්තටම ලිව්වේ එයයි. නමුත් වීරයන් සැමවිටම උදාර විය යුතු යැයි සිතූ පරිවර්තකයෝ වසර 400 ක් තිස්සේ එය මකා දැමූහ.

    2. වහල් ස්ත්‍රීන් සහ මනුෂ්‍යත්වය

    ඔඩිසියස් වසර 20 කට පසු තම මාලිගාවට පැමිණි විට, එහි සිටි වහල් ස්ත්‍රීන් කිහිප දෙනෙකු ආක්‍රමණිකයන් අතින් දූෂණය වී ඇති බව දැනගනී. ඔහුගේ ප්‍රතිචාරය වූයේ ඔවුන් සියල්ලන්වම එල්ලා මැරීමයි.

    හෝමර් මේ කාන්තාවන් හැඳින්වීමට “dmôai” යන ග්‍රීක වචනය භාවිතා කළේය. එහි තේරුම “වහලුන්” යන්නයි. නමුත් පිරිමි පරිවර්තකයින්ට එය දිරවා ගැනීමට නොහැකි විය. ඔවුන් එය මෙසේ වෙනස් කළහ:

    • ජෝර්ජ් චැප්මන් (1614): “ද්‍රෝහී සේවිකාවන්”
    • ඇලෙක්සැන්ඩර් පෝප් (1725): “වැරදිකාර සේවිකාවන්”
    • රොබට් ෆිට්ස්ජෙරල්ඩ් (1961): “ආක්‍රමණිකයන් සමඟ පෙම් කළ ස්ත්‍රීන්”

    මෙම පරිවර්තන මඟින් හැඟවෙන්නේ එම ස්ත්‍රීන් ස්වකැමැත්තෙන් ලිංගිකව හැසිරුණු බවත්, ඔවුන් මරණයට සුදුසු වැරදිකරුවන් බවත්ය. නමුත් විල්සන් නිවැරදි ග්‍රීක අර්ථය ලබා දුන්නාය: “වහලුන්.” එවිට එම දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. එය සාධාරණ යුක්තියක් නොව, කිසිදු බලයක් නොතිබූ, දූෂණයට ලක්වූ වහල් ස්ත්‍රීන් පිරිසක් ඔඩිසියස් විසින් ඝාතනය කිරීමකි.

    3. පෙන්ලොප්: උපායශීලී බිරිඳ

    මීට පෙර පරිවර්තකයන් ඔඩිසියස්ගේ බිරිඳ වන පෙන්ලොප්ව නිරූපණය කළේ නිහඬව දුක් විඳින, පතිවෘත්තාව රකින, නිෂ්ක්‍රීය කාන්තාවක ලෙසයි. නමුත් හෝමර් ඇයව හඳුන්වන්නේ “periphron” ලෙසයි. එහි තේරුම “උපායශීලී” හෝ “බුද්ධිමත්” යන්නයි.

    විල්සන්ගේ පෙන්ලොප් යනු බලා සිටින්නියක් පමණක් නොවේ; ඇය දේශපාලනිකව කටයුතු කරන, තොරතුරු රැස් කරන, තමාව ආරක්ෂා කර ගැනීමට සැලසුම් සකස් කරන චරිතයකි.

    4. කැලිප්සෝ: ආදරවන්තියකද? සිරකරන්නියකද?

    කැලිප්සෝ නම් දෙවඟන ඔඩිසියස්ව වසර හතක් තම දූපතේ රඳවා තබා ගනී. ග්‍රීක වචනය “katechein” යන්නයි—එහි අර්ථය “සිරකර තැබීම” හෝ “නතර කර තැබීම” යන්නයි.

    නමුත් පිරිමි පරිවර්තකයන් ලියා ඇත්තේ ඇය ඔහුට “ආදරය කළ” බවත්, එය “ප්‍රේම සම්බන්ධයක්” බවත්ය. විල්සන් සැබෑව පරිවර්තනය කළාය: කැලිප්සෝ ඔහුව “සිරකර තබා ගත්තාය.” එය රොමෑන්තික කතාවක් නොව, ස්ත්‍රී පුරුෂ භූමිකාවන් මාරු වූ ලිංගික බලහත්කාරකමක් සහ සිරගත කිරීමකි.

    නිගමනය: හෝමර්ව “වික්ටෝරියානු” ග්‍රහණයෙන් මුදා ගැනීම

    පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍ය මහාචාර්යවරියක වන එමිලි විල්සන් කළේ නවීකරණය කිරීමක් නොව, “පැරණි පක්ෂපාතීත්වයන් ඉවත් කිරීමයි.” ඇතැම් විචාරකයින් ඇයට චෝදනා කළේ ස්ත්‍රීවාදී අදහස් ඇතුළත් කරන බවටයි. ඇගේ පිළිතුර සරල විය: “මුල් ග්‍රීක පිටපත කියවන්න.”

    ඇය කළේ පිරිමි පරිවර්තකයින් විසින් සියවස් ගණනාවක් පුරා තැන්පත් කළ පීතෘමූලික මතවාදයන් ඉවත් කර, හෝමර්ගේ මුල් වචනවලට හුස්ම ගැනීමට ඉඩ දීමයි. එහි ප්‍රතිඵලය වූයේ වඩාත් අවංක, වඩාත් තියුණු සහ සදාචාරාත්මකව අභියෝගාත්මක “ඔඩිසි” කාව්‍යයකි.

    වසර 400 කට පසු, අපට අවසානයේ හෝමර් සැබවින්ම අදහස් කළ දේ කියවීමට අවස්ථාව ලැබී ඇත

    (ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තන කරන ලද්දකි)

     

  • කෙළියා නේද තරුණ කැළ?

    කෙළියා නේද තරුණ කැළ?

    ෆාදර් චිත්‍රපටිය ගැන හතරවටෙන්ම ඇහෙන්නෙ උණුසුම් ප්‍රතිචාර. චිත්‍රපටිය හෝල් කඩාගෙන දුවන වගත් පේන්න තියෙනවා. ඒක හදවතෙන්ම සතුටු වෙන කාරණයක්.

    චිත්‍රපටියක් එහෙම උණුඋණුවෙම බැලුවට පස්සෙ මං ඒ ගැන කියන්න තියෙන හොඳ ටික මුලින්ම කියනවා.  ඊට පස්සෙ ටිකක් දුර යන්න ඇරලා ආපහු වතාවක් චිත්‍රපටිය බලලා කියන්න තියෙන නරක ටික කියනවා. ඒ ලියන්නෙත් මං ලියන ‘නරක’ කියෙව්වට පස්සෙ වුනත් කෙනෙකුට, අනේ මූ දන්න සිනමාව’ කියලා මට බැනලා චිත්‍රපටිය බලන්න යන්න හිතේවා කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්.

    ෆාදර් චිත්‍රපටිය හදන්නෙ ගම්පහ ඔස්මන්ඩ් කියන පාතාල චරිතය ඇසුරින්. ඒ වගේම චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ නිර්ප්‍රභූ දේශපාලනය වෙනුවෙන් කියලා කොඩි දාගෙන මාලිමාව බලයට ආපු කාලෙක.  චිත්‍රපටිය ඇතුලෙ කතාව තියෙන්නෙත් කසිප්පු පෙරන, ඩීල් දාන ඥානෙ අයියාගෙන් හිතහොඳ ඩෙස්මන්ඩ් මල්ලිට පාතාලෙ ඔටුන්න මාරුවෙන  කතාව. ඥානෙ අයියා කන බොන, කප්පං ගන්න, දේශපාලකයො එක්ක සම්බන්ධ සීනියර් මැරයා. ඩෙස්මන්ඩ් කියන්නෙ සිගරට් එකක්වත් බොන්නෙ නැති, දේශපාලන සම්බන්දකම් මොකුත් නැති, දේවධාර්මික මැරයා. චිත්‍රපටියෙ මූලික කේන්ද්‍ර දෙක හැදෙන්නෙ මේ වගේ සරල සමීකරණයකින්. පාතාලය යුක්තිගරුක පාතාලය සහ අයුක්තිසහගත පාතාලය වශයෙන් වර්ග කරගෙන.

    මේ චිත්‍රපටිය කියවද්දි අපි මුලින්ම ‍මීට අදාල සැබෑ සිදුවීම් සහ චරිත පැත්තකින් තියන්න ඕන. චිත්‍රපටිය ඇතුලෙ අපි දකින දේ කියවගන්න ඕන. එතනදි අපිට තේරෙන්න පටන් ගන්නවා පිටත කතාව නොදන්නා කෙනෙකුට චිත්‍රපටිය ඇතුලෙ හිස්තැන් ගොඩක් මුනගැහෙන වග. කතාව ගලපගන්න දඟලන්න වෙන වග.

    අපි මුල ඉඳන් පටන් ගමු.

    කතාව පටන් ගන්න තැන ගත්තොත් ඩෙස්මන්ඩ් වයසට ගිහින් සෞම්‍ය බවට පත්වෙලා කියන පළවෙනි දෙබස අන්තිම නීරසයි. ඒක ඒ චරිතයට කොහෙත්ම අදාල නොවෙන සංදර්භයකින් ලියවුනු එකක්. හරියට හයිඩගර්ගෙ කතාවක් වගේ දාර්ශනික වදන් ටිකක් වයසක ඩෙස්මන්ඩ් කියාගෙන යනවා.   ඊට පස්සෙ අපි ඩෙස්මන්ඩ්ව තරුණ කාලෙදි මුනගැහෙනවා. 

    පූජන දන්දෙනිය කියන්නෙ ඉතාම දක්ෂ නළුවෙක්. ලංකාවෙ වැඩකට නවසුදීන් සිද්දික් වගේ කෙනෙක්ව ඕන වුනොත් බය නැතුව පූජනව ගන්න පුළුවන්. ඒ මූන ඒ තරම් අපූරු මූනක්.

    ඒත් ඩෙස්මන්ඩ් සම්බන්ද මේ ගැටුම් චිත්‍රපටියෙ අන්තිම සරල ග්‍රාමීය මට්ටමකයි ලියවිලා තියෙන්නෙ.  හරියට කෝපිකඩේ රත්නෙ අයියා සහ සෝමෙලා අතර ඇතිවෙන රන්ඩු  වගේ. එහෙම ගම්පලාතක වුනත් ගැටුමක සංකීර්ණත්වය නිර්මාණය වෙන්නෙ ඒක පිහිටුවන වියමන අනුව. ඒ ගැටුමට අදාල හැගීම් කලාපය නිර්මාණය කිරීම අනුව. එතනදි අපිට අදාල ගැටුමේ සිදුවීම්වලට බාහිරෙන් මිනිස් සම්බන්ධතා චිත්‍රපටියට ගේන්න සිද්ද වෙනවා. ඒ ගැටුම එක්ක පරිබාහිරින් සිද්ද වෙන්න ගන්න වෙනස්කම් ග්‍රහණය කරන්න වෙනවා.   නමුත් ෆාදර් චිත්‍රපටියෙ දිගටම අපි දකින්නෙ මොකක් හරි පොඩි සිදුවීමක් වෙනවා, ඊට පස්සෙ ඒකට ප්‍රතිචාරයක් සිද්ද වෙනවා. ඊට ගැඹුරින් දිවෙන  කිසි දෙයක් නෑ. ඒ හින්ද අපිට අතරමගදි හිතෙන්න ගන්නවා මුං මොකට මෙහෙම කෙලගන්නවද කියල. 

    චිත්‍රපටියෙ කිසිම චරිතයකට අදාල ක්‍රියාව කරන්න ‘මෝටිවේෂන්’ එකක් නෑ. ඒකට අදාල හේතු ගොඩනැංවීමක් නෑ. සිදුවීම් ඔහේ සිද්ද වෙනවා විතරයි. මෝටිවේෂන් එකක් නැති චරිත එක්ක ප්‍රේක්ෂකයාට සම්බන්ධයක් ‍ගොඩනැගෙන්නෙ නෑ. 

    ප්‍රධාන දුෂ්ටයා ඥානෙ වුනත් චිත්‍රපටියට අනුව අන්තිම අසරණයෙක්. ඌට දේශපාලකයන්ගෙන්වත් උදව්වක් නෑ. උගේ පිරිසෙන්වත් උදව්වක් නෑ. නිකං හන්දියක ඉඳගෙන සද්දෙ දැම්මට වටෙන්ම ගුටිකන නොන්ඩියෙක්. ඥානෙගෙ පවුල් විස්තර, ගෑනු ළමයි  සම්බන්ධතා කිසිම දෙයක්  නෑ. උන් නිකංම ඔහේ ඉන්නවා විතරයි. ඥානෙ ලබන විනෝදය මොකක්ද? 

    චිත්‍රපටියෙ දර්ශන ගත්තොත් වෙන වෙනම දර්ශන වගේ. ඒ දර්ශන අතර දෙබසකින්වත් රූපයකින්වත් සම්බන්ධතා ගොඩනැගෙන්නෙ නෑ.    සමහර විට වෙන වෙන අය විසින් අධ්‍යක්ෂණය කරලා තරමට  රිද්මය පවා වෙනස්. මේ හින්ද එක දිගට සම්බන්ධ වුනු කතාවක් වෙනුවට අපි දකින්නෙ තනි තනි සිදුවීම් පෙලක්. උදා විදිහට සුරාජ් මාපා නිරූපණය කරන චරිතය එහෙම පිටපතට කිසිම අදාලත්වයක් නැති ආකස්මික එකක්.  චන්ඩියෙක් වුනත් මිනිහට තනියටවත් කෙනෙක් නෑ. කපලා මරලා දාලා ගියත් දන්නෙ නෑ. අහේතුක චරිතයක්.

    පිටපතේ තියෙන දරුණුම අර්බුදය තමයි මේ චිත්‍රපටියෙ චරිත මනුස්සයන් විදිහට තේරුම් නොගැනීම. ඒ අයගෙ විනෝදය, ආස්වාදය, අතාර්කිකත්වය  අපි කතාවෙ දකින්නෙ නෑ. මේ කිසි චරිතයකට ලිංගික හෝ ශෘංගාර අර්ධයක් නෑ. උන්ගෙ ආශාව මෙහෙයවෙන දිශාවක් නෑ.  තණකොල ගලවන පොලිස් ලොක්කා වගේ චරිත  එකපාර ආගිය අතක් නෑ.

    චිත්‍රපටියෙ මනුස්සයෙක් විදිහට නිර්මාණය වෙලා තියෙන්නෙ සේකරගෙ චරිතෙ විතරයි කියන්න පුළුවන්. ඒක අහම්බයක්. ඒ වුනත් හිරගෙදර අපචාරවලට ලක්වීමේ ඉඳන් ෆිල්ම් හෝල් එකක පෙම්වතිය සමග ඉඳිද්දි මරණයට පත්වීම දක්වා ගමනෙ සේකර මනුස්සයෙක් විදිහට නිර්මාණය වෙනවා. වෙන කිසිම චරිතයක මෙහෙම මනුස්ස කතාවක් ‍ගොඩනැගෙන්නෙ  නෑ. 

    වෙන් වෙන් සිද්ධි හැටියට ගත්තම හරිම ලස්සන තැන් තියෙනවා. ගමේ වාද බයිලා තරගය එහෙම එකක්. ඒක මරු. ඒත් කතාවට වැඩක් නෑ. ඒ චරිත එනවා යනවා. එතන ඇතිවෙන වලිය වුනත් කිසිම පදනමක් නැති එකක්. අපිට වීරයාව දැවැන්තව ගොඩනැගීමට අවශ්‍ය නම් දුෂ්ටයාව ඒ පමණට ගොඩනගන්න සිද්ද වෙනවා. ඒත් ෆාදර් චිත්‍රපටියෙ  අපි දැවැන්ත ඩෙස්මන්ඩ්ව ගොඩනගන්නෙ  පිදුරු ගස් මතින්.

    ඥානෙ අයියා මැරෙන තැනින් චිත්‍රපටිය ඇත්තටම ඉවරයි. අනෙක් කොටස බලෙන් එල්ලපු එකක්. කතාව ගොඩනැගෙන්නෙ ඥානෙ සහ ඩෙස්මන්ඩ් අතර. වවුල්කැලේ සිද්ධිය පිටපතට ඇතුල්වෙන්නෙ බලහත්කාරයක් විදිහට. ඒ සිදුවීම පත්තරවලින් දන්නෙ නැති කෙනෙකුට කිසිම විදිහකින් ඒක තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. ඩෙස්මන්ඩ් ජපානෙ ගිය වගක් අපි දැනගන්නෙ මන්ත්‍රීගෙන්. මෙච්චර කාලයක් ගමේ හිටපු ඩෙස්මන්ඩ්  ගනං ගත්තෙ නැති මන්ත්‍රී ජපානෙ ඉන්න ඩෙස්මන්ඩ් හතුරෙක් විදිහට ගනං ගන්නෙ ඇයි?  චිත්‍රපටියෙ මේ ඇමිනුම පිටපතේ විශාල හිලක් පෙන්නනවා.

     ඩෙස්මන්ඩ්ගෙ සහෝදරයන් ඝාතනය කිරීමේ වේදනාව එකම රූපයකින්වත්  සටහන් වෙන්නෙ නෑ. අන්තිමට මන්ත්‍රී සහ පොලිස් අධිකාරීවරයා මරා දාන කොටස වෙද්දි සියල්ල ලොකු පැටලැවිල්ලක්. ඒ දර්ශනවලදි සංස්කරණය පවා අන්තිම දුර්වලයි. ( හැබැයි සිතුම් කියන්නෙ අපිට ඉන්න දක්ෂම සංස්කාරකවරයෙක්) එහාට මෙහාට වේගයෙන් රූපරාමු රාශියක් කැපුනත් සිදුවීමේ භාවය දනවන්න ඒ කැපිල්ල බාධාවක් වෙනවා විතරයි. 

    ඩෙස්මන්ඩ්ගෙ පෙම්වතිය කොහෙන් ආවද කියන්න අපි දන්නෙ නෑ. කොට ගවුමක් ඇඳන් එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටපු කෙල්ලෙක් එකපාර බයිසිකලේ උඩ ඩෙස්මන්ඩ්ගෙ පෙම්වතිය බවට පත්වෙනවා. චිත්‍රපටිය නිර්මාණය කිරීමේ අතිශය වියළි බව පසක් වෙන්නෙ මේ දර්ශනයත් එක්ක. අඩුම තරමෙ ඩෙස්මන්ඩ්ට ආදරය කරන්න තරම්වත් ඉඩක් පිටපතේ ලියවිලා නෑ.

    මේ චිත්‍රපටියෙ මේ චරිත ගොඩනැංවීමේ අවුල  එක්තරා විදිහට ජවිපෙ දේශපාලනය ඇතුලෙත් මං දකිනවා. ඒක එක්තරා විදිහකට අවිඥානකව ප්‍රකට කරන ජීවන දෘෂ්ටියක් වගේ.  ජවිපෙ සමාජිකයන්  සමාජය සමග මනුස්ස ගනුදෙනු පවත්වාගන්නෙ නෑ. (මනුස්ස ගනුදෙනු ‍කියන්නෙ නිවැරදි ගනුදෙනු කියන එක නෙමෙයි. මනුස්ස කියන්නෙ රූල්ගත නොවූ කියන එක) ඒ අය කවදා හරි සිද්ද වෙන විප්ලවයක් වෙනුවෙන් ඒ අය විශ්වාස කරන කැපකිරීම් කරනවා.  ඒ හින්ද කෘතිම ගතියක් තියෙනවා. ඩෙස්මන්ඩුත් ඒ වගේ. ගමේ මිනිස්සු එක්ක ගනුදෙනුවක්, පෙම්වතියක් එක්ක, මත්වීමක්, විනෝදයක් එක්ක කිසිම මිනිස් ගනුදෙනුවක් නැතුව යුක්තියක් හෝ ඒ වගේ දෙවියන් විසින් තමාට අණකළා යැයි සිතන දෙයක් වෙනුවෙන් මෙහෙයවෙනවා විතරයි.

    මේ චිත්‍රපටිය ලියවිලා තියෙන්නෙ එලියෙ ඉඳන් බලන් ඉන්න සිදුවීම් පෙලක් විදිහට. ඒ හින්ද චරිතවල අභ්‍යන්තරයක් නෑ. තියෙන්නෙ බාහිරයක් විතරයි.  අඩුම තරමෙ තමන්ගෙ සහෝදරයාව යාලුවන්ව පැහැරගෙන ගිහින් මරාදැමීම ගැනවත් ඩෙස්මන්ඩ්ගෙන් සුසුමක්වත් පිටවෙන්නෙ නෑ.

    මේ අලුතින් ගොඩනැගෙන නිර්ප්‍රභූ සිනමා ධාරාවෙ විශේෂත්වයක් මං දකිනවා. ඒ තමයි මේ චිත්‍රපටි තඩි පිරිමි චිත්‍රපටි. එක පැත්තකින් පිටපතේ චරිතවල ස්ත්‍රීමය,  අතාර්කික හැගීම්මය අර්ධය (පර්ස්පෙක්ටිව් එක) ගොඩනැංවීම බැහැර කරමින්  පිරිමි අර්ධය ඉස්මතු කරනවා. ලිංගිකත්වය සහ ශෘංගාරය බැහැර කරනවා.  අනෙක් පැත්තෙන් මේ චිත්‍රපටිවල ගැහැණු නෑ. තැන් තැන්වල ගැහැණු හිටගෙන හිටියට ඒ අය කතාවට කේන්ද්‍රීය නෑ. මේවා පිරිමි කතන්දර. ස්ත්‍රීත්වය වාරණය කරපු ගොඩනැංවීම්. 

    මේ චිත්‍රපටිය සිනමාව ගැන උනන්දු අය බලන්නම ඕන එකක් කියල මං ලිව්වා. ඒකට හේතුව මේක ‘පේසින්’ හෙවත් චිත්‍රපටයේ රිද්මය වේගය අසමත් වීම ගැන උදාහරණයක් හින්ද. අපිට චරිතයක් සිදුවීමක් හැගීමක් බවට පරිවර්තනය කරන්න රූපවල රිද්මය සහ වේගය වැදගත් වෙනවා. මැද හුස්ම ගන්න බ්‍රීතින්ග් ඕන වෙනවා.  ඒක අසමත් වුනාම අපි නිකං බලං ඉන්නවා විතරයි. ඒ සිදුවීම් එක්ක අපේ හැගීම්මය සම්බන්ධයක් ගොඩනැගෙන්නෙ නෑ. අපිට ඩෙස්මන්ඩ් එක්කවත්, ඥානෙ එක්කවත් කිසිම සම්බන්ධයක් නිර්මාණය වෙන්නෙ නෑ. උන්ට මොනවා වුනත් අපිට දැනෙන්නෙ නෑ. 

    මේ චිත්‍රපටිය එක දිගට මරාගෙන මරාගෙන යන කතාවක් කියල ගමු. ජෝන් වික් කියන්නෙ එහෙම චිත්‍රපටියක්. ඒත් ජෝන්වික්ගෙ බල්ලා මරා දැමීම එක්ක අපිට ඒ ආවේගය, ආවේශය දනවන්න ඒ රූපරාමු පෙලගැසීම සමත් වෙනවා. අපිත් ජෝන් වික් එක්ක සතුරන් දඩයමේ යනවා. ෆාදර් චිත්‍රපටියෙ අපි ඉන්නෙ එලියෙ. ජෝන්වික්ගෙ බල්ලව මැරුවම දැනෙන දුකවත් අපිට මිනිහෙක් මැරුවට දැනෙන්නෙ නෑ.

    මට හිතෙනවා අධ්‍යක්ෂවරයා හැගීම්වලින් පලායනවා කියලා. ඒ මොහොත මගහරිනවා. මං ඒකට කියන්නෙ ‘ගැහැණිය’ මගහරිනවා කියල.

    චිත්‍රපටියෙ සංගීතය ඉතාම විශිෂ්ට බව කියන්න ඕන.  සරල කාකොටා ගැනීම්වලට යම්කිසි හෝ ගැඹුරක් දෙන්න සංගීතය බරපතල උත්සාහයක යෙදෙනවා. ප්‍රධාන ගීතය විදිහට ඉස්මතු වෙන චාමර වීරසිංහගෙ සිංදුව ලස්සනයි. ඒත් ඒකට චාමර යොදාගැනීමේ තේරුමක් නෑ (ප්‍රචාරනාත්මක වටිනාකම හැර නිර්මාණාත්මක වටිනාකමක් නෑ). මොකද ඒ ගීතයේ චාමරගෙ කිසිම අනන්‍යතාවයක් නෑ.

    ෆිල්ම් එක හොඳට ෂූට් කරලා තියෙනවා. මං හිතන්නෙ ඕනවටත් වඩා තොග ගානට ෂොට් තියෙන්න ඇති. උදා විදිහට පාරෙ ඉන්න සාරවිටකාරයා පවා හයහත් වතාවක් ෂූට්වෙලා තියෙනවා. කොයිතරම් අඩුමකුඩුම තිබුනත් චිත්‍රපටිය එක අරමුණක් කරා ගෙනියන අධ්‍යක්ෂවරයෙකුගේ අඩුව චිත්‍රපටිය පුරාම දැනෙනවා. 

    චිත්‍රපටියක් ඇතුලෙ ස්ක්‍රිප්ට් ඩොක්ටර් කියන පිරිසක් අපි දකින පළවෙනි වතාවත් මේක වෙන්න ඕන. දොස්තරලා වැඩිවීමෙන්ම සුප් එක නරක් වුනාද කියලත් හිතෙනවා. 

    අනෙක් කාරණය මේ චිත්‍රපටියෙ වගේම මෑතක තවත් චිත්‍රපටි කීපයකම දකින්න තිබුනු දෙයක්. අපි ටික ටික අපේ රටේ සංස්කෘතියෙන් ගැලවිලා මලයාලම් දෙමළ චිත්‍රපටිවල දකින දර්ශන අමුවෙන් අපේ කතා ඇතුලට ඔබන්න උත්සාහ ගන්න වග පේන්න තියෙනවා. උදා විදිහට ෆාදර් චිත්‍රපටියෙ කොටහළු මගුල්‍ ගෙදර මිදුල තනිකරම ඉන්දියාවෙන් උස්සන් ආපු එකක්.  තව ටික දවසක් යද්දි අපේ චිත්‍රපටියක ලංකාවෙ කියන ගතිය සම්පූර්ණයෙන්ම නැතිවේවි. ඒ වෙනුවට අපිට කොහෙත්ම සම්බන්දයක් නැති මලයාලම් නැටුම් සිංදු ජවනිකා අපේ චිත්‍රපටිවල පිරේවි. ඉස්සර හින්දි චිත්‍රපටි කොපි කරලා හදපු ලංකාවෙ චිත්‍රපටිවල වුනත් ලංකාවෙ ගතිය තිබුනා. ඉන්දියානු පාලම එන්නත් කලින් අපි හොඳම එකෙන් සංස්කෘතික කොලනියක් වෙමින් යනවා. 

    චිත්‍රපටිය වෙනුවෙන් අධ්‍යක්ෂවරයා අරන් තියෙන්න මහන්සිය හොඳටම පේනවා. වැඩේ හොඳටම කරන්න හැම කෙනෙක්ම තදටම කැපවෙලා තියෙන වගත් දැනෙන්න තියෙනවා. හැමෝම හොඳ කියන චිත්‍රපටියක නරක ගැන කිව්වා කියල චිත්‍රපටිය හදපු එවුන් අමනාප නොවෙයි කියලත් හිතනවා. නිර්දය විවේචනයක් නැති වුනාම හොඳ චිත්‍රපටියක් වුනත් දුර්වල වෙනවා.

    ෆාදර් චිත්‍රපටිය කිසිම අමාරුවක් නැතුව පැය දෙකක්  බලාගෙන ඉන්න පුළුවන්. අපේ යාලුවො හැම කෙනෙක්ම වගේ කොතන හරි රූප රාමුවක දකින්න ලැබීමත් ආනන්දජනකයි.  චිත්‍රපටියක් විදිහට ෆාදර් වෙනුවෙන් හැදිච්ච හයිප් එකත් මාරයි.  හැබැයි එච්චරයි.

     

  • එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව

    එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව

    එප්ස්ටීන් ලිපිගොනු දිහා මුලු ලෝකෙම කට ඇරගෙන බලාගෙන ඉන්න වෙලාවක්. මගේ ෆේස්බුක් එකේ එප්ස්ටීන් ඇරුනම වෙන කිසි දෙයක් පේන්නෙ නැති තරම්. එප්ස්ටීන් ගැන වඩාත් දන්නෙ කවුද කියලත් සිංහලෙන් කියවන අය අතරෙ වෙනම තරගයක් යනවා. සෙක්ස් විසින් නැවතත් මුලු ලෝකෙම රෙදි ගලවලා තියෙනවා. ලෝකයේ ඉහළම ධනපතියන් වම්මුන් දේශපාලකයන් විද්‍යාඥයන් කලාකරුවන් කිසි භේදයකින් තොරව එප්ස්ටීන් ලිපිගොනුවල ඉන්නවා.

    මං එප්ස්ටීන් ගැන විශේෂඥයෙක් නෙමෙයි.  එප්ස්ටීන් ලිපිගොනුවලින් මතුවුනු නම් අතර මට වඩාත් උනන්දුවක් ඇති කලේ නම් තුනක් විතරයි. ඔය ට්‍රම්ප් එහෙම නම් එප්ස්ටීන් සාධකය නැතත් කොයි වගේද කියල හැමෝම දන්නවනෙ. ඒ වගේ විශේෂයක් මතු නොකරපු නම් ගොඩක් අතර මට විශේෂයක් ඇති කලේ, දීපක් චොප්රා, නෝම් චොම්ස්කි සහ ස්ටීවන් හෝකින්ස් කියන තුන්දෙනා. ‘දෙවියන් යනු ගොඩනැංවීමකි. නමුත් කියුට් කෙල්ලන් නම් ඇත්ත’ කියලා චොප්රා කියලා තිබුන. චොප්රාගෙ ආධ්‍යාත්මිකත්වය එප්ස්ටීන්ගෙ අධි සාන්ද්‍ර ‍ලෞකිකත්වය එක්ක රහසේ යහන්ගත වෙනවා.

    ඒ වගේම නුතන වාග් විද්‍යාවේ පීතෘවරයා වුනු, වමේ මහා දාර්ශනිකයෙක් වුනු නෝම් චොම්ස්කි සහ එප්ස්ටීන් කියන්නෙ හරිම ලස්සන සම්බන්ධයක්. වම දකුණ දේශපාලන භේදයක් නෑ එක තැනකින් එහා පවතින්නෙ බලය විතරයි. ඒ බලය ඇතුලෙ නෝම් චොම්ස්කියි ඩොනල්ඩ් ට්‍රම්පුයි එක ෆයිල් එකකට වැටෙනවා. (හරියට රනිලුයි අනුරයි වගේ).

    ස්ටීවන් හෝකින්ස් කියන නූත‍න කාලෙ අයින්ස්ටයින් සහ එප්ස්ටීන් කියන්නෙත් තේරුම් ගන්න වටින ගැලපීමක්. විශේෂයෙන් හෝකින්ස්ගෙ ආබාධිතභාවය සමග අධිකාමුක ලිංගිකත්වය ගැටගැහෙන විදිහ සාපරාධි විදිහකට වුනත් පැවැත්ම සම්පූර්ණ කරනවා. බලයේ එක සීමාවකින් පස්සෙ අන්ධයන්ටත් ඇස් පේන්න ගන්නවා. ආබාධිත වුනත් අසමානතාවය අවසන් වෙනවා.

    කොහොම නමුත් විද්‍යාව, ව්‍යාපාර, කලාව, දේශපාලනය, ආගම, ජාතිය, මේ කිසි දෙයක් එප්ස්ටීන් නැතුව සම්පූර්ණ වෙන්නෙ නෑ කියල වර්තමානය අපිට කියලා දෙනවා. ඒක ඉතාම භයානක එලිදරව්වීමක්. කොයිතරම් භයානකද කිව්වොත් අපි ඒ සත්‍යය දකිනවා වෙනුවට තෝරාගත් වැරදිකරුවන් විනිශ්චය කරමින් ඒ භීතියෙන් පලායන්න උත්සාහ කරනවා. අපිට මේ විපරීතභාවය බලයේ සහ සදාචාරයේ අනිවාර්යතාවයක් හැටියට පිලිගන්න පුළුවන්කමක් නෑ.

    මේ සිදුවීම් ගැන විනිශ්චයක් මට නෑ. මං උත්සාහ කරන්නෙ එප්ස්ටීන් සාධකය කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්නයි. පැහැදිලිවම එප්ස්ටීන් කියන්නෙ යටපත් කළ තහනම් ලිංගිකත්වය. ටැබූ එක. එතකොට ඒ ටැබූ එකත් එක්ක ලෝකෙ විශාලතම බල කේන්ද්‍රයන්ගෙ තියෙන සම්බන්ධය මොකක්ද? මේක එප්ස්ටීන් සහ තවත් පුද්ගලයන් අතර කතාවක්ද නැත්තං ව්‍යූහාත්මක අනිවාර්යතාවයක්ද?

    එප්ස්ටීන් කියන්නෙ අතිරික්තයේ මහා යාගයක්. ලෝකයේ සුවිසල්ම අතිරික්තය දහනය කරන විපරීත කලු කුහරයක්. නිෂ්පාදනයක අතිරික්තය, බලය, ධනය, දැනුම හෝ කවර ස්වරූපයකින් වේවා, එය උපරිමයෙන් ඵලදායිතාවයට යොදාගන්න බැරි තැනදි ඒක විපරීතයට, ට්‍රාන්ස්ග්‍රෙෂන් එකට හැරෙනවා. නීතිය, සදාචාරය ආදී ඉක්මවා යා නොහැකි යැයි සම්මත තැන් ඉක්මවා යනවා. දෙවියන් බවට පත්වෙනවා. දෙවියන්ව විනිශ්චය කරන්න බෑ. දෙවියන් ඉන්නෙ හොඳ සහ නරක සීමාවන්ගෙන් පිටත.

    එප්ස්ටීන් ලිපිගොනු ඒ අතිරික්තයේ විනාශකාරී දහනය. එප්ස්ටීන් කියන්නෙ ඒ සමස්තය එක මිනිසෙක් තුල සංකේන්ද්‍රණය වීම.

    එප්ස්ටීන් කියන්නෙ ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ සුවිසල්ම පිම්පියා. පිම්ප් කෙනෙක් කියන්නෙ අන් අයගෙ ආශාව සංසිදුවන්නා. පිම්පියෙක් කියන්නෙ ආශාව කරා යන පාලමක්.  ලැකානියානු අර්ථයෙන් කිව්වොත් එප්ස්ටීන් කියන්නෙ ලෝකයේ බලවතුන්ගේ ‘ඔබ්ජෙක්ට් ඔෆ් ඩිසයර්’ වෙනවා. තමන්ගේ ප්‍රසිද්ධිය, කීර්තිය ඇතුලෙ අහිමි වුනු, සීමා වුනු ජීවිතය ජීවත් කරන්නට අවසර දෙන්නා වෙනවා. සිහියෙන්, තාර්කිකත්වයෙන්, පාලනයෙන් යුතු ජීවිතය එහි උපරිමයෙන් උමතුවෙන්, අතාර්කිකත්වයෙන් විඳින්න ඉඩ දෙන්නා වෙනවා.  මේ ගොඩක් ධනවතුන්, උගතුන්, දාර්ශනිකයන් එප්ස්ටීන් සමග  එකතු වෙන ආකාරය හොඳින් බලන්න වටිනවා. එප්ස්ටීන් මෝඩයෙක්, නූගතෙක් කියලා මේ ගොඩක් අයට තේරෙනවා. ‘කිසිම තේරුමක් ඇති දෙයක් කතා කරන්න බැරි මනුස්සයෙක්’ කියලා ස්ටීවන් පින්කර් වගේ තව බොහෝ පිරිසක් කියනවා. නමුත් ඒ බොහෝ අය එප්ස්ටීන් එක්ක ඇපලෝනියානු අර්ධයෙන් දුරස් වුනත්  ඩයොනීසියානු අර්ධයෙන් බැදෙනවා.

    එප්ස්ටීන් ඒ අයගෙ ජීවිතයේ තහනම් කොටස පරිකල්පනය කරලා දෙනවා. දැනුමෙන්, බුද්ධියෙන් වෙනුවට පැවැත්මේ වාරණය කළ කොටසෙන් ඔවුන් ගැඹුරින් සම්බන්ධ වෙනවා. වෙන්නෙ මොකක්ද කියල සමහර විට ඒ අයටවත් හිතාගන්න බැරුව ඇති. ඔවුන්ගේ විශාලනය වූ ප්‍රතිරූපය සමග විශාලනය වූ අදුරු සෙවනැල්ලක බර එප්ස්ටීන් දරාගන්නවා.

    ඕනම මනුස්යෙක් විශාල ධනයක්, විශාල කීර්තියක්, විශාල බලයක් ලබාගන්නවා කියන්නෙම සාමාන්‍යයක් නෙමෙයි. ඒක විපරීතයක්. ඒ වෙනුවෙන් යටපත් වෙන, කැපවෙන බොහෝ ආශාවන් විපරීත වෙමින්,  වෙනත් මාවත් වලින් මතුවෙන්න නියමිතයි. බොහෝ විට වියපත් වෙමින් යන මේ දැවැන්තයන් පුංචි කෙල්ලන්ට ආශක්ත වීම, ඒ වෙනුවෙන් විශාල අවදානමක් ගැනීම කියන කාරණා හොඳින් හිතාබලන්න වටිනවා. සියලු බුද්ධි මට්ටම්, බල මට්ටම් කුඩුපට්ටම් කරගෙන ඒ ආශාව එහි වනචාරීම ස්වරූපයෙන්  නැගී සිටින බව පේනවා.

    මේ නම් එලියට එන හැම කෙනෙක්ම එප්ස්ටීන් එක්ක අපචාරී ක්‍රියාවල යෙදුනා කියල කියන්න මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒකෙ එක එක මට්ටම් තියෙන්න පුළුවන්. නමුත් මේ බොහෝ අය එප්ස්ටීන්ගෙ අපචාරී පැවැත්ම එක්ක සම්බන්ධකම් තිබුනා. මං හිතන්නෙ මේ වෙද්දි මුලු ලෝකෙම එප්ස්ටීන්ගෙ අපචාරී පැවැත්ම එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

    මේ ලිපිගොනු හෙලිවීම සමග ඒ දිහා කට අයාගෙන කතා ගොතන අපෙත් ‘ආශාවේ වස්තුව’ බවට එප්ස්ටීන් පත්වෙනවා. හෙලිවන නම් සහ අසම්පූර්ණ සිදුවීම් අතරට අපේ ෆැන්ටසි කතා නිර්මාණය වෙනවා. අපේ අතින් එප්ස්ටීන් අපචාරයන් සම්පුර්ණ වෙමින් ලියවෙනවා. අර අතිරික්තයේ ජීවත් වුනු මිනිසුන්ගේ විපරීතය අපි සාප කරමින් ආස්වාද කරනවා. ඒ හින්ද මේ වෙද්දි එප්ස්ටීන් කියන්නෙ මුලු ලෝකයක සඟවා ගත් අපචාරීත්වය සංකේන්ද්‍ර්‍රණය වුනු නාමය වෙලා තියෙනවා. එප්ස්ටීන් කියන්නෙ මේ වෙද්දි ඇති නැති හැමෝගෙම දැවැන්ත සමූහ රමනෝත්සවයක් බවට පත්වෙලා තියෙනවා.

    එප්ස්ටීන්ව විනිශ්චය කරනවට වඩා වැදගත් වෙන්නෙ එප්ස්ටීනියානු මනස තේරුම් ගන්න එක කියලයි මට හිතෙන්නෙ. කෙනෙකුට ඒක කරන්න හොඳ තැනක් ඇනායිස් නීන්ගෙ හංගේරියානු බැරන්වරයා කියන කතාව. ෆැකල්ටි ඔෆ් සෙක්ස් වෙබ් එකේම ඒ කතාවෙ සිංහල පරිවර්තනයක් තියෙනවා.   

  • සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය

    සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය

    ආදරය ගැන සුවිශේෂ පෝස්ටුවක් සමන් ආතවුදහෙට්ටි විසින් ‍සමාජ මාධ්‍යයේ පලකරලා තිබුන. ඒ මෑත කතාබහට ලක්වුනු පාසැල් සිද්ධිය සම්බන්ධයෙන්. එතනදි සමන් කියලා තිබුනෙ, තමන් ඒ ගුරුවරියකගේ සැමියෙක් නම් මේ අවස්ථාවෙ ඇය වෙනුවෙන් පෙනී ඉන්නවා සහ ඇය සමග හිටගන්නවා කියන එක. ඒක මේ අදාල මොහොතේදී ඉතාම මානුෂීය පෙනීසිටීමක්. ඒ වගේම සමන් ආතාවුදහෙට්ටි වගේ ප්‍රවීණයෙකුගෙන් සිදුවුනු රැඩිකල් මැදිහත්වීමක්.

    මේ ගැන සාකච්ඡාවෙදි අදාල ප්‍රකාශය ‘කකෝල්ඩින්’ ෆැන්‍‍ටසි කලාපයෙන් පැන නගින්නක් විදිහට ඇතැම් අය හාස්‍යමුසුව ඒ දිහා බැලුවා.

    සිදුවීමේ ලිංගිකබරිත බව නිසාම අපිට බොහෝ විට ඊට සම්බන්ධ ලිංගික මානය ඉක්මවා යන දේවල් දකින්න බැරි වෙනවා. සියල්ල ලිංගිකත්වයට ඌනනය වෙන්න ගන්නවා.

    ආදරය කියන්නෙ ලිංගිකත්වයට වඩා විශාල වූ පරාසයක්. සියල්ල ලිංගිකයි කියන ප්‍රවාදය අපි පිලිගන්නෙ ෆ්‍රොයිඩියානු අදහස් භක්තියෙන් පිලිගැනීම ඇතුලෙයි. ඒ වගේම සමන්ගෙ ප්‍රකාශය ඇතුලෙ තියෙන මෛත්‍රීසහගත බව කියන්නෙ ආශාවට ඔබ්බෙන් පවතින මිනිස් හැගීමක්. යම් විනාශකාරී තත්වයකදි අපි ඒ මෛත්‍රීසහගත බව කියන දැක්මට එළඹීම වැදගත්. හුදු ආශාව ඊර්ශ්‍යාව තහනම දණ්ඩනය ඉක්මවා ගිහින් මිනිස් හැගීමකින් අපිට ජීවිත දිහා බලන්න බලකරන්නෙ එතනදියි.

    ෆෙටිෂයන්, බලය යෙදෙන ලිංගික ක්‍රියාවන් මේ සියල්ල පවතිනවා තමයි. නමුත් ආදරය, පැවැත්ම, අනෙකා ගැන සැලකිලිමත් වීම වගේ දේවලුත් මිනිස් ක්‍රියාකාරකම් විදිහට පවතිනවා.

    මේ හින්ද සමන්ගෙ ප්‍රකාශය ඇතුලෙ මට ඇහෙන්නෙ මේ වගේ අදහසක්. මනෝවිද්‍යාවට පෙර මනුෂ්‍යත්වය දෙස බලන්න. ෆැන්‍ටසියට පෙර මෛත්‍රීසහගත වෙන්න. ආඛ්‍යාන තැනීමට පෙර ආදරය කරන්න.

    අනෙක් අතට මේ ගැන තව දුරට කල්පනා කලොත් අපි ගැඹුරින් තේරුම් ගන්න උවමනා දෙයක් තමයි ‘මොනොගමි’ විවාහය හෝ ආදරය කියන සංකල්පය පවතින්නෙම සංකේතාත්මක කකෝල්ඩින්බවක් එක්ක තමයි කියන එක. හැම මොනොගමි ප්‍රේමියෙක්ම යටිපෙලකදී ක‍කෝල්ඩ් කෙනෙක් වෙනවා.

    අපි විවාහ වී සිටින හෝ ප්‍රේම කරන අයට මීට කලින් පෙම්වතුන් පෙම්වතියන් සිටියා කියල අපි දන්නවා. අපේ බිරිඳ හෝ පෙම්වතිය දෙස තවත් අය ආශාවෙන් බලනවා කියල අපි දන්නවා. ඇය අන් අයගේ ආකර්ශනයට බඳුන් වෙන ආකාරයෙන් අඳින පළඳින විට අපි තෘප්තියක් ලබනවා. ඇය සම්පූර්ණයෙන්ම අපිට අයිති කරගන්න බැරි බවත්, ඇගේ ජීවිතයේ තවත් බොහෝ පැති ඇති බවත් අපි දන්නවා.

    අපිට සම්පූර්ණයෙන් අයිති නැති බව දනිමින් ප්‍රේම කිරීම කියන්නෙ කකෝල්ඩින් ආකෘතිය තමයි. මේක අර සෙක්ෂුවල් ෆැන්ටසියෙ එන හියුමිලියේෂන් වගේ දේවල් එක්ක සම්බන්ධ නෑ තමයි. නමුත් අනෙකාගේ ප්‍රේමය ඉදිරියේ තමන් අසම්පූර්ණයි කියන හැගීම තමයි කකෝල්ඩින් කියන්නෙ.

    මේ හින්ද කකෝල්ඩින් වගේ දෙයක් ගැන කතා කරද්දි අපි මතක තබා ගත යුතු දෙයක් තමයි,

    ඔව්, වර්තමාන ආදරය ඇතුලෙ ඉන්න හැමෝම කකෝල්ඩින් තමයි.

    නමුත් හැමෝම ඒක සෙක්ෂුවල් ෆැන්‍ටසියක් විදිහට ගත කරන්නෙ නෑ.

  • පාසැල් අනුරාගයේ රමණීය ෆැන්ටසිය

    පාසැල් අනුරාගයේ රමණීය ෆැන්ටසිය

    කොළඹ පාසැලක ශිෂ්‍යයෙක් ගුරුවරියන් කීප දෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වීමේ සිදුවීමක් ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. තරුණයා සමහරෙකුට අනුව වැරදිකාරයෙක්. සමහරෙකුට අනුව වීරයෙක්. ඒ කොහොම වුනත් බොහෝ දෙනෙකුට අනුව ගුරුවරියන් වැරදිකාරියො වෙලා තියෙනවා.  

    මේ අතරෙ වෝක්වාදී කොහොමත් ලිංගික විරෝධී පිරිස්,  ගුරු ශිෂ්‍ය වෙනස අතර බලයක් ක්‍රියාත්මක වෙන නිසා කොහොමත් මේක හිංසනයක් විදිහට දකින්න පෙළඹිලා තියෙනවා. ඒ අයගෙ පෙනී සිටීම් බලද්දි කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන මේ අයට අනුව සෙක්ස් කියන්නෙම හිංසනයක් බව. ඒක වෙනම තත්වයක්. අසමාන බලයක් ක්‍රියාත්මක නොවෙන කිසිම සම්බන්ධතාවයක් ලෝකෙ ඇත්තෙ නෑ. ඕනම සම්බන්ධයක බල අසමතුලිතතාවයක් තියෙනවා. බොහෝ විට ඒක ශෘංගාර කාරණයක් වෙනවා. මේ අයට අනුව වික්ටර් රත්නායකට අර තරුණ කාන්තාව සමග විවාහ වෙන්න බෑ. ඒක බලහත්කාරයක්. (අපි මේ අයව පොඩ්ඩක් පැත්තකින් තියමු)

    මේ සිදුවීම දිහා බලද්දි වැදගත් කාරනා කීපයක් සිහියේ තබා ගන්න උවමනායි.

    1. මේ ශිෂ්‍යයා අවුරුදු 19ක වැඩිහිටියෙක්. ඒ නිසා මෙය නීතියෙන් වරදකාරි තත්වයක් නෙමෙයි.
    2. මේ සබඳතා ඉතාම ආරක්ෂිත ආකාරයෙන්, ලිංගික රෝග හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් හෝ සිදු නොවන ආකාරයෙන් වීඩියෝ හරහා කළ දුරස්ථ සබඳතායි. (අපි දන්නෙ එපමණයි)
    3. මේ කිසිවක් පාසැල් භූමිය තුල සිද්ද වුනු ඒවා නෙමෙයි. ඒ කියන්නෙ  ගුරු ශිෂ්‍ය නිල අවකාශයෙන් බැහැරව නිවෙස් තුල සාමාන්‍ය තරුණයෙක් සහ තරුණියක් ආකාරයෙන් සිදුවුනු ක්‍රියාකාරකම්. 

    මේ සිදුවීමේ නව්‍යතාවයකට ඇත්තේ මේ සබඳතා වීඩියෝ වීමත් ඒවා ලීක් වීමත් තමයි. නැත්නම් ගුරුවරුන් හා ශිෂ්‍යයන් (ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම) අනුරාගික කායික සබඳතා කියන්නෙ ඉතා දුර අතීතයක පටන් හැම පාසැලකම සිදුවන අප්‍රකට නමුත් අති සාමාන්‍ය සිද්දියක්. හැම පරම්පරාවකම හැම වැඩිහිටියෙක්ම තමන්ගේ පාසැල් වියේ මෙවන් සිදුවීම් දැකලා, අහලා හෝ කරලා තියෙනවා.

    හෝමෝන කැරලි ගහමින්, සියලු ඉන්ද්‍රියයන් ඇවිස්සෙන, කුතුහලයෙන් මත්වෙන නව යොවුන් වයස. ඒ වයසට සීමා කියන්නෙ තරණය කිරීමෙන්ම තෘප්තිමත් වෙන ශෘංගාර කඩුළු. 

    ප්‍රයිවෙට් ලෙසන්ස් කියන්නෙ 1981 විතර ආපු චිත්‍රපටියක්. ඒකෙ තියෙන්නෙ අවුරුදු පහලොවක විතර පොඩි එකෙක් ගෙදර නතර කරලා යන තරමක් වැඩිමහල් කාන්තාවක්/ ටියුටර් කෙනෙක් එක්ක අනුරාගයෙන් බැදෙන කතාවක්. ඒ කාලෙ මේ වෝක් කතන්දර තිබුනෙ නෑ. ඒ ෆැන්ටසිය අපි හැමෝම බෙදාගත්තා. 

    ඊට පස්සෙ 1986 ප්‍රයිවෙට් ලෙසන්ස් ප්‍රංශ චිත්‍රපටියක් ආවා. ඒක තරමක් සංකීර්ණ එකක්. මේ සිද්ධියට අදාලව ආපහු බලන්න පුළුවන් නම් වටිනවා. මේ චිත්‍රපටි අපේ ළමා කාලය විචිත්‍රවත් කළා විතරක් නෙමෙයි අපේ ආශාවේ මායිම් සළකුණු කළා.

    මේ සිදුවීමේ ආකාරයට  වීඩියෝ මගින් කරන ලිංගික ආස්වාද ලැබීම්  අපි හැමෝම කරනවා. ඒක මේ කාලෙ අතිශය සාමාන්‍ය දෙයක්.

    සැබෑ ප්‍රශ්නය පැන නගින්නෙ මෙතනින් ඔබ්බටයි. ඒ තෙවෙනි පාර්ශ්වයක් විසින් ඒවා නැරඹීම සහ ඒවා ලීක් කිරීම කියන කාරණය. ඒක විපරීත අශිෂ්ට සතුටක්. සදාචාරය කැඩෙන තැන වෙන්නෙ ඒක.  සමාජ මාධ්‍ය පුරා දකින්න තියෙන්නෙ ඒ අශ්ශීල සතුට/ඉරිසියාව/වේදනාව ගුණාකාර කරමින්  බෙදාහැරීමයි.

    බලහත්කාරී නොවන ලිංගික හැසිරීමක් කියන්නෙ හොඳ දෙයක්. මිනිස්සු  සතුටු වෙන දෙයක්.  එකිනෙකා ආදරෙන් බැ‍දෙන දෙයක්.  ඒවා ලීක් කිරීම සහ බෙදාහැරීම කියන්නෙ විනාශකාරී, අපරාධකාරී, අසහනකාරී දුෂ්ට වැඩක්. ඒ විපරීත රසය විසින් අර තරුණයාගේත් ඔහු සමග පෙම්කළ කාන්තාවන්ගේත් ජීවිත විනාශ කිරීම අරමුනු කරගන්නා බව පේනවා.

    මේ සබඳතා සුන්දර වන අතර ඒවා මත ක්‍රියාත්මක වන සදාචාර මෙහෙයුම නින්දිතය.

    මේ සබඳතා නිසා ඇතිවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ ඒ පාසැලට. වරද තියෙන්නෙ පාසැල් විනය සම්බන්ධයෙන්. එලියෙ සමාජයට වද වෙන්න කාරණාවක් එතන නෑ. මේ එලියෙ නලියන්නෙ අසහනය.

    මේ වෙද්දි සමහරු ඒ කාන්තාවන්ගේ පුද්ගලික ගිනුම් හොයාගෙන, ඒ අයගේ පිංතූර ෂෙයාර් කරගෙන හරිම හිරිකිත  ෂර්ලොක් හෝම්ස්ලා වෙමින් ඉන්නවා. මේ පිරිස සෝෂල් මීඩියා පිසාචයො. සමාජ මාධ්‍යයක ජීවත් වෙන පහලම ස්ථරය.

    අපි මේ කතාවෙන් ටිකක් දුරස් වෙලා ඇත්තම ප්‍රශ්නය දිහා බලමු. මේ සබඳතා නිසා ඇත්තම අර්බුදය ඇතිවෙන්නෙ පවතින පාසැල් ක්‍රමයටයි. ඒ ආකෘතිය ලොකු කම්පනයකට ලක්වෙනවා. ඒ කම්පනය තේරුම් ගැනීම වැදගත්. මේ පාසැල් ක්‍රමය පිටිපස්සෙ පවතින ඇත්ත අවුල එතනදි අපිට මුනගැහෙනවා.

    අපේ නුතන පාසැල් ක්‍රමය නිර්මාණය වන්නේ ක්‍රිස්තියානි සෙමනේරි ක්‍රමය ඇසුරෙන්. මේ හින්දම  තහනම වැලැක්වීම, දන්ඩනය මූලික ක්‍රමයක් විදිහට‍ ඒ තුල ක්‍රියාත්මකයි. ආශාව යටපත් කිරීම තමයි පාසැලේ විනය වෙන්නෙ. නවයොවුන් වියේ කැරලිගහන මානව ලිංගික ආශාව තේරුම් ගන්න හෝ බාරගන්න මේ ක්‍රිස්තියානි පාසැල් ක්‍රමයට පුලුවන්කමක් නෑ. මේ නිසා ලිංගික යමක් මතුවු සැනින් පාසැලේ ආකෘතියම හෙල්ලෙන්න පටන් ගන්නවා. පාසැල් ගැන ආගමික භක්තියෙන් බැඳුනු බැතිමත්තු කැළඹෙනවා. ගුරු මෑනියෝ.. ගුරු පියානෙනි.. ඒ අය කොහොමද සෙක්ස් කරන්නෙ? ඒක ඒ ක්‍රිස්තියානි සෙමනේරි පාසැල් සංස්කෘතිය ඇතුලෙ ට්‍රෝමැටික් එක්ස්පීරියන්ස් එකක්.

    නමුත් ඒ අර්බුදය නිර්මාණය කරන්නෙ ඒ ආකෘතිය විසින්මයි.  තහනම හැමවෙලාවකම ආශාව උමතු කරනවා. නිලබලයන්  එක්ක නිර්මාණය කරන කෘතිම බැරියර් කියන්නෙම අනුරාග සබඳතා ආකෘතී මවන තැන්. ගුරු, පූජ්‍ය, ආරක්ෂක  ආදී නිලබල  ආකෘති මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. මේ ආශාව හෝ අනුරාගයත් මේ නිලයන් හෝ ආයතන තරම්ම පරණයි. ටැබු එක උපන් දා පටන් ආශාව නිර්මාණය වෙනවා.

    පාසැල් ආකෘතීන් කිව්වම ලෝකෙ තිබුනු එකම ආකෘතිය මේ සෙමනේරි, බන්ධනාගාර, රෝහල් ආකෘතියම නෙමෙයි. උදා විදිහට ග්‍රීකයන් අතර තිබුනෙ වෙනත් අධ්‍යාපන ආකෘතියක්. 

    ක්‍රිස්තියානි ආකෘතිය වගේ ආශාව තහනම් කිරීම, පාපී දෙයක් කිරීම වෙනුවට ග්‍රීකයො ආශාව ආධ්‍යාපනය ඇතුලට බාරගත්තා. ග්‍රීක අධ්‍යාපනයෙදි ශරීරය, මනස, ධෛර්යය , රසය සහ ආත්මය කියන සියල්ල නිර්මාණය කරගැනීම අරමුණු කර ගත්තා. නූතන පාසැල් ක්‍රමයේ ගුරුවරයා යන දුරස්ත, නිලමය තත්වය වෙනුවට වඩා ඉන්ටිමේට් සම්බන්දයක් ග්‍රීකයො අපේක්ෂා කලා. බොහෝවිට ශිෂ්‍යයන් සමග ගුරුවරුන්ගේ අනුරාග සම්බන්ධතා පැවතුනා. ඒ සබඳතා අධ්‍යාපනයෙ කොටසක් වුනා. ඒ කාලෙ සදාචාරය වෙනස්. පෙඩරෙස්ටි හෙවත් ‍නව යොවුන් සහ වියපත් දාර්ශනිකයන් අතර අනුරාග සම්බන්ධය පිළිගත් ක්‍රමයක් වෙලයි තිබුනෙ. ඒ ක්‍රමය ඇතුලෙ තමයි සොක්‍රටීස්ලා, ප්ලේටොලා, ඇරිස්ටෝටල්ලා බිහිවෙන්නෙ.

    ග්‍රීකයො ආශාව බැහැර කරනවා වෙනුවට ආශාව රිචුවල් එකක් බවට පත්කර ගත්තා. එතකොට ඒක වනචාරී එකක් වෙනවා වෙනුවට යම් අභිවෘද්ධියක් පිනිස යොදාගත හැකි මගක් වුනා. 

    ඒ හින්ද ග්‍රීක අධ්‍යාපන ආකෘතිය  මේ වගේ ලිංගික සම්බන්දතා නිසා දෙදරන්න ඉඩක් නෑ. නමුත් අපි ගැහැනු පිරිමි පවා වෙන් කරමින් ලිංගිකත්වය තහනම් කරමින් නිර්මාණය කරගත්ත ක්‍රිස්තියානි පාසැල් ආකෘතිය මේ වගේ දෙයින් සෑහෙන්න  බිඳ වැටෙන්න පුලුවන්. මොකද ලිංගිකත්වයට එරෙහිව තමයි පාසැල නිර්මාණය කරගෙන තියෙන්නෙ. ඒක දුර්වල පිහිටීමක්. 

    ලිංගිකත්වය දිහා ධනාත්මක විදිහට බලන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවා. දෙන්නෙකු අතර ලිංගික සම්බන්ධතාවයක් කියන්නෙ (ගැහැණු වේවා පිරිමි වේවා සම සංක්‍රාන්ති කවර වේවා) ඒක ලස්සන දෙයක්. ඒක කැත කිරීමේ සංස්කෘතියක් නෙමෙයි අධ්‍යාපනය ඇතුලෙන් නිර්මාණය වෙන්න ඕන.

    අවසාන ප්‍රතිඵලයක් විදිහට ලිංගික අනුරාගයකින් බැඳීමේ වරදට ඒ තරුණයාගේ හෝ අනෙක් කාන්තාවන්ගේ හෝ ජීවිත විනාශ වෙනවා නම් ඒකට වග කියන්න ඕන සදාචාරයේ නමින් මිනිස්සු මරා දමන  මේ  විපරීත සමාජය මිස අනුරාගයෙන් බැඳී සතුට බෙදාගත්ත උන් නෙමෙයි.

    සුන්දර දේ සුන්දර විදිහට දකින්න. අසුන්දර දේ අසුන්දර ලෙස බැහැර කරන්න. විවෘත මිනිස්සු විදිහට ජීවත් වෙන්න. 

     

  • සාන්තුවර මරියා මග්දලේනා

    සාන්තුවර මරියා මග්දලේනා

    ජේසුස්  වහන්සේගේ දියණිය නැත්නම් රුධිර ධාතුව ගැන විස්තරය ජනප්‍රිය කතිකාවට ආවෙ ඩෑන් බ්‍රවුන්ගෙ ඩාවින්සි කෝර්ඩ් පොතට පස්සෙ. ඒ පොතට පාදක වුනේ පල්ලියෙන් පිලිගත් බයිබලය විසින් බැහැර කරන ලද අනෙකුත් සාන්තුවරුන්ගේ සටහන් සහ මේ වන තෙක් නොනැසී පවතින ජනප්‍රවාදයන්.

    අපි අද බයිබලය කියලා එක ග්‍රන්ථයක් බාරගත්තට ඒ ග්‍රන්ථය නිර්මා   ණය වෙන්නෙ බලය හිමි ආගමික අධිකාරීන් විසින් තවත් බොහෝ ලේඛන බැහැර කිරීමෙනුයි. ඒවාට අපි කියනවා ‘ගොස්පෙල්’ නොහොත් දේවවාක්‍ය කියල. ජේසුන් සමීපයේ සිටි එක් එක් අනුගාමිකයන් විසින් තමන්ට උන්වහන්සේ දේශනා කළ දේ ගැන ලියවුනු ලේඛන තියෙනවා (ඒවා ඔවුන්ගේ මගපෙන්වීම ලත් ප්‍රජාවන් අතින් ලියවුනු ඒවා). ඒ අනුව හතලිහකට පනහකට ආසන්න ප්‍රමාණයක් ලේඛන අපිට මුල් ක්‍රිස්තියානි යුගයෙදි ඒ කියන්නෙ, ක්‍රි.ව 30- 350 වගේ කාලෙදි මුනගැහෙනවා. සිරියාවෙ එක දහමක්, ඊජිප්තුවෙ තවත් දහමක්, රෝමයේ වෙනත් එකක්, ග්නොස්ටික් දහම ලෙස තවත් ප්‍රවාහයක් වගේම කාන්තාවන් විසින් පිලිගත් තවත් ක්‍රිස්තියානි දහමක් ආකාරයෙන් මේ විශ්වාස පද්ධතීන් විවිධයි. අපි අද පිලිගන්න තනි බයිබලය නිර්මානය වෙන්නෙ ‍කොන්ස්ටන්ටයින් රෝම අධිරාජයා යටතේ ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම බවට ස්ථාපිත වීමෙන් පස්සෙයි. මෙතනදි අනෙක් සාන්තුවරුන් සහ වරියන්ගේ සටහන් භයානක, පිටමංකළ යුතු ඒවා වශයෙන් බැහැර කරනවා.

    මෙතනදි ‍’ගොස්පෙල් ඔෆ් මේරි’ ‘ගොස්පෙල් ඔෆ් පිලිප්, තෝමස්, ජුදාස් ආදී බොහොමයකගේ ලේඛන ඉවත් වෙනවා. මැතිව්, මාක්, ලූක්, ජෝන් යන හතර දෙනාගෙ පොත්වලින් පමණක් නූතන බයිබලය නිර්මාණය වෙනවා.

    කෙනෙකුට ජේසුස් වහන්සේගේ දර්ශනය එහි මුල් පුළුල් අර්ථයෙන් තේරුම් ගන්න නම් අර පැරණි ලේඛන කියවන්න සිද්ද වෙනවා. මෙතනදි විශේෂම ලේඛනයක් තමයි මේරි මගද්ලේනාගේ කතාව ලෙස ලියා තබන ලද සලකන ‘ගොස්පෙල් ඔෆ් ‍‍මේරි’ කියන පොත. මේ පොත ඇතැම් කොටස් විනාශ වී නමුත් පසුව සොයාගෙන තියෙනවා. එහි අඩංගු ජේසුන් විසින් දේශනා කරන ලදැයි කියන දහම අද කතෝලික පල්ලිය විසින් දේශනා කරන දහමට වඩා බෙහෙවින් වෙනස් එකක්. ඒ වගේම මේරි සමග ජේසුන්ගෙ තිබුනු සමීප සම්බන්ධතාවය ඇතුලෙ ඇයට පවසන ලද බොහෝ දේ එහි තියෙනවා. විශේෂයෙන්ම පුරුෂමය ක්‍රිස්තියානිය ස්ත්‍රීමය ආධ්‍යාත්මික කියවීමකට හැරෙන දොරටුව මේරි මග්දලේනාගේ පොතේ සටහන් වෙනවා.

    මේරි මග්දලේනා කියන්නෙ ජේසුස් වහන්සේ විසින් ගලවාගත් ගණිකාවක් කියන එකයි අපි අහලා තියෙන කතාව. ඇය විසින් කළ පාපයන් සමා කරනු වස් ඇය ජේසුන් පසුපස පැමිණි අනුගාමිකයෙක් විදිහටයි පල්ලිය ඇයව නිරූපණය කරලා තියෙන්නෙ. නමුත් මේක සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඇය ගණිකාවක් වශයෙන් සඳහන් කිසිදු තැනක් පිලිගත් බයිබලයේ හෝ බැහැර කළ කොටස්වල අඩංගු නෑ.

    මේක කරන්නෙ පෝප් ග්‍රෙගරි විසින් ක්‍රි.ව 591දි පමණ කියලයි කියන්නෙ. මේ පෝප්වරයා විසින් කාන්තාවන් තුන්දෙනෙකුගේ කතා එකතු කරලා මේරි මග්දලේනා ගණිකාවක් වශයෙන් නිර්මාණය කරනවා. ලාසරස්ගේ සොයුරිය වූ බෙතනිහි මේරි, ජේසුන්ගේ පා දෝවනය කළ නමක් නැති පව්කාර ස්ත්‍රියක් සහ මේරි මග්දලේනා කියන චරිතය එකට මුහු කරනවා. ඒක අයිඩියොලොජිකල් ගේම් එකක්.

    ඇත්ත මරියා මග්දලේනා අපිට මුනගැහෙන්නෙ ධනවත් කාන්තාවක් විදිහට. ඇය ජේසුස් වහන්සේගේ අනුග්‍රාහිකාවක්. දේශන පවත්වමින් යද්දි විවිධ පහසුකම් සලසන කාන්තාවක්. එයාට මුදල්, දේපොල වගේම ආර්ථිකව ස්වාධීනත්වයක් පැවැතුනු වග පේනවා. මෙන්න මේ වගේ කාන්තාවක් ඒ කාලයට සාපේක්ෂව ආගමික අධිකාරියට පිලිගන්න පුළුවන්කමක් නෑ.  ජේසුස් වහන්සේ යන එන තැන්වල සැරිසැරූ, නිදහස් කාන්තාවක් කියන එක පෝප් ග්‍රෙගරිට පිලිගන්න පුළුවන් වෙන්නෙ ගණිකාවක් විදිහට විතරයි. මොකද නැත්නම් ඒ කාලෙ හැම කාන්තාවක්ම පියාට, සැමියාට හෝ සහෝදරවරුන්ට යටත්ව පවුලේ දේපොලක් හැටියට පවතින්න ඕන. මග්දලේනා වෙනස්. ඒක ශාන්ත පීතරව ප්‍රධානියා කොට ගොඩනගන පිරිමි ක්‍රිස්තියානි කතිකාවට ලොකු අභියෝගයක්. මේ නිසා මේරිව අපහාසාත්මකව පිටුවහල් කිරීමක් තමයි සිද්ද වෙන්නෙ.

    බැහැර කරන ලද ලේඛන අනුව අපිට කියවගන්න  පුළුවන් වෙනවා මේරි කියන්නෙ ජේසුස් වහන්සේගෙ 13වෙනි අනුගාමිකයා බව. ඒ වගේම ඇතැම් විට ප්‍රධානම අනුගාමිකයා වෙන්න පුළුවන්. ඇයව මේ කතාවෙන් පිටමං කිරීමේ උවමනාව කොයිතරම්ද කියනවා නම් 13 නපුරු අංකයක් විදිහට පවා පිලිගැනීමක් නිර්මාණය වෙනවා.

    ශාන්ත පිලිප්ගේ කතාව ඇතුලෙ අපිට මග්ද‍ලේනාව මෙහෙම මුනගැහෙනවා.

    ‘ඇය උන්වහන්සේගේ සහකාරිය වුවාය. උන්වහන්සේ අන් සියලු අනුගාමිකයන්ට වඩා ඇයට ප්‍රේමනීය වූහ. උන්වහන්සේ නිතර මුවට මුව තබා ඇයව සිපගත්හ. මෙය අනෙක් අනුගාමිකයන්ගේ අකමැත්තට, පිටුදැක්මට හේතු වූයේය.

    ඔබවහන්සේ අප සියල්ලන්ට වඩා මග්දලේනාට ප්‍රේම කරන්නේ මන්දැයි ඔවුන් විමසා සිටියේය.

    මම ඇයට සමානවම ඔබට ප්‍රේම නොකරන්නේ මන්ද? දෑස නොපෙනෙන්නෙක් සහ දෑස හොදින් පෙනෙන්නෙක් එකම අන්ධකාර කුටියක සිටී නම් ඔවුන් එකිනෙකාගේ වෙනස්කමක් නැත්තේය. නමුත් ආලෝකය පැමිනි කල දෑස පෙනෙන්නා ආලෝකය දකින්නේය. දෑස නොපෙනෙන්නා අන්ධකාරයේම සිටින්නේය උන්වහන්සේ කීහ.’

    -ශාන්ත පිලිප්-

    මග්දලේනාව ආධ්‍යාත්මික අවබෝධයක් ඇත්තියක් හැටියට බාරගන්න මුල් අනුගාමික කණ්ඩායම අතරත් අවුලක් තිබුනු බව පැහැදිලියි. පීතරට කණ්ඩායමේ නායකත්වය දැරීමට තිබුනු උවමනාවත් එක්ක මග්දලේනා ජේසුන් සමග වඩාත් සමීප වීම ඉතා නුරුස්සනසුලු එකක් වුනා. ඒ කාලෙ කොහොමවත් පිරිමියෙකුට කාන්තාවක් අධ්‍යාත්මික අව‍බෝධයට පත්වීම කියන එක බාරගත හැකි මනසක් තිබුනෙ නෑ. ජේසුස් මෙතනදි සුවිශේෂ වෙන්නෙත් ඒකමයි.

    මරියා මග්දලේනා සමග ජේසුන්ගේ කායිකමය ඇසුරක් පැවතුනා කියන එක නූතන ක්‍රිස්තියානියට කොහොමවත් බාරගන්න බැරි ප්‍රවාදයක්. ඒ මෙම නුතන ආධ්‍යාත්මික කතිකාව විසින් කායික ආස්වාදය පාපයක් විදිහට බැහැර කරන හින්ද. නමුත් ඒ කාලෙ ආධ්‍යාත්මික ඉන්ටිමසිය සහ කායික ඉන්ටිමසිය කියන දෙක ප්‍රතිපක්ෂයන් වුනේ නෑ. සෙක්ස් කියන්නෙ ශුද්ධ වූ එක්වීමක්.

    ජේසුස් මරණයෙන් පසු යළි උත්ථානය වී‍මේ එකම සාක්ෂිකාරිය වෙන්නෙ මග්දලේනා. ඔහුගේ මරණයේ අවසාන මොහොත දක්වාම ළග ඉන්නෙ ඇය විතරයි. ඒ තරමට ඇය සමීපයි. නැවත පිරිස අතරට ඇවිත් මග්දලේනා ඇය දුටු දර්ශනය කියනවා. එය ඇසීමෙන් පීතර් තැති ගන්නවා.

    ‘උන්වහන්සේ කවදාවත් මෙහෙම කියන්නෙ නෑ’ කියල ඇයව බැහැර කරනවා.

    ජේසුස් වහන්සේ මරණයෙන් පසු යළි උත්ථානය වී ඇයව ආමන්ත්‍රණය කරනවා

    ‘මේරි..’

    ‘ගුරුතුමනි’ ඇය නැගීසිටිනවා.

    ‘මා මත වැළපෙමින් සිටින්න එපා. මගේ සහෝදරයන් වෙත යන්න. මා මරණයෙන් නැගී සිටි වග ඔවුන්ට පවසන්න’

    මේ කතාව පීතරට කිව්වම ‘ඇයි එතුමන්ට බැරි වුනේ අපි හැමෝටම කියන්න? ඇයි එතුමන් ඔබට පමණක් ආමන්ත්‍රණය කරන්නෙ?’ යැයි ඇයව ප්‍රතික්ෂේප කරනවා.

    මරියා මග්දලේනාට අනුව ජේසුන් විසින් දේශනා කරන දහම ඉතාම ගැඹුරු රැඩිකල් දහමක්. මරණයෙන් පසු ශරීරය එය තැනී ඇති මූලික සංඝටකවලට බිඳි යන අතර ආත්මය එයින් නිදහස්වන බව ඇය කියනවා. දේව රාජ්‍යය පවතින්නේ බාහිරයේ නොව තමන් තුලම බව කියනවා. සම්පූර්ණ දහම අභ්‍යන්තරයට නැඹුරු කරන අතර සියලු ආයතනගතවීම් ප්‍රතික්ෂේප කරනවා.

    මේරි කියන්නෙ ජේසුස්ගෙ ස්ත්‍රීමය ප්‍රඥාව. ඇය තමයි ගර්භාෂය. ඔහු දේශනා කරන දේ ඇය දරාගනිමින්, අවබෝධ කරගනිමින්, නැවත සන්නිවේදනය කරනවා. ජේසුන්ව පූර්ණත්වයට පත්වෙන්නෙ මග්දලේනා නිසයි.

    ජේසුස් වහන්සේගේ මරණයෙන් ඉක්බිති ඇය මධ්‍යධරනී මුහුද හරහා ප්‍රංශයේ දකුණු පළාතට ගිය බව කියවෙනවා. එහි සිටිමින් තමන් ඇසූ දහම දේශනා කරමින් ඇය ජීවත් වුනු බව සඳහන්. මේ නිසා මේරි මග්දලේනා ඒ ප්‍රජාව අතර සාන්තුවරියක්. ඔවුන් ඇය බෝට්ටුවෙන් පැමිණි කතාව තවමත් පූජනීය විදිහට සමරනවා.

    ඇයට ජේසුස් වහන්සේට දාව දියණියක් සිටි බව කියනවා. ඇගේ නම තමයි සාරා. ජේසුස්ගේ ලේ ධාතුව දරාගත් ඇයවත් සාන්තුවරියක් විදිහට නමස්කාර කරනවා.

    මේරි මග්දලේනාගේ දහම පල්ලියේ දහමට වඩා බෙහෙවින් වෙනස්. එහි හයරාකියක් නැහැ. නායකයන් හෝ පූජකයන් නැහැ. අභ්‍යන්තරයෙන් දැනීම සහ ආදරය පමණයි. මේ සියල්ලටම එපිටින් ඇය ගැහැණියක්. ඉතින් ආගමික සංස්ථාවක් ඇයව කොහොම  බාරගන්නද?

     

  • ඇයි ස්ටෙෆනිට බයද?

    ඇයි ස්ටෙෆනිට බයද?

    ස්ටෙෆනි සිරිවර්ධනව බන්ධනාගාරයේ යම් නිරීක්ෂණ ධූරයකට පත් කරලා කියල ගොසිප් එකක් සෝෂල් මීඩියාවල යනවා. ඒක ඇත්ත නම් මේ රජය පැත්තෙන් ගත්ත ඉතාම හොඳ තීන්දුවක්. ඇත්තටම මේ ආන්ඩුවට මගේ තියෙන ප්‍රධානතම චෝදනාවක් වෙන්නෙ රටේ ජීවිතවලින් ශෘංගාරය අහිමි කිරීම කියන කාරණය. මේ පත්කිරීම ගැන කතාව මාව පුදුමයට පත්කලේ ඒ හින්දමයි.

    බොහෝ පැරණි අදහස්ධාරීන් මෙතනදි ස්ටෙෆනිගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනයි, ඇගේ බිකිනිය ගැනයි ප්‍රශ්න කරනවා දකින්න තියෙනවා. ඇත්තටම ඒ හේතූන්ම තමයි ස්ටෙෆනි වගේ වසගකාරී ගැහැණියක් සිරගෙදර නිරීක්ෂණයට සුදුසුම. ඇත්තටම ඒක ඇත්ත නම් රැඩිකල් පත්කිරීමක්.

    හිරගෙයක් කියන්නෙ හරිම ආතතිකාරී පරිසරයක්. විශේෂයෙන් පිරිමි රැදෙවියන් සිටින කොටස් බලය, ශක්තිය මත දිවෙන අසහනකාරී කලාප. හිර කුටියක යමෙක් කූඩු කිරීම හරහා අපි කරන්නෙ නිල වශයෙන් ආශාව නැතහොත් ජීවිතයේ ශෘංගාර කලාපය තහනම් කිරීම. සෙක්ස් කියන එක බලහත්කාරීව අත්හිටුවනවා. විෂමලිංගික දැක්මකින් නිර්මාණය වුනු මේ දඩුවම් කඳවුරු සංකල්පයේදී සමලිංගිකත්වය ගැන සවිඥානකත්වයක් තිබුනෙ නෑ. ඒ නිසා ස්වභාවයෙන්ම සමලිංගික අය වගේම වෙනත් විකල්පයක් නොමැති තැනදි සමලිංගික වෙන අය වශයෙන් සමස්තර හිරගෙවල් ආකෘතියම සමලිංගිකත්වයට නතු වෙනවා. බලය පිළිබඳ ප්‍රකාශනයක් විදිහටත් මේ සමලිංගික රමණය/දූෂනය පවතිනවා.

    ස්ටෙෆනි කියන්නෙ අනුරාගික ස්ත්‍රියක්. වසගයක්. ආශාවක්. සෙලිබ්‍රි‍ටි කෙනෙක් නොහොත් අතිරික්තයක්. මේ වගේ කෙනෙක් හිරගෙයක් නිරීක්ෂණයට යනවා කියන්නෙම අතිශය හිගය පවතින තැනක විශාල වෙනසක් ඇති කරන තත්වයක් වෙනවා. බලය වෙනුවට වසගය පාවිච්චි කිරීමක් වෙනවා.

    පිරිමි සිරගෙවල් විශේෂයෙන් සැලකුවොත් ස්ටෙෆනි කියන්නෙම ලිංගික ආතතිය සමනය කරන්නක් වෙනවා. අනුරාගික ස්ත්‍රීන් හමුවේ පිරිමින් මෘදු වෙනවා. ප්‍රචන්ඩත්වය අවම වෙනවා. ඒ වගේම පොදු කාරණයක් විදිහට මෙවන් තරු පංතියේ කාන්තාවක් තමන්ගේ ජීවිතය නිරීක්ෂණය කිරීම ගැන ඒ අයට වටිනාකමක් දැනෙනවා. මෙච්චර කාලයක් නිල ඇදුම්, නිලධාරි බලය, අධිකාරිය, පාලනය මත මෙහෙයවුනු බන්ධනාගාරය සාමාන්‍ය සමාජයේ ආකර්ශනීය, ආදරනීය කාන්තාවකගේ නිරික්ෂණයට ලක්වෙනවා.

    ස්ටෙෆනි වගේ කෙනෙකුගේ පිටස්තරභාවය නිස‍ාම, එයාගෙ අතිරික්ත ජීවිතය නිසාම හිරගෙදරක හිරවුනු මිනිස්සුන්ගෙ අවුල ගැන සංවේදීබවත් වැඩිවෙන්න පුළුවන්. එයාගෙ නිරීක්ෂණය අනිවාර්යෙන්ම බන්ධනාගාරවල පුහුණු අධිකාරීන්ට වඩා වෙනස්. වැදගත් කාරණය වන්නේ මේ නිරීක්ෂණයට රැදෙවියන් වගේම නිලධාරීනුත් අයිති වෙනවා. තමන්ව මෙවන් තරු ගැහැණියක් විසින් නිරීක්ෂණය කරනවා කියන හැගීම ඒ අයගෙ නිලධරවාදී ආකෘතියට අභියෝග කරන ආශාවාදී එළඹුමක් වෙනවා. එතනදි ස්ටෙෆනි කියන්නෙ අනුරාග අවියක්.

    සිහිතබා ගත යුතු කාරණය වන්නේ මේ නිරීක්ෂණයක් මිස අධීක්ෂණයක් නොවන වගයි. නිරීක්ෂණයකදි වඩා වැදගත් වන්නේ උපරිම නිදහස්භාවයකින්, සංවේදීබවකින් දේවල් දැකීමයි. එතනදි පුහුණු කෙනෙකුට වඩා නුපුහුණු කෙනෙකුගේ දැක්ම විවෘතයි.

    ස්ටෙෆනීගේ පත්වීම ප්‍රශ්න කරන සාම්ප්‍රදායික අය බොහොමයක් මතු කරන්නෙ ප්‍රධාන කාරණා තුනක්. තාර්කිකත්වය, සහතිකලත්භාවය, සහ පද්ධතිය නොහොත් ක්‍රියාවලිය කියල කියන්න පුළුවන්. නමුත් මෙතනදි ස්ටෙෆනි යොදාගැනීම මේ සාම්ප්‍රදායික එළඹුමට සහමුලින්ම විකල්ප එළඹුමක් යෝජනා කරනවා. ඒ තමයි ආශාව, කැරිස්මාව, ශරීරය සහ බලපෑම කියන කාරණා. ඒක පාලනයේ ආකෘතිය වෙනස් කරන යෝජනාවක්.

    ඉතින් අහන්න තියෙන්නෙ ස්ටෙෆනි නරකද කියලා නෙමෙයි,

    ඇයි ස්ටෙෆනිට බයද?

  • ඇවිලෙනසුලු තාබු 

    ඇවිලෙනසුලු තාබු 

    තාබු කියන්නෙ වයසට යන්න යන්න තව තවත් අනුරාගය උතුරා හැලෙන නිළියක්. වයසත් එක්ක එයාගෙ ආනුභාවය, වසගය තවත් වැඩි වෙනවා. කාන්තාවක් හැටියට තාබුගෙ දකින්න ලැබෙන ස්වාධීනත්වය, නිදහස මේ සරාගීබව තවත් වැඩි කරන කාරණයක්.

    මේ හින්දම තාබුගෙ විවිධ ප්‍රකාශවලින් වරින්වර මාධ්‍ය ගිනියම් වෙ   නවා. ගොඩක් වෙලාවට ඒ ප්‍රකාශ මාධ්‍ය විසින් මවන ලද ඒවා. නමුත් තාබුගේ පෞර්ෂයත් එක්ක ඒ බොරු කතාවල වුනත් සම්බන්ධයක් දැනෙනවා.

    ‘මට පිරිමියෙක් ඕන වෙන්නෙ ලිංගිකව සතුටු වෙන්න විතරයි. එතනින් එහාට තනියම ඉන්න එක ගැන මං උපරිමෙන් තෘප්තිමත්’

    තාබු මෙහෙම කතාවක් කිව්වා කියලා මෑතකදි ගොසිප් සයිට්වල පත්තු වෙලා ගියා. නමුත් තාබු මේ ප්‍රකාශය අසත්‍ය සහ නොමග යවනසුලුයි කියල නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබුන.

    තාබු ගැන මේ කතාවලට මූලික හේතුව වෙන්නෙ අවුරුදු 52ක් වෙලත් එයා තාමත් අවිවාහක වීම.

    ‘ගෑනියෙක් තනියම ජීවත් වෙන එක මේ තරම් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. මම නම් කවදාවත් කෙනෙක්ව විවාහකද නැද්ද කියන එක උඩ විනිශ්චය කරන්නෙ නෑ’ තාබු කියලා තිබුන.

    තාබුට තියෙන්නෙ අතිශය අප්‍රකට පෞද්ගලික ජීවිතයක්. එයා කිසි දවසක ඒ පුද්ගලික දේවල් මාධ්‍ය ඉස්සරහට අරගෙන ආවෙ නෑ. ඒ වගේම තාබුගෙ ප්‍රේම සම්බන්ධතා කියලා දැනගන්න තියෙන දේවල් වුනත් කෙටි, සරල, ලිංගික සබඳතා නෙමෙයි. ඒවා කාලයක් පැවතුනු, යම් හැගීම්මය බැඳීමක් පැවති සම්බන්ධතා.

    එයාගෙ තියෙන වැදගත්ම දෙයක් තමයි නිහඩතාවය. තාබු බොහෝ දේ ගැන නිහඩයි. ඒ නිහඩබවම ප්‍රකාශනයක් වෙන අවස්ථා බොහොමයි.

    එයාගෙ චරිතය පැවැත්මෙන්ම ආන්දෝලනාත්මකයි.

    කාන්තාවක් විදිහට ආයතනගත නොවී පවතින ප්‍රේමයන් විශ්වාස කිරීම. ප්‍රදර්ශනාත්මක නොවන ආදරයක පැවතීම. තමන්ගේ ආශාව පිළිබද කිසිදු පැහැදිලි කිරීමක් සමාජයට නොකිරීම. මේ කාරණා හින්දම තාබු කියන්නෙ කැරැල්ලක්.

    සිනමාව ඇතුලෙ වුනත් තාබුගේ රූපයේ පරිණාමය අධ්‍යනය කරන්න වටිනවා. අවුරුදු 40ට පෙර තාබු, ඒ කියන්නෙ අවුරුදු විසිතිස් ගණන්වලදි වුනත්, එයා නිරූපණය කරපු චරිතවල තිබුනා ලස්සනට අමතරව ගැඹුරක්. තරමක සංකීර්ණත්වයක්. එයා මාසාලා වීරවරියක් වුනේ නෑ කවදාවත්.

    අවුරුදු 40න් පස්සෙ තාබු ඉන්දියානු සිනමාවෙ රැඩිකල් පෙරලියක් කරනවා. එයා අපූර්ව ගැහැණියක් සිනමාවට අරගෙන එනවා. විවෘතව ආශා කරන, තමන්ගේ ලිංගිකත්වය ගැන විශ්වාසයෙන් යුතු, එය වරදක් ලෙස  බාරනොගන්නා, පිරිමින් ඉදිරියේ දියාරු නොවන, සමාජයට තමන්ව පැහැදිලි කිරීමට උත්සුක නොවන, අන්ඇපොලොජටික් ගැහැණියක් එයා සිනමාවෙ නිරූපණය කරන්න ගන්නවා.

    අන්ධාදූන්, හයිඩර්, ද්රිශ්‍යම් වගේ චිත්‍රපටිවල මේ ගැහැණිය දැකගන්න පුළුවන්. ඒ චරිත හරහා ඇය ආශාවේ වස්තුව බවට පත්වෙනවා වෙනුවට ඇයම ආශාව බවට පත්වෙනවා.

    මේ වෙනසත් එක්ක අවුරුදු හතලිහෙන් පස්සෙ තාබු වයසත් එක්ක මැකී යනවා වෙනුවට වඩාත් කේන්ද්‍රීය චරිතයක් බවට පත්වුනා. එයා වයස අඩු තරුණියක් වෙන්න දගලනවා වෙනුවට වයසත් එක්ක ස්වාධිපත්‍යයක් නිර්මාණය කරගත්තා. ඒ පෞර්ෂය බලවත්. ඒක පොළඹවන, අවුස්සනසුලුයි. ඉරොතිකයි. ඒත් සරල වාණිජ ස්වරූපයෙන් නෙමෙයි.

    වයස එක්ක ගැහැණියක් මත පවරන අම්මෙක්, බිරිඳක් කියන ආකෘතීන් තාබු අභියෝග කරනවා. එයා වයසත් එක්ක ආශාව පවත්වාගෙන යනවා. බිරිඳක්, මවක් විදිහට සමාජය වෙනුවෙන් පවතින ගැහැණිය වෙනුවට තාබු තමන් වෙනුවෙන් ජීවත්වෙන නිදහස් ගැහැණියකගේ ආකෘතිය ගන්නවා.

    තාබු කියන්නෙ පිරිමින්ට විස්තර කළ නොහැකි, එමෙන්ම මග හැර යා නොහැකි, තමන්ගේ ලිංගිකත්වයේ බලය තමන් අතට ගත්, තනිව ජීවත් වෙන භයානක ගැහැණියක් වෙන්නෙ ඒකයි.