ගෙදරක් කියන්නෙ නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් තියෙනවා home සහ house කියල වචන දෙකක්. හවුස් කියන්නෙ ගොඩනැගිල්ල. ඒක home එකක් වෙන්නෙ ජීවත් වෙන මිනිස්සුත් එක්ක. ඒ හින්ද ගෙදරක් කියන්නෙ මිනිස් ජීවිත ගොඩක්. බැඳීම් ගොඩක්. කතා ගොඩක්.
ගෙවල් ගිනි තියනවා කියන එක මෑත කාලෙදි අරගලයේ ප්‍රකාශනයක් වුනා. දූෂිතයන්ගෙ ගෙවල් ගිනි තිබ්බා. ඒ හරහා ජනතාව යම් යුක්තියක් බලාපොරොත්තු වුනු බව පේනවා. ඒ යුක්තිය ඇතුලෙ දූෂිත යැයි උපකල්පනය කළ අයගේ පවුල්, ඒ අයගෙ සම්බන්ධතා, ඒ අයගෙ මිනිස් සංකීර්ණත්වය ආදියට ඉඩක් තිබුනෙ නෑ. දූෂිතබව යනු මිනිස් ගුණයක් කියන අසීරු වටහා ගැනීම තිබුනෙ නෑ. ගෙවල් ගිනිගත්තා. මිනිස්සු පලිගත්තා. රාජිත දිසානායක නාට්‍යයක් කළා.
රාජිතගේ නාට්‍යයේ නම ‘අපේ ගෙදර ගිනි තියයිද?’. එක යුගයක සිදුවුනු සමාජ ප්‍රචන්ඩත්වයක් රාජිත මනුස්ස ජීවිතේ ඇතුලෙ සලකුණක් විදිහට ඉතිහාසගත කරනවා කියල මට හිතෙනවා. රාජිත ගෙදර ඇතුලෙන් රාජ්‍යය දිහා බලනවා. අරගලයෙදි සිද්ද වුනේ රාජ්‍ය නැත්නම් සමාජය පැත්තෙන් ගෙදර ඇතුලට එබෙන එක.
රාජිත ගෙදර සහ රාජ්‍යය එකක් බවට පත් කරනවා. ගෙදරක් කියන්නෙ පවුලක්. පවුල තමයි රාජ්‍යයේ මූලික පරම ඒකකය. පවුලේ සම්බන්ධතා ඇතුලෙන් තමයි රාජ්‍යයේ සම්බන්ධතා නිර්මාණය වෙන්නෙ. පවුල් සම්බන්ධතා ඇතුලෙ පවතින රැවටීම, ගැලපීම ආදියම තමයි දේශපාලනය තීරණය කරන ආශාව වෙන්නෙත්.
රාජිත සෙක්ස් ඇතුලෙන් පොලිටික්ස් දිහා බලනවා.

මේ නාට්‍යයේ හරිම අපූරු ගැහැණු චරිත හතරක් මුනගැහෙනවා. මං හිතන්නෙ අපි ඒ වගේ ගැහැණු ටිකක් ‘චික්ෆ්ලික්මය’ ගතියෙන් වේදිකාව මත දකින්නෙ පළවෙනි වතාවට. එකිනෙකට වෙනස් චරිත හතරක්. මට හිතෙන්නෙ රාජිත ගැහැණුබව හරිම ලස්සනට නිරූපණය කරලා තියෙනවා කියල. රහස, අතාර්කික බව, අනාරක්ෂිත බව, වචනවල අසමත් බව, වියවුල ආදිය පැවැත්මේ ස්ත්‍රී ගුණයන්. ඒවා විසින් තමයි පිරිමි ආකෘතීන් තර්ජනයට ලක් කරන්නෙ.
ගෙදරක් කියන්නෙ රාජ්‍යයේ සංකේත ආකෘතියක්. ඒකයි නිතරම රාජ්‍යය සදාචාරය රකින්න මැදිහත් වෙන්නෙ. හරියටම කිව්වොත් ගෙදර/ පවුල තමයි ආශාවේ සමාජ ආකෘතිය. සම්මතය. ඒක ඇතුලෙ තමයි ආශාව සංවිධානය කරලා තියෙන්නෙ.
ගෙදරක් ගිනි තියනවා කියන්නෙ ආශාව විසින් ඒ ආකෘතිය පුපුරුවා හැරීමට. තව දුරටත් ඒ ඩිසයින් එකට බැරි වෙනවා ආශාවේ කැරැල්ල දරාගන්න. ඒක ගිනි වැදිලා විනාශ වෙනවා. මං හිතන්නෙ රටේ සිද්ද වුනෙත් ඒකමයි. රටට තව දුරටත් බැරි වුනා රාජපක්ෂලාගේ ආශාවේ අතිරික්තය දරාගන්න. රට ගිනි ගත්තා.
රාජිත මේක ඇතුලෙ පෙන්නනවා හරිම ලස්සන දෙයක්. මේ පවුල කියන ආකෘතිය පවතින්නෙම බොරුව කියන ලිහිල්වීම මත කියන එක. රැවටීම, රැවටෙන බව දැනීම සහ නොදැනීම, ඉවසීම මේ වගේ දේවල් නිසා තමයි ආශාවෙ දගකිරීම් පවුලට දරාගන්න පුළුවන් වෙන්නෙ. මේක ජීවිතයේ නම්‍යශීලීත්වය. එහෙම නැත්නම් අපි හැමෝම විඳින විපරීතත්වය. එක පිරිමියෙක් එක ගැහැණියක් කියන සම්මත නීතියට අපි හැමෝම එකග වෙමින් බොරු කරනවා. ඒ බොරුවලින් ආස්වාදයක් විඳිනවා. ඒක පවුල කියන බොරුව සතුටෙන් පවත්වාගෙන යන්න උදව්වක් වෙනවා.
මේකට අපිට කියන්න පුළුවන් ‘චීටින්ග්’ කියල. චීටින්ග් කියන දේ මේ පනවා ගත් විපරීත ආකෘතිය පවත්වාගෙන යන්න අවශ්‍ය මිනිස් කොන්දේසියක්.
මෙතනදි මේ පවතින සම්මතය, නීතිය, ආකෘතිය පරම විදිහට විශ්වාස කරන කෙනෙක් එනවා. එයා තදින්ම විනයගත වූ කෙනෙක්. මේ හින්ද එයා ‘රහස’ හොයාගෙන ගිහින් ඒකට විරුද්ධව ප්‍රචන්ඩ අරගලයක් කරනවා. ඒක කරන්නෙ නීතිය/පවුල/ රාජ්‍යය රැකගැනීම වෙනුවෙන්. එයාට ‘හියුමන් එරර්ස්’ කියන දේ දරාගැනීමේ හැකියාව නෑ. පරම පෙම්වතෙක් වගේ එයා සම්මත ආදරයෙන් බැදෙනවා. ඒකෙන් උමතු වෙනවා. එය රැක ගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත පවා අහිමි කරනවා. ඒ තමයි අයිඩිලොජිය සත්‍යම බැව් විශ්වාස කිරීමේ විපරීතබව. ආගම, ජාතිය, පවුල, මතවාදය පරම යැයි අදහන ඕන කෙනෙකුට මේක වෙන්න පුළුවන්.
මේ චරිත අතර බොරු නොකරන එක චරිතයක් හේෂාන්. එයා පෙනී සිටින්නෙ පරම යුක්තිය වෙනුවෙන්. බොරු නොකිරීමේ පරම ගුණය විසින් ඒ චරිතයේ මිනිස්බව අහිමි කරනවා. එයා පාලනය අතට ගන්නවා. පැරණි ආකෘති ගිනි තියනවා. අලුත් ආකෘතියේ පාලකයා බවට පත්වෙනවා.
මේ හේෂාන්ගෙ චරිතය කරන තරුණයා මරු. ඒ රංගනය තනිකරම සීරියල් කිලර් කෙනෙක් මතක් කරනවා. පරම විදිහට අයිඩියොලොජිය විශ්වාස කරන්නෙ ‘කිලර්’ කෙනෙක් තමයි. එක්කො තමන්ව මරා දමන, නැත්නම් අනෙකාව මරා දමන කිලර් කෙනෙක්. ඒ තරමට මිනිස් බවකින්, මිනිස් වරදකින් තොරව ආකෘතියට බැදෙන්න පුළුවන් ‘කිලර්’ කෙනෙකුට විතරයි. සමාජයේ මේ ‘එරර්’ එක හරිම වැදගත්.
යුක්තිය ඉටුවීමෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ මොකක්ද කියන එක රාජිත නාට්‍යයේ පෙන්නනවා. තව දුරටත් ආදරය පවතිනවද කියන ප්‍රශ්නය පෙම්වතිය තරුෂිට ඉතුරු වෙනවා. එතැන් පටන් ඝාතකයෙකුට ආදරය කරන්න ඇයට සිද්ද වෙනවා.
මේ ඝාතනයට ලක්වෙන ගායකයා නැත්නම් සෙලිබ්‍රිටි චරිතයත් හරිම සංකේතාත්මකයි. එයා වයස්ගතයි. සමහර විට රනිල් හෝ මහින්ද වගේ වෙන්නත් පුළුවන්. එයා තමන්ගේ ප්‍රභූත්වයේ බලය මත සමාජයේ අසම්මතය/ අතිරික්තය නිදහසේ විඳින බව පේනවා. වයර් එකකින් ගෙල හිරකරලා පීඩිතයා විසින් එයාව ඝාතනය කරනවා.

රාජිත ඒ කාලයේ සමාජය ඇතුලෙ සිදුවුනු, කතාබහට ලක්වුනු සිදුවීම් නාට්‍යය ඇතුලට ගේනවා. ඒවා ලිංගිකත්වය, ඊර්ශ්‍යාව, ඒ නිසා උපදින ප්‍රචන්ඩත්වය මත නැවත කියවීමට ලක් කරනවා.
සමාජ බලවේග විදිහට මතුවෙන්නෙ පුද්ගල ආශාවෙ විවිධ ස්වරූප. ඇතැම් විට ඒවා ලිංගික ඊර්ශ්‍යාව නිසා ඇතිවෙන වෛරයේ සහ ක්‍රෝධයේ ප්‍රතිඵල. ගෙවල් ගිනි තැබීම කියන්නෙ පියුරිෆිකේෂන් එකක්. සිස්ටම් එක පිරිසිදු කිරීමක්. පරම යහපත යලි ගොඩනැගීමක්. ඒ අර්ථයෙන් අරගලය කියන්නෙ රටක් විදිහට කරපු සමූහ යාගයක්.
මේ කතාවෙ බොරු නොකියන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සියල්ලට දෙවියන් සරණ පතන නයනි. එයා තමන් ඇතුලෙන් තමන්ගේ ලිංගිකත්වය යටපත් කරමින් තමන්ගේ ආශාව මරා දමන වේදනාත්මක අරගලය තෝරගන්නවා. අනිත් කෙනා තමන්ගේ යටපත් කළ ලිංගිකත්වය වෙනුවෙන් අනෙකා මරා දමන්නට ප්‍රචන්ඩ අරගලය තෝරගන්නවා. ආගම සහ විප්ලවය කියන්නෙ දෙවිදිහක පරම ආගමික ඇදහිලි. දෙකම ලිංගික පරාජිත බවේ ප්‍රතිඵල.
වර්තමාන ආන්ඩුව බිහිවෙන මොහොත රාජිත සළකුණු කරනවා. ඒ ආන්ඩුව බිහිවෙන්නෙ බොරු කීමෙන්. බොරු කියන්නෙ ආදරය පවත්වාගන්න. ඊට පස්සෙ බොරුව දූෂනය දක්වා ගමන් කරනවා. ඒක තමයි මනුස්ස දේශපාලනයේ ස්වභාවය. හැබැයි මේ ආන්ඩුව බලයට ගේන කතිකාව හැදෙන්නෙ හේෂාන්ලාගෙන්. පරාජිත බවේ වෛරයේ සහ ඊර්ශ්‍යාවේ පදනමෙන්. ඒ වගේ කතිකාවක් එක්ක කිසිම මනුස්ස ආන්ඩුවකට පවතින්න පුළුවන්කමක් නෑ. ඒ අපේක්ෂාවේ තරමට නිවැරදි වීම කියන්නෙම කර්කශ වියළිභාවයකට පත්වීම. පෙට්‍රල් ලීටර් හතරට මනුස්සයෙක් හිරේ යන තරම් අමානුෂික නිරවද්‍යභාවයක් ඒක.
කිසිම ආන්ඩුවක් අපේ ගෙදර ගිනි තියයිද කියල බයෙන් දේශපාලනය කරන්න උවමනා නෑ කියලයි මං හිතන්නෙ. වැරදි කරන, බොරු කියන මනුස්ස සමාජයක් බාරගන්න පුළුවන් තරමට පරිණත පුරවැසි සමාජයක් අපිට ඕන කරනවා.
හේෂාන් විසින් තරුෂිට පිරිනමන්නෙ මිනීමරලා රැකගත්ත ආදරයක්. ජනතාව විසින් මේ ආන්ඩුවට පිරිනැමුවෙත් ගෙවල් ගිනි තියලා උදුරාගත් ආදරයක්. ඒ වගේ බිහිසුණු ආදරයක් ඉස්සරහ ආන්ඩුවක් කියන්නෙ වින්දිතයෙක්.
අපි වෙනසක් ඕන කියලා කියන්නෙ අපිට පොඩි පොඩි වැරදි කරන්න ඉඩ තියෙන වෙනසක් බව අපි පසක් කරගන්න ඕන.







