Category: Cult

  • අපේ ගෙදර ගිනි තියයිද?

    අපේ ගෙදර ගිනි තියයිද?

    ගෙදරක් කියන්නෙ නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් තියෙනවා home සහ house කියල වචන දෙකක්. හවුස් කියන්නෙ ගොඩනැගිල්ල. ඒක home එකක් වෙන්නෙ ජීවත් වෙන මිනිස්සුත් එක්ක. ඒ හින්ද ගෙදරක් කියන්නෙ මිනිස් ජීවිත ගොඩක්. බැඳීම් ගොඩක්. කතා ගොඩක්.

    ගෙවල් ගිනි තියනවා කියන එක මෑත කාලෙදි අරගලයේ ප්‍රකාශනයක් වුනා. දූෂිතයන්ගෙ ගෙවල් ගිනි තිබ්බා. ඒ හරහා ජනතාව යම් යුක්තියක් බලාපොරොත්තු වුනු බව පේනවා. ඒ යුක්තිය ඇතුලෙ දූෂිත යැයි උපකල්පනය කළ අයගේ පවුල්, ඒ අයගෙ සම්බන්ධතා, ඒ අයගෙ මිනිස් සංකීර්ණත්වය ආදියට ඉඩක් තිබුනෙ නෑ. දූෂිතබව යනු මිනිස් ගුණයක් කියන අසීරු වටහා ගැනීම තිබුනෙ නෑ. ගෙවල් ගිනිගත්තා. මිනිස්සු පලිගත්තා. රාජිත දිසානායක නාට්‍යයක් කළා.

    රාජිතගේ නාට්‍යයේ නම ‘අපේ ගෙදර ගිනි තියයිද?’. එක යුගයක සිදුවුනු සමාජ ප්‍රචන්ඩත්වයක් රාජිත මනුස්ස ජීවිතේ ඇතුලෙ සලකුණක් විදිහට ඉතිහාසගත කරනවා කියල මට හිතෙනවා. රාජිත ගෙදර ඇතුලෙන් රාජ්‍යය දිහා බලනවා. අරගලයෙදි සිද්ද වුනේ රාජ්‍ය නැත්නම් සමාජය පැත්තෙන් ගෙදර ඇතුලට එබෙන එක.

    රාජිත ගෙදර සහ රාජ්‍යය එකක් බවට පත් කරනවා. ගෙදරක් කියන්නෙ පවුලක්. පවුල තමයි රාජ්‍යයේ මූලික පරම ඒකකය. පවුලේ සම්බන්ධතා ඇතුලෙන් තමයි රාජ්‍යයේ සම්බන්ධතා නිර්මාණය වෙන්නෙ. පවුල් සම්බන්ධතා ඇතුලෙ පවතින රැවටීම, ගැලපීම ආදියම තමයි දේශපාලනය තීරණය කරන ආශාව වෙන්නෙත්.

    රාජිත සෙක්ස් ඇතුලෙන් පොලිටික්ස් දිහා බලනවා.

    මේ නාට්‍යයේ හරිම අපූරු ගැහැණු චරිත හතරක් මුනගැහෙනවා. මං හිතන්නෙ අපි ඒ වගේ ගැහැණු ටිකක් ‘චික්ෆ්ලික්මය’ ගතියෙන් වේදිකාව මත දකින්නෙ පළවෙනි වතාවට. එකිනෙකට වෙනස් චරිත හතරක්. මට හිතෙන්නෙ රාජිත ගැහැණුබව හරිම ලස්සනට නිරූපණය කරලා තියෙනවා කියල. රහස, අතාර්කික බව, අනාරක්ෂිත බව, වචනවල අසමත් බව, වියවුල ආදිය පැවැත්මේ ස්ත්‍රී ගුණයන්. ඒවා විසින් තමයි පිරිමි ආකෘතීන්  තර්ජනයට ලක් කරන්නෙ.

    ගෙදරක් කියන්නෙ රාජ්‍යයේ සංකේත ආකෘතියක්. ඒකයි නිතරම රාජ්‍යය සදාචාරය රකින්න මැදිහත් වෙන්නෙ. හරියටම කිව්වොත් ගෙදර/ පවුල තමයි ආශාවේ සමාජ ආකෘතිය. සම්මතය. ඒක ඇතුලෙ තමයි ආශාව සංවිධානය කරලා තියෙන්නෙ.

    ගෙදරක් ගිනි තියනවා කියන්නෙ ආශාව විසින් ඒ ආකෘතිය පුපුරුවා හැරීමට. තව දුරටත් ඒ ඩිසයින් එකට බැරි වෙනවා ආශාවේ කැරැල්ල දරාගන්න. ඒක ගිනි වැදිලා විනාශ වෙනවා. මං හිතන්නෙ රටේ සිද්ද වුනෙත් ඒකමයි. රටට තව දුරටත් බැරි වුනා රාජපක්ෂලාගේ ආශාවේ අතිරික්තය දරාගන්න. රට ගිනි ගත්තා.

    රාජිත මේක ඇතුලෙ පෙන්නනවා හරිම ලස්සන දෙයක්. මේ පවුල කියන ආකෘතිය පවතින්නෙම බොරුව කියන ලිහිල්වීම මත කියන එක. රැවටීම, රැවටෙන බව දැනීම සහ ‍නොදැනීම, ඉවසීම මේ වගේ දේවල් නිසා තමයි ආශාවෙ දගකිරීම් පවුලට දරාගන්න පුළුවන් වෙන්නෙ. මේක ජීවිතයේ නම්‍යශීලීත්වය. එහෙම නැත්නම් අපි හැමෝම විඳින විපරීතත්වය. එක පිරිමියෙක් එක ගැහැණියක් කියන සම්මත නීතියට අපි හැමෝම එකග වෙමින් බොරු කරනවා. ඒ බොරුවලින් ආස්වාදයක් විඳිනවා. ඒක පවුල කියන බොරුව සතුටෙන් පවත්වාගෙන යන්න උදව්වක් වෙනවා.

    මේකට අපිට කියන්න පුළුවන් ‘චීටින්ග්’ කියල. චීටින්ග් කියන දේ මේ පනවා ගත් විපරීත ආකෘතිය පවත්වාගෙන යන්න අවශ්‍ය මිනිස් කොන්දේසියක්.

    මෙතනදි මේ පවතින සම්මතය, නීතිය, ආකෘතිය පරම විදිහට විශ්වාස කරන කෙනෙක් එනවා. එයා තදින්ම විනයගත වූ කෙනෙක්. මේ හින්ද එයා ‘රහස’ හොයාගෙන ගිහින් ඒකට විරුද්ධව ප්‍රචන්ඩ අරගලයක් කරනවා. ඒක කරන්නෙ නීතිය/පවුල/ රාජ්‍යය රැකගැනීම වෙනුවෙන්. එයාට ‘හියුමන් එරර්ස්’ කියන දේ දරාගැනීමේ හැකියාව නෑ. පරම පෙම්වතෙක් වගේ එයා සම්මත ආදරයෙන් බැදෙනවා. ඒකෙන් උමතු වෙනවා. එය රැක ගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත පවා අහිමි කරනවා. ඒ තමයි අයිඩිලොජිය සත්‍යම බැව් විශ්වාස කිරීමේ විපරීතබව. ආගම, ජාතිය, පවුල, මතවාදය පරම යැයි අදහන ඕන කෙනෙකුට මේක වෙන්න පුළුවන්.

    මේ චරිත අතර බොරු නොකරන එක චරිතයක් හේෂාන්. එයා පෙනී සිටින්නෙ පරම යුක්තිය වෙනුවෙන්. බොරු නොකිරීමේ පරම ගුණය විසින් ඒ චරිතයේ මිනිස්බව අහිමි කරනවා. එයා පාලනය අතට ගන්නවා. පැරණි ආකෘති ගිනි තියනවා. අලුත් ආකෘතියේ පාලකයා බවට පත්වෙනවා.

    මේ හේෂාන්ගෙ චරිතය කරන තරුණයා මරු. ඒ රංගනය තනිකරම සීරියල් කිලර් කෙනෙක් මතක් කරනවා. පරම විදිහට අයිඩියොලොජිය විශ්වාස කරන්නෙ ‘කිලර්’ කෙනෙක් තමයි. එක්කො තමන්ව මරා දමන, නැත්නම් අනෙකාව මරා දමන කිලර් කෙනෙක්.  ඒ තරමට මිනිස් බවකින්, මිනිස් වරදකින් තොරව ආකෘතියට බැදෙන්න පුළුවන් ‘කිලර්’ කෙනෙකුට විතරයි. සමාජයේ මේ ‘එරර්’ එක හරිම වැදගත්.

    යුක්තිය ඉටුවීමෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ මොකක්ද කියන එක රාජිත නාට්‍යයේ පෙන්නනවා. තව දුරටත් ආදරය පවතිනවද කියන ප්‍රශ්නය පෙම්වතිය තරුෂිට  ඉතුරු වෙනවා. එතැන් පටන්  ඝාතකයෙකුට ආදරය කරන්න ඇයට සිද්ද වෙනවා.

    මේ ඝාතනයට ලක්වෙන ගායකයා නැත්නම් සෙලිබ්‍රිටි චරිතයත් හරිම සංකේතාත්මකයි. එයා වයස්ගතයි. සමහර විට රනිල් හෝ මහින්ද  වගේ වෙන්නත් පුළුවන්. එයා තමන්ගේ ප්‍රභූත්වයේ බලය මත  සමාජයේ අසම්මතය/ අතිරික්තය නිදහසේ විඳින බව පේනවා. වයර් එකකින් ගෙල හිරකරලා පීඩිතයා විසින් එයාව ඝාතනය කරනවා.

    රාජිත ඒ කාලයේ සමාජය ඇතුලෙ සිදුවුනු, කතාබහට ලක්වුනු සිදුවීම් නාට්‍යය ඇතුලට ගේනවා. ඒවා ලිංගිකත්වය, ඊර්ශ්‍යාව, ඒ නිසා උපදින ප්‍රචන්ඩත්වය මත නැවත කියවීමට ලක් කරනවා.

    සමාජ බලවේග විදිහට මතුවෙන්නෙ පුද්ගල ආශාවෙ විවිධ ස්වරූප. ඇතැම් විට ඒවා ලිංගික ඊර්ශ්‍යාව නිසා ඇතිවෙන වෛරයේ සහ ක්‍රෝධයේ ප්‍රතිඵල. ගෙවල් ගිනි තැබීම කියන්නෙ පියුරිෆිකේෂන් එකක්. සිස්ටම් එක පිරිසිදු කිරීමක්. පරම යහපත යලි ගොඩනැගීමක්. ඒ අර්ථයෙන් අරගලය කියන්නෙ රටක් විදිහට කරපු සමූහ යාගයක්.

    මේ කතාවෙ ‍බොරු නොකියන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සියල්ලට දෙවියන් සරණ පතන නයනි. එයා තමන් ඇතුලෙන් තමන්ගේ ලිංගිකත්වය යටපත් කරමින් තමන්ගේ ආශාව මරා දමන වේදනාත්මක අරගලය තෝරගන්නවා.  අනිත් කෙනා තමන්ගේ යටපත් කළ ලිංගිකත්වය වෙනුවෙන් අනෙකා මරා දමන්නට ප්‍රචන්ඩ අරගලය තෝරගන්නවා.  ආගම සහ විප්ලවය කියන්නෙ දෙවිදිහක පරම ආගමික ඇදහිලි. දෙකම ලිංගික පරාජිත බවේ ප්‍රතිඵල.

    වර්තමාන ආන්ඩුව බිහිවෙන මොහොත රාජිත සළකුණු කරනවා. ඒ ආන්ඩුව බිහිවෙන්නෙ බොරු කීමෙන්. බොරු කියන්නෙ ආදරය පවත්වාගන්න. ඊට පස්සෙ බොරුව දූෂනය දක්වා ගමන් කරනවා. ඒක තමයි මනුස්ස දේශපාලනයේ ස්වභාවය. හැබැයි මේ ආන්ඩුව බලයට ගේන කතිකාව හැදෙන්නෙ හේෂාන්ලාගෙන්. පරාජිත බවේ වෛරයේ සහ ඊර්ශ්‍යාවේ පදනමෙන්. ඒ වගේ කතිකාවක් එක්ක කිසිම මනුස්ස ආන්ඩුවකට පවතින්න පුළුවන්කමක් නෑ. ඒ අපේක්ෂාවේ තරමට නිවැරදි වීම කියන්නෙම කර්කශ වියළිභාවයකට පත්වීම. පෙට්‍රල් ලීටර් හතරට මනුස්සයෙක් හි‍රේ යන තරම් අමානුෂික නිරවද්‍යභාවයක් ඒක.

    කිසිම ආන්ඩුවක් අපේ ගෙදර ගිනි තියයිද කියල බයෙන් දේශපාලනය කරන්න උවමනා නෑ කියලයි මං හිතන්නෙ. වැරදි කරන, බොරු කියන මනුස්ස සමාජයක් බාරගන්න පුළුවන් තරමට පරිණත පුරවැසි සමාජයක් අපිට ඕන කරනවා.

    හේෂාන් විසින් තරුෂිට පිරිනමන්නෙ මිනීමරලා රැකගත්ත ආදරයක්. ජනතාව විසින් මේ ආන්ඩුවට පිරිනැමුවෙත් ගෙවල් ගිනි තියලා උදුරාගත්  ආදරයක්. ඒ ව‍ගේ බිහිසුණු ආදරයක් ඉස්සරහ ආන්ඩුවක් කියන්නෙ වින්දිතයෙක්.

    අපි වෙනසක් ඕන කියලා කියන්නෙ අපිට පොඩි පොඩි වැරදි කරන්න ඉඩ තියෙන වෙනසක් බව අපි පසක් කරගන්න ඕන.

  • ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය

    ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය

    මෙය වසර 400 ක් පුරා “ඔඩිසි” (The Odyssey) කාව්‍යයේ සිංහල පරිවර්තන සහ එහි පැවති ස්ත්‍රී පුරුෂ පක්ෂපාතීත්වය පිළිබඳ එමිලි විල්සන්ගේ (Emily Wilson) විප්ලවීය පරිවර්තනය ඇසුරින් සැකසුණු ලිපියේ සිංහල අනුවාදයයි:

    “වසර 400 ක් පුරා පිරිමින් ‘ඔඩිසි’ පරිවර්තනය කළා — ඔවුන් ඒ හැමෝම එක දෙයක් රහසින් වෙනස් කළා: ඒ ස්ත්‍රීන්වයි.”

    හෝමර්ගේ මෙම වීර කාව්‍යයේ සෑම ඉංග්‍රීසි පරිවර්තනයක්ම සිදු කළේ පිරිමින් විසිනි. චැප්මන්, පෝප්, ෆිට්ස්ජෙරල්ඩ්, ලැටිමෝර්, ෆේගල්ස් — ඔවුන් සියල්ලෝම දක්ෂ විද්වතුන් විය. නමුත් 2017 දී අසාමාන්‍ය දෙයක් සිදු විය.

    එමිලි විල්සන් ඉතිහාසයේ ප්‍රථම වතාවට “ඔඩිසි” කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළ කාන්තාව බවට පත් වූවාය. ඇගේ කෘතිය එළිදැක්වුණු මොහොතේම පාඨකයින් කම්පනයට පත් කරවන සත්‍යයක් වටහා ගත්හ: අපි වසර 400 ක් තිස්සේ කියවා ඇත්තේ මුසාවක් බවය.

    1. “පොලිට්‍රොපොස්” (Polytropos) – වීරයාගේ සැබෑ ස්වරූපය

    හෝමර් තම වීරයා වන ඔඩිසියස්ව හැඳින්වීමට භාවිතා කරන මුල්ම වචනය මෙයයි. සෑම පිරිමි පරිවර්තකයෙකුම ඔහුව හැඳින්වූයේ “සම්පත්දායක,” “බහුවිධ දක්ෂතා ඇති” හෝ “බුද්ධිමත්” ලෙසයි. එමඟින් ඔහු උදාර වීරයෙකු ලෙස චිත්‍රණය විය.

    නමුත් එමිලි විල්සන් එය පරිවර්තනය කළේ “සංකීර්ණ” (Complicated) යනුවෙනි. ඒ එක වචනයෙන් සියල්ල වෙනස් විය. ඔඩිසියස් යනු පරිපූර්ණ වීරයෙකු නොවේ; ඔහු සදාචාරාත්මකව ගැටලු සහගත, බොරුකාරයෙකු සහ තමාගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පුද්ගලයෙකි. හෝමර් ඇත්තටම ලිව්වේ එයයි. නමුත් වීරයන් සැමවිටම උදාර විය යුතු යැයි සිතූ පරිවර්තකයෝ වසර 400 ක් තිස්සේ එය මකා දැමූහ.

    2. වහල් ස්ත්‍රීන් සහ මනුෂ්‍යත්වය

    ඔඩිසියස් වසර 20 කට පසු තම මාලිගාවට පැමිණි විට, එහි සිටි වහල් ස්ත්‍රීන් කිහිප දෙනෙකු ආක්‍රමණිකයන් අතින් දූෂණය වී ඇති බව දැනගනී. ඔහුගේ ප්‍රතිචාරය වූයේ ඔවුන් සියල්ලන්වම එල්ලා මැරීමයි.

    හෝමර් මේ කාන්තාවන් හැඳින්වීමට “dmôai” යන ග්‍රීක වචනය භාවිතා කළේය. එහි තේරුම “වහලුන්” යන්නයි. නමුත් පිරිමි පරිවර්තකයින්ට එය දිරවා ගැනීමට නොහැකි විය. ඔවුන් එය මෙසේ වෙනස් කළහ:

    • ජෝර්ජ් චැප්මන් (1614): “ද්‍රෝහී සේවිකාවන්”
    • ඇලෙක්සැන්ඩර් පෝප් (1725): “වැරදිකාර සේවිකාවන්”
    • රොබට් ෆිට්ස්ජෙරල්ඩ් (1961): “ආක්‍රමණිකයන් සමඟ පෙම් කළ ස්ත්‍රීන්”

    මෙම පරිවර්තන මඟින් හැඟවෙන්නේ එම ස්ත්‍රීන් ස්වකැමැත්තෙන් ලිංගිකව හැසිරුණු බවත්, ඔවුන් මරණයට සුදුසු වැරදිකරුවන් බවත්ය. නමුත් විල්සන් නිවැරදි ග්‍රීක අර්ථය ලබා දුන්නාය: “වහලුන්.” එවිට එම දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. එය සාධාරණ යුක්තියක් නොව, කිසිදු බලයක් නොතිබූ, දූෂණයට ලක්වූ වහල් ස්ත්‍රීන් පිරිසක් ඔඩිසියස් විසින් ඝාතනය කිරීමකි.

    3. පෙන්ලොප්: උපායශීලී බිරිඳ

    මීට පෙර පරිවර්තකයන් ඔඩිසියස්ගේ බිරිඳ වන පෙන්ලොප්ව නිරූපණය කළේ නිහඬව දුක් විඳින, පතිවෘත්තාව රකින, නිෂ්ක්‍රීය කාන්තාවක ලෙසයි. නමුත් හෝමර් ඇයව හඳුන්වන්නේ “periphron” ලෙසයි. එහි තේරුම “උපායශීලී” හෝ “බුද්ධිමත්” යන්නයි.

    විල්සන්ගේ පෙන්ලොප් යනු බලා සිටින්නියක් පමණක් නොවේ; ඇය දේශපාලනිකව කටයුතු කරන, තොරතුරු රැස් කරන, තමාව ආරක්ෂා කර ගැනීමට සැලසුම් සකස් කරන චරිතයකි.

    4. කැලිප්සෝ: ආදරවන්තියකද? සිරකරන්නියකද?

    කැලිප්සෝ නම් දෙවඟන ඔඩිසියස්ව වසර හතක් තම දූපතේ රඳවා තබා ගනී. ග්‍රීක වචනය “katechein” යන්නයි—එහි අර්ථය “සිරකර තැබීම” හෝ “නතර කර තැබීම” යන්නයි.

    නමුත් පිරිමි පරිවර්තකයන් ලියා ඇත්තේ ඇය ඔහුට “ආදරය කළ” බවත්, එය “ප්‍රේම සම්බන්ධයක්” බවත්ය. විල්සන් සැබෑව පරිවර්තනය කළාය: කැලිප්සෝ ඔහුව “සිරකර තබා ගත්තාය.” එය රොමෑන්තික කතාවක් නොව, ස්ත්‍රී පුරුෂ භූමිකාවන් මාරු වූ ලිංගික බලහත්කාරකමක් සහ සිරගත කිරීමකි.

    නිගමනය: හෝමර්ව “වික්ටෝරියානු” ග්‍රහණයෙන් මුදා ගැනීම

    පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍ය මහාචාර්යවරියක වන එමිලි විල්සන් කළේ නවීකරණය කිරීමක් නොව, “පැරණි පක්ෂපාතීත්වයන් ඉවත් කිරීමයි.” ඇතැම් විචාරකයින් ඇයට චෝදනා කළේ ස්ත්‍රීවාදී අදහස් ඇතුළත් කරන බවටයි. ඇගේ පිළිතුර සරල විය: “මුල් ග්‍රීක පිටපත කියවන්න.”

    ඇය කළේ පිරිමි පරිවර්තකයින් විසින් සියවස් ගණනාවක් පුරා තැන්පත් කළ පීතෘමූලික මතවාදයන් ඉවත් කර, හෝමර්ගේ මුල් වචනවලට හුස්ම ගැනීමට ඉඩ දීමයි. එහි ප්‍රතිඵලය වූයේ වඩාත් අවංක, වඩාත් තියුණු සහ සදාචාරාත්මකව අභියෝගාත්මක “ඔඩිසි” කාව්‍යයකි.

    වසර 400 කට පසු, අපට අවසානයේ හෝමර් සැබවින්ම අදහස් කළ දේ කියවීමට අවස්ථාව ලැබී ඇත

    (ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තන කරන ලද්දකි)

     

  • එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව

    එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව

    එප්ස්ටීන් ලිපිගොනු දිහා මුලු ලෝකෙම කට ඇරගෙන බලාගෙන ඉන්න වෙලාවක්. මගේ ෆේස්බුක් එකේ එප්ස්ටීන් ඇරුනම වෙන කිසි දෙයක් පේන්නෙ නැති තරම්. එප්ස්ටීන් ගැන වඩාත් දන්නෙ කවුද කියලත් සිංහලෙන් කියවන අය අතරෙ වෙනම තරගයක් යනවා. සෙක්ස් විසින් නැවතත් මුලු ලෝකෙම රෙදි ගලවලා තියෙනවා. ලෝකයේ ඉහළම ධනපතියන් වම්මුන් දේශපාලකයන් විද්‍යාඥයන් කලාකරුවන් කිසි භේදයකින් තොරව එප්ස්ටීන් ලිපිගොනුවල ඉන්නවා.

    මං එප්ස්ටීන් ගැන විශේෂඥයෙක් නෙමෙයි.  එප්ස්ටීන් ලිපිගොනුවලින් මතුවුනු නම් අතර මට වඩාත් උනන්දුවක් ඇති කලේ නම් තුනක් විතරයි. ඔය ට්‍රම්ප් එහෙම නම් එප්ස්ටීන් සාධකය නැතත් කොයි වගේද කියල හැමෝම දන්නවනෙ. ඒ වගේ විශේෂයක් මතු නොකරපු නම් ගොඩක් අතර මට විශේෂයක් ඇති කලේ, දීපක් චොප්රා, නෝම් චොම්ස්කි සහ ස්ටීවන් හෝකින්ස් කියන තුන්දෙනා. ‘දෙවියන් යනු ගොඩනැංවීමකි. නමුත් කියුට් කෙල්ලන් නම් ඇත්ත’ කියලා චොප්රා කියලා තිබුන. චොප්රාගෙ ආධ්‍යාත්මිකත්වය එප්ස්ටීන්ගෙ අධි සාන්ද්‍ර ‍ලෞකිකත්වය එක්ක රහසේ යහන්ගත වෙනවා.

    ඒ වගේම නුතන වාග් විද්‍යාවේ පීතෘවරයා වුනු, වමේ මහා දාර්ශනිකයෙක් වුනු නෝම් චොම්ස්කි සහ එප්ස්ටීන් කියන්නෙ හරිම ලස්සන සම්බන්ධයක්. වම දකුණ දේශපාලන භේදයක් නෑ එක තැනකින් එහා පවතින්නෙ බලය විතරයි. ඒ බලය ඇතුලෙ නෝම් චොම්ස්කියි ඩොනල්ඩ් ට්‍රම්පුයි එක ෆයිල් එකකට වැටෙනවා. (හරියට රනිලුයි අනුරයි වගේ).

    ස්ටීවන් හෝකින්ස් කියන නූත‍න කාලෙ අයින්ස්ටයින් සහ එප්ස්ටීන් කියන්නෙත් තේරුම් ගන්න වටින ගැලපීමක්. විශේෂයෙන් හෝකින්ස්ගෙ ආබාධිතභාවය සමග අධිකාමුක ලිංගිකත්වය ගැටගැහෙන විදිහ සාපරාධි විදිහකට වුනත් පැවැත්ම සම්පූර්ණ කරනවා. බලයේ එක සීමාවකින් පස්සෙ අන්ධයන්ටත් ඇස් පේන්න ගන්නවා. ආබාධිත වුනත් අසමානතාවය අවසන් වෙනවා.

    කොහොම නමුත් විද්‍යාව, ව්‍යාපාර, කලාව, දේශපාලනය, ආගම, ජාතිය, මේ කිසි දෙයක් එප්ස්ටීන් නැතුව සම්පූර්ණ වෙන්නෙ නෑ කියල වර්තමානය අපිට කියලා දෙනවා. ඒක ඉතාම භයානක එලිදරව්වීමක්. කොයිතරම් භයානකද කිව්වොත් අපි ඒ සත්‍යය දකිනවා වෙනුවට තෝරාගත් වැරදිකරුවන් විනිශ්චය කරමින් ඒ භීතියෙන් පලායන්න උත්සාහ කරනවා. අපිට මේ විපරීතභාවය බලයේ සහ සදාචාරයේ අනිවාර්යතාවයක් හැටියට පිලිගන්න පුළුවන්කමක් නෑ.

    මේ සිදුවීම් ගැන විනිශ්චයක් මට නෑ. මං උත්සාහ කරන්නෙ එප්ස්ටීන් සාධකය කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්නයි. පැහැදිලිවම එප්ස්ටීන් කියන්නෙ යටපත් කළ තහනම් ලිංගිකත්වය. ටැබූ එක. එතකොට ඒ ටැබූ එකත් එක්ක ලෝකෙ විශාලතම බල කේන්ද්‍රයන්ගෙ තියෙන සම්බන්ධය මොකක්ද? මේක එප්ස්ටීන් සහ තවත් පුද්ගලයන් අතර කතාවක්ද නැත්තං ව්‍යූහාත්මක අනිවාර්යතාවයක්ද?

    එප්ස්ටීන් කියන්නෙ අතිරික්තයේ මහා යාගයක්. ලෝකයේ සුවිසල්ම අතිරික්තය දහනය කරන විපරීත කලු කුහරයක්. නිෂ්පාදනයක අතිරික්තය, බලය, ධනය, දැනුම හෝ කවර ස්වරූපයකින් වේවා, එය උපරිමයෙන් ඵලදායිතාවයට යොදාගන්න බැරි තැනදි ඒක විපරීතයට, ට්‍රාන්ස්ග්‍රෙෂන් එකට හැරෙනවා. නීතිය, සදාචාරය ආදී ඉක්මවා යා නොහැකි යැයි සම්මත තැන් ඉක්මවා යනවා. දෙවියන් බවට පත්වෙනවා. දෙවියන්ව විනිශ්චය කරන්න බෑ. දෙවියන් ඉන්නෙ හොඳ සහ නරක සීමාවන්ගෙන් පිටත.

    එප්ස්ටීන් ලිපිගොනු ඒ අතිරික්තයේ විනාශකාරී දහනය. එප්ස්ටීන් කියන්නෙ ඒ සමස්තය එක මිනිසෙක් තුල සංකේන්ද්‍රණය වීම.

    එප්ස්ටීන් කියන්නෙ ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ සුවිසල්ම පිම්පියා. පිම්ප් කෙනෙක් කියන්නෙ අන් අයගෙ ආශාව සංසිදුවන්නා. පිම්පියෙක් කියන්නෙ ආශාව කරා යන පාලමක්.  ලැකානියානු අර්ථයෙන් කිව්වොත් එප්ස්ටීන් කියන්නෙ ලෝකයේ බලවතුන්ගේ ‘ඔබ්ජෙක්ට් ඔෆ් ඩිසයර්’ වෙනවා. තමන්ගේ ප්‍රසිද්ධිය, කීර්තිය ඇතුලෙ අහිමි වුනු, සීමා වුනු ජීවිතය ජීවත් කරන්නට අවසර දෙන්නා වෙනවා. සිහියෙන්, තාර්කිකත්වයෙන්, පාලනයෙන් යුතු ජීවිතය එහි උපරිමයෙන් උමතුවෙන්, අතාර්කිකත්වයෙන් විඳින්න ඉඩ දෙන්නා වෙනවා.  මේ ගොඩක් ධනවතුන්, උගතුන්, දාර්ශනිකයන් එප්ස්ටීන් සමග  එකතු වෙන ආකාරය හොඳින් බලන්න වටිනවා. එප්ස්ටීන් මෝඩයෙක්, නූගතෙක් කියලා මේ ගොඩක් අයට තේරෙනවා. ‘කිසිම තේරුමක් ඇති දෙයක් කතා කරන්න බැරි මනුස්සයෙක්’ කියලා ස්ටීවන් පින්කර් වගේ තව බොහෝ පිරිසක් කියනවා. නමුත් ඒ බොහෝ අය එප්ස්ටීන් එක්ක ඇපලෝනියානු අර්ධයෙන් දුරස් වුනත්  ඩයොනීසියානු අර්ධයෙන් බැදෙනවා.

    එප්ස්ටීන් ඒ අයගෙ ජීවිතයේ තහනම් කොටස පරිකල්පනය කරලා දෙනවා. දැනුමෙන්, බුද්ධියෙන් වෙනුවට පැවැත්මේ වාරණය කළ කොටසෙන් ඔවුන් ගැඹුරින් සම්බන්ධ වෙනවා. වෙන්නෙ මොකක්ද කියල සමහර විට ඒ අයටවත් හිතාගන්න බැරුව ඇති. ඔවුන්ගේ විශාලනය වූ ප්‍රතිරූපය සමග විශාලනය වූ අදුරු සෙවනැල්ලක බර එප්ස්ටීන් දරාගන්නවා.

    ඕනම මනුස්යෙක් විශාල ධනයක්, විශාල කීර්තියක්, විශාල බලයක් ලබාගන්නවා කියන්නෙම සාමාන්‍යයක් නෙමෙයි. ඒක විපරීතයක්. ඒ වෙනුවෙන් යටපත් වෙන, කැපවෙන බොහෝ ආශාවන් විපරීත වෙමින්,  වෙනත් මාවත් වලින් මතුවෙන්න නියමිතයි. බොහෝ විට වියපත් වෙමින් යන මේ දැවැන්තයන් පුංචි කෙල්ලන්ට ආශක්ත වීම, ඒ වෙනුවෙන් විශාල අවදානමක් ගැනීම කියන කාරණා හොඳින් හිතාබලන්න වටිනවා. සියලු බුද්ධි මට්ටම්, බල මට්ටම් කුඩුපට්ටම් කරගෙන ඒ ආශාව එහි වනචාරීම ස්වරූපයෙන්  නැගී සිටින බව පේනවා.

    මේ නම් එලියට එන හැම කෙනෙක්ම එප්ස්ටීන් එක්ක අපචාරී ක්‍රියාවල යෙදුනා කියල කියන්න මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒකෙ එක එක මට්ටම් තියෙන්න පුළුවන්. නමුත් මේ බොහෝ අය එප්ස්ටීන්ගෙ අපචාරී පැවැත්ම එක්ක සම්බන්ධකම් තිබුනා. මං හිතන්නෙ මේ වෙද්දි මුලු ලෝකෙම එප්ස්ටීන්ගෙ අපචාරී පැවැත්ම එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

    මේ ලිපිගොනු හෙලිවීම සමග ඒ දිහා කට අයාගෙන කතා ගොතන අපෙත් ‘ආශාවේ වස්තුව’ බවට එප්ස්ටීන් පත්වෙනවා. හෙලිවන නම් සහ අසම්පූර්ණ සිදුවීම් අතරට අපේ ෆැන්ටසි කතා නිර්මාණය වෙනවා. අපේ අතින් එප්ස්ටීන් අපචාරයන් සම්පුර්ණ වෙමින් ලියවෙනවා. අර අතිරික්තයේ ජීවත් වුනු මිනිසුන්ගේ විපරීතය අපි සාප කරමින් ආස්වාද කරනවා. ඒ හින්ද මේ වෙද්දි එප්ස්ටීන් කියන්නෙ මුලු ලෝකයක සඟවා ගත් අපචාරීත්වය සංකේන්ද්‍ර්‍රණය වුනු නාමය වෙලා තියෙනවා. එප්ස්ටීන් කියන්නෙ මේ වෙද්දි ඇති නැති හැමෝගෙම දැවැන්ත සමූහ රමනෝත්සවයක් බවට පත්වෙලා තියෙනවා.

    එප්ස්ටීන්ව විනිශ්චය කරනවට වඩා වැදගත් වෙන්නෙ එප්ස්ටීනියානු මනස තේරුම් ගන්න එක කියලයි මට හිතෙන්නෙ. කෙනෙකුට ඒක කරන්න හොඳ තැනක් ඇනායිස් නීන්ගෙ හංගේරියානු බැරන්වරයා කියන කතාව. ෆැකල්ටි ඔෆ් සෙක්ස් වෙබ් එකේම ඒ කතාවෙ සිංහල පරිවර්තනයක් තියෙනවා.   

  • සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය

    සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය

    ආදරය ගැන සුවිශේෂ පෝස්ටුවක් සමන් ආතවුදහෙට්ටි විසින් ‍සමාජ මාධ්‍යයේ පලකරලා තිබුන. ඒ මෑත කතාබහට ලක්වුනු පාසැල් සිද්ධිය සම්බන්ධයෙන්. එතනදි සමන් කියලා තිබුනෙ, තමන් ඒ ගුරුවරියකගේ සැමියෙක් නම් මේ අවස්ථාවෙ ඇය වෙනුවෙන් පෙනී ඉන්නවා සහ ඇය සමග හිටගන්නවා කියන එක. ඒක මේ අදාල මොහොතේදී ඉතාම මානුෂීය පෙනීසිටීමක්. ඒ වගේම සමන් ආතාවුදහෙට්ටි වගේ ප්‍රවීණයෙකුගෙන් සිදුවුනු රැඩිකල් මැදිහත්වීමක්.

    මේ ගැන සාකච්ඡාවෙදි අදාල ප්‍රකාශය ‘කකෝල්ඩින්’ ෆැන්‍‍ටසි කලාපයෙන් පැන නගින්නක් විදිහට ඇතැම් අය හාස්‍යමුසුව ඒ දිහා බැලුවා.

    සිදුවීමේ ලිංගිකබරිත බව නිසාම අපිට බොහෝ විට ඊට සම්බන්ධ ලිංගික මානය ඉක්මවා යන දේවල් දකින්න බැරි වෙනවා. සියල්ල ලිංගිකත්වයට ඌනනය වෙන්න ගන්නවා.

    ආදරය කියන්නෙ ලිංගිකත්වයට වඩා විශාල වූ පරාසයක්. සියල්ල ලිංගිකයි කියන ප්‍රවාදය අපි පිලිගන්නෙ ෆ්‍රොයිඩියානු අදහස් භක්තියෙන් පිලිගැනීම ඇතුලෙයි. ඒ වගේම සමන්ගෙ ප්‍රකාශය ඇතුලෙ තියෙන මෛත්‍රීසහගත බව කියන්නෙ ආශාවට ඔබ්බෙන් පවතින මිනිස් හැගීමක්. යම් විනාශකාරී තත්වයකදි අපි ඒ මෛත්‍රීසහගත බව කියන දැක්මට එළඹීම වැදගත්. හුදු ආශාව ඊර්ශ්‍යාව තහනම දණ්ඩනය ඉක්මවා ගිහින් මිනිස් හැගීමකින් අපිට ජීවිත දිහා බලන්න බලකරන්නෙ එතනදියි.

    ෆෙටිෂයන්, බලය යෙදෙන ලිංගික ක්‍රියාවන් මේ සියල්ල පවතිනවා තමයි. නමුත් ආදරය, පැවැත්ම, අනෙකා ගැන සැලකිලිමත් වීම වගේ දේවලුත් මිනිස් ක්‍රියාකාරකම් විදිහට පවතිනවා.

    මේ හින්ද සමන්ගෙ ප්‍රකාශය ඇතුලෙ මට ඇහෙන්නෙ මේ වගේ අදහසක්. මනෝවිද්‍යාවට පෙර මනුෂ්‍යත්වය දෙස බලන්න. ෆැන්‍ටසියට පෙර මෛත්‍රීසහගත වෙන්න. ආඛ්‍යාන තැනීමට පෙර ආදරය කරන්න.

    අනෙක් අතට මේ ගැන තව දුරට කල්පනා කලොත් අපි ගැඹුරින් තේරුම් ගන්න උවමනා දෙයක් තමයි ‘මොනොගමි’ විවාහය හෝ ආදරය කියන සංකල්පය පවතින්නෙම සංකේතාත්මක කකෝල්ඩින්බවක් එක්ක තමයි කියන එක. හැම මොනොගමි ප්‍රේමියෙක්ම යටිපෙලකදී ක‍කෝල්ඩ් කෙනෙක් වෙනවා.

    අපි විවාහ වී සිටින හෝ ප්‍රේම කරන අයට මීට කලින් පෙම්වතුන් පෙම්වතියන් සිටියා කියල අපි දන්නවා. අපේ බිරිඳ හෝ පෙම්වතිය දෙස තවත් අය ආශාවෙන් බලනවා කියල අපි දන්නවා. ඇය අන් අයගේ ආකර්ශනයට බඳුන් වෙන ආකාරයෙන් අඳින පළඳින විට අපි තෘප්තියක් ලබනවා. ඇය සම්පූර්ණයෙන්ම අපිට අයිති කරගන්න බැරි බවත්, ඇගේ ජීවිතයේ තවත් බොහෝ පැති ඇති බවත් අපි දන්නවා.

    අපිට සම්පූර්ණයෙන් අයිති නැති බව දනිමින් ප්‍රේම කිරීම කියන්නෙ කකෝල්ඩින් ආකෘතිය තමයි. මේක අර සෙක්ෂුවල් ෆැන්ටසියෙ එන හියුමිලියේෂන් වගේ දේවල් එක්ක සම්බන්ධ නෑ තමයි. නමුත් අනෙකාගේ ප්‍රේමය ඉදිරියේ තමන් අසම්පූර්ණයි කියන හැගීම තමයි කකෝල්ඩින් කියන්නෙ.

    මේ හින්ද කකෝල්ඩින් වගේ දෙයක් ගැන කතා කරද්දි අපි මතක තබා ගත යුතු දෙයක් තමයි,

    ඔව්, වර්තමාන ආදරය ඇතුලෙ ඉන්න හැමෝම කකෝල්ඩින් තමයි.

    නමුත් හැමෝම ඒක සෙක්ෂුවල් ෆැන්‍ටසියක් විදිහට ගත කරන්නෙ නෑ.

  • සාන්තුවර මරියා මග්දලේනා

    සාන්තුවර මරියා මග්දලේනා

    ජේසුස්  වහන්සේගේ දියණිය නැත්නම් රුධිර ධාතුව ගැන විස්තරය ජනප්‍රිය කතිකාවට ආවෙ ඩෑන් බ්‍රවුන්ගෙ ඩාවින්සි කෝර්ඩ් පොතට පස්සෙ. ඒ පොතට පාදක වුනේ පල්ලියෙන් පිලිගත් බයිබලය විසින් බැහැර කරන ලද අනෙකුත් සාන්තුවරුන්ගේ සටහන් සහ මේ වන තෙක් නොනැසී පවතින ජනප්‍රවාදයන්.

    අපි අද බයිබලය කියලා එක ග්‍රන්ථයක් බාරගත්තට ඒ ග්‍රන්ථය නිර්මා   ණය වෙන්නෙ බලය හිමි ආගමික අධිකාරීන් විසින් තවත් බොහෝ ලේඛන බැහැර කිරීමෙනුයි. ඒවාට අපි කියනවා ‘ගොස්පෙල්’ නොහොත් දේවවාක්‍ය කියල. ජේසුන් සමීපයේ සිටි එක් එක් අනුගාමිකයන් විසින් තමන්ට උන්වහන්සේ දේශනා කළ දේ ගැන ලියවුනු ලේඛන තියෙනවා (ඒවා ඔවුන්ගේ මගපෙන්වීම ලත් ප්‍රජාවන් අතින් ලියවුනු ඒවා). ඒ අනුව හතලිහකට පනහකට ආසන්න ප්‍රමාණයක් ලේඛන අපිට මුල් ක්‍රිස්තියානි යුගයෙදි ඒ කියන්නෙ, ක්‍රි.ව 30- 350 වගේ කාලෙදි මුනගැහෙනවා. සිරියාවෙ එක දහමක්, ඊජිප්තුවෙ තවත් දහමක්, රෝමයේ වෙනත් එකක්, ග්නොස්ටික් දහම ලෙස තවත් ප්‍රවාහයක් වගේම කාන්තාවන් විසින් පිලිගත් තවත් ක්‍රිස්තියානි දහමක් ආකාරයෙන් මේ විශ්වාස පද්ධතීන් විවිධයි. අපි අද පිලිගන්න තනි බයිබලය නිර්මානය වෙන්නෙ ‍කොන්ස්ටන්ටයින් රෝම අධිරාජයා යටතේ ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම බවට ස්ථාපිත වීමෙන් පස්සෙයි. මෙතනදි අනෙක් සාන්තුවරුන් සහ වරියන්ගේ සටහන් භයානක, පිටමංකළ යුතු ඒවා වශයෙන් බැහැර කරනවා.

    මෙතනදි ‍’ගොස්පෙල් ඔෆ් මේරි’ ‘ගොස්පෙල් ඔෆ් පිලිප්, තෝමස්, ජුදාස් ආදී බොහොමයකගේ ලේඛන ඉවත් වෙනවා. මැතිව්, මාක්, ලූක්, ජෝන් යන හතර දෙනාගෙ පොත්වලින් පමණක් නූතන බයිබලය නිර්මාණය වෙනවා.

    කෙනෙකුට ජේසුස් වහන්සේගේ දර්ශනය එහි මුල් පුළුල් අර්ථයෙන් තේරුම් ගන්න නම් අර පැරණි ලේඛන කියවන්න සිද්ද වෙනවා. මෙතනදි විශේෂම ලේඛනයක් තමයි මේරි මගද්ලේනාගේ කතාව ලෙස ලියා තබන ලද සලකන ‘ගොස්පෙල් ඔෆ් ‍‍මේරි’ කියන පොත. මේ පොත ඇතැම් කොටස් විනාශ වී නමුත් පසුව සොයාගෙන තියෙනවා. එහි අඩංගු ජේසුන් විසින් දේශනා කරන ලදැයි කියන දහම අද කතෝලික පල්ලිය විසින් දේශනා කරන දහමට වඩා බෙහෙවින් වෙනස් එකක්. ඒ වගේම මේරි සමග ජේසුන්ගෙ තිබුනු සමීප සම්බන්ධතාවය ඇතුලෙ ඇයට පවසන ලද බොහෝ දේ එහි තියෙනවා. විශේෂයෙන්ම පුරුෂමය ක්‍රිස්තියානිය ස්ත්‍රීමය ආධ්‍යාත්මික කියවීමකට හැරෙන දොරටුව මේරි මග්දලේනාගේ පොතේ සටහන් වෙනවා.

    මේරි මග්දලේනා කියන්නෙ ජේසුස් වහන්සේ විසින් ගලවාගත් ගණිකාවක් කියන එකයි අපි අහලා තියෙන කතාව. ඇය විසින් කළ පාපයන් සමා කරනු වස් ඇය ජේසුන් පසුපස පැමිණි අනුගාමිකයෙක් විදිහටයි පල්ලිය ඇයව නිරූපණය කරලා තියෙන්නෙ. නමුත් මේක සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඇය ගණිකාවක් වශයෙන් සඳහන් කිසිදු තැනක් පිලිගත් බයිබලයේ හෝ බැහැර කළ කොටස්වල අඩංගු නෑ.

    මේක කරන්නෙ පෝප් ග්‍රෙගරි විසින් ක්‍රි.ව 591දි පමණ කියලයි කියන්නෙ. මේ පෝප්වරයා විසින් කාන්තාවන් තුන්දෙනෙකුගේ කතා එකතු කරලා මේරි මග්දලේනා ගණිකාවක් වශයෙන් නිර්මාණය කරනවා. ලාසරස්ගේ සොයුරිය වූ බෙතනිහි මේරි, ජේසුන්ගේ පා දෝවනය කළ නමක් නැති පව්කාර ස්ත්‍රියක් සහ මේරි මග්දලේනා කියන චරිතය එකට මුහු කරනවා. ඒක අයිඩියොලොජිකල් ගේම් එකක්.

    ඇත්ත මරියා මග්දලේනා අපිට මුනගැහෙන්නෙ ධනවත් කාන්තාවක් විදිහට. ඇය ජේසුස් වහන්සේගේ අනුග්‍රාහිකාවක්. දේශන පවත්වමින් යද්දි විවිධ පහසුකම් සලසන කාන්තාවක්. එයාට මුදල්, දේපොල වගේම ආර්ථිකව ස්වාධීනත්වයක් පැවැතුනු වග පේනවා. මෙන්න මේ වගේ කාන්තාවක් ඒ කාලයට සාපේක්ෂව ආගමික අධිකාරියට පිලිගන්න පුළුවන්කමක් නෑ.  ජේසුස් වහන්සේ යන එන තැන්වල සැරිසැරූ, නිදහස් කාන්තාවක් කියන එක පෝප් ග්‍රෙගරිට පිලිගන්න පුළුවන් වෙන්නෙ ගණිකාවක් විදිහට විතරයි. මොකද නැත්නම් ඒ කාලෙ හැම කාන්තාවක්ම පියාට, සැමියාට හෝ සහෝදරවරුන්ට යටත්ව පවුලේ දේපොලක් හැටියට පවතින්න ඕන. මග්දලේනා වෙනස්. ඒක ශාන්ත පීතරව ප්‍රධානියා කොට ගොඩනගන පිරිමි ක්‍රිස්තියානි කතිකාවට ලොකු අභියෝගයක්. මේ නිසා මේරිව අපහාසාත්මකව පිටුවහල් කිරීමක් තමයි සිද්ද වෙන්නෙ.

    බැහැර කරන ලද ලේඛන අනුව අපිට කියවගන්න  පුළුවන් වෙනවා මේරි කියන්නෙ ජේසුස් වහන්සේගෙ 13වෙනි අනුගාමිකයා බව. ඒ වගේම ඇතැම් විට ප්‍රධානම අනුගාමිකයා වෙන්න පුළුවන්. ඇයව මේ කතාවෙන් පිටමං කිරීමේ උවමනාව කොයිතරම්ද කියනවා නම් 13 නපුරු අංකයක් විදිහට පවා පිලිගැනීමක් නිර්මාණය වෙනවා.

    ශාන්ත පිලිප්ගේ කතාව ඇතුලෙ අපිට මග්ද‍ලේනාව මෙහෙම මුනගැහෙනවා.

    ‘ඇය උන්වහන්සේගේ සහකාරිය වුවාය. උන්වහන්සේ අන් සියලු අනුගාමිකයන්ට වඩා ඇයට ප්‍රේමනීය වූහ. උන්වහන්සේ නිතර මුවට මුව තබා ඇයව සිපගත්හ. මෙය අනෙක් අනුගාමිකයන්ගේ අකමැත්තට, පිටුදැක්මට හේතු වූයේය.

    ඔබවහන්සේ අප සියල්ලන්ට වඩා මග්දලේනාට ප්‍රේම කරන්නේ මන්දැයි ඔවුන් විමසා සිටියේය.

    මම ඇයට සමානවම ඔබට ප්‍රේම නොකරන්නේ මන්ද? දෑස නොපෙනෙන්නෙක් සහ දෑස හොදින් පෙනෙන්නෙක් එකම අන්ධකාර කුටියක සිටී නම් ඔවුන් එකිනෙකාගේ වෙනස්කමක් නැත්තේය. නමුත් ආලෝකය පැමිනි කල දෑස පෙනෙන්නා ආලෝකය දකින්නේය. දෑස නොපෙනෙන්නා අන්ධකාරයේම සිටින්නේය උන්වහන්සේ කීහ.’

    -ශාන්ත පිලිප්-

    මග්දලේනාව ආධ්‍යාත්මික අවබෝධයක් ඇත්තියක් හැටියට බාරගන්න මුල් අනුගාමික කණ්ඩායම අතරත් අවුලක් තිබුනු බව පැහැදිලියි. පීතරට කණ්ඩායමේ නායකත්වය දැරීමට තිබුනු උවමනාවත් එක්ක මග්දලේනා ජේසුන් සමග වඩාත් සමීප වීම ඉතා නුරුස්සනසුලු එකක් වුනා. ඒ කාලෙ කොහොමවත් පිරිමියෙකුට කාන්තාවක් අධ්‍යාත්මික අව‍බෝධයට පත්වීම කියන එක බාරගත හැකි මනසක් තිබුනෙ නෑ. ජේසුස් මෙතනදි සුවිශේෂ වෙන්නෙත් ඒකමයි.

    මරියා මග්දලේනා සමග ජේසුන්ගේ කායිකමය ඇසුරක් පැවතුනා කියන එක නූතන ක්‍රිස්තියානියට කොහොමවත් බාරගන්න බැරි ප්‍රවාදයක්. ඒ මෙම නුතන ආධ්‍යාත්මික කතිකාව විසින් කායික ආස්වාදය පාපයක් විදිහට බැහැර කරන හින්ද. නමුත් ඒ කාලෙ ආධ්‍යාත්මික ඉන්ටිමසිය සහ කායික ඉන්ටිමසිය කියන දෙක ප්‍රතිපක්ෂයන් වුනේ නෑ. සෙක්ස් කියන්නෙ ශුද්ධ වූ එක්වීමක්.

    ජේසුස් මරණයෙන් පසු යළි උත්ථානය වී‍මේ එකම සාක්ෂිකාරිය වෙන්නෙ මග්දලේනා. ඔහුගේ මරණයේ අවසාන මොහොත දක්වාම ළග ඉන්නෙ ඇය විතරයි. ඒ තරමට ඇය සමීපයි. නැවත පිරිස අතරට ඇවිත් මග්දලේනා ඇය දුටු දර්ශනය කියනවා. එය ඇසීමෙන් පීතර් තැති ගන්නවා.

    ‘උන්වහන්සේ කවදාවත් මෙහෙම කියන්නෙ නෑ’ කියල ඇයව බැහැර කරනවා.

    ජේසුස් වහන්සේ මරණයෙන් පසු යළි උත්ථානය වී ඇයව ආමන්ත්‍රණය කරනවා

    ‘මේරි..’

    ‘ගුරුතුමනි’ ඇය නැගීසිටිනවා.

    ‘මා මත වැළපෙමින් සිටින්න එපා. මගේ සහෝදරයන් වෙත යන්න. මා මරණයෙන් නැගී සිටි වග ඔවුන්ට පවසන්න’

    මේ කතාව පීතරට කිව්වම ‘ඇයි එතුමන්ට බැරි වුනේ අපි හැමෝටම කියන්න? ඇයි එතුමන් ඔබට පමණක් ආමන්ත්‍රණය කරන්නෙ?’ යැයි ඇයව ප්‍රතික්ෂේප කරනවා.

    මරියා මග්දලේනාට අනුව ජේසුන් විසින් දේශනා කරන දහම ඉතාම ගැඹුරු රැඩිකල් දහමක්. මරණයෙන් පසු ශරීරය එය තැනී ඇති මූලික සංඝටකවලට බිඳි යන අතර ආත්මය එයින් නිදහස්වන බව ඇය කියනවා. දේව රාජ්‍යය පවතින්නේ බාහිරයේ නොව තමන් තුලම බව කියනවා. සම්පූර්ණ දහම අභ්‍යන්තරයට නැඹුරු කරන අතර සියලු ආයතනගතවීම් ප්‍රතික්ෂේප කරනවා.

    මේරි කියන්නෙ ජේසුස්ගෙ ස්ත්‍රීමය ප්‍රඥාව. ඇය තමයි ගර්භාෂය. ඔහු දේශනා කරන දේ ඇය දරාගනිමින්, අවබෝධ කරගනිමින්, නැවත සන්නිවේදනය කරනවා. ජේසුන්ව පූර්ණත්වයට පත්වෙන්නෙ මග්දලේනා නිසයි.

    ජේසුස් වහන්සේගේ මරණයෙන් ඉක්බිති ඇය මධ්‍යධරනී මුහුද හරහා ප්‍රංශයේ දකුණු පළාතට ගිය බව කියවෙනවා. එහි සිටිමින් තමන් ඇසූ දහම දේශනා කරමින් ඇය ජීවත් වුනු බව සඳහන්. මේ නිසා මේරි මග්දලේනා ඒ ප්‍රජාව අතර සාන්තුවරියක්. ඔවුන් ඇය බෝට්ටුවෙන් පැමිණි කතාව තවමත් පූජනීය විදිහට සමරනවා.

    ඇයට ජේසුස් වහන්සේට දාව දියණියක් සිටි බව කියනවා. ඇගේ නම තමයි සාරා. ජේසුස්ගේ ලේ ධාතුව දරාගත් ඇයවත් සාන්තුවරියක් විදිහට නමස්කාර කරනවා.

    මේරි මග්දලේනාගේ දහම පල්ලියේ දහමට වඩා බෙහෙවින් වෙනස්. එහි හයරාකියක් නැහැ. නායකයන් හෝ පූජකයන් නැහැ. අභ්‍යන්තරයෙන් දැනීම සහ ආදරය පමණයි. මේ සියල්ලටම එපිටින් ඇය ගැහැණියක්. ඉතින් ආගමික සංස්ථාවක් ඇයව කොහොම  බාරගන්නද?

     

  • ට්‍රිප් එකක් යන්න එනවද ?

    ට්‍රිප් එකක් යන්න එනවද ?

    මිනිසාගේ පැවැත්මේ තේරුම මොකක්ද, ඒකෙන් කාට හෝ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියල අචල සොලමන්ස් පෝස්ට් එකක් දාලා විමසලා තිබුන. මේක ඉතිං අතිදාර්ශනික ප්‍රශ්නයක්නෙ. එක්කො දර්ශනයෙන් නැත්තං ආගමෙන් මිනිස්සු මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා. ඒ ගැන චන්දන ප්‍රසන්න මෙහෙම අදහසක් ලියලා තිබුන.

    “තේරුම” කියන්නෙත් මිනිස්සු විදියට අපි හදාගත්ත සංකල්පයක් නිසා අපෙන් බාහිර ව “තේරුමක්” කියල එකක් (අඩු තරමේ අපි මේ “තේරුම” කියල හිතන ජාතියෙ තේරුමක්) හොයන එක තේරුමක් නෑ, මම හිතන්නෙ.

    හැබැයි අපි දැනට දන්න විදියට මෙහෙම “තේරුමක්” ගැන හිතන්න පුළුවන් එකම සත්ත්ව වර්ගය අපි නිසා, එහෙම හිතන්න බැරි අනිත් සත්ත්ව වර්ග ජීවත්වෙන එකේ තේරුම මොකක්ද කියල බලන එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්.

    පේන විදියට උන්ගෙ පැවැත්⁣මෙ එකම “තේරුම” පැවැත්ම ම තමයි: ජීවයක් විදියට නොනැසී පැවතීම සහ තමන්ගෙන් පස්සෙ ඒ ජීවය තවදුරට ගෙනියන්න පුළුවන් ජීවියෙක් බිහිකිරීම. Survival and breeding.

    හැබැයි උන්ට ඒ ක්‍රියාවලිය ප්‍රශ්නකරන්න බෑ. ස්වභාවික ඉවකින් ඒක කරගෙන යනව විතරයි.

    හැබැයි අපි මිනිස්සු විදියට භාෂා ලෝකයක් හදාගෙන තියෙන නිසා අපට පුළුවන් මේවා වියුක්ත සංකල්ප විදියට අරන් මේ විදියට කතාකරන්න. ඒ වගේ ම ඕන නම් අර ස්වභාවික ඉවෙන් කියන දේට වෙනස් දෙයක් කරනව කියල තීරණය කරන්න.

    දැනට අපි දන්න විදිය⁣ට මේ වගේ ඇබ්ස්ට්‍රැක් කන්සෙප්ට් හිතන්න පුළුවන් ගාණට භාෂාවක් හැදෙන්නෙ දැනට අවුරුදු ලක්ෂෙකට විතර කලින්. ඒ කියන්නෙ පරිණාමික ඉතිහාසයත් එක්ක ගත්තොත් අපි තාම “ඇටෙන් පොත්තෙන් එළියට ආවා” විතරයි. පොඩි ළමයෙක් මුලින් ම වචන කීපයක් ඉගෙනගත්තම වගේ අපි මේ විදිය⁣ට ඒ සංකල්ප එක එක විදියට පාවිච්චි කරන්න ට්‍රයි කරමින් ඉන්නවා.

    ඉතිං මම හිතන්⁣නෙ “ඇටෙන් පොත්තෙන් එළිය⁣ට ආපු ගමන්” නිසා අපට තාම මේකේ තේරුම මොකක්ද වගේ දේවල් තේරුම්ගන්න අමාරු නම්, තියෙන සේෆ් ම ඔප්ෂන් එක තමයි අපි මීට කලින් පැවතුණු විදිය, එහෙම නැත්තම් අනිත් සත්තු දැනටත් පවතින විදිය ගයිඩ්ලයින් එකක් විදියට තියාගෙන හෙමීට ඉස්සරහට යන එක. මිනිස්සු විදියට (කවද හරි, පුළුවන් වුණොත් ) අපට මේක ගැන මීට වඩා ස්ථිරසාර අදහසක් නිර්මාණය කරගන්න පුළුවන් කාලයක් එනකල්. මොකද පැවැත්ම ගැන, පැවැත්මේ තේරුම ගැන කතාකරන්න නම් ඔක්කොටම කලින් අපි පවතින්න එපායැ.

    ඒ කියන්නෙ අපට පේන විදිය⁣ට අනිත් හැම සතෙකුගෙ ම පැවැත්මේ “තේරුම” ඒ සත්ත්ව වර්ගයේ, එහෙම නැත්නම් ජීවයේ අඛණ්ඩ පැවැත්ම නිසා, මිනිස්සු කියන සත්ත්ව වර්ගයේ සහ සමස්තයක් විදියට ජීවයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන එක තමයි අපේ පැවැත්මේ අල්ටිමේට් “තේරුම” කියල අපට හිතන්න පුළුවන්. අඩු තරමේ ඊට වඩා සෑහීමකට පත්වෙන්න පුළුවන් “තේරුමක්” හොයාගන්නකල්.

    චන්දනගෙ අදහස හරිම මැදිහත් උද්දච්ඡ නැති එකක්. පැවැත්මේ තේරුම හොයන්න යනවා වෙනුවට පැවැත්ම තුලින් පැවැත්මට තේරුම් තනා ගැනීම. ඒ තේරුම් සමග පරිණාමය වීම. මට හිතන්නෙ පැවැත්ම යනු කුමක්ද කියන ප්‍රශ්නය අහන නැරටිව් එකේ අර්බුදයක් තියෙනවා කියල. ආර්ට් යනු කුමක්ද කියල අහන කතිකාවෙම දිගුවක් ඒක. ආර්ට් එකක් කුමක්ද යන අදහසක් දෙන්න බෑ. ඒක අර පණිවුඩ දෙන කලාව. ආර්ට් එකක් කියන්නෙ ආත්මීය විඳීමක්. ඒ විඳීම ඇසුරෙන් අපිට විවිධ සංකල්ප නිර්මාණය කරගන්න පුළුවන් . ඒත් ඒකෙන් ඒ ආර්ට් එක විස්තර වෙන්නෙ නෑ. ඒක විඳීමක්. ඒ විඳීම බෙදාගන්න පුළුවන් . ඒත් කුමක්ද වර්ගයේ භාෂාත්මක මැදිහත් වීමකින් ඒකට කිසි දෙයක් කරන්න බෑ, දේශපාලන මුහුණුවරක් දෙනවා ඇරුනම.

    එහෙම කරන එකේ කිසි වරදක් නෑ. ඒත් ඒක පැවැත්මේ ස්වභාවය කියන දාර්ශනික ප්‍රශ්නයේ පැවැත්ම පවත්වාගෙන යන්න කරන දායක වීමක් විතරයි. අපි හොයන්නෙ අර්ථයක් නම් ඒ අර්ථය අපිට නිපදවා ගන්න පුළුවන් . ජාතිය ගොඩනැගීම, පරපුර රැකගැනීම , නිවන් අවබෝධ කරගැනීම මේ ඕන තේරුමක් අපිට නිර්මාණය කරන්න පුළුවන් . ඒ නිර්මාණය ඇතුලෙ අපිට නිර්මාණාත්මක පැවැත්මක් ගොඩනගන්න පුළුවන් . ඒ වගේ පැවැත්මන් අනන්ත සංඛ්‍යාවක් එකවිට අතිපිහිත වෙමින් පවතිනවා. අපි ඒකට ජීවිතය කියල කියනවා. ඒ ජීවිතය විඳලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ට්‍රිප් එකක්.

    ට්‍රිප් එකක තේරුම මොකක්ද ? එහෙම එකක් අහන්නෙ කවුද ?

  • අනුරගෙ පුතා නයිට් ක්ලබ් ගියා

    අනුරගෙ පුතා නයිට් ක්ලබ් ගියා

    අද යාලුවෙක් එක්ක කතා කර කර ඉඳිද්දි ඉන්ටලෙක්චුවල්ස්ලා ගැන කතාවක් ඇදුනා. යාලුවාගේ අදහස වුනේ ඉන්ටලෙක්චුවල්ස්ලා ඒ කියන්නෙ බුද්ධිමතුන් කියන පිරිස අතෑරලා සාමාන්‍ය පොදු ජනයා කියන අය එක්ක දේශපාලනය කරන්න ඕන කියන එක. ඒ අයට කතා කරන්න ඕන, ඒ අයගෙ භාෂාව තේරුම් ගන්න ඕන කියල දැඩි හැඟීමක් එයාට තිබුන. ඒකට එයා කිව්වෙ මහපොලොවෙ දේශපාලනය කියල.

    මගේ අදහස වුනේ එහෙම මහ පොලොවක් කියල එකක් නෑ කියන එක. ඒ මහපොලොව කියන්නෙම යාලුවාගේ ඉන්ටලෙක්චුවල් ෆැන්ටසියක් කියන එක. මේ ඉන්ටලෙක්චුවල්ස්ලා කියන මානව ප්‍රභේදයත් එහෙම නොවන පොදු ජනයා කියන මානව ප්‍රභේදයත් දෙකම නිර්මාණය වෙන්නෙ යාලුවාගෙ ඔලුව ඇතුලෙ කියන එකයි මට පැහැදිලි කරන්න ඕන වුනේ.

    ඇත්තටම එහෙම විවිධ මනුස්ස ජාති දෙකක් නෑ. ඉන්නෙ එක ජාතියක්. ඒ එකම ජාතියක් දරන විවිධ කොලිටීස් ගැනයි අපි පුද්ගලාබද්ධ කරලා කතා කරන්නෙ. ඉන්ටලෙක්චුවල්ස්ලා නෑ. තියෙන්නෙ ඉන්ටලෙක්චුවලිටි එකක්. බුද්ධිමය ස්වභාවයක් . ඒ වගේම ස්ටුපිඩිටි නැත්තං ඕර්ඩිනරිටි කියන ස්වභාවයනුත් පවතිනවා. ඒවා එකම මනුස්සයෙක් තුල විවිධ අවස්ථාවල පිහිටනවා. අපි මේ ස්වභාවයන් පුද්ගල ‍පෞර්ෂයන් විදිහට අඳුරගන්න එක අර්බුදයක්.

    ඕෂො මේක ලස්සනට විස්තර කරනවා. ඩාන්සර් හෙවත් නටන්නෙක් නෑ. නැටුම විතරයි පවතින්න පුළුවන්. පුද්ගලයා එක අවස්ථාවක නැටුමක් බවට පත්වෙනවා. නැටුම නැති වුනාම නටන්නෙක් ඉතුරු වෙන්න බෑ. බුද්ධ කියන්නෙත් ඒ වගේම ස්වභාවයක්. කෙනෙක් බුද්ධ ස්වභාවය බවට පත්වෙනවා. ඒ ස්වභාවයෙන් එලියට ආවම බුදුන් කියල කෙනෙක් නෑ.

    අපි විසින් ආමන්ත්‍රණය කරන්නෙ මොන ස්වභාවයටද කියන එකයි වැදගත් වෙන්නෙ. අපි මනුස්ස ගනුදෙනුවක් කරද්දි අපිට පුළුවන් ඒ ස්වභාවය තෝරගන්න. මේ තෝරාගැනීමෙන් එකක් අනෙකට වඩා හොඳයි හෝ උසස් කියල එකක් අපිට කියන්න බෑ. අපි අනෙකාගේ ආමන්ත්‍රණය කරන්නෙ කුමන මනුෂ්‍ය ස්වභාවයටද කියන එක විතරයි තේරුම් ගන්න වෙන්නෙ.

    එතනදි අපි බුද්ධිමය ස්වභාවයට ආමන්ත්‍රණය කරනවා කියල තීරණය කලොත් ඒ කියන්නෙ අපි අනෙකාගේ තාර්කිකත්වයත් එක්ක ගනුදෙනු කරනවා කියන එක. අපි පොදු ජනයාට නැත්තං ගැමියාට ආමන්ත්‍රණය කරනවා කියල තීරණය කළොත් ඒ කියන්නෙ අපි ගනුදෙනු කරන්නෙ අනෙකාගේ අතාර්කිකත්වයත් එක්ක. නොදන්නාකමත් එක්ක.

    අපි නිතර පුරුද්දට කියන විදිහට නගරෙ සහ ගමේ කියල මිනිස්සු දෙකෙ‍ාටසක් නෑ කියන එකයි මගේ අදහස. ඒක හුදු මතුපිට ස්වරූපයක්. ස්ටීරියො ටයිප් එකක්. ඇත්ත කාරණය වෙන්නෙ නාගරිකයා ඇතුලෙමයි ගැමියා ඉන්නෙ. ගැමියා ඇතුලෙමයි නාගරිකයා ඉන්නෙ.

    හැබැයි අපි අනෙකාව ආමන්ත්‍රණය කරන්න තෝරගන්න ඒ ස්වභාවය නැත්තං කොලිටිය අපේ දේශපාලනය නම් නිශ්චිතව සලකුණු කරනවා.

    රාජපක්ෂලා හැඟීමෙන් වැඩ කරන ගැමියා තමන්ගේ ආමන්ත්‍රණය කරගත්තා. නයි නැටෙව්වා, ධාතු වැ‍ඩමෙව්වා, පැණි පෙරෙව්වා. ඒ රාජපක්ෂලාගේ දේශපාලනය තියෙන තැන. ගමෙන් පටන් ගමු කියල ජවිපෙ හැරෙද්දි හිනායන්නෙ ඒකයි. ගම කියන්නෙ අතාර්කිකත්වයට. ඒක පළාතක් නෙමෙයි මානසික කලාපයක්.

    ජවිපෙ කතා කරන ගම තියෙන්නෙ නාගරිකයාගේ ඔලුවෙ. ඒක හරියටම අනුර කුමාර කියන්නෙ නිර්ධන පාංතිකයෙක් කියල හැදිලා තියෙන හිතලුව වගේම එකක්. අනුර කුමාර නිර්ධන පාංතිකයෙක් වෙන්නෙ ඒ ජවිපෙ පාක්ෂිකයන්ගෙ ඔලුවෙ විතරයි. ඒක ෆැන්ටසියක්. අනුර එහෙම නෑ.

    දැන් අනුරගෙ පුතා නයිට් ක්ලබ් එකක බීලා ඩාන්ස් කරපු එක ගැන ලොකු ප්‍රචාරයක් යනවා. නිර්ධන පාංතික අනුර ස්වභාවය ඇත්තක් කියල බාරගත්ත අය මේකෙන් අවුල් වෙනවා. නයිට් ක්ලබ් යන පුතෙක් ඉන්න අනුර කෙනෙක් ඒ අයට අනුව පවතින්න බෑ. ඒ අතරෙ තව තැනක පාඨලී දිවයිනට කතා කරනවා. මං නං ක්ලබ් යන්නෙ නෑ, බොන්නෙ නෑ කියනවා. පාඨලීගේ ඔලුවෙ දිවයින පාඨකයෙක් කියල කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ දිවයින පාඨකයාම ෆේස්බුක් එකේදි වෙනස් වෙනවා. ඒ දිවයින පාඨකයාම රෑට හොරෙන් නයිට් ක්ලබ් යනවා. ජවිපෙ පාක්ෂිකයන්ගෙ ඔලුවල තියෙන අනුර ස්වභාවය වගේම තමයි පාඨලීගේ ඔලුවෙ තියෙන දිවයින ස්වභාවයත්.

    මේක හැමදේකදිම එහෙමයි. දැන් අපිට මේ ඇත්ත කණට ගහලා වගේ පේනවා. සාමාන්‍ය ජනතා ස්වභාවය නන්නත්තාර වෙනවා. මුස්ලිම් බෞද්ධ අන්තවාදය පෝෂණය කරපු බොදුබල සේනාව අද එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික නායකත්වය දෙනවා. එංගලන්තෙ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත පාදෙණිය පිටිකිරි බීමෙන්, ගවමස් කෑමෙන් ආයුෂ අඩුවෙනවා කියනවා. අතීත මුතුන්මිත්තො මස් කෑවෙ නැති නිසා අවුරුදු සීය එකසිය පණහ ජීවත් වුනා කියනවා.

    මේ හැමතැනදිම අපි දකින්නෙ අපි යම් තත්වයන් ස්වභාවයන් මනුස්සයන්ට ඝනීභූත කිරීමේ අවුල. ඒක තත්වයක් පෙනී සිටීමක් විදිහට ගත්තම අපිට තේරුම් ගන්න වෙන්නෙ ඒ අය කරමින් ඉන්න දේශපාලනය කියන කාරණය විතරයි.

    උදා විදිහට අනුරට දැන් කියන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් පුතා නයිට් ක්ලබ් ගියේ නෑ කියන්න පුළුවන්. නැත්තං පුතා නයිට් ක්ලබ් ගියාට මං එහෙම නෑ කියන්න පුළුවන්. තුන්වෙනුව කොල්ලො කෙල්ලො නයිට් ක්ලබ් යන එක විනෝද වෙන එක අවුලක් නෑ කියන්න පුළුවන්. මේ තැන් තුනේදි අනුර කතා කරන්නෙ ස්වභාවයන් තුනකට. පලවෙනි එකේදි ගැමි ස්වභාවයට. මොකක් හරි වරදක් වුනොත් ඒක කළේ නෑ කියලම පරසක්වල ගැසීම. ඇගෙන් සද්දෙන් වැඩේ ගොඩදාන එක. ඒක ගොඩක් මහින්දට ළඟයි. මේ වෙද්දි ජවිපෙ සාමාජිකයො තෝරාගෙන ඇති බවක් පේන්නෙ ඒක.

    දෙවෙනි එක ප්‍රබුද්ධ ස්වභාවය. පුතාට හිමිවන නිදහසත්, තමන් පෙනී සිටින වික්ටෝරියානු බෞද්ධ මූලධර්මත් එකට පරිස්සම් කිරීම. අර මගුල්ගෙවල්වල කාමරේ ඇතුලෙ හොරෙන් බොන්න දෙන වැදගත්කම. චම්පික ක්ලබ් යන්නෙ නෑ කියද්දි 43 කල්ලිය චම්පික එහෙම වුනාට එයා අපි ජොලි කරනවට විරුද්ද නෑ කියන්නෙ ඒකයි. ජවිපෙ තරමක් දියුණු වගේ පෙන්නන්න හදන කට්ටිය ඉන්නෙත් මේ ලයින් එකේ.

    තුන්වෙනි එක ලිබරල් නාගරික ස්වභාවය. මංගල මැරුනට පස්සෙ ඒකට උදාහරණයක් ලංකාවෙ නෑ. ඇපොලිජිටිකල් නැතුව ලෞකික නිදහස වෙනුවෙන් පෙනී සිටීම. අනුර මෙතන හිටගනී කියල කොහෙත්ම හිතන්න බෑ. ඒක මිනිස් නිදහස පිලිගැනීමක් වගේම සාම්ප්‍රදායික හණමිටි පිලිගැනීම් අභියෝග කරන ස්වභාවයක්. අනුරට පුළුවන් මේ ස්වභාවයන් තුනෙන් ඕනම එකකට ආමන්ත්‍රණය කරන්න. ඒක අනුරගේ දේශපාලන තෝරාගැනීම වෙනවා. ඒ තමයි අනුර කතා කරන ජනතාව.

    එතකොට අනුර විසින් යම් නිශ්චිත පිරිසක් තෝරගන්නවා නෙමෙයි. මේ සියල්ල එකම පිරිස තුල එකවිට පවතිනවා. තමන් ප්‍රමුඛ කොට ගන්නෙ මොන ස්වභාවයද, ඒ හරහා තමන්ගේ දේශපාලන අරමුණ මොකක්ද කියන එක විතරයි කතන්දරය. පලවෙනි එ‍කේදි අරමුණ වෙන්නෙ රැවටීම හරහා බලය. දෙවෙනි එකේදි අරමුණු වෙන්නෙ පිවිතුරු බව හරහා නොකිලිටි බව හරහා බලය. තුන්වැන්නෙ අරමුණ වෙන්නෙ නිදහස හරහා බලය.

    අපි ආමන්ත්‍රණය කරන තැන අපි ජනතාව නිර්මාණය කරනවා.

    මේ ඉන්ටර්නෙට් යුගයෙදි, එකම මිනිහෙක් ප්‍රොෆයිල් ගානක් හරහා එක් එක් ස්වරූපයන්ගෙන් පෙනී සිටින කාලෙකදි බුද්ධිමතුන්, මෝඩයන්, ගැමියන්, නාගරිකයන් විදිහට මිනිස්සු දිහා බලන එක අපේ මනක්කල්පිතයක් විතරයි. ඒ වෙනුවට අපි ජීවත් වෙන, ගනුදෙනු කරන, අදහස් හුවමාරු කරන ලේයර් එක, නැත්තං ස්වභාවය තීරණය කිරීම තමයි වඩා පැහැදිලි සළකුනු කිරීමක් වෙන්නෙ.

    අපි තෝරාගන්නේ රැවටිලිකාරීත්වය නම් අපි රැවටිලිකාර ජනතාවක් නිර්මාණය කරනවා. අපි තෝරගන්නෙ පිවිතුරු – නොකිලිටි බව නම් ඒ හරහා අපි දැඩි පාලනයක් සහ අධිපති ජනතාවක් නිර්මාණය කරනවා. අපි තෝරගන්නෙ නිදහස නම් අපි නිදහස් ජනතාවක් නිර්මාණය කරනවා.

    එතකොට රාජපක්ෂ යනු රැවටීමද, චම්පික යනු සුචරිතවාදයද, අනුර යනු ඔලුව ජපන් කඳ ජපන්ජබර කියන එකද බව අපිට තේරුම් ගන්න පුළුවන්.

    මේ තුනම එකම ජනතාවකගේ පැතුම. එකම ජනතාවකගේ අවුල.

  • කරුණු සහ හිතලු

    කරුණු සහ හිතලු

    අපි ගොඩක් වෙලාවට හිතන්නෙ අපි යම් යම් දේවල් ගැන ෆැක්චුවලි දන්නවා කියල. ඒ කියන්නෙ කරුණුමය කාරණා ගැන අධ්‍යනය කරලයි තියෙන්නෙ කියල. ඒත් එහෙම අපිට දෙයක් ගැන පූර්ණ කරුණුමය අවබෝධයක් පවතින්න පුළුවන්ද?

    උදා විදිහට වෙන රටක සිද්ද වෙන යම් සිදුවීමක් ගැන අපි ප්‍රවෘත්ති සහ විවිධ සාකච්ඡා ඇසුරෙන් අවබෝධයක් ගන්නවා. ඒත් ඒක ඒ රටේ ඇත්තටම සිදුවුනු සමස්තය ගැන අවබෝධයක් වෙනවද? රටක යම් දේශපාලන මොහොතකදී ඒ සංස්කෘතිය තුල ජීවත්වෙන මිනිහෙකුට ඇරෙන්න පිටස්තරයෙකුට ප්‍රවෘත්ති අනුසාරයෙන් ගත හැකි තේරුම් ගැනීම කොයිතරම් අල්පද? අපේ යුද්ධය ගැන වෙන රටක මනුස්සයෙක් කතා කරද්දි, කොටින්ම කොළඹ හිටපු කෙනෙක් උතුරෙ යුද්දෙ ගැන කියද්දි ඒවා කොයිතරම් වෙනස් අර්ථකතනද? හැබැයි ඒ හැම එකක්ම තාර්කිකයි. කරුණුමයයි. නැත්තෙ අවබෝධය කියන එක.

    අපි කිසිම කරුණක් දිහා අදහසක් නැතුව බලන්නෙ නෑ. අපිට කිසි දෙයක් එහෙම පේන්නෙ නෑ. ඒක මනුස්ස ඥානන ක්‍රියාවලියෙ හැටි. අපි කරුණු දිහා බලන්නෙ අදහසක් ඇතුව. කරුණුවලට කලින් අපේ එල්බගැනීම ඇතිවෙනවා. අපේ අදහස අනුව අපි කරුණු සංවිධානය කරනවා. යතාර්ථය ගොඩනගනවා. ඒ අනුව තර්ක කරනවා. හැමවෙලාවකම අපේ කරුණු ගොඩනැංවීමට හා සමාන කරුණුමය ගොඩනැංවීමක් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයටත් තියෙනවා. කොටින්ම ලෝකෙ ගෝලාකාරද පැතලිද නැද්ද කියන එක ගැන පවා කරුණුමය සංවාදයකින් කිසි කෙනෙක් අනෙකාව ජයග්‍රහණය කරන්නෙ නෑ.

    කරුණු කියන්නෙ අපේ හිතලුවට තියෙන ආයුධ. සටනෙදි අපි ඒවා පාවිච්චි කරනවා. හැඟීම්වලින් සටන් කිරීම කියන්නෙ බෙයාර් හෑන්ඩ් නැත්තං නිරායුධ සටන. කරුණු වගේම අපිට උපාධි, සහතික පිලිගැනීම් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් ඒ හැම එකක්ම අපේ හිතලුව කවර් කරන්න.

    කිසි කෙනෙකුට කරුණුමය හෝ වාස්තවික පදනමක් නැති අදහසක් පහල වෙන්නෙ නෑ. එහෙම වුනොත් ඒක ඔරිජිනල්ම ඔරිජිනල් අදහසක් වෙනවා. සමහර විට අපේ අදහසකට පාදක වෙන්නෙ කරුණුමය හෝ තාර්කික දේකට වඩා අත්දැකීමක් මූලික කාරණයක් වෙන්න පුළුවන්. විවිධ සංස්කෘතික කාරණා ගණනාවක් මත පදනම් වෙලා අපේ අදහස ගොඩනැ‍ගෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නෙ අපිට කොන්ටිටෙටිව් පදනමකට බැහැරින් කොලිටෙටිව් පදනමක් දරන්න පුළුවන්.

    ලෝකෙ විද්‍යා ප්‍රබන්ධ මත විද්‍යා සොයාගැනීම් සිද්ද වෙලා තියෙනවා. ප්‍රබන්ධමය යතාර්ථයන් පවතින යතාර්ථයන් බවට පත්වෙලා තියෙනවා. ගුවන්යානය වුනත් එහෙමයි. ඉගිල්ලීම ගැන හීනයක් ප්‍රබන්ධයක් විතරයි තිබුනෙ. කොවිඩ් වසංගතය වුනත් අපිට කාලෙකට කලින් පොතක කතාවක් විදිහට මුනගැහෙනවා. ඇත්තට කරුණුමය තර්කන කියන්නෙ සිදුවෙලා අවසන් දේට. ප්‍රබන්ධ නැත්තං හිතලු කියන්නෙ ඉස්සරහට වෙන්න පුළුවන් දේවල්වලට.

    කොවිඩ් එන්නත්කරණය උදාහරණයක් විදිහට ගමු. එන්නතෙන් කොවිඩ් පාලනය වෙනවා කියන එකට අධිපති විද්‍යාත්මක කරුණු කතිකාවක් තියෙනවා. එන්නත විශ්වාස නොකරන දේව භක්තිකයන් පිරිසකුත් ඉන්නවා. කොවිඩ් එන්නත වයිරස් විද්‍යාවෙ සිදුවුනු ලොකුම වරදක් බව කියන නොබෙල් සම්මානලාභී වයිරස විද්‍යාඥයනුත් ඉන්නවා. දැන් අපිට එන්නත ඵලදායී නොවේ කියන එක කරුණුමය වශයෙන් පරාජය කරන්න පුළුවන්ද?

    මිත්‍යා විශ්වාස පදනමේ ඉඳන් විද්‍යාත්මක කරුණු පදනමක් දක්වා මේ ඇන්ටි වැක්සර් කතිකාව පැතිරෙනවා. අනිත් පැත්තෙන් මිනිස් නිදහස, තමන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය වගේ කාරණා මූලික කරගත්ත දේශපාලන කතිකාවකුත් මෙතන තියෙනවා. එතකොට වැක්සින් විරෝධය හුදු හිතලුවක් කියල බැහැර කරන්න පුළුවන්ද? එහෙම හිතලුවක් නම් ඒක අධිකාරී බලයන් පාවිච්චි කරලා යටපත් කරන්න උත්සාහ දරනවා වෙනුවට කරුණුමය වශයෙන් පරාජය කරන්න පුළුවන් වෙන්න ඕන නේද?

    කිසිම දෙයක් කරුණුමය වශයෙන් අසත්‍යයි කියන්න බෑ. ඒකයි අවුල.

    මේක තව පැත්තක් තියෙනවා. කාලෙකට කලින් අනුරුද්ධ ප්‍රදීප් මාත් එක්ක සංවාදයකදි, ලෝකෙ කිසිම සිවිල් යුද්ධයක් එක පැත්තක් පරාජය කිරීමෙන් තොරව කෙලවර වෙන්නෙ නෑ කියල කියනවා. ඒ වෙලාවෙ උතුරෙ ප්‍රශ්නය වෙනුවෙන් අනුරුද්ධ යුධමය විසඳුමකුත් මම දේශපාලන විසඳුමකුත් පිලිගැනීම මත තමයි කතාව යන්නෙ. දැන් අනුරුද්ධ කියන කාරණය කරුණුමය වශයෙන් ඔප්පු කළ හැකි තර්කයක් වුනත් ඒක මානුෂීයව බාරගැනීම සුදුසු එකක්ද කියල ප්‍රශ්නයක් එනවා. සිවිල් යුද්ධයකදි මැරෙන්නෙ එකම රටක ජනතාව. ලෝකෙ මෙතුවක් කිසි දවසක සාකච්ඡාවෙන් සිවිල් යුද්ධයක් ඉවර නොවීම කියන්නෙ ඊළඟ මොහොතක එය සිදුවිය හැකිබව බැහැර කළ හැකි තත්වයක් නෙමෙයි. අල්ලපු වැටේ එකා එක්ක ඇතිවෙන රණ්ඩුව කතා කරලා විසඳගන්න පුළුවන් නම් යුද්ධයක් සාකච්ඡාවෙන් විසඳාගත හැකියි කියන උපකල්පනය සාධාරණ එකක්. ඔයා පොත්වල ලියල තියෙන කාරණා උඩම ප්‍රශ්නවලට විසඳුම් හොයන කෙනෙක් කියල මං ඒ වෙලාවෙ අනුරුද්ධට කියනවා. කරුණුමය පැත්තෙන් අනුරුද්ධගේ ස්ථාවරය හරි වෙන්න පුළුවන්. ඒත් පරණ විදිහට හැමදාම දේවල් විස‍ඳ‍ෙනවා කියල එකක් නෑ.

    චූලෝදර මහෝදර යුද්ධය බුදුන් සාමයෙන් විසඳුවා කියල අපි කතාවක් අහලා තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සර්වඥයි කියලත් අපි අහලා තියෙනවා. යුද්ධයක් සාමයෙන් විසඳිය නොහැකියි කියන එක බුදුන් නොදැන සිටියාවත්ද?

    ලංකාවෙ අපි දැනුම කියල සලකන්නෙ කරුණු. මේ හින්දම කරුණුමය දැනුම අධිතක්සේරු වෙලා තියෙනවා. ඒකෙන් සිද්ද වෙන නරකම දේ තමයි සියලු බුද්ධිමතුන් කියන පාර්ශ්වයන් කරුණු බුද්ධිමතුන් වෙන එක. ඒත් දැනුමේ ආකාර හතරක් තියෙනවා.

    පළවෙනි එක තමයි මේ කියන ෆැක්චුවල් නොලේජ් නැත්තං කරුණුමය දැනුම. පොතපතෙන්, ප්‍රවෘත්තිවලින් ලබාගන්නා සිද්ධිවාචක දැනුම. මේ දැනුම උඩ අපි තර්ක ගොඩනගනවා. ඒත් අපේ මොලේ තියෙන්නෙ ‍මේ විදිහෙ කරුණු ගබඩාගත කරන්න නෙමෙයි. ඒකට දැන් ඉන්ටර්නෙට් එක තියෙනවා.

    කාලෙකට කලින් සුනන්ද මහේන්ද්‍ර සහ එඩ්වින් ආරියදාස උගන්නපු ජනමාධ්‍ය පාඨමාලාවලකට ගියා. එතනදි සුනන්ද මහේන්ද්‍ර ආරම්භක දේශනය කරමින් මෙහෙම කතාවක් කිව්වා.

    ‘මේ ඉන්නෙ එඩ්වින් ආරියදාස ශූරීන්. ඇවිදින විශ්ව කෝෂයක්. ඕනම දෙයක් අහන පරක්කුවෙන් දන්නවා. හාර්ඩ් ඩිස්ක් එකක් වගේ දැනුම් තැන්පතුවක්. මං ඔය කිසි දෙයක් ඔලුවෙ තියාගෙන ඉන්නෙ නෑනෙ. ඕන වෙලාවට එඩ්වින් ආරියදාසට කතා කරලා අහගන්නවා. මං උනන්දු වෙන්නෙ සංකල්ප ගැන. තොරතුරු ගැන නෙමෙයි’

    දෙවෙනි දැනුම් ආකාරය තමයි කන්සෙප්චුවල් නොලෙජ් හෙවත් සංකල්පීය දැනුම. ඒ කියන්නෙ තොරතුරු හෝ අදහස් මත ගොඩනැගෙන සංකල්ප පිළිබඳ සාකච්ඡාව. න්‍යායාන් සහ ආකෘතීන් පිළිබඳ දැනුවත් බව. උදා විදිහට මට මාර්කටින් වලදි ‍තොරතුරුවලින් ඇති වැඩක් වෙන්නෙ නෑ. තොරතුරු විශ්ලේෂණය කරලා ඒවා ආකෘතිගත කළාට පස්සෙ ඒවා අතර වෙනස්කම් හා රටාවන් ඇසුරින් මතු කළ හැකි නව මානයන් තමයි වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ කන්සෙප්ට්ස්. සමාජ දේශපාලන සංකල්ප සහ න්‍යායන් ගැන සාකච්ඡාව එන්නෙ මෙතනදි.

    අපි සාමාන්‍ය කතාවෙදි කියනවා දෙයාකාරයක මිනිස්සු ගැන. එක පිරිසක් කවුරු හරි ගැන විස්තර කතා කරනවා. ඒ කියන්නෙ තොරතුරු කතා කරනවා. තව පිරිසක් ඒ කවුරු හරි ඇසුරෙන් සංකල්පයක් ගැන කතා කරනවා. ෆේස්බුක් එකේ මොනවා හරි දැම්මම බහුතර පිරිසක් ඒ පෝස්ට් එක දාපු එකා ගැන කතා කරනවා. ඒ තමයි තොරතුරු පිරිස. සුළුතරයක් ඉන්නවා ඒ මිනිහා කියන අදහස ගැන කතා කරනවා. ඒ තමයි කන්සෙප්චුවල් පිරිස.

    තුන්වෙනි දැනුම් කාණ්ඩය වෙන්නෙ ප්‍රොසිඩියරල් නොලේජ් කියන එක. ඒ කියන්නෙ යමක් ක්‍රියාවෙ යෙදවීමෙන් ලබන ප්‍රායෝගික දැනීම කියන එක. ඒක හැකියාවක්. ඒ ඇසුරෙන් ඒ අය දන්නවා තාක්ෂණයන් සහ විවිධ උපක්‍රමයන් දේවල් වඩාත් සාර්ථක කර ගත හැකි. කරුණු හෝ සංකල්ප දැනුමට වඩා ඒක පුහුණුවේ යෙදවීමේ දැනුමයි මෙතනදි අදාල වෙන්නෙ.

    හතරවෙනි කාණ්ඩයේ දැනුම තමයි මෙටාකොග්නිටිව් නොලේජ් නැත්තං පාරඥානනමය දැනුම. ඒ කියන්නෙ අපේ සිතීම් සහ අදහස් ඇතිවීම් ගැන සවිඥානක බව තුලින් ලබන දැනීම. පෙරදිග අතීතයේදි ගොඩක් ප්‍රචලිත දැනුම් ආකාරය වුනේ මේක. මේ අසුරෙන් අන් අය සිතන පතන වෙනස්කම්, ඒ අයගෙ සංස්කෘතික පසුබිම් ගැන සියුම් අවබෝධාත්මක ඥානයක් ලබනවා. මේක ඇතිවෙන්නෙ තමන්ම තමන් තුලට සිතීමෙන්. හිතලුවල ඔරිජිනල්ම තත්වය තියෙන්නෙ මෙතන.

    මේ දැනුම් ආකාරවලින් එකක් අනෙකට වඩා උසස් කියල එකක් නෑ. මේ සියල්ලම එක්කෙනෙකුට පිහිටන්නෙත් නෑ. යම් කාරණයක් ගැන මේ දැනුම් ආකාර හතරෙහි ප්‍රවීනයන් බලන විදි වෙනස්. ඒ සාකච්ඡාව තුලින් තමයි කාරණය ගැන සංයුක්ත දැනුමක් ගොඩැනැගෙන්නෙ.

    ඒ හින්ද අපේ සංවාදවල පදනම වෙන්න ඕන අනෙකාව කරුණුමය වශයෙන් පරාජය කිරීම නෙමෙයි ඒ වෙනුවට වඩා නිර්මාණාත්මක අදහසක් විවෘත කරන එක. ඒ ඔස්සේ තව අයව ඉන්ස්පයර් කරන එක. එහෙම ඉන්ස්පයර් වෙන සමහර කෙනෙක් ඒකට කරුණුමය පදනමක් ගොඩනගයි. තව කෙනෙක් ඒකට සංකල්පීය පදනමක් දෙයි. තවත් කෙනෙක් ඒකෙන් දේශපාලන මැදිහත්වීමක් දකී. ඒක සමාජයේ ප්‍රා‍යෝගික වීම ගැන කතිකාවන් ඇතිවෙයි. මේ විදිහට හිතලුවක් යතාර්ථයක් බවට පරිණාමය වෙයි.

    තර්කයකදි මේ මොහොතෙ කරුණුමය වශයෙන් ජයග්‍රහණය කරන්නෙ මළ මොහොතක්. නිර්මාණශීලී අදහස නෙමෙයි. ඒකට හේතුව ඒ ජයග්‍රහණය කරන කරුණුමය පදනමට මතවාදයක් හැටියෙන් ඒ මොහොතෙ ගොඩනැගිලා ති‍යෙන බලය. මේ මොහොතේ බලය හිමි කතිකාව කියන්නෙ ඊළඟ මොහොතේ මියැදෙන්න නියමිත අදහස. ඒ ගොලායත්ට ප්‍රතිවිරුද්ධව සටන් කරන ඩේවිඩ් නම් ගල්කැට කොල්ලා කියන්නෙ ඊළඟ මොහොත නිර්මාණය කරන අදහසට.

    අදහසක වැදගත් දේ කරුණුමය පදනම නෙමෙයි. යම් අදහසක් අපිට තේරෙනවා කියන්නෙම ඒකට කරුණුමය පදනමක් පවතිනවා කියන එකයි. එහෙම නැත්තං අපිට භාෂාවෙන් ඒක තේරුම් ගන්න බැරි වෙන්න ඕන. නිර්වාණය වගේ වෙන්න ඕන. ලෝකෙ තියෙන ඇත්තම හිතලු වෙන්නෙ නිර්වාණය සහ ස්වර්ගය වගේ කතන්දර. අපි බුදුන් හිතලු දේශනා කරනවා කියල කියන්නෙ නෑ. ඒ වෙනුවට මේ හිතලු අපි කරුණුමය, සංකල්පීය සහ දේශපාලනමය පදනම්වලට ගේන්න උපරිම උත්සාහ දරලා තියෙනවා.

    අදහසක වැදගත්ම දේ වෙන්නෙ ඒකෙ දිශානතියයි. ඒකෙන් මිනිස් සිතීම පළල් කරනවද, තවත් පටු කරනවද, සාමයේ දිශාවට යන ගමනක්ද, නැත්තං යුද්ධයේ දිශාවට අතවැනීමක්ද, නිදහසේ දිශාවට යන අදහසක්ද, වාරණයේ දිශාවට යන අදහසක්ද, බලය සංකේන්ද්‍රණ කරන තත්වයක්ද, බලය බෙදාහැ‍රෙන තත්වයක්ද, කොටින්ම ඒ අදහස හරහා කියන්න උත්සාහ කරන දේශපාලනය මොකක්ද කියන එකයි වැදගත්.

    ඒ හින්ද කරුණු පස්සෙ හදාගන්න පුළුවන්.
    (මේ ලිපියට ප්‍රස්තුත වුනේ අනුරුද්ධ ප්‍රදීප් සමග පැවති සාකච්ඡාව බැවින් එතුමාට ස්තුතිය පිරිනමමි)


    චින්තන ධර්මදාස

  • හැම පවුලකින්ම එක්කෙනෙක් හරි රට යවමු

    හැම පවුලකින්ම එක්කෙනෙක් හරි රට යවමු

    කාලෙක‍ට පස්සෙ අපේ චන්දන ප්‍රසන්නව හම්බුනා. රටේතොටේ දේශපාලනය ගැන කතා කර කර ඉන්න අතරෙ පාස්පෝට් ගන්න පෝලිම් ගැහෙන ජනසන්නිපාතය ගැනත් කතා වුනා.

    ‘පුළුවන්කමක් තියෙන හැමෝම වගේ යන සීන් එකක් තියෙන්නෙ. ලංකාවෙ ඉඳලා ගොඩඒමක් නෑ කියන එක පොදුවෙ ඇත්තක් විදිහට මිනිස්සු බාරඅරන් ඉවරයි..’

    චන්දන කියන්නෙ අමුම ඔබ්ජෙක්ටිව්, ඒ වගේම පෙසිමිස්ට්, ඒ හින්දම නරුම වගේ පේන, නමුත් තියුණු අදහස්ධාරියෙක්. විශේෂයෙන්ම දේශපාලනය ගැන උගේ කියවීම් හරිම අලුත්, මුවහත්.

    උඹ ඔය ටික ලියපංකො. නැත්තං වීඩියෝවක් කරපංකො.. මං නිතර ඌට කියනවා.

    ‘වැඩක් නෑනෙ බං. ඕවා හැමෝම දන්නවා’ ඌ නොකෙරෙනවාදය දානවා.

    ‘හැමෝම රට යනවා කියන එක රියැලිටියක් විදිහට ප්‍රසිද්ධියේ දේශපාලනිකව බාරගන්නයි තියෙන්නෙ’ චන්දනයාගෙ අදහස ඒක.

    ලංකාවෙ මිනිස්සු රට අතෑරලා යන එක දරුණු ප්‍රශ්නයක් විදිහටයි අපි සාමාන්‍යයෙන් දකින්නෙ. ඒ හින්දම මේ රටට ඔබව අවශ්‍යම මොහොතයි වගේ ඉමෝෂනල් බයිලා කෙලිමින් මේ රටේම ලගින්නට මිනිස්සු පෙළඹවීම තමයි රාජ්‍ය සහ දේශපාලනික මට්ටමෙන් සිද්ද වෙන්නෙ. රටේ මානව සම්පත රටට අහිමිවීමක් විදිහට තමයි මේ එක්සෝඩස් එක කියවමින් ඉන්නෙ.

    චන්දනගෙ යෝජනාව වෙනස්. මිනිස්සු පුද්ගලිකව තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ගන්න තීරණ රටක් හෝ ඒ වගේ ඇබ්ස්ට්‍රෑක්ට් සංකල්පයක් වෙනුවෙන් යටපත් කරන්න ඕන නෑ. ඒක කොහොමත් වෙන්නෙත් නැති අතර ඒක බොරුවක් විදිහට මාධ්‍යවල, සෝෂල් මීඩියාවල පාවෙවී තියෙනවා විතරයි.

    ඒත් ඇත්තටම මේ කඩාවැටෙන ආර්ථිකයට විසඳුම පුළුවන් තරම් අපේ මානව සම්පත වෙන රටවල ආයෝජනය කිරීම වෙන්න බැරිද?

    ලංකාවෙන් පිටරට යන මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්නෙ ලංකාව දිහා බලාගෙන. ලංකාවෙ සංස්කෘතියට මෙහේ ඉන්න අපිටත් වඩා නොස්තැල්ජික මරාගෙන මැරෙන ප්‍රේමයකින් ඉන්නෙ මේ ඩයස්පෝරා ශ්‍රී ලාංකිකයො. ඩයස්පෝරාව කිව්වම දෙමළ විතරක් නෙමෙයි ලංකාවෙන් ගිහින් වෙන රටවල ජීවත් වෙන සිංහල ප්‍රජාවත් අයිති වෙනවා.

    චන්දන ප්‍රසන්න

    මේ රටකට යන බහුතරයට තමන්ගේ සංස්කෘතික සහ දේශපාලන ජීවිතය කැප කරන්න සිද්ද වෙනවා. ඒ හින්දම ලංකාවෙ සංස්කෘතික දේශපාලන කලාපයත් එක්ක වැඩියෙන්ම අනුරාගයෙන් බැඳ‍ෙන්නෙ මේ අය. ඉන්ටර්නෙට් එක තියෙන හින්ද දැන් භෞතිකව නොහිටියත් මේ අහිමි අවකාශය සජීවීව ‍බෙදාගැනීමේ හැකියාව දැන් වැඩියි.

    තමන්ගේ වෘත්තීය හැකියාවකින් ඒ රටවල උපයන මුදල් මේ අය පවුල්වලට, නෑදෑයන්ට, හිතමිතුරන්ට එවනවා. සමහර අය පවුල් පිටින් ගොඩදානවා කියල එකක් කරනවා. පුළුවන් අය ඉඩකඩම් සහ වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කරනවා. නාට්‍ය චිත්‍රපටි තමන්ගේ රටවලට ගෙන්නගෙන ප්‍රදර්ශනය කරනවා. ආර්ටිස්ට්ලා ගෙන්නගෙන සංස්කෘතික ප්‍රසංග පවත්වනවා. ඇත්තටම මේ පිරිස ලංකාවෙ හිටියට වඩා විශාල මෙහෙවරක් ඒ රටවල ඉඳන් ලංකාව වෙනුවෙන් කරනවා.

    මැද පෙරදිග රටවලට යන ප්‍රවණතාවය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් යන්නෙ. ඒ වෙනුවට බොහෝ අය යුරෝපයට, ඇමරිකාවට, කැනඩාවට, ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට ආදී රටවලට යනවා. මේ රටවල දියුණු සංස්කෘතික ජීවිතය විඳිනවා. රටකට ගිය බයියෙක් වුනත් ලංකාවෙ බයියෙකුට වඩා යම් විවෘතභාවයක්, සංස්කෘතික දරාගැනීමක් ප්‍රකට කරනවා. ඇත්තටම හැම පවුලකින් එක දරුවෙක් හෝ බටහිර රටකට යවන්න පුළුවන් නම් මේ රටේ ලොකු සංස්කෘතික පෙරලියක් නොදැනීම සිද්ද වෙනවා.

    ‘හැම පවුලකින්ම එක දරුවෙක් හරි රට යවන්න අපේ ආණ්ඩුවක් යටතේ අපි පොරොන්දු වෙනවා..’

    මේක ප්‍රසිද්ධ චන්ද පොරොන්දුවක් කරන්න ඕන කියන එකයි චන්දනගෙ අදහස.

    ‘මංගල වගේ කෙනෙක් හිටියා නම් බය නැතුව ඔය වගේ එකක් කියයි. ඒත් මේකෙ වෙන කිසි එකෙකුට ඔහොම එකක් කියන්න තරමෙ කොන්දක් නෑ..’

    ඇත්ත ලංකාවෙ සීයට අනූවකටත් වඩා පිරිසක් බලාගෙන ඉන්නෙ පුළුවන් කොහොමෙන් හරි බටහිර රටකට පැනගන්න. අමුම අමු සිංහල බෞද්ධයෙක්වත්, කොමියුනිස්ට්කාරයෙක්වත් චීනෙට රුසියාවට‍ හෝ කියුබාවට පනින්න බලන් ඉන්නෙ නෑ. ඒක ඇත්තටම හොඳ තත්වයක්. අපි යටිහිතෙන් හරි ආශා කරන්නෙ වඩා නිදහස් සංස්කෘතික ජීවිතයකට.

    මේ ආශාව අපිට එලියෙ පිලිගන්න පුළුවන් නම්, ඒක ඇත්තක් විදිහට බාර අරගෙන, වෙන රටවල සේවා සඳහා සුදුසුකම් ඇති පිරිස් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒක කුසලතා අපනයනයක් විදිහට වාසිදායක වෙන්න පුළුවන්. නොදැනීම සංස්කෘතික පසුගාමීත්වයත් වෙනස් වෙන්න ඒක හේතු වෙනවා.

    චන්දනයාගෙ නරුමකමට ඌ තව කතාවක් කිව්වා.

    ‘දැන් මචං ඔය චීනෙට විරුද්ධව නිකං එන්ජීඕ වගේ ඒවට සල්ලි දාලා නාස්ති කරනවා වෙනුවට ඇමරිකාවට වුනත් තියෙන්නෙ ලංකාවෙ හැම පවුලකින්ම වගේ එකෙකුට එහේ රස්සාවක් දෙන්න. මොකක් හරි භූගෝලීය වැදගත්කමකට උන්ට ලංකාව වටිනවා නම් ඒක චීනෙ බලය ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන්ම ඉවර කරන්න පුළුවන් වැඩක්. පුතා ඇමරිකාවෙ ඉන්න හැම පවුලක්ම චීනෙට විරුද්ද වෙනවා. ඇමරිකාවෙ ආර්තිකය කියන්නෙ එතකොට ඒ පවුලට බලපාන ආර්තිකය වෙනවා. දන්නෙම නැතුව ලංකාවෙ හැම මිනිහෙක්ම ඓන්ද්‍රියවම චීනෙට විරුද්දවාදියෙක් එතකොට’

    කොහොමටත් අපේ රටේ මිනිස්සු මේ රටවලදි පකිස්ථානුවන්ට ඉන්දියානුවන්ට වඩා හොඳ විදිහක සම්බන්ධතා ඇතුව වැඩකරන ස්වභාවයක් ගැන පොදු විශ්වාසයක් තියෙනවා. විදේශිකයන් අතර යම් මට්ටමක ආචාර ධාර්මිකබවක් පිළිබඳ පිලිගැනීමක් ඇතිකරගෙන තියෙනවා. ඒ වගේම අයින්ස්ටයින්ලා වගේ ව්‍යවසායකයො බිහිකරනවා වෙනුවට නලින්ද සිල්වා කියනවා වගේ හොඳ අනුකාරකයන් බිහිකිරීමේ හැකියාවක් අපේ සිස්ටම් එකට තියෙනවා.

    ඉතින් මේක ආර්ථිකයක් නැත්නම් ආයෝජන මාර්ගයක් විදිහට දෙබිඩි නැතුව පිලිගන්න විතරයි තියෙන්නෙ. කොවිඩ්වලින් පස්සෙ ලංකාවෙ ආර්ථිකයට ඇතිවෙන ලොකුම ශක්තිය මේ පෝලිමේ රට යන ශ්‍රී ලාංකිකයන් වෙන්න පුළුවන්.

    අපි තව තවත් අය රට යන්න උනන්දු කරන්න ඕන. ඒ වගේම රට යන්න පුළුවන් තරමෙ හැකියාවන් සංවර්ධනය කරන්න ඕන. ඊළඟ චන්දෙදි හැම පවුලකින්ම රට යන දරුවෙක් හදන්න ‍මහපොලොවෙ පොරොන්දුවක් ජනතාවට දෙන්න ඕන.

  • ඒලියන්ත වයිට්ගේ සමුගැනීම

    ඒලියන්ත වයිට්ගේ සමුගැනීම

    මගේ ජීවිතය සම්බන්ධ තීරන ගැනීමේ අයිතිය වෙන පාර්ශ්වවලට පැවරෙන තැන් ගැන මං ගොඩක් සැලකිලිමත්. ඒක තනි පුද්ගලයෙක් මත පැවරෙන කිසිම තැනක් මං විශ්වාස කරන්නෙ නෑ. ඒ වෙනුවට ඒක ප්‍රශ්න කළ හැකි, වෙනස් කළ හැකි, කාලයත් එක්ක පර්‍යේෂනයට ලක්වුනු සම්ප්‍රදායකට පවරන්න මං කැමතියි.

    මං විකල්ප වෛද්‍ය ක්‍රම පිලිගන්නවා. ගොඩක් කැමැත්තෙන් ඒවායේ සරණ යනවා. මට රෝගයක් සම්බන්ධ ආර්ට් එක වැදගත් හින්ද. මාව යන්ත්‍රයක් වගේ නොසලකා මාව පුද්ගලයෙක්, සමස්තයක් විදිහට සලකන ප්‍රතිකාර ක්‍රම මං විශ්වාස කරනවා. ඒත් තනි පුද්ගලයෙක් විසින් මගේ ශරීරය පිළිබඳ ආධිපත්‍යය පවරාගන්න ලෑස්ති වෙන තැන් මං සැකයෙන් බැහැර කරනවා. ඒ වගේම මගේ ජීවිතේට සීමා පනවන විශ්වාස පද්ධතීන් දිහා අවඥාවෙන් බලනවා. ඒක සෞඛ්‍ය පිළිබඳ මගේ දේශපාලනය.

    ඒලියන්ත වයිට් කියන්නෙ ඒ වගේ තනි පුද්ගලයෙක් ජීවිත සම්බන්ධ බලයක් අත්පත් කරගත්ත තැනක්. හරියටම පැණි ධම්මික වගේම. ඒත් මං පැණි ධම්මිකට අකමැතියි. ඒලියන්ත වයිට්ට කැමතියි .

    වයිට් කියන්නෙ වැඩකාරයෙක්. එයාගෙ ඇදහිලිවන්තයො වුනෙ ප්‍රභූන්. ධම්මික ළඟට ආවා වගේ සරණක් නැති ලක්ෂ සංක්‍යාත ජනතාව නෙමෙයි වයිට් ළඟට ආවෙ. ඕන තරම්, ලෝකයේ ඉහලම ප්‍රතිකාර ගන්න පුළුවන් වත්කම් ඇත්තන් තමයි වයිට් හොයාගෙන ආවෙ. ඒක රැවටීමකට වඩා තෝරාගැනීමක්. අර ඩෙනිස් පෙරේරා කියනවා වගේ ඒලියන්ත වයිට් කියන්නෙ ආර්ටිස්ට් කෙනෙක්.

    මං ඉමේශ් රංගනගෙ සිංදුව ආපහු ඇහුවා. ඒක මං ආස සිංදුවක්. එතන ඉඳන් ඒලියන්ත වයිට් දිහා බැලුවා. ඒක කොහෙත්ම හිතාගන්න බැරි ප්‍රතිරූප දෙකක්. ඒත් මේ දෙකම එකම මිනිහෙකුගෙ නිර්මාණ. තමන්ව නැවත රීඉන්වෙන්ට් කරගැනීම සහ ඒකෙන් සාර්ථක වීම කියන්නෙ මං ඉතාම ගරු කරන දෙයක්. ඒකට සුවිශාල නිර්මාණශීලීත්වයක් ඕන වෙනවා.

    ඒලියන්ත වයිට් අපිට එකපාරට මුනගැහෙන්නෙ මහින්ද රාජපක්ෂ එක්ක. මහින්ද තමයි ඒලියන්ත වයිට්ගෙ බ්‍රෑන්ඩ් එම්බැසඩර්. මහින්ද සමහර ප්‍රභූන්ට තෑගි කරන්නෙ වයිට්ව. ඒක මාරයි.

    වයිට් කස්තුරි සහ ඔටුකිරි ගැන කතාවක් එක්ක මුලින්ම තමන්ගේ මිත්‍යා කලාපය නිර්මාණය කළා මතකයි. ඊට පස්සෙ අපි එක දිගට වයිට්ගේ ප්‍රාතිහාර්යයන් දැක්කා. දහස් ගනං මිනිස්සු තමන්ගේ ආබාධයන්ට වයිට්ගෙන් බෙහෙත් ගන්න බැරුව තැවුනා. ඒලියන්තගෙ ඒ නැරටිව් එක විශිෂ්ට එකක්. තමන්ගේ මැනික්හින්න පළාතේ ගුරුකම් උරුමයත් එක්ක එක එක බෙහෙත් වට්ටෝරු, කුන්ඩලිනී ශක්තීන් මුහුකරගෙන එයා තනි විෂයක් ප්‍රබන්ධ කරනවා.

    සමහරක් වයිට්ගෙන් බෙහෙත් අරගෙන මැරෙනවා. ඒත් බෙහෙත්වල ගුන කියන බහුතරයක් තාමත් ඉන්නවා. රටේ සියලු සහතිකලත් වෛද්‍යවරුන් පරද්දලා වයිට් ජාතියේ මහා වෛද්‍යවරයා වෙනවා. කිසිම වෛද්‍ය මණ්ඩලයක් වයිට්ව ප්‍රශ්න කරන්නෙ නෑ.

    මොකක් හරි හේතුවක් හින්දා කාලයක් යද්දි වයිට් ෆේල් වෙන්න ගන්නවා. ඒක වයිට්ගේ ක්‍රම පරීක්ෂාවකට ලක්වීම හෝ කවුරුන් හෝ අභියෝග කිරීමෙන් නිසා සිදුවූ දේකට වඩා මොකක් හෝ අභ්‍යන්තරික සිස්ටමික අර්බුදයක් වීමේ ඉඩ වැඩියි.

    ඊට පස්සෙ වයිට් කොවිඩ් වෙනුවෙනුත් තමන්ගේ ප්‍රසාංගික පෙලහරක් පෑවා.

    අපි මේ වගේ ආර්ට්වල ඇත්ත නැත්ත හොයන්න යන එකෙන් වෙන්නෙ ආර්ට් එක මගඇරෙන එකයි. ඒ මනුස්සයාගෙ විශිෂ්ටත්වය මගහැරෙන එකයි.

    අඩුගානෙ වයිට් තමන්ගෙ ආර්ට් එකට අවංක වුනු වග සටහන් කරන්න ඕන.

    වෙදකම කෙසේ වෙතත් ඒලියන්ත වයිට් කියන්නෙ මං ආඩම්බරයට පත්වෙන ආර්ටිස්ට් කෙනෙක්. එයා කරමින් හිටියෙ අපේ රටෙන් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් ආර්ට් එකක්.


    චින්තන ධර්මදාස