මිනිසාගේ පැවැත්මේ තේරුම මොකක්ද, ඒකෙන් කාට හෝ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියල අචල සොලමන්ස් පෝස්ට් එකක් දාලා විමසලා තිබුන. මේක ඉතිං අතිදාර්ශනික ප්‍රශ්නයක්නෙ. එක්කො දර්ශනයෙන් නැත්තං ආගමෙන් මිනිස්සු මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා. ඒ ගැන චන්දන ප්‍රසන්න මෙහෙම අදහසක් ලියලා තිබුන.

“තේරුම” කියන්නෙත් මිනිස්සු විදියට අපි හදාගත්ත සංකල්පයක් නිසා අපෙන් බාහිර ව “තේරුමක්” කියල එකක් (අඩු තරමේ අපි මේ “තේරුම” කියල හිතන ජාතියෙ තේරුමක්) හොයන එක තේරුමක් නෑ, මම හිතන්නෙ.

හැබැයි අපි දැනට දන්න විදියට මෙහෙම “තේරුමක්” ගැන හිතන්න පුළුවන් එකම සත්ත්ව වර්ගය අපි නිසා, එහෙම හිතන්න බැරි අනිත් සත්ත්ව වර්ග ජීවත්වෙන එකේ තේරුම මොකක්ද කියල බලන එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්.

පේන විදියට උන්ගෙ පැවැත්⁣මෙ එකම “තේරුම” පැවැත්ම ම තමයි: ජීවයක් විදියට නොනැසී පැවතීම සහ තමන්ගෙන් පස්සෙ ඒ ජීවය තවදුරට ගෙනියන්න පුළුවන් ජීවියෙක් බිහිකිරීම. Survival and breeding.

හැබැයි උන්ට ඒ ක්‍රියාවලිය ප්‍රශ්නකරන්න බෑ. ස්වභාවික ඉවකින් ඒක කරගෙන යනව විතරයි.

හැබැයි අපි මිනිස්සු විදියට භාෂා ලෝකයක් හදාගෙන තියෙන නිසා අපට පුළුවන් මේවා වියුක්ත සංකල්ප විදියට අරන් මේ විදියට කතාකරන්න. ඒ වගේ ම ඕන නම් අර ස්වභාවික ඉවෙන් කියන දේට වෙනස් දෙයක් කරනව කියල තීරණය කරන්න.

දැනට අපි දන්න විදිය⁣ට මේ වගේ ඇබ්ස්ට්‍රැක් කන්සෙප්ට් හිතන්න පුළුවන් ගාණට භාෂාවක් හැදෙන්නෙ දැනට අවුරුදු ලක්ෂෙකට විතර කලින්. ඒ කියන්නෙ පරිණාමික ඉතිහාසයත් එක්ක ගත්තොත් අපි තාම “ඇටෙන් පොත්තෙන් එළියට ආවා” විතරයි. පොඩි ළමයෙක් මුලින් ම වචන කීපයක් ඉගෙනගත්තම වගේ අපි මේ විදිය⁣ට ඒ සංකල්ප එක එක විදියට පාවිච්චි කරන්න ට්‍රයි කරමින් ඉන්නවා.

ඉතිං මම හිතන්⁣නෙ “ඇටෙන් පොත්තෙන් එළිය⁣ට ආපු ගමන්” නිසා අපට තාම මේකේ තේරුම මොකක්ද වගේ දේවල් තේරුම්ගන්න අමාරු නම්, තියෙන සේෆ් ම ඔප්ෂන් එක තමයි අපි මීට කලින් පැවතුණු විදිය, එහෙම නැත්තම් අනිත් සත්තු දැනටත් පවතින විදිය ගයිඩ්ලයින් එකක් විදියට තියාගෙන හෙමීට ඉස්සරහට යන එක. මිනිස්සු විදියට (කවද හරි, පුළුවන් වුණොත් ) අපට මේක ගැන මීට වඩා ස්ථිරසාර අදහසක් නිර්මාණය කරගන්න පුළුවන් කාලයක් එනකල්. මොකද පැවැත්ම ගැන, පැවැත්මේ තේරුම ගැන කතාකරන්න නම් ඔක්කොටම කලින් අපි පවතින්න එපායැ.

ඒ කියන්නෙ අපට පේන විදිය⁣ට අනිත් හැම සතෙකුගෙ ම පැවැත්මේ “තේරුම” ඒ සත්ත්ව වර්ගයේ, එහෙම නැත්නම් ජීවයේ අඛණ්ඩ පැවැත්ම නිසා, මිනිස්සු කියන සත්ත්ව වර්ගයේ සහ සමස්තයක් විදියට ජීවයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන එක තමයි අපේ පැවැත්මේ අල්ටිමේට් “තේරුම” කියල අපට හිතන්න පුළුවන්. අඩු තරමේ ඊට වඩා සෑහීමකට පත්වෙන්න පුළුවන් “තේරුමක්” හොයාගන්නකල්.

චන්දනගෙ අදහස හරිම මැදිහත් උද්දච්ඡ නැති එකක්. පැවැත්මේ තේරුම හොයන්න යනවා වෙනුවට පැවැත්ම තුලින් පැවැත්මට තේරුම් තනා ගැනීම. ඒ තේරුම් සමග පරිණාමය වීම. මට හිතන්නෙ පැවැත්ම යනු කුමක්ද කියන ප්‍රශ්නය අහන නැරටිව් එකේ අර්බුදයක් තියෙනවා කියල. ආර්ට් යනු කුමක්ද කියල අහන කතිකාවෙම දිගුවක් ඒක. ආර්ට් එකක් කුමක්ද යන අදහසක් දෙන්න බෑ. ඒක අර පණිවුඩ දෙන කලාව. ආර්ට් එකක් කියන්නෙ ආත්මීය විඳීමක්. ඒ විඳීම ඇසුරෙන් අපිට විවිධ සංකල්ප නිර්මාණය කරගන්න පුළුවන් . ඒත් ඒකෙන් ඒ ආර්ට් එක විස්තර වෙන්නෙ නෑ. ඒක විඳීමක්. ඒ විඳීම බෙදාගන්න පුළුවන් . ඒත් කුමක්ද වර්ගයේ භාෂාත්මක මැදිහත් වීමකින් ඒකට කිසි දෙයක් කරන්න බෑ, දේශපාලන මුහුණුවරක් දෙනවා ඇරුනම.

එහෙම කරන එකේ කිසි වරදක් නෑ. ඒත් ඒක පැවැත්මේ ස්වභාවය කියන දාර්ශනික ප්‍රශ්නයේ පැවැත්ම පවත්වාගෙන යන්න කරන දායක වීමක් විතරයි. අපි හොයන්නෙ අර්ථයක් නම් ඒ අර්ථය අපිට නිපදවා ගන්න පුළුවන් . ජාතිය ගොඩනැගීම, පරපුර රැකගැනීම , නිවන් අවබෝධ කරගැනීම මේ ඕන තේරුමක් අපිට නිර්මාණය කරන්න පුළුවන් . ඒ නිර්මාණය ඇතුලෙ අපිට නිර්මාණාත්මක පැවැත්මක් ගොඩනගන්න පුළුවන් . ඒ වගේ පැවැත්මන් අනන්ත සංඛ්‍යාවක් එකවිට අතිපිහිත වෙමින් පවතිනවා. අපි ඒකට ජීවිතය කියල කියනවා. ඒ ජීවිතය විඳලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ට්‍රිප් එකක්.

ට්‍රිප් එකක තේරුම මොකක්ද ? එහෙම එකක් අහන්නෙ කවුද ?