අද යාලුවෙක් එක්ක කතා කර කර ඉඳිද්දි ඉන්ටලෙක්චුවල්ස්ලා ගැන කතාවක් ඇදුනා. යාලුවාගේ අදහස වුනේ ඉන්ටලෙක්චුවල්ස්ලා ඒ කියන්නෙ බුද්ධිමතුන් කියන පිරිස අතෑරලා සාමාන්‍ය පොදු ජනයා කියන අය එක්ක දේශපාලනය කරන්න ඕන කියන එක. ඒ අයට කතා කරන්න ඕන, ඒ අයගෙ භාෂාව තේරුම් ගන්න ඕන කියල දැඩි හැඟීමක් එයාට තිබුන. ඒකට එයා කිව්වෙ මහපොලොවෙ දේශපාලනය කියල.
මගේ අදහස වුනේ එහෙම මහ පොලොවක් කියල එකක් නෑ කියන එක. ඒ මහපොලොව කියන්නෙම යාලුවාගේ ඉන්ටලෙක්චුවල් ෆැන්ටසියක් කියන එක. මේ ඉන්ටලෙක්චුවල්ස්ලා කියන මානව ප්‍රභේදයත් එහෙම නොවන පොදු ජනයා කියන මානව ප්‍රභේදයත් දෙකම නිර්මාණය වෙන්නෙ යාලුවාගෙ ඔලුව ඇතුලෙ කියන එකයි මට පැහැදිලි කරන්න ඕන වුනේ.
ඇත්තටම එහෙම විවිධ මනුස්ස ජාති දෙකක් නෑ. ඉන්නෙ එක ජාතියක්. ඒ එකම ජාතියක් දරන විවිධ කොලිටීස් ගැනයි අපි පුද්ගලාබද්ධ කරලා කතා කරන්නෙ. ඉන්ටලෙක්චුවල්ස්ලා නෑ. තියෙන්නෙ ඉන්ටලෙක්චුවලිටි එකක්. බුද්ධිමය ස්වභාවයක් . ඒ වගේම ස්ටුපිඩිටි නැත්තං ඕර්ඩිනරිටි කියන ස්වභාවයනුත් පවතිනවා. ඒවා එකම මනුස්සයෙක් තුල විවිධ අවස්ථාවල පිහිටනවා. අපි මේ ස්වභාවයන් පුද්ගල පෞර්ෂයන් විදිහට අඳුරගන්න එක අර්බුදයක්.
ඕෂො මේක ලස්සනට විස්තර කරනවා. ඩාන්සර් හෙවත් නටන්නෙක් නෑ. නැටුම විතරයි පවතින්න පුළුවන්. පුද්ගලයා එක අවස්ථාවක නැටුමක් බවට පත්වෙනවා. නැටුම නැති වුනාම නටන්නෙක් ඉතුරු වෙන්න බෑ. බුද්ධ කියන්නෙත් ඒ වගේම ස්වභාවයක්. කෙනෙක් බුද්ධ ස්වභාවය බවට පත්වෙනවා. ඒ ස්වභාවයෙන් එලියට ආවම බුදුන් කියල කෙනෙක් නෑ.
අපි විසින් ආමන්ත්‍රණය කරන්නෙ මොන ස්වභාවයටද කියන එකයි වැදගත් වෙන්නෙ. අපි මනුස්ස ගනුදෙනුවක් කරද්දි අපිට පුළුවන් ඒ ස්වභාවය තෝරගන්න. මේ තෝරාගැනීමෙන් එකක් අනෙකට වඩා හොඳයි හෝ උසස් කියල එකක් අපිට කියන්න බෑ. අපි අනෙකාගේ ආමන්ත්‍රණය කරන්නෙ කුමන මනුෂ්‍ය ස්වභාවයටද කියන එක විතරයි තේරුම් ගන්න වෙන්නෙ.
එතනදි අපි බුද්ධිමය ස්වභාවයට ආමන්ත්‍රණය කරනවා කියල තීරණය කලොත් ඒ කියන්නෙ අපි අනෙකාගේ තාර්කිකත්වයත් එක්ක ගනුදෙනු කරනවා කියන එක. අපි පොදු ජනයාට නැත්තං ගැමියාට ආමන්ත්‍රණය කරනවා කියල තීරණය කළොත් ඒ කියන්නෙ අපි ගනුදෙනු කරන්නෙ අනෙකාගේ අතාර්කිකත්වයත් එක්ක. නොදන්නාකමත් එක්ක.
අපි නිතර පුරුද්දට කියන විදිහට නගරෙ සහ ගමේ කියල මිනිස්සු දෙකොටසක් නෑ කියන එකයි මගේ අදහස. ඒක හුදු මතුපිට ස්වරූපයක්. ස්ටීරියො ටයිප් එකක්. ඇත්ත කාරණය වෙන්නෙ නාගරිකයා ඇතුලෙමයි ගැමියා ඉන්නෙ. ගැමියා ඇතුලෙමයි නාගරිකයා ඉන්නෙ.
හැබැයි අපි අනෙකාව ආමන්ත්‍රණය කරන්න තෝරගන්න ඒ ස්වභාවය නැත්තං කොලිටිය අපේ දේශපාලනය නම් නිශ්චිතව සලකුණු කරනවා.
රාජපක්ෂලා හැඟීමෙන් වැඩ කරන ගැමියා තමන්ගේ ආමන්ත්‍රණය කරගත්තා. නයි නැටෙව්වා, ධාතු වැඩමෙව්වා, පැණි පෙරෙව්වා. ඒ රාජපක්ෂලාගේ දේශපාලනය තියෙන තැන. ගමෙන් පටන් ගමු කියල ජවිපෙ හැරෙද්දි හිනායන්නෙ ඒකයි. ගම කියන්නෙ අතාර්කිකත්වයට. ඒක පළාතක් නෙමෙයි මානසික කලාපයක්.
ජවිපෙ කතා කරන ගම තියෙන්නෙ නාගරිකයාගේ ඔලුවෙ. ඒක හරියටම අනුර කුමාර කියන්නෙ නිර්ධන පාංතිකයෙක් කියල හැදිලා තියෙන හිතලුව වගේම එකක්. අනුර කුමාර නිර්ධන පාංතිකයෙක් වෙන්නෙ ඒ ජවිපෙ පාක්ෂිකයන්ගෙ ඔලුවෙ විතරයි. ඒක ෆැන්ටසියක්. අනුර එහෙම නෑ.
දැන් අනුරගෙ පුතා නයිට් ක්ලබ් එකක බීලා ඩාන්ස් කරපු එක ගැන ලොකු ප්‍රචාරයක් යනවා. නිර්ධන පාංතික අනුර ස්වභාවය ඇත්තක් කියල බාරගත්ත අය මේකෙන් අවුල් වෙනවා. නයිට් ක්ලබ් යන පුතෙක් ඉන්න අනුර කෙනෙක් ඒ අයට අනුව පවතින්න බෑ. ඒ අතරෙ තව තැනක පාඨලී දිවයිනට කතා කරනවා. මං නං ක්ලබ් යන්නෙ නෑ, බොන්නෙ නෑ කියනවා. පාඨලීගේ ඔලුවෙ දිවයින පාඨකයෙක් කියල කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ දිවයින පාඨකයාම ෆේස්බුක් එකේදි වෙනස් වෙනවා. ඒ දිවයින පාඨකයාම රෑට හොරෙන් නයිට් ක්ලබ් යනවා. ජවිපෙ පාක්ෂිකයන්ගෙ ඔලුවල තියෙන අනුර ස්වභාවය වගේම තමයි පාඨලීගේ ඔලුවෙ තියෙන දිවයින ස්වභාවයත්.
මේක හැමදේකදිම එහෙමයි. දැන් අපිට මේ ඇත්ත කණට ගහලා වගේ පේනවා. සාමාන්‍ය ජනතා ස්වභාවය නන්නත්තාර වෙනවා. මුස්ලිම් බෞද්ධ අන්තවාදය පෝෂණය කරපු බොදුබල සේනාව අද එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික නායකත්වය දෙනවා. එංගලන්තෙ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත පාදෙණිය පිටිකිරි බීමෙන්, ගවමස් කෑමෙන් ආයුෂ අඩුවෙනවා කියනවා. අතීත මුතුන්මිත්තො මස් කෑවෙ නැති නිසා අවුරුදු සීය එකසිය පණහ ජීවත් වුනා කියනවා.
මේ හැමතැනදිම අපි දකින්නෙ අපි යම් තත්වයන් ස්වභාවයන් මනුස්සයන්ට ඝනීභූත කිරීමේ අවුල. ඒක තත්වයක් පෙනී සිටීමක් විදිහට ගත්තම අපිට තේරුම් ගන්න වෙන්නෙ ඒ අය කරමින් ඉන්න දේශපාලනය කියන කාරණය විතරයි.
උදා විදිහට අනුරට දැන් කියන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් පුතා නයිට් ක්ලබ් ගියේ නෑ කියන්න පුළුවන්. නැත්තං පුතා නයිට් ක්ලබ් ගියාට මං එහෙම නෑ කියන්න පුළුවන්. තුන්වෙනුව කොල්ලො කෙල්ලො නයිට් ක්ලබ් යන එක විනෝද වෙන එක අවුලක් නෑ කියන්න පුළුවන්. මේ තැන් තුනේදි අනුර කතා කරන්නෙ ස්වභාවයන් තුනකට. පලවෙනි එකේදි ගැමි ස්වභාවයට. මොකක් හරි වරදක් වුනොත් ඒක කළේ නෑ කියලම පරසක්වල ගැසීම. ඇගෙන් සද්දෙන් වැඩේ ගොඩදාන එක. ඒක ගොඩක් මහින්දට ළඟයි. මේ වෙද්දි ජවිපෙ සාමාජිකයො තෝරාගෙන ඇති බවක් පේන්නෙ ඒක.
දෙවෙනි එක ප්‍රබුද්ධ ස්වභාවය. පුතාට හිමිවන නිදහසත්, තමන් පෙනී සිටින වික්ටෝරියානු බෞද්ධ මූලධර්මත් එකට පරිස්සම් කිරීම. අර මගුල්ගෙවල්වල කාමරේ ඇතුලෙ හොරෙන් බොන්න දෙන වැදගත්කම. චම්පික ක්ලබ් යන්නෙ නෑ කියද්දි 43 කල්ලිය චම්පික එහෙම වුනාට එයා අපි ජොලි කරනවට විරුද්ද නෑ කියන්නෙ ඒකයි. ජවිපෙ තරමක් දියුණු වගේ පෙන්නන්න හදන කට්ටිය ඉන්නෙත් මේ ලයින් එකේ.
තුන්වෙනි එක ලිබරල් නාගරික ස්වභාවය. මංගල මැරුනට පස්සෙ ඒකට උදාහරණයක් ලංකාවෙ නෑ. ඇපොලිජිටිකල් නැතුව ලෞකික නිදහස වෙනුවෙන් පෙනී සිටීම. අනුර මෙතන හිටගනී කියල කොහෙත්ම හිතන්න බෑ. ඒක මිනිස් නිදහස පිලිගැනීමක් වගේම සාම්ප්‍රදායික හණමිටි පිලිගැනීම් අභියෝග කරන ස්වභාවයක්. අනුරට පුළුවන් මේ ස්වභාවයන් තුනෙන් ඕනම එකකට ආමන්ත්‍රණය කරන්න. ඒක අනුරගේ දේශපාලන තෝරාගැනීම වෙනවා. ඒ තමයි අනුර කතා කරන ජනතාව.
එතකොට අනුර විසින් යම් නිශ්චිත පිරිසක් තෝරගන්නවා නෙමෙයි. මේ සියල්ල එකම පිරිස තුල එකවිට පවතිනවා. තමන් ප්‍රමුඛ කොට ගන්නෙ මොන ස්වභාවයද, ඒ හරහා තමන්ගේ දේශපාලන අරමුණ මොකක්ද කියන එක විතරයි කතන්දරය. පලවෙනි එකේදි අරමුණ වෙන්නෙ රැවටීම හරහා බලය. දෙවෙනි එකේදි අරමුණු වෙන්නෙ පිවිතුරු බව හරහා නොකිලිටි බව හරහා බලය. තුන්වැන්නෙ අරමුණ වෙන්නෙ නිදහස හරහා බලය.
අපි ආමන්ත්‍රණය කරන තැන අපි ජනතාව නිර්මාණය කරනවා.
මේ ඉන්ටර්නෙට් යුගයෙදි, එකම මිනිහෙක් ප්‍රොෆයිල් ගානක් හරහා එක් එක් ස්වරූපයන්ගෙන් පෙනී සිටින කාලෙකදි බුද්ධිමතුන්, මෝඩයන්, ගැමියන්, නාගරිකයන් විදිහට මිනිස්සු දිහා බලන එක අපේ මනක්කල්පිතයක් විතරයි. ඒ වෙනුවට අපි ජීවත් වෙන, ගනුදෙනු කරන, අදහස් හුවමාරු කරන ලේයර් එක, නැත්තං ස්වභාවය තීරණය කිරීම තමයි වඩා පැහැදිලි සළකුනු කිරීමක් වෙන්නෙ.
අපි තෝරාගන්නේ රැවටිලිකාරීත්වය නම් අපි රැවටිලිකාර ජනතාවක් නිර්මාණය කරනවා. අපි තෝරගන්නෙ පිවිතුරු – නොකිලිටි බව නම් ඒ හරහා අපි දැඩි පාලනයක් සහ අධිපති ජනතාවක් නිර්මාණය කරනවා. අපි තෝරගන්නෙ නිදහස නම් අපි නිදහස් ජනතාවක් නිර්මාණය කරනවා.
එතකොට රාජපක්ෂ යනු රැවටීමද, චම්පික යනු සුචරිතවාදයද, අනුර යනු ඔලුව ජපන් කඳ ජපන්ජබර කියන එකද බව අපිට තේරුම් ගන්න පුළුවන්.
මේ තුනම එකම ජනතාවකගේ පැතුම. එකම ජනතාවකගේ අවුල.