ලිබරල්වාදය ගැන ලංකාවෙ කතාවෙන්නෙ අඩුවෙන්. වෙන ටිකත් වෙන්නෙ ගොඩක් වෙලාවට සෙක්ස් සම්බන්ධ ප්‍රශ්නයක් ආවම බනින්න. උඹලගෙ ලිබරල් නිදහස හරියන්නෙ නෑ කියන්න. අපි රටක් විදිහට ලිබරල් රාමුවක් ඇතුලෙ වැඩ කළාට ඒ වටිනාකම් ගැන දැනුමක් රටේ මිනිස්සුන්ට නෑ. ඒ රාමුව අපේ පොලොවට සම්බන්ද නෑ.  ඒක හින්ද ගොඩක් වෙලාවට එන්ජීඕකාරයො, විදේශීය කුමන්ත්‍රණ කියල ගුටිකන්න තමයි නියමිත. අනිත් රටවල බලපෑම හින්ද ආරක්ෂා කරනවා මිසක් ලිබරල් මූලධර්ම රටේ කාටවත් ඕන නෑ. හරියට බුදු දහම වගේමයි. නමට තිබුණට කාටවත් ඒකෙ හරයන්ගෙන් ඇති වැඩක් නෑ. බුදුන් දේශනා කළාට පෘතග්ජන ජීවිතේ ඕවා බෑ.

මේක ලිබරල්වාදයේ ආධ්‍යාත්මික නිවහන කියල කියන ඇමරිකාවෙත් මෙහෙමයි. බටහිර ලිබරල් මතවාදය දැවැන්ත අභියෝගයකට ලක්වෙලා තියෙනවා. එක පැත්තකින් බලවත් වෙන චීනය ලිබරල් අදහස්වලට ඔලොක්කුව දානවා. අනිත් පැත්තෙන් රට ඇතුලෙම ජාතිකවාදී දක්ෂිනාංශිකයො සහ අන්තගාමී ලිබරල් වම මේ අදහස් යටපත් කරන්න සටන් කරනවා.

මේ බටහිර ලිබරල්වාදයේ දෝෂය ගැන ඉකොනොමිස්ට් සඟරාවෙ හොඳ ලිපියක් තිබුන. බටහිර ශිෂ්ටාචාරය පදනම් වුනු නිදහස මූලික මේ අදහස් පද්ධතිය බිඳවැටෙයිද කියන කාරණය ඒකෙ සාකච්ඡා කරලා තිබුන. මේ සටහන පදනම් වෙන්නෙ ඒ සාකච්ඡාව මත.

ලිබරල්වාදය කියන්නෙ මිනිස්සු අතර සංවාදයෙන් සහ විවිධ සමාජ ප්‍රතිසංස්කරණ හරහා මානව ප්‍රගතිය අත්පත් කරගන්න පුළුවන් කියල විශ්වාස කරන දර්ශනයක්. මෙතනදි ලිබරල්වාදීන් සමා‍ජයේ සංවර්ධන පිමි පනින්න කාරණා තුනක් පාවිච්චි කරනවා. පුද්ගල ගරුත්වය, ඒ කියන්නෙ පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම- රජයෙන් හෝ ඒකාධිකාරයන්ගෙන් බාධා නොවෙන විවෘත වෙළඳපොල – ඊළඟට දුර්වල ආන්ඩුව. නැත්නම් කුඩා වූ රාජ්‍ය බලපෑම. මේ කාරණා තුන හරහා තමයි ලිබරල්වාදය ලෝකෙ මේ අද අපි අත්පත්කරගෙන විඳින සුවිශාල දියුණුව නිර්මාණය කළේ. අවුරුදු 250ක් පුරා ලිබරල්වාදය විසින් ලෝකෙ පුරාම හිතාගන්න බැරි තරමෙ සංවර්ධනයක් ඇති කළා. ඒ වගේ මතවාදයක් මේ වගේ සරලව ලෝකෙන් තුරන් වෙලා යයි කියල හිතන්න අමාරුයි. නමුත් දරුණු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියන එක ඇත්තක්. මේක හරියටම අවුරුදු 100ට කලින් යුරෝපයේදි මුහුණ දුන්නා හා සමානම අර්බුදයක්. ඒ කාලෙ එක පැත්තකින් ‍බොල්ෂෙවික්වාදයයි, අනිත් පැත්තෙන් නාසිවාදයයි යුරෝපය තුලම වර්ධනය වෙද්දි බටහිර ලිබරල්වාදය මේ වගේම අවුලකට ගියා.

චීනයට අනුව ආත්මාර්ථය මුල් කරගැනීම, සුඛපරම වීම, ඉතාම අස්ථාවර වීම හින්ද  ලිබරල්වාදය ඉවර වෙන්න යනවා. ඇමරිකාවෙ දක්ෂිනාංශිකයන්ට සහ වාමාංශිකයන්ට අනුව ප්‍රභූවාදයක් වූ ලිබරල්වාදය එහි අවසානය කරා යමින් ඉන්නවා. ඇමරිකාවෙ මේ තත්වය දරුනුයි. පසුගිය සතියක තවමත් පවතින ගබ්සා විරෝධී නීතිය ඉවත් කිරීම ඇමරිකානු සුප්‍රිම් උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනවා. ට්‍රම්ප්වාදී දකුනෙන් ලිබරල්වාදය හොඳටම බැටකනවා.

ඇමරිකාවෙ තත්වයත් පුදුම විදිහට ලංකාවට සමානයි.  ජාතිකවාදී දක්ෂිනාංශිකයො, හරියට අපේ පොහොට්ටුව වගේම විද්‍යාව, නීතිය වගේ දේවල් පිලිගන්නෙ නෑ. තර්කයට, දත්ත වලට වඩා ගෝත්‍රික, සමූහ ඉමෝෂන්වලින් තමයි දුවන්නෙ.

අනිත් පැත්තෙන් ලිබරල් කඳවුර ඇතුලෙම ඉන්නවා ලිබරල් නොවන වමක්. මේ වම බිහිවුනේ සමාජයෙ ඉහළ ස්ථරවල පවුල්වල දරුවන්ගෙන්. කැම්පස් ඇතුලෙන් මේක පටන් ගත්තෙ. මීඩියා, බිස්නස්, පොලිටික්ස් හැම තැනකම ඉහළම තැන්වලට බලපෑම් කරන්න මේ අයට සම්බන්ධතා තියෙනවා. ට්විටර් කොමියුනිටි එකේ වැඩිපුරම ඉන්නෙ මේ පිරිස. පොලිටිකල් කරෙක්ට්නස් තමයි ඒ ගොල්ලොන්ගෙ මෙහෙයුම.

මේ අය සමාජය ඇතුලෙ අනාරක්ෂිතයි කියන හැඟීමක් නිර්මාණය කළා. සමාජයේ පීඩිතයන්ගේ අලුත් කුල ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ කියන්නෙ කලු කියන එකට වඩා මුස්ලිම් කියන එක පීඩිත කුල අතර ඉහලයි. සමහර විට කාන්තාවක් වීමට වඩා ආබාධිත වීම හෝ ට්‍රාන්ස්ජෙන්ඩර් වීම ඉහල කුලයක් වෙන්න පුළුවන්. සමාජයේ විඳින පීඩාව අනුව මේ බල ධූරාවලියෙ තැන ලැබෙනවා. මේ නිසා කතා කරන හැම කාන්තාවක්ම වගේ පොඩි කාලෙ තමන්ට අතවර සිද්දවුනු ඉතිහාසයක් නිර්මාණය කරගැනීමේ ට්‍රෙන්ඩ් එකක් පවා හැදුනා. එහෙම නැත්තං ඔයා අදාල නොවෙන කෙනෙක් වගේ. මේ කියන්නෙ සමාජයේ ඇත්තට අතවර සිද්ද නොවෙනවා කියන එක නෙමෙයි. ඒක විලාසිතාවක් වුනා කියන එක.

සෝෂල් ජස්ටිස් වොරියර්ස් නැත්තං සමාජ යුක්ති‍යේ සටන්කරුවො බිහිවුනේ මේ විදිහට. මේ නව වමේ සමස්ත දේශපාලනයම පදනම් වුනේ  පීඩිතයා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම කියන පටු දෘෂ්ටියක. ඒ අය මතවාදී කන්‍යාභාවයක් විශ්වාස කළා. වෙනස් මත දරන අය එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නෙ නෑ. සාකච්ඡාව විශ්වාස කරන්නෙ නෑ. වෙනස් අදහසක් දරන අයට ඒ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිලිගන්නෙ නෑ. 18 වෙනි සියවසේ ලිබරල්වාදය එන්න කලින් යුරෝපයේ තිබුනු ආගමික මුහුණුවරමයි එහෙම්පිටින්ම.

ප්‍රශ්නෙ තියෙන්නෙ සම්භාව්‍ය ලිබරල්වාදයෙත් මේ ලිබරල් නොවන ප්‍රගතිශීලී වමේත් සමාන තැන් තියෙන එක. මේ දෙකේම අවසාන පරමාර්ථයන් සමානයි. මූලික වෙනස තියෙන්නෙ ලිබරල්වාදීන් වර්තමානය පිළිගන්න එක. අනාගත අරමුණක් වෙනුවෙන් ඒක පාවා නොදෙන එක.  උදා විදිහට ජාතිය හෝ ලිංගය පදනම් කර  නොගන සියල්ලන්ට සමාන අවස්ථා ලැබිය යුතුයි කියන එක දෙගොල්ලොම පිලිගන්නවා. ඒ වගේම වෙනස්වීමේ අවශ්‍යතාවය විශ්වාස කරනවා. අධිකාරීන්ගේ බලය අවිශ්වාස කරනවා.

ඒත් මේ තත්වයන් ළඟා කරගැනීමට යෝජනා කරන මාර්ගය වෙනස්. සම්භාව්‍ය ලිබරල්වාදීන් ප්‍රගතිය විශ්වාස කළාට ප්‍රගතිය යනු මෙසේ විය යුතුයි කියල අදහසක නෑ. ඒක අහම්බයක් විදිහටයි දකින්නෙ. පහළ සිට ඉහළටම සිදුවන ක්‍රියාකාරීත්වයන් රැසක ප්‍රතිඵලයක් විදිහටයි ප්‍රගතිය දකින්නෙ. ඒ සඳහා අවශ්‍ය තත්වයන් සම්පාදනය කිරීම විතරයි ලිබරල් දේශපාලනයෙදි කරන්නෙ. උදා විදිහට බලය කේන්ද්‍රගත නොවී හැකිතරම් බෙදී යාමට සැලැස්වීම, සමූහය හා සමානවම පුද්ගලයාටද ප්‍රමුඛත්වය දීම වගේ දේවල්. ලිබරල්වාදය ඇතුලට රිංගගත්ත ලිබරල් නොවන වම කරන්නෙ බලය තමන් වෙත කේන්ද්‍රගත කරගැනීමක්.

ලිබරල් නොවන වම හරියටම දන්නවා මේ ප්‍රගතිය කෙසේ විය යුතුද කියන එක. ඒ අයට අනුව ප්‍රගතිය කරා ගමන් කළ හැක්කේ සියලු වාර්ගික, ලිංගික ධුරාවලීන් බිඳදැමීමෙන් පස්සෙයි.

ලිබරල් පිලිගැනීම වෙන්නෙ සාධාරණ කොන්දේසි මත එකිනෙකා අතර ඇතිවන තරගයෙන් සමාජය ඉස්සරහට යනවා කියන එක. ඒ සඳහා මොනොපොලි නැතිකිරීම, ගිල්ඩ්ස් හදන එක, ටැක්ස් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන වවුචර් ලබාදීම ව‍ගේ දේවල් ක්‍රියාත්මක කරනවා.

මේ නව වාම ප්‍රගතිශීලීන් නිදහස් ගනුදෙනු කියන එක ගැන විශ්වාස කරන්නෙ නෑ. ඒවා පවතින තත්වය ස්ථාපිත කරන උපායන් විදිහටයි දකින්නෙ. ඒ වෙනුවට බලෙන් සමානත්වයක් ආරෝපණය කරන්න උත්සාහ කරනවා. යුක්තිය පසිඳලීමේ කාර්යය තමන්වෙත පවරාගන්නවා. උදා විදිහට වර්ණය පදනම් කර නොගන්නා විභාගයකින් සමත් වෙන ශිෂ්‍ය පිරිස යම් හෙයකින් වර්ණ භේදය දැක්වෙන ප්‍රතිඵලයක් නම් මේ ප්‍රගතිශීලීන් කියන්නෙ පරීක්ෂණය වර්ණභේදවාදීයි කියල.

දැන් මෙතනදි වර්ණභේදවාදය නැති කිරීම කියන අරමුණ හොඳ එකක්. ඒත් ඒ හරහා සමස්ත පරීක්ෂණය විනිශ්චය කිරීම පටු එළඹුමක්. වර්ණයට අමතර තවත් බොහෝ කාරණාවලින් සමත් අසමත්බව තීරණය කරනවා වෙන්න පුළුවන්.

වර්ණභේදවාදී නොවෙන ප්‍රතිපත්ති ඇති කරන එක වැදගත්. ඒත් ඒකෙන් පීඩාවට පත් සුදු ජාතිකයන්ට අසාධාරණයක් නොවීමත් වැදගත්. අනිත් අතට කලු ජාතිකයන්ට තමන්ගේ දක්ෂතා හඳුනාගැනීමට තියෙන ඉඩකඩ අහිමි වීමත් අවුලක්. කලුවීම නිසාම යමකට කෙනෙක් සුදුසු වෙනවා නම් එතන තියෙනවා ගැටලුවක්.

පිරිස්වලට පමණක් නෙමෙයි පුද්ගලයාටත් සාධාරණව සලකන්න ඕන කියන එකයි ලිබරල් අදහස. සමාජය කියන්නෙ පුද්ගයන්ගෙන් හැදුනු එකතුවක් වන අතර පුද්ගලයා දියුණු වෙද්දි සමාජය දියුණු වෙනවා.

සමාජයක් ගත්තම ඒක අරමුණු ගොඩක්. ආර්ථිකය, සුබසාධනය, අපරාධ, පරිසරය, ජාතික ආරක්ෂාව වගේ කාරණා තොගයක් එතන තියෙනවා. මේ අරමුණු එක්ක ගැටගැහුනු මිනිස්සු ඉන්නවා. එතනදි ප්‍රතිපත්තියක් හුදෙක්ම යම් පිරිසකට වාසිදායක වීම හෝ නොවීම මත පමණක් විනිශ්චය කරන එක දරුණු වරදක් වෙනවා.

මේ නිසා ලිබරල්වාදීන් සංවාද කරනවා. ප්‍රමුඛතාවලට උඩට මතුවෙන්න ඉඩහරිනවා. හැම ආකාරයකින්ම බහුත්වවාදී සමාජයක් පිලිගන්නවා. චන්දවලින් දේවල් වෙනස් කරනවා.

ඉලිබර‍ලයො, ඒ කියන්නෙ මේ ලිබරල් නොවන වාම ප්‍රගතිශීලීන් අදහස් වෙළඳපොල පිලිගන්නෙ නෑ. යමක් ගැන සාක්ෂි පිලිගන්නෙ නෑ. සංවාදයන් බැහැර කරනවා. ඒ අයට අනුව ඒවා එලීට් වැඩ.

ලිබරල්වාදී විශ්වාසය වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවට මේ ප්‍රගතිශීලීන් විශ්වාස කරන්නෙ වේදිකාව තරමක් ඇලව පිහිටන්න ඕන කියලයි. ඒ කියන්නෙ පීඩිත කුලයට වාසි වෙන විදිහට. පීඩිතයන්ට එරෙහිව කිසි අදහසක් ප්‍රකාශ වෙන්න බෑ. එහෙම වුනොත් සමාජ යුක්ති විරුවන් විසින් දඬුවම් කරනවා.

මිල්ටන් ෆ්‍රීමන් කාලෙකට කලින් මේක ගැන ඉතාම ලස්සන කතාවක් කියනවා. යම් සමාජයක් නිදහසට වඩා ඉස්සරහින් සමානත්වය ආරක්ෂා කරන්න යනවද, ඒ සමාජයට ඒ දෙකම නැති වෙනවා කියල.

මේ නව වාම ප්‍රගතිශීලීන්ගේ තියෙන අපරිණත බව වෙන්නෙ  පීඩිතයන් ගලවා ගැනීමේ එකම ආකාරය ඔවුන් සතුයි කියල හිතන එක. මේ හරහා ඔවුන් දක්ෂිනාංශිකයන් වගේම පුද්ගලයා පීඩාවට ලක් කරනවා.  අනාගතයේ පොරොන්දු දේශයක් වෙනුවෙන් දැන් වැරදි මාර්ගය  තෝරාගන්නවා. ගමනට වඩා ගමනාන්තයට මුල්තැන දෙනවා. වර්තමානය කැප කරනවා.

ඒ අය පුද්ගලයා වෙනු‍වට සමූහය මූලික කරගන්නවා.

ජාතිකවාදීන් විශ්වාස කරන ශක්තිමත් රාජ්‍ය කියන්නෙ වික්ටර් ඕබන්ගේ හංගේරියාව, පුටින්ගෙ රුසියාව වගේ බලය පිළිබඳ ඉතාම නරක නිදර්ශන. අනිත් පැත්තෙන් කියුබාව වෙනිසියුලාව වගේ රටවල් කියන්නෙ අවසානයේ උදාවන යහපතක් අරමුණු කරගෙන වැරදි මාර්ගයන් තෝරාගැනීම ගැන හොඳම නිදර්ශන.

ජාතිකවාදීන් කරන්නෙ දේශප්‍රේමය කියන එක දාලා සමාජය බෙදන එක. අනිත් පැත්තෙන් ප්‍රගතිශීලින් කරන්නෙ අලුත් පීඩිත කුල ධුරාවලියක් හඳුන්වාදීලා සමාජය කඩන එක. අවසානයේ හමුවන යුක්තිය කො‍හොම වුනත් මේකෙන් සමාජ ගැටුම් නම් උපරිම කරනවා.

මේ දෙපිරිසම එකිනෙකා මත යැපෙනවා. දෙගොල්ලොන්ගෙම හතුරා වෙන්නෙ ලිබරල් නිදහස. මේ දෙපිරිසම විශ්වාස කරන්නෙ තමන්ගේ පාර්ශ්වයේ කෙනෙක් විවේචනය කිරීම ද්‍රෝහීවීමක් කියල. මේ හින්ද වෙන්නෙ ලිබරල්වාදයේ අවශ්‍යම කොන්දේසිය වන සංවාදය සංකෝචනය වෙන එක. එකිනෙකා ආරක්ෂා කරගැනීමක් මිස විවෘත අදහස් මුනගැහීමක් සිද්ද වෙන්නෙ නෑ. සමාජය ඉස්සරහට යාමක් නෑ.

අපි සරලව ලිබරල් කියල කිව්වට තේරුම්ගන්න ඕන කාරණයක් තමයි ලිබරල්වාදය කියන්නෙ අපේ මානව ස්වභාවයට ප්‍රතිවිරුද්ධ දහමක් කියන එක. අපි අපේ විරුද්ධවාදියාගේ කතා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කතා කරන දේට තමන් එකඟ නැති වුනත්, ඒකෙන් තමන්ට හානියක් වුනත්, ඒ අයිතිය ආරක්ෂා කරන්න ඕන.  ඒ වගේම හැමවෙලාවකම අපි අපිව සැකකරන්න ඕන. අපෙන්ම හැරිලා ප්‍රශ්න කරන්න ඕන. අපි නිවැරදියි කියන අදහස ලිබරල් එකක් නෙමෙයි. පවතින ව්‍යාපාර නිර්මාණාත්මකව අභියෝගවලට ලක්වෙන්න ඉඩ දෙන්න ඕන. ඒවා ආරක්ෂා කරන ප්‍රතිපත්ති හදන එක නෙමෙයි කරන්න ඕන. ඔයාගෙ පවුලෙම අයට වුනත් දක්ෂතාවයෙන් ඉස්සරහට එන්න ඉඩදෙන්න ඕන. තමන්ගෙ සම්බන්ධතාවලින් උඩට ගන්න බැරි වෙන්න ඕන. තමන්ගෙ විරුද්ධවාදියාගේ වුනත් ජයග්‍රහණය බාරගන්න ඕන. ඒකෙන් රටටම කෙළවෙලා යන බව දැනදැනම වුනත් පරාජය බාරගෙන ඉඩදෙන්න ඕන.

මේ විදිහට බලද්දි පේන දෙයක් තමයි ලිබරල්වාදියෙක් වෙන එක ලේසි නෑ කියන එක. ඒක පුද්ගලයා තුල ඇතිවෙන සිතීමේ වෙනසක් එක්ක සම්බන්ධයි. ඒක තමන්ගෙන් එලියෙ පවතින දේශපාලනයක් නෙමෙයි, තමන්වත් ඇතුලෙන් වෙනස් කරන දහමක්.

සෝවියට් රුසියාව බිඳවැටුන‍ට පස්සෙ ලිබරල්වාදයට අභියෝගයක් නැති වුනා. ඊටපස්සෙ ඇමරිකානු ලිබරල් එලීට් එකට ඒකෙ තිබුනු ඉතාම වැදගත් ගුණයන් වන මානවවාදී බවයි, තමන්ව සැක කිරීම කියන එකයි මගහැරුනා. සියල්ල නිවැරදියි කියල ඒ අය හිතුවා. ඒ ඉහල ඉන්න අයටම වාසි වෙන්න සිස්ටම් හැදුවා. සුදු- වැඩකරන පංතියේ මිනිස්සුන්ගේ ගරුත්වය නොතකා හැරියා. ඒ අය තුල හීනමානයක් ඇති කළා.

මේක තේරුම් ගන්න හොඳම තැනක් තමයි අපේ මෛත්‍රිපාල සහ රනිල් අතර ගැටුම. මෛත්‍රිපාලට රනිල්ව පෙන්නන්න බැරි වෙන්නෙ රනිල් විසින් තමන්ගේ ඉහල පාංතිකබව හරහා ඇතිකරපු හීනමානය නිසයි. ඒ හීනමානයට පුළුවන් වුනා රටම ගිනිතියන්න. රනිල් ලංකාවෙ කළේ මේ ඇමරිකානු ලිබරල් එලීටය එහේ කරපු වරදමයි.

මේ කාලෙ ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වුනා. ඉතිහාසය පුරා එන වර්ගවාදය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් තිබුනෙ නෑ. අඩුම තරමෙ ඒ ප්‍රශ්න හෙමින් විසඳ‍ෙමින් තියෙනවා කියන විශ්වාසයවත් ජනතාව මත ගොඩනගන්න පුළුවන් වුනේ නෑ. චීනය ඉතා වේගයෙන් ඉස්සරහට ආවා. වොෂින්ටනය බිඳවැටුනා.

ලිබරල්වාදීන් මේ අවදානම සුලුවෙන් තකන්න නරකයි. මේ වෙනස්කම් මැද ලිබරල්වාදයේ සමහර පිරිස් දකුනට තල්ලු වුනු අතර අතර අනෙක් පිරිස වමට තල්ලු වුනා. ලිබරල්වාදී ප්‍රවේශය වෙන්නෙම මිනිස්සු අන්තයන්ට තල්ලුවීමට එරෙහිව වැඩකරන එක. ධ්‍රැවීකරණය වලක්වන එක. ඕනෑම ආකාරයක විවිධත්වයක් එකට පැවතීම පිලිගන්නෙ ලිබරල්වාදීන් විතරයි. ඒක ඔවුන්ට අනුව ශක්තියක්.

ලිබරල්  ප්‍රතිපත්ති සකස් කරන්නෙ මිනිස්සුන්ගෙ නිර්මාණශීලීත්වයට  විවෘත ඉඩක් තියලයි. අපි විසින් දැනට ගන්නා තීරණයට වඩා මිනිස් ක්‍රියාකාරීත්වයේදී වඩා සාධනීය, පිමි පනින තත්වයන් ඇතිවෙන්න පුළුවන් කියන එකයි ඒ විශ්වාසය.

ඉතිං ලිබරල් සටන් නැවත පටන් ගන්න ඕන. පුද්ගල නිදහස අහිමි කරන පටු දෘෂ්ටිවාදයන්ට ලෝකය පාලනය කරන්න ඉඩහරිනවා වෙනුවට ඒ නිදහස ආරක්ෂා කරන්න පෙනී සිටින්න ඕන. වාරණයන්ට සීමාවන්ට එරෙහිව සංවාදය ආරක්ෂා කරන්න ඕන.

ඇමරිකාවෙ විතරක් නෙමෙයි ලංකාවෙත් සැබෑ දේශප්‍රේමය කියන්නෙ ඉලිබරල්  අගාධයෙන් එපිටට සමාජය තල්ලු කරන එකයි.