Tag: social

  • ඇරියස් නැති සමාජයක් ගැන පැතුමක්

    ඇරියස් නැති සමාජයක් ගැන පැතුමක්

    බෞද්ධ රටක හැදිලා, බෞද්ධ පාසලකට ගිහින්, sex ගැන, කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පවත්වන්න ඕනේ විදිහ ගැන වෙනම අදහසක් මට ලංකාවෙදි තිබුනේ. ඉස්කෝලේ කාලේ, යාලුවෝ අතරේ ඇතිවෙන කතාබහකදි උනත්, කොල්ලෙක් එක්ක පවත්වන sex/ make out සම්බන්ධ අත්දැකීම් ගැන බෙදාගන්නේ නැති තරම්..

    ‘අනේ නෑ එයා හරි හොදයි, අතකින් වත් අල්ලන්නේ නැහැ’ කියන එක තමයි සමාජයේ පිලිගැනීම වෙනුවෙන් බහුලවම කියන දේ..එහෙම සමාජයක හැදුන මට, ඒ හණමිටි අදහස් සියල්ල සම්පූර්ණයෙන්ම වගේ කණපිට පෙරලුනේ ඇමෙරිකාවේ ආවාට පස්සෙයි..

    College එකට ගිය පලවෙනි දවසේම, hallway එකේ පොඩි පොඩි containers වල condoms දාලා තිබුනම ඕන කෙනෙක්ට ගන්න කියලා, මට ඒක හිතාගන්න බැරි තරමේ අලුත් අත්දැකීමක් උනා..

    sex කියන්නේ දරුණු අපරාධයක් නෙමෙයි කියන එක මට වැටහෙන්න පටන් ගත්තා.

    Sex ගැන විවෘත වීම තුලින් මනුස්සයෙක්ට ලැබෙන්නේ නිදහස සහ මානසික සුවය කියන එක මම කාලෙත් එක්ක තේරුම් ගත්තා.

    කෙල්ලෙක් sex ගැන කතා කරන එක ලංකාවෙ සමාජය තුල කැප නෑ, බැඳලා නැත්තන් කීයටවත් කැප නැහැ.

    කොල්ලෙක් හා සමානව, විවෘත ජීවිතයක් කෙල්ලෙක් ගත කරන එක, sex, masturbation වගේ මාතෘකා ගැන කතා කරන එක, ලංකාවෙ බහුතරයක් පිරිමින්ට වගේම ගෑනුන්ටත් දරාගන්න බැරි දෙයක්, අමුත්තක්, magic එකක්.

    Sex වලට මම කැමතියි, ඒක මගෙ ජීවිතේ මම ආසම සහ වැදගත්ම කොටසක් කියන එක මම පැකිලෙන්නෙ නැතුව පිලිගන්නවා. වෙන දෙයක් නිසා නෙමෙයි, එහෙම පිලිගන්න එකෙන් මම මට අවංක වෙනවා කියලා මම විශ්වාස කරනවා.

    තමන් කැමති කෙනෙක් එක්ක හෝ කීප දෙන්නෙක් එක්ක, ආස විදිහකට sex කිරීමෙ/ විදීමෙ අයිතිය හැම මනුස්සයෙක්ටම, ගෑනු පිරිමි බේදයකින් තොරව තිබිය යුතුයි කියන එක මම දැඩිව පිලිගන්න කාරණයක්..

    මිනිස්සු විදිහට අපි හැමෝටම sex තුලින් ලැබෙන මානසික සුවය වෙන කිසිම දේකින් ලබන්න බැහැ.

    ඒ කාරණේ අපි හැමෝටම එහෙම උනත්, ඒක අනුමත කරලා ඒ අත්දැකීම ඇත්තටම විදින්නෙ, අඩුම තරමේ ඇද උඩදි වත් තමන්ව restrict නොකර ඒ වින්දනය උපරිම ලබන්න දන්නේ ඉතාම පොඩි පිරිසක්, ගෑනු නම් ඇත්තටම නැති තරම්..

    ගැහැණියක් විදිහට, පිරිමියෙක් හෝ වෙනත් ලිංගිකයෙක් එක්ක ලිංගිකව එකතු වෙනකොට, ඒ කෙනාගෙන් තමන්ගේ ඇග ගැන තියෙන ආසාව, තමන්ව විඳින්න තියෙන නොරිස්සුම් කම දැනෙනකොට, ඒ හැගීමට ලෝබ නැහැ කියලා තමන්ට අවංක වෙමින් කිසිම ගැහැණියකට කියන්න පුලුවන් ඇති කියලා මම හිතන්නේ නැහැ, එහෙම කියනවා නම්, ඒ සාමාන්‍යය ගැහැණියක් වෙන්න බැහැ..

    ගොඩක් වෙලාවට එහෙම නොකියා ඉන්නවා නම් ඉන්නේ දාහක් කාරණා නිසා.. ආගම, සමාජයේ පිලිගැනීම වගේ මෙකී නොකී කාරණා!

    තමන්ව කුණු කොල්ලෙට දාලා, ඊට උඩින් අනිත් මිනිස්සු කියන දේවලුයි, ආගම කියලා ඔලුවට දාන දේවලුයි, මේ හැමදේටම මුල් තැන දෙන එකෙන් තමන්ට නැති වෙන්නේ තමන්වමයි, සිරකාරයෙක් වෙන්නේ තමන්ගේ ශරීරය ඇතුලෙමයි..

    ජීවිතේ කියන්නේ සතුට හොයන ගමනක්..

    සතුටයි ලිංගිකත්වයයි කියන්නේ එකට යන දෙන්නෙක්.

    සතුට තියෙන්නේ අත්හැරීම තුල කියලා බුදු හාමුදුරුවෝ උනත් දේශනා කලේ, සැප විදලා මිසක් ඊට කලින් නෙමෙයි!

    තමන් කවුද කියන එක තේරුම් අරන්, තමන් වෙනුවෙන් තීරණ ගන්න, ජීවිතේ විඳින්න..

    තමන් ජීවිතේ විඳිනවානම්, තව කෙනෙක් ජීවිතේ විඳින දිහා කුහකකමක් නැතුව බලන්න පුලුවන් වෙනවා..

    කෙල්ලෝ කොල්ලෝ ආදරේ කරන්න, ජීවිතේ විඳින්න බය නැති පරිසරයක උස් මහත් වෙනවා කියන්නේ දියුණු, ඇරියස් නැති සමාජයක හෙට දවස!


    ශේනි විජේසුන්දර

  • 1948 පළවූ ගිහිගේ තවත් කලාපයක්

    1948 පළවූ ගිහිගේ තවත් කලාපයක්

    මේ පැරණි සඟරාත් අලුත් අසභ්‍ය ප්‍රකාශන නීති යටතේ තහනම් වෙලා යන්න පුළුවන්. මේවා නැවත පළකිරීම පවා අසභ්‍ය අශ්ශීල වෙන්න පුළුවන්. හතලිස් ගනංවල තිබුණු නිදහසත් අද අහිමි වෙන්න පුළුවන්. ඉතිං පණත් සම්මත වෙන්න කලින් අපිට මෙහෙම අතීතයක් තිබුණ කියල රසවිඳින්න.

    “නව ව්‍යාපාර පටන්ගන්නේත්, නව නිපදවීම් ඇති කරන්නේත්, නව පන්නය ඇති කරන්නේත්, නවකයන් පුහුණු කරන්නේත්, නවකලා බෝ කර ඒවාට පණ පොවන්නේත් හුදෙක් කාම ශක්තිය ඇති පුද්ගලයෝමය.

    සමාජය දෙස බලන්න. හොඳම කලාකාරයා, හොඳම ශිල්පියා, නිෂ්පාදකයා ආදී හොඳ වැඩකාරයො සියලු දෙනාම කාමශක්තියෙහි හස්තිබල ඇත්තෝය. එය මට නිර්භයවම කිව හැකි කාරණයකි. මා දන්නා බොහෝ කීර්තිමත්, බොහෝ දක්ෂ, බොහෝ විනෝදකාමී ඉතා හොඳ කෙරුම්කාරයෝ බොහෝ දෙනා මහා කාමාධික පුද්ගලයෝය. ඔවුන් කෙතරම් කාම ශක්තිමත්ද කිවහොත් ඇතැම් විට ඔවුන් ශිෂ්ට ජනසමාජයට නුසුදුසු තරම්ය.

    කාමාධික පුද්ගලයෝ රටකට සමාජයකට උවමනා පිරිසකි. ඇයි?

    ඒ ඔවුන් නොම්මර එකේ මනමාලයෝය. ඔවුන්ගේ ඒ මනමාලකම විදහා දැක්වීම පිනිස ඔවුන්ට රසට කෑමබීමත්, ලක්ෂනට අඳින්නට පළඳින්නටත්, අතදිග හැර වියදම් කරන්නටත් උවමනාය. ඒ උවමනාකම් නිසා ජනසමාජයේ කීදෙනෙක් යැපෙන්නේදැයි සිතන්න”

    – ගිහිගේ සඟරා කර්තෘ 1948

    ඒ කාලෙ මිනිස්සුන්ට තිබුණු දැනීමවත් අද සමාජයේ අයට නැති එක කණගාටුවට කාරණයක්.
    ගිහිගේ වැඩිහිටි සඟරාව සමග තවත් ගොඩක් කාම පොත්වල දැන්වීම් පළකල බවක් පේනවා. රුපියල් දෙකක් වන මේ සඟරා ලිපිණයැති කවරයක් සමග ඉල්ලුම් කිරීමෙන් තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන්. මගුල් රහස කියන පොතේ පෙම්වතියක් තෝරගන්න හැටි, සිපගන්නා හැටි, දුනුවිල නිලමේ සහ ගජමන් නෝනාගේ ප්‍රේම කතා, මගුල් දවසෙ මුලින් කරන්න ඕන දේවල් වගේ ලිපි පලවෙනවා. ඒක ඇල් ඩීඩී කරුණාරත්නගේ වැඩක්.

    වාතස්‍යානගේ කාමසුත්‍රයෙන් උපුටාගෙන පලවෙන ලිංගික බෙලහීනතාවය දුරු කරන ප්‍රතිකාර නම් අත්හදා බැලීම භයානකයි. ඒවා එත්නොඉරොටිසම් නැත්නම් අතීතයේ කාලයත් සමග විකාශනය වුනු ශෘංගාර විෂයක සුන්දරත්වය විඳින්න මිස විද්‍යාත්මක ප්‍රතිකර්ම හැටියෙන් ගැනීම අමනෝඥයි. කූඩැල්ලන්ගෙන් කඩියන්ගෙන් හිඳින තෙල් පුරුෂ ලිංගය කෙලවරේ ආලේප කිරීම වගේ අද්භූත අත්බෙහෙත් එතන නියම කරනවා.

    මාර්ෂල් ගුණවර්ධන කියල කෙනෙක් මේ සඟරා වෙනුවෙන් ඉංග්‍රීසි පොත් සිංහලට හරවනවා. කාම නිල කියල පරිවර්තනය කරන මේ පොත් පිංචෙ ඔරිජිනල් එක මොකක්ද ලේඛකයා කවුද කියල හොයාගන්න අමාරුයි. ඒ වගේම මහාචාර්ය එච් එස් ගැම්බර්ස්ගෙ මැරිටල් ඇක්ට් වගේ පොත් (1946) පවා පරිවර්තනය වෙනවා.

    ඒ ‍වගේම ගිහිගේ සඟරාවට ආවේණික ජ්‍යොතිෂ, මිත්‍යා ශාංගාර සංකලනයත් අඛණ්ඩව කරගෙන එනවා.

  • නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    1948 ලංකාවෙ පළවුන කාම සඟරාවක්. මේක මාව සුරතාන්තගත කරපු වැඩක්. දිනෙත් මල්ලිකාරච්චි ශූරීන්ට ස්තුතිවන්ත වෙනවා මේක මාවෙත තැපැල් කිරීම ගැන.

    ‘කාම විද්‍යාවෙන් උගන්වන්නේ ඉන්ද්‍රියයන් සහ ඒවා ආශ්‍රය කොටගෙන උපදින හැඟීම් නොමග යා නොදී හරිමග ගෙනා යා හැකි ශාස්ත්‍රය සහ ශිල්පයයි’

    ගිහිගේ සඟරාවෙ කතුවැකිය වෙන රහස තමන්ගේ පාඨකයාට කියන්නෙ එහෙමයි. ඒ කාලෙත් සෙක්සොලොජිස්ට්ලා ඉන්නවා. ඒ ගැන දැන්වීම් පළවෙනවා. හැබැයි මොනවගේ උපදෙස් දුන්නද කියල නම් ෂුවර් නෑ. ඩියුරෙක්ස් ලිංගාවරණ සහ කංචුක ගැන දැන්වීම් පලවෙනවා.

    ලකුණැති සොලොස් රතිකෙළි දැන වෙන වෙනම

    කර රුති පහස විඳ විඳ රුති වඩන පෙම

    රතිගති රුවැති දිගුනෙත සමග මනරම

    නොනැවති පහස විඳ වෙහෙසෙමිනි තුන්යම

    ඒ කාලෙත් කියවෙනවා සො‍ළොස් රතිකෙළි අතීතයේ මිනිස්සු දැන හිඳ අභාවයට ගිය කතාවක්.

    ස්ත්‍රියක් කාමාශාවෙන් පෙළෙන බව වටහා ගන්න විදිහ විස්තර කරනවා. ලස්සනම දේ ළඟම ඉන්න පොඩි එකෙක් වඩාගෙන පේන්න හුරතල් කරන එක. ඇඟ කම්මැලි අරින්න වගේ ඇඹරුනත් ෂුවර් නෑ.

    ඒ වගේම කාම ලැදි වුනාට මත්විරෝධී ගතියකුත් තියෙනවා. ගෑනුන්ගෙ පීරියඩ්ස් ගැන එහෙම කියනවා මරු කතා ටිකක්. යුරෝපියන්ගේ මතය වැරදියි කියමින් පරණ සාම්ප්‍රදායික පීරියඩ් විරෝධයම අරගෙන එනවා. ඒ ආර්ටිකල් එකේම පෑඩ් විකුණනවා.

    ගොනොරියා සිපිලිස් ආදී සමාජ රෝග ගැනත් කතා කරනවා. නරක ස්වාමි පුරුෂයන් නිසා පතිව්‍රතතාවය ආරක්ෂා කරන ගුනගරුක කාන්තාවන්ට පවා මේ රෝග වැළ‍ඳ‍ෙන බව කියනවා. බය වෙන්න එපා මේ අහන්න ලැබෙන දේවල් නිසයි එහෙම කීවෙ කියනවා.

    මේ කාම ශාස්ත්‍රය ජ්‍යොතිශයත් එක්ක හොඳටම ගැටගැහිලා තිබුණු වගක් පේනවා. ඒත් අසූ ගනන් වල කාම පත්තර රැල්ලෙ මේ නැකැත්බලි විශ්වාස තිබ‍ුනෙ නෑ.

    විවාහ දිනයේදී යුවළකට තෑග්ගක් විදිහට දෙන්න හොඳම ගිහිගේ වාර්ෂික කලාප එකතුවක් කියලත් සඳහන් කරනවා. මොනවා වුනත් ඇඩ්වර්ටයිසින් පැත්ත නම් හොඳටම කරලා තියෙනවා. හැම පිටුවකම මොනවා හරි විකුණනවා.

    මේ පත්තරවල අන්තර්ගත කාරණාවලට වඩා වටින්නෙ ඒ කාලෙ සමාජයෙ ලිංගිකත්වය ගැන තිබුණු ප්‍රශ්න, මතවාද සහ නිදහස පිළිබඳ කාරණා මේ හරහා අනාවරණය කරගන්න පුළුවන් එකයි. එක පත්තරයකින් ගොඩක් දේවල් කියන්න අමාරුයි. ඒත් අපේ රටේ කාම පත්තර ඉතිහාසෙ සුවිශේෂ තැනක් ගිහිගේ පත්තරේට අනිවාර්යෙන්ම හිමිවෙනවා.

  • ලිබරල් සහ ඉලිබරල්

    ලිබරල් සහ ඉලිබරල්

    ලිබරල්වාදය ගැන ලංකාවෙ කතාවෙන්නෙ අඩුවෙන්. වෙන ටිකත් වෙන්නෙ ගොඩක් වෙලාවට සෙක්ස් සම්බන්ධ ප්‍රශ්නයක් ආවම බනින්න. උඹලගෙ ලිබරල් නිදහස හරියන්නෙ නෑ කියන්න. අපි රටක් විදිහට ලිබරල් රාමුවක් ඇතුලෙ වැඩ කළාට ඒ වටිනාකම් ගැන දැනුමක් රටේ මිනිස්සුන්ට නෑ. ඒ රාමුව අපේ පොලොවට සම්බන්ද නෑ.  ඒක හින්ද ගොඩක් වෙලාවට එන්ජීඕකාරයො, විදේශීය කුමන්ත්‍රණ කියල ගුටිකන්න තමයි නියමිත. අනිත් රටවල බලපෑම හින්ද ආරක්ෂා කරනවා මිසක් ලිබරල් මූලධර්ම රටේ කාටවත් ඕන නෑ. හරියට බුදු දහම වගේමයි. නමට තිබුණට කාටවත් ඒකෙ හරයන්ගෙන් ඇති වැඩක් නෑ. බුදුන් දේශනා කළාට පෘතග්ජන ජීවිතේ ඕවා බෑ.

    මේක ලිබරල්වාදයේ ආධ්‍යාත්මික නිවහන කියල කියන ඇමරිකාවෙත් මෙහෙමයි. බටහිර ලිබරල් මතවාදය දැවැන්ත අභියෝගයකට ලක්වෙලා තියෙනවා. එක පැත්තකින් බලවත් වෙන චීනය ලිබරල් අදහස්වලට ඔලොක්කුව දානවා. අනිත් පැත්තෙන් රට ඇතුලෙම ජාතිකවාදී දක්ෂිනාංශිකයො සහ අන්තගාමී ලිබරල් වම මේ අදහස් යටපත් කරන්න සටන් කරනවා.

    මේ බටහිර ලිබරල්වාදයේ දෝෂය ගැන ඉකොනොමිස්ට් සඟරාවෙ හොඳ ලිපියක් තිබුන. බටහිර ශිෂ්ටාචාරය පදනම් වුනු නිදහස මූලික මේ අදහස් පද්ධතිය බිඳවැටෙයිද කියන කාරණය ඒකෙ සාකච්ඡා කරලා තිබුන. මේ සටහන පදනම් වෙන්නෙ ඒ සාකච්ඡාව මත.

    ලිබරල්වාදය කියන්නෙ මිනිස්සු අතර සංවාදයෙන් සහ විවිධ සමාජ ප්‍රතිසංස්කරණ හරහා මානව ප්‍රගතිය අත්පත් කරගන්න පුළුවන් කියල විශ්වාස කරන දර්ශනයක්. මෙතනදි ලිබරල්වාදීන් සමා‍ජයේ සංවර්ධන පිමි පනින්න කාරණා තුනක් පාවිච්චි කරනවා. පුද්ගල ගරුත්වය, ඒ කියන්නෙ පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම- රජයෙන් හෝ ඒකාධිකාරයන්ගෙන් බාධා නොවෙන විවෘත වෙළඳපොල – ඊළඟට දුර්වල ආන්ඩුව. නැත්නම් කුඩා වූ රාජ්‍ය බලපෑම. මේ කාරණා තුන හරහා තමයි ලිබරල්වාදය ලෝකෙ මේ අද අපි අත්පත්කරගෙන විඳින සුවිශාල දියුණුව නිර්මාණය කළේ. අවුරුදු 250ක් පුරා ලිබරල්වාදය විසින් ලෝකෙ පුරාම හිතාගන්න බැරි තරමෙ සංවර්ධනයක් ඇති කළා. ඒ වගේ මතවාදයක් මේ වගේ සරලව ලෝකෙන් තුරන් වෙලා යයි කියල හිතන්න අමාරුයි. නමුත් දරුණු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියන එක ඇත්තක්. මේක හරියටම අවුරුදු 100ට කලින් යුරෝපයේදි මුහුණ දුන්නා හා සමානම අර්බුදයක්. ඒ කාලෙ එක පැත්තකින් ‍බොල්ෂෙවික්වාදයයි, අනිත් පැත්තෙන් නාසිවාදයයි යුරෝපය තුලම වර්ධනය වෙද්දි බටහිර ලිබරල්වාදය මේ වගේම අවුලකට ගියා.

    චීනයට අනුව ආත්මාර්ථය මුල් කරගැනීම, සුඛපරම වීම, ඉතාම අස්ථාවර වීම හින්ද  ලිබරල්වාදය ඉවර වෙන්න යනවා. ඇමරිකාවෙ දක්ෂිනාංශිකයන්ට සහ වාමාංශිකයන්ට අනුව ප්‍රභූවාදයක් වූ ලිබරල්වාදය එහි අවසානය කරා යමින් ඉන්නවා. ඇමරිකාවෙ මේ තත්වය දරුනුයි. පසුගිය සතියක තවමත් පවතින ගබ්සා විරෝධී නීතිය ඉවත් කිරීම ඇමරිකානු සුප්‍රිම් උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනවා. ට්‍රම්ප්වාදී දකුනෙන් ලිබරල්වාදය හොඳටම බැටකනවා.

    ඇමරිකාවෙ තත්වයත් පුදුම විදිහට ලංකාවට සමානයි.  ජාතිකවාදී දක්ෂිනාංශිකයො, හරියට අපේ පොහොට්ටුව වගේම විද්‍යාව, නීතිය වගේ දේවල් පිලිගන්නෙ නෑ. තර්කයට, දත්ත වලට වඩා ගෝත්‍රික, සමූහ ඉමෝෂන්වලින් තමයි දුවන්නෙ.

    අනිත් පැත්තෙන් ලිබරල් කඳවුර ඇතුලෙම ඉන්නවා ලිබරල් නොවන වමක්. මේ වම බිහිවුනේ සමාජයෙ ඉහළ ස්ථරවල පවුල්වල දරුවන්ගෙන්. කැම්පස් ඇතුලෙන් මේක පටන් ගත්තෙ. මීඩියා, බිස්නස්, පොලිටික්ස් හැම තැනකම ඉහළම තැන්වලට බලපෑම් කරන්න මේ අයට සම්බන්ධතා තියෙනවා. ට්විටර් කොමියුනිටි එකේ වැඩිපුරම ඉන්නෙ මේ පිරිස. පොලිටිකල් කරෙක්ට්නස් තමයි ඒ ගොල්ලොන්ගෙ මෙහෙයුම.

    මේ අය සමාජය ඇතුලෙ අනාරක්ෂිතයි කියන හැඟීමක් නිර්මාණය කළා. සමාජයේ පීඩිතයන්ගේ අලුත් කුල ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ කියන්නෙ කලු කියන එකට වඩා මුස්ලිම් කියන එක පීඩිත කුල අතර ඉහලයි. සමහර විට කාන්තාවක් වීමට වඩා ආබාධිත වීම හෝ ට්‍රාන්ස්ජෙන්ඩර් වීම ඉහල කුලයක් වෙන්න පුළුවන්. සමාජයේ විඳින පීඩාව අනුව මේ බල ධූරාවලියෙ තැන ලැබෙනවා. මේ නිසා කතා කරන හැම කාන්තාවක්ම වගේ පොඩි කාලෙ තමන්ට අතවර සිද්දවුනු ඉතිහාසයක් නිර්මාණය කරගැනීමේ ට්‍රෙන්ඩ් එකක් පවා හැදුනා. එහෙම නැත්තං ඔයා අදාල නොවෙන කෙනෙක් වගේ. මේ කියන්නෙ සමාජයේ ඇත්තට අතවර සිද්ද නොවෙනවා කියන එක නෙමෙයි. ඒක විලාසිතාවක් වුනා කියන එක.

    සෝෂල් ජස්ටිස් වොරියර්ස් නැත්තං සමාජ යුක්ති‍යේ සටන්කරුවො බිහිවුනේ මේ විදිහට. මේ නව වමේ සමස්ත දේශපාලනයම පදනම් වුනේ  පීඩිතයා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම කියන පටු දෘෂ්ටියක. ඒ අය මතවාදී කන්‍යාභාවයක් විශ්වාස කළා. වෙනස් මත දරන අය එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නෙ නෑ. සාකච්ඡාව විශ්වාස කරන්නෙ නෑ. වෙනස් අදහසක් දරන අයට ඒ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිලිගන්නෙ නෑ. 18 වෙනි සියවසේ ලිබරල්වාදය එන්න කලින් යුරෝපයේ තිබුනු ආගමික මුහුණුවරමයි එහෙම්පිටින්ම.

    ප්‍රශ්නෙ තියෙන්නෙ සම්භාව්‍ය ලිබරල්වාදයෙත් මේ ලිබරල් නොවන ප්‍රගතිශීලී වමේත් සමාන තැන් තියෙන එක. මේ දෙකේම අවසාන පරමාර්ථයන් සමානයි. මූලික වෙනස තියෙන්නෙ ලිබරල්වාදීන් වර්තමානය පිළිගන්න එක. අනාගත අරමුණක් වෙනුවෙන් ඒක පාවා නොදෙන එක.  උදා විදිහට ජාතිය හෝ ලිංගය පදනම් කර  නොගන සියල්ලන්ට සමාන අවස්ථා ලැබිය යුතුයි කියන එක දෙගොල්ලොම පිලිගන්නවා. ඒ වගේම වෙනස්වීමේ අවශ්‍යතාවය විශ්වාස කරනවා. අධිකාරීන්ගේ බලය අවිශ්වාස කරනවා.

    ඒත් මේ තත්වයන් ළඟා කරගැනීමට යෝජනා කරන මාර්ගය වෙනස්. සම්භාව්‍ය ලිබරල්වාදීන් ප්‍රගතිය විශ්වාස කළාට ප්‍රගතිය යනු මෙසේ විය යුතුයි කියල අදහසක නෑ. ඒක අහම්බයක් විදිහටයි දකින්නෙ. පහළ සිට ඉහළටම සිදුවන ක්‍රියාකාරීත්වයන් රැසක ප්‍රතිඵලයක් විදිහටයි ප්‍රගතිය දකින්නෙ. ඒ සඳහා අවශ්‍ය තත්වයන් සම්පාදනය කිරීම විතරයි ලිබරල් දේශපාලනයෙදි කරන්නෙ. උදා විදිහට බලය කේන්ද්‍රගත නොවී හැකිතරම් බෙදී යාමට සැලැස්වීම, සමූහය හා සමානවම පුද්ගලයාටද ප්‍රමුඛත්වය දීම වගේ දේවල්. ලිබරල්වාදය ඇතුලට රිංගගත්ත ලිබරල් නොවන වම කරන්නෙ බලය තමන් වෙත කේන්ද්‍රගත කරගැනීමක්.

    ලිබරල් නොවන වම හරියටම දන්නවා මේ ප්‍රගතිය කෙසේ විය යුතුද කියන එක. ඒ අයට අනුව ප්‍රගතිය කරා ගමන් කළ හැක්කේ සියලු වාර්ගික, ලිංගික ධුරාවලීන් බිඳදැමීමෙන් පස්සෙයි.

    ලිබරල් පිලිගැනීම වෙන්නෙ සාධාරණ කොන්දේසි මත එකිනෙකා අතර ඇතිවන තරගයෙන් සමාජය ඉස්සරහට යනවා කියන එක. ඒ සඳහා මොනොපොලි නැතිකිරීම, ගිල්ඩ්ස් හදන එක, ටැක්ස් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන වවුචර් ලබාදීම ව‍ගේ දේවල් ක්‍රියාත්මක කරනවා.

    මේ නව වාම ප්‍රගතිශීලීන් නිදහස් ගනුදෙනු කියන එක ගැන විශ්වාස කරන්නෙ නෑ. ඒවා පවතින තත්වය ස්ථාපිත කරන උපායන් විදිහටයි දකින්නෙ. ඒ වෙනුවට බලෙන් සමානත්වයක් ආරෝපණය කරන්න උත්සාහ කරනවා. යුක්තිය පසිඳලීමේ කාර්යය තමන්වෙත පවරාගන්නවා. උදා විදිහට වර්ණය පදනම් කර නොගන්නා විභාගයකින් සමත් වෙන ශිෂ්‍ය පිරිස යම් හෙයකින් වර්ණ භේදය දැක්වෙන ප්‍රතිඵලයක් නම් මේ ප්‍රගතිශීලීන් කියන්නෙ පරීක්ෂණය වර්ණභේදවාදීයි කියල.

    දැන් මෙතනදි වර්ණභේදවාදය නැති කිරීම කියන අරමුණ හොඳ එකක්. ඒත් ඒ හරහා සමස්ත පරීක්ෂණය විනිශ්චය කිරීම පටු එළඹුමක්. වර්ණයට අමතර තවත් බොහෝ කාරණාවලින් සමත් අසමත්බව තීරණය කරනවා වෙන්න පුළුවන්.

    වර්ණභේදවාදී නොවෙන ප්‍රතිපත්ති ඇති කරන එක වැදගත්. ඒත් ඒකෙන් පීඩාවට පත් සුදු ජාතිකයන්ට අසාධාරණයක් නොවීමත් වැදගත්. අනිත් අතට කලු ජාතිකයන්ට තමන්ගේ දක්ෂතා හඳුනාගැනීමට තියෙන ඉඩකඩ අහිමි වීමත් අවුලක්. කලුවීම නිසාම යමකට කෙනෙක් සුදුසු වෙනවා නම් එතන තියෙනවා ගැටලුවක්.

    පිරිස්වලට පමණක් නෙමෙයි පුද්ගලයාටත් සාධාරණව සලකන්න ඕන කියන එකයි ලිබරල් අදහස. සමාජය කියන්නෙ පුද්ගයන්ගෙන් හැදුනු එකතුවක් වන අතර පුද්ගලයා දියුණු වෙද්දි සමාජය දියුණු වෙනවා.

    සමාජයක් ගත්තම ඒක අරමුණු ගොඩක්. ආර්ථිකය, සුබසාධනය, අපරාධ, පරිසරය, ජාතික ආරක්ෂාව වගේ කාරණා තොගයක් එතන තියෙනවා. මේ අරමුණු එක්ක ගැටගැහුනු මිනිස්සු ඉන්නවා. එතනදි ප්‍රතිපත්තියක් හුදෙක්ම යම් පිරිසකට වාසිදායක වීම හෝ නොවීම මත පමණක් විනිශ්චය කරන එක දරුණු වරදක් වෙනවා.

    මේ නිසා ලිබරල්වාදීන් සංවාද කරනවා. ප්‍රමුඛතාවලට උඩට මතුවෙන්න ඉඩහරිනවා. හැම ආකාරයකින්ම බහුත්වවාදී සමාජයක් පිලිගන්නවා. චන්දවලින් දේවල් වෙනස් කරනවා.

    ඉලිබර‍ලයො, ඒ කියන්නෙ මේ ලිබරල් නොවන වාම ප්‍රගතිශීලීන් අදහස් වෙළඳපොල පිලිගන්නෙ නෑ. යමක් ගැන සාක්ෂි පිලිගන්නෙ නෑ. සංවාදයන් බැහැර කරනවා. ඒ අයට අනුව ඒවා එලීට් වැඩ.

    ලිබරල්වාදී විශ්වාසය වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවට මේ ප්‍රගතිශීලීන් විශ්වාස කරන්නෙ වේදිකාව තරමක් ඇලව පිහිටන්න ඕන කියලයි. ඒ කියන්නෙ පීඩිත කුලයට වාසි වෙන විදිහට. පීඩිතයන්ට එරෙහිව කිසි අදහසක් ප්‍රකාශ වෙන්න බෑ. එහෙම වුනොත් සමාජ යුක්ති විරුවන් විසින් දඬුවම් කරනවා.

    මිල්ටන් ෆ්‍රීමන් කාලෙකට කලින් මේක ගැන ඉතාම ලස්සන කතාවක් කියනවා. යම් සමාජයක් නිදහසට වඩා ඉස්සරහින් සමානත්වය ආරක්ෂා කරන්න යනවද, ඒ සමාජයට ඒ දෙකම නැති වෙනවා කියල.

    මේ නව වාම ප්‍රගතිශීලීන්ගේ තියෙන අපරිණත බව වෙන්නෙ  පීඩිතයන් ගලවා ගැනීමේ එකම ආකාරය ඔවුන් සතුයි කියල හිතන එක. මේ හරහා ඔවුන් දක්ෂිනාංශිකයන් වගේම පුද්ගලයා පීඩාවට ලක් කරනවා.  අනාගතයේ පොරොන්දු දේශයක් වෙනුවෙන් දැන් වැරදි මාර්ගය  තෝරාගන්නවා. ගමනට වඩා ගමනාන්තයට මුල්තැන දෙනවා. වර්තමානය කැප කරනවා.

    ඒ අය පුද්ගලයා වෙනු‍වට සමූහය මූලික කරගන්නවා.

    ජාතිකවාදීන් විශ්වාස කරන ශක්තිමත් රාජ්‍ය කියන්නෙ වික්ටර් ඕබන්ගේ හංගේරියාව, පුටින්ගෙ රුසියාව වගේ බලය පිළිබඳ ඉතාම නරක නිදර්ශන. අනිත් පැත්තෙන් කියුබාව වෙනිසියුලාව වගේ රටවල් කියන්නෙ අවසානයේ උදාවන යහපතක් අරමුණු කරගෙන වැරදි මාර්ගයන් තෝරාගැනීම ගැන හොඳම නිදර්ශන.

    ජාතිකවාදීන් කරන්නෙ දේශප්‍රේමය කියන එක දාලා සමාජය බෙදන එක. අනිත් පැත්තෙන් ප්‍රගතිශීලින් කරන්නෙ අලුත් පීඩිත කුල ධුරාවලියක් හඳුන්වාදීලා සමාජය කඩන එක. අවසානයේ හමුවන යුක්තිය කො‍හොම වුනත් මේකෙන් සමාජ ගැටුම් නම් උපරිම කරනවා.

    මේ දෙපිරිසම එකිනෙකා මත යැපෙනවා. දෙගොල්ලොන්ගෙම හතුරා වෙන්නෙ ලිබරල් නිදහස. මේ දෙපිරිසම විශ්වාස කරන්නෙ තමන්ගේ පාර්ශ්වයේ කෙනෙක් විවේචනය කිරීම ද්‍රෝහීවීමක් කියල. මේ හින්ද වෙන්නෙ ලිබරල්වාදයේ අවශ්‍යම කොන්දේසිය වන සංවාදය සංකෝචනය වෙන එක. එකිනෙකා ආරක්ෂා කරගැනීමක් මිස විවෘත අදහස් මුනගැහීමක් සිද්ද වෙන්නෙ නෑ. සමාජය ඉස්සරහට යාමක් නෑ.

    අපි සරලව ලිබරල් කියල කිව්වට තේරුම්ගන්න ඕන කාරණයක් තමයි ලිබරල්වාදය කියන්නෙ අපේ මානව ස්වභාවයට ප්‍රතිවිරුද්ධ දහමක් කියන එක. අපි අපේ විරුද්ධවාදියාගේ කතා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කතා කරන දේට තමන් එකඟ නැති වුනත්, ඒකෙන් තමන්ට හානියක් වුනත්, ඒ අයිතිය ආරක්ෂා කරන්න ඕන.  ඒ වගේම හැමවෙලාවකම අපි අපිව සැකකරන්න ඕන. අපෙන්ම හැරිලා ප්‍රශ්න කරන්න ඕන. අපි නිවැරදියි කියන අදහස ලිබරල් එකක් නෙමෙයි. පවතින ව්‍යාපාර නිර්මාණාත්මකව අභියෝගවලට ලක්වෙන්න ඉඩ දෙන්න ඕන. ඒවා ආරක්ෂා කරන ප්‍රතිපත්ති හදන එක නෙමෙයි කරන්න ඕන. ඔයාගෙ පවුලෙම අයට වුනත් දක්ෂතාවයෙන් ඉස්සරහට එන්න ඉඩදෙන්න ඕන. තමන්ගෙ සම්බන්ධතාවලින් උඩට ගන්න බැරි වෙන්න ඕන. තමන්ගෙ විරුද්ධවාදියාගේ වුනත් ජයග්‍රහණය බාරගන්න ඕන. ඒකෙන් රටටම කෙළවෙලා යන බව දැනදැනම වුනත් පරාජය බාරගෙන ඉඩදෙන්න ඕන.

    මේ විදිහට බලද්දි පේන දෙයක් තමයි ලිබරල්වාදියෙක් වෙන එක ලේසි නෑ කියන එක. ඒක පුද්ගලයා තුල ඇතිවෙන සිතීමේ වෙනසක් එක්ක සම්බන්ධයි. ඒක තමන්ගෙන් එලියෙ පවතින දේශපාලනයක් නෙමෙයි, තමන්වත් ඇතුලෙන් වෙනස් කරන දහමක්.

    සෝවියට් රුසියාව බිඳවැටුන‍ට පස්සෙ ලිබරල්වාදයට අභියෝගයක් නැති වුනා. ඊටපස්සෙ ඇමරිකානු ලිබරල් එලීට් එකට ඒකෙ තිබුනු ඉතාම වැදගත් ගුණයන් වන මානවවාදී බවයි, තමන්ව සැක කිරීම කියන එකයි මගහැරුනා. සියල්ල නිවැරදියි කියල ඒ අය හිතුවා. ඒ ඉහල ඉන්න අයටම වාසි වෙන්න සිස්ටම් හැදුවා. සුදු- වැඩකරන පංතියේ මිනිස්සුන්ගේ ගරුත්වය නොතකා හැරියා. ඒ අය තුල හීනමානයක් ඇති කළා.

    මේක තේරුම් ගන්න හොඳම තැනක් තමයි අපේ මෛත්‍රිපාල සහ රනිල් අතර ගැටුම. මෛත්‍රිපාලට රනිල්ව පෙන්නන්න බැරි වෙන්නෙ රනිල් විසින් තමන්ගේ ඉහල පාංතිකබව හරහා ඇතිකරපු හීනමානය නිසයි. ඒ හීනමානයට පුළුවන් වුනා රටම ගිනිතියන්න. රනිල් ලංකාවෙ කළේ මේ ඇමරිකානු ලිබරල් එලීටය එහේ කරපු වරදමයි.

    මේ කාලෙ ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වුනා. ඉතිහාසය පුරා එන වර්ගවාදය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් තිබුනෙ නෑ. අඩුම තරමෙ ඒ ප්‍රශ්න හෙමින් විසඳ‍ෙමින් තියෙනවා කියන විශ්වාසයවත් ජනතාව මත ගොඩනගන්න පුළුවන් වුනේ නෑ. චීනය ඉතා වේගයෙන් ඉස්සරහට ආවා. වොෂින්ටනය බිඳවැටුනා.

    ලිබරල්වාදීන් මේ අවදානම සුලුවෙන් තකන්න නරකයි. මේ වෙනස්කම් මැද ලිබරල්වාදයේ සමහර පිරිස් දකුනට තල්ලු වුනු අතර අතර අනෙක් පිරිස වමට තල්ලු වුනා. ලිබරල්වාදී ප්‍රවේශය වෙන්නෙම මිනිස්සු අන්තයන්ට තල්ලුවීමට එරෙහිව වැඩකරන එක. ධ්‍රැවීකරණය වලක්වන එක. ඕනෑම ආකාරයක විවිධත්වයක් එකට පැවතීම පිලිගන්නෙ ලිබරල්වාදීන් විතරයි. ඒක ඔවුන්ට අනුව ශක්තියක්.

    ලිබරල්  ප්‍රතිපත්ති සකස් කරන්නෙ මිනිස්සුන්ගෙ නිර්මාණශීලීත්වයට  විවෘත ඉඩක් තියලයි. අපි විසින් දැනට ගන්නා තීරණයට වඩා මිනිස් ක්‍රියාකාරීත්වයේදී වඩා සාධනීය, පිමි පනින තත්වයන් ඇතිවෙන්න පුළුවන් කියන එකයි ඒ විශ්වාසය.

    ඉතිං ලිබරල් සටන් නැවත පටන් ගන්න ඕන. පුද්ගල නිදහස අහිමි කරන පටු දෘෂ්ටිවාදයන්ට ලෝකය පාලනය කරන්න ඉඩහරිනවා වෙනුවට ඒ නිදහස ආරක්ෂා කරන්න පෙනී සිටින්න ඕන. වාරණයන්ට සීමාවන්ට එරෙහිව සංවාදය ආරක්ෂා කරන්න ඕන.

    ඇමරිකාවෙ විතරක් නෙමෙයි ලංකාවෙත් සැබෑ දේශප්‍රේමය කියන්නෙ ඉලිබරල්  අගාධයෙන් එපිටට සමාජය තල්ලු කරන එකයි.