Tag: world

  • අදහන ආගමෙන් හෙලිවන සෙක්ස් රහස

    අදහන ආගමෙන් හෙලිවන සෙක්ස් රහස

    මේ දවස්වල ආයිමත් මහමෙව්නාවෙ උන්නාන්සෙ කෙනෙක් නළුනිළියො අපාගත වෙනවා කියල බණක් දේසනා කරනවා. ඒක බුදුන් දේසනා කරලා තියෙන්නෙ තාලපුට සුත්‍රයෙලු. යෝධාජීව කියල තවත් සූත්‍රයක බුදුන් කියනවා රණවිරුවො ඔක්කොම අපාගත වෙනවා කියල. ඔය වගේ තව විකාරසහගත ගොඩක් කතන්දර සුත්‍ර පිටකෙ එනවා. ඒ හින්ද බුදුන් කිව්වා කියල වුනත් දෙයක් පිළිගන්න එක බුද්ධ දේසනාවට එකඟ නෑ. බුදුන් කිව්වත් අපිටත් හිතලා බලන්න වෙනවා.

    බුදුන් මේ දේවල් කිව්වා වෙන්න පුළුවන්, බුදුන් කිව්වා වගේ ආනන්දට ඇහුනා වෙන්න පුළුවන්, එක එක අය අතින් එකතුවුනා වෙන්න පුළුවන්, එහෙම නැත්තං අපේ අද කාලෙ තේරුම් ගැනීමට ඒක අහුනොවෙනවා වෙන්න පුළුවන්. කොහොම හරි අනිත් හැම ආගමකම වගේ බැහැර කළ යුතු විහිලුසහගත කරුණු බුද්ධාගමෙත් තියෙනවා.

    බුදුන්ගේ දහම කියන්නෙ කොහොමත් සසරින් මිදීම, ලෞකික ජීවිතයෙන් ගැලවීම වෙනුවෙන් දේශනා කරන දහමක්. බුදුන් තමන්ගේ දරුවා බිරිඳ සහ රාජ්‍ය වගකීම අත්හැර යනවා. සියල්ල නැති කිරීමෙන් ලබන නිර්වාණයක් දේශනා කරනවා.

    ලංකාවෙ ගැමියා විසින් බුදුදහම තමන්ගේ ප්‍රායෝගික ජීවිතේට හරියන්න නිර්මාණය කරගත්තා. බුදුදහම ඇදහිල්ලක් බවට පත් කරගත්තා. යන්ත්‍ර මන්ත්‍රවලට පාවිච්චි කළා. බුදුන්ගේ නිවන ලබාගත නොහැකි තරම් ඈතකට තල්ලු කළා. බණටත් ඒ දවස්වල කියන්නෙ දෙව්මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලබන්න කියල. ඒකත් සැපක්. හැබැයි ඒක විඳින්න තියෙන්නෙ අනිත් සැප ඔක්කොම ලබලා පස්සෙ කරන්නම දෙයක් නැති තැනදි. ඒ වගන්තියට තමයි ලංකාවෙ ‍බෞද්ධයො සාදුකාර දුන්නෙ.

    ඒත් අලුතෙන් එන මූලධර්මවාදී කල්ලි සූත්‍ර පිටකයෙ එක එක යටගිය කොටස් ඉස්සරහට අරන් එන්න ගන්නවා. නිවන මේ ආත්මෙම ලබන්න දායකයන්ව පොළඹවනවා. ඒ අයගෙ ගිහි ජීවිත දැඩිව හික්මවන්න ගන්නවා. බෞද්ධ කල්ට් ඇතිවෙන්නෙ එහෙම.

    ආගමක් කියන්නෙ කලාවක්. ඉතින් ආගමයි කලාවයි අතර තියෙන්නෙ එකිනෙක අතර තරගයක්. කලාව වාරණය කිරීම උඩයි ආගම පවතින්නෙ. මෙතනදි කලාව කියන වචනෙට වඩා සුදුසු වෙන්නෙ ඉන්ද්‍රිය පිනවීම කියන එක. ආගම කියන්නෙ ඉන්ද්‍රිය පිනවීමට තහංචි පැනවීම. ඒකත් ආස්වාදය ලබන විදිහක්. සරලවම කිව්වොත් ආගම පවතින්නෙ සෙක්ස් තහනම් කිරීම උඩ. කලාව පවතින්නෙ සෙක්ස් නිදහස් කිරීම උඩ.

    මේක ඕනම ආගමකට පොදු යතාර්ථයක්.

    අපි ‍මෙච්චර කල් විශ්වාස කළේ ආගම් විසින් මනුස්සයාගෙ ලිංගිකත්වය වාරණය කරනවා කියල. ආගමික පූජකවරුන් තමන්ගේ දේශනාවලදි නිරය ගැන දේවල් කියල බයවැද්දීමෙන් මිනිස්සුන්ගෙ ලිංගික ආශාවන් බලහත්කාරී විදිහට යටපත් කරනවා කියල. සංස්කෘතික කාරණයක් විදිහට ඒක එහෙම වෙනවා. පවුල්වල දැඩි ආගමිකත්වය දරුවන් තුල ලිංගික දේ ගැන වරදකාරීත්වයක් සහ යටපත් කිරීමක් ඇති කරනවා. ඒක ඇත්ත.

    ඒත් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ සමාජ පර්යේෂකයෙක් වන ජෝර්ඩන් ඩබ් මූන් කරපු පර්යේෂණ අනුව පේන්නෙ ලිංගික වශයෙන් අඩු උවමනාවක් දක්වන අය විසින් ආගම් දැඩිව වැළඳගන්නවා කියන එක. ඒ කියන්නෙ ඇත්තටම ආගම කියන්නෙත් ලිංගික තෝරාගැනීමක් කියන එක. තව විදිහකට කිව්වොත් ආගම කියන්නෙත් ප්‍රජනන උපායමාර්ගයක්, ස්ට්‍රැටජියක්.

    මෙතනදි අපිට තේරුම් ගන්න වෙනවා සෝෂියොසෙක්ෂුවලිටි කියන අදහස. මේ කියන්නෙ කවුරුන් හෝ කැපවුනු එක් සම්බන්ධතාවයක් වෙනුවට විවිධ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඇති නැඹුරුව. මේ නැඹුරුව නැත්නම් ආශාව අඩු අය, ඒ සම්බන්ධ සීමාවන් ඇති අය වඩාත් ආගම්වලට නැඹුරු වෙනවා. ඒ කියන්නෙ ලිංගික ආස්වාදය වැඩියෙන් ලබනු රිසි අය වෙතින් ආගම් ප්‍රති‍ක්ෂේප වෙනවා. ඒ ආශාව අඩු, හැකියාව අඩු අය විසින් ආගම් බදාගන්නවා. මෙතනදි වැදගත් දේ ආගම් විසින් මිනිස්සුන්ව එහෙම කරනවා නෙමෙයි, එහෙම මිනිස්සු විසින් ආගම් තෝරගන්නවා කියන එක අනාවරණය වීම.

    විවාහය හරහා තමන්ගේ දරු පරපුරක් හදාගැනීම ගැන දැඩිව හිතන අය ආගම්වලට වඩා නැඹුරු වෙනවා. ඒකට හේතුව ආගම් විසින් විවාහයේ ලිංගික සීමා අවධාරණය කරන එක. මේ නිසා තමන්ගේ බිරිඳ අන් අයෙකු සමග යහන්ගතවීමෙන් තමන්ගේ නොවන දරුවන් ලැබීමේ බය අවම කරනවා. ඕනම ආගමක කාන්තාවට විශේෂයෙන් ලිංගික සීමා පැනවෙනවා. දරුවන් හැදීම සම්බන්ධයෙන් ගත්තම දීර්ඝ කාලීන කැපවුනු සම්බන්ධයක් කාන්තාවකගේ පැත්තෙනුත් බලාපොරොත්තු වෙනවා. මේ නිසා ඇයත් පිරිමියාගේ අයාලේ යාම සීමා කිරීම පැත්තෙන් කල්පනා කරලා මේ ඇදහිල්ලට එකතුවෙනවා. ආගම හරහා නොදැනීම දෙන්නාටම ආරක්ෂාකාරී හැඟීමක් ඇති කරනවා. තමන්ට කියාගන්න බැරි දේ පූජකයා විසින් කියනවා. ඒ ආචාර ධර්මය රකින ප්‍රජාවක් මුනගැහෙනවා. ආගමික ප්‍රජනනය නැත්නම් රිප්‍රොඩක්ටිව් රිලි‍ජියොසිටි කියන්නෙ මේකට. අනාගත පරපුර බිහිකිරීම වෙනුවෙන් ආගමික වෙන එක. මෙතනදි වැදගත්ම දේ වෙන්නෙ අනෙකාව තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් උපක්‍රමයක් ආගම තුලින් සැපයෙන එක. ඉතින් තාත්තෙක් හෝ අම්මෙක් විදිහට අනෙකාගේ ලිංගිකත්වය සීමා කිරීමේ උවමනාව ඇති අයගෙ තෝරාගැනීමක් ආගම කියන්නෙ.

    මේ ප්‍රජනන උවමනාව නැත්නම් තමන්ගේ පරපුරක් බිහිකිරීමේ ආශාව අඩු අය තමයි වඩාත් නිර්මාණශීලී, තමන්ගේ අභ්‍යන්තරය ගවේශණය කරන ආකාරයේ ජීවිත ගතකරන්නෙ කියන එකත් මේ පර්යේෂණයෙදි ජෝර්ඩන් මූන්ගෙ කණ්ඩායම සොයාගත්ත දත්තවලින් කියවෙනවා. අනිත් පිරිස ආගමික වීම ඇතුලෙ තමන්ව කැපකරනවා.

    ඉරොටොෆෝබියා හෙවත් ශෘංගාරභීතිකාවෙන් පෙළෙන අයත් දැඩිව ආගම් වැළඳගන්නවා. මේ ශෘංගාරභීතිය ඇතිවෙන්න විවිධාකාර දේවල් හේතුවෙන්න පුළුවන්. කුඩා අවධියේ මුහුණදුන් ලිංගික පීඩාවන්, ලිංගික කාරණා නිසා ලැජ්ජාවට පත්වීම්, ලිංගික දුර්වලතාවයන්, දැඩිලෙස විශ්වාසය පළුදුවීම් ආදිය මේ අතර තියෙන්න පුළුවන්. මේ ඉරොටොෆෝබියාවෙන් පෙළෙන අය තමයි කවුරුන් හෝ නිරුවතින් ඉන්නවා දැකපු ගමන් කලබල වෙන්නෙ. ජනාධිපතිට ලියුම් ලියන්නෙ. මේ භීතිකයනුත් දැඩිව ආගම්වල එල්ලෙනවා.

    තුන්වෙනි කාණ්ඩය තමයි ස්වපීඩකකාමීන්. මැසොකිස්ට්ලා. තමන්ව පීඩාවට පත්කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබන පිරිස්. සිංදුවක්, නර්තනයක් විඳින්න නොදී තමන්ව බැඳ තබාගැනීමෙන් ආස්වාදයක් ලබන්නෙ එහෙම අය. මැසොකිසම්වල තියෙන ප්‍රධාන ලක්ෂණ හයම ආගමික භක්තියෙ තියෙනවා. එක, ආදරයේ ප්‍රභේදයක් වීම. ආගම් ඇතුලෙ ප්‍රේමය, මෛත්‍රිය කියන නම්වලින් හඳුන්වන්නෙ මේ ලක්ෂණය. ආගම එන්නෙ ලිංගික ආදරයට විකල්පයක් විදිහට. දෙක, දඬුවම් ලැබීමේ ආශාව. පවට දඬුවම් ලැබීම, ආශාව බැඳතබා ගැනීම, අපාගතවීම ආදියෙන් කියවෙන්නෙ මේ උවමනාව. තුන, අනාගතයේ වඩා හොඳ තෘප්තියක් බුක්ති විඳීමේ ආශාව. හතර, දුර්වලයා වෙනුවෙන් සැකසුනු ක්‍රමයක් වීම. පව්කාරයො, නැත්නම් කරුම ගෙවන මිනිස්සු කියන අර්ථ හැදෙන්නෙ මේක ඇතුලෙ. පහ, ආත්මාර්ථයෙන් ගැලවීම. හය, අනුන් වෙනුවෙන් පාවිච්චි වීම හෝ කැපවීම.

    මේ කාරණා හය උඩ තමයි මැසොකිසම් නැත්නම් ස්වපීඩකකාමය පවතින්නෙ. ආගම් භක්තිය පවතින්නෙත් හරියටම ඔය කාරණා මතමයි. මේ නිසා ස්වපීඩකකාමීන් ගොඩකුත් ආගම් බදාවැළඳ ගන්නවා.

    මේ විදිහට කාණ්ඩ තුනක පිරිස් විසින් ආගම ස්ට්‍රැටජියක් විදිහට තෝරගන්නවා. ඒ අය වෙනුවෙන් ඒක පැවතිය යුතුයි. මෙතනදි නරක තත්වය වෙන්නෙ මේ අවශ්‍යතා ඇති පිරිස ඉක්මවා අනිත් අයගෙ ජීවිතයට බලපෑම් කරන මට්ටමට ආගම පිම්බෙන එකයි. තවත් එක තෝරාගැනීමක් වෙනුවට ඒක අනිවාර්යයක් දක්වා වර්ධනය වෙන එකයි.

    ඒක නිසා අපි හිතන්නෙ මහමෙව්නාව වගේ ලිංගිකත්වය සීමා කරමින් ආස්වාදය ලැබීමේ දහම් පැවතීම අවශ්‍යයි කියලයි. ඒ දහම් ඒ කල්ට් සීමාවෙන් එහාට ගමන් කිරීම අවදානම් කියලයි. එතකොට ඒ අවශ්‍යතා ඇති පිරිසට ඒ ආගම් ඇදහීමේ නැත්නම් තමන්ගේ සෙක්ෂුවල් ස්ට්‍රැටජියක් අනුව ජීවත්වීමේ නිදහස වෙනුවට ඒක අනුන් සීමා කරන බලහත්කාරයක් බවට පත්වෙනවා.

    ඒ හින්ද ආගමික පිරිස් තේරුම් ගන්න ඕන දෙයක් වෙන්නෙ, ඔබ ලබන සැප ඔබ ලබන්න. අනෙකාගේ සැපට කෙළවීමට තරම් කුහක නොවන්න යන්නයි.

  • ලෝක ආහාර දිනය සහ ඇෆ්රොඩිසියැක්

    ලෝක ආහාර දිනය සහ ඇෆ්රොඩිසියැක්

    අද ඔක්තෝම්බර් 16 ලෝක ආහාර දිනය. මේ දවස සමරන්නෙ ලෝකෙන් කුසගින්න තුරන් කිරීම සඳහා එකතුවීමක් විදිහට. ‍‍ආහාර යනු වරප්‍රසාදයක් නොවේ කියන එකයි මේ දවසෙ අවධාරණය. අරමුණු අතින් වෙනස් වුනත් අපි හිතුවා මේ දවස වෙනුවෙන් සෙක්ස් සම්බන්ධ ආහාර ගැන කතා කරන්න. ඒ කියන්නෙ ආශාව වර්ධනය කරන ආහාර වර්ග. මේවාට කියනවා ඇෆ්රොඩිසියැක් කියල. ඒකට ලිංගික ශක්තිය වඩන ආහාර වර්ග, පාන වර්ග සහ ඖෂධ වර්ග අයිති වෙනවා. හැබැයි මූලිකවම අයිති වෙන්නෙ ආහාර පාන. ලංකාවෙ අපි හැමෝම දන්න ආයුර්වේදය පැත්තෙන් එන ඇෆ්රොඩිසියැක් තමයි වැල්පෙණල, කීකිරිඳිය, අශ්වගන්ධ වගේ ඒවා. කංසා, මෝදක අයිතිවෙන්නෙත් මේ කාණ්ඩෙට.

    මේ කාමවර්ධක ඈත ඉතිහාසෙක ඉඳන් තිබුන. පුරාතන ඉතිහාසයන් ඇති ඉන්දියාව, චීනය, ඊජිප්තුව වගේ රටවලින් විවිධ කාමවර්ධක ආහාර පාන ගැන සඳහන් වෙනවා. පිරිසිදු මීපැණිවල ඉඳන් කිඹුලන්ගෙ වෘෂණ කෝෂ දක්වා විවිධ කෑම වර්ග මේ ලැයිස්තුවල තියෙනවා. එක එක රටවල ඇෆ්රොඩිසියැක් වෙනස් වුනත් හැම එකකම අවසාන අරමුණ වෙන්නෙ උත්කෘෂ්ට ලිංගික ආස්වාදයක් කියන එක.

    ගොඩක් වෙලාවට මේ ආහාරපාන වටේ තියෙන්නෙ ‍ගෙතුණු මිත්‍යාවක්. එහෙම ඇත්තට ක්‍රියාකාරීත්වයක් නෑ. හැබැයි සමහර ආහාරපාන වර්ගවල ඇත්තටම කාම උද්දීපනයක් තියෙනවා.

    ඇෆ්රොඩිසියැක් කියන නම එන්නෙ අනුරාගයට සහ සුන්දරත්වයට අධිපති ග්‍රීක දෙවඟන ඇෆ්රොඩයිට් ගෙන්. ග්‍රීක මිත්‍යා කතාවට අනුව ඇෆ්රොඩයිට් ඉපදෙන්නෙ පෙණවලින්. ඇෆ්රොස් කියන්නෙ පෙණවලට කියන ග්‍රීක වචනය. මේ පෙණ හැදෙන විදිහ හරි ප්‍රචණ්ඩයි. ක්‍රොනස් කියන සියුස්ගෙ තාත්තා විසින් යුරේනස් කියන සියුස්ගෙ සීයාගෙ වෘෂණකෝෂ කපලා මුහුදට විසිකරනවා. ඒ කියන්නෙ අකීකරු පුත්‍රයා විසින් අධිපති තාත්තාව කප්පාදු කරනවා. මේ වෘෂණකෝෂවලින් මුහුදෙ හැදෙන පෙණවලින් තමයි ඇෆ්රොඩයිට් ඉපදෙන්නෙ. එයාට මුහුදු දෙවඟන කියලත් කියනවා.

    ඓතිහාසික ඇෆ්රොඩිසියැක්

    ක්‍රිපූ 8 වෙනි සියවසේ විතර ලියවුනු සුශෘත සංහිතාව අනුව ගිතෙල් අරගෙන, කිඹුල්, මී, ගෙඹි, සහ පොල්කිචි බිත්තර හෝ වෘෂණ සමග තම්බලා ඒ මිශ්‍රණය පතුල්වල ගාගන්න පිරිමියෙකුට පුළුවන් වෙනවා අසාමාන්‍ය ලිංගික ශක්තියකින් ගැහැණියක් සමග රමණය කරන්න. ඒ පතුල් නැවත බිම තියන තුරු මේ බලය තියෙනවා කියලයි කියන්නෙ.

    චීනයේ හුආන්-ටි නේ- චින්ග් කියන ක්‍රිපූ 2600 විතර ලියවුනා කියන වෛද්‍ය ග්‍රන්ථයට අනුව චීන අධිරාජයා එයාගෙ 1200ක් මෙහෙසියන් සමග රමණය කරලා අවසානයේ අමරණීයත්වය ලබන්න කලින් වර්ග 22ක් මුසුකර හදපු ඇෆ්රොඩිසියැක් පානයක් අරගන්නවලු.

    • පැරණි ඊජිප්තුවෙ කිඹුල් හදවත අඹරලා ලිංගයේ ආලේප කිරීම සිදුවුනා.
    • ප්ලයිනි කියන ග්‍රීක දාර්ශනිකයා කියනවා මැන්ඩ්‍රේක් මුලෙන් ලිංගික ශක්තිය වැඩිකරනවා කියල. ඒ මුල් ගැහැණු ලිංගේන්ද්‍රියක් හැඩයට පිහිටන්නෙ ඒකලු.
    • පැරණි චීන්නු ලිංගික ශක්තිය වැඩිකරන්න කියල විවිධ සතුන්ගේ ලිංගේන්ද්‍රියන් අනුභව කරලා තියෙනවා.
    • රෝමානුවන් තමන්ගේ තරුණ මදය යළි ලබාගන්න කියල තරුණ පිරිමින්ගේ ශ්‍රක්‍රානු පානය කරලා තියෙනවා.
    • ඇෆ්රොඩයිට්ගේ තියෙන මුහුද එක්ක සම්බන්ධය නිසාම මුහුදුකෑම ජාති සහ බෙල්ලො අනුරාගය වඩවනසුලුයි කියල අතීතයේ ඉඳන් කියනවා.
    • මධ්‍යධරනී මුහුදෙ සර්දීනියාව කියන දූපතේ පණුවො ගහපු නරක් වූ චීස්, මේකට කියන්නෙ කාසු මර්සු කියල, කාම උද්දීපකයක් කියල කියනවා.
    • ලෝකෙ ගඳම කෑමවලින් එකක් කියන දූරියන් ගිනිකොණදිග ආසියාවෙ රටවල දරුණු කාම වර්ධකයක් කියල කෑමට ගන්නවා.
    • රයිනොගෙ අඟ ලිංගික ශක්තිය වැඩිකරනවා කියල අප්‍රිකාවෙ රයිනෝලා මරාගෙන මරාගෙන යනවා.
    • මේ කතාවල ඇත්ත නැත්ත කොහොම වුනත් යම් විද්‍යාත්මක පදනමක් තියෙන ඇෆ්රොඩිසියැක් වර්ග තියෙනවා.

    ඔයිස්ටර්ස්

    කැසනොවා එයාගෙ සෙක්ෂුවල් ස්ටැමිනා, ඒ කියන්නෙ වැඩිවෙලාවක් අල්ලගෙන හිඳීමේ ශක්තිය රඳවා ගන්න අමු මුහුදු බෙල්ලො 50ක් උදේ ආහාරය විදිහට ගත්තා කියනවා.
    ලිංගික සෞඛ්‍ය සහ පෝෂණය පැත්තෙන් විද්‍යාවෙනුත් ඔයිස්ටර්ස්ලාගේ තියෙන මේ ගුණය පිළිගන්නවා. ඔයිස්ටර්ස්වල සින්ක් හොඳටම තියෙනවා. අපේ ලිංගික පරිණතියට සහ ශුක්‍ර නිෂ්පාදනයට සින්ක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අමු බෙල්ලන්ගෙ තියෙන ඇමිනො අම්ලයක් මගිනුත් ලිංගික හෝමෝන වර්ධනය කරන බව හොයාගෙන තියෙනවා.
    චොක්ලට්

    චොක්ලට් කියන්නෙ ආදරයේ ආහාරය නෙ. ආදර හදවත් කුල්මත් කරන්න චොක්ලට්වලට ලොකු හැකියාවක් තියෙනවා කියල ලොකු පිලිගැනීමක් තියෙනවා. පර්යේෂණවලින් කොකොවා සතු හෘදයට හිතකර බලපෑම් හොයාගෙන තිබුනත් කාමය වර්ධනය කරන කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.

    මිරිස්

    මිරිස්වලින් අපිව රත් කරනවා. රතු කරනවා. දාඩිය දානවා. හදවතේ ගැස්ම වැඩි කරනවා. අනුරාගය වැඩිවෙද්දි සිද්දවෙන හැමදෙයක්ම වගේ ඇති කරනවා. ඒත් ඇත්තටම ඒකෙන් ලිංගික බලපෑමක් තියෙනවද?

    මීයන්ව යොදාගෙන කරපු පර්යේෂණවලට අනුව මිරිස් කාපු මීයන් ශුක්‍ර පිටකරන වාර ගණන වැඩිවෙලා තියෙනවා. හැබැයි ඒ අතරම ක්ෂණික මෝචනයක් සිද්ද වෙනවා. ඒ මීයන්ගෙ එක වරක් ශුක්‍ර පිටවීමෙන් පස්සෙ නැවත ප්‍රාණවත් වීමට ගතවෙන කාලයත් අඩුවීමක් පෙන්නුම් කරලා තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ලිංගික ක්‍රියාවෙ යෙදෙන කාලයත් අඩුවෙන එකයි.

    මේ ප්‍රතික්‍රියා මීයන්ට මෙහෙම වුනාට මිනිස්සුන්ට මෙහෙම වෙනවා කියල හොයාගෙන නම් නෑ.
    රතු ජින්සෙන් සහ මැකා

    විධිමත් පර්යේෂණ මට්ටමෙන් තවම කියන්න බැරි වුනත් රෙඩ් ජින්සෙන් සහ පේරුවලින් එන මුලක් වෙන මැකා වලින් ලිංගික ශක්තිය වැඩි කරන බවට පාවිච්චි කළ පුද්ගලයන් ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කරමින් සිදුකළ සමීක්ෂණවලට අනුව ගැහැණු පිරිමි දෙපාර්ශ්වයෙම ලිංගික ආශාවන් වර්ධනය කරන්න මේ මුල්වලට හැකිවෙලා තියෙනවා.

    විද්‍යාත්මක පර්යේෂණ කොහොම වුනත් ඇෆ්රොඩිසියැක් ගැන විශ්වාසය නිසාමත් ඒවා වැඩකරන තත්වයක් තියෙනවා. හොඳම උදාහරණය චොක්ලට්. විද්‍යාත්මක ලිංගික අනුරාගය වඩවන කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුනත් චොක්ලට් සුවඳට, ඒ රසට අපේ මනසේ නිර්මාණය වෙලා තියෙන ආශාවේ අනුහස විශාලයි. ඒ හින්දම චොක්ලට් කාම උද්දීපකයක් විදිහට වැඩකරනවා.

    ඒ හින්ද මේ ඇෆ්රොඩිසියැක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. තමන්ට දැනෙන, හැ‍ඟ‍ෙන ඇෆ්රොඩිසියැක් ලැයිස්තුවක් හදාගෙන තමන්ගේ අනුරාගී අත්දැකීම වඩාත් උද්දීපනය කරන්න ඒක පාවිච්චි කරන එකයි වැදගත්. ඇෆ්‍රොඩීසියැක් කියන්නෙ ඇත්තටම විද්‍යාවට වඩා අනුරාගී සංස්කෘතියට සම්බන්ධ කාරණයක්.

  • ලිබරල් සහ ඉලිබරල්

    ලිබරල් සහ ඉලිබරල්

    ලිබරල්වාදය ගැන ලංකාවෙ කතාවෙන්නෙ අඩුවෙන්. වෙන ටිකත් වෙන්නෙ ගොඩක් වෙලාවට සෙක්ස් සම්බන්ධ ප්‍රශ්නයක් ආවම බනින්න. උඹලගෙ ලිබරල් නිදහස හරියන්නෙ නෑ කියන්න. අපි රටක් විදිහට ලිබරල් රාමුවක් ඇතුලෙ වැඩ කළාට ඒ වටිනාකම් ගැන දැනුමක් රටේ මිනිස්සුන්ට නෑ. ඒ රාමුව අපේ පොලොවට සම්බන්ද නෑ.  ඒක හින්ද ගොඩක් වෙලාවට එන්ජීඕකාරයො, විදේශීය කුමන්ත්‍රණ කියල ගුටිකන්න තමයි නියමිත. අනිත් රටවල බලපෑම හින්ද ආරක්ෂා කරනවා මිසක් ලිබරල් මූලධර්ම රටේ කාටවත් ඕන නෑ. හරියට බුදු දහම වගේමයි. නමට තිබුණට කාටවත් ඒකෙ හරයන්ගෙන් ඇති වැඩක් නෑ. බුදුන් දේශනා කළාට පෘතග්ජන ජීවිතේ ඕවා බෑ.

    මේක ලිබරල්වාදයේ ආධ්‍යාත්මික නිවහන කියල කියන ඇමරිකාවෙත් මෙහෙමයි. බටහිර ලිබරල් මතවාදය දැවැන්ත අභියෝගයකට ලක්වෙලා තියෙනවා. එක පැත්තකින් බලවත් වෙන චීනය ලිබරල් අදහස්වලට ඔලොක්කුව දානවා. අනිත් පැත්තෙන් රට ඇතුලෙම ජාතිකවාදී දක්ෂිනාංශිකයො සහ අන්තගාමී ලිබරල් වම මේ අදහස් යටපත් කරන්න සටන් කරනවා.

    මේ බටහිර ලිබරල්වාදයේ දෝෂය ගැන ඉකොනොමිස්ට් සඟරාවෙ හොඳ ලිපියක් තිබුන. බටහිර ශිෂ්ටාචාරය පදනම් වුනු නිදහස මූලික මේ අදහස් පද්ධතිය බිඳවැටෙයිද කියන කාරණය ඒකෙ සාකච්ඡා කරලා තිබුන. මේ සටහන පදනම් වෙන්නෙ ඒ සාකච්ඡාව මත.

    ලිබරල්වාදය කියන්නෙ මිනිස්සු අතර සංවාදයෙන් සහ විවිධ සමාජ ප්‍රතිසංස්කරණ හරහා මානව ප්‍රගතිය අත්පත් කරගන්න පුළුවන් කියල විශ්වාස කරන දර්ශනයක්. මෙතනදි ලිබරල්වාදීන් සමා‍ජයේ සංවර්ධන පිමි පනින්න කාරණා තුනක් පාවිච්චි කරනවා. පුද්ගල ගරුත්වය, ඒ කියන්නෙ පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම- රජයෙන් හෝ ඒකාධිකාරයන්ගෙන් බාධා නොවෙන විවෘත වෙළඳපොල – ඊළඟට දුර්වල ආන්ඩුව. නැත්නම් කුඩා වූ රාජ්‍ය බලපෑම. මේ කාරණා තුන හරහා තමයි ලිබරල්වාදය ලෝකෙ මේ අද අපි අත්පත්කරගෙන විඳින සුවිශාල දියුණුව නිර්මාණය කළේ. අවුරුදු 250ක් පුරා ලිබරල්වාදය විසින් ලෝකෙ පුරාම හිතාගන්න බැරි තරමෙ සංවර්ධනයක් ඇති කළා. ඒ වගේ මතවාදයක් මේ වගේ සරලව ලෝකෙන් තුරන් වෙලා යයි කියල හිතන්න අමාරුයි. නමුත් දරුණු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියන එක ඇත්තක්. මේක හරියටම අවුරුදු 100ට කලින් යුරෝපයේදි මුහුණ දුන්නා හා සමානම අර්බුදයක්. ඒ කාලෙ එක පැත්තකින් ‍බොල්ෂෙවික්වාදයයි, අනිත් පැත්තෙන් නාසිවාදයයි යුරෝපය තුලම වර්ධනය වෙද්දි බටහිර ලිබරල්වාදය මේ වගේම අවුලකට ගියා.

    චීනයට අනුව ආත්මාර්ථය මුල් කරගැනීම, සුඛපරම වීම, ඉතාම අස්ථාවර වීම හින්ද  ලිබරල්වාදය ඉවර වෙන්න යනවා. ඇමරිකාවෙ දක්ෂිනාංශිකයන්ට සහ වාමාංශිකයන්ට අනුව ප්‍රභූවාදයක් වූ ලිබරල්වාදය එහි අවසානය කරා යමින් ඉන්නවා. ඇමරිකාවෙ මේ තත්වය දරුනුයි. පසුගිය සතියක තවමත් පවතින ගබ්සා විරෝධී නීතිය ඉවත් කිරීම ඇමරිකානු සුප්‍රිම් උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනවා. ට්‍රම්ප්වාදී දකුනෙන් ලිබරල්වාදය හොඳටම බැටකනවා.

    ඇමරිකාවෙ තත්වයත් පුදුම විදිහට ලංකාවට සමානයි.  ජාතිකවාදී දක්ෂිනාංශිකයො, හරියට අපේ පොහොට්ටුව වගේම විද්‍යාව, නීතිය වගේ දේවල් පිලිගන්නෙ නෑ. තර්කයට, දත්ත වලට වඩා ගෝත්‍රික, සමූහ ඉමෝෂන්වලින් තමයි දුවන්නෙ.

    අනිත් පැත්තෙන් ලිබරල් කඳවුර ඇතුලෙම ඉන්නවා ලිබරල් නොවන වමක්. මේ වම බිහිවුනේ සමාජයෙ ඉහළ ස්ථරවල පවුල්වල දරුවන්ගෙන්. කැම්පස් ඇතුලෙන් මේක පටන් ගත්තෙ. මීඩියා, බිස්නස්, පොලිටික්ස් හැම තැනකම ඉහළම තැන්වලට බලපෑම් කරන්න මේ අයට සම්බන්ධතා තියෙනවා. ට්විටර් කොමියුනිටි එකේ වැඩිපුරම ඉන්නෙ මේ පිරිස. පොලිටිකල් කරෙක්ට්නස් තමයි ඒ ගොල්ලොන්ගෙ මෙහෙයුම.

    මේ අය සමාජය ඇතුලෙ අනාරක්ෂිතයි කියන හැඟීමක් නිර්මාණය කළා. සමාජයේ පීඩිතයන්ගේ අලුත් කුල ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ කියන්නෙ කලු කියන එකට වඩා මුස්ලිම් කියන එක පීඩිත කුල අතර ඉහලයි. සමහර විට කාන්තාවක් වීමට වඩා ආබාධිත වීම හෝ ට්‍රාන්ස්ජෙන්ඩර් වීම ඉහල කුලයක් වෙන්න පුළුවන්. සමාජයේ විඳින පීඩාව අනුව මේ බල ධූරාවලියෙ තැන ලැබෙනවා. මේ නිසා කතා කරන හැම කාන්තාවක්ම වගේ පොඩි කාලෙ තමන්ට අතවර සිද්දවුනු ඉතිහාසයක් නිර්මාණය කරගැනීමේ ට්‍රෙන්ඩ් එකක් පවා හැදුනා. එහෙම නැත්තං ඔයා අදාල නොවෙන කෙනෙක් වගේ. මේ කියන්නෙ සමාජයේ ඇත්තට අතවර සිද්ද නොවෙනවා කියන එක නෙමෙයි. ඒක විලාසිතාවක් වුනා කියන එක.

    සෝෂල් ජස්ටිස් වොරියර්ස් නැත්තං සමාජ යුක්ති‍යේ සටන්කරුවො බිහිවුනේ මේ විදිහට. මේ නව වමේ සමස්ත දේශපාලනයම පදනම් වුනේ  පීඩිතයා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම කියන පටු දෘෂ්ටියක. ඒ අය මතවාදී කන්‍යාභාවයක් විශ්වාස කළා. වෙනස් මත දරන අය එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නෙ නෑ. සාකච්ඡාව විශ්වාස කරන්නෙ නෑ. වෙනස් අදහසක් දරන අයට ඒ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිලිගන්නෙ නෑ. 18 වෙනි සියවසේ ලිබරල්වාදය එන්න කලින් යුරෝපයේ තිබුනු ආගමික මුහුණුවරමයි එහෙම්පිටින්ම.

    ප්‍රශ්නෙ තියෙන්නෙ සම්භාව්‍ය ලිබරල්වාදයෙත් මේ ලිබරල් නොවන ප්‍රගතිශීලී වමේත් සමාන තැන් තියෙන එක. මේ දෙකේම අවසාන පරමාර්ථයන් සමානයි. මූලික වෙනස තියෙන්නෙ ලිබරල්වාදීන් වර්තමානය පිළිගන්න එක. අනාගත අරමුණක් වෙනුවෙන් ඒක පාවා නොදෙන එක.  උදා විදිහට ජාතිය හෝ ලිංගය පදනම් කර  නොගන සියල්ලන්ට සමාන අවස්ථා ලැබිය යුතුයි කියන එක දෙගොල්ලොම පිලිගන්නවා. ඒ වගේම වෙනස්වීමේ අවශ්‍යතාවය විශ්වාස කරනවා. අධිකාරීන්ගේ බලය අවිශ්වාස කරනවා.

    ඒත් මේ තත්වයන් ළඟා කරගැනීමට යෝජනා කරන මාර්ගය වෙනස්. සම්භාව්‍ය ලිබරල්වාදීන් ප්‍රගතිය විශ්වාස කළාට ප්‍රගතිය යනු මෙසේ විය යුතුයි කියල අදහසක නෑ. ඒක අහම්බයක් විදිහටයි දකින්නෙ. පහළ සිට ඉහළටම සිදුවන ක්‍රියාකාරීත්වයන් රැසක ප්‍රතිඵලයක් විදිහටයි ප්‍රගතිය දකින්නෙ. ඒ සඳහා අවශ්‍ය තත්වයන් සම්පාදනය කිරීම විතරයි ලිබරල් දේශපාලනයෙදි කරන්නෙ. උදා විදිහට බලය කේන්ද්‍රගත නොවී හැකිතරම් බෙදී යාමට සැලැස්වීම, සමූහය හා සමානවම පුද්ගලයාටද ප්‍රමුඛත්වය දීම වගේ දේවල්. ලිබරල්වාදය ඇතුලට රිංගගත්ත ලිබරල් නොවන වම කරන්නෙ බලය තමන් වෙත කේන්ද්‍රගත කරගැනීමක්.

    ලිබරල් නොවන වම හරියටම දන්නවා මේ ප්‍රගතිය කෙසේ විය යුතුද කියන එක. ඒ අයට අනුව ප්‍රගතිය කරා ගමන් කළ හැක්කේ සියලු වාර්ගික, ලිංගික ධුරාවලීන් බිඳදැමීමෙන් පස්සෙයි.

    ලිබරල් පිලිගැනීම වෙන්නෙ සාධාරණ කොන්දේසි මත එකිනෙකා අතර ඇතිවන තරගයෙන් සමාජය ඉස්සරහට යනවා කියන එක. ඒ සඳහා මොනොපොලි නැතිකිරීම, ගිල්ඩ්ස් හදන එක, ටැක්ස් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන වවුචර් ලබාදීම ව‍ගේ දේවල් ක්‍රියාත්මක කරනවා.

    මේ නව වාම ප්‍රගතිශීලීන් නිදහස් ගනුදෙනු කියන එක ගැන විශ්වාස කරන්නෙ නෑ. ඒවා පවතින තත්වය ස්ථාපිත කරන උපායන් විදිහටයි දකින්නෙ. ඒ වෙනුවට බලෙන් සමානත්වයක් ආරෝපණය කරන්න උත්සාහ කරනවා. යුක්තිය පසිඳලීමේ කාර්යය තමන්වෙත පවරාගන්නවා. උදා විදිහට වර්ණය පදනම් කර නොගන්නා විභාගයකින් සමත් වෙන ශිෂ්‍ය පිරිස යම් හෙයකින් වර්ණ භේදය දැක්වෙන ප්‍රතිඵලයක් නම් මේ ප්‍රගතිශීලීන් කියන්නෙ පරීක්ෂණය වර්ණභේදවාදීයි කියල.

    දැන් මෙතනදි වර්ණභේදවාදය නැති කිරීම කියන අරමුණ හොඳ එකක්. ඒත් ඒ හරහා සමස්ත පරීක්ෂණය විනිශ්චය කිරීම පටු එළඹුමක්. වර්ණයට අමතර තවත් බොහෝ කාරණාවලින් සමත් අසමත්බව තීරණය කරනවා වෙන්න පුළුවන්.

    වර්ණභේදවාදී නොවෙන ප්‍රතිපත්ති ඇති කරන එක වැදගත්. ඒත් ඒකෙන් පීඩාවට පත් සුදු ජාතිකයන්ට අසාධාරණයක් නොවීමත් වැදගත්. අනිත් අතට කලු ජාතිකයන්ට තමන්ගේ දක්ෂතා හඳුනාගැනීමට තියෙන ඉඩකඩ අහිමි වීමත් අවුලක්. කලුවීම නිසාම යමකට කෙනෙක් සුදුසු වෙනවා නම් එතන තියෙනවා ගැටලුවක්.

    පිරිස්වලට පමණක් නෙමෙයි පුද්ගලයාටත් සාධාරණව සලකන්න ඕන කියන එකයි ලිබරල් අදහස. සමාජය කියන්නෙ පුද්ගයන්ගෙන් හැදුනු එකතුවක් වන අතර පුද්ගලයා දියුණු වෙද්දි සමාජය දියුණු වෙනවා.

    සමාජයක් ගත්තම ඒක අරමුණු ගොඩක්. ආර්ථිකය, සුබසාධනය, අපරාධ, පරිසරය, ජාතික ආරක්ෂාව වගේ කාරණා තොගයක් එතන තියෙනවා. මේ අරමුණු එක්ක ගැටගැහුනු මිනිස්සු ඉන්නවා. එතනදි ප්‍රතිපත්තියක් හුදෙක්ම යම් පිරිසකට වාසිදායක වීම හෝ නොවීම මත පමණක් විනිශ්චය කරන එක දරුණු වරදක් වෙනවා.

    මේ නිසා ලිබරල්වාදීන් සංවාද කරනවා. ප්‍රමුඛතාවලට උඩට මතුවෙන්න ඉඩහරිනවා. හැම ආකාරයකින්ම බහුත්වවාදී සමාජයක් පිලිගන්නවා. චන්දවලින් දේවල් වෙනස් කරනවා.

    ඉලිබර‍ලයො, ඒ කියන්නෙ මේ ලිබරල් නොවන වාම ප්‍රගතිශීලීන් අදහස් වෙළඳපොල පිලිගන්නෙ නෑ. යමක් ගැන සාක්ෂි පිලිගන්නෙ නෑ. සංවාදයන් බැහැර කරනවා. ඒ අයට අනුව ඒවා එලීට් වැඩ.

    ලිබරල්වාදී විශ්වාසය වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවට මේ ප්‍රගතිශීලීන් විශ්වාස කරන්නෙ වේදිකාව තරමක් ඇලව පිහිටන්න ඕන කියලයි. ඒ කියන්නෙ පීඩිත කුලයට වාසි වෙන විදිහට. පීඩිතයන්ට එරෙහිව කිසි අදහසක් ප්‍රකාශ වෙන්න බෑ. එහෙම වුනොත් සමාජ යුක්ති විරුවන් විසින් දඬුවම් කරනවා.

    මිල්ටන් ෆ්‍රීමන් කාලෙකට කලින් මේක ගැන ඉතාම ලස්සන කතාවක් කියනවා. යම් සමාජයක් නිදහසට වඩා ඉස්සරහින් සමානත්වය ආරක්ෂා කරන්න යනවද, ඒ සමාජයට ඒ දෙකම නැති වෙනවා කියල.

    මේ නව වාම ප්‍රගතිශීලීන්ගේ තියෙන අපරිණත බව වෙන්නෙ  පීඩිතයන් ගලවා ගැනීමේ එකම ආකාරය ඔවුන් සතුයි කියල හිතන එක. මේ හරහා ඔවුන් දක්ෂිනාංශිකයන් වගේම පුද්ගලයා පීඩාවට ලක් කරනවා.  අනාගතයේ පොරොන්දු දේශයක් වෙනුවෙන් දැන් වැරදි මාර්ගය  තෝරාගන්නවා. ගමනට වඩා ගමනාන්තයට මුල්තැන දෙනවා. වර්තමානය කැප කරනවා.

    ඒ අය පුද්ගලයා වෙනු‍වට සමූහය මූලික කරගන්නවා.

    ජාතිකවාදීන් විශ්වාස කරන ශක්තිමත් රාජ්‍ය කියන්නෙ වික්ටර් ඕබන්ගේ හංගේරියාව, පුටින්ගෙ රුසියාව වගේ බලය පිළිබඳ ඉතාම නරක නිදර්ශන. අනිත් පැත්තෙන් කියුබාව වෙනිසියුලාව වගේ රටවල් කියන්නෙ අවසානයේ උදාවන යහපතක් අරමුණු කරගෙන වැරදි මාර්ගයන් තෝරාගැනීම ගැන හොඳම නිදර්ශන.

    ජාතිකවාදීන් කරන්නෙ දේශප්‍රේමය කියන එක දාලා සමාජය බෙදන එක. අනිත් පැත්තෙන් ප්‍රගතිශීලින් කරන්නෙ අලුත් පීඩිත කුල ධුරාවලියක් හඳුන්වාදීලා සමාජය කඩන එක. අවසානයේ හමුවන යුක්තිය කො‍හොම වුනත් මේකෙන් සමාජ ගැටුම් නම් උපරිම කරනවා.

    මේ දෙපිරිසම එකිනෙකා මත යැපෙනවා. දෙගොල්ලොන්ගෙම හතුරා වෙන්නෙ ලිබරල් නිදහස. මේ දෙපිරිසම විශ්වාස කරන්නෙ තමන්ගේ පාර්ශ්වයේ කෙනෙක් විවේචනය කිරීම ද්‍රෝහීවීමක් කියල. මේ හින්ද වෙන්නෙ ලිබරල්වාදයේ අවශ්‍යම කොන්දේසිය වන සංවාදය සංකෝචනය වෙන එක. එකිනෙකා ආරක්ෂා කරගැනීමක් මිස විවෘත අදහස් මුනගැහීමක් සිද්ද වෙන්නෙ නෑ. සමාජය ඉස්සරහට යාමක් නෑ.

    අපි සරලව ලිබරල් කියල කිව්වට තේරුම්ගන්න ඕන කාරණයක් තමයි ලිබරල්වාදය කියන්නෙ අපේ මානව ස්වභාවයට ප්‍රතිවිරුද්ධ දහමක් කියන එක. අපි අපේ විරුද්ධවාදියාගේ කතා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කතා කරන දේට තමන් එකඟ නැති වුනත්, ඒකෙන් තමන්ට හානියක් වුනත්, ඒ අයිතිය ආරක්ෂා කරන්න ඕන.  ඒ වගේම හැමවෙලාවකම අපි අපිව සැකකරන්න ඕන. අපෙන්ම හැරිලා ප්‍රශ්න කරන්න ඕන. අපි නිවැරදියි කියන අදහස ලිබරල් එකක් නෙමෙයි. පවතින ව්‍යාපාර නිර්මාණාත්මකව අභියෝගවලට ලක්වෙන්න ඉඩ දෙන්න ඕන. ඒවා ආරක්ෂා කරන ප්‍රතිපත්ති හදන එක නෙමෙයි කරන්න ඕන. ඔයාගෙ පවුලෙම අයට වුනත් දක්ෂතාවයෙන් ඉස්සරහට එන්න ඉඩදෙන්න ඕන. තමන්ගෙ සම්බන්ධතාවලින් උඩට ගන්න බැරි වෙන්න ඕන. තමන්ගෙ විරුද්ධවාදියාගේ වුනත් ජයග්‍රහණය බාරගන්න ඕන. ඒකෙන් රටටම කෙළවෙලා යන බව දැනදැනම වුනත් පරාජය බාරගෙන ඉඩදෙන්න ඕන.

    මේ විදිහට බලද්දි පේන දෙයක් තමයි ලිබරල්වාදියෙක් වෙන එක ලේසි නෑ කියන එක. ඒක පුද්ගලයා තුල ඇතිවෙන සිතීමේ වෙනසක් එක්ක සම්බන්ධයි. ඒක තමන්ගෙන් එලියෙ පවතින දේශපාලනයක් නෙමෙයි, තමන්වත් ඇතුලෙන් වෙනස් කරන දහමක්.

    සෝවියට් රුසියාව බිඳවැටුන‍ට පස්සෙ ලිබරල්වාදයට අභියෝගයක් නැති වුනා. ඊටපස්සෙ ඇමරිකානු ලිබරල් එලීට් එකට ඒකෙ තිබුනු ඉතාම වැදගත් ගුණයන් වන මානවවාදී බවයි, තමන්ව සැක කිරීම කියන එකයි මගහැරුනා. සියල්ල නිවැරදියි කියල ඒ අය හිතුවා. ඒ ඉහල ඉන්න අයටම වාසි වෙන්න සිස්ටම් හැදුවා. සුදු- වැඩකරන පංතියේ මිනිස්සුන්ගේ ගරුත්වය නොතකා හැරියා. ඒ අය තුල හීනමානයක් ඇති කළා.

    මේක තේරුම් ගන්න හොඳම තැනක් තමයි අපේ මෛත්‍රිපාල සහ රනිල් අතර ගැටුම. මෛත්‍රිපාලට රනිල්ව පෙන්නන්න බැරි වෙන්නෙ රනිල් විසින් තමන්ගේ ඉහල පාංතිකබව හරහා ඇතිකරපු හීනමානය නිසයි. ඒ හීනමානයට පුළුවන් වුනා රටම ගිනිතියන්න. රනිල් ලංකාවෙ කළේ මේ ඇමරිකානු ලිබරල් එලීටය එහේ කරපු වරදමයි.

    මේ කාලෙ ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වුනා. ඉතිහාසය පුරා එන වර්ගවාදය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් තිබුනෙ නෑ. අඩුම තරමෙ ඒ ප්‍රශ්න හෙමින් විසඳ‍ෙමින් තියෙනවා කියන විශ්වාසයවත් ජනතාව මත ගොඩනගන්න පුළුවන් වුනේ නෑ. චීනය ඉතා වේගයෙන් ඉස්සරහට ආවා. වොෂින්ටනය බිඳවැටුනා.

    ලිබරල්වාදීන් මේ අවදානම සුලුවෙන් තකන්න නරකයි. මේ වෙනස්කම් මැද ලිබරල්වාදයේ සමහර පිරිස් දකුනට තල්ලු වුනු අතර අතර අනෙක් පිරිස වමට තල්ලු වුනා. ලිබරල්වාදී ප්‍රවේශය වෙන්නෙම මිනිස්සු අන්තයන්ට තල්ලුවීමට එරෙහිව වැඩකරන එක. ධ්‍රැවීකරණය වලක්වන එක. ඕනෑම ආකාරයක විවිධත්වයක් එකට පැවතීම පිලිගන්නෙ ලිබරල්වාදීන් විතරයි. ඒක ඔවුන්ට අනුව ශක්තියක්.

    ලිබරල්  ප්‍රතිපත්ති සකස් කරන්නෙ මිනිස්සුන්ගෙ නිර්මාණශීලීත්වයට  විවෘත ඉඩක් තියලයි. අපි විසින් දැනට ගන්නා තීරණයට වඩා මිනිස් ක්‍රියාකාරීත්වයේදී වඩා සාධනීය, පිමි පනින තත්වයන් ඇතිවෙන්න පුළුවන් කියන එකයි ඒ විශ්වාසය.

    ඉතිං ලිබරල් සටන් නැවත පටන් ගන්න ඕන. පුද්ගල නිදහස අහිමි කරන පටු දෘෂ්ටිවාදයන්ට ලෝකය පාලනය කරන්න ඉඩහරිනවා වෙනුවට ඒ නිදහස ආරක්ෂා කරන්න පෙනී සිටින්න ඕන. වාරණයන්ට සීමාවන්ට එරෙහිව සංවාදය ආරක්ෂා කරන්න ඕන.

    ඇමරිකාවෙ විතරක් නෙමෙයි ලංකාවෙත් සැබෑ දේශප්‍රේමය කියන්නෙ ඉලිබරල්  අගාධයෙන් එපිටට සමාජය තල්ලු කරන එකයි.