අද ඔක්තෝම්බර් 16 ලෝක ආහාර දිනය. මේ දවස සමරන්නෙ ලෝකෙන් කුසගින්න තුරන් කිරීම සඳහා එකතුවීමක් විදිහට. ‍‍ආහාර යනු වරප්‍රසාදයක් නොවේ කියන එකයි මේ දවසෙ අවධාරණය. අරමුණු අතින් වෙනස් වුනත් අපි හිතුවා මේ දවස වෙනුවෙන් සෙක්ස් සම්බන්ධ ආහාර ගැන කතා කරන්න. ඒ කියන්නෙ ආශාව වර්ධනය කරන ආහාර වර්ග. මේවාට කියනවා ඇෆ්රොඩිසියැක් කියල. ඒකට ලිංගික ශක්තිය වඩන ආහාර වර්ග, පාන වර්ග සහ ඖෂධ වර්ග අයිති වෙනවා. හැබැයි මූලිකවම අයිති වෙන්නෙ ආහාර පාන. ලංකාවෙ අපි හැමෝම දන්න ආයුර්වේදය පැත්තෙන් එන ඇෆ්රොඩිසියැක් තමයි වැල්පෙණල, කීකිරිඳිය, අශ්වගන්ධ වගේ ඒවා. කංසා, මෝදක අයිතිවෙන්නෙත් මේ කාණ්ඩෙට.

මේ කාමවර්ධක ඈත ඉතිහාසෙක ඉඳන් තිබුන. පුරාතන ඉතිහාසයන් ඇති ඉන්දියාව, චීනය, ඊජිප්තුව වගේ රටවලින් විවිධ කාමවර්ධක ආහාර පාන ගැන සඳහන් වෙනවා. පිරිසිදු මීපැණිවල ඉඳන් කිඹුලන්ගෙ වෘෂණ කෝෂ දක්වා විවිධ කෑම වර්ග මේ ලැයිස්තුවල තියෙනවා. එක එක රටවල ඇෆ්රොඩිසියැක් වෙනස් වුනත් හැම එකකම අවසාන අරමුණ වෙන්නෙ උත්කෘෂ්ට ලිංගික ආස්වාදයක් කියන එක.

ගොඩක් වෙලාවට මේ ආහාරපාන වටේ තියෙන්නෙ ‍ගෙතුණු මිත්‍යාවක්. එහෙම ඇත්තට ක්‍රියාකාරීත්වයක් නෑ. හැබැයි සමහර ආහාරපාන වර්ගවල ඇත්තටම කාම උද්දීපනයක් තියෙනවා.

ඇෆ්රොඩිසියැක් කියන නම එන්නෙ අනුරාගයට සහ සුන්දරත්වයට අධිපති ග්‍රීක දෙවඟන ඇෆ්රොඩයිට් ගෙන්. ග්‍රීක මිත්‍යා කතාවට අනුව ඇෆ්රොඩයිට් ඉපදෙන්නෙ පෙණවලින්. ඇෆ්රොස් කියන්නෙ පෙණවලට කියන ග්‍රීක වචනය. මේ පෙණ හැදෙන විදිහ හරි ප්‍රචණ්ඩයි. ක්‍රොනස් කියන සියුස්ගෙ තාත්තා විසින් යුරේනස් කියන සියුස්ගෙ සීයාගෙ වෘෂණකෝෂ කපලා මුහුදට විසිකරනවා. ඒ කියන්නෙ අකීකරු පුත්‍රයා විසින් අධිපති තාත්තාව කප්පාදු කරනවා. මේ වෘෂණකෝෂවලින් මුහුදෙ හැදෙන පෙණවලින් තමයි ඇෆ්රොඩයිට් ඉපදෙන්නෙ. එයාට මුහුදු දෙවඟන කියලත් කියනවා.

ඓතිහාසික ඇෆ්රොඩිසියැක්

ක්‍රිපූ 8 වෙනි සියවසේ විතර ලියවුනු සුශෘත සංහිතාව අනුව ගිතෙල් අරගෙන, කිඹුල්, මී, ගෙඹි, සහ පොල්කිචි බිත්තර හෝ වෘෂණ සමග තම්බලා ඒ මිශ්‍රණය පතුල්වල ගාගන්න පිරිමියෙකුට පුළුවන් වෙනවා අසාමාන්‍ය ලිංගික ශක්තියකින් ගැහැණියක් සමග රමණය කරන්න. ඒ පතුල් නැවත බිම තියන තුරු මේ බලය තියෙනවා කියලයි කියන්නෙ.

චීනයේ හුආන්-ටි නේ- චින්ග් කියන ක්‍රිපූ 2600 විතර ලියවුනා කියන වෛද්‍ය ග්‍රන්ථයට අනුව චීන අධිරාජයා එයාගෙ 1200ක් මෙහෙසියන් සමග රමණය කරලා අවසානයේ අමරණීයත්වය ලබන්න කලින් වර්ග 22ක් මුසුකර හදපු ඇෆ්රොඩිසියැක් පානයක් අරගන්නවලු.

  • පැරණි ඊජිප්තුවෙ කිඹුල් හදවත අඹරලා ලිංගයේ ආලේප කිරීම සිදුවුනා.
  • ප්ලයිනි කියන ග්‍රීක දාර්ශනිකයා කියනවා මැන්ඩ්‍රේක් මුලෙන් ලිංගික ශක්තිය වැඩිකරනවා කියල. ඒ මුල් ගැහැණු ලිංගේන්ද්‍රියක් හැඩයට පිහිටන්නෙ ඒකලු.
  • පැරණි චීන්නු ලිංගික ශක්තිය වැඩිකරන්න කියල විවිධ සතුන්ගේ ලිංගේන්ද්‍රියන් අනුභව කරලා තියෙනවා.
  • රෝමානුවන් තමන්ගේ තරුණ මදය යළි ලබාගන්න කියල තරුණ පිරිමින්ගේ ශ්‍රක්‍රානු පානය කරලා තියෙනවා.
  • ඇෆ්රොඩයිට්ගේ තියෙන මුහුද එක්ක සම්බන්ධය නිසාම මුහුදුකෑම ජාති සහ බෙල්ලො අනුරාගය වඩවනසුලුයි කියල අතීතයේ ඉඳන් කියනවා.
  • මධ්‍යධරනී මුහුදෙ සර්දීනියාව කියන දූපතේ පණුවො ගහපු නරක් වූ චීස්, මේකට කියන්නෙ කාසු මර්සු කියල, කාම උද්දීපකයක් කියල කියනවා.
  • ලෝකෙ ගඳම කෑමවලින් එකක් කියන දූරියන් ගිනිකොණදිග ආසියාවෙ රටවල දරුණු කාම වර්ධකයක් කියල කෑමට ගන්නවා.
  • රයිනොගෙ අඟ ලිංගික ශක්තිය වැඩිකරනවා කියල අප්‍රිකාවෙ රයිනෝලා මරාගෙන මරාගෙන යනවා.
  • මේ කතාවල ඇත්ත නැත්ත කොහොම වුනත් යම් විද්‍යාත්මක පදනමක් තියෙන ඇෆ්රොඩිසියැක් වර්ග තියෙනවා.

ඔයිස්ටර්ස්

කැසනොවා එයාගෙ සෙක්ෂුවල් ස්ටැමිනා, ඒ කියන්නෙ වැඩිවෙලාවක් අල්ලගෙන හිඳීමේ ශක්තිය රඳවා ගන්න අමු මුහුදු බෙල්ලො 50ක් උදේ ආහාරය විදිහට ගත්තා කියනවා.
ලිංගික සෞඛ්‍ය සහ පෝෂණය පැත්තෙන් විද්‍යාවෙනුත් ඔයිස්ටර්ස්ලාගේ තියෙන මේ ගුණය පිළිගන්නවා. ඔයිස්ටර්ස්වල සින්ක් හොඳටම තියෙනවා. අපේ ලිංගික පරිණතියට සහ ශුක්‍ර නිෂ්පාදනයට සින්ක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අමු බෙල්ලන්ගෙ තියෙන ඇමිනො අම්ලයක් මගිනුත් ලිංගික හෝමෝන වර්ධනය කරන බව හොයාගෙන තියෙනවා.
චොක්ලට්

චොක්ලට් කියන්නෙ ආදරයේ ආහාරය නෙ. ආදර හදවත් කුල්මත් කරන්න චොක්ලට්වලට ලොකු හැකියාවක් තියෙනවා කියල ලොකු පිලිගැනීමක් තියෙනවා. පර්යේෂණවලින් කොකොවා සතු හෘදයට හිතකර බලපෑම් හොයාගෙන තිබුනත් කාමය වර්ධනය කරන කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.

මිරිස්

මිරිස්වලින් අපිව රත් කරනවා. රතු කරනවා. දාඩිය දානවා. හදවතේ ගැස්ම වැඩි කරනවා. අනුරාගය වැඩිවෙද්දි සිද්දවෙන හැමදෙයක්ම වගේ ඇති කරනවා. ඒත් ඇත්තටම ඒකෙන් ලිංගික බලපෑමක් තියෙනවද?

මීයන්ව යොදාගෙන කරපු පර්යේෂණවලට අනුව මිරිස් කාපු මීයන් ශුක්‍ර පිටකරන වාර ගණන වැඩිවෙලා තියෙනවා. හැබැයි ඒ අතරම ක්ෂණික මෝචනයක් සිද්ද වෙනවා. ඒ මීයන්ගෙ එක වරක් ශුක්‍ර පිටවීමෙන් පස්සෙ නැවත ප්‍රාණවත් වීමට ගතවෙන කාලයත් අඩුවීමක් පෙන්නුම් කරලා තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ලිංගික ක්‍රියාවෙ යෙදෙන කාලයත් අඩුවෙන එකයි.

මේ ප්‍රතික්‍රියා මීයන්ට මෙහෙම වුනාට මිනිස්සුන්ට මෙහෙම වෙනවා කියල හොයාගෙන නම් නෑ.
රතු ජින්සෙන් සහ මැකා

විධිමත් පර්යේෂණ මට්ටමෙන් තවම කියන්න බැරි වුනත් රෙඩ් ජින්සෙන් සහ පේරුවලින් එන මුලක් වෙන මැකා වලින් ලිංගික ශක්තිය වැඩි කරන බවට පාවිච්චි කළ පුද්ගලයන් ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කරමින් සිදුකළ සමීක්ෂණවලට අනුව ගැහැණු පිරිමි දෙපාර්ශ්වයෙම ලිංගික ආශාවන් වර්ධනය කරන්න මේ මුල්වලට හැකිවෙලා තියෙනවා.

විද්‍යාත්මක පර්යේෂණ කොහොම වුනත් ඇෆ්රොඩිසියැක් ගැන විශ්වාසය නිසාමත් ඒවා වැඩකරන තත්වයක් තියෙනවා. හොඳම උදාහරණය චොක්ලට්. විද්‍යාත්මක ලිංගික අනුරාගය වඩවන කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුනත් චොක්ලට් සුවඳට, ඒ රසට අපේ මනසේ නිර්මාණය වෙලා තියෙන ආශාවේ අනුහස විශාලයි. ඒ හින්දම චොක්ලට් කාම උද්දීපකයක් විදිහට වැඩකරනවා.

ඒ හින්ද මේ ඇෆ්රොඩිසියැක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. තමන්ට දැනෙන, හැ‍ඟ‍ෙන ඇෆ්රොඩිසියැක් ලැයිස්තුවක් හදාගෙන තමන්ගේ අනුරාගී අත්දැකීම වඩාත් උද්දීපනය කරන්න ඒක පාවිච්චි කරන එකයි වැදගත්. ඇෆ්‍රොඩීසියැක් කියන්නෙ ඇත්තටම විද්‍යාවට වඩා අනුරාගී සංස්කෘතියට සම්බන්ධ කාරණයක්.