ප්‍රසංගයකදි උමාරියාගෙ පියයුරක් නිරාවරණය වෙලා. ඒක සමාජ මාධ්‍යවල විශාල ලිංගික උද්දීපනයක් ඇති කරලා තියෙනවා. සාමාන්‍යයෙන් නිරුවත කැමැත්තෙන් ප්‍රදර්ශනය කිරීමට වඩා වැරදීමකින් හෝ අහම්බයකින් නිරාවරණය වීම ප්‍රමෝදයකින් සමරන වග පේන්න තියෙනවා. මොකද ඒ වරද තුලින්, වසා තිබූ යමක් අනවසරයෙන් දැකීමෙන්, කෙනෙකුට පුළුවන් වෙනවා ඇයට බලහත්කාරයක් කරන්න. ඒක පරපීඩක   කාමුකත්වයක්. ඇයව ලැජ්ජාවට, අපහසුතාවයට පත් කිරීමෙන් ලබන විකෘති ලිංගික තෘප්තියක්.

මේක ලංකාවට විතරක් පොදු තත්වයක් නෙමෙයි. බ්‍රිතාන්‍යයේ ගැලැස්ටන්බරි ප්‍රසංගයකදි ඇමන්ඩා පාමර්ගෙ පියයුරක් පිටතට පැනීම ගැන ‘ඩේලිමේල්’ ටැබ්ලොයිඩයේ අතිරේකයක්ම පළ කරලා තිබුනා. ‍ඩේලිමේල් එකට ඇගේ ප්‍රසංගයේ වෙන කිසිම දෙයක් වාර්තා කරන්න තිබුනෙ නෑ. ඔවුන්ට පෙනී තිබුනෙ ඇගේ පියයුර විතරයි.

ඇමන්ඩා කියන්නෙ ළඳබොළඳ ගැහැණියක් නෙමෙයි. නිරුවත කියන්නෙ ඇයව මෙල්ල කළ හැකි දේකුත් නෙමෙයි. ඇය ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ දරුණු ක්‍රියාකාරිනියක්. ඇගේ ඩේලිමේල් එකට බෝම්බයක් වුනා. ඇය ඩේලිමේල් එකට ලියුමක් ලිව්වා. ඒ ලියුම ප්‍රසංගයකදි ගීතයක් වගේ ගායනා කළා. ඒ ගීතය වීඩියෝ කරන්නත්, නිදහසේ බෙදා හරින්නත් රැස්ව සිටි රසිකයන්ට කිව්වා. (මේ ගීතය යූටියුබයෙන් නරඹන්න පුළුවන්)

හිතවත් ඩේලිමේල්,

මම දැක්කා ග්ලැස්ටන්බර්ග් උළෙලේ

මගේ ඉදිරිපත් කිරීම ඔබේ අවධානයට ලක්වෙලා තිබුනා

මම වේදිකාවේ බොහෝ දේ කළා

ඒත් ඔබ ඒ සියල්ල නොදුටුවා වගේ

මගේ පියයුර ගැන අතිරේකයක්ම ලියා තිබුනා..

(දුර්වල පරිවර්තනය මගේ)

ඇය ගීතය අවසානයේදී ඈ හැඳ සිටි කිමෝනාව ලිහා දැමුවා. නිරුවතින් ගීතය ගායනා කරගෙන ගියා. මේ බිහිසුනු ප්‍රතිචාරය හමුවේ ඩේලිමේල් නිරුවත් වුනා. ඇමන්ඩාගෙ ted talk එක මිලියන ගණන් ජනතාව නරඹන්න පටන් ගත්තා. Kickstarter එකේ විශාල සහයෝගයක් ඇතිව ඇය ඇගේ අලුත් ඇල්බමය නිකුත් කළා.

මේ වගේම කාලයකට ඉහතදි මැඩෝනා විසින් වේදිකාව මතදි  උඩුකය වැස්ම පහලට ඇදීමෙන් ඇගේ ඉතා ළාබාල fan කෙනෙක් නිරුවත් කළා. මේ ගැන විශාල කැළඹීමක් ඇති වුනා. අර යුවතිය වෙනුවෙන් පෙනී සිටිමින් මැඩෝනාට පහර දෙන්නට ස්ත්‍රීවාදීන් ඉදිරිපත් වුනා. ඇය මෙයින් ආතතියටත්, අපහාසයටත් පත්වූ බව ඔවුන් ඇය වෙනුවෙන් කිව්වා. මෙතනදි ඒ අවුරුදු 17 කෙල්ල පුදුම කතාවක් කිව්වා.

‘මගේ ශරීරය මට ලැජ්ජාවක් හෝ අපහාසයක්ද කියන එක මම තීරණය කරන්නම්. ඔබලා ඒ ගැන මට කියන්න අවශ්‍ය නෑ’

උමාරියාගේ පියයුර නිසා ඇතිවුනු කැළඹීමෙදි උමාරියා ඇය පියයුර ආවරණය කරගෙන සිටි ආකාරය කියන්නට උත්සාහ කළා. එයින් ඇය වෙත පරපීඩකකාමීන් එල්ල කරන අපහාසය ඇය විසින්ම බාරගත්තා. ඒක ඇත්තටම කණගාටුවට කාරණයක්.

ඇගේ පියයුර ආඩම්බරෙන් බාරගන්න ඇයට තිබුනා. කුඩා ලිංගේන්ද්‍රියන් සහිත අසහනකාරී පිරිමින් ඉදිරියේ ‍යෝධ පියයුරක්ව නැගී සිටින්නට ඇයට හැකියාව තිබුනා. ඒ ඇමන්ඩා පාර්මර් එළඹුම නිර්භීත වැඩි නම් ඇයට නිශ්ශබ්ද වෙන්න තිබුනා. රෝගීන් ‍රෝගය තුලින්ම නිරාවරණය වීමට ඉඩ හරින්න තිබුනා. කෙසේ වෙතත් තමන්ගේ පියයුරක් නිරාවරණය වීම ගැන නිදහසට කරුණු කියන්නට යන්නෙ මොකටද?

පිරිමියෙකුගේ නිරුවතක් වේදිකාව මත නිරාවරණය වීම ආඩම්බර‍යකින් කෙලවර වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. නමුත් ගැහැණු නිරුවතක් අපහාසය, ලැජ්ජාව තුල ගිලෙන්නෙ ඇයි?

තමන්ගේ ගීතයක, තමන්ගේ කලාවක අභිමානයට වඩා ඉහලින් ගැහැණියක් තමන්ගේ ශරීරයෙහි, නිරුවතෙහි අභිමානය බාරගන්න උවමනායි කියල මම හිතනවා.

Chinthana dharmadasa
Faculty of Sex