Category: News & Events

  • එප්ස්ටීන් කියන්නෙ පඹයෙක්!

    එප්ස්ටීන් කියන්නෙ පඹයෙක්!

    එප්ස්ටීන්ගේ භූමිකාව අද ක්‍රියා කරන්නේ හෙළිදරව් කිරීමක් ලෙස නොව  පාලනය කිරීමක් ලෙසයි. සියලු අපහාස සහ අපයෝජන එක “භයානක පුද්ගලයෙකු” වෙත එල්ල කරමින්   (scapegoat කිරීමෙන්), එවැනි දූෂණ සහ මිනිස් වෙළඳාම දිගටම පවත්වාගෙන යාමට ඉඩ දෙන විශාල ව්‍යුහමය තත්ත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමු කරයි. සැබෑ හෙලිදරව්ව යනු එප්ස්ටීන් නොව, නීතියේ ආරක්ෂාව බිදවැටීම, ආර්ථික බලහත්කාරය, විශේෂිත කණ්ඩායම් සඳහා නීති ක්‍රියාත්මක නොවීම, සහ  ආයතනික අසාර්ථකත්වය යන ඒවාය.

    ශිෂෙක් (Žižek) අපට පෙන්වා දෙන්නේ දෘෂ්ටිවාදය  (ideology) විසින් මෙබඳු ප්‍රචන්ඩත්වයන් “විශේෂ අවස්ථාවක්” ලෙස පෙන්වමින් සත්‍ය සගවන බවයි. පද්ධතිමය අපයෝජනය, පද්ධතියේ මූලික තර්කයක් ලෙස තේරුම් ගැනීම බැහැර කරමින්, අසමාන්‍ය පුද්ගලයෙකුගේ තනි අපරාධයක් ලෙස විදහා පෑමට උත්සාහ කරයි.

    මිනිස් වෙළඳාම අමුතු හෝ දුර්ලභ දෙයක් නොවේ. එය සාමාන්‍ය, ව්‍යුහමය ලෙස පවතින නමුත් බොහෝවිට නොපෙනෙන කොටසකි—විශේෂයෙන් දු ප්පත්, ලේඛන රහිත, හෝ සමාජයෙන් පහළට තල්ලු කරන ලද ජනතාවට එය බලපාන විට එය කිසිවෙකුගේ අවධානය යොමු වන කාරණයක් නොවේ.

    එප්ස්ටීන් ගැන පමණක් අවධානය යොමු කිරීම පද්ධතිය හෙළිදරව් කිරීමක් නොව, එය ආරක්ෂා කිරීමකි. ඔහු පද්ධතියේ සත්‍යය නොව, එහි scapegoat එකකි. අපයෝජනය එකම “දැඩි දූෂිත පුද්ගලයෙකු”ගේ පුද්ගලික අපචාරයක් බවට පත්කිරීමෙන්, සූරාකෑමට  ඉඩ දෙන විශාල ව්‍යුහය ගැන අවධානය වෙනතක යොමු කරයි.

    ස්ලැවොයි ශීෂෙක්

  • එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව

    එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව

    එප්ස්ටීන් ලිපිගොනු දිහා මුලු ලෝකෙම කට ඇරගෙන බලාගෙන ඉන්න වෙලාවක්. මගේ ෆේස්බුක් එකේ එප්ස්ටීන් ඇරුනම වෙන කිසි දෙයක් පේන්නෙ නැති තරම්. එප්ස්ටීන් ගැන වඩාත් දන්නෙ කවුද කියලත් සිංහලෙන් කියවන අය අතරෙ වෙනම තරගයක් යනවා. සෙක්ස් විසින් නැවතත් මුලු ලෝකෙම රෙදි ගලවලා තියෙනවා. ලෝකයේ ඉහළම ධනපතියන් වම්මුන් දේශපාලකයන් විද්‍යාඥයන් කලාකරුවන් කිසි භේදයකින් තොරව එප්ස්ටීන් ලිපිගොනුවල ඉන්නවා.

    මං එප්ස්ටීන් ගැන විශේෂඥයෙක් නෙමෙයි.  එප්ස්ටීන් ලිපිගොනුවලින් මතුවුනු නම් අතර මට වඩාත් උනන්දුවක් ඇති කලේ නම් තුනක් විතරයි. ඔය ට්‍රම්ප් එහෙම නම් එප්ස්ටීන් සාධකය නැතත් කොයි වගේද කියල හැමෝම දන්නවනෙ. ඒ වගේ විශේෂයක් මතු නොකරපු නම් ගොඩක් අතර මට විශේෂයක් ඇති කලේ, දීපක් චොප්රා, නෝම් චොම්ස්කි සහ ස්ටීවන් හෝකින්ස් කියන තුන්දෙනා. ‘දෙවියන් යනු ගොඩනැංවීමකි. නමුත් කියුට් කෙල්ලන් නම් ඇත්ත’ කියලා චොප්රා කියලා තිබුන. චොප්රාගෙ ආධ්‍යාත්මිකත්වය එප්ස්ටීන්ගෙ අධි සාන්ද්‍ර ‍ලෞකිකත්වය එක්ක රහසේ යහන්ගත වෙනවා.

    ඒ වගේම නුතන වාග් විද්‍යාවේ පීතෘවරයා වුනු, වමේ මහා දාර්ශනිකයෙක් වුනු නෝම් චොම්ස්කි සහ එප්ස්ටීන් කියන්නෙ හරිම ලස්සන සම්බන්ධයක්. වම දකුණ දේශපාලන භේදයක් නෑ එක තැනකින් එහා පවතින්නෙ බලය විතරයි. ඒ බලය ඇතුලෙ නෝම් චොම්ස්කියි ඩොනල්ඩ් ට්‍රම්පුයි එක ෆයිල් එකකට වැටෙනවා. (හරියට රනිලුයි අනුරයි වගේ).

    ස්ටීවන් හෝකින්ස් කියන නූත‍න කාලෙ අයින්ස්ටයින් සහ එප්ස්ටීන් කියන්නෙත් තේරුම් ගන්න වටින ගැලපීමක්. විශේෂයෙන් හෝකින්ස්ගෙ ආබාධිතභාවය සමග අධිකාමුක ලිංගිකත්වය ගැටගැහෙන විදිහ සාපරාධි විදිහකට වුනත් පැවැත්ම සම්පූර්ණ කරනවා. බලයේ එක සීමාවකින් පස්සෙ අන්ධයන්ටත් ඇස් පේන්න ගන්නවා. ආබාධිත වුනත් අසමානතාවය අවසන් වෙනවා.

    කොහොම නමුත් විද්‍යාව, ව්‍යාපාර, කලාව, දේශපාලනය, ආගම, ජාතිය, මේ කිසි දෙයක් එප්ස්ටීන් නැතුව සම්පූර්ණ වෙන්නෙ නෑ කියල වර්තමානය අපිට කියලා දෙනවා. ඒක ඉතාම භයානක එලිදරව්වීමක්. කොයිතරම් භයානකද කිව්වොත් අපි ඒ සත්‍යය දකිනවා වෙනුවට තෝරාගත් වැරදිකරුවන් විනිශ්චය කරමින් ඒ භීතියෙන් පලායන්න උත්සාහ කරනවා. අපිට මේ විපරීතභාවය බලයේ සහ සදාචාරයේ අනිවාර්යතාවයක් හැටියට පිලිගන්න පුළුවන්කමක් නෑ.

    මේ සිදුවීම් ගැන විනිශ්චයක් මට නෑ. මං උත්සාහ කරන්නෙ එප්ස්ටීන් සාධකය කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්නයි. පැහැදිලිවම එප්ස්ටීන් කියන්නෙ යටපත් කළ තහනම් ලිංගිකත්වය. ටැබූ එක. එතකොට ඒ ටැබූ එකත් එක්ක ලෝකෙ විශාලතම බල කේන්ද්‍රයන්ගෙ තියෙන සම්බන්ධය මොකක්ද? මේක එප්ස්ටීන් සහ තවත් පුද්ගලයන් අතර කතාවක්ද නැත්තං ව්‍යූහාත්මක අනිවාර්යතාවයක්ද?

    එප්ස්ටීන් කියන්නෙ අතිරික්තයේ මහා යාගයක්. ලෝකයේ සුවිසල්ම අතිරික්තය දහනය කරන විපරීත කලු කුහරයක්. නිෂ්පාදනයක අතිරික්තය, බලය, ධනය, දැනුම හෝ කවර ස්වරූපයකින් වේවා, එය උපරිමයෙන් ඵලදායිතාවයට යොදාගන්න බැරි තැනදි ඒක විපරීතයට, ට්‍රාන්ස්ග්‍රෙෂන් එකට හැරෙනවා. නීතිය, සදාචාරය ආදී ඉක්මවා යා නොහැකි යැයි සම්මත තැන් ඉක්මවා යනවා. දෙවියන් බවට පත්වෙනවා. දෙවියන්ව විනිශ්චය කරන්න බෑ. දෙවියන් ඉන්නෙ හොඳ සහ නරක සීමාවන්ගෙන් පිටත.

    එප්ස්ටීන් ලිපිගොනු ඒ අතිරික්තයේ විනාශකාරී දහනය. එප්ස්ටීන් කියන්නෙ ඒ සමස්තය එක මිනිසෙක් තුල සංකේන්ද්‍රණය වීම.

    එප්ස්ටීන් කියන්නෙ ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ සුවිසල්ම පිම්පියා. පිම්ප් කෙනෙක් කියන්නෙ අන් අයගෙ ආශාව සංසිදුවන්නා. පිම්පියෙක් කියන්නෙ ආශාව කරා යන පාලමක්.  ලැකානියානු අර්ථයෙන් කිව්වොත් එප්ස්ටීන් කියන්නෙ ලෝකයේ බලවතුන්ගේ ‘ඔබ්ජෙක්ට් ඔෆ් ඩිසයර්’ වෙනවා. තමන්ගේ ප්‍රසිද්ධිය, කීර්තිය ඇතුලෙ අහිමි වුනු, සීමා වුනු ජීවිතය ජීවත් කරන්නට අවසර දෙන්නා වෙනවා. සිහියෙන්, තාර්කිකත්වයෙන්, පාලනයෙන් යුතු ජීවිතය එහි උපරිමයෙන් උමතුවෙන්, අතාර්කිකත්වයෙන් විඳින්න ඉඩ දෙන්නා වෙනවා.  මේ ගොඩක් ධනවතුන්, උගතුන්, දාර්ශනිකයන් එප්ස්ටීන් සමග  එකතු වෙන ආකාරය හොඳින් බලන්න වටිනවා. එප්ස්ටීන් මෝඩයෙක්, නූගතෙක් කියලා මේ ගොඩක් අයට තේරෙනවා. ‘කිසිම තේරුමක් ඇති දෙයක් කතා කරන්න බැරි මනුස්සයෙක්’ කියලා ස්ටීවන් පින්කර් වගේ තව බොහෝ පිරිසක් කියනවා. නමුත් ඒ බොහෝ අය එප්ස්ටීන් එක්ක ඇපලෝනියානු අර්ධයෙන් දුරස් වුනත්  ඩයොනීසියානු අර්ධයෙන් බැදෙනවා.

    එප්ස්ටීන් ඒ අයගෙ ජීවිතයේ තහනම් කොටස පරිකල්පනය කරලා දෙනවා. දැනුමෙන්, බුද්ධියෙන් වෙනුවට පැවැත්මේ වාරණය කළ කොටසෙන් ඔවුන් ගැඹුරින් සම්බන්ධ වෙනවා. වෙන්නෙ මොකක්ද කියල සමහර විට ඒ අයටවත් හිතාගන්න බැරුව ඇති. ඔවුන්ගේ විශාලනය වූ ප්‍රතිරූපය සමග විශාලනය වූ අදුරු සෙවනැල්ලක බර එප්ස්ටීන් දරාගන්නවා.

    ඕනම මනුස්යෙක් විශාල ධනයක්, විශාල කීර්තියක්, විශාල බලයක් ලබාගන්නවා කියන්නෙම සාමාන්‍යයක් නෙමෙයි. ඒක විපරීතයක්. ඒ වෙනුවෙන් යටපත් වෙන, කැපවෙන බොහෝ ආශාවන් විපරීත වෙමින්,  වෙනත් මාවත් වලින් මතුවෙන්න නියමිතයි. බොහෝ විට වියපත් වෙමින් යන මේ දැවැන්තයන් පුංචි කෙල්ලන්ට ආශක්ත වීම, ඒ වෙනුවෙන් විශාල අවදානමක් ගැනීම කියන කාරණා හොඳින් හිතාබලන්න වටිනවා. සියලු බුද්ධි මට්ටම්, බල මට්ටම් කුඩුපට්ටම් කරගෙන ඒ ආශාව එහි වනචාරීම ස්වරූපයෙන්  නැගී සිටින බව පේනවා.

    මේ නම් එලියට එන හැම කෙනෙක්ම එප්ස්ටීන් එක්ක අපචාරී ක්‍රියාවල යෙදුනා කියල කියන්න මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒකෙ එක එක මට්ටම් තියෙන්න පුළුවන්. නමුත් මේ බොහෝ අය එප්ස්ටීන්ගෙ අපචාරී පැවැත්ම එක්ක සම්බන්ධකම් තිබුනා. මං හිතන්නෙ මේ වෙද්දි මුලු ලෝකෙම එප්ස්ටීන්ගෙ අපචාරී පැවැත්ම එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

    මේ ලිපිගොනු හෙලිවීම සමග ඒ දිහා කට අයාගෙන කතා ගොතන අපෙත් ‘ආශාවේ වස්තුව’ බවට එප්ස්ටීන් පත්වෙනවා. හෙලිවන නම් සහ අසම්පූර්ණ සිදුවීම් අතරට අපේ ෆැන්ටසි කතා නිර්මාණය වෙනවා. අපේ අතින් එප්ස්ටීන් අපචාරයන් සම්පුර්ණ වෙමින් ලියවෙනවා. අර අතිරික්තයේ ජීවත් වුනු මිනිසුන්ගේ විපරීතය අපි සාප කරමින් ආස්වාද කරනවා. ඒ හින්ද මේ වෙද්දි එප්ස්ටීන් කියන්නෙ මුලු ලෝකයක සඟවා ගත් අපචාරීත්වය සංකේන්ද්‍ර්‍රණය වුනු නාමය වෙලා තියෙනවා. එප්ස්ටීන් කියන්නෙ මේ වෙද්දි ඇති නැති හැමෝගෙම දැවැන්ත සමූහ රමනෝත්සවයක් බවට පත්වෙලා තියෙනවා.

    එප්ස්ටීන්ව විනිශ්චය කරනවට වඩා වැදගත් වෙන්නෙ එප්ස්ටීනියානු මනස තේරුම් ගන්න එක කියලයි මට හිතෙන්නෙ. කෙනෙකුට ඒක කරන්න හොඳ තැනක් ඇනායිස් නීන්ගෙ හංගේරියානු බැරන්වරයා කියන කතාව. ෆැකල්ටි ඔෆ් සෙක්ස් වෙබ් එකේම ඒ කතාවෙ සිංහල පරිවර්තනයක් තියෙනවා.   

  • සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය

    සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය

    ආදරය ගැන සුවිශේෂ පෝස්ටුවක් සමන් ආතවුදහෙට්ටි විසින් ‍සමාජ මාධ්‍යයේ පලකරලා තිබුන. ඒ මෑත කතාබහට ලක්වුනු පාසැල් සිද්ධිය සම්බන්ධයෙන්. එතනදි සමන් කියලා තිබුනෙ, තමන් ඒ ගුරුවරියකගේ සැමියෙක් නම් මේ අවස්ථාවෙ ඇය වෙනුවෙන් පෙනී ඉන්නවා සහ ඇය සමග හිටගන්නවා කියන එක. ඒක මේ අදාල මොහොතේදී ඉතාම මානුෂීය පෙනීසිටීමක්. ඒ වගේම සමන් ආතාවුදහෙට්ටි වගේ ප්‍රවීණයෙකුගෙන් සිදුවුනු රැඩිකල් මැදිහත්වීමක්.

    මේ ගැන සාකච්ඡාවෙදි අදාල ප්‍රකාශය ‘කකෝල්ඩින්’ ෆැන්‍‍ටසි කලාපයෙන් පැන නගින්නක් විදිහට ඇතැම් අය හාස්‍යමුසුව ඒ දිහා බැලුවා.

    සිදුවීමේ ලිංගිකබරිත බව නිසාම අපිට බොහෝ විට ඊට සම්බන්ධ ලිංගික මානය ඉක්මවා යන දේවල් දකින්න බැරි වෙනවා. සියල්ල ලිංගිකත්වයට ඌනනය වෙන්න ගන්නවා.

    ආදරය කියන්නෙ ලිංගිකත්වයට වඩා විශාල වූ පරාසයක්. සියල්ල ලිංගිකයි කියන ප්‍රවාදය අපි පිලිගන්නෙ ෆ්‍රොයිඩියානු අදහස් භක්තියෙන් පිලිගැනීම ඇතුලෙයි. ඒ වගේම සමන්ගෙ ප්‍රකාශය ඇතුලෙ තියෙන මෛත්‍රීසහගත බව කියන්නෙ ආශාවට ඔබ්බෙන් පවතින මිනිස් හැගීමක්. යම් විනාශකාරී තත්වයකදි අපි ඒ මෛත්‍රීසහගත බව කියන දැක්මට එළඹීම වැදගත්. හුදු ආශාව ඊර්ශ්‍යාව තහනම දණ්ඩනය ඉක්මවා ගිහින් මිනිස් හැගීමකින් අපිට ජීවිත දිහා බලන්න බලකරන්නෙ එතනදියි.

    ෆෙටිෂයන්, බලය යෙදෙන ලිංගික ක්‍රියාවන් මේ සියල්ල පවතිනවා තමයි. නමුත් ආදරය, පැවැත්ම, අනෙකා ගැන සැලකිලිමත් වීම වගේ දේවලුත් මිනිස් ක්‍රියාකාරකම් විදිහට පවතිනවා.

    මේ හින්ද සමන්ගෙ ප්‍රකාශය ඇතුලෙ මට ඇහෙන්නෙ මේ වගේ අදහසක්. මනෝවිද්‍යාවට පෙර මනුෂ්‍යත්වය දෙස බලන්න. ෆැන්‍ටසියට පෙර මෛත්‍රීසහගත වෙන්න. ආඛ්‍යාන තැනීමට පෙර ආදරය කරන්න.

    අනෙක් අතට මේ ගැන තව දුරට කල්පනා කලොත් අපි ගැඹුරින් තේරුම් ගන්න උවමනා දෙයක් තමයි ‘මොනොගමි’ විවාහය හෝ ආදරය කියන සංකල්පය පවතින්නෙම සංකේතාත්මක කකෝල්ඩින්බවක් එක්ක තමයි කියන එක. හැම මොනොගමි ප්‍රේමියෙක්ම යටිපෙලකදී ක‍කෝල්ඩ් කෙනෙක් වෙනවා.

    අපි විවාහ වී සිටින හෝ ප්‍රේම කරන අයට මීට කලින් පෙම්වතුන් පෙම්වතියන් සිටියා කියල අපි දන්නවා. අපේ බිරිඳ හෝ පෙම්වතිය දෙස තවත් අය ආශාවෙන් බලනවා කියල අපි දන්නවා. ඇය අන් අයගේ ආකර්ශනයට බඳුන් වෙන ආකාරයෙන් අඳින පළඳින විට අපි තෘප්තියක් ලබනවා. ඇය සම්පූර්ණයෙන්ම අපිට අයිති කරගන්න බැරි බවත්, ඇගේ ජීවිතයේ තවත් බොහෝ පැති ඇති බවත් අපි දන්නවා.

    අපිට සම්පූර්ණයෙන් අයිති නැති බව දනිමින් ප්‍රේම කිරීම කියන්නෙ කකෝල්ඩින් ආකෘතිය තමයි. මේක අර සෙක්ෂුවල් ෆැන්ටසියෙ එන හියුමිලියේෂන් වගේ දේවල් එක්ක සම්බන්ධ නෑ තමයි. නමුත් අනෙකාගේ ප්‍රේමය ඉදිරියේ තමන් අසම්පූර්ණයි කියන හැගීම තමයි කකෝල්ඩින් කියන්නෙ.

    මේ හින්ද කකෝල්ඩින් වගේ දෙයක් ගැන කතා කරද්දි අපි මතක තබා ගත යුතු දෙයක් තමයි,

    ඔව්, වර්තමාන ආදරය ඇතුලෙ ඉන්න හැමෝම කකෝල්ඩින් තමයි.

    නමුත් හැමෝම ඒක සෙක්ෂුවල් ෆැන්‍ටසියක් විදිහට ගත කරන්නෙ නෑ.

  • ඇයි ස්ටෙෆනිට බයද?

    ඇයි ස්ටෙෆනිට බයද?

    ස්ටෙෆනි සිරිවර්ධනව බන්ධනාගාරයේ යම් නිරීක්ෂණ ධූරයකට පත් කරලා කියල ගොසිප් එකක් සෝෂල් මීඩියාවල යනවා. ඒක ඇත්ත නම් මේ රජය පැත්තෙන් ගත්ත ඉතාම හොඳ තීන්දුවක්. ඇත්තටම මේ ආන්ඩුවට මගේ තියෙන ප්‍රධානතම චෝදනාවක් වෙන්නෙ රටේ ජීවිතවලින් ශෘංගාරය අහිමි කිරීම කියන කාරණය. මේ පත්කිරීම ගැන කතාව මාව පුදුමයට පත්කලේ ඒ හින්දමයි.

    බොහෝ පැරණි අදහස්ධාරීන් මෙතනදි ස්ටෙෆනිගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනයි, ඇගේ බිකිනිය ගැනයි ප්‍රශ්න කරනවා දකින්න තියෙනවා. ඇත්තටම ඒ හේතූන්ම තමයි ස්ටෙෆනි වගේ වසගකාරී ගැහැණියක් සිරගෙදර නිරීක්ෂණයට සුදුසුම. ඇත්තටම ඒක ඇත්ත නම් රැඩිකල් පත්කිරීමක්.

    හිරගෙයක් කියන්නෙ හරිම ආතතිකාරී පරිසරයක්. විශේෂයෙන් පිරිමි රැදෙවියන් සිටින කොටස් බලය, ශක්තිය මත දිවෙන අසහනකාරී කලාප. හිර කුටියක යමෙක් කූඩු කිරීම හරහා අපි කරන්නෙ නිල වශයෙන් ආශාව නැතහොත් ජීවිතයේ ශෘංගාර කලාපය තහනම් කිරීම. සෙක්ස් කියන එක බලහත්කාරීව අත්හිටුවනවා. විෂමලිංගික දැක්මකින් නිර්මාණය වුනු මේ දඩුවම් කඳවුරු සංකල්පයේදී සමලිංගිකත්වය ගැන සවිඥානකත්වයක් තිබුනෙ නෑ. ඒ නිසා ස්වභාවයෙන්ම සමලිංගික අය වගේම වෙනත් විකල්පයක් නොමැති තැනදි සමලිංගික වෙන අය වශයෙන් සමස්තර හිරගෙවල් ආකෘතියම සමලිංගිකත්වයට නතු වෙනවා. බලය පිළිබඳ ප්‍රකාශනයක් විදිහටත් මේ සමලිංගික රමණය/දූෂනය පවතිනවා.

    ස්ටෙෆනි කියන්නෙ අනුරාගික ස්ත්‍රියක්. වසගයක්. ආශාවක්. සෙලිබ්‍රි‍ටි කෙනෙක් නොහොත් අතිරික්තයක්. මේ වගේ කෙනෙක් හිරගෙයක් නිරීක්ෂණයට යනවා කියන්නෙම අතිශය හිගය පවතින තැනක විශාල වෙනසක් ඇති කරන තත්වයක් වෙනවා. බලය වෙනුවට වසගය පාවිච්චි කිරීමක් වෙනවා.

    පිරිමි සිරගෙවල් විශේෂයෙන් සැලකුවොත් ස්ටෙෆනි කියන්නෙම ලිංගික ආතතිය සමනය කරන්නක් වෙනවා. අනුරාගික ස්ත්‍රීන් හමුවේ පිරිමින් මෘදු වෙනවා. ප්‍රචන්ඩත්වය අවම වෙනවා. ඒ වගේම පොදු කාරණයක් විදිහට මෙවන් තරු පංතියේ කාන්තාවක් තමන්ගේ ජීවිතය නිරීක්ෂණය කිරීම ගැන ඒ අයට වටිනාකමක් දැනෙනවා. මෙච්චර කාලයක් නිල ඇදුම්, නිලධාරි බලය, අධිකාරිය, පාලනය මත මෙහෙයවුනු බන්ධනාගාරය සාමාන්‍ය සමාජයේ ආකර්ශනීය, ආදරනීය කාන්තාවකගේ නිරික්ෂණයට ලක්වෙනවා.

    ස්ටෙෆනි වගේ කෙනෙකුගේ පිටස්තරභාවය නිස‍ාම, එයාගෙ අතිරික්ත ජීවිතය නිසාම හිරගෙදරක හිරවුනු මිනිස්සුන්ගෙ අවුල ගැන සංවේදීබවත් වැඩිවෙන්න පුළුවන්. එයාගෙ නිරීක්ෂණය අනිවාර්යෙන්ම බන්ධනාගාරවල පුහුණු අධිකාරීන්ට වඩා වෙනස්. වැදගත් කාරණය වන්නේ මේ නිරීක්ෂණයට රැදෙවියන් වගේම නිලධාරීනුත් අයිති වෙනවා. තමන්ව මෙවන් තරු ගැහැණියක් විසින් නිරීක්ෂණය කරනවා කියන හැගීම ඒ අයගෙ නිලධරවාදී ආකෘතියට අභියෝග කරන ආශාවාදී එළඹුමක් වෙනවා. එතනදි ස්ටෙෆනි කියන්නෙ අනුරාග අවියක්.

    සිහිතබා ගත යුතු කාරණය වන්නේ මේ නිරීක්ෂණයක් මිස අධීක්ෂණයක් නොවන වගයි. නිරීක්ෂණයකදි වඩා වැදගත් වන්නේ උපරිම නිදහස්භාවයකින්, සංවේදීබවකින් දේවල් දැකීමයි. එතනදි පුහුණු කෙනෙකුට වඩා නුපුහුණු කෙනෙකුගේ දැක්ම විවෘතයි.

    ස්ටෙෆනීගේ පත්වීම ප්‍රශ්න කරන සාම්ප්‍රදායික අය බොහොමයක් මතු කරන්නෙ ප්‍රධාන කාරණා තුනක්. තාර්කිකත්වය, සහතිකලත්භාවය, සහ පද්ධතිය නොහොත් ක්‍රියාවලිය කියල කියන්න පුළුවන්. නමුත් මෙතනදි ස්ටෙෆනි යොදාගැනීම මේ සාම්ප්‍රදායික එළඹුමට සහමුලින්ම විකල්ප එළඹුමක් යෝජනා කරනවා. ඒ තමයි ආශාව, කැරිස්මාව, ශරීරය සහ බලපෑම කියන කාරණා. ඒක පාලනයේ ආකෘතිය වෙනස් කරන යෝජනාවක්.

    ඉතින් අහන්න තියෙන්නෙ ස්ටෙෆනි නරකද කියලා නෙමෙයි,

    ඇයි ස්ටෙෆනිට බයද?

  • අසභ්‍ය නීතිවලට එරෙහි වෙමු

    අසභ්‍ය නීතිවලට එරෙහි වෙමු

    ආණ්ඩුවෙන් අශිෂ්ට අශ්ලීල ප්‍රකාශන මැඩලන්න අලුත් නීති ගේන්න හදනවා. මේක අර අවුරුදු 16 දැරිය සම්බන්ධ සිද්ධියෙදි අධිකරණයෙන් කරපු ඉල්ලීමක් අපිට මතක විදිහට. ඒ සිද්ධියෙ දැරිය අපයෝජනය කරපු ලිස්ට් එකේ හිටියා සඟ වෙද ගුරු ගොවි කම්කරු නීති ආදී හැමෝම. ඒ සිද්ධියෙ පැහැදිලිව පෙනුන දේ තමයි සමාජය කොයිතරම් අශිෂ්ටද අසහනකාරීද කියන එක. ඒත් නීති හැදෙන්නෙ අර ඇඩ් එක පලකරපු සයිට් එකට විරුද්ධව. ඒ සයිට් එකේ ඕන කෙනෙකුට මුදල් ගෙවා තමන්ගෙ ඇඩ් එකක් පළකරගන්න පුළුවන්. නීතියෙන් අශ්ශීල බව දකින්නෙ එතන. අර දැරිය දූෂනය කරපු සමාජයෙ නෙමෙයි.

    මේ පණත ගේන කතාව එලියට එන්නෙ නිරූපමාගෙ පැන්ඩෝරාව වහන්න කියන එක පැහැදිලියි. හැමතිස්සෙම තමන්ගෙ දේශපාලන පදනම හෙල්ලෙන තත්වයක් එද්දි ආණ්ඩුව සෙක්ස් ප්‍රශ්නයක් සමාජගත කරනවා. ඇත්තටම වඩාත්ම ලිංගික ප්‍රකාශන සිද්ද කරන්නෙ පොලිසිය සහ ආණ්ඩුවට හිතවාදී මාධ්‍ය එකතුවෙලා. මේ ළඟදි තලංගම පොලිසිය හොඳ උදාහරණයක්. දැන් අශිෂ්ට ප්‍රකාශන කියල හඳුන්වන්නෙ ඒවද?

    මේ නීති ගේන එක ආණ්ඩුවට සිල්ලර වාසියක්. කවුරුවත් මේවට විරුද්ධ වෙන්නෙ නෑ. හාමුදුරුවරු විශේෂයෙන් මැදගොඩ අබේ වගේ අයට ආපහු කරලියට එන්න හොඳ චාන්ස් එකක් තියෙනවා. ඕන නම් ඩෑන්ටත් එන්න පුළුවන්. මොකක් හරි වැඩිහිටි ක්ලිප් එකක්, වෙබ් එකක්, රැප් එකක්, ෆිල්ම් එකක් කරපු ගමන් මිනිස්සුන්ව කුදලන් ගිහින් දාලා නිව්ස් හදන්න පුළුවන්. ඕනම නිව්ස් එකක් සෙක්ස් නිව්ස් එකකින් යට යනවා කියල ආණ්ඩුව දන්නවා. මේ කරන්න හදන්නෙ අනිත් හැම තැනකදිම වගේ අශිෂ්ට ප්‍රකාශන කිරීමේ අයිතිය තමන්ට විතරක් පවරාගැනීමක්. මොකද ඇත්තටම ඒ වගේ ප්‍රවෘත්ති හදලා විකිනීම තමයි අශිෂ්ට. අසභ්‍ය. ඒ අශිෂ්ටත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගේන මේ වගේ නීති තමයි අසභ්‍ය.

    මේක ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඉතාම නරක තත්වයක් ඇති කරනවා කියන එක පැහැදිලියි. ඒ වගේම ඉස්සරහට අතපය බැඳගෙන හාමුදුරුවරුන්ගෙන් අවසර අරගෙන නිර්මාණ කරන්න වෙන තත්වයක් එන බවත් පැහැදිලියි. ඒ වගේ සංස්කෘතික වාරණයක් ගැන කතා කරන්න පුළුවන් විද්වත් බුද්ධිමත් ක්‍රිටිකල් කියන මිනිස්සු අද අපි අතරෙ නෑ. ඒ වගේ කාරණයක් ගැන කතා කරන්න නැගිටින දේශපාලන පක්ෂ නෑ. වැඩිහිටි නිදහස කියන කාරණය ලංකාවට අදාල නෑ.

    මේක තමන්ගේ නිදහස සීමා කිරීමක් කියල දැනෙන හැඟ‍ෙන, විවෘත මිනිස්සුන්ට සිද්ද වෙනවා එකතු වෙන්න. මේ අවසරය අපේ අසභ්‍ය උරුමය විදහා පාන්න පාවිච්චි කරන්න. සිංහයෙක්අ සමග සංවාසයෙන් අපේ සිංහල ජාතිය බිහිවීමේ ඉඳන්, ඊටත් කලින් ජාතක පොතේ ඉඳන්, සීගිරි චිත්‍ර, නාලන්දාවෙ කැටයම් පහුකරන්, සැළලිහිනියෙන් කොළඹ යුගයේ කවිය දක්වා ඇවිත් සයිමන්ලාගේ කේකේලාගේ කතා අස්සෙ දැවටෙමින්, හඳගමලාගෙ සිනමා රූප ඇතුලෙන් එබුනෙ ඒ අපේ අසභ්‍ය උරුමය තමයි. ඒක ගැන අපි ලැජ්ජා වෙන්න ඕනද?

    48 ඉඳන් ගිහිගේ, විවාහකයන්ගේ සඟරාව, මගුල් රෑ, මදන කුලප්පුව, පාන්දර, මකුනා, නවරස, සතුට, සොඳුර විදිහට ආපු උරුමයත් අපේ සාහිත්‍ය උරුමයක්ම තමයි. මේවා අසභ්‍යයි හෝ අශ්ශීලයි කියමින් ළමා සමාජයක් බිහිකිරීමට උත්සාහ කරන මේ ආණ්ඩුවේ විහිලුව පරාජය කළ යුතුයි. ඒක කරන්න ඕන ඒ අපේ ඓතිහාසික අසභ්‍ය උරුමය උත්කර්ෂයට නැගීමෙන් කියලයි අපි හිතන්නෙ.

    මේ නිදහසට එරෙහිව පැනවෙන වාරණයට තමන්ට දැනෙන විදිහට, තමන්‍ට පුළුවන් විරෝධයක් නගන්න කියල ඉල්ලා සිටිනවා. වඩා විවෘත, අසහනයෙන් සහ කුහකකමෙන් අඩු, ආගම්වලට පක්ෂවලට ගොනාට ඇන්දවිය නොහැකි පුරවැසියන් පිරිසක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් මේ මොහොතේ අසභ්‍ය යනු කුමක්ද කියන සංස්කෘතික කතිකාව දැවැන්තව නිර්මාණය වෙන එක වැදගත් කියල අපි විශ්වාස කරනවා.

  • පහන්තුඩාව මතකද?

    පහන්තුඩාව මතකද?

    පහන්තුඩාවෙ දියඇල්ල පසුබිම් කරගෙන වීඩියෝවක් නිර්මාණය කරලා ලංකාවෙ සියලු සදාචාරවාදීන් සංස්කෘතිය රැකගැනීමට එකාවගේ පාරට බැස්ස දවස මතකද? පැය 48 විශිෂ්ට මෙහෙයුමකින් ජනාධිපති, පොලිස්පති පවා ක්‍රියාත්මක වීමෙන් ඒ යුවළ අත්අඩංගුවට ගත්තා මතකද? ඊට පස්සෙ කොවිඩ් ආසාදනය වී ඇති නිසා ඒ අයව නිරෝධායනයට යොමු කළානෙ. ඊට පස්සෙ මොකද වුනේ කියල දන්නවද?

    ඒ අය තමන් නිවැරදිකරුවන් ලෙස පෙනී සිටිමින් නීතිය අභියෝග කරන්න පසුබානවා. ඒක ලංකාවෙ හැටි. එහෙම නීතිය එක්ක හැප්පුනා නම් හැම නඩුවාරයක් පාසාම මාධ්‍යවේදීන් කියන අය ෆොටෝ දදා ඒ අයව විනාස කරනවා. ඉතින් කිසි කෙනෙක් මේ යටත්විජිත කාලෙ නීති වෙනස් කරන්න ඉස්සරහට එන්නෙ නෑ.

    මේ නඩුව තිබුනෙ බලංගොඩ. ඒ මහේස්ත්‍රාත්වරයා වරද පිලිගැනීම නිසා මේ යුවළට රුපියල් 10,800ක දඩයක් නියම කරනවා. මාස තුනක සිර දඬුවමක් නියම කරලා ඒක වසර හතකට අත්හිටුවනවා. ඒ යුවළ නිදහස් වෙනවා. රටක් කළඹන මහා මෙහෙයුම් කරපු වරදක් පිටිපස්සෙ තියෙන ඇත්ත නීතිමය තත්වෙ ඔච්චරයි. දිගට නඩුවක් කියනවට වඩා වරද පිලිගෙන යන එක චූදිතයන්ට වාසියි.

    ඒත් නැවත නැවත මේ වගේ කාම ප්‍රවෘත්ති මගින් රටක මිනිස්සුන්ගෙ කුණු චෛතසිකය පිනවමින්, වික්ටෝරියානු කුහකත්වය සන්තර්පනය කරමින් මාධ්‍ය රැඟුම් පෑමේ අවකාශය දිගටම පරිස්සම් වෙනවා.

  • අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.

    අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.

    තලංගම පොලිසිය ගණිකා නිවාසයක් වටලන්න යනවා. නිම්රෝස් මීඩියා කියල පාදඩ යූටියුබ්කාරයො ටිකක් තමයි තලංගම පොලිසියේ මීඩියා පබ්ලිසිටිවලට පාවිච්චි කරන්නෙ. පොලිසිය විසින් මේ කියන ගණිකා නිවාසයෙන් කාන්තාවන් පිරිසක් එලියට අරගෙන එනවා. කිසිදු උසාවියකින් තවමත් වරදකරුවන් කර නැති මේ කාන්තාවන් ඒ කැමරා ඉදිරියේ නිරුවත් කරනවා. ගර්භනී කාන්තාවන් වෙනම අරගෙන පෙන්නනවා.

    මොකක්ද මේ නීතියේ සදාචාරය? මේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව පුද්ගලිකව නඩු පැවරිය යුතුමයි. යූටියුබ්කාරයන්ට මෙවන් අවස්ථා වීඩියෝගත කරමින් තමන්ගේ චැනල්වල විව්ස් වැඩි කරගන්නට කාන්තාවන් බිලිදීමේ වරද කරන්නෙ මෙතන පොලිසියයි. මේක අශිෂ්ට අසභ්‍ය අමුනුස්ස ක්‍රියාවක්. නීතිය ක්‍රියාත්මක කරන අය එය කරන්නේ මෙයාකාරයෙන් නම් මේ රටේ මිනිස් ගරුත්වය සහ මිනිස් අයිතිවාසිකම් ගැන කවර කතන්දරද? පොලිසිය කරන්නෙ කුණු රහ බෙදන එකයි. ඒ වෙනුවෙන් මිනිස් ජීවිත බිලිදෙන එකයි. අපි කියන සදාචාරය මේකයි.

    ලංකාවෙ නීතියෙන් ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙමෙයි. මේ කාන්තාවන් වරදකරුවන් වෙන්නෙ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විතරයි. ගණිකා නිවාසයක් පවත්වාගෙන යන ලද්දේ නම් ඒ අයිතිකරුවන් හෝ තැරැව්කරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනු ඇති. ‍නමුත් මෙතන බරපතලම වරද කරන්නේ පොලිසියයි.

    කාන්තාවක් ගර්භනීව හිඳිමින් මේ අවදානම් කාලෙදි ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රස්සාව කරන්න එනවා කියන්නෙ ඒක ඒ මිනිස්සු මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය ගැන මානුෂීය ප්‍රකාශනයක්. එහෙම දුක් විඳින කාන්තාවන් කැමරාව ඉස්සරහට ගෙනත් අවමන් කරනවා කියන්නෙ අමානුෂිකත්වයේ පාදඩම මොහොතක්.

    මේ පණිවුඩය අපිට දැනුම් දෙන්නෙ උපුල් සන්නස්ගල. රාත්‍රී 11ට ලැබෙන ප්‍රවෘත්තිය දැකලා කැළඹෙන සන්නා වහාම ලයිව් ඇවිත් මේ අසභ්‍ය පොලිස් සංස්කෘතිය එලිකරනවා. මාධ්‍ය සහ නීති අංශවල අයගෙන් වගේම පොලිස්පති, පොලිස් ඇමති ආදීන්ගෙනුත් මේ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිනවා. මේ සිදුවීම වෙනුවෙන් පුරවැසියෙක් විදිහට වගකීම්සහගතම මැදිහත්වීම කිරීමෙ වෙනුවෙන් සන්නස්ගලට අපේ ගෞරවය හිමිවෙනවා.

    එතනදි සන්නා මේ වගේ මීඩියා චැනල් කරන අයට නිවැරදිම වචනය පාවිච්චි කරනවා. ‍යූටියුබ් ගණිකාවො. මේ වගේ පබ්ලිසිටි වෙනුවෙන් නීතිය ගණිකා වෘත්තියේ යොදවන පොලිස් නිලධාරීන්ටත් නිවැරදිම වචනය වෙන්නෙ ඒක. පෙ‍ාලිස් ගණිකාවො. ගණිකාවන් යැයි කියමින් අත්අඩංගුවට ගත් පිරිස ගැන සාක්ෂි නැති වුනාට සදාචාරයේ වේශයෙන් එතනට ගිය යූටියුබ් සහ පොලිස් ගණිකා පිරිසගේ වීඩියෝ සාක්ෂි තියෙනවා.

    නීතියෙන් යුක්තිය ඉටු කරන හැටි, කාන්තා සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වෙන හැටි අපි බලාගෙන ඉන්නවා.

  • පහන්තුඩාව සිතුවම් සැනකෙලිය

    පහන්තුඩාව සිතුවම් සැනකෙලිය

    #justice4pahanthudawacouple

    ඔබ දවස් දෙකකින් බිම තියන්න නියමිත ප්‍රශ්නයක් මේ තරම් දුරක් ඇදගෙන යාම ගැන සමා‍වෙන්න. නමුත් පහන්තුඩාව අපට අනුව අපේ රටේ සංස්කෘතික සංධිස්ථානයක් වෙනවා. විශේෂයෙන්ම ලංකාවෙ පෝර්න් කර්මාන්තයේ බිහිවීම, පැවැත්ම සහතික කරන තැන වෙනවා. ලංකාවේ පාදඩ පණත, අසභ්‍ය පණත ප්‍රශ්න කරන්න විවෘත වුනු වේදිකාවක් වෙනවා. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් මතුවෙන සංස්කෘතික කතිකාව තව ඉස්සරහට ගෙනියන්න අපි කල්පනා කරනවා. උදා විදිහට පොලිසිය කියන හැටියට මේ නිසා ලංකාවට වුනා කියන අපහාසය වෙනුවට කලාත්මක සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීමේ කතිකාවක ආරම්භයක් විදිහට පහන්තුඩාව සලකුනු කරන්නයි අපේ උත්සාහය.

    ඒ වෙනුවෙන් පහන්තුඩාව සිතුවම් සැනකෙලියක් අපි පටන් ගත්තා. හරියට ගෝටාබය රාජපක්ෂ ජනාදිපති වුනාම ගෝටා ෆෑන්ස්ලා තාප්පවල චිත්‍ර ඇන්දා වගේ පහන්තුඩාව ෆෑන්ස්ලා එකතු කරගෙන කරන වැඩක් මේක. අපි නරඹන ඕනම පෝර්න් එකක් වෙනුවෙන් ඒක නිර්මාණය කරන පිරිසට ගෞරවයක් හිමිවිය යුතුයි කියන එකයි අපේ විශ්වාසය. රටෙන් ලක්ෂ පනහකට වඩා නැරඹූ වීඩියෝවක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒ හරහා ජනාධිපති, පොලිස්පති ඉඳන් පැය 48ක ලංකාවෙ වේගවත්ම බුද්ධි මෙහෙයුමක් සිද්ද වෙලා තියෙනවා. වෙනත් යුවළකගේ රූපයක් ෂෙයාර් කිරීම හරහා සයිබර් බුලින්ග් පිළිබඳ දරුණු ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. මේවා සියල්ල පහන්තුඩාවේ ආශ්චර්යයන්.

    ඉතින් අපි පහන්තුඩාව නමින් ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයක් කරනවා. විවිධ සිත්තරුන් එක්ක අපි මේ වෙනුවෙන් වැඩ කරනවා. ඔයගොල්ලොන්ටත් පුළුවන් කැමති නම් පහන්තුඩාව වෙනුවෙන් චිත්‍රයක් එකතු කරන්න. මේ ප්‍රදර්ශනයේ චිත්‍ර අන්තර්ජාතික අවධානයට ලක්කරන එකයි අපේ බලාපොරොත්තුව. ඒ හරහා පහන්තුඩාවට තිබුනට වඩා හොඳ සංචාරක ආකර්ශනයක් දිනාගන්න පුළුවන් බවයි අපේ ස්ථාවරය.

    මේ චිත්‍ර ඒ ප්‍රදර්ශනයේදී අලෙවි කරන්නත් ඒ මුදල් පහන්තුඩාවේ යුවල සිදුවු සමාජ අලාභය වෙනුවෙන් සංකේතීය වන්දියක් හැටියෙන් පිලිගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. පහන්තුඩාව නරඹපු හැමෝටමත් පුළුවන් ඒ වෙනුවෙන් තමන් යම් දායකත්වයක් ලබාදිය යුතුයි කියල හිතනවා නම් එකතු වෙන්න.


    faculty of sex

  • “අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    “අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කර තිබෙනවා. ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අකැප බවත් පෙන්වා දෙනවා. ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බවයි බුදු දහම සුරැකීමේ සංවිධානය පෙන්වාදෙන්නෙ. තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවද සඳහන් වෙනවා. මේ නිසා තමන් විසින් පහන්තුඩාවේ වීඩියෝව නැරඹූ බව වක්‍රාකාරයෙන් පිලිගැනීමක් වන මෙම ලිපිය යොමු කළ පස්සර දයාවංශ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන මෙන් ‍බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මංජු ශ්‍රී ආරියවංශ මහතා මහනායක හිමිවරුන්ගන් ඉල්ලා සිටිනවා.

    එම ලිපිය පහතින්.

    පහන්තුඩාව රති වීඩියෝව බැලු හිමිනම ගැනත් සොයාබලන්න.

    ගරුතර අස්ගිරි මල්වතු මාහිපාණන් වහන්සේලා වෙත,

    ඉකුත් දිනයක තරුණියක සහ තරුණයෙකු පහන්තුඩාව ප්‍රදේශ‍යේ දියඇල්ලක් අසල අසභ්‍ය ලෙස හැසිරුනු වීඩියෝවක් අරඹයා දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති යැයි කියන පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනධිපතිතුමන් වෙත ලිපියක් යොමු කර තිබුණි. එයින් ඉල්ලා තිබුනේ මේ යුවළ අරඹයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

    ගරුතර ස්වාමීන් වහන්ස, පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් මේ ලිපිය ලිවීමට නම් උන්වහන්සේ විසින් මේ වීඩියෝව නරඹා තිබිය යුතුය. එසේ නැතුව තමන්වහන්සේ විසින් ඇසින් නුදුටු වීඩියෝවක් අරඹයා යම් කෙනෙක් විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීම ද්වේශ සහගත වෙයි.

    එමෙන්ම මෙවන් වීඩියෝ සංඝයා වහන්සේලා විසින් නැරඹීම සහ මෙවන් ලෞකික සමාජය විසින් විසඳා ගත යුතු කාරණා අරඹයා ලිපි ලිවීමෙන් අපගේ බුද්ධ ශාසනයට විශාල අපකීර්තියක් මෙන්ම ඒ ගෞරවනීය බව සැහැල්ලුවට ලක්කිරීමක් සිදුවන වග බෞද්ධ අපගේ විශ්වාසයයි.

    එබැවින් මේ භික්ෂුන් වහන්සේ මේ වීඩියෝව නැරඹුවාද යන්න පිළිබඳ විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බව අපගේ ඉල්ලීමයි.

    එසේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට සංඝයා වහන්සේලා පෙළඹී සිටීමත්, ඒවා පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමත් අප ගෞරවනීය ලෙස සලකා වැඳුම් පිදුම් කරන අනෙකුත් සංඝයා වහන්සේලා කෙරෙහිද බලපාන අවමානයක් වෙයි.

    එබැවින් මේ පිළිබඳව සොයා බලා බුද්ධ ශාසනයේ විනය අවධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන මෙන් ඔබවහන්සේලාගෙන් ඉතාම ගෞරවයෙන් අප ඉල්ලා සිටිමු.

    බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය
    මංජු ශ්‍රී ආරිවංශ

  • පහන්තුඩාවේ යුවළ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න රටේ ප්‍රකට නීතිවේදියෝ සූදානම්

    පහන්තුඩාවේ යුවළ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න රටේ ප්‍රකට නීතිවේදියෝ සූදානම්

    පහන්තුඩාවේ වීඩියෝවක් නිසා පොලිසිය විසින් දැනට පරීක්ෂණ පවත්වමින් සිටින යුවළ වෙනුවෙන් අවශ්‍ය නීතිමය සහාය ලබාදීමට ඕනෑම විටක සූදානමින් සිටින බව ලංකාවේ සුප්‍රකට නීතිවේදීන් කණ්ඩායමක් පවසනවා. ඒ සඳහා අවශ්‍ය වුවහොත් අප හරහා ඔවුන් සම්බන්ධ කරගැනීමට හැකියි. ([email protected])

    ඔවුන්ට නඩු පැවරිය හැකි වන්නේ අසභ්‍ය ප්‍රකාශන පණත සහ ප්‍රසිද්ධ ස්ථානවල අශෝබන ලෙස හැසිරීම කියන පාදඩ ආඥා පණත යටතේයි. මෙහිදී මේ අයගේ නීතිමය සහ සමාජමය අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම වැදගත් බවයි මේ නීතිඥවරු සඳහන් කරන්නෙ.

    මේ සම්බන්ධයෙන් රජයකට සාධාරණ ගැටලුවක් ඇතිවිය හැකියි. මෙය ප්‍රවණතාවයක් වශයෙන් කෙරෙන්න ගත්තොත් ඉන් සමාජමය කම්පනයක් ඇතිවිය හැකියි. මේ නිසා මෙවන් සිදුවීමකදි පළමු වරට පොදුවේ සමාජයට දැඩි දැනුවත් කිරීමක් සිදුකිරීමේ අවශ්‍යතාවය පවතිනවා. නමුත් මේ ආකාරයට දෙදෙනෙකු හඹා ගොස් ඔවුන්ගේ අනාගත ජීවිතවලට පවා හානිදායක විය හැකි අන්දමින් කටයුතු කිරීම මානුෂික නොවේ යන්න ඔවුන්ගේ අදහසයි.

    එසේම මෙවන් අවස්ථාවක සදාචාර පොලිසිය විසින් මේ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවිය හැකි බවත්, වි‍ශේෂයෙන්ම මේ අය සැකකරුවන් වෙන තත්වයකදී ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර මාධ්‍යවලට ලබා දුනහොත් ඒ නිලධාරීන් වෙනුවෙන් දැඩිව ක්‍රියාත්මක වීම අවශ්‍ය බවද එම නීතිවේදීන් පෙන්වා දෙනවා.

    මේ වීඩියෝව ප්‍රසිද්ධ ස්ථානයක රූගත කෙරුනක් ලෙස හැඳින්වුවද එය රූගත කර තිබෙන්නේ අවට කිසි කෙනෙක් නොගැවසෙන වෙලාවක බව පැහැදිලිය. එමෙන්ම එය මුදා හැර තිබෙන්නේද පෝර්න්හබ් නම් වැඩිහිටි වීඩියෝ ජාලයකටයි. මේ නිසා කෙනෙක් මේ වීඩියෝව දකින්නේ තමන් විසින් අදලා වෙබ් අඩවිය සොයාගොස්, තමන්ගේ වයස අවුරුදු 18ට වැඩි බව තහවුරු කිරීමෙන් පසුවයි. මේ නිසා මෙයින් මහජනතාවට හානියක් වෙනවා යන අදහස පිළිගත නොහැකියි.

    මීට පෙර ලංකාවේ හිටපු අගවිනිසුරුවරයෙක් පාර්ලිමේන්තු පාරේ කලිසමද රහිතව රමණය කරමින් සිටියදී පොලිසියට හසුවූ අවස්ථා තිබේ. පහන්තුඩාවට වඩා එය ප්‍රසිද්ධ ස්ථානයකි. ඒ සම්බන්ධයෙන් අශෝබන ලෙස හැසිරීමේ නීතිය ක්‍රියාත්මක වුනේ නැත. සමාජයේ පොඩි මිනිසුන්ට පමණක් ක්‍රියාත්මක වන සදාචාර නීතියක්ද රටේ පවතින්නෙ කියන ගැටලුව මෙතනදි පැණ නගිනවා.

    මෙයින් ඇතිවන සමාජ කම්පනයට මූලික හේතුව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වගකීමකින් තොරව මීට ලබා දුන් අනවශ්‍ය ප්‍රසිද්ධියයි. ඊට මේ අදාල යුවල වගකිව යුතු වන්නේ නෑ. රජයේ දැනුවත් කිරීමක් වඩාත් අවශ්‍ය වන්නේ මේ පිළිබඳව මාධ්‍ය වගකීමද අවධාරණය කළ යුතු නිසාවෙනි.

    ‍එමෙන්ම මෙවන් සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වීමේ ඉතාම නරක අත්දැකීම් අප සතු බව සේයා දැරිය සම්බන්ධ සිද්ධිය මතක් කරමින් මේ නීතිඥ කණ්ඩායම විසින් පෙන්වා දෙන ලදී.