පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කර තිබෙනවා. ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අකැප බවත් පෙන්වා දෙනවා. ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බවයි බුදු දහම සුරැකීමේ සංවිධානය පෙන්වාදෙන්නෙ. තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවද සඳහන් වෙනවා. මේ නිසා තමන් විසින් පහන්තුඩාවේ වීඩියෝව නැරඹූ බව වක්‍රාකාරයෙන් පිලිගැනීමක් වන මෙම ලිපිය යොමු කළ පස්සර දයාවංශ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන මෙන් ‍බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මංජු ශ්‍රී ආරියවංශ මහතා මහනායක හිමිවරුන්ගන් ඉල්ලා සිටිනවා.

එම ලිපිය පහතින්.

පහන්තුඩාව රති වීඩියෝව බැලු හිමිනම ගැනත් සොයාබලන්න.

ගරුතර අස්ගිරි මල්වතු මාහිපාණන් වහන්සේලා වෙත,

ඉකුත් දිනයක තරුණියක සහ තරුණයෙකු පහන්තුඩාව ප්‍රදේශ‍යේ දියඇල්ලක් අසල අසභ්‍ය ලෙස හැසිරුනු වීඩියෝවක් අරඹයා දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති යැයි කියන පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනධිපතිතුමන් වෙත ලිපියක් යොමු කර තිබුණි. එයින් ඉල්ලා තිබුනේ මේ යුවළ අරඹයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

ගරුතර ස්වාමීන් වහන්ස, පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් මේ ලිපිය ලිවීමට නම් උන්වහන්සේ විසින් මේ වීඩියෝව නරඹා තිබිය යුතුය. එසේ නැතුව තමන්වහන්සේ විසින් ඇසින් නුදුටු වීඩියෝවක් අරඹයා යම් කෙනෙක් විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීම ද්වේශ සහගත වෙයි.

එමෙන්ම මෙවන් වීඩියෝ සංඝයා වහන්සේලා විසින් නැරඹීම සහ මෙවන් ලෞකික සමාජය විසින් විසඳා ගත යුතු කාරණා අරඹයා ලිපි ලිවීමෙන් අපගේ බුද්ධ ශාසනයට විශාල අපකීර්තියක් මෙන්ම ඒ ගෞරවනීය බව සැහැල්ලුවට ලක්කිරීමක් සිදුවන වග බෞද්ධ අපගේ විශ්වාසයයි.

එබැවින් මේ භික්ෂුන් වහන්සේ මේ වීඩියෝව නැරඹුවාද යන්න පිළිබඳ විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බව අපගේ ඉල්ලීමයි.

එසේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට සංඝයා වහන්සේලා පෙළඹී සිටීමත්, ඒවා පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමත් අප ගෞරවනීය ලෙස සලකා වැඳුම් පිදුම් කරන අනෙකුත් සංඝයා වහන්සේලා කෙරෙහිද බලපාන අවමානයක් වෙයි.

එබැවින් මේ පිළිබඳව සොයා බලා බුද්ධ ශාසනයේ විනය අවධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන මෙන් ඔබවහන්සේලාගෙන් ඉතාම ගෞරවයෙන් අප ඉල්ලා සිටිමු.

බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය
මංජු ශ්‍රී ආරිවංශ