Tag: buddhist

  • ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක්

    ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක්

    අද උදේ නැගිට්ට ගමන් දැක්කෙ හිතට ලොකු දුකක් දෙන වීඩියෝවක්. රේල්පාරක් ළග තරුණ භික්ෂුවක් සහ කෙල්ලක් ආදරය කරමින් ඉඳලා බෞද්ධ ගිහි පිරිසක් විසින් අත්අඩංගුවට අරගෙන. මේ අය ඒ කෙල්ලවත් තරුණ භික්ෂුවත් වටකරගෙන නින්දා අපහාස කරනවා. තමන්ගේ බෞද්ධ භික්ෂුව කියන මොකක්දෝ ශුද්ධ වූ දේ කෙලෙසුවා වගේ අර දෙන්නා වැරදිකරුවන් කරලා තියෙනවා. ලැජ්ජාවෙන් බියෙන් පීඩාවට පත්ව සිටින අර දෙන්නාව වීඩියෝ කරනවා. මේක මේ වටවුනු පිරිසට යම් චූන් එකක් වගත් දැනෙනවා. සදාචාරය ආරක්ෂා කිරීමේ ලයිසන් එක මත මේ ගිහි පිරිමින් විසින් පාදඩ විදිහට අර තරුණ යුවළ අපචාරයට ලක්කරනවා.

    බෞද්ධ භික්ෂූන් විසින් ගිහියන්ගේ ලිංගික ජීවිතවලට බලපෑම් කරමින් තමන් සතු කරගෙන සිටින ආගමික බලයෙන් ලංකාවෙ සිදුකරන බලහත්කාරයට මං දැඩිවම විරුද්ධයි. එමෙන්ම ගිහියන්ගේ කතා කිරීමේ, ප්‍රකාශනයේ නිදහසට පවා හාමුදුරුවරුන් අතපොවන්න පටන්ගත්තා. නමුත් බෞද්ධයන් වෙන අපි ඒ හාමුදුරුවරු ගානට වැටිය යුතු නෑ. හාමුදුරුවන්ට වගේම බෞද්ධ ගිහියන්ටත් තියෙනවා රැකිය යුතු ශිෂ්ටකම්.

    මේ තරුණ හාමුදුරුවන්ගේ ප්‍රේමය මට ආකර්ශනීය වගේම හදවතට දැනෙන එකක්. බොහෝ විට කුඩා කාලයේ මහණ කරවන මේ හාමුදුරුවරු තමන්ගේ තරුණ වයසත් එක්කම දැනෙන ආදර හැගීම්වල පැටලෙනවා. සිවුර කියන්නෙ ආදරය ආශාව මඩින බලයක් නෙමෙයි. හාමුදුරු කෙනෙක් තමන්ගේ ආශාවන්ට ඉඩදීමෙන් සහ අත්හැරීමෙන් තමයි ගැඹුරු අවබෝධයකට පත්වෙන්නෙ. සමහර කෙනෙකුට තමන්ගේ නිදහසට සිවුර බාධාවක් විදිහට හැගෙනවා. ඒ අය සිවුරු හැර යනවා. තවත් කෙනෙක් කාලයත් එක්ක අත්හැරීමේ සහ අල්ලාගැනීමේ ගැටුම අතර පරිණත වෙනවා. ඒ අය මේ දේවල් ඉක්මවා ගිහින් ප්‍රඥාවට පත්වෙනවා. නමුත් මේ කිසි දෙයක් පිටත පොලිසියක් බඳු බලහත්කාරයකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. බෞද්ධ දායකයා කියන්නෙ පන්සලේ පොලිසිය නෙමෙයි.

    ඒ ප්‍රේමය ගැන නරක ඇහැකින් බැලිය හැක්කේ නොමිනිස් සිතැත්තෙකුටම පමණයි. ඒ තරම් අහිංසක බැඳීමක්. එය දකින කෙනෙක් තුල ඇති කරන්නේ සතුටක්. නිදහසක් ගැන හැගීමක්. සිවුර පවා ඒ ආදරය තවත් ගැඹුරු කරනවා. වාරණය වුනු හැගීම් දැනීම් එක පසෙක, ආදරය දුන්නු ඒ සියුමැලිය තව පසෙක. හරියට රේල් පාරක් ‍වගේමයි. භික්ෂුවකගේ ආදරය කියන්නෙත් අපේ බෞද්ධ සංස්කෘතියෙ උරුමයක්. අපි වික්ටෝරියානුවන් නෙමෙයි. අපිට ඉන්නවා බේබදු හාමුදුරුවරු, ආදරය කරන රමණය කරන හාමුදුරුවරු. ඒ අය ප්‍රඥාවට පත් නොවේ යැයි කියන්න අපි කවුද?

    මේ ගිහියන් විසින් අතට ගන්නෙ තමන් දෙන දානමාන වල බලය වග පැහැදිලියි. අපි කන්න බොන්න දෙනවා නම්, අපි වඳිනවා නම්, අපි කියන විදිහට හිටු කියලයි මේ කියන්නෙ. ගිහියන් විසින් මේ සත්කාර කරන්නෙ හාමුදුරුවන්ට ආදරේට නෙමෙයි. ඉන් පින් ලබාගෙන ඊළග ආත්මය සැපවත් කරගන්න. දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න. ඒ මේ ආත්මයෙන් ඔබ්බට අපේක්ෂා කරන ප්‍රතිලාභ ‍වගේම මේ ආත්මයේ පන්සලේ ප්‍රධාන දායක තැන වීමෙන් ලබන ලෞකික ප්‍රතිලාභත් තියෙනවා. තමන්ගේ මේ අපේක්ෂාවන් සඳහා යම් හාමුදුරු කෙනෙක් සුදුසු නෑ කියල හිතනවා නම් ගිහියන්ට පුළුවන් ඒ අයට සත්කාර කිරීම නතර කරන්න. වෙන ගැලපෙන හාමුදුරු කෙනෙක් හොයාගන්න. තර්ජනය කරමින්, මැරකම පාවිච්චි කරමින් තවත් මනුස්සයෙක් පීඩාවට ලක් කිරීමෙන් මේ බෞද්ධයන් අප‍ේක්ෂා කරන විමුක්තිය මොකක්ද? මොකක් වුනත් ඒක අශිෂ්ට එකක්.

    හාමුදුරුවරු කියන්නෙ එක්තරා සමාජ චාරිත්‍ර වාරිත්‍ර ටිකක් ඉටු කරන පිරිසක්. අපි මරණයේදී ගොඩයාමක් අප‍ේක්ෂා කරන්නෙ පිරිතක් කියල, මළාට පස්සෙ නම් පාංශුකූලයක් දීලා, බණක් දානයක් දීලා ආදී වශයෙන්. මේ දේවල් අපි කරන්නෙ සිවුරු දරාගෙන, ඒ ගාථා චාරිත්‍ර දැනුම සහිතව ඉන්න හාමුදුරුවරුන් පාවිච්චි කරලා. අපිට පන්සල සහ චීවරය කියන්නෙ අපේ ආධ්‍යාත්මික අවශ්‍යතාවයක්. ඒක සංකල්පයක්.

    හාමුදුරු කෙනෙකුටත් තියෙනවා මේ දේවල් කරනවට අමතරව ගත කරන්න මනුස්ස ජීවිතයක්. ඒ අය තමන්ගේ ආශාවන් අවබෝධ කරගන්න ඕන. ඒවායේ ස්වභාවය තේරුම් ගන්න ඕන. සමාජ අපවාදය නිසා නෙමෙයි තමන්ගේ ජීවිතය ඇතුලෙන් ඒ ආශා තෘෂ්නාවන් ඉක්මවා යන්න ඕන. ඒක තමයි යම් කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් ශ්‍රමණයෙක් වෙනවා නම් එයාගෙ සොයායාම වෙන්නෙ. අපේ පෙරකී උවමනා වෙනුවෙන් භික්ෂුවකගේ පැවැත්මේ සක්මන බාධා කරන්න බෞද්ධයෙකුට බෑ. භික්ෂුන් කියන්නෙ අපේ වහලුන් නොවන වග අපි තේරුම් ගන්න ඕන. ඇත්තටම හාමුදුරුවරු හරි බණ කිව්වා නම් බෞද්ධයො මෙහෙම වෙන්නෙ නෑ.

    ඒ වගේම හාමුදුරුවන්ටම ඇතිවන ගැහැණු ප්‍රේමයත් ඉතාම සුන්දර එකක්. ඒක එක්තරා විදිහක ෆෙටිෂ් එකක් (අර්චනකාමයක්). තමන්ගේ ජීවිතයේ ඉතාම හුදකලා වුනු, තමන්ගේ ආශාවන් පවා වරදක් වුනු, පීඩිත පිරිමියෙකුට ආදරය කිරීමෙන් විශාල ආත්ම තෘප්තියක් ලබන ගැහැණුන් මට මුනගැහිලා තියෙනවා. ඒ පාපය සහ ශුද්ධවන්තභාවය අතර සැරිසරන ගැහැණු කලාපය ඉතාම ගැඹුරු එකක්. ඇත්තටම කිව්වොත් ඒ ආදරය බෙහෙවින් පිරිසිදු ආදරයක්. හරියට මරියා මග්දලේනා හෝ අම්බපාලියගේ වගේ.

    මෙසේ හාමුදුරුවරුන්ට පීඩා කරන ගිහියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හාමුදුරු කෙනෙක්ද නැද්ද කියන එක වෙනුවට මනුස්ස අයිතිය පැත්තෙන් පෙනී සිටිය යුතුයි. කොටට ඇඳුම් ඇන්දා කියා ස්ත්‍රියක් දූෂණය කිරීමේ අයිතිය පවරා ගන්නෙත් මෙවන් මැරයන්ම වග අපි මතක තියාගත යුතුයි. සමාජයක සදාචාරය ආරක්ෂා කරන්නට අනෙකාට එරෙහිව බලය පාවිච්චි කරන්නා අතිශය භයානක වගට උදාහරණ ඕනෑතරම්ය.

    ආදරයට විරුද්ධ වෙන මේ ගිහියන් ජාතිවාදය, ආගම්වාදය දෙසන විට සාදුකාර දෙන අයයි


    චින්තන ධර්මදාස

  • ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද?

    ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද?

    (සුක්කවිස්සට්ඨි – ස්වයං වින්දනය පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීම)

    කෑම අරුචිය හා ඇග වැහැරුණු භික්ෂුවකි. මුහුණේ කිසිම ප්‍රසන්නබවක් නොමැත.”සෙය්යසක” නම් ඒ භික්ෂුව දුටු උදායි හිමියන් උන්වහන්සේ අමතා ගැටලුව කුමක්දැයි ඇසීය.

    සෙයියසක හිමියන් රාගයට ඇති ලැදිකම ප්‍රකාශ කළ අතර සසුන අත්හැර නොයා ස්වයං වින්දනයෙ යෙදෙන ලෙස උපදෙස් දෙන ලදි.

    සෙයියසක හිමියන් හස්ත උපක්‍රමයෙන් වින්දනය ලබාගත් අතර මේ පිළිබඳව දැනගත් අනෙක් භික්ෂූන් බුදුන්වහන්සේ හමුවට සෙයියසක හිමියන් පමුණුවන ලදි.

    ශුක්‍රාණු පිටකරන අවස්ථා කුමක්ද යන්න බුදුදහමේ දක්වා ඇත.

    1. නිරෝගීකම පිණිස
    2. සැප පිණිස
    3. දරුබීජයක් වෙනුවෙන්
    4. බෙහෙත් පිණිස
    5. වර්ණය සොයාබැලීමට
    6. දානය පිණිස (මේ දරුපල නැති අයට දරුවන් ලබා ගැනීමට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමයි)
    7. විනෝදයට

    ස්වයං වින්දනය ගිහි ජීවිතය උදෙසා වූවක් බවත් එය බ්‍රහ්මචර්‍යාව පුරන භික්ෂුවට නුසුදුසු නිසාත් “දැන දැන ශුක්‍රමෝචනය(ස්වයං වින්දනය) තහනම් කරන ලදි.එහෙත් එය සසුනෙන් නෙරපීමට තරම් බරපතල වරදක් ලෙස නොදුටු බුදුන්වහන්සේ සිල්වත් වැඩිමහලු භික්ෂුවකට වරද ප්‍රකාශ කර,වරදින් නිදහස් විය හැකිබව ප්‍රකාශ කරන ලදි.

    මේ බුදුන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මානවයන්ගේ ලිංගිකත්වය පිළිගත් ආකාරයයි. මහමෙව්නාවේ බණ කරුවන් හා විකාර ධර්ම දේශකයන් ලිංගිකත්වය සදාචාර විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම නියම බුද්ධ දේශනාවට පටහැනිය.ඒ විකාර කතා නිසා අද ලංකාව අපයෝජන ,ඝාතන,දික්කසාද ,අනියම් සම්බන්ධතා,ව්‍යභිචාරය ආදී අර්බුධයන්ට පැමිණ ඇත.

    (ස්වයං වින්දනය ගිහියාට තහනම් නැත. ස්වයං වින්දනය තහනම් කර ඇත්තේ භික්ෂුවටය.)

    සංස්කෘතික වහලය ගලවන්න – ඡන්නං විවරේථ…. ලංකාවේ ගමන්මග කොයිබටද ?


    කැකිරාවේ සුදස්සන හිමි

  • සෙක්ස් කියන්නෙත් නිවනක්

    සෙක්ස් කියන්නෙත් නිවනක්

    අද වප් පෝය දවස. පෝය කියන්නෙ හරි ලස්සන දවසක්. ඒ දවස වෙන්වෙලා තියෙන්නෙ ආධ්‍යාත්මික දේවල් ගැන හිතන්න. විශේෂයෙන්ම බෞද්ධාගමේ පෝය කියන්නෙ ශීලයෙන් සමාදන් වෙන දවස.

    මේ ආධ්‍යාත්මික හැඟීම අපි දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ සෙක්ස්වලින් වැළකීම මත. ඒ දවසෙ ඉන්ද්‍රිය පිනවීම පාලනය කරන එක තමයි ශීලයේ මූලික අදහස. බුද්ධාගමේ අද දකින්න තිබුනට ඇත්තටම මේක ක්‍රිස්තියානි අදහසක්.
    ශාන්ත පාවුළු කියනවා මෙහෙම.

    ‘ශරීරය ආශා කරන දේ ආධ්‍යාත්මයට විරුද්ධයි. ආධ්‍යාත්මය ආශා කරන දේ ශරීරයට විරුද්ධයි’

    මේක තමයි බෞද්ධ ක්‍රිස්තියානි ශීලයේ පදනම. ශරීරයේ ආශාව පාලනය කිරීම හරහා ආධ්‍යාත්මයට ළංවීම. ඒත් මීට පටහැණි තන්ත්‍ර වගේ බෞද්ධ සම්ප්‍රදායන් තියෙනවා. ඉන්ද්‍රිය පිනවීම හරහා මෝක්ෂය ලැබීම තන්ත්‍රවල කතා කරනවා. මේ වෙද්දි ඒක විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා.

    සෙක්ස් කරද්දි නිර්වාණය අවබෝධ වුනා වගේ, නැත්නම් ස්වර්ගය මොහොතකට දැකබලාගත්තා වගේ හැඟීමක් සෙක්ස් කරපු ඕනම කෙනෙකුට දැනිලා තියෙනවා. අපි මේක නිවන කියල කියන්නෙ නෑ. ඒත් ඒ ආශ්චර්යමත් මොහොතෙදි අපි මෙහෙම කියනවා.

    ‘ohh god!!’
    ‘Jesus Christ’

    අපි මේ අසිරිමත් ආස්වාදය විඳින්නෙ අපේ හෝමෝනවලට පිංසිද්ද වෙන්න.

    මේ විමුක්තිදායක හැඟීම ගැන ඩියුක් සරසවියෙන් පරීක්ෂණයක් කළා. ඒ අය මේ පර්යේෂණයෙන් හොයාගත්තා සෙක්ස් කිරීමෙදි අත්විඳින මේ ගැඹුරු තෘප්තිය ආගමික අත්දැකීමකට සමානයි කියල. ඒ කියන්නෙ අපි ධ්‍යාන, ඵල, මෝක්ෂ, විමුක්ති, ස්වර්ග කියන ස්වරූපයේ අත්දැකීමක්ම තමයි සෙක්ස්වලින් ලැබෙන්නෙත් කියන එක. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක් කියන එක.

    මේකට හේතුවෙන්නෙ අපේ ශරීර‍යේ ඔක්සි‍ටොසින් කියන හෝමෝනය. හොඳ සංවාසයකට පස්සෙ ඇතිවෙන පාවෙනසුලු ගතිය ඇතිකරන්නෙ මේකෙන්. ඒකට කියනවා ලව් හෝමෝනය කියලත්. මේ හෝමෝනයට පුළුවන් අපිට සෙක්ස්වලට පස්සෙ ගැඹුරු ආගමික හැඟීමක් ඇතිකරන්න.

    අපිව දෙවියන්ට සමීප කරන්න.

    කවුරු හරි ඔයාගෙ ශිෂ්නය උඩින් වාඩිවෙලා, ඒක ප්‍රාණවත් වෙලා ඔක්සිටොසින් හොඳින් ශ්‍රාවය වුනොත් ඔයාට,

    Ohh God!!

    කියල කියවෙන තෘප්තිමත් හැඟීම ඇතිවෙන්නෙ මෙහෙමයි. මේ ගැන කරපු පර්යේෂණයෙදි එක කණ්ඩායමකට ඔක්සිටොසින් ලබාදුන්නු අතර අනෙක් කණ්ඩායමට ප්ලෙසිබො (ව්‍යාජයක්) ලබාදුන්නා. ඔක්සිටොසින් ලබාදුන් පිරිස අධ්‍යාත්මික ගැඹුරු දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා. භාවනා කරද්දි සිද්ද වෙන්නෙත් මේ ඔක්සිටොසින් නිදහස් කරන එක. සෙක්ස් කරද්දි සිද්ද වෙන්නෙත් ඒකමයි.

    ආධ්‍යාත්මිකත්වය සහ භාවනාව නිරෝගී ජීවිතයකට උදව්වෙනවා කියන එක පර්යේෂණ මගින් ඔප්පු වුනු දෙයක්. ඩියුක් සරසවිය මේ පර්යේෂණය කළේ ආධ්‍යාත්මික අත්දැකීම් ලබාදෙන්න උදව්වෙන අපේ ශාරීරික පාර්ශ්වය ගැන හොයලා බලන්න. ශරීරය බැහැර කිරීම හා සමානවම ශරීරය තෘප්තිමත් කිරීමෙනුත් සමාන විමුක්තියක් ලැබිය හැකිබව පෙනී ගියේ මෙතනදි.

    ඉතින් පෝයට පන්සල් යන්න බැරි අයට පුළුවන් ඇඳ පන්සලක් කරගන්න. ඉඳුරන් වන්දනාවක යෙදෙන්න. පංචේන්ද්‍රියන් විකසිත කරන්න. ආදරයෙන් අනුරාගයෙන් වෙලෙන්න. ඒ ගින්නෙන් ආත්මාර්ථය දවන්න. ඔක්සිටොසින් වැස්සක නැහැවෙන්න.

    ඒ දිව්‍යමය මොහොතේ සමවත් සුවය විඳින්න. පෝය කියන්නෙ ආධ්‍යාත්මික දවසක්.

  • “අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    “අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කර තිබෙනවා. ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අකැප බවත් පෙන්වා දෙනවා. ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බවයි බුදු දහම සුරැකීමේ සංවිධානය පෙන්වාදෙන්නෙ. තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවද සඳහන් වෙනවා. මේ නිසා තමන් විසින් පහන්තුඩාවේ වීඩියෝව නැරඹූ බව වක්‍රාකාරයෙන් පිලිගැනීමක් වන මෙම ලිපිය යොමු කළ පස්සර දයාවංශ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන මෙන් ‍බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මංජු ශ්‍රී ආරියවංශ මහතා මහනායක හිමිවරුන්ගන් ඉල්ලා සිටිනවා.

    එම ලිපිය පහතින්.

    පහන්තුඩාව රති වීඩියෝව බැලු හිමිනම ගැනත් සොයාබලන්න.

    ගරුතර අස්ගිරි මල්වතු මාහිපාණන් වහන්සේලා වෙත,

    ඉකුත් දිනයක තරුණියක සහ තරුණයෙකු පහන්තුඩාව ප්‍රදේශ‍යේ දියඇල්ලක් අසල අසභ්‍ය ලෙස හැසිරුනු වීඩියෝවක් අරඹයා දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති යැයි කියන පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනධිපතිතුමන් වෙත ලිපියක් යොමු කර තිබුණි. එයින් ඉල්ලා තිබුනේ මේ යුවළ අරඹයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

    ගරුතර ස්වාමීන් වහන්ස, පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් මේ ලිපිය ලිවීමට නම් උන්වහන්සේ විසින් මේ වීඩියෝව නරඹා තිබිය යුතුය. එසේ නැතුව තමන්වහන්සේ විසින් ඇසින් නුදුටු වීඩියෝවක් අරඹයා යම් කෙනෙක් විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීම ද්වේශ සහගත වෙයි.

    එමෙන්ම මෙවන් වීඩියෝ සංඝයා වහන්සේලා විසින් නැරඹීම සහ මෙවන් ලෞකික සමාජය විසින් විසඳා ගත යුතු කාරණා අරඹයා ලිපි ලිවීමෙන් අපගේ බුද්ධ ශාසනයට විශාල අපකීර්තියක් මෙන්ම ඒ ගෞරවනීය බව සැහැල්ලුවට ලක්කිරීමක් සිදුවන වග බෞද්ධ අපගේ විශ්වාසයයි.

    එබැවින් මේ භික්ෂුන් වහන්සේ මේ වීඩියෝව නැරඹුවාද යන්න පිළිබඳ විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බව අපගේ ඉල්ලීමයි.

    එසේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට සංඝයා වහන්සේලා පෙළඹී සිටීමත්, ඒවා පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමත් අප ගෞරවනීය ලෙස සලකා වැඳුම් පිදුම් කරන අනෙකුත් සංඝයා වහන්සේලා කෙරෙහිද බලපාන අවමානයක් වෙයි.

    එබැවින් මේ පිළිබඳව සොයා බලා බුද්ධ ශාසනයේ විනය අවධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන මෙන් ඔබවහන්සේලාගෙන් ඉතාම ගෞරවයෙන් අප ඉල්ලා සිටිමු.

    බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය
    මංජු ශ්‍රී ආරිවංශ

  • “පහන්තුඩාවෙ වීඩියෝව හාමුදුරුවොත් බලලා…. ඊළඟට ජනපති….”

    “පහන්තුඩාවෙ වීඩියෝව හාමුදුරුවොත් බලලා…. ඊළඟට ජනපති….”

    ලංකාවේ බෞද්ධ හිමිනමක් ලිංගික වීඩියෝවක් හෙවත් පෝන් වීඩියෝවක් ගැන ලියුමක් ලියලාලු. ලියුමේ ඡායාරූපය ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකම පළ කරලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඒ ලියුම ලියමින් ඉල්ලලා තියෙන්නේ ‘අවශ්‍ය පියවර ගන්න’ කියලා ඉල්ලමින්.

    දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති ධුරන්දර ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමිගේ නමින් තමයි ඒ ලියුම තියෙන්නේ.

    මෙරට පුරවැසියන්ගේ ලෞකික ජීවිතේට අයිති දෙයක් වන ලිංගික වීඩියෝ වැනි දෙයක් ගැන බෞද්ධ හිමිවරුන් ලියුම් ලිවීම සුදුසුද? නැද්ද යන කාරණය ගැන විවිධාකාර අයට විවිධාකාර අදහස් ඇති. මේ සටහන ටිකක් හිතුවක්කාර එකක්. ඇතැම් අය එතරම් මේ සටහන ගැන නොසතුටු වෙන්නත් පුළුවන්.

    ඒත් ඉතින් අදහස් ප්‍රකාශනය කියන්නේ ඕක තමයි. හැමෝම කියන දේට හැමෝම කැමති නෑ.

    කොහොම වුණත් පහන්තුඩාව වීඩියෝව ගැන බොහෝදෙනෙක් සැලකුවේ සාමාන්‍ය දෙයක් හැටියට. ලෞකික සමාජයක, නූතන සමාජයක මෙවැනි දේවල් සාමන්‍යයි. මිනිසුන්ට නිදහස තියෙන ලෝකෙක විවිධ අය තමන්ගේ කැමැත්නේ විවිධ දේවල් කරනවා. අනුන්ට හානියක් නොවනතුරු ඒවායේ වරදක් නැහැ. විශේෂයෙන් ලිපිනයක් ඇතුළු කරලා පිවිසෙන්න ඕනෑ වෙබ් අඩවියක, මෙවැනි දෙයක් තිබීම සාමාන්‍ය දෙයක්.

    ඒ නිසා වෙන්න ඇති දිනමිණ වෙබ්ත් අඩවියත් තමන්ගේ වීඩියෝවකට අවධානය දිනාගන්න ‘පහන්තුඩාව බලන්න කලින් මේ වීඩියෝව බලන්න’ කියල යොදා තිබුනෙ

    අපට වගේම බොහෝ දෙනෙක් විහිළුවට වගේ මුලින්ම විමසා තිබුණු ප්‍රශ්නය මේ හාමුදුරුවන් ලියුම ලියන්නට කලින් වීඩියෝව නැරඹුවාද, නැද්ද කියන එක. ගෞරවණීය ස්වාමීන්වහන්සේට අපහාසයක් විදියට නෙවෙයි එවැනි අදහස් හුවමාරු වෙන්නේ. මෙවැනි මාතෘකාවක් ගැන කතා කරන විට මිනිසුන්ගේ ඔයවගේ විමසීම සාමාන්‍ය දෙයක්.

    ඒ ලියුමේ බැලීම හෝ නොබැලීම ගැන පැහැදිලිව කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඒත්, ඒක නොබලා ඒ ගැන පරීක්ෂණ කරන්න ලියුමක් ලීවා නම් එතැනත් ප්‍රශ්නයක් තියෙනවා.

    වීඩියෝවේ ඇති කරුණු හරිහැටි නොදැන ඒකෙන් සංස්කෘතියට සිදු වෙන හානිය ගැන කතා කරන්නේ කොහොමද?

    අනෙක් පැත්තෙන් නැරඹුවා නම් එය නැරඹුවේ කුමන අරමුණෙන්ද? මෙරට සංස්කෘතිය බේරාගැනීමේ උත්තරීතර අරමුණෙන් හෝ අධ්‍යන අවශ්‍යතා මත පමණක් නැරඹුවා වෙන්න පුළුවන්. නැත්නම් හිමිනමට මේක අකැප නිසා තවත් කෙනෙක් යොදවා, ඒ කෙනා නරඹා එකතු කරගත් තොරතුරු මත මේ ලිපිය ලීවා වෙන්නත් පුළුවන්.

    මේ ලියුමට පදනම් වී තිබුණේ පහන්තුඩාව නමින් ප්‍රකට වූ පෝන් වීඩියෝව ගැන.

    පෝන්හබ් වෙබ් අඩවියේ ‘විද්‍යාගේ දිනපොත’ නමින් ඇති චැනලයෙන් ප්‍රසිද්ධ කර තිබුණු පහන්තුඩාව නමින් ප්‍රකට පෝන් වීඩියෝව ගැන ලොකු සමාජ සංවාදයක් ඇති වුණා. ඒ වීඩියෝව බොහෝ අය නරඹා තිබුණා, එහි ඡායාරූප එක්ක සමාජ මාධ්‍යවල අදහස් හුවමාරුවීම් තිබුණා.

    සතියෙන් සතියට විවිධාකාර මාතෘකා උත්කර්ශයට නැගෙන සමාජ මාධ්‍ය අවකාශය ශානි නිෂාධි නම් ෆේස්බුක් වීඩියෝ ක්‍රීඩා කරන තරුණියගේ කතාවෙන් පස්සේ කටගැස්මට තෝරාගෙන තිබුණේ ඒ වීඩියෝව.

    මෙලෙස පෝන්හබ් වැනි වෙබ් අඩවිවලට මුදල් ඉපයීමේ අරමුණෙන් කැමැත්තෙන් වීඩියෝ නිර්මාණය කිරීම පසුගිය වසර කිහිපයේ වේගයෙන් ජනප්‍රිය වූ කාරණයක්. මේ වන විට ඒ මාර්ගයෙන් ඉතා ඉහළ ආදායමක් ලබන (විදේශ විනිමය) නිර්මාණකරුවන් පිරිසක් සිටින බව කියනවා. ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන පනත වැනි පරණ අණපනත් පාවිච්චි කරමින් පොලීසිය අනුන්ගේ කාමරවලට එබීම සහ ලිංගික විනෝදය කැඩීම එදිනෙදා සිද්ධවෙන දෙයක්. ඒ නිසා ලංකාවේ සිටින නිර්මාණකරුවන්ට තමන්ගේ මුහුණ පෙන්වන්න බැහැ.

    කෙසේ වෙතත් කැමැත්තෙන් නිර්මාණය කරන නිර්මාණකරුවන්ගේ වීඩියෝවලට වැඩි ඉඩක්, තල්ලුවක් ලබා දීම පෝන්හබ් ආදී වෙබ් අඩවිවල ප්‍රතිපත්තිය. ඒ නිසා ලංකාවේ තරුණ තරුණියන්ගේ ජීවිත විනාස කරන, අකැමැත්තෙන් හෝ හොරෙන් වීඩියෝ කළ, නැත්නම් සොරකම් කළ වීඩියෝ එවැනි වෙබ් අඩවිවල ප්‍රේක්ෂකයන්ට දැන් මුණගැහෙන්නේ අඩුවෙන්.

    කැමැත්තෙන් නිර්මාණය කළ වීඩියෝවලින් වෙබ් අඩවි පිරෙද්දී, ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේත් ලිංගික වීඩියෝ කර්මාන්තයක් නිර්මාණය වෙද්දී කැමැත්තකින් තොරව අනුන්ගේ නිරුවත සහ ලිංගික ක්‍රියා බලන සංස්කෘතිය ලංකාවේ වෙනස් වෙමින් තිබුණා. තමන් කැමති කාන්තාවකගේ හෝ ප්‍රසිද්ධ චරිතයකගේ වීඩියෝවක් ‘ලීක්’ වනතුරු බලා සිටීම ටිකෙන ටික අඩු වුණා. ඒ වෙනුවට තමන් කැමතිම නිර්මාණකරුවන් කැමැත්තෙන් වීඩියෝවක් කරනතුරු බලා සිටින තැනට සංස්කෘතිය මාරු වී තිබුණා.

    ලෝකයේ ගොඩක් නූතන රටවල සංස්කෘතිය ඒකයි.

    එහෙත්, ඒවා නවත්වා අනුන්ගේ නිරුවත හොරෙන් බලන සංස්කෘතියට මාරු වීමට කැමති අයත් ඇති. මේ ලියුම ලියා තියෙන හිමිනම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත්තේ එවැනි අරමුණකන් නොවන බව නම් ලිපිය කියවූ විට පැහැදිලියි.

    ඒ හිමියන් ලෝකෝත්තර දිවියක් ගතකරන පැවිදි හිමිනමක්. ලෞකික ජීවිතය ගැන එහිමියන්ට අවබෝධය අඩු ඇති.

    එහිමියන් ලියූ ලියුම පහතින්.

    ‘ඔබතුමන් දන්නා පරිදි පහන්තුඩාව දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරම දිය ඇල්ලකි. ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයකි. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ කොට්ඨාශයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට අයත් එම දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි.

    එම ස්ථානයේ පසුගිය දවසක තරුණ දෙපළක් අසැබි වීඩියෝවක් නිර්මාණය කොට එය අන්තර්ජාලයට මුදා හැර ඇත. දන්නා තොරතුරු අනුව ඒ දෙපළම මුදල් හෙවීමේ අරමුණෙන් මීමුරේ ප්‍රදේශයේද එවැනිම විඩියෝවක් නිකුත් කර මුදල් උපයා ඇති බව වාර්තා වේ.

    ඉතාම අභාග්‍ය සම්පන්න මෙම ක්‍රියාව ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන නරක ආරංචියක් පැතිර යාමකි. එය විදේශ රටවලද ජනප්‍රිය වීමෙන් රටේ සංස්කෘතියට සදාචාරයට මරු පහරකි. ඊටත් වඩා මෙහි ඛේදජනක තත්වය වන්නේ දැන් දරුවන් ඔන්ලයින් තාක්ෂණයේ නිතර අධ්‍යාපනය ලබන බැවින් මෙවැනි දර්ශන බැලීමට යොමුව තිබීමයි. ඔවුන් මේ දර්ශන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදිය සමාජජාලා මාධ්‍ය වෙතද මුදාහැර ඇත. එය ඛේදවාචකය තීව්‍ර වීමට හේතු වී ඇත.

    එබැවින් ගරු ජනාධිපතිතුමනි, ලංකාවේ සංචාරක ව්‍යාපාර ගැන වැරදි සිතුවම් මැවෙන බැවිනුත්, සදාචාර හා සංස්කෘත හානියත්, දරුපරපුරට වන හානිය ගැන සලකා මේ සඳහා හැකි ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.’

    දැනටමත් මේ ජනාධිපතිවරයා යටතේ සීඅයිඩීය වැනි ආයතන භාරදූර රාජකාරීවල යෙදී ඉන්නවා. ඒ ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන් කියන කරන දේවල්වල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම වගේ අසීරු රාජකාරී. ලංකාවේ තවම නොවිසඳුණු මහා පරිමාණ අපරාධ නැති නිසාදෝ, සීඅයිඩීයට පැවරුණු අලුත් රාජකාරිය ඔවුන් සාර්ථකව කරමින් ඉන්නවා. සතියකට වතාවක් හෝ කාගේ හෝ කට වැරදුණ තැනක් අල්ලාගෙන සීඅයිඩීයට කැඳවනවා.

    සමහරවිට ඉදිරි කාලයේ ලිංගික වීඩියෝ නිර්මාණය කරන නිර්මාණකරුවන් කොටු කිරීමේ භාරදූර රාජකාරියත් සීඅයිඩීය පවරාගනීවි. ඒත්, ඕනෑ තැනකින් රිංගායෑමේ හැකියාව තිබෙන අන්තර්ජාලය නම් වූ සංකීර්ණ අවකාශය පාලනය කරන්න කිසි රජයකට බෑ. රටක් ඇතුළේ වෙබ් අඩවි තහනම් කළත් වීපීඑන් තියෙනවා. වෙනත් මාර්ග තියෙනවා. එවැනි පසුබිමක නිර්මාකරුවන් කොටු කරන්නට පටන්ගතහොත් ඊළඟට සිද්ධවෙන්න පුළුවන් දේ තමයි තරුණ තරුණියන්ගේ පෞද්ගලික රූපරාමු හොරකම් කොට ප්‍රසිද්ධ කරන, ඒ අයගේ අකැමැත්තෙන් ඒවා බලන සංස්කෘතියක් යළි ඇති වීම.

    මේ හිමිනම ලෞකික ජීවිතය ගැන නොදන්නා පැවිදි හිමිනමක් බව අප අනුමාන කළේ කලින් කී ලියුමේ තිබුණ එක වාක්‍යයක් නිසා. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නරක විදියට මේ වීඩියෝව නරඹනු ඇති බවත්, මේ වීඩියෝව පිටරටවල අය බැලීමෙන් අපේ සංස්කෘතියට මරු පහරක් එල්ලවිය හැකි බවත්.

    ඇත්තටම දැන් මෙවැනි වීඩියෝ නිර්මාණ නැති රටවල් ලෝකයේ නැති තරම්. ආ…. වැරදීමක්. ආගම් මත පදනම් වූ නීති රජකරන, මෙවැනි දෙයක් කළොත් ගල් ගසා මරන ආකාරයේ දඬුවම් ලැබෙන මූලධර්මවාදී රටවල නම් මේවා අඩුයි. අනෙක් සෑම නූතන රාජ්‍යයකම මේවා මැජික් නෙවෙයි.

    ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවන් මේවා නැරඹීම ගැන එහිමියන්ගේ කම්පාවත් තේරුම්ගත හැකියි. එහෙත්, ඔන්ලයින් අධ්‍යාපනය එන්නට පෙර සිටම දරුවන් බලන දේවල්වලට පාලනයක් තිබුණේ නැහැ. තමන්ගේ දරුවන් නරඹන දේවල් ගැන විමසිල්ලෙන් සිටීම ඒ ඒ මාපියන්ට කළ හැකි දෙයක්. ඒත්, ඕනෑ සීමාවක් මැද්දෙන් නවයොවුන් දරුවන් ලිංගිකත්වය ගැන කුතුහලයෙන් දේවල් සෙවීම වැට බැඳ නවත්වන්න බෑ. අපිත් නවයොවුන් කාලේ එහෙමයි. ඕනෑ කෙනෙක් එහෙමයි.


    උපුටාගැනීම – සටහන් බ්ලොග් අඩවියෙන්

  • අත්හැරීමේ මහා පොහොය

    අත්හැරීමේ මහා පොහොය

    බෞද්ධ පෝය දවස් අතරින් ඇසළ තමයි බුද්ධාගමේ වැදගත්ම පණිවුඩය දරනවා කියල මට හිතෙන්නෙ. ඇසළ කියන්නෙ අභිනිෂ්ක්‍රමණය. අනිත් හැම පෝයක්ම කියන්නෙ යම් කිසි අත්පත් කරගැනීමක් ගැන. වෙසක් බුද්ධත්වය ලබා ගැනීම, පොසොන් බුද්ධාගම ලබා ගැනීම, ඇසළ අත්හැර යාම. බුදුන්ගෙ පණිවුඩය ඇතුලෙ තියෙන ගැඹුරුම තියුණුම, ආගම අදහන්නන් විසින් ලේසියෙන්ම නොතකා හරින තැනක් ඇසළ. කොටින්ම පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ට පවා අද අතහැර යාම සමරන්න පුළුවන්කමක් නෑ. ඇත්තටම දැන් අබිනික්මන් කළ යුත්තෙ පන්සලෙන් එලියට.

    සිද්ධාර්ථ තමන්ගෙන් උපන් දරුවා ඒ උපන් දිනයේම, අතටවත් නොගෙන අත්හැර දමා යනවා. සමාජ සම්මතය අනුව තමන්ගේ පියෙකු මෙන් දැරිය යුතු තමන්ගේ වගකීම අත්හරිනවා. බෞද්ධ අපි පස්සෙ මේක ගැලපෙන විදිහට සුමට කරගන්නවා. ලෝකයක් ගලවා ගැනීමේ සත්‍යයක් සොයනු පිනිස නික්මුනා කියලා සාධුකාර දෙනවා. ඒත් සිද්ධාර්ථ ඒ නික්ම යන මොහොතේදී තමන් යම් සත්‍යයක් හොයාගනීද කියල දන්නෙ නෑ. එයා දන්නෙ තමන් සොයන ජීවිතය මේ පවතින දේ නම් නොවේය කියන එක විතරයි.

    සිද්ධාර්ථ තමන්ගේ රාජ උරුමය අත්හරිනවා. ඒ වගේම තමන්ගේ ජීවමය උරුමය අත්හරිනවා. සිස්ටම් එකෙන් එලියට යනවා කියන්නෙ සියලු සම්මතයන් සහ ප්‍රවේණියන් අතෑරලා රාත්‍රියක නික්ම යනවා. ඒක වැඳුම් පිදුම් ලබමින් ආශීර්වාදයෙන් ගිය ගමනක් නෙමෙයි. රහසේම, සියල්ලන්ට තමන් වෙත නොයෙක් අපවාදයන් නගන්නට අවසර තබා ගිය ගමනක්. බුද්ධ චරිතය කියවද්දි මට සිද්ධාර්ථ තීරණාත්මක චරිතයක් වුනේ මේ අබිනික්මන නිසයි.

    බුදුන්ගේ ඉගැන්වීමේ සාරය හැටියෙන් මං දකින්නෙ තමන්ගේ ශරීරය, නැත්නම් ජාන කෝෂය, ජීව විද්‍යාත්මකව පරපුරෙන් පරපුරට ගෙනයන උරුමයේ මෙහෙයවීමෙන් අත්මිදීමයි. ආශාවන්ගෙන් අත්මිදීම කියන්නෙත් මේකට. ඒ මත ගොඩනැගුනු පවුල, වර්ගය, ආගම, ජාතිය ආදී සියල්ලෙන් නිදහස් වීමේ කතාව. මේ සියල්ලක් නිර්මාණය වෙලා තියෙන්නෙ අපේ මානව වර්ගයා පවත්වාගෙන යාම වෙනුවෙන්. බුදුන් කියන්නෙ ඒ සියල්ල නතර කරන මොහොතක්. වෙන විදිහකින් කිව්වොත් මානව පැවැත්මට ප්‍රතිවිරෝධයක්. අපි අපේ ජානමය උරුමය අත්හැරිය යුතුයි කියන ප්‍රතිපදාව බුද්ධ චරිතයෙ මූලික ලක්ෂණයක්.

    බුදුන් දේශනා කරන්නෙ සියලු අල්ලාගැනීම් වලින් නිදහස. සිතුවිල්ලක අල්ලාගැනීමෙන් පවා නිදහස. පරම විමුක්තිය. ඒක සිද්ද වෙන්නෙ වෙන්වීමෙන්. ඒ වෙන්වීම තමයි අබිනික්මන කියන්නෙ. අත්හැරීම. ඇසළ කියන්නෙ අත්හැරීමේ පිළිවෙත් පිරිය යුතු පොහොය. අපි අපේ දරුවන්ට, නෑයන්ට, ජාතියට, ආගමට ඇති බැඳීමේ නිස්සාරත්වය දැකිය යුතු දවසක්.

    සිද්ධාර්ථ ශිෂ්ටාචාරය අත්හැර යනවා. එයා වනගත වෙනවා. එයා සමාජය අත්හරිනවා. හුදකලා වෙනවා. පැවැත්ම වෙනුවෙන් නිර්මාණය වුනු අහම නැත්තං මමත්වය අත්හරිනවා. ඒ කියන්නෙ තවදුරටත් ජීවමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් තමන් මත ක්‍රියාත්මක වෙන සියලු අගතීන්වලින් නික්මෙනවා. නැවත සංයෝගවීම් ඇති කර නොගන්නා හුදකලා පරමාණුවක්. ඒ නිසා එකිනෙකා බැඳුණු පද්ධතියටම දරුණු බාධකයක්. මේ හුදකලා බුද්ධ පරමාණුව නිසා තව අය දරු පවුල් අතෑරලා එනවා. උරුමයන් අතෑරලා උරුමයක් නැති අවසාන ශරීරමය පැවැත්මක් නිර්මාණය කරනවා.ඒත් පරිණාමය අපි හිතනවට වඩා සංකීර්ණයි. ඒ නිදහස් අවසාන පැවැත්ම තුලින් තවත් පද්ධතියක් නිර්මාණය වෙනවා. සංඝ යනුවෙන් වෙනස් සමාජයක් හැදෙනවා. තවත් උරුමයක් ගොඩනැගෙනවා. ජාතිය, වර්ගය ආදියට අමතරව සාසනයක් පවතින්න පටන් ගන්නවා. ඒ සාසනය පුළුල් වෙමින් නැවත මහා සමාජය එක්ක බැඳෙනවා. ඒ අය භූමි, දේපොල අත්පත් කරගන්නවා. සමහරු දරු පරම්පරාවන් හදනවා. ඒ අබිනික්මන පුනරාගමනයක් වෙනවා.

    අපි යමක් අතහැර නික්ම යන්නෙ තවත් යමක් නිර්මාණය කරන්නද? වෙනත් යමක් නොතනන අත්හැරීමක් පැවතිය නොහැකිද? එක් උරුමයක් වෙනත් උරුමයක් බවට පරිවර්තනය වෙනු මිස උරුමයන්ගෙන් සදා නිදහස් වීම යනුවෙන් දෙයක් නැද්ද?

    සදාතනික බව කෙසේ වෙතත් පවතින බැඳීමෙන් අත් මිදීගත නොහැකිව ලබන නිදහසක් නැති බව සිදුහත්ගේ අබිනික්මන අපිට මතක් කරනවා. සියලු කෙලෙසුන් නසා බුද්ධත්වය ලැබූයේ දරුපවුල්, සම්මතයන් රැකි, සදාචාරයට අවනත නුඹලා අදහන සුදනෙකු නොව, තමන්ගේ ශුක්‍රානුවලින් උපන් දරුවා අතටවත් නොගෙන, ශිෂ්ටාචාරයේ සියලු බැඳීම් අමතක කරමින් රාත්‍රියේ පලාගිය හිතුවක්කාර ආධ්‍යාත්මික කැරලිකාරයෙක් බව ඇසල පෝය බෞද්ධයන්ට පසක් කරනවා.

  • තව පෝයක් ඕන

    තව පෝයක් ඕන

    පෝය කියන දවස හරිම ලස්සන දවසක්. කාලයක් මම ආගමික පටු අර්ථයකින් පෝය දිහා බලලා මේ තේරුමක් නැති නිවාඩුව ගැන විවේචන කළා. ඒත් දැන් මට පෝය කියන්නෙ බෞද්ධ දවසක් නෙමෙයි. මිනිස්සු සිස්ටම් එකෙන් ගැලවෙන අමුතු දවසක්. සති අන්ත නිවාඩුව කියල කිව්වට සෙනසුරාදාත් දවස් පහටම ඈඳිලා ඉවරයි. ඉතුරු වුනේ ඉරිදා විතරයි. ඉරිදා කියන්නෙ අතීතයේ ඉඳන්ම සූර්ය දෙවියන්ට පූජා පිනිස වෙන් කරපු දවස. ඒක හෝලිඩේ නැත්තං ආගමික දවසක්. ඒ ආගමික දවස් තියෙන්නෙ අපේ පුංචි වෙමින් යන ජීවිතේ විශාලත්වය මතක් කරන්න. අපි ජීවිතේට වඩා බරට කරට අරන් තියෙන වැඩවලින් නිදහස් වෙලා තමන් ගැන, තමන් වටවුනු විශාල විශ්වය ගැන කල්පනා කරන්න තියෙන දවස්. ඒත් ඉරිදා කියන්නෙත් මේ වෙද්දි ඒ ආධ්‍යාත්මික අදහසින් සම්පූර්ණයෙන් බැහැර වුනු සාමාන්‍ය දවසක්. සතියෙ අනිත් දවස් හයේම ඉතුරු වැඩ ටික ඉරිදාට පැවරෙනවා.

    පෝය කියන්නෙ චන්ද්‍රයාගේ දවස. ඒක මාසෙකට වරක් අතරමැද දවසක අහම්බයක් විදිහට එනවා. සියලු බාහිර විනෝදයන් අහිමියි. කඩසාප්පු ඔක්කොම වැහෙනවා. මිනිස්සු වැඩ කරන්නෙම නෑ. අත්ඇරලා දාපු දවසක් වගේ. එකම කරදරේට තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකර් එක. එහෙම නැත්තං පෝය කියන්නෙ අපිට ඇතුලතට හැරෙන්න බලකරන දවසක්. ඒක අපිව මොහොතකට නතර කරනවා. අපිට ආධ්‍යාත්මික නිවාඩුවක් ගන්න කියල පණිවුඩයක් දෙනවා.

    එහෙම දවස් මනුස්සයන්ට ඕන. තමන් ගත කරන ජීවිතෙන් වෙන් කරන අපේ පැවැත්ම සිහිපත් කරන දවස්. අපි වෙහෙස වන කෘතිම දේවල්වලින් දවසකට හරි මිදෙන දවස්. මිනිස්සු ඉපදෙන්නෙ වැඩකරන්න නෙමෙයි. මිනිස්සු වැඩ කරන්න ඕන තමන් ඒ වැඩෙන් තෘප්තිමත් වෙනවා නම් විතරයි. ඒත් අපි වැඩකරන්නෙ වැඩේ ගැන අතෘප්තියෙන්, වැඩෙන් ලැබෙන මුදල ගැන තණ්හාවෙන්. අපි අතෘප්තියෙන් දවස් විසි නවයක් වැඩකරනවා එක පඩි දවසක තෘප්තිය වෙනුවෙන්. ඒක ජීවිතය ගැන හොඳ සැලසුමක් නෙමෙයි. අපි නොදැනුවත්ව අපේ යහපත වෙනුවෙන් කියල නිර්මාණය කරගත්ත සිස්ටම් එක අපිවම භෞතික ශ්‍රමයකට වැඩි දෙයක් නොවන තැනට ඌනනය කරලා තියෙනවා. අපිට ඒ සමාජමය සංස්කෘතිකමය ආර්ථිකමය හිරගෙයින් එලිය දකින්න තියෙන පුංචි විවරයක් තමයි පෝය කියන්නෙ.

    පෝය ඇත්තටම ආගමික අර්ථයකින් ගැලවිලා ආධ්‍යාත්මික අර්ථයකට පෙරලෙන එක වැදගත්. පෝය කියන්නෙ අපේ මිනිස් පැවැත්ම ගැන සිහිපත් කරන දවසක් වෙන්න ඕන. දානයේ, මිනිස් ඇසුරේ, ශරීර ස්පර්ශයේ, විවේකයේ, භාවනාවේ සහ පූජාවේ දවසක් විදිහට පෝය ගතවෙන්න ඕන. අපි ආගමිකව කියන්නෙ සත්‍යය හොයාගෙන යනවා කියලනෙ. ඒ සත්‍යය කියන්නෙ සමාජ ජීවිතය වෙනුවෙන් අපි යටපත් කළ, ඩයිවර්ට් කළ ආශාවන්ගේ සත්‍යය. ඒ ආශාවන්ට නිරුවත්ව සිහියෙන් යුතුව මුහුණදීම. ඒවා ගැන සවිඥානක වීම. එතනදි ඒ ආශාවන් නිදහස් කිරීම හෝ ඒ ආශාවන් දැනුවත්ව පාලනය කිරීම මාර්ගයන් විදිහට තෝරගන්න පුළුවන්. නමුත් අපි අපේ ගැඹුරු මිනිස් පැවැත්ම බාරගන්නවා. ඒ සත්‍යය වෙනුවෙන් පෝය දවස වෙන් වෙන්න ඕන.

    කෙනෙක් ඒක සංගීතයෙන් කරන්න පුළුවන්. කෙනෙක් එක්ක සිත්තමක් එක්ක කරන්න පුළුවන්. සමහර විට ආරාමයක. සමහර විට සංවාදයෙන්, සංවාසයෙන්, සයිකඩෙලික් උදව්වකින්, මේ මොනම ආකරයකින් වුනත් බාහිර ලෝකය වෙනුවට තමන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි වැදගත්.

    අපි දුප්පත් කියන්නෙ අපි කරන කැපකිරීම් වැඩියි කියන එක. අපි අපේ ජීවිතයේ ලොකු කොටසක් සමාජයත් එක්ක ජීවත්වීම වෙනුවෙන් කැපකරලා තියෙනවා. අපේ පවුල්, අධ්‍යාපනය, රස්සාව වෙනුවෙන් කැපකරලා තියෙනවා. කොයිතරම් කැපකරලා තියෙනවද කියල කිව්වොත් අපි ඒකට ජීවිතය කියලත් කියනවා. ඒ හැමදෙයක්ම කරලා අන්තිමට දරුවන්ට කියනවා අපි උඹලා වෙනුවෙන් කෙරුවා කියල. දරුවොත් ඒකම කරනවා. අපි කම්කරුවො හෝ වහල්ලු වෙන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයක් හින්ද නෙමෙයි. අපිට ඊට වඩා දෙයක් නිර්මාණය කරගන්න බැරිවුන හින්ද. අපි අපේ තෘප්තිය හොයාගෙන යනවා වෙනුවට අනාගත තෘප්තියක් වෙනුවෙන් කැපකිරීම තෝරගත්ත හින්ද. හැමදාම වර්තමානය කැපකිරීමයි දුප්පත්කම කියන්නෙ. අනාගතය ගැන ලොකු හීන තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. පෝසත් මිනිස්සු කියන්නෙ වර්තමානය සංතෘප්තියෙන් ගතකරන අයට. බුදුන් පොහොසත් වෙන්නෙ එහෙමයි. ඒ ගතකරන මොහොත පරිපූර්ණව ගත කරන්න තෝරාගැනීම හින්ද. තමන්ගේ මිනිස් පැවැත්මේ ගැඹුර ස්පර්ශ කරන ජීවිතයක් තෝරගත්ත හින්ද. අපි වර්තමානය තෝරාගන්නා මොහොතේදී අපි කම්කරුබවෙන් නිදහස් වෙනවා. මේ මොහොතේ අත්විඳිය යුතු තෘප්තිය මේ මොහොතේ අත්විඳීමට තීරණය කරන තැනින් අපි මොහොතක හෝ පොහොසත් බවක් විඳිනවා.

    කම්කරුවෙක් හවසට බොන එක ගැන මං සතුටු වෙන්නෙ ඒ හින්ද. ඒක ඒ මනුස්සයා තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ගන්න එකම හිතුවක්කාර තීරණය හින්ද. එයාගෙ ජීවිතේ එයා ගත කරන එකම පොහොසත් මොහොත ඒක. ඒ මුදලත් නැවත අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න කියන එක මේ සිස්ටම් එකේ වහල්බව විසින් මතුකරන තර්කයක්. ජීවිතය තියෙන්නෙ තෘප්තිය පැත්තෙ මිස අතෘප්තිය පැත්තෙ නෙමෙයි. පැවැත්ම තියෙන්නෙ විවේකය පැත්තෙ මිස කාර්යබහුල වීම පැත්තෙ නෙමෙයි.

    මේ දේවල් ගැන හිතන්න විවේකය දෙන පොහොසත් දවසක් පෝය කියන්නෙ.

    ඒත් මං කැමතියි පෝය කැලන්ඩරයෙ ලකුණු වෙලා නොතිබුනා නම්. පෝය කියන්නෙ සැලසුම් කළ නොහැකි දවසක් වුනා නම්. මාසෙකට වරක් එන සම්පූර්ණයෙන් අහම්බ දවසක්. ඊට කලින් දවසේ රාත්‍රියේ පමණක් නිශ්චිතව කිව හැකි දවසක්. අපේ වැඩ නතර වෙන වෙලාව ගැන අපිට කිසිම සැලසුමක් නැති කරන ඩිස්රප්ෂන් එකක්. පෝය එහෙම වුනා නම් ඒකෙ ආධ්‍යාත්මික ගුණය තවත් වැඩි වෙනවා. දවස ගැන සැලසුමක් නැති තැනදි අපි අපේ පැවැත්මේ හිස්තැනට ඇදවැටෙනවා. අපිට වර්තමානය බලහත්කාරයෙන් වුනත් බාරගන්න වෙනවා. ඉර හඳ ගැන කෘෂිකාර්මික යුගයක විශ්වාස මත පදනම් වුනු ඒ ආධ්‍යාත්මික අවකාශයන් නූතන වපසරියට ගැලපෙන විදිහට නැවත නිර්මාණය කරන්න පුළුවන් වුනා නම් වටිනවා.

    එහෙම වුනා නම් අපිට තව අලුත් පෝයක් නිර්මාණය කරගන්න තිබුන. කැලන්ඩරයේ නැති අපිට ජීවිතය මුනගැහෙන පෝයක්.


    චින්තන ධර්මදාස