බෞද්ධ පෝය දවස් අතරින් ඇසළ තමයි බුද්ධාගමේ වැදගත්ම පණිවුඩය දරනවා කියල මට හිතෙන්නෙ. ඇසළ කියන්නෙ අභිනිෂ්ක්‍රමණය. අනිත් හැම පෝයක්ම කියන්නෙ යම් කිසි අත්පත් කරගැනීමක් ගැන. වෙසක් බුද්ධත්වය ලබා ගැනීම, පොසොන් බුද්ධාගම ලබා ගැනීම, ඇසළ අත්හැර යාම. බුදුන්ගෙ පණිවුඩය ඇතුලෙ තියෙන ගැඹුරුම තියුණුම, ආගම අදහන්නන් විසින් ලේසියෙන්ම නොතකා හරින තැනක් ඇසළ. කොටින්ම පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ට පවා අද අතහැර යාම සමරන්න පුළුවන්කමක් නෑ. ඇත්තටම දැන් අබිනික්මන් කළ යුත්තෙ පන්සලෙන් එලියට.
සිද්ධාර්ථ තමන්ගෙන් උපන් දරුවා ඒ උපන් දිනයේම, අතටවත් නොගෙන අත්හැර දමා යනවා. සමාජ සම්මතය අනුව තමන්ගේ පියෙකු මෙන් දැරිය යුතු තමන්ගේ වගකීම අත්හරිනවා. බෞද්ධ අපි පස්සෙ මේක ගැලපෙන විදිහට සුමට කරගන්නවා. ලෝකයක් ගලවා ගැනීමේ සත්‍යයක් සොයනු පිනිස නික්මුනා කියලා සාධුකාර දෙනවා. ඒත් සිද්ධාර්ථ ඒ නික්ම යන මොහොතේදී තමන් යම් සත්‍යයක් හොයාගනීද කියල දන්නෙ නෑ. එයා දන්නෙ තමන් සොයන ජීවිතය මේ පවතින දේ නම් නොවේය කියන එක විතරයි.
සිද්ධාර්ථ තමන්ගේ රාජ උරුමය අත්හරිනවා. ඒ වගේම තමන්ගේ ජීවමය උරුමය අත්හරිනවා. සිස්ටම් එකෙන් එලියට යනවා කියන්නෙ සියලු සම්මතයන් සහ ප්‍රවේණියන් අතෑරලා රාත්‍රියක නික්ම යනවා. ඒක වැඳුම් පිදුම් ලබමින් ආශීර්වාදයෙන් ගිය ගමනක් නෙමෙයි. රහසේම, සියල්ලන්ට තමන් වෙත නොයෙක් අපවාදයන් නගන්නට අවසර තබා ගිය ගමනක්. බුද්ධ චරිතය කියවද්දි මට සිද්ධාර්ථ තීරණාත්මක චරිතයක් වුනේ මේ අබිනික්මන නිසයි.
බුදුන්ගේ ඉගැන්වීමේ සාරය හැටියෙන් මං දකින්නෙ තමන්ගේ ශරීරය, නැත්නම් ජාන කෝෂය, ජීව විද්‍යාත්මකව පරපුරෙන් පරපුරට ගෙනයන උරුමයේ මෙහෙයවීමෙන් අත්මිදීමයි. ආශාවන්ගෙන් අත්මිදීම කියන්නෙත් මේකට. ඒ මත ගොඩනැගුනු පවුල, වර්ගය, ආගම, ජාතිය ආදී සියල්ලෙන් නිදහස් වීමේ කතාව. මේ සියල්ලක් නිර්මාණය වෙලා තියෙන්නෙ අපේ මානව වර්ගයා පවත්වාගෙන යාම වෙනුවෙන්. බුදුන් කියන්නෙ ඒ සියල්ල නතර කරන මොහොතක්. වෙන විදිහකින් කිව්වොත් මානව පැවැත්මට ප්‍රතිවිරෝධයක්. අපි අපේ ජානමය උරුමය අත්හැරිය යුතුයි කියන ප්‍රතිපදාව බුද්ධ චරිතයෙ මූලික ලක්ෂණයක්.
බුදුන් දේශනා කරන්නෙ සියලු අල්ලාගැනීම් වලින් නිදහස. සිතුවිල්ලක අල්ලාගැනීමෙන් පවා නිදහස. පරම විමුක්තිය. ඒක සිද්ද වෙන්නෙ වෙන්වීමෙන්. ඒ වෙන්වීම තමයි අබිනික්මන කියන්නෙ. අත්හැරීම. ඇසළ කියන්නෙ අත්හැරීමේ පිළිවෙත් පිරිය යුතු පොහොය. අපි අපේ දරුවන්ට, නෑයන්ට, ජාතියට, ආගමට ඇති බැඳීමේ නිස්සාරත්වය දැකිය යුතු දවසක්.
සිද්ධාර්ථ ශිෂ්ටාචාරය අත්හැර යනවා. එයා වනගත වෙනවා. එයා සමාජය අත්හරිනවා. හුදකලා වෙනවා. පැවැත්ම වෙනුවෙන් නිර්මාණය වුනු අහම නැත්තං මමත්වය අත්හරිනවා. ඒ කියන්නෙ තවදුරටත් ජීවමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් තමන් මත ක්‍රියාත්මක වෙන සියලු අගතීන්වලින් නික්මෙනවා. නැවත සංයෝගවීම් ඇති කර නොගන්නා හුදකලා පරමාණුවක්. ඒ නිසා එකිනෙකා බැඳුණු පද්ධතියටම දරුණු බාධකයක්. මේ හුදකලා බුද්ධ පරමාණුව නිසා තව අය දරු පවුල් අතෑරලා එනවා. උරුමයන් අතෑරලා උරුමයක් නැති අවසාන ශරීරමය පැවැත්මක් නිර්මාණය කරනවා.ඒත් පරිණාමය අපි හිතනවට වඩා සංකීර්ණයි. ඒ නිදහස් අවසාන පැවැත්ම තුලින් තවත් පද්ධතියක් නිර්මාණය වෙනවා. සංඝ යනුවෙන් වෙනස් සමාජයක් හැදෙනවා. තවත් උරුමයක් ගොඩනැගෙනවා. ජාතිය, වර්ගය ආදියට අමතරව සාසනයක් පවතින්න පටන් ගන්නවා. ඒ සාසනය පුළුල් වෙමින් නැවත මහා සමාජය එක්ක බැඳෙනවා. ඒ අය භූමි, දේපොල අත්පත් කරගන්නවා. සමහරු දරු පරම්පරාවන් හදනවා. ඒ අබිනික්මන පුනරාගමනයක් වෙනවා.
අපි යමක් අතහැර නික්ම යන්නෙ තවත් යමක් නිර්මාණය කරන්නද? වෙනත් යමක් නොතනන අත්හැරීමක් පැවතිය නොහැකිද? එක් උරුමයක් වෙනත් උරුමයක් බවට පරිවර්තනය වෙනු මිස උරුමයන්ගෙන් සදා නිදහස් වීම යනුවෙන් දෙයක් නැද්ද?
සදාතනික බව කෙසේ වෙතත් පවතින බැඳීමෙන් අත් මිදීගත නොහැකිව ලබන නිදහසක් නැති බව සිදුහත්ගේ අබිනික්මන අපිට මතක් කරනවා. සියලු කෙලෙසුන් නසා බුද්ධත්වය ලැබූයේ දරුපවුල්, සම්මතයන් රැකි, සදාචාරයට අවනත නුඹලා අදහන සුදනෙකු නොව, තමන්ගේ ශුක්‍රානුවලින් උපන් දරුවා අතටවත් නොගෙන, ශිෂ්ටාචාරයේ සියලු බැඳීම් අමතක කරමින් රාත්‍රියේ පලාගිය හිතුවක්කාර ආධ්‍යාත්මික කැරලිකාරයෙක් බව ඇසල පෝය බෞද්ධයන්ට පසක් කරනවා.