Tag: pohoya

  • සෙක්ස් කියන්නෙත් නිවනක්

    සෙක්ස් කියන්නෙත් නිවනක්

    අද වප් පෝය දවස. පෝය කියන්නෙ හරි ලස්සන දවසක්. ඒ දවස වෙන්වෙලා තියෙන්නෙ ආධ්‍යාත්මික දේවල් ගැන හිතන්න. විශේෂයෙන්ම බෞද්ධාගමේ පෝය කියන්නෙ ශීලයෙන් සමාදන් වෙන දවස.

    මේ ආධ්‍යාත්මික හැඟීම අපි දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ සෙක්ස්වලින් වැළකීම මත. ඒ දවසෙ ඉන්ද්‍රිය පිනවීම පාලනය කරන එක තමයි ශීලයේ මූලික අදහස. බුද්ධාගමේ අද දකින්න තිබුනට ඇත්තටම මේක ක්‍රිස්තියානි අදහසක්.
    ශාන්ත පාවුළු කියනවා මෙහෙම.

    ‘ශරීරය ආශා කරන දේ ආධ්‍යාත්මයට විරුද්ධයි. ආධ්‍යාත්මය ආශා කරන දේ ශරීරයට විරුද්ධයි’

    මේක තමයි බෞද්ධ ක්‍රිස්තියානි ශීලයේ පදනම. ශරීරයේ ආශාව පාලනය කිරීම හරහා ආධ්‍යාත්මයට ළංවීම. ඒත් මීට පටහැණි තන්ත්‍ර වගේ බෞද්ධ සම්ප්‍රදායන් තියෙනවා. ඉන්ද්‍රිය පිනවීම හරහා මෝක්ෂය ලැබීම තන්ත්‍රවල කතා කරනවා. මේ වෙද්දි ඒක විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා.

    සෙක්ස් කරද්දි නිර්වාණය අවබෝධ වුනා වගේ, නැත්නම් ස්වර්ගය මොහොතකට දැකබලාගත්තා වගේ හැඟීමක් සෙක්ස් කරපු ඕනම කෙනෙකුට දැනිලා තියෙනවා. අපි මේක නිවන කියල කියන්නෙ නෑ. ඒත් ඒ ආශ්චර්යමත් මොහොතෙදි අපි මෙහෙම කියනවා.

    ‘ohh god!!’
    ‘Jesus Christ’

    අපි මේ අසිරිමත් ආස්වාදය විඳින්නෙ අපේ හෝමෝනවලට පිංසිද්ද වෙන්න.

    මේ විමුක්තිදායක හැඟීම ගැන ඩියුක් සරසවියෙන් පරීක්ෂණයක් කළා. ඒ අය මේ පර්යේෂණයෙන් හොයාගත්තා සෙක්ස් කිරීමෙදි අත්විඳින මේ ගැඹුරු තෘප්තිය ආගමික අත්දැකීමකට සමානයි කියල. ඒ කියන්නෙ අපි ධ්‍යාන, ඵල, මෝක්ෂ, විමුක්ති, ස්වර්ග කියන ස්වරූපයේ අත්දැකීමක්ම තමයි සෙක්ස්වලින් ලැබෙන්නෙත් කියන එක. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක් කියන එක.

    මේකට හේතුවෙන්නෙ අපේ ශරීර‍යේ ඔක්සි‍ටොසින් කියන හෝමෝනය. හොඳ සංවාසයකට පස්සෙ ඇතිවෙන පාවෙනසුලු ගතිය ඇතිකරන්නෙ මේකෙන්. ඒකට කියනවා ලව් හෝමෝනය කියලත්. මේ හෝමෝනයට පුළුවන් අපිට සෙක්ස්වලට පස්සෙ ගැඹුරු ආගමික හැඟීමක් ඇතිකරන්න.

    අපිව දෙවියන්ට සමීප කරන්න.

    කවුරු හරි ඔයාගෙ ශිෂ්නය උඩින් වාඩිවෙලා, ඒක ප්‍රාණවත් වෙලා ඔක්සිටොසින් හොඳින් ශ්‍රාවය වුනොත් ඔයාට,

    Ohh God!!

    කියල කියවෙන තෘප්තිමත් හැඟීම ඇතිවෙන්නෙ මෙහෙමයි. මේ ගැන කරපු පර්යේෂණයෙදි එක කණ්ඩායමකට ඔක්සිටොසින් ලබාදුන්නු අතර අනෙක් කණ්ඩායමට ප්ලෙසිබො (ව්‍යාජයක්) ලබාදුන්නා. ඔක්සිටොසින් ලබාදුන් පිරිස අධ්‍යාත්මික ගැඹුරු දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා. භාවනා කරද්දි සිද්ද වෙන්නෙත් මේ ඔක්සිටොසින් නිදහස් කරන එක. සෙක්ස් කරද්දි සිද්ද වෙන්නෙත් ඒකමයි.

    ආධ්‍යාත්මිකත්වය සහ භාවනාව නිරෝගී ජීවිතයකට උදව්වෙනවා කියන එක පර්යේෂණ මගින් ඔප්පු වුනු දෙයක්. ඩියුක් සරසවිය මේ පර්යේෂණය කළේ ආධ්‍යාත්මික අත්දැකීම් ලබාදෙන්න උදව්වෙන අපේ ශාරීරික පාර්ශ්වය ගැන හොයලා බලන්න. ශරීරය බැහැර කිරීම හා සමානවම ශරීරය තෘප්තිමත් කිරීමෙනුත් සමාන විමුක්තියක් ලැබිය හැකිබව පෙනී ගියේ මෙතනදි.

    ඉතින් පෝයට පන්සල් යන්න බැරි අයට පුළුවන් ඇඳ පන්සලක් කරගන්න. ඉඳුරන් වන්දනාවක යෙදෙන්න. පංචේන්ද්‍රියන් විකසිත කරන්න. ආදරයෙන් අනුරාගයෙන් වෙලෙන්න. ඒ ගින්නෙන් ආත්මාර්ථය දවන්න. ඔක්සිටොසින් වැස්සක නැහැවෙන්න.

    ඒ දිව්‍යමය මොහොතේ සමවත් සුවය විඳින්න. පෝය කියන්නෙ ආධ්‍යාත්මික දවසක්.

  • අත්හැරීමේ මහා පොහොය

    අත්හැරීමේ මහා පොහොය

    බෞද්ධ පෝය දවස් අතරින් ඇසළ තමයි බුද්ධාගමේ වැදගත්ම පණිවුඩය දරනවා කියල මට හිතෙන්නෙ. ඇසළ කියන්නෙ අභිනිෂ්ක්‍රමණය. අනිත් හැම පෝයක්ම කියන්නෙ යම් කිසි අත්පත් කරගැනීමක් ගැන. වෙසක් බුද්ධත්වය ලබා ගැනීම, පොසොන් බුද්ධාගම ලබා ගැනීම, ඇසළ අත්හැර යාම. බුදුන්ගෙ පණිවුඩය ඇතුලෙ තියෙන ගැඹුරුම තියුණුම, ආගම අදහන්නන් විසින් ලේසියෙන්ම නොතකා හරින තැනක් ඇසළ. කොටින්ම පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ට පවා අද අතහැර යාම සමරන්න පුළුවන්කමක් නෑ. ඇත්තටම දැන් අබිනික්මන් කළ යුත්තෙ පන්සලෙන් එලියට.

    සිද්ධාර්ථ තමන්ගෙන් උපන් දරුවා ඒ උපන් දිනයේම, අතටවත් නොගෙන අත්හැර දමා යනවා. සමාජ සම්මතය අනුව තමන්ගේ පියෙකු මෙන් දැරිය යුතු තමන්ගේ වගකීම අත්හරිනවා. බෞද්ධ අපි පස්සෙ මේක ගැලපෙන විදිහට සුමට කරගන්නවා. ලෝකයක් ගලවා ගැනීමේ සත්‍යයක් සොයනු පිනිස නික්මුනා කියලා සාධුකාර දෙනවා. ඒත් සිද්ධාර්ථ ඒ නික්ම යන මොහොතේදී තමන් යම් සත්‍යයක් හොයාගනීද කියල දන්නෙ නෑ. එයා දන්නෙ තමන් සොයන ජීවිතය මේ පවතින දේ නම් නොවේය කියන එක විතරයි.

    සිද්ධාර්ථ තමන්ගේ රාජ උරුමය අත්හරිනවා. ඒ වගේම තමන්ගේ ජීවමය උරුමය අත්හරිනවා. සිස්ටම් එකෙන් එලියට යනවා කියන්නෙ සියලු සම්මතයන් සහ ප්‍රවේණියන් අතෑරලා රාත්‍රියක නික්ම යනවා. ඒක වැඳුම් පිදුම් ලබමින් ආශීර්වාදයෙන් ගිය ගමනක් නෙමෙයි. රහසේම, සියල්ලන්ට තමන් වෙත නොයෙක් අපවාදයන් නගන්නට අවසර තබා ගිය ගමනක්. බුද්ධ චරිතය කියවද්දි මට සිද්ධාර්ථ තීරණාත්මක චරිතයක් වුනේ මේ අබිනික්මන නිසයි.

    බුදුන්ගේ ඉගැන්වීමේ සාරය හැටියෙන් මං දකින්නෙ තමන්ගේ ශරීරය, නැත්නම් ජාන කෝෂය, ජීව විද්‍යාත්මකව පරපුරෙන් පරපුරට ගෙනයන උරුමයේ මෙහෙයවීමෙන් අත්මිදීමයි. ආශාවන්ගෙන් අත්මිදීම කියන්නෙත් මේකට. ඒ මත ගොඩනැගුනු පවුල, වර්ගය, ආගම, ජාතිය ආදී සියල්ලෙන් නිදහස් වීමේ කතාව. මේ සියල්ලක් නිර්මාණය වෙලා තියෙන්නෙ අපේ මානව වර්ගයා පවත්වාගෙන යාම වෙනුවෙන්. බුදුන් කියන්නෙ ඒ සියල්ල නතර කරන මොහොතක්. වෙන විදිහකින් කිව්වොත් මානව පැවැත්මට ප්‍රතිවිරෝධයක්. අපි අපේ ජානමය උරුමය අත්හැරිය යුතුයි කියන ප්‍රතිපදාව බුද්ධ චරිතයෙ මූලික ලක්ෂණයක්.

    බුදුන් දේශනා කරන්නෙ සියලු අල්ලාගැනීම් වලින් නිදහස. සිතුවිල්ලක අල්ලාගැනීමෙන් පවා නිදහස. පරම විමුක්තිය. ඒක සිද්ද වෙන්නෙ වෙන්වීමෙන්. ඒ වෙන්වීම තමයි අබිනික්මන කියන්නෙ. අත්හැරීම. ඇසළ කියන්නෙ අත්හැරීමේ පිළිවෙත් පිරිය යුතු පොහොය. අපි අපේ දරුවන්ට, නෑයන්ට, ජාතියට, ආගමට ඇති බැඳීමේ නිස්සාරත්වය දැකිය යුතු දවසක්.

    සිද්ධාර්ථ ශිෂ්ටාචාරය අත්හැර යනවා. එයා වනගත වෙනවා. එයා සමාජය අත්හරිනවා. හුදකලා වෙනවා. පැවැත්ම වෙනුවෙන් නිර්මාණය වුනු අහම නැත්තං මමත්වය අත්හරිනවා. ඒ කියන්නෙ තවදුරටත් ජීවමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් තමන් මත ක්‍රියාත්මක වෙන සියලු අගතීන්වලින් නික්මෙනවා. නැවත සංයෝගවීම් ඇති කර නොගන්නා හුදකලා පරමාණුවක්. ඒ නිසා එකිනෙකා බැඳුණු පද්ධතියටම දරුණු බාධකයක්. මේ හුදකලා බුද්ධ පරමාණුව නිසා තව අය දරු පවුල් අතෑරලා එනවා. උරුමයන් අතෑරලා උරුමයක් නැති අවසාන ශරීරමය පැවැත්මක් නිර්මාණය කරනවා.ඒත් පරිණාමය අපි හිතනවට වඩා සංකීර්ණයි. ඒ නිදහස් අවසාන පැවැත්ම තුලින් තවත් පද්ධතියක් නිර්මාණය වෙනවා. සංඝ යනුවෙන් වෙනස් සමාජයක් හැදෙනවා. තවත් උරුමයක් ගොඩනැගෙනවා. ජාතිය, වර්ගය ආදියට අමතරව සාසනයක් පවතින්න පටන් ගන්නවා. ඒ සාසනය පුළුල් වෙමින් නැවත මහා සමාජය එක්ක බැඳෙනවා. ඒ අය භූමි, දේපොල අත්පත් කරගන්නවා. සමහරු දරු පරම්පරාවන් හදනවා. ඒ අබිනික්මන පුනරාගමනයක් වෙනවා.

    අපි යමක් අතහැර නික්ම යන්නෙ තවත් යමක් නිර්මාණය කරන්නද? වෙනත් යමක් නොතනන අත්හැරීමක් පැවතිය නොහැකිද? එක් උරුමයක් වෙනත් උරුමයක් බවට පරිවර්තනය වෙනු මිස උරුමයන්ගෙන් සදා නිදහස් වීම යනුවෙන් දෙයක් නැද්ද?

    සදාතනික බව කෙසේ වෙතත් පවතින බැඳීමෙන් අත් මිදීගත නොහැකිව ලබන නිදහසක් නැති බව සිදුහත්ගේ අබිනික්මන අපිට මතක් කරනවා. සියලු කෙලෙසුන් නසා බුද්ධත්වය ලැබූයේ දරුපවුල්, සම්මතයන් රැකි, සදාචාරයට අවනත නුඹලා අදහන සුදනෙකු නොව, තමන්ගේ ශුක්‍රානුවලින් උපන් දරුවා අතටවත් නොගෙන, ශිෂ්ටාචාරයේ සියලු බැඳීම් අමතක කරමින් රාත්‍රියේ පලාගිය හිතුවක්කාර ආධ්‍යාත්මික කැරලිකාරයෙක් බව ඇසල පෝය බෞද්ධයන්ට පසක් කරනවා.

  • තව පෝයක් ඕන

    තව පෝයක් ඕන

    පෝය කියන දවස හරිම ලස්සන දවසක්. කාලයක් මම ආගමික පටු අර්ථයකින් පෝය දිහා බලලා මේ තේරුමක් නැති නිවාඩුව ගැන විවේචන කළා. ඒත් දැන් මට පෝය කියන්නෙ බෞද්ධ දවසක් නෙමෙයි. මිනිස්සු සිස්ටම් එකෙන් ගැලවෙන අමුතු දවසක්. සති අන්ත නිවාඩුව කියල කිව්වට සෙනසුරාදාත් දවස් පහටම ඈඳිලා ඉවරයි. ඉතුරු වුනේ ඉරිදා විතරයි. ඉරිදා කියන්නෙ අතීතයේ ඉඳන්ම සූර්ය දෙවියන්ට පූජා පිනිස වෙන් කරපු දවස. ඒක හෝලිඩේ නැත්තං ආගමික දවසක්. ඒ ආගමික දවස් තියෙන්නෙ අපේ පුංචි වෙමින් යන ජීවිතේ විශාලත්වය මතක් කරන්න. අපි ජීවිතේට වඩා බරට කරට අරන් තියෙන වැඩවලින් නිදහස් වෙලා තමන් ගැන, තමන් වටවුනු විශාල විශ්වය ගැන කල්පනා කරන්න තියෙන දවස්. ඒත් ඉරිදා කියන්නෙත් මේ වෙද්දි ඒ ආධ්‍යාත්මික අදහසින් සම්පූර්ණයෙන් බැහැර වුනු සාමාන්‍ය දවසක්. සතියෙ අනිත් දවස් හයේම ඉතුරු වැඩ ටික ඉරිදාට පැවරෙනවා.

    පෝය කියන්නෙ චන්ද්‍රයාගේ දවස. ඒක මාසෙකට වරක් අතරමැද දවසක අහම්බයක් විදිහට එනවා. සියලු බාහිර විනෝදයන් අහිමියි. කඩසාප්පු ඔක්කොම වැහෙනවා. මිනිස්සු වැඩ කරන්නෙම නෑ. අත්ඇරලා දාපු දවසක් වගේ. එකම කරදරේට තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකර් එක. එහෙම නැත්තං පෝය කියන්නෙ අපිට ඇතුලතට හැරෙන්න බලකරන දවසක්. ඒක අපිව මොහොතකට නතර කරනවා. අපිට ආධ්‍යාත්මික නිවාඩුවක් ගන්න කියල පණිවුඩයක් දෙනවා.

    එහෙම දවස් මනුස්සයන්ට ඕන. තමන් ගත කරන ජීවිතෙන් වෙන් කරන අපේ පැවැත්ම සිහිපත් කරන දවස්. අපි වෙහෙස වන කෘතිම දේවල්වලින් දවසකට හරි මිදෙන දවස්. මිනිස්සු ඉපදෙන්නෙ වැඩකරන්න නෙමෙයි. මිනිස්සු වැඩ කරන්න ඕන තමන් ඒ වැඩෙන් තෘප්තිමත් වෙනවා නම් විතරයි. ඒත් අපි වැඩකරන්නෙ වැඩේ ගැන අතෘප්තියෙන්, වැඩෙන් ලැබෙන මුදල ගැන තණ්හාවෙන්. අපි අතෘප්තියෙන් දවස් විසි නවයක් වැඩකරනවා එක පඩි දවසක තෘප්තිය වෙනුවෙන්. ඒක ජීවිතය ගැන හොඳ සැලසුමක් නෙමෙයි. අපි නොදැනුවත්ව අපේ යහපත වෙනුවෙන් කියල නිර්මාණය කරගත්ත සිස්ටම් එක අපිවම භෞතික ශ්‍රමයකට වැඩි දෙයක් නොවන තැනට ඌනනය කරලා තියෙනවා. අපිට ඒ සමාජමය සංස්කෘතිකමය ආර්ථිකමය හිරගෙයින් එලිය දකින්න තියෙන පුංචි විවරයක් තමයි පෝය කියන්නෙ.

    පෝය ඇත්තටම ආගමික අර්ථයකින් ගැලවිලා ආධ්‍යාත්මික අර්ථයකට පෙරලෙන එක වැදගත්. පෝය කියන්නෙ අපේ මිනිස් පැවැත්ම ගැන සිහිපත් කරන දවසක් වෙන්න ඕන. දානයේ, මිනිස් ඇසුරේ, ශරීර ස්පර්ශයේ, විවේකයේ, භාවනාවේ සහ පූජාවේ දවසක් විදිහට පෝය ගතවෙන්න ඕන. අපි ආගමිකව කියන්නෙ සත්‍යය හොයාගෙන යනවා කියලනෙ. ඒ සත්‍යය කියන්නෙ සමාජ ජීවිතය වෙනුවෙන් අපි යටපත් කළ, ඩයිවර්ට් කළ ආශාවන්ගේ සත්‍යය. ඒ ආශාවන්ට නිරුවත්ව සිහියෙන් යුතුව මුහුණදීම. ඒවා ගැන සවිඥානක වීම. එතනදි ඒ ආශාවන් නිදහස් කිරීම හෝ ඒ ආශාවන් දැනුවත්ව පාලනය කිරීම මාර්ගයන් විදිහට තෝරගන්න පුළුවන්. නමුත් අපි අපේ ගැඹුරු මිනිස් පැවැත්ම බාරගන්නවා. ඒ සත්‍යය වෙනුවෙන් පෝය දවස වෙන් වෙන්න ඕන.

    කෙනෙක් ඒක සංගීතයෙන් කරන්න පුළුවන්. කෙනෙක් එක්ක සිත්තමක් එක්ක කරන්න පුළුවන්. සමහර විට ආරාමයක. සමහර විට සංවාදයෙන්, සංවාසයෙන්, සයිකඩෙලික් උදව්වකින්, මේ මොනම ආකරයකින් වුනත් බාහිර ලෝකය වෙනුවට තමන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි වැදගත්.

    අපි දුප්පත් කියන්නෙ අපි කරන කැපකිරීම් වැඩියි කියන එක. අපි අපේ ජීවිතයේ ලොකු කොටසක් සමාජයත් එක්ක ජීවත්වීම වෙනුවෙන් කැපකරලා තියෙනවා. අපේ පවුල්, අධ්‍යාපනය, රස්සාව වෙනුවෙන් කැපකරලා තියෙනවා. කොයිතරම් කැපකරලා තියෙනවද කියල කිව්වොත් අපි ඒකට ජීවිතය කියලත් කියනවා. ඒ හැමදෙයක්ම කරලා අන්තිමට දරුවන්ට කියනවා අපි උඹලා වෙනුවෙන් කෙරුවා කියල. දරුවොත් ඒකම කරනවා. අපි කම්කරුවො හෝ වහල්ලු වෙන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයක් හින්ද නෙමෙයි. අපිට ඊට වඩා දෙයක් නිර්මාණය කරගන්න බැරිවුන හින්ද. අපි අපේ තෘප්තිය හොයාගෙන යනවා වෙනුවට අනාගත තෘප්තියක් වෙනුවෙන් කැපකිරීම තෝරගත්ත හින්ද. හැමදාම වර්තමානය කැපකිරීමයි දුප්පත්කම කියන්නෙ. අනාගතය ගැන ලොකු හීන තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. පෝසත් මිනිස්සු කියන්නෙ වර්තමානය සංතෘප්තියෙන් ගතකරන අයට. බුදුන් පොහොසත් වෙන්නෙ එහෙමයි. ඒ ගතකරන මොහොත පරිපූර්ණව ගත කරන්න තෝරාගැනීම හින්ද. තමන්ගේ මිනිස් පැවැත්මේ ගැඹුර ස්පර්ශ කරන ජීවිතයක් තෝරගත්ත හින්ද. අපි වර්තමානය තෝරාගන්නා මොහොතේදී අපි කම්කරුබවෙන් නිදහස් වෙනවා. මේ මොහොතේ අත්විඳිය යුතු තෘප්තිය මේ මොහොතේ අත්විඳීමට තීරණය කරන තැනින් අපි මොහොතක හෝ පොහොසත් බවක් විඳිනවා.

    කම්කරුවෙක් හවසට බොන එක ගැන මං සතුටු වෙන්නෙ ඒ හින්ද. ඒක ඒ මනුස්සයා තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ගන්න එකම හිතුවක්කාර තීරණය හින්ද. එයාගෙ ජීවිතේ එයා ගත කරන එකම පොහොසත් මොහොත ඒක. ඒ මුදලත් නැවත අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න කියන එක මේ සිස්ටම් එකේ වහල්බව විසින් මතුකරන තර්කයක්. ජීවිතය තියෙන්නෙ තෘප්තිය පැත්තෙ මිස අතෘප්තිය පැත්තෙ නෙමෙයි. පැවැත්ම තියෙන්නෙ විවේකය පැත්තෙ මිස කාර්යබහුල වීම පැත්තෙ නෙමෙයි.

    මේ දේවල් ගැන හිතන්න විවේකය දෙන පොහොසත් දවසක් පෝය කියන්නෙ.

    ඒත් මං කැමතියි පෝය කැලන්ඩරයෙ ලකුණු වෙලා නොතිබුනා නම්. පෝය කියන්නෙ සැලසුම් කළ නොහැකි දවසක් වුනා නම්. මාසෙකට වරක් එන සම්පූර්ණයෙන් අහම්බ දවසක්. ඊට කලින් දවසේ රාත්‍රියේ පමණක් නිශ්චිතව කිව හැකි දවසක්. අපේ වැඩ නතර වෙන වෙලාව ගැන අපිට කිසිම සැලසුමක් නැති කරන ඩිස්රප්ෂන් එකක්. පෝය එහෙම වුනා නම් ඒකෙ ආධ්‍යාත්මික ගුණය තවත් වැඩි වෙනවා. දවස ගැන සැලසුමක් නැති තැනදි අපි අපේ පැවැත්මේ හිස්තැනට ඇදවැටෙනවා. අපිට වර්තමානය බලහත්කාරයෙන් වුනත් බාරගන්න වෙනවා. ඉර හඳ ගැන කෘෂිකාර්මික යුගයක විශ්වාස මත පදනම් වුනු ඒ ආධ්‍යාත්මික අවකාශයන් නූතන වපසරියට ගැලපෙන විදිහට නැවත නිර්මාණය කරන්න පුළුවන් වුනා නම් වටිනවා.

    එහෙම වුනා නම් අපිට තව අලුත් පෝයක් නිර්මාණය කරගන්න තිබුන. කැලන්ඩරයේ නැති අපිට ජීවිතය මුනගැහෙන පෝයක්.


    චින්තන ධර්මදාස