මේ දවස්වල ආයිමත් මහමෙව්නාවෙ උන්නාන්සෙ කෙනෙක් නළුනිළියො අපාගත වෙනවා කියල බණක් දේසනා කරනවා. ඒක බුදුන් දේසනා කරලා තියෙන්නෙ තාලපුට සුත්‍රයෙලු. යෝධාජීව කියල තවත් සූත්‍රයක බුදුන් කියනවා රණවිරුවො ඔක්කොම අපාගත වෙනවා කියල. ඔය වගේ තව විකාරසහගත ගොඩක් කතන්දර සුත්‍ර පිටකෙ එනවා. ඒ හින්ද බුදුන් කිව්වා කියල වුනත් දෙයක් පිළිගන්න එක බුද්ධ දේසනාවට එකඟ නෑ. බුදුන් කිව්වත් අපිටත් හිතලා බලන්න වෙනවා.
බුදුන් මේ දේවල් කිව්වා වෙන්න පුළුවන්, බුදුන් කිව්වා වගේ ආනන්දට ඇහුනා වෙන්න පුළුවන්, එක එක අය අතින් එකතුවුනා වෙන්න පුළුවන්, එහෙම නැත්තං අපේ අද කාලෙ තේරුම් ගැනීමට ඒක අහුනොවෙනවා වෙන්න පුළුවන්. කොහොම හරි අනිත් හැම ආගමකම වගේ බැහැර කළ යුතු විහිලුසහගත කරුණු බුද්ධාගමෙත් තියෙනවා.
බුදුන්ගේ දහම කියන්නෙ කොහොමත් සසරින් මිදීම, ලෞකික ජීවිතයෙන් ගැලවීම වෙනුවෙන් දේශනා කරන දහමක්. බුදුන් තමන්ගේ දරුවා බිරිඳ සහ රාජ්‍ය වගකීම අත්හැර යනවා. සියල්ල නැති කිරීමෙන් ලබන නිර්වාණයක් දේශනා කරනවා.
ලංකාවෙ ගැමියා විසින් බුදුදහම තමන්ගේ ප්‍රායෝගික ජීවිතේට හරියන්න නිර්මාණය කරගත්තා. බුදුදහම ඇදහිල්ලක් බවට පත් කරගත්තා. යන්ත්‍ර මන්ත්‍රවලට පාවිච්චි කළා. බුදුන්ගේ නිවන ලබාගත නොහැකි තරම් ඈතකට තල්ලු කළා. බණටත් ඒ දවස්වල කියන්නෙ දෙව්මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලබන්න කියල. ඒකත් සැපක්. හැබැයි ඒක විඳින්න තියෙන්නෙ අනිත් සැප ඔක්කොම ලබලා පස්සෙ කරන්නම දෙයක් නැති තැනදි. ඒ වගන්තියට තමයි ලංකාවෙ බෞද්ධයො සාදුකාර දුන්නෙ.
ඒත් අලුතෙන් එන මූලධර්මවාදී කල්ලි සූත්‍ර පිටකයෙ එක එක යටගිය කොටස් ඉස්සරහට අරන් එන්න ගන්නවා. නිවන මේ ආත්මෙම ලබන්න දායකයන්ව පොළඹවනවා. ඒ අයගෙ ගිහි ජීවිත දැඩිව හික්මවන්න ගන්නවා. බෞද්ධ කල්ට් ඇතිවෙන්නෙ එහෙම.
ආගමක් කියන්නෙ කලාවක්. ඉතින් ආගමයි කලාවයි අතර තියෙන්නෙ එකිනෙක අතර තරගයක්. කලාව වාරණය කිරීම උඩයි ආගම පවතින්නෙ. මෙතනදි කලාව කියන වචනෙට වඩා සුදුසු වෙන්නෙ ඉන්ද්‍රිය පිනවීම කියන එක. ආගම කියන්නෙ ඉන්ද්‍රිය පිනවීමට තහංචි පැනවීම. ඒකත් ආස්වාදය ලබන විදිහක්. සරලවම කිව්වොත් ආගම පවතින්නෙ සෙක්ස් තහනම් කිරීම උඩ. කලාව පවතින්නෙ සෙක්ස් නිදහස් කිරීම උඩ.
මේක ඕනම ආගමකට පොදු යතාර්ථයක්.
අපි මෙච්චර කල් විශ්වාස කළේ ආගම් විසින් මනුස්සයාගෙ ලිංගිකත්වය වාරණය කරනවා කියල. ආගමික පූජකවරුන් තමන්ගේ දේශනාවලදි නිරය ගැන දේවල් කියල බයවැද්දීමෙන් මිනිස්සුන්ගෙ ලිංගික ආශාවන් බලහත්කාරී විදිහට යටපත් කරනවා කියල. සංස්කෘතික කාරණයක් විදිහට ඒක එහෙම වෙනවා. පවුල්වල දැඩි ආගමිකත්වය දරුවන් තුල ලිංගික දේ ගැන වරදකාරීත්වයක් සහ යටපත් කිරීමක් ඇති කරනවා. ඒක ඇත්ත.
ඒත් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ සමාජ පර්යේෂකයෙක් වන ජෝර්ඩන් ඩබ් මූන් කරපු පර්යේෂණ අනුව පේන්නෙ ලිංගික වශයෙන් අඩු උවමනාවක් දක්වන අය විසින් ආගම් දැඩිව වැළඳගන්නවා කියන එක. ඒ කියන්නෙ ඇත්තටම ආගම කියන්නෙත් ලිංගික තෝරාගැනීමක් කියන එක. තව විදිහකට කිව්වොත් ආගම කියන්නෙත් ප්‍රජනන උපායමාර්ගයක්, ස්ට්‍රැටජියක්.
මෙතනදි අපිට තේරුම් ගන්න වෙනවා සෝෂියොසෙක්ෂුවලිටි කියන අදහස. මේ කියන්නෙ කවුරුන් හෝ කැපවුනු එක් සම්බන්ධතාවයක් වෙනුවට විවිධ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඇති නැඹුරුව. මේ නැඹුරුව නැත්නම් ආශාව අඩු අය, ඒ සම්බන්ධ සීමාවන් ඇති අය වඩාත් ආගම්වලට නැඹුරු වෙනවා. ඒ කියන්නෙ ලිංගික ආස්වාදය වැඩියෙන් ලබනු රිසි අය වෙතින් ආගම් ප්‍රතික්ෂේප වෙනවා. ඒ ආශාව අඩු, හැකියාව අඩු අය විසින් ආගම් බදාගන්නවා. මෙතනදි වැදගත් දේ ආගම් විසින් මිනිස්සුන්ව එහෙම කරනවා නෙමෙයි, එහෙම මිනිස්සු විසින් ආගම් තෝරගන්නවා කියන එක අනාවරණය වීම.
විවාහය හරහා තමන්ගේ දරු පරපුරක් හදාගැනීම ගැන දැඩිව හිතන අය ආගම්වලට වඩා නැඹුරු වෙනවා. ඒකට හේතුව ආගම් විසින් විවාහයේ ලිංගික සීමා අවධාරණය කරන එක. මේ නිසා තමන්ගේ බිරිඳ අන් අයෙකු සමග යහන්ගතවීමෙන් තමන්ගේ නොවන දරුවන් ලැබීමේ බය අවම කරනවා. ඕනම ආගමක කාන්තාවට විශේෂයෙන් ලිංගික සීමා පැනවෙනවා. දරුවන් හැදීම සම්බන්ධයෙන් ගත්තම දීර්ඝ කාලීන කැපවුනු සම්බන්ධයක් කාන්තාවකගේ පැත්තෙනුත් බලාපොරොත්තු වෙනවා. මේ නිසා ඇයත් පිරිමියාගේ අයාලේ යාම සීමා කිරීම පැත්තෙන් කල්පනා කරලා මේ ඇදහිල්ලට එකතුවෙනවා. ආගම හරහා නොදැනීම දෙන්නාටම ආරක්ෂාකාරී හැඟීමක් ඇති කරනවා. තමන්ට කියාගන්න බැරි දේ පූජකයා විසින් කියනවා. ඒ ආචාර ධර්මය රකින ප්‍රජාවක් මුනගැහෙනවා. ආගමික ප්‍රජනනය නැත්නම් රිප්‍රොඩක්ටිව් රිලිජියොසිටි කියන්නෙ මේකට. අනාගත පරපුර බිහිකිරීම වෙනුවෙන් ආගමික වෙන එක. මෙතනදි වැදගත්ම දේ වෙන්නෙ අනෙකාව තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් උපක්‍රමයක් ආගම තුලින් සැපයෙන එක. ඉතින් තාත්තෙක් හෝ අම්මෙක් විදිහට අනෙකාගේ ලිංගිකත්වය සීමා කිරීමේ උවමනාව ඇති අයගෙ තෝරාගැනීමක් ආගම කියන්නෙ.
මේ ප්‍රජනන උවමනාව නැත්නම් තමන්ගේ පරපුරක් බිහිකිරීමේ ආශාව අඩු අය තමයි වඩාත් නිර්මාණශීලී, තමන්ගේ අභ්‍යන්තරය ගවේශණය කරන ආකාරයේ ජීවිත ගතකරන්නෙ කියන එකත් මේ පර්යේෂණයෙදි ජෝර්ඩන් මූන්ගෙ කණ්ඩායම සොයාගත්ත දත්තවලින් කියවෙනවා. අනිත් පිරිස ආගමික වීම ඇතුලෙ තමන්ව කැපකරනවා.
ඉරොටොෆෝබියා හෙවත් ශෘංගාරභීතිකාවෙන් පෙළෙන අයත් දැඩිව ආගම් වැළඳගන්නවා. මේ ශෘංගාරභීතිය ඇතිවෙන්න විවිධාකාර දේවල් හේතුවෙන්න පුළුවන්. කුඩා අවධියේ මුහුණදුන් ලිංගික පීඩාවන්, ලිංගික කාරණා නිසා ලැජ්ජාවට පත්වීම්, ලිංගික දුර්වලතාවයන්, දැඩිලෙස විශ්වාසය පළුදුවීම් ආදිය මේ අතර තියෙන්න පුළුවන්. මේ ඉරොටොෆෝබියාවෙන් පෙළෙන අය තමයි කවුරුන් හෝ නිරුවතින් ඉන්නවා දැකපු ගමන් කලබල වෙන්නෙ. ජනාධිපතිට ලියුම් ලියන්නෙ. මේ භීතිකයනුත් දැඩිව ආගම්වල එල්ලෙනවා.
තුන්වෙනි කාණ්ඩය තමයි ස්වපීඩකකාමීන්. මැසොකිස්ට්ලා. තමන්ව පීඩාවට පත්කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබන පිරිස්. සිංදුවක්, නර්තනයක් විඳින්න නොදී තමන්ව බැඳ තබාගැනීමෙන් ආස්වාදයක් ලබන්නෙ එහෙම අය. මැසොකිසම්වල තියෙන ප්‍රධාන ලක්ෂණ හයම ආගමික භක්තියෙ තියෙනවා. එක, ආදරයේ ප්‍රභේදයක් වීම. ආගම් ඇතුලෙ ප්‍රේමය, මෛත්‍රිය කියන නම්වලින් හඳුන්වන්නෙ මේ ලක්ෂණය. ආගම එන්නෙ ලිංගික ආදරයට විකල්පයක් විදිහට. දෙක, දඬුවම් ලැබීමේ ආශාව. පවට දඬුවම් ලැබීම, ආශාව බැඳතබා ගැනීම, අපාගතවීම ආදියෙන් කියවෙන්නෙ මේ උවමනාව. තුන, අනාගතයේ වඩා හොඳ තෘප්තියක් බුක්ති විඳීමේ ආශාව. හතර, දුර්වලයා වෙනුවෙන් සැකසුනු ක්‍රමයක් වීම. පව්කාරයො, නැත්නම් කරුම ගෙවන මිනිස්සු කියන අර්ථ හැදෙන්නෙ මේක ඇතුලෙ. පහ, ආත්මාර්ථයෙන් ගැලවීම. හය, අනුන් වෙනුවෙන් පාවිච්චි වීම හෝ කැපවීම.
මේ කාරණා හය උඩ තමයි මැසොකිසම් නැත්නම් ස්වපීඩකකාමය පවතින්නෙ. ආගම් භක්තිය පවතින්නෙත් හරියටම ඔය කාරණා මතමයි. මේ නිසා ස්වපීඩකකාමීන් ගොඩකුත් ආගම් බදාවැළඳ ගන්නවා.
මේ විදිහට කාණ්ඩ තුනක පිරිස් විසින් ආගම ස්ට්‍රැටජියක් විදිහට තෝරගන්නවා. ඒ අය වෙනුවෙන් ඒක පැවතිය යුතුයි. මෙතනදි නරක තත්වය වෙන්නෙ මේ අවශ්‍යතා ඇති පිරිස ඉක්මවා අනිත් අයගෙ ජීවිතයට බලපෑම් කරන මට්ටමට ආගම පිම්බෙන එකයි. තවත් එක තෝරාගැනීමක් වෙනුවට ඒක අනිවාර්යයක් දක්වා වර්ධනය වෙන එකයි.
ඒක නිසා අපි හිතන්නෙ මහමෙව්නාව වගේ ලිංගිකත්වය සීමා කරමින් ආස්වාදය ලැබීමේ දහම් පැවතීම අවශ්‍යයි කියලයි. ඒ දහම් ඒ කල්ට් සීමාවෙන් එහාට ගමන් කිරීම අවදානම් කියලයි. එතකොට ඒ අවශ්‍යතා ඇති පිරිසට ඒ ආගම් ඇදහීමේ නැත්නම් තමන්ගේ සෙක්ෂුවල් ස්ට්‍රැටජියක් අනුව ජීවත්වීමේ නිදහස වෙනුවට ඒක අනුන් සීමා කරන බලහත්කාරයක් බවට පත්වෙනවා.
ඒ හින්ද ආගමික පිරිස් තේරුම් ගන්න ඕන දෙයක් වෙන්නෙ, ඔබ ලබන සැප ඔබ ලබන්න. අනෙකාගේ සැපට කෙළවීමට තරම් කුහක නොවන්න යන්නයි.