Tag: islam

  • සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස!

    සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස!

    මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් බහුවිවාහයට අවසර දෙන්නැයි අලිසබ්‍රි අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා තිබුන. ඒත් සරත් වීරසේකර, විමල් වීරවංස, උදය ගම්මන්පිල මේකට විරුද්ධ වෙලා තිබුන.

    ග.ගො ඥානසාරගේ කොමිසමේ වාර්තාව එනකල් මේ සංශෝධන නොකර ඉන්න ඇමති මණ්ඩලය තීරණය කරලා.

    වාසුදේව විතරක් නැගිටලා වෙනම සංස්කෘතීන් සඳහා වෙනම නීතීන් බලපාන්න පුළුවන් කියල වචනයක් දාලා. හැබැයි එකගෙයි කෑම කියන්නෙත් සිංහල බහුවිවාහ ක්‍රමයක්.

    ඇත්තටම මේ බහුවිවාහය වගේ දේකට රජය මැදිහත්වෙන්නෙ මොකටද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා වෙනත් ලිංගිකයෙක් වේවා තමන් කැමති කෙනෙක් හෝ කීපදෙනෙක් සමග විවාහ වෙන්න පුළුවන් කියල පිළිගන්න බැරි වෙන්නෙ ඇයි?

    ඒකෙන් කිසි කෙනෙකුට තමන්ගේ පරම එකම ප්‍රේමය පමණක් විවාහ කරගන්න තහනමක් පැනවෙන්නෙ නෑ. ඒ වගේම කැමති කෙනෙකුට දෙන්නෙක්, කැමති කෙනෙකුට පස්දෙනෙක් ආදී වශයෙන් විවාහ කරගන්න වුනත් පුළුවන්. කිසි කෙනෙකුගේ නිදහසට අවහිරයක් නොවන මේ වගේ තීරණයක් ගන්නවා වෙනුවට නෑ නෑ විවාහ වෙන්නෙ එක්කෙනත් එක්කයි වගේ තැනක රජයක් පෙනී ඉන්නෙ අහවල් කාරණයකටද?

    මේවට තමයි කියන්නෙ මිනිස්සුන්ගේ නිදන කාමරේ ඇඳ උඩටත් ආණ්ඩුව එනවා කියල. මේවා පුද්ගලික ප්‍රශ්න. රාජ්‍ය ප්‍රශ්න හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාල කාරණා නෙමෙයි.

    තමන්ට විවාහ විය හැක්කේ කී දෙනෙක් එක්කද කියල කියන්නත් ආණ්ඩුවක් ඕන කියන ජනතාවක් කොයිතරම් මෝඩද? තමන්ගේ ජීවිතය ගැන එබඳු වගකීමක් ගන්නවත් බැරි අය විවාහයකට සුදුසුද?

    ඇත්තටම මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් වෙනුවෙන් පමණක් කියල නීති ගේන එක අන්තිම ප්‍රතිගාමී වැඩක්. නීතියක් රටකට පොදු වෙන්න ඕන. ඒ පොදුවීම ඇතුලෙ අර කියන සංස්කෘතීන්ගේ නිදහසත් ආරක්ෂා වෙන්න ඕන. මුස්ලිම් සංස්කෘතිය ගැන සලකලා රටේම බහුවිවාහවලට නීතියෙන් අවසර ලබාදීමයි සිද්ද විය යුත්තෙ. නැත්තං ඒක ජාතියක් විශේෂ කොට සැලකීමක් වෙනවා.

    බහු විවාහයක් අවශ්‍ය කෙනෙකුට ආගම මාරු කිරීම අනිවාර්යයක් වෙනවා. බහු විවාහයක් කරගෙන ඉන්න කෙනෙකුට ආගම මාරු කරන්න බැරි වෙනවා.

    රජයට විවාහය අදාල වෙන්නෙ දේපොල හා උරුමයන් සම්බන්ධ නීතිමය කාරණාවලදියි. ඒ වෙනුවෙන් ඕනෑම විවාහයක් බහුවිවාහයක් හැටියෙන් සලකලා ඒ සිටින දෙන්නා හෝ තුන්දෙනා හෝ කීපදෙනා අතර ඒවා බෙදී යා යුතු සාධාරණ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි කරන්න තියෙන්නෙ.

    බහු විවාහය සඳහා නිදහස රටටම ලබාදෙන්න කියන එකයි ජනතා ඉල්ලීම විය යුත්තෙ.

    ප.ලි – කොහොමත් ගෑස් නැතුව, ලයිට් නැතුව, කිරිපිටි නැතුව මේ රට යන අත හැටියට බහු විවාහය ආර්තික අතිනුත් ප්‍රායෝගික ක්‍රමයක්. තනි තනි පවුල් නඩත්තු වෙනවට වඩා ලොකු තනි පවුල් ඇතුලෙ සාමූහික පැවැත්ම පිරිවැය අඩු කරනවා. ජනගහනයත් අඩු කරනවා.

  • නිදහස සොයා ගිය දැරියන් තිදෙනා

    නිදහස සොයා ගිය දැරියන් තිදෙනා

    කොළඹ 12න් අතුරුදන් වුනු මුස්ලිම් දැරියන් තුන්දෙනා ආපහු ගෙදර ඇවිත් කියල පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මාධ්‍යවලට කියල තිබුන. මේ දැරියන් තුන්දෙනා ආගිය අතක් නෑ කියල පැමිණිලි ලැබුනෙ සඳුදා. අවුරුදු 15ක දැරියක් සහ 13ක දැරියන් දෙදෙනෙක් ගැන තමයි මේ ප්‍රවෘත්තිය පළවුනේ. එකම පවුලක සහෝදරියන් දෙදෙනෙක් සහ ඥාති සහෝදරියක් මේ අතර හිටියා.

    දැන් ප්‍රශ්නෙ ඉවරයි. ළමයි ගෙදර ආවා, කතාව සමාප්ත වුනා. ඒත් මොකක්ද ඇත්තටම මේ දැරියන්ට වෙලා තිබුනෙ?

    ගෙදරින් පැනලා යන මේ කුඩා දැරියන් තමන්ගේ ස්වර්ණාභරණ උකස් කරලා මුදල් අරගන්නවා. ඒ මුදලින් තමන් කැමති ඇඳුම් පැළඳුම් ගන්නවා. කැමති විදිහට අඳින්න පළඳින්න අහිමි නිදහස එක දවසකට හෝ හිමි කරගන්නවා. ඊළඟට වත්තල පැත්තෙ නැටුම් පංතියකට ඇතුල්වෙන්න උත්සාහ කරනවා. ඒත් වයස අඩු නිසා ඒ අයව නැටුම් පංතියෙන් බාරගන්නෙ නෑ. ආපහු ගෙදර යන්න බැරි හින්දා මේ තුන්දෙනා අනුරාධපුරේ යන බස් එකකට නගිනවා. අනුරාධපුරෙන් මහනුවරට එනවා. මහනුවරින් ආපහු කොළඹ එනවා. දැනගන්න තියෙන විදිහට ඊළඟට මේ දැරියන් තුන්දෙනා සිරිකොතටත් ගිහින් තියෙනවා. සජිත් ප්‍රේමදාස මුනගැහෙන්න හදලා තියෙනවා. අවාසනාවට සජිත් ඒ වෙලාවෙ ඉඳලා නැති නිසා මේ වගේ ප්‍රශ්නෙකදි එයා කොහොම ක්‍රියා කරයිද කියන එක අපිට බලාගන්න බැරි වෙනවා. වෙන යන්න තැනක් නැති තැන ආපහු තමන්ගේ ඥාති නිවසකට යන්න මේ දැරියන් තීන්දු කරනවා.

    මේක තනිකරම ඉරාන චිත්‍රපටයක කතාවක් වගේ. උපන් ආගම හින්දම තමන්ට තහනම් කළ නිදහස හොයාගෙන මේ පුංචි කෙල්ලො තුන්දෙනෙක් ගහන කැරැල්ලක් මේක.

    මුස්ලිම් සංස්කෘතියේ දැඩි විදිහට විශේෂයෙන්ම කාන්තාවන්ගේ නිදහස පාලනය කරනවා. අනිත් ආගම්වල තියෙන්නෙත් සාපේක්ෂ වෙනසක් විතරයි. මේ වෙද්දි අලුත් බෞද්ධ භික්ෂූනුත් කොටට ඇඳීම, ගීත නැරඹීම වගේ දේවල් පාපයන් හැටියට දේශනා කරමින් යනවා. කාන්තාවන් බලෙන් හික්මවන්න හදනවා.

    තමන් උපන් පවුලේ ආගම නිසා තමන්ගේ ජීවිතයේ කැමති යමක් තෝරාගැනීමට ඇති අයිතිය අහිමි කිරීම කොයිතරම් ඛේදයක්ද? තමන්ට අඳින්න පළඳින්න ඇති නිදහස, නටන්න, කන්න බොන්න ඇති නිදහස තමන් ඉපදෙන්නත් කලින්ම තීන්දු වෙලා තියෙන එක කොයිතරම් අසාධාරණයක්ද? මේ විදිහට දරුවන්ට තමන් කැමති දෙයක් ඉගෙනීමේ අයිතිය ජාති ආගම් හේතුමත තහනම් කිරීම ළමා අයිතිවාසිකම් උදුරාගැනීමක් නෙමෙයිද? (දෙමව්පිය කැමැත්ත පරිදි පොඩි උන් මහණ කිරීම හා සමානම හිංසනයක්)

    මේ නිදහස හොයාගෙන ගිය දැරියන් ඒ ගමනේදි තව කොයිතරම් ආපදාවලට ලක්වෙන්න ඉඩ තිබුනද?

    දැරියකට විතරක් නෙමෙයි ලංකාවෙ ගුරුවරියකටවත් තමන් කැමති ගැලපෙන ඇඳුමක් ඇඳීමේ නිදහසක් නෑ. සාරිය අනිවාර්යයක් වෙලා තියෙනවා. කාන්තාවන්ගේ තෝරාගැනීමේ නිදහස මේ විදිහට අවහිර කිරීමේ පදනම මොකක්ද කියල කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නෙ නෑ.
    තමන් විසින් තෝරා නොගත් ආගමක් හෝ සංස්කෘතියක් විසින් දරුවන්ගේ ජීවිතය පාලනය කිරීම, නිදහස අහිමි කිරීම කියන කාරණය සාකච්ඡාවට ගත යුතුයි. ඒ කවර හෝ ශික්ෂණයක් ඔවුන්ගේ තෝරාගැනීමක් විය යුතුයි. එහෙම නැත්තං එතන සිද්ද වෙන්නෙ බලහත්කාරයක්. මේ දැරියන් පලා යන්නේ ඒ බලහත්කාරයෙන් දවසකට හෝ මිදිලා නිදහසක් විඳින ආශාවෙන්. ඒක හදවතට දැනෙන ඉල්ලීමක්.

    දැන් ආපහු ඒ දැරියන් පරණ විදිහට ඒ සංස්කෘතිය ඇතුලෙ කූඩු කරාවි. පෙරටත් වඩා දැඩි විදිහට රැකවල් පනවාවි. හරියට ගහලා හදපු නැති නිසා කියල දෙමව්පියන්ටත් ඥාතීන් චෝදනා කරාවි. සිරගත කළ, නිදහස අහිමි කළ, කාන්තාවන් විදිහට ලොකු මහත්වෙලා (සමහර විට පුළුවන් තරම් ඉක්මණට) පවුලේ කැමැත්ත පරිදි කසාදයකට එළඹීම ඒ අයගේ දෛවය වේවි. තමන්ගේ නිදහස වෙනුවෙන් මේ කළ කැරැල්ල ඒ අයත් අමතක කරන මතකයක් වේවි.

    නටන්න ඇති ආශාව පාපයක් බව තමන්ටම දැඩිව කියාගන්න මේ දැරියන්ට සිද්ද වේවි.

    මේ දැරියන් කවදා හෝ දවසක මව්වරුන් වී තමන්ගේ දරුවන්ටවත් ඒ තමන්ට අහිමි වූ නිදහස විඳින්න ඉඩ දෙයිද? සංස්කෘතික බලහත්කාරය ක්‍රියාත්මක වෙන්නෙ ඒ විදිහට නෙමෙයි. පීඩිතයාම ඊළඟ වටයේ පීඩකයා වීමයි ඒකෙ සැබෑ මුහුණුවර වෙන්නෙ.

  • සමලිංගික ප්‍රජාව ඉස්ලාමය වැළඳගනී

    සමලිංගික ප්‍රජාව ඉස්ලාමය වැළඳගනී

    (‍ඉකොනොමිස්ට් සඟරාව)

    ලංකාවෙ අශ්ශීල දේවල් තහනම් කරන්න අලුතෙන් නීති ගේන්න හදනවා. අලුතෙන් සදාචාරය රකින්න හදනවා. ඒත් මේ වෙද්දි අරාබියෙ ඒ නීති වෙනස් කරන්න අරගල කරනවා. ඒ කියන අශ්ශීලත්වය ඉතිහාසයේ උරුමයක් විදිහට නැවත කියවනවා. සදාචාරවාදී රෙජීම පාලනයන්ට විරුද්ධව ලිංගික කැරලි ක්‍රියාත්මක වෙනවා.

    අපි පස්සට යද්දි අරාබියත් ඉස්සරහට යනවා.

    දශක ගානක් තිස්සෙ මැදපෙරදිග රෙජීම් විසින් කිව්වෙ සමලිංගිකත්වය බටහිර දෙයක් කියල. ඒක සදාචාර විරෝධීයි කියල. අද වෙනකොට මේ ගැන සමලිංගික සමාජ ක්‍රියාකාරීන් තමන්ගේ විරෝධය පලකරනවා. හොමෝෆෝබියා හෙවත් සමලිංගික විරෝධයයි ඇත්තටම බටහිරින් ආපු සංකල්පයක් වෙන්නෙ. ඒක එන්නෙ පියුරිටන්වාදී යුරෝපීයන්ගෙන්. ඒක හින්දයි ටියුනිසියානු සමාජ අරගලකරුවන් යටත්විජිතවාදී නීති අකුලන්න කියල සටන් කරන්නෙ. ප්‍රංශ ජාතිකයන් විසින් අවුරුදු සීයකට කලින් තමයි සමලිංගිකත්වය තහනම් කරන නීති මැදපෙරදිගට හඳුන්වා දුන්නෙ කියල ඒ අය පෙන්වා දෙනවා. ඉස්ලාම් ශිෂ්ටාචාරයේ තිබුණු විවෘතබව නැති කළේ ඔවුන් කියල රාමි කූලි කියන ටියුනිසීයානු සමාජ ක්‍රියාධරයා කියනවා.

    ඉතිහාසය කියන්නෙ සංකීර්ණ ක්‍රියාවලියක්. හැමකාලයකම වගේ විවිධාකාරයෙන් අන්තගාමීත්වය පැවතුනා. නමුත් ඉතිහාසයේ අරාබි පාලකයන් විසින් සෙක්ස් සම්බන්ධ වඩා ලිබරල් පිළිවෙත් පවත්වාගෙන ගිය යුගයන් මේ ක්‍රියාකාරීන් විසින් සළකුනු කරලා පෙන්නනවා. උදා විදිහට කාලිෆ් අමීන් නැමැති 19වන සියවසේ බැග්ඩෑඩයේ පාලකයාට සිටි පිරිමි පෙම්වතා ගැනත් ඒ කාලයේ සමලිංගික කවීන් උත්කර්ෂයට නංවා ඇති අන්දමත් ඔවුන් පෙන්වා දෙනවා. ඒ වගේම ‘මුජුන්’ නැමැති කාමලෝලී කුනුහරුප විදිහට හඳුන්වන කවි සම්ප්‍රදායකින් ඔවුන් කවි උපුටාගනිමින් ගායනා කරනවා. 19 වෙනි සියවසේ මැදපෙරදිගින් වැඩි කොටසක් පාලනය කළ ඔටෝමන් අධිරාජයා ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යයට පෙර සමලිංගිකත්වය නීතියෙන් වරදක් නොවන වග ප්‍රකාශ කළ බවත් මේ අය පෙන්නලා දෙනවා.

    ‘ඒ කාලෙ ඔයාට ඕන නම් ගැහැණියක් සමග නැත්නම් පිරිමියෙක් සමග ලිංගිකව හැසිරීමේ නිදහස තිබුන’

    අප්‍රිකානු පළමු සමලිංගික සංවිධානය වන අබු නවාස් ආයතනයේ සංක්‍රාන්ති ලිංගික නිර්මාර්තෘ කියනවා. මේ සංවිධානයේ නම පවා ප්‍රකට අරාබි සමලිංගික කවියෙකුගේ නමකින් ගත්තක්.

    ‘ඒ කාලෙ පිරිමි හිටියා ගැහැණු වගේ අඳින පළඳින සහ ජීවත් වෙන. අද වගේ කාටවත් ඒක ප්‍රශ්නයක් වුනේ නෑ’

    මේ අතර 13 වෙනි සියවසේ අහමඩ් අල්-ටිෆාෂි කියන අරාබි සෙක්සොලොජිස්ට් කරපු කතා සහ කවි එකතුවට බේරූට් පුස්තකාලවල ඉල්ලුම වැඩිවෙමින් යනවා. ඔහු කියන විදිහට ශිෂ්නය යෝනියකට වඩා ගුද සංසර්ගය පිනිස නිර්මාණය වුනු හැඩයක්. සම්භාව්‍ය සහ ඔටෝමන් යුගයේ කවිවල පිරිමි පිරිමි ආදරවන්තයන් ගැන බොහෝ තැන්වල සඳහන්වන අතර මේ සමලිංගික කණ්ඩායම් විසින් දැන් ගැහැණු ගැහැණු ප්‍රේමයන් පිළිබඳ කවිත් අතීතයෙන් අරන් ඉස්මතු කරන්න පටන් අරගෙන තියෙනවා.

    ‘අනූවක් වන්දනා අතර අපි කෙතරම් ඇතිල්ලෙන්න ඇත්ද සොයුරිය
    ශිෂ්න මුණ්ඩයක් ඇතුල්වනවාට වඩා ඒ කෙතරම් ප්‍රීතීමත්ද අදෘෂ්‍යමානද?’
    එක කවියක එහෙම තියෙනවා.

    ‍සමලිංගික කවි විතරක් නෙමෙයි මේ පුනරුදයට ලක්වෙමින් තියෙන්නෙ. මුහම්මද් ඉසායි කියන ‘කුයර්’ නර්තන ශිල්පියා මේ වෙද්දි කයිරෝ සහ බේරුට්වල කලක ප්‍රකටව තිබුනු පිරිමි බෙලි ඩාන්ස් සම්ප්‍රදායන් නැවත අවදි කරනවා. පිහාටු මාල සහ යට ඇඳුම් පිටින් එයා මේ නැටුම් ටියුනිසියාවෙ ක්ලබ් වල නටනවා.

    ‘පිරිමින්ට තමන්ගේ කාන්තා අර්ධය ප්‍රදර්ශනය කරන එක සාමාන්‍යයක් වෙලයි තිබුනෙ. ඒක සතුටක් වගේම කලාවක්’ එයා කියනවා.මේ අතර සමහර ක්‍රියාකාරිකයන් නීතිය පැත්තෙන් අධ්‍යනය කරනවා. එතනදි පැරණි නීති ක්‍රමවල විශාල පරස්පරයන් හඳුනාගෙන තියෙනවා. සම්භාව්‍ය ජූරිය විසින් අනිවාර්යෙන්ම කුරානයේ පැහැදිලිව දක්වා ඇති ගුද සහ මුඛ සංසර්ග තහනම පෙන්වා දෙනවා. ඒත් මේක අදාල වෙන්නෙ කොයිතරම් ගැඹුරකට ශිෂ්නය ගියොත්ද කියන එක ගැන විවාද පැවතිලා තියෙනවා. ෂියා මුස්ලිම් ග්‍රන්ථවලට අනුව චර්මඡේදනය කළ සීමාව පහුවුනොත් තමයි මේක පාපයක් වෙන්නෙ. ඒත් ජිහාඩ්වාදීන් මේ වෙද්දි නබිතුමා විසින් කියා ඇති පරිදි කියල සමලිංගිකයන්ව වහලවල් උඩින් බිමට අතාරිනවා. ඒත් ඉතිහාසෙ කිසිම තැනක මේ විදිහට ඒ වගන්තිය මතුපිට අර්ථයෙන් ක්‍රියාත්මක වෙලා නෑ.

    මේ විදිහට සමලිංගික ප්‍රජාව නැවත ඉස්ලාමය වැළඳගැනීම ගැන විවේචන තියෙනවා.

    බොහොමයක් ස්ත්‍රීවාදින් නිරාගමිකයන්. මුස්ලිම් පූජකයන් පුරුෂාධිපත්‍යයේ සංකේත විදිහටයි ඒ අය දකින්නෙ. නමුත් අරාබි පාලකයන් අතින් අත්අඩංගුවට පත්වෙන, වධ හිංසාවට සහ වාරණයට ලක්වෙන සමලිංගිකයන් වෙනුවෙන් ඒ අය සහයෝගය දක්වන්න, ඉදිරිපත් වෙන්න මේ පිරිස් කොයිවෙලාවකවත් මැලිවෙන්නෙ නෑ.

    ‘ඉස්ලාම් දහම නෙමෙයි ප්‍රශ්නය. ඒ දහමේ නාමයෙන් අපිවත් මැදපෙරදිගත් පාලනය කරන්න එන පීඩක රෙජීමයන් තමයි ඇත්ත ප්‍රශ්නය’

    ලෙබනනයේ මානව අයිතිවාසිකම් පිළිබඳ පර්යේෂිකාවක් වන රාෂා යූන්ස් ප්‍රකාශ කරනවා.
    ඉස්ලාමය එහෙම නම් බුද්ධාගම කොහොම ඇද්ද?

  • අදහන ආගමෙන් හෙලිවන සෙක්ස් රහස

    අදහන ආගමෙන් හෙලිවන සෙක්ස් රහස

    මේ දවස්වල ආයිමත් මහමෙව්නාවෙ උන්නාන්සෙ කෙනෙක් නළුනිළියො අපාගත වෙනවා කියල බණක් දේසනා කරනවා. ඒක බුදුන් දේසනා කරලා තියෙන්නෙ තාලපුට සුත්‍රයෙලු. යෝධාජීව කියල තවත් සූත්‍රයක බුදුන් කියනවා රණවිරුවො ඔක්කොම අපාගත වෙනවා කියල. ඔය වගේ තව විකාරසහගත ගොඩක් කතන්දර සුත්‍ර පිටකෙ එනවා. ඒ හින්ද බුදුන් කිව්වා කියල වුනත් දෙයක් පිළිගන්න එක බුද්ධ දේසනාවට එකඟ නෑ. බුදුන් කිව්වත් අපිටත් හිතලා බලන්න වෙනවා.

    බුදුන් මේ දේවල් කිව්වා වෙන්න පුළුවන්, බුදුන් කිව්වා වගේ ආනන්දට ඇහුනා වෙන්න පුළුවන්, එක එක අය අතින් එකතුවුනා වෙන්න පුළුවන්, එහෙම නැත්තං අපේ අද කාලෙ තේරුම් ගැනීමට ඒක අහුනොවෙනවා වෙන්න පුළුවන්. කොහොම හරි අනිත් හැම ආගමකම වගේ බැහැර කළ යුතු විහිලුසහගත කරුණු බුද්ධාගමෙත් තියෙනවා.

    බුදුන්ගේ දහම කියන්නෙ කොහොමත් සසරින් මිදීම, ලෞකික ජීවිතයෙන් ගැලවීම වෙනුවෙන් දේශනා කරන දහමක්. බුදුන් තමන්ගේ දරුවා බිරිඳ සහ රාජ්‍ය වගකීම අත්හැර යනවා. සියල්ල නැති කිරීමෙන් ලබන නිර්වාණයක් දේශනා කරනවා.

    ලංකාවෙ ගැමියා විසින් බුදුදහම තමන්ගේ ප්‍රායෝගික ජීවිතේට හරියන්න නිර්මාණය කරගත්තා. බුදුදහම ඇදහිල්ලක් බවට පත් කරගත්තා. යන්ත්‍ර මන්ත්‍රවලට පාවිච්චි කළා. බුදුන්ගේ නිවන ලබාගත නොහැකි තරම් ඈතකට තල්ලු කළා. බණටත් ඒ දවස්වල කියන්නෙ දෙව්මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලබන්න කියල. ඒකත් සැපක්. හැබැයි ඒක විඳින්න තියෙන්නෙ අනිත් සැප ඔක්කොම ලබලා පස්සෙ කරන්නම දෙයක් නැති තැනදි. ඒ වගන්තියට තමයි ලංකාවෙ ‍බෞද්ධයො සාදුකාර දුන්නෙ.

    ඒත් අලුතෙන් එන මූලධර්මවාදී කල්ලි සූත්‍ර පිටකයෙ එක එක යටගිය කොටස් ඉස්සරහට අරන් එන්න ගන්නවා. නිවන මේ ආත්මෙම ලබන්න දායකයන්ව පොළඹවනවා. ඒ අයගෙ ගිහි ජීවිත දැඩිව හික්මවන්න ගන්නවා. බෞද්ධ කල්ට් ඇතිවෙන්නෙ එහෙම.

    ආගමක් කියන්නෙ කලාවක්. ඉතින් ආගමයි කලාවයි අතර තියෙන්නෙ එකිනෙක අතර තරගයක්. කලාව වාරණය කිරීම උඩයි ආගම පවතින්නෙ. මෙතනදි කලාව කියන වචනෙට වඩා සුදුසු වෙන්නෙ ඉන්ද්‍රිය පිනවීම කියන එක. ආගම කියන්නෙ ඉන්ද්‍රිය පිනවීමට තහංචි පැනවීම. ඒකත් ආස්වාදය ලබන විදිහක්. සරලවම කිව්වොත් ආගම පවතින්නෙ සෙක්ස් තහනම් කිරීම උඩ. කලාව පවතින්නෙ සෙක්ස් නිදහස් කිරීම උඩ.

    මේක ඕනම ආගමකට පොදු යතාර්ථයක්.

    අපි ‍මෙච්චර කල් විශ්වාස කළේ ආගම් විසින් මනුස්සයාගෙ ලිංගිකත්වය වාරණය කරනවා කියල. ආගමික පූජකවරුන් තමන්ගේ දේශනාවලදි නිරය ගැන දේවල් කියල බයවැද්දීමෙන් මිනිස්සුන්ගෙ ලිංගික ආශාවන් බලහත්කාරී විදිහට යටපත් කරනවා කියල. සංස්කෘතික කාරණයක් විදිහට ඒක එහෙම වෙනවා. පවුල්වල දැඩි ආගමිකත්වය දරුවන් තුල ලිංගික දේ ගැන වරදකාරීත්වයක් සහ යටපත් කිරීමක් ඇති කරනවා. ඒක ඇත්ත.

    ඒත් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ සමාජ පර්යේෂකයෙක් වන ජෝර්ඩන් ඩබ් මූන් කරපු පර්යේෂණ අනුව පේන්නෙ ලිංගික වශයෙන් අඩු උවමනාවක් දක්වන අය විසින් ආගම් දැඩිව වැළඳගන්නවා කියන එක. ඒ කියන්නෙ ඇත්තටම ආගම කියන්නෙත් ලිංගික තෝරාගැනීමක් කියන එක. තව විදිහකට කිව්වොත් ආගම කියන්නෙත් ප්‍රජනන උපායමාර්ගයක්, ස්ට්‍රැටජියක්.

    මෙතනදි අපිට තේරුම් ගන්න වෙනවා සෝෂියොසෙක්ෂුවලිටි කියන අදහස. මේ කියන්නෙ කවුරුන් හෝ කැපවුනු එක් සම්බන්ධතාවයක් වෙනුවට විවිධ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඇති නැඹුරුව. මේ නැඹුරුව නැත්නම් ආශාව අඩු අය, ඒ සම්බන්ධ සීමාවන් ඇති අය වඩාත් ආගම්වලට නැඹුරු වෙනවා. ඒ කියන්නෙ ලිංගික ආස්වාදය වැඩියෙන් ලබනු රිසි අය වෙතින් ආගම් ප්‍රති‍ක්ෂේප වෙනවා. ඒ ආශාව අඩු, හැකියාව අඩු අය විසින් ආගම් බදාගන්නවා. මෙතනදි වැදගත් දේ ආගම් විසින් මිනිස්සුන්ව එහෙම කරනවා නෙමෙයි, එහෙම මිනිස්සු විසින් ආගම් තෝරගන්නවා කියන එක අනාවරණය වීම.

    විවාහය හරහා තමන්ගේ දරු පරපුරක් හදාගැනීම ගැන දැඩිව හිතන අය ආගම්වලට වඩා නැඹුරු වෙනවා. ඒකට හේතුව ආගම් විසින් විවාහයේ ලිංගික සීමා අවධාරණය කරන එක. මේ නිසා තමන්ගේ බිරිඳ අන් අයෙකු සමග යහන්ගතවීමෙන් තමන්ගේ නොවන දරුවන් ලැබීමේ බය අවම කරනවා. ඕනම ආගමක කාන්තාවට විශේෂයෙන් ලිංගික සීමා පැනවෙනවා. දරුවන් හැදීම සම්බන්ධයෙන් ගත්තම දීර්ඝ කාලීන කැපවුනු සම්බන්ධයක් කාන්තාවකගේ පැත්තෙනුත් බලාපොරොත්තු වෙනවා. මේ නිසා ඇයත් පිරිමියාගේ අයාලේ යාම සීමා කිරීම පැත්තෙන් කල්පනා කරලා මේ ඇදහිල්ලට එකතුවෙනවා. ආගම හරහා නොදැනීම දෙන්නාටම ආරක්ෂාකාරී හැඟීමක් ඇති කරනවා. තමන්ට කියාගන්න බැරි දේ පූජකයා විසින් කියනවා. ඒ ආචාර ධර්මය රකින ප්‍රජාවක් මුනගැහෙනවා. ආගමික ප්‍රජනනය නැත්නම් රිප්‍රොඩක්ටිව් රිලි‍ජියොසිටි කියන්නෙ මේකට. අනාගත පරපුර බිහිකිරීම වෙනුවෙන් ආගමික වෙන එක. මෙතනදි වැදගත්ම දේ වෙන්නෙ අනෙකාව තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් උපක්‍රමයක් ආගම තුලින් සැපයෙන එක. ඉතින් තාත්තෙක් හෝ අම්මෙක් විදිහට අනෙකාගේ ලිංගිකත්වය සීමා කිරීමේ උවමනාව ඇති අයගෙ තෝරාගැනීමක් ආගම කියන්නෙ.

    මේ ප්‍රජනන උවමනාව නැත්නම් තමන්ගේ පරපුරක් බිහිකිරීමේ ආශාව අඩු අය තමයි වඩාත් නිර්මාණශීලී, තමන්ගේ අභ්‍යන්තරය ගවේශණය කරන ආකාරයේ ජීවිත ගතකරන්නෙ කියන එකත් මේ පර්යේෂණයෙදි ජෝර්ඩන් මූන්ගෙ කණ්ඩායම සොයාගත්ත දත්තවලින් කියවෙනවා. අනිත් පිරිස ආගමික වීම ඇතුලෙ තමන්ව කැපකරනවා.

    ඉරොටොෆෝබියා හෙවත් ශෘංගාරභීතිකාවෙන් පෙළෙන අයත් දැඩිව ආගම් වැළඳගන්නවා. මේ ශෘංගාරභීතිය ඇතිවෙන්න විවිධාකාර දේවල් හේතුවෙන්න පුළුවන්. කුඩා අවධියේ මුහුණදුන් ලිංගික පීඩාවන්, ලිංගික කාරණා නිසා ලැජ්ජාවට පත්වීම්, ලිංගික දුර්වලතාවයන්, දැඩිලෙස විශ්වාසය පළුදුවීම් ආදිය මේ අතර තියෙන්න පුළුවන්. මේ ඉරොටොෆෝබියාවෙන් පෙළෙන අය තමයි කවුරුන් හෝ නිරුවතින් ඉන්නවා දැකපු ගමන් කලබල වෙන්නෙ. ජනාධිපතිට ලියුම් ලියන්නෙ. මේ භීතිකයනුත් දැඩිව ආගම්වල එල්ලෙනවා.

    තුන්වෙනි කාණ්ඩය තමයි ස්වපීඩකකාමීන්. මැසොකිස්ට්ලා. තමන්ව පීඩාවට පත්කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබන පිරිස්. සිංදුවක්, නර්තනයක් විඳින්න නොදී තමන්ව බැඳ තබාගැනීමෙන් ආස්වාදයක් ලබන්නෙ එහෙම අය. මැසොකිසම්වල තියෙන ප්‍රධාන ලක්ෂණ හයම ආගමික භක්තියෙ තියෙනවා. එක, ආදරයේ ප්‍රභේදයක් වීම. ආගම් ඇතුලෙ ප්‍රේමය, මෛත්‍රිය කියන නම්වලින් හඳුන්වන්නෙ මේ ලක්ෂණය. ආගම එන්නෙ ලිංගික ආදරයට විකල්පයක් විදිහට. දෙක, දඬුවම් ලැබීමේ ආශාව. පවට දඬුවම් ලැබීම, ආශාව බැඳතබා ගැනීම, අපාගතවීම ආදියෙන් කියවෙන්නෙ මේ උවමනාව. තුන, අනාගතයේ වඩා හොඳ තෘප්තියක් බුක්ති විඳීමේ ආශාව. හතර, දුර්වලයා වෙනුවෙන් සැකසුනු ක්‍රමයක් වීම. පව්කාරයො, නැත්නම් කරුම ගෙවන මිනිස්සු කියන අර්ථ හැදෙන්නෙ මේක ඇතුලෙ. පහ, ආත්මාර්ථයෙන් ගැලවීම. හය, අනුන් වෙනුවෙන් පාවිච්චි වීම හෝ කැපවීම.

    මේ කාරණා හය උඩ තමයි මැසොකිසම් නැත්නම් ස්වපීඩකකාමය පවතින්නෙ. ආගම් භක්තිය පවතින්නෙත් හරියටම ඔය කාරණා මතමයි. මේ නිසා ස්වපීඩකකාමීන් ගොඩකුත් ආගම් බදාවැළඳ ගන්නවා.

    මේ විදිහට කාණ්ඩ තුනක පිරිස් විසින් ආගම ස්ට්‍රැටජියක් විදිහට තෝරගන්නවා. ඒ අය වෙනුවෙන් ඒක පැවතිය යුතුයි. මෙතනදි නරක තත්වය වෙන්නෙ මේ අවශ්‍යතා ඇති පිරිස ඉක්මවා අනිත් අයගෙ ජීවිතයට බලපෑම් කරන මට්ටමට ආගම පිම්බෙන එකයි. තවත් එක තෝරාගැනීමක් වෙනුවට ඒක අනිවාර්යයක් දක්වා වර්ධනය වෙන එකයි.

    ඒක නිසා අපි හිතන්නෙ මහමෙව්නාව වගේ ලිංගිකත්වය සීමා කරමින් ආස්වාදය ලැබීමේ දහම් පැවතීම අවශ්‍යයි කියලයි. ඒ දහම් ඒ කල්ට් සීමාවෙන් එහාට ගමන් කිරීම අවදානම් කියලයි. එතකොට ඒ අවශ්‍යතා ඇති පිරිසට ඒ ආගම් ඇදහීමේ නැත්නම් තමන්ගේ සෙක්ෂුවල් ස්ට්‍රැටජියක් අනුව ජීවත්වීමේ නිදහස වෙනුවට ඒක අනුන් සීමා කරන බලහත්කාරයක් බවට පත්වෙනවා.

    ඒ හින්ද ආගමික පිරිස් තේරුම් ගන්න ඕන දෙයක් වෙන්නෙ, ඔබ ලබන සැප ඔබ ලබන්න. අනෙකාගේ සැපට කෙළවීමට තරම් කුහක නොවන්න යන්නයි.