අපි ගොඩක් වෙලාවට හිතන්නෙ අපි යම් යම් දේවල් ගැන ෆැක්චුවලි දන්නවා කියල. ඒ කියන්නෙ කරුණුමය කාරණා ගැන අධ්‍යනය කරලයි තියෙන්නෙ කියල. ඒත් එහෙම අපිට දෙයක් ගැන පූර්ණ කරුණුමය අවබෝධයක් පවතින්න පුළුවන්ද?
උදා විදිහට වෙන රටක සිද්ද වෙන යම් සිදුවීමක් ගැන අපි ප්‍රවෘත්ති සහ විවිධ සාකච්ඡා ඇසුරෙන් අවබෝධයක් ගන්නවා. ඒත් ඒක ඒ රටේ ඇත්තටම සිදුවුනු සමස්තය ගැන අවබෝධයක් වෙනවද? රටක යම් දේශපාලන මොහොතකදී ඒ සංස්කෘතිය තුල ජීවත්වෙන මිනිහෙකුට ඇරෙන්න පිටස්තරයෙකුට ප්‍රවෘත්ති අනුසාරයෙන් ගත හැකි තේරුම් ගැනීම කොයිතරම් අල්පද? අපේ යුද්ධය ගැන වෙන රටක මනුස්සයෙක් කතා කරද්දි, කොටින්ම කොළඹ හිටපු කෙනෙක් උතුරෙ යුද්දෙ ගැන කියද්දි ඒවා කොයිතරම් වෙනස් අර්ථකතනද? හැබැයි ඒ හැම එකක්ම තාර්කිකයි. කරුණුමයයි. නැත්තෙ අවබෝධය කියන එක.
අපි කිසිම කරුණක් දිහා අදහසක් නැතුව බලන්නෙ නෑ. අපිට කිසි දෙයක් එහෙම පේන්නෙ නෑ. ඒක මනුස්ස ඥානන ක්‍රියාවලියෙ හැටි. අපි කරුණු දිහා බලන්නෙ අදහසක් ඇතුව. කරුණුවලට කලින් අපේ එල්බගැනීම ඇතිවෙනවා. අපේ අදහස අනුව අපි කරුණු සංවිධානය කරනවා. යතාර්ථය ගොඩනගනවා. ඒ අනුව තර්ක කරනවා. හැමවෙලාවකම අපේ කරුණු ගොඩනැංවීමට හා සමාන කරුණුමය ගොඩනැංවීමක් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයටත් තියෙනවා. කොටින්ම ලෝකෙ ගෝලාකාරද පැතලිද නැද්ද කියන එක ගැන පවා කරුණුමය සංවාදයකින් කිසි කෙනෙක් අනෙකාව ජයග්‍රහණය කරන්නෙ නෑ.
කරුණු කියන්නෙ අපේ හිතලුවට තියෙන ආයුධ. සටනෙදි අපි ඒවා පාවිච්චි කරනවා. හැඟීම්වලින් සටන් කිරීම කියන්නෙ බෙයාර් හෑන්ඩ් නැත්තං නිරායුධ සටන. කරුණු වගේම අපිට උපාධි, සහතික පිලිගැනීම් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් ඒ හැම එකක්ම අපේ හිතලුව කවර් කරන්න.
කිසි කෙනෙකුට කරුණුමය හෝ වාස්තවික පදනමක් නැති අදහසක් පහල වෙන්නෙ නෑ. එහෙම වුනොත් ඒක ඔරිජිනල්ම ඔරිජිනල් අදහසක් වෙනවා. සමහර විට අපේ අදහසකට පාදක වෙන්නෙ කරුණුමය හෝ තාර්කික දේකට වඩා අත්දැකීමක් මූලික කාරණයක් වෙන්න පුළුවන්. විවිධ සංස්කෘතික කාරණා ගණනාවක් මත පදනම් වෙලා අපේ අදහස ගොඩනැගෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නෙ අපිට කොන්ටිටෙටිව් පදනමකට බැහැරින් කොලිටෙටිව් පදනමක් දරන්න පුළුවන්.
ලෝකෙ විද්‍යා ප්‍රබන්ධ මත විද්‍යා සොයාගැනීම් සිද්ද වෙලා තියෙනවා. ප්‍රබන්ධමය යතාර්ථයන් පවතින යතාර්ථයන් බවට පත්වෙලා තියෙනවා. ගුවන්යානය වුනත් එහෙමයි. ඉගිල්ලීම ගැන හීනයක් ප්‍රබන්ධයක් විතරයි තිබුනෙ. කොවිඩ් වසංගතය වුනත් අපිට කාලෙකට කලින් පොතක කතාවක් විදිහට මුනගැහෙනවා. ඇත්තට කරුණුමය තර්කන කියන්නෙ සිදුවෙලා අවසන් දේට. ප්‍රබන්ධ නැත්තං හිතලු කියන්නෙ ඉස්සරහට වෙන්න පුළුවන් දේවල්වලට.
කොවිඩ් එන්නත්කරණය උදාහරණයක් විදිහට ගමු. එන්නතෙන් කොවිඩ් පාලනය වෙනවා කියන එකට අධිපති විද්‍යාත්මක කරුණු කතිකාවක් තියෙනවා. එන්නත විශ්වාස නොකරන දේව භක්තිකයන් පිරිසකුත් ඉන්නවා. කොවිඩ් එන්නත වයිරස් විද්‍යාවෙ සිදුවුනු ලොකුම වරදක් බව කියන නොබෙල් සම්මානලාභී වයිරස විද්‍යාඥයනුත් ඉන්නවා. දැන් අපිට එන්නත ඵලදායී නොවේ කියන එක කරුණුමය වශයෙන් පරාජය කරන්න පුළුවන්ද?
මිත්‍යා විශ්වාස පදනමේ ඉඳන් විද්‍යාත්මක කරුණු පදනමක් දක්වා මේ ඇන්ටි වැක්සර් කතිකාව පැතිරෙනවා. අනිත් පැත්තෙන් මිනිස් නිදහස, තමන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය වගේ කාරණා මූලික කරගත්ත දේශපාලන කතිකාවකුත් මෙතන තියෙනවා. එතකොට වැක්සින් විරෝධය හුදු හිතලුවක් කියල බැහැර කරන්න පුළුවන්ද? එහෙම හිතලුවක් නම් ඒක අධිකාරී බලයන් පාවිච්චි කරලා යටපත් කරන්න උත්සාහ දරනවා වෙනුවට කරුණුමය වශයෙන් පරාජය කරන්න පුළුවන් වෙන්න ඕන නේද?
කිසිම දෙයක් කරුණුමය වශයෙන් අසත්‍යයි කියන්න බෑ. ඒකයි අවුල.
මේක තව පැත්තක් තියෙනවා. කාලෙකට කලින් අනුරුද්ධ ප්‍රදීප් මාත් එක්ක සංවාදයකදි, ලෝකෙ කිසිම සිවිල් යුද්ධයක් එක පැත්තක් පරාජය කිරීමෙන් තොරව කෙලවර වෙන්නෙ නෑ කියල කියනවා. ඒ වෙලාවෙ උතුරෙ ප්‍රශ්නය වෙනුවෙන් අනුරුද්ධ යුධමය විසඳුමකුත් මම දේශපාලන විසඳුමකුත් පිලිගැනීම මත තමයි කතාව යන්නෙ. දැන් අනුරුද්ධ කියන කාරණය කරුණුමය වශයෙන් ඔප්පු කළ හැකි තර්කයක් වුනත් ඒක මානුෂීයව බාරගැනීම සුදුසු එකක්ද කියල ප්‍රශ්නයක් එනවා. සිවිල් යුද්ධයකදි මැරෙන්නෙ එකම රටක ජනතාව. ලෝකෙ මෙතුවක් කිසි දවසක සාකච්ඡාවෙන් සිවිල් යුද්ධයක් ඉවර නොවීම කියන්නෙ ඊළඟ මොහොතක එය සිදුවිය හැකිබව බැහැර කළ හැකි තත්වයක් නෙමෙයි. අල්ලපු වැටේ එකා එක්ක ඇතිවෙන රණ්ඩුව කතා කරලා විසඳගන්න පුළුවන් නම් යුද්ධයක් සාකච්ඡාවෙන් විසඳාගත හැකියි කියන උපකල්පනය සාධාරණ එකක්. ඔයා පොත්වල ලියල තියෙන කාරණා උඩම ප්‍රශ්නවලට විසඳුම් හොයන කෙනෙක් කියල මං ඒ වෙලාවෙ අනුරුද්ධට කියනවා. කරුණුමය පැත්තෙන් අනුරුද්ධගේ ස්ථාවරය හරි වෙන්න පුළුවන්. ඒත් පරණ විදිහට හැමදාම දේවල් විසඳෙනවා කියල එකක් නෑ.
චූලෝදර මහෝදර යුද්ධය බුදුන් සාමයෙන් විසඳුවා කියල අපි කතාවක් අහලා තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සර්වඥයි කියලත් අපි අහලා තියෙනවා. යුද්ධයක් සාමයෙන් විසඳිය නොහැකියි කියන එක බුදුන් නොදැන සිටියාවත්ද?
ලංකාවෙ අපි දැනුම කියල සලකන්නෙ කරුණු. මේ හින්දම කරුණුමය දැනුම අධිතක්සේරු වෙලා තියෙනවා. ඒකෙන් සිද්ද වෙන නරකම දේ තමයි සියලු බුද්ධිමතුන් කියන පාර්ශ්වයන් කරුණු බුද්ධිමතුන් වෙන එක. ඒත් දැනුමේ ආකාර හතරක් තියෙනවා.
පළවෙනි එක තමයි මේ කියන ෆැක්චුවල් නොලේජ් නැත්තං කරුණුමය දැනුම. පොතපතෙන්, ප්‍රවෘත්තිවලින් ලබාගන්නා සිද්ධිවාචක දැනුම. මේ දැනුම උඩ අපි තර්ක ගොඩනගනවා. ඒත් අපේ මොලේ තියෙන්නෙ මේ විදිහෙ කරුණු ගබඩාගත කරන්න නෙමෙයි. ඒකට දැන් ඉන්ටර්නෙට් එක තියෙනවා.
කාලෙකට කලින් සුනන්ද මහේන්ද්‍ර සහ එඩ්වින් ආරියදාස උගන්නපු ජනමාධ්‍ය පාඨමාලාවලකට ගියා. එතනදි සුනන්ද මහේන්ද්‍ර ආරම්භක දේශනය කරමින් මෙහෙම කතාවක් කිව්වා.
‘මේ ඉන්නෙ එඩ්වින් ආරියදාස ශූරීන්. ඇවිදින විශ්ව කෝෂයක්. ඕනම දෙයක් අහන පරක්කුවෙන් දන්නවා. හාර්ඩ් ඩිස්ක් එකක් වගේ දැනුම් තැන්පතුවක්. මං ඔය කිසි දෙයක් ඔලුවෙ තියාගෙන ඉන්නෙ නෑනෙ. ඕන වෙලාවට එඩ්වින් ආරියදාසට කතා කරලා අහගන්නවා. මං උනන්දු වෙන්නෙ සංකල්ප ගැන. තොරතුරු ගැන නෙමෙයි’
දෙවෙනි දැනුම් ආකාරය තමයි කන්සෙප්චුවල් නොලෙජ් හෙවත් සංකල්පීය දැනුම. ඒ කියන්නෙ තොරතුරු හෝ අදහස් මත ගොඩනැගෙන සංකල්ප පිළිබඳ සාකච්ඡාව. න්‍යායාන් සහ ආකෘතීන් පිළිබඳ දැනුවත් බව. උදා විදිහට මට මාර්කටින් වලදි තොරතුරුවලින් ඇති වැඩක් වෙන්නෙ නෑ. තොරතුරු විශ්ලේෂණය කරලා ඒවා ආකෘතිගත කළාට පස්සෙ ඒවා අතර වෙනස්කම් හා රටාවන් ඇසුරින් මතු කළ හැකි නව මානයන් තමයි වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ කන්සෙප්ට්ස්. සමාජ දේශපාලන සංකල්ප සහ න්‍යායන් ගැන සාකච්ඡාව එන්නෙ මෙතනදි.
අපි සාමාන්‍ය කතාවෙදි කියනවා දෙයාකාරයක මිනිස්සු ගැන. එක පිරිසක් කවුරු හරි ගැන විස්තර කතා කරනවා. ඒ කියන්නෙ තොරතුරු කතා කරනවා. තව පිරිසක් ඒ කවුරු හරි ඇසුරෙන් සංකල්පයක් ගැන කතා කරනවා. ෆේස්බුක් එකේ මොනවා හරි දැම්මම බහුතර පිරිසක් ඒ පෝස්ට් එක දාපු එකා ගැන කතා කරනවා. ඒ තමයි තොරතුරු පිරිස. සුළුතරයක් ඉන්නවා ඒ මිනිහා කියන අදහස ගැන කතා කරනවා. ඒ තමයි කන්සෙප්චුවල් පිරිස.
තුන්වෙනි දැනුම් කාණ්ඩය වෙන්නෙ ප්‍රොසිඩියරල් නොලේජ් කියන එක. ඒ කියන්නෙ යමක් ක්‍රියාවෙ යෙදවීමෙන් ලබන ප්‍රායෝගික දැනීම කියන එක. ඒක හැකියාවක්. ඒ ඇසුරෙන් ඒ අය දන්නවා තාක්ෂණයන් සහ විවිධ උපක්‍රමයන් දේවල් වඩාත් සාර්ථක කර ගත හැකි. කරුණු හෝ සංකල්ප දැනුමට වඩා ඒක පුහුණුවේ යෙදවීමේ දැනුමයි මෙතනදි අදාල වෙන්නෙ.
හතරවෙනි කාණ්ඩයේ දැනුම තමයි මෙටාකොග්නිටිව් නොලේජ් නැත්තං පාරඥානනමය දැනුම. ඒ කියන්නෙ අපේ සිතීම් සහ අදහස් ඇතිවීම් ගැන සවිඥානක බව තුලින් ලබන දැනීම. පෙරදිග අතීතයේදි ගොඩක් ප්‍රචලිත දැනුම් ආකාරය වුනේ මේක. මේ අසුරෙන් අන් අය සිතන පතන වෙනස්කම්, ඒ අයගෙ සංස්කෘතික පසුබිම් ගැන සියුම් අවබෝධාත්මක ඥානයක් ලබනවා. මේක ඇතිවෙන්නෙ තමන්ම තමන් තුලට සිතීමෙන්. හිතලුවල ඔරිජිනල්ම තත්වය තියෙන්නෙ මෙතන.
මේ දැනුම් ආකාරවලින් එකක් අනෙකට වඩා උසස් කියල එකක් නෑ. මේ සියල්ලම එක්කෙනෙකුට පිහිටන්නෙත් නෑ. යම් කාරණයක් ගැන මේ දැනුම් ආකාර හතරෙහි ප්‍රවීනයන් බලන විදි වෙනස්. ඒ සාකච්ඡාව තුලින් තමයි කාරණය ගැන සංයුක්ත දැනුමක් ගොඩැනැගෙන්නෙ.
ඒ හින්ද අපේ සංවාදවල පදනම වෙන්න ඕන අනෙකාව කරුණුමය වශයෙන් පරාජය කිරීම නෙමෙයි ඒ වෙනුවට වඩා නිර්මාණාත්මක අදහසක් විවෘත කරන එක. ඒ ඔස්සේ තව අයව ඉන්ස්පයර් කරන එක. එහෙම ඉන්ස්පයර් වෙන සමහර කෙනෙක් ඒකට කරුණුමය පදනමක් ගොඩනගයි. තව කෙනෙක් ඒකට සංකල්පීය පදනමක් දෙයි. තවත් කෙනෙක් ඒකෙන් දේශපාලන මැදිහත්වීමක් දකී. ඒක සමාජයේ ප්‍රායෝගික වීම ගැන කතිකාවන් ඇතිවෙයි. මේ විදිහට හිතලුවක් යතාර්ථයක් බවට පරිණාමය වෙයි.
තර්කයකදි මේ මොහොතෙ කරුණුමය වශයෙන් ජයග්‍රහණය කරන්නෙ මළ මොහොතක්. නිර්මාණශීලී අදහස නෙමෙයි. ඒකට හේතුව ඒ ජයග්‍රහණය කරන කරුණුමය පදනමට මතවාදයක් හැටියෙන් ඒ මොහොතෙ ගොඩනැගිලා තියෙන බලය. මේ මොහොතේ බලය හිමි කතිකාව කියන්නෙ ඊළඟ මොහොතේ මියැදෙන්න නියමිත අදහස. ඒ ගොලායත්ට ප්‍රතිවිරුද්ධව සටන් කරන ඩේවිඩ් නම් ගල්කැට කොල්ලා කියන්නෙ ඊළඟ මොහොත නිර්මාණය කරන අදහසට.
අදහසක වැදගත් දේ කරුණුමය පදනම නෙමෙයි. යම් අදහසක් අපිට තේරෙනවා කියන්නෙම ඒකට කරුණුමය පදනමක් පවතිනවා කියන එකයි. එහෙම නැත්තං අපිට භාෂාවෙන් ඒක තේරුම් ගන්න බැරි වෙන්න ඕන. නිර්වාණය වගේ වෙන්න ඕන. ලෝකෙ තියෙන ඇත්තම හිතලු වෙන්නෙ නිර්වාණය සහ ස්වර්ගය වගේ කතන්දර. අපි බුදුන් හිතලු දේශනා කරනවා කියල කියන්නෙ නෑ. ඒ වෙනුවට මේ හිතලු අපි කරුණුමය, සංකල්පීය සහ දේශපාලනමය පදනම්වලට ගේන්න උපරිම උත්සාහ දරලා තියෙනවා.
අදහසක වැදගත්ම දේ වෙන්නෙ ඒකෙ දිශානතියයි. ඒකෙන් මිනිස් සිතීම පළල් කරනවද, තවත් පටු කරනවද, සාමයේ දිශාවට යන ගමනක්ද, නැත්තං යුද්ධයේ දිශාවට අතවැනීමක්ද, නිදහසේ දිශාවට යන අදහසක්ද, වාරණයේ දිශාවට යන අදහසක්ද, බලය සංකේන්ද්‍රණ කරන තත්වයක්ද, බලය බෙදාහැරෙන තත්වයක්ද, කොටින්ම ඒ අදහස හරහා කියන්න උත්සාහ කරන දේශපාලනය මොකක්ද කියන එකයි වැදගත්.
ඒ හින්ද කරුණු පස්සෙ හදාගන්න පුළුවන්.
(මේ ලිපියට ප්‍රස්තුත වුනේ අනුරුද්ධ ප්‍රදීප් සමග පැවති සාකච්ඡාව බැවින් එතුමාට ස්තුතිය පිරිනමමි)
චින්තන ධර්මදාස