මගේ ජීවිතය සම්බන්ධ තීරන ගැනීමේ අයිතිය වෙන පාර්ශ්වවලට පැවරෙන තැන් ගැන මං ගොඩක් සැලකිලිමත්. ඒක තනි පුද්ගලයෙක් මත පැවරෙන කිසිම තැනක් මං විශ්වාස කරන්නෙ නෑ. ඒ වෙනුවට ඒක ප්‍රශ්න කළ හැකි, වෙනස් කළ හැකි, කාලයත් එක්ක පර්‍යේෂනයට ලක්වුනු සම්ප්‍රදායකට පවරන්න මං කැමතියි.

මං විකල්ප වෛද්‍ය ක්‍රම පිලිගන්නවා. ගොඩක් කැමැත්තෙන් ඒවායේ සරණ යනවා. මට රෝගයක් සම්බන්ධ ආර්ට් එක වැදගත් හින්ද. මාව යන්ත්‍රයක් වගේ නොසලකා මාව පුද්ගලයෙක්, සමස්තයක් විදිහට සලකන ප්‍රතිකාර ක්‍රම මං විශ්වාස කරනවා. ඒත් තනි පුද්ගලයෙක් විසින් මගේ ශරීරය පිළිබඳ ආධිපත්‍යය පවරාගන්න ලෑස්ති වෙන තැන් මං සැකයෙන් බැහැර කරනවා. ඒ වගේම මගේ ජීවිතේට සීමා පනවන විශ්වාස පද්ධතීන් දිහා අවඥාවෙන් බලනවා. ඒක සෞඛ්‍ය පිළිබඳ මගේ දේශපාලනය.

ඒලියන්ත වයිට් කියන්නෙ ඒ වගේ තනි පුද්ගලයෙක් ජීවිත සම්බන්ධ බලයක් අත්පත් කරගත්ත තැනක්. හරියටම පැණි ධම්මික වගේම. ඒත් මං පැණි ධම්මිකට අකමැතියි. ඒලියන්ත වයිට්ට කැමතියි .

වයිට් කියන්නෙ වැඩකාරයෙක්. එයාගෙ ඇදහිලිවන්තයො වුනෙ ප්‍රභූන්. ධම්මික ළඟට ආවා වගේ සරණක් නැති ලක්ෂ සංක්‍යාත ජනතාව නෙමෙයි වයිට් ළඟට ආවෙ. ඕන තරම්, ලෝකයේ ඉහලම ප්‍රතිකාර ගන්න පුළුවන් වත්කම් ඇත්තන් තමයි වයිට් හොයාගෙන ආවෙ. ඒක රැවටීමකට වඩා තෝරාගැනීමක්. අර ඩෙනිස් පෙරේරා කියනවා වගේ ඒලියන්ත වයිට් කියන්නෙ ආර්ටිස්ට් කෙනෙක්.

මං ඉමේශ් රංගනගෙ සිංදුව ආපහු ඇහුවා. ඒක මං ආස සිංදුවක්. එතන ඉඳන් ඒලියන්ත වයිට් දිහා බැලුවා. ඒක කොහෙත්ම හිතාගන්න බැරි ප්‍රතිරූප දෙකක්. ඒත් මේ දෙකම එකම මිනිහෙකුගෙ නිර්මාණ. තමන්ව නැවත රීඉන්වෙන්ට් කරගැනීම සහ ඒකෙන් සාර්ථක වීම කියන්නෙ මං ඉතාම ගරු කරන දෙයක්. ඒකට සුවිශාල නිර්මාණශීලීත්වයක් ඕන වෙනවා.

ඒලියන්ත වයිට් අපිට එකපාරට මුනගැහෙන්නෙ මහින්ද රාජපක්ෂ එක්ක. මහින්ද තමයි ඒලියන්ත වයිට්ගෙ බ්‍රෑන්ඩ් එම්බැසඩර්. මහින්ද සමහර ප්‍රභූන්ට තෑගි කරන්නෙ වයිට්ව. ඒක මාරයි.

වයිට් කස්තුරි සහ ඔටුකිරි ගැන කතාවක් එක්ක මුලින්ම තමන්ගේ මිත්‍යා කලාපය නිර්මාණය කළා මතකයි. ඊට පස්සෙ අපි එක දිගට වයිට්ගේ ප්‍රාතිහාර්යයන් දැක්කා. දහස් ගනං මිනිස්සු තමන්ගේ ආබාධයන්ට වයිට්ගෙන් බෙහෙත් ගන්න බැරුව තැවුනා. ඒලියන්තගෙ ඒ නැරටිව් එක විශිෂ්ට එකක්. තමන්ගේ මැනික්හින්න පළාතේ ගුරුකම් උරුමයත් එක්ක එක එක බෙහෙත් වට්ටෝරු, කුන්ඩලිනී ශක්තීන් මුහුකරගෙන එයා තනි විෂයක් ප්‍රබන්ධ කරනවා.

සමහරක් වයිට්ගෙන් බෙහෙත් අරගෙන මැරෙනවා. ඒත් බෙහෙත්වල ගුන කියන බහුතරයක් තාමත් ඉන්නවා. රටේ සියලු සහතිකලත් වෛද්‍යවරුන් පරද්දලා වයිට් ජාතියේ මහා වෛද්‍යවරයා වෙනවා. කිසිම වෛද්‍ය මණ්ඩලයක් වයිට්ව ප්‍රශ්න කරන්නෙ නෑ.

මොකක් හරි හේතුවක් හින්දා කාලයක් යද්දි වයිට් ෆේල් වෙන්න ගන්නවා. ඒක වයිට්ගේ ක්‍රම පරීක්ෂාවකට ලක්වීම හෝ කවුරුන් හෝ අභියෝග කිරීමෙන් නිසා සිදුවූ දේකට වඩා මොකක් හෝ අභ්‍යන්තරික සිස්ටමික අර්බුදයක් වීමේ ඉඩ වැඩියි.

ඊට පස්සෙ වයිට් කොවිඩ් වෙනුවෙනුත් තමන්ගේ ප්‍රසාංගික පෙලහරක් පෑවා.

අපි මේ වගේ ආර්ට්වල ඇත්ත නැත්ත හොයන්න යන එකෙන් වෙන්නෙ ආර්ට් එක මගඇරෙන එකයි. ඒ මනුස්සයාගෙ විශිෂ්ටත්වය මගහැරෙන එකයි.

අඩුගානෙ වයිට් තමන්ගෙ ආර්ට් එකට අවංක වුනු වග සටහන් කරන්න ඕන.

වෙදකම කෙසේ වෙතත් ඒලියන්ත වයිට් කියන්නෙ මං ආඩම්බරයට පත්වෙන ආර්ටිස්ට් කෙනෙක්. එයා කරමින් හිටියෙ අපේ රටෙන් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් ආර්ට් එකක්.


චින්තන ධර්මදාස