මං මගේ යාළුවෙක් එක්ක කතා කරමින් හිටියා. අපි හිටියෙ හිරිකැටියෙ.

‘මචං පොඩ්ඩක් හිටපං. එක්ස්ගෙන් කෝල් එකක්..’

ඌ කෝල් එකක් ගන්න එලියට ගියා. විනාඩි පහකින් විතර ආපහු ආවා. ආයිමත් අපි කතා කරනවා.

‘ආ.. සොරි බං. එක්ස්ගෙන් කෝල් එකක් ආපහු..’

යාළුවා ආයිමත් එලියට ගියා. විනාඩි පහලොවකට විතර පස්සෙ ආවා. මූනෙ විස්සෝපයක් බලාපොරොත්තු වුනත් යාළුවගේ මූනෙ තිබුනෙ සතුටු හිනාවක්. එක්ස්ගෙන් කෝල් දෙකක් එනවා කියන්නෙ ඉතිං සාමාන්‍යයෙන් අර්බුදයක්නෙ.

‘සොර‍ි මචං.. මගේ බල්ලො දෙන්නා ඉන්නෙ එක්ස් එක්ක මේ දවස් ටිකේ. ඉතින් නිතර කෝල් එනවා උන්ගෙ ඒවා ගැන අහන්න..’

‘කවුද මචං මේ එක්ස්?’

‘අ‍පේ තිබුන මචං අවුරුදු හතක රිලේෂන්ෂිප් එකක්. අපි අවුරුදු තුනක් ගත්තා සෙපරේට් වෙන්න. දැන් සෙපරේට් වෙලත් අවුරුද්දක් විතර. ඒත් මගේ ඕනම දේකට උදව්වට ඉන්නෙ එයා’

සම්බන්ධතාවයක වෙන්වීම කියන්නෙ අපි නිතර අත්දකින මරාගැනීමක්. සම්බන්ධයක් පටන්ගත්ත තැන පටන්ම අපි බයෙන් පෙළෙන හීනයක්. සමහර අවුරුදු ගනන් දිග සම්බන්ධතා එක දවසකින් අවසන් වෙනවා. වෙන්වෙනවා. ඒ අය ජන්මාන්තර වෛරක්කාරයන් වෙනවා. වෙන්වීම තිත්ත අත්දැකීමක්. කඳුළු ගලන, බීලා වැටෙන, අඬන, වැළපෙන මැරෙන්න හිතෙන වෙන්වීම් අපි හැමෝම විඳලා තියෙනවා.

‘ඉතිං ඇයි උඹලා සෙපරේට් වුනෙ?’

‘අපේ ලව් එක එක්ස්පයර් වුනා. කාලයත් එක්ක මට ඉස්සර එයාගෙ දැකපු පුංචි පුංචි ලස්සන දේවල් පේන්නෙ නැතුව ගියා. එයාටත් එහෙම වෙන්න ගත්තා. ඉස්සර හුරතල් වැඩ විදිහට දැකපු දේවල්වලට පොඩි නොරිස්සුම්කම් දැනෙන්න ගත්තා. අපිට ‍තේරුනා අපේ ආදරේ නරක් වෙමින් තමයි එන්නෙ කියල. ඉතිං අපි ඩිසයිඩ් කළා සෙපරේට් වෙන්න. අපිට ආපහු අපිව අර මුල් කාලෙ දැනුන හයි ෆීලින්ග් එකෙන්ම දැනෙන දවසක් ආවොත් ආපහු එකතු වෙන්න. ‘

යාළුවගෙ කතාව මට ඉන්ටරෙස්ටින්. ඒ තරම් සවිඥානකව සම්බන්ධයක් ඇතුලෙ ඉන්නවා කියන එක හරි ලස්සන දෙයක්. කෙනෙක් තමන්ව රැවැට්ටුවා, පාවිච්චි කළා වගේ හැඟීමක් නැතුව දෙන්නෙක් වෙන්වීම තේරුම් ගන්නවා කියන එක අවබෝධයක්. ආදර සම්බන්ධයක් ඇතුලෙ විතරක්ම අවබෝධ වෙන තත්වයක්.

අපි හැමතිස්සෙම වෙන්වෙන්න හදිස්සියි. සම්බන්ධය පටන් ගන්න තිබුණට වඩා ලොකු හදිස්සියක් අපිට වෙන්වෙද්දි තියෙනවා. ගොඩක් වෙලාවට අපි වෙන්වෙන්නෙ බරපතල තුවාල සහිතව. සමහර විට අපිට අනෙකාගේ රහස් සම්බන්ධයක් ගැන දැනගන්න ලැබෙනවා. අපිව පාවා දුන්නා කියල ලොකු වේදනාවක් ඇතිවෙනවා. බොරු කීම, වංචා කිරීම ගැන ජුගුප්සාවක් අවදි වෙනවා.

ඒකම අනිත් පැත්තටත් දැනෙන්න පුළුවන්. තමන්ගේ රහස දැනගැනීම නිසා ලැජ්ජාවක්, අපහසුවක්, තමන් ගැනම වරදකාරී හැඟීමක්, මේ ඔක්කොමත් එක්ක දැඩි ආරක්ෂාකාරී පවුරු බැඳගැනීමක් සිද්ද වෙනවා. ඊට පස්සෙ අපි දකින්නෙ සටනක්. වෙන්වීම හෝ සාමය ඇතිවෙන්නෙ මේ සටනෙ ප්‍රතිඵල විදිහට. අපිට අමතක වෙන කාරණය අපි කොයිතරම් ආදරෙන් හිටියද කියන එක.

වෙන්වීම නරක දෙයක් නෙමෙයි. බොරුකීම අසාමාන්‍ය දේකුත් නෙමෙයි. ඕනම බොරුවක තියෙනවා ඇත්තකට වඩා ඇත්තක්. උදා විදිහට කෙනෙකුට තමන්ගෙ වෙනත් සම්බන්ධයක් ගැන තමන්ගේ පෙම්වතියට හෝ පෙම්වතාට කියන්න බැරි වෙන්නෙ ඒ දෙන්නා අතර ගොඩනැගිලා තියෙන සම්බන්ධතාවයේ දුරස්බව හින්දමයි. රොමාන්තික ආදරෙන් එහාට මනුස්ස සම්බන්ධයක් ගොඩනගා ගන්න ඒ අය අසමත් වෙලා තියෙනවා.

එ් කොහොම වුනත් වෙන්වීම නරක දෙයක් නෙමෙයි. හැබැයි වෙන්වීම ලස්සන එකක් වෙන්න ඕන. මිනිස්සු දෙන්නෙක්, ආදරවන්තයන් දෙන්නෙක් වෙන්වුනු තැනක ආදරය ඉතුරු වෙන්න ඕන.

හොඳම දේ වෙන්වීමට කල් ගන්න එක. එකට හිඳිමින් වෙන්වීම පුහුණු කරන එක. අනෙකාගේ රිදුම් තුවාලවලට සත්කාර කරන එක. සුවපත් මනසකින් වෙන්වෙන තැනට එකිනෙකා පර‍ිණත කරන එක. ඒක අමාරු දෙයක් නෙමෙයි. අපිට සියල්ල නිමා කරන්න තියෙන හදිස්සිය, එමෙ නැත්තං තෘප්තිය, සාමය අත්පත් කරගන්න තියෙන කඩිමුඩිය අපේ සම්බන්ධතාවල වැදගත්ම මොහොතවල් අපිට මගහරවනවා. වෙන්වීම කියන්නෙ ආදර සම්බන්ධයක වැදගත්ම මොහොතක්.

වෙන්වීමේ අයිතිය පිළිගැනීම, ඒකට ගරු කිරීම ආදරයක් ඇතුලෙ පුරුදු කළ යුතුම පුහුණවක්.

අපි නොදන්නවා වුනාට එකට පවතින සම්බන්ධයක් ඇතුලෙ කාලයත් එක්ක අපි එකිනෙකා මත වැඩෙන්න ගන්නවා. අපි අතර පෙනෙන නොපෙනෙන ගොඩක් දේවල් හුවමාරු වෙනවා. එකට බෙදාගන්න අවකාශය පවා ලොකුවට අපේ ජීවිත ඇතුලෙ දැනෙනවා. එක ඇඳක නිදාගන්නවා කියන්නෙ කොහෙත්ම ලිංගික කාර්යයට සීමා වුනු අත්දැකීමක් නෙමෙයි. ඒ ඇ‍‍ඳ‍ෙ අනිත් පැත්‍ත හිස්වීම දරාගන්න බැරි වෙනවා.

මේ දේවල් එකට පහු කරන්න තියෙනවා නම් ඒ වේදනාව රසයක්. සමහර විට අපි බෙදාගෙන කරන අපේ බැංකු වැඩ, බිල් ගෙවන වැඩ වගේ මතුපිට දේවල් වුනත් අපි හිතනවට වඩා ගැඹුරු තැන්වල සම්බන්ධ වෙලා තියෙනවා. මේ දේවල් හෙමින් නිදහස් කරන්න ඕන. ඒ නිදහස් කිරීම් එක්ක දැනෙන කම්පන සමනය කරන්න ඕන. ඒකට ඒ සම්බන්ධතාවය බෙදාගත්ත අනෙකා ඕන.

වෙන්වීමෙන් පස්සෙ එකිනෙකා සුවෙන් ගතවෙන තැනක් නිර්මාණය කරගන්න වෙනවා. තවදුරටත් සමහර දේවලට එකිනෙකාගේ උදව් උවමනා වෙනවා. රොමාන්තික ආදරය කෙලවර වුනත් මනුස්ස ආදරය, නැත්තං හොඳම යාළුවෙක් විදිහට ඉන්න එක ඉතුරු කරගැනීමයි වැදගත්. එතකොට අපි ලස්සන ආදරයක ගමනාන්තයට ළඟවුනා වෙනවා. අපිට ලැජ්ජාවක් නැතුව වෙන්වෙන්න පුළුවන්.

‘මචං, ඊට පස්සෙ එයාට තව කෙනෙක් හම්බුනා. අපි එකට මුනගැහුනා. එයා මාත් එක්ක ගොඩක් ඒ අලුත් යාළුවා ගැන කතා කළා. මටත් හිතුනා එයාට ඒ සම්බන්ධය හොඳ එකක් වෙයි කියල. ඒත් මට තාම කවුරුවත් නැති එක එයාට අවුලක්. ඉතින් නිතරම මට කතා කරනවා. වීකෙන්ඩ්ස්වල එ‍් ගොල්ලොන්ගෙ ගෙදර ලන්ච් හරි ඩිනර් හරි යන්න වෙනවමයි’

‘ඉතිං උඹට දුක නැද්ද?’ මං ඇහුවෙ ඒ හැඟීම තවත් යටට කොනිත්තන්න.

‘දුකක් තියෙනවා. ඒක විඳින්න ආස හිතෙන එකක්. මට එයාව අර ඉස්සර මුනගැහුනා වගේම ලස්සනට ආපහු පෙන්න අරන් තියෙනවා. මං හිතන්නෙ අපි එකට හිටියට වඩා මං දැන් එයාට ආදරෙයි. එයා වෙන කෙනෙක්ව කසාද බැඳලා ඉන්න එක එයාටවත් මටවත් ඒ බැඳලා ඉන්න යාළුවටවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපි ජීවිතේ අවුරුදු හතක් එකට බෙදාගත්ත මිනිස්සු දෙන්නෙක්නෙ මචං. කොයිතරම් දේවල් ගොඩක් අපි දෙන්නා අතරෙ තියෙනවද?’

ගියොත් තරහ වෙන බේබදු ආදරෙන් අපි එලියට එන්න ඕන. එකිනෙකා අතර බැඳීම් අසීමිත වෙන ආදරණීය පැවැත්මකට පරිණාමය වෙන්න ඕන. හැම සම්බන්ධයකම වෙන්වීමේ කාලය දීර්ඝ එකක් වෙන්න ඕන. අපේ ඉමෝෂනල් කැළඹීම් සමනය වෙලා, සිහියෙන් හැමදෙයක් ගැනම කතා කරලා අපි වෙන්න ඕන.

ආදරෙන් පටන්ගන්න වගේම ආදරෙන් ඉවරකරන්නත් පරිණත වෙන්න.