Category: Cult

  • ලිබරල් සහ ඉලිබරල්

    ලිබරල් සහ ඉලිබරල්

    ලිබරල්වාදය ගැන ලංකාවෙ කතාවෙන්නෙ අඩුවෙන්. වෙන ටිකත් වෙන්නෙ ගොඩක් වෙලාවට සෙක්ස් සම්බන්ධ ප්‍රශ්නයක් ආවම බනින්න. උඹලගෙ ලිබරල් නිදහස හරියන්නෙ නෑ කියන්න. අපි රටක් විදිහට ලිබරල් රාමුවක් ඇතුලෙ වැඩ කළාට ඒ වටිනාකම් ගැන දැනුමක් රටේ මිනිස්සුන්ට නෑ. ඒ රාමුව අපේ පොලොවට සම්බන්ද නෑ.  ඒක හින්ද ගොඩක් වෙලාවට එන්ජීඕකාරයො, විදේශීය කුමන්ත්‍රණ කියල ගුටිකන්න තමයි නියමිත. අනිත් රටවල බලපෑම හින්ද ආරක්ෂා කරනවා මිසක් ලිබරල් මූලධර්ම රටේ කාටවත් ඕන නෑ. හරියට බුදු දහම වගේමයි. නමට තිබුණට කාටවත් ඒකෙ හරයන්ගෙන් ඇති වැඩක් නෑ. බුදුන් දේශනා කළාට පෘතග්ජන ජීවිතේ ඕවා බෑ.

    මේක ලිබරල්වාදයේ ආධ්‍යාත්මික නිවහන කියල කියන ඇමරිකාවෙත් මෙහෙමයි. බටහිර ලිබරල් මතවාදය දැවැන්ත අභියෝගයකට ලක්වෙලා තියෙනවා. එක පැත්තකින් බලවත් වෙන චීනය ලිබරල් අදහස්වලට ඔලොක්කුව දානවා. අනිත් පැත්තෙන් රට ඇතුලෙම ජාතිකවාදී දක්ෂිනාංශිකයො සහ අන්තගාමී ලිබරල් වම මේ අදහස් යටපත් කරන්න සටන් කරනවා.

    මේ බටහිර ලිබරල්වාදයේ දෝෂය ගැන ඉකොනොමිස්ට් සඟරාවෙ හොඳ ලිපියක් තිබුන. බටහිර ශිෂ්ටාචාරය පදනම් වුනු නිදහස මූලික මේ අදහස් පද්ධතිය බිඳවැටෙයිද කියන කාරණය ඒකෙ සාකච්ඡා කරලා තිබුන. මේ සටහන පදනම් වෙන්නෙ ඒ සාකච්ඡාව මත.

    ලිබරල්වාදය කියන්නෙ මිනිස්සු අතර සංවාදයෙන් සහ විවිධ සමාජ ප්‍රතිසංස්කරණ හරහා මානව ප්‍රගතිය අත්පත් කරගන්න පුළුවන් කියල විශ්වාස කරන දර්ශනයක්. මෙතනදි ලිබරල්වාදීන් සමා‍ජයේ සංවර්ධන පිමි පනින්න කාරණා තුනක් පාවිච්චි කරනවා. පුද්ගල ගරුත්වය, ඒ කියන්නෙ පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම- රජයෙන් හෝ ඒකාධිකාරයන්ගෙන් බාධා නොවෙන විවෘත වෙළඳපොල – ඊළඟට දුර්වල ආන්ඩුව. නැත්නම් කුඩා වූ රාජ්‍ය බලපෑම. මේ කාරණා තුන හරහා තමයි ලිබරල්වාදය ලෝකෙ මේ අද අපි අත්පත්කරගෙන විඳින සුවිශාල දියුණුව නිර්මාණය කළේ. අවුරුදු 250ක් පුරා ලිබරල්වාදය විසින් ලෝකෙ පුරාම හිතාගන්න බැරි තරමෙ සංවර්ධනයක් ඇති කළා. ඒ වගේ මතවාදයක් මේ වගේ සරලව ලෝකෙන් තුරන් වෙලා යයි කියල හිතන්න අමාරුයි. නමුත් දරුණු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියන එක ඇත්තක්. මේක හරියටම අවුරුදු 100ට කලින් යුරෝපයේදි මුහුණ දුන්නා හා සමානම අර්බුදයක්. ඒ කාලෙ එක පැත්තකින් ‍බොල්ෂෙවික්වාදයයි, අනිත් පැත්තෙන් නාසිවාදයයි යුරෝපය තුලම වර්ධනය වෙද්දි බටහිර ලිබරල්වාදය මේ වගේම අවුලකට ගියා.

    චීනයට අනුව ආත්මාර්ථය මුල් කරගැනීම, සුඛපරම වීම, ඉතාම අස්ථාවර වීම හින්ද  ලිබරල්වාදය ඉවර වෙන්න යනවා. ඇමරිකාවෙ දක්ෂිනාංශිකයන්ට සහ වාමාංශිකයන්ට අනුව ප්‍රභූවාදයක් වූ ලිබරල්වාදය එහි අවසානය කරා යමින් ඉන්නවා. ඇමරිකාවෙ මේ තත්වය දරුනුයි. පසුගිය සතියක තවමත් පවතින ගබ්සා විරෝධී නීතිය ඉවත් කිරීම ඇමරිකානු සුප්‍රිම් උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනවා. ට්‍රම්ප්වාදී දකුනෙන් ලිබරල්වාදය හොඳටම බැටකනවා.

    ඇමරිකාවෙ තත්වයත් පුදුම විදිහට ලංකාවට සමානයි.  ජාතිකවාදී දක්ෂිනාංශිකයො, හරියට අපේ පොහොට්ටුව වගේම විද්‍යාව, නීතිය වගේ දේවල් පිලිගන්නෙ නෑ. තර්කයට, දත්ත වලට වඩා ගෝත්‍රික, සමූහ ඉමෝෂන්වලින් තමයි දුවන්නෙ.

    අනිත් පැත්තෙන් ලිබරල් කඳවුර ඇතුලෙම ඉන්නවා ලිබරල් නොවන වමක්. මේ වම බිහිවුනේ සමාජයෙ ඉහළ ස්ථරවල පවුල්වල දරුවන්ගෙන්. කැම්පස් ඇතුලෙන් මේක පටන් ගත්තෙ. මීඩියා, බිස්නස්, පොලිටික්ස් හැම තැනකම ඉහළම තැන්වලට බලපෑම් කරන්න මේ අයට සම්බන්ධතා තියෙනවා. ට්විටර් කොමියුනිටි එකේ වැඩිපුරම ඉන්නෙ මේ පිරිස. පොලිටිකල් කරෙක්ට්නස් තමයි ඒ ගොල්ලොන්ගෙ මෙහෙයුම.

    මේ අය සමාජය ඇතුලෙ අනාරක්ෂිතයි කියන හැඟීමක් නිර්මාණය කළා. සමාජයේ පීඩිතයන්ගේ අලුත් කුල ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ කියන්නෙ කලු කියන එකට වඩා මුස්ලිම් කියන එක පීඩිත කුල අතර ඉහලයි. සමහර විට කාන්තාවක් වීමට වඩා ආබාධිත වීම හෝ ට්‍රාන්ස්ජෙන්ඩර් වීම ඉහල කුලයක් වෙන්න පුළුවන්. සමාජයේ විඳින පීඩාව අනුව මේ බල ධූරාවලියෙ තැන ලැබෙනවා. මේ නිසා කතා කරන හැම කාන්තාවක්ම වගේ පොඩි කාලෙ තමන්ට අතවර සිද්දවුනු ඉතිහාසයක් නිර්මාණය කරගැනීමේ ට්‍රෙන්ඩ් එකක් පවා හැදුනා. එහෙම නැත්තං ඔයා අදාල නොවෙන කෙනෙක් වගේ. මේ කියන්නෙ සමාජයේ ඇත්තට අතවර සිද්ද නොවෙනවා කියන එක නෙමෙයි. ඒක විලාසිතාවක් වුනා කියන එක.

    සෝෂල් ජස්ටිස් වොරියර්ස් නැත්තං සමාජ යුක්ති‍යේ සටන්කරුවො බිහිවුනේ මේ විදිහට. මේ නව වමේ සමස්ත දේශපාලනයම පදනම් වුනේ  පීඩිතයා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම කියන පටු දෘෂ්ටියක. ඒ අය මතවාදී කන්‍යාභාවයක් විශ්වාස කළා. වෙනස් මත දරන අය එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නෙ නෑ. සාකච්ඡාව විශ්වාස කරන්නෙ නෑ. වෙනස් අදහසක් දරන අයට ඒ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිලිගන්නෙ නෑ. 18 වෙනි සියවසේ ලිබරල්වාදය එන්න කලින් යුරෝපයේ තිබුනු ආගමික මුහුණුවරමයි එහෙම්පිටින්ම.

    ප්‍රශ්නෙ තියෙන්නෙ සම්භාව්‍ය ලිබරල්වාදයෙත් මේ ලිබරල් නොවන ප්‍රගතිශීලී වමේත් සමාන තැන් තියෙන එක. මේ දෙකේම අවසාන පරමාර්ථයන් සමානයි. මූලික වෙනස තියෙන්නෙ ලිබරල්වාදීන් වර්තමානය පිළිගන්න එක. අනාගත අරමුණක් වෙනුවෙන් ඒක පාවා නොදෙන එක.  උදා විදිහට ජාතිය හෝ ලිංගය පදනම් කර  නොගන සියල්ලන්ට සමාන අවස්ථා ලැබිය යුතුයි කියන එක දෙගොල්ලොම පිලිගන්නවා. ඒ වගේම වෙනස්වීමේ අවශ්‍යතාවය විශ්වාස කරනවා. අධිකාරීන්ගේ බලය අවිශ්වාස කරනවා.

    ඒත් මේ තත්වයන් ළඟා කරගැනීමට යෝජනා කරන මාර්ගය වෙනස්. සම්භාව්‍ය ලිබරල්වාදීන් ප්‍රගතිය විශ්වාස කළාට ප්‍රගතිය යනු මෙසේ විය යුතුයි කියල අදහසක නෑ. ඒක අහම්බයක් විදිහටයි දකින්නෙ. පහළ සිට ඉහළටම සිදුවන ක්‍රියාකාරීත්වයන් රැසක ප්‍රතිඵලයක් විදිහටයි ප්‍රගතිය දකින්නෙ. ඒ සඳහා අවශ්‍ය තත්වයන් සම්පාදනය කිරීම විතරයි ලිබරල් දේශපාලනයෙදි කරන්නෙ. උදා විදිහට බලය කේන්ද්‍රගත නොවී හැකිතරම් බෙදී යාමට සැලැස්වීම, සමූහය හා සමානවම පුද්ගලයාටද ප්‍රමුඛත්වය දීම වගේ දේවල්. ලිබරල්වාදය ඇතුලට රිංගගත්ත ලිබරල් නොවන වම කරන්නෙ බලය තමන් වෙත කේන්ද්‍රගත කරගැනීමක්.

    ලිබරල් නොවන වම හරියටම දන්නවා මේ ප්‍රගතිය කෙසේ විය යුතුද කියන එක. ඒ අයට අනුව ප්‍රගතිය කරා ගමන් කළ හැක්කේ සියලු වාර්ගික, ලිංගික ධුරාවලීන් බිඳදැමීමෙන් පස්සෙයි.

    ලිබරල් පිලිගැනීම වෙන්නෙ සාධාරණ කොන්දේසි මත එකිනෙකා අතර ඇතිවන තරගයෙන් සමාජය ඉස්සරහට යනවා කියන එක. ඒ සඳහා මොනොපොලි නැතිකිරීම, ගිල්ඩ්ස් හදන එක, ටැක්ස් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන වවුචර් ලබාදීම ව‍ගේ දේවල් ක්‍රියාත්මක කරනවා.

    මේ නව වාම ප්‍රගතිශීලීන් නිදහස් ගනුදෙනු කියන එක ගැන විශ්වාස කරන්නෙ නෑ. ඒවා පවතින තත්වය ස්ථාපිත කරන උපායන් විදිහටයි දකින්නෙ. ඒ වෙනුවට බලෙන් සමානත්වයක් ආරෝපණය කරන්න උත්සාහ කරනවා. යුක්තිය පසිඳලීමේ කාර්යය තමන්වෙත පවරාගන්නවා. උදා විදිහට වර්ණය පදනම් කර නොගන්නා විභාගයකින් සමත් වෙන ශිෂ්‍ය පිරිස යම් හෙයකින් වර්ණ භේදය දැක්වෙන ප්‍රතිඵලයක් නම් මේ ප්‍රගතිශීලීන් කියන්නෙ පරීක්ෂණය වර්ණභේදවාදීයි කියල.

    දැන් මෙතනදි වර්ණභේදවාදය නැති කිරීම කියන අරමුණ හොඳ එකක්. ඒත් ඒ හරහා සමස්ත පරීක්ෂණය විනිශ්චය කිරීම පටු එළඹුමක්. වර්ණයට අමතර තවත් බොහෝ කාරණාවලින් සමත් අසමත්බව තීරණය කරනවා වෙන්න පුළුවන්.

    වර්ණභේදවාදී නොවෙන ප්‍රතිපත්ති ඇති කරන එක වැදගත්. ඒත් ඒකෙන් පීඩාවට පත් සුදු ජාතිකයන්ට අසාධාරණයක් නොවීමත් වැදගත්. අනිත් අතට කලු ජාතිකයන්ට තමන්ගේ දක්ෂතා හඳුනාගැනීමට තියෙන ඉඩකඩ අහිමි වීමත් අවුලක්. කලුවීම නිසාම යමකට කෙනෙක් සුදුසු වෙනවා නම් එතන තියෙනවා ගැටලුවක්.

    පිරිස්වලට පමණක් නෙමෙයි පුද්ගලයාටත් සාධාරණව සලකන්න ඕන කියන එකයි ලිබරල් අදහස. සමාජය කියන්නෙ පුද්ගයන්ගෙන් හැදුනු එකතුවක් වන අතර පුද්ගලයා දියුණු වෙද්දි සමාජය දියුණු වෙනවා.

    සමාජයක් ගත්තම ඒක අරමුණු ගොඩක්. ආර්ථිකය, සුබසාධනය, අපරාධ, පරිසරය, ජාතික ආරක්ෂාව වගේ කාරණා තොගයක් එතන තියෙනවා. මේ අරමුණු එක්ක ගැටගැහුනු මිනිස්සු ඉන්නවා. එතනදි ප්‍රතිපත්තියක් හුදෙක්ම යම් පිරිසකට වාසිදායක වීම හෝ නොවීම මත පමණක් විනිශ්චය කරන එක දරුණු වරදක් වෙනවා.

    මේ නිසා ලිබරල්වාදීන් සංවාද කරනවා. ප්‍රමුඛතාවලට උඩට මතුවෙන්න ඉඩහරිනවා. හැම ආකාරයකින්ම බහුත්වවාදී සමාජයක් පිලිගන්නවා. චන්දවලින් දේවල් වෙනස් කරනවා.

    ඉලිබර‍ලයො, ඒ කියන්නෙ මේ ලිබරල් නොවන වාම ප්‍රගතිශීලීන් අදහස් වෙළඳපොල පිලිගන්නෙ නෑ. යමක් ගැන සාක්ෂි පිලිගන්නෙ නෑ. සංවාදයන් බැහැර කරනවා. ඒ අයට අනුව ඒවා එලීට් වැඩ.

    ලිබරල්වාදී විශ්වාසය වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවට මේ ප්‍රගතිශීලීන් විශ්වාස කරන්නෙ වේදිකාව තරමක් ඇලව පිහිටන්න ඕන කියලයි. ඒ කියන්නෙ පීඩිත කුලයට වාසි වෙන විදිහට. පීඩිතයන්ට එරෙහිව කිසි අදහසක් ප්‍රකාශ වෙන්න බෑ. එහෙම වුනොත් සමාජ යුක්ති විරුවන් විසින් දඬුවම් කරනවා.

    මිල්ටන් ෆ්‍රීමන් කාලෙකට කලින් මේක ගැන ඉතාම ලස්සන කතාවක් කියනවා. යම් සමාජයක් නිදහසට වඩා ඉස්සරහින් සමානත්වය ආරක්ෂා කරන්න යනවද, ඒ සමාජයට ඒ දෙකම නැති වෙනවා කියල.

    මේ නව වාම ප්‍රගතිශීලීන්ගේ තියෙන අපරිණත බව වෙන්නෙ  පීඩිතයන් ගලවා ගැනීමේ එකම ආකාරය ඔවුන් සතුයි කියල හිතන එක. මේ හරහා ඔවුන් දක්ෂිනාංශිකයන් වගේම පුද්ගලයා පීඩාවට ලක් කරනවා.  අනාගතයේ පොරොන්දු දේශයක් වෙනුවෙන් දැන් වැරදි මාර්ගය  තෝරාගන්නවා. ගමනට වඩා ගමනාන්තයට මුල්තැන දෙනවා. වර්තමානය කැප කරනවා.

    ඒ අය පුද්ගලයා වෙනු‍වට සමූහය මූලික කරගන්නවා.

    ජාතිකවාදීන් විශ්වාස කරන ශක්තිමත් රාජ්‍ය කියන්නෙ වික්ටර් ඕබන්ගේ හංගේරියාව, පුටින්ගෙ රුසියාව වගේ බලය පිළිබඳ ඉතාම නරක නිදර්ශන. අනිත් පැත්තෙන් කියුබාව වෙනිසියුලාව වගේ රටවල් කියන්නෙ අවසානයේ උදාවන යහපතක් අරමුණු කරගෙන වැරදි මාර්ගයන් තෝරාගැනීම ගැන හොඳම නිදර්ශන.

    ජාතිකවාදීන් කරන්නෙ දේශප්‍රේමය කියන එක දාලා සමාජය බෙදන එක. අනිත් පැත්තෙන් ප්‍රගතිශීලින් කරන්නෙ අලුත් පීඩිත කුල ධුරාවලියක් හඳුන්වාදීලා සමාජය කඩන එක. අවසානයේ හමුවන යුක්තිය කො‍හොම වුනත් මේකෙන් සමාජ ගැටුම් නම් උපරිම කරනවා.

    මේ දෙපිරිසම එකිනෙකා මත යැපෙනවා. දෙගොල්ලොන්ගෙම හතුරා වෙන්නෙ ලිබරල් නිදහස. මේ දෙපිරිසම විශ්වාස කරන්නෙ තමන්ගේ පාර්ශ්වයේ කෙනෙක් විවේචනය කිරීම ද්‍රෝහීවීමක් කියල. මේ හින්ද වෙන්නෙ ලිබරල්වාදයේ අවශ්‍යම කොන්දේසිය වන සංවාදය සංකෝචනය වෙන එක. එකිනෙකා ආරක්ෂා කරගැනීමක් මිස විවෘත අදහස් මුනගැහීමක් සිද්ද වෙන්නෙ නෑ. සමාජය ඉස්සරහට යාමක් නෑ.

    අපි සරලව ලිබරල් කියල කිව්වට තේරුම්ගන්න ඕන කාරණයක් තමයි ලිබරල්වාදය කියන්නෙ අපේ මානව ස්වභාවයට ප්‍රතිවිරුද්ධ දහමක් කියන එක. අපි අපේ විරුද්ධවාදියාගේ කතා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කතා කරන දේට තමන් එකඟ නැති වුනත්, ඒකෙන් තමන්ට හානියක් වුනත්, ඒ අයිතිය ආරක්ෂා කරන්න ඕන.  ඒ වගේම හැමවෙලාවකම අපි අපිව සැකකරන්න ඕන. අපෙන්ම හැරිලා ප්‍රශ්න කරන්න ඕන. අපි නිවැරදියි කියන අදහස ලිබරල් එකක් නෙමෙයි. පවතින ව්‍යාපාර නිර්මාණාත්මකව අභියෝගවලට ලක්වෙන්න ඉඩ දෙන්න ඕන. ඒවා ආරක්ෂා කරන ප්‍රතිපත්ති හදන එක නෙමෙයි කරන්න ඕන. ඔයාගෙ පවුලෙම අයට වුනත් දක්ෂතාවයෙන් ඉස්සරහට එන්න ඉඩදෙන්න ඕන. තමන්ගෙ සම්බන්ධතාවලින් උඩට ගන්න බැරි වෙන්න ඕන. තමන්ගෙ විරුද්ධවාදියාගේ වුනත් ජයග්‍රහණය බාරගන්න ඕන. ඒකෙන් රටටම කෙළවෙලා යන බව දැනදැනම වුනත් පරාජය බාරගෙන ඉඩදෙන්න ඕන.

    මේ විදිහට බලද්දි පේන දෙයක් තමයි ලිබරල්වාදියෙක් වෙන එක ලේසි නෑ කියන එක. ඒක පුද්ගලයා තුල ඇතිවෙන සිතීමේ වෙනසක් එක්ක සම්බන්ධයි. ඒක තමන්ගෙන් එලියෙ පවතින දේශපාලනයක් නෙමෙයි, තමන්වත් ඇතුලෙන් වෙනස් කරන දහමක්.

    සෝවියට් රුසියාව බිඳවැටුන‍ට පස්සෙ ලිබරල්වාදයට අභියෝගයක් නැති වුනා. ඊටපස්සෙ ඇමරිකානු ලිබරල් එලීට් එකට ඒකෙ තිබුනු ඉතාම වැදගත් ගුණයන් වන මානවවාදී බවයි, තමන්ව සැක කිරීම කියන එකයි මගහැරුනා. සියල්ල නිවැරදියි කියල ඒ අය හිතුවා. ඒ ඉහල ඉන්න අයටම වාසි වෙන්න සිස්ටම් හැදුවා. සුදු- වැඩකරන පංතියේ මිනිස්සුන්ගේ ගරුත්වය නොතකා හැරියා. ඒ අය තුල හීනමානයක් ඇති කළා.

    මේක තේරුම් ගන්න හොඳම තැනක් තමයි අපේ මෛත්‍රිපාල සහ රනිල් අතර ගැටුම. මෛත්‍රිපාලට රනිල්ව පෙන්නන්න බැරි වෙන්නෙ රනිල් විසින් තමන්ගේ ඉහල පාංතිකබව හරහා ඇතිකරපු හීනමානය නිසයි. ඒ හීනමානයට පුළුවන් වුනා රටම ගිනිතියන්න. රනිල් ලංකාවෙ කළේ මේ ඇමරිකානු ලිබරල් එලීටය එහේ කරපු වරදමයි.

    මේ කාලෙ ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වුනා. ඉතිහාසය පුරා එන වර්ගවාදය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් තිබුනෙ නෑ. අඩුම තරමෙ ඒ ප්‍රශ්න හෙමින් විසඳ‍ෙමින් තියෙනවා කියන විශ්වාසයවත් ජනතාව මත ගොඩනගන්න පුළුවන් වුනේ නෑ. චීනය ඉතා වේගයෙන් ඉස්සරහට ආවා. වොෂින්ටනය බිඳවැටුනා.

    ලිබරල්වාදීන් මේ අවදානම සුලුවෙන් තකන්න නරකයි. මේ වෙනස්කම් මැද ලිබරල්වාදයේ සමහර පිරිස් දකුනට තල්ලු වුනු අතර අතර අනෙක් පිරිස වමට තල්ලු වුනා. ලිබරල්වාදී ප්‍රවේශය වෙන්නෙම මිනිස්සු අන්තයන්ට තල්ලුවීමට එරෙහිව වැඩකරන එක. ධ්‍රැවීකරණය වලක්වන එක. ඕනෑම ආකාරයක විවිධත්වයක් එකට පැවතීම පිලිගන්නෙ ලිබරල්වාදීන් විතරයි. ඒක ඔවුන්ට අනුව ශක්තියක්.

    ලිබරල්  ප්‍රතිපත්ති සකස් කරන්නෙ මිනිස්සුන්ගෙ නිර්මාණශීලීත්වයට  විවෘත ඉඩක් තියලයි. අපි විසින් දැනට ගන්නා තීරණයට වඩා මිනිස් ක්‍රියාකාරීත්වයේදී වඩා සාධනීය, පිමි පනින තත්වයන් ඇතිවෙන්න පුළුවන් කියන එකයි ඒ විශ්වාසය.

    ඉතිං ලිබරල් සටන් නැවත පටන් ගන්න ඕන. පුද්ගල නිදහස අහිමි කරන පටු දෘෂ්ටිවාදයන්ට ලෝකය පාලනය කරන්න ඉඩහරිනවා වෙනුවට ඒ නිදහස ආරක්ෂා කරන්න පෙනී සිටින්න ඕන. වාරණයන්ට සීමාවන්ට එරෙහිව සංවාදය ආරක්ෂා කරන්න ඕන.

    ඇමරිකාවෙ විතරක් නෙමෙයි ලංකාවෙත් සැබෑ දේශප්‍රේමය කියන්නෙ ඉලිබරල්  අගාධයෙන් එපිටට සමාජය තල්ලු කරන එකයි.

  • ජින්ජර්ස්නැප්ස්

    ජින්ජර්ස්නැප්ස්

    ලංකාවෙ ගොඩක් අය ඒ ගොල්ලොන්ගෙ ළමා කාලෙට යන්න ආසාවෙන් පෙලෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලෙට. ඉස්කෝලෙ දවස්වලට. ඒ කාලෙ මාරයි කියනවා.

    මට කවදාවත් මගේ නව යොවුන් කාලෙ මාර වුනේ නෑ. ඒක මහ චාටර්ම කාලයක්. ඉස්කෝලෙ යනවා කියන්නෙ මරනවා වගේ වැඩක්. මං හිතන්නෙ ඉහල මධ්‍යම පංතියක ඉපදිලා ලංකාවෙ මාස් සංස්කෘතියෙ බලපෑමෙන් නිදහස් වුන එකෙකුට ඇරෙන්න අනිත් හැමෝටම පොදු යතාර්ථය මේක. ඉස්කෝලවල ගුරුවරු කියන්නෙ මාර ගොං මිනිස්සු පිරිසක්. අපි ඉස්කෝලෙ යන කාලෙ හිටියා බඬේ බුරිය මිරිකලා ඒකෙන් උඩට උස්සන ගෝරිල්ලෙක් වගේ සර් කෙනෙක්. මිනිහා ළමයින්ට කතා කළේ ගඞ්ඩා කියල. තනිකර මානසික රෝගීන්. තව ටීචර් කෙනෙක් මං එකේ පංතියෙදි කිව්වා මං අඳින චිත‍්‍ර කැතයි කියල. එදා ඉඳන් මට චිත‍්‍ර අඳින්න බැරි වුනා. කිසිම පරිණත දැක්මක් තිබුනු කිසිම ගුරුවරයෙක් මට මගේ ඉස්කෝලෙ කාලෙ මුනගැහිලා නෑ.

    මේ ළගදි ආනන්දෙ ඉන්න කාලෙ ගෝටට සිංහල උගන්නපු ටීචර් කෙනෙක් ගෝටා ගැන චරිත සහතික දෙනවා. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් ගුරු මනසක තරම. හූ ඉස් ලසන්ත කියල අහපු, ජාතිවාදය වපුරපු, මිනීමැරුම්, මිනිමෝරුන් ආදී ජන විශ්වාසයන්ට බඳුන්වුනු දුෂ්ටයෙක් තමයි ඒ සිංහල ඉගැන්වීමෙන් නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ වගේම ඒ දුෂ්ටත්වය ගැන කිසිදු සමාජ අවබෝධයක් තාමත් ඒ ටීචර්ට නෑ. සිංහල කියන්නෙ භාෂාවක් නෙමෙයි. ඒක සභ්‍යත්වයක්. තමන්ගෙ මතයට විරුද්ධවාදීන් ඝාතනය කරන මානසිකත්වයක් නම් ඒ භාෂාව හරහා නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ භාෂා ඉගැන්වීමෙ තියෙනවා බරපතල ප‍්‍රශ්නයක්.

    නව යොවුන් වයසෙදි මට මුනගැහුන එකම ගුරුවරයා වුනේ සන්නස්ගල. මං හිතන්නෙ ලංකාවෙ නව යොවුන් මනස පුබුදන විප්ලවය තනියම කලේ සන්නා. ඒ කාලෙ ඉස්කෝලෙ ගොං සිංහල ඉගෙනගෙන සන්නාගෙන් සිංහල ඉගෙන ගන්න ගත්තම අපේ ජීවිත වෙනස් වෙන්න ගත්තා. අපි සිංහල වෙනුවට සංස්කෘතිය හොයන්න පටන් ගත්තා. ශිෂ්ටත්වය, නිදහස ජීවිතය කියවන්න උනන්දු වුනා. අපි දේශපාලනික වුනා.

    කලිසම්වල දිග මනින, සපත්තු පොලිෂ් කොන්ඩෙ ගාලා කොල්ලො ස්ටයිල් කරන එක මර්දනය කරන්න හදන, කොන්ඩ කපන, වද දෙන පාසැල් සංස්කෘතියක් තමයි ලංකාවෙ තියෙන්නෙ. හැමදාම ගිනි අව්වෙ හිටගෙන ගාතා කියනවා මෝඩ කතා අහනවා. ඉස්කෝලෙට එන ළමයි විතරක් නෙමෙයි අම්මලාවත් ඇඳුම් සංවර කිරීම හරහා ශික්ෂනය කරන්න හදනවා. මට තාම තේරුම් ගන්න බෑ මිනිස්සු කොහොමද මේ කාලෙට කැමති වෙන්නෙ කියල.

    ඒ කාලෙ ආතල් කියල කියන්නෙත් හරිම ස්ටීරියො ටිපිකල් ලොන්ත ආතල් ටිකක්. ගෑනු ඉස්කෝලෙකට තාප්පෙන් පනින එක, අපේ කාලෙ නං ඉස්කෝලෙ කට් කරලා ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම් එකක් බලන්න යන එක, බිග්මැච් පැරඞ් එකක හැට් කලෙක්ෂන් දදා යන එක, ස්කූල් බස් එකේ ෆුට් බෝඞ් එකේ එල්ලිලා කෑ ගගහා යන එක, ඔන්න ඔය වගේ කිසි තේරුමක් නැති ආතල් ටිකක් කොලූ ආතල් විදිහට සම්මත වෙලා තිබුන.

    මේක බටහිර රටක තත්වෙත් එක්ක සංසන්දනය කලොත් හරියටම පේනවා අපි ඉන්නෙ කොතනද කියල. නව යොවුන් වයස කියන්නෙ ලිංගික මහා පිපිරුමක වයස. ඒක ළමා වයසෙන් වෙන් වෙන කාරනය ඒකයි. ඊයෙ අනුරාධාගෙ නව යොවුන් පොත් එලිදැක්වීමෙදි අමරකීර්ති මේ වයස් කාන්ඩ දෙකම එකට අරගෙන කතා කළා. ඒත් මගේ අදහස මේක එකට ගැනීමම නව යොවුනන් ළමයින් ලෙස සැලකීමේ අසාධාරනයට ලක් කිරීමක් කියල.

    බටහිර රටවල යෞවනයො එක එක විලාසිතා කරන්න, මත් ද්‍රව්‍ය අත්හදා බලන්න, අලූත් අලූත් මියුසික් හොයන්න, කෙල්ලො එක්ක යාලූවෙන්න, බරක් පතලක් බැම්මක් වගකීමක් නැතුව ලිංගිකත්වය අත්හදා බලන්න නිදහස ලබන වයසක් මේ වයස. ගෙවල්වල කාමරවල පවා පෙම්වතුන් පෙම්වතියන් මුනගැහෙන සංස්කෘතියක් උන්ට තියෙනවා. අපේ නව යොවුන් සංස්කෘතිය කියන්නෙ මේ සියලූ දේවල් සිර කිරීම, නරක විදිහට ගැනීම, තහනම් කිරීම හරහා ගොඩනැගුන එකක්. වැඩිහිටියො තමන්ගේ බල ආධිපත්‍යය පෙන්වන කාලයක්.

    උඹලා හම්බුකරන් කන කාලෙකදි කරපන්..
    මේ වහල යට ඒවා බෑ..

    මේ තමයි අපේ නව යෞවනයන්ට ලැබෙන නිදහස. උපරිම වෑයම උන්ව ළමයි විදිහට පවත්වාගෙන යන්න. කොල්ලෙක් කෙල්ලෙක් යාලූවෙන්නෙ නෑ. ඒක මාර ප‍්‍රශ්නයක්. ඉතිං අපේ කාලෙ අපි සෙක්ස් කලේ කොල්ලොත් එක්කමයි. මාරුවෙන් මාරුවට. කෙල්ලෙක් හොයාගැනීම බරපතල ප‍්‍රශ්නයක්. හොයාගත්තා මදිවට සෙක්ස් කරනවා කියන එක හීනයක්.

    මේ කාලෙට ආපහු යන්න හිතෙන එක මට හිතෙන්නෙ වයස ගැන ප‍්‍රශ්නයක්. අපි නාකි වෙද්දි අපිට ආපහු යන්න  ඕන වෙනවා. කවදාවත් නව යොවුනෙක් ඒ වයසෙ ඉන්න කැමති වෙන්නෙ නෑ. උන් බලන් ඉන්නෙ ලොකු වෙන්න. තව නිදහස අත්පත් කරගන්න. ආශාවන් තෘප්තිමත් කරන්න. මං තාම බලන් ඉන්නෙ ලොකු වෙන්න. කිසිම දවසක වැඩිහිටියෙක් කියන හැගීම මට දැනිලා නෑ. මං හිතන්නෙ ඒක ඇන්දිල්ලක්.

    නව යොවුන් කාලෙදි ජොබ් එකක්, කසාදයක්, ගෙයක්, පවුලක් වගේ දේවල්වලට අන්දනවා වගේම ඊට පස්සෙ තාත්තෙක්, ලොකු අයියෙක්/ අක්කෙක්, වගකීමක් වගේ දේවල්වලට අන්දනවා. ඒවා හදා නිම කරපු ආකෘති. අපි ඒවට ඇඳලා වැඩිහිටියො කියල හිතනවා. මං හිතෙන්නෙ ජීවිතය කියන්නෙ තව තවත් ලොකු වෙන දෙයක් කියල. ඒක පොඩි වෙන හෝ ආපහු හැරෙන දෙයක් නෙමෙයි.

    ලංකාවෙ නව යොවුන් සාහිත්‍යය කියන එක අන්තිම කසිකබල්. අනිත් සාහිත්‍යය හොඳයි කියනවා නෙමෙයි. ඒත් මාර්ටින්, ඉලංගරත්න, කුලසේන ෆොන්සේකා වගේ ලේඛකයන් ලියපු යල්පැන ගිය, ඒ වයසෙ අවශ්‍යම සාධකය වුනු සෙක්ෂුවල් ඇඞ්වෙන්චර් කියන එක මගඇරපු කොපි සාහිත්‍යයක් ඒක. කරුනාසේන ජයලත් ඇති කරපු රැුල්ල විතරයි නව යොවුන් නාඩිය ටිකක් හරි අල්ලපු තැන.

    මේ විදිහට වැඩෙන නව යොවුනා ඊට පස්සෙ ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්, ගෙම්බෙක්, ආදි ශිෂ්‍යයෙක් වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.

    නව යොවුන් වයස ගැන මට ආපහු හිතන්න පෙළඹුවෙ අනුරාධා පරිවර්තනය කරපු පොතක්. ඒ කැතී කැසිඩි කියන ඉංග‍්‍රීසි ලේඛිකාව 2008දි ලියන ජින්ජර්ස්නැප්ස් නවකතාව. මේ වයස අළලා නිර්මාණය වෙන සාහිත්‍ය, සිනමා ජොන්රා එකට කියන්නෙ කමින්ග් ඔෆ් ඒජ් කියල. මේ කමින්ග් ඔෆ් ඒජ් රැුල්ලෙ තියෙනවා අමුතු වැඩක්. ඒවා ගොඩක් වෙලාවට රෙට්රො. සමහර ඒවා බලන්නෙත් ඒ වයසෙ අය නෙමෙයි. උදා විදිහට මේ කාලෙ ඉතා ජනප‍්‍රිය ස්ටේ‍්‍රන්ජර් තින්ග්ස් කියන්නෙ මරු කමින්ග් ඔෆ් ඒජ් වැඩක්. ඒ කතාව පුරාම දකින්න ලැබෙන්නෙ 80 දශකෙ දේවල්. ඒ කියන්නෙ අපේ පරම්පරාවෙ නව යොවුන් වයසෙ අත්දැකීම්. මේ වැඬේ කරන ඩෆ් බ‍්‍රදර්ස් කියන නිවුන්නු දෙන්නා 80දි ඉපදිලාවත් නෑ. ඒ ගොල්ලො ඉපදෙන්නෙ අනූගනං වල. ඒත් කමින්ග් ඔෆ් ඒජ් අත්දැකීමක් විදිහට නිර්මාණය වෙන්නෙ ආපහු අසූව.

    මේක සෞන්දර්ය කාරණයක් වුනත් මේ ජොන්රා එකේ පොදු ගුනයක්. යම් විදිහක නොස්තැල්ජියාවකට මේ කලාපයේ නිර්මාණ ඇබ්බැහිවෙලා තියෙනවා. මං කැසිඩිගෙ ජින්ජර්ස්නැප්ස්වලට කැමති හේතුවත් ඒකයි. ඒක අතීතය වෙනුවට පවතින මොහොතෙ යෞවනය එක්ක ගනුදෙනු කරනවා. විලාසිතා කියන එක ජීවිතේ ලොකු කොටසක් වුනු, ආදරය, ලිංගිකත්වය ප‍්‍රහර්ෂය වුනු, දඩබ්බර යෞවනය ගැන කැසිඩි අතිශය සරල විදිහට චමත්කාර භාෂාවකින් කතා කරනවා.

    චමත්කාර භාෂාවක් කියන්නෙ මුල මැද අග ගැලපුන හික්මවන ලද වාක්‍යවලින් සහ භාෂාවෙන් නිමවුනු කියන අදහස නෙමෙයි. ඒ වයසෙ උන්ට සෙට්වෙන, යන එන ගමන මැද වුනත් කියවන්න හිතෙන, හරිම තරුන, බිඳුනු භාෂාවක්. ඒක අනුරාධා අතින් පරිවර්තනයෙදි යම් පමනකට හික්මවලා තියෙනවා. මං හිතන්නෙ ඒක අසාධාරණයක්. ඒත් කැසිඩිගෙ ඒ සජීවී නහරය පරිවර්තනය පුරාත් නොමැරී ජීවත්වෙනවා. ඒක වාසනාවක්.

    කමින්ග් ඔෆ් ඒජ් කියන වචනෙම තියෙනවා තරමක අවුල් තේරුමක්. මේ ජොන්රා එකට යෙදෙන තව නමක් තමයි බිල්ඩුන්ග්රෝමන් කියන්නෙ. ඒක ජර්මානු භාෂාවෙන් ආපු එකක්. මේකෙ තියෙනවා අදහසක් වැඩිහිටි විය දක්වා වර්ධනය වෙනවා වගේ එකක්. යම් අපරිණත අවධියක ඉඳන් පරිණතබවක් අත්පත් කරගන්නවා වගේ අදහසක්. මේ නිර්මාණ බහුතරයකගෙ තියෙන නැරටිව් එකත් මේක. යම් යෞවනයෙක් තමන්ගේ ජීවිතේ නොයෙක් අභියෝගවල මුහුනදීලා අවසානයේ අවබෝධය සහ ජයග‍්‍රහනය ලබනවා. උදා විදිහට සමාජයෙන් ප‍්‍රතික්‍ෂේප වෙලා කොන්වෙලා ඉන්න කෙනෙක් වුනත් අන්තිමට තමන් පිළිබඳ අවබෝධයක් ලැබීම තුලින් සමාජයට වඩා හොඳින් බද්ධ වෙනවා. මේක තමයි මේ ප‍්‍රබන්ධවල එන පොසිටිව් එන්ඞ් එක.

    අපිට ඉතාම කිට්ටු නැරටිව් එකකින් මේක තේරුම් ගත්තොත් සිද්ධාර්ත චරිතය ලියවෙන්නෙත් මේ කමින්ග් ඔෆ් ඒජ් ෆෝමැට් එකට. ජීවිතේ කියන්නෙ මොකක්ද කියල අවුලෙන් අවුලට පත්වෙන සිද්ධාර්ත රජකම, තාත්තාකම පවා අත්ඇරලා ගිහින් අවුරුදු ගානක් දුක්විඳලා එක දවසක, එකපාරට සියල්ල අවබෝධ කරගන්නවා. ඊට පස්සෙ මේ ලෝකෙ විතරක් නෙමෙයි අනිත් ලෝකවල දෙවි බඹුන් පවා සාදුකාර දෙනවා. මේක තමයි නව යොවුන් ප‍්‍රබන්ධ ආකෘතිය. මේ අවබෝධය ලියවිලා තියෙන්නෙ ඒ විදිහට.

    මේක නූතන කමින්ග් ඔෆ් ඒජ් ප‍්‍රබන්ධ අතරට එන්නෙ ඇමරිකානු බලපෑමෙන්. අතීතයේ සිදුවූ කිසි දේකින් වැඩක් නැත, තමන්ගේ හැකියාවෙන් දක්ෂකමෙන් අනාගතය ජයගැනීම  ඕන කෙනෙකුට කළ හැකිය කියන එක තමයි ඇමරිකානු මිත් එක. මේ විදිහට ජීවිතය ජයගැනීම සිද්ද වෙන්නෙ සමාජයේ පිලිගැනීමට ලක්වීමෙන්. මේ ඇමරිකානු මිත්‍යාව බි‍්‍රතාන්‍ය සහ ජර්මානු නව යොවුන් සාහිත්‍යයට බලපාලා තියෙනවා. මේ පදනමට කියනවා ක්ලැසිෆිකේෂන් ප‍්‍රින්සිපල් කියල. ඒ අනුව චරිතය හරිම ක්ලීන් නිශ්චිත අවසානයකට ළගාවෙනවා. තමන්ගේ ජීවිතය ගැන හැගුම්මය පාපොච්චාරනය කරමින් සමාජයට එකතු වෙනවා. ඒක තමයි ජීවිතය ජයගැනීම කියන්නෙ.

    ප‍්‍රංශය විතරක් මෙතනදි වෙනස් මාවතක් ගන්නවා. ඒ යොවුන් සාහිත්‍යය පදනම්වෙන්නෙ ට‍්‍රාන්ස්ෆොමටිව් පි‍්‍රන්සිපල් කියල හැඳින්විය හැකි පදනමක. ඒකෙදි හැගුම්මය පාපොච්චාරනයේ ඇති වැඩක් නෑ. නැවත සමාජයට එකතු වීමෙන් ලැබෙන නිශ්චිත ජයග‍්‍රහන නෑ. ඒ වෙනුවට චරිතය තමන් ඇතුලෙන් සිද්ද වෙන පරිවර්තන ක‍්‍රියාවලියක අත්දැකීමක් ලබනවා. ඒ පරිවර්තනයෙන් සමාජයට හෝ අන්අයට හෝ සිද්දවෙන හොඳක් නරකක් නෑ. පවතින කන්සවේටිව් අදහසක ගිලූනු යොවුන් සාහිත්‍යයට වඩා ඒක සාධනීය එළඹුමක්.

    මේ ජොන්රා එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ සෙල්ෆ් රියලයිසේෂන් එකක් වගේ අත්දැකීමක් එක්ක. තමන් යනු කවුද, තමන්ගේ සුවිශේෂතා මොනවද වගේ දේවල් ගැන ප‍්‍රධාන චරිතය යම් විදිහක අවබෝධයකට පත්වෙනවා. මේක තමයි පරිණතවීම කියන්නෙ.

    ඒක එක්තරා විදිහක මිත්‍යාවක්. අපිට එහෙම ඇත්ත සෙල්ෆ් එකක් තියෙනවද? එහෙම නිශ්චිත මමක් ඉන්නවද? අපි ඒ ඒ අවස්තා අනුව නිර්මාණය වෙන මමවල් ගානක එකතුවක් නෙමෙයිද? අපේ මම කියන්නෙත් වෙනස්වීම් සන්තතියක එක අවස්තාවක් නෙමෙයිද? මේ ප‍්‍රධාන මනෝවිද්‍යාත්මක යතාර්ථය බොහෝවිට කමින්ග් ඔෆ් ඒජ් ප‍්‍රබන්ධ වලදි මගහැරෙනවා.

    ඒත් කැසිඩි තමන්ගේ සාහිත්‍යය මීට වඩා පරිණත දෘෂ්ටියක හසුරුවනවා. එයා බොළඳබව තුලින්ම ගැඹුර පසක් කරනවා. ඒ ජීවිතයට බාහිර වූ අවබෝධයක් ඒ ජීවිත මත පටවනවා වෙනුවට ඒ ජීවිත සංවේදනා ඇතුලෙම විවිධත්වය, විචිත‍්‍රත්වය අරන් එනවා. නිමාවක් කියල හිතුවත් නිමා නොවෙන හැගීම් වෙනස්වීම් බිඳවැටීම් අරන් එනවා. නව යොවුන් විය පැතලි ලෑල්ලක් වගේ කරනවා වෙනුවට බහුතලීය බහුමානීය විශ්වයක් කරනවා.

    කැසිඩිගෙ භාෂාව මාරයි. සෑම් ටේලර් කියන සම්මතය ගානකට ගන්නෙ නැති කොල්ලව දැක්කම ජින්ජර්ස්නැප්ස් මෙහෙම කියනවා

    ‘එයාට තිබුනෙ චොක්ලට් පවා උනු කරන ඇස් දෙකක්’
    ඒ දෙන්නා එකට මුනගැහුනම බ්ලූ ලෙමනේඞ් බොනවා. කටවල් නිල්පාට වෙනවා. ඒ අතරෙ පලමු හාදුව දැවටෙනවා. ඒක බ්ලූ ලෙමනේඞ් හාද්දක්.

    කැසිඩි කතාව අතරෙ විවිධ වූ මියුසිකල් ජොන්රාස් සහ ෆියුෂන්ස් ගැන විස්තර කියනවා. ඒවා ගැන වෙනම ගිහින් හොයලා බලන්න උනන්දු කරනවා.

    එයා කිලර් ට‍්‍රැක් එක අහන්නෙ.. එක තැනකදි කෙල්ලෙක් කියනවා.
    ආපෝ.. ඒකෙන් මොකුත්ම කියවෙන්නෙ නෑ.. අපේ අම්මා අහන්නෙත් කිලර්.. අනිත් කෙල්ල උත්තර දෙනවා. අහන මියුසික්වලින්, කියවන පොත්වලින් මිනිස්සු ගැන තේරුම්ගන්න පුළුවන් කියල අපි පවා අහුවෙන මිත්‍යාව කැසිඩි ලොලිපොප් එකකින් ගහලා කුඩුකරනවා.

    මේ අතරෙ හන්ටර් කියල අලූත් සර් කෙනෙක් පංතියට එනවා. කෙල්ලො ඔක්කොම සර්ට් ට‍්‍රයි. පලවෙනි දවසෙම සර් අහනවා ඔයගොල්ලො මොනවා හරි ලියනවද කියල.
    පොත්, කවි, බ්ලොග්, විතරක් නෙමෙයි පොත කෙලවරේ අඳින කුරුටු, එස්එම්එස්, ටොයිලට් එකේ ලියන කුනුහරුප පවා මේ ලියනවා කියන එකට අයිතියි කියල සර් විස්තර කරනවා. හැමෝම එක මොහොතෙන් ලියන්නො වෙනවා.

    නව යොවුන් විය කියන්නෙ ප‍්‍රකාශනයක් තියෙන වයසක්. ඒක ළමා වියෙන් වෙන්වන ප‍්‍රධාන තැනත් ඒක. හැම නව යෞවනයෙකුටම හරි හෝ වැරදි තමන්ගේ ප‍්‍රකාශනයක් තියෙනවා. ඒක ෆැෂන් ස්ටේට්මන්ට් එකක් වෙන්න පුළුවන්, මියුසික් වෙන්න පුළුවන්, යාලූවො වෙන්න පුළුවන්, පොලිටික්ස් වෙන්න පුළුවන්, ගෙදරට වෙලා නිදාගන්න එක වෙන්න පුළුවන්. අපේ ලංකාවෙ නව යොවුන් සංස්කෘතිය හැදිලා තියෙන්නෙ මේ ප‍්‍රකාශනය මරන්න.

    කැසිඩිගෙ නවකතාවෙ අපි දකිනවා ගුරුවරු සහ ළමයි අතර සම්බන්ධය. ගුරුවරුන්ට බලයක් නෑ ළමයින්ව මෙහෙයවන්න. ඒ වෙනුවට ඒ හිතුවක්කාර, කැරලිකාර වයස කළමනාකරනය කරගැනීමේ වගකීම ගුරුවරුන්ට පැවරෙනවා. බුරියෙන් අඹරන, කන්පලන ගුරුවරු වෙනුවට ඒ දගකාර වයස ඉවසන ගුරු සම්ප‍්‍රදායක් බටහිර තියෙනවා.
    මං මේ පොතට ඇබ්බැහි වුනා. ඒ ලියමන හිත සැහැල්ලූ කරන, ප‍්‍රබෝදමත් කරන එකක්. ඉනසන්ස් කියන එක පොත පුරා හැම චරිතයකින්ම දැනෙන්න ගන්නවා. වැඩිහිටියො විදිහට ඇඳගත්ත නැති යෞවනයො තමන්ගේ ජීවිතේ රිද්මය හොයාගෙන යනවා. අම්මලා තාත්තලා දොරෙන් එලියෙ තියල මේ ජීවිතවලට අදාල නිදහස් අවකාශය දිගහැරෙනවා.

    මට ඒ නව යොවුන් වයස ගැන නම් ඉරිසියා හිතෙනවා. මං ලොකුවෙලා අනිවාර්යෙන්ම ඒක අත්පත් කරගන්නවා.

    ජින්ජර්ස්නැප්ස් සිංහල පරිවර්තනය- සරත් සමයේ හැලුනු පත්
    අහස ප‍්‍රකාශනයක්

     

  • උරග බුද්දියට ඉඩ දීම

    උරග බුද්දියට ඉඩ දීම

    මිනිස්සුන්ගෙ
    මොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙ
    නියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුට
    නැති තරම් ලොකුවට මේක
    මිනිස්සුන්ට පිහිටලා තියෙනවා. මිනිස්සු වර්ගයක් විදිහට අත්පත් කරගෙන තියෙන සියලූ දියුණුවට මේ නියෝකෝටෙක්ස් එක
    හේතු වෙනවා. ඒ කියන්නෙ සංගීතය,
    සාහිත්‍යය සහ ශිෂ්ටාචාරය
    ගොඩනැගෙන්නෙ මෙන්න මේ නියෝකෝටෙක්ස් එකේ
    ප්‍රාතිහාර්යෙයන්.
    මේක
    තමයි අපේ නිර්මාණශීලී කොටස.
    අපිව වානරයාගෙන් සුපිරි මානවයා දක්වා පරිවර්තනය කරන කොටස. අපේ
    අනාගතය නිර්මාණය කරන කොටස. ලංකාව
    වගේ රටක නං අඩුවෙන්ම
    පාවිච්චි වෙන කොටස කියලත්
    කියන්න පුළුවන්.

    ඊට අමතරව ඒ මොලේ ඇතුලෙම
    ගුලිගැහිලා තියෙනවා රෙප්ටීලියන් බ්‍රේන් කියල
    හඳුන්වන කොටසක්. මේක හයීනාවන්ට මීයන්ට
    පවා තියෙන කෑල්ලක්. අපේ ආවේගශීලී, යාන්ත‍්‍රිකමය, ඉන්ද්‍රිය තෘප්තිය මූලික
    කොටස් බද්ධ වෙන්නෙ මෙතනට.
    ජාතිවාදය, ආගම්වාදය, ඇනකොටා ගැනීම් පත්තුවෙන්නෙ මෙතන. අතීතකාමය, ආපස්සට යාම සංඥා වෙන්නෙ
    මෙතන.

    මේ රෙප්ටීලියන් බ්‍රේන් එක
    හින්ද මිනිස්සු වර්ගයක් විදිහට කාරණා තුනකින් අර්බුදයට යනවා. පලවෙනි එක ගෝත‍්‍රවාදය. අපේ ගෝත‍්‍රයට පිටින් එන
    එකා හතුරෙක් විදිහට ගැනීම. ඒ අයට විරුද්ධව
    ප‍්‍රචන්ඩත්වය මුදාහැරීම.
    සිංහල බෞද්ද යැයි දැන් ආඩම්බරෙන්
    කියන ගොඩක් ලක්ෂන. එල්ලූං ගහ  ඕන
    කියන අයගෙ වගේම පැලෝපීය
    නාල බුද්දිමතුන්ගේ ලොකුවටම වැඩ කරන්නෙ මේ
    හයිනාවන්ගේ මොලය.

    දෙවෙනි
    එක තමයි කෙටි කාලීන
    සිතීම. දුර බලලා පළල්
    විදිහට කරුණු තේරුම් ගැනීමේ හැකියාවක් මේ උරග බුද්දියට
    නෑ. ඒ වෙනුවට ළ`ග වාසි බලාගෙන
    ගන්න තීරණ හින්ද පසුව
    කෙලවාගැනීමක් තමයි මේ බුද්දියේ
    උරුමය. කොයිතරම් කරුනු කාරණා දත්ත විදිහට ඔප්පු
    වුනත් තමන් එල්බගෙන ඉන්න
    අදහස උරග බුද්දිමතුන් වෙනස්
    කරන්නෙ නෑ. ෂාෆි වඳ
    සැත්කම් කළේ නෑ කියල
    විද්‍යාත්මකව ඔප්පු කරත් පිලිගන්න බෑ
    කියලා මොරදෙනවා ඇහෙන්නෙ මේ උරග බුද්දි
    මහිමය. මේකෙන් වෙන ලොකුම හානිය
    සමාජයේ පුද්ගලික සහ සාමූහික අනාගතයට
    කෙලවෙන එකයි.

    උරග
    බුද්දිය නිසා ඇතිවෙන තුන්වෙනි
    ලක්ෂනය තමයි තමන් වෙත
    නැවත හැරී බැලීමේ දැක්මක්
    අහිමි වීම. තමන්ගේ අදහස්
    දිහා තාර්කිකව බලන්න බැරි වීම.  ඇකඩමික් ආචාර්ය මහාචාර්යවරුන් පවා මේ උරග
    බුද්දියේ සීමාවට යටත් වෙනවා. විද්‍යාව බැහැර කරනවා.
    නාත දෙයියො වගේ මිත්‍යා
    පතුරනවා.

    මිනිස්සු
    මේ උරග බුද්දිය නිසා
    තමන්ට කෙලවෙන වග අවබෝද කරගත්තා.
    ඒ හින්ද ඒ හයිනා චර්යාවන්ගෙන්
    ගැලවෙන්න නීතිය, දර්ශනය, අධ්‍යාපනය, විද්‍යාව, වගේම රාජ්‍යයන් නිර්මාණය කරගත්තා.
    මේ හැම දේකම මූලික
    අරමුන වුනේ උරග බුද්දියේ
    බලපෑමෙන් නිදහස් වෙලා නියෝකෝටෙක්ස් එකේ
    ප‍්‍රාතිහාර්යයන් අත්විඳින
    එක. යම් පමනකට මේ
    විදිහට කෙලවාගැනීම අවම කරගන්න පුළුවන්
    වුනා. ඒත් මේ නිර්මාණය
    වුනු දේවල්ම නැවත උරග බුද්දිය
    විසින් අත්පත් කරගන්න පටන් ගත්තා.

    මිනිස්සු
    වර්ගයක් විදිහට මුහුන දෙන දරුණුම තත්වය
    වෙන්නෙ මේක. අපේම මොලය
    ඇතුලෙ තියෙන මේ අසමතුලිතතාම. වෙන
    විදිහකට කිව්වොත් ඉතාමත් නිර්මාණශීලී අදහස් උරග බුද්දිමතුන් අතින්
    මෙහෙයවන එක. උදා විදිහට
    ලෝකයේ න්‍යෂ්ටික බලය
    කියන්නෙ ඉතා දියුණු සොයාගැනීමක්.
    ඒත් ඒක වඳුරෙකුගේ අතේදී
    අන්තිම භයානක ආයුදයක්. වඳ සැත්කම් ගැන
    පත්තර නිව්ස් එකේ ඉඳන් මහා
    යුද්ද ඇතුලූ මිනිස් වර්ගයාම අතුගෑවී යන තරමෙ දැවැන්ත
    ව්‍යසන සිද්ද වෙන්න
    විශාල නියෝකෝටෙක්ස් එකක් සහ ඒක
    සම්පූර්නයෙන්ම පාලනය කරන්න පුළුවන් තරමෙ උරග බුද්දියක්
    පැවතීම හේතු වෙනවා.

    ආචාර්ය
    මහාචාර්යවරුන් වෙලා ඒ දැනුම
    පවා ඉතාම පටු ගුහාවාසී
    අරමුනු වෙනුවෙන් පාවිච්චි වෙන්නෙ මෙන්න මේ නොගැලපෙන ගැලපීම
    හින්ද.

    එක එක පුද්ගලයා ඇතුලෙ
    වගේම සමාජයක් විදිහටත් මේ නියෝකෝටෙක්ස් සහ
    රෙප්ටයිල් බ්‍රේන් ගැටුම
    තේරුම් ගන්න පුළුවන්. නිර්මාණශීලී
    අදහස්, නිදහස, සමානාත්මතාව වගේ දේවල් යෝජනා
    කරන සුලූතරයක් පරයා අබසරන දෙසන
    බහුතරයක නියෝජනය එලියට කියන්නෙ ලංකාව සමස්ත බුද්දියක් විදිහට වැඩ කරන දිශාව.
    අපි ජාතියක් හැටියටම නියෝකෝටෙක්ස් එකේ හැකියාවන් ඊට
    සරිලන පරිණත බුද්දියකින් මෙහෙයවන උත්සාහයනට වඩා උරග බුද්දියෙන්
    මෙහෙයවෙන එකටයි පක්ෂපාත. අපිව පාලනය කරන
    ඒකාධිපතියෙක් ගැන ඉල්ලීම්, කෙටිකතාවක්
    ලිව්වට හිරේ දාන නීතිය
    කනපිට ගැසීම්, චයිත්ති හදලා රට ගොඩනගන
    අනාගත නායකයො බිහිවෙන්නෙ මේ උරග බුද්දියේ
    උරුමයෙන්.

    රෙප්ටයිල්
    බ්‍රේන් එකේ බලපෑමෙන්
    මිනිස්සුන්ට නිදහස් වෙන්න පුළුවන් මාර්ගය කියල යෝජනා වෙන්නෙ
    ආදරය. මේ කියන්නෙ නැවතත්
    මගේ ගෑනි මගේ මිනිහා
    කියල මරාගෙන මැරෙන උරග සීමාවෙම පවතින
    ප්‍රේමය නෙමෙයි.
    ඒ වෙනුවට ආදරයේ වර්ග තුනක් ගැන
    මෙතනදි කතා වෙනවා.

    පලවෙනි
    ආදර විදිහ අනෙකාට ආදරය කිරීම. අනෙකාත්
    තමන් වගේම හැගීම් දැනීම්
    ඇති මනුස්සයෙක් විදිහට තේරුම් ගැනීම. තමන්ට කෙලවන්න හෝ හතුරුකම් කරන්න
    එන දුෂ්ටයෙක් විදිහට දකින දැක්මෙන් බැහැර
    වීම.

    දෙවෙනි
    ආදරය නූපන් පරපුරට ආදරය කිරීම. ඒ
    කියන්නෙ තමන්ගෙන් පස්සෙ පවතින මිනිස්සු ගැනත් හිතලා කටයුතු කිරීම. ගහකොල සතාසීපාවා වගේ ස්වභාවික සම්පත්
    අනාගතය වෙනුවෙනුත් ඉතිරි කරන ¥රදර්ශීබවකින් වැඩ
    කරන එක.

    තුන්වෙනි
    ආදරය සත්‍යයට ආදරය
    කිරීම. තමන් පිලිගන්න හෝ
    එල්බගත් මතය මොකක් වුනත්
    තාර්කකිව, විද ්‍යාත්මකව
    කරුණු සලකා බලමින් සත්‍යය තේරුම් ගන්න
    තියෙන විවෘත මනස. සුගතපාලද සිල්වා
    කියන විදිහට තමන්ව කනපිට ගහලා බලන්න පුළුවන්
    හැකියාව.

    මෙන්න
    මේ ආදර පිළිවෙත් තුන
    වෑයමෙන් පිරීමෙන් උරග බුද්දියේ හූනියමට
    අහු නොවී ඉන්න පුළුවන්
    කියල අදහස් කරනවා.

    වයි
    හියුමිනිටි ඩිස්ට්‍රොයිඞ් ඉට්සෙල්ෆ් කියන ස්කූල් ඔෆ්
    ලයිෆ් වීඩියෝවෙ මේ කතාව අහගෙන
    ඉන්න අතරෙ අනිත් පැත්තෙන්
    යෝජනා වුනා ලෙනාඞ් කොහෙන්ගෙ
    කතාවක්. මං ලෙනාඞ් කොහෙන්ට
    ආස හින්දම ලින්ක් එක ක්ලික් කළා.

    නියෝකෝටෙක්ස්
    එකෙන් ලැබෙන සංගීතමය හැකියාව ආශ්චර්යයක් විදිහට එලියට අරන් එන්න පුළුවන්
    වුන කෙනෙක් ලෙනාඞ් කොහෙන්. කැනේඩියානු සංගීතඥයෙක් වුනු කොහෙන්ට තියෙන්නෙ
    පුදුම තරම් දැනෙන ගැඹුරු
    හඩක්. ඒ වගේම එයා
    ලියනවා විශ්මිත වචන..

    ”ඇවිලෙන
    වයලීනයක් සමග ඔබේ සුන්දරත්වය
    තෙක් නැටුමෙන් මා රැුගෙන යන්න
    වික්ෂිප්තබව
    තුලින් මා නැවත ආරක්ෂාවෙන්
    එකලස්වන තුරු නැටුමෙන් මා
    රැුගෙන යන්න.
    ආදරයේ
    කෙලවර දක්වා නැටුමෙන් මා රැුගෙන යන්න..”

    ඝාතන
    කඳවුරුවල මරා දමන්න ගෙන
    යන අතර වැයෙන සංගීතය
    ගැන කොහෙන් ගායනා කරනවා. ආගම, දේශපාලනය, ආදරය,
    ආධ්‍යාත්මය වගේ පැතිරුනු කාරණා
    ගැන ප‍්‍රඥාවේ
    ස්වරයෙන් ගායනා කරන  කොහෙන්ගේ
    හ`ඩ ආනුභාවසම්පන්නයි. ඒ
    හින්ද එයාට ස්පාඤ්ඤයේදී රාජකීය
    ගෞරවය පිරිනමනවා. එතනදි කොහේන් කතාවක් කරනවා. උරග මනසෙන් අතිමිදෙන්න
    පුළුවන් වුනු මිනිහෙකුගෙ පැවැත්ම
    මට ඒ කතාව ඇතුලෙන්
    දැනුනා.

    මට මගේ සිංදු වෙනුවෙන්
    සම්මානයක් ගන්න එක ටිකක්
    නුහුරුයි, අමුතුයි වගේ. මොකද මං
    ඇත්තටම දන්නෙ නෑ ඒ සිංදු
    කොහෙන් එනවද කියල. එහෙම
    දන්නවා නං මං නිතරම
    එතනට යනවා. ඒ හින්ද මේක
    හරියට මං නොකරපු දේකට
    සම්මානයක් ගන්නවා වගේ. කොහෙන් නිරංහකාරව
    කියනවා.

    දෙවනුව
    එයා ස්පාඤ්ඤ පොලොවට තමන්ගේ ප‍්‍රනාමය
    පලකරනවා. එයාගෙ ගිටාරය ස්පාඤ්ඤයේ නිෂ්පාදිත කොන්ඩෙ වර්ගයේ ගිටාරයක්. ඒ ගිටාරය හීලියම්
    තරම් සැහැල්ලූයි කියල එයා කියනවා.
    ඒ ලීයෙන් දැනුන ජීවමාන සුවඳ එයා මතක්
    කරනවා. එවන් සුන්දර නාදයන්
    නිර්මාණය කරන ලී හැදෙන
    ස්පාඤ්ඤ පොලොවට කොහෙන් ආචාර කරනවා.

    තුන්වෙනුව
    එයා එයාගෙ ගුරුවරයෙක් ගැන මතක් කරනවා.
    ඒ ගෙවල් එහා පැත්තෙ පිට්ටනියට
    ඇවිත් ගිටාර් ගහමින් හිටපු නාඳුනන ස්පාඤ්ඤ තරුණයෙක්. එයා ඉතාමත් ලස්සනට
    ගිටාරය වයනවා. කොහෙන් එයාට කියනවා ඇවිත්
    තමන්ට වාදනය උගන්නන්න කියල. ඒ තරුනයා එනවා.
    ඇවිත් දවස් කීපයක් කෝඞ්
    කීපයක් වාදනය කරන්න කියල දෙනවා. ඊට
    පස්සෙ තරුණයා අතුරුදන් වෙනවා. පස්සෙ කෝල් කරලා බලද්දි
    ඒ තරුණයා සියදිවි නසාගෙන වග කොහෙන් දැනගන්නවා.
    ඒ තරුණයා කවුද, එයා මොනවා කරමින්ද
    හිටියෙ, දිවිනසා ගත්තෙ ඇයි ආදී කිසි
    දෙයක් කොහෙන් දන්නෙ නෑ. ඒත් ඒ
    තරුණයා කියල දීපු කෝඞ්
    කීපය පාවිච්චි කරලා තමන්ගේ සිංදු
    සියල්ලම නිර්මානය වුනු වග කොහෙන්
    මතක් කරනවා.

    එදා
    ස්පාඤ්ඤයෙදි තමන්ට ලැබෙන රාජ්‍ය ගෞරවය
    එයා තමන්ගේ සංගීතය හා බැඳුනු ස්පාඤ්ඤ
    ආත්මයන් එක්ක බෙදාගන්නෙ ඒ
    විදිහට.

    උරග
    බුද්දියෙන් ගැලවෙන්න පුළුවන් වුනු නියෝකෝටෙක්්ස් මානවයෙක්
    තමන්ගේ  නිර්මාණශීලී
    දක්ෂතා එක්ක පළල් විදිහට
    ලෝකය නැවත සම්බන්ද කරන්නෙ
    කොහොමද කියන එකට කොහෙන්
    මේ කරන කතාව මට
    දැනෙන උදාහරනයක් වුනා. තමන්ගේ ගෝත‍්‍රය,
    තමන්ගේ බිම, තමන්ගේ පවුල,
    තමන්ගේ ජයග‍්‍රහන
    ගැන උද්දාම වෙන කුඩා වානර
    මනස් අතර ඒ වගේ
    ආර්ටිස්ට්ලා බිහිවීම බුදුවරුන් බිහිවෙනවා වගේ දෙයක්.

    ”ගනුදෙනුකරුවා
    ඔබ නම් මං තරගයෙන්
    ඉවත් වෙන්නම්
    සුවකරන්නා
    ඔබ නම් පෙලෙන්නා මං
    විය යුතුයි
    ජයග‍්‍රහනය ඔබේ
    නම් ලැජ්ජාව මගේ විය යුතුයි
    ඔබට  ඕන
    වුනේ අඳුරයි
    අපි
    නිවා දැම්මේ පහනයි…”

  • මගේ මාර්කටින් ගුරු

    මගේ මාර්කටින් ගුරු

    බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බැරි නිසා ඒවා නොදැන කළා කියන්නත් බෑ. ඒත්  ඕනම දැවැන්ත කැම්පේන් එකක් ගැන කල්පනා කරද්දි මට නැවත හැරිලා බලන්න හිතෙන තරමට බුදුන්ගේ මාර්කටින් ආකර්ශනීයයි.

    දුක නැති කිරීමට මග තණ්හාව නැති කිරීමයි.

    මතුපිටින් ගත්තොත් දුක නැති කිරීමේ මාර්ගය කියද්දිම බුදුන් මාර්කටින්වල පදනමම ඉවර කරනවා. තණ්හාව, නැත්තං ආශාව කියන්නෙ මාර්කටින්වල මූල. ඒ කියන්නෙ බුද්ධත්වයට පත්වුන කෙනෙකුට කිසි දවසක අපිට බඩු විකුණන්න බෑ. හොඳ වෙලාවට ලෝකෙ බුදුවරු ඉන්නෙ නොසලකා හැරිය හැකි තරම් පොඞ්ඩයි. වැඩියෙන් ඉන්නෙ බුදුවරුන්ටත් ආශාවෙන් බැඳෙන නිවනටත් තණ්හාවෙන් පෙලෙන ආගමිකයොයි.
    බුදුන් කියන හැටියට තණ්හාව ඇතිවෙන්නෙ නොදන්නාකම නැත්තං මෝහය හින්දයි.  බුදුන් අද හිටියා නම් කියාවි මාර්කටින් කියන්නෙ මේ මෝහයෙන් වැඩගන්නා මිකැනිසම් එකක් කියල.

    අද සිවුරේ නමින් කොයිතරම් පිස්සු කෙලියත් බුදුන්ගේ අදහස් අනෙක් ආගමික අදහස් එක්ක සාපේක්ෂව ගනිද්දි ඉතාම ගැඹුරුයි වගේම ප‍්‍රායෝගිකයි. මවාගත් දෙවි කෙනෙක්, දේවතාවක් හෝ බ‍්‍රහ්මයෙක් නැතුව හේතුඵල වශයෙන් කාරණා අවබෝධයට ගනිමින් බුදුන්ගේ දහම තමන්ගේ ඇතුලට යොමුවෙනවා. ඒ කියන්නෙ ලෝකය වෙනුවට තමන්ව අවබෝධ කර ගැනීම කියන දිශාවට හැරෙනවා. මට  ඕනවුනේ බුද්ධාගම ගැන කතා කරන්න නෙමෙයි. බුද්ධත්වයට පත්වූ උතුමෙක් තමන්ගේ දහම මිනිස්සු අතරට අරගෙන ගිය විදිහ දිහා බලලා මාර්කටින් ඉගෙන ගන්න. බුදුන් සහ මාර්කටින් කියන්නෙ ඒ කොන මේ කොන තියෙන විශ්වයන් දෙකක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ විශ්වයන් එකමත එක අතිපිහිත වෙන වෙලාවලූත් තියෙන්න පුළුවන්.

    බ‍්‍රෑන්ඩින්ග් සහ තමන් ගැන අවබෝධය

    බුදුන් කියනවා තමන්ව අවබෝධ කරගන්න කියල. බ‍්‍රෑන්ඞ් එකකත් පලවෙනි වැඬේ වෙන්නෙ ඒක. තමන් කවුද, තමන්ගෙ වටිනාකම් මොනවද, තමන් පෙනී ඉන්නෙ මොකක් වෙනුවෙන්ද.. මේ දේවල් බ‍්‍රෑන්ඞ් එකක් හදද්දි මූලිකයි. එහෙම තමන් ගැන අවබෝධයක් නැතුව මාර්කට් එකට වැටෙන බ‍්‍රෑන්ඞ් නිකං බාල හුලං බෝල විතරයි.  බ‍්‍රෑන්ඞ් එකක් නම් ඒකට අයිඩෙන්ටිටි එකක් සහ එය විසින් අලූතෙන් එකතු කරන වටිනාකමක් තියෙන්න  ඕන.

    තමන්ව අවබෝධ කර ගැනීමෙන් පස්සෙ මොකක්ද ඒ අවබෝධයෙන් කරන්න තියෙන්නෙ? ඒක ලෝකෙට කියන්න  ඕන. බ‍්‍රෑන්ඞ් එකක් මේක කරන්නෙ පුළුවන් තරම් සද්දෙට තමන් පවතින වග මාර්කට් එකට පෙන්නන එකෙන්. ඒත් බුදුන් කියන්නෙ නිකංම පවතින්න කියලයි. බුදුන් අවබෝධයට පත්වුනාට පස්සෙ ඒක කාටවත් නොකියා නිකංම හිටියා. ඒත් පස්සෙ ඒක දේශනා කළ යුතුයි කියල තීරණය කළා. ඒකට සන්නිවේදන ක‍්‍රම හෙව්වා.

    මාර්කටින් සහ ආශාව

    බ‍්‍රෑන්ඞ් එකක් ගැන ලෝකෙට කියන්න අපිට සිද්ද වෙනවා පාරිභෝගිකයාගේ, ශ‍්‍රාවකයාගේ ආශාව තේරුම් ගන්න. අපේ අවබෝධය හෝ අපි විසින් යෝජනා කරන වටිනාකම, දර්ශනය, ශ‍්‍රාවකයාගේ ආශාව එක්ක සමපාත නොවෙනවා නම් ඒක වැරදි ටාර්ගට්  ඕඩියන්ස් එකක් වෙනවා. ලෝකෝත්තර දහමක් වුනත් කියන්න වෙන්නෙ පෘතගත්ජනයන්ටයි.  බුදුන් මුලින්ම කල්පනා කළේ තමන්ගේ ටාර්ගට්  ඕඩියන්ස් එක ගැන.  වඩාත්ම ලේසියෙන් තමන්ට මැනිපියුලේට් කල හැකි ශ‍්‍රාවක පිරිස ගැන. පස්වග මහණුන් තෝරාගන්නෙ එතනදි.

    මෙතනදි බ‍්‍රෑන්ඞ් එකට සිද්ද වෙනවා පාරිභෝගිකයාට තේරෙන තැනින්, අදාල තැනින් පටන් ගන්න. ඒකට පාරිභෝගිකයාගේ හෝ ශ‍්‍රාවකයාගේ විශ්වය තේරුම් ගන්න  ඕන. තමන් ගැන තමන්ට තියෙන අවබෝධයට බැහැරින් පාරිභෝගිකයාට, ශ‍්‍රාවකයාට තමන්ව පේන හැටි ගැනත් අවබෝධයක් පවතින්න  ඕන. බුදුන් ඒ ඒ අයට තේරෙන මට්ටමෙන්, භාෂාවෙන් දේශනා කළා කියන්නෙ ඒකට. ඒ ඒ අයගේ ආශා විශ්වය අනුව බුදුන් තමන්ගේ දහම කියන ප්‍රොඩක්ට් එක මාර්කට් කරනවා.

    මගේ බ‍්‍රෑන්ඞ් එක ආශාව නැති කිරීම වුනත් මට ඒක කියන්න වෙන්නෙ ශ‍්‍රාවකයාගේ ආශාව ඇතුලෙයි. මගේ බ‍්‍රෑන්ඞ් එක වුනත් බුදුන් වුනත් කියන දේ මිනිස්සුන්ට ඇහෙන්නෙ මට කියන්න අවශ්‍ය දේ වෙනුවට අනෙකාට අහන්න අවශ්‍ය දේ ගැන තේරුමක් මට (හෝ බුදුන්ට) තිබුනොත් විතරයි.

    වෙනස තමයි මුල

    තමන්ගේ අනන්‍යතාවය ප‍්‍රකාශමාන වෙන වෙනසක් බ‍්‍රෑන්ඞ් එකකට තියෙන්න  ඕන. බුදුන් තමන්ගේ සාසනයේ ඇඳුමෙන් පැළදුමෙන් ඉඳුමෙන් හිටුමෙන් සක්මනෙන් පවා මේ වෙනස සලකුනු කරනවා. මග දකින කෙනෙකුට බ‍්‍රෑන්ඞ් එකේ මැසේජ් එක දැනෙන විදිහෙ පැකේජින් එකක් පාවිච්චි කරනවා. මේ සංසුන් ඉඳුරන් ඇති, ප‍්‍රියමනාප ඉරියව් ඇති ශ‍්‍රමනයා කවුද කියල හැරිලා බලන තරමෙ වෙනසක් මේක.

    ඇස්පිරේෂන් එක වැදගත්

    කොයිතරම් වුනත් බුදුන් තමන්ගේ දහම මුලින්ම අරගෙන යන්නෙ රජවරුන්ට සහ සිටුවරුන්ට. එතන ඉඳන් පහලටයි දහම පැතිරෙන්නෙ. අපි බ‍්‍රෑන්ඞ් එකක් පොසිෂන් කරද්දි වුනත් මුලින්ම ඒ හෝ බී සමාජ පංතීන් ගැන අවධානය යොමු කරනවා වගේමයි. ඒ ඉහළ සමාජ පංතීන් විසින් භාවිතා කරන දහමක්, ප්‍රොඩක්ට් එකක් අනෙක් සමාජ පංතීන් අතරට විසරණය වෙන්නෙ ඒ පාංතික වටිනාකමත් එක්කමයි.

    ගෙයින් ගෙට ඇක්ටිවේෂන්

    බුදුන් දහම පැතිරීමට ආකාර දෙකක් යොදාගත්තා. එකක් විශාල පිරිසක් රැුස්වෙන මහා දේශනා. ඒක බ‍්‍රෑන්ඞ් එකේ විශාලත්වය මතු කරන ප‍්‍රවේශයක්. තමන් වටා සිටින බ‍්‍රෑන්ඞ් ලෝයල් පිරිස එක් කරන, ඒ බලය විදහාපාන, ඒ අනුහසින් අන් අයද බැතිමත් කරන ප‍්‍රවේශයක්. ඊට අමතරව ගෙයින් ගෙට පාරක් පාරක් ගානෙ යන හවුස් ටු හවුස් කැම්පේන් එකකුත් බුදුන් කරනවා. එක මග දෙදෙනෙක් නොයන්න කියලත් උපදෙස් දෙනවා. පනිවුඩය හැකිතරම් දුර ගෙනියන්න තමන්ට ඇති සීමිත සම්පත් ප‍්‍රමානය පාවිච්චි කරනවා වගේම හැකි තරම් පිරිසකට තමන්ගෙ බ‍්‍රෑන්ඞ් එකත් එක්ක ඍජු සම්බන්ධයක් අත්විඳින්න දෙන්නත් මේ ක‍්‍රමය හරහා පුළුවන් වෙනවා. යම් දනක් හෝ පිළිගැන්වීමක් කියන ඇක්ටිව් එන්ගේජ්මන්ට් එකත් එක්කයි බුදුන්ගේ දහම ශ‍්‍රාවකයා වෙත යන්නෙ. ක‍්‍රියාවත්, ඒ ක‍්‍රියාවට අදාල හැගීමත්, ඒ හැගීම හා සමපාත තමන්ගේ දර්ශනය හෝ බ‍්‍රෑන්ඞ් එකත් කියන සියල්ල මනාව ගැලපෙන තැනක් ඒක.

    සීරෝ ප්‍රොෆිට්

    බුද්ධ කියන්නෙ ආධ්‍යාත්මික ගුරුවරයෙක්. එයා වැඩකරන්නෙ සීරෝ ප්‍රොෆිට් පොලිසි එකක. ඒත් සෙත් ගෝඩින් කියන විදිහට මාර්කටින් කියන්නෙ අදහස් බෙදාහැරීම නම් බුද්ධ ඉන්නෙ මාර්කටින්වල මාර තැනක. අවුරුදු 2500ක් වෙනකල් පවතින බ‍්‍රෑන්්ඞ් එකක් හදපු කෙනෙකුගෙන් මිස මාර්කටින් ඉගෙනගන්නෙ වෙන කාගෙන්ද?

    වර්ඞ් ඔෆ් මවුත්

    බුදුන් පාවිච්චි කරන්නෙ වර්ඞ් ඔෆ් මවුත් කියන සන්නිවේදනය. ඒ කාලෙ ටීවී රේඩිොය් හෝර්ඩින් ඩිජිටල් නෑ. ඒත් අදටත් තියෙන ප‍්‍රබලම මාර්කටින් උපකරණය කටවචනය, කෙනෙක් විසින් අනෙකාට තමන්ගේ අත්දැකීම ඇසුරෙන් දෙන ඇෂුවරන්ස් එක බුදුන් පාවිච්චි කරනවා.

    පර්පස් එක

    බුදුන් තමන්ගේ බ‍්‍රෑන්ඞ් එකට පර්පස් එකක් දුන්නා. ඒ කියන්නෙ ඒක අවශ්‍යතාවයක් කළා. හැමෝම දුක විඳිනවා කියන ඉන්සයිට් එක උඩ ඉඳන් දුක නැති කිරීමේ මාර්ගය විදිහට තමන්ගේ දර්ශනය බ‍්‍රෑන්ඞ් කළා. පර්පස් එකක් නැත්තං කිසිම බ‍්‍රෑන්ඞ් එකකට පැවැත්මක් නෑ. එතනදි බුදුන් තමන්ගේ බ‍්‍රෑන්ඞ් එක හදන්නෙ සදාකාලික පර්පස් එකක් උඩ.

    බුදුන් තමන් සත්‍යාවබෝධය කළාට පස්සෙ මුලින්ම මුහුණ දෙන, අපිත් බ‍්‍රෑන්ඞ් එකක් අතට ගත්ත ගමන් මුහුන දෙන ලොකුම අභියෝගය සමාන එකක්.

    කොහොමද මේක කියන්නෙ?

    අපිට තියෙන්නෙ ටොපියක් ලොසින්ජරයක් වගේ ප්‍රොඩක්ට් එකක්. ඒත් බුදුන්ට තිබුනෙ අතින් අල්ලන්න බැරි, කිව්වට තේරෙන්නෙ නැති, කවුරුවත් අත්විඳලා නැති ප්‍රොඩක්ට් එකක්. ඒකෙ නමත් කිසිවක් නැත කියන එක. බුදුන් මේ තරමට මාර්කට් කළේ මොකුත් නෑ කියන ලෝකෙ අමාරුම ප්‍රොඩක්ට් එක.

    අනික තමයි තමන්ට අදාල සමාජ තීරුව තෝරගන්න එක. නිවන හැමෝටම අවශ්‍ය වුනත් බුදුන්ගෙ ටාර්ගට්  ඕඩියන්ස් එක හැමෝම වුනේ නෑ. එයා හරියටම අවශ්‍ය පිරිස තෝරගත්තා. බුද්ධි මට්ටම, ආර්ථික මට්ටම ආදිය වගේම කාලද බීලද කියන එක ගැන පවා සැලකිලිමත් වුනා. තමන්ගේ ප්‍රොඩක්ට් එක විඳින්න නම් යම් බුද්ධි මට්ටමක් තිබිය යුතුයි කියන වටහා ගැනීම තිබුන. ලෝකෙම ගලවාගැනීමේ නිෂ්පාදනය වුනත් බුදුන් මාර්කට් කළේ තෝරාගත් ඉහල පිරිසකට.

    ඒ වගේම එක එක කැම්පේන් එකේදි එක එක ඇක්ටිවේෂන් පාවිච්චි කළා. නන්ද වගේ අයගෙ අතට පාත්තරේ දීලා නිහඩව ආපහු වැඩියා, මගදි දිව්‍යාංගනාවො පෙන්නුවා. තව වෙලාවක යමා මහ පෙලහර පෑවා. ප්‍රොඩක්ට් එක හොඳ වුනාට විතරක් මදි. ලෝකෙ පරමාර්ථ සත්‍යය කියන්නත් බුදුන්ට ජිමික් පාවිච්චි කරන්න වුනා.

    තවත් වැදගත්ම දෙයක් තමයි පැහැදිලි සන්නිවේදනය. කොයිතරම් සංකීර්ණ ප්‍රොඩක්ට් එකක් වුනත් බුදුන් ඒක ඉතාම සරලව පැකේජ් කළා. ආර්ය සත්‍ය හතරකට, අට වැදෑරුම් මගකට ආදී වශයෙන් පිලිවෙලට කොටස් කළා. අවශ්‍යම තැන්වලදි සබ්බ පාපස්ස අකරණං වගේ ෆයිව් සෙකන්ඩර්ස් පවා පාවිච්චි කළා.

    මැදුම් පිලිවෙත

    බුදුන් තමන්ගේ මාර්ගයට කිව්වෙ මැදුම් පිලිවෙත කියල. ඒ වෙද්දි ආධ්‍යාත්මික වෙළඳපොලේ ප්‍රොඩක්ට් අනන්ත ගානක් තිබුන. ඒ අතර පැහැදිලි වෙනසක් සලකුනු නොකර අවධානය ගන්න කොහොමවත් බෑ. දැඩි අල්ලා ගැනීමේ ක‍්‍රම සහ අත්හැරීමේ ක‍්‍රම කියන දෙක උඩ සියලූ ආධ්‍යාත්මික නිෂ්පාදන පදනම් වෙලා තිබුනා. එතනදි බුදුන් අලූත්ම හඳුන්වාදීමක් තමන්ගේ නිෂ්පාදනයට කරනවා. ඒක තමයි මැද මාවත. එහෙම දෙයක් ඒ මාර්කට් එකේ නෑ.

    බුදුන්ට හොඳ බිස්නස් මොඩල් එකක් තිබුන. ඒක මොකක් හරි විකුනලා ලාබ ගැනීම නෙමෙයි. ඒ වෙනුවට දානය මත යැපීම. ත්‍යාග ආර්තිකය. අපි මාර්කටින් කියල දකින්නෙ කැපිටලිසම් වලට අදාල නිෂ්පාදන හෝ සේවා අලෙවියෙන් ලාබ ලැබීම විතරයි. ඒත් සෙත් ගෝඩින් මේක ලස්සනට කියනවා.

    අද අපි ජීවත්වන හයිබි‍්‍රඞ් ආර්ථිකය පවතින්නේ කැපිටලිසම් සහ ගිෆ්ට් ඉකොනොමි යන දෙක මනාව පෑහීමෙනි.
    -සෙත් ගෝඩන්

    නිෂ්පාදන හා සේවා අලෙවි කරන වෙළඳපොලක හොඳ හිතින් දෙන දේ කියන එකටත් ඉතා පැහැදිලි ආර්තිකයක් තියෙනවා. මේ වෙද්දි පන්සල්වල ධනවත්බව දිහා බැලූවම බුදුන් විසින් වදාල ඉකොනොමික් මොඩල් එකේ සාර්ථකත්වය හිතාගන්න පුළුවන් වෙන්න  ඕන.

    කල්ට් එක

    අනික තමයි බුදුන් කල්ට් එකක් ඇති කිරීමේ අවශ්‍යතාවය හරියටම තේරුම් ගත්තා. ඒ කියන්නෙ තමන්ගේ ප්‍රොඩක්ට් එක හා බැඳුනු, ඒ වෙනුවෙන් පෙනී සිටින, ඒක ෆලෝ කරන පිරිස. භික්ෂු, භික්ෂුනි, උපාසක, උපාසිකා කියල හැඳින්නුවෙ මේ ෆලෝවර්ස්ලා. බුදුන් යන තමාත්, ධර්මය යන තමාගේ ප්‍රොඩක්ට් එකත්, සංඝ යන එය ෆලෝ කරන පිරිසත් තමයි බුදුන් ත‍්‍රිවිධ රත්නය විදිහට හැඳින්නුවෙ. මේක  ඕනම ප්‍රොඩක්ට් එකකට වුනත් මේ විදිහටම අදාලයි. උදා විදිහය ඇපල් ගත්තොත්, ස්ටීව් ජොබ්ස් තමයි බුද්ධ, ඇපල් බ‍්‍රෑන්ඞ් එක තමයි ධර්මය, ඇපල් අනුගාමිකයො තමයි සංඝ.

    ඇත්තටම බුදුන් දිහා බැලූවොත් අවුරුදු 2500ට කලින් කොයිතරම් පරිණත මාර්කටින් දැනුමක් ඒ විදිහෙ විෂයක් නොපැවති කාලයක පවා පාවිච්චි වුනාද කියල තේරුම් ගන්න පුළුවන්. අපිට බුදුන්ගේ මාර්කටින්වලින් ඉගෙන ගන්න පුළුවන්. අවබෝධයට පත්වෙන්න පුළුවන්.

  • විකල්පය කල්පයක් තරම් දුරද?

    විකල්පය කල්පයක් තරම් දුරද?

    නිර්මාල් මෑතකදි එයාගෙ ෆේස්බුක් පිටුවෙ විකල්පය ගැන එයාගෙ අදහස පෝස්ට් එකක් විදිහට දාලා තිබුන. ඒකෙ හැටියට නිර්මාල් පතන විකල්පය වුනේ වෙළඳපොල ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කිරීම හරහා අත්පත් කරගන්නා යුක්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ බහුබූත එකක්. වෙළඳපොල ක‍්‍රමය ඇරුනම යෝජනා කරන්නෙ මොකක්ද කියල කීප දෙනෙක් අහද්දි එයා තවත් පෝස්ට් එකක් දාලා කියනවා ඒ ප‍්‍රශ්න අහන අය වෙළඳපොල පැවැත්ම සහ ක‍්‍රමයෙ වෙනස දන්නෙ නැතිලු . නිර්මාල් සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ගොඩක් විහිලූ කරන කෙනෙක්. කොහොමටත් මේක නිර්මාල්ගෙ පුද්ගලික හැඩයෙන් එලියට අරන් කතා කරන්න මං කැමතියි. මොකද මේ වෙළඳපොල ක‍්‍රමයට එරෙහි කෙදිරිය සෑම වාමාංශික ප‍්‍රභවයක් තියෙන තැනකම ඇහෙනවා. විශේෂයෙන් ලංකාවෙ ඇකඩමියාවෙ නිර්මාල්ලගෙ පටන් අර රුහුනෙ කොන්ඩොම් මහාචර්ය වෙනකල්ම පොදුවෙ ඔහේ ඉබාගාතෙ කියමින් පොඩි පාරිශූද්ද ගතියක් ෆීල් කරන කතාවක්.

    අද අපි ජීවත්වෙන ලෝකෙ සකල විධ දියුණුව අත්පත් කරගත්තෙ වෙළඳපොල ක‍්‍රමයෙන්. කොටින්ම නිදහස් වෙළඳපොල සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙම අවියෝජනීය සංකල්ප දෙකක්. මානව සංහතියෙ සියලු ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙන මේ විස්මිත ක‍්‍රමය ඇඩම් ස්මිත් කියන ස්කොට්ලන්ත මනුස්සයා 1750 ගනංවල පරිකල්පනය කරන ක‍්‍රමයක්. ඒකෙ අදහස වෙන්නෙ පුළුවන් තරම් රාජ්‍ය හෝ වෙනත් මධ්‍යගත අතපෙවීම් නැතුව නිදහස් විදිහට මිනිස් ගනුදෙනුවලට පවතින්න ඉඩ දෙන එක. ඇඩම් ස්මිත් විශ්වාස කළා තමන්ට හෝ තවත් සුලු කන්ඩායමකට පාලනය කරන හෝ යලි හසුරුවන ක‍්‍රමයකට වඩා ස්වභාවිකව ගොඩනැගෙන නිදහස් ගනුදෙනු විශාලයි කියල. තමන්ට නිශ්පාදනය කළ නොහැකි දේ අනෙකාගෙන් මිලදී ගන්නවා. තමන් වඩාත් දක්ෂ දේ නිෂ්පාදනය කරනවා. මේ වෙළඳපොල පාලනයට ආන්ඩුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒකට ස්මිත් කිව්වෙ ඉන්විසිබල් හෑන්ඩ් කියල. යම් කිසි බලාධිකාරියක බලහත්කාරී මැදිහත්වීමක් නොවේ නම් මේ වෙළඳපොල ස්වභාවිකවම ඉල්ලුම සහ සැපයුම අතර වඩාත් සාධාරණ දියුණු ප‍්‍රවේශයන් හුනාගන්නවා. අසාධාරන, ප‍්‍රශ්නකාරී තත්වයන් විසඳාගන්නවා. උදා විදිහට එක කඩේක බනිස්වලට ඉල්ලුම වැඩි නම් ඒ වගේම බනිස් නිපදවන තව කඩ ඇති වෙනවා. ඒක හින්ද මුල් බනිස් කඩේට හිතුමතේට මිළ ඉහලදාන්න බැරි වෙනවා. පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා. මේකට කවුරුවත් මැදිහත් වෙන්න ඔ්න නෑ කියලයි ස්මිත් කිව්වෙ. මේක තමයි ඉන්විසිබල් හෑන්ඩ් එක විදිහට හැඳින්නුවෙ.

    ස්මිත් පොත් දෙකක් ලියනවා. එකක් වෙල්ත් ඔෆ් නේෂන්ස්. අනික තියරි ඔෆ් මොරල් සෙන්ටිමන්ට්ස්. වෙළඳ පොල ක‍්‍රමයත් ඒක නිසි විදිහට කළමනාකරනය කරගන්න අවශ්‍ය වෙන එතික්ස් ගැන ස්මිත් ගැඹුරට කතා කරනවා. වැදගත්ම දේ වෙන්නෙ ස්මිත් යෝජනා කරන එතික්ස් බලෙන් ආටෝප කරගත යුතු, උත්තර ගුනදර්ම නොවෙන එක. උදා විදිහට අනෙකා ගැන හැගීම ස්මිත් විස්තර කරන්නෙ අපේ සෙල්ෆ් ඉන්ටරෙස්ට් නැත්තං අපි ගැන සිතීමේම දිගුවක් විදිහට. තමන් ගැන නොහිතන කෙනෙකුට අනුන් ගැන හිතන්න පුලුවන්කමක් නෑ. තමන් ගැන නොහිතා ජාතියක් හෝ රටක් ගැන හිතන්න බෑ. එහෙම හිතවන ඇබ්ස්ට‍්‍රෑක්ට් සංකල්ප අනිවාර්යෙන්ම කැඳවන්නෙ විනාශයක්.

    ස්මිත්ගේ සිතීමේ මං දකින ඉතා ගැඹුරු කාරණය වෙන්නෙ තමන්ගේ සීමිතකම පිළිබඳ අවබෝධය. ඒ කියන්නෙ අපි විසින් නිර්මාණය කරන ලද කවර ක‍්‍රමයකටවත් ස්වභාවික මිනිස් ගනුදෙනු තුලින් නිර්මාණය වන බහුවිධ හැඩයන් තරම් පළල් විවෘත වගේම දියුණු තත්වයන් නිර්මාණය කරන්න බැරි වග අවබෝධ කර ගැනීම. මාක්ස්වාදය හෝ සමාජවාදය හෝ ඒකාධිපතිවාදය හෝ කියන කවර ක‍්‍රමයක් වුනත් නිර්මාණය වෙන්නෙ සීමිත මිනිස් සිතීමක් අසීමිත විදිහට ගැනීමේ වරද ඇතුව. ඒ කියන්නෙ සමාජවාදීන් හෝ ඒකාධිපතිවාදීන් හිතන්නෙ තමන්ට පුළුවන් කියල ආර්ථිකය හසුරුවන්න. ඒකට ඒ අය තෝරගන්න ක‍්‍රමවේදය වෙන්නෙ නැවත නැවතත් පාලනය. ඒ පාලනය ඇතුලෙ රටවල්වලට සිද්ද වෙන දේවල් ගැන අපිට ඇත්ත අත්දැකීම් තියෙනවා.

    ඒ වගේම ධනවාදය නැත්තං නිදහස් වෙළඳපොල ක‍්‍රමය කොයිතරම් සාර්ථකත්වයක් අත්පත් කරගත්තාද සහ ඒ තුලින් මානව සංහතිය කොයිතරම් ඉස්සරහට අරන් ගිහින් තියෙනවද කියන එක ගැනත් පර්යේෂන සංඛ්‍යාලේඛන සාක්ෂි දරනවා. ඒත් ලංකාවෙ ඇකඩමියාවෙ කිසිම බුද්දිමතෙක් එලිපිට ධනවාදය විසින් ලෝකය යහපත් කළා කියන ඇත්ත කියන්නෙ නෑ. ඇඩම් ස්මිත්ව උවමනාවෙන් මගඅරිමින් ලෝක හැම දෙයක්ම වැරදි විදිහට අර්තකථනය කරලා නෝන්ඩි වුනු මාක්ස්ව පුම්බ පුම්බ උඩ දානවා.

    ලෝක මට්ටමෙන් ගත්තොත් මේ වෙද්දි දුප්පත්කම තුරන් වෙමින් යනවා. මිනිස් ආයුෂ, රෝග විනිෂ්චයන්, ප‍්‍රවාහනය, සන්නිවේදනය මේ සියල්ලෙහි හිතාගන්න බැරි තරම් දියුණුවක් අත්පත් කරගෙන සහ අත්පත් කරගනිමින් තියෙනවා. ඒ දියුණුව ලෝකෙ ඒ කොන මේ කොන  ඕනම කෙනෙකුට පරිභෝජනය කරන්න පුළුවන් මට්ටමකට ගෙනත් තියෙනවා. අපි ඒ සියලු සුවපහසු විඳිමින් එහෙම දියුනුවක් නෑ කියල විකල්ප යෝජනා කරනවා. මේ බාරගන්න බැරිකම ආගමික කාරණයක්.

    ඒක සිද්ද වෙන්නෙ අපි කොයිතරම් දැනුම ලබාගත්තත් අපේ ගතානුගතික ආකෘතීන් ඒ දැනුමෙන් වෙනස් නොවෙන හින්ද. අපි දැනුම පාවිච්චි කරන්නෙ ගතානුගතිකය ශක්තිමත් කරන්න. කොටුවෙන් එලියට හිතනවා වෙනුවට කොටුව ඇතුලෙ පැවැත්ම සහතික කරන්න.  ඉස්සර එක්ස් එකේදි නිර්මාල්ලා මේ ගැන ලස්සන කතාවක් කියනවා. අපිට අලූත් ඉලෙක්ට්‍රොනික් බඩුව ආවට ඒකෙ කැටලොග් එක එන්නෙ නෑ කියල. ඒක හින්ද අපි පරණ කැටලොග් එකෙන් අලූත් බඩුව පාවිච්චි කරනවා.

    නිදහස් වෙළඳපොල කියන්නෙ භාන්ඩ හා සේවා හුවමාරුවක් විතරක් නෙමෙයි. නිදහස් අදහස් හුවමාරුවත් එතනදි ප‍්‍රධානයි. උදා විදිහට චීනය නිදහස් වෙළඳපොල බාරගත්තා කියල කොයිතරම් කයිවාරු ගැහුවත් ඒ කතාව බොරුවක් වෙන්නෙ මේ හින්ද. චීනය නිදහස් අදහස් ගලායාම බාරගන්නෙ නෑ. ඒවා මතවාදීමය විදිහට පාලනය කරනවා. පුළුවන් තරම් අදහස් ප‍්‍රකාශ වීමට, හුවමාරු වීමට, එකිනෙක හා සංසර්ගයේ යෙදීමට ඉඩ නැත්නම් එතන නිදහස් වෙළඳපොල ක‍්‍රමයක් නෑ. හැම භාණ්ඩයක්ම සේවාවක්ම වෙන්නෙ අදහසක්.

    අපි රාජ්‍ය මැදිහත්වීම ඉල්ලා සිටිනවා කියන්නෙ පාලනයක් ඉල්ලා සිටිනවා කියන එක. ඒක මතුපිටින් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය හෝ වගේ සේවාවක් එහෙම නැත්තං මත්ද්‍රව්‍ය වගේ භාන්ඩයක් මත පැනවෙන දෙයක් විදිහට පේන්න පුළුවන්. ඒත් ඇත්තටම අපි කරන්නෙ අදහස් පාලනයක් ඉල්ලා සිටීම. ඒ හරහා මතවාදයක් බලෙන් තහවුරු කිරීම. නිදහස් හුවමාරුව බාධා කිරීම. ලෝකෙ කොතනකවත් රාජ්‍ය මැදිහත්වීමකින් රටවල් දියුණු කරන්න පුළුවන් වුනේ නෑ. ඒක සිද්ද වුනේ පෞද්ගලික මිනිස්සු මැදිහත්වීමෙන්. ඒක සිද්ද වුනේ ලාභය වෙනුවෙන්. කෙනෙක් එයාගෙ ලාභය අරමුණු කරගෙන කරන නිෂ්පාදනය නිසා ගොඩක් අය පරිභෝජන වාසි ලබනවා.

    නිදහස් වෙළඳපොලක පවතින ආචාර ධර්ම ඇඩම් ස්මිත් මොරල් සෙන්ටිමන්ට් පොතේ කතා කරනවා. එයා විසින් යෝජනා කරන වෙළඳපොල ක‍්‍රමයෙ දර්ශනය, සහ සමාජ මනෝ විද ්‍යාව ගැන තියෙන්නෙ ඒ පොතේ.

    ඇඩම් ස්මිත් ඒ පොතේ කාරණා කීපයක් මතු කරනවා. මට අනුව මේ මොහොතේ අවශ්‍ය විකල්පය තියෙන්නෙ එතන. පලවෙනි එක සෙල්ෆ් ඉන්ටරෙස්ට් සහ සිම්පති කියන එක. ඒක ස්වභාවික මිනිස් ගුනයක්. අපිට තියෙනවා අපේ ජීවිත වඩා යහපත් කරන උවමනාවක් වගේම අනෙකාගේ දුක ගැන දැනෙන ස්වභාවික හැගීමක්. ඒක මානව සමාජ ගුනයක්. නිදහස් වෙළඳපොලේ ආචාර ධාර්මික පදනම වෙන්නෙ මේක.
    අනික යුක්තිය හා සාධාරනය. අපි අපේ සුබසිද්දිය වෙනුවෙන් කරන වැඩවලදි අන් අයට හානි නොවිය යුතුයි කියන මූලධර්මය. රටක නීතිය ක‍්‍රියාත්මක විය යුත්තේ මේ විය හැකි අසාධාරණය පාලනය කරමින් මිනිස් ගනුදෙනු නිදහස් අවකාශයක් සහතික කරන්න.
    තුන්වෙනුව ඉම්පාෂල් ස්පෙක්ටේටර් කියන එක. මේක ඩේවිඩ් හියුම්ගෙ අදහසක් එක්ක සමගාමීව ස්මිත් අරන් එන ගැඹුරු යෝජනාවක්. අපි කොයිතරම් සවිඥානකව අපිව තේරුම් ගන්නවාද කියන කාරණය උඩයි ස්මිත් සැබෑ යහපත්බව අර්ථ ගන්වන්නෙ. අපි කොයිතරම් ගැඹුරෙන් අපිව තේරුම් ගන්නවාද, අපිට පුලුවන් අනෙකාවත් ඒ තරම්ම ගැඹුරෙන් තේරුම් ගන්න. මෙතනදි අපි අපේ ආත්ම ලාභය වෙනුවෙන් වැඩ කරන වග පිලිගන්න තරම් නිහතමානී බවක් අනිවාර්යයි. නිකං පොදු අරමුනු වගේ මවාපෑමක් මෙතන නෑ. ඒ තේරුම් ගැනීම හරහා අපිට අපි වගේම අනෙකාවත් දැකිය හැකි සදාචාරමය හැගීමක් ඇති කරගන්න පුළුවන් කියල ස්මිත් කියනවා. මොරල් සෙන්ස් කියන එකේ පදනම තියෙන්නෙ මෙතනයි. පංතියක් වෙනුවට පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටීමක්.

    නිදහස් වෙළඳපොල ක‍්‍රමයෙ අඩුපාඩු නැතුවා නෙමෙයි. ඒත් ඒ අඩුපාඩු ඒ ක‍්‍රමය විසින්ම ස්වයං සිද්ධව නිවැරදි කරගන්නවා. ඒක හුදු බොළඳ රොමාන්තික හැගීම් උඩ වැඩකරන ක‍්‍රමයක් නෙමෙයි. සමාජ මානවයෙක් විදිහට මිනිස් ගතිකයන් උඩ වැඩකරන ක‍්‍රමයක්. ස්මිත් මෙතනදි ලස්සන දෙයක් අවධාරණය කරනවා. ඒ තමයි රජයන් විසින් කළ යුතු කාර්ය කොටස.  නිදහස් අදහස්, භාන්ඩ හා සේවා හුවමාරුව වඩාත් පළල් කරන අවකාශයන් සහ යටිතලයන් නිර්මාණය කිරීමට රජයන් උත්සුක විය යුතුයි වගේම කිසි විටෙක රජයන් ව්‍යපාරවලට උදව් නොකළ යුතුයි කියල ස්මිත් කියනවා. රජයන් වෙළඳපොල ප‍්‍රවර්ධනයට මිස ව්‍යාපාර ප‍්‍රවර්ධනයට දායක නොවිය යුතුයි කියල. එයින් ඒකාධිකාරයන් බිහිවෙනවා. එය නිදහස් වෙළඳපොල බාධා කරනවා. ලංකාවෙ රජයන් නැවත නැවත කරන්නෙ මේකයි.

    ලංකාවෙ නිදහස් වෙළඳපොල ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වෙනවා කියල මං දකින්නෙ නෑ. මෙහෙ තියෙන්නෙ මුදලාලි ක‍්‍රමයක්. ඒක වෙළඳපොල ක‍්‍රමයට පූර්වව පැවති තත්වයක්. සල්ලි අප්සෙට් කියල හිතෙන එක, මනුස්සකම කියන්නෙ සල්ලි නැතුව වැඩ කරන එක වගේ අදහස් දරන එක සහ එනිසාම පුළුවන් තරම් හොරකම් වංචා දූෂන අත් යටින් ගනුදෙනු කරන එක නිදහස් වෙළඳපොල තත්වයන් බාධා වීමේ ලක්ෂණ. අපි කරන්න ඔ්න මේ වෙළඳපොල මෙහේ ස්ථාවර කරන්න පුළුවන් තරම් වැඩ කරන එක. ගතානුගතික රාමුවලින් එලියට මිනිස් ගනුදෙනු අරගෙන යන එක. මුදල් කියන්නෙ මිනිස්කම හානිකරන දෙයක් නෙමෙයි වඩාත් මිනිස්කම දියුණු කරන භාවිතයක් කියල තේරුම් ගන්න සමාජයක් නිර්මාණය කරන එක. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු සකලවිධ මිනිස් නිදහස සහ අයිතීන් පවතින්නෙ මේ නිදහස් වෙළඳපොල එක්ක සම්බන්ධවයි. අපි වෙළඳපොල ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කරනවා කියන්නෙ කවුරුන් විසින් හෝ අපේ නිදහස සහ අයිතීන් නිශ්චය කරන බලහත්කාරී ක‍්‍රමයක ජීවිතය තෝරගන්නවා කියන එකයි.

  • දඩයක්කාරයා ඇවිත්

    දඩයක්කාරයා ඇවිත්

    සයිමන්ගේ කිසිම කෘතියක් ගැන කිසිම දෙයක් නොකියන්නයි මං හිතාගෙන හිටියෙ. ඒ තරමටම ලංකාවෙ සයිමන් අධිතක්සේරු වෙලා, ඊට පස්සෙ ලොකු මවාගැනීමක් වෙලා අලි බොරුවක් තරමට පිරිහුනා. සයිමන්ගේ කෘති ලංකාවෙ බිහිවුනු සුවිශේෂම සාහිත්‍ය කෘති වග ඇත්ත. ඒ තරම් ගැඹුරකට, පුද්ගල සාමූහික අවිඥානයන් අතර සැරියකට එළඹුන කිසිම සාහිත්‍යකරුවෙක් මට මුනගැහිලා නෑ. ලංකාවෙ විතරක් නෙමෙයි වෙන භාෂාවලින් ලියවුණු කෘති අතර තියාගෙන කියෙව්වත් සයිමන් විශිෂ්ටයි.

    ඒත් ලංකාවෙ සයිමන්ව උඩ දාන්න ගත්තෙ සයිමන්ව තේරුම් ගැනීමේ හෝ කියවාගැනීමේ ගැඹුරු උවමනාවකින් නෙමෙයි. සර්පයාට පස්සෙ ලියන්නො සයිමන්ව උඩ දාන තරමක් උඩ දැම්මෙ තමන්ව පුම්බාගන්න. සයිමන් නවගත්තේගම පාව්චිචි වේගෙන යන සිල්ලර විදිහ නිසා ඇතිවුන අප්පිරියාවෙන්ම මං සයිමන්ව අමතක කරලා දැම්මා.

    ඒත් ප‍්‍රසන්නගෙ දඩයක්කාරයා එනකල් මං බලාගෙන හිටියෙ සයිමන්ගෙ පරිකල්පන වනාන්තරයෙ තුවක්කුවක් කරේ තියාගෙන, සදාචාරයත් වානර ආත්මයත් අතර ඇවිදින දඩයක්කාරයාව දෑහින් දැකගන්න. ප‍්‍රසන්නට මුනදෙන්න සිද්ද වෙන දරනුම අභියෝගය වෙන්නෙත් මේකයි. සයිමන්ව කියවපු අපි හැමෝගෙම ඔලූ ඇතුලෙ ඇඳුනු දඩයක්කාරයාට සමපාත වෙන එක. ග‍්‍රන්ථයක් විශාල වෙන්න වෙන්න ඒ ඇසුරෙන් නිර්මාණය වෙන සිනමාව කුඩා වීම අනිවාර්යයක්.

    සයිමන්ව සිනමාවට ගේනවා නම් ඒක කරන්න පුළුවන් කියල පුද්ගලිකව මං විශ්වාස කරන එකම අධ්‍යක්‍ෂවරයා ප‍්‍රසන්න ජයකොඩි. සයිමන් නවගත්තේගම සහ ජයසේන ජයකොඩි අතර යාවුනු, හැගෙන දැනෙන පාලමක් ප‍්‍රසන්නට තියෙනවා. ඒක ඇගෙන් එන එකක්. සයිමන් ආශාව සහ දමනය අතර ඇවිදිද්දි ප‍්‍රසන්න වඩාත් ජරාවට, අනිත්‍යයට යොමුවෙන වගක් මට හිතෙනවා. කොහොම වුනත් ඒ නිර්මාණ පරපුරේ ජානමය උරුමයක් ප‍්‍රසන්න කියන්නෙ.

    ඒත් නවගත්තේගමගෙ දඩයක්කාරයාගේ කතාව නෙමෙයි ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටිය. දඩයක්කාරයාගේ කතාව කියන තේමාව විතරයි එයා අරගන්නෙ. ඒ වනාන්තරය, ආරාමය, චරිත කීපය ඇසුරෙන් ප‍්‍රසන්න වෙන විදිහක විෂුවල් පොයෙටි‍්‍ර එකක් හදනවා. ෆිල්ම් එක බලද්දි අපිට වැදගත් වෙන්නෙ කතාව නෙමෙයි. ඒ මූඞ් එක, ඒ විෂුවල් අවකාශය අපිව වෙන අත්දැකීමකට අරන් යනවා. අපි ඒක ඇතුලෙ ගතවෙනවා. ශිෂ්ටත්වය, සභ්‍යත්වය, අනුරාගය, ආශාව සියල්ල අවියෝජනීය විදිහට බැඳුනු කල්පිතයක් මැද අපි නිදහස් වෙනවා. සයිමන්ගෙ ප‍්‍රාතිහාර්යයේ ඒ මොහොත ප‍්‍රසන්න නිවැරදිව ග‍්‍රහනය කරගන්නවා.

    මට අජිත් කුමාරසිරිව මතක් වෙනවා.
    ‘සාමයයි කාමයයි
    දැවටෙන පුංචි රටයි…’

    දඩයක්කාරයාගේ චරිත තෝරාගැනීමත් මරු. හේමසිරි අංකල් ලාංකේය ථේරවාදී බෞද්ද උරුමයේ නියම හාමුදුරුවන්ව මතු කරනවා. අද ඉන්න වික්ටෝරියානු- අරාබි භික්ෂුත්වයෙන් බැහැරව අමු සිංහලකම, චතුස්කෝටිකය මත පදනම් දැක්ම, නිදහස් සිතීම පෙරටුකරගත් අව්‍යාජ භික්ෂුව අපිට මුනගැහෙනවා. හොඳ සහ නරක නැත්නම් පින සහ පව කියන්නෙ මොකක්ද කියන එක ගැන මතුපිට සින්තටික් අතපතගෑම වෙනුවට ගැඹුරෙන් සවිඥානක සිතාබැලීම කියන තැන ස්පර්ශ කරනවා. එහෙම හාමුදුරුවරු තමයි ඉස්සර අපේ පන්සල්වල හිටියෙ. ඒ අය ළ`ග තිබුනෙ දැන් තියෙන  ඕල්කොට් බෞද්දකම නෙමෙයි.

    සංජීව උපේන්ද්‍ර තමයි දඩයක්කාරයාට ලංකාවෙ ගන්න ඉන්න හොඳම නළුවා. සයිමන්ගේ මහා දඩයක්කාරයාගේ බර කරට අරගන්නෙ නැතුව සරලව තමන්ට දැනෙන තැන චරිතය නිර්මාණය කරගන්න සංජීවට පුළුවන් වෙලා තියෙනවා. එහෙම නැති වුනා නම් අපිට බලන්න වෙන්නෙ දතකට පියවගත්තු, ඇග පත හිරකරගත්තු අවාසනාවන්ත දඩයක්කාරයෙක්. යම් යම් අඩුපාඩුකම් තිබුනත් සංජීව දඩයක්කාරයාට පැවැත්මක් දීලා තියෙනවා.

    ගෝමරීට රගපාන ක‍්‍රිස්ටිනා බි‍්‍රටෝ අලූත් හඳුන්වාදීමක්. ගෝමරී ගැන අපේ ඇඳුනු ගැමි සරාගිකත්වයත් යටිහිතෙන් පෙම්කරන බටහිර ශෘංගාරයත් ක‍්‍රිස්ටිනා හරහා එකතැනක නිර්මාණය වෙනවා කියල මට හිතුනා. සයිමන්ගෙ සුද්දිලාගේ කතාව ධර්මසිරි බන්ඩාරනායක ෆිල්ම් එකකට ගත්ත වෙලාවෙ සයිමන් ඒකට තදබල විරෝධයක් ගෙනාවා. මං දන්න තරමින් ඒක ඒ දෙන්නා අතර පුද්ගලික අවුලක් වෙන තරමටම දිග ඇදුනා. සයිමන්ට අනුව ධර්මසිරි සුද්දිගේ සෙක්ස් නිර්මාණය කරලා තිබුනෙ බටහිර බෙඞ්රූම් සීන් එකක් වගේ. ගමේ මිනිස්සු හැමනෙන්නේ ඒ විදිහට නෙමෙයි. සයිමන් යතාර්ථවාදය වෙනුවෙන් සටන් කළා.

    ප‍්‍රසන්නගෙ ෆිල්ම් එක දැක්කා නම් සයිමන් ඒ වලියම නැවත ඇදගන්නා වග සහතිකයි. ඒත් එහෙම යතාර්ථවාදයේ හිරවිය යුතුයි කියල හිතන එක සයිමන්ගෙ සීමාවක්. ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටිය හැදෙන්නෙ සයිමන්ගෙ යතාර්ථයෙන් එලියෙ. ගෝමරී කියන්නෙ මට චිත‍්‍රපටිය ඇතුලෙ ඉතාම සාර්ථක විදිහට ශෘංගාරය මතු කරන චරිතයක්. පළවෙනි දර්ශන කීපයෙන්ම සමස්ත වනාන්තරය පුරාම ඇවිලෙන දැවෙන අනුරාගයක් සටහන් කරන්න ගෝමරීට පුළුවන් වෙනවා. ඒ හැගීම කොයිතරම් ගැඹුරුද කියතොත් අවසානයේදී ගෝමරීගේ කුණුවී වැගිරෙන කයටවත් ඒ අනුරාගය දිය කරන්න බැරි වෙනවා. කුණුවෙමින් දිරායන ගෝමරීගේ ශරීරයත් අපිට මුනගැහෙන්නෙ ආශාවේම දිගුවක් විදිහට.

    ප‍්‍රසන්නගෙ සිනමා භාවිතාව හොඳටම දන්න නිසා මං හිතන්නෙ ප‍්‍රසන්නගෙ වෑයම වෙන්නෙ ආශාවේ ජරාවට පත්වීම චිත‍්‍රපටිය ඇතුලට ගේන්නයි. එයාගෙ හැම ෆිල්ම් එකකම ආශා වස්තුව කුණුවී දිරා යන, පියයුරු කපා දමන, ජීවිතේ අනිත්‍යය සිහිපත් කරන තැනකට ගේන්න එයා උත්සාහ කරනවා. ඉතාම සුන්දර නාරී රුවක් ජීවිතය ගැන බිය දනවන සසර පෙර නිමිත්තක් කිරීමේ ආධ්‍යාශය ප‍්‍රසන්නට නිර්මාණ ඇතුලෙ තියෙනවා. ඒත් මෙතනදි ප‍්‍රසන්න අසමත් වෙනවා. ගෝමරීගේ අනුරාගී කෙඳිරිය කොයිතරම් ප‍්‍රබලද කියතොත් මරණයේදී පවා එය ඉතිරි කරන්නේ දමනය නොකළ ආශාවමයි.

    නදීක ගුරුගේගේ චිත‍්‍රපට සංගීතය කොයිතරම් අහලා තිබුනත් සුමුදු ගුරුගේ මියුසික් කරපු ෆිල්ම් එකක් මං අහන පලවෙනි වතාව. ඒ සංගීතය ඉතා ආකර්ශනීයයි. සංගීතය ගැන තල දෙකක් ඔස්සේ හිතලා තියෙන වගක් පේනවා. මූලික සංගීත තේමාව වෙන්නෙ ගෝමරී. ඒ ආශාව, තෙතමනය, හරිතය, වනාන්තරය.. ඒ සංගීතය ඇතුලෙ සුමුදු ලාංකේය නාදයකට ළංවෙනවට වඩා කොරියානු හෝ ආසියානු පැත්තට ගමන් කරන වගක් පේනවා. මට මොකක් හරි හින්දා සම්සාරා චිත‍්‍රපටිය මතක් වුනා.

    අනෙක් සංගීතමය තේමාව වෙන්නෙ දඩයක්කාරයා සහ හාමුදුරුවො. ඒ ගැඹුර,  ඕම්කාරය, පතුල, පැවැත්ම පිරිමි හ`ඩ ඔස්සේ මතුවෙනවා. ඒක යම් විදිහක ඉන්දියානු සම්භවයක් දනවනවා. සුමුදුගේ උත්සාහය වෙන්නෙම මේ වනාන්තරය ආසියාවට පොදු කිරීම. වෙන විදිහකට කිව්වොත් බටහිර විචාර ඇහැට ළංවීම පහසු කිරීම. එතනදි මේක වඩාත් අපිට අනන්‍ය දුපත් ලක්ෂන සහිතව නිර්මාණය වුනා නම් මං පුද්ගලිකව කැමති වුනත් ඒක තෝරා ගැනීමක්.

    චිත‍්‍රපටිය පුරාම වනාන්තරය ඇතුලෙ ඇහෙන්නෙ හුස්ම සද්දෙ. ඒක කවුරුන් හෝ පෙමෙන් වෙලෙමින් වෙන්නත් පුළුවන්, මරණයෙන් නික්ම යමින් වෙන්නත් පුළුවන්. ඒ කිසිදු මිනිස් ජීවිතයක් නොමැතිව වනාන්තරයේ ගහකොල වෙන්නත් පුළුවන්. මේ හුස්ම ගන්න වනාන්තර ගැන දැනීම යම් හෝ සයිකඩෙලික් අත්දැකීමක් ඇති කෙනෙකුට කොහෙත්ම ආගන්තුක නෑ. ඒ හුස්ම අපි දන්නවා.

    ප‍්‍රසන්න චිත‍්‍රපටියෙ කැමරාව පාවිච්චි කරලා තියෙන විදිහත් ඉතාමත් සවිඥානකයි. දාර්ශනිකයි. හැම තිස්සෙම මිනිස් රූපයට වඩා විසල්ව දැවැන්තව ග‍්‍රහනය වෙන්නෙ වනය. අවකාශය. අහස. කන්ද. මේ මහා අවකාශය ඇතුලෙ මිනිස් පුංජයන් ගැනයි කතාව. මොහොතක විඳින නොවිඳින පවතින නොපවතින ශිෂ්ට අශිෂ්ට ජීවිත ගැනයි සංසාරය.

    සයිමන්ගෙ යතාර්ථවාදයෙන් එලියට ඇවිත් නූතන හෝ පැරණි යන මායිම බොඳවුන තැනක මේ වනාන්තර ජීවිත පිහිටුවීමට ප‍්‍රසන්න ගන්න උත්සාහය මං අගය කරනවා. ඒත් ඒක මීට වඩා ප‍්‍රබලව දැනවිය යුතුයි කියලයි මං හිතන්නෙ. පන්සලේ ලවුඞ්ස්පීකරය, ප්ලාස්ටික් මල් වට්ටි වගේ හදිසි ඇසගැටීම් මං දකින සිනමා චිත‍්‍රයට බාධාකාරී වුනා. ඒක යම් විදිහකින් ඛන්ඩනයක් හැටියට කලින්ම ස්ථාපිත වුනා නම් මේ බාධාව මගහැරෙන්න ඉඩ තිබුනා.

    අනික චිත‍්‍රපටිය කොට වැඩියි. තව ගොඩක් වෙලා බලන් ඉන්න පුළුවන්. කොයිතරම් කොටට දැනුනද කිව්වොත් මට ආයිමත් ඒක බලන්න යන්න නොඉවසිලියි. ඒත් චිත‍්‍රපටිය පෙන්නන්න අවසර දීලා තියෙන කාලෙත් සති දෙකක් තරම් කොටයි. ඊළගට එන විජයබා විසින් මේ සියලූ සිනමා ශාලා කොල්ල කන්න නියමිතයි. මට හිතෙන්නෙ ඒක මේ මොහොතෙ අපේ සිනමාව ගැන රූපක අර්ථයක් මතු කරනවා. මේක සයිමන්ලාගේ මොහොත නෙමෙයි. මේක ඩබ් ඒ සිල්වලාගෙ මොහොත.

    කොයිතරම් අවදානම්කාරී වුනත් මේ වැඩිහිටි ගැඹුරු සිනමාව එක්ක පාඩු ලබමින් හරි ඔට්ටු වෙන එක ගැන ප‍්‍රසන්න සහ ඒ පරපුරේ සිනමාකරුවන් පිළිබඳ මට දැනෙන්නෙ ගෞරවයක්. සහෝදරත්වයක්.

  • අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක

    අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක

    අපි
    ස්වභාවයෙන්ම අන්තවාදයට ප‍්‍රතිපක්ෂයි.
    විශේෂයෙන්ම ආගමික වාර්ගික අන්තවාදයන්ට මං සහ මං
    ඇසුරු කරන බහුතරයක් විරුද්දයි.
    ඒක අපි ඇසුරු කරන
    සාහිත්‍යය, සංස්කෘතිය, සහ
    සමාජය ඇසුරෙන් නිර්මාණය වෙන තත්වයක්. රටේ
    බහුතරයක් අන්තවාදයන්ට පක්ෂයි. කවර හෝ විදිහක
    අන්තවාදයක් ඇතුලෙ දැනෙන සුරක්ෂිතබවක්, ඇතුලත් වූ කියල දැනෙන
    හැගීමක් ලංකාවෙ බහුතරයකට අන්තවාදයන්වල තියෙනවා. මේ හැගීමට ජාතිබේද
    නෑ. නිදහසට වඩා මිනිස්සු සැපවත්
    විදිහට තේරුම්ගන්නෙ තමන්ව පාලනය කිරීම. ඒක තමයි සුරක්ෂිතයි
    කියන්නෙ.

    ඒත්
    මේ අන්තවාදයන්ගේ ස්වභාවික වූ තුලනයක් තියෙනවා.
    ඒක හරි අපූරු දෙයක්.
    උදා විදිහට පාස්කු බෝම්බ පුපුරා යනකල් අපි ඒ කියන්නෙ
    ලිබරල් අයටයි වමටයි මුස්ලිම් අන්තවාදයක් ගැන අල්පමාත‍්‍ර දැනීමක් තිබුනෙ
    නෑ. ඒක සහතිකයි. ඒත්
    ඒ අන්තවාදයට ප‍්‍රතිපක්ෂයක්
    සිංහල බෞද්ද එකෙන් නිර්මාණය වෙමින් ආවා.

    මේක
    හුදු ආවේගශීලී ප‍්‍රතික්‍ෂේප කිරීම් හෝ
    වැළඳගැනීම් නැතුව තේරුම්ගන්න  ඕන
    දෙයක්. මුස්ලිම් අන්තවාදය ගත්තොත් ඒක සාමාන්‍ය
    නිදහස් සමාජයක අන්තවාදයක් කියල තේරුම්ගන්නවත් බැරි
    ක්ෂුද්‍ර මට්ටමේ ක‍්‍රියාකාරීත්වයක්. ඒක
    සාමාන්‍ය මුස්ලිම් ජනජීවිතය
    එක්ක සම්බන්ද තත්වයක්. හලාල් සහතිකය හොඳම උදාහරනයක්. මුස්ලිම්
    අය හලාල් කියල සහතිකයක් ඉල්ලනවා.
    අනෙක් බහුතරයක් හලාල් තිබුනත් නැතත් බඩු ගන්නවා. ඒත්
    මාර්කට් එකේ බඩු සමස්තයක්
    හලාල් වෙනවා. රටේ මුස්ලිම් නියෝජනය
    එක්ක සමපාත නොවෙන නිරූපනයක් මුස්ලිම් ඉල්ලීම නිසා වෙළඳපොලේ ඇතිවෙනවා.
    ඒක අපි කලින් දැනගෙන
    හිටපු තත්වයක් නෙමෙයි. ඒත් එතන අන්තවාදයක්
    විදිහට නම් නොකළ අන්තවාදයක්
    ක‍්‍රියාත්මක වෙමින්
    පවතිනවා.
    මේ හරහා වෙළඳපොලේ සංකීර්න
    වෙනස්කම් සිද්ද වෙන්න පුළුවන්. උදා විදිහට  ඕනම කඩයක් පෙළඹෙනවා
    හලාල් කරන ලද මස්
    විකුනන්න. ඌරුමස් මිශ‍්‍ර
    කෑම අලෙවිය නතර කරන්න. හලාල්
    මස් විකිනීම හරහා දන්නෙම නැතුව
    මස් වෙළඳපොල මුස්ලිම්කරණය වෙන්න පටන් ගන්නවා. අනෙක්
    ජාතීන් වල අයට මස්
    වෙළඳපොලේ මාර්කට් එකක් නැති වෙනවා.
    මේක අන්තවාදී තත්වයක්.

    මේ කිසි දෙයක් මුස්ලිම්
    අය විසින් හිතාමතා කරන දුෂ්ටකමක ප‍්‍රතිඵල නෙමෙයි.
    ඒ සංස්කෘතිය සතු සංවෘත කල්ට්
    ලක්ෂන නිසාම බහුතර පැසිව් සංස්කෘතියේ වෙන්න නියමිත වෙනස්කම්. එතකොට මහා සමාජයෙත් ඉන්නවා
    අන්තවාදයන්ට ධ‍්‍රැවීකරනය
    වෙන්න විභවය වැඩි පිරිස්. මේ
    අය මුස්ලිම් වර්ගය අනෙකා කරගනිමින් ලොකු වර්ගවාදී ප‍්‍රචන්ඩ කතිකාවක්
    ඇතිකරනවා. මේ ප‍්‍රචන්ඩත්වය අතිශය අහිතකර එකක්. ඒ නිසා සිද්දවෙන
    හානිය කොහෙත්ම සුලූකොට තකන්න බැරි එකක්. ඒත්
    ඒ නිසාම මෙතෙක් ක්ෂුද්‍ර තලයේ ක‍්‍රියාත්මක වෙමින්
    පවතින අන්තවාදී තත්වයන්ට අවධානය යොමු වෙනවා. ඒවා
    සමාජය ඉස්සරහට එනවා. අපිට ඒ වෙනුවෙන්
    මැදිහත් විසඳුම් හොයන්න අවශ්‍ය වෙනවා.

    උදා
    විදිහට හලාල් අවශ්‍ය අයට
    වෙනම ඒ සහතිකය ලත්
    භාන්ඩ අලෙවිකරන විදිහෙ ක‍්‍රම
    ගැන වෙළඳපොලට හිතන්න සිද්ද වෙනවා. ඒක හොඳ දෙයක්.
    හැම පාරිභෝගිකයාම සමාන නෑ. ඒ
    ඒ අයට වෙන් වූ
    අවශ්‍යතා සපුරන්න වෙළඳපොල
    නිර්මාණය වෙනවා කියන්නෙ මාර්කට් එක පළල් වෙනවා
    කියන එක.

    පාස්කු
    පුපුරායාම හරහා අපිට අවංකව
    බාරගන්න සිද්ද වෙන තත්වයන් තියෙනවා.
    ඇතැම් කල්ට් සංස්කෘතීන්වල සාමාන්‍ය පරිද්දෙන් සිද්ද
    වෙමින් යන අන්තවාදී තත්වයන්
    ගැන ලිබරල් සහ වාම කතිකාවේ
    ප‍්‍රවේශය දුර්වලයි
    කියන එක එතනදි ප‍්‍රධානයි. මේක
    මුස්ලිම් විතරක් නෙමෙයි.  ඕනෑම
    හැකිලූනු ආරක්ෂනවාදී සුලූතර සංස්කෘතියක් මහා සංස්කෘතියක් හා
    ස්පර්ශ වීමේදී ඇතිවෙන්න නියමිත තත්වයක්. මට හිතෙන්නෙ එතනදි
    ඊට ප‍්‍රතිපක්ෂව
    ඇතිවෙන අනෙක් අන්තවාදයන් ඉටු කරන්නෙත් අවශ්‍ය භූමිකාවක්. ඒක
    දේශපාලන බලපෑම් මත ආවත් ඒකෙ
    ස්වභාවික ගතිකයක් තියෙනවා. හුදෙක් ප‍්‍රචන්ඩ
    අමානුෂික අන්තාදයන්ට එරෙහිවීමෙන් නොනැවතී, අන්තවාදයන් ගැටෙන පිට්ටනියෙ කරුණු විදිහට මතුවෙන, අපිට මගහැරුනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අභියෝගයක් වන තත්වයන් වටහා
    ගැනීම සහ ඒවාට මානුෂීය
    පිළියම් සෙවීම වඩා පළල් සමාජ
    ගොඩනැංවීමකට උදව් වෙනවා කියල
    මං හිතනවා.

  • රට ආපහු ස්ටාර්ට් කරන්න

    රට ආපහු ස්ටාර්ට් කරන්න

    අප්‍රේල් 21 සිද්දියට ලංකාවෙ නැගී එමින් තිබුනු සිංහල බෞද්ද අන්තවාදයේ පෙර බලපෑමක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක පසු බලපෑමක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. සෝම හාමුදුරුවන්ගෙ කාලෙ ඉඳන් ටිකෙන් ටික වර්ධනය වෙමින් ආපු මුස්ලිම් අන්තවාදයට එරෙහි සිංහල බෞද්ද ප්‍රවනතාව වඳපෙති, බ්‍රෙසියර් ආදී නොයෙක් ජෝක් සහ ඥානසාර, ඩෑන් ප්‍රියසාද්, මහසෝන් ආදී චන්ඩින්ගෙන් අලුත් වෙමින් යුද්දෙට පස්සෙ පාලු කපන්න ගත්තා. මේ 21 ගැන ඥානසාර කලින් දැනගෙන හිටියා, උන්නාන්සෙ කියපු දේ අහන්න තිබුනා වගේ කතන්දර කියන බහුතරයක් අමතක කරන්නෙ ඥානසාර දැනගෙන හිටියද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඥානසාර ඒ දේ කියපු අරමුන මොකක්ද කියන එක බවයි. ඇත්තටම මුස්ලිම් අන්තවාදයක තොරතුරු තිබුනා නම් ඥානසාර ප්‍රමුක සෙට් එක කළ යුතුව තිබුනෙ ඊට එරෙහි සිංහල බෞද්ද අන්තවාදයක් නිර්මාණය කරන්න කටයුතු කරන එක නෙමෙයි. ඒ වෙනුවට ඒ තොරතුරු අදාල බලය ඇති පාර්ශ්වයන් වෙත ලබාදෙමින් රාජ්‍ය මට්ටමින් ඒ ගැන ක්‍රියාමාර්ග ගැනීමට බලකරන එකයි. ඒක පොදු ජනතාව අතරට නොයා යුතු සංවේදී ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය වෙනුවෙන් ඥානසාරගේ විසදුම වුනේ ඒකෙ පැවැත්ම සාධනය කරන බෞද්ද අන්තවාදයක්. ඥානසාරට අමතරව ඒ වෙද්දි තවත් අන්තගාමී සිංහල බෞද්ද ප්‍රවනතා මතුවෙමින් ආවා. ඥානානන්ද එක පැත්තකින් එද්දි තව අය කොට ඇදුම්වලට විරුද්දව බුර්කා පන්නයේ සදාචාරයක් දේශනා කළා. අනිත් පැත්තෙන් මැල්කම් රංජිත් මානව අයිතිවාසිකම් ඕන නෑ කිව්වා. මුස්ලිම් අන්තවාදයට සාපේක්ෂව අනෙකුත් ආගම්වලිනුත් අන්තවාදී ලක්ෂන මතුවෙමින් තිබුන. 
     
    මේ මුස්ලිම් අන්තවාදය ලංකාවෙ ව්‍යාප්ත වෙන්න ගත්තෙ පසුකාලීනව සිද්ද වුණු  අරාබිකරණය එක්ක වග පැහැදිලියි. ඒක එක විදිහක සංස්කෘතික ආක්‍රමනයක්. අයිඑස්අයිඑස් මරාගෙන මැරෙන ත්‍රස්තවාදය එන්නෙ ඒකෙ අන්තිම ප්‍රතිඵලය විදිහට. ඒක පැලවෙන්නෙ අරාබිකරණය ඇතුලෙ. මේ හරහා ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව ඇතුලෙ රැඩිකල් රැල්ලක් නිර්මාණය වෙනවා.  සුලුජාතික වෙනස, සුවිශේෂත්වය සහ ජීවත්වන වෙනම ප්‍රදේශ කියන තත්ව ඇතුලෙන් මේ රැඩිකල් රැල්ල පැතිරෙනවා. ඒත් හැම රැඩිකල් ව්‍යාපාරයකම ඉන්නෙ මහ ප්‍රජාවෙන් සුලුතරයක් කියන සත්‍යය මේකටත් අදාලයි.
      
    අන්තවාදී අදහස් පැතිරීම, රැඩිකල්කරනය සිද්ද වෙමින් තිබුනත් මේ බෝම්බ පුපුරන ත්‍රස්තවාදය මුස්ලිම් ජනතාව තිගස්සනසුලු එකක් වග පැහැදිලියි. පිටරට විශ්ව විද්‍යාලවලට ගිය සල්ලි තියෙන පවුල්වල ළමයි ටිකක ළදරු වලිප්පුවක් විදිහට තමයි මට තාම මේක පේන්නෙ. හරියටම රුසියාවට ගිය විජේවීර ලංකාවෙ සන්නද්ද අරගලයක් කරන්න හැදුවා වගේම ඔස්ටේ්‍රලියාව වගේ රටවල විශ්ව විද්‍යාල කල්ට් වලින් රැඩිකල් සන්නිපාතය වැළදුනු කීප දෙනෙක් කිසි පදනමක් නැතුව වීරයො වෙන්න කරපු වැඩක්. ඒක පස්සෙ අයිඑස්අයිඑස් තමන්ගෙ ගිනුමට බැර කරගත්තා කියල විශේෂඥයො අදහස් පලකරනවා. කොහොමවත් ජවිපෙ තිබුනු විමුක්ති දේශපාලනය මේ හිස් දේව ඇදහිල්ල එක්ක සමපාත කරනවා නෙමෙයි. මේ සහලෝලා උණ ගැනීම ගැන විතරයි උදාහරනය.
    මේ ත්‍රස්තවාදය ඉවර කරන්න ලේසියි. ඒක සමාජයේ මුල් ඇදපු තත්වයක් නෙමෙයි කියල සහතිකයි. ඒත් මේ භීතිය වවාගෙන කෑමේ උවමනාවක් විවිධ පාර්ශ්වවලට තියෙන වග පැහැදිලියි. අවුරුදු 30ක් බෝම්බ මැද හිටපු ජනතාවක් බබ්බු වගේ හැංගෙන්න පටන් අරන්. මීට වඩා බෝම්බ පුපුරද්දි ලංකාවෙ මිනිස්සු රස්සාවලට ගියා. අපි ඉස්කෝලෙ ගියා. ඒත් අවුරුදු දහයක විතර නිදහස විසින් අපිව එක දවසෙ බෝම්බෙකින් වට්ටන්න පුළුවන් ජාතියක් තරමට දුර්වල කරලා තියෙනවා.
     
    ඇත්ත අනතුර තියෙන්නෙ මේ පුපුරා යාමට පස්සෙ දැන් උද්ගත වෙමින් තියෙන තත්වය ඇතුලෙයි. ආර්තිකය සහ සාමාන්‍ය ජන ජීවිතය අසාමාන්‍ය විදිහට කඩන් වැටිලා තියෙනවා. හෝටල්වලින් සීයට හැත්තපහක් විතර ඩිස්කවුන්ට් දෙමින් යන්තමින් හෝ ව්‍යාපාරය පවත්වා ගැනීමට ගන්න උත්සාහය දැක්කම දුක හිතෙනවා. පොඩි පොඩි බිස්නස් කරපු මිනිස්සු අනාතයි. පාරෙ හිගන්නා දක්වාම ආර්තික ක්‍රියාවලිය නන්නත්තාර වීම බලපෑවා. ඒ අතරෙ ජනතාව ත්‍රස්ත බිය එන්ජෝයි කරන්න පටන් අරන් තියෙනවා. පල්ලිවල කඩු ගනං කර කර මුස්ලිම් සමාජය වෙත පතල වෛරයකින් නිකං කාලය කකා ඉන්නවා. හැමෝටම එකිනෙකා එක්ක හොඳට සෙට්වෙන්න, හපන්න එක මාතෘකාවක් තියෙනවා. ඒ තමයි මුස්ලිම් විරෝධය. 
     
    මේකෙ අනිත් පැත්තෙන් මුස්ලිම් සමාජය ලොකු කම්පනයකට ගිහින් තියෙනවා. ඉඩමක් ගෙයක් තැනක් කුලියට ගන්න බැරි තරමට අනෙක් සමාජය විසින් කොන්වෙමින් තියෙනවා. ත්‍රීවීල් හයර් එක පවා මුස්ලිම් නම් නොයන්න තරමට චීත්ත පලිගැනීම් මහා සමාජයෙන් පටන් අරන් තියෙනවා. ආර්තිකය, අනාරක්ෂාව, සහ ආත්ම ගරුත්වය කියන කාරනා අතින් වඩාත්ම පීඩාවට ලක්වෙන තැනක ඉන්නෙ ඒ අයයි. මුස්ලිම් සමාජය එකට එකතු කාරනය වෙන්නෙ මේ බය.
     
    මේ ධ්‍රැවීකරණය අනිවාර්ය ලෙසම අරාජික තත්වයක් නිර්මානය කරනවා. මේක සමාජ ආතතියක්. ඕනම වෙලාවක ඕනම අතකට පුපුරා යා හැකි. ත්‍රස්තවාදය විසින් තමන්ගේ අරමුන ජයගත්තා කියල කියන්නෙ මේකට. මේ ආතතිය අනාරක්ෂාව සැකය සහ උනුන් මත පීඩාව නිර්මාණය කරන එකට.
     
    මේක ජවිපෙ හෝ එල්ටීටීඊය වගේ එකක් නෙමෙයි. ඒ නිසා කිසිම විදිහකින් මේ ත්‍රස්තවාදය හුරතල් කළ යුතුයි වගේ අදහසක් මගේ නෑ. ඉතාම සුලුවෙන් හැදීගෙන එන මේ අනතුර මුලිනුපුටා දැමිය යුතුයි කියන තැනයි මං ඉන්නෙ. ඒත් එතනදි උපායශීලීත්වය නැත්තං ස්ට්‍රැටජි එක වැදගත්. අපි වැඩ කරන්නෙ ත්‍රස්තයාගෙ ස්ට්‍රැටජියෙ නං අපි ඉන්නෙ වැඩේ වවමින් පෝර දාමින්.
     
    එක පැත්තකින් නීතිය දැඩිව පාවිච්චි කරමින් ත්‍රස්තවාදය අතුගාලා දාන්න ඕන. ඒක තමයි අංක එක. දෙවනුව මේ වෙද්දි අන්තවාදය වෙතට යමින් ඉන්න නමුත් තාම ත්‍රස්තවාදීන් වෙලා නැති පිරිස් පුනරුත්ථාපනය කරන්න ඕන. තෙවනුව සාමාන්‍ය බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදයෙන් ගලවාගන්න ඕන. වෙන විදිහකට නම් ඒ අයව අන්තවාදය පැත්තට තල්ලු කිරීම නතර කරන්න ඕන.
     
    මීට අමතරව ගත යුතු විධිමත් දීර්ග කාලීන පියවර රොහාන් ගුනරත්න එයාගෙ ඉන්ටවිව් එකක පැහැදිලි කරලා තිබුන.  එතනදි හැමෝටම එක විදිහට සලකන, වෙන් කොට හෝ විශේෂ කොට නොසලකන සමාජයකට අවශ්‍ය නීතිමය රාමුවක් සකස් වීමේ වැදගත්කම එයා පෙන්නලා තිබුන.
     
    කඩුපොලු පල්ලිවලින් හමුවෙන සිද්දි වාර්තා කරන්න මාධ්‍යවලට අවසර නොදීම ගැන මං සතුටුයි. මේ අඳුරු මොහොතේ මාධ්‍ය හැසිරීම අතිශය කාලකන්නියි, තක්කඩියි. තමන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් ජනතාව උසි ගැන්වීම මිස ජාතික හැගීමක් ඇතුව කරන මාධ්‍යකරනයක් අපේ රටේ නෑ. එහෙම දැක්මක් තියෙන මාධ්‍යවේදියො මාධ්‍යවල නෑ.   සාමාන්‍ය මුස්ලිම් ජනතාව පැත්තට වෛරය එල්ල විය හැකි ප්‍රවෘත්ති සමාජගත වීම වැලැක්වීම මේ වෙලාවෙ අවශ්‍යය දෙයක්.  ඒකෙන් මුස්ලිම් අය ආරක්ෂා කරන්න හදනවා වගේ පේන්න පුළුවන් වුනත් ඇත්තම කාරනය ඒ තව අවුරුදු ගානක් පරිප්පු කන්න වෙන යුද්දයක් නිර්මාණය වීම වලක්වන එකයි
     
    පුරවැසියො විදිහට වැදගත්ම දේ පොඩි ළමයි වගේ හැසිරීමෙන් වලකින එකයි. මුස්ලිම් ජනතාවට ඇගිල්ල උරුක් කරගෙන උන්ව බිත්තියට හේත්තු කිරීමෙන් ඇත්තටම ලබාගන්න හදන්නෙ මොකක්ද?. එහෙම කරලා උන්ව හදාගන්න හරි යට කරගන්න හරි පුළුවන් කියල කවුරු හරි හිතනවා නම් ඒ හිතුවිල්ල හරි ලාමකයි. මුස්ලිම් ජනතාව කොන් කිරීමේ හැම වෑයමක්ම කෙලවර වෙන්නෙ අයිඑස්අයිඑස් එක ලෙජිටිමේට් කරන්න පදනමක් හදලා දීමෙන්. 
     
    අපි කැමති වුනත් අකමැති වුනත් අපිට කරන්න පුළුවන් එකම දේ මුස්ලිම් මනුස්සයාව ආදරෙන් වැළඳගැනීම විතරයි. තමන් ත්‍රස්තවාදියෙකු නොවේ කියන සිතුවිල්ල ජීවත් කරවන්න ඒ මනුස්සයාට ඉඩක් හදලා තියෙන්න ඕන. අපි කරමින් ඉන්නෙ උඹ ත්‍රස්තවාදියෙක් කියලම ඒ මිනිහට පිලිගන්වන්න උත්සාහ කරන එක විතරයි.
    එක එකා ගැන තරහෙන් පැලෙනවාට වඩා මේ වෙලාවෙ වැදගත්ම පුරවැසි වගකීම වෙන්නෙ ආපහු සාමාන්‍ය ජීවිතය පටන් ගන්න එකයි. කඩවලින් බඩු ගන්න, පාරෙ තොටේ ගැවසෙන්න, රස්සාවලට, ඉස්කෝලවලට යන්න, සති අන්තවල නිවාඩු ගත කරන්න, මේ දේවල් පටන් අරන් ආපහු රට ස්ටාර්ට් කරන්න ඕන. ඒක තමයි අමාරුම.
    මොකද ගොඩක් අයට ඕන රට ඕෆ් කරලා තියාගන්න.
  • රාත්තල් තුන්සීයක බර පහරක්

    රාත්තල් තුන්සීයක බර පහරක්

    පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හරියටම ගැලපෙන්න හීන් වැස්සකුත් වැටෙමින් තිබුනා. මූඩ් එක වෙරි නයිස්, පහෙන් පහයි. 
    මං අසන්දිමිත්තා නවකතාව කියවලා නෑ. ඒක හින්ද ෆිල්ම් එක ගැන මගේ තියෙන අදහස තනිකර ෆිල්ම් එකම පදනම් කරගත්ත එකක්. 
     
    මේක බලපු හැමෝම මට පොදුවෙ එක කතාවක් කියල තිබුන. 
     
    මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ බං. 
    ඒක පේ‍්‍රක්ෂකයාගෙ පැත්තෙන් පට්ට සාධාරන කතාවක්.
     
    ෆිල්ම් එක තියෙන්නෙ ඇගේ හන්දියක්වත් නොපෙනෙන තරමට රවුම් වුනු අසන්දිගෙ කතාව ගැන. ආයිමත් කැමරාවට ඒ කියන්නෙ පේ‍්‍රක්ෂකයාට කෙලින්ම ප‍්‍රතිචාර දක්වමින් හඳයා පටන් ගන්න සිනමා භාෂාව මාව කුල්මත් කළා. දියකැට පහන කාලෙ හඳයා ආපහු වැඩ පටන් අරන් කියල පලවෙනි සීන් එකෙන්ම මං පිනා ගියා.
     
    මේ අපි තිරයෙ දකින කතාව කියන්නෙ සිනමාකාරයෙක්. ඒක එයාට අසන්දි කියන තඩි ගෑනි විසින් කියන කතාව. 
     
    කතාව බලාගෙන යද්දි ඒ සිද්දි ගොඩනැගෙන විදිහෙ දැනෙනවා නොගැලපීමක්. අභව්‍යකමක්. ඒක ඇබ්සර්ඩ් වැඩක් විදිහට සංඥා වෙන්නෙත් නෑ. කොටින්ම මොකද්ද මේ වෙන්නෙ කියල හිතාගන්න බැරි වෙනවා. කතාව අන්තිමේදි අපිට අපි නරඹපු දේ නැවත ලිහාගන්න පුංචි ඉබි යතුරක් හම්බුවෙනවා. ඒකත් අපි විසින් හොයාගෙන කපාගන්න ඔ්න එකක්. 
     
    මේ කතාව කියන්නෙ අසන්දි. ඒක ඇත්ත කතාවක් වෙන්න කොහෙත්ම උවමනාවක් නෑ. අසන්දිට එයා කැමති කතාවක් චිත‍්‍රපටිකාරයෙකුට කියන්න ඔ්න තරම් හේතු තියෙන්න පුළුවන්.
     
    රාත්තල් තුන්සීයක් බර ශරීරය අසන්දි වුනාට එයාගෙ මනස සන්දි වූවක් වෙන්න පුළුවන්. ඒක බිඳුනු නැත්තං ස්ප්ලිට් එකක් වෙන්න පුළුවන්. සමාජයේ නිරන්තර ප‍්‍රතික්‍ෂේප වීමට, පාවිච්චි වීමට අසන්දිගේ මනස යතාර්ථය විදිහට වෙනස් සමාන්තර නැරටිව් එකක් තෝරගත්තා වෙන්න පුළුවන්. ඒක පිරිමින් දෙන්නෙකුගෙන් සමන්විත ප‍්‍රබන්ධ යතාර්ථයක්. එකෙක් මිනිමරුවෙක් අනිකා හොරෙක්. මේ දෙන්නා වතාවෙන් වතාවට මාරුවෙමින් අසන්දිගේ ලෝකය ජීවත් කරනවා.
     
    මේ ප්ලොට් එක මරු එකක්. ඩබල් ලයිෆ් ඔෆ් වෙරොනිකා ඉඳන් පොලාන්ස්කි වගේ සිනමාකරුවන් හරහා ලින්චියානු සිනමාව වෙනකං හොඳ බල්ටි ගහන්න පුළුවන් තැනක්. ඒත් හඳගම සිනමාත්මකව මේ වික‍්‍රමයට සමත් වෙන්නෙ නෑ. මේ චිත‍්‍රපටය විසින් ඉල්ලා සිටින සයිකොලොජිකල් ත‍්‍රිලර් සිනමාවක ලක්ෂන නිර්මානය කරගන්න හඳයාට බැරි වෙනවා. අපි මුල ඉදන් දකින්නෙ සමාජ අසාධාරනයට ලක්වූ ගැහැනියක් ගැන දුර්වල අවිශ්වාසනීය වියමනක්. ඒ වියමන එක්ක බැඳෙන්න, අනුගත වෙන්න අපිට කාරනා ගොඩනැගෙන්නෙ නෑ. කතාව අවසානයේ එකපාරටම ඒක ත‍්‍රිලර් එකකට මාරු වෙනවා. ඒත් ඒකෙන් වෙන්නෙ අවිශ්වාසනීයත්වය, අද්භූතබව තවත් වැඩි කිරීම විතරයි. අපිට අසන්ධිගෙ මනස තේරුම්ගන්න පුළුවන් පාලමක් හැදෙන්නෙ නෑ. 
     
    ත‍්‍රිලර් සිනමාවක ලක්ෂන මුල ඉඳන් ගොඩනැගිලා තිබුනා නම් අපිට අසන්ධිගේ සන්ධි මානසිකත්වය එක්ක විශ්වාසනීය සම්බන්ධයක් ගොඩනැගෙන්න ඉඩ තිබුනා.  එතනයි පේ‍්‍රක්ෂකයාට දොරක් තියෙන්නෙ.  මේ විදිහෙ සිනමාවක් කියන්නෙ ඇත්තටම අභියෝගයක්. අවාසනාවට අසන්දි මෙතනදි ෆේල් වෙනවා. 
     
    මට මතක් වුනේ පොලාන්ස්කිගෙ ද ටෙනන්ට් ෆිල්ම් එක. ඒක අසන්දිමිත්තාට හොඳ පූර්වාදර්ශයක් වෙන්න තිබුන.
     
    කතාව පේ‍්‍රක්ෂක මනසත් එක්ක සම්බන්ද වෙන්නත් ආතතිය පවත්වාගෙන යන්නත් අවශ්‍ය අසන්දිගේ ප‍්‍රබන්ද ලෝකය සහ වාස්තවික ලෝකය අතර ගැටුම පිටපත ඇතුලෙ නිර්මානය වෙන්නෙ නෑ. මේ හින්දම කෘතිය එක්ක අපිට තියෙන බැඳීම දුර්වල වෙනවා. දුරස්ත වෙනවා.
     
    අපිට අසන්දි එක්ක සංවේදී වෙන්න මොහොතක් මුනගැහෙන්නෙ නෑ. චිත‍්‍රපටිය පුරාම අපි බලන් ඉන්නෙ අසන්දිගෙ පිස්සුව. ඒ පිස්සුව විනිවිදලා එතනින් එහා පවතින අසන්දිගෙ ආත්මය ස්පර්ශ කරන එක නරඹන්නාට දුෂ්කර ක‍්‍රියාවක් වෙනවා. හඳගම තමන්ගෙ නිර්මාණයේ ඉතුරු කරලා තියෙන්නෙ සියල්ල විවෘත අන්තයන්. අපි අසන්දි ගැන සංවේදී වෙන හැම කාරනයක්ම අපි විසින් නිර්මානය කරගන්න හිතලු මිස චිත‍්‍රපටිය විසින් අපිට ලබාදෙන ඒවා නෙමෙයි. 
     
    ඒ හින්දම අපි දකින සිනමාව හිස් එකක් වෙනවා. අවිශ්වාසනීය වෙනවා. අපි අසන්දිගෙන් දුරස්ව එක ඇහැක් පොඩි කරගෙන අසන්දි දිහා බලන් ඉන්නවා.
     
    ඇත්තටම..?
    අපිට එන්නෙ එහෙම වික්ෂිප්ත හැගීමක්.
     
    මුලු කතාවෙ සියලු අසාර්ථකතා දරාගෙන බලාගෙන ඉන්න තරමට නිල්මිනීගේ රගපෑම විශිෂ්ට එකක්. ඒ රාත්තල් තුන්සීයෙ ශරීරය පුදුම සෞන්දර්යයක් තිරය උඩට ගේනවා. රාත්තල් තුන්සීයක ආදරයක් කියන කතාව ඒ රංගනයට හරියටම ගැලපෙනවා. චිත‍්‍රපටියෙ සම්පූර්න බර තියෙන්නෙ ඒ රාත්තල් තුන්සීය උඩ.
     
    ඒත් ඒ චිත‍්‍රපටිය වෙහෙසකර අත්දැකීමක්. තමන්ට නොතේරෙන පටලැවිල්ල ඇතුලෙ පේ‍්‍රක්ෂකයා ෆිල්ම් එකෙන් ගැලවෙනවා. අද්භූතබව ඇරුනම එයාව අල්ලලා තියාගන්න කිසිම සංවේදනයක් ඒ කැඩුනු බිඳුනු සිනමා ආඛ්‍යානය විසින් ගොඩනගන්නෙ නෑ.
    කතාවෙ අන්තිම සීන් එක පට්ට. ඇත්තටම අසන්දිගෙ ප‍්‍රබන්ද යතාර්ථය සහ පවතින යතාර්ථය අතර  මේ ෆිල්ම් එකට අවශ්‍ය ටෙන්ෂන් එක හැදෙන්නෙ ඒ අන්තිම සීන් එකේ විතරයි. මේ කම්බැක් එක ලංකාවෙ කලින් පාවිච්චි නොකරපු විදිහෙ පොප් වැඩක්.
     
    කෘතියක් විදිහට අසමත් වුනත් හඳගම අලුත් නැරටිව්ස් ඉව කරමින් ඉන්න වග පැහැදිලියි. අලුත් සිනමා අත්දැකීම්, භාව කලාපයන් අත්හදා බලන වග පැහැදිලියි. තමන්ගේ  සිනමාව ඇතුලෙම තව පතුලට හාරමින් බය නැතුව අලුත් ප‍්‍රවේශයන් ට‍්‍රයි කරන එකට හඳයාට අත්පුඩියක් ගහන්න ඔ්නි. 
     
    මේ චිත‍්‍රපටියෙ මං කැමතිම දේ හඳයා මේ තඩි ගෑනි දිහා බලන විදිහ.
     
    ඒක සුපුරුදු අනුකම්පාව මුසු පව් හැගීම නෙමෙයි. ඒ වෙනුවට හඳයා ඒ රාත්තල් තුන්සීයක පිස්සුව ඇතුලෙන් ආපහු සමාජය දිහා බලනවා. අපි දකින්නෙ කිසිම ගිල්ටියක් හෘදයසාක්ෂියක් නැතුව තමන්ට හරස්වෙන ඔ්න එකෙක් මරාදැමිය හැකි සාපරාදී -නමුත් වරදකාරී නොවන ගැහැනියක්.  උමතුව තුල පරාජය කළ නොහැකි තරමට ශක්තිමත් වුනු ගැහැනියක්. ඒක ඇතුලෙ ඉන්නවා පිරිමි දෙන්නෙකුගෙ ආවේශයෙන් බලය ගත් භද‍්‍රකාලී කෙනෙක්. එයා පව් නෑ. එයා ආපහු හැරිලා ගහනවා.
    ඒක රාත්තල් තුන්සීයක බර පහරක්.
  • සයිකඩෙලික් සෙන්ෂුවලිටි

    සයිකඩෙලික් සෙන්ෂුවලිටි

    මං මගේ යාලුවෙක් එක්ක කතා කරමින් හිටියා. ගැහැනු එක්ක සම්බන්දකම් ගොඩනගා ගැනීම ගැන. මේ සම්බන්දකම් දෙවිදියකට පටන් ගන්නවා මං දැකලා තියෙනවා. එකක් මොකක් හරි කතාබහක් දුරදිග ගිහින් ඒකෙන් උන්මාද වෙමින් ඊට පස්සෙ ශරීරයෙන් වෙලෙමින් පටන් ගන්න සම්බන්දකම්. අනිත් එක ඉතාම සරලව ස්පර්ශය මූලික කරගෙන පටන් ගන්න සම්බන්දකම්. දෙවෙනි එක තමයි මේන්ස්ට‍්‍රීම් විදිහ. ඒකට පීකොකින්ග් වගේ කාරනාත් සම්බන්දයි. ඒ කියන්නෙ ආකර්ශනය දිනාගැනීමේ ප‍්‍රධාන ධාරාවේ ක‍්‍රමවේද. ඇඳුම, හැසිරීම, කතාබහ මේ හැමදෙයක් එක්කම ශරීරය මූලික කරගත්ත එළඹුම.

    මං වඩා කැමති පලවෙනි ක‍්‍රමයට. ඉස්සෙල්ලා හොඳ මයින්ඩ් ෆක් එකක් ගන්න අපේ සම්බන්දය සමත්ද කියල බලන එක. ඒ මානසික ගනුදෙනුව නැතුව කෙලින්ම ශරීරයෙන් සමබන්දකම පටන් ගන්න අසමත් බව. ඒක ඇල්ෆාමේල් සමාජයක දුර්වල ගනුදෙනුවක්. මගේ ප‍්‍රශ්නය වුනේ අපි ඒ විදිහට අදහස් හුවමාරු අතරෙ මානසික ශෘංගාරයේ වෙළෙන ගැහැනුන් පවා විනාඩියෙන් දෙකෙන් දෙවෙනි වර්ගයේ ශරීර භාෂාවට නතුවෙන එකයි.
    උදා විදිහට අපි මාර මානසික ගැඹුරක් ඇති කියල හිතලා පීන පීන ඉන්න අදහස් යුවතිය එක ක්ෂනයකින් අතක් කකුලක් ස්පර්ශ කරන පරක්කුවෙන් ශරීර භාෂාව ප‍්‍රගුන කරපු යාලුවෙක් එක්ක යහන්ගත වෙන්න පුළුවන්.

    ඒක වැරැුද්දක් නෙමෙයි. හරියට කෝපි තමයි ආසම කිය කිය ඉන්න කෙනෙක් ලත් අවසරෙන් තේකක් බීගෙන බීගෙන යනවා දැක්කම වගේ එකක්.

    ඒක ගෑනුකම වෙන්න බැරිද? අපිට තියෙන දෙබෙදුම ඒ ගොල්ලොන්ට නැති වෙන්න බැරිද? පිරිමි මනසට ඒ විශ්වය නොතේරෙනවා වෙන්න බැරිද?
    මං ඒ දිහා බැලුවෙ කුතුහලකින්.

    ඉතිං ඒකෙන් උඹට ඒ ගෑනු ගැන තිබුන රෙස්පෙක්ට් එක අඩුවෙනවා වගේ දැනෙනවද?
    යාලුවා මාව ප‍්‍රශ්න කළා. මං පිලිගත්තා.

    ඉස්සර මටත් ඔය අවුල තිබුන. දැන් මං මොන ගෑනිට වුනත් රෙස්පෙක්ට් කරන්නෙ අඩුවෙන්. යාලුවා එයා මේ කඩාවැටීම එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියල මට තේරුම් කළා.

    මට කනෙක්ෂන් එකක් නැත්තං වයිබ් එකක් දැනෙන කෙල්ලෙක් පස්සෙන් මං යනවා. ට‍්‍රයි කරනවා. ඒත් හරි යන්නෙ නැත්තං වැඩිය නොහිතා අතාරිනවා. ඒ කනෙක්ෂන් එක දැනෙන්නෙ නැතුව නං මං කොහෙත්ම ට‍්‍රයි කරන්නෙ නෑ.

    මේ වයිබ් එක කියන්නෙ අභ්‍යන්තර දැනීමක්. අපිට අපිව දැනෙනවා වගේ පාස්වෙන කරන්ට් එකක්. ඒත් මේ කරන්ට් එක විශ්වාස කිරීමෙන් වුනත් දරුනු ට‍්‍රැජික්-එන්ඩ් වලට යන්න පුළුවන්. මට අනන්තවත් එහෙම වෙලා තියෙනවා.

    යාලුවා- මචං ඒ කනෙක්ෂන් එක නැතුව ගෑනියෙක් එක්ක කතා කර කර ඉන්න එක පවා වාතයක්. සෙක්ස් කරන එක ගැන හිතාගන්න පුළුවන් නෙ.

    මං එහෙම හොද කන්වසේෂන් එකක් තියෙන කෙල්ලෙක් එක්ක කාලයක් ඩේට් කළා. අපි සෙක්ස් කළා කතා කළා හැමදේම කළා. ඒත් එක වෙලාවක අපේ කන්වසේෂන්ස් වැඩියෙන් වැඩියෙන් ඩීප් වුනා. ඉන්ටරෙස්ටින්ග් වුනා. ඊට පස්සෙ ඒ කෙල්ල කිව්වා අපි සෙක්ස් කරන එක නවත්තමු. මට කතා කරන එකෙන් හම්බුවෙන ප්ලෙෂර් එක ඊට වැඩියි. සෙක්ස් කියන්නෙ හරි ෂැලෝ දෙයක් කියල.

    ඉතිං ඒක හොදයිනෙ. මං බාධා කළා.

    පිස්සුද බං. ඒ දෙකම ඔ්නි. එහෙම නැතුව ඒ ෆීල් එක තියෙන්නෙ නෑ. සෙක්ස් ෂැලෝ වෙන්න පුළුවන්. ඒත් ඒ ෂැලොනස් එකයි ඩීප් මයින්ඩ් ටි‍්‍රප් එකයි එකට පවතින එක තමයි ෆෝමියුලා එක.

    ඒ එක්කම තව මගේ ලව් එකක් තිබුනා. එයාට ඔ්න ෂැලෝ සෙක්ස්ම විතරයි. කන්වසේෂන් හරි ඩීප් කතන්දර හරි එයාට බෝරිං. ෂැලෝ සෙක්ස් වුනත් ආදරය වගේ රොමැන්ටිසයිස් කරනවට එයා කැමති නෑ. එයා කැමති අමු පාදඩ විදිහට. ඒත් මචං ඒ කෙල්ල තමයි මට ජීවිතේ මුනගැහිච්ච ආර්ටිස්ටික්ම ටැලන්ටඩ්ම කෙල්ල. මේ අවුල විසඳගන්න බැරුව මාව විනාස වුනා. මට තාම ඒ කෙල්ල ගැන හිතන එකෙන් ගැලවෙන්න බැරි වුනා.

    ඇයි උඹට ඒක අත්අරින්න බැරි?

    මචං එයා හින්ද මට මං ගැන තිබුන කන්ෆිඩන්ස් ඔක්කොම නැති වුනා. එයා මං ආසම විදිහට හිතන කෙල්ලෙක්. ඒත් එයාගෙ තියෙනවා ඒකට කොහෙත්ම නොගැලපෙන වෙන පැත්තක්. මාව හොඳටම පැරදිච්ච තැනක්. මට එයා කියන අන්සිවිලයිස්ඩ් ස්ටේට් එකට එන්න බැරි වුනා.

    කොහොම හරි මචං මට කෙල්ලො ගැන තියෙන රෙස්පෙක්ට් එක ටික ටික අඩුවුනා. අපි රෙස්පෙක්ට් කරන්නෙ අපේ ඔලුවෙන් හදාගන්න නැරටිව් එකකට. ඒක වෙන්නෙ කතාබහත් එක්ක. මං දැන් කෙල්ලො කතා කරන දේ අහන් ඉන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ගොල්ලො කරන දේ දිහා බලාගෙන ඉන්නවා.

    උඹට බෑ උඹ නොදන්න විදිහට හිතන කෙනෙක්ව වචනවලින් තේරුම් ගන්න.
    යාලුවා දිගට කිව්වා. ඒක මරු අදහසක්.

    මචං අපි හොයන්නෙ සයිකඩෙලික් සෙන්ෂුවලිටි එකක්. ඒක ඒ කතාබහ ඇතුලෙන් ඇවිත් ඒක දරාගන්න ශරීරයක් එක්ක බැඳුනම තමයි අපේ ක්ලයිමැක්ස් එක තියෙන්නෙ. ඒක ටිකක් කම්ප්ලෙක්ස් තත්වයක්. වචන වෙනම තිබිලා ශරීරය වෙන එකක් වුනොත් අපි අර්බුදයට යනවා.

    හොඳම දේ පුලුවන් තරම් ඔබ්ජෙක්ටිව් වෙන එක. බලාගෙන ඉන්න එක. එයාගෙ ක‍්‍රියාව අනුව හීන හදන එක.

    සයිකඩෙලික් සෙන්ෂුවලිටි කියන්නෙ ශරීරයට වඩා මනසත් එක්ක ශෘංගාරයෙන් බැදීමක්. ඉර එලියක් එක්ක, තනකොල ගහක් එක්ක, වචන එක්ක, ශරීරයක උනුසුමත් එක්ක, ස්පර්ශයත් එක්ක සිය දහස් ගුනයක් විශාලනය වුනු සංවේදනයකින් ඉපදෙන ශෘංගාරය. ඒක ටි‍්‍රපී වැඩක්. ඒ ටි‍්‍රප් එක යන්න එකට ඒ විදිහට මත්වෙන්න පුළුවන් පාට්නර් කෙනෙක් ඉන්න ඔ්නි. එහෙම ගෑනු අඩු හින්ද අපේ අතින් වෙන්නෙ එහෙම අයව මවාගන්න එක.

    ඒක නිසා අපේ සයිකඩෙලික් පේ‍්‍රමය දෙන්නම එකම මධුවිතෙන් මත්වෙන මොහොතක් එනකල් පරක්කු කරන්න වෙනවා. එහෙම නැතුව සිද්ද වෙන ඒක පාර්ශ්වීය මායාව කෙලවර වෙන්නෙ තේරුමක් නැති අපේක්ෂා භංගත්වයකින්.
    මගේ යාලුවාගෙ කතාව වුනේ ඒක.