Category: Cult

  • මයිලපත් සමනල්ලූ

    මයිලපත් සමනල්ලූ

    කළුවර වැටෙන්න කලින් ඔෆිස් එකෙන් පැනලා ගෙදර ආවා. අන්තිම ඉර රැුල්ල ජනෙල් පඩියට වැටෙනවා බලන්න  ඕන. උණු උණු ප්ලේන්ටියක් ළගට  ඕන. ඔතාගත් ජොයින්ට් එක හීන් සැරේ පත්තු වෙන්න  ඕන. පුටුවෙ සුවපහසුවට දිගාවෙලා සුජීවගේ මයිලපත් සමනල්ලූ කියවන්න  ඕන.

    මං එහෙම කළා. ඒ කවි ලස්සන හැන්දෑවක් මැව්වා. ඒ කවි වලින් මාව අරන් යන නොස්තැල්ජියාව ගැන මට ආසාවක් තිබුනා. ඒ හැපෙන විසිරෙන ඉනස්න්ස් එක පිරුන වචන මට මිස්වෙලා තිබුන.

    ඒ වචන අලූතෙන් ආදරෙන් බැඳෙන තැන්වල වර්ජිනිටි එකක් තිබුන. ඇල්ලූවොත් තැලෙයි පොඩිවෙයි කියල හිතෙන සියුමැලිකමක් දැනුන. මං හීතල හන්තාන හුළගකුත් එක්ක මයිලපත් සමනල්ලූන්ට ඇලූන.

    පේරාදෙනිය කියපු ගමන් මට දැනෙන හැගීමක් තියෙනවා. ඒක රූපයක් නෙමෙයි. රූප ගොන්නක්. සීතලක්. කොලපාටක්. හිරිකඩක්. තෙතක්.. ඒ අතරෙ සුජීවයි සංජීවයි එලිදක්වපු කවි පොතකුත් එතන තියෙනවා. ඒක මට මතක විදිහට උන්ගෙ පලවෙනි කවි පොත. උන් දෙන්නා තමයි අපේ කාලෙ පේරා හිටපු කවියො දෙන්නා. උන් හිටියෙමත් කවියො විදිහටමයි. කතා කළේ හිනා වුනේ වුනත් එහෙමමයි.

    ඊට පස්සෙ අපි ඔහේ විසිරිලා යනවා. සුජීව සිංහල ටියුෂන්කාරයෙක් විදිහට මට මුනගැහෙනවා. සංජීව ෆේස්බුක් එකෙන් මුනගැහෙනවා. උන් දෙන්නා තාමත් කවි ලියනවා.
    මයිලපත් සමනල්ලූ සහ ඔබට නොවේ බටිත්තන්ට කියන්නෙ ආපහු දෙවෙනි පාරටත් උන් එකතු වෙලා කරන කවිපොත. පේරා වෙනුවට මෙදා මහවැලියෙ.

    කවියො දෙන්නෙක් ගැන එකට ලියන්න බෑ. මං සංජීවගේ කවි පස්සෙ දවසකට තියලා සුජීවගෙ කවි ගැන ලියනවා.

    ඒවා හරි තෙතයි. ඇලෙනසුලූයි. හිරිකඩ හීතලට පෙගුන මෙට්ටයක වැතිරෙන ගානයි. මං ඒ කවි වලට ආසයි. ඒවා පෝස්ට් මොඩර්න් කවි නෙමෙයි. කොහෙත්ම රැුඩිකල් නෙමෙයි. මතකයන්, ආදරයන්, අතීතයන් එක්ක මනුස්ස බැඳීමකින් පැටලෙන ඇස් තෙත් කරන මිස් එකක්.

    මධු විතක කිඳී
    මතක සැමරුම්වලට
    ගල්මුල් ගසන්නට
    ඉඩක් නැත

    මහ රෑ
    පෙට්ටිකඩ හොයාගෙන ගිහින්
    පේමන්ට් දිගේ
    දුම්වළලූ යව යවා
    තැවුල් සිත තම්බන්ට
    ඉඩක් නැත..

    සුජීවගේ කවි දිගයි. ඒ මූඞ් එක දිගේම පහලට ගහගෙන යන්න  ඕන. අතරමැදින් උපුටලා පෙන්නුවට අහුවෙන්නෙ අහුරයි. ඒකෙන් පද පෙරලිවල අපූරුව මිස කවියෙ තියෙන ටි‍්‍රප් එක ගන්න අමාරුයි.

    ආයෙත් සැරයක්
    නින්දෙදිත් දැක්කා ළගටම
    හුස්ම සුවඳත් දැනෙන ගානට
    ළංවෙලා හිටියා මූණට
    රෝස පාට පියයුරු තුඩු
    උරාබොන
    බිළිඳෙකුව සිටියා මම
    ඇහැරෙන කොටත්
    සියොළ
    ගම හිරිවැටී තිබුනා
    හොඳටම

    දුල් නයිටියක් පැටලෙන්නෙ නැතුව
    ගෑනු සුවඳක්
    හීන් කෙඳිරිල්ලක් නැතුව
    තනියම බුදියන එක
    එපා වෙලා දැන් මට

    ඒ කවිවල මොකුත් වහලා කවිකම් හදන්න යන්නෙ නෑ. දැනෙන පේන දේ සරලව කියනවා මූනට. එතකොට දැනෙන කතාවෙ අපි ඇවිදින්නෙ අත්දැකීම අපේ කරගෙන. සුජියා කවි ඇතුලෙ බලය වෙනුවට ගේන්නෙ වස`ගය. මට දැනෙන්නෙ මේ කවි හරිම ගෑනුයි.

    පරණ කෝච්චි පෙට්ටිවලයි
    සිල්පර කොටවලයි
    සුවඳ මතකද
    හැමතැනම
    කළුතෙල් පැල්ලම් වැකුණු
    බිම් තඹුරු මල් පවා
    කළුපාට තැවරූ
    මතකයක
    සුවඳ මතකද..

    කෝච්චි පාර දිගේ කතා කරන්න දෙයක් නැතුව අත්අල්ලන් යන කාලෙදි වැඩියෙන්ම බැලෙන්නෙ සිල්පර කොටං අතර. ඒ වැවෙන පුංචි පැල, ලොකු ඇණ, කළු තෙල් තාර… ඒ රූපෙත් එක්ක එහා පැත්තෙ ඉන්නෙ කවුද කියල මතක නැති ආදරයක් මතක් වෙනවා. සුජියා හරියටම ඞීටේල් අල්ලනවා.

    මේ කවි එකින් එක මෙතන ලියලා දනවන්න බැරි තරම් මං කැමති කවි ගොඩයි. අකමැති කවි ටිකයි. ඉඳලා හිටලා පරාක‍්‍රම කොඩිතුවක්කුලගෙ, මොනිකලගෙ සමාජ සාධාරණය ගැන කවි කීපය තමයි මගේ ටි‍්‍රප් එකට තිබුන එකම බාධාව.

    සුජීවගෙ කවි ගැන ඇහුවොත් මට කියන්න තියෙන්නෙ එක වචනයයි.
    ඉනසන්ස්..
    මාව බැඳුන කවිය තිබුනෙ එතනයි.

  • සෙක්ස් දේශපාලනිකද?

    සෙක්ස් දේශපාලනිකද?

    චරිත්ගෙ යූටියුබ් චැනල් එකට පොත ගැන ඉන්ටවිව් එකක් කරද්දි චරිත් මගෙන් අමුතු ප‍්‍රශ්නයක් ඇහුවා. මේ කරන සෙක්ස් වැඬේ දේශපාලනිකද කියල. ඒකෙන් මං මොහොතකට කල්පනාවකට වැටුනා. ඒක එහෙමද? මොකක්ද දේශපාලනිකයි කියන්නෙ? අපිට පුළුවන්ද එහෙම යම් දෙයක් දේශපාලනිකයි කියල හිතලා කරන්න. අනිත් පැත්තට දේශපාලනික නොවෙන වැඩ තියෙන්න පුළුවන්ද?

    උදා විදිහට මට මධූ රොක්ස් දේශපාලනිකයි වමේ පක්ෂයකට වඩා. මධූ රොක්ස්ට පුළුවන් වෙනවා එක දවසකින් ලංකාව ලේයර්ස් ගනනාවකින් තිගැස්මකට ලක් කරන්න. මේක අපිට කියන්න පුළුවන් ඩිස්රප්ෂන් එකක් කියල. අපි සීරියස් කියලා හිතන්නෙ මොකක්ද, ආර්ට් කියල හිතන්නෙ මොකක්ද, පොලිටික්ස් කියල හිතන්නෙ මොකක්ද, ඉතිහාසෙ කියල හිතන්නෙ මොකක්ද වගේ කලාප ගනනාවක පැරඩියක් එයා හදනවා. පැරඩියක් කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව ලංකාවම අනාත වෙනවා. මට අනුව මධූ රොක්ස් කරන්නෙ දේශපාලනික වැඩක්. ඒත් ඒක එයා කරන්නෙ එහෙම දැනගෙන නෙමෙයි.  ඕන නං අපිට එහෙම කියවන්න පුළුවන්.

    අපි දේශපාලනිකයි කියල හිතාගෙන කරමින් ඉන්නෙ මොනවද? පිකට්, රැුලි, පාගමන් මේවා තවදුරටත් දේශපාලනිකද? නැත්තං මධූ රොක්ස්ට වඩා පරණ පැරඩිද? දේශපාලනිකයි කියල මගේ යාලූවො කරමින් ඉන්න ගොඩක් දේවල් ගැනත් මට එහෙම හිතෙනවා. සමහර විට දේශපාලනිකයි කියල හිතාගෙන දෙයක් කරන්න ගියහම ඒක ජෝක් එකක් වෙලා නතර වෙනවා වෙන්න පුළුවන්.

    මට හිතෙන්නෙ පවතින තත්වයන් ගැන නූතන තේරුම් ගැනීමකින්,
    ප‍්‍රායෝගිකව වැඩ කරන,
    මිනිස්සු එදිනෙදා එන්ගේජ් වෙන දේවල් දේශපාලනිකයි.
    ඒ වෙනුවට පවතින තත්වයන් ගැන පුරාතන හෝ න්‍යායික හෝ තේරුම් ගැනීමකින්, ප‍්‍රායෝගිකව වැඩ කරන්නෙ නැති, මිනිස්සුන්ව බලෙන් දක්කන්න සිද්ද වෙන වැඩ අදේශපාලනිකයි.

    එහෙම වුනහම මට මං කරන දේ දේශපාලනිකද කියල තීරණය කරන්න බෑ. ඒක තීරණය වෙන්නෙ සමාජය එක්ක සිද්ද වෙන ඉන්ටරැුක්ෂන් එක අනුව.
    ඊට පස්සෙ මිනිහා තවත් හොඳ ප‍්‍රශ්නයක් ඇහුවා. ආගම සහ සෙක්ස් ගැන. ඒක හරිම ඉන්ටරෙස්ටින්ග් මාතෘකාවක්.  ඕනම ආගමකට තියෙන ප‍්‍රතිවිරෝධය තමයි සෙක්ස්. ආගමක් දියවෙන තැන.  කිසිම ආගමකට සෙක්ස් බාරගන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ආගමක් කියන්නෙ රෝගයක් වීම. ආගමක් කියන්නෙ අපි අපේ ඇත්ත යටපත් කරමින් අපේ නැති ඇත්තකට බුහුමන් කරන්න එකතු වෙන සාමූහික ඇදහිල්ලක්. එතන තියෙන්නෙම අපේ ඇත්ත, ඒ කියන්නෙ ආශාව යටපත් කිරීම, වාරණය කිරීම හරහා ශුද්ධවන්තභාවයක් බලාපොරොත්තු වෙන එක. සෙක්ස් කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. අපේ ආශාව වැළඳගැනීම, තෘප්තිමත් කිරීම කියන අර්ධය. මිනිස්සුන්ව මිනිස්සු විදිහට බාර ගැනීම. ආගමක් කියන්නෙ මිනිස්සුන්ව නැති දේවත්වයකට ඇන්දීම. මේ ලෝකෙ වෙනුවට පරලෝකෙකට ඇන්දීම.  ඕනම ආගමක් මූලිකම අර්ථයෙන් ආශාවට බයයි.

    පුද්ගල අභ්‍යන්තරය වටහා ගැනීම වෙනුවෙන් කරන ආධ්‍යාත්මික ගවේෂණයක් කිසිම විදිහකින් ආගමක් වෙන්න බෑ. ආගමක් කියන්නෙ ස්වයං සහ පොදු රැුවටීමක්.  ආධ්‍යාත්මික ගවේෂණයක් අනිවාර්යෙන්ම පුද්ගලික වෙන්න  ඕන. ඒක කොහෙත්ම සාමූහික විනයක් ශික්ෂණයක් වෙන්න බෑ. මේ ගැන ඇත්තටම  ඕෂෝ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

    මේ ආගමික එක වමේ දේශපාලනිකයි කියන දේවල් ඇතුලෙත් තියෙනවා. සාමූහික ඇදහිල්ල, ආශාවට විරුද්ද වීම, වාරණය වගේ දේවල්. අපි දේශපාලනිකයි කියල හිතන ගොඩක් දේවල් දේශපාලනික වෙනුවට ආගමිකයි.

    තමන්ගේ පුද්ගලික ආශාව යටපත් කරමින් පොදු යහපත හෝ ස්වර්ගය හෝ නිර්වාණය හෝ වෙන විප්ලවය හෝ වෙන  ඕනම දෙයක් වෙනුවෙන් පෙනී සිටීම ආගමික පුහුණුවක්. ඒ වගේම ආගමික හැමදෙයක්ම සමාජයක් එකතැන පල් කරනසුලූයි. අලූත් දේට විරුද්ද වෙනසුලූයි. තමන්ගේ මතවාදය වෙනුවෙන් මරාගන්නාසුලූයි. ආදරය වුනත් ආගමික වුනොත් එතන මේ අවුල හැදෙනවා.

    ඒක නිසා සෙක්ස් කියන්නෙ අපි නැවත අපිව අත්පත් කරගැනීමේ කැරැුල්ලක් වෙනවා. අපේ ශරීර ආශාවන්ගේ මූලයන් බාරගැනීමේ මොහොතක් වෙනවා. ආගමෙන් ගැලවීමෙන් ලබන සැබෑ විමුක්තියක් වෙනවා.

    මට හිතෙන්නෙ සෙක්ස් වඩාත් උත්සවශ‍්‍රීයෙන් සමරන්න  ඕන වෙන්නෙම ආගමික විකාරයන්ගෙන් සිද්ද වෙමින් තියෙන හානිය දරුණු හින්ද. සියලූ දේ ආගම් විසින් පවරාගනිමින් අපිට අපිව අහිමි කරමින් තියෙන හින්ද.
    අපි අපේ නිරුවත වෙනුවෙන් පෙනී ඉන්න  ඕන.

  • මත්ද්‍රව්‍ය යනු රකුසෙක් නොව හිස් පඹයෙකි

    මත්ද්‍රව්‍ය යනු රකුසෙක් නොව හිස් පඹයෙකි

    මං ඩ‍්‍රග්ස් ප‍්‍රමෝට් කරනවා කියල සහ ඒ හරහා තරුණ පරපුර නොමග යවනවා කියල සමහරු චෝදනා කරනවා. තරුණ පරපුර මේ මත් උවදුරෙන් මුදවා ගන්න  ඕන කියල සහ ජීවිතේ මේ මත්වීමට වැඩි සෞන්දර්යයක් ඇතිබව ඔවුන්ට කියාදෙන කැම්පේන් එකක් ඇරඹිය යුතුයි කියලත් එක්කෙනෙක් එෆ්බී එකේ ලියල තිබුන. පළවෙනි එක ඩ‍්‍රග්ස් කියන්නෙ ප‍්‍රමෝෂන් අවශ්‍ය දෙයක් නෙමෙයි. දෙවෙනි එක තරුණ පරපුරක් නොමග යවන්න මං කවුද? නොමග නෙමෙයි කිසිම මගක තරුණ පරපුරක් යවන්න මට හැකියාවක් තියෙනවා කියල මං හීනෙකින්වත් විශ්වාස කරන්නෙ නෑ. තුන්වෙනි එක අර ලියමනට මං පක්ෂයි. මත්ද්‍රව්‍යවල ඇති සෞන්දර්යයට විරුද්ධව හරි යතාර්ථ ජීවිතේ සෞන්දර්යය ගැන තරුණයන් සම්බන්ද කරගනිමින් ව්‍යාපෘති දියත්වීම ඉතා හොඳ දෙයක්. මං මත්ද්‍රව්‍යවලට කොයිතරම් පක්ෂද මං ඒ තරමට ඒ යෝජනාවටත් පක්ෂයි.

    මත්ද්‍රව්‍ය නිසා මිනිස්සු විනාශ වෙනවා කියන චෝදනාව මං ප‍්‍රතික්‍ෂේප කරන එකක් නෙමෙයි. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් තමන් එහෙම නරක අත්දැකීම් ලැබුවොත් හෝ තමන්ගේ ආසන්නතමයෙක් එහෙම ව්‍යසනයකට බඳුන්වෙනවා දැකපු කෙනෙකුට මත්ද්‍රව්‍ය ගැන ඇතිවෙන භීතිකාව සාධාරණයි. එහෙම නැතුව නිකං මත්ද්‍රව්‍ය නරකයි කියල ඉස්කෝලවල ඉඳන් අහලා පුරුද්දට හයියෙන් කෑගහන අයයි වැඩි. ඒක බොරු රැුල්ලට එන සද්දයක්.

    ඒත් මත්ද්‍රව්‍ය නැත්තං ඩ‍්‍රග්ස් ගැන මට පුද්ගලිකව මගේ ජීවිතේ ඇතුලෙ ලැබිලා තියෙන අත්දැකීම වෙනස්. ලෝකෙ තියෙනවා කියන සයිකොඇක්ටිව් ඩ‍්‍රග්ස්වලින් අනිවාර්යෙන් සීයට අනූවකට වැඩි ප‍්‍රමානයක් ගැන ෆස්ට් හෑන්ඞ් එක්ස්පීරියන්ස් මට තියෙනවා. ඒත් මට ඩ‍්‍රග්ස් ගැන කිසිම අන්ධකාර අර්ථකතනයක් නෑ. ඒ වෙනුවට මගේ ජීවිතය වඩා පුළුල් කරපු, මගේ නිර්මාණශීලී හැකියාවන් වඩාත් දියුණු කරන්න උදව් දීපු, මගේ යාලූවො, පෙම්වතියො එක්ක සම්බන්ධතා වඩා සුන්දර කරන්න හේතු වුනු දෙයක් විදිහටයි මට ඩ‍්‍රග්ස් ගැන කතා කරන්න වෙන්නෙ. ජීවිතේ මං ආසකරන ගරු කරන සියලූ දාර්ශනිකයෝ කලාකරුවො , ආධ්‍යාත්මික ගුරුවරු සහ මිනිස්සු මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු අය.  එහෙම තියෙද්දි මං මත්ද්‍රව්‍ය යනු රකුසෙකි කියල කිව්වොත් මං බොරුකාරයෙක් වෙනවා. මං කැමතියි ඇත්ත කියන්න.

    මත්ද්‍රව්‍යයක් කියන්නෙ මොකක්ද? මේක හෙරොයින්, කොකේන්, කංසා, අරක්කු වගේ කීපයක් දේවල් එක්ක ගැටගහලා කතා කළත් ඇත්තටම ඩ‍්‍රග්ස් ගැන තේරුම්ගන්න වෙන්නෙ ඊට වඩා ලොකු දැක්මකින්. කොයිම ආකාරයකින් හෝ ශරීරගත වුනාට පස්සෙ මානසික ක‍්‍රියාකාරීත්වයට යම් බලපෑමක් ඇතිකරන  ඕනම දෙයක් ඩ‍්‍රග් එකක්. එතනදි පැනඩෝල් පෙත්ත වගේම ඇල්වතුර පවා ඩ‍්‍රග් එකක්. මිනිස්සු හැමෝම දරුණුවටම ඇබ්බැහිවෙලා ඉන්න ඩ‍්‍රග්ස් වෙන්නෙ සීනි, ලූණු, කෝපි වගේ දේවල්. මේවයේ ඇබ්බැහිය ඉතා දරුණුයි. ඒ වගේම ඇල්කොහොල් ගත්තත් ඇබ්බැහිවීමේ ප‍්‍රතිශතය හෙරොයින් වලට වඩා ගොඩක් වැඩියි. ඇතිවෙන නරක ප‍්‍රතිඵලත් ඊට වැඩියි. ඒත් සමාජෙ ඇල්කොහොල් ඒ තරම් රකුසෙක් නෙමෙයි.

    හොඳ නරක ප‍්‍රතිඵල ඇතිකළත් මේ මත්ද්‍රව්‍ය කියල හඳුන්වන හැමදෙයක්ම මානව ශිෂ්ටාචාරෙ ඉතා දියුණු සොයාගැනීම්. මේවා මුලින්ම පාවිච්චියට එන්නෙමත් බෙහෙත් විදිහට. හෙරොයින් මුලින් පාවිච්චි වුනේ පොඩි දරුවන්ට දෙන කැස්ස පැණියක් විදිහට.

    මගේ අත්දැකීම්වල හැටියට සහ දැනට විද්‍යාත්මක සොයාගැනීම් වලින් තහවුරු වෙලා තියෙන විදිහට මිනිස්සු බයකරන මේ ඇඩික්ෂන් කියන එක පවා මිත්‍යාවක්. මීයන් යොදාගෙන කරපු පර්යේෂණ මගින් මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනවා ඇබ්බැහිය එන්නෙ ඩ‍්‍රග් එකෙන් නෙමෙයි ජීවිතෙන් කියල. උදා විදිහට අපේ ජීවිතේ තියෙන අවුලකට අපි ඩ‍්‍රග්ස්වලට ගියොත් ඒ අවුලත් එක්ක අපි ඒක ස්වයං විනාශකාරී අන්තයකට අරගෙන යන්න පුළුවන්. මීයන්ගෙ පර්යේෂණයෙදි මේක මීට වඩා පැහැදිලිව සරලව තේරෙනවා. තනි මීයෙක් කූඩුවක දාලා ඌට වතුරට කලවම් කරපු හෙරොයින් දෙනවා. ඒ මීයා ඉතා කෙටි කාලෙකින් හෙරොයින්වලට ඇබ්බැහිවෙනවා. මේ පර්යේෂණය කරපු ගමන් හෙරොයින් වලින් බරපතල ඇඩික්ෂන් එකක් ඇතිවෙනවා කියල විද්‍යාත්මක ප‍්‍රවාදයක් ලෝකෙ පුරාම පැතිර යනවා. ඊට කාලෙකට පස්සෙ මේ ප‍්‍රතිඵල සැකකරපු තව කෙනෙක් නැවත මේ පර්යේෂණය කරනවා. එතනදි ඒ මීයා තනියම නැතුව තව කණ්ඩායමක් එක්ක හොඳ ඉඩ තියෙන කූඩුවක දාලා තියනවා. ඒ කූඩුවේ ඇතිතරම් කෑම බීම වගේම සෙල්ලම් කරන්නත් ඉඩකඩ තියෙනවා. ඒ අතරෙ උන්ට හෙරොයින් දෙනවා. උන් හෙරොයින් බොනවා. ඒත් හෙරොයින් නැතිවුනා කියල උන් ඇබ්බැහියක දුක්ඛ ප‍්‍රතිඵල පෙන්නන්නෙ නෑ. උන් මොකුත් වුනේ නෑ වගේ සතුටින් ජීවත් වෙනවා. මෙතනදි ඔප්පු වුනු කාරණය වුනේ ඇබ්බැහිය කියන්නෙ ඩ‍්‍රග් එකක ප‍්‍රතිඵලයක් නෙමෙයි ඒක සමාජීය ප‍්‍රතිඵලයක් කියන එක. කුඩුවලට ඇබ්බැහිවෙලා ඉන්න සමස්තයකගෙ යතාර්ථය වෙන්නෙ මේක. ඒත් අපිට ලේසියි සමාජීය අවුල අමතක කරලා කෙමිකල් එකක් වෙත සියලූ වැරදි පවරන්න.

    මත්ද්‍රව්‍ය නිසා ජීවිත හානිවුනා කියන බහුතරයකගේ ජීවිතවල මත්ද්‍රව්‍ය එන්න කලින් ලොකු අර්බුදයක් තිබිලා තියෙනවා. ඒක සමාජ හේතුවක්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම කියන්නෙ ඒ අර්බුදයට හොයාගෙන යන සරල උත්තරයක් වෙනවා. ඒ වගේම ස්වයං විනාශය ඇතුලෙ තමන්ගෙන් සහ සමාජයෙන් පලිගැනීම, හුදකලාව වගේ තත්වයන් ක‍්‍රියාත්මක වෙනවා.

    මත්ද්‍රව්‍ය නිසා වෙන විනාශය අවම කරගන්න ලෝකෙ ගොඩක් රටවල් මේ වෙද්දි ඒ මත්ද්‍රව්‍යවලට පනවා ඇති තහනම් ඉවත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට ප‍්‍රධානතම හේතුවක් වෙන්නෙ ඒ නීතිවිරෝධීභාවය ඇතුලෙ මිනිස්සුන්ට කෙරෙන විනාශය මත්ද්‍රව්‍ය වලින් කෙරෙන විනාශයට වඩා වැඩිවීම. සිරගත කිරීම්, සමාජයෙන් කොන්කිරීම්, පාතාල සම්බන්ධතා හරහා මත්ද්‍රව්‍ය සපයා ගැනීමට සිදුවීම් වගේ කාරණා නිසා තරුණයන්ගෙ ජීවිතවලට ඒ ඩ‍්‍රග් එකට වඩා ලොකු විනාශයන් සිද්ද වෙනවා. ඒ වගේම ප‍්‍රමිතියක් නැති ඩ‍්‍රග්ස් වෙළඳපොලට එන එකත් මේ නීතිවිරෝදීභාවයේම ප‍්‍රතිඵලයක්. ඇත්තටම ශරීරයට සිදුවෙන අහිතකර ප‍්‍රතිඵල වැඩි කොටසකට වගකියන්නෙ මේ විදිහට ප‍්‍රමිතියක් නැතිව විවිධ දේ එකතු කිරීම. හොඳම උදාහරණය කසිප්පු. කසිප්පු පෙරන එක නීතිවිරෝධිවීම නිසාම නයිපොලොංගු වැටිලා, කටුකම්බි, මදුරුකොයිල් දාලා පෙරන කසිප්පු මිනිස්සුන්ට බොන්න සිද්ද වෙනවා. ඇත්තටම සිදුවෙන සමාජ හානිය ගැන පසුතැවිලි වෙනවා නම් කරන්න තියෙන වැදගත්ම දේ නිසි ප‍්‍රමිතියක් ඇති මත්ද්‍රව්‍ය ප‍්‍රමිතියක් ඇති තැන්වලින් ලබාගැනීමේ පහසුකම් ඇතිකරන එක. ඒ වගේම හානිදායක නොවන කංසා වැනි මත්ද්‍රව්‍යයන් වැඩිවශයෙන් ව්‍යාප්ත කරන එක. ලංකාව වගේ රටක ඇල්කොහොල් මතින් බරවුණු සමාජයක් කංසා පැත්තට යොමු කිරීම කියන්නෙම විශාල ප‍්‍රගතියක්.

    මත්ද්‍රව්‍යවලින් සිද්දවෙන විනාශයන් අවම කරගන්න ගතානුගතික පියවර වලින් බෑ. ඉතිහාසය පුරාම තහනමට ලක්වුනත් මේ හැම මත්ද්‍රව්‍යයක්ම ලෝකෙ පුරාම ව්‍යාප්තයි. මරණ දඩුවම දෙන අරාබිකරයේ පවා මිනිස්සු මරණය පෙනි පෙනී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒක අවශ්‍යතාවයක්. සමාජ හානියක් නැතිව තමන්ගේ පුද්ගලික උවමනාවට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් සැලකීමම පුද්ගලයා මත බලය, ප‍්‍රචන්ඩත්වය මුදාහැරීමක් විදිහටයි මං දකින්නෙ. ඕනම දේකදි පුද්ගලයාගේ තෝරාගැනීමට සහ කැමැත්තට හරස්වෙන්න රජයකට බලයක් නෑ. ඒක අසාධාරණයක්.

    මත්ද්‍රව්‍ය පිළිබඳ පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භවෙන්න දැන් කාලෙ හරි. බොරුවට පාට ලෝක සහ ප‍්‍රචන්ඩ ක‍්‍රියා පෙන්න පෙන්න ඩ‍්‍රග්ස්වලට බය කරන එකෙන් වෙන්නෙ පාවිච්චි කරන පළමු අවස්ථාවෙම මෙච්චර කල් සමාජයේ හැමෝම පතුරලා තියෙන්නෙ අලි පචයක් කියලා හිනායන එකයි. ඊට පස්සෙ ඩ‍්‍රග්ස්වලට බයේ ඇකිලෙන මිනිස්සුන්ව දැක්කම පව් කියල හිතෙන එකයි.

    ඒත් මේ ඩ‍්‍රග්ස් ගැන නොදැනුවත්කම සහ හොඳ ඩ‍්‍රග්ස් සමාජයට මුදා නොහැරීම කියන කාරණා නිසා අත්වෙලා තියෙන ප‍්‍රතිඵල අතිභයානකයි. ලංකාවෙ ඉතාම හොඳ කංසා වෙනුවට එක එක ජරාව ගහපු කේජී ගහන්න තරුණ තරුණියන්ට සිද්ද වුනේ තහනම හින්දයි. කේජී කියන්නෙ ඇපල් පෙති වගේ අන්ත බාල ඩ‍්‍රග්ස්වලට ඇරෙන දොරක්. ඒ වෙනුවට එල්එස්ඞී, කොකේන්, එම්ඞීඑම්ඒ වගේ යම් ප‍්‍රමිතියක් ඇති, හානිකර බවෙන් අඩු ඩ‍්‍රග්ස් වැඩිපුර සමාජයේ පැතිරෙනවා නම් ඒකෙන් මිල අඩුවීම වගේම හානිකර බවෙන් අඩු මත්ද්‍රව්‍යවලට යොමු වීම ඇතිකරනවා.

    ප‍්‍රධානවම ඒ ඒ මත්ද්‍රව්‍යයන් පිළිබඳව සහ ඒවායින් ඇතිකරන හොඳ නරක ප‍්‍රතිඵල පිළිබඳව පුහු සදාචාරාත්මක විග‍්‍රහයන්ගෙන් තොරව මැදිහත් දැනුවත් කිරීම් කෙරෙන්න  ඕන. එතනදි තමන් මත්ද්‍රව්‍ය ඇතුලෙ හොයන්නෙ මොකක්ද, තමන්ට වඩාත් ගැලපෙන මත්ද්‍රව්‍ය මොකක්ද, ඒ මත්ද්‍රව්‍යය ස්වයං විනාශකාරී නොවෙන ආකාරයකින් එහෙම නැත්තං ඵලදායී ආකාරයකින් ජීවිතේට එකතු කරගන්නෙ කොහොමද කියන දැනීම මිනිස්සුන්ට ලැබෙනවා.

    ඒත් මේ කිසි දෙයක් කිසි කෙනෙක් බාරගන්න ලෑස්ති නෑ. ඒ වෙනුවට ඒ ගොල්ලො කැමති පඹයො හිටවන්න. කතාව ඉවර කරන්න කලින් මට හන්ටර් තොම්ප්සන් කියන කතාවක් මතක් වෙනවා.

    ‘මං ඩ‍්‍රග්ස් කියන දේ හැමෝටම නිර්දේශ කරන්නෙ නෑ. ඒත් මට නං ඒවා හැමවෙලාවෙම වැඩකරලා තියෙනවා’
    හන්ටර් තොම්ප්සන්.

  • 2020 මොකද වෙන්නෙ?

    2020 මොකද වෙන්නෙ?

    2020 කවුදඑන්නෙ කියල එක එක විදිහෙකතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තං චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම්පසුගාමී වුනත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී වගේ සුළුතරයක් ඡුන්ද ප‍්‍රතික්‍ෂේප කිරීමකින් සෑහෙන්න ඉඩතියෙනවා. මේ හැම කතාවක්මඒ තරම් බලාපොරොත්තු සහගත ඒවා නෙමෙයි. වෙන විකල්පයක් නැති තැනදි තියෙන ඒවයින් වඩා හොඳ වගේ පේන එකක් අකමැත්තෙන් හරි තෝරාගැනීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.

    ඒත්විකල්ප නෑ කියන්නෙ ග‍්‍රවුන්ඩ් එකචේන්ජ් කරන්න කාලය ඇවිත් කියන එකයි. අලූත් තාක්‍ෂණය සහ සන්නිවේදනය විසින්යෝජනා කරන අලූත් වටපිටාවට පවතින මොනම දේශපාලනයක් වුනත් නොගැලපෙන වග සහතිකයි. නිසිදිශානතියක් නොවෙන තැන අනන්‍යතා අර්බුදයකට මුහුනදෙන අලූතෙන් ඡුන්ද හිමිවෙන පරම්පරාව ආයිමත් හම්පඩ ජාතිවාදී ප‍්‍රවනතාපැත්තට හැරෙන්නෙ මේ නොගැලපීම නිසාමයි.

    කට්ටියක් විවෘත වීම ඉදිරියේ නැවත ගුහා ඇතුලට රිංගීම තෝරා ගන්නා අතරෙ තවත් වැඩි පිරිසක් දේශපාලනය නොතකා හරිමින් ඉන්නවා. පොලිටික්ස් කියන එක ගොඬේ මාතෘකාවක්වෙන අතරෙ ඡුන්දය දානවා කියන එකම තේරුමක් නැති සම්ප‍්‍රදායක් වෙමින්තියෙනවා. මේ පාර ඡුන්දෙදිඡුන්දෙ දාන්න කියලා පවා වෙනම ප‍්‍රචාරයක් ගෙනියන්න ආන්ඩුවට සිද්ද වුනෙත් මේ නිසාමයි. මේතත්වය ඉදිරියෙදි තව තවත් වැඩිවෙන්නනියමිතයි. ඒකෙන් වෙන්නෙ රටේ තීරණ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දිය හැකි බුද්දිමත් තරුණ පිරිස් දේශපාලනයෙන් අයින් වෙන එක. තව තවත් මෝඩයන්අතටම තීරණ ගැනීමේ ඉඩකඩ ලබාදෙන එක. රට ඇතුලෙම වෙනස්විදිහක ඩයස්පෝරාවක් නිර්මාණය වෙන එක. මේ කොයි එකක්වුනත් ඒක ඒ තරම්සුබදායී තත්වයක් වෙන්නෙ නෑ.

    2020 කියන්නෙඅලූත් දේශපාලනයක ආරම්භයක් විදිහටයි මං දකින්නෙ. මානවඅයිතිවාසිකම් සහ නිදහස අවධාරණයකරන, මිත්‍යාව වෙනුවට විද්‍යාව හොයාගෙනයන, ආගම්වාද ජාතිවාද වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන, නව ආර්ථික ක‍්‍රමෝපායන් සහසැලසුම් වෙනුවෙන් උනන්දුවෙන, විශේෂයෙන්ම ඔන්ලයින් ලෝකය එක්ක බැඳුණු නව දේශපාලන සංස්කෘතියකයෝජනාවක් 2020ට අවශ්‍යවෙනවා. ග‍්‍රාමීය දේශපාලන මතවාද ගැටුම් වෙනුවට ශිෂ්ට නාගරික දේශපාලනයක ලොකු හිඩැසක් මේ වෙද්දි ඇතිවෙමින්තියෙනවා. ඒ හිඩැස පුරවන්නපවතින කිසිම දේශපාලන පක්ෂයක මතවාදය අසමත් වෙලා තියෙනවා.

    මේකඑක්තරා විදිහක හීනයක්. හීන පැත්තෙන් ගත්තත් අතිශය බොළඳ හීනයක්. එහෙම පුළුවන්ද අලූත් පක්ෂ පටන්ගන්න? එහෙම පක්ෂයකට බිම්මට්ටමේ මිනිස් සමූහයක් එකතු වෙයිද? කොහෙන්ද අරමුදල් එන්නෙ? ඔය විදිහට ඒකෙඅතාර්කිකත්වය පෙන්නන්න දහසකුත් එකක් ප‍්‍රශ්න එන්න පුළුවන්. ඒ ප‍්‍රශ්නවලට සංයුක්ත විසඳුම් හොයන්න ට‍්‍රයි කරනවා කියන්නෙම අපි පරණ දේශපාලනයටම ආපහු යනවා කියන එකයි. මොකද මේ ප‍්‍රශ්න කිරීම් සියල්ල නිර්මාණය වෙන්නෙ පරණ දේශපාලන අත්දැකීම් උඩ. අලූත් දෙයක් පටන්ගන්න  ඕනඅලූත් තැනකින්. පරණ ප‍්‍රශ්න පත්තරවලට උත්තර ලියන එකෙන් අලූත් දැනුමක් නිර්මාණය වෙන්නෙ නෑ.

    අදාලවෙන්නෙ එක කාරණයයි. ඒඅපේ ජීවිතයට අවශ්‍ය දේශපාලනය රටේපවතින දේශපාලනය කියන එක ඇතුලෙ නියෝජනයනොවීම. ඞීල් දාන, පරණ බල ප‍්‍රයෝගයන්  උඩම පවතින, දැක්මක් නැති, ගෝත‍්‍රික බහුතරයකඋවමනාවන් නියෝජනය කරන දේශපාලනයක් කියන්නෙ අපේ ජීවිතෙන් බැහැර කරන ක‍්‍රියාවලියක්වීම. ඒ වෙනුවට වෙනස්අරමුණු කරා යන, වෙනස් දැක්මන් සහිත, වෙනස් පුරවැසි ජීවිතයක් යෝජනා කරන දේශපාලනයක් අපිට අවශ්‍ය වීම.

    ඒකඅවශ්‍ය වෙන්නෙ කීයෙන්කී දෙනාටද?

    අඩුමතරමෙ මට එහෙම එකක්අවශ්‍යයි. මං දේශපාලනය කියලවිශ්වාස කරන්නෙ එහෙම එකක්. ඒක මාක්ස්වත්, වෙබර්වත්, මැකියාවෙලි, හොබ්ස්, ලොක්, රූසොවත් කියපු එකක් නෙමෙයි. අලූත් අන්තර්ජාල අවකාශය ඇතුලෙ අපේ ජීවිත ලෝකයත් එක්ක සම්බන්දවීමෙන් ඇතිවුණු නව පුරවැසි සවිඥානකත්වයෙන්ඉල්ලා සිටින හැඩයක්.

    ඒකපක්ෂයක්ද, කණ්ඩායමක්ද, නැත්තං අදහසක්ද කියන එක වැදගත් නෑ. වැදගත් වෙන්නෙ ඒ අලූත් හැඩයනිර්මාණය කිරීම වෙනුවෙන් එකතු වීම විතරයි. 2020 දි මේ අලූත්පුරවැසියා වෙනුවෙන් සංවිධානය වීම සහ හ`ඩනැගීමකියන්නෙම ජයග‍්‍රහණයක්. අනිත්හැම තෝරාගැනීමක්ම  අවසානයේදී  පරාජයක්.

  • කංසා කියන්නෙ නිදහස

    කංසා කියන්නෙ නිදහස

    කංසානීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක්හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්දඑකක්. මම කැමැත්තෙන් පරිභෝජනයකරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයටහානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුනු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියන එකයිමගේ පිලිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, ඒ වෙනුවෙන් දඩුවම්පැමිනවීම, එය වරදක් කරගනිමින්පීඩා පැමිනවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ගැන ප‍්‍රශ්නඇති කරන තත්වයක්. රජයක් කියන්නෙ මට ජීවත්විය යුතුආකාරය කියල දෙන්න ආපු ආයතනයක් නෙමෙයි. ආන්ඩුවකින් හෝ පොලිසියකින් මගේවිනය හදන්න  ඕනකියල මං විශ්වාස කරන්නෙනෑ. ඒ නිසා කංසාහෝ වෙනත්  ඕනෑමමත්ද්‍රව්‍යයක් විසින් සමාජයේ අනෙකාට හිරිහැරයක්, පීඩාවක් ඇති කරනවා කියල ප‍්‍රමාණවත්සාක්ෂි නැතුව එය පාවිච්චිය වරදක්කිරීම රජයක බලහත්කාරයක්. පුරවැසියෙක් හැටියට මට කරන අවමානයක්.

    මමඒ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරනවාවෙන්න පුළුවන්. ඒත් මට හෝ වෙනත්කිසිම කෙනෙකුට එය පාවිච්චි කිරීමටකෙනෙකුට ඇති අයිතිය උදුරාගන්න බෑ. සියලූ මත්ද්‍රව්‍යයන් කියන්නෙ මනසේ විවිධ තලයන්වල සැරිසැරීමට තියෙන ප‍්‍රවේශපත‍්‍ර. රොකට්ටුව, ගුවන් යානය, සබ්මැරීනය වගේම මනස ඇතුලෙ එහේ මෙහේ යාත‍්‍රා කරන්නතියෙන මාර්ග. ඒ ගැන පැනවෙනහැම තහංචියක්ම විවිධ රටවල දේශයන්වල සැරිසැරීමට අපිට ඇති අයිතිය පැහැර ගැනීමක් හා සමානයි.

    රජයක්විසින් කළ යුත්තේ ඒමත්ද්‍රව්‍යයේ ඇති හානි පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරිමේ ප‍්‍රවේශයන්ගන්න එකයි. හානි අවමවන තාක්ෂණයන් සහ ක‍්‍රමවේදයන් හඳුන්වාදෙන එකයි. ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයන් දිරිමත්කරන ක‍්‍රියාමාර්ගනොගැනීමයි. ඒක පාවිච්චි කරනවදනැද්ද කියන එක වගකීමක් ඇතිපුරවැසියන් විසින් කරගත යුතු දෙයක්. රජයක් අවශ්‍ය නෑ තාත්තගේවැඬේ කරන්න. අපේ රටේ කාලෙක ආණ්ඩු කරන්න අප්පච්චි කෙනෙක්  ඕනවෙලාහිටියට ඒක රජයක කාර්යයනෙමෙයි.

    ඒත්ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ද නොයෙක්හේතු කියමින් ලෝකෙ පුරාම රජයන් මත්ද්‍රව්‍ය තහනමට වැඩකරනවා. මේ නීති හරහාදඩ ගැසීමේ සහ සිරගත කිරීමේසිට වෙඩි තබා මරා දැමීම දක්වා පීඩනයන් ජනතාව මත මුදාහරිනවා.  ඒ හරහා පුරවැසියන්ගේ නිදහස නෙමෙයි ජීවිත පවා ඍජුව අවතක්සේරු කරනවා විතරක් නෙමෙයි වක‍්‍රවඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සහබෙදා හැරීමට පාතාල ක‍්‍රමවේදයන්නිර්මාණය වෙන්න අවශ්‍ය තත්ව සම්පාදනයහරහා ජන ජීවිත අවදානමේහෙලනවා. මත්ද්‍රව්‍ය තහනම වෙනුවටකළමනාකරණය කියන ප‍්‍රවේශයගන්න රජයන් පරිනත වුනා නම් ලෝකෙ පුරාම පාතාල ක‍්‍රියාදාමයන්බොහොමයක් අවම කරගන්න තිබුන. ඒත් ආන්ඩු සහ තහනම් ව්‍යාපාර අතර ඞීල් එක වෙනස්. ඒකඇත්තටම ජනතා සුබසාධනය සම්බන්ද කාරණයක් නෙමෙයි. ලාබය සම්බන්ද කාරණයක්.

    උදාවිදිහට ඉතිහාසයේ කිසිම දවසක කංසා  ඕවර්ඩෝස්වීමෙන් සිද්ද වුන මරණයක් ලෝකෙ කොතනකින්වත් වාර්තා වෙලා නෑ. ඒ වෙනුවට අනුමතඖෂධ  ඕවර්ඩෝස්වීමෙන් අවුරුද්දකට 40,000ට ආසන්න පිරිසක්මැරෙනවා. ඒත් කංසා පාවිච්චිය නීති විරෝදී කරලා හානි සිදුවෙන බවට සාක්ෂි තියෙන ඖෂධ නිදහස් කරනවා.

    විශේෂයෙන්මකංසා ගත්තොත් ඒකෙන් සිදුවෙනවා කියල කියන හානිය පවා දුම්කොල සහ ඇල්කොහොල්වලට වඩාබෙහෙවින්ම අඩුයි. කංසා වලට කෙනෙක් ඇබ්බැහිවෙන්න තියෙන්නෙ 0.91ක ඉඩක් විතරයි. ඒ කියන්නෙ ඇබ්බැහියක් නෑ කියන එකයි. ඒත් නීතිගත සිගරට් වලට කෙනෙක් ඇබ්බැහිවීමේ ප‍්‍රතිශතය30%ක් වෙනවා. ඒක කොකේන් තරමෙමඇබ්බැහියක්. කොටින්ම මහා මත් රකුසා කියන හෙරොයින්වලට කෙනෙක් ඇබ්බැහිවෙන ඉඩකඩ තියෙන්නෙත් 5%ක් විතරයි. ඒත්සිගරට් නීතිගතයි. කංසා නීති විරෝධීයි. මේ තහනම පිටිපස්සෙතියෙන්නෙ කොහෙත්ම මිනිස්සුන්ගෙ සෞඛ්‍ය සම්බන්ද කාරණානෙමෙයි. අපේ වගේ රටක නං ඔහේ වෙනරටවල් කරන දේ කරගෙන යාමක්විතරයි.

    කංසාකියන්නෙ තහනම් කළ යුතු ශාඛයක්නෙමෙයි වහවහා වගා කළ යුතු ශාඛයක්කියන එකට ලෝකෙ පුරාම විවිධාකරයෙන් ජනතා හ`ඩනැගීම් සිද්දවුනා. පිළිකා රෝගීන් වෙනුවෙන් කංසා මගින් ලබා දිය හැකි ප‍්‍රතිකාරවලපටන් ආතතිය ලිහිල් කිරීමට, ග්ලූකොමා රෝගීන්ට, දියවැඩියාවට ආදී එකීනොකී අටඅනූවක් ලෙඩවලට කංසා මගින් නිපදවිය හැකි ඖෂධ ගැන පර්යේෂණ කෙරුනා. බොහොමයක් ධනාත්මක ප‍්‍රතිඵලලබාගත්තා. ඒ වගේම අනෙක්පැත්තෙන් කංසාවලට විරුද්දව සෞඛ්‍ය බලධාරීන් විසින්ගතානුගතිකව ගොඩනගාගෙන සිටි කාරණා උන්මත්තක වීමේ සිට අපරාධවලට යොමුවීම, ගේට් වේ ඩ‍්‍රග් එකක් හැටියට ක‍්‍රියාකාරීමවගේ දේවල් පදනම් විරහිත බව ඔප්පු කෙරුණා.

    උදාවිදිහට අපරාධකරුවො ගත්තොත් ලෝකෙ පුරාම වුනත් කංසාවලට හෝ වෙන මොනමඩ‍්‍රග් එකකටත්වඩා සිගරට් සහ ඇල්කොහොල්වලට සමීපඅය. කංසා වගේ දෙයක් නීති විරෝදී හින්ද නීතියට එපිටින් තියෙන සමාජ පරිසරවල වැඩිපුර සැරිසරන ඉඩකුත් ස්වභාවිකව තියෙනවා. මේ දේවල් එක්කතාර්කිකව බැලූවොත් කංසාවලට වඩා ඇල්කොහොල් හෝ ටොබැකො අපරාධවලටසම්බන්දයි කියලයි නිගමනය කරන්න වෙන්නෙ. ඒත් කංසා එතනට සම්බන්ද කිරීම මිනිස්සුන්ව දැන දැන නොමග යැවීමක්.
    ගේට්වේඩ‍්‍රග් එකක්කියන කාරණය වුනත් මෙහෙමමයි. බොහොමයක් මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චිවෙන්නෙ ඇල්කොහොල් එක්කයි. ඒත් ඇල්කොහොල් ගේට්වේ ඩ‍්‍රග්එකක් විදිහට ගන්නෙ නැති සෞඛ්‍ය ලොක්කො එහෙමකිසිදු සාක්ෂියක් නැති කංසා ගැන එහෙම භීතියක් මවනවා. භීතිය හරහා තහනම සාධාරණීකරනය කරනවා.

    කංසාගත්තොත් මත්ද්‍රව්‍යයක් විදිහට මෙහෙම අපවාදයට සහ අපකීර්තියට බඳුන්කරන්න කලින් දීර්ග ආධ්‍යාත්මික ඉතිහාසයක් තියෙන ගහක්. ආයූර්වේදයට වගේම භාවනාවට කංසාවලින් කොහෙත්ම වෙන්ව පවතින්න බෑ. කංසාවලට ත්‍රෛලෝකවිජයා කියනනම හැදෙන්නෙම ඒ තියෙන ආධ්‍යාත්මික ශක්තිය මුල් කරගත්ත කාරණා හරහා. මේ ආසියාතිකව ඇතිආධ්‍යාත්මික උරුමයත් බටහිර කංසා තහනම හරහා අපේ රජයන් අපෙන් උදුරාගත්තා. ඒක ඇත්තටම රජයවිසින් කරපු අපරාධයක් හැටියටයි ගන්න වෙන්නෙ.

    කංසාතහනම උඩ රටේ කීදෙනෙක්අත්අඩංගුවට ගන්නවද? හිරගෙවල්වල දානවද? තහනමේ බොරු කණ්ණාඩි ගලවලා බැලූවොත් වෙලා තියෙන්නෙ ගහක් වවපු සාමාන්‍ය මිනිහෙක් අපරාධකාරයෙක්හැටියට හංවඩු ගැහීමක්. සමාජයට හානියක් නොකළ කවුරුන් හෝ මිනිහෙක් වරදකාරයෙක්කිරීම හරහා ඔහුට හෝ ඇයට පාතාලජීවිතයක් ගත කරනවා විනාවෙනත් විකල්පයක් අහිමි කිරීමක්. හිරගෙවල් කියන්නෙ අපරාධකරුවන් නිර්මාණය කරන විශ්ව විද්‍යාල මිස පුනරුත්තාපන ආයතන නෙමෙයි. කංසා තහනම හරහා නිකරුනේ සාමාන්‍ය මිනිස්සු අපරාධකාරයන්බවට පත්කරනවා.
    ඒවගේම මේ නඩු සහහිරගෙවල් පුරවමින් පවත්වාගෙන යන්න සිද්ද වෙන වියදම්. මේවා ඇත්තටම ජනතා මුදල් නාස්ති කිරීම් විතරයි. සමාජයට හානිදායක නොවෙන යම් නිෂ්පාදනයක හෝ සේවාවක යෙදීමවරදක් කරමින් ඒ මිනිහට ලේබල්ගසමින් දඩුවම් කරන්නට මිනිස්සුන්ගෙ බදු සල්ලිම වියදම් කිරිම තකතීරුකමක්. කංසා තහනම ඉවත් කිරීම හරහා මේ වියදම් කපාහැරීමෙන්රජයට ලොකු ඉතිරියක් කරන්න පුළුවන් වෙනවා.

    ලෝකෙපුරාම කංසාවලට පක්ෂ විද්‍යාත්මක සොයාගැනීම් එක්ක සමගාමීව රජයන් විසින් කංසා නීතිගත කිරීමේ රැුල්ලක් පැතිරෙන්න පටන් අරන්. මේක කංසා රැුල්ලකට වඩා ඇත්තටම ආර්තික රැුල්ලක්. මේ හරහා නීතිගතකරන රටවල් අනෙක් රටවලට නැති අවසරයකින් විශාල ලාබ උපයන්න පටන් ගන්නවා. ඇම්ස්ටර්ඩෑම් කියන්නෙ කාලෙකට කලින්ම මේ නිදහස ලබාදෙමින්තමන්ගේ ආර්තිකය පුළුල් කරගත්ත රටක්. ලෝකෙ හැම රටක්ම මේ නිදහස ලබාදුන්නටපස්සෙ අන්තිමට මේක කරන්න බලන් ඉන්න ලංකාව වගේ රටක් ඇත්තටම කරමින් ඉන්නෙ රත්තරං වටින අවස්ථාවක් දිහා ඇස්කන් පියාගෙන බලන් ඉන්න එකයි.

    කංසාපදනම් කරගත්ත ඖෂධ නිෂ්පාදනයට වගේම කඩදාසි (මුල්ම බයිබලය මුද්‍රණය වුනෙත් කංසාවලින් නිෂ්පාදිත කඩදාසි මතයි), කඹ, රූපලාවන්‍ය නිෂ්පාදන ආදීහිතාගන්නවත් බැරි තරම් අලූත් නිෂ්පාදනය තොගයකට දොරවල් ඇරෙනවා. මේ අලූත් ඉල්ලූමවෙනුවෙන් විශාල වගාකිරීමක් අවශ්‍ය වෙනවා. මේවගාවට ඉදිරිපත් වෙන රටවල් ලාබ උපයනවා.

    ඒවගේම මේ නිදහස හරහාවිශාල සංචාරක ආකර්ශනයක් ලැබෙනවා. කංසා පදනම් කරගත්ත ආහාරපාන, මනස නිවන විවේකාගාර ආදී අලූත් ප‍්‍රවේශයක්සංචාරක කර්මාන්තයට නිර්මාණය වෙනවා. මේ වෙනුවෙන් ඇදෙනවිශාල විදේශිකයන් පිරිසක් විශේෂයෙන්ම අපේ වගේ නිවර්තන කලාපීය දූපත් වලට නිවාඩු ගත කරන්න එනවා. මේ ආශ‍්‍රිතවනිර්මාණය වෙන ආධ්‍යාත්මික කලාපයනුත් මේ සංචාරක ව්‍යාපාරයට එකතු කිරීමක් වෙනවා.

    මේවගාවන් හරහා මෙතෙක් ආර්තිකයේ නොපැවතුණු රැකියා රාශියක් අලූතෙන් උත්පාදනය වෙනවා. ලෝකෙ පුරා කංසා නීතිගත කරපු රටවල මේ රැකියා වෙනුවෙන්විශාල ඉල්ලූමක් ඇතිවෙමින් තියෙනවා. ග්‍රෝ මාස්ටර්ස්ලා, ඒ කියන්නෙ නොයෙක්  ප‍්‍රබේදවල කංසාවවන එක බාර කට්ටිය, ස්ටෝර් මැනේජර්ස්ලා, කංසාවලින් රසායන එක්ස්ට‍්‍රැක්ට් කරනටෙක්නීෂියන්ස්ලා, බඞ් ටි‍්‍රම්කරමින් පැලය රැුකබලාගන්නා පිරිස්, කංසා ව්‍යාපාර අයිතිකරුවන්ආදී නව රැුකියා ක්ෂේත‍්‍රයක් මෙතනවිවෘත වෙනවා. මං වුනත් කංසානීතිගත කරපු දවසක මේ හැම දෙයක්මනවත්තලා මගේම කංසා වගාවක් පටන් ගන්නවා. ඒ සම්බන්ද ප්‍රොඩක්ට් සීරීස් එකක් නිර්මාණය කරනවා. ඒක තමයි මගේහීනෙ. ආණ්ඩුව මෝඩයෙක් වගේ මේ වෙලාවෙ මගේහීනෙට හරහට ඉන්නවා.

    කංසාකියන්නෙ තහනම් කරන්න නෙමෙයි පර්යේෂණ පවත්වමින්, විවිධ ඇවනියු නිර්මාණය කරමින් වහාම වගා ආරම්භ කළ යුතු ශාඛයක්. පාඩු ලබමින් අක්කර ගනං කුඹුරුවලට නාස්ති කරනවා වෙනුවට රජය ඉදිරි දැක්මකින් යුතුව වහාම මේ ආර්තික ප‍්‍රතිලාබය ජනතාවටඅත්කර දෙන්න පියවර ගත යුතුයි. ඒවෙනුවෙන් විරුද්දව නැගෙන සාම්ප‍්‍රදායික අතාර්කිකමතයන් පරාජය කරන්න දැනුවත් කිරීම් ආරම්භ කළ යුතුයි. ජනතාවහැටියට නිදහස් මනසකින් යුතුව අපි කංසා නීතිගත කිරීම වෙනුවෙන් දිගටම රජයට බලකළ යුතුයි. ආසියාතික කලාපයේ අනෙක් රටවලට කලින් මේ නිදහස ලබාදීම හරහා අපට දිනාගත හැකි සුවිශේෂතාවයන් වෙනුවෙන් මේ ගමන වේගවත්කළ යුතුයි.

  • අලින්ගෙයි කූඹින්ගෙයි වැඩ

    අලින්ගෙයි කූඹින්ගෙයි වැඩ

    කූඹියෝ දැන් ඉවර හින්ද ඒ ගැන මගේ තියෙන අවංකම අදහස් එලියට දැම්මට කවුරුවත් තරහ වෙන එකක් නෑ. ඒ නාට්ටිය හදපු උන් වෙනුවෙන් වුනත් මට කරන්න පුළුවන් හොඳම දේ ඒක කියලයි මං හිතන්නෙ.

    කූඹියෝ මාත් පැල් බැඳගෙන බලපු ඩ්‍රාමා එකක්. සෙනසුරාදා ඉරිදා කොටස් දෙකම එකතු කරලා එකට බලන ආතල් එකකට මං ලොල් වෙලා හිටියෙ. ලංකාවෙ ටෙලිකියන කිසිම දෙයක් බලන එක අත්ඇරලා හිටපු මාව කූඹියෝ ආපහු ටීවී එකට ගෙනාවා. ටීවීඑක යූටියුබ් එකට ගෙනාවා.

    කූඹියෝ කියන්නෙ මට මාර නාට්ටියක් නෙමෙයි. ඒත් කූඹියෝ කියන්නෙ මාර වැඩක්. නාට්‍යයක් විදිහට ගත්තොත් ඒකෙ ප්ලොට් එක හිල් ගොඩක්. මුලදි ඉන්න ජෙහාන්ව එකපාරට කරකවලා නොම්මර එකේ ගේම්කාරයෙක් කරන එක කොහෙත්ම විශ්වාසනීය විදිහකට ගොඩනැගිලා තිබුනෙ නෑ. ප‍්‍රියන්තව ටේ‍්‍රන් කරවන්න කරපු වැඩ කියල පස්සෙ හිතාගන්න සිද්ද වෙන, මුලදි කරපුසගරා ගහන, එලවළු බෙදනවැඩ කතාවෙ නිකං එල්ලිලා තියෙන දේවල් වගෙයි. කතාවඇත්තටම පටන් ගන්නෙ ශාක්‍යා හෝල්ඩින්ග්ස් එක ඇතුලෙ ඉඳන්. යුරේනිගෙ චරිතෙ විතරක් නෙමෙයි ප්‍රියන්තගෙ වගේ දැවැන්ත චරිත පවා අන්තිම වෙද්දි හොඳටම අබ්බගාත වෙනවා. ගොළුවෙලා වඳවෙලා යනවා. අන්තිම කොටස් කීපයකම ප්‍රියන්තට තිබුනෙ ඔහේ හිටං ඉන්න විතරයි. කතාවෙ සම්පූර්ණ ඉමෝෂනල් ලින්ක් එක නිරාපරාදෙ අත්ඇරගන්නවා.

    ඒ වගේම ටීවී සීරීස් එකක් විදිහටත් කූඹියෝ ඉතාම අසාර්තක සැකැස්මක්. කතාවෙ මුල ටික පට්ට බෝරිං වෙන්නෙ තනිකරම ප්‍රියන්ත සහ ජෙහාන් කියන චරිත දෙක උඩ කතාව දුවන හින්ද. උන් දෙන්නා සතියෙන් සතිය මොකක් හරි විකාරයක් කරන ගානට වැටෙනවා. සාමාන්‍යයෙන් ටෙලි සීරීස් එකක් හොඳට දුවන්න නං හොඳට පැතිරෙන්න  ඕන. සබ්ප්ලොට් හැදෙන්න  ඕන. වෙන වෙන අතුරු පාරවල් වල යන්න  ඕන. ඒත් කූඹියෝ දුවන්නෙ තනි කෙලින්. ඊටත්වඩා එකතැන උඩයට කැරකෙන අභව්‍ය ප්ලොට් ට්විස්ට්.

    කතාවෙ ඇත්ත චරිතය ජෙහාන් නෙමෙයි, ප්‍රියන්ත. ප්‍රියන්තගෙ ර`ගපෑම වගේම ප්ලොට් එකෙන් දීලා තියෙන ස්පේස් එකත් වැඩියි. ජෙහාන්ගෙ චරිතය ඒකාකාරීයි. එකම හිනාව. එකම දෙබස්. ෙප්‍රඩික්ටබල් ඇක්ටින්. ඒත් ප්‍රියන්තට වඩා ජෙහාන් පොප්. නිතර එකම රංගනය, එකම දෙබස් කියන චරිතයක් ලේයර්ස්වලට ගැඹුරට ගමන් කරන වේරියේෂන් තියෙන චරිතෙකට වඩා ජනප්‍රිය වෙනවා. රජිනි කාන්ත්, ෂාරුක් ඛාන්, අමිතාබ් මේ හැමෝම ලොකු කැරැක්ටර් ඩෙප්ත් වලට ගිය අය නෙමෙයි. ඒ හින්දම හිට් සහ පොප් අය. නවසුදින් සිද්දික් වගේ චරිතයක් එක්ක සංසන්දනය කළොත් මේක හරියටම තේරෙනවා.

    ඒ නිසාම ජෙහාන් ජනප්‍රිය නළුවා වෙන එක අන්තිම සාධාරණයි. එහෙමතමයි ඒක වෙන්නෙ.

    මෙහෙම තියෙද්දිත් මං කූඹියෝවලට පට්ට කැමති ඇයි? කූඹියෝ ටෙලි ඇතුලෙ කරන්න හදන නිර්මාණාත්මක වැඬේ මීට කලින් කවුරුවත් කරලා තිබුනෙ නෑ. තමන්ගෙ ආර්ට් හරි සම්භාව්‍ය හරි කියන සීමාවෙන් ගැලවිලා ජනප්‍රිය රැල්ලෙ තියෙන කෑලි එක්ක හැප්පෙන වැඩක් කරන්න කවුරුවත් ට්‍රයි කළේ නෑ. නාලන් මෙන්ඩිස්ලාගෙන් වගේම ඉන්දියන් මෙගාවලින් ඉගෙන ගන්න කිසිකෙනෙක් ලෑස්තිවෙලා හිටියෙ නෑ.

    කූඹියෝ ලක්මාල් සහ දමිත මේ අභියෝගෙ ගන්නවා. මිනිස්සු ඉන්න තැනට යනවා. තමන්ගෙ කතාව, තමන්ගෙ හැඩයටෙලි  ඕඩියන්ස් එකේ විහිලූ සහ සරලමිතික හැඩයන් එක්ක ගලපගන්නවා. එක දිගට සමස්තයක් විදිහට නෙමෙයි කෑලි කෑලි විදිහට හිට්වෙන ආතල් දෙන වැඩක අවශ්‍යතාවය තේරුම් ගන්නවා. ළ`ග නැමෙන, අනෙක් ටෙලිකතා නිතර ගැවසෙන පරිසරයකම තමන්ගෙ කතාව තමන්ගෙ වෙනස්කම් ඇතුව කියාගන්නවා. ප‍්‍රධානම දේ වෙන්නෙ අපේ උන් වැඩක් කරන්න ගියාම වැෙඩ් පුරා එළන කාලකණ්ණිකම, දේශපාලනය,  බරපතල සංවාද වගේ කාරණා වෙනුවට නාට්ටිය පුරාම බලාපොරොත්තුව, ත්‍රිල පවත්වාගෙන යන්න සැලසුම් කරන එකයි.

    ඇත්තටම ගත්තොත් කූඹියෝ බැලූවෙ හැමදාම ටීවී ඉස්සරහ ඉන්න ජනතාව නෙමෙයි. ටීවී බලන එක අත්ඇරලා දාලා ඉන්න ජනතාව. වෙනම ඔන්ලයින් මාස් එකක්, ඩයස්පෝරාවක් කූඹියෝ එක්ක ටීවී එකට ගැටගැහුනා. ටීවී එක ඔන්ලයින් ගැටගැහුනා.
    මේ මාස් ඇපීල් එක මට දැනෙන්නෙ හරිම වැදගත් විදිහට. මේ අය පරණ පවුල් නාටක බලන එක බෝරිං වෙච්ච අය. පොදු පොලිටිකල් දේවල් ගැන සංවාදයකට ගන්න පුළුවන් අය. මේ කියන්නෙ වමේ හෝ වෙනත් පොලිටිකල් කල්ට් දේවල්වලට නෙමෙයි. මාක්ස් ගැන හෝ අල්තූෂර් ගැන සංවාදවලට නෙමෙයි. දැනෙන පොදුසමාජ කතිකාවලට එකතු කරගන්න හැකියාවක් තියෙන අය.

    කූඹියෝ කියන්නෙ වෙනස් වෙනස් මතවාද ඇති මේ විශාල පිරිසකට එකට රස විඳින්න පුළුවන් වැඩක් වුනා. ඒ ඩ්‍රාමා එකේ ඉතා සියුම්, සමහරවිට වැදගැම්මකට නැති නිරීක්ෂන පවා උනන්දුවෙන් බෙදාහදා ගනිමින් ඔවුන් ඇසුරක් නඩත්තු කළා. මං ඇත්තටම විශ්වාස කරන්නෙ අනාගත දේශපාලනයකට අවශ්‍ය සහ සූදානම් නියැදිය මේ කූඹිගුල ඇතුලෙ එලිදරව් වුනා කියල. මතුපිට අසමානතාවලට යටින් ඇති පොදු රස වින්දනයක් හෝ අදහසක් වෙනුවෙන් එකතු වීමේ හැකියාව කූඹියෝ හරහා පර්යේෂණයට ලක්වුනා.

    කූඹියෝවල ඉන්නෙ ගේම්කාරයෙක්. මේ ගේම්කාරයාව උත්කර්ෂයට නැංවීමෙන් ප‍්‍රමෝදයට පත්වෙන්නෙත් අපේ අපත මානසිකත්වය කියන දේශපාලනික කියවීම අන්තිම පටු එකක්. ඇත්තටම මේ අදහස ප‍්‍රකාශකරන සහ ඒ වටේ එල්ලෙන වාමාංශික පිරිස්(මේ අය සහෝදරයා වගේ නාට්‍යවලට බැතිමත්) නාට්‍ය හරහා සමාජයට පණිවුඩයක් දිය යුතුයි කියන සරල වින්දනමානය තෝරගන්න අය. සුචරිත ගම්ලත්ලට පවා මේ ලෙඬේ තිබුන.

    කූඹියෝ හරහා යෝජනා කරන රුචිකත්වයේ වෙනස ඒ අය දකින්නෙ නෑ. නාගරිකත්වය සහ ග්‍රාමීයත්වය අතර ගැටුම මේ අය දකින්නෙ නෑ. එක එක චරිත හරහා යෝජනා වෙන වෙනස් වෙනස් මිනිස් ගතිකයන් මේ අය අඳුරගන්නෙ නෑ. කොටින්ම අන්තිම දරුණු ගේම්කාරයෙක් වුනත් නාට්ටිය හරහා ජෙහාන්ගෙ ගොඩනැගීම ඇතුලෙ ආරක්ෂාකරන සදාචාරය මේ අයට අහුවෙන්නෙ නෑ.

    මිනිස්සු ජෙහාන්ට කැමති ඌ ගේම්කාරයෙක් හින්ද නෙමෙයි. ඒ ගේම් ඇතුලෙ යම් සදාචාරයක්, මනුස්සකමක් ඉතුරුවෙලා තියෙන හින්ද. ජෙහාන්ගෙ චරිතය ඇතුලෙ මුලදි ගොඩනැගෙන අහිංසකකම පස්සෙ නිකං වචනවලින් එලිදරව්වෙන ගේම් වලින් කැන්සල් නොවෙන හින්ද. ජෙහාන් කියන්නෙ ලංකාවෙ ලොකුම දේශපාලකයන්ට පවා ගේම් දෙන්න සමත් ප‍්‍රතිවීරයෙක්. ඒ වගේමජෙහාන්ට අනන්‍ය වුනු කොලිටීස් තියෙනවා. ඒවා සාම්ප්‍රදායික, ගම්බයි ඒවා නෙමෙයි. ජෙහාන්ට ස්ටයිල් එකක් තියෙනවා. ලංකාවෙ පළවෙනි වතාවට ඉතාම ජනප්‍රිය තලයක වමට නැති වෙන්න කෙලින තනි වීදි චරිතයක් ජෙහාන් ඇතුලෙ ගොඩනැගෙනවා. ඒක වීරත්වයක්. ජෙහාන් අතින් කෙලවෙන්නෙ බොරු සදාචාරවාදී, ග්‍රාමීය, වාමාංශික කඩතුරාවලට විතරයි.

    කූඹියෝ වැඩක් වෙන්නෙ ටීවී තිරය උඩ නෙමෙයි. කූඹියෝ තියෙන්නෙ ටීවී එකෙන් එලියෙ. මෙතනදි හසින්ද උදලාගම වගේ අය මූලිකවෙලා හදපු කූඹිගුල කියන කන්සෙප්ට් එකත් ලොකු වැඩකොටසක් කරනවා. ඩ්‍රාමා එක ඔන්ලයින් මාස් එකට කතා කළාට ඒ අයට අනන්‍යතාවයක් දැනෙන, සමීපත්වයක් දැනෙන අවකාශයක් හැදෙන්නෙ කූඹිගුලෙන්. මේ අය එකට සම්බන්ද කරන, එක දිශානතියකට බලහත්කාරයෙන් තොරව යොමු කරන බලය වෙන්නෙ කූඹිගුල. ඇත්තටම ලංකාවෙ දේශපාලන ව්‍යාපාරවලට මගඇරෙන දේශපාලනය කූඹිගුලේ තියෙනවා.

    මෙතන ඉන්නෙත් දෙවෙනි ඉනිම බලන, ජාතිවාදී හෝ ලිංගවාදී පිරිසමයි කියල මේ හවුල අවතක්සේරු කරන්නෙ ඇත්තටම කිසිම දේක පොසිටිව් දෙයක් දකින්න බැරි අය. මේක ලංකාවෙ දරුණු ලෙඩක්. මේ රටේ බහුතරයකට සතුට, සුබදායක බව වගේ දේවල් බාරගන්න අමාරුයි. ඒක ඒ අයගෙ මනස අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරනවා. එක පැත්තකින් බුදුනුත් අනෙක් පැත්තෙන් මාක්සුත් මේකට බලපානවා කියලයි මට හිතෙන්නෙ. කොයිවෙලාවක වුනත් ඉස්සරහට එළඹෙන අවදානමක්, අන්තරායක් වගේ දෙයක් මේ මනස්වල පැවැත්මට  ඕනවෙනවා.

    කූඹිගුලේ හැමෝම මාර ලිබරල් හරි මාර ඇඩ්වාන්ස් හරි කියල මං හිතන්නෙ නෑ. ඒත් ඒ අය සක්‍රීයයි. අදහස් බෙදාහදාගන්නා සුලූයි. සංවාද කරනසුලූයි. විරෝදයන්, විවේචනයන් එක්ක පොසිටිව් විදිහට ගැටෙනසුලූයි. විශේෂයෙන්ම ලංකාවෙ පළවෙනි වතාවට ඇතිවුන මේ වගේ සාර්තක ෆෑන්බේස් එකක ගතිකයන් ගනං නොගැනීම කියන්නෙ  සමාජ දේශපාලනික දැනුමෙ හිලක් විදිහටයි මට පේන්නෙ.

    මේ පිරිස කූඹියෝ කියන රසවින්දන මානය එක්ක කාලයක් පුරා එකට පවත්වාගෙන යන්න පුළුවන් වුනා. ඒ සාකච්ඡා සංවාද ඇතුලෙ විවිධ නිර්මාණශීලී දේවල් සක්‍රීයව සිද්ද වුනා. නාට්ටිය බලලා නිකං ඉන්නවට එලියෙන් ඒ අය විවිධ දේවල් කළා. නාට්ටියේ අවසාන කොටස එකට නරඹන යෝජනාව වුනත් සරල වගේම වැදගත් එකක්. මේ ඔන්ලයින් සම්බන්දතා කොයිතරම් ඇත්ත ලෝකෙ පෙනී සිටීමකට හරවන්න පුළුවන්ද කියන එක එතනදී ටෙස්ට් වුනා.

    අන්තිමට ජනප්‍රිය නළුවා සම්මානය දිනාගැනීම කියන අරමුණ දක්වා මේ පිරිස සංවිධානය කරන්න පුළුවන් වුනා. තමන්ගෙ වියදමෙන් එස්එම්එස් ගහන්න, ප්‍රචාරය අරගෙන යන්න කැපවෙන පිරිසක් මේ හරහා  ඕගනයිස් වුනා. අන්තිමට දෙවෙනි ඉනිමේ අනුහස්ව පරද්දලා ගේම්කාර ජෙහාන් ලංකාවෙ ජනප්‍රිය නළුවා කරන්න මේ ප්‍රවාහයට පුළුවන් වුනා.

    මං දකින්නෙ මේක රටේ ජනප්‍රිය කියන ධාරාව අභියෝග කරපු අවස්තාවක් විදිහට. සාම්ප්‍රදායික ඔතෑනි සුකුමාල ජනප්‍රියතාවය නාගරික ගේම්කාර පොලිටික් එක විසින් පැහැර ගත්තා. රවීන් කනිෂ්ක වෙනුවට තුමිදු ජනප්‍රිය නළුවා වීම ඇතුලෙ දේශපාලනයක් වැඩකරනවා කියල දකින්නෙ නැති බුද්දිමතුන් ගැන ඇත්තටම මට කියන්න වචන නෑ.
    කූඹියෝ කියන්නෙ ලොකු වෙනසක්. ඒක වෙනස් සම්ප්‍රදායක ඇරඹුමක්. මේක දෙවෙනි කොටසක් වෙනකල් ඇදගෙන යන්න  ඕනද නැත්තං මේ වගේ තව තව නාට්ටි හදන්න  ඕනද කියල අදහසක් මට නෑ. මොකද කූඹියෝ කියන්නෙම අහම්බයක්. වැඩකරපු අහම්බයක්. මට වඩා වැදගත් වෙන්නෙ මේ කූඹියෝ විසින් කරපු සමාජ පර්යේෂණය 2020ට පාව්චිචි කරන්නෙ කොහොමද කියන එකයි. මේක අවශ්‍යම කේස් ස්ටඩි එකක්.

  • ජාතික කොඩියෙන් පටන් ගමු

    ජාතික කොඩියෙන් පටන් ගමු

    ජාතිවාදය කියන්නෙ ඉහල සිට පහලට තල්ලූ කරන දෙයක්. පහලම පංතිවල මිනිස්සු ජාතිවාදී නෑ. වෙන විදිහකට කිව්වොත් ජාතිවාදය වගේ දෙයක් අෆෝර්ඞ් කරන්න තරම් ඒ පංතිවල මිනිස්සුන්ට පුළුවන්කමක් නෑ. ඉහලම පංතියෙ මිනිස්සුන්ටත් ජාතිවාදයෙන් ඇති වැඩක් නෑ. ඒ අය මේ ජාතික සීමාවලට එහායින් තමයි ජීවත්වෙමින් ඉන්නෙ. ජාතිවාදය කියන්නෙ ලංකාවෙ අලූත් මිඞ්ල් ක්ලාස් උන්ගෙ ගේම් එකක්. මේක ග‍්‍රාමීය එකක් නෙමෙයි. මේක හොඳටම නාගරික එකක්. මේ මිඞ්ල් ක්ලාස් එක එන්න එන්නම ලොකුවෙද්දි ජාතිවාදයත් ලොකුවෙනවා.  පහල පංතිවල මිනිස්සු කරන්නෙ  කඬේ යන එක විතරයි.
     
    බැලූබැල්මට අපිට පේන්නෙ රටේ නූගත්, කර කියාගන්න දෙයක් නැති, නන්නත්තාර පිරිස් ජාතිවාදය අවුලනවා වගේ. ඒත් ඇත්ත කතාව වෙනස්. ජාතිවාදය ඇත්තටම තියෙන්නෙ ඉංග‍්‍රීසි කතා කරන, ලොකු ලොකු ඉස්කෝලවලට ගිය, අපි උගත් බුද්දිමත් කියල රැුවටෙන මිනිස්සු ළ`ගමයි.
     
    ජාතිවාදය හැමතිස්සෙම ඇවිලෙන්නෙ බිස්නස් අරමුණක් වෙනුවෙන්. එදා අනගාරික ධර්මපාල පවා ජාතිවාදය ඇදලා ගත්තෙ සිංහල බිස්නස් ප‍්‍රජාවගෙ උවමනාවට. අද මුස්ලිම් අයට විරුද්ද ජාතිවාදය ඇවිලෙන්නෙත් ඒ උවමනාවටමයි. මුස්ලිම් ව්‍යාපාර අස්තාවර කිරීම හරහා තමන්ගෙ ව්‍යාපාරික බලය වැඩි කරගන්න ද`ගලන සිංහල මුදලාලිලා ටිකක් තමයි මේ ජාතිවාදය අවුලන ඇත්ත පෙට‍්‍රල් සප්ලයි කරන්නෙ.  කෘතිමව ඇතිකරන කලබල ඇතුලෙ කඩසාප්පුම ගිනි තිය තිය ඇවිදින්න හේතුව ඒකයි.
     
    ජාතිවාදයෙ ලොකුවම පත්තුවෙන සිංහල බෞද්ද කියන වචනෙ ගැටගැහෙන හැටි මං ටිකක් දුරට කල්පනා කළා. බුද්දාගම කොහොමත් හැදෙන්නෙ වාණිජ ආගමක් විදිහට. බුදුන්ගෙ කාලෙමත් ඒක වඩාත් ජනප‍්‍රිය වෙන්නෙ සිටුවරු වගේ පොරවල් අතර. එහෙන් මෙහෙන් සුනීතලා සෝපාකලා හිටියට බුද්දාගමේ කැපී පේන චරිත වුනේ අනේපි`ඩු, මිගාර වගේ ලොකු චරිත. අනිත් පැත්තෙන් කොසොල්, බිම්බිසාර වගේ රජවරුත් හිටියා. ඒ කාලෙ පැවතුණු බමුණු ආගම්වලට වඩා බුදුන්ගෙ අදහස් මේ වෙළඳ පංතියට ගොඩක් අනුකූල සහ පහසු ඒවා වුනා.
     
    පස්සෙ මේ බුද්දාගම අශෝක අධිරාජයා යටතේ ආයුදයක් විදිහට පාවිච්චි වෙන්න ගත්තා. රටවල් යටත් කරගැනීමේ අලූත් විදිහක් විදිහට අශෝක බුද්දාගම පාවිච්චි කළා. අපිට බුද්දාගම ලැබෙන්නෙත් ඒ ධර්ම විජය කියලා හඳුන්වපු යටත්විජිතකරණයේ ප‍්‍රතිපලයක් විදිහට.
     
    එතන ඉඳනුත් බුද්දාගම ඉතිහාසය පුරාම පාවිච්චි වෙන්නෙ රජාව ආරක්ෂා කරන්න. රාජ්‍යත්වය සහ බුද්දාගම අතරෙ හැමදාම ඞීල් එකක් තිබුනා. හාමුදුරුවරු රජාව ආරක්ෂා කළා. රජා හාමුදුරුවරුන්ව රැුක්කා. මහාවංශය පවා ලියවෙන්නෙ මේ අරමුන වෙනුවෙන්. අවශ්‍ය වෙලාවලදි රජුන් ලවා මිනිස් සංහාරයන් පවා අපේ හාමුදුරුවරු පසුබට වුනේ නෑ. බුද්ද දර්ශනයෙ එන අවිහිංසාව, මෛත‍්‍රිය, කරුණාව වගේ සංකල්ප ලංකාවෙ සංග සමාජය විසින් අවස්තානුකූලව තමන්ට උවමනා උවමනා අතට නමාගත්තා.
     
    අදටත් පවතින්නෙ මේ යතාර්ථයමයි. ලංකාවෙ ජාතිවාදී අවුල් පිටිපස්සෙ වැඩියෙන්ම ඉන්නෙ හාමුදුරුවරු. මෙතනදි ඥානසාර, අංපිටියෙ සුමන එහෙම කියන්නෙ ලිහාදාපු සුනඛයන් විතරයි. හාම්පුතාලා ඉන්නෙ තිරෙන් පිටිපස්සෙ. පහුගිය කාලෙදි ඥානසාරව අත්අඩංගුවට ගන්න යද්දි අස්ගිරියෙ මහනායක ඥානසාරගේ වික‍්‍රම සාධාරනීකරණය කරමින් එයාව ආරක්ෂා කරන්න නිවේදනයක් නිකුත් කරනවා. ඒක එක්තරා විදිහක තර්ජනයක්.
     
    මේ මෑතකම ෆේස්බුක් හරහා පැතිරුන කිරිබත්ගොඩ ඥානානන්දගෙ මහමෙව්නාවෙ අලවලා තිබුන දැන්වීම යට පවා තියෙන්නෙ මෙන්න මේ කතාව. වඳපෙති දාන්න ඉඩ තියෙන නිසා තමන්ට දානය උයද්දි අන්‍යාගමිකයො සම්බන්ද කරගන්න එපා කියලා ඒ දැන්වීමෙ ගහලා තියෙනවා. හාමුදුරුවරු වඳ නොවී ඉඳීමේ ඇති වැදගත්කම මොකක්ද කියන කාරණය පවා එතනදි අමතක කරනවා. සමහර විට සමස්ත සිංහල ජාතියෙම පිරිමි වඳවෙන තැනට පත්වුනාම හාමුදුරුවරු ටික ජාතිය වෙනුවෙන් ළමයි හදන මහා ව්‍යායාමයකට සම්බන්ද වෙන්න ඉන්නවා වෙන්නත් පුළුවන්.
     
    මහමෙව්නාව කියන්නෙ බුද්දාගමේ හැදිච්ච අලූත් කල්ට් එකක්. මේ වගේ කල්ට් පිටිපස්සෙ ඉන්නෙ අලූත් ව්‍යාපාර පංති. ඒවා වැඩකරන්නෙ ඒ පංතිවල උවමනාවන් සහ තෘප්තීන් වෙනුවෙන්. අර කලින් කිව්ව විදිහට බෙන්ස්වල, බීඑම්ඩබ්ලිව් වල යන එන, ඉංග‍්‍රීසි කතා කරන, සමහර වෙලාවට විද්‍යා උපාදි පවා තියෙන මේ පංති ප‍්‍රජාව වඳපෙති නෙමෙයි හක්ගෙඩි, පාංගෙඩි අදහන තරම් ගොන්. මේ දැන්වීම පිටිපස්සෙ තියෙන ජාතිවාදය, මුස්ලිම් විරෝදය ඒ තක්කඩි සිංහල බෞ්දද ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආරක්ෂා කරන්න, වගාකරන්න මහමෙව්නාව බැඳිලා ඉන්නවා.
     
    පන්සල් බහුතරයක් ඇතුලෙ වැඩකරන්නෙ ජාතිවාදය. හාමුදුරුවරු බණට කියන්නෙත් ජාතිවාදය. දහම් පාසැල්වල උගන්නන්නෙත් ජාතිවාදය. මේක පිළිලයක් වගේ ඇතුලෙන් ඔඩුදුවමින් තියෙන්නෙ.
    ඒත් ආණ්ඩුව හදන්නෙ ෆේස්බුක් සීමා කිරීමෙන් ජාතිවාදී අවුල සමනය කරන්න. පයේ බරවෙට පිටිකරේ බෙහෙත් බැන්දා කියල ඇති පලක් නෑ.
     
    පහුගිය මහින්ද රාජපක්ෂගෙ ආන්ඩුව කාලෙ මේ ජාතිවාදී අදහස් හැමතැනම පැලකළා. බීජ ඉස්සා. ජාතිවාදය දේශපේ‍්‍රමය වුනා. ඉස්කෝලවල ඉතිහාස පාඩම් ඇතුලෙ අනෙක් ජාතීන් වර්ග පහත් කොට සැලකෙන ඉගැන්වීම්-කියවීම් ව්‍යාප්ත වුනා.
     
    නුවර ඇතිවෙච්ච සිද්දියෙදි ෆේස්බුක් හරහා ජාතිවාදය පැතිරුවා කියල අත්අඩංගුවට ගත්තෙ අවුරුදු දාසයක විතර කොල්ලෙක්. මේකෙන් තේරෙනවා අනතුර තියෙන තැන. 2000 විතර ඉපදිච්ච, මහින්ද චින්තනයේ යුද වින්දනයේ අවුරුදු දහයක් ගතවෙච්ච මේ පරම්පරාව අනාතයි. ඉස්සර අවුරුදු දොලහ දහතුන වෙද්දි අතට අහුවෙන රුසියානු පොත් එහෙම මේ අලූත් පරම්පරාවට අහුවෙන්නෙ නෑ. ඒ පොත්වලින් පස්සෙ වාමාංශික ආබාද ඇතිවෙන්න පුළුවන් වුනත් ජාතිවාදය වගේ පටු දැකීම් වල කොටු නොවෙන මහද්වීපික සිතීමක් ඒවායින් ලැබුන. මේ අලූත් නව යොවුන් පරපුරට ඇසුරු කරන්න ලැබුනෙ තනිකරම ජාතිවාදී සංස්කෘතියක්.
    අපේ අධ්‍යාපන පද්ධතියම මේ වෙද්දි වැඩකරන්නෙ ජාතිවාදය පතුරන යාන්ත‍්‍රණයක් විදිහට. උගන්වන ගුරුවරු තමන්ගෙ හිතුමනාපයට මේ අදහස් හැදෙන අනාගත පරපුරට එන්නත් කරනවා. අපේ ඉතිහාසය ජාතීන් අතර සමගිය සංහිඳියාව ඇතිකරන ඉගැන්වීමක් විදිහට තුලනාත්මකව, දියුණු කියවීමකට ලක්කරන්න කාගෙවත් වෑයමක් නෑ. ඇත්තටම නම් මේ මහින්ද චින්තනයේ අසූචි ටික ෆ්ලෂ් කරලා දාන්න නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් සහ විවිධත්වය අගයන ඉගැන්වීමේ රටාවක් වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ නව වැඩසටහනක් අත්‍යාවශ්‍ය වුනත් කාටවත් ඒ ගැන වගේ වගක් නෑ.
     
    තාමත් අපි සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට බෙදිලයි ඉස්කෝල පවත්වාගෙන යන්නෙ. සිංහල බෞද්ද පාසැල් වගේම ක‍්‍රිස්තියානි, මුස්ලිම් පාසැල් වෙනම පවත්වාගෙන යාම කියන්නෙම ජාතිවාදය පවත්වාගෙන යාමක්. ජාතීන් අනුව පාසැල් බෙදෙන්න අවශ්‍ය නෑ. විවිධ ජාතීන් විදිහට එකට පැවතීම හුරු වෙන්න ඇති ප‍්‍රධානම අවකාශය අපි ජාතිවාදී විදිහට අහුරලා තියෙනවා. ආණ්ඩුවට ඇත්තට ජාතිවාදය පිටුදකින්න  ඕන නම් ලේසි තැන්වල කරන සෝබන අතපෙවීම් පලක් වෙන්නෙ නෑ.
     
    මේ නැවත නැවත උත්සන්න වෙන, එක එක ජාතීන් දිහාවට මෑනෙන ජාතිවාදී ආයුදය සීරියස් විදිහට ඇඩ‍්‍රස් කරන්න නම් පුළුල් දැනෙනසුලූ ව්‍යාපාරයක්  ඕන කරනවා. ජාතීන් අතර විශ්වාසය ගොඩනැගෙන ලොකු සංකේතාත්මක වැඩක්  ඕන වෙනවා.
     
    මට දැනෙන විදිහට අපිට ජාතිවාදය පිටුදකින එක අපේ ජාතික කොඩියෙන් පටන් ගන්න වෙනවා.
    මේ කොඩිය ඇත්තටම ජාතිවාදී කොඩියක්. මේ කොඩියෙ එලියෙ කෑල්ලෙ තීරු දෙකක් විදිහට සුළු ජාතීන් නිරූපනය කරන එකම වැරදි වැඩක්. විවිධ ජාතීන් එකට ජීවත් වෙන එක නිරූපණය කරන්න වෙනස් වර්ණයන් පාවිච්චි කිරීම සාධාරණයි. ඒත් ඒ ජාතීන්ගේ ප‍්‍රමානයන් ජාතික කොඩියෙ නිරූපණය වෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම සිංහල මහ ජාතිය වෙනුවෙන් ලොකු රතු පදාසයක් සහ සුළු ජාතීන් පැත්තට කඩුව දික්කරගත්ත සිංහයෙක් දාන එක කොහෙත්ම ජාතීන් අතර සංහිඳියාව උනන්දු කරන තත්වයක් නෙමෙයි. ජාතික කොඩිය ඇතුළට බෝකොල වගේ බෞද්ද කෑලි යොදා ගැනීමත් විවිධ ආගම් අදහන පිරිස් එකට ජීවත් වෙන රටක් විදිහට සුදුසු වෙන්නෙ නෑ. මේ කොඩිය දකින දකින වතාවක සුළු ජාතිකයෙකුට එන හැගීම වෙන්නෙ තමන් පිටමං කරන ලද සුළු තීරුවක් කියන හැගීම විතරයි. මේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජාතීන් අතර සහ ආගම් අතර විවිධත්වය, සමානාත්මතාවය, එකිනෙකා අතර සහයෝගිතාවය වගේ කාරණා ගැන කිසි හැගීමක් හෝ දැනුවත් බවක් තිබිලා නැතිවග පැහැදිලියි.
     
    ජාතික කොඩිය විතරක් නෙමෙයි අපේ ව්‍යවස්ථාවම පදනම් වෙලා තියෙන්නෙ මේක සිංහල බෞද්ධ රටක් කියන පිළිගැනීම මත. ඒ පිළිගැනීමම ජාතිවාදී එකක්. අපේ රටේ ව්‍යවස්ථාව පදනම් වෙන්න  ඕන මේක බහුවාර්ගික, බහුආගමික රටක් කියන එක. අපි තනි ශුද්ධ වූ ජාතියක් කියන තැනින් හයිබි‍්‍රඞ් ජාතියක් කියන තැනට මාරු වෙන්න  ඕන.
     
    මගේ සිහිනමය යෝජනාව වෙන්නෙ අපි ජාතික කොඩිය අලූතෙන් නිර්මාණය කරන තැනින් පටන් ගමු කියලයි.
     
    මේ ආන්ඩුව නිශ්චිතවම පවතින්නෙ තව අවුරුදු දෙකයි. හොරු අල්ලලා නෙමෙයි තව මොන මොන පෙළහර පෑවත් මේක ගොඩගන්න දැන් පරක්කු වැඩියි. ඒ හින්ද මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව වෙන්නෙ සුවිශේෂ වෙනසක් වෙනුවෙන් නිර්භීත අලූත් පියවරක් තියන එකයි. ඩූ  ඕර් ඩයි වයිල්ඞ් කාර්ඞ් එකක් ගහන එකයි.
     
    අලූත් ජාතික කොඩියක් කියන්නෙ ජනමත විචාරණයක් දක්වා යන්න අවශ්‍ය වෙන කාරණයක්. අමාරු වුනත් ඒක හොඳ තත්වයක් විදිහටයි මං දකින්නෙ. අලූතෙන් ජාතික කොඩිය නිර්මාණය කරනවාට වඩා එහි අවශ්‍යතාවය, වටිනාකම මිනිස්සුන්ට කියලා දෙන කැම්පේන් එකයි වඩා වැදගත් වෙන්නෙ. ඒකම ජාතීන් අතර සංහිඳියාව සහ විවිධත්වයට ගරු කිරීම උගන්වන විශාල ව්‍යාපෘතියක්. අවුරුදු ගානක් ගියත්, අන්තිමේදි පරාජය වුනත්, අපි සුබ දිශාවකට එක අඩියක් හරි තියන්න උත්සාහ අරගෙන තියෙනවා.
     
    2000දි ජොර්ජ් බුෂ් එක්ක ඩිමොක‍්‍රටික් පාර්ටි එකෙන් ඉදිරිපත් වුනේ ඇල්ගෝ. ඇල්ගෝ ගෝලීය උණුසුම් වීම ගැන පුළුල් පරිසර කතිකාවක් තමන්ගෙ කැම්පේන් එක කරගත්තා. ඒත් චන්දෙන් දින්නෙ ජොර්ජ් බුෂ්. නමුත් අද වෙනකල් මුළු ලෝකෙම ගෞරවයෙන් වැළඳගන්නා චරිතය විදිහට ඉතිරි වුනේ ඇල්ගෝ.
    මේකත් ඒ විදිහෙ වැඩක්. සුද්දාගෙන් පස්සෙ අපිට නිර්මාණය කරගන්න බැරිවුණු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලාංකේය ජාතිය නිර්මාණය කරන ව්‍යාපෘතියක්.
     
    උදා විදිහට මට අනුව අපේ ජාතික කොඩිය විදිහට වඩාත් සුදුසු අපේ ක‍්‍රිකට් කොඩියයි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැමෝම එකම ජාතියක් විදිහට හිතන එකම තැන සහ හොඳම තැන ක‍්‍රිකට්. ඒ කොඩිය අපි හැමෝගෙම කොඩියක් කියන හැගීම හැමෝටම තියෙනවා. පටිගහලා, කොටු කරලා එතන ජාතීන් වෙන්කරලා නෑ.
    ජාතික කොඩිය වෙනස් කිරීම ගැන විවිධ මත ගැටේවි. විරෝධයන් අහස උසට නැගේවි. ඒත් සංහිඳියාව ගැන කතිකාව බොරු රොමැන්ටික් තලවලින් ගැලවිලා මිනිස්සුන්ට ඇත්තට දැනෙන වැදෙන තැනකට ඒවි. විවිධ ජාතීන්ගේ එකමුතුව ශක්තියක් විදිහට සළකන අලූත් ශ‍්‍රී ලාංකේය ජාතිය ජාතිවාදයට එරෙහි ප‍්‍රබලම ගොඩනැංවීම වේවි.
     
    ඒ අලූත් ජාතියේ කොඩිය දවසක නිල් අහසේ ලෙලදේවි. ඒ සැබෑ වෙන තෙක් අපිට දරුණු අදහස් සටන් තියේවි.
     
    ඒත් මේ රටේ පුරවැසියෙක් විදිහට මං දකින්න කැමති, කැපවෙන්න කැමති අනාගතය ඒකයි. ඒ වෙනුවෙන් අවශ්‍ය  ඕනෑම කාලයක් කිසිම මුදලක් නැතුව මගේ උපරිමයෙන් වැඩකරන්න මං ලෑස්තියි.
    මගේ හීනය ඒකයි.


     චින්තන ධර්මදාස

  • ඩයොජිනිස්ගේ කතා

    ඩයොජිනිස්ගේ කතා

    මට අද උදේ ඩයොජිනිස්ව මුනගැහුනා. පහල ගේට්ටුවට හයියෙන් තඩිබබා ඉන්නකොට. ඒ ගෙදර මනුස්සයා දුවගෙන ආවා. ඩයොජිනිස් හිනාවෙලා අතපෑවා. ගෙදර මනුස්සයා බැනලා එලවගත්තා.
    නෑ නෑ යනවා යනවා. මෙතන..

    ඩයොජිනිස් හයියෙන් හිනාවුනා. හිනාවෙවී පාර දිගේ ආපහු ගියා. දුකක කණස්සල්ලක සේයාවක් වත් තිබුනෙ නෑ. මිනිස්සු ගැන ඊට වඩා හොඳ බලාපොරොත්තුවක් ඩයොජිනිස්ගෙ හිතේ තිබුනෙ නෑ.

    ඒ සල්ලි ඉල්ලපු මනුස්සයගෙ නම ඇත්තටම ඩයොජිනිස්ද කියල මං දන්නෙ නෑ. සමහර විට සිමියොන්, අබිලිං, ඒබරං නැත්තං ඩෙස්මන්ඞ්, ලැනරෝල් , පීරිස් ඔය  ඕන එකක් වෙන්න පුළුවන්. ඒත් ඒ මනුස්සයා මට මතක් කළේ සිනෝපයේ ඩයොජිනස්ව.

    ඩයොජිනස් කියන්නෙ සිනිසිසම් නැත්තං නරුමවදය කියන එක දර්ශනයක් නම් ඒකෙ ආරම්බකයා. එයා ජීවත් වුනේ ග‍්‍රීසියෙ මාර්කට් එකක් ඇතුලෙ. ඒකෙ බැරල් එකක් තමයි එයාගෙ නිවහන. මාර්කට් එකට එන අයට අතපාලා එයා ජීවත්වෙන්න කීයක් හරි හොයාගත්තා. අතට අහුවෙන, හම්බුවෙන මොනා හරි කාලා මිනිහා ජීවත් වුනා. එකම වත්කම වුනේ වතුර බොන්න පාවිච්චි කරපු පොල්කට්ට. එකදවසක් පොඩි ළමයෙක් නිකම්ම පාරෙ වතුර වලකට කට තියලා තිබහ නිවාගන්නවා දැකලා ඩයොජිවනිස් තමන්ට තිබුන එකම වත්කමත් විසි කරලා දානවා.

    මිනිහා නාන්නෙ නැති, ගඳ ගහන, කිළුටු වැරහැලි අඳින, දැකපු ගමන් පිස්සෙක් කියල හිතෙන මිනිහෙක්. ඒත් සියලූ පිලිගැනීම් සහ සම්මතයන් බැහැර කරන අමුම ප‍්‍රකෘතියේ ජීවිතයක් ඩයොජිනිස් අභ්‍යාස කරමින් හිටියා. බුදුන් හෝ වෙනත් ආධ්‍යාත්මික පොරවල් වගේ තමන්ගෙ එකට සැරසිල්ලක්, ආයිත්තමක් එකතු කරන්නවත් ඩයොජිනිස්ට  ඕන වුනේ නෑ. කිසිම දෙයක් ගැන කලින් පිළිසිඳගත් අදහසක් නැතිව එයා හැමදෙයක්ම ප‍්‍රශ්න කරමින් හිටියා.

    ජීවත් වෙනවා සහ මැරෙනවා කියන දෙකේ වෙනසක් නෑ කියල එයා කිව්වා.
    එහෙම නං තමුසෙ මොකෝ නොමැරි ජීවත් වෙන්නෙ? මිනිස්සු ප‍්‍රශ්න කළා.
    ඉතිං වෙනසක් නැති නිසානෙ නොමැරි ඉන්නෙ. ජීවිතේට වඩා මරණය තෝරගන්නවත් මට හේතුවක් නෑ. ඩයොජිනිස් උත්තර දුන්නා.

    එයා ඇහුවා හරිම සරල ප‍්‍රශ්නයක්. සරලම විදිහට මිනිහා කියන්නෙ කවුද?
    පිහාටු නැති දෙපාවෙක් කියල පන්ඩිත ප්ලේටො උත්තර දුන්නා.

    පරණ ග‍්‍රීසියො කැන්ගරුවො ගිබන්ලා වගේ සත්තු හිටියෙ නෑ. ඉතිං ප්ලේටො හිතුවා වැඬේ ෂේප් කියල. ඒත් ඩයොජිනිස් කුකුලෙක් හොයාගෙන ඌව හමගහලා ප්ලේටොගෙ ඇකඩමියට අරන් ගියා.
    ආ මෙන්න මං අපූරු මිනිහෙක් හොයාගත්තා.. කියලා කුකුලව ප්ලේටොට දුන්නා.

    මේ විදිහට කොහෙත්ම ආචාරශීලීත්වය වගේ හදාගත්ත කාරණා නම් ඩයොජිනිස්ට තිබුනෙම නෑ. එක සල්ලිකාරයෙක් ඩයොජිනිස්ගෙ ෆෑන් කෙනෙක් වෙලා එයාට ලොකු කට්ටිය එක්ක කෑමකට කතා කළා. ඩයොජිනිස් තමන්ගෙ සුපුරුදු කිළුටු විදිහටම කෑම කනවා දැකලා එතන හිටපු බවතෙක් මළපැනලා එයාට බල්ලා කියල බැන්නා. කොහොමත් සිනික් කියන වචනෙ තේරුම වෙන්නෙම බල්ලා කියන එක. ඒත් බල්ලා කියන සතා නම් කොහෙත්ම සිනික් ගනයට වැටෙන එකෙක් නෙමෙයි.
    මේ කතාව ඇහුනම ඩයොජිනිස් කෑම මේසෙන් නැගිටලා අර මිනිහා ළගට ආවා. ඇවිත් බල්ලෙක් වගේම කකුලක් උස්සලා මිනිහගෙ ඇගට චූ කරන්න ගත්තා.

    මේ විදිහට අනිත් අයට අපහාස උපහාස කිරීම වගේම ඩයොජිනිස් තමන්ට කරන අපහාස උපහාසත් පඬේකට ගනං ගත්තෙ නෑ. හි`ගා කකා ඉන්න අතරෙදි එතනින් යන එන අය ඩයොජිනිස්ට කෙළ ගැහුවා. කිසිම අපහසුතාවයකට පත් නොවී එයා කෙළ පිහිදගෙන ආයිමත් අත දික්කළා. මේ ගැන පස්සෙ වෙන වෙන හාදයො උසුළු විසුළු කරන්න ගත්තම ඩයොජිනිස් කියනවා,
    මිනිස්සු මේ සාලයො ටිකක් අල්ලගන්න මුහුදු ගියාම මුහුදු රැුලි පාරවල් කොයිතරම් කාගෙන ඉන්නවද? ඉතිං මට මගේ කෑම වෙලා හොයාගන්න පොඩි කෙලපාරක් කාගෙන ඉන්න බැරිද?
    ඩයොජිනිස්ට ඔය දාර්ශනික මහන්තත්ත කතන්දර පෙන්නන්න බෑ.

    එක දවසක් ඔය අපේ ඉන්නවා වගේ තර්කය මුල් කරගත්ත දාර්ශනික ගැටයෙක් ඩයොජිනිස් ළ`ගට ඇවිත් කියනවා, දන්නවද, චලනය කියන්නෙ තනිකරම බොරුවක්. මට ඉඩදෙන්න ඒක ඔප්පු කරන්න කියල.
    ඩයොජිනිස් කිසි උත්තරයක් දෙන්නෙ නෑ. ඉක්මනට එතනින් නැගිටලා යන්න යනවා.

    තව දවසක ඩයොජිනිස් ගණිකා නිවාසයක් ඉස්සරහට වෙලා කෑ ගහනවා. ගණිකාවක් කියන්නෙ විස ලූ මී බඳුනක්.. ගණිකාවක් කියන්නෙ විසලූ මී බඳුනක්.. ගණිකාවක් කියන්නෙ විස ලූ..
    ඉතිං එතනට ඇතුල්වෙන අය මේ මිනිහගේ කට වහන්න කීයක් හරි විසි කරනවා. ඩයොජිනිස් හැන්දෑ වෙනකල් කෑ ගගහා ඉඳලා සල්ලි එකතු වුනාම ගණිකා නිවාසෙ ඇතුලට රිංගනවා.

    ඩයොජිනිස්ගෙ අනුගාමිකයන්ට ඔය අල්ලගෙන ඉඳිල්ල දිගටම අල්ලන් ඉන්න හයිය තිබුනෙ නෑ. ගොඩක් අය කාලෙකදි එයාව අත්ඇරලා ගියා. එයින් එක්කෙනෙක් ඩයොජිනිස්ට තමන් ලියපු පොතක් දුන්නා. ඩයොජිනිස් හිනාවුනා. ”උඹ හරි මෝඩයි.. කාට හරි ඇත්ත පළතුරු දෙනවා මිසක් පළතුරු ඇඳපු චිත‍්‍රයක් දීලා වැඩක් නෑ. දර්ශනය පුහුණු කරන ජීවිතය අත්ඇරලා පොත්වල ලියලා තියෙන දර්ශන කියෙව්වට වැඩක් නෑ..”

    ඩයොජිනිස්ගෙන් අනුගාමිකයො ගැලවිලා වෙන ගුරුවරු හොයාගෙන යන එක ගැන හැමෝම වගේ ප‍්‍රශ්න කළා. ඒ ගිය කිසි කෙනෙක් ආපහු ඩයොජිනිස් ළ`ගට ආවෙත් නෑ. ඒ ගැන කිසිම පසුතැවිල්ලක් හෝ කළකිරීමක් ඩයොජිනිස්ට තිබුනෙත් නෑ. ඒත් සමහර වෙලාවට ඒකට උත්තර දෙන්න එයාට සිද්ද වුනා.
    ‘මිනිහෙක්ව නපුංසකයෙක් කරන්න  ඕන කෙනෙකුට පුළුවන්. යන අය යන්න හේතුව ඒකයි. ඒත් නපුංසකයෙක්ව ආපහු මිනිහෙක් කරන්න කිසි කෙනෙකුට බෑ. ඒක නිසා ගිය අය ආපහු ආවත් වැඩක් වෙන්නෙ නෑ..”

    ඩයොජිනිස්ගෙ මේ හිගාකෑම ගැනත් මිනිස්සු ප‍්‍රශ්න කළා.
    ‘මං හි
    ගාකන්නෙ මිනිස්සුන්ට වියදම් කරන හැටි කියලා දෙන්න. ඒ අයට ත්‍යාගවන්තබව උගන්නන්න..’
    ඩයොජිනිස් කිව්වා.

    ඉඳලා හිටලා මිනිස්සු ඩයොජිනිස්ට ප‍්‍රශංසා කළා. ඒ වෙලාවට එයා තමන්ගෙ මුහුණට රිදෙන්න අතුල් පහරක් දීගත්තා. ඊට පස්සෙ අ`ඩා වැළපුනා. ‘ලැජ්ජයි.. මං මොකක් හරි චාටර්ම දෙයක් කරලා වෙන්න  ඕනි…” ප‍්‍රශංසා ගැන එයා පසුතැවිලි වුනා.

    ප්ලේටෝ එක්ක ඩයොජිනිස් ගොඩක් වලි දාගත්තා.

    සොක‍්‍රටීස් ගැන මොකද හිතන්නෙ? කවුරු හරි ඩයොජිනිස්ගෙන් ඇහුවා.
    ‘සොක‍්‍රටීස් කියන්නෙ පිස්සෙක්’ ඩයොජිනිස් කිව්වා.
    පස්සෙ කාලෙක ඩයොජිනිස් කියන්නෙ කවුද කියල ප්ලේටොගෙන් කවුරු හරි ඇහුවා.
    සොක‍්‍රටීස් කෙනෙකුට පිස්සු හැදුනම.. ප්ලේටො කිව්වා.
    ‘ටියුබ්ලයිට්’ කියල ඩයොජිනිස් එතනදිත් ප්ලේටොව ජෝක් කරනවා.

    ඔහොම තව දවසක ප්ලේටො කෝප්ප ටිකක් මේසෙ උඩ තියාගෙන තමන්ගෙ දේවල්වලට ඔබ්බෙන් පවතින සංකල්ප ලෝකය ගැන අදහස පැහැදිලි කරන්න හදනවා.

    ‘මේ කෝප්ප එකට එක වෙනස්. ඒත් මේ හැම එකකම තියෙනවා ‘කෝප්පීය’ කියන අදහස. ඒක පවතින්නෙ මේ කෝප්පයට කලින්’ ප්ලේටො කියනවා.
    ‘මට පේනවා මේසෙ උඩ තියෙන කෝප්පය නං.  ඒත් කෝප්පීය කියලා එකක් නං පේන්නෙ නෑ..’ ඩයොජිනිස් උපහාසෙන් කියනවා.

    ඒකට මේක තියෙන්න  ඕන කියල ප්ලේටො තමන්ගෙ ඔලූවට තට්ටු කරලා පෙන්නනවා.
    ‘ඔයාට කෝප්පයට පිටින් කෝප්පීය එක තේරුං ගන්න මොලේ නෑ..’ ප්ලේටො කෝචොක් කරනවා.
    ඩයොජිනිස් මේසෙ ළ`ගට ගිහිල්ලා කෝප්පයක් අතට ගන්නවා. ‘මේක හිස්ද ?’
    එයා අහනවා. ‘ඔව්’ ප්ලේටො උත්තර දෙනවා.

    ‘එතකොට මේ කෝප්පයේ හිස්කමට කලින් තියෙන හිස්කම කොහෙද?’
    ප්ලේටො උත්තරයක් හොයාගන්න කලින් ඩයොජිනිස් ඇවිත් එයාගෙ ඔලූවට තට්ටු කරනවා.
    ‘මං හිතන්නෙ ඒක තියෙන්නෙ ඔයාගෙ ඔලූව ඇතුලෙ වෙන්න  ඕනි’

    ඩයොජිනිස් කියන්නෙ තියරිවලට වඩා ප‍්‍රැක්ටිස් එක දර්ශනය කියල බාරගැනීමක්. සියලූ සම්මුතීන් නොපවතින තැනදි තමන් කවුද කියන එක තේරුම් ගන්න බැරුව ලෝකය තේරුම් ගැනීම සහ තේරුම් කිරීම විකාරසහගත යැයි ඔප්පු කරපු ජීවිතයක්. පැවැත්ම කියන දාර්ශනික සම්මතය ඉස්සරහ පවතිමින් ඒක කුඩු කිරීමම දර්ශනය කරගත් වයිරසයක්.

    ඩයොජිනිස් ගැන ප‍්‍රසිද්දම කතාව එයාව මුනගැහෙන්න මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් ආපු එක.
    ‘මං ඔයාගෙ දරුණුම ෆෑන් කෙනෙක්. මොනාද ඔයාට මගෙන් කෙරෙන්න  ඕනි?’
    ඇලෙක්සැන්ඩර් බක්තියෙන් අහනවා. ඩයොජිනිස් හිනාවෙනවා.

    ‘අනිවාර්යෙන් ඔයාට මං වෙනුවෙන් දෙයක් කරන්න පුලූවන්. ඒ තමයි චුට්ටක් ඔතනින් පැත්තකට වෙන එක. මොකද ඔයා ඔහොම හිටියම මට වැටෙන ඉර එලිය බ්ලොක් වෙනවා’

    ඩයොජිනිස් අවුරුදු අසූ නවයක් ජීවත් වෙනවා. එයාව බල්ලෙක් කාලා මැරුනා කියලා කට්ටියක් කියනවා. එයාව පනුවො ගහලා මැරුනා කියල තව කට්ටියක් කියනවා. ඒත් මට හිතෙන්නෙ එයාට ජීවත්වෙන එක බෝරිං වෙලා හුස්ම නොගෙන ඉන්න ඇති කියල. එයා මළාට පස්සෙ තමන්ගෙ මිනිය සත්තුන්ට කන්න කැලේට ගිහිල්ලා දාන්න කියනවා. තමන් නොවෙන කිසිවක් බාරගැනීම ප‍්‍රතික්‍ෂේප කළ බුදුවරයෙක් ඒ විදිහට ග‍්‍රිසියේ බැරල් එකක පිරිනිවන් පානවා.

    ගේට්ටුවෙන් ගේට්ටුවට තට්ටු කර කර තාමත් අපේ පාරෙ ඇවිදන් ආපු ඩයොජිනිස් කවුරුවත් තේරුම් නොගන්නා ධර්මය නිහ`ඩව මුනගස්වමින් පාරක් පාරක් ගානෙ යනවා. මට ඩයෝජිනිස්ගෙ ඒ හිනාව ඈතට ඇහෙනවා.


    චින්තන ධර්මදාස

  • ඕම් නමං ශිවාය!

    ඕම් නමං ශිවාය!

    මේ ලියවිල්ල අදාල වෙන්නෙ මේ කතා කරන රියැලිටියෙ අත්දැකීම් තියෙන අයට විතරයි. ඒ මැජිකල් මිතිකල් රියැලිටි එකත් ජීවිතේ කොටසක් හැටියෙන් පවත්වාගෙන යන අයට විතරයි. අනිත් අයට මේක විකාරයක් හැටියට ගංජා හීනයක් විදිහට නැත්තං තව නොයෙක් නොයෙක් තමන් දන්න ආතල් ප‍්‍රමානයන්ගෙන් කියවගන්න පුළුවන්.

    එක කාලෙක අවුරුදු ගානක පරිච්ෙඡ්දයක් මං සායිබාබා අනුගාමිකයෙක් වෙලා හිටියා. උගත් බුද්දිමත් විචාරශීලී කවවල ගොඩක් වෙලාවට සායිබාබා ආධ්‍යාත්මික පැත්තෙන් සීරියස් විදිහට බාරගන්නෙවත් නෑ. මාල මුදු මවන, අළු මවන, මැජික් දාන සායිබාබාට පිටින් වෙන කිසි දෙයක් නෑ. උදා විදිහට බුදුන්ට,  ඕෂොට මේ කතිකා ඇතුලෙ යම් බරක් තියෙනවා. ඒත් හදවතින් තමන්ගේ ධර්මය හරි අත්දැකීම හරි ෂෙයාර් කරගන්න, ඉමෝෂනල් ජර්නි එකක් යෝජනා කරන සායිබාබා නැත්තං ජේසුස් වගේ චරිත දාර්ශනිකව බාරගන්න අමාරු වෙනවා.

    එක අතකට එතන තියෙන්න  ඕන දේත් ඒකමයි. ඒ අය දාර්ශනික නෑ. ඒ වෙනුවට ක‍්‍රියාවක් හරහා අවබෝධයකට යන මාර්ගයක් ඒ ගොල්ලො කියනවා. මෝඩ අන්ධ විදිහට හඳුන්වන භක්තිය හරහා ලබන ආධ්‍යාත්මික අත්දැකීමක් ගැන ඒ ගොල්ලො කතා කරනවා. විද ්‍යාත්මක මිනිහට මේ භක්තිය කියන කාරනේ දුරයි. ඒත් ඒ තමයි සුවහසක් ජනීජනයාට ආධ්‍යාත්මික අත්දැකීමක් ගන්න තියෙන එකම ප‍්‍රවේශය. ඒ මහා ජනතාවට ඥානයෙන් අවබෝදයට පත්වෙන මාර්ගය දුරයි.

    සායිබාබා කියන චරිතයෙ පෙනුමෙන් ඉරියව්වලින් පවා මට කිසිම හැගීමක් දැනෙව්වෙ නෑ. අනිත් පැත්තට මං ලේසියෙන්ම මේකා මිනිස්සු ගසාකන මෝඩ බිස්නස්කාරයෙක් කියල හිතාගත්තා. මොකක් හරි දේකට භක්තියක් ඇතිවෙන්න නම් ඒක තර්කයේ බිත්තිය කඩාගෙන යන්න  ඕන. ඒක භාෂාවකින් තොරව එකපාරටම දැනෙන්න  ඕන. ඒත් මට සායිබාබා ගැන එහෙම දෙයක් දැනුනෙ නෑ. මං කල්පනා කරලා බැලූවම මට කිසි කෙනෙක් ගැන එහෙම දෙයක් දැනෙන්නෙ නෑ කියල තේරුනා. හැම මිනිහෙකුටම තියෙන අතිසාමාන්‍ය ඉතාම සුන්දර වගේම ලේසියෙන්ම ගැඹුරට තල්ලූ කරන මාර්ගය මට අවහිර වෙලා තිබුනා.
    මේ මං ජගත් මාරසිංහ එක්ක දවස් ගනං දිග සාකච්ඡුා සහ ගතකිරීම් කරන කාලෙ. මාරයා ජ්‍යොතිශය භෞතිකයි කියල පෙන්නන්න තනියම සටන් කරන කාලෙ.

    ‘උඹට ස්වාමිව බාරගන්න බැරි උඹේ මාන්නෙ හින්ද නේද?’
    මාරයා මට කිව්වා. ‘බුද්ධිය ගැන දැනුම ගැන තර්කය ගැන උඹට තියෙන මාන්නෙ.. උඹට අනිත් මිනිහව පේන්නෙ මෝඩයෙක් වගේ…’

    ඒ කතාවෙන් මගේ ඇතුලෙ දොරඅගුල් කීපයක් කඩාගෙන යනවා මට දැනුනා. බුද්දිය ගැන තියෙන මාන්නය අභියෝග කරන්න මෝඩකම තරම් ගැලපෙන මුනගැහීමක් තියෙනවද? මගේ දැනුම බුද්දිය විසින් එලියෙ තියෙන දේවල් ගැන මට විනිවිදිය නොහැකි තරමෙ විනිශ්චයන් ගොඩනැගිලා තියෙන වග මං දැක්කා.

    හැම මිනිහෙකුගෙම ඇතුලෙ දැනුමට බුද්දියට උගත්කමට හෝ සමාජ තත්වයට එපිටින් ගැඹුරු ආධ්‍යාත්මික අවකාශයක් පවතිනවා කියල මට අමතක වෙලා තිබුනා. අපි අනෙකා සමග සම්බන්ද වෙන්නෙ අපි විසින් තෝරාගන්නා ලද යතාර්ථයක් ඔස්සේ කියල මට මගඇරිලා තිබුනා. අනෙක් අතට මගේ අවබෝධයට අනෙකාගේ බුද්ධත්වය ඇත්තක්ද බොරුවක්ද කියන ප‍්‍රශ්නය කොහොමවත් අදාල නැති වග තේරුම් ගන්න මට බැරිවෙලා තිබුනා.

    මේ ගුරුවරයාගෙන් මට ඉගෙනගන්න තියෙන්නෙ මොකක්ද?’ කියන නිහතමානී මොහොත මං අත්දැක්කා.
    සායි බජන් අහන්න හැම සිකුරාදම මං යන්න පටන් ගත්තා. බජන් පටන් ගන්නෙ හරිම හෙමින්. ඊට පස්සෙ ඒක ටිකෙන් ටික වේගවත් වෙනවා. අන්තිමට ඇ`ග ඇතුලෙ වයිබ්රේෂන් එකක් දැනෙනකල්ම උස්සලා එක පාරට නතර වෙනවා. ඒ නිහඩතාවයට අපි ඇදන් වැටෙනවා.  ඕනම මෝඩයෙකුට බ්ලිස්ෆුල් කියන එක නිමේෂයකට ස්පර්ශ කරන වෙලාවක් ඒක.

    බජන් කියද්දි මිනිස්සුන්ගෙ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා මං දැකලා තියෙනවා. ඒ අය තමන් ඉස්සරහ දෙවියන් දකිනවා. ගොඩක් වෙලාවට වැඩිපුර සල්ලි, නැත්තං දියුනුව, ලෙඩරෝග වලින් සුවය වගේ දේවල් ඒ අය ප‍්‍රාර්ථනා කරනවා ඇති. ඒත් ඒ අය සම්පූර්ණයෙන්ම තමන්ගේ ආත්මීය සීමාවලින් එලියෙ විශාල පැවැත්මකට සම්බන්ධ වෙලා හිටියා. ඒ ට‍්‍රාන්ස් අත්දැකීම එතන ඉන්න හැම ශරීරයකටම දැනෙන තරමෙ එකක්.

    මං සමහර දවස්වල දවල්ට පැය ගනං නිකං සායි ආශ‍්‍රමයෙ ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒ ලොකු ශාලාව ඇතුලෙ නිකං ඉඳන් ඉන්න එකම භාවනාවක්. සැරින් සැරේ එන තව එක්කෙනෙක් දෙන්නෙක් වැඳගෙන සායිබාබා හිඳගෙන ඉන්නවා කියලා විශ්වාස කරන පුටුව දිහා බලාගෙන ඉන්නවා. අපි ඉතාම කුඩා අංශූ තරමට කුඩාවුනු, අපිට වඩා විශාල නොපෙනෙන පැවැත්මක් ඉස්සරහ අපි දණගහගෙන ඉන්න, ඒ වෙලාව මේ ලෝකෙ වෙලාවක් නෙමෙයි. ලෞකික පන්සල්ගත ආකෘතිය ඇතුලෙ දැන් අපිට නැතිවෙලා ගිහින් තියෙන්නෙ මේ ආධ්‍යාත්මික මොහොත.

    සිත පිළිබඳ තේරුම් ගැනීම් හෝ තර්ක කළ හැකි න්‍යායන් හෝ සායිබාබා ධර්මයෙ නෑ. ඒ වෙනුවට හොඳ හිතින් යහපතේ යෙදෙන්න වගේ සරල මාර්ගයක් එතන යෝජනා වෙන්නෙ. බජන් වලට පස්සෙ කවුරු හරි දානයක් දෙනවා. පැනිරස සහ පළතුරුවලින් හැමෝටම සංග‍්‍රහ කරනවා. එකිනෙකා අතර අපි සංස්කෘතිකව පනවාගත් පටු සීමාවලින් එහාට ගිය මනුස්ස ආදරයක, භක්තියක මොහොතක් ස්පර්ශ වෙනවා. ඇත්තටම පූජනීයයි කියන්න පුළුවන් ඒ අත්දැකීම සම්පූර්ණ වෙන්නෙ මේ සාමූහිකත්වයත් එක්ක.
    හරිම පුදුම විදිහට  ඕනම කෙනෙකුට තමන්ගෙ ඇතුලෙ තියෙන ඒ දිව්‍යමය මොහොත අත්දකින්න පුළුවන් විදිහට ඒ සම්පූර්ණ වන්දනාව නිර්මාණය වෙලා තියෙනවා. මේක සායිබාබා ගැන විතරක් නෙමෙයි. තව ගොඩක් අපි අතිසරල විදිහට බැහැර කරන ආගමික කාරණා ඇතුලෙ තියෙනවා.

    උදා විදිහට පහන් පත්තු කරන එක. ගින්දර තරම් අපිව අපේ ප‍්‍රාකෘතික තත්වයට අරන් යන්න පුළුවන් වෙන කිසිම දෙයක් නෑ. ගින්දර කියන්නෙ අපේ සවිඥානය. ඒ පහන් දැල්ල දිහා බලාගෙන ඉන්න අපි ඒ වෙලාවෙදි ගිනිමැලය වටා එකතු වුනු අපේ ආදිතම මානවයා දක්වාම අවිඥානිකව බැඳෙනවා. මොහොතකට අපි අපේ සාමූහික අවිඥානය ෂෙයාර් කරගන්නවා. අපේ ආත්මීය සීමාවලින් මිදෙනවා.

    දැනුමත් එක්ක අපේ ජිවිත සීමා වෙනවා. අපේ මිතිකල් පැවැත්ම අපි තාර්කික දැනුම වෙනුවෙන් පාවා දෙනවා. අන්තිම සාමාන්‍ය දෛනික මිනිස් ජීවිතේ ඉඳන් අපේ ශරීරය ඉක්මවූ මහා සමස්තයක් දක්වා ජීවිතේ විඳින්න, පවතින්න තියෙන හැකියාව අපි අහිමි කරගන්නවා. ඇත්තටම කිව්වොත් සම්පූර්ණ ජීවිතයක් කියන එක අපි දන්නෙම නැතුව අපිට නැති වෙනවා.

    ඇයි මං මේක ලියන්නෙ කියල මං දන්නෙ නෑ. ඒක හින්දම මේක මෙතනින් ඉවර වෙන්න  ඕන කියල තාර්කික අවසානයකුත් මගේ ඔලූවෙ නෑ. ඒත් ළ`ගදි ආපහු මාරසිංහ ගැන කල්පනා කරද්දි ඒ අතීතෙ ගැන දැනිච්ච භක්තිමත් හැගීම මට එලියට දාන්න  ඕන වුනා වෙන්න ඇති.

    සාමාන්‍ය ජීවිතේ තරම් ශුද්ධ වූ වෙනත් ආධ්‍යාත්මික ජීවිතයක් නෑ.
    මෝඩකම තරම් දැනුම කවදාවත් පරිණත නෑ.

  • එන්න ඡුන්දෙ දාන්න.

    එන්න ඡුන්දෙ දාන්න.

    ලබන සෙනසුරාදා ඒ කියන්නෙ 10 වෙනිද ප‍්‍රදේශීය සභා- මහ නගරසභා ඡුන්දෙ. මේ පාර ඡුන්දෙදි වමේ අදහස් දෙකක් තරග කරනවා. ඒ එක පිලක් කියන්නෙ ඡුන්දෙ වර්ජනය කරන්න කියල. විරෝධය දක්වන්න කියල. ඒකටත් සෑහෙන සද්දයක් තියෙනවා. කලාකාරයො කතිකාචාරියො වගේ හැමදාම ඡුන්දයක් කිට්ටු වෙද්දි සොරි කලින් වැරදුනා කියලා අලූත් එකකට සපෝර්ට් කරන සෙට් එක මේ පාර කියන්නෙ ජවිපෙට ඡුන්දෙ දෙන්න කියල. රණ විරුවො, මතට තිත, සිංහල බෞද්ද කැම්පේන් එකෙන් ගොඩයන්න නිදහස් පක්ෂෙයි පොහොට්ටුවයි අතර තියෙන්නෙ තරගයක්. අන්තිම මොහොතෙදි බි‍්‍රතාන්‍ය එම්බසිය ඉස්සරහ බෙල්ල කසපු බි‍්‍රගේඩියර් යන්තං මෙතනදි මෛත‍්‍රී පිලට තුරුම්පුවක් ඇදලා දුන්නා. යූඇන්පිය තමන්ගෙ සුපුරුදු ලිබරල් කතා ටිකම කියාගෙන වැඩි ගානක් නැතුව යන්නෙ දිනන එක ගැන වැඩි ෂුවර් එකක් තියෙන හින්ද.

    ඡුන්දෙ වර්ජනය කරන එක මෝඩ වැඩක්. ඡුන්දෙ කියන්නෙ ඉතාම උවමනාවෙන් රැුකගන්න  ඕන පුරවැසි අයිතියක්. ඡුන්දයක් වෙනුවෙන් ජනතාව එකතු වෙන එක, අදහස් හුවමාරු කරගන්න එක, සහභාගි වෙන එක මොන තත්වයක් යටතේ වුනත් හොඳ දෙයක්. ඒක මතවාදයක් අදහසක් වෙනුවෙන් සමස්ත රටවැසියන්ගෙ පෙළගැසීමක්. ඒ සක‍්‍රීය සහභාගීත්වය නිශ්ක‍්‍රීය කරගන්නවා කියන්නෙ සාර්තකබවේ ප‍්‍රතිශතය මොකක් වුනත් දශක ගානක් පුරා එක එක විදිවලින් සිද්දවෙච්ච පුරවැසියන් සංවිධානය කිරීමේ වෑයමක් ආපහු හරවනවා වගේ වැඩක්.  කාලයක් තිස්සෙ ගොඩනැගුන සමාජ දේශපාලන ආකෘතියක්, සංස්කෘතියක් වඩා ඵලදායී විදිහට පාවිච්චි කරනවා වෙනුවට අත්හැර දැමීමක්. ඒ යෝජනාව අතිශයින්ම අරාජිකවාදී යෝජනාවක්.

    ඡුන්දෙ ජවිපෙට දෙන්න කියල ආචාර්ය කලාකාර සෙට් එක යෝජනා කරන්නෙ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද. මෛත‍්‍රී ඒ ගොල්ලොන්ව රවට්ටපු හින්ද. කොයිතරම් සංස්කෘතික ආකල්පමය පැත්තෙන් විරෝදතා තිබුනත් හොරකම් කරන්නෙ නැති හින්ද ජවිපෙට සහාය දෙමු කියල ඒ ගොල්ලො කියනවා. හොරකම් නොකිරීම කියන එක හොඳ ගුනයක් වුනාට ඒක රටක ගමක වැඩකට තෝරගන්න මූලික සුදුසුකමක් නෙමෙයි. හොරකම් නොකිරීමන් නාස්තිය අවම කරගන්න පුළුවන් වුනාට පළාතක් සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒකට  ඕන වෙනවා දැක්මක්. සැලැස්මක්. ජවිපෙ කියන්නෙ එහෙම එකක් තියෙන පක්ෂයක් නෙමෙයි. ඒ වෙනුවට ග‍්‍රාම්‍ය හෘදය සාක්ෂිය උඩ දුවන බොළඳ පක්ෂයක්. ඉතාම හානිකර විදිහට ජනප‍්‍රිය මතය වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී නිදහස් විරෝධී ස්ථාවරයන් උඩ හිටගන්න පක්ෂයක්. හොරකම් නොකිරීම කියන කාරණයට මුවාවීම හරහා මේ කලාකාර ආචාර්ය නඩය ජවිපෙ තියෙන හානිකර පැත්ත සහමුලින් වසන් කරනවා. ඒකම හොරකමක්.

    ඡුන්දයක් කියන්නෙ අදහසක්. මේ පාර ඡුන්දයක් කියන්නෙ පුද්ගලයෙකුට වඩා පක්ෂයක්. පක්ෂයක මතවාදයක්. එතනදි කාන්තාවන්ගෙ සම අයිතිය පිළිනොගන්නා, සමලිංගිකයන් රෝගීන් පිරිසක් විදිහට දකින, කලාවේ නිදහස බාර නොගන්න, ආර්තික සංවර්ධනයක් ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති පක්ෂයක් වෙනුවෙන් මිනිස්සු සංවිධානය කිරීම සමාජය පැත්තෙන් ඉතාම හානිකර වෑයමක්. හොරකම් නොකිරීම ඉස්සරහට දාලා මේ කට්ටිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ මේ ගතානුගතික සාම්ප‍්‍රදායිකත්වයට සුජාතභාවයක් අරන් දෙනවා. හයිවේ හදන්නෙ රේස් පදින්නද කියල අහපු, නෙළුම් කුළුණ තරු ගනින්නද කියල අහපු මානසිකත්වයක් ජවිපෙට තියෙන්නෙ. හොරකම කියන කාරණය ඇරුනම මහින්ද සමග හෝ සිරිසේන සමග හිටගන්න බැරි වෙන කිසිම මතවාදිමය වෙනසක් ජවිපෙට නෑ.

    නිදහස් පක්ෂය සහ පොහොට්ටුව තමන්ගෙ සුපුරුදු සිංහල බෞද්ද ඡුන්ද ටික වෙනුවෙන් සටන් වදිනවා. නිදහසක් ගැන කිසිම හැගීමක් නැති සිරිසේන නිදහසට පක්ෂ වෙන්න කියල කියද්දි මහින්ද නවත්තපු තැනින් පටන් ගන්න කට්ටිය එකතු කරනවා. ඒක ඇත්තටම අවංක පෙනී සිටීමක්. හොරකම් කරන එක, මිනීමරන එක, දුෂණය හැමදේම ආයිමත් නවත්තපු තැනින් පටන් ගමු කියල එයා කෙලින් කියනවා. කොළඹට ඒ පක්ෂෙන් ඉල්ලන අපේක්ෂකයෙක් ගෝටාගෙ ලිගසි එක ආපහු ගේන්න එයා එනවා කියලම කියනවා. අහද්දි ඇෙ`ග් හිරගඩු පිපෙනවා.

    ඒ කොහොම වුනත් ජාතිකවාදී ජාතිවාදී ආගම්වාදී මත්විරෝදී, සදාචාරවාදී කට්ටියට පුළුවන් සිරිසේන හරි මහින්ද හරි තෝරගන්න. යුක්තිය, සාධාරණය, රාජ්‍ය තාන්ත‍්‍රිකබව, මානව නිදහස වගේ අනවශ්‍ය දේවල් ගනං ගන්නෙ නැතුව තමන්ට වාසි දේශපාලනය කරගෙන යන්න. මහින්ද මේ මතවාදෙ ඔරිජිනල් එක හින්ද සිරිසේනට ඉන්න වෙන්නෙ ටිකක් පස්සෙන්. ගැම්ම තියෙන්නෙ මහින්ද එක්ක. ගේම තියෙන්නෙ සිරිසේන එක්ක. ඒත් මතවාදයක් විදිහට දෙකේ වෙනසක් නෑ. සිරිසේන යන්නෙ මහින්ද හදපු පාරෙ.

    යූඇන්පිය මේ ඡුන්දෙදි වැඩිය ද`ගලන්න යන්නෙ නෑ.  මහ බැංකු හොරකම ගැන කතාවත් එක්ක යූඇන්පිය නාගනිමින් හිටියෙ. ඒත් ඡුන්දෙ කිට්ටු වෙද්දි මංගල ගෙනාපු අමුතු යෝජනා ටිකකින් කතාව සෑහෙන දුරට අනිත් පැත්ත හැරුනා. ගෑනුන්ට මත්පැන් මිලදී ගන්න, පාවිච්චි කරන්න අයිතිය ලබාදීම හරහා මෙතෙක් නීතියෙන් කාන්තාව විෂයෙහි පැනවුන අසමානතාවය නිවැරදි කරන්න මංගල ජනප‍්‍රිය නොවන,  මතභේදයට තුඩුදෙන පියවරක් ගත්තා. ගත්ත සැනින් සිරිසේන ඒක අවලංගු කරමින් තමන්ගෙ සංස්කෘතික රෙද්ද හෝදගත්තා. රටක් විදිහට අපිට සාමාන්‍ය වෙලා තියෙන සෙක්සිස්ට් පැවැත්ම අභියෝග කරන එක හොඳ වැඩක්. ඒ අභියෝගයත් එක්කම සමානතා එලියට ආවා. සිරිසේන වගේම ජවිපෙත් කාන්තා අයිතිය ගැන යෝජනාවට විරුද්ද වුනා. ඊට පස්සෙ බෙල්ල කසපු බි‍්‍රගේඩියර්ව රාජ්‍ය තාන්ත‍්‍රික දැක්මකින් සහ විනයකින් යුතුව විදේශ සේවා අමාත්‍යංශය වහා වැඩ තහනමකට ලක්කළා. ඒත් ලංකාවෙ ජනතාව මේ අවිනීතකම වීරකමක් විදිහට උඩදාන්න ගත්තා. සිරිසේන වහාම රණවිරුවාව ආයිමත් සේවයේ පිහිටුවාලමින් මහින්දගෙ ලිගසියෙන් ටිකක් සාක්කුවෙ දාගන්න බැලූවා.

    ඡුන්දෙට තියෙන්නෙ තව දවසයි. පක්ෂ ඔක්කොම ගත්තත් සංවර්ධනය පැත්තෙන් හෝ රටේ ස්ථාවරත්වයක්, දිශානතියක්, දියුණුවක් ඇති කිරීම පැත්තෙන් අන්තිම අසාර්ථක වෙලයි ඉන්නෙ. මේ අසාර්ථකත්වය හින්දම ආපහු ලෙන්වාසී ගෝත‍්‍රවාදය පැත්තට තල්ලූවක් ඇතිවෙමිනුයි තියෙන්නෙ. මේ අතරෙ රටටම වයිෆයි දෙන්න රනිල් ඡුන්ද පොරොන්දුවක් දෙනවා. ඒක සෑහෙන ජෝක් එකක් වෙනවා.

    ඒත් මේ ඡුන්දෙදි මතවාදිමය අතින් යූඇන්පිය තාමත් අනිත් පක්ෂ ඔක්කොටම වඩා ප‍්‍රගතිශීලී තැනක ඉන්නවා කියන එකයි මගේ අදහස. හොරකම, දුෂණය, අකාර්යක්ෂමතාව වගේ කාරණාවලදි ඒකත් එහෙමම තමයි. ඒත් ශිෂ්ටත්වයක්, දියුණුවක් ගැන අඩුම තරමෙ විශ්වාසයක් පැවතීම, නිදහස, සමානාත්මතාවය වගේ කාරණාවලදි රටේ බහුතරයට ජනප‍්‍රිය නොවෙන ප‍්‍රවේශයන් පවා ගනිමින් යම් ප‍්‍රගතිශීලී උත්සාහයන් දැරීම, වැඩියෙන්ම ලෝකෙ අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙමින් සංස්කෘතීන් හුවමාරු කරගනිමින් ජීවත් විය යුතුයි කියන විශ්වාසය දැරීම වගේ කාරණා හින්ද යූඇන්පිය මට අනුව  වඩා ඉදිරිගාමීයි. ගැලරියේ විසිල් එකට වඩා රටක් විදිහට යම් ශිෂ්ට සැලැස්මකට අනුගතව වැඩකිරීම මේ වෙලාවෙදි පෙන්නන්නෙ යූඇන්පිය විතරයි. ග‍්‍රාම්‍යත්වය වෙනුවට නාගරිකත්වය වෙත යන ගමනක යෝජනාව තියෙන්නෙ ඔවුන් ළ`ග විතරයි. රනිල් සහ මංගලගෙන් පස්සෙ යූඇන්පියෙ තත්වයත් නිදහස් පක්ෂෙ ගානටම වැටෙයි.

    ඒත් තාමත් ග‍්‍රාම්‍යත්වය වෙනුවට නාගරිකත්වය තෝරගන්න අයට ඉතුරු වෙලා තියෙන්නෙ ඒක විතරයි.