Category: Cult

  • දැකලා පුරුදු නැති සිනමාව

    දැකලා පුරුදු නැති සිනමාව

    දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත‍්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින එක කියලයි මං හිතන්නෙ. බැනුමක් හොඳකට වඩා කොහොමත් ඉන්ටරෙස්ටින් සහ ඔනස්ට්. හොඳ ගොඩක් වෙලාවට බෝරිං.

    දැකලා පුරුදු කෙනෙක් පලවෙනි පාරට දැක්කම මට ඇතිවුනෙ තිගැස්මක්. ඒකට මූලින්ම හේතුවුනේ බූපතිගෙන් මේ විදිහෙ ස්ක‍්‍රිප්ට් එකක් මං බලාපොරොත්තු නොවීම. කෝ බූපති උඹේ අඩි සද්දෙ කියල මට අහන්න හිතුන. ස්ක‍්‍රිප්ට් එක ඒ තරම් සියුම් තැන් ඇතුව ලියවිලා තිබුන. තියරිවලින් පුරුදු කරන ගල්ගැහුනු නිශ්චිත නිවැරදි සමුච්චය වෙනුවට අවිනිශ්චිත , වික්ෂිප්ත, අර්තවිරහිත බව පිටපතේ තිබුන. ඒක වෙනස් චිත‍්‍රපටි පිටපතක්. අලූත් දෙබස් ලියමනක්.

    සාමාන්‍යයෙන් අපි පිටපතක දෙබස් ලියන්නෙ රූපෙ විස්තර කරන්න. ඒක හින්දම දෙබස් බාල වෙනවා. ඒත් මේ පිටපතේ දෙබස රූපය කියවනවා නෙමෙයි. රූපයේ නැති විශ්වයක් ගැන කියනවා.

    ඇඳ උඩ නිදාගෙන සමාධි කතා කරන්න උත්සාහ කරන පලවෙනි දර්ශනය මාව බෙල්ල මුලින්ම අල්ලගත්තා. ඒ ගෑනුකම මූ කොහොම ලිව්වද කියල ඉරිසියා හිතුන. සුකුරුත්තං නැති ඒ රගපෑම් ඒ අධ්‍යක්‍ෂණය අමෘතයි. ෂොට් එක විසිතුරු කරන්න කැමරාව ඉසව්ව හොයනවා වෙනුවට සරලව මූන පේන, කැමරාවක් කියල නොහිතෙන තැනක කාචය විවෘත වෙනවා. අපි දකින්නෙ මිනිස්සු විතරයි. දර්ශන තල නෙමෙයි. කෙලින්ම ජීවිතය ෆෝකස් කරපු සිනමාවක්.

    චිත‍්‍රපටිය හදන්නෙ රියලිස්ටික් ෆිල්ම් කියන ටයිටල් එකක් යටතෙ. මට හිතෙන්නෙ ඒ හින්දම චිත‍්‍රපටිය අමුම අමු යතාර්ථවාදීයි. අපි රියලිස්ටික් කියල මෙතුවක් බලපු හැම චිත‍්‍රපටියකම රියලිස්ටික් වගේ පේන නමුත් නොවෙන කෑල්ලකුත් තිබුන. ඒත් මේකෙදි ඒ හැඩවැඩ වංගු නැති සරල පැතලි යතාර්ථයෙන් මලිත් බූපති  මූනට දමලා ගහනවා. අපි මැජික් නැති කසාද ජීවිතේක සරල පැවැත්ම දිහා ඇස් ලොකුකරන් ඉන්නවා.

    සියල්ල ගලපා තනි එකක් වශයෙන් නිර්වචනය කොට පැවසිය නොහැකි ස්ත‍්‍රී ජීවිතය සහ සියල්ල තාර්කිකව, නිවැරදිව ගලපා පලකල යුතු යැයි අදහන පිරිමි ජීවිතය අතර නොපෑහීම, නොදැනීම දැකලා පුරුදු කෙනෙක් වස්තුවිෂය වෙනවා.

    මේ ගැහැනියට පුළුවන් කසාද ආදරයට පිටින් තවත් ආදරයක් ස්වභාවික විදිහට දකින්න. ඒක ජීවිතේ ඇත්ත ආදරය අඳුරගත්ත මොහොත විදිහට පවා කියවන්න. ළංවෙන පිරිමින්ගෙන් ලේබලයක් නැති ආදරයක් විඳින්න. ඒ අතරෙම කසාද පේ‍්‍රමයත් ඒ වටිනාකමෙන්ම කැපවීමෙන්ම පවත්වාගෙන යන්න. මේ සියල්ල අතර ප‍්‍රතිවිරෝදයක් නැතුව ජීවත් වෙන්න.

    ඒත් පිරිමියා ඉල්ලන්නෙ එක දොරක් තියෙන ගෙදරක්. දොරවල් දෙකක් කියන්නෙ හොරකමක්. ඒ සදාචාර නීතියට පිටින් ගතවෙන ජීවිතය පිරිමියා විසින් වාරනය කරනවා. ගැහැනියගේ සමස්ත සමාජ ජීවිතයම අත්අඩංගුවට ගන්නවා. කිසිම තේරුමක් නැතිවත් ඒ වාරණයෙන් තෘප්තිමත්ව අතෘප්තියෙන් ජීවත් වෙනවා. මෙතන පිරිමියා සැලසුම් ශිල්පියෙක්. එයා කරන්නෙ සිතියම් අඳින එක. ගැහැනිය කරන්නෙ ඒ සිතියමෙන් එලියෙ ජීවත්වෙන එක.

    ඒත් තමන්ගේ කසාද පේ‍්‍රමය වෙනුවෙන් සියල්ල අත්හරින්න ගැහැනිය ලෑස්තියි. ජීවිතේ අතරමගදි හඳුනාගත් සැබෑ පේ‍්‍රමයට පවා නැවතීමක් තියන්න ඇය නොපසුබටයි. වාරණය කරපු ජීවිතේ පුංචි සීමා ඇතුලෙ තමන්ගෙ සතුට නිර්මාණය කරගන්න එයා උත්සාහ කරනවා. ආපහු හැමදෙයක්ම අලූතෙන් පටන් ගන්න එයාට පුළුවන්.  ඕන නං ඒක ඇතුලෙම, නැත්තං එලියෙ.

    ඒත් පිරිමියාට එහෙම බෑ. සමාව දීමක් හෝ අත්හැර දැමීමක් කියන තීරණ අතරින් එකක්වත් ගන්න බැරුව ඌ දුක් විඳිනවා. තමන්ගේ සහ අවට ජීවිත සියල්ල අඳුරු කරනවා. අනතුරකින් අහම්බයකින් පේ‍්‍රමයක් පටන් ගන්න පුළුවන් වුනත් අනතුරකින් අහම්බයකින් පේ‍්‍රමයක් යලි පිලිසකර කරගන්න පිරිමියා අසමත්. ක‍්‍රිස්තියානි හොඳ- නරක ද්විකෝටිකය අතර එයා අබ්බගාත වෙනවා.

    බල්ලෙක් මැරිලා පටන් ගන්න පේ‍්‍රමය කැඩුනම මිනිහෙක් මැරිලවත් ගොඩදාන්න බැරි වෙනවා.

    කතාවෙ අතුරු චරිත ලියවෙලා තියෙන විදිහත් මරු. ජගත් මනුවර්ණ ඥාති මල්ලි කෙනෙක් විදිහට කරන පොඩි චරිතයේ වුනත් එකතු වුනු සියුම් සියුම් ඞීටේල් ඒ චරිතය සැක- නිසැක අතර හොඳට දෝලනය කරනවා. පැත්තකට බරවෙලා සිගරට්ටුවක් දෙනකං වැඩක් නැති කතාවකින් හෑල්ලූ වෙන්න හදන බාස්ගෙ චරිතෙ වුනත් අමතක නොවෙන තරමෙ එකක්. දෙපැත්තෙ අම්මලා තාත්තලා වුනත් රගපාන එක රගපානවා, දුවන්න.

    එක විදිහකට මේක රිවෙන්ජ් ස්ටෝරි එකක්. පිරිමියාගේ පලිගැනීම කිසි තේරුමක් නැති වුනත් අවසානය තෙක් අත්නොහරින එකක්. අනෙකාව මරා තමනුත් දිවිනසාගන්නා වර්ගයේ එකක්.

    මේ ෆිල්ම් එක මේ විදිහට බලාගෙන ඉන්න අතරෙ මං කල්පනා කළා ඇයි මං මේ ෆිල්ම් එකට මේ තරම් කැමති කියල. මේ කතාව පුරාම අපි බලාගෙන ඉන්නෙ එකම මොහොතක්. ලොකු ඉමෝෂනල් ඉහල පහල යාම් නෑ. හරියටම කිව්වොත් කතාව පටන් ගන්න තැනදි අපි දකින චරිතමයි අවසානය වෙනකල් ඉන්නෙත්. ඒ චරිතවල අභ්‍යන්තර හෝ බාහිර ගමනක් නෑ. ඒ වෙනුවට අවසානයේ එකතුවෙන ෆ්ලෑෂ් බැක් එකකින් අපිට සුරතාන්තයක් දෙනවා. ඒ දෙන්නාගෙ කසාද දවසෙ මතකය. බලන් ඉන්න අපිට ඒක මාර චූන්. හැබැයි ඒකෙන් නැරටිව් එකේ සිද්ද වෙන වෙනසක් නෑ.

    එතනදි මට හිතුනා අපි මේ රසවිඳිමින් ඉන්නෙ සැටයර් එකක් නේද කියල. මේ චරිත දිහා රචකයා හෝ අධ්‍යක්ෂවරයා බලන්නෙ එම්පති එකකින් නෙමෙයි. ඒ වෙනුවට ඒ චරිතවලට පිටතින් තරමක් ඉහලින් ඉඳන් හෙලන දෘෂ්ටියක් චිත‍්‍රපටිය ඇතුලෙ තියෙනවා. මේ චරිතවල සැබෑ අභ්‍යන්තරය වෙනුවට අපි ඔවුන්ගේ කෙලවීම රසවිඳිමින් ඉන්නවා. මට එතනදි හිතුනා බූපතිගෙ අඩිසද්දෙ ඇහෙනවා කියල. කසාද සංස්තාව දිහා බලන සදය බැල්මක් තමයි දැකලා පුරුදු කෙනෙක් හෙලන්නෙ.

    අපි වගේ සමාජය කියවන්න හදන පිරිසකට මේ ගේස්z එක නැගලා යන එකක්. ඒත් බහුතර පේ‍්‍රක්ෂකයා චිත‍්‍රපටියට ආකර්ශනය නොවෙන්න මේ සදය දෘෂ්ටිය බලපානවා කියල මට හිතෙනවා. ෆිල්ම් එකක්  ඕඩියන්ස් එකට වැඩ කරන්න ක‍්‍රියේටිවිටි වගේම එම්පති කියන කාරනයත් බලපානවා. මෙතනදි නිර්මාණශීලීත්වයේ උපරිමයට යද්දි  එම්පති කියන එක අවමයට යනවා. අපි මේ චරිත අභ්‍යන්තරය හෝ ඔවුන්ගේ සැබෑ හැගීම් චලනයන් එක්ක බැඳීමක යන ගමනක් නෙමෙයි.

    මේ ප‍්‍රධාන චරිත තමන්ට ඇත්තටම අවශ්‍ය මොනවද කියල නොදන්නා චරිත. ඒවා උපරිමෙන් වල්නරබල්. මේ වික්ෂිප්තබව අපිව චරිත එක්ක ගැටගහනවා වෙනුවට ඒවා දිහා පිටතින් බලාඉන්න ජජ්මෙන්ටල් තැනක රඳවනවා කියල මට හිතෙනවා. ඒක මං දකින්නෙ එක විදිහක දුර්වලතාවයක් විදිහට.

    ෆිල්ම් එකට මිනිස්සු ගෙන්න ගන්න කාරනයෙදි ඇඞ්වර්ටයිසින් පැත්ත දුර්වල වග කියන්න  ඕනි. මේ තුන්දෙනෙක් ගෙයක් ඉස්සරහ හිටන් ඉන්න පිංතූරෙ ෆිල්ම් එක බලන්න කොහෙත්ම උනන්දුවක් ඇති කරන්නෙ නෑ. ඒ වෙනුවට තවත් සම්භාව්‍ය එකක් කියල ලේසියෙන්ම මග අරින්න ඉඩක් හදනවා. ඒ වගේම ටේ‍්‍රලර් එක පවා කෘතියේ භාවයම ඉස්මතු කරනවා විනා ඊට වෙනස්ව ආශාවක් ඇති කරන පැත්තෙන් නිර්මාණය වෙලා නෑ. ඒක අපරාදයක්.

    මේ වගේ ෆිල්ම්වලට අපි වගේ  ඕඩියන්ස් එකක් එන එක සහ කැමති වෙන එක ඉතා සරල කාරනයක්. අභියෝගය තියෙන්නෙ යම් පමනකින් හෝ අපේ සර්කල් එකෙන් එලියට වැඬේ අරන් යන එකයි. එතනදි අපිට සිද්ද වෙනවා යම් යම් කැපකිරීම් කරන්න. කපුගේ සනත් නන්දසිරි වගේ කට්ටියගෙ සිංදු ලංකාවෙ මාස් එක ඇහුවෙ ඒ සිංදු සන්ෆ්ලවර් එක්ක ගැහුවම. එතකල් ඒ සිංදු ඇහුවෙ එකම සීමිත පිරිසක්. ඒත් සන්ෆ්ලවර් ටක්ක ටකේට පුළුවන් වුනා ඒ සිංදුම වෙන ලොකු  ඕඩියන්ස් එකකට අරන් යන්න. මට හිතෙන්නෙ අපි ෆිල්ම් එකක ඇඞ්වර්ටයිසින් ගැන හිතන්න  ඕන එතනින්.

    යුද්දෙන් බැටකාපු ගම්මාන කතන්දර සහ ඉතිහාස මනස්ගාතවලින් එලියට ඇවිත් අපි නාගරික මධ්‍යම පාංතික පවුල දිහා, ඒ කියන්නෙ අනුන් දිහා බලනවා වෙනුවට අපි දිහා හැරිලා බලන්න ගත්තෙ ඉතාම මෑතක. එතනදි මට චිත‍්‍රපටියක් විදිහට හඳයගෙ ඇගේ ඇස අග මතක් වෙනවා. අනිත් පැත්තෙන් වේදිකා නාට්‍යයක් විදිහට රාජිතගේ හිතලා ගත්තු තීරනයක් මතක් වෙනවා. මට හිතෙන්නෙ දැකලා පුරුදු කෙනෙක් ගැන සමාජ සංස්කෘතික සංවාදයට මේ නිර්මාණ යුගලයත් දෙපැත්තෙන් තියාගන්න  ඕනි.

    මේ සිනමාව විවෘත කිරීම ගැන මලිත්ට සහ බූපතිට හදවතින්ම ස්තුතියි. දැකලා පුරුදු නැති මේ සිනමාව දුවවන වැඬේ මේ දෙන්නගෙන් එලියෙ අපිටත් අයිතියි.

  • කොන්ඩම් ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ද?

    කොන්ඩම් ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ද?

    ලංකාව
    ඉතා වේගයෙන් ලිංගික නිදහස කරා තල්ලූ වෙමින් යන රටක් විදිහටයි
    මං දකින්නෙ. හැම අවුරුද්දකම ගූගල්වල සෙක්ස් හොයලා මුල් තැන්වලට එන එක ගැන
    ගොඩක් අය අවලාද කිව්වට
    මං දකින්නෙ මිනිස්සු සෙක්ස් හොයන එක හොඳ දෙයක්
    විදිහට. ඒ එක්කම ඉන්ටර්නෙට්
    එකේ තමන්ගෙ ෆෝන් එකෙන් වීඩියෝ කරපු පර්සනල් පෝර්න් එන්න එන්නම වැඩිවෙනවා. ඒවා බලද්දි පැහැදිලිවම පේන දෙයක් තමයි අපි ටිකෙන් ටික ආර්ට් එකක් විදිහට නැත්තං ප්ලෙෂර් එකක් විදිහට සෙක්ස් විඳින්න පටන් ගනිමින් තියෙනවා. මුල්කාලෙක ඉඳන් ලංකාවෙ පෝර්න් ක්ලිප් දිහා බලාගෙන ඉඳපු කෙනෙක් විදිහට මං ඉතාම දියුණු
    පරිවර්තනයක් දියුනුවක් ලිංගික සම්බන්දතාවල දකිනවා. මං මේක කියවන්නෙ
    තාක්‍ෂණය හරහා සිද්ද වෙන සෙක්ස් රෙවලූෂන් එකක් විදිහට.

    මේකත්
    එක්ක මිනිස්සු ජීවිතේ හිරවුනු සීමා වලින් ගැලවෙන්න පටන් ගන්නවා. හොඳට අඳින්න පළදින්න, සුවඳ ගහන්න, ඇ`ග ලස්සනට
    තියාගන්න, විනෝද වෙන්න කැමති මානසිකත්වයක් නිර්මානය වෙනවා. හුදෙක් කාමරයක් ඇතුලෙ ලයිට් නිමාගෙන යන්තම් රෙද්ද උස්සගෙන සෙක්ස් කරපු හෙළ කලාව ටිකෙන් ටික ජාත්‍යන්තරය එක්ක මුහු වෙනවා.


    අතරෙ පවුලට කොටුවුන ලිංගික ජීවිතය එන්න එන්න විවෘත වෙන්න පටන් ගන්නවා. . වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියාගත්ත පමනින් මිනිමරාගත්ත යුගය වෙනුවට වඩා විවෘතව නිදහසේ ආදරය බෙදා ගන්න සංස්කෘතියක් නිර්මානය වෙන්න පටන් අරන් තියෙනවා. පුද්ගලිකව මං දකින අවශ්‍යම සමාජ පරිවර්තනයක්
    මේක. මගේ පොත වෙනුවෙන් පටන් ගත්ත ෆේස්බුක් පිටුවෙ මං පලකරපු ලිපියකට
    අවුරුදු දෙකක් පහුවෙලත් තවමත් වැටෙන කමෙන්ට්ස් ටික මේකට හොඳ සාක්ෂියක්.


    ලිපිය මං ත‍්‍රීසම් නැත්තං තුන්දෙනෙක් එක්ව ලිංගිකව හැසිරීම ගැන ලියපු එකක්. ඒ චර්යාවේ ඉතිහාසය
    සහ ඒක සංකල්පයක්, සංස්කෘතියක්
    විදිහට ස්ථානගත වෙන තැන ගැන සාකච්ඡුාවක් තමයි ඒ ලිපිය. ඒත්
    වැටෙන කමෙන්ට්ස් වෙන දිහාවක යන්න පටන් ගත්තා. විවාහක පවුල් තමන් සමග ලිංගික අත්දැකීම් බෙදාහදාගන්න වෙනත් අය සම්බන්ද කරගැනීමට
    ඒ හරහා විවෘතව කතා කරන්න ගත්තා. මේ ආරාධනා කරන  අයගෙ
    පිටුවල මං ටිකක් ඇවිද්දා.
    අපි ලංකාවෙ තියෙනවා කියල කොහොමවත්ම විශ්වාස නොකරන තරම් නිදහස් ලිංගික ජීවිත ගත කරන පිරිස්
    ඒ අතර හිටියා. ඒ අයට සංස්කෘතික
    දැනුමෙහි පවතින අඩුපාඩුවක් නිසාම තරමක් අඳුරු පසුබිමක මේ සියල්ල වෙමින්
    තිබුනත් ඒක ස්වාමි-භාර්යා
    වෘතයට බැහැරින් විකල්ප ලිංගික හැසිරීම්වල යෙදෙන විශාල පිරිසක් සංස්කෘතික- සදාචාර ලේබල්වලට යට නොවී තමන්
    කැමති ජීවිතය අත්හදා බලමින් හිටියා.

    කොයිතරම්
    අඩුපාඩු සහිත වුනත් මේ විවෘත පැවැත්ම
    සාධනීයයි. ස්ත‍්‍රී දුෂන,
    බලහත්කාරකම්, අපරාධ වගේම ලංකාවෙ ගුලිගැහුනු ලිංගික කුහකකම, ලිංගික ආතතිකර තත්වය වෙනස් කරනසුලූයි. පිළිලයක් හැටියට ගොඩක් දෙනෙක් හංවඩු ගහන්න ඉඩ තියෙන මේ
    ප‍්‍රවනතාවය අනාගතයේ
    වඩා නිදහස් මනසක් ඇති විවෘත සමාජ බාරගැනීමක් යෝජනා කරනවා කියල මං හිතනවා.


    වගේම අප‍්‍රසිද්දියේ
    ෆේස්බුක් හරහා සෙක්ස් පාර්ටි  ඕගනයිස්
    වෙනවා. මේ දේවල් අපි
    දැනගන්නෙත් පහුවෙනිදා පොලිසිය පැනලා අල්ලපු සිද්දි මාධ්‍යවලින් කුනු රස උඩ දදා
    කියද්දි. මේ විදිහෙ සාමූහික
    ශෘංගාර විනෝදවීම් ඉහල පංතිවල සෑහෙන කාලෙක ඉඳන් තිබුනා. ඒත් මේ වෙද්දි ඒ
    විවෘත සංස්කෘතියට පහල පංතිවල තරුන තරුනියන් පවා ඇතුල්වෙමින් ඉන්නවා.  මට
    තාම පැහැදිලි නෑ එහෙම සෙක්ස්
    පාර්ටියකට පොලිසිය පනින්නෙ මොන පදනමකින්ද කියල. මොකද ඒවා පුද්ගලික මට්ටමෙන් තමන්ට රිසි ආස්වාදයක් ලැබීම වෙනුවෙන් ස්වාධීනව පිරිස් සංවිදානය වෙලා කරන වැඩ. වෙන කාටවත් හානියක් සිද්ද වෙන වැඩ නෙමෙයි. ඒත් ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍ය තිබුනා කියල
    මේ පාර්ටිවලට පනින අතරෙ එහෙම නැත්තං කොන්ඩම් තියාගත්ත කෙල්ලො හිටියා කියල මේවට පනිනවා.

    අන්තිමට
    බැලූවම කොන්ඩම් එකක් කියන්නෙත්  ලංකාවෙ
    තහනං භාන්ඩයක්.
    නිකං
    හරි කොන්ඩම් එකක් ළග තියාගෙන
    ඉඳලා රාත‍්‍රියක පොලිසිය
    චෙක් කරද්දි එහෙම අහුවුනොත් බඩුම තමයි. කොල්ලෙක්ගෙ පර්ස් එකක තිබුනොත් උගේ ළග ඉන්න කෙල්ල
    හෝ යාලූවා හෝ බඩුව විදිහට
    දාලා තමයි පොලිසිය නීතිය ක්‍‍්‍රියාත්මක කරන්න
    පටන් ගන්නෙ. කෙල්ලෙක්ගෙ ළ
    ග තිබුනොත්
    කිසිම සැකයක් නැතුව එයා බඩුවක් කියල තීරනය කරන්න පොලිසිය සමත් වෙනවා. ඒක හින්ද කොන්ඩම්
    එකක් කියන්නෙ මගදි අහුවුනොත් අත්අඩංගුවට පත්වෙන්න ඉඩ තියෙන නඩු
    භාන්ඩයක්. ඒ වගේමයි කොන්ඩම්
    එකක් ගෙදර අරන් ගියත්. ලංකාවෙ පිරිමි තමන්ගේ බිරිඳත් එක්ක සෙක්ස් කරද්දි කොන්ඩම් පාවිච්චි කරන්නෙ ගොඩක් අඩුවෙන්. ඒක හින්දම ඇක්සිඩන්ට්
    බේබීස්ලත් වැඩියි. ඒ කොහොම වුනත්
    කොන්ඩම් එකක් මිනිහගෙ සාක්කුවක තිබිලා අහුවුනොත් මිනිහා මාට්ටු වෙනවා පිට කවුරු හරි එක්ක සෙක්ස් කරනවා කියල. ඒකත් ඉතින් නඩුවක් තමයි. සමහර විට පොලිසියට අහුවෙනවට වඩා නීතිය තදයි ගෙදරදි අහුවුනොත්. ඒක හින්ද කොන්ඩම්
    එකක් කියන්නෙ කඩේක ඇරෙන්න තියාගන්න තැනක් නැති භාන්ඩයක්. සමාජ රෝග බෝවෙන්නත් අනවශ්‍ය ගැබ් ගැනීම්
    වැඩි වෙන්නත් මේ ටැබූ එකෙන් කරන සේවය සුලූපටු නෑ. ගොබ්බ මාධ්‍ය මේ කොන්ඩම්
    තහංචි පුම්බ පුම්බ උඩ අරිනවා. ඒකෙන්
    ඒ මාධ්‍යවලට විකුනන්න පුළුවන් කුනුරස නිව්ස් තව උපදිනවා. ඇත්තටම
    කොන්ඩම් එකක් තරම් සමාජය ආරක්ෂා කරන්න දිවිහිමියෙන් කැපවෙන ඒ වෙනුවෙන් රටක
    අවලාද උහුලන වෙන කිසිම දෙයක් නැති තරම්.

    ඇත්තටම
    සමාජයක් විදිහට අපි මේ දේවල් දකින්න  ඕන
    පරන සදාචාරවාදී ඇස්වලින් නෙමෙයි. ඊට වඩා පළල්
    විදිහෙ බාරගැනීමක් එක්ක මේ අලූතෙන් විවෘතවෙන
    ලිංගික කලාපයන්ට දියුණු සංස්කෘතියක් අරගෙන යන එකයි ඇත්ත
    අභියෝගය වෙන්නෙ. ඒ වෙනුවට පොලිසිය
    කියන්නෙ ජෝක් එකක් විතරයි.

  • සීතල විතරයි කෝ ගින්න?

    සීතල විතරයි කෝ ගින්න?

    රෝහන විජේවීර ගැන මං මුලින් දැනගත්තෙ පොඩිකාලෙ අපේ අම්මගෙන්. විජේවීර කතා කරනවා අහන් හිටපු ගෑනු කනේකරේ තිබුනු දේවල් ගලවලා ජවිපෙට දුන්නා කියල අම්මා විජේවීරගෙ කතා ශෛලිය වර්ණනා කරනවා. ඉතින් ලොකුවෙනකල් මේ මිනිස්සු වශීකරන කතාව අහන්න කුතුහලයක් මට තිබුනා. ඒත් මුලින්ම අහපු දවසෙම ආපෝ කියල හිතුනා. ඒ තරම් ටකරන් හඩක්. විමල් වීරවංසගෙ වගේමයි. කොහොමත් ලංකාවෙ දේශපාලනයේ මේ ටකරං හඩවල් නැගලා ගියා. බොරලූගොඩ සිංහයා, ආසියාවේ රිදීසීනුව මේ ඔක්කොම ටකරං.

    කොහොම වුනත් ජවිපෙ ගැන තිබුන බැතිමත් හැගීම කොහොම ආවද කියල හරියටම හේතු කියන්න මට අමාරුයි. ඒත් නිකන් රොබින්හුඞ් වගේ ඇල්මක් ගැටවර කාලෙ ඉඳන් ජවිපෙ ගැන තිබුනා. මාක්ස්ගෙ ලෙනින්ගෙ කියවන්න බැරි හාඞ්කවර් පොත් රාක්කෙ තියාගත්තම දැනෙන ආඩම්බරයක් තිබුනා. ඒක මං හිතන්නෙ කැරලිකාරගතියට ඇතිවෙන වශීකාර හැගීමක්. ජවිපෙ ඡුන්දෙ ඉල්ලද්දි පක්ෂෙ එක්ක කිසිම සම්බන්දයක් නැතුවත් සීනුවෙ පෝස්ටර් අතින් ඇඳගෙන ගිහින් පාරෙ අලවන තරම් පුකේ අමාරුවක් ඒ කාලෙ තිබුන. මං ජේවීපී කියන්නෙ හරිම ආඩම්බරේකින්. හම්පඩ යූඇන්පී ශ‍්‍රීලංකාකාරයො ඇඹරිලා යන තරම් තදින්. ආගම අබිං වගේය කියල එහෙම කියවද්දි ඇග කිලිපොලා යන ආතල් එකක් දැනුනා.

    ඒත් අපි ලොකු වෙද්දි ජවිපෙ ටික ටික පොඩි වුනා. ඒක හැම වීරයෙකුටම වීර කාව්‍යයකටම පොදු ලක්ෂනයක්. අපි වීරයා ඉක්මවා වැඩෙනවා. වීරයාගෙ සීමිතකම් අපිට අභිමුක වෙනවා. ඒක හරි වේදනාත්මක මුනගැසීමක්. ඒත් අපි පරිනත වෙද්දි වීරයන්ට මැරෙන්න සිද්ද වෙනවා. 88, 89න් පස්සෙ ජවිපෙ ගැන ප‍්‍රශ්නාර්ත ගොඩක් පත්තු වුනා. ඒ අවුල හරියටම වචන කරලා ටක්කෙටම ගැහුවෙ මාතොට විජේවීරගේ උරුමය සහ කරුමය කියන ලිපිය. ග‍්‍රාමීය පක්ෂයක් විදිහට ජවිපෙ සලකුනු කරමින් ලියපු ඒ ලිපියෙන් පස්සෙ මගේ ලෝකෙ වීරත්වය ජවිපෙන් එක්ස් එකට මාරු වුනා. 2004දි එක්ස් එකත් මැරුනා.

    විජේවීරගේ ජීවිතේ අළෙලා අනුරුද්ද චිත‍්‍රපටියක් කරනවා කිව්වම මට ආපහු අර නොස්තැල්ජික් වීරයාව මතක් වුනා. පැරකුම්බා, අනගාරික, ඞීඑස් වගේ පුස්ලෝඩංවලට පස්සෙ විජේවීරටත් සිනමා තිරය විවෘත වුනා කියල උද්දාම වුනා. දැන් අපේ කාලෙ වීරයන්ගෙ කාලෙ. මට හිතුනෙ එහෙම.

    නිකං පෙන්නපු දර්ශන ඔක්කොම හිතාමතාම මගඇරලා රීගල් එකටම ගියේ ෆිල්ම් එක එහි සියලූ ආනුභාවයන් සහිතව විඳගන්න. මෙතන ඉඳන් මං ෆිල්ම් එක ගැන මට දැනුනු අවංක හැගීම කියනවට අනුරුද්ද මගෙත් එක්ක අමනාප නොවෙයි කියල හිතනවා.
    විජේවීර ගැන ෆිල්ම් එකක් කරන්න හිතපු එක වෙන මොන දෙයක් නැතත් හොඳ මාකටින් තීරනයක්. අනිවාර්යෙන්ම ජවිපෙ ලක්ෂ පහක් විතර ඡුන්ද ටිකවත් හරිනං හෝල් එකට යන්න  ඕන. ඒ ඇරුනම මං වගේ මියගිය විරුවා සමරන්න යන අය. අධ්‍යාපනික උවමනාවකට චරිත කතා බලන්න යන අය. අසූ අට අසූ නමයෙ භීෂනය මතක ජනතාව. මේ විදිහට ඒක හෝල් පිරෙන්න සෙනග ඉන්න  ඕන චිත‍්‍රපටියක්.
    අනිවාර්යෙන්ම මේක අධ්‍යක්‍ෂවරයෙකුට දරුනු අභියෝගයක්. විශේෂයෙන්ම අනුරුද්දගෙ ජවිපෙ ගැන තියෙන ලැදියාවත් එක්ක මේක සෑහෙන අමාරු වැඩක් වෙනවා. මං ෆිල්ම් එක බලන්න කලින් හිතුවෙ ඒ ආදරය නිසාම අනුරුද්ද මවන විජේවීර ෆ්ලැට් චරිතයක් වේවි කියල. ඒක ජවිපෙ ගුන ගායනයක් වෙන්න ඉඩ තියේවි කියල.

    ඒත් ෆිල්ම් එක බලද්දි මට දැනුනෙ ඒ ආදරේ බර විසින් අනුරුද්දව විතරක් නෙමෙයි සමස්ත චිත‍්‍රපටියම කොර කරලා කියල. කමල් මාරට විජේවීරගෙ චරිතෙ කරනවා කිව්වට ඇත්තටම මං දැක්කෙ ඇකිළුනු ආයාසයෙන් චරිතය අල්ලගන්න මහන්සි වෙන කමල්ව. බාරගත් චරිතයේ දැවැන්ත බව විසින් කමල්ව වේදිකා නාට්‍ය රංගනයක් දක්වාම අස්වාභාවික කරලා තිබුනා. චිත‍්‍රපටිය ආරම්භයේදී ජේලර් කෙනෙක් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරන කමල්ගේ දෙබස් සහ රංගනය නරඹන්නාව ලැජ්ජාවකින් හකළුවනවා. ඇත්තටම කමල් විජේවීරට රගපානවා බලන් ඉන්න මහන්සියි. වේශ නිරූපනය නාරද ඉතාමත් හොඳට කරලා තිබුනා. ඒත් සමහර තැන්වලදි පිටපත විසින් වේශ නිරූපන ශිල්පියාව අමාරුවේ දාලා තිබුන වග පෙනුනා. උදා විදිහට මොකට දැම්මද කියල හිතාගන්න බැරි විජේවීර නාන දර්ශනය. මට හිතෙන්නෙම විජේවීර නාන්නෙ නෑ කියල තියෙන පිලිගැනීම හින්දම අනුරුද්ද මේක දැම්මා කියලයි. ඒත් කොන්ඩෙ ගැලවෙනවට බයේ ඒක අතින් අල්ලගෙන කමල් එතන ඇත්තටම නානවා.

    77 ඉඳන් මරණය දක්වා කාල පරාසයක දිවෙන පත්තරවල සලකුනු වුනු සිද්දීන් මතින් විජේවීරගේ ජීවිතය කියන්න යන එකෙන් ඇත්තටම අනුරුද්දට විජේවීර මගඇරෙනවා. මිනිහෙක් විදිහට විජේවීර කවුද කියන එක තිරයට ගේන්න ධම්මගේ පිටපත සමත් වෙන්නෙ නෑ. ඇත්තටම ගත්තොත් මේ අසමත්කම නිසා විජේවීර වීරයෙක් වෙනවාට වඩා බයගුල්ලෙක් වෙනවා. කතාව පුරාම අපි දකින්නෙ එක එක ගෙයින් ගෙට මාරු වෙමින්, හැමදාම කමිටු රැුස්වීම් තියමින් ඉන්න නිකමෙකුගේ චරිතයක්. ඒ ඇරුනම එයා බිරිඳව දකින දකින වෙලාවෙ ගැබිනියක් කරනවා. අවසාන අර්තයෙන් විජේවීර වැඩක් කියල කරන්නෙ පොතක් ලියන එක විතරයි. ඒකත් මුද්‍රණය වෙන්නෙ නෑ.

    පිටපත පුරාම තියෙන්නෙ හැමෝම දන්න මතුපිට ප‍්‍රවෘත්ති. 88 – 89 භීෂණයවත් ඒ සැබෑ බිහිසුනු බවෙන් යුතුව නිරූපනය කරන්න අධ්‍යක්‍ෂවරයාට බැරි වෙනවා. පැය දෙකහමාරක් විතර කතාව දිග වුනත් විජේවීරව සමාජයට දැනුනු තරමවත් කෘතිය ඇතුලෙන් දනවන්න අසමත් වෙනවා. ඒ කාලෙ ධවල  භීෂකයා රංජන් විජේරත්න ගැන ෆිල්ම් එකේ කොතනකවත් නෑ. ඒ වගේම පේ‍්‍රමදාස උඩුගම්පොල වගේ චරිත අනුරුද්ද අසාධාරන විදිහට මග අරිනවා.

    තමන්ගෙ සංවිධානය ඇතුලෙ සිද්දවෙන සන්නද්ධ ක‍්‍රියාවලීන් ගැන පවා නොදන්නා බබෙක් විදිහටයි විජේවීර චිත‍්‍රපටිය ඇතුලෙ ඉන්නෙ. අසමත් නායකත්වයක් වගේම තොග පිටින් මරා දැමෙන තමන්ගේ විප්ලව සගයන් ගැනවත් හුදු වචනෙකට එහා සංවේදීබවක් එයාගෙන් නිරූපනය වෙන්නෙ නෑ. රට පුරා  පැතිරෙමින් තිබුනු භීෂනය මේ විප්ලව නායකයාට මේ තරම් සරලද කියල හිතෙනවා. චිත‍්‍රපටිය දිවෙන්නෙ මතුපිට සිද්දි මාලාවක් උඩයි. ඇතුලත ආත්මය අහිමිවයි.

    රංගනයේදී සුලෝ කරන චිත‍්‍රාංගනීගේ චරිතය විජේවීරට වඩා ගැඹුරට දැනෙනවා. ඒක ඇත්තටම පිටපතට වඩා සුලෝගෙ දක්ෂතාවයෙන් වෙන දෙයක්. දෙබස් කීපයක් විතරක් තිබුනත් හුස්මෙන් බැල්මෙන් සුලෝ චිත‍්‍රාංගනී කියන ගැහැනියගෙ පීඩාව දැනෙන්න නිරූපනය කරනවා. ඒ ඇරුනම ප‍්‍රියන්ත සිරිකුමාර කරන කෙටි චරිතය විතරක් අනිත් හැමකෙනෙක්වම පරයා උඩට ඉස්සෙනවා. මේ දේවල් ඒ රංග ශීල්පීන්ගේ ප‍්‍රතිභාව නිසාම වුනු දේවල් මිස හිතාමතා කළ දේවල් නෙමෙයි.

    ගින්නෙන් උපන් සීතලේ සිනමා කැමරාවත් දුර්වල බවයි මගේ හැගීම. ඒ කැමරාව හෙල්ලෙන්න අවශ්‍ය මොහොතේ නිශ්චලවත් නිශ්චල වෙන්න අවශ්‍ය මොහොතේ හෙල්ලිහෙල්ලිත් පාවිච්චි වෙනවා. ඒ රූපකරණය වියලියි. නිර්මාණාත්මක බවක් හෝ සජීවී බවක් දනවනවාට වඩා ප‍්‍රවෘත්තිකරනයට නැඹුරුයි.  නදීකගේ සංගීතයත් චිත‍්‍රපටියට සාධාරණයක් කරන්නෙ නෑ. ඒ සංගීතයෙන් මේ ඛේදවාචකය පිළිබඳ හැගීම හෝ ගැඹුර මතු කරන්නෙ නෑ. අඩුම තරමෙ රූපයෙන් නොපෙනන බාහිරයේ දිවෙන භීෂණය රූපය ඇතුලට ගෙන ඒමේ උත්සාහයක්වත් ඒ සංගීතය ඇතුලෙ නෑ. මං ඇත්තටම මුං දෙන්නාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා.

    ඇත්තටම පැය දෙකහමාරක් දුර මේ චිත‍්‍රපටය වෙහෙසකරයි. ඒකාකාරීයි. විජේවීර පිළිබඳ හදවතේ චිත‍්‍රය බිඳවට්ටනසුලූයි. පිටපතක් හැටියටත් කතාව ගැලපී ගෙතී වෙලී නැතුවා වගෙයි.

    රන්මිහිතැන්නේ රූගත කරපු දර්ශන ඇරුනම අනෙක් දර්ශනවල කලා අධ්‍යක්‍ෂණය සහ සමස්තයක් විදිහට ඇඳුම් නිර්මාණය ප‍්‍රශස්ත මට්ටම තිබුනා කියන්න පුළුවන්.

    මගේ අදහස නම් මේ සියලූ වැල්වටාරම් අත්හැර අනුරුද්ද නවත්තන තැනින් විජේවීරගේ කතාව ආරම්භ වෙන්න තිබුනා කියලයි. අත්අඩංගුවට ගත් අත්තනායක ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව බොරැුල්ල කනත්තේ පනපිටින් පුලූස්සා දැමීම දක්වා සිද්දි මාලාව මේ සියල්ල මීට වඩා ගැඹුරෙන් සහ සංවේදීබවෙන් ප‍්‍රකාශ කරන්න සමත් වෙන්න තිබුනා. ඒ යට පැවැති සියලූ දේශපාලනයන් ඒ මිනිමලිස්ටික් වියමන ඇතුලට ගේන්න තිබුනා.

    නමුත් අවාසනාවන්ත විදිහට අනුරුද්දට විජේවීර මගඇරෙනවා. ඇත්තටම සීතල විතරයි. ගින්දර පත්තු වෙන්නෙ නෑ.

  • නව ලිබරල්වාදය ඉවර නෑ

    නව ලිබරල්වාදය ඉවර නෑ

    ලංකාවෙ ගොඩක් අය මේ වෙද්දි නව ලිබරල්වාදය කුනුහරුපයක් විදිහට සලකමින් ඉන්නවා. මේ අදහස ඇත්තටම ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයේ වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් ආපු මතයකට වඩා වමේ කන්ඩායම් ඔහේ කියන කාරනා මත පදනම් වෙලා එල්ලූන මතවාදයන්. පෞද්ගලීකරනය, රාජ්‍ය මැදිහත්වීම අවම කිරීම, වෙළඳපොල මූලික තීරණ ආදිය ගැන තමයි ප‍්‍රධානවම විරෝධය එල්ලවෙන්නෙ. ඒත් මගේ අදහස ලංකාවට නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි කියන එකයි. මේ නම වෙනස් වෙන්න පුළුවන්. නැත්තං සමහර පියවර අපිට ගැලපෙන විදිහට සංශෝධනය වෙන්න පුළුවන්. ඒත් නව ලිබරල්වාදය ඇතුලෙ ලෝකෙ මේ වෙද්දිත් අත්පත් කරගනිමින් ඉන්න සංවර්ධනයන් කොහෙත්ම සුලූකොට තකන්න බෑ. ඇත්තටම ලෝකෙ වඩාත්ම දියුණු තත්වයන් අත්පත් කරගත්තෙ සමාජවාදය හෝ වෙනයම් මහ ඉහලින් වර්ණනා කරන අදහස් පද්ධතියක් නිසා නෙමෙයි කෝකටත් ලේසියට බැනවදිමින් නැවත වැළඳගනිමින් ඉන්න නව ලිබරල් අදහස් ආර්තික ක‍්‍රියාවලියක් ඇතුලෙයි.

    මේ ගැන යොහාන් නෝර්බර්ග් කියන ස්වීඩන් ජාතිකයා ප්‍රොග‍්‍රස් කියල පොතක් ලියනවා. එයා සම්මානනීය ආර්තික විද ්‍යාඥයෙක්. ඒ වගේම සමාජ න්‍යායවේදියෙක්. නව ලිබරල්වාදය ලෝකෙන් ප‍්‍රතික්‍ෂේප වෙමින් යනවා කියල අදහන වමේ ළාබාල මනස්වලට යොහාන් එයාගෙ පොත ගැන ඉන්ටවිව් එකකදි හිතන්න වටින කාරණා ටිකක් ඉදිරිපත් කරනවා.

    ප‍්‍රශ්නය- ඔයාගෙ පොතේ තියෙන විදිහට දේවල් එන්න එන්නම හොඳ අතට හැරෙනවා. මොනවද එහෙම වෙන්නෙ?

    යොහාන්- මූලිකවම ලෝකෙ එන්න එන්නම හොඳ වෙනවා. සමාජය, ආර්ථිකය, සංස්කෘතිය. හැබැයි දේශපාලනය නම් එහෙම වෙන්නෙ නෑ. දේශපාලකයො කරන දේවල් ඔවුන් අපේ නිදහස එක්ක කරන සෙල්ලම් ගැන ප‍්‍රවෘත්ති දකිද්දි මාත් ඩිප්‍රෙස් වෙනවා.  ඒත් මේ පොතෙන් කියන්නෙ මිනිස්සු විසින් ඔවුන්ට අලූත් සහ වෙනස් අදහස් හොයාගෙන යන්න නිදහස තියෙද්දි කරන දේවල් ගැන. පහුගිය අවුරුදු 25 ගැන කතා කරද්දි අපි පුරුද්දට කියන්නෙ කැපිටලිසම් සහ නියෝලිබරලිසම් ලොකු අවුලක් ඇති කළා කියල. ඒත් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ. අපි ලෝකෙ මන්දපෝෂණය 40%කින් අඩු කරලා  තියෙනවා. ළමා මරණ සහ සාක්ෂරතාව නොමැතිවීම අඩකින් විතර අඩු කරගෙන තියෙනවා. අන්ත දුක්ඛිතබව 37% ඉඳන් 10%ට අඩු කරගෙන තියෙනවා. හැම මිනිත්තුවකදිම මිනිස්සු 100ක් දුප්පත්කමෙන් ගොඩ එනවා.

    ප‍්‍රශ්නය- ඒත් දැන් අලූතෙන් නැගී එන ජාතිවාදී සහ සෙනෆෝබික් පිබිදීම් ඔබ දකින්නෙ කොහොමද ?

    යොහාන්- මං මේ පොත ලිව්වෙ ලෝකෙ ගැන මට ආපු සතුටට නෙමෙයි. ඒ ගැන මට දැනුන බය හින්ද. මොකද මිනිස්සු හිතනවා ලෝකෙ තියෙන්නෙ අවුලක කියල. මිනිස්සු හිතනවා ලෝකෙ තියෙන්නෙ ගිනි ගනිමින් කියල. වැරදි හේතු මත ඒ ගොල්ලො එහෙම හිතනවා. එක විදිහකට අපි තොරතුරු පරිභෝජනය කරන විදිහ සහ දේශපාලකයන් මිනිස්සුන්ව බය කරන එක ඒකට හේතු වෙන්න පුළුවන්. එහෙම බය කළාම මිනිස්සු ආරක්ෂාවක් ඉල්ලනවා. ශක්තිමත් පාලකයන්ව ඉල්ලනවා.

    මේ බයවෙන මිනිස්සු ටොලරන්ට් නැති අය. ඒ ගොල්ලො ලිබරල් නෑ. ඒ ගොල්ලො මිනිස්සු විසින් දේශසීමා තරණය කරමින්,  වෙළඳපොල දියුනු කරමින් ඉන්නවා කියල දකින්නෙ නෑ.

    ප‍්‍රශ්නය- ඒත් ඇයි මිනිස්සු එහෙම බය වෙන්නෙ? අපේ සීයලා අවුරුදු 30 ජීවත්වෙද්දි අපි අවුරුදු 70ක් ජීවත්වෙනවා නම් ඇයි අපි එහෙම කතා විශ්වාස කරන්නෙ?

    යොහාන් – මං හිතන්නෙ අපි බය වෙන්නෙ අපිට නැති වෙන්න ගොඩක් දේවල් තියෙන හින්දමයි. අපිට දැන් තියෙනවා සුවපහසු ජීවිත ක‍්‍රමයක්. ඒත් ලෝකෙ හරි අමුතුයි. අපිට තේරුම් ගන්න බෑ මොකක්ද වෙන්න යන්නෙ කියල. ඒක හරියටම එකම කාසියෙ දෙපැත්තක් වගේ. මොකද ජීවිතේ සැපවත් මිනිස්සු හිතන්නෙම ඒ ගොල්ලොන්ට නැතිවෙන්නෙ මොකක්ද කියන එකයි. මං චීනෙට ඉන්දියාවට වියට්නාමෙට ගියාම මට මුනගැහිලා තියෙනවා ඉතාම සුබවාදී මිනිස්සු. ඒ ගොල්ලො හිතන්නෙ අලූත් බිස්නස් මොඩල්ස්, ටෙක්නොලොජීස් වලින් ඒ ගොල්ලොන්ගෙ ජීවිත වඩා දියුණු කරන ආකාර ගැන. ඒත් ඇමරිකාව යුරෝපය වගේ රටවල මිනිස්සු ඩිප්‍රෙස් වෙලා. ඒ ගොල්ලො ගොඩක් බයෙන් ඉන්නෙ ලෝකෙ මොකක්ද වෙන්නෙ කියල. ඒ ගොල්ලො ප‍්‍රවෘත්ති බලලා බය වෙනවා. ඒ ගොල්ලො දන්නෙ නෑ සිද්ද වෙන අපරාධ පහුගිය අවුරුදු 20දි  බාගෙකින් අඩුවෙලා කියල. ඒ ගොල්ලො දකින්නෙ එක සීරියල් මර්ඩරර් කෙනෙක් ගැන කතාවක් වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා හින්ද අපි ඒ ප‍්‍රවෘත්ති ත‍්‍රස්තවාදය, මූල්‍ය අර්බුදය, නව භූදේශපාලන තත්වයන් ආදී නොයෙක් දේවල් එක්ක ගැටගහගන්නවා.  මිනිස්සු තවදුරටත් දන්නෙ නෑ මොකක්ද වෙන්නෙ කියල. ඒ ගොල්ලොන්ට  ඕනවෙනවා හැමදේම ආරක්ෂිත යැයි හැගීමක් දෙන කවුරු හරි දැවැන්ත චරිතයක්.

    ප‍්‍රශ්නය- ඇත්තටම ඔබේ පොතේ දක්වන දත්තයන් ගත්තොත් ඒවා විකල්ප දත්තයන් නෙමෙයි. ඒවා පිලිගත් වාර්තාගත දත්ත මත පදනම් වෙලා තියෙන්නෙ. ඔයා ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන කියනකොට එයා නෙගටිව්, අසුබවාදී නැරටිව් එකක් සමාජගත කරන අර කියන වර්ගයේ දැවැන්ත චරිතයක්. එයා තමයි එකම විසඳුම වගේ මවාපෑමක්.  දශක ගානක් තිස්සෙ හැම විදිහකම අපරාධ අඩුවෙලා අඩුවෙලා යද්දි ඇයි මිනිස්සු මේ වගේ දෙයක් විශ්වාස කරන්නෙ කියන එක හරිම පුදුමයක්. ට‍්‍රම්ප් කැම්පේන් කළේ ලෝ ඇන්ඞ් ඔර්ඩර් ආපහු ගේන්න එයා එන්න  ඕන කියල. ඒක අපරාධ රැුල්ල වැඩිවෙමින් ගිය 60-70 දශකෙ නම් පුදුමයක් නෙමෙයි. ඒත් මිනිස්සු ඇයි ට‍්‍රම්ප්ගෙ කතා විශ්වාස කරන්නෙ? වොෂින්ටන් ඞීසී ගත්තොත් කාලෙකට ඉස්සර ලේ ගලන අපරාද සිද්ද වෙච්ච නගර කොන්වල දැන් තියෙන්නෙ ගෝමේ ඩෝග් බිස්කට් සාප්පු. ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා හොඳ අතට. එක විදිහකට මට හිතෙනවා මේක දේශපාලනය කියන සාධකය හැසිරෙන විදිහෙ වරදක්ද කියල. දේශපාලනය විසින් ඊට ඔබ්බෙන් සිදුවන සියලූ සාර්තක වෙනස්කම් අමතක කරලා සියල්ල නැවත ඒකට අවශ්‍ය නෙගටිව් රවුම ඇතුලට ඇදලා ගන්නවද කියල මට හිතෙනවා.

    යොහාන්- අපි හිතලා බැලූවොත් ආපස්සට, කාර්මික විප්ලවය කාලෙ තමයි අපි දුප්පත්කම කියන එක හොයාගත්තෙ. ඒ කාලෙ තමයි අපි ළමා ශ‍්‍රමය කියන එක හඳුනගත්තෙ. ඒවා ගැන අපි උනන්දු වෙලා දේශපාලකයන්ගෙන් අහන්න ගත්තා ඇයි මේවා ගැන මොකුත් කරන්නෙ නැත්තෙ කියල. ඒ දේවල් වැඩිවුන හින්ද නෙමෙයි. ඇත්තටම ඒ දේවල් අඩුවෙමිනුයි තිබුනෙ. මිනිස්සු හිතන්න පටන් අරන් තිබුනා අපිට ඇයි වැදගත් සුවපහසු ජීවිතයක් ගත කරන්න බැරි කියල. ඒකට බාධා කරන තත්වයන් මිනිස්සු ප‍්‍රශ්න කළා. අපරාධ ගැන තත්වයත් එහෙමමයි. ඒක තවදුරටත් ගනන් ගන්නෙ නැති දෙයක් නෙමෙයි. මිනිස්සු ඒකට විරුද්දව නැගී සිටිනවා. ඒවා නතර කරන්න බලධාරීන්ව පොළඹවනවා. ඒක ලේසියෙන්ම ජනතාවාදය විසින් පාවිච්චි කරන්න පුළුවන් තත්වයක්.  ඒ ගොල්ලොන්ට පුළුවන් මේ හැම දෙයක් ගැනම අනතුරක් මවාපාලා ලේසියෙන්ම ජනප‍්‍රිය වෙන්න.

    ප‍්‍රශ්නය- ඔයා එකගවෙනවා මේකම නොවුනත් මීට සමාන තත්වයක් යුරෝපයෙත් සිද්ද වෙනවා කියන එක. ඒක අහම්බයක් නෙමෙයි සාපේක්ෂව ධනවත් රටවලම මේ තත්වෙ දකින්න තියෙන එක.

    යොහාන්- ඔව් ඒකට අපිට කියන්න පුළුවන් ව්‍යසන කාංසාව නැත්තං කලැප්ස් ඇන්සයටි කියල. හොඳ ජීවිතයක් තියෙද්දියි මේක ඇතිවෙන්නෙ.

    ප‍්‍රශ්නය- ඒක එක විදිහක සුඛෝපභෝගිතාවයක්. දුප්පත් රටවලට ඒ විදිහෙ මායාවක් වෙනුවෙන් ආයෝජනය කරන්න බැරිවෙනවා.

    යොහාන්- ඔව් පරණ කතාවක් තියෙනවා. ඔයාට තියෙන්නෙ කෑම නැති ප‍්‍රශ්නයක් නම් ඔයාට තියෙන්නෙ එක ප‍්‍රශ්නයයි. ඒත් කෑම තිබුනොත් ඔයාට ප‍්‍රශ්න දාහක් තියෙනවා කියල.

    ප‍්‍රශ්නය- ඔයා තරුණ ශිෂ්‍යයො එහෙම ගත්තොත් ඒ ගොල්ලො මේක දකින්නෙ කොහොමද? ඉතිහාසය සුබවාදීව අරගෙන ඉදිරිය කළමනාකරනය කරනවද නැත්තං අසුබවාදී දැක්මක හිරවෙලාද?

    යොහාන්- ඔව් මං හිතනවා ඒ ගොල්ලො තමයි  අපේ අනාගතය කියල. ලෝකෙ කොහෙවත් කවුරුවත් දේශපාලකයො විශ්වාස කරන්නෙ නෑ. ඒක වොෂින්ටන් වුනත් බ‍්‍රසල්ස් වුනත් වෙනසක් නෑ. ඒත් ටිකක් වැඩිමහල් පරම්පරාව හිතනවා ඔක්කොම දේශපාලකයො අසමත් වෙලා ඉන්න නිසා අපිට  ඕන වඩා ශක්තිමත් පාලකයෙක් කියල. හැමදේම විසඳන්න එක ලොකු විසඳුමක් ඒ ගොල්ලොන්ට  ඕන. ඒත් තරුණ අය මේ දිහා බලන්නෙ උපහාසෙන්. ඒ ගොල්ලො වැඩිපුර විශ්වාස කරන්නෙ තාක්‍ෂණය සහ ඒ ගොල්ලන් විසින් තමන්ගෙ ගැටලූවලට නිර්මාණය කරගන්නා විසඳුම්. ඒක සමාජයෙන් ස්වේච්ඡුාවෙන් සිද්ද වෙන දෙයක්. දේශපාලකයන්ගෙන් කරගන්න බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. ඔබ හරියටම බැලූවොත් යුරෝපයේ සහ ඇමරිකාවෙ නැගී එන මේ ජනතාවාදී රැුල්ල පිටිපස්සෙ ඉන්න ඡුන්ද දායකයො බහුතරයක් පරණ පරම්පරාවෙ අය. දැන් විශ‍්‍රාම යන මේ පරණ පරපුරේ අය හිතනවා යලිකැඳවිය යුතු මාර හොඳ අතීතයක් තිබුනා කියල. ඩොනල්ඞ් ට‍්‍රම්ප් කතා කරන්නෙ මෙතනට. එයා යෝජනා කරන්නෙ ඇමරිකා ඉස් ගේ‍්‍රට් කියන ඒ අතීතෙට ආපහු යමු කියල. ඒ කියන්නෙ පනස්ගනං වලට. ඒත් තරුණ පරම්පරාව මේකෙ නෑ. ඒ ගොල්ලො ජනතාවාදයට ඡුන්දෙ දෙන්නෙ නෑ මේ පරණ පරම්පරාව වගේ.

    ප‍්‍රශ්නය- මේ තරුන පරම්පරාව පොලිටික්ස් වල එන්ගේජ් වෙන්නෙ නැති එක අනිත් දේවල්වලටත් මේ විදිහටම බලපාන්නෙ නැද්ද? ඒ ගොල්ලො අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් තමන්ගෙ මැදිහත්වීම කරන්නෙ නෑ කියල හිතන්න බැරිද?

    යොහාන්- මං නං එහෙම හිතන්නෙ නෑ. මං දකින්නෙ ඒ ගොල්ලො ගැටලූවලට වඩා ඉදිරියෙන් හිතනවා කියල. පරණ පරම්පරාවලට වගේම මේ අයටත් ගැටලූ තියෙනවා. ඒත් ඒවාට විසඳුම් හොයන ක‍්‍රමවේද ගැන දැනුමක් ඒ ගොල්ලොන්ට තියෙනවා. ඒ ගොල්ලො වෙනස් විදිහටයි තත්වයන් එක්ක ගනුදෙනු කරන්නෙ. ඒක විසඳුම් සෙවීම පිනිස දේශපාලනය කරලා පස්සෙ ඒ බලාපොරොත්තු බිඳවැටීමෙන් කනස්සලූ වෙන විදිහ නෙමෙයි. ඒ ගොල්ලො පාරිභෝගික සමාජයක් ගැන විශ්වාස කරනවා. වෙනම සමාජ ක‍්‍රමයක් නිර්මාණය කිරීම ඒ ගොල්ලො කරමින් ඉන්නවා. ඒක ප‍්‍රධාන වෙනසක්.
    ප‍්‍රශ්නය- ඔව් ඔබ කියන්නෙ ටැක්සි කොම්පැනියක් ඉස්සරහ කාර් ගාන වැඩි කරන්න කියල උද්ගෝෂන කරනවා වෙනුවට ඒ ගොල්ලො ඌබර් වගේ විසඳුම් නිර්මාණය කළා කියන එක.

    යොහාන් – ඇත්තටම ඔව්.


    චින්තන ධර්මදාස

  • මගේ උපන්දින පණිවුඩය

    මගේ උපන්දින පණිවුඩය

    (ජනාදිපතිට පුළුවන් නම් මට බැරි මොකද?)

    අවුරුදුු හතලිස් දෙකක්. එච්චර කාලයක් නොමැරි ජීවත් වුනෙ කිසිම විශේෂ බුද්ධියක්, තේරුමක් දැනුමක්, හරි තීරණයක් හින්ද නෙමෙයි. තනිකරම අහම්බයක් විදිහට. හැම මොහොතකදිම ජීවිතය විසින් මං හිතාමතා ගත්තා නං ගන්න තීරණයට වඩා ලොකු අවකාශයකට මාව තල්ලූ කළා. මට හිතෙන්නෙ කාට වුනත් එහෙමයි. වරදින්න කියල කිසි දෙයක් ජීවිතේ නෑ.

    ඉස්සර අම්මා ඉන්න කාලෙ එයා නිතරම කියන දෙයක් තමයි උඹට දවසක තේරෙයි කියල. මං ඒ හැම වෙලාවකම එයාට කියනවා, මං කිසිම දවසක ඒ තේරුම් ගැනීම තෝර ගන්නෙ නෑ කියල. මං වෙන ඔප්ෂන් එකක් තෝරගන්නවා කියල. ඒක එයාට කවදාවත් තේරුනෙ නෑ.

    ජිවිතේ ආපස්සට ගිහින් ගත කරන්න තිබුනා නං කියල මට කොයි මොහොතකවත් හිතිලා නෑ. ඒ වෙනුවට ඒ තෝරාගැනීම් මගේ අතින් නොදැනුවත්ව සිද්ද වෙලා තියෙන හැටි මතක් කර කර මං පුදුම වෙලා තියෙනවා. වයස්ගත වෙන හැම අවුරුද්දක්ම ඊට කලින් අවුරුද්දට වඩා විශාල වීමක් ජීවිතේට යෝජනා කරනවා.

    මගේ ජීවිතේ වෙනුවෙන් මං ස්තුතිවන්ත වෙන දේවල් සහ අය ගැන මං උදේ මතක් කළා. එතනදි අංක එක වෙන්නෙ කංසා. කංසා මගේ ජීවිතේට ඇතුල් නොවෙන්න මං කොයිම විදිහකින්වත් මේ ඉන්න මං වෙන්නෙ නෑ. ඒක මගේ සිතීමේ බරපතල වෙනසක් ඇති කරපු රසායන පර්යේෂණයක්. ඒක ආධ්‍යාත්මික වෙනසක්. ඒ කොලපාට තහනම් කොලේ ආදම් සහ ඒවාට තහනම් ගෙඩියෙන් කළාට වඩා ලස්සන ජීවිතයක් ගැන පර්ස්පෙක්ට් එකක් මට ලබා දුන්නා. ඒ ගරුත්වය ඒ ගහට ලැබෙන්න  ඕන.

    ඊට පස්සෙ මං ආදරය කරපු මට ආදරය කරපු ගැහැණු. ඒ හැම කෙනෙක්ම මාව යලි යලිත් නිර්මාණය කළා. ඒ අයගෙ මාස්ටර් පීස් එක විදිහට. ආදරේ කියන්නෙ අපි කොයිතරම් දැනුවත්ව සහ නොදැනුවත්ව අනෙකා අතින් ප‍්‍රතිනිර්මාණය වෙනවද කියන එක. ඒක තමයි මිනිස්සු දෙන්නෙකුට කරන්න පුළුවන් ලස්සනම නිර්මාණ කාර්යය. අපි ආදරය කරන අනෙකා විසින් පෙන්නනවා අපේ ආදරේ නිර්මාණශීලීත්වයේ තරම. ආදරෙන් ඇඳට ගත්ත සහ පයින් ගහලා ඇඳෙන් බිමට දාපු හැමෝම මට ගැඹුරු දේවල් ඉගැන්නුවා. සමහර දේවල් ඒ අයත් නොදැන හිටි තරම්. මේ අවුරුදු හතලිස් දෙක ඒ ගැහැණුන්ගෙ නිර්මාණයක්.

    ඊළගට මගේ ඉතාමත් පුංචි යාලූවො පිරිසට. උන් මාව ආසාදනය කරනවා. ඉන්ස්පයර් කරනවා. මං කියන දේවල් කොයිතරම් උන් නොපිලිගන්නා දේවල් වුනත් ඒවා බාරගන්න තරමට උන් ලොකුයි. උන් සමාජෙට උන් විශ්වාස කරන හොඳම දේවල් කරමින් ඉන්නවා. එහෙම තක්කඩි නොවූ ලස්සන යාලූවො ටිකක් මට ඉන්න එක අවුරුදු හතලිස් දෙකක් ජීවිතේ ගැන ආදරේ බඳවන්නක්.

    මගේ ජීවිතේ මේ කාලයටම මට දැනුන සුවිශේෂම වෙනස ඉන්ටර්නෙට් එක. ඊට කලින් හිටපු ජීවිතේ කුඩා බව ඉතාම බයජනක මතකයක් වෙන තරමට ඉන්ටර්නෙට් ජීවිතය අපිව විශාල කළා. අපේ පැවැත්ම නෙට්වර්ක් කළා. අපිට සාමූහික සවිඥානකත්වයක් ලබා දුන්නා. ඒ වෙනස මාරයි. මිනිස්සු සම්පූර්ණයෙන් වෙනස් වුනා. තාමත් අපි දන්නෙ නෑ ඉන්ටර්නෙට් එක අපිව කොයිතරම් වෙනස් මිනිස් සංහතියක් කළාද කරමින් ඉන්නවද කියල. ඒක ආශ්චර්යයක්. ඒ යුගයේ ජිවත් වෙන්න ලැබීම වාසනාවක්. ඇත්තටම මම බුදුන් දැකීමට වඩා පිනක් කියල හිතනවා ඉන්ටර්නෙට් දැකීම.

    මං කැමතිම විෂය මොකක්ද කියල මං කල්පනා කළා. ඒක මාර්කටිං. කිසිම විෂයක් ඒ තරම් මාව කුල්මත් කරන්නෙ නෑ. මට මාර්කටිං කියන්නෙ දෙයක් විකිනීම ගැන විෂයක් නෙමෙයි. ඒක මට දර්ශනයක්. අවබෝධයක්. යාවත්කාලීන වීමක්. මං හිතන්නෙ තාක්ෂණයට පස්සෙ ඊළ`ගට වේගවත්ම සහ ප‍්‍රගතිශීලීම සිතීමේ කලාව මාර්කටිං කියල. ඒ විෂය මං හැමතිස්සෙම දකින්නෙ බීන්ග් ජෝන් මැල්කෙවිච් ෆිල්ම් එකේ රහසිගත තට්ටුව වගේ. ඒක අතරමැදක්. කුරුබිලියක්. වෙනම ලෝකයක්. මට විෂයක් විදිහට වැදගත්ම වුණු මුනගැහීම ඒක.

    ඒ වගේම අවුරුදු හතලිස් දෙකකටම මගේ ජීවිතේ මෙහෙම ජනාදිපති කෙනෙක් දැකලත් නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමකටද කියන ප‍්‍රශ්නෙ මේ තරම් තදට සමාජයට එල්ලවෙලා තිබුනෙ නෑ. අපි දැන් අපි නොදැනුවත්ව ඉබේ පහල වෙලා තිබුනු ආයතනවල ඇත්ත පැවැත්මේ ප‍්‍රශ්නයට මූන දීලා තියෙනවා. අපේ ග‍්‍රාමීය චින්තනය විසින් ව්‍යවස්තාව කියන මිනිස් සම්මුතියෙ සදාචාරය අර්බුදයට යවලා තියෙනවා. මං හරිම කැමතියි මේ පිබිදීමට. සමාජයක් විදිහට විනාශයන් මතින් හෝ සිද්ද වෙන පරිණත වීමට. ඒ හින්ද සිරිසේනටත් ස්තුතිවන්ත වෙන්න  ඕන මේ එක්සයිට්මන්ට් එකට.

    අපි රටක් විදිහට ආපස්සට තල්ලූ වීමට එරෙහිව ඉතාම ප‍්‍රබල බලයක් ගොඩනගන සමාජයක්. ඒක ගොඩක් බලාපොරොත්තු දනවන්නක්.

  • භාෂාව හරහා දේශපාලනය ප‍්‍රතිහෙජමොනික කිරීම (හරිද මංදා)

    භාෂාව හරහා දේශපාලනය ප‍්‍රතිහෙජමොනික කිරීම (හරිද මංදා)

    කන්නංගරගේ භාෂා භාවිතාව මට ගොඩක් දේවල් ගැන හිතන්න ඉන්සයිට් එකක් වුනා. කෙනෙකුගේ භාෂාව කියන්නෙ ඒ කෙනා වහරන දේශපාලනය හෝ වෙන  ඕනම විෂයකට වඩා විශාල පදාසයක් එක්ස්ප්‍රෙස් කරන කලාපයක්. පාවිච්චි කරන වචන, ව්‍යවහාරය, ටෝන් එක, සද්දය මේ සියල්ලෙන් කෙනෙක් ගැන සමස්තයක් එලිකරනවා. සරලව කිව්වොත් මිනිහෙකුට මෙතෙක් ළඟා වෙන්න පුළුවන් වුණු තමන්ගේ චරිතය, අභ්‍යන්තරය, සිතීම, ප‍්‍රතිවිරෝදය ආදී සියල්ල මනාව හෙලි කරන ටූල් එක වෙන්නෙ භාෂාව.

    කන්නංගර පාවිච්චි කරන භාෂා දෙකක් තියෙනවා. එකක් දයලෙක්තිකය, ආපෝහකය, හෙජමොනිය, භෞතිකය වගේ වචන ගලපා කරන නොතේරෙන භාෂාව. එහෙම බරට සද්ද වෙන වචන ළග ළග කියන එකෙන් ගන්න විනෝදයක් එතන තියෙනවා. ඒක හරියට ඇබ්ස්ට‍්‍රෑක්ට් වචන ගොඩක් වගේ. ඒ මැද කැමති කෙනෙකුට කැමති දෙයක් හිතාගන්න පුළුවන්. ගොඩක් අය තම තමන්ගේ දේවල් වලින් ඒ වචන අර්තගන්වගෙන මොකක්දෝ සාමූහික බවක් හදාගන්න වග ඒවට ලැබෙන ප‍්‍රතිචාරවලින් පැහැදිලියි. භාෂාවෙන් යමක් සරලව කියන්න බැරි වෙන්නෙ අපිට ඒ දේ ගැන හරි අවබෝධයක් නැති වුනාම කියන එක භාෂා භාවිතාවෙ තියෙන පිළිගැනීමක්. සිංහල භාෂාවෙ මේ දෝෂය බරපතලයි. හැමදේකටම උවමනාවට වඩා බරපතල සද්ද දෙන සිංහල වචන පාවිච්චි කිරීම හරහා ගොඩක් විෂයවල මේ අර්බුදය මුනගැහෙනවා. සරලව අපේ ඇටසැකිල්ල සිංහලෙන් කියවලා බලන්න පුළුවන්. ඒ වචනවල බර සද්දයෙන් විෂය බර බවට හැගීමක් දෙන්න ට‍්‍රයි කරනවා. බුද්දාගමේ ලොකු ලොකු කාරනා පාලියෙන්ම පාවිච්චිවෙන්න හේතුවත් මේකයි. මාක්ස්වාදය වුනත් තේරෙන්න නොකියන්න හේතුව ඒකයි. වචනවල සද්දෙ බරට ශාස්ත‍්‍රීයත්වයක් තියෙනවා. තේරුම දුරස්ත ප‍්‍රමානය අනුව සම්භාව්‍යත්වයක් තියෙනවා. අඩුම පිරිසකට විතරක් තේරීම ඇතුලෙ සුවිශේෂී බවක් තියෙනවා. මාක්ස්වාදය වගේ නිර්ධන පාංතිකයාගේ විප්ලවයද මොකක්ද ඉලක්ක කරන දර්ශනයක් මේ ආකෘතිය ගැනීම ඇතුලෙ ලොකු කුනුහරුපයක් තියෙනවා. මේ භාෂා තෝරාගැනීම කියන්නෙ ලංකාවෙ ග‍්‍රාම්‍ය සිංහලයාගේ අවිඥානික ආශාවද? ඒක උගත් වියත් පණ්ඩිත, ප‍්‍රබුද්ද වගේ දෙයක් වෙන්න පුළුවන්. මං හිතන්නෙ කන්නංගරගෙ භාෂා වර්ග දෙක අතර එයාගෙ දේශපාලනය අපිට මුනගැහෙනවා කියන එකයි.

    කුනුහරුප කියන්නෙ භාෂාවක තියෙන ඇනලයිස් කරන්නම වටින කොටසක්. සිංහලෙන් ගත්තොත් කුනුහරුප මූලික කුණුහරුප තියෙන්නෙ අටයි. හුත්ත, පයිය, හුකනවා, කිම්බ, පක, කැරි, වේසි, පොන්න. මේ කුනුහරුප අට එක එක අතට එක එක තේරුම් වලට පාවිච්චි කරනවා. එකට ගලපලා සංකීර්ණ තේරුම් හදාගන්නවා. කුනුහරුපයක් කියල අපි කියන්නෙ ලිංගික දේකට පාවිච්චි කරන වචනෙකට නෙමෙයි. උදා විදිහට හුත්ත කුනුහරුපයක් වුනත් යෝනිය කුනුහරුපයක් නෙමෙයි. කුනුහරුප ගැන හොඳට බැලූවොත් ඒවා හැදෙන්නෙ ලිංගික අවයව සහ ක‍්‍රියාවලට පාවිච්චි කරපු වචන ඒ අදාල පාවිච්චියෙන් ගලවලා අරන් අපහාසය, වෛරය මුසු තේරුමක් වෙනුවෙන් පාවිච්චි කරන කොට. කුනුහරුපයක කැත බව දැනෙන ප‍්‍රමානය තීරනය වෙන්නෙ ලිංගික දේ ගැන තම තමන් ඇත්තටම පවත්වාගෙන යන දෘෂ්ටිකෝනය අනුව. උදා විදිහට අම්මට හුකපං කියන එක මට හිනායන වචනයක් වෙද්දි තව කෙනෙක් මන්නෙන් කොටන තරමෙ වචනයක් වෙනවා. කුනුහරුපවල තියෙන විශේෂ ලක්ෂනයක් වෙන්නෙ ග‍්‍රාම්‍යත්වය. ලිංගික දේ ගැන ග‍්‍රාම්‍ය කියවීමක්, මිනිස් සංවේදීතාවයන් ගලවලා දාපු වචනයක් කුනුහරුපයක් බවට පෙරලෙනවා. ඒ වෛරී අවකාශය ඇතුලෙ පාවිච්චි කරන කුනුහරුපයක් කිසිම විදිහකට නැවත භාෂාව ඇතුලෙ අදාල සංදර්භයේ පළල් අර්ත වෙනුවෙන් පාවිච්චි කරන්න බැරි වෙනවා. උදා විදිහට හුත්ත පයිය කියන වචන පාවිච්චි කරලා අපිට කිසිම විදිහකින් ලිංගික කාරණා ගැන සංවාදයක් ඇති කරගන්න බෑ. ඒක මළ වචනයක්. වෛරයක්, හෙලාදැකීමක් වෙනුවෙන් විතරක් පාවිච්චි කරන්න පුළුවන් අරුත්සුන් වචනයක්. අපි හුත්ත කියන එක කොල්ලන්ටත් පාවිච්චි කරනවා.

    මේ කුනුහරුප ප‍්‍රවර්ගය අදාල සංදර්භය අනුව වෙනස් වෙන එකක් නෙමෙයි. ඒත් පෙට්ටිය, පොල්ල, වල්ල වගේ කොහෙත්ම ලිංගික තේරුම් ගන්නෙ නැති වචන ලිංගික සංදර්භයක් ඇතුලෙ පාවිච්චි කිරීමෙන් කුනුහරුප විදිහට අර්තගන්වන වෙලාවලූත් තියෙනවා. කුනුහරුපවල තියෙන සුවිශේෂ ලක්ෂණයක් වෙන්නෙ ඒවා හුදෙක් ද්‍රව්‍යාත්මක විදිහට, සීමිත විදිහට, පහත් කර සැලකිය යුතු දේවල් හැටියට ලිංගික කාරණා ගැන දැකීමයි. කෙටියෙන් කිව්වොත් සෙක්ස් ගැන රෙස්පෙක්ට් එකක් නැති කම කුනුහරුපයක් බිහිවෙන තැනක් වෙනවා.

    කන්නංගරගෙ දෙවෙනි සහ ප‍්‍රධාන භාෂා ප‍්‍රවේශය වෙන්නෙ කුනුහරුප. අංපිටියෙ සුමනගෙ සංවාද භාෂාවත් ඒක. කෙනෙක් මේ වෛරයේ භාෂාව පාවිච්චි කිරීම ඇතුලෙ එයා සළකුනු කරන සීමාවන් කීපයක් තියෙනවා. පලවෙනි එක තමන්ගේ ආතතිය සහ කේන්තිය. එතනදි තමන් ඉවසීම සහ පැසුනු බවකින් දෙයක් ගැන බලන කෙනෙක් නොවෙන වග එයා සහතික කරනවා. ඊළ`ගට ග‍්‍රාම්‍යත්වය. ලිංගික කාරනා ගැන තමන් දරන පසුගාමී ආකල්ප වගේම අනෙකා සමග සංවාද භාෂාවක ශිෂ්ට පරිනාමයක් තමන්ට නැති වගත් එතනදි කෙනෙක් එලිදරව් කරනවා. ඒක ලැජ්ජා විය යුතු කාරණයක් නෙමෙයි. අපි එක එක්කෙනා එන්නෙ එක එක සමාජ පසුබිම්වලින්. අපේ සංවාද භාෂාව කියන්නෙ අපිට අදාල වැටහෙන සමාජ වපසරියෙ දිග පළල.

    මට හිතෙන්නෙ කන්නංගර ග‍්‍රාම්‍ය විප්ලවය වෙනුවෙන් ඒ ව්‍යවහාරය පාවිච්චි කරන එක හරි. ඒ විප්ලවයේ ගාමක බලය වෙන්නෙම වෛරය. සාමූහික නොවීම. පහර ගැසීම. අපි ආයුදයක් විදිහට භාෂාව පාවිච්චි කළත් ඒ තෝරගන්න ආයුධය අපේ මිලේච්ඡුත්වය ගැන කියනවා. අපිට පුළුවන් තුවක්කුවක් තෝරගෙන දුරස්ත බවක් තියාගෙන ආරක්ෂාව හෝ ආවේගය වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න. නැත්තං අපිට පුළුවන් මන්නයක් අරන් ඒ කෑලි කැපෙන, ලේ විදින එක ආස්වාද කරන්න. ඒක අපේ සැබෑ ම්ලේච්ඡුත්වයේ චොයිස් එකක්.

    මට හිතෙන්නෙ අපි වඩා විධිමත්ව අපි එකිනෙකා පාවිච්චි කරන භාෂාවන් අධ්‍යනය කරන්න  ඕන. ඒ හරහා ඒ අයගෙ සැබෑ දේශපාලනයේ සීමාවන් තේරුම් ගන්න  ඕන. මගේ මේ අධ්‍යනය අතිශය සීමිත එකක්. ඒත් ලංකාවෙ කුනුහරුප ගැන ගැඹුරු ශාස්ත‍්‍රීය අධ්‍යනයක් කාට හරි කරන්න පුළුවන් නම් ඒක වටිනවා. භාෂාව ඇනලයිස් කිරීම හරහා අපිට විෂයක් වගේම විෂය කියවන්නා නැවත කියවාගන්නත් ප‍්‍රවේශයක් ලැබෙනවා.

    කන්නංගර පාවිච්චි කළේ උදාහරණයක් පිනිස සහ මේ ඔස්සේ මට හිතන්න පොළඹවපු එකට ගෞරවයක් පිනිස පමනක් වග කරුනාවෙන් සළකන්න. මං අංපිටිය සුමනෙගෙ වගේම කන්නංගරගෙත් ෆෑන් කෙනෙක්.

  • හඳට යන්න බය නොවන්න

    හඳට යන්න බය නොවන්න

    ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ  මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප‍්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක් ජාති ආගම්වලට විරුද්දව කතා කරනවා මං අහලා නෑ. ගොඩක් වෙලාවට ඒ අයත් ඒ ඇබ්බැහියෙ කොටසක්. අනික ලංකාවෙ දොස්තරලා තමයි විද්‍යාඥයො විදිහට පෙනී ඉන්නෙත්. එක එක සෞඛ්‍ය වාර්තා පෙන්නමින් ඒ ගොල්ලො මිනිස්සුන්ව ප‍්‍රවේශම්කාරී ජීවිතයකට ගාල් කරන්න හදනවා. ඒක හුදු මධ්‍යස්ත කරුණු කියාදීමක් නෙමෙයි. වෘත්තීය ආධිපත්‍යය, රැුවටීම, මෝඩකම, විද්‍යාව අවිදන්‍ාව හැටියෙන් කියවීම, තග වගේ ගොඩක් කාරණා මතින් කරන දරුණු බුද්ධි පරිහානියක්. සමාජ ජීවිත කොටු කිරීමක්. ජනතාව ගොනාට ඇන්දවීමක්.

    විද්‍යාව කියන එක  ඕනෑම මොහොතක පරිණාමය වෙමින් තියෙන දෙයක් කියල මේ විදන්‍ාත්මක පිරිස පිළිගන්නෙ නෑ. ඒක පරම සත්‍යයක් විදිහට තමයි ඒ ගොල්ලො දේශනා කරන්නෙ. සමාජ අරගල විසින් සහ සමාජ පරිණාමයන් විසින් විද්‍යාව වෙනස් කරන වග ඒ ගොල්ලො දකින්නෙ නෑ. උදා විදිහට ලංකාවෙ දොස්තරලා කාලෙකදි කිව්වා සමලිංගික සේවනය කියන්නෙ මොලේ ආබාධයක් කියල. තව වෙලාවක කිව්වා අජිනොමොටෝ ප‍්‍රමුඛතම පිළිකාකාරයකයක් කියල. අවුරුද ගනං ටීවීවල පත්තරවල මේ පචය කෙලිනවා. මිනිස්සු බයවෙලා එම්එස්ජී නැත කියල බෝඞ් අලවනවා. ඒත් මේ වෙද්දි අජිනමොටෝ වලින් පිළිකා හැදෙන්නෙ නෑ. සමලිංගික සේවනය ස්වභාවික මිනිස් චර්යාවක්. ඒත් මේ දේවල් නැවත නිවැරදි කරන්නවත් මේ දොස්තරවරුන් මැදිහත් වෙන්නෙ නෑ. එතකොට තමන්ගේ ස්ථිතික ආගමික විද්‍යාව අභියෝග වෙන හින්ද. මේ මෑතක එක්කෙනෙක් කිව්වා කාමරංගා වලින් වකුගඩු දියවෙනවද කොහෙද කියල. තව කෙනෙක් කියමින් යනවා මස්මාළු කෑවම ජීවිතේ කොට වෙනවා කියල.

    විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියල පෙන්නන්න හදන මේ අයට විද්‍යාව මගඇරෙන්නෙ කොහොමද? සෑම පර්යේෂණයකම ඊට අදාල තාක්‍ෂණික සීමා සහ පරිකල්පන සීමා තියෙන වග ඔවුන් නොදන්නේ කොහොමද? සෑම විද්‍යාවක්ම ඊට අදාල සමාජ වපසරියේ සීමාවන් මත අර්ත කථනය වෙන යතාර්ථයට ඔවුන් අන්ධ වුනේ කොහොමද? ඒක ඉතාම සරල කාරණයක්. ඔවුන්ට විද්‍යාව ලැබෙන්නෙත් ආගමක් විදිහටම නිසා. විද්‍යාව කියන්නෙ ලංකාවට කවුරු හරි කියන දෙයක් තමනුත් කියමින් දැනුමේ ආධිපත්‍යයක් ගොඩනංවා ගන්නවාට වඩා දෙයක් නෙමෙයි. සජීවීව ඒ විද්‍යා පරිණාම ක‍්‍රියාවලියෙ අපි කොටස්කාරයො නෙමෙයි. ලංකාවෙ දොස්තරලා ගත්තොත් ඒ ගොල්ලො වෙන රටවල බෙහෙත් කොම්පැනි නියෝජිතයන්ට වඩා කිසිම වෙනසක් නෑ. ඒ බෙහෙත් හෝ රෝගයන් සම්බන්ධ පර්යේෂණ, මතිමතාන්තර, සංස්කෘතික ගැටුම් ගැන කිසි අවබෝධයක් ඒ අයට නෑ.

    අපි විද්‍යාව දකින්න පුරුදු වෙලා තියෙන්නෙ ආරක්ෂාව මූලික කරගෙන. අපේ පරිස්සමට, සේෆ්ටියට තියෙන දෙයක් නිකං පාවිච්චි කරලා විද්‍යාත්මක වෙන විදිහට. අපි ඇපල් ෆෝන් එකක ඉඳන් කැන්සර් ටී‍්‍රට්මන්ට් වෙනකල්ම කරන්නෙ එච්චරයි. ඩෙංගු පැතිරිච්ච කාලෙ පැපොල් ඉස්ම දෙන එක ගැනවත් විද්‍යාත්මක මධ්‍යස්ත පර්යේෂණයක් කරන්න මේ අයගෙ ඔලූව හැදිලා තිබුනෙ නෑ. අඩුම තරමෙ ක‍්‍රමෝපායක් විදිහට මදුරුවා අත්ඇරලා රෝගියා කොටු කරමු කියන උපන්‍යාසය බාරගන්නවත් ලංකාවෙ දොස්තරලා නිහතමානී වුනේ නෑ. මේ තමයි අපේ වෛද්‍ය විද්‍යාව.

    ඒත් වෛද්‍ය විද්‍යාව සහ අනෙක් සියලූ විද්‍යාවන් දියුණු වුනේ ඒ මිනිස්සු තමන්ගෙ සේෆ්ටිය පැත්තකින් තියලා කරපු තියුණු පර්යේෂණවලින්. කිසිම විදිහකට විද්‍යාව කියන්නෙ සේෆ් පාරක යන එකක් නෙමෙයි. හැම තිස්සෙම අභියෝගකාරී, අන්තරායකාරී පාරවල් වලිනුයි විද්‍යාව දියුණු වුනේ. මිනිස්සු පිරිසක් තමන්ගේ ජීවිත කැපකරමින් ඒ සොයාගැනීම් කරන්න ඉදිරිපත් වුනා. ජාතික වීරයො වෙන්න නෙමෙයි. නොනවතින කුතහලයෙන්. අවදානම් බාරගැනීමෙන්. ඒ පිම්ම ගන්න ඔවුන් නිර්භීත වුනා.

    මේ දවස්වල රයන් ගොස්ලින් රගපාන ෆස්ට් මෑන් ෆිල්ම් එක පෙන්නනවා. ඒක නීල් ආම්ස්ට්‍රෝං හඳ මත අඩිය තිබ්බ කතන්දරය. අපිට හඳ කියන්නෙ මොකක්ද? කේන්දරේටයි, කවියටයි, ඉස්කෝලෙ පොතේ හඳගමනටයි වඩා අපි හඳ ගැන දන්නෙ මොනවද? ඒ රටවල මිනිස්සු තමන් සීයට අනූනවයක මිය යාමේ සම්භාවිතාවක් තියෙනවා කියල දැන දැනත් පර්යේෂණ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්නෙ එහෙම. ඒත් ඒ හඳ උඩ තිබ්බ අඩියෙන් අපි මිනිස් වර්ගයක් විදිහට යෝද පියවරක් තියනවා. අපි විශ්වයේ ඉඳන් නැවත අපි දිහා බලනවා. ඒක ලොකු වියදමක් සහ අවදානමක් දරලා අපි ගත්ත පර්ස්පෙක්ට් එකක්. ඒත් අපි හඳ දිහා බලාගෙන කේන්දර හදනවා. කවි ලියනවා. බාර් එකක ඉඳගෙන හඳට ගිය එක්ක ඇත්තක්ද බොරුවක්ද කියල වාද කරනවා. අපිට ඒ මිනිස් ප‍්‍රයත්නය මගඇරෙනවා. අපිට ඒ නොනිමෙන කුතුහලය මගඇරෙනවා. අපිට මිනිස්සු විදිහට අපි අඩියක් ඉස්සරහින් තියල ගත යුතු අවදානම මගඇරෙනවා.

    මිනිස්සු එවරස්ට් නගින්නෙත් එහෙමයි. මැරෙන්න පුළුවන් වග දැන දැන. නොමැරෙන ශක්තිය තහවුරු කරන්න. රේඩියම් හොයාගත්ත මාරි කියුරි රේඩියේෂන්වලට එක්ස්පෝස් වීමෙන් ලෙඩ වෙලා මැරෙනවා. අයිසෙක් නිව්ටන් ඇසේ ආලෝක ක‍්‍රියාවලිය තේරුම් ගන්න තමන්ගේ ඇහැට ඉඳිකටුවකින් ඇනගන්නවා. හොෆ්මන් එල්එස්ඞී හොයාගත්ත ගමන් කටේ දාගෙන බලනවා. සොක‍්‍රටීස් සමාජයට අහිතකර යැයි පාලකයන් විසින් නියම කරපු අදහස් ගැන සමාව නොයැද වහ බීලා මැරෙනවා. විද්‍යාව හැමතිස්සෙම අවදානම්කාරී ඉදිරි පියවර ගන්නවා. විද්‍යාව කොයිම වෙලාවකවත් ආරක්ෂාකාරී පැරණි දෙය මත පිහිටන්නෙ නෑ.

    ඒත් ඒ විද්‍යාත්මක සමාජයක ජීවත් නොවුනු අපි නිතරම උත්සාහ කරන්නෙ විද්‍යාවෙ පිහිටෙන් අපේ ලෙන්ගත ආකල්ප පරිස්සම් කරන්න. බුද්දාගම විද්‍යාත්මකයි වගේ කතා කියන්නෙ එතකොට. අපිට විද්‍යාව ආගමිකයි.
    මත්ද්‍රව්‍ය ගැන කතිකාවෙදි මේ කාරණය හොඳටම කැපිලා පේනවා. කංසා නීතිගත කරද්දි විද්‍යාවෙ නාමයෙන් එහි අහිතකර තත්වයන් ගැන සීමිත පර්යේෂණ ගොනුකරනවා විනා මෙය ඇල්කොහොල් වලට වඩා හානියෙන් අඩුයි කියන එක සඳහන් කරන්නෙ නෑ. මුලින් කංසා යනු උමතුව ඇති කරන්නක්ය, අපරාධ වැඩි කරන්නක්ය ආදී වශයෙන් විද්‍යාත්මක විදිහට ඉදිරිපත් කරපු අදහස් මේ වෙද්දි වෙනස් වුනු හැටි කියන්නෙ නෑ. ඒ විද්‍යාත්මක පිළිගැනීම්වලට විරුද්ධව කෙරෙමින් තියෙන පර්යේෂණ ගැන මතක් කරන්නෙ නෑ. ඇත්තෙන්ම අවශ්‍යතාවය තියෙන්නෙ තමන්ගේ ඔලූව ඇතුලෙ කංසා ගැන තියෙන ආදිකල්පික මතය ආරක්ෂා කරගන්න. කොයිම වෙලාවකදිවත් එල්එස්ඞී යනු මෙතෙක් විද්‍යාත්මකව කිසිදු හානියක් සිදුවෙනවා යැයි සොයා නොගත් තහනම් මත්ද්‍රව්‍යයක් වග ලංකාවෙ කිසිම විද්‍යා භවතෙක් කොතනවත් කියන්නෙ නෑ. ඒ අයගෙ විද්‍යාව ආගමික සදාචාරයෙන් සීමිතයි.

    ඒ වගේම සම්මත සදාචාරය අභියෝග නොකරන කිසිම මනසක් විද්‍යාත්මක නෙමෙයි. අන්න එතනදි නම් අපේ විද්‍යා ප‍්‍රවීනයන්ට බුදුන්ගේ කාලාම සූත‍්‍රයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කාලාම සූත‍්‍රය කංසාවලට ඇප්ලයි කළාම වෙන්නෙ මෙහෙමයි.

    කංසා ගැන,
    දිගින් දිගටම කවුරුන් හෝ කියනවා ඇහුවා කියල බාරගන්න එපා
    පරම්පරාවෙන් ඉතිහාසෙන් ආවා කියල බාරගන්න එපා
    ඔ්පාදුප නිසා බාරගන්න එපා
    පොත්වල තිබුනා කියලා බාරගන්න එපා
    හිතලා බලලා, උපකල්පනය කරලා බාරගන්න එපා.
    සමාජයේ පිළිගන්න සත්‍යය කියල බාරගන්න එපා
    රැුවටෙනසුලූ තර්ක නිසා බාරගන්න එපා
    නිතර නිතර ඔබ විසින් සිතා බැලූ කාරණාවලට එකග නිසා බාරගන්න එපා
    කාගේ හෝ ප‍්‍රභාවක්, උගත්කමක් විශ්වාස කරලා බාරගන්න එපා
    ශ‍්‍රමනයෙක් හෝ කෝට්කාරයෙක් කිව්වා කියලා බාරගන්න එපා
    ඔබ විසින්ම අත්හදා බැලීමෙන්, මෙය හොඳය, මෙයට අවමන් නොකල යුතුය, මෙය ප‍්‍රඥාවන්තයන්ට සුදුසුය, මෙයින් සාමය සහ සතුට පැතිරෙයි. හොඳින් පාවිච්චි කිරීමෙන් අවබෝධය ලැබීමි. යන නිශ්චයට පැමිනි පසු කංසා බාරගන්න.

    මෙය කංසා සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි කිසිම දහඩියක් මහන්සියක් නොහෙලා නොමිලේම ආරක්ෂිත නිසා බාරගනිමින් ඉන්න  ඕනෑම සත්‍යයක් පිලිගැනීමක් සම්බන්දයෙන් අදාලයි. ජාතියක් විදිහට අවදානමක් බාර අරගෙන අලූත් ටෙරිටරියක් උත්සාහ කර නොබලන තාක් කල් අපි මිනිස් වර්ගයා පැත්තෙන් ගත්තොත් ලෝකෙට බරක්.

     

  • කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ

    කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ

    කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි අරක්කු සිගරට් වගේ කිව්වම ලංකාවෙ අරක්කු සිගරට් එක්ක සංසන්දනය කරලා හිතාගන්න එක වැරදියි. එහේ අරක්කුවලට මෙහේ වගේ සදාචාරාත්මක ආගමික තහංචි නෑ. හොරෙන් හංගං බොන්න දෙයක් නෑ. පෝයට වහනවා වගේ විකාර නෑ. ගෑනුන්ට දෙන්නෙ නෑ වගේ ඩිස්ක‍්‍රිමිනේෂනුත් නෑ. ඒවා මිනිස්සු තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන සාමාන්‍ය මත්ද්‍රව්‍ය. ඒ පාවිච්චියෙන් අනුන්ට වෙන කරදර අවම කරන්න විතරක් ආන්ඩුවලින් පියවර ගන්නවා.  ඒ විදිහටම කංසා ඉදිරියෙදි සාමාන්‍ය පාවිච්චියක් වෙනවා. මං දන්න විදිහට අවශ්‍ය ප‍්‍රමානය ඇනවුම් කළාම ආන්ඩුවෙන්  තැපැල් කරලා ගෙදරටම එවනවා. කංසා වලින් බීම ජාති, කෑම ජාති, ආලේපන වගේ ගොඩක් අංශ දියුණු වෙනවා. අලූත් කර්මාන්ත ඇති වෙනවා. රස්සා ඉපදෙනවා.

    ඒ අතරෙදි අපි පුකක් පෙන්නුවා කියලා කොල්ලො ටිකක් ඇප නැතුව හිරේ දානවා. බිකිනි ඇඳන් පාරෙ යන්න තහනම් කරනවා. අක්කර ගනං කංසා හේන් පුච්ච පුච්ච ටීවී එකේ පෙන්නනවා. අපේ මෝඩකම අපි සෙලිබ්‍රේට් කරනවා. පෙනි පෙනී ආර්තිකයක් ගිනි තියනවා.

    ගැලරියේ විසිල් එකට රටක නීති ප‍්‍රතිපත්ති හදන එක නමන එක විහිලූවක්. මෝඩචූන් දෙමින් අඳබාල සමාජයක් හැටියට ලෝකෙට විහිලූ සැපයීම ගැන රටක පුරවැසියො ලැජ්ජා වෙන්න  ඕන. ඒ වෙනුවට ඉදිරිගාමී ප‍්‍රතිපත්ති වෙනුවෙන් ගැලරිය දැනුවත් කරන ව්‍යාපාර අහිමි වීම ගැන කණගාටු වෙන්න  ඕන. ඒත් අපේ රටේ මිනිස්සු වෙනස්. මුල් පුරවැසියා පටන්ම අපි මෝඩකම සංස්කෘතිය කරගත් ජාතියක්.

    මුලින්ම රටක් විදිහට තමන්ගේ පුරවැසියන් වැඩිහිටියන් හැටියට දකින පර්ස්පෙක්ට් එකක් තිබීම වැදගත්. අපේ රටේ හැමෝම හිතන්නෙ මේ රට කියන්නෙ ළමා සමාජයක් කියල. තමන් කළ යුතු සහ නොකළ යුතු දේ ආන්ඩුවෙන් කියල දෙන්න  ඕන කියල. හිතකර අහිතකර දේ ගැන දැනුවත් කිරීම් හරහා තමන්ගේ තෝරාගැනීමක් කරන්න රටේ මිනිස්සුන්ට නිදහස තිබිය යුතුයි කියන වැඩිහිටි අදහසක් ආන්ඩුවට නෑ. අනෙක් පැත්තෙන් එහෙම නිදහසක් බාරගන්න සමාජයත් බයයි. ඒ රටවල ඔහොම වුනාට අපේ රටේ නං වෙන්නෙ ලොකු විනාසයක් වගේ ලැජ්ජා නැති කතා කියන අය බහුලයි. තමන් ඇරෙන්න අනිත් හැමෝම මෝඩයි කියල හිතන සිතුවිල්ලෙන් ගහනයි.

    මගේ ජීවිතයේ විඳිය යුතු දේවල් තෝරා ගැනීමේ නිදහසක් මට නැති වීම ගැන මට තියෙන්නෙ ලැජ්ජාවක්. වයස්ගත වෙනතුරුත් අවුරුදු දහඅටට අඩු පිලිගැනීමක් ලැබීම ආඩම්බරයට කාරණයක් නෙමෙයි. ඒත් රටේ බහුතරය හිතන්නෙ කවුරුන් හෝ විසින් අපිව පාලනය කරමින් යා යුතු මග කියා දිය යුතුයි කියල. දොස්තරලා, පූජකයො වගේම ආන්ඩුවත් කරමින් ඉන්නෙ මේ අප්පච්චිගෙ පාර්ට් එක.

    මත්ද්‍රව්‍යයක් ගැන මං සැලකිල්ලට ගන්න ප‍්‍රධාන කාරණය වෙන්නෙ ඒ මත්ද්‍රව්‍ය වටා නිර්මාණය වෙලා තියෙන සංස්කෘතිය. උදා විදිහට හොරොයින් සංස්කෘතිය අතිශයින් විනාශකාරීයි. ඒත් කංසා වටා තියෙන සංස්කෘතිය මොකක්ද? ඒක  සාමය කේන්ද්‍රීය එකක්. සෞන්දර්ය වටා නිර්මාණය වෙලා තියෙන එකක්. ආර්ට් ඉන්ස්පයර් කරන එකක්. ආදරය උපද්දන එකක්. එතකොට ඇයි එවන් සංස්කෘතියකට මෙවන් තහනමක්?

    ලංකාව කියන්නෙ ආදරය තහනම් රටක්. ආයුද තියාගන්න එකට වඩා වෙරලක ලව් කරන එක වැරැුද්දක් වුනු රටක්. ඒ නිසා කංසා වගේ සංස්කෘතියක් ලංකාවට නොගැලපීම වෙන්න පුළුවන් දෙයක්.

    අනෙක ලංකාව දුවන්නෙ ඇල්කොහොලික් සංස්කෘතියක. ගහගන්න, බැනගන්න, අනිත් ජාතීන් එක්ක ඇවිලෙන්න බලන් ඉන්න ආධ්‍යාත්මයක. කංසා කියන්නෙම ඒ සංස්කෘතියෙ ප‍්‍රතිවිරෝධය. බාර ගැනීම, වැළඳ ගැනීම, බෙදා ගැනීම යෝජනා කරන රසායනිකය. එතකොට අපේ ජාතිය ආගම අර්බුදයට යන්න පුළුවන්. විකුනාගත හැකි බෙදුම්වාදය ප‍්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික මාර්ග විදිහට දැනට ආගමික සංස්ථාවන් ගෙනියන ප‍්‍රචන්ඩත්වයට මුලාවට මිනිස්සු විරු්දද වෙන්න පුළුවන්.
    කංසා කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක්. මනස ඇතුලට නැඹුරු කරන, සිතුවිලි ගැන සවිඥානක බව වැඩි කරන ඖෂධයක්. සංස්ථාපිත ආගම් මිනිස්සුන්ගෙ ස්වයං ආගමිකත්වයට විරුද්ද වෙන එක අහම්බයක් නෙමෙයි.

    ගගනගාමියෙක්, අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වුනු කාල් සේගන් කංසා ගැන මෙහෙම කියනවා.

    ‘කංසාවලට පනවා ඇති තහනම විකාරයක්. වේගයෙන් උමතුව සහ අන්තරාය කරා යන මේ ලෝකයට අවශ්‍යම සවිඥානකත්වය, සංවේදීතාවය සහ සහෝදරත්වය පිරුනු සාමකාමී හැගීම් වෙනුවෙන් මේ මත්ද්‍රව්‍යයේ හැකියාව පාවිච්චි කරන්න දරුණු බාධාවක්.’
    කාල් සේගන්.

    නාසා එකේ වැඩකරද්දි අත්සන් කරන්න සිද්ද වෙන ගිවිසුමක් එයා ප‍්‍රශ්න කරනවා. ඒකෙ තියෙන්නෙ කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරමි කියල.

    ‘‘අනෙක් අපරාධ එක්ක බලද්දි මේක කොහෙත්ම නොගැලපෙන තරමෙ එකක්. උදා විදිහට අපි අපේ සහෝදර කාර්ය මණ්ඩලය මරණයට පත් කරන්නෙ නෑ කියල කොතනවත් පොරොන්දු වෙන්නෙ නෑ..’’ සේගන් මේ විකාරරූපීබව ප‍්‍රශ්න කරනවා.

    කාල් සේගන් දිනපතා මරිජුවානා පාවිච්චි කරනවා. අන්තිම කාලෙදි එයා පිළිකාවකින් දරුණු විදිහට පීඩා විඳිද්දි කංසා එයාගෙ වේදනාව වගේම ජීවිතේ ඉතුරු දවස් ගැන ප‍්‍රීතිමත් හැගීම් ඇති කරන්න උදව් වුන හැටි එයාගෙ බිරිඳ සටහන් කරනවා. බිරිඳගේ නම ඈන් ඞ්රුයාන්. කංසා පිළිබඳ නීති ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ ජාතික සංවිධානයේ එයා සභාපතිනිය. පවුල් අතර ආදර සබඳතා වැඩිදියුණු කරන්න කංසා යොදා ගැනීම ගැන ඈන් ගොඩක් උනන්දු වෙනවා.

    ‘‘මට කංසා කියන්නෙ පවුලේ ආදරය වෙනුවෙන් බුද්දිමත්ව පාවිච්චි කළ යුතු සෙක‍්‍රමේන්තුවක්’’
    ඈන් කියනවා.

    විද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක් කියන්නෙ වඩා බුද්දිමත් ප‍්‍රතිපත්තිමය තෝරා ගැනීම් කරන එකක් කියල සේගන් විශ්වාස කළා. ඒත් අපිට කලබල වෙන්න දෙයක් නෑ. ලංකාව කියන්නෙ කොහොමත් මෝඩ තෝරාගැනීම් කරන අවිද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක්.

    ඒ හින්ද අපි ලෝකෙ අනිත් ඔක්කොම රටවල් කංසා නිදහස් කළත් කංසා තහනම් එකම දහම් පාසැල් සමාජය විදිහට දිගටම ඉන්න ට‍්‍රයි කරමු.

    කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ
    විඳිනවා සිරගත දූපතක සිට
    හැමදාම අපි ඉන්නෙ නීතියෙන් පිට
    සාමයයි කොලපාට මුනිවරයි වරද

  • තනිකමට ඉඩ දෙන්න

    තනිකමට ඉඩ දෙන්න

    තනිකම කියන්නෙ හරි පුදුම දෙයක්. ඒ කියන්නෙ බොන්න යාලූවෙක් නැතිකම, කතා කරන්න කෙනෙක් නැතිකම, ගැවසෙන්න පිරිසක් නැතිකම වගේ දෙයක් නෙමෙයි. ඒක මතුපිට තනිකමක්. ස්පේස් එක ෂෙයාර් කරගැනීමේ ෆිසිකල් තනිකමක්.  ඒත් තමන් කියන දේ ඇහෙන කෙනෙක් නැතිකම කියන්නෙ වෙන දෙයක්. කවුරු කොහොම ළ`ග හිටියත් කතා කරන එකේ තේරුමක් නෑ කියල දැනෙන විදිහක්. වෙන කෙනෙකුට උදව්වට එන්න බැරි වෙලාවක්. කොයිතරම් සාවධාන වුනත් අපිට දැනෙන හැගීම සින්ක් වෙන්නෙ නැති මොහොතක්. අපි සමස්ත ටෙම්පො එකෙන් එලියෙ. මිනිස් නෙට්වර්ක් එකෙන් අපේ සම්බන්දෙ ගිලිහිලා හෝ බාධාවෙලා හෝ තියෙන අමුතු අත්දැකීමක්. අපිව පෘතුවියෙන් ගැලවිලා අභ්යවකාශෙට විසිවෙලා යන හැගීමක්. අපිට ලේසියෙන්ම පුළුවන් ආපහු අල්ලගන්න දරන උත්සාහයක් ඇතුලෙ විඩාපත් වෙන්න. ඩිප්රෙෂන් එකකට තල්ලූ වෙන්න. අපේ ගැලවී යාම හිරගෙයක්, ගුලක් කරගන්න. ඊට ප්රතිවිරුද්දව අනෙක් පැත්තෙන් අපිට පුළුවන් ඒ දිහා බලන් ඉන්න. කණස්සල්ලක් නැතුව. මොකද ඒ තනිකම කියන්නෙ අපිට අපිව විතරක්ම මුනගැහෙන මොහොත. අපි අපේ ඇතුලට යන්න නියමිත මොහොත. එතනදි අපිට අපිව කොයිතරම් ප්රමානවත්ද කියන එක බලපානවා. 
    අපිට අපි එක්ක ඉන්න පුළුවන් වෙන්න   ඕන. ආපහු ගුරුත්ව තරංගවලට සමපාත වෙනකල්. පොලොවක් මුනගැහෙනකල් අපි අපේ අභ්යන්තර විශ්වයේ සෞන්දර්යය අත්විඳින්න   ඕන. 
     
    තනිකම කියන්නෙ නිදහස. ඒක එක විදිහකට රැුුඩිකල් නිදහසක්. කොන්දේසි විරහිත නිදහසක්. ජීවිතේ කිසිම දෙයක් කිසිම දෙයක් වෙනුවෙන් කැප නොකරන නිදහසක්. අනෙක් අතට අපිට   ඕන නම් ජීවිතේ හැමදෙයක්ම අපි කැමති දෙයක් වෙනුවෙන් කැප කරන්න පුළුවන් නිදහසක්. මේ කොන්දේසි විරහිත තනිකම ඇතුලෙ වැදගත්ම දේ වෙන්නෙ අපි මරණයෙන් ඔබ්බට යන එක. මරණය බයක් දුකක් වෙන්නෙ ඒක ඇතුලෙ දැනෙන තනිකමත් එක්ක. කලින්ම හුරුපුරුදු තනිකමට මරණය වේදනාවක් නෙමෙයි. ඒක නින්දක් විතරයි. 
    වෙනදට වඩා ඉර එලිය ලස්සනයි. වෙනදට වඩා කෝපි එක තිත්තයි. වෙනදට වඩා සිංදු  සංවේදීයි. වෙනදට වඩා ලෝකෙ ඞීටේල් මාරයි. සාමූහික ජීවිතය ඇතුලෙ මගඇරුනු හැම ලස්සනක්ම තනිකම ඇතුලෙන් එකපාරට ඇතුලට කඩා වදිනවා. වෙනදට වඩා පොත් එක්ක ෆිල්ම් එක්ක ඩොකියුමෙන්ටරි එක්ක ගතවෙන්න ආස හිතෙනවා. ඒ අතර වැස්සත් එලියෙ වහිනවා නම් සෞන්දර්ය අසීමිත වෙනවා.
     
    එතකොට ආදරය..  මිස් වෙනවද?
     
    තනිකම එබිකම් කරන හැමවෙලාවකම අපිට වැඩියෙන්ම මතක් වෙන්නෙ ආදරය. ඒකට හේතුව වෙන්නෙම අපි ආදරය හොයන්නෙ තනිකමෙන් ගැලවෙන්න හින්දයි. ඒත් ඒක තමයි වෙන්න තියෙන නරකම දේ. තනිකමේ ඉඳිද්දි ආදරෙන් හැංගෙන එක. එතකොට අපි අනිකාව පුළුවන් තරම් හයියෙන් අල්ලගන්නවා. හුස්ම ගන්නවත් බැරි තරම් තදට. අනෙකාගෙ මුලූ ලෝකෙම අපේ ඇතුලට ගන්න හදනවා. තනිකමක් ඉතුරු නොවෙන තරම් ලොකුවට. අපි නොදැනුවත්වම අපේත් අනෙකාගේත් පුද්ගලික මොහොත අතුරුදන් කරනවා. ඒක ආදරය නෙමෙයි. ඒ වෙනුවට බියපත් රෝගයක්.
     
    ඒ වෙනුවට තනිකම අපි අපි ගැන ආදරෙන් වෙළෙන කාලයක් කරන්න පුළුවන්. අපි ගැන හිතන, අපි ගැනම පුදුම වෙන, අපේ හයිය වගේම දුර්වලකම දකින, අපිට අපිව කම්මැලි නැති කාලයක්. වෙන විදිහකට කිව්වොත් අපි ඇතුලෙම අපි සම්පූර්ණ වෙන කාලයක්. අපිට අපිව මගඅරින්න උවමනා නැති තෘප්තිමත් මොහොතක අපිට පුළුවන් අනෙකාට ආදරය කරන්න. අපේ තනිකමෙන් ගැලවීම වෙනුවට අනෙකාගේ සැබෑ සුන්දරත්වයට ආදරෙන් බැෙක්‍ෂන්න. අනෙකාව අහන් ඉන්න. අනෙකා දිහා බලන් ඉන්න.
     
    ඒ කොහොම කිව්වත් තනිකම අපිව බයට පත් කරනවා. මරණය වගේම. කොයිතරම් කිව්වත් මරණය කියන්නෙ දොරටුවක් විතරයි කියල අපේ ශරීරය මූලික මනසට බෑ ඒක තේරුම් ගන්න. අපි බලන්නෙ දොරටුව පුළුවන් තරම් මග අරින්න. තනිකමත් ඒ වගේමයි. ඒක අපිට මුනගැහෙන්නෙම සෞන්දර්යයක් විදිහට නෙමෙයි. අඳුරක් බයක් රෝගයක් විදිහට. 
     
    හැම සම්බන්දයක් ඇතුලෙම අපි ගොඩක් වෙලාවට දකින්නෙ තනිකමෙන් ගැලවෙන්න කරන අරගලය. තමන් පවතිනවා කියල එලියෙන් නිශ්චය කරන සාධනය. පුළුවන් තරම් කල්ලිගත වෙන්න, ජාති ආගම්වලට අයිති වෙන්න කරන දාංගලය.
    හෙන්රි මිලර් කියනවා ආර්ටිස්ට් කෙනෙක් නම් හැමතිස්සෙම තනියි. මොකද ආර්ටිස්ට් කෙනෙකුට   ඕනම දේ වෙන්නෙ තනිකම කියල.
     
    ෆ්රාන්ස් කෆ්කා කියනවා මගේ යාලූවො මත්වීමත් එක්ක ගොඩක් මිතුරුයි. ඒ ගොල්ලො තනිකම මගඅරින්න විවිද මත්වීම් පාවිච්චි කරනවා. ඒත් මං කැමති නෑ කිසි දෙයක් වෙනුවෙන් මගේ තනිකම අත්අරින්න කියල. 
     
    සිංහලෙන් පරිවර්තනය කරන්න බැරි කතාවක්   ඕෂො කියනවා. එයා කියන විදිහට ලෝන්ලිනස් කියන එකයි අලෝන්නස් කියන එකයි දෙකක්. ඩික්ෂනරියෙ තියෙන විදිහට ඒවා සමාන පද වුනත් ඒ තේරුම සම්පූර්ණයෙන් වෙනස්. ලෝන්ලිනස් කියන්නෙ අපිට නිතරම අනෙකා අපි සමග නැති වග හැගෙන මොහොතක්. ඒත් අලෝන්නස් කියන්නෙ අපි අපි ඇතුලෙම තෘප්තිමත් කියල දැනෙන මොහොතක්. ලෝන්ලිනස් එක ඇතුලෙ අපි යම් කිසි දෙයක් පිටතින් ඉල්ලමින් යදිනවා. ඒත් අලෝන්නස් කියන්නෙ ගැඹුරු තෘප්තියක භාවනාවක්. එලියෙන් හොයන්න කිසි දෙයක් නැතුව අපි අපි ඇතුලෙම උත්සව පවත්වන මොහොතක්. 
     
    මං අන්තිමට රූමිගේ කතාවක් එක්ක තනිකමට ඉඩදෙනවා.
    ”ජීවිතේට වඩා වටින තනිකමක් තියෙනවා. ලෝකයට වඩා වටින නිදහසක් තියෙනවා. කෙනෙක් දෙවියන් සමග තනිවන මොහොත ජීවිතයටයි ලෝකයටයි වඩා අනන්තයක් වටිනවා..”
    රූමි මෙතන දෙවියන් කියන්නෙ කාටද කියන එක තේරුම් ගැනීම තනි තනි හිත්වලට බාරයි.


    චින්තන ධර්මදාස
  • රොමාන්තික පේ‍්‍රමය ලෙඩක්.

    රොමාන්තික පේ‍්‍රමය ලෙඩක්.

    ඉලියුමිනාටි කියන සීක‍්‍රට් සොසයටි එක ගැන විස්තර හොයන්න මට උනන්දුවක් තිබුනා. ඩෑන් බ‍්‍රවුන්ගෙ පොත්වල ඒ ගැන තියෙන රෙෆරන්ස් හින්ද ඒ උනන්දුව තවත් වැඩිවුනා. මේක එක කණ්ඩායමක් විදිහට සැලකුනත් කණ්ඩායම් ගානක් මේ නම යටතේ පැවතිලා තියෙනවා. ඉලියුමිනාටි කියන්නෙ එන්ලයිට්න්ඞ්, නැත්තං අවබෝධයට පත්වූ කියන අදහස. මේ නමින් ඇත්ත කණ්ඩායම් වගේම ප‍්‍රබන්ධ කණ්ඩායම් පවා තියෙනවා. ඒත් ඉලියුමිනාටි කියල පොදුවෙ රිෆර් කරන්නෙ දාර්ශනික සියවස විදිහට හඳුන්වන 18 වෙනි සියවසේ පැවතුනු බැවේරියන් ඉලියුමිනාටි සමාජය. මේකෙ අරමුණු වුනේ පුරවැසියන්ගෙ ජීවිතය මිත්‍යාවෙන්, ගූඪත්වයෙන්  සහ ආගමික බලපෑම්වලින් නිදහස් කරන එක. ඒ වගේම රාජ්‍ය පීඩනයට විරුද්ද වෙන එක. ආධිපත්‍යයෙන් තොරව ජනතාව පාලනය කළ හැකි ක‍්‍රමවේදයන් නිර්මාණය කරන එක. ඒත් බැවේරියන් පාලකයෙක් වුන චාල්ස් තියඩෝර් ඉලියුමිනාටි වගේම ඒ කාලෙ තිබුනු ෆ‍්‍රිමේසන්රි වගේ සමාජයනුත් තහනම් කරනවා. ඒ කතෝලික පල්ලියේ බලපෑම නිසා. එහෙම කළත් ඉලියුමානාටි කණ්ඩායම අන්ඩර්ග‍්‍රවුන්ඞ් විදිහට ක‍්‍රියාත්මක වුන වගත් ප‍්‍රංශ විප්ලවයට ප‍්‍රධානව වග කිව යුතු බවටත් කතන්දර තියෙනවා.

    වැඩියෙන් වැදගත් වෙන්නෙ මේ ඉලියුමිනාටි කණ්ඩායමට එකතු වුණු සුවිශේෂ බුද්දිමතුන්. විශේෂයෙන්ම ජොආන් වොන් ගොතේ කියන ලේඛකයා මාරම අදහස් තිබුනු චරිතයක්. මේ නම හරියට උච්චාරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ජර්මන් නෙමෙයි නම් කටපැටලෙන එක අනිවාර්යයි. ජර්මානු විදිහට ඒක ගර්ත වගේ අමුතු සද්දෙකට කියවෙන්නෙ. වොන් ගොතේ යුරෝපයේ හිටපු ලොකුම සංස්කෘතික විප්ලවකාරයෙක්. ෂේක්ස්පියර්, ඩාන්ටෙ, හෝමර් අපිට පේන්නෙ කොයි වගේද ගොතේත් ඊට කොහෙත්ම දෙවෙනි නෑ.  එයා කවි ලිව්වා. නවකතා ලිව්වා. භූ විද්‍යාව, උද්භිත විද්‍යාව, කායික විද්‍යාව වගේ විෂයන්වල වැඩ දැම්මා. එයා ඩිප්ලොමැට් කෙනෙක්. ෆැෂන් ගුරු කෙනෙක්. සිවිල් සේවකයෙක්. ඒ වගේම පෝර්නොග‍්‍රැෆර් කෙනෙක්. ආර්ටිස්ට් කෙනෙක්. සංචාරකයෙක්. කැනීම් සමාගමකත් ලොක්කෙක්. මේ විදිහෙ එකකට එකක් නොගැලපෙන ගොඩක් දේවල් ඇතුලෙ ගොතේ ලොකු වැඩ කොටසක් කරනවා. ඇන්ඩි වාර්හෝල් කියන විදිහට ගොතේ කියන්නෙ එයාගෙ වීරයො සෙට් එකේ පෙරමුනේ කෙනෙක්.

    ගොතේ ගොඩක් අයව ඉන්ස්පයර් කරන දේවල් ලිව්වා. ඒත් ඊටත් වඩා ලෝකය ඉන්ස්පයර් කරන විදිහෙ ජීවිතයක් එයා ගත කළා. ඇත්තටම එයාගෙ ජීවිතය එයාගෙ ලේඛනවලට හෝ සාහිත්‍යයට වඩා සුවිශේෂීයි.

    එයා ගතකළේ ඉහළ පාංතික ජීවිතයක්. එයා ඉගෙන ගත්තෙ ගෙදර ඉඳන්. අවුරුදු දොලහෙ ඉඳන්ම කඩුවක් පවා පැළදුවා. ලෙප්සිග් යුනිවර්සිටියෙ උපාදිය කළ අතරෙ ස්ට‍්‍රැස්බර්ග්වල නීතිය මාස්ටර් කළා. ඒත් එයා නිතරම ලෙක්චර්ස් කට් කළා. උස තැන් වලට ගිහින් බිම බලාගෙන ඉන්න කැමති වුනා. ඇත්තටම නං ගොතේ උස තැන් ගැන ෆෝබියාවෙන් පෙලූන කෙනෙක්. ඒත් එයාටම අභියෝග කරගන්න එක එයාට විනෝදයක් වුනා.

    ආදරය රොමාන්තිකයෙන් ඔබ්බට. ඒ තමයි ගොතේ ආදරය ගැන හිතපු විදිහ.
    උපාදිය ගත්තට පස්සෙ එයා උසාවියක ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ කාලෙදි එයාගෙ යාලූවෙකුගෙ පෙම්වතියක් ගැන එයාට ලොකු ආදරයක් ඇතිවෙනවා.  මේ ආදරය කාගෙන එයා පොතක් ලියනවා. සොරෝස් ඔෆ් වර්දර්.. වර්දර් කියන්නෙ ගොතේ නවකතාව ඇතුලෙ එයාට දීලා තිබුන නම.

    මේක උපරිම රොමාන්තික කතාවක්. ඇය ගැන උනන්දුව ඇතිවෙන හැටි, සියුම් සියුම් දෙයින් පවා ආදරේ දැනෙන හැටි, එකට නටද්දි දැනෙන ගැටෙන සියුම් පහසකින් පවා පිබිදෙන හැටි, ගොතේ විස්තරාත්මකව ලියනවා. එයා මේ පොතේ කියනවා ආදරේ කිරීම තමයි ජිවිතේ වැදගත්ම දේ කියල. රොමැන්ටික් ආදරේ නැතුව ජීවිතේ කියන්නෙ මොකක්ද? වර්දර් අහනවා. ඒක හරියට දැල්වෙන එලියක් නැති ලන්තෑරුමක් වගේ.

    මේක ඊළ`ග අවුරුදු 25ක් පුරා යුරෝපයේ බෙස්ට් සෙලින්ග් පොත වෙනවා. නැපෝලියන් මේ පොත හත් පාරක් කියෙව්වා කියල ආඩම්බර වෙනවා. ඒත් මේ පොතේ අවසානය ඛේදාන්තයක්. තරුණිය වර්දර්ගේ ආදරය ප‍්‍රතික්‍ෂේප කරනවා. හිත් වේදනාවෙන් වර්දර් දිවි නසා ගන්නවා. මේ පොතේ අවසානය විසින් ගොතේ රොමාන්තික පේ‍්‍රමයේ සීමාවන් ඉස්මතු කරනවා. රොමාන්තික ආදරය සුන්දරයි. ඒත් ඒක දරුණු විදිහට අර්බුදකාරීයි.

    ගොතේ දකින විදිහට රොමාන්තික ආදරයේ අර්බුදය වෙන්නෙ එක මොහොතක් නතර කරගන්න හදන උත්සාහයයි. ගිම්හානයේ උයන්වතු මැදින් පෙම්වතිය සමග ඇවිද යන මොහොතක් වෙන්න පුළුවන්.. තරු වියන් යට හුරතලෙන් ගතවුනු මොහොතක් වෙන්න පුළුවන්.. රොමාන්තික ආදරය මේ මොහොත සදාකාලයක් දික්වෙන්න ප‍්‍රාර්තනා කරනවා. විවාහ වෙන්න, දරුවන් හදන්න ප‍්‍රාර්තනා කරනවා. ඒත් විවාහය රොමාන්තික ආදරය බිඳ වැටෙන තැනක්. මුදල් උපයන්න වෙනවා, බිල් ගෙවන්න වෙනවා, රන්ඩුසරුවල් වෙනවා, එපා වෙනවා. මේ විදිහට රොමාන්තික ආදරය එය විසින්ම ප‍්‍රාර්ථනා කරන ඊළ`ග මොහොතේදී දරුණු බිඳවැටීමකට ලක්වෙනවා. රොමාන්තික පේ‍්‍රමය සියදිවි නසාගන්නවා. මේකෙන් රොමාන්තික පෙම්වතුන් සිත් තැවුලට අවුලට, වේදනාවට පත්වෙනවා. බලාපොරොත්තු සුන්වීම, රොමාන්තික ආදරයේ අනිවාර්යයක් කියල ගොතේ කියනවා.

    මේ හින්ද එයා රොමාන්තික ආදරය වෙනුවට තාර්කික නැත්තං යතාර්ථවාදී ආදරයක් යෝජනා කරනවා. අර්බුද ගැටුම් සමග වර්ධනය වෙන, තේරුම් ගැනීම් තුලින් ඉදිරියට ඇදෙන, ජීවිතයේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන යතාර්ථවාදී ආදරයක් ගොතේ වඩාත් අගය කරනවා. ඒක එකපාර ඇතවෙන පිපී විකසිත වෙන ආහ්ලාදජනක ආදරයට වඩා වෙනස්. ඒ ආදරය රොමාන්තික අවධියෙන් ඔබ්බට වැඩෙන එකක්. ෙ සිහනමය බලාපොරොත්තු වෙනුවට එදිනෙදා එකට ජීවිතෙන් බැඳෙන සබඳතාවයක්.  ගොතේ රොමැන්ටික් අයිඩියොලොජිය විවේචනය කරන්නෙ එයාට ඒක විඳින්න අවශ්‍ය පරිකල්පනය නොතිබුනු හින්ද නෙමෙයි. ඒකෙන් සිද්ද වෙන අනතුර, සීමාවීම දැකපු හින්ද.

    ගොතේ වර්දර්ගේ රොමාන්තික පේ‍්‍රමයේ ඉඳන් සම්භාව්‍ය පේ‍්‍රමය දක්වා එයාගෙ දැක්ම පරිණත කරනවා. පස්සෙ එයා අතින් ලියවෙන ඉෆිජීනියා නාට්‍යය ඇතුලෙ රොමාන්තික පේ‍්‍රමයට එයාගෙ විකල්පය අරන් එනවා.

    ඉෆිජීනියා කියන්නෙ ට්‍රොජන් යුද්දෙ කාලෙ හිටපු ග‍්‍රීක කුමාරිකාවක්. එයා ග‍්‍රීකයන්ගෙ ප‍්‍රධාන රජු වුනු ඇගමෙම්නොන්ගෙ දුව. ඉෆිජීනියාගෙ පවුල ඉතාම බිහිසුණු අපරාධයන්ට සහ ආරවුල්වලට මැදිවෙනවා. ඒක හරියටම සාමාන්‍ය පවුල් ජීවිතයේ අර්බුද එක්සැජරේට් කරලා පෙන්නීමක් වගේ.

    පරම්පරාවෙන් පරම්පරාවට ආශාවෙ මූලයන් ගමන් කරනවා. ගොතේ කියන්නෙ මේ සියල්ල අවසාන කරමින් සාමය සහ සමාව දීම අරගෙන එන්නෙ ඉෆිජීනියා කියලයි. ඉෆිජීනියා ඇගේ ජීවිතයේ අර්ථය තේරුම් ගන්නෙ පිරිමින්ව මෘදු කිරීම නැත්තං පිරිමි හිත් වඩාත් ආදරනීය කිරීම විදිහටයි. එයා නිරන්තරයෙන්ම මිනිස්සුන්ව සංසුන් වෙන්නත් සානුකම්පිත වෙන්නත් පොළඹවනවා. එයා ආදරය වෙනුවෙන් කැපවෙනවා. ඒත් නොදැමුණු, ළදරු වලිප්පු ආශාවන් වෙනුවෙන් නෙමෙයි. තේරුම් ගැනීමෙන්, අනුකම්පාවෙන් සහ සාමයෙන් පිරුනු ආදරෙන්.

    අප සියල්ලන් කෙදින හෝ මියෙන වග දන්නා අප විසින්
    ඉතාම දැඩි හදවතත් මෘදු බව වෙතට කැඳවිය යුතු නොවේද?
    අනෙකා වෙනුවෙන් අප ජීවිතේ දන්නා
    උපරිම කාරුණිකබවෙන් සංග‍්‍රහ කළ යුතු නොවේද?

    ගොතේගේ පළමු පොතේ රොමාන්තිකබවට වශී වුනු පිරිස මේ පරිණත පණිවුඩය බාරගන්න ටිකක් පරක්කු වෙනවා. ගොතේ රොමාන්තික පේ‍්‍රමයට පිටුපානවද? කෝ එයා කලින් දැනවූ අනුරාගී බව? ඒ ගොල්ලො ඉෆිජීනියා දැක්කෙ අලූපාට දුමාරයක් විදිහට.

    ගොතේ මේ වෙද්දි හිටියෙ මැදිවයසෙ. ඒ හින්ද මේ ප‍්‍රතික්‍ෂේප වීම් වලින් එයා සැලූනෙ නෑ. එයාට වර්දර්ගේ මනසෙ ජීවත්වෙලා ඇතිවෙලා තිබුනෙ. එයා කියනවා, රොමාන්තික පේ‍්‍රමය කියන්නෙ රෝගයක් කියල. සම්භාව්‍ය පේ‍්‍රමය නිරෝගී මිනිස් සම්බන්ධතාවයක්.
    ඒත් අපි රොමාන්තික පේ‍්‍රමයේ ඉඳන් අවබෝධාත්මක පේ‍්‍රමයක් දක්වා පරිණත වෙන්න ලෑස්තිද?

    තව කොටසක් ඊළගට.