තනිකමට ඉඩ දෙන්න

තනිකම කියන්නෙ හරි පුදුම දෙයක්. ඒ කියන්නෙ බොන්න යාලූවෙක් නැතිකම, කතා කරන්න කෙනෙක් නැතිකම, ගැවසෙන්න පිරිසක් නැතිකම වගේ දෙයක් නෙමෙයි. ඒක මතුපිට තනිකමක්. ස්පේස් එක ෂෙයාර් කරගැනීමේ ෆිසිකල් තනිකමක්.  ඒත් තමන් කියන දේ ඇහෙන කෙනෙක් නැතිකම කියන්නෙ වෙන දෙයක්. කවුරු කොහොම ළ`ග හිටියත් කතා කරන එකේ තේරුමක් නෑ කියල දැනෙන විදිහක්. වෙන කෙනෙකුට උදව්වට එන්න බැරි වෙලාවක්. කොයිතරම් සාවධාන වුනත් අපිට දැනෙන හැගීම සින්ක් වෙන්නෙ නැති මොහොතක්. අපි සමස්ත ටෙම්පො එකෙන් එලියෙ. මිනිස් නෙට්වර්ක් එකෙන් අපේ සම්බන්දෙ ගිලිහිලා හෝ බාධාවෙලා හෝ තියෙන අමුතු අත්දැකීමක්. අපිව පෘතුවියෙන් ගැලවිලා අභ්යවකාශෙට විසිවෙලා යන හැගීමක්. අපිට ලේසියෙන්ම පුළුවන් ආපහු අල්ලගන්න දරන උත්සාහයක් ඇතුලෙ විඩාපත් වෙන්න. ඩිප්රෙෂන් එකකට තල්ලූ වෙන්න. අපේ ගැලවී යාම හිරගෙයක්, ගුලක් කරගන්න. ඊට ප්රතිවිරුද්දව අනෙක් පැත්තෙන් අපිට පුළුවන් ඒ දිහා බලන් ඉන්න. කණස්සල්ලක් නැතුව. මොකද ඒ තනිකම කියන්නෙ අපිට අපිව විතරක්ම මුනගැහෙන මොහොත. අපි අපේ ඇතුලට යන්න නියමිත මොහොත. එතනදි අපිට අපිව කොයිතරම් ප්රමානවත්ද කියන එක බලපානවා. 
අපිට අපි එක්ක ඉන්න පුළුවන් වෙන්න   ඕන. ආපහු ගුරුත්ව තරංගවලට සමපාත වෙනකල්. පොලොවක් මුනගැහෙනකල් අපි අපේ අභ්යන්තර විශ්වයේ සෞන්දර්යය අත්විඳින්න   ඕන. 
 
තනිකම කියන්නෙ නිදහස. ඒක එක විදිහකට රැුුඩිකල් නිදහසක්. කොන්දේසි විරහිත නිදහසක්. ජීවිතේ කිසිම දෙයක් කිසිම දෙයක් වෙනුවෙන් කැප නොකරන නිදහසක්. අනෙක් අතට අපිට   ඕන නම් ජීවිතේ හැමදෙයක්ම අපි කැමති දෙයක් වෙනුවෙන් කැප කරන්න පුළුවන් නිදහසක්. මේ කොන්දේසි විරහිත තනිකම ඇතුලෙ වැදගත්ම දේ වෙන්නෙ අපි මරණයෙන් ඔබ්බට යන එක. මරණය බයක් දුකක් වෙන්නෙ ඒක ඇතුලෙ දැනෙන තනිකමත් එක්ක. කලින්ම හුරුපුරුදු තනිකමට මරණය වේදනාවක් නෙමෙයි. ඒක නින්දක් විතරයි. 
වෙනදට වඩා ඉර එලිය ලස්සනයි. වෙනදට වඩා කෝපි එක තිත්තයි. වෙනදට වඩා සිංදු  සංවේදීයි. වෙනදට වඩා ලෝකෙ ඞීටේල් මාරයි. සාමූහික ජීවිතය ඇතුලෙ මගඇරුනු හැම ලස්සනක්ම තනිකම ඇතුලෙන් එකපාරට ඇතුලට කඩා වදිනවා. වෙනදට වඩා පොත් එක්ක ෆිල්ම් එක්ක ඩොකියුමෙන්ටරි එක්ක ගතවෙන්න ආස හිතෙනවා. ඒ අතර වැස්සත් එලියෙ වහිනවා නම් සෞන්දර්ය අසීමිත වෙනවා.
 
එතකොට ආදරය..  මිස් වෙනවද?
 
තනිකම එබිකම් කරන හැමවෙලාවකම අපිට වැඩියෙන්ම මතක් වෙන්නෙ ආදරය. ඒකට හේතුව වෙන්නෙම අපි ආදරය හොයන්නෙ තනිකමෙන් ගැලවෙන්න හින්දයි. ඒත් ඒක තමයි වෙන්න තියෙන නරකම දේ. තනිකමේ ඉඳිද්දි ආදරෙන් හැංගෙන එක. එතකොට අපි අනිකාව පුළුවන් තරම් හයියෙන් අල්ලගන්නවා. හුස්ම ගන්නවත් බැරි තරම් තදට. අනෙකාගෙ මුලූ ලෝකෙම අපේ ඇතුලට ගන්න හදනවා. තනිකමක් ඉතුරු නොවෙන තරම් ලොකුවට. අපි නොදැනුවත්වම අපේත් අනෙකාගේත් පුද්ගලික මොහොත අතුරුදන් කරනවා. ඒක ආදරය නෙමෙයි. ඒ වෙනුවට බියපත් රෝගයක්.
 
ඒ වෙනුවට තනිකම අපි අපි ගැන ආදරෙන් වෙළෙන කාලයක් කරන්න පුළුවන්. අපි ගැන හිතන, අපි ගැනම පුදුම වෙන, අපේ හයිය වගේම දුර්වලකම දකින, අපිට අපිව කම්මැලි නැති කාලයක්. වෙන විදිහකට කිව්වොත් අපි ඇතුලෙම අපි සම්පූර්ණ වෙන කාලයක්. අපිට අපිව මගඅරින්න උවමනා නැති තෘප්තිමත් මොහොතක අපිට පුළුවන් අනෙකාට ආදරය කරන්න. අපේ තනිකමෙන් ගැලවීම වෙනුවට අනෙකාගේ සැබෑ සුන්දරත්වයට ආදරෙන් බැෙක්‍ෂන්න. අනෙකාව අහන් ඉන්න. අනෙකා දිහා බලන් ඉන්න.
 
ඒ කොහොම කිව්වත් තනිකම අපිව බයට පත් කරනවා. මරණය වගේම. කොයිතරම් කිව්වත් මරණය කියන්නෙ දොරටුවක් විතරයි කියල අපේ ශරීරය මූලික මනසට බෑ ඒක තේරුම් ගන්න. අපි බලන්නෙ දොරටුව පුළුවන් තරම් මග අරින්න. තනිකමත් ඒ වගේමයි. ඒක අපිට මුනගැහෙන්නෙම සෞන්දර්යයක් විදිහට නෙමෙයි. අඳුරක් බයක් රෝගයක් විදිහට. 
 
හැම සම්බන්දයක් ඇතුලෙම අපි ගොඩක් වෙලාවට දකින්නෙ තනිකමෙන් ගැලවෙන්න කරන අරගලය. තමන් පවතිනවා කියල එලියෙන් නිශ්චය කරන සාධනය. පුළුවන් තරම් කල්ලිගත වෙන්න, ජාති ආගම්වලට අයිති වෙන්න කරන දාංගලය.
හෙන්රි මිලර් කියනවා ආර්ටිස්ට් කෙනෙක් නම් හැමතිස්සෙම තනියි. මොකද ආර්ටිස්ට් කෙනෙකුට   ඕනම දේ වෙන්නෙ තනිකම කියල.
 
ෆ්රාන්ස් කෆ්කා කියනවා මගේ යාලූවො මත්වීමත් එක්ක ගොඩක් මිතුරුයි. ඒ ගොල්ලො තනිකම මගඅරින්න විවිද මත්වීම් පාවිච්චි කරනවා. ඒත් මං කැමති නෑ කිසි දෙයක් වෙනුවෙන් මගේ තනිකම අත්අරින්න කියල. 
 
සිංහලෙන් පරිවර්තනය කරන්න බැරි කතාවක්   ඕෂො කියනවා. එයා කියන විදිහට ලෝන්ලිනස් කියන එකයි අලෝන්නස් කියන එකයි දෙකක්. ඩික්ෂනරියෙ තියෙන විදිහට ඒවා සමාන පද වුනත් ඒ තේරුම සම්පූර්ණයෙන් වෙනස්. ලෝන්ලිනස් කියන්නෙ අපිට නිතරම අනෙකා අපි සමග නැති වග හැගෙන මොහොතක්. ඒත් අලෝන්නස් කියන්නෙ අපි අපි ඇතුලෙම තෘප්තිමත් කියල දැනෙන මොහොතක්. ලෝන්ලිනස් එක ඇතුලෙ අපි යම් කිසි දෙයක් පිටතින් ඉල්ලමින් යදිනවා. ඒත් අලෝන්නස් කියන්නෙ ගැඹුරු තෘප්තියක භාවනාවක්. එලියෙන් හොයන්න කිසි දෙයක් නැතුව අපි අපි ඇතුලෙම උත්සව පවත්වන මොහොතක්. 
 
මං අන්තිමට රූමිගේ කතාවක් එක්ක තනිකමට ඉඩදෙනවා.
”ජීවිතේට වඩා වටින තනිකමක් තියෙනවා. ලෝකයට වඩා වටින නිදහසක් තියෙනවා. කෙනෙක් දෙවියන් සමග තනිවන මොහොත ජීවිතයටයි ලෝකයටයි වඩා අනන්තයක් වටිනවා..”
රූමි මෙතන දෙවියන් කියන්නෙ කාටද කියන එක තේරුම් ගැනීම තනි තනි හිත්වලට බාරයි.


චින්තන ධර්මදාස

Comments

4 responses to “තනිකමට ඉඩ දෙන්න”

  1. Unknown Avatar
    Unknown

    තිබ්බා,
    තියෙන්න ඕනේ ඔක්කොම ❤️

  2. chavindu weerakoon Avatar
    chavindu weerakoon

    ඒක මරු 😍

  3. Chathuka Madushanka Avatar
    Chathuka Madushanka

    මේ දවස් වල ,cosmos බලනවා වැඩිද මන්දා..😂 කොහොම හරි කැරකිලා අභ්‍යාවකාශ ගත වෙනවා

  4. api thopi Avatar
    api thopi

    එක මරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *