Category: Cult

  • කතා නැති සිනමාව.

    කතා නැති සිනමාව.

    උදයාගෙ ෆිල්ම් එක ගතෙ (ජර්මන් සංස්කෘතික කේන්ද්‍රය) එකේ පෙන්නපු දවස.  තාම එලියට දාගන්න බැරි වෙච්ච චිත‍්‍රපටි එතන පෙන්නන එක සාධනීය වැඩක් වුණත් ඒ සාකච්ඡාව චිත‍්‍රපටි පැත්තෙන් වැඩදායී ඵලදායී  තැනකට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. අලූත් කෘතියක් රස විඳීමේ හා සාකච්ඡුාවේ විනයක් ඇති පිරිසක් විතරක් නෙමෙයි එතනට එකතු වෙන්නෙ. ඒ නිසා ඒ ඉඩකඩ ප‍්‍රදර්ශනය වෙන කෘතිය පැත්තෙන් හානිකර තැනක් දක්වා වුණත් යන්න ඉඩ තියෙනවා.

    ඒත් උදයාගෙ ෆිල්ම් එකට එහෙම වුණේ නෑ. එදා සාකච්ඡුාවට මං මුල් වතාවට දැනඅුනගත්තු අලූත් විචාරකයෙක් එකතු වුණා. එරංග මහගමගෙ. ෆිල්ම් එක ගැන එයා අමුතු අදහසක් පළ කලා.

    ‘මේ චිත‍්‍රපටය කතාව කියන්න බැඳී සිටීම ඇතුලෙ අසාර්ථක වෙලා තියෙනවා…’ වගේ අදහසක් ඒක. ලංකාවෙ හරිහමන් විදිහට තමන්ට උවමනා කරන කතාව කියාගන්න බැරි වීම ඇතුලෙ බිහිවෙන ඇබ්ස්ට‍්‍රෑක්ට්, ඇබ්සර්ඞ් වැඩ  ඕන තරම් දැකලා තියෙන නිසාම මං කතාව කීමේ වැදගත්කම වෙනුවෙන් පෙනී හිටියා. ඒත් එරංග එයාගෙ අදහස් මතු කළේ අලූත් සිනමා දාර්ශනිකයෙක්ව පදනම් කරගෙන. ජාක් රන්සියර් කියන ප‍්‍රංශ දාර්ශනිකයාගේ සිනමාව ගැන අදහස් පෙළක් ඇසුරෙන් එයා උදයාගෙ චිත‍්‍රපටිය කියවන්න උත්සාහ කළා. විය යුතු පරිද්දෙන්ම ඉතා කෙටි සංවාදයක් ඇතුලෙ විශාල පරාසයක් විවෘත කිරීම නිසා එරංගගේ අදහස වැඩෙන්න වෙලාව තිබුනෙ නෑ. ඒත් ජාක් රන්සියර්ගෙ සිනමා සිතීම ගැන හොයන්න කියවන්න දොරටුවක් ඇරපු එක වෙනුවෙන් එරංගට ස්තුතිවන්ත වෙන්න  ඕන.

    මං ජාක් රන්සියර් ගැන කියවන්න පටන් ගත්තා. රන්සියර් ගේ සිනමාව ගැන අදහස් පදනම් වෙන්නෙ එයාගෙ මුල් බැසගත්තු මාක්ස්වාදය ඇතුලෙමයි. උදා විදිහට රන්සියර්ගෙ සිනමා/කලා විචාරයෙ මූලික බෙදීම් සළකුනු වෙන්නෙ කලාව සහ ශ‍්‍රමය කියන දෙකේ විකාශනය උඩ. අල්තූසර්ගෙන් කැඩිලා ආපු කෙනෙක් විදිහට ඒකෙන් ගැලවෙන්න අමාරුයි.

    ජාක් රන්සියර් කලාව අවධි තුනකට බෙදා වෙන් කර ගන්නවා. එකක් එතිකල් රෙජීම් (ආචාර ධර්මීය ආධිපත්‍යය) කියන අවධිය. ඒ කියන්නෙ කලාව අනිත්  ඕනම නිෂ්පාදනයක් වගේම උපයෝගිතා වටිනාකමට පමණක් සීමා වුණු අවධිය. ඊට වඩා තේරුමක් කලාවට තිබුනෙ නෑ. කලාත්මක ශ‍්‍රමයට විශේෂ වටිනාකමක් තිබුනෙ නෑ. උදා විදිහට බාල්දියක් හදන එකෙයි චිත‍්‍රයක් අඳින එකෙයි වෙනසක් කියවුනේ නෑ.
    ඊට පස්සෙ රෙප්රසන්ටේටිව් රෙජීම් (නියෝජන ආධිපත්‍යය) කියන අවධිය. නූතනවාදී යුගය ආසන්නයේ පවතින මේ කලාව යම් කිසි පිටත පවතින යතාර්ථයක් ඒ ආකාරයෙන්ම නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙනවා. පිටත යතාර්ථය ඉක්මවා වැඩෙන්න කලාවට හැකියාවක් ලැබෙන්නෙ නෑ. යතාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමේ දක්ෂතාවය උඩ කලාවේ වටිනාකම කියවෙනවා.

    ඊළ`ගට එන ඊස්තටික් රෙජීම් නැත්තං සෞන්දර්ය රෙජීමය තමයි වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීම මොහොත විදිහට රන්සියර් දකින්නෙ. එතනදි කලාව යතාර්තය නියෝජනය කිරීමෙන් ගැලවෙනවා. පිකාසොගෙ කියුබිස්ම් එහෙම අයිති වෙන්නෙ මේ ප‍්‍රවර්ගයට. සිනමාව කියන්නෙ සෞන්දර්ය රෙජීමය තුලදීම බිහිවුණු සුවිශේෂ ශක්‍යතාවයක් ඇති මාධ්‍යයක් විදිහටයි ජාක් රන්සියර් දකින්නෙ. ප්ලේටෝගේ සහ ඇරිස්ටෝටල්ගේ කලාව පිළිබඳ නිශ්චිත රාමු, සීමා බිඳගෙන කලාව එයටම අනන්‍ය වූ යතාර්ථයන් විශ්වයන් ගොඩනගමින් වර්ධනය වෙනවා.

    එරංග එදා ප‍්‍රශ්න කරන්නෙ ඒ වගේ මාධ්‍යයක් ඇතුලෙත් අපි නැවත යතාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහයකට යට වෙනවද කියල. ඒත් මට හිතෙන්නෙ එදා එරංග ඒ ප‍්‍රශ්නෙ අහන්නෙ පළල් තේරුම් ගැනීමක් ඇතුව නෙමෙයි.

    ජාක් රන්සියර්ගෙ සිනමාව ගැන වටහා ගැනීමට ගොඩක් පාදක වෙන්නෙ ඒ අවධියෙ නැගී ආපු සිනෙෆීලියා මූව්මන්ට් එක. ප‍්‍රංශ දේශපාලන පෙරලියත් එක්ක නැගුනු මේ රැුල්ල නිසා කලාව නැවත අර්ත නිරූපණය වුණා. ඒක සංස්කෘතික අධිකාරීන් සහ බලයන් අවුල් වුණු මොහොතක්. ඒ හරහා කලාව ගැන හිතන ලියන විදිහෙ අධිපතිවාදී කතිකාවන් වෙනස් වෙන්න ගත්තා.

    සිනෙෆීලියාව කියන්නෙ සිනමාවට ආදරය කරන ආධුනිකයන්ගෙන් හැදිච්ච ව්‍යාපාරයක්. ඒ අය අතින් සාම්ප‍්‍රදායිකව කලාව ගැන ඇති කරගෙන සිටි උසස් පහත්, ජනප‍්‍රිය, සම්භාව්‍ය භේදයන් බිඳුනා. ඔවුන්ට අනුව යුරෝපීය නව රැුල්ල හෝ හොලිවුඞ් ස්ටුඩියෝ නිෂ්පාදන අතර උස් පහත් භේදයක් සළකුණු වෙන්නෙ නෑ.
    සිනමාව කලාවක් බවට පෙරලූනේ ඒකට ආදරය කරපු සාමාන්‍ය මිනිස්සු අතින් මිස ඇකඩමික් බුද්දිමතුන් අතින් නෙමෙයි.

    සිනමාවේ මතුපිට කෘතිම පාර්ශ්වය හෝ කතාවේ අභ්‍යන්තර නාට්‍යමය ගොඩනැංවීම් ගැන වෙනුවට ප්ලොට් එකේ, රූපයේ සහ ශබ්දයේ අන්තර් සම්බන්ධය වගේම සිනමාව තුල මුනගැහෙන දන්නා හඳුනන ලෝකය සහ ෆැන්ටසිය අතරට ඒ අය අවධානය යොමු කළා. ඒක සිනමාවෙ පිළිගත් ප‍්‍රතිවිරෝධයන් හරහා කියවීමක් වෙනුවට ඒ සියල්ල එක්ව පැවැත්මක් හැටියට කියවීමේ උත්සාහයක්.

    සිනමාවට අත්‍යාවශ්‍ය අශුද්ධභාවය සිනෙෆිල්ස්ලා තේරුම් ගත්තා. ඒක සියල්ලෙහි මුහුවීමක්. චලනයක්. වෙනස්වීමේ රිද්මයන් ගැන අත්දැකීමක්. සිනෙෆිල් කෙනෙක් සිනමාවෙ දකින්නෙ චලන රූපයේ ඇති වෙනස්වීමේ බලය, එක විට ලෝක කීපයක්, භූමිකා කීපයක් නිරූපණය කිරීමේ හැකියාව, එක විශ්වයකින් අනෙක් විශ්වයට නිරන්තරයෙන් වෙනස් වෙන අතරෙ ඒ විශ්වයන් සියල්ල එකක් තුල පවතිනවා වගේ නිරූපණය කරන්න තියෙන හැකියාව වගේ දේවල්. කෘතිය ඇතුලෙ සිද්ද වෙන අන්තර්ක‍්‍රියාවන්ගෙන් සිනමාව කියවනවා මිස ස්ථිතික, සාම්ප‍්‍රදායික කෘතියෙන් පිටත සත්‍යයන් සිනමාවට අදාල කරගන්නෙ නෑ.
    ඒක හරියටම වචන අතර කියවීමක් වගේ.  තේරුම් ගැනීම ඉක්මවා සමස්තයක් ලෙස අවබෝධයකට, ඒකත්වයකට යාමක්.

    රන්සියර් සිනමාව ඉදිරියෙදි නිතර තමන් ගැන හිතන්නෙ ආධුනිකයෙක් විදිහට. ඒකෙන් එයාට පුළුවන් වෙනවා තමන් විසින්ම පනවා ගත්, ඇතැම විට නොදැනුවත්වම බලපෑ හැකි, අධිකාරීන්ගේ (න්‍යාය) සීමාවන් වලින් මිදිලා චිත‍්‍රපටිය දිහා බලන්න. සිනමාව හැමෝටම අයිතියි. හැමෝම නරඹන වාරයක් වාරයක් පාසා සිනමාවට අලූත් අර්තයන් දෙනවා. සිනමාව කවදාවත් මුලූමනින්ම ග‍්‍රහණය කරන්න බෑ. ඒක විඳින්න විතරයි පුළුවන්.

    ගොඩාර්ඞ් කියනවා සිනමාව කලාවක් නෙමෙයි ඒක මිස්ට්රි එකක්, අබිරහසක් කියල. අපේ ඇස් ඉස්සරහ පේන රූපය හරහා අපි අපේ පුද්ගලික මතක වේදිකාවන්ට ගොඩවෙනවා. මේ පැවතුම් වලට තේරුම් දෙන එක, සිනමාව හරහා අපේ අත්දැකීම් වලට පාර හදන එක, සිනමාවේ සියලූ සීමාවන් අලූත් කරමින් නැවත අපට ග‍්‍රහනය වන ලෝකයන් නිර්මානය කරන එක අපිට අයිති වැඩක්. සිනමාව අර්ත ගැන්වෙන්නෙ ඒක ගැන කියන සහ හිතන දේවල් වලින්. ඒක නිසයි සිනමාව පිළිබඳ කතිකාවන් අතිශය වැදගත් කියල රන්සියර් දකින්නෙ. සිනමාව ඇතුලෙ අපි දකින විඳින ලෝකය හරහා අපි අපේ සිනමාවක් ලියනවා. රන්සියර් කියන්නෙ මේ පේ‍්‍රක්‍ෂක සහභාගිත්වය නැත්තං ශ‍්‍රමය සෞන්දර්ය රෙජීමයට අවශ්‍යමයි කියල. ඒ පේ‍්‍රක්‍ෂකයා අතින් තමයි නැවත නැවත අර්ත කතනය වෙමින් වෙනස් වෙනස් සිනමාවන් නිර්මානය වෙන්නෙ.

    මේ කාව්‍යමය ශ‍්‍රමය පරිවර්තනය හා ප‍්‍රතිවර්තනය අතරෙ, එකගවීම් සහ නොවීම් අතරෙ, (හරියට ජෝසෆ් ජැකොටොට් කියනවා වගේ අපි දෙයක් ඉගෙන ගන්නවා ඊට පස්සෙ අනිත් හැමදේම ඒකට සම්බන්ද කරනවා) ගැටුම් ඇතිකරමින් නව අර්ත නිෂ්පාදනය කරනවා. රන්සියර්ට අනුව මේක තමයි බුද්ධිමය අවබෝධයට පත්වීම. නිරන්තරයෙන් ඒක ඇක්ටිව් පැසිව් අතර, දකින දේ සහ යතාර්තය අතර, පේන දේ සහ දැනෙන දේ අතර ගැටුමක් හදනවා. මේක සිනමාවට වඩාත් අවශ්‍යයි ඒක සම්මත භාෂාවක් නොවෙන නිසා. භාෂාවක නිශ්චිත රාමුවලින් පිට පවතින නිසා. ඒක අනිවාර්යෙන්ම අවබෝධය ඉල්ලා සිටිනවා. බලා ඉන්නවා කියන්නෙම එතනදි සක‍්‍රීය සහභාගිත්වයක්.

    සෞන්දර්ය තේරුම් ගන්න  ඕන ආර්ට් එකක තාක්‍ෂණික කරනා වලින් කලාත්මක හා දේශපාලනික කාරණා වෙන් කර ගනිමින් නෙමෙයි. ඒ වෙනුවට අපි ලෝකය කියල තේරුම් අරන් ඉන්න දේට පටහැණි වෙමින් මැදිහත් වෙන අත්දැකීමක් විදිහටයි. සාමාන්‍ය කියල තේරුම් අරන් හිටපු දේට සිදුවන බාධා කිරීම, දකින දේ සහ විඳින දේ අතර සාමාන්‍ය පුරුදු රටාවට බාධා කිරීම තමයි රන්සියර් ‘ඩිසෙන්සස්’ කියන්නෙ. මේකෙන් ඇරිස්ටෝටලියානු නියෝජන මොඩල් එක කඩා බිඳ වැටෙනවා.

    කලා කෘතියක් ඒකෙ අනුරූප බවෙන් කියවන්න බැරි තැනකට යනවා. ඒකට පිටස්තරව පවතින ලෝකයකින් ඒක අර්ත ගන්වන්න බෑ. තේරුම්, හේතුඵල සම්බන්ධතා වලින් තේරුම් කරන්න බෑ. ලෝකයේ දේවල් නියෝජනය කිරීමේ තාර්කික බව සිනමාවෙන් බිඳී යනවා. කලාව ජීවිතය එක්ක මුහුවෙද්දි දේශපාලනය හා සෞන්දර්ය න්‍යායන් ආචාර ධර්ම ඇතුලෙ ගිලී යනවා. සෞන්දර්ය කි‍්‍රයාව එයම මාධ්‍යයක් කරගෙන ශූද්ධ විඳීමක් අත්පත් කර ගන්නවා. රන්සියර් යෝජනා කරන්නෙ සිනමා රූපය එහි ඇති උපරිම රූපකමය හැකියාවෙන් පාවිච්චි කරන්න කියල. ඒක තාර්කික සම්බන්ධතා ඇතුලෙ හිර කරන්න එපා කියල.

    නූතන සිනමාකරුවො විදිහට ටකේෂි කිටානො, අබ්බාස් කිරොස්තාමි ආදීන්ගේ කෘති තුල මේ කියන ලක්ෂණ තියෙනවා. කෘතිම මතුපිට පෙනුම (කතාව- සිද්ධිය) සහ පැවැත්ම අතර පැල්ම හොයාගෙන යන ගමන. චලනයේ (ඇක්ෂන්) සහ භාවනාවේ (බලා සිටීමේ) කලාව. මේ අය අභියෝග කරනවා ඇහෙන දකින දේ නැවත නිරූපනය කරන අධිපති සිනමා කතිකාවට. රන්සියර් සිනමාව යලි යලිත් ඉන්වෙන්ට් කරන්න (සොයාගන්න) තියෙන හැකියාව වෙනුවෙන් පෙනී ඉන්නවා. සියලූ එකගතාවයන්ට එරෙහිව යන්න තියෙන හැකියාව වෙනුවෙන් කතා කරනවා.
    සිනමාව තවදුරටත් පවතිනවා.

    එතකොට අපි සිද්ධිවාචක ගලපමින් ඇත්ත විදිහට කරන්න යන සිනමාව රන්සියර්ට අනුව පැරණි යුගයකට අයිති එකක්. ඒ වෙනුවට විවිධ ලක්ෂණ මුහු කරගනිමින්, පසුබිම් නිර්මාණය කරමින් සිනමාවට අදාල යතාර්ථයන්, විශ්වයන් ගොඩනැංවීම හරහා අලූත් සෞන්දර්ය දේශපාලනයක් පටන් ගන්න පුළුවන් කියන එකයි රන්සියර්ගෙ තර්කය. මතුපිට කතාව යටින් දිවෙන වෙනත් තේරුම් නෙමෙයි, සමස්තයම නිශ්චිත පිළිගත් සම්බන්ධතා වලින් පිටත පිහිටුවීමක් ගැනයි එයාගෙ අදහස. චරිත ඒවායේ අරමුණු අතර දෝලනය වෙමින් අතාර්කික පැවැත්මක් විඳිනවා. අපිට තවදුරටත් වැදගත් වෙන්නෙ ක‍්‍රියාව හෝ සිද්ධිය නෙමෙයි. එතන පැවැත්මයි.

    සිනමාව ගැන සියලූ සීමාවන්, අර්ත ගැන්වීම් වලින් ඔබ්බෙහි දේවල් හොයාගෙන යන්න රන්සියර් කතා කරනවා. වාර්තාමය හෝ ප‍්‍රබන්ධමය යනුවෙන් වත්, දේශපාලන හෝ ශුද්ධ යනුවෙන්වත් සිනමාව හෝ සිනමාව නොවන කලාපයන් යනුවෙන්වත් බෙදීමක් රහිත අලූත් නිර්මාණාත්මක සම්බන්ධතා රටාවන් සොයා යාමක් යෝජනා කරනවා.

    ජාක් රන්සියර්ගේ අදහස් ගැඹුරුයි. දාර්ශනිකයි. ඒත් සිනමාකරුවෙක් නොවීම නිසාමත්, දාර්ශනිකයෙක් වීම නිසාමත් එයා නැවත නැවතත් න්‍යායන් සහ මතවාදයන් අතරෙ පැටලෙනවා කියලයි මට හිතෙන්නෙ. රන්සියර්ට  ඕන වෙන්නෙ දර්ශනය ඇතුලෙම සිනමාව නිදහස් කර ගැනීමේ අරගලය කරන්න. ඒක ටිකක් අමාරු වෙන්නෙ දාර්ශනික කතිකාව ඇතුලෙ තියෙන සීමාවන් ජයගන්න එයාට භාෂාව ඇතුලෙ බැරි වෙන හින්ද. කොටින්ම සිනමාව ඇතුලෙ බොඳ කර හරින සීමාවන් තර්ක ඇතුලෙ බොඳ කරන්න බැරි වෙනවා.
    ඒත් ජාක් රන්සියර් නැවත හිතන්න හොඳ දොරටුවක්. ජිම් ජාර්මුෂ් තැනක කියනවා ජීවිතේට ප්ලොට් එකක් නැත්තං ෆිල්ම් වලට ප්ලොට් මොකටද කියල. ඒත් සිනමාකරුවෙකුට දාර්ශනිකව හිතාමතා මේ වෙනස කරන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නයක්. අනිත් අතට  ඕනම යතාර්ථවාදී කියන කෘතියක අධියතාර්ථවාදී නිමේෂයන් සළකුනු කරන්නත් ඒ හරහා දහසකුත් අංශුමාත‍්‍ර චූල කතිකාවන් මතු කරන්නත් පේ‍්‍රක්‍ෂකයාට පුළුවන්.

    කතාව අහෝසි කරනවා වෙනුවට කතාව සහ නො-කතාව අතර දෝලනය වෙන විශාල අත්දැකීම් පරාසයක් සිනමාවට ගේන්න පුළුවන් කියලයි මගේ අදහස.


    චින්තන ධර්මදාස

  • කෝලං නටන්න එනවද?

    කෝලං නටන්න එනවද?

    චන්දෙ ඉවරයි. ප‍්‍රතිඵලය කලින් හැමෝම දැනගෙන හිටපු එකට වඩා වෙනසක් වුණෙ නෑ. රනිල් හතරවෙනි වතාවටත් අගමැති වුණා. මං හිතන්නෙ ලංකාවෙ ඉවසීම ගැන ගන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නෙ රනිල්.

    මහින්ද පරාද වුණා. ඒත් විපක්ෂ මන්ත‍්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තු එනවා කියල එයා කියනවා. දේශපාලනිකව කොයිතරම් විරුද්ද වුණත් අවුරුදු හැත්තෑවක් වෙලත් මහින්දගෙ සටන්කාමීත්වය මං අගය කරනවා. ජාතිය බේරා ගත් විශ‍්‍රාමික නායකයා විදිහට විවේක සුවයෙන් ඉන්න එක වෙනුවට මෝඩ විදිහට වුණත් ඇෙ`ග් හයියෙන් ගහගන්න එන එක ඇල්ෆා මේල් ලක්ෂණයක්. දැන් ඒක වඳවෙලා යන ජානයක්.

    ලංකාවෙ චන්දෙ දාන එක මේ තරම් ආශ්චර්යමත් දෙයක් කළේ මැකො. ඊට කලින් ඒක බල්ලට ගිහින් තිබුණෙ. ඒක පුරවැසි වගකීමක්, ජනතා සහභාගිත්වයක්, සාමූහික විනයක් කියන තැනට ඔසවා තැබීම වෙනුවෙන් මහින්ද දේශප‍්‍රියට සිවිල් සමාජයේ ගෞරවය හිමිවෙන්න  ඕන. ඡුන්දෙට කලින් දවසෙ ටීවී නාලිකාවක මැකො ලස්සන කතාවක් කිව්වා. මං මැතිවරණයක් ගැන අහලා තියෙන හොඳම කතාව ඒක.
    ‘මේ දවස ජාතික උත්සවයක් විදිහට සාමූහිකව විඳින්න…’

    ඇත්තටම අලූත් අවුරුද්ද වගේ සාම්ප‍්‍රදායික උත්සව වෙනුවට මැතිවරණයක් වගේ දෙයක් ඒ තරම් වැදගත්කමෙන් සලකන දියුණු පුරවැසි සමාජයක් වෙනුවෙන් කරපු ඉල්ලීමක් ඒක. මෙච්චර කාලයක් ආතතිය හැදිලා ද`ගලන දුර්වල රාජ්‍ය සේවකයෙකුගෙ භූමිකාව වුණු මැකො චරිතය මහින්ද දේශප‍්‍රිය වෙනස් කළා. ඒක ලංකාවෙ දේශපාලන විනයෙ හැරවුම් ලක්ෂය බවට පත් කළා. මේ ඡුන්දය මේ තරම් සුන්දර කළේත් ගෞරවනීය කළේත් මේ එකපාර කොහෙන් ප‍්‍රාදූර්භූත වුනාදැයි හිතාගන්න බැරි අයෝමය මැකො.

    චන්දෙ ඔන්න මෙන්න තියෙද්දි ‘ඩෙනිස්’ එයාගෙ ‘කෝලම’ පෙන්නුවා. මේකෙ පිටපතක් කලින්ම මට කියවන්න දුන්නත් ඒ වෙලාවෙ මං ඩෙනිස්ට කිව්වෙ ඒක හරියන එකක් නෑ කියල. ඒත් ඇත්තට ඒක දැක්කම ඇෙ`ග් මයිල් කෙලින් වෙන අත්දැකීමක් වුණා. ගෝඨයිම්බර කෝලම කියන්නෙ සරච්චන්ද්‍රට පස්සෙ ලංකාවෙ නාට්‍යවල සිද්ද වුණු වැදගත්ම පර්යේෂණය වෙන්න පුළුවන්.

    ටිකක් හිතුවක්කාර විදිහට කියනවා නම් සරච්චන්ද්‍රට වඩා ඩෙනිස් කරපු වැඬේ වැදගත්. (සරච්චන්ද්‍රගෙ දැනුම සහ නිර්මාණශීලීත්වය අවතක්සේරු කරනවා නොව, මෙතනට සාපේක්ෂ කිරා බැලීමක් පමණි) එකපාරටම පිළිගන්න අමාරුයි වගේ හිතුණත් ටිකක් හිතලා බැලූවොත් සරච්චන්ද්‍ර කරන්නෙ ජන නාට්‍යයක් මධ්‍යම පංතියෙ වේදිකාව උඩට කොටු කරන එක. වේදිකාවෙ මිමි අනුව ඒක මාර වැඩක් විදිහට පේන්න පුළුවන් වුණත් එතනදි ජන නාට්‍යයේ තියෙන ශක්‍යතාවයන් ටික අහිමි වෙනවා. ඒ වෙනුවට දාර්ශනික, සාහිත්‍යමය අර්ථයන් උඩට එනවා. ඒත් ජන නාට්‍යයක් විදිහට එලිමහනෙ රගදැක්වෙද්දි ඒක බුද්ධිමය අත්දැකීමකට එහා ගැඹුරු මානසික සංවේදනයකට (ටි‍්‍රප් එකකට) යනවා. ඩෙනිස් එයාගෙ ඉන්ටවිව් එකකදි මේක හුගක් පැහැදිලිව කියනවා.

    ”මෙහිදී ශාන්තිකර්මයි, නාට්‍යයි මිශ‍්‍ර කරලා නාට්‍යයකුත් නොවන, ශාන්තිකර්මයකුත් නොවන නිර්මාණයක් බිහිකරන්න මම උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපි නාට්‍යවලට උකහා ගන්නේ ශාන්තිකර්මවල තිබෙන නාට්‍යමය ලක්ෂණ පමණයි. නමුත් මෙහිදී එම නාට්‍යමය ලක්ෂණත් සමගම, ශාන්තිකර්මවල තියෙන මනෝභ‍්‍රමික (Psychedelic) ලක්ෂණය භාවිතා කිරීමට උත්සාහ ගන්නවා. එහිදී නාට්‍ය කලාවේදී සාමාන්‍යයෙන් භාවිතා නොකරන පුනරුච්චාරණය කිරීම්, පුනරාවර්තනයන් විශාල වශයෙන් දායක කරගන්නවා. මෙම පුනරුච්චාරණයෙන් සහ පුනරාවර්තනයෙන් තමයි ඒ මනෝභ‍්‍රමික ලක්ෂණය උද්දීපනය වෙන්නේ. අනිත් කාරණය තමයි මෙහිදී නාට්‍යමය සිදුවීම් වෙන්නේ නාට්‍යයෙන් පිටත මිසක් ඇතුළේ නෙමෙයි. ඇතුළේදී වෙන්නේ ඒ දේවල් වාර්තා කිරීමක් පමණයි. මනෝභ‍්‍රමික ලක්ෂණය ඉස්මතු කිරීමට අවශ්‍ය නිසා නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ ටික මෙහිදී අතහැරලා තිබෙනවා”
    -ඩෙනිස් පෙරේරා (රාවය)

    ඩෙනිස් කරන්නෙ සරච්චන්ද්‍ර කරපු එකේ අනිත් පැත්ත. එයා වේදිකාව උඩ තියෙන නාට්‍යය ගිහින් කෝලමක් ඇතුලෙ පිහිටුවනවා. එලියෙ තියෙන පිස් පෝච්චිය ස්ටුඩියෝ එකක් ඇතුලෙදි කලා කෘතියක් වෙනවා වගේ පිට්ටනිවල තිබ්බ කෝලම වේදිකාව උඩදි සම්භාව්‍ය නාට්‍යයක් වෙනවා. එතකොට ඒක ආයිමත් ඒ කලා අවකාශෙන් එලියට අරන් ගියොත් මොකක් වෙයිද? ගෝටයිම්බර කෝලම ඇතුලෙ මං දකින නාට්‍ය කලාවෙ දේශපාලනික ප‍්‍රශ්න කිරීම ඒක. අජිත්, ඉසුරු සංගීතය ඇතුලෙ යෝජනා කරන නැවත ශබ්ද වලට (නොයිස්) යාම වගේම ඩෙනිස් වේදිකාවේ නැවත මූලාශ‍්‍ර කරා යාමක් යෝජනා කරනවා.

    කෝලම් පිටිපස්සෙ තියෙන මිත්‍යාව හරි ගැඹුරුයි. ඒක භාෂාවේ විද්‍යාවට වඩා ගැඹුරුයි. කෝලම මුලින්ම ඇති වෙන්නෙ දඹදිව අගරජු වුණු පිලියත් රජුගෙ බිසවට වැලඳුන දොලදුකක් හින්ද. එයාට කෑම අප්පිරිය වෙනවා. නැටුම් ගැයුම් දකින්න  ඕන වෙනවා. ගැබක් දරාගෙන ඉන්න මේ බිසව නොකා නොබී ඉන්න හැටි දකින රජතුමා ඊට වඩා කම්පා වෙනවා. මේ කම්පා වීම ගැන බයෙන් රජාගෙ සේසත උඩ වැඩවාසය කරන දේවතාවියක් මේක ශක‍්‍රයාට කියනවා.

    ”දෙවියනි, පිලියත් රජුගේ බිසව වෙස්මූණු දකින්නට කැමැත්තෙන් සිටී. දඹදිව එක නැට්ටුවෙකුටවත් ඒ ගැන අවබෝධයක් නැත. එහි ප‍්‍රතිඵලයක් ලෙස රජ්ජුරුවෝ කෑම නොගනී. මිය ගියාක් මෙන් සිටී…’’
    එතකොට ශක‍්‍රයා විශ්ව කර්මට කියනවා මේ කෝලම් වෙස්මූණු හදන්න කියල. එයා රජාගෙ උයනෙ ගහකින් මේ වෙස්මූණු කපලා කවි පොතත් එක්ක උයනෙ තියලා යනවා.

    උදේ මේක දකින උයන් පල්ලා යක්කු ඇවිත් නටලා ගිහින් කියල හිතනවා. ඒත් රජාට මේක තේරෙනවා. එයා වෙස්මූණු ටික නැට්ටුවන්ට අන්දලා බිරිඳට නැටුම් පෙන්නනවා.

    මේක තමයි කෝලමේ උපත. ඒ උත්පත්ති කතාවෙම තියනවා සාමාන්‍ය උයන්පල්ලා විසින් මේ වටහා ගන්නා හැටි සහ රජා විසින් මෙය වටහා ගන්නා හැටි කියන ආකාර දෙකම. ඒ වගේම වෙස්මූණු දකින්නට බිසවට එන දොළදුක කියන්නෙ ගැඹුරු අවිඥාණික ආමන්ත‍්‍රණයක්. කෝලම් පිටුපස ඇති සයිකඩෙලික් කොටස තියෙන්නෙ එතන. ඒ වගේම මේක අලූත් උත්පත්තියක මොහොතක්. ගර්භනී අවස්ථාවක්. අනිත් පැත්තට කෝලම කියන්නෙ අවිඥාණක ස්ත‍්‍රී ආශාවක් තෘප්තිමත් කිරීමක්.

    ගෝටයිම්බර කෝලම පෙන්නන්නෙත් චන්දෙට ඔන්න මෙන්න තියල. අලූත් ආණ්ඩුවක් බිහිවීම එලිපත්තෙ. එතනදි දේශපාලනික වෙස්මූණු දකින්න තියෙන ආසාව ඒකෙන් සංසිඳවනවා.

    ඩෙනිස්ගෙ ගෝටයිම්බර කෝලමේ මතවාදය සාම්ප‍්‍රදායික, ගතානුගතිකත්වයට එරෙහි එකක්. ඒත් ඒ විරුද්ද මතය පළ කරන්න එයා නැවත තෝර ගන්නෙත් සාම්ප‍්‍රදායික මෙවලමක්. සම්ප‍්‍රදාය තුලින්ම සම්ප‍්‍රදාය අලූත් කරන මතවාදයන් ගොඩනැගෙන්න පුළුවන්ද කියල ඩෙනිස් භාවිතාව ඇතුලෙ ප‍්‍රශ්න කරනවා.

    ”දේශපාලනිකව බැලූවොත් මේකෙ තියෙන්නේ මුල සොයාගෙන යාමේ අනික් පැත්ත. මුල හොයාගෙන යන එකට විරුද්ධ වෙන එකත් මේ වෙන කොට ජනප‍්‍රිය වැඩක්. මුලට විරුද්ධ විකල්ප මතවාදයත් දැන් ජනප‍්‍රියයි. මේ විදිහට මුල සහ විකල්ප කියන අන්ත දෙක අතහැරලා මේ ගැන හිතුවාම මේ භාවිතාවට එහිම වූ කාර්යභාරයක් තිබෙනවා. අනිත් පැත්තෙන් මුල සොයාගෙන යෑමට විරෝධයකුත් මේ තුළ තියෙනවා”
    ඩෙනිස් (රාවය)

    ශාන්තිකර්මයක් කියන අදහස නාට්‍යයක් කියන අදහසට වඩා විශාලයි. ඒකෙ මිත්‍යාව, විද්‍යාව, හාස්‍යය, දේශපාලනය සියල්ල එකට තැන්පත් කරන්න පුළුවන්. ඒක කාල- අවකාශ සීමා වලින් නිදහස් අධි යතාර්ථවාදී අත්දැකීමක්. අපි නාට්‍යගත වීම හරහා ජන කලාවන් ඇතුලෙ තිබුණු වඩාත් සරු කොටස අත්හැරගෙන වග ඩෙනිස් දකිනවා. නැවත ශාන්තිකර්මවල පවතින සමස්ත ගර්භය නාට්‍යමය අත්දැකීමක් විදිහට පාවිච්චි කරන්න බැරිද කියන එකයි ගෝටයිම්බර කෝලමේ පර්යේෂණය වෙන්නෙ.

    මතවාදිමය තලයෙන් ගත්තොත් පහුගිය අවුරුදු දහයක් පුරා ලංකාවෙ ජීවත් වුණු මෝඩ යටත්වැසියො සහ උන්ගෙ රජතුමාගෙ කතාව මේකෙ තියෙනවා. ඒත් එක වෙලාවක රටේ කාන්තාවන්ගේ ආශාව නිදහස් වීම හරහා (ලිංගිකත්වය) රජාගෙ බලය අභියෝගයට ලක්වෙනවා. රටේ ගෑණු ගිරි දිවයිනේ ඉන්න මහසෝනාගෙ බලපෑමට අහුවෙනවා. මේ ගෑණු බලය වැඩිවීමත් එක්ක පිරිමින්ගෙ පුරුෂ ලිංග හැලිලා යන්න පටන් ගන්නවා.
    මේ විදිහට ධනවාදය හා ආශාව හරහා ගතානුගතික පිරිමි නපුංසක කරමින් සාම්ප‍්‍රදායික පිරිමි දේශපාලනය පෙරලා දැමීමේ අරගලයක් සාකච්ඡුාවට එනවා.

    ඒත් මේ මතවාදිමය ගනුදෙනුවට වඩා එතන තියෙන නාට්‍යය විශාලයි. විශේෂයෙන්ම ගැහැණු වේශයෙන් මහසෝනා රජාට අභිමුඛ වීම වගේ තැන් ඇ`ග හිරි වැටිලා යන තරම් ප‍්‍රබලයි.
    අන්තිමට රජා පරාද වෙනවා. පුරුෂ ලිංගය අහිමි, ස්ත‍්‍රීත්වයට දෙවෙනි නව වේශයකින් අලූත් රාජ්‍යත්වයක් බිහිවෙනවා.

    ඩෙනිස් එයාගෙ කොටස හරියට කරලා තියෙනවා. මේක අනිවාර්යෙන්ම නැවත නැවත පෙන්නිය යුතු ශාන්තිකර්මයක්. ඉඩක් තියෙන හැම පිට්ටනියක්ම පාවිච්චි කරනවා මිස ගෝටයිම්බර කෝලම නැවත වේදිකාව දක්වා පසුබැසීම කොහෙත්ම නොකළ යුතු දෙයක්. අනිත් පැත්තට පහුබහින්න කියල වේදිකාවක් ඉතුරු වෙලත් නෑ.
    එතකොට ඇල්ෆා මේල් අප්පච්චි ගෙදර යන එක ධනවාදී ආශාවෙ අනිවාර්යයක්ද?


    චින්තන ධර්මදාස

  • අලියා ඉස්සරහින්

    අලියා ඉස්සරහින්

    1979 ෆිල් ඩොනාහියු කියන ඇමරිකානු මාධ්‍යවේදියා මිල්ටන් ෆ‍්‍රීමන්ව ඉන්ටවිව් කරනවා.

    ”ෆිල් – ලෝකෙ තියෙන අඩු සංවර්ධිත රටවල් දකිද්දි, ඒවායෙ දුප්පත්කමෙන් මිරිකිලා ඉන්න මිනිස්සු දකිද්දි, දියුණු රටවල් වලට විතරක් අසාධාරණ විදිහට බලය සීමා වෙලා තියෙද්දි, මෙච්චර තණ්හාවක් එලිපිටම පේන්න තියෙද්දි ඔයාට එක මොහොතකටවත් හිතුනෙ නැද්ද සැකයක් ධනවාදය ගැන? ආශාව මත පදනම් වෙච්ච සමාජයන් ගැන?

    මිල්ටන්- මට කියන්න එක සමාජයක් ආශාව මත පදනම් වෙලා නැති? ඔයා හිතනවද රුසියාව දුවන්නෙ ආශාව මත නෙමෙයි කියල? ඔයා හිතන්නෙ චීනෙ දුවන්නෙ ආශාව මත නෙමෙයිද? මොකද්ද ආශාව කියන්නෙ? ඇත්තටම අපි කවුරුත් අපිට අනුව තණ්හාධික නෑ. නිතරම අනිත් අය තමයි තණ්හාවෙන් පෙළෙන්නෙ.
    ලෝකෙ දුවන්නෙ විවිධ මිනිසුන් රාශියකගෙ පුද්ගලික උවමනාවන් පදනම් කරගෙනයි. ශිෂ්ටාචාර ඇවිත් තියෙන්නෙ රාජ්‍ය ආයතන හරහා නෙමෙයි. ඇල්බර්ට් අයින්ස්ටයින් තමන්ගෙ සොයාගැනීම කළේ කවුරුවත් රාජ්‍ය නිලධාරියෙක් කියල නෙමෙයි. හෙන්රි ෆෝර්ඞ් වාහන කර්මාන්තයෙ මහා පෙරළියක් කළේ රජය මැදිහත්වෙලා නෙමෙයි. වාර්තාගත ඉතිහාසයේ ඔය කතා කළා වගේ දුප්පත්කමෙන් මිරිකිච්ච සමාජයන් එතනින් එලියට ඇවිත් තියෙන්නෙ එකම එක අවස්ථාවක් යටතේ විතරයි. ඒ ධනවාදය සහ නිදහස් වෙළඳ ආර්ථිකයක් යටතේ. ඔයාට දැනගන්න  ඕන නම් අන්තම වූ තත්වයේ දුක්ඛිතයන් ඉන්නෙ ධනවාදයෙදි නෙමෙයි ඒකෙ ප‍්‍රතිවිරුද්ද පැත්තෙදි. ඒක නිසා ඉතිහාස වාර්තාවෙන් කියවෙන දේ ඉතාම පැහැදිලියි. ධනවාදය හැරෙන්න වෙන කිසිම විකල්ප විදිහක් හොයාගෙන නෑ මේ වෙනකල් සාමාන්‍ය ජනතාවගෙන් ඵලදායිතාවයන් මුදාහරින්න.

    ෆිල්- ඔයා කියන ඔය ක‍්‍රියාවලියෙන් ඇත්තටම ප‍්‍රතිලාභ ලබන්නෙ  මේ ක‍්‍රමය අපයෝජනය කරන්න පුළුවන් අය මිස යහපත නෙමෙයි.

    මිල්ටන් – කොහෙද එතකොට ඔය කියන යහපත ආරක්‍ෂා වෙන්නෙ? කවුද එහෙම කරන්නෙ? ඔයා හිතන්නෙ කොමියුනිස්ට් සහෝදරත්වය යහපතට සළකනවා කියලද? හිට්ලර් යහපතට සළකනවද? මට සමාවෙන්න  ඕන, ඔයා හිතනවද ඇමරිකන් ජනාධිපතිවරු යහපතට සළකනවා කියල? ඒ ගොල්ලො මිනිස්සුන්ව පත් කරන්නෙ ඒ අයගෙ හෝ ඒ අයට සහයෝගය දක්වන අයගෙ යහපත මත පදනම් වෙලාද, නැත්තං දේශපාලන හයිය මත පදනම් වෙලාද? එතකොට ඔයා කියන්නෙ දේශපාලන ආත්මාර්ථකාමියො උත්තරීතරයි ආර්ථික ආත්මර්ථකාමීන්ට වඩා?

    මං හිතන්නෙ ඔයා ගොඩක් දේවල් අවතක්සේරු කරනවා. මට කියන්න ලෝකෙ කොහෙද ඔයා මේ දේවදූතයො ඇත්තටම හොයාගන්නෙ කියල. මං විශ්වාස කරන්නෙ නෑ ඔයාවත් එහෙම කරයි කියල”

    මිල්ටන් ෆ‍්‍රීමන් කියන්නෙ ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක්. එයා රොනල්ඞ් රේගන්ටත්, කන්සවේටිව් මාග‍්‍රට් තැචර්ටත් උපදේශකයෙක් විදිහටත් වැඩ කළා. නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.  විශේෂයෙන්ම ධනවාදය වෙනුවෙන් නිදහස් වෙළඳපොල වෙනුවෙන්, රාජ්‍යයේ මැදිහත්වීම අවම කිරීම වෙනුවෙන් මිල්ටන් තමන්ගෙ අදහස් මෙහෙයුවා. කැපිටලිස්ම් ඇන්ඞ් ෆ‍්‍රීඩම් කියන පොතේ එයා දේශපාලන නිදහසට වඩා ආර්ථික නිදහස වැදගත් වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරනවා. එකිනෙකා මත පදනම් වෙන ප‍්‍රතිලාභය නිසාම ඇති වෙන ස්වභාවික තුලනයෙන් (නිදහස් වෙළඳ ආර්ථිකයෙන්) සමාජය වඩා නිදහස් වර්ධන අවකාශයන් හිමි කරගන්නවා කියලයි මිල්ටන් ෆ‍්‍රීමන්ගෙ අදහස වුණේ.

    ලංකාවෙ උපතින්ම සමාජවාදී බුද්ධිමතුන්ට නොදිරවන නිසාම ෆ‍්‍රීමන්ගෙ පොත් සිංහලට පරිවර්තනය වෙන්නෙ නෑ. ඒත් ආචාර ධාර්මික මිත්‍යාවන් ඇතුළෙන් සමාජය විග‍්‍රහ කරන දේශපාලන න්‍යයාචාර්යයන්ට අහුනොවෙන ප‍්‍රායෝගික විද්‍යාවක් ෆ‍්‍රීමන් නිර්භීතව එලිකරනවා. ෆැන්ටසිමය හෘදය සාක්ෂි කාරණා වලට එපිටින් මනුෂ්‍ය ගතිකයන් ඉක්මවා නැත්තං ඒවා ඵලදායී ආයෝජන කර ගනිමින් ගොඩනැගිය හැකි වඩා සාර්ථක සමාජ ආකෘතීන් ෆ‍්‍රීමන්ගේ ධනවාදී දැක්ම ඇතුලෙ සාකච්ඡුාවට ගන්නවා. ඒත් ෆ‍්‍රීමන්ගෙ කතා පොලිටිකල් තියරි වගේ ආගමික නෑ. රොමැන්ටික් නෑ.

    ලංකාවෙ ෆ‍්‍රීමන්ගෙ අදහස් ගැන තියෙන අවිඥාණික වාරණය වගේම ධනවාදී ප‍්‍රතිසංස්කරණ පැත්තෙනුත් යන්න වෙන්නෙ හරි හෙමින් ගමනක්. මොකක් හරි හින්ද අපි පුරුදු වෙලා ඉන්නෙ කුස්සි ආර්ථිකේකට. බෙදා හදා ගැනීමක්, සමාජ පැවැත්මක් වෙනුවට තමන්ගේ සාක්කුවයි, තමන්ගේ පවුලයි විතරයි කියන අනාරක්ෂිත තැනකිනුයි මිනිස්සු ආර්තිකේට සම්බන්ද වෙලාම තියෙන්නෙ. ඒක හින්දම හැම අලූත් දේකටම අපි බයයි. ආණ්ඩුව අපිව බලාගන්න  ඕන කියලයි අපි හිතන් ඉන්නෙ.

    විවෘත ආර්ථිකය බාර ගන්නා, නිදහස් වෙළඳ පොල යම් පමණකට හෝ විශ්වාස කරන, ප‍්‍රායෝගික ආර්ථික දැක්මක් ඇති පක්ෂයක් විදිහට ලංකාවෙ තියෙන්නෙ බංකොලොත් වුණත් එජාපය විතරයි. එජාපය කිව්වට රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර වගේ කීප දෙනෙක් විතරයි මෙතන ඉන්නෙ.

    මිල්ටන් ෆ‍්‍රීමන් තරම් රැුඩිකල් විදිහට නොවුණත් එජාපය මේ පාර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හරහා ධනවාදය සඳහා පදනම් ශක්තිමත් කිරීමේ හොඳ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනවා. සියලූ පාර්ශ්ව ශක්තිමත් කරමින්, ක‍්‍රමයක් යටතට ගනිමින් ඉදිරියේදී විවෘත වෙළඳ පොල ආර්ථිකයකට මූන දෙන්න පුළුවන් තත්වයක් ඇති කරන්න උත්සාහ ගන්න බවක් පේනවා.

    කොටින්ම ප‍්‍රධාන තරගකාරී පක්ෂ තුනෙන් වඩා ඉදිරිගාමීම සහ නූතනම දැක්මක් ඇතුව නිර්මාණය වෙලා තියෙන්නෙ පංච විධ සැලැස්ම විතරයි. නිදහස් පක්ෂෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අමු විහිළුවක් විතරක් වෙන අතරෙ ජවිපෙ ප‍්‍රතිපත්ති පපුව හිරවෙන හිරිමල් හීන විතරයි.

    (ජවිපෙ පක්ෂයක් හැටියට මේ වන විට අත්පත් කර ගෙන ඇති ප‍්‍රගතිශීලී වෙනස්කම් මෙහිදී කිසිසේත් අවතක්සේරු නොකරන අතර ආණ්ඩුවක් හැටියට ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමේදී තව බොහෝ දුර සිතීමට ඇති බව අවධාරණය කරනවා පමණි. එසේ වුවද මේ මොහොතේ විපක්ෂයේ බහුතර බලය (විකල්පය) වෙනුවෙන් ජවිපෙ ශක්තිමත් කිරීම ධනේශ්වර දේශපාලනයේ ප‍්‍රගමනය වෙනුවෙන් අතිශය වැදගත්ය.)

    මම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල මේ අගය කිරීම කරන්නෙ ඒවා කවදා හරි ඇත්තට වෙනවද කියන පටු කාරණයට වඩා ඒවායෙන් ඉදිරිපත් වෙන දැක්ම මත පදනම් වෙලා. අපි තාම දූපතක් විදිහටද හිතන්නෙ නැත්තං ලෝක සිතියමේ රටක් විදිහටද හිතන්නෙ කියන කාරණාව උඩ. ඩිජිටල්කරණයේ අන්තර්ජාලයේ ප‍්‍රගමනයන් එක්ක සමගාමී දැක්මක්ද ගොඩනගන්නෙ කියන එක මත. හැමෝම හැමදාම කිරලා මැනලා බලන සුබසාධන කාරණා අත්ඇරලා යූඇන්පී ප‍්‍රකාශනයෙ තියෙන අලූත් අදහස් සහ සිතා බැලීම් කීපයක් විතරක් මෙතනදි ඉස්මතු කරන්නම්.

    මේ වතාවෙ එජාපයේ සැලසුම පදනම් වෙන්නෙම සමාජ ආර්ථිකයක් කියන සංකල්පය උඩ. නිකං අතට අහුවෙන පපුව කූල් කරන කතා වලට වඩා එහෙම හරිහමන් කන්සෙප්ට් එකක් පදනම් කර ගැනීමම පිළිවෙල සහගතයි මං කියන්නෙ.  සමාජ ආර්ථිකය යටතේ ඒ ගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ තරගකාරී වෙළඳපොල අවකාශ පවත්වා ගනිමින් දුර්වල සමාජ කොටස් ආරක්‍ෂණයට යම් වැඩපිලිවෙලවල් නිර්මාණය කිරීම. ඒ අතරෙ වැඩි පිරිසක් ආර්ථිකයට සම්බන්ධ වන ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදයකුත් (නිදහසක්) සංකල්පමය විදිහට පදනම් කරගන්නවා.

    හැම අංශයක් ගැන හිතද්දිම අන්තර්ජාතික වෙළඳ පොල සහ තත්වයන්ට සාපේක්ෂව අපේ ගැටළු වලට උත්තර හොයන්න උත්සුක වෙලා තියෙන එකත් දියුණු විදිහක්. අපේ උරුමය, අපේ බසවක්කුලම කිය කිය ඉන්නෙ නැතුව දියුණු වෙන ලෝක තත්වයන් ගැන සවිඥාණක ආර්තිකයක් යම් පමණකට මෙතන යෝජනා වෙනවා. ලෝකය සමග නිරන්තරයෙන් සම්බන්ධිත රටක් හැටියට අපේ ශක්‍යතාවයන් දියුණු කරන එක ගැනයි අවධානය යොදලා තියෙන්නෙ. ඒක හොඳ දෙයක්.

    උදා විදිහට නැවත ජීඑස්පී ප්ලස් ලබා ගනිමින් අපේ විදේශ වෙළඳපොල පුළුල් කර ගැනීම, ධීවර කෘෂි වගේ නොදියුණු විදිහට පරණ ක‍්‍රම අනුව දිවෙන අංශවල ජනතා සමාගම් ඇති කරමින් දේශීය මෙන්ම විදේශ වෙළඳපොලේ තරගකාරී මට්ටමකට ඔවුන් සංවර්ධනය කිරීම වගේ දේවල් අමාරුවෙන් හරි කරන්න  ඕන දේවල්. එකම තැන පල්වෙන අකාර්යක්ෂම ගොවිතැන, ධීවර කර්මාන්තය තේරුමක් ඇති සැබෑ කර්මාන්තමය තත්වයකට ගන්න සාර්ථකම එළඹුමක් මේක. යූඇන්පිය ප‍්‍රකාශනයෙ කියන විදිහටම අයර්ලන්තෙ ඩෙයරි ගෝල්ඞ් කෝර්ප් ගොවි සමාගම මේකට හොඳ උදාහරණයක්.

    ඒ එක්කම ආර්ථිකය ඩිජිටල් කිරීම හරහා සියලූ ගණුදෙනු ඔන්ලයින් ප‍්‍රවේශයකට ගන්නත් අදහස් කරනවා කියල කියනවා. මේ දේවල් මේ හැටියෙන්ම ඉටු නොවුණත් මේ විදිහෙ ප‍්‍රතිපත්තිවත් ඉදිරිපත් වීම වැදගත්. ඒ වගේ තත්වයකදි ආර්ථික සහ සියලූ මූල්‍ය කටයුතු වඩාත් කාර්යක්‍ෂම වගේම ඵලදායී කරගන්නත්, විනිවිදභාවයක් ඇති කරන්නත්, අන්තර්ජාතික වෙළඳාම් කටයුතු වලදී විශාල පිටුවහලක් වෙන්නත් පුළුවන්.
    ඒ එක්කම කොළඹ මෙගාපොලිස් එකක් ඇති කරන එක ආකර්ශනීය යෝජනාවක්. අවාසනාවට යූඇන්පියේ අයම පවා මෙගාපොලිස් කියන්නෙ ලොකු පොලිසියක් කියලයි හිතාගෙන ඉන්නෙ. ඒත් දියුණු විශාල අන්තර්ජාතික මට්ටමේ නගරයක් හැටියෙන් කොළඹ දියුණු කිරීමේ අදහස මරු එකක්.

    ආර්ථික, සංචාරක, ධීවර ආදී සියලූ ක්‍ෂේත‍්‍රයන් සඳහා සංවර්ධන අධිකලාප ඇති කිරීමේ අදහසකුත් මතු කරලා තිබුණ. මේ හරහා හදූනාගත් විවිධ ප‍්‍රදේශ වල එක් එක් විෂයන් සඳහා වැඩි පහසුකම්, ආයෝජන වගේම කර්මාන්ත අවස්ථා පුළුල් කිරීමක් සිදු කරනවලූ. උදා විදිහට යාපනය තෝරාගෙන තිබුනෙ තොරතුරු තාක්‍ෂණය පැත්තට. ඒක ඇත්තටම තියුණු තෝරා ගැනීමක්. ඒ වගේම විදේශ ආයෝජන ක‍්‍රමවත්ව හසුරුවා ගනිමින් ස්ථාවර සංවර්ධනයකට රට ගෙනියන්න හොඳ ට‍්‍රයි එකක්.

    මං දකින්නෙ පක්ෂයක් විදිහට අතීතය පැත්තට හැරීගෙන කල්පනා නොකර අනාගතය දිහාවෙන් සංකල්ප කීපයක් දාලා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හැදීම විතරක් වුණත් වැඩක්. එතකොට ඡුන්ද ව්‍යාපාර හරහා මේ අලූත් අදහස් සාකච්ඡුා වෙනවා. පවතින පසුගාමී සමාජ ක‍්‍රමය ඇතුලෙ තමන්ට යම් යම් අවාසි ඇති වෙන්න පුළුවන් වුණත් එඩිතරව මේ අදහස් මේසෙට ගේන එක ගැන යූඇන්පිය සීරියස් වෙලා තියෙනවා.

    ලංකාවෙ ගම කියන්නෙ සිද්ද වෙන ආර්ථික කටයුතු වලින් එක්කො සූරා කැවෙන නැත්තං නිකං ඉඳලා කන ආර්ථික ව්‍යූහයක්. කිසිම අදහස්මය දියුණුවක් වෙනසක් ගම් කරා ළ`ගා නොවෙන්නෙ මේ ආර්ථිකමය දුරස්ථකම නිසා. යූඇන්පිය කරන්න හදන පොකුරු ගම් සංකල්පයත් නිර්මාණශීලී අදහසක්. ඒ හරහා ගම් කීපයක් එකතු කරලා තැනෙන පොකුරුගම තමයි සංවර්ධනය කෙරෙන්නෙ. එතකොට ග‍්‍රාමීය ඒකක විදිහට ක‍්‍රමවත් ආර්ථික රටාවක් යටතට මේ ගම් ටික ගන්න පුළුවන්.

    පරිසරය ගැන දක්වලා තියෙන උනන්දුවත් කාරණා කීපයක් විෂයෙම කැපිලා පෙනුනා. විශේෂයෙන් කාබනික ගොවිතැන දියුණු කරමින් හරිත නිෂ්පාදන වලට ලෝකයේ ඇති ඉඩකඩ යම් පමණකට හෝ ලංකාවට ලබා ගැනීමේ උත්සාහයන් ගැනත් කියල තිබුණ. ඒ වගේම පරිසර දූෂණය අඩුම රටක් විදිහට ලෝකයේ ස්ථානගත වීම වගේ උවමනාවන් මං හිතන්නෙ කරන්න බැරි වුණත් හොඳයි. අඩුම තරමෙ අපි කල්පනා කරන්නෙ ලෝකෙ ලැයිස්තුගතවීමක් ගැන.

    සිනමාව ගැන වුණත් වෙන කිසිම පක්ෂයකට වඩා සවිස්තර හිතා බැලීමක් යූඇන්පියෙන් කරලා තිබුණ. වාරණ මණ්ඩලය වර්ගීකරණ මණ්ඩලයක් විදිහට පමණක් පවත්වාගෙන යාම වගේම අකර්මන්‍ය චිත‍්‍රපට සංස්ථාව වෙනුවට චිත‍්‍රපට සංවර්ධන මණ්ඩලයක් ඇති කරන උත්සාහය ප‍්‍රශස්තයි. සිනමා අධ්‍යයන, පර්යේෂණ සහ සිනමාවේ තත්වය නගා සිටුවිමේ කාරණා මේ මණ්ඩලය හරහා සිද්ද වෙනවා කියලයි කියන්නෙ. කොහොම වුණත් මේ ඉඩ ඇතුලෙ සිනමාකරුවන්ට තමන්ගෙ ගැටළු නිරාකරණය කර ගන්න වැඩි ඉඩක් විවෘත වෙනවා. ඒ වෙනුවෙන් විධිමත් අදහස් හා යෝජනා සහිතව සාකච්ඡුා ආරම්භ වෙන්න  ඕන.

    තව හොඳ දෙයක් විදිහට මං දැක්කා අන්තර්ජාතික ජ්‍යොතිෂ මධ්‍යස්ථානයක් සහ විකල්ප වෛද්‍යක‍්‍රම පර්යේෂණ හා සංවර්ධනයට ආයතන නිර්මාණය කිරීම. කාලාන්තරයක් තිස්සෙ පැවතගෙන ආපු යම් හෝ ආකාර කියවීම් නූතන වෙළඳ අවකාශයන් සමග මුහුවෙන්නට ඉඩදෙමින් මේ වපසරියේ ඒවාට අදාල තැන ලබා ගන්න ඉඩ හදලා දෙන එක වැදගත්. මිත්‍යාවන් විදිහට නිකම්ම බැහැර කරන සාම්ප‍්‍රදායික බුද්ධිමතුන්ගේ මට්ටමට එහා ගිහින් ඉල්ලූම අනුව වඩා දියුණු තලයක සැපයුමක් ඒ විෂයන් හරහාත් නිර්මාණය වෙනවා එතකොට.

    අපේ පරණ හම්පඩ ජාතික විශ්ව විද්‍යාල ලෝකයේ පිළිගත් විශිෂ්ට විශ්ව විද්‍යාල සමග අනුබද්ධ කිරීමේ උත්සාහය සහ වැඩි වැඩියෙන් හුවමාරු වැඩසටහන් නිර්මාණය කර ගැනීමේ උවමනාව අවධාරණය කිරීමත් හරිම වැදගත්. මට අනුව නම් විශ්ව විද්‍යාල වලට කරන්න පුළුවන් හොඳම දේ මේකයි. විශ්ව විද්‍යාල කිව්වට මධ්‍ය මහා විද්‍යාල වගේ තියෙන අපේ යුනිවර්සිටි වලට ගෝලීය අධ්‍යාපන ප‍්‍රවේශයක් ලබන්න ඉඩකඩ මේ හරහා විවෘත වෙනවා. ඒ වගේම දැනට ඔහේ වැනෙමින් තියෙන තාක්‍ෂණ විද්‍යාල දේශීය සහ විදේශීය සමාගම් සමග එක්ව කොලේජස් ඔෆ් ටෙක්නොලොජීස් බවට පරිවර්තනය කිරීමේ අදහසත් ප‍්‍රායෝගික වෑයමක්.

    මේ හැමදේකදිම රජය කෙලින් මැදිහත් නොවී දේශීය විදේශීය සමාගම් සහ ආයෝජන මත මේ දේවල් පදනම් කිරීම ගොඩක් හොඳ තත්වයක්. මෙ ඔක්කොම ආණ්ඩුවෙන් කරන්න ගත්තා නම් එක පැත්තකින් තත්වය මස්තබාල්දු වෙනවා. අනිත් පැත්තෙන් පහසුකම් නැතුව වැඬේ අල වෙනවා.

    ”මම හිතන්නෙ ප‍්‍රශ්නයකට ආණ්ඩුවක් විසින් දෙන විසඳුම් නිසා ප‍්‍රශ්නය තිබුණ තත්වයටත් වඩා අමාරු කරනවා. නිකං හරි සහරාව ආණ්ඩුවකට බාර දුන්නොත් ටික කාලෙකින්ම ඒකෙත් වැලි හි`ගයකට මූණ දෙන්න සිද්ද වෙනවා”
    -මිල්ටන් ෆ‍්‍රීමන්

    වයසක අය ගැනත් නිර්මාණශීලී හිතා බැලීමක් කරලා තිබුණ. විවිධ සමාගම් සමග එකතුව ඒ අයගෙ විවේකය, සැඳෑ සමය වෙනුවෙන් ආරක්‍ෂණ වැඩපිලිවෙලවල් නිර්මාණය කිරීම පැත්තෙන්. ඇත්තටම සමාගම්වල සීඑස්ආර් වැඩ (ආයතනික සමාජ සත්කාර) විදිහට වඩා හොඳ දියුණු අවස්ථාවන් මේ වෘද්ධ හෝ අබාධිත අයට උදා කරලා දෙන්න පුළුවන් එක ඇත්තක්.

    ආබාධිත අයිතිවාසිකම් පණත සම්මත කිරීමට ක‍්‍රියා කිරීම හරහා ආබාධිත අයට පහසුකම් සහ අයිතීන් ලබා දෙන එකත් සංවේදී හිතා බැලීමක්.

    ඒකීය රාජ්‍ය කියන එක විතරක් බේරගෙන කළ හැකි උපරිම බලය බෙදා හැරීමක් හරහා සුළුජාතීන් සමග හොඳ සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ උත්සාහය ගොඩක් වටිනවා. වර්ගවාදී කණ්ඩායම් එක්ක වැඬේ කොයිතරම් අමාරු වුණත් සවිඥාණක සමාජ කණ්ඩායම් වල උදව්වෙන් මේ අවශ්‍ය තත්වයන් දිනාගැනීමයි කරන්න  ඕන.

    ෆ‍්‍රීමන් කියනවා වගේම මේ කිසි දෙයක් යූඇන්පිය සමාජය වෙනුවෙන් කරන පරිත්‍යාගයන් නෙමෙයි. හැමදෙයක්ම දේශපාලනේදි සිද්ද වෙන්නෙ ඒ අයගෙ බල උවමනාවන් වෙනුවෙන්. ඒකෙ මැජික් එකක් නෑ.  ඒත් ඒ හරහා සමාජයට ලොකු ඉදිරි පිම්මක් ඇති වෙනවා නම්, අලූත් අවකාශයන් විවෘත වෙනවා නම් ඒ වෙනුවෙන් උනන්දු වීමයි කරන්න  ඕන. මේ කාරණා වලට අදාලව වඩා දියුණු සැලසුම් ඇතුව, සාකච්ඡුා කරමින් යූඇන්පිය මේ දේවල් කරන්න උත්සාහ කරන තැනට තල්ලූ කරන එකයි සමාජ දේශපාලනය වෙන්න  ඕන.

    ”ඇත්තටම නිදහස් ආර්තිකයක් ගැන තියෙන විරෝධයට පදනම් වෙන ප‍්‍රධානම කාරණය වෙන්නෙ එතකොට මිනිස්සු ඒ අයගෙ ඇත්ත උවමනාවන් වෙනුවෙන් වැඩ කරන එක. එතනදි මිනිස්සුන්ගෙ උවමනාවන් කියල ඇතැම් බුද්දිමතුන් කියන කොටස් මවාගත් කාරණා අර්බුදයට යනවා. නිදහස් ආර්තිකේකට තියෙන ලොකුම බාධාව වෙන්නෙ මූලිකව නිදහස ගැන විශ්වාසයක් නැතිකමයි”


    මිල්ටන් ෆ‍්‍රීමන්

  • සාද්ගේ රමණය සහ පැසොලිනිගේ මරණය

    සාද්ගේ රමණය සහ පැසොලිනිගේ මරණය

    ඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙ සතියෙ සිනමා සාකච්ඡුාව වෙනුවෙන් පැසොලිනිගෙ ‘සාලො’ පෙන්නුවා කියල මට මතක් කළේ භූපති. කලින් වතාවක් දෙකක් මේ පෝස්ටරය මගේ ඇහේ වැදුනත් නතර වෙලා බලන්න ඉස්පාසුවක් තිබුනෙ නෑ. ඇකඩමියෙන් මේ කරන චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය හා සංවාදය ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම උනන්දුවෙන් සහභාගි වෙන පිරිසක් ඒකට හැදුන එකත් හොඳ ලකුණක්.

    ඒත් සාලො පෙන්නපු කතාව ඇහුන ගමන් මගේ ප‍්‍රශ්නය වුනෙ ‘මොන එකකට ඒක පෙන්නුවද?’ කියල.

    භූපති ගොඩක් කැමති චිත‍්‍රපටියක් ඒක. ෆැසිස්ට්වාදය සේඩිසම් (පරපීඩකකාමය) සමග එකට තියාගෙන කරන දේශපාලනික භාවිතාව ගැන ත‍්‍රිල් එක සිනමාවට වඩා ඒකට හේතු වෙන්න ඇති කියල මට හිතුනත් භූපතිගෙ ප‍්‍රශ්නය වුනේ ‘ඇයි ඒක ආර්ට් නෙමෙයිද?’ කියන එක.

    ඒක මට ආපහු හිතන්න බල කළා. මොකද්ද ආර්ට් කියන එකට නිර්වචනයක් අපිට හොයාගන්න බැරි වුණත් මොකද්ද ආර්ට් නොවෙන්නෙ කියන එක ඇතුලෙ අපිට ආර්ට් ගැන සිතීම පළල් කරන සංවාදයකට යන්න පුළුවන්. සාලො ෆිල්ම් එකට වුණත් ඒකෙ සැබෑ අර්ථයට වැඩි අර්ථයක් ලැබෙන්නෙ ( ඕවරේටඞ් අගය කිරීමක්) මේ සාකච්ඡුාව ඇතුලෙ. එහෙම නැතුව කෘතියක් ආර්ට්ද නැද්ද කියල අහන එක හිස් ප‍්‍රශ්නයක්. ආර්ට් හෝ ආර්ට් නොවන කෘතීන් කියල දෙයක් නෑ.

    සාලො කියන්නෙ මට අනුව අත්වැරැද්දක්. ඒත් ඒ අත්වැරැුද්ද ඊට කලින් සිද්ද නොවූ නිසාම ඊට හිමිවෙච්ච තැනක් තියෙනවා. ඒක වඩාත්ම උත්සන්න කළේ පැසොලිනිගෙ මරණය. මේ මරණය ෆැසිස්ට්වාදීන් විසින් මේ චිත‍්‍රපටය නිසා කළ එකක් විදිහට කුමන්ත‍්‍රණ න්‍යාය හැඩගැසීම ඇතුලෙ සාලො දිහා  ඕනවට වඩා ලොකු විදිහට බැලෙනවා.

    පැසොලිනි කියන්නෙ විවෘතවම සමලිංගික ජීවිතයක් ගත කරපු කැරලිකාර චරිතයක්. එයාගෙ ලිංගික ජීවිතය ඇතුලෙ එයා ස්වපීඩකකාමියෙක්. එයාව ළ`ගින් ආශ‍්‍රය කරපු යාලූවො කියන්නෙ සමහර දවස්වල ?ට එයා තමන්ට කරගන්න වධදීම් ඇතුලෙ එයාව කලින්ම මැරෙන්න ඉඩ තිබුන කියල. ක‍්‍රම විරෝධී ජීවිතයක් ඇතුලෙ පැසොලිනි දිගටම අරගල කළා. සිනමාව කියන්නෙ එයාගෙ එක මාධ්‍යයක් විතරයි. එයාට ඇත්තටම  ඕන වෙලා තිබුනෙ කවියෙක් වෙන්න.

    එයා කොමියුනිස්ට්වාදියෙක්. ඒත් පිටුවහල් වුණු කොමියුනිස්ට්වාදියෙක්. නව යොවුන් වියේ ගැටවරයන්ට අතවර කිරීම හේතුවෙන් සහ ප‍්‍රසිද්ද ස්ථාන වල නිරුවත පෙන්නීම වගේ දේවල් නිසා කොමියුනිස්ට් පක්ෂයෙන් විතරක් නෙමෙයි කරමින් හිටපු ඉගැන්වීම් කටයුතු වලින් පවා පැසොලිනිව එලියට දානවා. එයා හැමදේටම විරුද්දව කැරළි ගහනවා. උදා විදිහට එක ශිෂ්‍ය අරගලයක් වෙලාවෙදි සියලූ බුද්ධිමතුන්, දේශපාලන ක‍්‍රියාකාරීන් ශිෂ්‍යයන් වෙනුවෙන් හිටගනිද්දි පැසොලිනි තනියම ශිෂ්‍යයන්ට තඩිබාන පොලිස්කාරයො වෙනුවෙන් හිටගන්නවා. පොලිසියට යන්නෙ හරිහැටි අධ්‍යාපනය ලබන්නවත් හැකියාවක් නොතිබුණු අය කියල ඔවුන් වඩාත් පීඩිත කොටස විදිහට පැසොලිනි දකිනවා. මේ රැුඩිකල් වීමේම ප‍්‍රතිඵලයක් විදිහටයි මං සාලො දකින්නෙ.

    ‘පැසොලිනිට තිබුණු ප‍්‍රශ්නය වුනේ එයාට එකපාර මාක්ස් හා ජීසස් කියන දෙන්නත් එක්කම සංසර්ගය කරගන්න  ඕන වෙලා තිබුණු එක’
    -ජොනතන් රොසන්බම්

    මාර්කස් ඩි සාද්ගෙ දින 120ක ගුද සංසර්ගය (120 ඬේස් ඔෆ් සොඩොමි) කියන පොත මත පදනම් වෙලා, ඒක මුසොලිනිගේ කාලයට ගලපලා, ඩාන්ටේගේ ඩිවයින් කොමඩි එකේ සිව් රංග ආකෘතිය පාවිච්චි කරලා, බලයේ බිහිසුණු බව කොයිතරම් දුර යන්න පුළුවන්ද කියන ගැඹුරු දේශපාලනික ප‍්‍රකාශනයක් විදිහට සාලො කියවන්න පුළුවන්. ඒක තමයි ලෝකය පුරා මේක අමාරුවෙන් හෝ නැරඹිය යුතු විශිෂ්ට චිත‍්‍රපටියක් විදිහට දකින විචාරකයො ගොඩක් පෙනී ඉන්න තැන.

    ඒත් සාද්ව එහෙම ෆැසිස්ට්වාදය එක්ක ගලපන්න පුළුවන්ද? සාද්ගේ ලිඛිතය ෆැසිසිට්වාදී පසුබිමක් ඇතුලෙ රූපයට නගන්න පුළුවන්ද? ආවේගය ඇතුලෙ පැසොලිනිට අතපහු වෙන්නෙ මේ සිතා බැලීම.
    රෝලන්ඞ් බාත් මේ කාරණය ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා. අන්තිමට සාද්ගෙවත් ෆැසිස්ට්වාදයේවත් නොවෙන තැනක මේ ආතක්පාතක් නැති නිර්මාණය නතර වෙනවා. පැසොලිනිගෙ අතින් සාද්ගේ විෂය සහ ෆැසිස්ට්වාදයේ විෂය කියන දෙකම විකෘති වෙනවා කියල බාත් පැහැදිලි කරනවා. ඒක නිසාම දේශපාලනමය වශයෙන් හෝ සැඩිස්මය වශයෙන් හෝ සාලො සමග එකගවෙන්න බැරි වීම අතිශය සාධාරණයි කියල එයා කියනවා.

    එක පැත්තකින් ෆැසිස්ට්වාදය හෝ සේඩිසම් කියන අමු කතිකාව සහ අනෙක් පැත්තෙන් පරණ ගුහා චිත‍්‍රයක් තරමට පිරිමැදුනු ලිඛිතයක් අතර පැසොලිනිගෙ සාලො අනාථ වෙනවා කියලයි බාත්ගෙ අදහස. ඒක කිසිවිටෙක සංකේතයක් හෝ රූපකයක් වෙන්නෙ නෑ කියල එයා කියනවා.

    ‘සාලො චිත‍්‍රපටියෙ ප‍්‍රබලත්වයට බෙහෙවින්ම සාද් විසින් ලියන ලද ලිඛිතය ඉවහල් වන අතරම, සාද්ගේ විස්තර එකින් එක රූපයට නගමින් පැසොලිනි විසින් එම ලිඛිතය සහ මෑත කාලීන දේශපාලන කතිකාවන් තුවක්කුවක් දික් කරලා බලහත්කාරෙන් කරන ලද මංගල්‍යයක් මෙන් ගලපන ලද නමුදු….’
    (කියල රොසන්බම් බාත්ගෙ පැහැදිලි කිරීම නැවත කියවනවා)

    සාලො කියන්නෙ මාස්ටර්පීස් එකක් කියන මතයට කොහොමත් වැඩි ඉඩක් තියෙන නිසාම ඊට විකල්ප අදහස් වලට තියෙන කුඩා හෝ ඉඩ වඩාත් වැදගත්. සාලො කියන්නෙ මාස්ටර්පීස් එකක්ද නැත්තං පරණ පුරුදු සූරාකෑමමද කියල ඉන්ටර්නෙට් එකේ සංවාදයක් තිබුණ. එතනදි කෙනෙක් කියල තිබුනෙ,

    ‘මේ චිත‍්‍රපටිය ඉතිහාසය ගැන තියෙන කුතුහලය කියන කාරණයෙන් ගැලෙව්වොත් ඇත්තටම මොකක්ද ඉතුරු වෙන්නෙ? චිත‍්‍රපටියට කලින් අකුරු වලින් කියන ඉතිහාස පසුබිම හෝ සාද්ගේ පොත ගැන තියෙන යම් දැනුමක් ආදී චිත‍්‍රපටියට බාහිර කාරණා බැහැර කලොත් සාලෝ කියන්නෙ ප්ලොට් එකක් නැති, චරිත ගොඩනැංවීමක් නැති හිස්තැනක් විතරයි.

    මේ චිත‍්‍රපටියෙන් පරිභෝජනවාදය සහ ෆැසිස්ට්වාදය අතර සම්බන්ධයක් ගේන්න හදනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ෆේල්. හරිහමන් සංදර්භයක් නැතුව රූපකයකට වැඩ කරන්න බැරි වෙනවා. සාලො තියෙන්නෙ සීල් කරපු පරිසරයක. ඒකෙ අපි දකින්නෙ අධ්‍යක්‍ෂවරයාගෙ පරපීඩකකාමය විතරයි. ඒ අතරෙ එයා සිනමා උපක‍්‍රම පාවිච්චි කරනවා මේක බලන් ඉඳීම නිසා අපිත් වැරදිකාරයො කියන හැ`ගීම ඇති කරන්න’

    ඊට අමතරව ‘මාස්ටර්පීස් ඔෆ් ෂිට්’ සහ ‘මාස්ටර්ප්ලොයිටේෂන්’ වගේ හැඳින්වීම් පවා සාලො ගැන මතුවෙලා තිබුන. ඒ කොහොම වුණත් සිනමා කෘතියක් නරඹද්දි මට පුද්ගලිකව අධ්‍යක්‍ෂවරයා ප‍්‍රතික්‍ෂේප වෙන තැනක් තමයි එයා මාව (නරඹන්නාව) ටෙස්ට් කරන්න එන එක. සාලො උවමනාවෙන්ම අපි තුල ජුගුප්සාව ඇති කරන්න ද`ගළන හැටි මට අනුව ළාමකයි. ඒක සිනමා පර්යේෂණයකට සහභාගි වීමක් මිස කෘතියක් නැරඹීම හෝ රස විඳීමක් නෙමෙයි.

    ‘ඒක මොකට පෙන්නුවද ?’ කියල මට කියවුනේ තවත් අදහසක් හින්ද. සාලෝ වගේ චිත‍්‍රපටියක් ප‍්‍රදර්ශනය කරලා ඒක මාරයි, පිස්සු හැදෙනවා වගේ කතා ගොඩක් කිව්වම ඊළගට පොකුරු පිටින් හැදෙන්න පටන් ගන්න ෂෝර්ට් ෆිල්ම් සහ සමහර විට ෆීචර්ස් ගැන මතක් වෙලා ඇග හිරි වැටුන හින්ද. තේරුමක් නැතුව ස්වයං වින්දනයේ් යෙදෙන තරුණයන්ගෙන්, සමහර විට මළපහ කරන ගෑනු මිනිස්සුන්ගෙන් පවා ඒවා පිරිලා යන්න ඉඩ තියෙනවා.

    සාලෝ චිත‍්‍රපටියක් විදිහට රස විඳින්න නම් අවශ්‍ය වෙන දැනුම් උපකරණ කීපයක් තියෙනවා. එකක් මාර්කස් ඩි සාද් සහ එයාගෙ සාහිත්‍යය ගැන දැනුම. ඩාන්ටේගේ නාට්‍ය ගැන අල්ප හෝ දැනුම. ඊට අමතරම ෆැසිස්ට්වාදය, මුසෝලිනී ආදී දේශපාලන ඉතිහාස දැනුම. වෙන්න බොහෝ විට ඉඩ තියෙන විදිහටම මේ දැනුමෙන් තොරව ලාංකේය මනසෙ සාලෝ මොකක් විදිහට වැඩ කරයිද ?

    අනිත් අතට පැසොලිනිව මාරයි කියල ගන්න ලංකාවේ දැනුවත්තු කවදාවත් සාද්ව එතනට ගන්නෙ නැති එක පුදුමයි බලන් ඉන්න. සාද්ගේ සාහිත්‍යය හෝ දර්ශනය ගැන කතා කරන කිසි සංවාදයක් මට මෙතුවක්  මුනගැහිලා නෑ. ඒ මදිවට එක පොතක්වත් මේ වෙනකල් පරිවර්තනය වෙලා නෑ. එතකොට 120ක ගුද සංසර්ගය ගැන පැසොලිනි වර්ෂන් එක මාර වෙන්නත් සාද්ව උවමනාවෙන්ම අමතක වෙන්නත් බලපාන සමාජ අවිඥාණය මොකක්ද? ඒකෙ ළාවට සිංහල බෞද්දකමක් වගේ එකක් නැද්ද?

    සාද් කියන්නෙ ප‍්‍රංශ විප්ලවය කාලෙ හිටපු ලේඛකයෙක්, දාර්ශනිකයෙක්, විප්ලවවාදියෙක්. වැඩියෙන්ම වැදගත් වෙන්නෙ එයා ලිබර්ටයින් කෙනෙක් (නිදහස්කාමියෙක්) වීම. ලිබර්ටයින් කියන එකේ අදහස සමාජ සම්මතයන් හෝ සීමාවන් නොතකන, තමන්ගේ ආශාවට සදාචාරය බාධාවක් විදිහට නොගන්නා නිදහස් මිනිහෙක් කියන එක. සාද් මේ නිදහස ඇතුලෙ ෆැන්ටසි නිර්මාණය කළා. සේඩිස්ම් කියන්නෙ එයාගෙ අග‍්‍රගන්‍ය නිර්මාණය. ඒ ෆැන්ටසි ඇතුලෙ ශිෂ්ට මිනිහාට කවදාවත් ස්පර්ශ කරන්න බැරි ගැඹුරු අඳුරු ඉම්වලට අතපොවන්න සාද්ට පුළුවන් වුණා.

    දවස් 120ක ගුද සංසර්ගයෙ තියෙන්නෙත් සල්ලිකාර නිදහස්කාමියො හතර දෙනෙක් තමන්ගේ අඳුරු ආශාවන් සංතර්පනය කරන්න ගැටවර තරුණ තරුණියන් පිරිසක් මන්දිරයක සිර කරගෙන වද/ තෘප්තීන් ලබා දෙන කතාවක්.

    මේ කතාව සාද් ලියන්නෙ බැස්ටීලයේ හිරගෙදර ඉඳන්. පොඩි පොඩි කොල කෑලි එකතු කරලා අලවගත්ත රෝලක එයා මේක ලියනවා. ප‍්‍රංශ විප්ලවය වෙලාවෙදි බැස්ටීලයට පහර දෙනකොට තමන්ගේ නිර්මාණය සදහටම නැති වෙලා යන්න ඇති කියල සාද් හිතනවා. ඒත් මේ කතා රෝල ඉතුරු වෙනවා.

    1785 දි ලියන මේ කතාව පළවෙනි වතාවට ප‍්‍රකාශයට පත්වෙන්නෙ 1904දි. ඒ ඉවාන් බ්ලොච් කියන බර්ලින් මනෝ වෛද්‍යවරයෙක් අතින්. තමන්ට විය හැකි අපවාදෙට බයෙන් එයත් මේක පළකරන්නෙ බොරු නමකින්.

    මේ විදිහෙ ඉතිහාසයක් තියෙන ලේඛනයක් තමයි පැසොලිනී අතින් තමන්ගෙ දේශපාලනය වෙනුවෙන් විකෘති වෙන්නෙ. පැසොලිනිගේ අබිරහස් මරණයත් එක්ක මේ විකෘතිය ප‍්‍රකෘතියට වඩා ලොකු වෙනවා.
    පැසොලිනිගෙ මරණය ගැන දැනගන්නෙ එයා ලිංගික කටයුත්තක් සඳහා මිළට ගත් අවුරුදු 17ක කොල්ලා විසින් එයාගෙ ඇල්ෆා රෝමියෝ රථය අධිවේගයෙන් පදවාගෙන යාම හේතු කොටගෙන නතර කිරීමක් හින්ද. තමන්ගේ පස්ස පැත්තට ලී රිටක් ඇතුල්කරන්න යාමේදී ඇතිවෙච්ච ගැටුමක් හින්ද තමන් පැසොලිනීව යටකරලා මැරුවා කියල එයා කියනවා. ඒත් නැවත ඊට කාලෙකට පස්සෙ ඒක තමන්ට ඇතිවෙලා තිබුණු තර්ජන නිසා කියපු බොරුවක් කියල ඉල්ලා අස් කර ගන්නවා.

    පැසොලිනී විසින් නිර්මාණය කරමින් තිබුණු චිත‍්‍රපටය තමන්ට කෙලින්ම පහර දෙන්න හදපු එකක් කියලයි ෆැසිස්ට්වාදීන් සැක කරන්නෙ. ඒක මේ විදිහෙ ඇබ්ස්ට‍්‍රෑක්ට් වැඩක් කියල ඔවුන් දැනගත්තා නම් මේ මිනීමැරුම සිද්ද නොවෙන්න තිබුණ.

    මේ චිත‍්‍රපටයෙ ර`ගපාපු ඇතැම් නළුවන්ට පසුව ඒ ගැන ඇතිවුණු අවුල නිසා චිත‍්‍රපටය මග නවතිනු පිනිස පැසොලිනීව මරා දැම්මා කියලත් කතා යනවා. කොහොම වුණත් පැසොලිනිගේ මරණයේ සෙවනැල්ල තමයි සාලෝ මේ තරම් ගැඹුරු කරන්නෙ.

    පැසොලිනිව කොහෙත්ම අවතක්සේරු කරනවා නෙමෙයි. ආවේගකාරී විරෝධාකල්පික බව ඇතුලෙ එයාට දැක්මක් තිබුණ.

    ”මම දකිනවා සුන්දර බුද්දිමතුන්, සමාජ විද්‍යාඥයින්, මාධ්‍යවේදීන් සහ විශේෂඥයින්, ඉතාම හොඳ අරමුණු ඇතුව ඉන්නවා. යම් දෙයක් මෙතන වෙනවා නම් ඒ ගොල්ලො ඔලූව හරවන්නෙ අනිත් පැත්තට. මං කියන්නෙ ෆැසිස්ට්වාදයක් නෑ කියල නෙමෙයි. ඒත් අපි කඳුකරයෙ ඉඳිද්දි මට මුහුද ගැන කතා අහන්න  ඕන නෑ. මේක වෙනස් කලාපයක්. මෙතන තියෙන්නෙ මරා දැමීමේ ආශාව. මේ ආශාව විසින් අපි පව්කාර සහෝදරයන් වගේ පව්කාර සමාජ පද්ධතියෙ පව්කාර වැරැුද්දක් එක්ක ගැට ගැහෙනවා. මාත් කැමතියි කළු බැටළුවා පැත්තකට කරලා සංසුන්ව ඉන්න. ඒත් මට හැමදේම පේනවා…. …. අපි දන්නෙ නෑ අපිව මරන්න කවුරු සැලසුම් කරනවද කියල. අපි හැමෝම ඉන්නෙ අනතුරක”

    විශේෂයෙන්ම මරණයට ආසන්නව පැසොලිනී එක්ක කරන සම්මුඛ සාකච්ඡුාව හරියට එයා මරණය ගැන කල්ඇතුව දැනගෙන හිටියා වගේ. ඒත් කිසි දෙයක් අධිතක්සේරු වීමෙන් කිසි වැඩක් සිද්ද වෙන්නෙ නෑ.
    වෙන්න  ඕන හැමදේම වඩා විවෘත වෙන එක. සංවාද වෙන එක.


    චින්තන ධර්මදාස

  • සන්නාට කඬේ යාම

    සන්නාට කඬේ යාම

    සන්නස්ගල චන්දෙ ඉල්ලන එකට මගේ යාලූවො ගොඩක් අකමැතියි. සාමාන්‍ය ජනතාවට වඩා ළ`ගින් සන්නස්ගලව දන්න ඇසුරු කරන ගොඩක් අය තමයි මේ පිරිසට අයිති. සන්නාගෙ කපටිකම්, බොළඳකම්, කඬේ යැවීම් වගේ තමන් පුද්ගලිකව දන්න අත්දැකීම් එක්ක මහා දේශපාලනයට ආවොත් කොහොම වෙයිද කියන උපකල්පනයක් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ.

    මාත් ඒ ගැන හිතුව.
    එක විදිහකට මේක සන්නස්ගල විසින් කරගන්නා සිය දිවි නසා ගැනීමක්. කොයිතරම් සාධනීය පැති වලින් බලන්න පුළුවන් වුණත් විචාරකයෙක් හරි ලේඛකයෙක් හරි චරිතයක් විදිහට එයා විසින් අත්පත් කරගත්ත ටික වාෂ්ප වෙලා යන තීරණයක්. ඒක අහම්බයක් නෙමෙයි.

    ඒත් හැන්සාඞ් එකේ මතක හිටින කතාවක් හරි කරන්න බලාපොරොත්තුවක් සන්නස්ගලට ඇති. බන්දුල ගුණවර්ධනටත් කාලෙකට කලින් එහෙම ආසාවක් තියෙන්න ඇති. අන්තිමට නූගත් මැට්ටන්ට වඩා දේශපාලනේදි ජෝක් වෙන්නෙ දැන උගත් කට්ටිය.

    සන්නස්ගල ගැන මට වැඩි අප‍්‍රසාදයක් ඇති වෙන්න පටන් ගත්තෙ එයාගෙ මාධ්‍ය භාවිතාවත් එක්ක. මාධ්‍ය ඇතුලෙ සිවිල් තග සහ තමන්ට නොතරම් අනෙකා පවා අසරණ කරලා ගන්න ත‍්‍රිලක් එයාගෙ මීඩියා වැඩ ඇතුලෙ පේන්න ගත්ත. මාධ්‍යවේදියෙක් විදිහට සන්නස්ගල ගැඹුරු දැක්මක් ඇතුව එයාගෙ කාලය හැසිරවූ වගක් පේන්න තිබුනෙ නෑ.

    අනිත් එක අම්මා කියන පොත ලියපු එක. මක්සිම් ගෝර්කිගෙ අම්මාට පස්සෙ සන්නස්ගලගෙ අම්මා එනවා. මේ අම්මා ලිවීම ඇතුලෙ සන්නා සාක්ෂාත් කරගන්න හදන ආත්ම තෘප්තිය මොකක්ද? පොත ගැන එයා කියන වර්ගයේ භාව විරේචනයක්, සැහැල්ලූවක් වගේ දෙයක්ද නැත්තං හුදු දේශපාලන අරමුණක්ද?

    සන්නස්ගල මේක විස්තර කරන්න කැමති වෙනවා ඇත්තේ විවෘතභාවය වගේ තැනකින් වුණත් මට සන්නස්ගල කරපු කිසිම දේක ආත්මීය විවෘතභාවයක් මුණගැහිලා නෑ (වස්සාන සිහිනයේ අවධියෙන් පස්සෙ). එයාගෙ විවෘතකම දේශපාලනිකයි. ඒ විවෘත වීමම එයාගෙ ආවරණයක්, පලිහක්, සමහර වෙලාවට ආයුධයක්. ඒ නිසා සන්නාගේ විවෘත වීමම සංවෘත වීමක් විදිහටයි මං දකින්නෙ. එයාගෙ විවෘතකම ත‍්‍රස්තවාදයක්.

    එතකොට ඒක වැරදිද?

    සන්නාගෙ පුද්ගලික අගතීන් දේශපාලනයෙදි අදාල වෙන්නෙ නෑ (වුණත් වෙන්නෙ සුළුවෙන්). ඒ වෙනුවට සන්නා පෙනී ඉන්න දාමරික විවෘතභාවය දේශපාලනයෙදි සාධනීය වෙන්න පුළුවන්.

    වෙන වචන වලින් කිව්වොත් අපේ පරම්පරාවෙ අදහස් ‘මහා’ ව්‍යූහයක් ඇතුලෙ නියෝජනය කරන්න හොඳම අවස්ථාව සන්නා වෙන්න පුළුවන්. අසාම්ප‍්‍රදායික නවතාවයන් වෙනුවෙන් පෙනී ඉන්න, පුහු සුචරිතවාදී හෝ වර්ගවාදී කතිකාවන්ට ප‍්‍රතිවිරෝධයක් වෙන්න, තමන්ගේ රැුඩිකල් ප‍්‍රතිරූපය ආරක්‍ෂා කරන්න සන්නස්ගලට සිද්ද වෙනවා. බන්දුලට වඩා වෙනස් සංකල්ප ප‍්‍රාග්ධනයක කොටස්කාරයෙක් නිසාම එයාගෙ අතින් සංකල්ප අරගලයක් සුළු හෝ මට්ටමකින් මහා දේශපාලනයෙදි සිද්ද වෙන්න නියමිතයි. සන්නා කපටියෙක් වුණා කියල ඒකෙන් ගැලවීමක් නෑ.

    මම සන්නස්ගල චන්දෙ ඉල්ලනවට අකමැති ඇයි කියල හිත හිත ඉන්න දවසක ජිප්සීස් සුනිල් පෙරේරා මුණගැහුන.

    ‘මල්ලි අද වෙලා තියෙන්නෙ සුදුසු මිනිස්සු දේශපාලනයට එන්නෙ නැති එක. මේක මඩ ගොහොරුවක්, වැසිකිලියක් කියල පැත්තකට වෙලා ඉන්න එක. අපිටත් අපේ දරුවන්ටත් ප‍්‍රශ්නයක් නෑනෙ, ඉතින් මොකද කියල ඒ මිනිස්සු තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා. හොරු, මාල කඩන එවුන් පාර්ලිමේන්තුවට එනවා. එතකොට හැමෝටම ප‍්‍රශ්නයක්. අපිට ප‍්‍රශ්නයක් නැති හින්දම තමයි අපි දේශපාලනයට එන්න  ඕන. පැත්තකට වෙලා මඩ නාගන්න බෑ කියල බලන් ඉන්න සුදුස්සො වග කියන්න  ඕන නුසුදුස්සො පාර්ලිමේන්තු එන එකට…’ (වචන මේවම නොවුනත් අදහස මේකයි)

    චන්දෙ ඉල්ලන්න ඇවිත් ඉන්න අනිත් අය එක්ක  බැලූවම සන්නස්ගල එතන පිටස්තරයෙක්. නොගැලපෙන්නෙක්. විශේෂාංගයක්.  සංකල්පමය තලයේ ආධිපත්‍යයක, බලයක ආශාවක් මිසක් පාරවල් වලින් සල්ලි ගහනවා වගේ ත‍්‍රිලක් සන්නස්ගලට තියෙන්න ඉඩ අඩුයි. දැනටමත් ආන්දෝලනාත්මක අදහස් දාමරිකව මහජන වේදිකා උඩ හසුරුවමින් වෙනස් දේශපාලන පිට්ටනියක එයා සෙල්ලම් කරන්න උත්සාහ ගන්න වග පේනවා. අපේ පොඩි පොඩි කල්ට් සංවාද ඇතුලෙ පවතින අදහස් ‘මාස්’ වැඩක් ඇතුලෙ ටෙස්ට් වෙන්න ගන්නවා සන්නස්ගල හරහා. ඒක හොඳ දෙයක්.

    පුද්ගලික සන්නස්ගලට ද`ඩුවමක් වගේම අවුල හොඳ ආයෝජනයක් බවට පත් කිරීමක්.

    මාත් එක්තරා කාලෙක සන්නස්ගලගෙ පංති ගියා. බයෝ කරන්න ගෙදරින් ඉල්ල ගන්න සල්ලි වලින් සිංහල පංතියෙ වාඩිවෙලා හිටියෙ ඔලූව කැළඹෙන ආස්වාදෙට. ඒ ලෙවල් සිංහල කරන්න සන්නාගෙ පංතියට එන හැම කෙනෙකුගෙම නට් එකක් පොඞ්ඩක් හරි බුරුල් කරන එක එයා වගකීමෙන් කරනවා. මාර්ටින් වික‍්‍රමසිංහගෙ ගම් පෙරළිය ලෝකෙ හොඳම ශෘංගාරාත්මක නවකතාව විදිහට කියවන්න සන්නට පුළුවන්. කොහොමත් ලිංගිකත්වය ගැන  ඕනවටත් වඩා විවෘත දැක්ම සන්නාගෙ රෝගයක්. කිසිම ලාභයක් හෝ තේරුමක් නැතුවම සන්නස්ගල පරම්පරා ගානක් තිස්සෙ මේ පන්සල් යන, සදාචාරවාදී තරුණයාට ප‍්‍රතිවිරුද්ධ නාගරික තරුණයා නිර්මාණය කරනවා. පස්සෙ කොළඹ සිද්ද වෙන සංස්කෘතික දේශපාලන කතිකා සංවාදවල ඉන්න ඔක්කොම වගේ සන්නස්ගලගෙ පංති ගිය උන්. හොඳට සහ නරකට දෙපැත්තටම මේ ඇක්සිඩන්ට් එක බලපාන්න පුළුවන්. ඒත් වෙනසක් අනිවාර්යයි.

    ලංකාවෙ කවර හෝ දේශපාලන පක්ෂයකින් කරනවාටත් වඩා විශාල සංස්කෘතික ව්‍යාපෘතියක් (ප‍්‍රමිතියේ ප‍්‍රශ්න සහිතව) සන්නස්ගල දශක ගානක ඉඳන් කරගෙන එනවා.

    මේ අදහස් වේදිකාව මහා එක දක්වා දිගු වීම ප‍්‍රගතිශීලියි කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම පැරණි දේශපාලනික මතවාද සහ කාරණා ප‍්‍රශ්න කරන වඩා දියුණු ප‍්‍රවේශයන් මේ හරහා ඇති වෙන්න පුළුවන්.

    සන්නස්ගල කියන්නෙ යූඇන්පිය නෙමෙයි. පුද්ගලයෙක් වුණු සන්නාට පුළුවන් වෙයිද මේ කියන ධාරිතාවයක වෙනසක් කරන්න? කින්ඩියට ඇහුවත් තාර්කික ප‍්‍රශ්නයක් ඒක.

    ඒත් පක්ෂයක වැඩ කොටසට වඩා වැදගත් එක්ස්පෝස් වීමක් සන්නා වගේ පුද්ගලික චරිතයක් හරහා සිද්ද වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය ආකර්ශනය නිසා වඩ වඩාත් මේ විකල්පය ජනතාවට ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක අලූත් උන්ට වඩාත් ගැලපෙන්න ඉඩ තියෙනවා. හොරු අල්ලන එකට හෝ 20 සම්මත කරන එකට වඩා සියුම් නමුත් වැදගත් සමාජමය වෙනස්වීම් සිද්ද වෙන්නෙ දේශපාලනයේ නව කතිකාවන්, ප‍්‍රවේශයන් මහ ජනතාවට ඇහෙන දකින එක ඇතුලෙ.

    දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ද වුණත් මේක ආක‍්‍රමණයක්. ක්ෂුද්‍ර අදහස් කතිකාවක් විසින් මහා කතිකාව නතු කර ගැනීමක්. ඒක මේ කතිකාවන් එක්ක කාලයක් තිස්සෙ ජීවත් වුණු හැමෝටම වැදගත්  තැනක්.

    සන්නස්ගල කියන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුවට එක්ස්ටී‍්‍රම් එකක්. ජවිපෙ වුණත් මහා දේශපාලනය ඇතුලෙ සාම්ප‍්‍රදායික විනයගත තැනක හොඳ ළමයා වුණා. ඒත් සන්නස්ගල කියන්නෙ පුද්ගලයෙක්. යූඇන්පිය කියන්නෙ විවෘත පක්ෂයක්. ඒක වෙනස් විදිහෙ වැඩක් ට‍්‍රයි කරන්න හොඳ ඉඩක්. සන්නස්ගල කියන්නෙ එහෙම වැඩකට හොඳ ඇමක්.

    බුද්ධිමය තග ඇතුලෙ ජනප‍්‍රිය වෙමින් සන්නා කොහොමත් කොළඹ මුල්ම 05 ඇතුලට රිංග ගන්නවා. එයා ළ`ග තියෙන මාධ්‍ය ප‍්‍රාග්ධනය ඒකට හොඳටම ඇති. ඒ මිසක් සන්නාගෙ පොලිටිකල් කැම්පේන් එක නම් නමටත් නොගැලපෙන තරම් දියාරු වග කියන්න  ඕන.

    සන්නස්ගලගෙ පංති පෝස්ටර් හොඳ තැනක තිබුණ චන්ද පෝස්ටර් වලට වැඩිය. එයාට තිබුණ කවුරුවත් නොකරපු ප‍්‍රචාරණ උපක‍්‍රම හරහා අලූත්ම අදහස් සන්නිවේදනයකට යන්න. විශේෂයෙන්ම ඩිජිටල් ප‍්‍රජාවත් එක්ක සෙට් වෙන්න. තමන්ගෙ දේශපාලන රැුල්ල කැම්පේන් එකේ ඉඳන්ම හදාගන්න ඉඩක් තියෙද්දි සන්නස්ගල මොකද්දෝ බැලන්ස් කිරීමකට යන්න ගිහින් නාස්ති වෙනවා.

    ලංකාවෙ කවුරුවත් මුද්‍රණය නොකරන පොත් සන්නස්ගල මුද්‍රණය කරලා තියෙනවා, ලංකාවෙ කිසි කෙනෙක් සල්ලි නොදාන චිත‍්‍රපටිවලට සන්නස්ගල සල්ලි දාලා තියෙනවා, තාම වුණත් විකල්ප කණ්ඩායම් සල්ලි නැති ප‍්‍රින්ටින් වැඩ වලට හොයාගෙන යන්නෙ සන්නව. බහුතරය බැහැර කරන දේ බාරගන්න, බහුතරය එපා කියන දේ කරන්න, පොඩි බුද්ධිමය චණ්ඩි ත‍්‍රිලක් සන්නස්ගල කියන චරිතය පුරාම තියෙනවා. ඒක මහා දේශපාලනේදි වෙනම පාටක් වෙයි. කවුරුවත් වැදගත් විදිහට නොගන්නා ක්ෂුද්‍ර තලයේ මාතෘකා හරහා වෙනම ප‍්‍රවණතාවයක සංවාද ඇති කරන්න පුළුවන් මන්ත‍්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉඳී.

    විකල්ප කතිකාවන් වල ඉන්න අයට සන්නස්ගල වෙනුවෙන් යම් මැදිහත්වීමක් කිරීමේ යුතුකමක් තියෙනවා කියල මම හිතනවා. ඒක සන්නස්ගලට කඬේ යාමක් වෙන්නෙ අපි අපි උන් අතරෙ විතරයි. ඒත් මහ මැතිවරණ දේශපාලනයක් ඇතුලෙ ඒක අපි අපේ අදහස් වෙනුවෙන් කඬේ යාමක්.

    ඒක හින්ද මං හිතන්නෙ සන්නස්ගල චන්දෙ ඉල්ලපු එක හොඳයි. ඒ චන්දෙ ඉල්ලීම පවා විකල්ප සංස්කෘතික කතිකා ජනගත කරන්න පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ විදිහට මහජන කතිරයක් හරහා ක්ෂුද්‍ර තලයේ දේශපාලන අදහස් අනාවරණය කරන්න ඉඩක් හදාගන්න එක දියුණු වැඩක්. අපිට පුළුවන් සන්නස්ගල හරහා පිට්ටනිය වෙනස් කරන්න. ඒකට අපි දන්න අඳුරන පුද්ගලික සන්නස්ගලගෙන් ටිකක් ඈතට වෙන්න  ඕන.

    අදහසක් සංසිද්ධියක් ව්‍යාපෘතියක් විදිහට සන්නස්ගලව ගන්න  ඕන. සන්නස්ගලගෙ අවසානය සනිටුහන් කරන මේ චන්දෙ අපේ ආරම්භයක් වෙන්න පුළුවන්.


    චින්තන ධර්මදාස

  • සිනමාවට බැඳි හාද…

    සිනමාවට බැඳි හාද…

    දවස් ගානක් කැලෑ ඇතුලෙ ෂූට් කරලා ආපහු ගෙදර එද්දි මාව ඇතුලෙන් දෙකට තුනට ඉරිලා. මට මාව අමතක වෙලා තිබුණ. දවස් ගානක් එක දිගට තිබුණ ඇසිඞ් ටි‍්‍රප් එකක් වගේ. ෂූට් එකක් කියන්නෙ රමණයක් තරම් ලස්සන මරණයක්.

    ලංකාවෙ සිනමාව තවදුරටත් හුස්ම ගන්නෙ කොහොමද කියන එකට හරි උත්තරේ වෙන්න  ඕන ඒ හා සම්බන්ධව වැඩ කරන මිනිස්සු අතලොස්සකගෙ තියෙන නොසන්සිඳෙන පේ‍්‍රමය කියලයි මං හිතන්නෙ. ඒක රොමැන්ටික් කතාවක් වගේ පෙණුනත් ඊට එහා මේ මොහොතෙ සිනමාව වැඩකරන භෞතික හේතුවක් මට හිතාගන්න බෑ. මේ ගෞරවය චිත‍්‍රපටි ඩිරෙක්ටර්ලට වඩා අයිති වෙන්න  ඕන චිත‍්‍රපටි වෙනුවෙන් වැඩ කරන අනෙක් පිරිසට. ඒ කියන්නෙ යුනිට් එකේ කොල්ලොන්ගෙන් පටන්ගත්තම ආර්ට්, මේක් අප්, ස්පෙෂල් අෆෙක්ට්ස්, කැමරා, එඩිටින් වගේම ර`ගපාන නළු නිළියන්ට. ඩිරෙක්ටර් කෙනෙකුට පිටරට සම්මානයක් හරි වැදගත් වෙන්න පුළුවන්. ඒත් සිනමාව කියල එකක් තවදුරටත් නෑ කියල දැන දැන ඒ වෙනුවෙන් තමන්ගෙ ශ‍්‍රමය හරිහමන් වැටුපක් වත් නොලබා කැප කරන මේ ඉතුරු පාර්ශ්ව වල කැපවීම සහ භක්තිය මං වෙන කිසිම කර්මාන්තෙක නොදැකපු දෙයක්. කොටින්ම මාසෙ වැටුපට වැඩ කරන මාව තැගැස්සුන තැනක්.

    නළු නිළියො කියන්නෙ විශේෂයෙන්ම විකල්ප සිනමාවෙ රගපාන අය. වාණිජ සිනමාවෙ අයට නම් තාමත් ඉතිරි ඔප්ෂන් කීපයක් තියෙනවා. වැඩි ගානකට ලිංගික අලෙවියක් ලැබීමේ ඉඳන් දේශපාලනයට එනකල් ඒ ඔප්ෂන් විවිධ වෙන්න පුළුවන්. ඒත් විකල්ප සිනමාව වෙනුවෙන් එන නළු නිළියො මේ පරිප්පුව කන්නෙ මොකක් වෙනුවෙන්ද? හරි හැටි ගෙවීමක් නැතිව, සමහර වෙලාවට ඇෙග් ඇඳුම් පවා නැතුව, රූගත කිරීම් වලදී හරිහැටි ඉන්න හිටින්න තැනක් වත් නැතුව,  ඒත් උපරිමයෙන් තමන්ගේ චරිතය (ස්ක‍්‍රිප්ට් එකෙන් තමන්ට භාර) ජීවත් කරවන්න කැපවෙන කෞෂල්‍යා ප‍්‍රමුඛ මේ සිනමාවට අයිති රංග ශිල්පීන් සහ ශිල්පිනියන් මේ කට්ට ඇතුලෙ ලබන තෘප්තිය.. ඒක අත්ඇරගන්න බැරි රෝගාතුර පේ‍්‍රමයක්. සමහර විට තමන් ගැන කිසිම ගරුත්වයක් හෝ වටිනාකමක් නොදෙන බව සහතික අධ්‍යක්‍ෂවරුන් එක්ක පවා මේ අය වැඩ කරනවා, තමන්ගෙ රංගන දායකත්වයේ අබමල් රේණුවක හෝ අඩුවක් නොකර. සිනමාව ගැන තියෙන පිස්සුව, භක්තිය, විශ්වාසය ඇරෙන්න වෙන කිසිම මාව තෘප්තිමත් කරන උත්තරයක් හොයා ගන්න මට බෑ.

    ආර්ට් සහ මේක්අප් කියන්නෙ සිනමාවෙ ඊළග අඩිය ඉස්සරහට යන්න නම් කැමරාවෙ තාක්‍ෂණයටත් වඩා වැදගත් වෙන කොටසක්. ලෙන්ස් එක දැනුම වගේම චිත‍්‍රපටියෙ කතා කරන ලෝකය ඇතුලෙ තමන්ගෙ විෂය නිර්මාණය කර ගැනීමත් මේ කාරනා දෙකේදිම අවශ්‍යයි. කරපු වැඩ වලින් සහ බලපු ලංකාවෙ නිර්මාණ වලින් මං බලාපොරොත්තු අත්ඇරගෙන හිටියෙ මේ කලාප දෙක ගැන. දියුණු කර්මාන්තයක් නැතුව කොහොමද ඒ කර්මාන්තෙ අංශ වෙනම දියුණු වෙන්නෙ? ඒත් මට මුණගැහුන අලූත් උන් හින්ද මට හිතෙන්නෙ වැඬේ සිද්ද වෙන්නෙ අනිත් අතට. කර්මාන්තයක් නැතුවමත් ක‍්‍රියේටිව් එවුන් ටිකක් තමන් විහින් මේ විෂයන් දියුණු කරමින් යනවා.  වෙන කවර කාලෙක හිටියාටත් වඩා දක්ෂ කලා සහ වේශනිරූපණ ශිල්පියො ‘ටිකක්’ අද ලංකාවෙ ඉන්නවා. ප‍්‍රතිලාභයක් හෝ අඩුතරමෙ පාවිච්චි කරන්න තැනක් හෝ නැතුවම තමන්ගේ ඇෙග් අමාරුවට මේ අය විවිධ අත්හදාබැලීම් කරනවා. යූ ටියුබ් වීඩියෝ හරහා වෙන රටවල චිත‍්‍රපටි තාක්‍ෂණයන් ගැන දැනුම එකතු කර ගන්නවා. කොමර්ෂල් එකක් කරලා කිසි මහන්සියක් නැතුවම වැඩි ගානක් හොයාගන්න පුළුවන්කම තියෙද්දි චිත‍්‍රපටියක් වෙනුවෙන් දෙපාරක් නොහිතා වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. නොපවතින සිනමාවක් ඇතුලෙ වුනත් තමන්ගෙ සිහිනය ජීවත් කරවන්න මේ අය  ඕනම දේකට උපරිමෙන් එකතු වෙනවා.

    යුනිට් වල ඉන්නෙ චිත‍්‍රපටි ගැන පිස්සුවෙන් ආපු උන්.  ගොඩක් වෙලාවට නළුවෙක් වෙන්න ආසාවෙන් ඇවිත් එකතු වෙච්ච එවුන්. දවල් රෑ නැතුව, කඳු කැලෑ නැතුව චිත‍්‍රපටියෙන් චිත‍්‍රපටියට මාරු වෙන උන්ට වෙන ජීවිතයක් නෑ. ඒත් හැම චිත‍්‍රපටියකටම තමන්ගෙ උපරිමය දෙන්න උන් ට‍්‍රයි කරනවා. පොතෙන් පතෙන් නොවුනත් චිත‍්‍රපටි ගානක වැඩි  කිරීම හරහා දන්න අත්දැකීම් වලින් ප‍්‍රායෝගිකම විසඳුම් දෙන්න උන්ට පුළුවන්. සමහර වෙලාවට මං වගේ ඩිරෙක්ටර්ලා පවා චිත‍්‍රපටිය අත්අරින කොට ඒක ඇදගෙන යන හයිය වෙන්නෙ මේ ‘යක්කු’  ටික.

    ඩිරෙක්ටර් කෙනෙක් කියන්නෙ අව්කූටකේ ෂූට් එකක දවස් දෙකක් යද්දි හෙම්බත්  චරිතයක්. මානසිකව සහ භෞතිකව අමාරු තැන් කීපයක් පිට පිට ආපු ගමන් ඩිරෙක්ටර් කෙනෙක් වැටෙනවා. (ඉඳලා හිටලා පහල වෙන යකඩයො ඇරුණම) ඒත් ඩියුටිය, නැත්තං තමන්ගේ කාර්යය ගැන විශ්වාසය කියන එක ක‍්‍රියේටිව් තැනට වඩා ගොඩක් හයිය තැනක්. හැම වෙලාවකම තමන්ගෙ වැඩෙන් එලියට ගිහිල්ලත් චිත‍්‍රපටිය වෙනුවෙන් කරන්න තියෙන දේ කරන්න යුනිට් වල එවුන් බහින්නෙ ඒ විශ්වාසෙට. ඇත්තටම උන්ගෙ අතේ පයේ හයිය සහ විනයක් සහිත දැනුම එක්ක මීට වඩා ලේසි ජීවත් වෙන ක‍්‍රම හොයාගන්න පුළුවන්. ඒත් ෆිල්ම් උණට බෙහෙත් නෑ.

    චිත‍්‍රපටියක් කියන්නෙ තිරය උඩ දකින දේ කියල කියන්නෙ නිෂ්පාදකයො, වෙළෙන්දො සහ පේ‍්‍රක්ෂකයො. ඒත් චිත‍්‍රපටි හදන හැමෝම දන්නවා චිත‍්‍රපටියෙ ඇත්ත කොටස තියෙන්නෙ තිරයට කලින්. චිත‍්‍රපටියක් හැදෙන අත්දැකීම.. ඒකයි සිනමාවෙ ඇත්ත පේ‍්‍රමනීය කොටස. ඒක ආධ්‍යාත්මික අත්දැකීමක්.

    මේ වෙලාව ලංකාවෙ ආධ්‍යාත්මික සිනමාවෙ මොහොත විදිහටයි මං දකින්නෙ. විශේෂයෙන්ම නොපවතින සිනමාවක් වෙනුවෙන්, කොටින්ම පෙන්නන්න තිරයක් පවා නැතුව, බලන්න පේ‍්‍රක්ෂකයන් පවා නැතුව ලංකාවෙ චිත‍්‍රපටි හැදෙනවා. ඒ චිත‍්‍රපටි වෙනුවෙන් මිනිස්සු දවල් රෑ නැතුව වැඩ කරනවා. මෙතන හේතුව මුදල නෙමෙයි. මේ වැඩකරන්නෙ සිනමාව ගැන තියෙන භක්තිය. ආගමිකත්වය. නැත්තං ඇබ්බැහිය.

    සිනමා කර්මාන්තය දියුණු වෙන්න  ඕන කියල කොයිතරම් අරගල කළත් මේ පවතින මොහොතටත් මං යටි හිතෙන් කැමතියි. ආදරයක් ටෙස්ට් වෙන්නෙ අර්බුද අවස්ථාවලදි වගේම සිනමාව ටෙස්ට් වෙන්නෙත් ඒකට පැවැත්මක් නැති තැනදි. ඒ නොදකින දේ වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීමේ ප‍්‍රමාණය තමයි සිනමාව ගැන විශ්වාසයේ තරම.

    චිත‍්‍රපටියක් කරනවා කියන්නෙ කෙනෙකුට ජීවිත කාලෙදි ලබන්න පුළුවන් එක්තරා ආධ්‍යාත්මික අත්දැකීමක්. ඒක කවදාවත් කෙටි චිත‍්‍රපටියකින් ලබන්න බැරි දෙයක්. කෙටි චිත‍්‍රපටි කියන්නෙ සිනමාව නෙමෙයි කියල මං දකින්නෙ මේ තැනින්. සිනමාව ඇතුලෙදි තමන්ව පරීක්‍ෂාවට ලක්වෙන්න  ඕන. කෘතිය ඇතුලෙ ඒක සිද්ද වෙන එක කලාවට අයිති වගේම ඊට පිටින් අත්දැකීම ඇතුලෙ ඒක සිද්ද වෙන ජීවිතේට අයිතියි.

    ෆිල්ම් එකක් ෂූට් කරනවා කියන්නෙ දවස් ගානක වැඩක්. වැඩියෙන්ම තමන් ජීවත් වෙන පළාතෙන් පිට දුර ඈතක වෙනස්ම පරිසරයක ගොඩක් දවස් ගත කරන්න වෙනවා නම් මේ අත්දැකීම තවත් දරුණුයි. මිනිස්සු කට්ටියක් තමන්ගෙ සුවදායී පරිසරයෙන් සහ ජීවිතයෙන් වෙන් කරලා කොහේ හරි පළාතක බරපතල වැඩ ඇතුව සිරගත කිරීමක් වගෙයි.

    මේ විදිහට දවස් දෙකක් තුනක් යද්දි මහන්සිය සහ කාංසිය විසින් මිනිස්සුන්ව හෙම්බත් කරනවා. කේන්තිය, ආවේගය, අසහනය, නොරිස්සීම හැමදෙයක්ම පිටාර ගලන්න ගන්නවා. අපි විසින් වහන් කරගෙන දමනය කරගෙන හුන් සත්වයා එලියට එන්න ද`ගලනවා. ඒත් කණ්ඩායමක් විදිහට එක වැඩක් ඉවර කරන්න අපිට නියමිතයි. මේ වටපිටාව ඇතුලෙ දේවල් කළමනාකරනය වෙන විදිහ හරිම මානුෂීයයි. වැඩියෙන්ම අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්නෙ යුනිට් එකට. ඉක්මනටම කඩන් වැටෙන්නෙ ඩිරෙක්ටර්.  තේ හදන කොල්ලා පවා සමහර වෙලාවල කිලෝමීටර් ගනන් අතේ කරේ එල්ලගෙන තේ, වතුර අදිනවා, කිසි හාවක් හූවක් නැතුව. මේ ශක්තීන් වැඩක් ඇතුලෙ මුහුවෙන එක චමත්කාරජනක මනුස්ස අත්දැකීමක්.

    චිත‍්‍රපටියක් හැමතිස්සෙම ඒකෙ ඩිරෙක්ටර්ට වඩා විශාලයි. චිත‍්‍රපටිය කියන්නෙ ඩිරෙක්ටර්ම වුනොත් එයාගෙ තියෙන සීමිතකම ලොකු තිරයක් උඩ ලොකුවට පේන්න ගන්නවා. ඒත් වියමනක් විදිහට හැමෝගෙම දැනුම සහ මහන්සිය සෙට් එකක සෙට් වුනාම සිනමාව බිහිවෙන්න පටන්ගන්නවා. පුද්ගලික සීමිත බව නවකතාවක් හෝ චිත‍්‍රයකට වඩා එහාට යන්නෙ නෑ. ඒත් චිත‍්‍රපටියක් කියන්නෙ මේ මොහොතෙ ලෝකෙ දැවැන්තම කලාව. ඒකට සාමූහික බව අනිවාර්යයි.

    එකිනෙකාගෙ රසායනයන් මිශ‍්‍රවෙලා චිත‍්‍රපටියක වේගය තීරණය වෙන හැටි, රූපයේ ස්වභාවය තීරණය වෙන හැටි, මේ දේවල් වලින් තමයි ඒ චිත‍්‍රපටියේ බීට් එක හැදෙන්නෙ. සාමූහික කලාවක් විදිහට හිතන එක ඇතුලෙයි සිනමාවෙ අනාගතය තීරණය වෙන්නෙ.

    තාමත් විජයට ආදරේ කරන ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා, ගාමිනී වගේ වෙන්න ආපු ටෙක්නීෂියන්ස්ලා, පරණ ප්‍රොඩක්ෂන් ගැන තළු මර මර කතා කියන ප්‍රොඩක්ෂන් මැනේජර් ලා වගේ සිනමාවෙන් ආතුර වුණු ලොකු පිරිසක් කැමරාව වටේ ඉන්නවා. සිනමාව වෙනුවෙන්  ඕනම දෙයක් කරන්න කොන්දේසි විරහිතව සූදානම් රසික පිරිසක් පරණ සිනමාව විසින් ඉතුරු කරලා තියෙනවා. සිනමාවෙ ප‍්‍රාග්ධනය මේකයි. හෝල් එකේ කැඩෙන ටිකට් ගානට වඩා චිත‍්‍රපටියක් හැදෙන්න බලපාන පාරභෞතික හේතුව මේකයි.

    එදා සිනමාව වගේ නෙමෙයි අද සිනමාවෙ ඇත්ත හේතුව තියෙන්නෙ තිරයට කලින්. ඒ යතාර්ථය පයිසෙකටවත් ගණන් නොගෙන සිනමාවට ආදරය කරන පිරිසක් ඒ වෙනුවෙන් වැඩ කිරීම මිසක් සුනිල් ටී හෝ වෙන වෙළෙන්දෙක්ගෙ කැපවීම නෙමෙයි.


    චින්තන ධර්මදාස

  • ගල් ගහන්න එන්න.

    ගල් ගහන්න එන්න.

    ණිකාව කියන්නෙ හරිම සරාගී වචනයක්. ඒ වචනෙ ඇහුණ ගමන්ම ගොඩක් පිරිමින්ගෙ හැගීම් අවදි වෙනවා. මේ වචනෙ තියෙන සුවිශේෂීත්වය වෙන්නෙ හැගීම් අවදි වෙන අතරෙම තමන්ගෙ සදාචාරය ගැන පොඩි වහගැනිල්ලකුත් කරගන්න පුළුවන් එක. පත්තරවල ගණිකා නිවාස වටලන ප‍්‍රවෘත්ති මේ තරම් පළවෙන්නෙත්, හිරු වගේ නාලිකාවල සීඅයිඒ කිය කිය නිතර ගණිකා නිවාසවලටම පනින්නෙත් මේ ජාතිය අවදි කිරීම වෙනුවෙන්.

    ගණිකාව, බඩුව, ගොනා මේ විදිහට සමාජ ශෝදක අර්තෙකින් නිතර මේ වචනෙ තලූමැරීම පිටිපස්සෙ තියෙනවා ‘හියුමිලියේෂන්’ නැත්තං අනෙකාට නිර්දය ලෙස ලැජ්ජා කරමින් ලබාගන්නා ලිංගික තෘප්තියක්. මේ ඉරොටික් හියුමිලියේෂන් කියන එක මේ වෙද්දි ලෝකෙ ෆැන්ටසියක් විදිහට හොඳටම දියුණු වෙච්ච ශෘංගාර කලාපයක්. සමාජ දියුණු වෙද්දි අනෙකා පෙලීමෙන් තමන් ලබන තෘප්තීන් ක‍්‍රීඩාවන් බවට පෙරලගන්නවා. රගර්, ෆුට් බෝල්, ක‍්‍රිකට් මේ හැම ක‍්‍රීඩාවකම මුල තියෙන්නෙ දමනය කළ ප‍්‍රචණ්ඩත්වයක්. වනචාරී ආශාවක් ශිෂ්ට කර ගැනීමක්. ඒ විදිහටම අනෙකා පෙලීමෙන් තෘප්ත කරනු ලැබූ හැම ලිංගික ආශාවක්මත් ක‍්‍රීඩාවක් බවට පෙරලූනා. ඒ දියුණු සමාජ වල. අපි වගේ නොදියුණු සමාජ වල තාම ඒ වනචාරී ආශාවන් සමාජය පෙළමින් ගලන්න ගන්නවා. පත්තර පිටු උඩ, සාලෙ මැද ටීවී තිරය මත, ගල් උඩ ඉඳන් හෙලන බැලූම් අතර තියෙන්නෙ මේ අශ්ශීල ආශාව. ප‍්‍රසිද්ද මාධ්‍ය හරහා මිනිස්සුන්ගෙ ජීවිත කෙලෙසමින් තියෙනවා.

    මම ගණිකාවන් ගැන කතා කරන්නෙ ‘ලඳුනේ ලඳුනේ’ සිංදුවෙ වර්ගයේ මානව පේ‍්‍රමයකින් නම් නෙමෙයි. ඒ වෙනුවට වඩා දියුණු වෘත්තීය අයිතීන් සහිත ගණිකා වෘත්තියක් වෙනුවෙනුයි මම පෙනී ඉන්නෙ. ආකල්පමය සහ නීතිමය හැටියෙන් මේ වෘත්තිමයභාවය නැති හින්ද සිද්ද වෙන්නෙ ගණිකාවො අඩුවෙන එක නෙමෙයි. ඒ වෙනුවට කිසිම අනුදැනුමකින් තොර ලිංගික සූරාකෑමක් සිද්ද වෙන එක. අපේ රටේ නීතිය වගේම මාධ්‍ය වලින් කරන්නෙත් ඒ සූරාකෑමෙ කොටසක්.

    ගණිකාවක් කියන එකේ තේරුම යම් කෙනෙක් මුදලක් පිණිස යම් ලිංගික කටයුත්තකට සම්බන්ද වෙනවා කියන එක. ඒකෙ තියෙන බරපතල කාරනේ ඒ මුදල වෙනුවෙන් විකිණෙන දේ වෙන්නෙ තමන්ගෙ ශරීරය වීම. තමන්ගෙ ජීවිතය දෙයක් බවට ඌනනය කර ගන්න එකයි ගණිකා වෘත්තියෙ අත්විඳින දුෂ්කරම අභියෝගය වෙන්නෙ. දෙයක් විදිහට පාවිච්චි කරන්න, සූරා කන්න, තලාපෙලා දාන්න, කිසිම අයිතිවාසිකමක් නැති නිකම්ම නිකම් දෙයක් විදිහට ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් එකයි ගණිකාවක් එක්ක නිදාගැනීමේ බහුතර උවමනාව වෙන්නෙ (ඊට බාහිර පුංචි සොඳුරු උවමනා ඇති අයත් නැතුවා නෙමෙයි).

    බඩුවක් දක්වා පිරිහෙලීම ඇතුලෙ අපි විසින් වාෂ්ප කරන්නෙ ඇයගෙ ජීවිතය. පත්තරවලට, ගොසිප් වලට අහුවෙන්නෙ නැත්තෙ ඒ ජීවිතය. එතනයි තියෙන්නෙ ගණිකාව පැවතීමේ සමාජ හේතුව. වෙනස් කිරීම කොහොම වුණත් අඩු ගානෙ තේරුම් ගැනීමකටවත් ඒ අවස්ථා සම්බන්දය දැනගන්න  ඕන.

    ගණිකාවකටවත් බෑ තමන්ව දෙයක් විදිහට බාර ගන්න. එයා රහසේ දෙයක් බවට පත්වෙලා නැවත උදේ වෙද්දි බැඳීම් හා සම්බන්දතා සහිත මනුස්ස ජීවිතයක් බවට පත්වෙන්නෙ ඒ හින්ද. ඒ හැංගීම පිටිපස්සෙ තියෙන්නෙ සමාජ පිළිගැනීමක, බාර ගැනීමක උවමනාව. ඒත් මේ මාධ්‍ය සහ අනෙක් සදාචාරවාදී ගෝත‍්‍ර කරන්නෙ ඇයව දෙයක් විදිහටම සීල් කරන එක. කොන්ක‍්‍රීට් දාලා මුහුදෙ වලදාන එක.

    ඕෂෝ ළ`ග හිටපු සන්‍යාසි කෙනෙක් නැවත එයාගෙ රටට යන්න ලෑස්ති වෙනවා. එයා ඒ රටේ ගණිකාවක්. නැවත එහේ ගිහින් මුදල් උපයන්න ඒ රැුකියාවට යොමු වෙන්න වුණත් හිත ඇතුලෙන් බෑ කියනවා වගේ.

    ඕෂෝ උත්තර දෙනවා.

    ”වෙන මොනවා හරි කරන්න. ගණිකාවක් වෙනවා කියන්නෙ ඔයාගෙ ශරීරය පාවා දෙනවා කියන එක. සදාචාරාත්මකව ඒකෙ ඇති කිසි වැරැද්දක් නෑ. ඒත් ආධ්‍යාත්මිකව ලොකු අවුලක් තියෙනවා. ඔයා ඔයාව දෙයක් බවට පත් කර ගන්නවා. ඒක ශරීරයට කරන අපහාසයක්.

    අනිත් ආගමික කට්ටිය ගණිකා වෘත්තියට විරුද්ද වෙන්නෙ වෙනමම හේතු මත. ඒත් මම විරුද්ද වෙන්නෙ ඊට වඩා වෙනස් හේතුවකට. කෙනෙක් එයාගෙ ශරීරය ගැන භක්තිවන්ත වෙන්න  ඕන. ශරීරයට ආදරය කරන්න  ඕන.

    ඔයා කැමති කෙනෙකුට ඒක තෑගි කරන්න. ඒත් මුදලට විකිණීම කියන්නෙ අපහාසයක්. ඒක දෙවියන්ගෙන් ඔයාට ලැබිච්ච තෑග්ගක්. මුදලට ගත්ත නැති දෙයක් මුදලට විකුණන්න ඔයාට කොහෙත්ම අයිතියක් නෑ.

    මේ ශරීරය ලැබීම ගැන ඔයා ස්තුතිවන්ත වෙන්න  ඕන. මේක තමයි ඔයාගෙ පන්සල. අනිත් ආගමික කට්ටිය ගණිකා වෘත්තියට විරුද්ද වෙන්නෙ වෙන වෙන හේතු උඩ. ඒ ගොල්ලො සෙක්ස් වලට විරුද්දයි. තෘප්තියට විරුද්දයි. මිනිස්සු සතුටු වෙනවට විරුද්දයි. ඒ හේතු උඩයි ඒ ගොල්ලො ගණිකා වෘත්තියටත් විරුද්ද වෙන්නෙ. ඒ ගොල්ලො ලිංගික ආශාවන් යටපත් කරගෙන ජීවත් වීම අනුදකින අය. ඉතා සීමිත ලිංගික ජීවිත ඇතුලෙ ජීවත් වෙන්නයි ඒ ගොල්ලො උපදෙස් දෙන්නෙ.

    ගණිකාව නිසා නිදහස ලැබෙනවා. ඒකයි ඒ අය විරුද්ද. ඒ අයට  ඕන දැඩි ලෙස ඒක ස්වාමි/භාර්යා ව‍්‍රතයට නතු වුණු සමාජයක්. මිනිහා ගැහැනිය අයිති කරගෙන ඉන්නවා. ගැහැනිය මිනිහව අයිති කරගෙන ඉන්නවා. ගැහැනියත් මිනිහාත් දෙන්නම අන්තිමට එකිනෙකාට අයිති දේපොලක් විතරයි. මට අනුව ඒකත් වෛශ්‍යා ව‍්‍රතයම තමයි. ඒ අය ඒකට විවාහය කිව්වට මං කියන්නෙ ඒක සදාකාලික වෛශ්‍යා ව‍්‍රතයක්.

    මම සම්පූර්ණයෙන්ම පෙනී ඉන්නෙ ආදරය වෙනුවෙන්. විවාහයට මං විරුද්ද නිසාම ගණිකා වෘත්තියටත් මම විරුද්දයි. ගණිකා වෘත්තිය කියන්නෙම කසාදෙ අතුරුඵලයක්. ලෝකෙන් කසාදෙ නැතිවෙන දවසට ගණිකා වෘත්තියත් නැති වෙලා යනවා.

    මිනිස්සු ඒ අයගෙ ශරීර වලට ඇති ආදරය නිසාම තමන් ආදරය කරන අයත් එක්ක ඒ ශරීර බෙදා ගැනීමයි සිද්ද වෙන්න  ඕන. ඒකයි එකම සම්බන්ධතා විදිහ. ඒත් කසාදය ඇතුලෙ නීත්‍යානුකූල ගණිකා වෘත්තියක් සිද්ද වෙනවා. පිරිමියා ආර්ථිකය බාර ගන්නෙ තමන්ට උවමනා විදිහට පාවිච්චි වෙන්න ගැහැණිය එකග නම් විතරයි. පාරට වැටෙන්න බය නිසා ගැහැණිය එකග වෙනවා වෙන්න පුළුවන්.

    පුරුෂයා විසින් අත්ඇරලා දැම්මොත් එක මිනිහෙක් වෙනුවට ඇයට පිරිමි ගානක් එක්ක නිදාගන්න සිද්ද වෙනවා. ඉතින් ඇය එක`ග වෙනවා.

    කිසි වෙලාවක ශරීරය දෙයක් විදිහට සලකන්න එපා. ඔයා ආදරය කරන කෙනෙක් එක්ක ශරීරය සහ හදවත එකට පැවැත්මක් විදිහට බෙදාගන්න. එතන ආදරය නැත්තම් වෙන විදිහක් නෑ. ශරීරය බෙදාගන්න  ඕන ආදරෙන් විතරයි. ඒක නැත්තං ස්වාමි පුරුෂයා එක්කවත් ශරීරය බෙදාගන්න එපා”

    • ඕෂෝ-

    ගණිකාව සහ සදාචාරය කියන කාරණය  ඕෂෝ ආධ්‍යාත්මික තැනකට අරගෙන එනවා. ශරීරය පාවා දීම ඇතුලෙ සමාජයට නිදහස ගේන අතරෙ තමන්ගෙ ඇතුලෙන් පැවැත්ම මරා දැමීම ගැනයි  ඕෂෝ මේ කාන්තාව සවිඥාණක කරන්නෙ.

    බ්‍රෙන්ඩා මයර්ස් පවෙල් ගණිකාවක් වෙන්නෙ එයාගෙ ළමා කාලෙදි. අවුරුදු තිස්ගානක් ගතවුණු ඒ ජීවිතේ ගැන බ්‍රෙන්ඩා කියන්නෙ පත්තරයක්වත් වැඩසටහනක්වත් වැඩිපුර විකුණන්න නෙමෙයි. එයා වගේ ජීවිතේ අහිමි වෙමින් යන තව කීප දෙනෙකුට හරි ඒ කතාව ඇහෙන්න.

    ”මිනිස්සු හිතනවා නම් ගණිකා වෘත්තිය හරි සරලයි, ලේසියි, ආටෝපයි කියල, (හරියට ප‍්‍රිටී වුමන් වගේ) ඒක මුලාවක්. ගණිකාවක් දවසට මිනිස්සු පස්දෙනෙක් එක්කවත් නිදාගන්නවා. ඒ කියන්නෙ අවුරුද්දට 1800ක් පිරිමි. එතන කිසි සම්බන්ධයක් නෑ. කිසි කෙනෙක් මට මල් පොකුරු අරන් එන්නෙ නෑ. ඒ හැමෝම කක්කුස්සියක් වගේ මගේ ඇ`ග පාවිච්චි කරනවා විතරයි.

    ක්ලයන්ට්ස්ලා නිතරම වගේ ප‍්‍රචණ්ඩයි. මට පස් සැරයක් වෙඩි වැදිලා තියෙනවා. දහතුන් වතාවක් පිහි ඇනුම් කාලා තියෙනවා. මට කියන්න තියෙන්නෙ සමාජය ඒ අයට එහෙම කරන්න ලේසි කරනවා. ඒ අයගෙ මානසික රෝග, අවුල් ඔක්කොම ගණිකාවන්ගෙ පිටින් යන්නෙ. පොලිසියකට ගිහින් පැමිනිල්ලක් කරන්නවත් ඉඩක් අපිට නෑ.

    මට අවුරුදු 40 දි විතර එක රෑක මාව ක්ලයන්ට් කෙනෙක් කාර් එකෙන් එලියට විසි කරලා දැම්මා. මගේ ඇඳුම දොරේ පැටළුණු හින්ද මාව ගෙවල් බ්ලොක් දෙකක් විතර දුර ඇදි ඇදී ගියා. මගේ මූණත් ඇෙ`ග් පැත්තකුත් දරුණු විදිහට තුවාල වුණා.

    මාව දැකපු දොස්තර කලබල වෙලා පොලිස් නිලධාරියෙක් කැඳෙව්වා. පොලිස් නිලධාරියා මං දිහා බලාගෙන ඉඳලා දොස්තරට මෙහෙම කිව්වා.
    ‘ආ.. මං මෙයාව දන්නවා. මෙයා පාරෙ ඉන්න ගණිකාවක්නෙ. ෂුවර් එකට කාගෙ හරි පර්ස් එකකට වැඩක් දීලා ඇති. හොඳ වැඬේ මුංට…’

    ඒ ගොල්ලො හිනාවුනා. මාව හදිසි අනතුරු වාට්ටුවෙන් එලියට ඇදලා දැම්මෙ හරියට මං බෙහෙතක් දාගන්නවත් තරම් වටින්නෙ නෑ වගේ.

    මං ඇත්තටම වාසනාවන්තයි. මං දන්න ලස්සන ගෑනු ළමයි කොච්චරක් පාරෙ මරලා දාලා තියෙනවද?

    මම ඩ‍්‍රග්ස් වලට වැටෙන්නෙ නැතුව අවුරුදු 14ත් 15ක් විතර රස්සාව කළා. ඒත් අමාරු තැනක් එනවා. කවුරු හරි කොට්ටෙන් ඔයාගෙ හුස්ම හිර කරලා මරලා දාන්න හරි, පිහියෙන් බෙල්ල කපන්න හරි හදන කොට… ඔයාට මොනවා හරි දෙයක්  ඕන වෙනවා ජීවිතේ ඉස්සරහට ඇදගෙන යන්න.

    මිනිස්සු එක එක දේවල් කියනවා ගණිකා වෘත්තිය ගැන. සමහරු හිතන්නෙ මේක නීතිගත කළාම හරි යයි කියල. ඇත්තටම එක එක ගැහැණුන්ගෙ කතාව වෙනස්. නීතිගත කරනවා වගේ දෙයක් හොඳ වෙයි ප‍්‍රයිවෙට් කැම්පස් එකේ ගාන ගෙවා ගන්න ගණිකා වෘත්තිය කරන අයට වගේ නම්. ඒත් පොඩි කාලෙම අපචාරයට ලක්වුණු ළමයෙකුට… වෙන විකල්පයක් තියෙනවා කියලවත් නොදන්න දරුවෙකුට ඒක ගැලපෙන්නෙ නැහැ. එයා උත්සාහ කරන්නෙ කන්න විදිහක් හොයා ගන්න.

    මං අහන්නෙ ගණිකා වෘත්තිය නීතිගත වුනොත් ඔයා යාලූවො කී දෙනෙකුට බලකරන්න ලෑස්තිද දැන් කරන රස්සාව අත්ඇරලා ඒක කරන්න කියල. ඔයාගෙ නෑදෑයොන්ට ඒ විකල්ප රස්සාව දෙන්න ඔයා ලෑස්තිද?

    මං තව එකක් කියන්නම්.. අපි හිතමු අර කැම්පස් එකට සල්ලි හොයන ගෑනු ළමයට මේ ප‍්‍රශ්න නෑ කියල. එයාට ඉන්නෙ නිශ්චිත ඉහල පංතියෙ ක්ලයන්ට්ස්ලා ටිකක් කියල. ඒත් පළවෙනි වතාවට එයාට එක්කෙනෙක් වද දෙන්න ගත්තමයි තේරෙන්නෙ මේ රස්සාවෙ ඇත්ත තත්වෙ.  ඕනම වෙලාවක ඒ විදිහෙ විකෘතියෙක් මේ රස්සාව ඇතුලෙ මුනගැහෙන්න පුළුවන්. එයාගෙ පිටිපස්සෙ තව කට්ටියක්ම ඉන්නවා. උන් ඔයාට බලහත්කාරකම් කරනවා, දූෂනය කරනවා..  සල්ලි මංකොල්ල කනවා. ඔයාට ජීවත් වෙන්න විදිහක් නැති තැනක් එනවා. ඒකයි ගණිකා වෘත්තියෙ යතාර්ථය”

    කොයි තරම් දුක වුණත් බ්‍රෙන්ඩා කියන්නෙ ලස්සන කතාවක්.

    ‘කොයිතරම් හානියකට පස්සෙ වුනත් ජීවිතයක් ඉතුරු වෙලා තියෙනවා. කොයිතරම් වදවේදනා වලට පස්සෙ වුණත් ජීවිතයක් තියෙනවා. ඔයා කිසි වටිනාකමක් නැති දෙයක්, කුණු කෑල්ලක් කියල මිනිස්සු කිව්වත් තවත් ඉතිරි ජීවිතයක් තියෙනවා. මං කියන්නෙ පොඞ්ඩක් එහෙම නෙමෙයි. ගත කරන්න තව ලොකු ජීවිතයක් තියෙනවා..’

    බ්‍රෙන්ඩා එ විදිහට පාරට වැටුණු අයට බලාපොරොත්තුවක් දෙනවා. ඒ අය දේවල් නෙමෙයි මිනිස්සු කියල එයා මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ අය එක්ක ජීවිතේ බෙදා හදාගන්න මැදිහත් වෙනවා.

    (උපුටාගැනීම – බීබීසී ප‍්‍රවෘත්ති ස`ගරාව)

    මට හිතෙන්නෙ සදාචාරය කියන්නෙ ඒකට. ඒක ආදරයේ ප‍්‍රතිඵලයක් වෙන්න  ඕන. ලංකාවෙ මගේ ජීවිත කාලෙ ඇතුලත ඒ විදිහට සදාචාරය වෙනුවෙන් මැදිහත් වුන එක චරිතයක් මට මුණගැහිලා තියෙනවා. ඒ උදුල් පේ‍්‍රමරත්න. පොලිසියෙන් ගණිකාවක් කියල බට්ටිව බූට් සපත්තුවට පාගලා දාන්න යද්දි උදුල් බට්ටි වෙනුවෙන් හිටගත්තා. බට්ටි කියන්නෙත් ජීවිතයක් කියල සමාජයටත් නැවත බට්ටිටත් කියල දුන්නා. පොඩියට කළා වුණත් ඒක ලොකු අරගලයක්.

    සදාචාරය හොයන්න  ඕන සමාජ සංසිද්දියේ හෝ හේතුවේ මිස පුද්ගලයා ඇතුලෙ නෙමෙයි. ජීවිත දේවල් බවට පත් කරන එකට කියන්නෙ අපචාරය. මිනිස්සු මිනිස්සු විදිහට තේරුම් ගන්න පුළුවන්, බාර ගන්න පුළුවන් සදාචාරයක් අපිට තියෙන්න  ඕන. ඒකට අපචාරී මාධ්‍ය සහ සමාජ සංස්කෘතිය කෙලින් ප‍්‍රශ්න කරන්න  ඕන.

    ‘ ඕන වෙලාවක ජැක්ට (බූරුවාට) ජැක් කියන්න.ඉස්කෝප්පෙට ඉස්කෝප්ප කියන්න. ඒත් වෛශ්‍යාවට නෝනා කෙනෙක් මෙන් අමතන්න වග බලා ගන්න.’

    -පැටි‍්‍රක් රොත්ෆස් (ලේඛක)


    චින්තන ධර්මදාස

  • ඕකත් විප්ලවයක්ද?

    ඕකත් විප්ලවයක්ද?

    පහුගිය ජනවාරි 08 වෙනිද සිද්ද වුනේ සරල සාමාන්‍ය බල පෙරලියක් කියන තැන ඉඳන් අත්වැරැුද්දක්, කුමන්ත‍්‍ර‍්‍රණයක් කියන තැන දක්වා විවිද කතා කියන කට්ටිය ඉන්නවා. මහින්දට කඬේ යන පිරිස් විතරක් නෙමෙයි කවදාහරි මහා ඔක්තෝම්බර් විප්ලවයක් වෙනකල් බලන් ඉන්න වර්ගයේ වාමාංශිකයොත් මේ අතර ඉන්නවා. සමාජයේ සිද්ද වෙන වැදගත් සවිඥාණක වෙනස්කම් වලට බරක් තියන්න බැරි  වෙන එකම මේ අයගෙ දේශපාලන නොදැනුම සටහන් කරනවා.

    මගේ ජීවිත කාලෙදි දැකපු ලොකුම විප්ලවීය වෙනස සිද්ද වුණේ ජනවාරි 08 වෙනිද. කවදාවත් කවුරුවත් වෙනස් කරන්න බෑ කියල හිතපු රාජාණ්ඩුවක් පෙරලන්න පුරවැසි කණ්ඩායම් වලට පුළුවන් වුණා. යහ පාලනය කියන්නෙ අරකද මේකද කියල අහන ගොඩක් ප‍්‍රගතිශීලී කට්ටිය අමතක නොකරන කාරනේ වෙන්නෙ ජනවාරියේ මහින්ද පැරදුනේ නැත්තං වෙන්නෙ මොකක්ද කියන එකයි.

    රට සහමුලින්ම මෝඩකමේ ගිලෙමින් තිබුනෙ. සංවර්ධනය කියන්නෙ පාරවල් හදන එක කියල සමස්ත ජනතාවම පිළිඅරගෙන හිටියෙ. කොළඹ පාරවල් වල ගල් අල්ලනවා ගලවනවා නැවත අල්ලනවා. අන්තිමට පාරට වඩා ලොකු පේමන්ට් හැදෙනවා. මහ පාරෙ සන්නද්ධව ඇවිත් මිනී මරලා පස්සෙ අමතක වුණා කියල කියන්න පුළුවන් විදිහට රටේ නීති හැදුන. විරුද්ද මතයක් දරන අයට සුදු වෑන් පහසුකම් ලබා දුන්නා. රටේ මාධ්‍ය කියල දෙයක් තිබුණෙ නෑ. හොරකම කියන එක සරල සාමාන්‍ය ශ‍්‍රී ලාංකේය උරුමය වුණා. සිනමාව කලාව නන්නත්තාර වුණා. ලෝකෙ සිද්ද වෙන හැම දියුණුවක්ම ලංකාවට එරෙහි කුමන්ත‍්‍රණයක් වුණා. අපි ගූූගල් ෆේස්බුක් වලට පවා රාජ්‍ය මට්ටමෙන් එරෙහි වෙන ජාතියක් වුණා.

    සියල්ල සංක්‍ෂිප්තව කිව්වොත් අපි අභිමානයක් නැති ජාතියක් වුණා. ලෝක මට්ටමෙන් වගේම රට ඇතුලෙත් කිසිම කෙනෙකුට ආත්ම අභිමානයක් කියල දෙයක් ගෑවිලාවත් තිබුනෙ නෑ. අරුම පුදුම අධ්‍යාපන ඇමතිවරු සහ අනෙක් කටයුතු ඇමතිවරු රටේ ඇතිවුණා. මේ හැමදේකම තියෙන භෞතික පරිහානියට වඩා දරුණු වුනේ රටේ සිද්ද වෙමින් පැවති මානසික පරිහාණිය. අපි සමාජයක් හැටියට අපි ගැන වටහා ගනිමින් සහ පිටතට ප‍්‍රක්‍ෂේපණය කරමින් ඉන්නෙ මොකක්ද කියන එක.

    අන්ත ජාතිවාදී කෙලවරකට රට ගමන් ගනිමින් තිබුණ. මහින්දට පක්ෂ නම් දේශපේ‍්‍රමී, විපක්ෂ නම් දේශද්‍රෝහී.. බෙදුම් ලකුණ තිබුනෙ එච්චරයි. රට හෘදය සාක්ෂියක් රහිතව එල්ලෙමින් පැද්දෙමින් තිබුණ.

    යම් පමණකට හෝ සමාජය ගැන සවිඥාණකත්වයක් ඉතිරිව තිබුණු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් මේ ප‍්‍රවාහය වෙනස් කරන්න එකතු වෙන්නෙ මේ පසුබිමේදි. කිසිම බලාපොරොත්තුවක් තබා ගත නොහැකි කාලයක තමන්ගේ ජීවිත තර්ජන පවා නොතකා මේ අවසාන උත්සාහය දරන්නට මේ මිනිස්සු එකතුවීමම අහම්බයක්. මහින්දගෙම භාෂාවෙන් කියනවා නම් ආශ්චර්යයක්.

    ආණ්ඩුව උපරිම ද`ග දැමීමෙන් පවා පාලනය කරගත නොහැකි වුණු ඩිජිටල් මාධ්‍ය හරහා දැවැන්ත කැරැල්ලක් ඇරඹෙන්නෙ මෙතනදි. ඒක තනිකරම තාක්‍ෂණික විප්ලවයක්. නූතන සමාජ පෙරළියක්. උදලූ කෙටේරි අරගෙන කොළඹ වටකරන ග‍්‍රාමීය විප්ලව සිහිනයේ පසුවෙන වාමාංශිකයො මේක විප්ලවයක්ද කියල අහන්නෙ ඒකයි. ලෝකයේ බිහිවුණු දුර්දාන්තම පාලනයක් එක ලේ බිංදුවක් හෝ නොසොල්ලා පෙරලා දමන්නට හැකිවුණු සිවිල් සමාජ අරගලයක් විප්ලවයක් නෙමෙයි නම් වෙන මොන බුබ්බක්ද? (නදීක ගුරුගේ වචනයක්)

    වැදගත්ම දේ මේ වෙනස පුරවැසි සමාජයෙන් ආපු වෙනසක් වුණු එක. මේක පාර්ලිමේන්තුව ඇතුලෙ බල පෙරලියක් හෝ හුදෙක් පක්ෂ ජරමරයක් නෙමෙයි. ජනතාවගේ සවිඥාණක නැගී සිටීමකට අනුගත වෙන්න දේශපාලනයට සිද්ද වෙනවා. මෛත‍්‍රී කියන්නෙ ඒ අදහස වෙනුවෙන් හිටගත්ත නායකත්වයක් මිස වෙනස කියන්නෙ මෛත‍්‍රී නෙමෙයි. රටම තමන් යටත් වැසියන් හැටියට කිසි පැකිලීමකින් තොරව බාරගෙන තමන්ගෙ පාඩුවෙ පොඩි පොඩි හොරකම් කරගෙන අගේට ජීවත් වෙමින් යද්දි නැවත මිනිස් අයිතීන්, විධිමත් රාජ්‍ය ආයතන සහ යාන්ත‍්‍රණ අවධාරණය කරන හ`ඩක් සමාජයට ගේන්න මේ නාගරික කණ්ඩායම් වලට පුළුවන් වෙනවා. අනිවාර්යෙන්ම මේක මහ ජනතාවගේ අරගලයක් නෙමෙයි. මේක සිවිල් ජන කොටසෙ අරගලයක්. ජනප‍්‍රිය තේමාවන්ට විරුද්දව ගිය, නැවත සමාජය ගැන විශ්වාසය අවධාරණය කරපු අරගලයක්. බුද්ධියකින් තොර පාදඩකම පෙරළන්නට ඒ සංවිධානගත වීම ඇතුලෙ පුළුවන් වුණා.

    මේ විප්ලවය හෑල්ලූ කරන පිරිස් ප‍්‍රශ්න කරන්නෙ දින සීයෙ පොරොන්දු ලැයිස්තුව අතේ තියාගෙන. ඒ එකින් එක පොරොන්දුව ඉටු නොවුණු පදනම උඩ යහපාලනය ආපහු මහින්ද පාලනය කරා වුණත් පෙරළා දමන්න ඒ අය ලෑස්තියි. දින සීයෙ පොරොන්දු ඇතුලෙ අසාර්ථක වෙන්නෙ ආණ්ඩුව මිස පුරවැසි අරගලය නෙමෙයි. ආණ්ඩුවට බැරි වෙනවා ඒ පුරවැසි ප‍්‍රතිරූපය රකින්න. පුරවැසි සංවිධාන වලට සිද්ද වෙනවා අරගලය ඉවර නැති බව තේරුම් ගන්න.

    ජනවාරි 08න් පස්සෙ ජනතාව වෙනුවෙන් හිටගත්ත හැටියට පෙනී හිටපු නායකයො ආයිමත් තම තමන්ගෙ බලය  ලොකු කර ගැනීමේ ව්‍යාපෘති දක්වා පසුබැස්සා. එතෙක් පුරුදු පුහුණු වෙමින් හිටපු කුහක, හොර, හීන ආත්ම ලාභයන් වෙනුවෙන් වැඩ කරන්න ගත්තා. විශේෂයෙන්ම පොදු පෙරමුණ සහ යූඇන්පිය අතරෙ බලය තමන් අතට ගැනීමෙ පොරය බලන් ඉන්න කැතයි. තමන්ගෙ පක්ෂය සහ තමන්ගේ බලයේ ත‍්‍රිල ඇරුණම ඊට වඩා ලොකු දේශපාලන විශ්වයක ආස්වාදයක් විඳින්න මේ දේශපාලකයො පොඩි වැඩියි. ඉතා නුදුරු අනාගතයෙදි තමන්ගෙ දේශපාලන භූමිකාවන් අවලංගු වෙන්න නියමිත වග දකින්න ඒ ඔලූ ළපටි වැඩියි.

    ඒ කොහොම වුණත් මේ අවුල සාපේක්ෂයි. මහින්දගේ පාලනයේ වියවුල එක්ක බලන කොට මේක අවුලක් නොවෙන ගානයි. ජනතාව විදිහට ජීවත් වීමේ නිදහස බුක්ති විඳින්න, ගෞරවනීය ජීවිතයක අයිතිය ලබා ගන්න ජනවාරි 08න් පස්සෙ වේදිකාවක් හැදුන. උදා විදිහට විද්යා දැරිය දූෂණය කිරීම කොටි නැවත නැගිටීමේ කුමන්ත‍්‍රණයක් කියන පැලැස්තරයෙන් මුදාගෙන සමාජ පාදඩකරණයේ ප‍්‍රතිඵලයක් හැටියට නීතිමය ද`ඩුවම් ලබා දෙන්න පුළුවන් තත්වයක් ඇතිවුණා. දෙමළ මිනිස්සු සහ පොඩි එවුන්ගෙ බෙලි කපලා මරා දාපු හමුදා සොල්දාදුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. දැරියන් සිය දෙනෙක් දූෂණය කළ සතුටට පාර්ටි දාන මන්ත‍්‍රීවරුන් හිටපු රටක මේ වෙනස සෑහෙන ලොකු වෙනසක්.

    සිවිල් සංවිධාන පැත්තෙනුත් ජනවාරි 08න් පස්සෙ වැඬේ ආණ්ඩුවට බාර දීලා අපි ගෙවල් වලට ගියා. ඒකයි අපේ පුරුදු විදිහ. ඒත් මෙතනදි ආණ්ඩුව කියන්නෙ ද්විතියික කාරණයක් කියන එක අපිට අමතක වුණා. තවදුරටත් වඩාත් සංවිධානාත්මකව සමාජ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් වැඩ කිරීම අනිවාර්යෙන්ම අවශ්‍ය මොහොතක ආණ්ඩුව දිහා බලාගෙන කාලය ගත වුණා. නැවත එළඹෙන මහ මැතිවරණය අවධාරණය කරන්නෙ මේ අවශ්‍යතාවය.

    නිර්මාල් යෝජනා කරලා තිබුණු විදිහට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම මෙතනදි හොඳ වෑයමක් වෙන්න පුළුවන්. ඒත් මට හිතෙන්නෙ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරමින් ශක්තිමත් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම හරහා රටේ විවිධ විෂයන් වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්ති ගොඩනගා ගැනීම මේ මොහොතේදී තීරණාත්මකයි. එතනදි වඩා වැදගත් වෙන්නෙ දූෂිතයන්ව පාර්ලිමේන්තුවට නොගැනීමේ දරුණු බල කිරීමක්. ප‍්‍රධාන පක්ෂ දෙකටම මේ පීඩනය සිවිල් සංවිධාන පැත්තෙන් එල්ල වෙන්න  ඕන. විවේචන එල්ල වෙන්න  ඕන. අවශ්‍ය ශිෂ්ට පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ජනතාව උනන්දු කරන්න  ඕන.

    මෙතනින් එහාට තියෙන්නෙ හොරු ඇල්ලීම හෝ වැරදි සෙවීමේ දේශපාලනය නෙමෙයි. රටේ දැක්මක් ඇතිව වැඩ කරන සැලසුමක් නිර්මාණය වෙන්න නම් ප‍්‍රධාන පක්ෂ දෙක රටට වග කියන අන්දමින් ප‍්‍රතිසංවිධානයක් වීම අනිවාර්යයි. එතනදි පුරවැසියන්ට අවශ්‍ය පරිදි පක්ෂය නිර්මාණය කර ගැනීමේ උවමනාව දැනෙන තරමට තල්ලූව ප‍්‍රබල වෙන්න  ඕන. විපක්ෂය ශක්තිමත් කිරීම මෙතනදි ද්විතියික කාරණයක්.

    ‘‘අසාධාරණය, දුගීබව,  වහල්බව,  මෝඩකම  මේ  වගේ  දේවල්  සමහර  විිට  විිප්ලවයකින්  වෙනස්  කරන්න  පුලූුවන්.  ඒත් මිිනිස්සුන්ගෙ  ජීීවිිතේ  කියන්නෙ  නපුරට  විිරුද්දව  සටන්්  කිරීමම  නෙමෙයි.  මිිනිස්සුන්ට  ධනාත්මක  අරමුණු  අවශ්‍යයි.  පුද්ගලිකව  වගේම  සාමූහිකවත්.  විිශාල  පරිිමාණයක  එවන්  අරමුණු  සමාජයකට  අවශ්‍යයි.  සමහරවිිිට  සමාජයට  නොගැලපෙන  තරමට..’’

    ඉසයියා  බර්්ලින්

    ඩිජිටල් මාධ්‍යකරණයත් එක්ක රටේ දේශපාලනය වෙනස් වෙලා ඉවරයි. තවදුරටත් ආණ්ඩුවේ බලය දෙවියන් වහන්සේගේ බලය විදිහට ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ. වෙළඳ බලය තීරණාත්මක බලය විදිහට වැඩ කරන්නෙ නැහැ. මාධ්‍ය බලය ප‍්‍රධාන ගාමකය විදිහට පවතින්නෙ නැහැ. ඒ වෙනුවට අසංවිධානාත්මක නමුත් සවිඥාණකව එකිනෙකා සම්බන්ධ පුරවැසි නාලිකා අන්තර්ජාලය හරහා ක‍්‍රියාත්මකයි. අනෙක් රටවල සිද්ද වෙන නව ප‍්‍රජාතාන්ත‍්‍රික වෙනස්කම් හරහා ඒ මොහොතේම යාවත්කාලීන වන, දූපතෙන් එහා අවකාශයක මනසින් සැරිසරන නව පුරවැසි ප‍්‍රජාවකට සරිලන දේශපාලනයක් පක්ෂ වලට නිර්මාණය කර ගන්න සිද්ද වෙනවා. ඒ නූතන දේශපාලන රටාව තේරුම් ගන්න බැරි වෙන ඩයිනසෝරයො වුණත් වඳ වෙලා යනවා.

    හොඳම උදාහරණය පොලිස් සේවයේ විනය හැදෙන්න වඩාත් බලපෑවෙ ආයතනික නීති හෝ පරිපාටි නෙමෙයි. ඒ වෙනුවට මිනිස්සු හොරෙන් ගත්ත මෝබයිල් වීඩියෝ ක්ලිප් සහ සෙල්ෆි. ඒ හරහා වැඩි විනිවිදභාවයකින් වගේම සහෝදරත්වයකින් යුත් සේවයක් සපයන්න පොලිසියෙ අයටත් සිද්ද වුණා. දඩ සෙල්ෆි හැටියට මෑතක ප‍්‍රසිද්ද වුණු දඩ කොල ලියන අතරෙ ගත්ත සෙල්ෆි ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියපු කතාව වුණත් ප‍්‍රගතිශීලියි. ඒකෙන් පොලිසියෙ හිතවත් මහජන සේවය ගැන හැ`ගීමක් රටවැසියන්ට ඇති වෙනවා වගේ තැනකින් එයා ඒක බාර ගත්තා. ඒක ඇත්තක්. ඉස්සරහට අපි නිරන්තරයෙන්ම තවත් පිරිසක් විසින් නිරීක්ෂණය කරමින් සිටින ජීවීන් බවට පත්වෙනවා. දේශපාලකයන්ට අනිත් අයට වඩා කැමරා ප‍්‍රමාණයක් අනිවාර්යෙන්ම එල්ල වෙනවා. ඩිජිටල් දේශපාලන යුගයට ගැලපෙන දැක්මක් ඇතිව තමන්ගෙ ව්‍යාපෘති නිර්මාණය කර ගන්න බැරි බඩ තඩියන්ට විශ‍්‍රාම යන්න සිද්ද වෙනවා.

    ‘ඩිිජිිටල්  විිප්ලවය කියන්නෙ ලිවීීම  සහ  මුද්‍ර‍්‍ර‍්‍රණය  සොයාගැනීමටත්  වඩා  අතිශය  වැදගත්  පෙරලියක්’

    • ඩග්ලස්  එන්ගල්බර්ට්

    මෙතනදි වඩා භයානක අවදානම වෙන්නෙ මහින්ද සාධකය. කිසිම ලැජ්ජාවක් ඇති මිනිහෙක් නොකරන ආකාරයෙන් පැරදුණු දවසේ පටන් පන්සල් ගානෙ කතා පවත්වමින් මහින්ද අගමැති වෙන්න ද`ගලනවා. මහින්ද කියන්නෙ ප‍්‍රතිවිප්ලවය. නැවත ජාතිවාදය, ආගම්වාදය, දූෂණය හොරකම සහ මැරකම. දේශපාලනය ඇරෙන්න අනිත් හැම කුජීත පුද්ගල මිනිස් ගතියක්ම තමයි මහින්දගෙ දේශපාලනය. ගූගල් වලට ගල් ගහපු හෙංචයියන් පිරිවරාගෙන එන මහින්දගේ කතිකාව කියන්නෙම යටත්වැසියන්ගෙ උවමනාව.

    ලංකාවෙ මහා ජනතාව කියන එක ගත්තොත් එක විදිහකට ඓතිහාසික ස්ව පීඩකකාමයකින් පෙළෙන පිරිසක්. බීගෙන ඇවිත් තඩිබාන මිනිහටම පෙම් කරන ගෑනියෙක් වගේ තමන් පෙළන්නාටම වන්දනා කරන මානසිකත්වයක්. අනාගතය, අභියෝගය වෙනුවට අතීතයටම වදින්නට කැමති ගුහාගත ආත්ම කොටසක්.

    හොරකමෙන් අවුරුදු දහයක් තිස්සෙ දුවපු යාන්ත‍්‍රණයන් හොරකම නැතුව දුවන්න දන්නෙ නැහැ. සංවර්ධනය අඩාල වෙලා කියල අපි දකින්නෙ ඒ දුවන තෙල් නැතිකම. මේ සියල්ල නැවත ගොඩනගන්න ශක්තිමත් ව්‍යාපාරයක්  ඕන වෙනවා. ඒක ආණ්ඩුවකට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    ජනවාරි විප්ලවය රැකගැනීම වෙනුවෙන් නැවත පළල් සංග‍්‍රාමයක් කරන්න  ඕන වෙන්නෙ ඒ නිසයි. පුරවැසි සමාජයක් ඇති කර ගැනීම වෙනුවෙන් ජනවාරියේ පටන් ගත් නාගරික විප්ලවය ගම් දනවු කරා ගෙනයමින් ගෞරවනීය ජීවිතයක උවමනාව කියල දෙන්න සිද්ද වෙනවා. හෘදය සාක්ෂිය කියන්නෙ මොකක්ද කියල ආයිමත් උගන්නන්න වෙනවා. මහින්ද ඇත්තට පරාද වෙන්නෙ එදාට.

  • ඩාලි මයි ඩාලිං

    ඩාලි මයි ඩාලිං

    මට ඕන වුනේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983 දි ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු 87යි.

    ඔව්, ගලා අවුරුදු 10ක් විතර වැඩිමල් ඩාලිට වඩා.

    මතකයන් සහ සුන්දර මොහොතවල හොඳම පණිවුඩකරුවා.. ඩාලි පර්ෆියුම් හඳුන්වන්නෙ එහෙම. ඩාලි මේ පර්ෆියුම් එක හදන්න එයාගෙ කැමතිම මල් දෙක, එකක් එයා වැඩ කරද්දිත් කනේ ගහගෙන ඉන්න පිච්ච මල, අනෙක රෝස පාවිච්චි කරනවා. මේ තමයි ආර්ටිස්ට් කෙනෙක් අතින් ලෝකෙ නිපදවුණු පළවෙනි පර්ෆියුම් එක.

    ඉතින් මං ඒක ගැන හොය හොය හිටියෙ. එතනදි නිකංම අධිසත්තාවාදී චිත‍්‍රකරුවෙක් විදිහට වඩා වෙන විදිහකට ඩාලි ගැන බලන්න දොරක් ඇරුණ. ඩාලි අධිසත්තාවාදී චිත‍්‍රවල පියා නොවුණත් අධිසත්තාවාදී චිත‍්‍රකලාවෙ යතුර නිතරම තිබුණෙ එයාගෙ සාක්කුවෙ. එයාව මේ ගුරුකුලෙන් පිටමං කරද්දි ඩාලි කියනවා,
    ‘අධිසත්තාවාදය කියන්නෙ මම නෙ’ කියල.

    ඩාලි මේ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. ඒ කියන්නෙ සැල්වදොර් ඩාලි සහ අධිසත්තාවාදී චිත‍්‍රය කියන්නෙ දෙකක් නෙමෙයි. ඩාලි එහෙම්පිටින්ම සරියල් ප‍්‍රකාශනයක්. චිත‍්‍ර කියන්නෙ ඒ ප‍්‍රකාශනයෙ එක කෑල්ලක් විතරයි.

    ඩාලිගෙ අපි හැමෝම දන්නවා පොකට් ඔරලෝසු දියවෙලා වැක්කෙරෙන චිත‍්‍රය. සමහර ඔරලෝසු කූඹි කනවා. විචාරකයො කියන විදිහට කාලය යනු දැඩි හො නිශ්චිත යමක් නෙමෙයි කියන අදහසලූ මේ කියන්නෙ.

    චිත්‍රෙක මේ විදිහට තේරුම හොයන්න යන එක චිත්‍රෙ නැති කරන වැඩක්. මට හිතෙන්නෙ චිත‍්‍රයක් තේරුමට වඩා ගොඩක් ලොකුයි. ඒක වචන වලට වඩා වෙන අදහසක් අවිඥාණයට ඇතුල් කරනවා. අපි නොදන්නා වූ අතාර්කික සම්බන්දයකින් අපි චිත‍්‍රයක් එක්ක බැඳෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩාලිගේ වගේ චිත‍්‍ර. මේ තේරුම හෙවීම හැම ආර්ට් එකකම විචාරයේ ලොකු අවුලක්.

    මට අනුව ඩාලි කියන්නෙ සයිකඩෙලික් චිත‍්‍ර කලාවෙ ආරම්භය. ඒ වෙද්දි එල්එස්ඞී හොයාගෙනත් නෑ. ඒත් වැගිරෙන ඔරලෝසු තියෙනවා. අනික ඩාලිම කියන විදිහට එයා කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒත් හොඳම ‘ඇසිඞ්’ විෂුවල්ස් නිර්මාණය වෙන්නෙ එයාගෙ අතින්.

    ‘මම ඩ‍්‍රග්ස් ගන්නෙ නෑ. මොකද මං කියන්නෙම ඩ‍්‍රග්ස්’ -ඩාලි

    කලාකාරයෙක් වුණාම දුප්පත් වෙන්න ඕන, දුක් විඳින්න ඕන, කඩමාළු අඳින්න ඕන කියල ඒ කාලෙ යුරෝපෙත් බෝවෙලා තිබුණු සම්ප‍්‍රදාය ඩාලි කණපිට හරවනවා. එයා හොඳම ජේත්තුකාරයෙක්. සුඛ විහරණයට අසීමිතව ඇලූම් කළ කෙනෙක්. අනික එයා වාමාංශිකයෙක් නෙමෙයි. ඒ කාලෙත් සැබෑ කලාකාරයෙක් නම් වාමාංශිකයෙක් වෙන්න ඕන කියල එකක් තිබුණ. විශේෂයෙන්ම මේ අධිසත්තාවාදී ගුරුකුලයේ් ආන්ද්‍රෙ බ්‍රෙටෝන් වගේ හතරැුස් චරිත ඩාලිට විරුද්ද වුණා තදටම. එයා ඩාලිට කිව්වෙ අවිඩා ඩොලර්ස් (ඩොලර් පෙරේතයා) කියල.

    විලාසිතාවක් විදිහට ඒ කාලෙ ප‍්‍රබුද්ද කලාකාරයො හැමෝම හිට්ලර්ට විරුද්ද වුණා. මේක දැනුත් එහෙමයි. 2011 කාන් ෆෙස්ටිවල් එකේ ලොකු විරෝධයක් එනවා ලාර්ස් වොන් ටි‍්‍රයර් ට එයා හිට්ලර්ට පක්ෂපාත වුණා කියල. වොන් ටි‍්‍රයර්ට කාන්ස් එන්න දෙන්නෙ නැති වෙනවා. ඒ වොන් ටි‍්‍රයර් හිට්ලර්ව එයාට තේරෙනවා කියල කියපු හින්ද. හිට්ලර් මනුස්සයෙක් විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා ඉන්ටවිව් එකක කියපු කතාවකට. ආර්ටිස්ට් කෙනෙක් විදිහට ලෝකෙ දරුණුම මිනිහගේ පවා මිනිස් නිමේෂයන් එක්ක බැඳෙන්න පුළුවන් වීම මුනිවර තත්වයක්. ඒත් කාන්ස් සම්මාන උළෙලට සහ ඒ කලා නඬේට ඊට වඩා දේශපාලනික හේතු ලොකු වුණා.

    ඒත් මේ දේශපාලන අදහස් විසින් කලාව බදු ගැනීම ගැන අවුලක් ඩාලිට තිබුණ. එයාගෙ අදහස වුනේ අධිසත්තාවාදයට පවතින්න දේශපාලනය අවශ්‍ය නෑ කියන එක. අපොලිටිකල් අධිසත්තාවාදයක් තියෙන්න පුළුවන් කියන එක. මේක ඇහුවම අනිවාර්යෙන් විදර්ශනට වඩා සියදහස් ගුණයක් බ්‍රෙටෝන්ට මළ පනින්න ඇති.

    මට කරන්න දෙයක් නෑ හිට්ලර්ගෙ පස්ස දැක්කම මගේ ශෘංගාරය අවදි වෙනවා, ඩාලි තමන්ගෙ අදහස කිව්වා.
    ඩාලිගේ ආර්ට් පිටිපස්සෙ තිබුනෙ උපවිඥානයේ ප‍්‍රකාශන. මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකළට අවශ්‍ය විටෙක උපවිඥානයට යන්න පුළුවන් ටෙක්නික්ස් ඩාලි දියුණු කළා. ඒකට එයා කිව්වෙ ‘පැරනොයික් ක‍්‍රිටිකල් මෙතඞ්’ කියල. දිගවෙලාවක් ඔලූවෙන් හිටගෙන ඉඳීම සහ නැවත ප‍්‍රකෘති තත්වයට ආ විගස ඇස් යට මැවෙන රූප, නින්ද යාගෙන එන විට ඇඳෙන යතාර්ථය සහ සිහිනය අතර රූප ඩාලි චිත‍්‍ර වලට අරගෙන ආවා. මේ උපවිඥානය ඇක්සස් කරන එක තමයි එයා කිව්වෙ උපරිම ක‍්‍රියේටිවිටි එක කියල.

    මට කියන්න ඕන වුනේ ඩාලි ගැන නෙමෙයි. ඒත් ඩාලි ගැන ඕපාදූප ඒ තර්කයේ් සීමා අතික‍්‍රමණය කරපු සිතීම ටිකක් හෝ තේරුම්ගන්න ඕන කරනවා. ඩාලි තියරියක් නෙමෙයි. ඩාලි ජීවිතයක්.

    ඩාලිගේ පුනරුත්පත්ති කතාව.

    සැල්වදොර් ඩාලි ඉපදෙන්න අවුරුද්දකට කලින් ඩාලිගේ දෙමව්පියන්ට තව දරුවෙක් බිහිවෙන්න ඉන්නවා. ඒ ගොල්ලො එයාටයි මුලින්්ම නම තියන්නෙ ඩාලි කියල. ඒත් ඒ ළමයා ඉපදෙද්දිම මැරෙනවා. ඊට අවුරුද්දකට පස්සෙ ඉපදෙන්න එන දරුවටත් ඒ ගොල්ලො නම තියන්නෙ ඩාලි කියල. ඒ මදිවට අවුරුදු 5දි ඩාලිව එක්කගෙන ගිහින් කලින් මළ දරුවගේ සොහොන පෙන්නලා ඒ ගොල්ලො කියනවා ඒ ඔයා තමයි මේ ඉපදිලා ඉන්නෙ කියල. ඩාලිගේ මේ සංකීර්ණය එයාගෙ පහුකාලෙ චිත‍්‍රවල පවා හොල්මන් කරනවා. එයා විශ්වාස කරනවා එයා මැරිච්ච අයියාගේ පුනරුත්පත්තිය කියල.

    ‘අපි දෙන්නා එක වගේම වතුර බිංදු දෙකක්. ඒත් අපි දෙන්නගෙන් පෙනෙන පරාවර්තන වෙනස්’- ඩාලි

    ඩාලිගේ ලෙජන්ඩරි රැවුල.

    ජෝ්න් ලෙනන් කියන්නෙ ඩාලිගේ හොඳ යාලූවෙක්. ඒ යාලූකමට යෝකෝ ඔනෝ එකපාරක් මුණගැහුන වෙලාවක ඩාලිගෙන් රැුවුල් ගහක් ඉල්ලනවා සැමරුමක් විදිහට. ඩාලිගේ රැුවුල විශේෂ රැවුලක්නෙ. ඩාලි කියන විදිහට ඒ රැුවුලෙ අග උල්වුණු අග‍්‍ර දෙකෙන් තමයි මුලූ ලෝකෙටම අවශ්‍ය ශක්තිය සම්පේ‍්‍රෂණය වෙන්නෙ. කොහොම වුණත් ඩාලි මේ රැවුල් ගහට හිතාගන්න බැරි ගානක් ඉල්ලනවා. මට ගාන මතක නෑ. ඒත් ඒක අහපු ගමන් යෝකෝ ඔනෝ පස්සට විසි වෙනවා.

    ගොඩක් අය කියන්නෙ ඒ ඩාලිගේ සල්ලි පෙරේතකම කියල. ඒත් ළ`ගම අය දන්න ඇත්ත හේතුව ඩාලි විශ්වාස කරනවා යෝකෝ ඔනෝ එයාට හූනියං කරයි කියල රැුවුල් ගහ අරන් ගිහින්.

    ඩාලිගේ මනස තාර්කික, දේශපාලනික හෝ නූතනවාදී වගේ සීමාවක හිරවුනේ නෑ. ඒ වෙනුවට එයාට මිත්‍යාවට, අදේශපාලනයට, අතීතයට, පෙර ආත්මයට පවා යන්න නිදහස තිබුණ. ඩාලි කියන්නෙ මොඩර්න් වෙන්න ද`ගළන්න ඕන නෑ, මොකද කොහොමටත් අපිට කරන හැම දෙයක්ම මොඩර්න් වීම වළක්වන්න බැරි හින්ද කියල.

    මට කියන්න ඕන වුනේ ඩාලිගේ පේ‍්‍රමය ගැන. ඒත් කතාව කැලේ ගියා.

    ගලා කියන්නෙ රුසියානු යුවතියක්. ඩාලිට එයාව මුලින්ම මුණගැහෙද්දි එයා පෝල් එලාර්ඞ් කියන ප‍්‍රසිද්ද ප‍්‍රංශ අධිසත්තාවාදී කවියගේ බිරිඳ. ඒත් ඩාලිට කොහොම හරි ගලාව තමන්ගෙ කර ගන්න ඕන වෙනවා.

    පෝල් සහ ගලා අතරත් තියෙන්නෙ විවෘත විදිහෙ සම්බන්දයක් ( ඕපන් රිලේෂන්ෂිප්). ඔවුන් අතරෙ වෙනත් ලිංගික සම්බන්දතා වලට බාධා පැනවෙන්නෙ නෑ. ඒ විවෘතකම ඇතුලෙ ඩාලි එක්ක පෑහෙන ගලා අන්තිමට ඩාලි එක්කම නවතින්න තීරණය කරනවා. ඒ ආදරය වෙනුවෙන් ඩාලි එයාට ලොකු මන්දිරයක් තෑගි කරනවා. ගලා ඒ මන්දිරය බාරගන්නෙත් එක කොන්දේසියක් උඩ. ඒ ඩාලි වුණත්් ඒ මන්දිරයට එනවා නම් ලිඛිත දැනුම්දීමකින් පස්සෙ එන්න ඕන කියන එක.

    ඩාලි එක`ග වෙනවා. ගලාට මන්දිරය ලැබෙනවා.

    ඩාලිගේ සියලූ දේ වෙන්නෙ මේ ආදරය. මුල්කාලෙ එයා හැම චිත‍්‍රයක්ම අවසන් කළේ එයාගෙයි ගලාගෙයි දෙන්නගෙම අත්සන් එක්ක. ඒ චිත‍්‍රවලට ඉන්ස්පිරේෂන් එක වුණේ ගලාගේ ආදරය. ඒත් ඒක අපි උපකල්පනය කරන විදිහෙ සරල ලව් එකක් නෙමෙයි. පෝල් එලාර්ඞ් වගේ කවියෙක් අත්ඇරලා ඩාලි ළ`ගට එන්න තරම් හේතුවක් තියෙන්න ඕන එතන. අනික ගලා කියන්නෙ තමන්ගෙ නිදහස කිසි හේතුවක් හින්ද පාවලා නොදෙන වර්ගයේ ගැහැණියක්.

    ගලාට මුණගැහෙනකල් ඩාලි ස්ත‍්‍රියක් එක්ක වෙන කිසි ලිංගික අත්දැකීමක් ලබලා නෑ. ඒකට හේතුව ස්ත‍්‍රී යෝනිය සම්බන්ධයෙන් ඩාලිට තියෙන නොදන්නා භීතියක්. මේ හැම සවිඥාණික අවිඥාණක කඩතොළුවක්ම ආදරෙන් සිපවැළඳගනිමින් තමයි ගලා ඩාලි එක්ක ආදරේ පටන් ගන්නෙ.

    ඩාලි සහ ගලා අතර පේ‍්‍රමයෙත් කවදාවත් දොර අ`ගුළු දාලා තිබුණෙ නෑ. ගලා වරින් වර පෝල් සහ තවත් නොයෙක් කලාකාරයන් එක්ක සම්බන්්ධතා තියාගත්තා. එයාගෙ සෙක්ෂුවල් එනර්ජි එක දැවැන්තයි.

    කොහෙත්ම එක පිරිමියෙකුට ඒක දරන්න අමාරුයි. එයත් එක්ක නිදාගන්න ආර්ටිස්ට්ලා ලයිට් දාහක් එකපාර පත්තු වුණා වගේ වුණේ මේ ජෙනරේටරේ හින්ද. ඒක ආණ්ඩුවෙ කරන්ට් එක වගේ නෙමෙයි.

    ගලාට තිබුණ පිරිමින්ව හදන්න පුළුවන් විදිහෙ නිර්මාණාත්මක ශෘංගාර ආවේශයක්. එයාට පැවරිලා තිබුණෙ මේ ආර්ටිස්ටික් පිරිමින්ගෙ හැංගිලා වකුටු වෙලා තියෙන මැජික් එක කෙලින් කරන්න.

    ගලාට ලිංගිකත්වය පෙරටු කරගත් තමන්ගේ චාරිකාව යන්න ඩාලි බාධාවක් වෙන්නෙ නෑ. ඒ වගේම තමන්ගේ බිරිඳ අන් අය හා යහන්ගත කිරීමෙන් ලබන ලංකාවෙ නම් විපරීත කියන ආස්වාදයක් පුහුණු කරමින් ඉන්න ඩාලිගේ ලිංගික විශ්වයත් ඊට නොදෙවෙනිව විශාලයි.

    අජිත් කුමාරසිරි කියන විදිහට සමහර විට සැල්වදෝර් ඩාලි මිදි කකා, වයින් බිබී, කැමතිම සංගීතය විඳිමින්, සුව යහනක සැතපී, තමන්ගේ බිරිඳ අන් අය හා රමණයේ සෞන්දර්යය විඳින්න ඇති.

    ඩාලි ගලාව නොයෙක් විට සිත්තමට නගනවා. ඒ අසීමිත පේ‍්‍රමය නිසාම. එකතැනක ඇයව ඩාලි නිරූපනය කරන්නෙ කන්‍යා මරියා විදිහට. මේ සම්බන්ධය ඇතුලෙ ඩාලි ගොඩක් පරිණත වෙනවා. ගොඩක් වැඩ කරනවා. පිරිමියෙක්ගෙ හොඳම දේ අරගෙන සමාජයට දෙන්න පුළුවන් විදිහෙ ගෑනියෙක් ගලා කියන්නෙ. වාමාංශික කලා නඩය එයාට කලාකරුවන් විනාශ කරන පිළිලයක් කියද්දි එයාව ආශ‍්‍රය කරපු අය කියන්නෙ එයා තමන්ව කොයිතරම් ඉන්ස්පයර් කළාද කියල.

    ඩාලි පර්ෆියුම් එක හදන්නෙ එයාව මතක් වෙන්න. ගලා මැරුණට පස්සෙ ඩාලිට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා. කීප වතාවක්ම එයා දිවි නසා ගන්න උත්සාහ ගන්නවා. ඩාලි අසූවියැති මහල්ලෙක් විදිහටත් ආදරය කරනවා දරුණුවට.

    ඩාලිට මුණගැහෙන්න කලින් ගලා පෝල් එලාර්ඞ් කවියාගේ බිරිඳ. පෝල්ව ඇයට මුණගැහෙන්නෙ අවුරුදු දාහතේදී විතර. පෝල් ඒ කාලෙදි පෙරුම්පුරන කවියෙක්. කවියෙක් වෙන්න දුක් විඳින්න ඕන කියල පෝල් දැඩිව විශ්වාස කරනවා. කවදා හරි ඔයා ලොකු කවියෙක් වෙනවා, ගලා පෝල්ට ස්තිරව කියනවා. එයා නොකියා කියන කතාව වෙන්නෙ ‘මං ඔයාව කවියෙක් කරනවා’ කියන එක.

    පෝල්ගෙ ශක්තිය වෙන්නෙ ගලා. කවි වල හොඳ තැන් නරක තැන් තෝරලා දෙන්නෙ එයා. අඩුපාඩු හදන්නෙ එයා. පෝල් තමන්ට අවශ්‍ය තැනට එනකල්, ඒ කවියා බිහිවෙන කල් ගලා එයාගෙ අතින් අල්ලගෙනම ඉන්නවා.

    ගලා කියන්නෙ පුදුමාකාර ආදරයක් තිබුණු ගැහැණියක්.

    පෝල්ට ඕන වෙන්නෙ දුක් විඳින ජීවිතයක්. එයාගෙ හොඳම කවි ලියවෙන්නෙ යුද්දෙ කාලෙ රෝහලක මළ මිනී මැද්දෙ. දවසකට මළඋන් ගැන පවුල් සීයකට දෙසීයකට ලියුම් ලියන්න පැවරෙන්නෙ පෝල්ට. මිනී වළදාන, කුණු ගඳ ගහන අපාය මැද්දෙ පෝල් කවීත්වය පසක් කර ගන්නවා. ඒ කවියා ජීවත් කරන්න ගලා මේ අපායට වුණත්් එනවා. එයා හැමදුකක්ම විඳගෙන පෝල් එක්ක ජීවත් වෙනවා.

    ‘ඔයා ඉක්මණටම හොඳ තැනකට එනවා’ වැටෙන හැමවෙලාවකම ගලා පෝල්ව නැගිට්ටනවා.

    ගලා සහ පෝල් කියන්නෙ අයිකොනික් ආදරයක්. පෝල් එලාර්ඞ් කිව්වම කව්ද කියල දන්නෙ නැති නිසා එයාගෙ කවියකින් කොටසක් පරිවර්තනය කරන්නම් මෙතන.

    ඔබ නැගෙන විට දිය දෙබෑ වෙනවා
    ඔබ නිදන විට දියේ මල් පිපෙනවා

    පතුලෙන්ම ගලා යන දිය උල්පතයි ඔබ
    හැම දෙයක් මුල් ඇදුණු පිහිටි මහපොලොව ඔබ

    ශබ්ද කාන්තාරය මැද්දේ ඔබ නිශ්ශබ්දතාවයේ බුබුළු නගනවා
    දේදුනු පාලම මත්තේ ඔබ රාත‍්‍රී ගීතිකා ගයනවා
    ඔබයි මේ හැම තැනම.. පාරවල් ඕන නෑ ලෝකෙට
    මේ ඉන්න අතරෙදියි ඩාලි සහ ගලා අතර මුනගැහීම සිද්ද වෙන්නෙ. ඒ වෙද්දි ගලාට පෝල් එක්ක තිබ්බ මිෂන් එක ඉවරයි. පෝල් පරිණත කවියෙක්.

    ඒත් ගලා සහ ඩාලි ආදරය පටන් ගත්ත තැන ඉඳන් අවුරුදු ගානක් පෝල් ආගිය අතක් නැති වෙනවා. ඒ වේදනාව දරාගන්න එයා ලංකාවටත් ගොඩවෙනවා.

    පෝල් වෙනුවෙන් කළ දේවල් නිමා කරලා ගලා ඩාලි ළ`ගට එනවා, දෙවෙනි දරුවා හදන්න. ගලා පොඩි දරුවො හදාගන්න ගෑණියෙක් නෙමෙයි. ඇත්තටම එයා පළවෙනි කුසෙන් උපෙන් දරුවා පවා නොතකා හැරියා. එයා හදාගන්නෙ ලොකු ළමයි. එයා ලොකු අම්මා කෙනෙක්.
    ඩාලි ගලා ගැන එයාගෙ ආදරේ කියන්නෙ මේ විදිහට.

    ‘මං ගලාට උපරිමයෙන් ආදරෙයි. කොච්චර ආදරේද කිව්වොත් එයා මැරුණොත් මං එයාව කනවා.. එයා තමයි ලෝකෙ බිහිවුණු හොඳම ආර්ටිස්ට්’
    ගලා කියන්නෙ ඩාලිගේ අධිසත්තාවාදී පේ‍්‍රමය.

    මට සැල්වදොර් ඩාලි පර්ෆියුම් එකක් ගන්න ඕනි. ඒ ඩාලි වත් පෝල් වත් හින්ද නෙමෙයි. මට ගලා කියන්නෙ ඒ තරම් විශාල ගැහැණු ජීවිතයක් හින්ද. ඩාලිගේ අධිතාත්විකවාදී නාසයට ඇගේ සුවඳ දැණුනු විදිහ විඳින්න වටින හින්ද.

    මට ගලාව ඉඹින්න තියෙන එකම සජීවී විදිහ ඒක හින්ද.


    චින්තන ධර්මදාස

  • ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප‍්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක චර්යාමය, බුද්ධිමය සහ හැගීම්මය කියන හැම හැඩගැහීමකටම, හරි විදිහට කිව්වොත් නිර්මාණශීලීත්වයකටම බලපානවා. ඒකෙ ඊටත් වඩා ක්‍ෂුද්‍ර තැන් තියෙනවා. ඕ-ලෙවල් කරපු සහ ඒ-ලෙවල් කරපු උන් අතරෙ වුණත් මේ හක ළග පංති දෙක අතරෙ වුණත් දැවැන්ත ජීවිතමය පරතරයක් තියෙනවා. ඒක දැනුම පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒ ලෙවල් වල වැඩ හතරම ෆේල් එකෙක් වුණත් ඕ ලෙවල් වලින් නැවතුණු එකෙකුට වඩා වෙන ජීවිත කලාපයකට ඇතුල් වෙනවා. (මේක න්‍යායක් හෝ අනිවාර්යයක් නෙමෙයි, හුදු අත්දැකීම් සහ නිරීක්‍ෂණ පදනම් කර ගත්තු කතාවක් විතරයි)

    එතකොට කාට හරි හිතෙන්න පුළුවන් කොග්ගල මහා ප‍්‍රාඥයා පහේ පංතියට විතරයිනෙ ගියේ කියල. මාත් හිතන්නෙ මාර්ටින් වික‍්‍රමසිංහ මේ වෙනස ගැන හොඳ උදාහරණයක්. මාර්ටින්ගෙ පොත් කියවද්දි ඇත්තටම පේනවා එයා පහේ පංතියට විතරයි ගිහින් තියෙන්නෙ කියල. ඒ හිතීම, ඒ ගොනු කිරීම, ඒ පැවැත්ම, ඒ ගරු කිරීම් සහ දෙකට නැවීම් හැමදෙයක්ම ඒ ඉස්කෝලෙ ගිය නැති එක එලියට කියනවා. වඩාත් මේ කාරණය තේරුම් ගන්න ලේසියි මාර්ටින් එක්ක සයිමන්ගෙ වගේ කෘති තියලා බැලූවොත්. මේක හොඳටම අහුවෙන්නෙ නිර්මාණ වලදි (ප‍්‍රබන්ධ). ජීවිතේ ගැන හිතන පරාසය, ඒ ඇතුලෙන් හොයාගෙන යන දේ, ඒ මනස් සිතියමේ සීමා වගේ ගැඹුරු කාරණා මේ වචන අතරෙ කියවෙන දැනීමට වඩා ගොඩක් දේවල් කියනවා.

    මං මේ කාරණේ ගැන හිතාගෙන හිතාගෙන එන්න පටන් ගත්තෙ අපිට එදිනෙදා මුණගැහෙන මිනිස්සුන්ගෙ ජීවිත පරාසවල වෙනස දිහා බලාගෙන ඉඳිද්දි. රස්සාවක් කිරීම, සල්ලි එකතු කිරීම, කසාදයක් බැඳීම, ගෙයක් හැදීම ඊට පස්සෙ ළමයි බමයි… මේ විදිහෙ තනි ඉරේ රේඛාවකට පිටින් ජීවිතේ මොනවා හරි හොයන අය සහ එහෙම කිසි ප‍්‍රශ්නයක් නැති අය කියන දෙවිදියක මිනිස්සු අපිට මුනගැහෙනවා. සීයට බර ගානක් (මගේ ගාන නම් 98ක් විතර) ඉන්නෙ ඒ මොකක් හරි ප්‍රෝග‍්‍රෑම් කරපු එක දේකට යන සෝල්ජර්ස් ලා. ඒ හැම දෙයක්ම මැද්දෙ ඒ සංස්කෘතික ජීවිතේට එලියෙන් තමන්ව තේරුම් ගන්න, තමන්ගෙ පැවැත්ම හොයා ගන්න එක එක විදිහෙ නිර්මාණශීලී දේවල් කරන සීයට කීපයක පිරිසකුත් ඉන්නවා. ඒ අයට තමන් අයිති, තමන් බෙදා හදා ගන්නා සමාජයක් තියෙනවා. අනිත් අයට තියෙන්නෙ තමන් සහ යම් ආයතනයක් (ඔෆිස් එක/පවුල) අතර යම් රේඛීය, කලින් නිර්ණය කරන ලද වැඩ කොටසක් විතරයි. අපි චිත‍්‍රපටියකට හරි, නාට්ටිකට හරි සල්ලි ටිකක් ඉල්ලගන්න මුදලාලි කෙනෙක් ළ`ගට ගියොත් අපි කියන දේ එයාට නොතේරෙන්නෙ සහ එයාට ඒක නොතේරීම අපිට ගැටළුවක් වෙන්නෙ මේ කාණ්ඩ දෙකේ අර්බුදය හින්ද. එයාට එහෙම තමන් අයිති, තමන් අවංක සංවාදයක් පවත්වගන්න සමාජයක් නෑ. එයා එහෙම දෙයක් දන්නෙ නෑ.

    මට හිතෙන්නෙ මේ සොල්දාදු ජීවිත බිහි කරන්න ලොකුම හේතුවක් වෙන්නෙ දුප්පත්කම. ගඩොල් කපලා දොස්තර විභාගෙට ඉගෙන ගන්න කෙනෙක් ගොඩක් සල්ලි හම්බුකිරීමට පිටින් දොස්තරකමට තේරුමක් දන්නෙ නැත්තෙ ඒ හින්ද. ජීවිත කාලෙම ඒ දුප්පත්කම විසින් ප්‍රෝග‍්‍රෑම් කරපු ආසාව (ඔබ්සෙෂන්) එක එක මුහුණුවරින් එයාව පෙළන්න පටන් ගන්නවා. ඒ දුප්පත්කම කවදාවත් ඉවර වෙන්නෙ නෑ. මේක සිද්ද වෙන හැටි බලාගෙන යනකොට හොඳටම කැපී පේන එක පරිච්ෙඡ්දයක් තමයි ඒ-ලෙවල් සහ පළවෙනි රස්සාව අතරෙ කාලය. ඒ-ලෙවල් ඉවර කලායින් නොකළායින් රස්සාවකට යන්න වෙන ජීවිත මේ ප්‍රෝග‍්‍රෑම් එකට වැටෙනවා වැඩියි (ඒ සිද්දවීමත් කලින් ඉඳන් එන ප්‍රෝග‍්‍රෑම් එකේ කොටසක්) ඒ ගන්ධබ්බ, අයාලෙ යන, තේරුමක් නැති කාලය ගත නොවීම හින්ද ආකෘතිගත පැවැත්මට එලියෙන් මොකක් හරි තියෙනවද කියල ඒ අය දන්නෙ නෑ. ඒක අහලා තිබිලා වැඩක් නෑ. ඒ පාතාලෙට වැටෙන්න ඕන.

    බෝඩිංකාර, අසහනකාරී ඒ තරුණ වල්මත් බව අපේ ජීවිතේ වෙනස් ගැඹුරක් නිර්මාණය කරනවා. කවදාවත් පද්ධතිගත ජීවිතෙන් තෘප්තිමත් නොවෙන අසහනයකින් අපිව පුරවනවා. මං හිතන්නෙ හැම ඇත්ත සමාජ ක‍්‍රියාකාරිකයෙක් (දුප්පත් හේතු නැති) පිටිපස්සෙම මේ අයාල තාරුණ්‍යය තියෙනවා.

    ඉබාගාතෙ දිගේලි වෙච්ච අදහස් පේලියක් දිගේ රෝල් වුණත් කියන්න තිබුනෙ වෙන කතාවක්. දැන් ඒ කතාවට ක්ෂණික ඡේදනයක්.

    මං හැත්තෑ හත දිහා බලාගෙන ඉපදුනෙ. හැත්තෑව වගේ කාලෙක ඉපදුනේ නැති එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්. මං ඒ තරමට 77 වෙනසට කැමති හින්ද. විවෘත ආර්තිකේ මාර අවුලක් කියාගෙන රටම වමට තල්ලූ කරගෙන ආපු 70 කට්ටිය (56 සිංහල සෙට් එක) හින්ද තමයි මං හිතන්නෙ අපි තාම මේ පරිප්පුව කන්නෙ. ඒකෙ අවසාන නිෂ්පාදන වුනේ මහින්ද රජපක්ෂ, බොදු බල සේනා වගේ තත්ව. ෆැක්චුවල් විදිහට 77 ගැන කතා නොකර මං වෙන ෆන් තැනකින් මේ කාලෙ ගැන මගේ කතාවට එන්නං.

    මට 77 කිව්වම මතක සංසිද්ධි දෙකයි. එකක් ජේ ආර් ජයවර්ධන. මං පොඩි කාලෙ හිතුවෙ ජේආර් තමයි හැමදාම ජනාධිපති කියල. අද වුණත් මට ජනාධිපති කෙනෙක් වගේ පේන්නෙ එයාව විතරයි. ඇත්තටම ඊට පස්සෙ ඒ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය තියෙන කිසි චරිතයක් රටේ නායකත්වයට ආවෙ නෑ. ඒ වෙනුවට නායකයාගේ පටන් සියලූ මැති ඇමතිවරු කිසි හිරිකිතයක් නැතුව දූෂණ, වංචා, මිනීමැරීම්, මංකොල්ල ඕන එකක් කරන්න පටන් ගත්ත. ව්‍යවස්ථාවට වඩා ආගම, ජාතිය උඩට ආවා. වාමාංශික යාලූවො මේ වෙලාවෙ කියන්න පුළුවන් ජේ ආර්ගේ ව්‍යවස්තාවෙ අර්බුද. ඒත් මං කතා කරගෙන යන්නෙ සමාජ ව්‍යවස්තාවෙ අර්බුද.

    ජේආර් දේශපාලනේ කරන්න ඇන්දෙ සරම. ඒත් එයාගෙ ගෙදර ඇඳුම වුනේ කලිසම. ගෙදර ගිහින් කලිසම මාරු කර ගන්න කල් ජේආර් හිටියෙ පුදුම නොඉවසිල්ලෙන්. අපි මේ වෙනකොට ඉන්නෙ ඊට ප‍්‍රතිවරුද්ද පැත්තෙ. දැන් අපිට ඉන්නෙ අහම්බෙන් කලිසමක් ඇන්ඳත් සරමට මාරුවෙන කල් නොඉවසිල්ලෙන් ඉන්න නායකයො පිරිසක්. මේ අපි බුක්ති විඳිමින් ඉන්නෙ ඒ සරං සංස්කෘතිය (56න් පටන් ගත්තු)

    මගේ කතාව ජේආර් ගැන නෙමෙයි. 77 කිව්වම මට මතක් වෙන දෙවෙනි චරිතය ගැන. ඒ තමයි ජිප්සීස් සුනිල් පෙරේරා. ඒ මට ලංකාවෙ ඉන්න අයිකොනික් ආර්ටිස්ට් කෙනෙක් (කලාකරුවෙක් නෙමෙයි). සුනිල් පෙරේරා කියන්නෙ 77 සංස්කෘතික නිෂ්පාදනයක්.

    සුනිල් ගැන මට මතක් වුණේ මෑතක ක‍්‍රිකට් බෝර්ඞ් එකේ වෙච්ච අවුලත් එක්ක. ඒ වගේ තැනක, ඒ වගේ පිරිසක් ඉස්සරහ ‘බොන්න වතුර ඉල්ලූවාම වෙඩි තිබ්බේ මොන රටේද?’ වගේ කතා කියන්න පුළුවන් කොන්දක් සුනිල්ට හැමදාම තිබුණ. ලංකාවෙ 77ට කලින් නිර්මාණය වුණු කුහක පැවැත්ම වෙනුවට එලිය සහ ඇතුලත එකක් වුණු දියුණු පුරවැසි පැවැත්මක් වෙනුවෙන් සුනිල් සිංදු කිව්වා. මට තේනුවර අමාරුවෙන් ගොතලා කරන චිත‍්‍ර – මූර්ති ප‍්‍රදර්ශනේකට වඩා සුනිල්ගෙ ප‍්‍රකාශන දේශපාලනික හා සමාජ විරෝධතා විදිහට දැනෙනවා.

    ඒ සිංදු ඇතුලෙ එයා අ`ගහරු ලෝකෙන් එන කුරුමිට්ටො එක්ක රටේ තොටේ විස්තර කතා කරනවා. ඊට පස්සෙ කාලෙක ලූනු දෙහි ගැන කතා කියනවා. වැදි පත්තුවෙ ඔජායේ නටනවා. මේ හැම දේකින්ම එයා සමාජ පෙරලියක් කරනවා. ප‍්‍රබුද්ධයන්ට තහනං කලාපෙක සුනිල් තමන්ගෙ කලාව- දේශපාලනය- ජීවිතය විදිහට නොබෙදුණු තනි පැවැත්ම අරගෙන එලියට බහිනවා. ඒ විවෘත බව ලංකාවෙ වෙන කිසි කලාකාරයෙකුට තිබුණෙ නෑ.

    සුනිල් ගැන කියවගෙන යද්දි අහම්බෙන් ලයිෆ් ටයිම්ස් එකට කරපු ඉන්ටර්විව් එකක් හම්බුණා. ඒක ලියලා තිබුණු ජෙහාන් මෙන්ඩිස් ඉන්ටවිව් එක දවසෙ එයාගෙ කැමරාමන් එක්ක සුනිල් එනකං බලන් ඉන්නවලූ. මේ සදා පෙරලිකාර දැවැන්තයා එලියට බහිද්දි සිංහයෙක් වගේ ෆොටෝ ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. ඔන්න එතකොට සුනිල් ඇවිත් බැස්සලූ. කොට කලිසමකුයි, ‘ට්‍රේනී ගයිනොකොලොජිස්ට්’ (පුහුණු වන ප‍්‍රසව හා නාරිවේදී) කියලා හරහට ගහපු ටීෂර්ට් එකකුයි ඇඳගෙන.

    අර බලාපොරෙත්තු වුණු දැවැන්ත ප‍්‍රතිරූපෙ එතනම හාන්සියි. මේ කැඩිල්ල, තමන් ගැන ප‍්‍රතිරූපයෙන් නැවත තමන්ම ඇඳ නොගැනීම සුනිල්ගෙ කැපී පේන ලකුණක්. තමන්ගේ ප‍්‍රකෘතිය, තමන්ගේ ජීවිතය විවෘතව ගෙනියන්න තියෙන උවමනාවම සුනිල්ගේ දේශපාලනය වෙනවා. ඒත් අපේ රටේ දේශපාලනයේ සාමාන්‍ය පුළුවන් තරම් තමන්ව වහගන්න එක.

    මම නං ගඟේ පනිනවා – වතුර බීලා මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
    ජීවිතේ එපා කියනවා – රේල්ලට බෙල්ල තියනවා
    කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා..

    සුනිල් පෙරේරා පවතින සංගීතයේ කොටසක් වෙන්නෙ නෑ. එයා සුනිල් පෙරේරාගේ සංගීතයක් නිර්මාණය කරනවා. ඒක මට අනුව නූතන ජන සංගීතයක්. ඒක අපේ උරුමයක්. ඒ සංගීතය, ඒ පද මිනිස්සු කටින් කට අරගෙන යනවා. ඒ සිංදු වෙන වෙන අය තැන තැන කියනවා. සල්ලි හොයනවා. ඒත් සුනිල් කියන්නෙ මගේ ළමයි ඇරෙන්න වෙන අය ඒ සිංදු කියනවට මං කැමතියි කියල. නන්දලා ගාව ආරියරත්නලා ගාව නැති නිර්ලෝභී සමාජ ජීවිතයක් සුනිල්ට තියෙනවා.

    ආරිය කරවන ආරියරත්නලා අද මෙහි රැස් වෙන්නෙ
    ආචාර්යවරු මහාචාර්යවරු ප‍්‍රබුද්දයනුත් ඉන්නේ…

    සුනිල්ගේ සිංදු වල තියෙන්නෙ උපහාසය. හාස්‍යය. සීරියස් දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත තවත් අවුල් කරන්න සුනිල් අකමැතියි. ඒ වෙනුවට හිනාවෙවී කියන්න, කිය කියා තේරුම් ගන්න සුනිල් ජන ගී කියනවා. සෞන්දර්යය ඇතුලෙ භාෂාව ඇතුලෙ කරන බොරුව එයා කරන්නෙ නෑ. පද ගැලපිලි, තාල රැකිලි වෙනුවට ඇඟට දැනෙන තාලෙට, කටට කියවෙන වචනෙට සුනිල් සිංදු හදනවා. මේ මොඩර්න් ජන සංගීතය කියල මං කියන්නෙ ඒකයි. ඒක ප‍්‍රබුද්දයින්ට අකැපයි කියල එයා කියන කතාව ඇත්ත.

    සිංදුවලට අමතරව සුනිල් කරන්නෙ රස කැවිලි හදන එක. (මං හිතන්නෙ ඒක පවුලෙ බිස්නස් එකක්) සුනිල්ගේ ග්ලූකෝරස එකෙන් තමයි අඳුන්නලා දුන්නෙ ‘ජුජුබ්ස්’. ඒ වගේම ‘ටිපි ටිප්’. සැහැල්ලූ, ඒත් මීට කලින් අත් නොවිඳි රසක් සුනිල්ගේ හැම දේකම තියෙනවා.

    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    දුන්නෙ කිස් එකයි හැබැයි ඒක මුල් එකයි
    මං දුන්නා තව එකක් දැන් දෙකයි

    එපා යන්න- තවත් එන්න
    ඇඟේ ඇලි ඇලි ඈ යලි යලි පවසයි…

    මේ ලිපියෙ එක තැනකදි සුනිල්ගෙන් සෙක්ස් ගැන අහනවා. එතකොට එයා හරිම ලස්සන උත්තරයක් දෙනවා. ‘මේක ඉංග‍්‍රීසි මැගසින් එකකට හින්ද කියන්න පුළුවන්. ඒත් සිංහල පත්තරේකට කියන්න බෑ. මොකද සෙක්ස් කියන එක ඉංග‍්‍රීසියෙන් දැම්මම ඒකෙ කිසි නරකක් නෑ. ඒත් ඕක ‘සංසර්ගය’ හරි ‘සම්භෝගය’ හරි මොකක් හරි කියල ලිව්වොත් මිනිස්සු හිතයි මට මානසික රෝගයක් කියල’. සුනිල් සෙක්ස් ගැන කතාවට බහින්නෙ එහෙම.

    එයා සෙක්ස් වලට කොච්චර කැමතිද කියලා එළිපිට කියනවා. සෙක්ස් ගැන තියෙන ඞීවීඞී එකක් දැක්කත්, පොතක් දැක්කත් මායි මගේ වයිෆුයි අතරෙ සම්බන්දය තවත් වැඩි කරගන්න මේකෙන් මොනවද ගන්න පුළුවන් කියල ඒ ගැන උනන්දු වෙන වග කියන්න සුනිල් ඇඹරෙන්නෙ නෑ. තමන්ගේ අනියම් සම්බන්ධතා ගැන, ඒකෙන් වුණු වැරදීම් ගැන වෙන කිසි සම්භාව්‍ය කලාකරුවෙකුට නැති සරල, විවෘත දැක්මකින් එයා කියාගෙන යනවා.

    ‘නෝනා මට සමාවෙන්න ඕනා
    මමත් ලේ මස් වලින් හැදිච්ච මිනිහෙක්
    මගේ අතින් වැරදි වුණා තමයි
    ගිය දේවල් ගියා- ඒවා ගනං ගන්න එපා
    නෝනා මට සමාවෙන්න ඕනා‘

    ‘බඳින්න යන කවුරු හරි ඉන්නවා නං මං කියන්නෙ සෙක්ස් ලයිෆ් එක හොඳට තියාගන්න. හොඳ සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නං ඔයා සම්පූර්ණ මිනිහෙක්. ඔයාට ෆැන්ටසි තියෙනවා නං ඔයා ට‍්‍රයි කරන්න ඕන කොහොමද ඔයාගෙ වයිෆ් එක්ක ඒ ෆැන්ටසි රියැලිටි එකකට ගේන්නෙ කියල. එලියෙ කාත් එක්කවත් නෙමෙයි..’ – සුනිල් පෙරේරා

    සුනිල්ගේ ගෙයි උඩ තට්ටුවෙ තියෙන පොඩි උද්‍යානයක් ගැන මේ ලියුම්කරුවො දෙන්නා වර්ණනා කරනවා, ‘මේක බාබකිව් පාටියකට එහෙම මරු’ කියල. එතකොට සුනිල් කියනවා ඔව්, පාටියකටත් හොඳයි, ඒත් මෙතන පාටියකට වඩා හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්’ කියල. මේ විදිහට තමන්ගේ ජීවිතය, තමන් රස විඳින දේ ඕන මාධ්‍යයක් ඉස්සරහ කෙලින් කියන්න පුළුවන් එකම මනුස්සයා මට මුණගැහුනෙ සුනිල් පෙරේරා. මට හිතෙන්නෙ හැම වතාවකම සුනිල් ඉස්සරහ මාධ්‍ය නිරුවත් වෙනවා (වෙන කලාකාරයො මාධ්‍ය ඉස්සරහ නිරුවත් වෙද්දි*. මං හිතන්නෙ ඒ 77 හින්ද.

    ‘ඔයාගෙ හැම ෆැන්ටසියක්ම රියැලිටි එකට ගේන්න ඕන. නැත්තං ඔයා සම්පූර්ණ වෙන්නෙ නෑ. සෙක්ස් වල නරකයි කියල දෙයක් නෑ. දෙන්නම එක`ග නං එතන අසභ්‍ය හෝ විපරීත කිසි දෙයක් නෑ’
    – සුනිල් පෙරේරා

    ලිපියෙ තව තැනකදි සුනිල්ගෙන් අහනවා අන්‍යාගමිකකරණය ගැන. එයා කතාවක් කියනවා.
    ‘මගේ පුතා පොල්ගහකට වඳින්න ගත්තා කියන්නකෝ. එයා මට ඇවිත් කියනවා මේ පොල් ආගම මාර හොඳයි, මං ඒක අදහනවා’ කියලා.

    එතකොට ඔය පොල් ආගම අදහන තව අය ඉන්නවද? මං අහනවා.
    එයා කියනවා, ‘ඔව්, මේ ආගමේ කියන දේවල් හොඳටම ඇත්ත. මං විශ්වාස කරනවා. ඉතිං මං පොල්ගස් වන්දනාවට එකතු වෙනවා’ කියල.

    මං එයත් එක්ක වාද කරන්න යන්නෙ නෑ. මං ඒකට විරුද්ද වෙන්න යන්නෙත් නෑ. මගේ පුතා මොකක් හරි ආගමක් අදහලා හොඳ මනුස්සයෙක් වෙනවා නං මට ඕන එච්චරයි. අදහන ආගමෙන් වැඩක් නෑ. ආගම තියෙන්නෙ මිනිහගේ යහපතට, මිනිහව ආරක්‍ෂා කරන්න මිසක් මිනිහා ඉන්නෙ ආගමක් ආරක්‍ෂා කරන්න නෙමෙයි’

    ගොඩක් කලාකාරයො හිතන්නවත් බය දේවල් සුනිල් තමන්ගේ ජීවිතේ ඇතුලෙ හෑල්ලූවෙන් කරනවා. එයා කියන සිංදු එහෙම්පිටින්ම වචන වෙනස් කරලා වෙළඳ දැන්වීම් වලට හරවනවා. එයාම ඒවා විකුණනවා. කලා කෘති වගේ කෞතුක වටිනාකම් දෙන එක වෙනුවට පාරිභෝගික භාන්ඩයක් වගේ කටින් කට පාවිච්චි වෙන නිර්මාණ ඇතුලෙන් සුනිල් තමන්ගෙ පනිවුඩය කියනවා. ඒක ජීවිතේ ඇත්ත පනිවුඩයක් නිසා නිර්මාණයේ කන්‍යාභාවය වගේ ගැටළු එයාට නෑ. තාමත් අපේ විකල්ප සංගීත තරුණයො පවා බයෙන් හැංගෙන මීඩියාවලට සුනිල් මූණ දෙන්නෙ කිසි ගානකට නැතුව. මීඩියා වලින් හදන්නවත් නැති කරන්නවත් පුළුවන් ජීවිතයක් නෙමෙයි සුනිල් පෙරේරාට තියෙන්නෙ. ඒ හින්දම විකිණෙනවා, විකුනනවා, නැති වෙනවා, දිය වෙනවා වගේ මනස්ගාත එයාට නෑ.

    ලංකාවෙ තාමත් සුනිල් පෙරේරාව දැම්මොත් ඕන ප්‍රොඩක්ට් එකක් විකුණන්න පුළුවන්. සුනිල් කියන්නෙ භාෂාව, පංතිය, ආගම, ජාතිය අතික‍්‍රමණය කරපු 77 නිෂ්පාදනයක්. තාමත් මේ දාර්ශනිකත්වය තේරුම් ගන්න අපිට කියවීමක් නෑ. මොකද අපේ කියවීම 77ට කලින් හදපු අච්චුවක් හින්ද. ආර්ට් එක, ස්ටයිල් එක, දේශපාලනය සහ ජීවිතය එකක් වුණු ආර්ටිස්ට් කෙනෙක් ගැන ලංකාවෙ මට තියෙන එකම උදාහරණය වෙන්නෙ සුනිල්.

    77 කියන්නෙ ලංකාවෙ කැරැල්ලක්. ඒ කැරැල්ල, ඒ වෙනස දරන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. සුනිල් කියන්නෙ ඒ පොප් කැරැුල්ලෙ කැඳවුම්කරුවෙක්.


    චින්තන ධර්මදාස


    Original interview from –
    Interview with Sunil Perera for lt part 1
    Interview with Sunil Perera for lt part 2