චන්දෙ ඉවරයි. ප‍්‍රතිඵලය කලින් හැමෝම දැනගෙන හිටපු එකට වඩා වෙනසක් වුණෙ නෑ. රනිල් හතරවෙනි වතාවටත් අගමැති වුණා. මං හිතන්නෙ ලංකාවෙ ඉවසීම ගැන ගන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නෙ රනිල්.

මහින්ද පරාද වුණා. ඒත් විපක්ෂ මන්ත‍්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තු එනවා කියල එයා කියනවා. දේශපාලනිකව කොයිතරම් විරුද්ද වුණත් අවුරුදු හැත්තෑවක් වෙලත් මහින්දගෙ සටන්කාමීත්වය මං අගය කරනවා. ජාතිය බේරා ගත් විශ‍්‍රාමික නායකයා විදිහට විවේක සුවයෙන් ඉන්න එක වෙනුවට මෝඩ විදිහට වුණත් ඇෙ`ග් හයියෙන් ගහගන්න එන එක ඇල්ෆා මේල් ලක්ෂණයක්. දැන් ඒක වඳවෙලා යන ජානයක්.

ලංකාවෙ චන්දෙ දාන එක මේ තරම් ආශ්චර්යමත් දෙයක් කළේ මැකො. ඊට කලින් ඒක බල්ලට ගිහින් තිබුණෙ. ඒක පුරවැසි වගකීමක්, ජනතා සහභාගිත්වයක්, සාමූහික විනයක් කියන තැනට ඔසවා තැබීම වෙනුවෙන් මහින්ද දේශප‍්‍රියට සිවිල් සමාජයේ ගෞරවය හිමිවෙන්න  ඕන. ඡුන්දෙට කලින් දවසෙ ටීවී නාලිකාවක මැකො ලස්සන කතාවක් කිව්වා. මං මැතිවරණයක් ගැන අහලා තියෙන හොඳම කතාව ඒක.
‘මේ දවස ජාතික උත්සවයක් විදිහට සාමූහිකව විඳින්න…’

ඇත්තටම අලූත් අවුරුද්ද වගේ සාම්ප‍්‍රදායික උත්සව වෙනුවට මැතිවරණයක් වගේ දෙයක් ඒ තරම් වැදගත්කමෙන් සලකන දියුණු පුරවැසි සමාජයක් වෙනුවෙන් කරපු ඉල්ලීමක් ඒක. මෙච්චර කාලයක් ආතතිය හැදිලා ද`ගලන දුර්වල රාජ්‍ය සේවකයෙකුගෙ භූමිකාව වුණු මැකො චරිතය මහින්ද දේශප‍්‍රිය වෙනස් කළා. ඒක ලංකාවෙ දේශපාලන විනයෙ හැරවුම් ලක්ෂය බවට පත් කළා. මේ ඡුන්දය මේ තරම් සුන්දර කළේත් ගෞරවනීය කළේත් මේ එකපාර කොහෙන් ප‍්‍රාදූර්භූත වුනාදැයි හිතාගන්න බැරි අයෝමය මැකො.

චන්දෙ ඔන්න මෙන්න තියෙද්දි ‘ඩෙනිස්’ එයාගෙ ‘කෝලම’ පෙන්නුවා. මේකෙ පිටපතක් කලින්ම මට කියවන්න දුන්නත් ඒ වෙලාවෙ මං ඩෙනිස්ට කිව්වෙ ඒක හරියන එකක් නෑ කියල. ඒත් ඇත්තට ඒක දැක්කම ඇෙ`ග් මයිල් කෙලින් වෙන අත්දැකීමක් වුණා. ගෝඨයිම්බර කෝලම කියන්නෙ සරච්චන්ද්‍රට පස්සෙ ලංකාවෙ නාට්‍යවල සිද්ද වුණු වැදගත්ම පර්යේෂණය වෙන්න පුළුවන්.

ටිකක් හිතුවක්කාර විදිහට කියනවා නම් සරච්චන්ද්‍රට වඩා ඩෙනිස් කරපු වැඬේ වැදගත්. (සරච්චන්ද්‍රගෙ දැනුම සහ නිර්මාණශීලීත්වය අවතක්සේරු කරනවා නොව, මෙතනට සාපේක්ෂ කිරා බැලීමක් පමණි) එකපාරටම පිළිගන්න අමාරුයි වගේ හිතුණත් ටිකක් හිතලා බැලූවොත් සරච්චන්ද්‍ර කරන්නෙ ජන නාට්‍යයක් මධ්‍යම පංතියෙ වේදිකාව උඩට කොටු කරන එක. වේදිකාවෙ මිමි අනුව ඒක මාර වැඩක් විදිහට පේන්න පුළුවන් වුණත් එතනදි ජන නාට්‍යයේ තියෙන ශක්‍යතාවයන් ටික අහිමි වෙනවා. ඒ වෙනුවට දාර්ශනික, සාහිත්‍යමය අර්ථයන් උඩට එනවා. ඒත් ජන නාට්‍යයක් විදිහට එලිමහනෙ රගදැක්වෙද්දි ඒක බුද්ධිමය අත්දැකීමකට එහා ගැඹුරු මානසික සංවේදනයකට (ටි‍්‍රප් එකකට) යනවා. ඩෙනිස් එයාගෙ ඉන්ටවිව් එකකදි මේක හුගක් පැහැදිලිව කියනවා.

”මෙහිදී ශාන්තිකර්මයි, නාට්‍යයි මිශ‍්‍ර කරලා නාට්‍යයකුත් නොවන, ශාන්තිකර්මයකුත් නොවන නිර්මාණයක් බිහිකරන්න මම උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපි නාට්‍යවලට උකහා ගන්නේ ශාන්තිකර්මවල තිබෙන නාට්‍යමය ලක්ෂණ පමණයි. නමුත් මෙහිදී එම නාට්‍යමය ලක්ෂණත් සමගම, ශාන්තිකර්මවල තියෙන මනෝභ‍්‍රමික (Psychedelic) ලක්ෂණය භාවිතා කිරීමට උත්සාහ ගන්නවා. එහිදී නාට්‍ය කලාවේදී සාමාන්‍යයෙන් භාවිතා නොකරන පුනරුච්චාරණය කිරීම්, පුනරාවර්තනයන් විශාල වශයෙන් දායක කරගන්නවා. මෙම පුනරුච්චාරණයෙන් සහ පුනරාවර්තනයෙන් තමයි ඒ මනෝභ‍්‍රමික ලක්ෂණය උද්දීපනය වෙන්නේ. අනිත් කාරණය තමයි මෙහිදී නාට්‍යමය සිදුවීම් වෙන්නේ නාට්‍යයෙන් පිටත මිසක් ඇතුළේ නෙමෙයි. ඇතුළේදී වෙන්නේ ඒ දේවල් වාර්තා කිරීමක් පමණයි. මනෝභ‍්‍රමික ලක්ෂණය ඉස්මතු කිරීමට අවශ්‍ය නිසා නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ ටික මෙහිදී අතහැරලා තිබෙනවා”
-ඩෙනිස් පෙරේරා (රාවය)

ඩෙනිස් කරන්නෙ සරච්චන්ද්‍ර කරපු එකේ අනිත් පැත්ත. එයා වේදිකාව උඩ තියෙන නාට්‍යය ගිහින් කෝලමක් ඇතුලෙ පිහිටුවනවා. එලියෙ තියෙන පිස් පෝච්චිය ස්ටුඩියෝ එකක් ඇතුලෙදි කලා කෘතියක් වෙනවා වගේ පිට්ටනිවල තිබ්බ කෝලම වේදිකාව උඩදි සම්භාව්‍ය නාට්‍යයක් වෙනවා. එතකොට ඒක ආයිමත් ඒ කලා අවකාශෙන් එලියට අරන් ගියොත් මොකක් වෙයිද? ගෝටයිම්බර කෝලම ඇතුලෙ මං දකින නාට්‍ය කලාවෙ දේශපාලනික ප‍්‍රශ්න කිරීම ඒක. අජිත්, ඉසුරු සංගීතය ඇතුලෙ යෝජනා කරන නැවත ශබ්ද වලට (නොයිස්) යාම වගේම ඩෙනිස් වේදිකාවේ නැවත මූලාශ‍්‍ර කරා යාමක් යෝජනා කරනවා.

කෝලම් පිටිපස්සෙ තියෙන මිත්‍යාව හරි ගැඹුරුයි. ඒක භාෂාවේ විද්‍යාවට වඩා ගැඹුරුයි. කෝලම මුලින්ම ඇති වෙන්නෙ දඹදිව අගරජු වුණු පිලියත් රජුගෙ බිසවට වැලඳුන දොලදුකක් හින්ද. එයාට කෑම අප්පිරිය වෙනවා. නැටුම් ගැයුම් දකින්න  ඕන වෙනවා. ගැබක් දරාගෙන ඉන්න මේ බිසව නොකා නොබී ඉන්න හැටි දකින රජතුමා ඊට වඩා කම්පා වෙනවා. මේ කම්පා වීම ගැන බයෙන් රජාගෙ සේසත උඩ වැඩවාසය කරන දේවතාවියක් මේක ශක‍්‍රයාට කියනවා.

”දෙවියනි, පිලියත් රජුගේ බිසව වෙස්මූණු දකින්නට කැමැත්තෙන් සිටී. දඹදිව එක නැට්ටුවෙකුටවත් ඒ ගැන අවබෝධයක් නැත. එහි ප‍්‍රතිඵලයක් ලෙස රජ්ජුරුවෝ කෑම නොගනී. මිය ගියාක් මෙන් සිටී…’’
එතකොට ශක‍්‍රයා විශ්ව කර්මට කියනවා මේ කෝලම් වෙස්මූණු හදන්න කියල. එයා රජාගෙ උයනෙ ගහකින් මේ වෙස්මූණු කපලා කවි පොතත් එක්ක උයනෙ තියලා යනවා.

උදේ මේක දකින උයන් පල්ලා යක්කු ඇවිත් නටලා ගිහින් කියල හිතනවා. ඒත් රජාට මේක තේරෙනවා. එයා වෙස්මූණු ටික නැට්ටුවන්ට අන්දලා බිරිඳට නැටුම් පෙන්නනවා.

මේක තමයි කෝලමේ උපත. ඒ උත්පත්ති කතාවෙම තියනවා සාමාන්‍ය උයන්පල්ලා විසින් මේ වටහා ගන්නා හැටි සහ රජා විසින් මෙය වටහා ගන්නා හැටි කියන ආකාර දෙකම. ඒ වගේම වෙස්මූණු දකින්නට බිසවට එන දොළදුක කියන්නෙ ගැඹුරු අවිඥාණික ආමන්ත‍්‍රණයක්. කෝලම් පිටුපස ඇති සයිකඩෙලික් කොටස තියෙන්නෙ එතන. ඒ වගේම මේක අලූත් උත්පත්තියක මොහොතක්. ගර්භනී අවස්ථාවක්. අනිත් පැත්තට කෝලම කියන්නෙ අවිඥාණක ස්ත‍්‍රී ආශාවක් තෘප්තිමත් කිරීමක්.

ගෝටයිම්බර කෝලම පෙන්නන්නෙත් චන්දෙට ඔන්න මෙන්න තියල. අලූත් ආණ්ඩුවක් බිහිවීම එලිපත්තෙ. එතනදි දේශපාලනික වෙස්මූණු දකින්න තියෙන ආසාව ඒකෙන් සංසිඳවනවා.

ඩෙනිස්ගෙ ගෝටයිම්බර කෝලමේ මතවාදය සාම්ප‍්‍රදායික, ගතානුගතිකත්වයට එරෙහි එකක්. ඒත් ඒ විරුද්ද මතය පළ කරන්න එයා නැවත තෝර ගන්නෙත් සාම්ප‍්‍රදායික මෙවලමක්. සම්ප‍්‍රදාය තුලින්ම සම්ප‍්‍රදාය අලූත් කරන මතවාදයන් ගොඩනැගෙන්න පුළුවන්ද කියල ඩෙනිස් භාවිතාව ඇතුලෙ ප‍්‍රශ්න කරනවා.

”දේශපාලනිකව බැලූවොත් මේකෙ තියෙන්නේ මුල සොයාගෙන යාමේ අනික් පැත්ත. මුල හොයාගෙන යන එකට විරුද්ධ වෙන එකත් මේ වෙන කොට ජනප‍්‍රිය වැඩක්. මුලට විරුද්ධ විකල්ප මතවාදයත් දැන් ජනප‍්‍රියයි. මේ විදිහට මුල සහ විකල්ප කියන අන්ත දෙක අතහැරලා මේ ගැන හිතුවාම මේ භාවිතාවට එහිම වූ කාර්යභාරයක් තිබෙනවා. අනිත් පැත්තෙන් මුල සොයාගෙන යෑමට විරෝධයකුත් මේ තුළ තියෙනවා”
ඩෙනිස් (රාවය)

ශාන්තිකර්මයක් කියන අදහස නාට්‍යයක් කියන අදහසට වඩා විශාලයි. ඒකෙ මිත්‍යාව, විද්‍යාව, හාස්‍යය, දේශපාලනය සියල්ල එකට තැන්පත් කරන්න පුළුවන්. ඒක කාල- අවකාශ සීමා වලින් නිදහස් අධි යතාර්ථවාදී අත්දැකීමක්. අපි නාට්‍යගත වීම හරහා ජන කලාවන් ඇතුලෙ තිබුණු වඩාත් සරු කොටස අත්හැරගෙන වග ඩෙනිස් දකිනවා. නැවත ශාන්තිකර්මවල පවතින සමස්ත ගර්භය නාට්‍යමය අත්දැකීමක් විදිහට පාවිච්චි කරන්න බැරිද කියන එකයි ගෝටයිම්බර කෝලමේ පර්යේෂණය වෙන්නෙ.

මතවාදිමය තලයෙන් ගත්තොත් පහුගිය අවුරුදු දහයක් පුරා ලංකාවෙ ජීවත් වුණු මෝඩ යටත්වැසියො සහ උන්ගෙ රජතුමාගෙ කතාව මේකෙ තියෙනවා. ඒත් එක වෙලාවක රටේ කාන්තාවන්ගේ ආශාව නිදහස් වීම හරහා (ලිංගිකත්වය) රජාගෙ බලය අභියෝගයට ලක්වෙනවා. රටේ ගෑණු ගිරි දිවයිනේ ඉන්න මහසෝනාගෙ බලපෑමට අහුවෙනවා. මේ ගෑණු බලය වැඩිවීමත් එක්ක පිරිමින්ගෙ පුරුෂ ලිංග හැලිලා යන්න පටන් ගන්නවා.
මේ විදිහට ධනවාදය හා ආශාව හරහා ගතානුගතික පිරිමි නපුංසක කරමින් සාම්ප‍්‍රදායික පිරිමි දේශපාලනය පෙරලා දැමීමේ අරගලයක් සාකච්ඡුාවට එනවා.

ඒත් මේ මතවාදිමය ගනුදෙනුවට වඩා එතන තියෙන නාට්‍යය විශාලයි. විශේෂයෙන්ම ගැහැණු වේශයෙන් මහසෝනා රජාට අභිමුඛ වීම වගේ තැන් ඇ`ග හිරි වැටිලා යන තරම් ප‍්‍රබලයි.
අන්තිමට රජා පරාද වෙනවා. පුරුෂ ලිංගය අහිමි, ස්ත‍්‍රීත්වයට දෙවෙනි නව වේශයකින් අලූත් රාජ්‍යත්වයක් බිහිවෙනවා.

ඩෙනිස් එයාගෙ කොටස හරියට කරලා තියෙනවා. මේක අනිවාර්යෙන්ම නැවත නැවත පෙන්නිය යුතු ශාන්තිකර්මයක්. ඉඩක් තියෙන හැම පිට්ටනියක්ම පාවිච්චි කරනවා මිස ගෝටයිම්බර කෝලම නැවත වේදිකාව දක්වා පසුබැසීම කොහෙත්ම නොකළ යුතු දෙයක්. අනිත් පැත්තට පහුබහින්න කියල වේදිකාවක් ඉතුරු වෙලත් නෑ.
එතකොට ඇල්ෆා මේල් අප්පච්චි ගෙදර යන එක ධනවාදී ආශාවෙ අනිවාර්යයක්ද?


චින්තන ධර්මදාස