සන්නස්ගල චන්දෙ ඉල්ලන එකට මගේ යාලූවො ගොඩක් අකමැතියි. සාමාන්‍ය ජනතාවට වඩා ළ`ගින් සන්නස්ගලව දන්න ඇසුරු කරන ගොඩක් අය තමයි මේ පිරිසට අයිති. සන්නාගෙ කපටිකම්, බොළඳකම්, කඬේ යැවීම් වගේ තමන් පුද්ගලිකව දන්න අත්දැකීම් එක්ක මහා දේශපාලනයට ආවොත් කොහොම වෙයිද කියන උපකල්පනයක් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ.

මාත් ඒ ගැන හිතුව.
එක විදිහකට මේක සන්නස්ගල විසින් කරගන්නා සිය දිවි නසා ගැනීමක්. කොයිතරම් සාධනීය පැති වලින් බලන්න පුළුවන් වුණත් විචාරකයෙක් හරි ලේඛකයෙක් හරි චරිතයක් විදිහට එයා විසින් අත්පත් කරගත්ත ටික වාෂ්ප වෙලා යන තීරණයක්. ඒක අහම්බයක් නෙමෙයි.

ඒත් හැන්සාඞ් එකේ මතක හිටින කතාවක් හරි කරන්න බලාපොරොත්තුවක් සන්නස්ගලට ඇති. බන්දුල ගුණවර්ධනටත් කාලෙකට කලින් එහෙම ආසාවක් තියෙන්න ඇති. අන්තිමට නූගත් මැට්ටන්ට වඩා දේශපාලනේදි ජෝක් වෙන්නෙ දැන උගත් කට්ටිය.

සන්නස්ගල ගැන මට වැඩි අප‍්‍රසාදයක් ඇති වෙන්න පටන් ගත්තෙ එයාගෙ මාධ්‍ය භාවිතාවත් එක්ක. මාධ්‍ය ඇතුලෙ සිවිල් තග සහ තමන්ට නොතරම් අනෙකා පවා අසරණ කරලා ගන්න ත‍්‍රිලක් එයාගෙ මීඩියා වැඩ ඇතුලෙ පේන්න ගත්ත. මාධ්‍යවේදියෙක් විදිහට සන්නස්ගල ගැඹුරු දැක්මක් ඇතුව එයාගෙ කාලය හැසිරවූ වගක් පේන්න තිබුනෙ නෑ.

අනිත් එක අම්මා කියන පොත ලියපු එක. මක්සිම් ගෝර්කිගෙ අම්මාට පස්සෙ සන්නස්ගලගෙ අම්මා එනවා. මේ අම්මා ලිවීම ඇතුලෙ සන්නා සාක්ෂාත් කරගන්න හදන ආත්ම තෘප්තිය මොකක්ද? පොත ගැන එයා කියන වර්ගයේ භාව විරේචනයක්, සැහැල්ලූවක් වගේ දෙයක්ද නැත්තං හුදු දේශපාලන අරමුණක්ද?

සන්නස්ගල මේක විස්තර කරන්න කැමති වෙනවා ඇත්තේ විවෘතභාවය වගේ තැනකින් වුණත් මට සන්නස්ගල කරපු කිසිම දේක ආත්මීය විවෘතභාවයක් මුණගැහිලා නෑ (වස්සාන සිහිනයේ අවධියෙන් පස්සෙ). එයාගෙ විවෘතකම දේශපාලනිකයි. ඒ විවෘත වීමම එයාගෙ ආවරණයක්, පලිහක්, සමහර වෙලාවට ආයුධයක්. ඒ නිසා සන්නාගේ විවෘත වීමම සංවෘත වීමක් විදිහටයි මං දකින්නෙ. එයාගෙ විවෘතකම ත‍්‍රස්තවාදයක්.

එතකොට ඒක වැරදිද?

සන්නාගෙ පුද්ගලික අගතීන් දේශපාලනයෙදි අදාල වෙන්නෙ නෑ (වුණත් වෙන්නෙ සුළුවෙන්). ඒ වෙනුවට සන්නා පෙනී ඉන්න දාමරික විවෘතභාවය දේශපාලනයෙදි සාධනීය වෙන්න පුළුවන්.

වෙන වචන වලින් කිව්වොත් අපේ පරම්පරාවෙ අදහස් ‘මහා’ ව්‍යූහයක් ඇතුලෙ නියෝජනය කරන්න හොඳම අවස්ථාව සන්නා වෙන්න පුළුවන්. අසාම්ප‍්‍රදායික නවතාවයන් වෙනුවෙන් පෙනී ඉන්න, පුහු සුචරිතවාදී හෝ වර්ගවාදී කතිකාවන්ට ප‍්‍රතිවිරෝධයක් වෙන්න, තමන්ගේ රැුඩිකල් ප‍්‍රතිරූපය ආරක්‍ෂා කරන්න සන්නස්ගලට සිද්ද වෙනවා. බන්දුලට වඩා වෙනස් සංකල්ප ප‍්‍රාග්ධනයක කොටස්කාරයෙක් නිසාම එයාගෙ අතින් සංකල්ප අරගලයක් සුළු හෝ මට්ටමකින් මහා දේශපාලනයෙදි සිද්ද වෙන්න නියමිතයි. සන්නා කපටියෙක් වුණා කියල ඒකෙන් ගැලවීමක් නෑ.

මම සන්නස්ගල චන්දෙ ඉල්ලනවට අකමැති ඇයි කියල හිත හිත ඉන්න දවසක ජිප්සීස් සුනිල් පෙරේරා මුණගැහුන.

‘මල්ලි අද වෙලා තියෙන්නෙ සුදුසු මිනිස්සු දේශපාලනයට එන්නෙ නැති එක. මේක මඩ ගොහොරුවක්, වැසිකිලියක් කියල පැත්තකට වෙලා ඉන්න එක. අපිටත් අපේ දරුවන්ටත් ප‍්‍රශ්නයක් නෑනෙ, ඉතින් මොකද කියල ඒ මිනිස්සු තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා. හොරු, මාල කඩන එවුන් පාර්ලිමේන්තුවට එනවා. එතකොට හැමෝටම ප‍්‍රශ්නයක්. අපිට ප‍්‍රශ්නයක් නැති හින්දම තමයි අපි දේශපාලනයට එන්න  ඕන. පැත්තකට වෙලා මඩ නාගන්න බෑ කියල බලන් ඉන්න සුදුස්සො වග කියන්න  ඕන නුසුදුස්සො පාර්ලිමේන්තු එන එකට…’ (වචන මේවම නොවුනත් අදහස මේකයි)

චන්දෙ ඉල්ලන්න ඇවිත් ඉන්න අනිත් අය එක්ක  බැලූවම සන්නස්ගල එතන පිටස්තරයෙක්. නොගැලපෙන්නෙක්. විශේෂාංගයක්.  සංකල්පමය තලයේ ආධිපත්‍යයක, බලයක ආශාවක් මිසක් පාරවල් වලින් සල්ලි ගහනවා වගේ ත‍්‍රිලක් සන්නස්ගලට තියෙන්න ඉඩ අඩුයි. දැනටමත් ආන්දෝලනාත්මක අදහස් දාමරිකව මහජන වේදිකා උඩ හසුරුවමින් වෙනස් දේශපාලන පිට්ටනියක එයා සෙල්ලම් කරන්න උත්සාහ ගන්න වග පේනවා. අපේ පොඩි පොඩි කල්ට් සංවාද ඇතුලෙ පවතින අදහස් ‘මාස්’ වැඩක් ඇතුලෙ ටෙස්ට් වෙන්න ගන්නවා සන්නස්ගල හරහා. ඒක හොඳ දෙයක්.

පුද්ගලික සන්නස්ගලට ද`ඩුවමක් වගේම අවුල හොඳ ආයෝජනයක් බවට පත් කිරීමක්.

මාත් එක්තරා කාලෙක සන්නස්ගලගෙ පංති ගියා. බයෝ කරන්න ගෙදරින් ඉල්ල ගන්න සල්ලි වලින් සිංහල පංතියෙ වාඩිවෙලා හිටියෙ ඔලූව කැළඹෙන ආස්වාදෙට. ඒ ලෙවල් සිංහල කරන්න සන්නාගෙ පංතියට එන හැම කෙනෙකුගෙම නට් එකක් පොඞ්ඩක් හරි බුරුල් කරන එක එයා වගකීමෙන් කරනවා. මාර්ටින් වික‍්‍රමසිංහගෙ ගම් පෙරළිය ලෝකෙ හොඳම ශෘංගාරාත්මක නවකතාව විදිහට කියවන්න සන්නට පුළුවන්. කොහොමත් ලිංගිකත්වය ගැන  ඕනවටත් වඩා විවෘත දැක්ම සන්නාගෙ රෝගයක්. කිසිම ලාභයක් හෝ තේරුමක් නැතුවම සන්නස්ගල පරම්පරා ගානක් තිස්සෙ මේ පන්සල් යන, සදාචාරවාදී තරුණයාට ප‍්‍රතිවිරුද්ධ නාගරික තරුණයා නිර්මාණය කරනවා. පස්සෙ කොළඹ සිද්ද වෙන සංස්කෘතික දේශපාලන කතිකා සංවාදවල ඉන්න ඔක්කොම වගේ සන්නස්ගලගෙ පංති ගිය උන්. හොඳට සහ නරකට දෙපැත්තටම මේ ඇක්සිඩන්ට් එක බලපාන්න පුළුවන්. ඒත් වෙනසක් අනිවාර්යයි.

ලංකාවෙ කවර හෝ දේශපාලන පක්ෂයකින් කරනවාටත් වඩා විශාල සංස්කෘතික ව්‍යාපෘතියක් (ප‍්‍රමිතියේ ප‍්‍රශ්න සහිතව) සන්නස්ගල දශක ගානක ඉඳන් කරගෙන එනවා.

මේ අදහස් වේදිකාව මහා එක දක්වා දිගු වීම ප‍්‍රගතිශීලියි කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම පැරණි දේශපාලනික මතවාද සහ කාරණා ප‍්‍රශ්න කරන වඩා දියුණු ප‍්‍රවේශයන් මේ හරහා ඇති වෙන්න පුළුවන්.

සන්නස්ගල කියන්නෙ යූඇන්පිය නෙමෙයි. පුද්ගලයෙක් වුණු සන්නාට පුළුවන් වෙයිද මේ කියන ධාරිතාවයක වෙනසක් කරන්න? කින්ඩියට ඇහුවත් තාර්කික ප‍්‍රශ්නයක් ඒක.

ඒත් පක්ෂයක වැඩ කොටසට වඩා වැදගත් එක්ස්පෝස් වීමක් සන්නා වගේ පුද්ගලික චරිතයක් හරහා සිද්ද වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය ආකර්ශනය නිසා වඩ වඩාත් මේ විකල්පය ජනතාවට ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක අලූත් උන්ට වඩාත් ගැලපෙන්න ඉඩ තියෙනවා. හොරු අල්ලන එකට හෝ 20 සම්මත කරන එකට වඩා සියුම් නමුත් වැදගත් සමාජමය වෙනස්වීම් සිද්ද වෙන්නෙ දේශපාලනයේ නව කතිකාවන්, ප‍්‍රවේශයන් මහ ජනතාවට ඇහෙන දකින එක ඇතුලෙ.

දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ද වුණත් මේක ආක‍්‍රමණයක්. ක්ෂුද්‍ර අදහස් කතිකාවක් විසින් මහා කතිකාව නතු කර ගැනීමක්. ඒක මේ කතිකාවන් එක්ක කාලයක් තිස්සෙ ජීවත් වුණු හැමෝටම වැදගත්  තැනක්.

සන්නස්ගල කියන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුවට එක්ස්ටී‍්‍රම් එකක්. ජවිපෙ වුණත් මහා දේශපාලනය ඇතුලෙ සාම්ප‍්‍රදායික විනයගත තැනක හොඳ ළමයා වුණා. ඒත් සන්නස්ගල කියන්නෙ පුද්ගලයෙක්. යූඇන්පිය කියන්නෙ විවෘත පක්ෂයක්. ඒක වෙනස් විදිහෙ වැඩක් ට‍්‍රයි කරන්න හොඳ ඉඩක්. සන්නස්ගල කියන්නෙ එහෙම වැඩකට හොඳ ඇමක්.

බුද්ධිමය තග ඇතුලෙ ජනප‍්‍රිය වෙමින් සන්නා කොහොමත් කොළඹ මුල්ම 05 ඇතුලට රිංග ගන්නවා. එයා ළ`ග තියෙන මාධ්‍ය ප‍්‍රාග්ධනය ඒකට හොඳටම ඇති. ඒ මිසක් සන්නාගෙ පොලිටිකල් කැම්පේන් එක නම් නමටත් නොගැලපෙන තරම් දියාරු වග කියන්න  ඕන.

සන්නස්ගලගෙ පංති පෝස්ටර් හොඳ තැනක තිබුණ චන්ද පෝස්ටර් වලට වැඩිය. එයාට තිබුණ කවුරුවත් නොකරපු ප‍්‍රචාරණ උපක‍්‍රම හරහා අලූත්ම අදහස් සන්නිවේදනයකට යන්න. විශේෂයෙන්ම ඩිජිටල් ප‍්‍රජාවත් එක්ක සෙට් වෙන්න. තමන්ගෙ දේශපාලන රැුල්ල කැම්පේන් එකේ ඉඳන්ම හදාගන්න ඉඩක් තියෙද්දි සන්නස්ගල මොකද්දෝ බැලන්ස් කිරීමකට යන්න ගිහින් නාස්ති වෙනවා.

ලංකාවෙ කවුරුවත් මුද්‍රණය නොකරන පොත් සන්නස්ගල මුද්‍රණය කරලා තියෙනවා, ලංකාවෙ කිසි කෙනෙක් සල්ලි නොදාන චිත‍්‍රපටිවලට සන්නස්ගල සල්ලි දාලා තියෙනවා, තාම වුණත් විකල්ප කණ්ඩායම් සල්ලි නැති ප‍්‍රින්ටින් වැඩ වලට හොයාගෙන යන්නෙ සන්නව. බහුතරය බැහැර කරන දේ බාරගන්න, බහුතරය එපා කියන දේ කරන්න, පොඩි බුද්ධිමය චණ්ඩි ත‍්‍රිලක් සන්නස්ගල කියන චරිතය පුරාම තියෙනවා. ඒක මහා දේශපාලනේදි වෙනම පාටක් වෙයි. කවුරුවත් වැදගත් විදිහට නොගන්නා ක්ෂුද්‍ර තලයේ මාතෘකා හරහා වෙනම ප‍්‍රවණතාවයක සංවාද ඇති කරන්න පුළුවන් මන්ත‍්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉඳී.

විකල්ප කතිකාවන් වල ඉන්න අයට සන්නස්ගල වෙනුවෙන් යම් මැදිහත්වීමක් කිරීමේ යුතුකමක් තියෙනවා කියල මම හිතනවා. ඒක සන්නස්ගලට කඬේ යාමක් වෙන්නෙ අපි අපි උන් අතරෙ විතරයි. ඒත් මහ මැතිවරණ දේශපාලනයක් ඇතුලෙ ඒක අපි අපේ අදහස් වෙනුවෙන් කඬේ යාමක්.

ඒක හින්ද මං හිතන්නෙ සන්නස්ගල චන්දෙ ඉල්ලපු එක හොඳයි. ඒ චන්දෙ ඉල්ලීම පවා විකල්ප සංස්කෘතික කතිකා ජනගත කරන්න පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ විදිහට මහජන කතිරයක් හරහා ක්ෂුද්‍ර තලයේ දේශපාලන අදහස් අනාවරණය කරන්න ඉඩක් හදාගන්න එක දියුණු වැඩක්. අපිට පුළුවන් සන්නස්ගල හරහා පිට්ටනිය වෙනස් කරන්න. ඒකට අපි දන්න අඳුරන පුද්ගලික සන්නස්ගලගෙන් ටිකක් ඈතට වෙන්න  ඕන.

අදහසක් සංසිද්ධියක් ව්‍යාපෘතියක් විදිහට සන්නස්ගලව ගන්න  ඕන. සන්නස්ගලගෙ අවසානය සනිටුහන් කරන මේ චන්දෙ අපේ ආරම්භයක් වෙන්න පුළුවන්.


චින්තන ධර්මදාස