Tag: jvp

  • ලාල්ගේ කැරැල්ල

    ලාල්ගේ කැරැල්ල

    ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක එඩිතර ක්‍රියාවක්. ජවිපෙට කිසි දවසක ශෘංගාරය කියන කලාපයට ඇතුල්වෙන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. ජවිපෙ ශෘංගාරයට සහ සෙක්ස්වල අසීමිත බයක් දක්වන පක්ෂයක්. ඒක හරිම ආගමික පක්ෂයක්. සෙක්ස්වලින් ඒ පක්ෂයේ බොහෝ දේවල් අවුල් කරන්න පුළුවන්.

    ඒ වගේම ජවිපෙ නායකයාගේ පටන් කාන්තාවන් ගැන අතිශය නොසැලකිල්ලක් දක්වපු පක්ෂයක්. විජේවීර විප්ලවය කරන අතර දරුවන් උපද්දන විදිහ සැලකිල්ලට ගැනීමම ප්‍රමාණවත්. ඒ ගැහැණියගේ ජීවිතය ගැන කිසිම හැගීමක් විජේවීර කියන ශ්‍රේෂට විප්ලවවාදියා තුල තිබුනෙ නෑ. ඒක දරුවන් හදන මැෂිමක්, නැත්තං තමන්ගේ උවමනාව සපුරා ගැනීමට ඇති වැදගත් නොවන (විප්ලවය තමයි වැදගත්ම) යමක් වගේ දැනීමක් තමයි විජේවීර ප්‍රකට කරන්නෙ. ජවිපෙ කියන්නෙ ලංකාවෙ සිංහල බෞද්ධ ලිංගික කුහකත්වයේ තරුණ ප්‍රවේශයක්.

    මේ වෙද්දි අනුර කුමාර විසින් ජවිපෙ සෑහෙන තරම් ලිබරල් තත්වයකට ගෙනත් තියෙනවා. ජවිපෙ විසින් රාජ්‍ය සේවකයො අඩු කරන්න- රජය කුඩා කරන්න, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ආදී දේට වචනෙන් හරි එකග බව කියනවා. මේ අතර ලාල්කාන්ත ජවිපෙ ඉතාම තීරණාත්මක නිලය ස්පර්ශ කරනවා. ලාල් ශෘංගාරය තමන්ගේ දේශපාලනය ඇතුලට ගේනවා.

    ලාල්කාන්ත හෙදියන් අමතා කළ කතාවෙ ප්‍රධානව දකින්න තියෙන්නෙ කාරණා දෙකයි. එකක් ජිම් යාමෙන්, ව්‍යායාම කිරීමෙන් තමන්ගේ නිරෝගී බව ආරක්ෂා කරගන්න කියන එක. අනික පුන් පයෝධර, සිහිනිඟසුග ඇතිව තමන්ගේ ශෘංගාරය පවත්වාගන්න කියන එක. තමන්‍ගේ රෝගීන්ට හෙදකමට අමතරව වසඟයද පවත්වාගන්න කියන එක. මේක ඉතාම සුන්දර ආරාධනයක්. විශේෂයෙන් ලෙඩ්ඩුන්වම දකින, ජීවිතේ අනිත්‍යබව සමගම ගැටෙන හෙදකම ශෘංගාරකරණයකට ලක් කිරීම අවශ්‍ය දෙයක්.

    මේ ගැන බොහෝ ලිබරල්, පොලිටිකලි කරෙක්ට්, සෙක්ස්වලට බය ඉවුරෙ පිරිස් තමන්ගේ කණස්සල්ල පළ කරලා තිබුන. මේ අයට අනුව මේ ලාල්කාන්ත තමන් ආශක්ත කාන්තාව පිළිබඳ ප්‍රකාශ කිරීම අනෙක් තඩි, මහත, හෝ හීනි කාන්තාවන් පහත් කොට සැලකීමක් වෙනවා. පිරිමියා පතන ස්ත්‍රිය බලහත්කාරයෙන් ආරෝපණය කිරීමක් වෙනවා. ඒ අතරෙ කාන්තාව තමන්ගේ වෘත්තිය ඇතුලෙ ශෘංගාරකරණයකට ලක්කිරීම මහා පිරිමි පාපයක් වෙනවා.

    මේ කතාවම ජෙන්ඩර් රිවර්ස් කරලා බලන්න. පිරිමි හෙදියන්ට කරන කතාවක්.
    ‘ඔය ගොල්ලො ජිම් ගිහින් සික්ස් පැක් හදලා සෙක්සි විදිහට ඉන්න ඕනි. ඇදේ ඉන්න ලෙඩා ඔය ගොල්ලොන්ව දැක්කම නැගිට්ටෙන්න ඕන..’මේකෙන් පිරිමි කවුරුවත් තමන්ව ඔබ්ජෙක්ටිෆයි කළා හෝ පහත්කොට සැලකුවා හෝ වගේ අර්බුදයකට යනවද? ඒක තමන්‍ගේ බෙස්ට් වර්ෂන් එකෙන් ඉන්න කියල කරන යෝජනාවක්. තමන්ගේ පෙනුම, ශරීරය ගැන හිතන්න කියලා මතක් කිරීමක්. තමන්‍ගේ අනුරාගයේ බලය තමන් වෙත රඳවා ගන්න කියල මෝටිවේට් කිරීමක්.

    හෙදියක් දැකීමෙන් ඇඳක ඉන්න රෝගියෙක් ලිංගිකව ප්‍රාණවත් වීම පාපයක් නෙමෙයි. ඒක ආස්වාදජනක දෙයක්. ජීවිතේ ගැන ආශාව දැල්වීමක්.

    හෙදියකට අනුරාගය විතරක් නෙමෙයි කරුණාව සහ දැනුම ආදී දේවලුත් අවශ්‍ය බව කවුරුත් දන්නවා. ඒ දේවල් ගැන ඕනවටත් වඩා කතා කරනවා. ඒත් නිතර අනුන්ගේ සෙම් සොටු ලේ කැත කුණු අතපත ගාන හෙදියන්‍ට තමන්ගේ ජීවිතයේ අනුරාගය, ශෘංගාරය අත් නොහැර ජීවත් වන ලෙස ඉල්ලීම වැරැද්දක් වෙන්නෙ කොහොමද?

    මේක ශෘංගාරභීතිය විසින් අපේ වගේ ලිංගිකව කුහක සමාජ ඇතුලෙ ඇති කරන තත්වයක්. වඩාත්ම භයානක වෙන්නෙ මේක හරිම ප්‍රගතිශීලී එළඹුමක් විදිහට ඉස්මතු වෙන එකයි. අවසාන වශයෙන් ඒ විරෝධයේ පවතින්නෙ ශෘංගාරයට, ලිංගික ආස්වාදයට ඇති ප්‍රතික්ෂේපයම විතරයි.මේ කතාව ලාල්කාන්ත එදා නර්ස්ලට කිව්වට එය ජවිපෙ දේශපාලනය ප්‍රචන්ඩ විදිහට ප්‍රසාරණය කිරීමක්. මේ කතාව ජවිපෙ ජාජාබෙ කියන අලුත් ලිබරල්ස්ලා වගේ ජවිපෙ පරණ සෙට් එක වෙන සිංහල බෞද්ධ මාක්ස්වාදියාත් තිගැස්සුමට ලක් කරනවා.

    දේශපාලනය ඇතුලට විවෘතව ශෘංගාරය කැඳවීම විප්ලවීය වැඩක්. ජවිපෙ කියන්නෙ කො‍හෙත්ම මේ ශෘංගාර අර්ධය නිරූපණය නොකරන වමේ කණ්ඩායමක්. ඒ අයගෙ දේශපාලනය පවතින්නෙම දුක පැත්තෙ. අනෙකා විඳින සතුටට ඉරිසියා කිරීම පැත්තෙ. තමන්ගේ සතුට අනෙකා විසින් සොරාගෙන ඇතැයි ඇදහීම පැත්තෙ. තමන්ගේ පුද්ගලික සුඛ විහරණය, කාමාස්වාදය වරදක් යැයි හිතන පැත්තෙ. මේ අතරෙ තමන්ගේ සුඛය ගැන ශෘංගාරය ගැන, ආස්වාදය ගැන හිතන්න කියල හෙදියන්ට ලාල්කාන්ත කියද්දි ඒක කැරැල්ලක්.

  • ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව

    ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව

    ඩයනා ගමගේ කියන්නෙ අපි කැමති විදිහෙ චරිතයක් නෙමෙයි. ඒත් ඩයනා පාර්ලිමේන්තුව ඇතුලෙ ජෙන්ඩර් පොලිටික්ස් පැත්තෙන් කරන කාර්යභාරය නොසලකා හරින්න පුළුවන් එකක් නෙමෙයි. ඇය නිර්ප්‍රභූ ගැහැණියක් විදිහට පාර්ලිමේන්තුවේ කරන්නෙ ලිංගික සංස්කෘතික පෙරළියක්. ඒක හරිනි අමරසූරියලා කරන විදිහෙ පොෂ් ෆෙමිනිස්ට් බොරුවක් නෙමෙයි.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්තරා කාලෙක රංජන් රාමනායකගෙ බැක්සයිඩ් කතාවක් හින්ද පාර්ලිමේන්තුව ඇතුලෙ අපහසුතාවයට ලක්වුනා. මගේ ඉස්සරහ සයිඩ් එකයි බැක්සයිඩ් එකයි දෙකම දෙන්නෙ මගේ මහත්තයාට කියල එයා ඒ පිරිමි ලිංගික අපහාස මැද හිටගෙන කියපු කතාවට අපි අත් උස්සලා අත්පුඩි ගැහුවා. ඊට පස්සෙ හිරුණිකා කාන්තා වීරවරියක් වුනා. මහා වීර ගෝඨාභයගෙ ගේ ඉස්සරහට ගිහින් ගේම ඉල්ලුවා.

    පස්සෙ ඒ ස්ත්‍රී අභිමානය හිරුණිකාට ඉස්මුරුත්තාවට ගියා. මෑත වේදිකාවක එයා කිසි හිරිකිතයක් නැතුව රනිල් ගෙ බෝල දෙක ගැන කතා පවත්වන්න ගත්තා. ජලනි ප්‍රේමදාස උඩ පැන පැන හිනාවුනා. ගැහැණියකට ලිංගික අපහාස කිරීම වගේම පිරිමියෙකුට ලිංගික අපහාස කිරීමත් නින්දිත ක්‍රියාවක් වග හිරුණිකාට ඒ වෙලාවෙ මතක් වුනේ නෑ. ජලනි එහෙම දෙයක් දන්නෙවත් නෑ.

    පාර්ලිමේන්තු ආපු අශිෂ්ටයෙක් වන තිස්සකුට්ටිආරච්චි එක වෙලාවක ලිංගික අපහාසයක් විදිහට වම්බටු ගෙඩියකින් රෝහිනී කවිරත්නට දමලා ගැහුවා. ඒ වෙලාවෙ ස්ත්‍රී පෙරමුණක් විදිහට හරිනි අමරසූරියලා වම්බටු ගෙඩියට එරෙහිව කවිරත්න එක්ක හි‍ටගත්තා.

    ඉතාම මෑතක නලින් බණ්ඩාර දිව එළියට දාලා ඩයනා ගමගේව පෙරලගත්ත කතාවක් පාර්ලිමේන්තුවෙ කියනවා. ඩයනා ඒ වෙලාවෙදි, කවුරු පෙරලගත්තත් ඔයාට පෙරලගන්න හම්බුවෙන්නෙ නෑ කියල අනිත් පැත්තට නිර්භයව කියල දානවා. නලින් බණ්ඩාර තමන්ගේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරමින් ඩයනාට ගලි බවුසරයක් කියලත් අපහාස කරනවා. රෝහිනී කවිරත්නත් ඇතුලු පාර්ලිමේන්තුවෙ සියලු ස්ත්‍රී චරිත නෑසුකන්ව ඉන්නවා. සමහරු ඒ අශික්ෂිතබව දිරිමත් කරමින් හිනාවෙනවා.

    කවර දුර්වලතා තිබුනත් ඩයනා ස්ත්‍රිය කියන සම්මත සමාජ පිළිගැනීමේ ස්ටීරියොටයිප් කුඩු කරපු ගැහැණියක්. පිරිමි මන්ත්‍රීන් පවා පුහු සදාචාරය නිසා කතා කරන්න මැළිවෙන කංසා නීතිගත කිරීම ගැන ඇය ගැහැණියක් විදිහට බය නැතුව කතා කරනවා. ඒ නිසා අනේක විධ අපහාස විඳිනවා. නාගරිකව රාත්‍රී සමාජ ජීවිතයක් නිර්මාණය කළ යුතු බව කියනවා. එයා කතා කරන්නෙ ගැහැණුකමේ සීමාවන් ආරක්ෂා කරමින් නෙමෙයි. එයා අමුවෙන් කතා කරනවා. නොනැවතී බැන ගන්නවා. සුකොමල, ලැජ්ජාශීලී කාන්තා ප්‍රතිරූපය කුඩුපට්ටම් කරනවා. පිරිමි ගොඩක් ඩයනාට අකමැති ඒකයි. ගැහැණු ගොඩක් අකැමැති වෙන්න හේතුවත් ඒකයි.

    ස්ත්‍රියකගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා කළ යුත්තේ ඇය මටසිළුටු වැදගත් ගැහැණියක් නම් පමණක් නෙමෙයි. ඇය වැදගත් යැයි සම්මත සීමාවන් නොතකා හරිමින් සිටියත් ඇයට ඇගේ පුද්ගලික ජීවිතයේ ගරුත්වය හිමි විය යුතුයි. ඇය යහන්ගත වෙන්නෙ කවුරුන් සමගදැයි යන්න අනිත් අයට ප්‍රශ්නයක් නොවිය යුතුයි.
    පාර්ලිමේන්තුවේ ගැහැණියකට එරෙහිව භාවිතා වුනු අශිෂ්ට ලිංගික ප්‍රචන්ඩත්වය අපි හෙළා දකිනවා. ටයිකෝට් ඇඳගෙන නලින් බණ්ඩාර කරපු කතාව ඇත්තටම නිරුවතින් කළා නම් නම්බුකාරයි. ඒ වගේම තවමත් ඒ ප්‍රකාශය ගැන තමන්ගේ විරෝධය ප්‍රකාශ නොකළ සජබෙ සංස්කෘතියත් මෙතනදි නිරුවත් වෙනවා.

    කොළඹ ස්ත්‍රීවාදීන්ට අමතක වන ස්ත්‍රී- පුරුෂ කවර හෝ පුද්ගලයෙකුගේ මනුස්ස ගරුත්වය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ගැහැණියක් වේවා, පිරිමියෙක් වේවා, ඔවුන්ගේ පංතිමය වැදගත්කම්, සදාචාර සීමාවන් කවර හෝ වේවා ඔවුන්ට ලිංගිකව අපහාස කිරීම නින්දිත පහත් ක්‍රියාවක්. එවන් පහත් පිරිමින් ගැහැණුන් මැද තනිව සිටගෙන නොවැටී කතා කළ ඩයනාගේ ශක්තිමත්බව අගය කළ යුත්තක්.