Tag: sunil perera

  • ඒක කරන්නම ඕන ටෙස්ට් එකක්

    ඒක කරන්නම ඕන ටෙස්ට් එකක්

    සුනිල් පෙරේරා  ගායනා කරන මේක නං කරන්නම ඕන ටෙස්ට් එකක් සිංදුවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරගෙන යන එච්අයිවී පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුනා. සමලිංගික, විෂම ලිංගික, සංක්‍රාන්ති ලිංගික, ලිංගික ශ්‍රමික හෝ මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වී ඇති ඕනෑම කෙනෙකුට අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවුනහොත් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව වුවත් ළඟම ඇති රජයේ සායනයට පැමිණ නොමිලේ HIV පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒ වගේම www.know4sure.lk වෙබ්අඩවිය හරහා  ඔබේ රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි එච්අයිවී පරීක්ෂාවක් සඳහා පහසුවෙන් වෙලාවක් වෙන්කරගැනීමටත් දැන් අවස්ථාව තියෙනවා. HIV පිළිබඳ දැනුවත් විය යුතු බොහොමයක් කාරණා ගැනත් මේ වෙබ් අඩවියේ සාකච්ඡා කරනවා.

    මැකුවොත් හිරේ කියන පාඨයත් සමග සමාජගත වූ HIV මුලින්ම ක්‍රියාත්මක වුනේ එකම සහකරුවෙකුට පමණක් ලිංගික ක්‍රියාවන් සීමා කිරීමේ ආගමික සදාචාර නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. අයාලේ යන අයට දෙවියන් විසින් දුන් දඬුවමක් වගෙයි මේක බාරගත්තෙ.  නමුත් පිළිසිඳ ගැනීමකින් තොරව ලිංගික එක්වීමේ හැකියාව මිනිසා සතු  කළ මානව ලිංගික නිදහසේ පුරෝගාමී  පුංචි රබර් කොපුව -කොන්ඩමය නැවතත් මෙතනදි ආරක්ෂාව වෙනුවෙන් පෙරමුන ගත්තා . ඒ නිසා එච්අයිවී ගැන බියකින් තොරව ලිංගික තෘප්තිය සොයායාමේ නිදහස ලැබුන.

    කොන්ඩමයේ ඉතිහාසය

    කොන්ඩමයක් මානව ඉතිහාසයේ මුලින්ම නිෂ්පාදනය වුනේ කවදද කියන එක හරියටම කියන්න පුළුවන්කමක් නෑ. වෛද්‍ය ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන වර්න් බුලො කියන්නෙ මේක මිත්‍යා කතා අතර හැංගිලා ගිහින් කියල. මධ්‍යතන යුගයෙ ඉඳන් සත්ව බඩවැල් ආදියෙන් නිපදවන කොන්ඩම පාවිච්චි වුනා. තවත් පර්යේෂකයො කියන්නෙ මේ ඉතිහාසය දහවෙනි ශතවර්ෂයේ පර්සියාව දක්වා යනවා කියල. ඒත් කොන්ඩම භාවිතයෙන් රෝග වැලැක්වීමට පුළුවන් කියල මුලින්ම දොස්තරලා හොයාගත්තෙ 16 වෙනි සියවසේදි.  ගේබි්‍රයල් ෆැලොපියො කියන ඉතාලියානු දොස්තර තමයි මුලින්ම නිර්දේශ කළේ කොන්ඩම භාවිතයෙන් ලිංගික රෝග බෝවීම වළක්වන්න පුළුවන් කියල.

    1800 ගනං වෙනකල් කොන්ඩම් හැදුනෙ සතුන්ගෙ කොටස්වලින්. ඒවා දරුවන් පිළිසිඳ ගැනීම වැළැක්වීමට සහ රෝග බෝවීම වැළැක්වීම වෙනුවෙන් පාවිච්චි වුනා. මේ කාලෙ කොන්ඩම වල රිබන් එකක් තිබුන. ඒක පහල කෙලවරෙන් ගැටගහ ගන්නයි හදලා තිබුනෙ. බුලො කියන විදිහට කොන්ඩම් වැඩිපුර භාවිතා වුනේ ගණිකා වෘත්තිය ආශ්‍රිතව නිසා ඒ අපවාදය කොන්ඩම සමගත් බැඳී තිබුන. ඒ වගේම පිරිමි කවදාවත් කොන්ඩම පළඳින්න ඒ තරම් කැමති වුනේ නෑ.

    ලොව සුප්‍රකට පෙම්වතා කැසනොවා 1700 කියන විදිහට තමන් සැබවින්ම ජීවත් වෙන ඒ මොහොතෙදි මැරිච්ච හම් කෑල්ලකින් තමන්ව වහගන්න එයා කැමති නෑ. කැසනොවා තව ටිකක් කල් ජීවත් වුනා නම් වෙනස් විදිවල කොන්ඩම් එයාට අත්හදා බලන්න තිබුන. සමහර විට එයා ඒවට වැඩියෙනුත් එක්ක කැමති වෙන්නත් ඉඩ තිබුන.

    1800 ගනංවලින් පස්සෙ රබර් කොන්ඩම් හඳුන්වාදෙනවා. මුල් කාලෙදි මේ කොන්ඩම්වලින් ආවරණය වුනේ ශිෂ්න මුන්ඩය විතරයි. යුරෝපීයයන් ඒවා ඇමරිකන් ටිප්ස් විදිහට හැඳින්නුවා. 1869දි මුල්වරට ශිෂ්නය සම්පූර්ණයෙන් ආවරණය වෙන රබර් කොන්ඩමයක් එනවා. නමුත් ඒ මැදින් යන මූට්ටුවක් තිබුන. ඒක අපහසුකාරී වුනා. ඒ වගේම ඒවා මිළ අධික වුනා. සෝද සෝදා නැවත පාවිච්චි කළ හැකි වුනා.
    මේ සියවසේ අවසාන භාගයෙදි තමයි මිළ අඩු කොන්ඩම හඳුන්වා දුන්නෙ. තුනී මුට්ටුවක් රහිත කොන්ඩමයක් වුනත් මේවා ඉක්මණින් කැඩෙන්න පටන් ගත්තා. මේ අතරම මාළු බොකුවලිනුත් කොන්ඩම් නිෂ්පාදනය වෙන්න ගත්තා.

    1873දි කොන්ඩම් කර්මාන්තයට දරුණු පහරක් වදිනවා. ඇමරිකානු ප්‍රතිසංස්කරණවාදියෙක් වන ඇන්තනි කොම්ස්ටොක් විසින් කොම්ස්ටොක් ලෝ කියන නීතිය ගේනවා. මේ නීතියෙන් කොන්ඩම සහ වෙනත් උපත්පාලනය සඳහා යොදාගන්නා දේවල් සහ සදාචාර විරෝධී ලෙස හඳුන්වන සෙක්ස් ටෝයිස් තැපැල් මගින් යැවීම තහනම් කරනවා. තව පළාත්වල වෙනත් දැඩි ස්වරූපයන්ගෙන් මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ගත්තා. කොන්ඩම් නැති වුනේ නෑ. ඒවා අඳුරු කර්මාන්ත වුනා. සමාගම් තමන්ගේ නිෂ්පාදනවලට කොන්ඩම් කියන්නෙ නැතුව රබර් සේෆ්, කැප්ස්, මහත්වරුන්ගේ රබර් මෙවලම් වගේ නම් වලින් හැඳින්නුවා.

    කොම්ස්ටොක් නීතිය තියෙද්දිම අද දක්වා කොන්ඩම නිෂ්පාදනයේ දැවැන්තයන් දෙදෙනා කර්මාන්තයට පිවිසෙනවා. 1883දි. ජර්මානු යුදෙව්වෙක් සංක්‍රමනිකයෙක් වන ජුලියස් ශ්මිඩ් තමන්ගේ කොන්ඩම් නිෂ්පාදනය ආරම්භ කරන්නෙ සොසෙජ් කවර ව්‍යාපාරයත් සමග. එයාගෙ කොන්ඩම්වල නම රැම්සෙස් ඇන්ඩ් ශීක්. ශ්මිඩ් රබර් වලින් කොන්ඩම් හැදුවා. ඇමරිකාවෙ ප්‍රමුඛතම කොන්ඩම් නිෂ්පාදකයා වෙන්න ශ්මිඩ්ට පුළුවන් වුනා. 1916දි ශ්මිඩ්ට එයාගෙ ප්‍රතිවාදියා මුනගැහුනා. ඒ තමයි මර්ලෙ යන්ග්. ට්‍රෝජන් කියන බ්‍රෑන්ඩ් එක එයාගෙ.

    1930 ගණං වෙද්දි කොන්ඩම්වලට තියෙන නීතිමය තත්වය ශක්තිමත් වුනා. රෝග වැලැක්වීම වෙනුවෙන් කොන්ඩම් පාවිච්චි කළ හැකිය කියන පිළිගත හැකි සාක්ෂිය තමයි ඒකට හේතු වුනේ. ඒ වගේම දොස්තරලාට රෝග වැලැක්වීම සඳහා කොන්ඩම් නිර්දේශ කරන්නත් නීතියෙන් අවසර ලැබුනා.
    මේ අතරදි ලේටෙක්ස් කොන්ඩම් හඳුන්වාදුන්නා. වඩා තුනී වෙමින් වැඩි තෘප්තියක් ළඟා කරදෙන්න ඒවාට පුළුවන් වුනා. ඒ වගේම පොදු ජනතාවට මිළට ගත හැකි වුනා. 1930 ගණන්වල මැද වෙද්දි ප්‍රධාන කොන්ඩම් නිෂ්පාදකයො 15 දෙනෙක් හිටිය අතර මිලියන එකහමාරක් කොන්ඩම් දවසට නිෂ්පාදනය වුනා.

    සමාජ විද ්‍යාඥ ජොෂුවා ගැම්සන් කියන විදිහට දෙවෙනි ලෝක යුද්දෙ වෙද්දි දවසට කොන්ඩම් මිලියන තුනක් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඇමරිකානු හමුදාවලට කොන්ඩම් ලබාදීම. 1940 ගණන්වලදි ප්ලාස්ටික් සහ පොලියුරතේන්වලින් කොන්ඩම් හදන්න ගත්තට ඒවා වැඩි කාලයක් පැවතුනේ නෑ. මේ අතර පළවෙනි පාට පාට කොන්ඩමය ජපානයේ නිෂ්පාදනය වෙනවා.
    1960-70 වෙනකල් කොන්ඩම් අලෙවිය වැඩිවෙනවා. ඊට පස්සෙ එකපාරටම ඒක කඩන් වැටෙනවා. ඒකට හේතුව වෙන්නෙ උපත් පාලන පෙත්ත සහ IUD ක්‍රමයන් හඳුන්වාදීම. උපත් පාලනය කියන හේතුවට කොන්ඩම් එක්ක තවත් තරගකරුවන් ඉදිරිපත් වෙනවා.

    මේ විදිහෙ උපත් පාලන ක්‍රම ගණනාවක් හඳුන්වාදුන්නට 1965 වෙනකල්ම ඒවා තහනම් විදිහටයි පවතින්නෙ. කනෙක්ටිකට් වල ශ්‍රේෂ්ටාධිකරණය පළවෙනි වතාවට විවාහක අයට උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න නීතිමය අවසරය දෙනවා. අවිවාහක අයට උපත් පාලන අයිතිය ලැබෙන්නෙ තවත් අවුරුදු හතකට පස්සෙ. ඒ කොහොම වුනත් 1977 දක්වාම කොන්ඩම් ඇඩ්වර්ටයිස් කරන්න තහනම්. මේ දැන්වීම පළකිරීම නීතිගත වුනාට පස්සෙ වුනත් රූපවාහිනී ආයතන තමන් විසින්ම ඒවා බාරගැනීම ප්‍රතික්‍ෂේප කළා.

    නැවත කොන්ඩම් ජනප්‍රිය වෙන්නෙ 1980 ගණන්වල HIV පැතිරෙන්න ගන්නවත් එක්ක. ඒත් මේ මාධ්‍ය නාලිකා කොන්ඩම් පිළිබඳ දැනුවත් කිරීම් තමන් විසින්ම වාරණය කරනවා. ඇමරිකානු ජ්‍යෙෂ්ට හමුදා වෛද ්‍යවරුන් පවා මේ දැනුවත් කිරීම් මාධ්‍ය විසින් කළ යුතුයි කියල කිව්වත් ඒ අය ඇහුම්කන් දෙන්නෙ නෑ. ඒ මාධ්‍ය බයවෙනවා උපත් පාලනයට විරුද්ධ තමන්ගේ පාරිභෝගිකයන් තමන්ට අහිමි වෙයි කියල. ඒ දැන්වීම් මගින් ප්‍රජාවගේ යහපත් රසය සහ පිළිගැනීම පිළිබඳ තත්වයන් කඩකරනවා කියල ඒ අය කියනවා.

    පළමු වරට කොන්ඩම් ඇඩ් එකක් ටීවී එකේ යන්නෙ 1991දි. ඒ ට්‍රෝජන් කොන්ඩම් ගැන. එතනදි කොන්ඩම් එකෙන් සිද්ද වෙන රෝග වැළැක්වීම ගැන මිස උපත් පාලනය ගැන කිසි දෙයක් කතා කරන්නෙ නෑ. මේ අවුරුද්දෙම ෆොක්ස් ච ැනල් එක ශ්මිඩ්ගෙ රැම්සස් ඇඩ් එක ප්‍රතික්‍ෂේප කරනවා ඒකෙ ශුක්‍රානු විනාශ කිරීමක් දැක්වෙනවා කියල. ප්‍රයිම් ටයිම් එකේ පළවෙනි වතාවට කොන්ඩම් දැන්වීමක් ප්‍රචාරය වෙන්නෙ 2005දි. 2007දිත් ෆොක්ස් එක මේ දැන්වීම් බාරගැනීම ප්‍රතික්‍ෂේප කරනවා ඔවුන් උපත් පාලනයට විරුද්ධ නිසා.

    ඉතින් අදටත් ලංකාවෙ කොන්ඩම් එකක් පොලිසිය විසින් නීති විරෝධී හෝ අපහාසාත්මක, අපචාරාත්මක තත්වයකින් සැලකීම ගැන වැඩිය පුදුම වෙන්න දෙයක් නෑ. ඒත් මේ පුංචි රබර් කොපුව තමයි ලිංගික රෝග බෝවීමේ අවදානම වළක්වන, ලිංගික නිදහස ආරක්ෂා කරන ප්‍රබලම මෙවලම වෙන්නෙ.

    HIV වලට බයවෙන්න දෙයක් නෑ!

    මේ වෙද්දි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක HIV සාර්ථකව පාලනය කිරීමට ඖෂධ සොයාගෙන ඇති නිසා තවදුරටත් මේක බිය විය යුතු මාරාන්තික රෝගයක් නෙමෙයි. නිසි උපදෙස් මත ඖෂධ ලබාගන්නවා නම් ලිංගිකව හැසිරුනද ඔබෙන් තව කෙනෙකුට HIV බෝවෙන්නෙත් නෑ. මේ නිසා HIV ඇති අය සමාජයෙන් කොන්කිරීම හෝ ඒ අය ගැන බයෙන් කලබල වීම නූතන යුගයට අයිති හැසිරීමක් නෙමෙයි. ඒ නොදැනුවත් බව පිළිබඳ කතන්දර.

    මේකෙන් අදහස් වෙන්නෙ අප්‍රවේශම්කාරී වීම ප්‍රශ්නයක් නෑ කියන එක නෙමෙයි. විවෘත ලිංගික ඇසුරකදි කොන්ඩමයක් පැළඳීම හැමවිටම වැදගත්. නමුත් යම් අතපසු වීමක් වුවහොත් දෙවන පියවර වන්නේ පරීක්ෂාවක් සිදුකරගෙන සැක බිය දුරුකර ගැනීම.

    අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු සති 4-6ක් අතර කාලයකදි මේ ටෙස්ට් එක කරගැනීම සුදුසු වෙනවා. මේ ටෙස්ට් එක නිසා ඔබේ ජීවිතයත් ඔබව ඇසුරු කරන අනෙක් අයගේ ජීවිතත් ආරක්ෂා වෙනවා. නෝටි වුනත් නයිස් විදිහට කරන සෙක්ස් කරන්න අපි ඉගෙන ගන්න ඕන.

    මේ ගීතය වෙනුවෙන් සුනිල් පෙරේරා මුදල් අයනොකරම තමන්ගේ ගීතයක තනුව සහ තමන්ගේ හඬ ලබාදීම විශේෂයෙන්ම අගය කළ යුතු දෙයක් වෙනවා.


    HIV සහ ලිංගාශ්‍රිත රෝග පර්යේෂණ සඳහා දුරකතනයෙන් පහසු වේලාවක් සහ දිනයක් වෙන් කරවා ගැනීමට

    www,know4sure.lk
    – 0766447873 – 0779803244
    ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන
    – 0112 66 71 63 – 0703 533 633
  • ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප‍්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක චර්යාමය, බුද්ධිමය සහ හැගීම්මය කියන හැම හැඩගැහීමකටම, හරි විදිහට කිව්වොත් නිර්මාණශීලීත්වයකටම බලපානවා. ඒකෙ ඊටත් වඩා ක්‍ෂුද්‍ර තැන් තියෙනවා. ඕ-ලෙවල් කරපු සහ ඒ-ලෙවල් කරපු උන් අතරෙ වුණත් මේ හක ළග පංති දෙක අතරෙ වුණත් දැවැන්ත ජීවිතමය පරතරයක් තියෙනවා. ඒක දැනුම පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒ ලෙවල් වල වැඩ හතරම ෆේල් එකෙක් වුණත් ඕ ලෙවල් වලින් නැවතුණු එකෙකුට වඩා වෙන ජීවිත කලාපයකට ඇතුල් වෙනවා. (මේක න්‍යායක් හෝ අනිවාර්යයක් නෙමෙයි, හුදු අත්දැකීම් සහ නිරීක්‍ෂණ පදනම් කර ගත්තු කතාවක් විතරයි)

    එතකොට කාට හරි හිතෙන්න පුළුවන් කොග්ගල මහා ප‍්‍රාඥයා පහේ පංතියට විතරයිනෙ ගියේ කියල. මාත් හිතන්නෙ මාර්ටින් වික‍්‍රමසිංහ මේ වෙනස ගැන හොඳ උදාහරණයක්. මාර්ටින්ගෙ පොත් කියවද්දි ඇත්තටම පේනවා එයා පහේ පංතියට විතරයි ගිහින් තියෙන්නෙ කියල. ඒ හිතීම, ඒ ගොනු කිරීම, ඒ පැවැත්ම, ඒ ගරු කිරීම් සහ දෙකට නැවීම් හැමදෙයක්ම ඒ ඉස්කෝලෙ ගිය නැති එක එලියට කියනවා. වඩාත් මේ කාරණය තේරුම් ගන්න ලේසියි මාර්ටින් එක්ක සයිමන්ගෙ වගේ කෘති තියලා බැලූවොත්. මේක හොඳටම අහුවෙන්නෙ නිර්මාණ වලදි (ප‍්‍රබන්ධ). ජීවිතේ ගැන හිතන පරාසය, ඒ ඇතුලෙන් හොයාගෙන යන දේ, ඒ මනස් සිතියමේ සීමා වගේ ගැඹුරු කාරණා මේ වචන අතරෙ කියවෙන දැනීමට වඩා ගොඩක් දේවල් කියනවා.

    මං මේ කාරණේ ගැන හිතාගෙන හිතාගෙන එන්න පටන් ගත්තෙ අපිට එදිනෙදා මුණගැහෙන මිනිස්සුන්ගෙ ජීවිත පරාසවල වෙනස දිහා බලාගෙන ඉඳිද්දි. රස්සාවක් කිරීම, සල්ලි එකතු කිරීම, කසාදයක් බැඳීම, ගෙයක් හැදීම ඊට පස්සෙ ළමයි බමයි… මේ විදිහෙ තනි ඉරේ රේඛාවකට පිටින් ජීවිතේ මොනවා හරි හොයන අය සහ එහෙම කිසි ප‍්‍රශ්නයක් නැති අය කියන දෙවිදියක මිනිස්සු අපිට මුනගැහෙනවා. සීයට බර ගානක් (මගේ ගාන නම් 98ක් විතර) ඉන්නෙ ඒ මොකක් හරි ප්‍රෝග‍්‍රෑම් කරපු එක දේකට යන සෝල්ජර්ස් ලා. ඒ හැම දෙයක්ම මැද්දෙ ඒ සංස්කෘතික ජීවිතේට එලියෙන් තමන්ව තේරුම් ගන්න, තමන්ගෙ පැවැත්ම හොයා ගන්න එක එක විදිහෙ නිර්මාණශීලී දේවල් කරන සීයට කීපයක පිරිසකුත් ඉන්නවා. ඒ අයට තමන් අයිති, තමන් බෙදා හදා ගන්නා සමාජයක් තියෙනවා. අනිත් අයට තියෙන්නෙ තමන් සහ යම් ආයතනයක් (ඔෆිස් එක/පවුල) අතර යම් රේඛීය, කලින් නිර්ණය කරන ලද වැඩ කොටසක් විතරයි. අපි චිත‍්‍රපටියකට හරි, නාට්ටිකට හරි සල්ලි ටිකක් ඉල්ලගන්න මුදලාලි කෙනෙක් ළ`ගට ගියොත් අපි කියන දේ එයාට නොතේරෙන්නෙ සහ එයාට ඒක නොතේරීම අපිට ගැටළුවක් වෙන්නෙ මේ කාණ්ඩ දෙකේ අර්බුදය හින්ද. එයාට එහෙම තමන් අයිති, තමන් අවංක සංවාදයක් පවත්වගන්න සමාජයක් නෑ. එයා එහෙම දෙයක් දන්නෙ නෑ.

    මට හිතෙන්නෙ මේ සොල්දාදු ජීවිත බිහි කරන්න ලොකුම හේතුවක් වෙන්නෙ දුප්පත්කම. ගඩොල් කපලා දොස්තර විභාගෙට ඉගෙන ගන්න කෙනෙක් ගොඩක් සල්ලි හම්බුකිරීමට පිටින් දොස්තරකමට තේරුමක් දන්නෙ නැත්තෙ ඒ හින්ද. ජීවිත කාලෙම ඒ දුප්පත්කම විසින් ප්‍රෝග‍්‍රෑම් කරපු ආසාව (ඔබ්සෙෂන්) එක එක මුහුණුවරින් එයාව පෙළන්න පටන් ගන්නවා. ඒ දුප්පත්කම කවදාවත් ඉවර වෙන්නෙ නෑ. මේක සිද්ද වෙන හැටි බලාගෙන යනකොට හොඳටම කැපී පේන එක පරිච්ෙඡ්දයක් තමයි ඒ-ලෙවල් සහ පළවෙනි රස්සාව අතරෙ කාලය. ඒ-ලෙවල් ඉවර කලායින් නොකළායින් රස්සාවකට යන්න වෙන ජීවිත මේ ප්‍රෝග‍්‍රෑම් එකට වැටෙනවා වැඩියි (ඒ සිද්දවීමත් කලින් ඉඳන් එන ප්‍රෝග‍්‍රෑම් එකේ කොටසක්) ඒ ගන්ධබ්බ, අයාලෙ යන, තේරුමක් නැති කාලය ගත නොවීම හින්ද ආකෘතිගත පැවැත්මට එලියෙන් මොකක් හරි තියෙනවද කියල ඒ අය දන්නෙ නෑ. ඒක අහලා තිබිලා වැඩක් නෑ. ඒ පාතාලෙට වැටෙන්න ඕන.

    බෝඩිංකාර, අසහනකාරී ඒ තරුණ වල්මත් බව අපේ ජීවිතේ වෙනස් ගැඹුරක් නිර්මාණය කරනවා. කවදාවත් පද්ධතිගත ජීවිතෙන් තෘප්තිමත් නොවෙන අසහනයකින් අපිව පුරවනවා. මං හිතන්නෙ හැම ඇත්ත සමාජ ක‍්‍රියාකාරිකයෙක් (දුප්පත් හේතු නැති) පිටිපස්සෙම මේ අයාල තාරුණ්‍යය තියෙනවා.

    ඉබාගාතෙ දිගේලි වෙච්ච අදහස් පේලියක් දිගේ රෝල් වුණත් කියන්න තිබුනෙ වෙන කතාවක්. දැන් ඒ කතාවට ක්ෂණික ඡේදනයක්.

    මං හැත්තෑ හත දිහා බලාගෙන ඉපදුනෙ. හැත්තෑව වගේ කාලෙක ඉපදුනේ නැති එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්. මං ඒ තරමට 77 වෙනසට කැමති හින්ද. විවෘත ආර්තිකේ මාර අවුලක් කියාගෙන රටම වමට තල්ලූ කරගෙන ආපු 70 කට්ටිය (56 සිංහල සෙට් එක) හින්ද තමයි මං හිතන්නෙ අපි තාම මේ පරිප්පුව කන්නෙ. ඒකෙ අවසාන නිෂ්පාදන වුනේ මහින්ද රජපක්ෂ, බොදු බල සේනා වගේ තත්ව. ෆැක්චුවල් විදිහට 77 ගැන කතා නොකර මං වෙන ෆන් තැනකින් මේ කාලෙ ගැන මගේ කතාවට එන්නං.

    මට 77 කිව්වම මතක සංසිද්ධි දෙකයි. එකක් ජේ ආර් ජයවර්ධන. මං පොඩි කාලෙ හිතුවෙ ජේආර් තමයි හැමදාම ජනාධිපති කියල. අද වුණත් මට ජනාධිපති කෙනෙක් වගේ පේන්නෙ එයාව විතරයි. ඇත්තටම ඊට පස්සෙ ඒ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය තියෙන කිසි චරිතයක් රටේ නායකත්වයට ආවෙ නෑ. ඒ වෙනුවට නායකයාගේ පටන් සියලූ මැති ඇමතිවරු කිසි හිරිකිතයක් නැතුව දූෂණ, වංචා, මිනීමැරීම්, මංකොල්ල ඕන එකක් කරන්න පටන් ගත්ත. ව්‍යවස්ථාවට වඩා ආගම, ජාතිය උඩට ආවා. වාමාංශික යාලූවො මේ වෙලාවෙ කියන්න පුළුවන් ජේ ආර්ගේ ව්‍යවස්තාවෙ අර්බුද. ඒත් මං කතා කරගෙන යන්නෙ සමාජ ව්‍යවස්තාවෙ අර්බුද.

    ජේආර් දේශපාලනේ කරන්න ඇන්දෙ සරම. ඒත් එයාගෙ ගෙදර ඇඳුම වුනේ කලිසම. ගෙදර ගිහින් කලිසම මාරු කර ගන්න කල් ජේආර් හිටියෙ පුදුම නොඉවසිල්ලෙන්. අපි මේ වෙනකොට ඉන්නෙ ඊට ප‍්‍රතිවරුද්ද පැත්තෙ. දැන් අපිට ඉන්නෙ අහම්බෙන් කලිසමක් ඇන්ඳත් සරමට මාරුවෙන කල් නොඉවසිල්ලෙන් ඉන්න නායකයො පිරිසක්. මේ අපි බුක්ති විඳිමින් ඉන්නෙ ඒ සරං සංස්කෘතිය (56න් පටන් ගත්තු)

    මගේ කතාව ජේආර් ගැන නෙමෙයි. 77 කිව්වම මට මතක් වෙන දෙවෙනි චරිතය ගැන. ඒ තමයි ජිප්සීස් සුනිල් පෙරේරා. ඒ මට ලංකාවෙ ඉන්න අයිකොනික් ආර්ටිස්ට් කෙනෙක් (කලාකරුවෙක් නෙමෙයි). සුනිල් පෙරේරා කියන්නෙ 77 සංස්කෘතික නිෂ්පාදනයක්.

    සුනිල් ගැන මට මතක් වුණේ මෑතක ක‍්‍රිකට් බෝර්ඞ් එකේ වෙච්ච අවුලත් එක්ක. ඒ වගේ තැනක, ඒ වගේ පිරිසක් ඉස්සරහ ‘බොන්න වතුර ඉල්ලූවාම වෙඩි තිබ්බේ මොන රටේද?’ වගේ කතා කියන්න පුළුවන් කොන්දක් සුනිල්ට හැමදාම තිබුණ. ලංකාවෙ 77ට කලින් නිර්මාණය වුණු කුහක පැවැත්ම වෙනුවට එලිය සහ ඇතුලත එකක් වුණු දියුණු පුරවැසි පැවැත්මක් වෙනුවෙන් සුනිල් සිංදු කිව්වා. මට තේනුවර අමාරුවෙන් ගොතලා කරන චිත‍්‍ර – මූර්ති ප‍්‍රදර්ශනේකට වඩා සුනිල්ගෙ ප‍්‍රකාශන දේශපාලනික හා සමාජ විරෝධතා විදිහට දැනෙනවා.

    ඒ සිංදු ඇතුලෙ එයා අ`ගහරු ලෝකෙන් එන කුරුමිට්ටො එක්ක රටේ තොටේ විස්තර කතා කරනවා. ඊට පස්සෙ කාලෙක ලූනු දෙහි ගැන කතා කියනවා. වැදි පත්තුවෙ ඔජායේ නටනවා. මේ හැම දේකින්ම එයා සමාජ පෙරලියක් කරනවා. ප‍්‍රබුද්ධයන්ට තහනං කලාපෙක සුනිල් තමන්ගෙ කලාව- දේශපාලනය- ජීවිතය විදිහට නොබෙදුණු තනි පැවැත්ම අරගෙන එලියට බහිනවා. ඒ විවෘත බව ලංකාවෙ වෙන කිසි කලාකාරයෙකුට තිබුණෙ නෑ.

    සුනිල් ගැන කියවගෙන යද්දි අහම්බෙන් ලයිෆ් ටයිම්ස් එකට කරපු ඉන්ටර්විව් එකක් හම්බුණා. ඒක ලියලා තිබුණු ජෙහාන් මෙන්ඩිස් ඉන්ටවිව් එක දවසෙ එයාගෙ කැමරාමන් එක්ක සුනිල් එනකං බලන් ඉන්නවලූ. මේ සදා පෙරලිකාර දැවැන්තයා එලියට බහිද්දි සිංහයෙක් වගේ ෆොටෝ ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. ඔන්න එතකොට සුනිල් ඇවිත් බැස්සලූ. කොට කලිසමකුයි, ‘ට්‍රේනී ගයිනොකොලොජිස්ට්’ (පුහුණු වන ප‍්‍රසව හා නාරිවේදී) කියලා හරහට ගහපු ටීෂර්ට් එකකුයි ඇඳගෙන.

    අර බලාපොරෙත්තු වුණු දැවැන්ත ප‍්‍රතිරූපෙ එතනම හාන්සියි. මේ කැඩිල්ල, තමන් ගැන ප‍්‍රතිරූපයෙන් නැවත තමන්ම ඇඳ නොගැනීම සුනිල්ගෙ කැපී පේන ලකුණක්. තමන්ගේ ප‍්‍රකෘතිය, තමන්ගේ ජීවිතය විවෘතව ගෙනියන්න තියෙන උවමනාවම සුනිල්ගේ දේශපාලනය වෙනවා. ඒත් අපේ රටේ දේශපාලනයේ සාමාන්‍ය පුළුවන් තරම් තමන්ව වහගන්න එක.

    මම නං ගඟේ පනිනවා – වතුර බීලා මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
    ජීවිතේ එපා කියනවා – රේල්ලට බෙල්ල තියනවා
    කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා..

    සුනිල් පෙරේරා පවතින සංගීතයේ කොටසක් වෙන්නෙ නෑ. එයා සුනිල් පෙරේරාගේ සංගීතයක් නිර්මාණය කරනවා. ඒක මට අනුව නූතන ජන සංගීතයක්. ඒක අපේ උරුමයක්. ඒ සංගීතය, ඒ පද මිනිස්සු කටින් කට අරගෙන යනවා. ඒ සිංදු වෙන වෙන අය තැන තැන කියනවා. සල්ලි හොයනවා. ඒත් සුනිල් කියන්නෙ මගේ ළමයි ඇරෙන්න වෙන අය ඒ සිංදු කියනවට මං කැමතියි කියල. නන්දලා ගාව ආරියරත්නලා ගාව නැති නිර්ලෝභී සමාජ ජීවිතයක් සුනිල්ට තියෙනවා.

    ආරිය කරවන ආරියරත්නලා අද මෙහි රැස් වෙන්නෙ
    ආචාර්යවරු මහාචාර්යවරු ප‍්‍රබුද්දයනුත් ඉන්නේ…

    සුනිල්ගේ සිංදු වල තියෙන්නෙ උපහාසය. හාස්‍යය. සීරියස් දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත තවත් අවුල් කරන්න සුනිල් අකමැතියි. ඒ වෙනුවට හිනාවෙවී කියන්න, කිය කියා තේරුම් ගන්න සුනිල් ජන ගී කියනවා. සෞන්දර්යය ඇතුලෙ භාෂාව ඇතුලෙ කරන බොරුව එයා කරන්නෙ නෑ. පද ගැලපිලි, තාල රැකිලි වෙනුවට ඇඟට දැනෙන තාලෙට, කටට කියවෙන වචනෙට සුනිල් සිංදු හදනවා. මේ මොඩර්න් ජන සංගීතය කියල මං කියන්නෙ ඒකයි. ඒක ප‍්‍රබුද්දයින්ට අකැපයි කියල එයා කියන කතාව ඇත්ත.

    සිංදුවලට අමතරව සුනිල් කරන්නෙ රස කැවිලි හදන එක. (මං හිතන්නෙ ඒක පවුලෙ බිස්නස් එකක්) සුනිල්ගේ ග්ලූකෝරස එකෙන් තමයි අඳුන්නලා දුන්නෙ ‘ජුජුබ්ස්’. ඒ වගේම ‘ටිපි ටිප්’. සැහැල්ලූ, ඒත් මීට කලින් අත් නොවිඳි රසක් සුනිල්ගේ හැම දේකම තියෙනවා.

    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    දුන්නෙ කිස් එකයි හැබැයි ඒක මුල් එකයි
    මං දුන්නා තව එකක් දැන් දෙකයි

    එපා යන්න- තවත් එන්න
    ඇඟේ ඇලි ඇලි ඈ යලි යලි පවසයි…

    මේ ලිපියෙ එක තැනකදි සුනිල්ගෙන් සෙක්ස් ගැන අහනවා. එතකොට එයා හරිම ලස්සන උත්තරයක් දෙනවා. ‘මේක ඉංග‍්‍රීසි මැගසින් එකකට හින්ද කියන්න පුළුවන්. ඒත් සිංහල පත්තරේකට කියන්න බෑ. මොකද සෙක්ස් කියන එක ඉංග‍්‍රීසියෙන් දැම්මම ඒකෙ කිසි නරකක් නෑ. ඒත් ඕක ‘සංසර්ගය’ හරි ‘සම්භෝගය’ හරි මොකක් හරි කියල ලිව්වොත් මිනිස්සු හිතයි මට මානසික රෝගයක් කියල’. සුනිල් සෙක්ස් ගැන කතාවට බහින්නෙ එහෙම.

    එයා සෙක්ස් වලට කොච්චර කැමතිද කියලා එළිපිට කියනවා. සෙක්ස් ගැන තියෙන ඞීවීඞී එකක් දැක්කත්, පොතක් දැක්කත් මායි මගේ වයිෆුයි අතරෙ සම්බන්දය තවත් වැඩි කරගන්න මේකෙන් මොනවද ගන්න පුළුවන් කියල ඒ ගැන උනන්දු වෙන වග කියන්න සුනිල් ඇඹරෙන්නෙ නෑ. තමන්ගේ අනියම් සම්බන්ධතා ගැන, ඒකෙන් වුණු වැරදීම් ගැන වෙන කිසි සම්භාව්‍ය කලාකරුවෙකුට නැති සරල, විවෘත දැක්මකින් එයා කියාගෙන යනවා.

    ‘නෝනා මට සමාවෙන්න ඕනා
    මමත් ලේ මස් වලින් හැදිච්ච මිනිහෙක්
    මගේ අතින් වැරදි වුණා තමයි
    ගිය දේවල් ගියා- ඒවා ගනං ගන්න එපා
    නෝනා මට සමාවෙන්න ඕනා‘

    ‘බඳින්න යන කවුරු හරි ඉන්නවා නං මං කියන්නෙ සෙක්ස් ලයිෆ් එක හොඳට තියාගන්න. හොඳ සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නං ඔයා සම්පූර්ණ මිනිහෙක්. ඔයාට ෆැන්ටසි තියෙනවා නං ඔයා ට‍්‍රයි කරන්න ඕන කොහොමද ඔයාගෙ වයිෆ් එක්ක ඒ ෆැන්ටසි රියැලිටි එකකට ගේන්නෙ කියල. එලියෙ කාත් එක්කවත් නෙමෙයි..’ – සුනිල් පෙරේරා

    සුනිල්ගේ ගෙයි උඩ තට්ටුවෙ තියෙන පොඩි උද්‍යානයක් ගැන මේ ලියුම්කරුවො දෙන්නා වර්ණනා කරනවා, ‘මේක බාබකිව් පාටියකට එහෙම මරු’ කියල. එතකොට සුනිල් කියනවා ඔව්, පාටියකටත් හොඳයි, ඒත් මෙතන පාටියකට වඩා හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්’ කියල. මේ විදිහට තමන්ගේ ජීවිතය, තමන් රස විඳින දේ ඕන මාධ්‍යයක් ඉස්සරහ කෙලින් කියන්න පුළුවන් එකම මනුස්සයා මට මුණගැහුනෙ සුනිල් පෙරේරා. මට හිතෙන්නෙ හැම වතාවකම සුනිල් ඉස්සරහ මාධ්‍ය නිරුවත් වෙනවා (වෙන කලාකාරයො මාධ්‍ය ඉස්සරහ නිරුවත් වෙද්දි*. මං හිතන්නෙ ඒ 77 හින්ද.

    ‘ඔයාගෙ හැම ෆැන්ටසියක්ම රියැලිටි එකට ගේන්න ඕන. නැත්තං ඔයා සම්පූර්ණ වෙන්නෙ නෑ. සෙක්ස් වල නරකයි කියල දෙයක් නෑ. දෙන්නම එක`ග නං එතන අසභ්‍ය හෝ විපරීත කිසි දෙයක් නෑ’
    – සුනිල් පෙරේරා

    ලිපියෙ තව තැනකදි සුනිල්ගෙන් අහනවා අන්‍යාගමිකකරණය ගැන. එයා කතාවක් කියනවා.
    ‘මගේ පුතා පොල්ගහකට වඳින්න ගත්තා කියන්නකෝ. එයා මට ඇවිත් කියනවා මේ පොල් ආගම මාර හොඳයි, මං ඒක අදහනවා’ කියලා.

    එතකොට ඔය පොල් ආගම අදහන තව අය ඉන්නවද? මං අහනවා.
    එයා කියනවා, ‘ඔව්, මේ ආගමේ කියන දේවල් හොඳටම ඇත්ත. මං විශ්වාස කරනවා. ඉතිං මං පොල්ගස් වන්දනාවට එකතු වෙනවා’ කියල.

    මං එයත් එක්ක වාද කරන්න යන්නෙ නෑ. මං ඒකට විරුද්ද වෙන්න යන්නෙත් නෑ. මගේ පුතා මොකක් හරි ආගමක් අදහලා හොඳ මනුස්සයෙක් වෙනවා නං මට ඕන එච්චරයි. අදහන ආගමෙන් වැඩක් නෑ. ආගම තියෙන්නෙ මිනිහගේ යහපතට, මිනිහව ආරක්‍ෂා කරන්න මිසක් මිනිහා ඉන්නෙ ආගමක් ආරක්‍ෂා කරන්න නෙමෙයි’

    ගොඩක් කලාකාරයො හිතන්නවත් බය දේවල් සුනිල් තමන්ගේ ජීවිතේ ඇතුලෙ හෑල්ලූවෙන් කරනවා. එයා කියන සිංදු එහෙම්පිටින්ම වචන වෙනස් කරලා වෙළඳ දැන්වීම් වලට හරවනවා. එයාම ඒවා විකුණනවා. කලා කෘති වගේ කෞතුක වටිනාකම් දෙන එක වෙනුවට පාරිභෝගික භාන්ඩයක් වගේ කටින් කට පාවිච්චි වෙන නිර්මාණ ඇතුලෙන් සුනිල් තමන්ගෙ පනිවුඩය කියනවා. ඒක ජීවිතේ ඇත්ත පනිවුඩයක් නිසා නිර්මාණයේ කන්‍යාභාවය වගේ ගැටළු එයාට නෑ. තාමත් අපේ විකල්ප සංගීත තරුණයො පවා බයෙන් හැංගෙන මීඩියාවලට සුනිල් මූණ දෙන්නෙ කිසි ගානකට නැතුව. මීඩියා වලින් හදන්නවත් නැති කරන්නවත් පුළුවන් ජීවිතයක් නෙමෙයි සුනිල් පෙරේරාට තියෙන්නෙ. ඒ හින්දම විකිණෙනවා, විකුනනවා, නැති වෙනවා, දිය වෙනවා වගේ මනස්ගාත එයාට නෑ.

    ලංකාවෙ තාමත් සුනිල් පෙරේරාව දැම්මොත් ඕන ප්‍රොඩක්ට් එකක් විකුණන්න පුළුවන්. සුනිල් කියන්නෙ භාෂාව, පංතිය, ආගම, ජාතිය අතික‍්‍රමණය කරපු 77 නිෂ්පාදනයක්. තාමත් මේ දාර්ශනිකත්වය තේරුම් ගන්න අපිට කියවීමක් නෑ. මොකද අපේ කියවීම 77ට කලින් හදපු අච්චුවක් හින්ද. ආර්ට් එක, ස්ටයිල් එක, දේශපාලනය සහ ජීවිතය එකක් වුණු ආර්ටිස්ට් කෙනෙක් ගැන ලංකාවෙ මට තියෙන එකම උදාහරණය වෙන්නෙ සුනිල්.

    77 කියන්නෙ ලංකාවෙ කැරැල්ලක්. ඒ කැරැල්ල, ඒ වෙනස දරන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. සුනිල් කියන්නෙ ඒ පොප් කැරැුල්ලෙ කැඳවුම්කරුවෙක්.


    චින්තන ධර්මදාස


    Original interview from –
    Interview with Sunil Perera for lt part 1
    Interview with Sunil Perera for lt part 2