සුනිල් පෙරේරා  ගායනා කරන මේක නං කරන්නම ඕන ටෙස්ට් එකක් සිංදුවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරගෙන යන එච්අයිවී පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුනා. සමලිංගික, විෂම ලිංගික, සංක්‍රාන්ති ලිංගික, ලිංගික ශ්‍රමික හෝ මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වී ඇති ඕනෑම කෙනෙකුට අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවුනහොත් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව වුවත් ළඟම ඇති රජයේ සායනයට පැමිණ නොමිලේ HIV පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒ වගේම www.know4sure.lk වෙබ්අඩවිය හරහා  ඔබේ රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි එච්අයිවී පරීක්ෂාවක් සඳහා පහසුවෙන් වෙලාවක් වෙන්කරගැනීමටත් දැන් අවස්ථාව තියෙනවා. HIV පිළිබඳ දැනුවත් විය යුතු බොහොමයක් කාරණා ගැනත් මේ වෙබ් අඩවියේ සාකච්ඡා කරනවා.

මැකුවොත් හිරේ කියන පාඨයත් සමග සමාජගත වූ HIV මුලින්ම ක්‍රියාත්මක වුනේ එකම සහකරුවෙකුට පමණක් ලිංගික ක්‍රියාවන් සීමා කිරීමේ ආගමික සදාචාර නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. අයාලේ යන අයට දෙවියන් විසින් දුන් දඬුවමක් වගෙයි මේක බාරගත්තෙ.  නමුත් පිළිසිඳ ගැනීමකින් තොරව ලිංගික එක්වීමේ හැකියාව මිනිසා සතු  කළ මානව ලිංගික නිදහසේ පුරෝගාමී  පුංචි රබර් කොපුව -කොන්ඩමය නැවතත් මෙතනදි ආරක්ෂාව වෙනුවෙන් පෙරමුන ගත්තා . ඒ නිසා එච්අයිවී ගැන බියකින් තොරව ලිංගික තෘප්තිය සොයායාමේ නිදහස ලැබුන.

කොන්ඩමයේ ඉතිහාසය

කොන්ඩමයක් මානව ඉතිහාසයේ මුලින්ම නිෂ්පාදනය වුනේ කවදද කියන එක හරියටම කියන්න පුළුවන්කමක් නෑ. වෛද්‍ය ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන වර්න් බුලො කියන්නෙ මේක මිත්‍යා කතා අතර හැංගිලා ගිහින් කියල. මධ්‍යතන යුගයෙ ඉඳන් සත්ව බඩවැල් ආදියෙන් නිපදවන කොන්ඩම පාවිච්චි වුනා. තවත් පර්යේෂකයො කියන්නෙ මේ ඉතිහාසය දහවෙනි ශතවර්ෂයේ පර්සියාව දක්වා යනවා කියල. ඒත් කොන්ඩම භාවිතයෙන් රෝග වැලැක්වීමට පුළුවන් කියල මුලින්ම දොස්තරලා හොයාගත්තෙ 16 වෙනි සියවසේදි.  ගේබි්‍රයල් ෆැලොපියො කියන ඉතාලියානු දොස්තර තමයි මුලින්ම නිර්දේශ කළේ කොන්ඩම භාවිතයෙන් ලිංගික රෝග බෝවීම වළක්වන්න පුළුවන් කියල.

1800 ගනං වෙනකල් කොන්ඩම් හැදුනෙ සතුන්ගෙ කොටස්වලින්. ඒවා දරුවන් පිළිසිඳ ගැනීම වැළැක්වීමට සහ රෝග බෝවීම වැළැක්වීම වෙනුවෙන් පාවිච්චි වුනා. මේ කාලෙ කොන්ඩම වල රිබන් එකක් තිබුන. ඒක පහල කෙලවරෙන් ගැටගහ ගන්නයි හදලා තිබුනෙ. බුලො කියන විදිහට කොන්ඩම් වැඩිපුර භාවිතා වුනේ ගණිකා වෘත්තිය ආශ්‍රිතව නිසා ඒ අපවාදය කොන්ඩම සමගත් බැඳී තිබුන. ඒ වගේම පිරිමි කවදාවත් කොන්ඩම පළඳින්න ඒ තරම් කැමති වුනේ නෑ.

ලොව සුප්‍රකට පෙම්වතා කැසනොවා 1700 කියන විදිහට තමන් සැබවින්ම ජීවත් වෙන ඒ මොහොතෙදි මැරිච්ච හම් කෑල්ලකින් තමන්ව වහගන්න එයා කැමති නෑ. කැසනොවා තව ටිකක් කල් ජීවත් වුනා නම් වෙනස් විදිවල කොන්ඩම් එයාට අත්හදා බලන්න තිබුන. සමහර විට එයා ඒවට වැඩියෙනුත් එක්ක කැමති වෙන්නත් ඉඩ තිබුන.

1800 ගනංවලින් පස්සෙ රබර් කොන්ඩම් හඳුන්වාදෙනවා. මුල් කාලෙදි මේ කොන්ඩම්වලින් ආවරණය වුනේ ශිෂ්න මුන්ඩය විතරයි. යුරෝපීයයන් ඒවා ඇමරිකන් ටිප්ස් විදිහට හැඳින්නුවා. 1869දි මුල්වරට ශිෂ්නය සම්පූර්ණයෙන් ආවරණය වෙන රබර් කොන්ඩමයක් එනවා. නමුත් ඒ මැදින් යන මූට්ටුවක් තිබුන. ඒක අපහසුකාරී වුනා. ඒ වගේම ඒවා මිළ අධික වුනා. සෝද සෝදා නැවත පාවිච්චි කළ හැකි වුනා.
මේ සියවසේ අවසාන භාගයෙදි තමයි මිළ අඩු කොන්ඩම හඳුන්වා දුන්නෙ. තුනී මුට්ටුවක් රහිත කොන්ඩමයක් වුනත් මේවා ඉක්මණින් කැඩෙන්න පටන් ගත්තා. මේ අතරම මාළු බොකුවලිනුත් කොන්ඩම් නිෂ්පාදනය වෙන්න ගත්තා.

1873දි කොන්ඩම් කර්මාන්තයට දරුණු පහරක් වදිනවා. ඇමරිකානු ප්‍රතිසංස්කරණවාදියෙක් වන ඇන්තනි කොම්ස්ටොක් විසින් කොම්ස්ටොක් ලෝ කියන නීතිය ගේනවා. මේ නීතියෙන් කොන්ඩම සහ වෙනත් උපත්පාලනය සඳහා යොදාගන්නා දේවල් සහ සදාචාර විරෝධී ලෙස හඳුන්වන සෙක්ස් ටෝයිස් තැපැල් මගින් යැවීම තහනම් කරනවා. තව පළාත්වල වෙනත් දැඩි ස්වරූපයන්ගෙන් මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ගත්තා. කොන්ඩම් නැති වුනේ නෑ. ඒවා අඳුරු කර්මාන්ත වුනා. සමාගම් තමන්ගේ නිෂ්පාදනවලට කොන්ඩම් කියන්නෙ නැතුව රබර් සේෆ්, කැප්ස්, මහත්වරුන්ගේ රබර් මෙවලම් වගේ නම් වලින් හැඳින්නුවා.

කොම්ස්ටොක් නීතිය තියෙද්දිම අද දක්වා කොන්ඩම නිෂ්පාදනයේ දැවැන්තයන් දෙදෙනා කර්මාන්තයට පිවිසෙනවා. 1883දි. ජර්මානු යුදෙව්වෙක් සංක්‍රමනිකයෙක් වන ජුලියස් ශ්මිඩ් තමන්ගේ කොන්ඩම් නිෂ්පාදනය ආරම්භ කරන්නෙ සොසෙජ් කවර ව්‍යාපාරයත් සමග. එයාගෙ කොන්ඩම්වල නම රැම්සෙස් ඇන්ඩ් ශීක්. ශ්මිඩ් රබර් වලින් කොන්ඩම් හැදුවා. ඇමරිකාවෙ ප්‍රමුඛතම කොන්ඩම් නිෂ්පාදකයා වෙන්න ශ්මිඩ්ට පුළුවන් වුනා. 1916දි ශ්මිඩ්ට එයාගෙ ප්‍රතිවාදියා මුනගැහුනා. ඒ තමයි මර්ලෙ යන්ග්. ට්‍රෝජන් කියන බ්‍රෑන්ඩ් එක එයාගෙ.

1930 ගණං වෙද්දි කොන්ඩම්වලට තියෙන නීතිමය තත්වය ශක්තිමත් වුනා. රෝග වැලැක්වීම වෙනුවෙන් කොන්ඩම් පාවිච්චි කළ හැකිය කියන පිළිගත හැකි සාක්ෂිය තමයි ඒකට හේතු වුනේ. ඒ වගේම දොස්තරලාට රෝග වැලැක්වීම සඳහා කොන්ඩම් නිර්දේශ කරන්නත් නීතියෙන් අවසර ලැබුනා.
මේ අතරදි ලේටෙක්ස් කොන්ඩම් හඳුන්වාදුන්නා. වඩා තුනී වෙමින් වැඩි තෘප්තියක් ළඟා කරදෙන්න ඒවාට පුළුවන් වුනා. ඒ වගේම පොදු ජනතාවට මිළට ගත හැකි වුනා. 1930 ගණන්වල මැද වෙද්දි ප්‍රධාන කොන්ඩම් නිෂ්පාදකයො 15 දෙනෙක් හිටිය අතර මිලියන එකහමාරක් කොන්ඩම් දවසට නිෂ්පාදනය වුනා.

සමාජ විද ්‍යාඥ ජොෂුවා ගැම්සන් කියන විදිහට දෙවෙනි ලෝක යුද්දෙ වෙද්දි දවසට කොන්ඩම් මිලියන තුනක් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඇමරිකානු හමුදාවලට කොන්ඩම් ලබාදීම. 1940 ගණන්වලදි ප්ලාස්ටික් සහ පොලියුරතේන්වලින් කොන්ඩම් හදන්න ගත්තට ඒවා වැඩි කාලයක් පැවතුනේ නෑ. මේ අතර පළවෙනි පාට පාට කොන්ඩමය ජපානයේ නිෂ්පාදනය වෙනවා.
1960-70 වෙනකල් කොන්ඩම් අලෙවිය වැඩිවෙනවා. ඊට පස්සෙ එකපාරටම ඒක කඩන් වැටෙනවා. ඒකට හේතුව වෙන්නෙ උපත් පාලන පෙත්ත සහ IUD ක්‍රමයන් හඳුන්වාදීම. උපත් පාලනය කියන හේතුවට කොන්ඩම් එක්ක තවත් තරගකරුවන් ඉදිරිපත් වෙනවා.

මේ විදිහෙ උපත් පාලන ක්‍රම ගණනාවක් හඳුන්වාදුන්නට 1965 වෙනකල්ම ඒවා තහනම් විදිහටයි පවතින්නෙ. කනෙක්ටිකට් වල ශ්‍රේෂ්ටාධිකරණය පළවෙනි වතාවට විවාහක අයට උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න නීතිමය අවසරය දෙනවා. අවිවාහක අයට උපත් පාලන අයිතිය ලැබෙන්නෙ තවත් අවුරුදු හතකට පස්සෙ. ඒ කොහොම වුනත් 1977 දක්වාම කොන්ඩම් ඇඩ්වර්ටයිස් කරන්න තහනම්. මේ දැන්වීම පළකිරීම නීතිගත වුනාට පස්සෙ වුනත් රූපවාහිනී ආයතන තමන් විසින්ම ඒවා බාරගැනීම ප්‍රතික්‍ෂේප කළා.

නැවත කොන්ඩම් ජනප්‍රිය වෙන්නෙ 1980 ගණන්වල HIV පැතිරෙන්න ගන්නවත් එක්ක. ඒත් මේ මාධ්‍ය නාලිකා කොන්ඩම් පිළිබඳ දැනුවත් කිරීම් තමන් විසින්ම වාරණය කරනවා. ඇමරිකානු ජ්‍යෙෂ්ට හමුදා වෛද ්‍යවරුන් පවා මේ දැනුවත් කිරීම් මාධ්‍ය විසින් කළ යුතුයි කියල කිව්වත් ඒ අය ඇහුම්කන් දෙන්නෙ නෑ. ඒ මාධ්‍ය බයවෙනවා උපත් පාලනයට විරුද්ධ තමන්ගේ පාරිභෝගිකයන් තමන්ට අහිමි වෙයි කියල. ඒ දැන්වීම් මගින් ප්‍රජාවගේ යහපත් රසය සහ පිළිගැනීම පිළිබඳ තත්වයන් කඩකරනවා කියල ඒ අය කියනවා.

පළමු වරට කොන්ඩම් ඇඩ් එකක් ටීවී එකේ යන්නෙ 1991දි. ඒ ට්‍රෝජන් කොන්ඩම් ගැන. එතනදි කොන්ඩම් එකෙන් සිද්ද වෙන රෝග වැළැක්වීම ගැන මිස උපත් පාලනය ගැන කිසි දෙයක් කතා කරන්නෙ නෑ. මේ අවුරුද්දෙම ෆොක්ස් ච ැනල් එක ශ්මිඩ්ගෙ රැම්සස් ඇඩ් එක ප්‍රතික්‍ෂේප කරනවා ඒකෙ ශුක්‍රානු විනාශ කිරීමක් දැක්වෙනවා කියල. ප්‍රයිම් ටයිම් එකේ පළවෙනි වතාවට කොන්ඩම් දැන්වීමක් ප්‍රචාරය වෙන්නෙ 2005දි. 2007දිත් ෆොක්ස් එක මේ දැන්වීම් බාරගැනීම ප්‍රතික්‍ෂේප කරනවා ඔවුන් උපත් පාලනයට විරුද්ධ නිසා.

ඉතින් අදටත් ලංකාවෙ කොන්ඩම් එකක් පොලිසිය විසින් නීති විරෝධී හෝ අපහාසාත්මක, අපචාරාත්මක තත්වයකින් සැලකීම ගැන වැඩිය පුදුම වෙන්න දෙයක් නෑ. ඒත් මේ පුංචි රබර් කොපුව තමයි ලිංගික රෝග බෝවීමේ අවදානම වළක්වන, ලිංගික නිදහස ආරක්ෂා කරන ප්‍රබලම මෙවලම වෙන්නෙ.

HIV වලට බයවෙන්න දෙයක් නෑ!

මේ වෙද්දි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක HIV සාර්ථකව පාලනය කිරීමට ඖෂධ සොයාගෙන ඇති නිසා තවදුරටත් මේක බිය විය යුතු මාරාන්තික රෝගයක් නෙමෙයි. නිසි උපදෙස් මත ඖෂධ ලබාගන්නවා නම් ලිංගිකව හැසිරුනද ඔබෙන් තව කෙනෙකුට HIV බෝවෙන්නෙත් නෑ. මේ නිසා HIV ඇති අය සමාජයෙන් කොන්කිරීම හෝ ඒ අය ගැන බයෙන් කලබල වීම නූතන යුගයට අයිති හැසිරීමක් නෙමෙයි. ඒ නොදැනුවත් බව පිළිබඳ කතන්දර.

මේකෙන් අදහස් වෙන්නෙ අප්‍රවේශම්කාරී වීම ප්‍රශ්නයක් නෑ කියන එක නෙමෙයි. විවෘත ලිංගික ඇසුරකදි කොන්ඩමයක් පැළඳීම හැමවිටම වැදගත්. නමුත් යම් අතපසු වීමක් වුවහොත් දෙවන පියවර වන්නේ පරීක්ෂාවක් සිදුකරගෙන සැක බිය දුරුකර ගැනීම.

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු සති 4-6ක් අතර කාලයකදි මේ ටෙස්ට් එක කරගැනීම සුදුසු වෙනවා. මේ ටෙස්ට් එක නිසා ඔබේ ජීවිතයත් ඔබව ඇසුරු කරන අනෙක් අයගේ ජීවිතත් ආරක්ෂා වෙනවා. නෝටි වුනත් නයිස් විදිහට කරන සෙක්ස් කරන්න අපි ඉගෙන ගන්න ඕන.

මේ ගීතය වෙනුවෙන් සුනිල් පෙරේරා මුදල් අයනොකරම තමන්ගේ ගීතයක තනුව සහ තමන්ගේ හඬ ලබාදීම විශේෂයෙන්ම අගය කළ යුතු දෙයක් වෙනවා.


HIV සහ ලිංගාශ්‍රිත රෝග පර්යේෂණ සඳහා දුරකතනයෙන් පහසු වේලාවක් සහ දිනයක් වෙන් කරවා ගැනීමට

www,know4sure.lk
– 0766447873 – 0779803244
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන
– 0112 66 71 63 – 0703 533 633