ලංකාවෙ බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනවලට පොළඹවන වෙබ් අඩවි තහනම් කරන්න කියල නියෝග කරලා. මේකට හේතුව විදිහට කියන්නෙ පාසැල් දරුවන් කොවිඩ් කාලෙ ගෙදර ඉන්න නිසා මේ වෙබ් අඩවිවලින් සංවිධානගත පිරිස් සූක්ෂම විදිහට අපයෝජනවලට පොළඹවා ගැනීම. දැන් කොහෙද මෙහෙම හේතුවක් තහවුරු වෙලා තියෙන්නෙ?

මං දන්න තරමින් බාලවයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුමත් ඇතුව ලිංගික ශ්‍රමිකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ ගැන දැන්වීමක් වෙබ් අඩවියක පළකරලා තියෙනවා. එතකොට අපි දරුවන්ව අම්මලාගෙනුත් ඈත් කරලා තියන්න ඕනද? මොකද මෙතනදි අම්මා තමයි අපයෝජනයට හවුල් වෙලා තියෙන්නෙ. ඕනම කෙනෙකුට මුදලක් ගෙවා දැන්වීමක් පළකරන්න පුළුවන් වෙබ් අඩවියක ඒ දැරිය ගැන දැන්වීම පළවෙලා තියෙනවා. ඒ දැන්වීමෙ වුනත් ඇය බාලවයස්කාර දැරියක් කියල සඳහන් වෙන්න විදිහක් නෑ.

නමුත් මෙතනදි වෙබ් අඩවිය හසුවන වරද දැරිය බාලවයස්කාර වීම නෙමෙයි. නීතිය අනුව ලිංගික ශ්‍රමියන්ගේ දැන්වීම ප්‍රසිද්ධියෙ පළකරන්න බෑ.

ඒක තියෙන්නෙ අපේ දණ්ඩනීති සංග්‍රහයෙ 360 ඒ වගන්තිය හැටියට. ඒකෙ හැටියට අවුරුදු 18ට වැඩි හෝ අඩු භේදයක් නැතුව, ඔවුන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව, පිරිමි ගැහැණු භේදයකින් තොරව ඕනම කෙනෙක්, රටෙන් පිට හෝ රටෙන් ඇතුලෙ ගණිකාවක් ලෙස ලබාදීම සහ ලබාදීමට උදව් කිරීම වරදක් වෙනවා. ඒ අනුව කාටහරි පුළුවන් දැන්වීම් පළකිරීම නිසා වෙබ් අඩවිය ගණිකා සේවයට උදව් කරනවා කියන්න.

ඒ නීතියෙ හැටියට ලංකාවෙ ගණිකාවන්ට තමන්ගේ සේවය ගැන වෙබ් අඩවියකවත් දැන්වීමක් පළකරන්න පුළුවන්කමක් නෑ. එහෙම වුනොත් වෙබ් අඩවිය වරදට අහුවෙනවා. රටේ ගණිකා වෘත්තිය තහනම් නෑ කියල කිව්වට ඒ අයට පාරිභෝගිකයෙක් හොයාගන්න තියෙන හැම අවකාශයක්ම නීතියෙන් අහුරලයි තියෙන්නෙ. ඇගේ ජීවිතය ඉතාම අනාරක්ෂිත සහ දුර්වල එකක් බවට පත්කරලයි තියෙන්නෙ. ගණිකාවකට තමන්ම කෙනෙකුට කතා කරලා හෝ පිටේ බෝඩ් එක්ක ගහගෙන පාරෙ ගිහින් හෝ තමයි පාරිභෝගිකයෙක් හොයාගන්න වෙන්නෙ.

විවෘත මනසකින් කල්පනා කරලා බැලුවොත් මේ වෙබ් අඩවි නිසා ලිංගික ශ්‍රමිකයන්ගේ ජීවිතයට වඩා පහසුවක්, නිදහසක් වගේම ආරක්ෂාවක් සැලසිලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ පාරිභෝගිකයන්ටත් ඒ පහසුවම ආරක්ෂාවම ලැබෙනවා. මෙතෙක් වගකීම්රහිත, අඳුරු වෘත්තියක් වුණු ගණිකා වෘත්තිය යම් කිසි ශිෂ්ට ආකාරයෙන් ගනුදෙනු කළ හැකි වෘත්තීමයභාවයකට පත්වීම සමාජයක් පැත්තෙනුත් හිතකරයි.

ඒත් අපිට තාම තියෙන්නෙ එදා තිබුනු නීතිය. සමාජයට ගැලපෙන විදිහට වෙනස් නොවුනු නීති ක්‍රියාත්මක වෙන්නෙ යහපතට වඩා අයහපත දිශාවට.

මේ වෙබ් අඩවි මගින් සංවිධානාත්මකව දරුවන් අපයෝජනයට යොමු කරනවා කියන්න අපිට තියෙන පිළිගත හැකි සාක්ෂි මොනවද? මෙවන් තීන්දු විවේචනය කිරීම නෙමෙයි නමුත් ඒවාට හේතුවන තාර්කික අතාර්කික කාරණා ප්‍රසිද්ධ සංවාදයට ගන්න ඕන. මොකද ඒ හරහා එළඹෙන තීන්දු තීරණ පොදුවේ සමාජයකට බලපාන හින්ද. එක් අහඹු පුද්ගල වරදක් මත පදනම් වෙලා සමාජයක නිදහස සහ තෘප්තිය වාරණය වීමක් සිද්ද වෙන හින්ද.

මේ තහනම සිද්ද වෙන්නෙ දරුවන් මේ වෙබ් අඩවිවලට පිවිසීම මුල්කරගෙන. ඒ කියන්නෙ ඇතැම් පවුල්වල වැඩිහිටියන් තමන්ගේ දරුවන් පාලනය කරගන්න බැරිවීම ගැන සමාජයටම වග කියන්න වෙනවා. කොවිඩ් නිසා ගෙදර ඉන්න බාලවයස්කාරයන් ගැන ඕනවටත් වඩා සිතීම ඇතුලෙ කොවිඩ් නිසා ගෙදර ඉන්න වැඩිහිටියන් නොතකා හළ යුතුද?

සෑම වැඩිහිටි වෙබ් අඩවියකටම ඇතුල්වීමේදී වයස පිළිබඳ නිර්ණායකය වඩාත් හොඳින් තහවුරු වී තිබිය යුතුයි වගේ තීරණයකට එළඹීම ඉතාම තාර්කික සහ ඵලදායී එකක් වෙනවා. නමුත් කිසිසේත්ම අසම්බන්ධිත තහනමක් සහ හේතුවක් සමාජය විපිලිසර කරනවා.

පවුලේ සිනමාව, පවුලේ රූපවාහිනිය වගේම පවුලේ වෙබ් අඩවිවල ගතවෙන ජීවිතයකට අපිව හිරවෙනවා. අන්තිමට අපි ළමයි වෙනවා.

මේ සටහන පදනම් වෙන්නෙ කලම්බුටයිම්ස්.එල්කේ වෙබ් අඩවියේ පළවුනු ප්‍රවෘත්තියක් මතයි. ඒ ප්‍රවෘත්තිය අනුව මේ විදිහට දරුවන් අපයෝජනයට පොළඹවන වෙබ් අඩවි ලංකාවේ විශාල සමාජ ව්‍යසනයක් නිර්මාණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කුමක් හෝ පර්යේෂණයක් සිද්ද වෙලා තියෙනවද? අපි මේ කතා කරන්නෙ සිද්ධි කීයක් මත පදනම්වද? මේ තරම් ඔන්ලයින් අවකාශයේ වැඩිහිටි වෙබ් අඩවිවල ගැවසෙන අපිත් නොදන්නා මේ විශාල සමාජ ව්‍යසනය තිබුනෙ කොහෙද?

උසාවියෙන් නියෝග කරන්නෙ පාසැල් යළි ආරම්භ කරන කල් මේ වෙබ් අඩවි තහනම් කරන්න කියල. එතනදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා එහෙම පැලැස්තර දාලා වැඩක් නෑ ඩොමේන් එකෙන්ම ගලවන්න ඕන කියල. පොලිසිය හැමතිස්සෙම ඉන්නෙ සදාචාරය රකින්න නීතියටත් වඩා ඉස්සරහින්.ඇයි අපි සමාජයක් විදිහට මිනිස්සුන්ගේ ආශා කලාපයන් වාරණය කරන්නම හේතු හොයන්නෙ? ඒවා වඩා හිතකර ආකාරයෙන් නිදහස් වෙන්න ඇති අවස්ථා අයහිර කරන්නෙ? මේ සම්බන්ධයෙන් පවතින පැරණි නීති යළි සාකච්ඡාවට කැඳවීමෙන් වඩා මානුෂීය ආකාරයෙනුත්, නූතන තත්වයන්ට ගැලපෙන ආකාරයෙනුත් ඒවා වෙනස් කිරීමයි ප්‍රගතිශීලි සමාජයක සිදුවිය යුත්තෙ. යම් වරදක් පිළිබඳව සමාජයකට බලපාන තීන්දු ගැනීමේදී අපි වඩා මධ්‍යස්ත විද්‍යාත්මක පදනමක් අනුව ඒ කළ යුතුයි කියල අපි විශ්වාස කරනවා. නමුත් මෙතැනදී සිදුවන්නේ සැබෑ ළමා අපයෝජනයේ ප්‍රශ්නය තියෙන තැන අතහැර එය දඩමීමා කරගනිමින් ඉතාම අවශ්‍ය වැඩිහිටි නිදහසක් වාරණය කිරීමක් කියල අපි හිතනවා.