Tag: history

  • තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල) ගාඩි ෆිල්ම් එක බලන්න ලැබුන. ප්‍රසන්න කියන්නෙ ලංකාවෙ ඉන්න ඉවසිලිවන්තම, පිළිවෙලම, වෘත්තීයම සිනමාකරුවා කියල පුළුවන්. එයා තමන්‍ගේ චිත්‍රපට නිර්මාණයට අමතරව චිත්‍රපටි නිෂ්පාදනය ගැනත් ලොකු දැනුමක්, පරිචයක් ලබාගත්තා. කලාපයේ විවිධ දක්ෂතා ඇති පිරිස් එක්ක සිනමා නිර්මාණ කරමින් ලංකාවෙ සිනමාව කලාපීය සිනමාවත් එක්ක සම්බන්ද කරන්න ලොකු උත්සාහයක් ගත්තා. අපේ සිනමා කර්මාන්තයට බිහිකරන්න පුළුවන් වුනේ එහෙම එක්කෙනයි.

    ප්‍රසන්න සෑහෙන කාලයක් තිස්සෙ ගාඩි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ලංකාවෙ පීරියඩ් සිනමාව ඇතුලෙ නිර්මාණාත්මකව මෙතෙක් උසස්ම මට්ටම අත්පත් කරගන්න ගාඩි සමත් වෙලා තියෙනවා කියල කියන්න පුළුවන්. ඒ තරම් කැත නැතුව, දෙබස් ආදියෙන් පවා ඒ කාලයත් මේ කාලයත් දෙකම දැරිය හැකි අවකාශයක් නිර්මාණය කරගන්න ප්‍රසන්නට පුළුවන් වෙනවා. මං හිතන්නෙ එතනදි වැදගත්ම දේ ප්‍රසන්න ඉතිහාසයේ අතුරු කතාවකින් හැරෙන එකයි. ගාඩි චිත්‍රපටියට විෂය වෙන කතාව ඉතිහාසයේ වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක ඇහැලේපොලගේ පරිවාර නිළමෙ කෙනෙකුගෙ බිරිඳක් ගැන කතාවක්. ඒත් ඉතිහාසය වෙනස් වීම ගැන ඉතාම සුවිශේෂී මානුෂීය කතාන්දරයක් ගාඩි ඇතුලෙ තියෙනවා.

    කතාව දිගහැරෙන්නෙ රාජසිංහ රජු පන්නන්න ඇහැලේපොල සෙට් එක කුමන්ත්‍රණය කරන දවස්වල. ඉංග්‍රීසින් එක්ක (ඩොයිලි එක්ක) එකතු වෙලා මේ ගහන කැරැල්ල පරාජයට පත්වෙනවා. නිළමෙලාගෙ පවුල් පිටින් රාජ උදහසට ලක්වෙනවා. ඒ නිවෙස්වල ගැහැණුන්ට එක්කො දියට පැන දිවි නසාගැනීම හෝ ගාඩි රැහැට එකතු වීම තෝරාගන්න ලැබෙනවා.

    මේක හරිම ලස්සන තෝරාගැනීමක්. එක්කො සංස්කෘතිය නැත්තං ජීවිතය කියන දෙක අතර. තමන්‍ගේ කුල ගෞරවය ගැන ජීවිතයට වඩා හිතන අය ගඟට පනිනවා. ඒත් කුලයට එපිටින් ජීවිතය ගැන තාමත් බලාපොරොත්තු සහගත අය අඩියක් පස්සට ගන්නවා.

    ඒ ඉහළ කුලවතිය ලබාගන්න රොඩියෝ ගඟ හරහා පීනනවා. හරියට ශුක්‍රාණු වගේ. ඇය තමන්ගේ කරගන්නේ මුලින්ම ඇගේ මුවට තමන්‍ගේ බුලත් හපය ලන රොඩියායි.

    තමන්ට බල්ලන්ට මෙන් සළකන ඉහළ වංශයෙන් නෙරපා හරින කාන්තාවක් තමන්‍ගේ කරගැනීම සඳහා තරගවදින රොඩී මානසිකත්වය අසිරිමත් එකක්. එක්කො නිකං දෙන ඕන දේකට පොරකාලා ගන්න පුරුද්ද රැහැක් විදිහට තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං ඔවුන්ගේ ආශාව හැමදාම පවතින්නෙ ඒ උසස් වාංශික කාන්තාවන් ගැන වෙන්න පුළුවන්. හරියට කලු අයගේ ආශාව සුදු ගැහැණුන් මත පවතිනවා වගේ.

    ඒ කොහොම වුනත් මේ වැළඳගැනීම අනිත් පැත්තෙන් අත්හැරීමක්. කුල මුසුවීමක්. ඒ වංශවත් කුලයේ කාන්තාවට දෙවැනිව පවතින්න තෝරාගැනීමක්.

    මං දැකලා තියෙනවා ලංකාවෙ පිරිමි බොහොමයක් තමන්ට වඩා සංස්කෘතිකව බලවත් ගැහැණියක් පාවා ගන්න බයකින් පසුවෙනවා. ඒ තමන්‍ට හුරු සංස්කෘතිය අත්හරින්න වෙනවා කියන බයට. නැත්තං හීනමානයට. සමහරු උගත්කම්වලින් පවා තමන් අභිභවා යන කාන්තාවක් විවාහ කරගන්න බයයි. ඒක තමන්‍ගේ පිරිමිකම දුර්වල කරන තත්වයක් විදිහට ඒ අයට හැගෙනවා. මුදල් අතින් තමන්ට වඩා ඉහළ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින ආකර්ශනය වෙන අරමුණක්. ඒත් සංස්කෘතිකව තමන්ට වඩා උසස් ගැහැණියක් තෝරාගැනීම කියන්නෙ පිරිමි ගොඩකට අභියෝගයක්.

    මෙතනදි මේ රොඩී කොල්ලා ඒ අභියෝගය ගන්නවා. එහෙම තැනකදි දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක, පිරිමියා විසින් ගැහැණිය තමන්ට නතු කරවාගෙන තමන්ගේ සංස්කෘතියට අඩංගු කරගැනීම. දෙවෙනි එක ගැහැණියගේ සංස්කෘතිය තමන් විසින් වැළඳගැනීම. ඒ සංස්කෘතියට ගරු කිරීම. ඒ වෙනුවෙන් තමන්ගේ සංස්කෘතිය හෝ වර්ගයා අත්හැරීම. ඒක ගැහැණුන්ගෙ පැත්තෙන් නිතර සිද්ද වෙන දෙයක්. නමුත් පිරිමියෙකුගේ පැත්තෙන් දරුණු අභියෝගයක්. ඉන්න ස්තිර තැනක් පවා අහිමි රොඩී කොල්ලෙකුටම මිස වෙනකෙකුට බොහෝ දුෂ්කර විය හැකි කාර්යයක්.

    ඒත් කුලයක් හෝ වර්ගයක් වෙනස් වෙන්න ගන්නෙ ඒ පාවාදීම ඇතුලෙයි. හැම වර්ගයකම ඊලග පැවැත්ම තීරණය කරන්නේ ඒ වර්ගය උසස් සංස්කෘතියක් වෙනුවෙන් පාවා දෙන්නා විසිනුයි.

    ප්‍රසන්නගෙ කතාවම පදනම් වෙන්නෙ තන වැස්ම මත. රොඩියන්ව පහත හෙලන කාරණය වෙන්නෙ තන වැස්මක් ඇඳීම තහනම් වීමයි. උසස් කුලයෙන් පිටුවහල් කරන නිළමේ බිරිඳ තමන්ගේ තන වැස්ම ගැලවීමට එරෙහිව සටන් කරනවා. මෙතනදි පියයුරු කියන්නෙ ශෘංගාරය හෝ ආශාව පිළිබඳ කාරණයක් නෙමෙයි කුල ගෞරවය පිළිබඳ කාරණයක්.

    තනපට බලහත්කාරෙන් ඉවත් කරන දර්ශනවලදී පවා ඇ‍ගේ පියයුරු වසන් කරන්නට ප්‍රසන්න අධ්‍යක්ෂවරයා විදිහට තීරණය කරනවා. කතාවෙ ඇයව නිරුවත් කළත් ප්‍රසන්න ඇගේ ගෞරවය රකිනවා.

    නමුත් අනෙක් රොඩී ගැහැණුන්ගේ පවා පියයුරු දර්ශනය වෙන්නෙ කලාතුරකින්. බොහෝ අවස්ථාවල යම් යම් දෙයින් ඒවා උවමනාවෙන් ආවරණය කරපු බවක් පේනවා. ඒකට හේතුව මං හිතන්නෙ අපේ සිනමා ශාලාවලට නරඹන්නො ගෙන්වා ගැනීමම වෙන්න ඕන. කාන්තා නිරුවත ප්‍රදර්ශනය වුනු ගමන්ම ප්‍රේක්ෂාගාරය බාගෙට අඩුවෙනවා. විශේෂයෙන් කාන්තාවන් චිත්‍රපටය නැරඹීම ප්‍රතික්ෂේප කරනවා.

    ගාඩි කොල්ලයි මේ වංශවත් කෙල්ලයි මුණගැහෙන්නෙ රොමාන්තික ආදරයට පෙර යුගයෙදි. ඇල්මක් ගැන දැනීමක් මිස ආදරය ගැන වැල්වටාරම් නැති කාලෙක. සියල්ල සම්ප්‍රදාය විසින් තීරණය කරන කාලෙක. එතනදි සම්ප්‍රදාය අත්හරින්න බලකරන ගැහැණියක් සහ සම්ප්‍රදාය අත්හරින තීරණය ගන්නා පිරිමියෙක් මුනගැහෙනවා.

    ඒ මුනගැසීම ආදරයක්ද කියන්න අපි දන්නෙ නෑ. මොකද ඒ හැගීමට ඒ වකවානුවෙ වචනයක් තිබුනෙ නෑ. ඒත් බැඳීමක් තිබුන.

    ඇය මුලු කාලය පුරාම සටන් කරන්නෙ ඇගේ කුලපට හෙවත් තනපටය රැකගන්න. එක තැනකදි ඇය තීරණය කරනවා ඒ තන පටය අත්හරින්න. ඒ තමන් වෙනුවෙන් වර්ගයා අත්හළ පිරිමියාගේ වරිග පැවැත්ම වෙනුවෙන්. ඔවුන්ගෙන් ආරම්භ වෙනවා අලුත් රොඩී පරපුරක්. ඒ රොඩීන් කියන්නෙ තමන්ගේ වර්ගය ‘ආදරය’ වෙනුවෙන් පාවා දුන් පරපුරක්.

    ප්‍රසන්න තමන්‍ගේ සිනමාකරණය තුල හැගීම් දැනීම් දනවන්න ඉඩක් තියන්නෙ අඩුවෙන්. ඒ කියන්නෙ රොමැන්ටිසයිස් කරන්නෙ අඩුවෙන්. මට හිතෙන්නෙ මේ කතාව මීට වඩා රොමැන්ටික් කතාවක් කියලයි. ඒක තව උපරිමයෙන් පපු හීරෙන්න දෙන්න තිබුන කියලයි.

    රංගනය පැත්තෙන් හැම කෙනෙක්ම වගේ විශිෂ්ටයි. අල්පය ඇතුලෙ මහා දෙය නිරූපණය කරන්න ප්‍රසන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම රගපාන්නම බැරි රවීන්ද්‍ර රන්දෙණිය පවා සිරාවට රගපානවා. මං හිතන්නෙ මේ ඇක්ට් එක අමාරු එකක්. සාම්ප්‍රදායික උස් හඩින් කතා කරන, නිකට උස්සගෙන කැරකෙන, අධිතාත්වික වංශවතා නිරූපණය කරන්න ලේසියි. ඒත් යතාර්ථවාදී නිළමෙ චරිතය කරන්න අමාරු එකක්.
    සජිත ඇන්තනි සහ ඩිනාරා තමන්ගේ චරිත ඉතාම ආකර්ශනීය විදිහට නිරූපණය කරනවා. සජිත දකින කොට ජැක්සන්ව මතක් නොවී තබාගැනීම හරිම දුෂ්කර දෙයක්. සජිත නිසා සිහිපත් වුනු ජැක්සන්ගේ ඒ නළු පෞර්ෂය මාව මො‍හොතකට චිත්‍රපයටයෙන් එළියට අරගෙන ගියා.

    ගාඩි චිත්‍රපටයට බටහිර ක්ලැසිකල් මියුසික් යොදාගැනීම නම් ලොකු නොගැලපීමක්. සංගීතය පාවිච්චි වෙන්නෙ චරිතවල ආත්මය පැත්තෙන් නෙමෙයි ඩොයිලිගේ පැත්තෙන් වගේ. ඒක ඒ චරිත හුදකලා කිරීමක් වගේ දැණුනා.

    ගාඩි කියන්නෙ ලොකු කතාවක්. එපික් එකක් අවමතා රීතියෙන් කරන්නෙ කොහොමද කියල උත්සාහයක්. ඒ හින්දම ආකර්ශනීය වැඩක්.

    දැනුත් අපි නොයෙක් අයගෙ ලීක්වෙන, තනපට ඉවත් කළ වීඩියෝ බලනවා. ඒවා ෂෙයාර් කරනවා. ඇත්තටම ඒ පිටිපස්සෙ තියෙන්නෙ නූතනවාදී හැගීමක් වුනු ශෘංගාරයද නැත්තං අර පරණ කුලවාදී නිගරු කිරීමමද?

  • චාර්ල්ස් ඩාර්වින් දන්න සෙක්ස්

    චාර්ල්ස් ඩාර්වින් දන්න සෙක්ස්

    මුතුගල සර් හින්ද දැන් රටේම චාර්ල්ස් ඩාර්වින් ගැනත් පරිණාමවාදය ගැනත් එකපාර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ඉතින් චාර්ල්ස් ඩාර්වින් මං ඉතා කැමති සෙක්ස් විෂයට බලපාන්නෙ කොහොමද කියන එක ගැන යමක් මේ සංවාදයට එකතු කරන්න කල්පනා කළා. විශේෂයෙන් එයාගෙ ස්වභාවික වරණවාදය කොයිතරම් දෝෂ සහිතද කියන එකත්, ඒ පිළිගැනීම් ලිංගික සහ සමාජ විෂයෙහි කොයිතරම් නරක ප්‍රතිඵල ඇති කළාද කියන එකත් මෙතනදි කතාවට ගැනෙනවා. මේ පරිච්ඡේදය ක්‍රිස්ටෝෆර් රයන් සහ කැසිල්ඩා ජේතා විසින් රචිත ‘Sex at Dawn’ කියන පොතෙන් ගත්ත එකක්. මට පුළුවන් තරම් සරලව ඒක සිංහලෙන් කියන්න උත්සාහ කරනවා.

    ඩාර්වින් සෙක්ස් ගැන නොදැන සිටියේ කුමක්ද?

    ‘අප මෙතනදි බිය හෝ බලාපොරොත්තු ගැන උනන්දු වන්නේ නැත. අපේ උනන්දුව ඇත්තේ සත්‍යය පිළිබඳ පමණි. ඒ අපේ තර්කය විසින් එය අනාවරණය කර ගත හැකි තාක්ය’.

    චාර්ල්ස් ඩාර්වින් – ද ඩිසෙන්ට් ඔෆ් මෑන්

    අත්තික්කා කොලයකින් ගොඩක් දේවල් වහගන්න පුළුවන් ඇති. ඒත් මිනිසාගේ ලිංගය ප්‍රාණවත් වීම නම් ඒකෙන් වහන්න බෑ. මානව ලිංගිකත්වය ගැන තියෙන පොදු මහා නැරටිව් එක රවටනසුලු, පිළිගත නොහැකි මොනොගමියක සංවර්ධනයක් ගැන අදහස ස්ථාවර කරන්න ගොඩනගපු එකක්. මේ නැරටිව් එකේ හැටියට විෂම ලිංගික ස්ත්‍රී පුරුෂයන් යනු අපේ ප්‍රතිවිරුද්ධ ජානවල ඇජන්ඩාවක් අනුව ක්‍රියාත්මක වෙන යුද්ධයක ඉත්තන් වගේ වෙනවා. සියලු විනාශයට මුල අපේ ජීව විද්‍යාත්මක ඩිසයින් එක කියලයි අපිට උගන්නන්නෙ. පිරිමි තමන්ගේ බීජ පුළුවන් තරම් පතුරවන්න වෙහෙසෙනවා. (මේ අතර තමන්ට පමණක්ම කියල ස්ත්‍රීන් තබාගැනීමෙන් පිතෘත්වය සහතික කරන්න දගලනවා) මේ අතර කාන්තාවන් තමන්ගේ සීමිත ඒ නිසාම වටිනා ඩිම්බ නොවැදගත් පිරිමින්ගෙන් ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා. හැබැයි තමන්ට සපයා දෙන්න පුලුවන් සැමියෙක් සමග ලැබුනු පසු ඒ අය ජානමය වශයෙන් ඉහළ යැයි ගැනෙන මෝල්ඩර් වර්ගයේ හතරැස් හනු සහිත පිරිමින් සමග රහසින් රමණයේ යෙදෙන්න ඉඩ ලද සැණින් සාය උස්සනවා. මේක නිර්මාණය කරන්නෙ ලස්සන චිත්‍රයක් නම් නෙමෙයි.

    ජීව විද්‍යාඥයෙක් වන ජොආන් රෆ්ගාර්ඩන් කියන්නෙ මේක අවුරුදු 150ට කලින් ඩාර්වින් විසින් විස්තර කළ චිත්‍රයේම දිගුවක් කියල. ස්ත්‍රී පුරුෂ ලිංගික භූමිකා ගැන ඩාර්විනියානු නැරටිව් එක අහම්බ පටලැවීමක් නෙමෙයි. අද විද්‍යාත්මකයි කියල පිළිගන්න අන්ඩරදෙමළ ඇතුලෙ මේක විද්‍යාත්මකව ඔප්පු කළ සත්‍යයක් වෙලා තියෙනවා. ස්වභාව ධර්මය ගැන ලිංගික වරණයේ දැක්ම විසින් යෝජනා කරන්නෙ ගැටුම්කාරී, රැවටිලිකාර, කැත ජාන මුහුවීමක්.

    මේ ජනප්‍රිය කතාව Advice Goddess නමින් කොලමක් ලියන එමි ඇල්කන් හොඳටම විස්තර කරනවා.
    ‘ තනිව දරුවෙක් රැකබලාගන්නා මවකට පවතින්න නරක තැන් ගොඩක් තියෙන්න පුළුවන්. ඒත් වඩාත්ම නරක තැන වෙන්නෙ අවුරුදු මිලියන 1.8ට එපිට සැවානා බිමයි. අපිට සාර්ථකව ජාන මුහුකළ අපේ මිත්තනියන් වන්නේ තමන් පඳුරකට මුවාවෙන්නෙ කා සමගද යන්න හොඳින් තීරණය කළ අයයි. අධමයන්ගෙන් පියවරුන් වෙන් කරගත හැකි වූ අයයි. පිරිමින්ට වෙනත් ජානමය අවශ්‍යතාවක් තිබුන. තමන්ගේ නොවන දරුවන් තමන් විසින් මරාගත් බයිසන්ලා ගෙනත් පෝෂණය කරන්න ඒ අයට ඕන වුනේ නෑ . ලේසියෙන්ම රෙද්ද උස්සන කාන්තාවන්ට ගලක් උඩ පෙරලගන්නවට වඩා වටිනාකමක් දීම අවදානමක් වුනා’

    බලන්න මේ කතා කොයිතරම් හොඳට එකිනෙක ගැලපෙනවද කියල. මවක් වීමේ අවදානම, අධමයන්ගෙන් පියවරුන් වෙන් කර ගැනීම, පියෙක් විදිහට ආයෝජනය, ඉරිසියාව, ලිංගික දෙබිඩිකම… ඒත් හොඳට ගැටගහලා තියෙන, ඔබේ නොවන පැකේජ් ගනිද්දි පරිස්සම් වෙන්න කියල එයාර්පෝර්ට්වලදි පවා දැනුවත් කරනවා.

    ‘ඉංග්‍රීසි කාන්තාවක් කියන්නෙ කවුද කියන එකත් මට දැන් අමතක වෙලා තියෙනවා. ඇය සතුව දිව්‍යමය යහපත් බවක් තිබුන’.

    චාල්ස් ඩාර්වින් – බීගල් සිට ලියූ ලිපියක

    ‘වංශවතුන් ගැන අනුකම්පා කළ යුතුයි. ආදරයේදි ඔවුන්ට තිබුණු වාසි ඉතා අල්පයි. ඔවුන්ට කියන්න පුළුවන් ඔවුන් සුන්දර බිරිඳකගේ චුම්බනයක් බලාපොරොත්තුවෙන් දේවස්ථාන උද්‍යානයේ රැඳී ඉන්නවා කියල. ඒත් ඔවුන්ට කියන්න බෑ ඇය මට යටවෙලා, මගේ පිට පහුරු ගාමින් සිටියා කියල. මම මගේ ශුකානු ඇගේ පතුලටම විද්දා කියල..
    රොජර් මැක්ඩොනල්ඩ්
    මිස්ටර් ඩාවින්ස් ෂුටර්

    අපේ සම්බන්ධතා සහ ලිංගිකත්වය අතර මේ අතිශය ගැටලුකාරී තත්වෙ ගැන අපි නැවත සිතා බලන්න පටන් ගන්නවා නම් ඒකට හොඳම තැන තමයි චාල්ස් ඩාවින්.

    ඩාවින්ගේ විශිෂ්ට අධ්‍යයන විසින් නොදැනුවත්වම ශෘංගාර විරෝධී නැඹුරුවට සෑහෙන කාලයක් පවතින විද්‍යාත්මක මතුපිටක් සකස් කර දී තියෙනවා. කොයිතරම් විශිෂ්ටයෙක් වුනත් ඩාර්වින් සෙක්ස් ගැන නොදන්නා තරම වෙළුම් ගණන් ලියන්න පුළුවන්. මේ එයින් එකක් විතරයි.

    1859 දි On the Origins of Species මුද්‍රණය වෙද්දි ක්ලැසිකල් ඊරා එකට කලින් තිබුනු මානව ජීවිතය ගැන දැනගෙන හිටපු දේ ඉතා අල්පයි. පූර්ව ඉතිහාස යුගය විදිහට සැලකෙන මේ අවුරුදු 200,000 ක පමණ කාලය, ඒ කියන්නෙ මිනිසා ශරීරමය වශයෙන් නූතන නමුත් කෘෂිකර්මය හෝ ලේඛනය නොමැතිව වාසය කරපු කාලය කියන්නෙ අනුමාන අඩමාන තියරිවලින් පුරවන්න පුළුවන් කාලයක් විතරයි. ඩාර්වින් සහ තවත් අය විද්‍යාවේ සහ ආගම අතර ගැටගැහුනු තැන් ලිහිල් කරන්න වෙහෙසෙන කාලෙ වෙද්දි අපේ ඈත අතීතය ගැන තිබුනු හැම විශ්වාසයක්ම ආගමික ඒවට සීමා වුනා. ප්‍රයිමේටාවො ( අපි වඳුරො වානර‍යො අයිති වෙන ක්ෂිරපායි කාණ්ඩය) ගැන දැනුම තිබුනෙ ළදරු තත්වයක. මේ හින්ද ඩාර්වින් නොදැකපු විද්‍යාත්මක කාරණා දිහා බලද්දි අපිට තේරෙනවා මේ විශිෂ්ටයා අන්ධ වූ පැත්තත් එයාගෙ ඉන්සයිට්ස් තරම්ම අපිට වැදගත් අවබෝධයක් ලබා දෙනවා කියල.

    උදාහරණයක් විදිහට ඩාර්වින් ප්‍රශ්න කිරීමක් නැතුවම තෝමස් හොබ්ස් විසින් ආදි මානවයා ගැන දරපු මතවාදය බාරගත්තා. ඒ යුගයේ ජීවිතය මෘග, දුක්ඛිත,වේදනාකාරී, ප්‍රචන්ඩ සහ කෙටි එකක් කියන එක. මේ මතවාදය නූතන මිනිස් ලිංගිකත්වය විස්තර කිරීම දක්වාම ගමන් කරන්න ඩාර්වින් විසින් ඉඩ හැදුවා. පූර්ව ඉතිහාසික ලිංගිකත්වය ගැන පරිකල්පනය කරන්න කියපු ගමන් අපිට මතක් වෙන්නෙ මුගුරක් අතින් ගත්ත තඩි මිනිහෙක් ගෑනියෙක්ව කොන්ඩෙන් ඇදගෙන ගල්ගුහාවකට අරන් යනවා වගේ දර්ශනයක්.

    අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් මේ පූර්ව යුගය පිළිබඳ හොබ්සියානු අදහස් කොයිතරම් සාවද්‍යද කියන එක. ඒ වගේම ඩාර්වින් තෝමස් මැල්තුස් ගෙ කිසිම විදිහකින් ඔප්පු නොකළ අතීත මානව ජීවිතය ගැන තියරි එයාගෙ න්‍යාය ගොඩනැගීම පිණිස පාවිච්චි කළා. මේ නිසා ඩාර්වින්ට මේ පූුර්ව යුගය ගැන තිබුනෙ අධිනිශ්චය කළ දුකක්, ඛේදයක් වගේ හැගීමක්. එයාට වික්ටෝරියානු ජීවිතය වඩා උසස් කියන අදහස තිබුණ. මේ මූලික වැරදි වටහා ගැනීම වර්තමානය දක්වාම එන පරිණාමවාදී කියවීම්වලට පසුබිම් වෙලා තියෙනවා.

    මේ ප්‍රචන්ඩ පිරිමියා සහ තෝරනසුලු ගැහැණිය අතර නොනවතින නර්තනය ගැන නැරටිව් එක ඩාර්වින් විසින් ඉදිරිපත් කළ එකක් නෙමෙයි. ඒත් ඩාර්වින් මේ නැරටිව් එක ස්වභාවික සහ වෙනස් කළ නොහැකි එකක් විදිහට තහවුරු කරන්න ලොකු වැඩ කොටසක් කළා.
    එයා මෙහෙම ලියනවා,
    ‘ගැහැණිය, ඉතාම කලාතුරකින් හැරෙන්නට, පිරිමියා තරම් (ලිංගික ක්‍රියාවට) කෑදර නැත. ඇය පොළඹවා ගත යුතුය. ඇය ලැජ්ජාශීලියි. ඇය බොහෝ කාලයක් පිරිමියා මගහැර යන්නට උත්සාහ කරයි.’

    මේ කාන්තාවන්ගේ ප්‍රතික්ෂේප කිරීමේ චර්යාව බොහෝ ක්ෂීරපායී සතුන් අතර සංසර්ග ක්‍රියාවේදී දකින්න තිබුනත් ඒක මානවයන්ට කොහෙත්ම අදාල වෙන එකක් නෙමෙයි. ඒ වගේම අපිට බෙහෙවින් සමීප අනෙක් ප්‍රයිමේටාවො අතරත් මේ තත්වය දකින්න නෑ.

    ඉදිරි කොටසින් හමුවෙමු.

  • කින්සිගේ විප්ලවය

    කින්සිගේ විප්ලවය

    Sexual Behavior in the Human Male

    ඇල්ෆ්‍රඩ් කින්සි කියන්නෙ සෙක්ස් කියන විෂයෙ මහා පිපිරුම. ෆ්‍රොයිඩ් එක පැත්තකින් ලිංගිකත්වය සම්බන්ධ මානසික කලාපය එලිපෙහෙලි කරගෙන එද්දි කින්සි සමාජ විද්‍යා ක්ෂේත්‍රයෙ මේ පුපුරුවා හැරීම කරනවා. ඒක වෙන්නෙ 1948 කින්සි විසින් ලියන සෙක්ෂුවල් බිහේවියර් ඉන් ද හියුමන් මේල් කියන පොතත් එක්ක. අද අපි ගත කරන ඉන්ටරේනෙට් සහ පෝර්න් යුගයෙ ඉඳන් බලද්දි මේ පොත කිසිම කම්පනයක් ඇති කරන එකක් නෙමෙයි. ඒත් 1940 ගණන්වල ඇමරිකානු සමාජයට ඒ ප්‍රකාශනයෙ කම්පනය බරපතල එකක් වුනා. ඒ කාලෙ ඇමරිකාව තිබුනෙ අද ලංකාව යන්න උත්සාහ කරන තැන. තනිකරම වික්ටෝරියානු සදාචාරය සමාජය රෝගී කරමින් තිබුන. ඒ කාලෙ ෆිල්ම් එකකවත් නිදන කාමරයක් පෙන්නන්න පුළුවන් වුනේ නෑ. ඒ නිදන කාමර දර්ශනවලදි හැමතිස්සෙම ඇඳන් දෙකක් තිබුන. එක ඇඳක නිදාගැනීම සංඥා කිරීම පවා අශ්ලීල වුනා. සිපගැනීමේ දර්ශනයක් චිත්‍රපටියක පෙන්නනවා නම් එක කකුලක් පොලොව ස්පර්ශ කරමින් තිබීම අනිවාර්ය වුනා. ඒක තමයි ශිෂ්ටත්වයේ මායිම. ෆිල්ම්වල සෙක්ස් පෙන්නුවෙම නෑ. ඒ වෙනුවට වැසි කුණාටු අකුණු වගේ ඒවා තමයි රූපවල තිබුනෙ.

    ඒ කාලෙ තිබුන සෙක්ස් සම්බන්ධයෙන් ලියවුනු ජනප්‍රිය පොතක්. ඒකෙ නම ද අයිඩියල් මැරේජ්. ඒ කියන්නෙ පරමාදර්ශී විවාහය කියන එක. ඒක ලියන්නෙ තියඩෝර් වෙල්ඩික් හෙන්ද්‍රික් වැන්දිවොල්ට් කියන ඕලන්ද ජාතික ගයිනොකොලොජිස්ට් කෙනෙක්. මේක ලියන්නෙ 1926දි. මෙන්න මේ පොතත් එක්ක සංසන්දනය කරද්දි අපිට තේරුම් ගන්න පුළුවන් කින්සිගේ වැඩේ තියෙන විප්ලවකාරීබවේ තරම.

    මුලින්ම මේ පොතේ නමම අයිඩියල් කසාදයක් කියන එක. ඒ කියන්නෙ එහෙම කසාදයක් තියෙනවා කියල පොතේ මුල් පිටුවෙන්ම අපි පිලිගන්නවා. ඒක තනිකරම ක්‍රිස්තියානි ආගමික දෘෂ්ටිවාදයක්. සැමියෙකුගේ සහ බිරිඳකගේ යුතුකම් ඒකෙ පරිච්ඡේද විදිහට බෙදා දැක්වෙනවා. හරියට අපේ සිඟා‍ලෝවාදෙ වගේ. අවසානයේ මේ පිලිවෙත් පිලිපැදීමෙන් ලබන සතුටුදායක කසාද ජීවිතයක් පිළිබඳ සිහිනය ඒකෙ තියෙනවා.

    කින්සි එයාගෙ පිරිමියෙකුගේ ලිංගික චර්යාව පොත අතාරින්නෙ මේ පසුබිම උඩට. එයාගෙ පොතේදි එයා කිසිම සදාචාරමය ආස්ථානයක් ගන්නෙ නෑ. ඒක විද්‍යාත්මක එළඹුමක් වෙන්නෙම මේ හින්ද. අද ලංකාවෙ දොස්තර කෙනෙක් මොකක් හරි දෙයක් ගැන කතා කරත් ඒක කරන්නෙ සදාචාර එළඹුමකින්. හොඳ නරක කියල බෙදා වෙන්කිරීමකින්. ඒක විද්‍යාව නෙමෙයි. විද්‍යාවෙ කිසිම දෙයක් හොඳ හෝ නරක වෙන්න බෑ. සභ්‍ය හෝ අසභ්‍ය වෙන්න බෑ. ප්‍රකෘති හෝ විකෘති වෙන්න බෑ. ඒ විදිහෙ අර්ථකතනයක් එනවා කියන්නෙම ඒක විද්‍යාත්මක නෑ කියන එක. අර අයිඩියල් මැරේජ් එකේ තිබුණු ආගමික ආස්ථානය ගන්නවා කියන එක.

    කින්සි ඒ වෙනුවට ඒ මිනිස්සුන්ගෙ ඇත්ත ලිංගික ඉතිහාසයන් එකතු කරන්න ගන්නවා. කිසිම විනිශ්චයකින් තොරව සියල්ල වාර්තා කරනවා. ඒක පිටු 850ක දැවැන්ත පොතක්. ඒ පොතේ මිනිස්සු 6300ක ලිංගික ඉතිහාස කතාවන් අඩංගු වෙනවා. විවිධාකාරයේ අයගෙන් කින්සි දත්ත එකතු කරනවා. පිම්පියන්, හිරගෙවල්වල ඉන්න මිනිසුන්, සමලිංගිකයන්, ද්විලිංගිකයන්, පීඩ‍ොෆයිල් අය එක්ක පවා එයා සාකච්ඡා කරනවා.

    ඒ අයගෙ මාස්ටර්බේෂන්, කසාදයට පෙර ලිංගික සම්බන්ධතා, කසාදයේ ලිංගික සම්බන්ධතා, කසාදයෙන් බැහැර ලිංගික සම්බන්ධතා, විකල්ප ලිංගික සම්බන්ධතා, අසාමාන්‍ය චර්යා ආදී සියල්ල ගැන තොරතුරු ලබාගන්නවා. මෙතනදි සිද්ද වුනු වැදගත්ම දෙයක් තමයි අර අයිඩියල් මැරේජ් කියන පොත ලියන විට උපකල්පනය කළ සමාජය යතාර්ථයක් වශයෙන් නොපවතින බව ඔප්පු වුනු එක. එක එක අයගේ විවිධාකාර ලිංගික චර්යාවන් සහ ආශාවන් හෙලිදරව් වුනා. තමන්ගේ වෙනස්කම තමන්ට පමණක්ම ඇති දෙයක් නෙමෙයි ඒ හා සමාන තවත් මිනිසුන් ඉන්න වග මිනිස්සුන්ට තේරුනා. ආගමෙන් සදාචාරයෙන් මවා පාන සමාජය ඇත්තක් නෙමෙයි කියන එක පැහැදිලි වුනා.

    ලිංගිකත්වයේ ඇති විචිත්‍රත්වය සහ අප්‍රමාණ විවිධත්වය කින්සිගෙ පොතෙන් විදහා පෑවා. ඒ තමයි පළවෙනි වතාවට මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය සමාජයක් ඉදිරියේ වාස්තවික දත්ත හැටියෙන් නිරුවත් වුනු මොහොත. කින්සි තමන්ගේ වාර්තාවෙ කිසි තැනක ප්‍රකෘති විකෘති වගේ බෙදා දැක්වීම් කළේ නෑ. ඒ වෙනුවට ටිපිකල්, ඒටිපිකල් ‍වගේ යෙදුම් වලින්, ඒ කියන්නෙ ආකෘතික සහ ආකෘතියෙන් පිට වැනි වචන යොදාගෙනයි එයා මේ සමාජ වර්ගීකරණය ‍කළේ. කිසිම විදිහකින් ආචාර් ධර්මීය විනිශ්චයක් තමන්ගේ වාර්තාව ඇතුලට එන්න එයා ඉඩ තිබ්බෙ නෑ.

    1960 ගණන් වලදි බිහිවෙන මාස්ටර්ස් සහ ජොන්සන් දෙවෙනි ලිංගික කැරැල්ලට පදනම වෙන්නෙ කින්සිගෙ මේ වාර්තා. මාස්ටර්ස්ලා සෙක්ස්වල තියෙන ජීව විද්‍යාත්මක අර්ධය පරීක්ෂා කළා. සුරතාන්තයකදි නිශ්චිතවම සිද්ද වෙන ශාරීරික වෙනස්කම් ආදිය උපකරණ භාවිතා කරමින් අධ්‍යනය කළා. කින්සි තමන්ගේ අධ්‍යනය අරගෙන ගියේ සමාජ විද්‍යාව පැත්තට.

    එයා සත්ත්ව විද්‍යාඥයෙක්. දෙබරු ගැන පර්යේෂන කරපු කෙනෙක්. එයා මිනිස් ලිංගික චර්යාව අධ්‍යනය කරන්නත් මේ ක්‍රමවේදයන්ම පාවිච්චි කළා.

    ඔය දැන් ලංකාවෙ ආණ්ඩුවට තියෙන අමාරුව ඒ කාලෙ ඇමරිකානු ආණ්ඩුවටත් තිබුන. මිනිස්සුන්ගෙ ජීවිතය ව්‍යවස්තාවලට අනුව පාලනය කරන්න උත්සාහ කළා. ඒ අයගේ පුද්ගලික ලිංගික චර්යාවන් සභ්‍ය අසභ්‍ය විදිහට හැඳින්නුවා. සමලිංගික චර්යාවන් වරදකාරී කළා. මේ තත්වයන් වෙනස් වෙන්න ගන්නෙ 1960 ආරම්භ වෙන හිපි විප්ලවයත් එක්ක. එක පැත්තකින් උපත්පාලන පෙති නිපදවෙනවා, ගෑනු රස්සාවලට යන්න පටන් ගන්නවා, දික්කසාද වීම් වැඩි වෙනවා, සමලිංගික සම්බන්ධතා විවෘත වෙනවා, කලු-සුදු විවාහයන් නීතිගත වෙන්නෙ පවා මේ කාලෙදි. මේ සියල්ලට කින්සිගේ වාර්තා බලපානවා.

    1953දි කින්සි දෙවෙනි බෝම්බෙත් අතාරිනවා. ඒ තමයි සෙක්ෂුවල් බිහේවියර් ඉන් දි හියුමන් ෆීමේල්. මේකෙන් සිද්ද වුනු වැදගත්ම දේ තමයි ගැහැණිය යනුද ලිංගික සත්වයෙකි කියන එක මහ හඬින් ප්‍රකාශ වුනු එක. ඒක සදාචාරයේ කටු කඩලා යන තරමෙ එකක් වුනා.

    මේ කින්සිගෙ බලකාය ඒ කාලෙ සියලු අසංස්කෘතික යැයි සැලකෙන ක්‍රියාවල යෙදුනා. කින්සි එයාගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ලිංගික ඇසුරන් පවත්වාගෙන ගියා. ඒ වගේම එයා බයිසෙක්ෂුවල් කෙනෙක්. ඇත්තටම කින්සිට මේ ලිංගික විෂය ඇතුලට යාමේ දරුණු අභියෝගය බාරගන්න හේතුවත් එයා ගැනම තිබුනු ලිංගික කුතුහලය කියන්න පුළුවන්.

    එයාගේ වාර්තා අනුව වයස, කාලය, පරිසරය, සමාජය සහ දැන උගත්කම අනුව එක් එක් පුද්ගලයාගේ ලිංගිකත්වය පිළිබඳ දැනීම විඳීම වෙනස්වන ආකාරය පැහැදිලි කෙරුනා.

    කින්සි සහ පිරිස විවිධාකාරයේ මිනිසුන් ලිංගික ක්‍රියාවල යෙදෙන හැටි රූපගත කළා. සෙක්ස් ෆෙටිෂ් ගැන චිත්‍රපටි හැදුවා. මේ හැම දෙයක්ම දත්ත විදිහට පමණක් එකතු කරන්න වගබලා ගත්තා. ඇතැම් විකෘති යැයි සලකන ලිංගික චර්යා ඇති අය සමග කළ සාකච්ඡාවන් හෙලිදරව් නොකිරීම ගැන නීතිමය ප්‍රශ්නවලට පවා කින්සි මැදි වුනා. මේ ආන්දෝලනාත්මක හෙලිදරව් කිරීම් නිසාම එයාට පර්යේෂණවලට ලැබුනු අරමුදල් පවා නැති වුනා.

    ඒත් කින්සි අවසාන මොහොත වෙනකල්ම තමන්ගේ ලිංගික අරගලයේ හිටියා.

  • 1948 පළවූ ගිහිගේ තවත් කලාපයක්

    1948 පළවූ ගිහිගේ තවත් කලාපයක්

    මේ පැරණි සඟරාත් අලුත් අසභ්‍ය ප්‍රකාශන නීති යටතේ තහනම් වෙලා යන්න පුළුවන්. මේවා නැවත පළකිරීම පවා අසභ්‍ය අශ්ශීල වෙන්න පුළුවන්. හතලිස් ගනංවල තිබුණු නිදහසත් අද අහිමි වෙන්න පුළුවන්. ඉතිං පණත් සම්මත වෙන්න කලින් අපිට මෙහෙම අතීතයක් තිබුණ කියල රසවිඳින්න.

    “නව ව්‍යාපාර පටන්ගන්නේත්, නව නිපදවීම් ඇති කරන්නේත්, නව පන්නය ඇති කරන්නේත්, නවකයන් පුහුණු කරන්නේත්, නවකලා බෝ කර ඒවාට පණ පොවන්නේත් හුදෙක් කාම ශක්තිය ඇති පුද්ගලයෝමය.

    සමාජය දෙස බලන්න. හොඳම කලාකාරයා, හොඳම ශිල්පියා, නිෂ්පාදකයා ආදී හොඳ වැඩකාරයො සියලු දෙනාම කාමශක්තියෙහි හස්තිබල ඇත්තෝය. එය මට නිර්භයවම කිව හැකි කාරණයකි. මා දන්නා බොහෝ කීර්තිමත්, බොහෝ දක්ෂ, බොහෝ විනෝදකාමී ඉතා හොඳ කෙරුම්කාරයෝ බොහෝ දෙනා මහා කාමාධික පුද්ගලයෝය. ඔවුන් කෙතරම් කාම ශක්තිමත්ද කිවහොත් ඇතැම් විට ඔවුන් ශිෂ්ට ජනසමාජයට නුසුදුසු තරම්ය.

    කාමාධික පුද්ගලයෝ රටකට සමාජයකට උවමනා පිරිසකි. ඇයි?

    ඒ ඔවුන් නොම්මර එකේ මනමාලයෝය. ඔවුන්ගේ ඒ මනමාලකම විදහා දැක්වීම පිනිස ඔවුන්ට රසට කෑමබීමත්, ලක්ෂනට අඳින්නට පළඳින්නටත්, අතදිග හැර වියදම් කරන්නටත් උවමනාය. ඒ උවමනාකම් නිසා ජනසමාජයේ කීදෙනෙක් යැපෙන්නේදැයි සිතන්න”

    – ගිහිගේ සඟරා කර්තෘ 1948

    ඒ කාලෙ මිනිස්සුන්ට තිබුණු දැනීමවත් අද සමාජයේ අයට නැති එක කණගාටුවට කාරණයක්.
    ගිහිගේ වැඩිහිටි සඟරාව සමග තවත් ගොඩක් කාම පොත්වල දැන්වීම් පළකල බවක් පේනවා. රුපියල් දෙකක් වන මේ සඟරා ලිපිණයැති කවරයක් සමග ඉල්ලුම් කිරීමෙන් තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන්. මගුල් රහස කියන පොතේ පෙම්වතියක් තෝරගන්න හැටි, සිපගන්නා හැටි, දුනුවිල නිලමේ සහ ගජමන් නෝනාගේ ප්‍රේම කතා, මගුල් දවසෙ මුලින් කරන්න ඕන දේවල් වගේ ලිපි පලවෙනවා. ඒක ඇල් ඩීඩී කරුණාරත්නගේ වැඩක්.

    වාතස්‍යානගේ කාමසුත්‍රයෙන් උපුටාගෙන පලවෙන ලිංගික බෙලහීනතාවය දුරු කරන ප්‍රතිකාර නම් අත්හදා බැලීම භයානකයි. ඒවා එත්නොඉරොටිසම් නැත්නම් අතීතයේ කාලයත් සමග විකාශනය වුනු ශෘංගාර විෂයක සුන්දරත්වය විඳින්න මිස විද්‍යාත්මක ප්‍රතිකර්ම හැටියෙන් ගැනීම අමනෝඥයි. කූඩැල්ලන්ගෙන් කඩියන්ගෙන් හිඳින තෙල් පුරුෂ ලිංගය කෙලවරේ ආලේප කිරීම වගේ අද්භූත අත්බෙහෙත් එතන නියම කරනවා.

    මාර්ෂල් ගුණවර්ධන කියල කෙනෙක් මේ සඟරා වෙනුවෙන් ඉංග්‍රීසි පොත් සිංහලට හරවනවා. කාම නිල කියල පරිවර්තනය කරන මේ පොත් පිංචෙ ඔරිජිනල් එක මොකක්ද ලේඛකයා කවුද කියල හොයාගන්න අමාරුයි. ඒ වගේම මහාචාර්ය එච් එස් ගැම්බර්ස්ගෙ මැරිටල් ඇක්ට් වගේ පොත් (1946) පවා පරිවර්තනය වෙනවා.

    ඒ ‍වගේම ගිහිගේ සඟරාවට ආවේණික ජ්‍යොතිෂ, මිත්‍යා ශාංගාර සංකලනයත් අඛණ්ඩව කරගෙන එනවා.

  • ශෘංගාර ඉන්දියාව

    ශෘංගාර ඉන්දියාව

    ඉන්දියාව කියන්නෙ ලෝකෙ පොහොසත්ම රට. අනිත් ඕනම රටකට ධනයෙන් බලයෙන් පොහොසත් වෙන්න පුළුවන් වුනත් ඉන්දියාවෙ පැරණි සංස්කෘතික පොහොසත්කම කොහෙත්ම සමකරන්න පුළුවන් එකක් නෙමෙයි. එක පැත්තකින් ආධ්‍යාත්මික දර්ශනයත් අනෙක් පැත්තෙන් ශෘංගාරය පිළිබඳ විශිෂ්ටතම උරුමයත් ඉන්දියාව සතුවෙනවා. ඉන්දියාව කියන්නෙ කාමසූත්‍රය ලියවුණු බිම.

    අවුරුදු දෙදාස් පන්සීයකට කලින් ඉන්දියාවෙ ආගමික උත්සව පවා ලිංගිකත්වයෙන් පිරිලා තිබුන. දෙවියන් වෙනුවෙන් මහා සමූහ රමණයන් තිබුන. රජවරු බිසෝවරු තමන්ගෙ හිතේ පරිමාවට ලිංගික තෘප්තිය හඹා ගියා. ඕර්ජීස් වගේ දේවල් කියන්නෙ අන්තිම සරල දේවල්. අවුරුදු දාසයේදි විතර අපිට හිතාගන්න පුළුවන් ඔක්කොම සෙක්ෂුවල් ෆැන්ටසි ඉන්දියාවෙ ඇත්තට තිබුන.

    මේ කියන්නෙ අද තියෙන ඉන්දියාව ගැන නෙමෙයි. අද තියෙන ඉන්දියාවට එදා ඒ තිබුණු උරුමය බාරගන්නවත් බැරිවෙලා තියෙනවා. සුද්දටත් වඩා වික්ටෝරියානු වීමේ පාපයෙන් දුක්විඳිනවා. ලංකාවෙ තත්වෙත් මේකමයි. ඉන්දියාවට ඈඳිලා තිබුනු නිසාමත්, පෙරදිග බටහිර අතර වෙළඳ මාර්ගයක පිහිටි නිසාත් ලංකාවෙ ඉතාම නිදහස්, විචිත්‍ර ශෘංගාර සංස්කෘතියක් තිබුණ. ඒත් අද අපිට ඒ උරුමය බාරගන්න බැරි වෙලා තියෙනවා.

    අපි අසභ්‍ය ප්‍රකාශන මැඩලන්න වි‍ශේෂ අනපනත් ගේන්න හදනවා. ලිංගික අසහනයෙන් උතුරා හැලෙන බහුතර පුරවැසි ප්‍රජාවක් පිනා යනවා.

    ශෘංගාරවිරෝධී වර්තමානයක ජීවත් වෙන අපිට ඉතුරු වෙන්නෙ අතීතයට කිමිදිලාවත් ඒ නිදහස් සෞන්දර්ය මොහොතකට විඳගන්න විතරයි. ආයිමත් කිසි දවසක අපි ඒ තිබුණු තත්වෙට නිදහස් මනස් ඇත්තවුන් වෙන්නෙ නෑ. සමහර විට ඒ අතීතයත් වාරණය වෙන්න පුළුවන්.

    මේ ඉන්දියාවෙ අතීත ශෘංගාර උත්සව මවන ගමනක්.

    1. ඝාට් කංචුකි

    බජිරා‍ඕ පාලන කාලෙ තිබුනු මේක හරියට ලයිව් ටින්ඩර් ගේම් එකක් වගේ. මේ සෙල්ලමට ගෑනු පිරිමි අටක් දහයක් විතර සම්බන්ධ වෙනවා. ඕනම කුලයක, ආගමක, ලිංගිකත්වයක කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්. තව සුළු පිරිසක් ක්‍රීඩාව නරඹනවා.

    මුලින්ම මේ පිරිස රවුමට වාඩි වෙනවා. මැද්දෙ කඩදාසියක ඇඳපු චක්‍රයක් වගේ එකක් තියෙනවා. ඊට පස්සෙ හැමෝම තමන් හැඳ සිටින ඇඳුම් ගලවනවා. ඒ ඇඳුම් ලොකු කලයකට දානවා.

    ඊළඟට එකිනෙකා කලයෙන් තමන්ගෙ අතට අහුවෙන ඇඳුම ගන්නවා. එ් ඇඳුම අයිති කෙනත් එක්ක තමයි එයා රමණය කරන්න ඕන. මේ විදිහට හැමකෙනෙක්ම හැම කෙනෙක් එක්කම රමණය කරලා අවසන් වන තෙක් මේ තරගය යනවා. බලන් ඉන්න පිරිස අත්පොලොසන් දෙනවා.

    කොහොමද ඒක?

    2. ව්‍යභිචාරය – අන්දමන්ද වෙන ඉතිහාසය

    ඉන්දියාවෙ වගේම ලංකාවෙ වුනත් අතීතයෙදි සහෝදර සහෝදරියන් අතර සෙක්ස් කියන එක පයිසෙකටවත් ගනං ගත්තෙ නෑ. සහෝදරියකට තමන්ගේ සහෝදරයෙක් දැක්කම, ආ අපේ මල්ලිටත් ශිෂ්නයක් තියෙනවනෙ. ඇයි අපිට ඒකෙන් විනෝද වෙන්න බැරි?, කියල හිතුනොත් උන් සෙක්ස් කළා. ළමයි හැදුවා. ඒක ඒ කාලෙ අශිෂ්ට දෙයක් නෙමෙයි. ගෝත්‍රයෙ අය අතරමයි රමණයන් සිද්ද වුනේ.

    කෞට්බික් කියල හැඳින්නුවෙ මේ ව්‍යභිචාර රමණයන්. මහාභාරතයේ පවා මේ ගැන සඳහන් වෙලා තියෙනවා. ඍග් වේදයේ දහවෙනි මණ්ඩලයෙ මේ රමණය ගැන සංවාදයක් එනවා. මේක වෙන්නෙ යම සහ යමී අතර.

    යමීට ඕන කොහොම හරි යම ඒ කියන්නෙ තමන්ගේ සහෝදරයත් එක්ක රමණය කරන්න. ඒත් යමට ඒ ගැන ඒ තරම් උනන්දුවක් නෑ. යම මේක ප්‍රතික්ෂේප කරාම යමී පෝර්න් වීඩියෝවක වගේ දෙබසක් කියනවා.

    ඔයා ඉඳලත් ඔයාගෙ සහෝදරිය අතෘප්තියෙන් නම් ඉතින් ඔයාගෙන් ඇති වැඩේ මොකක්ද?

    3. මහරාජා රංජිත් සිංග් – ලොකුම මෝලක් තිබුනු රජා

    රංජිත් සිංග් හිටියෙ 1839 විතර. මිනිහා ඇත්තටම සෙක්ස්වල පුදුම තරම් ආස කළා. එයාට හිටියා ගනං කරන්න බැරි තරම් මෙහෙසියන් පිරිසක්. නිකංම ර‍ජෙක් වුනු නිසා ගෑණු හිටියා කියල කියන්න පුළුවන් වුනත් ඇත්තටම රංජිත් වැඩකාරයා නිසා ගෑණු කැමති ගතියකුත් තිබුන කියනවා.

    රංජිත් තමන් රමණය කරන ගෑණු සම්බ‍න්ධයෙනුත් සෑහෙන තේරීමක් කරලා තියෙනවා. සමහර අයව රංජිත්ට ආස විදිහට ප්ලාස්ටික් සර්ජරි පවා කරලා අරගෙන තියෙනවා.

    එයාගෙ මහා නාන තටාක වල මේ සියලු මෙහෙසියන් සමග සමූහ රමණයන් කරනවා. ඒ නරඹන විශාල පිරිසකුත් ඉන්නවා. කොටින්ම රංජිත් රාජ සභාවේ පවා, තමන්ගේ ජනතාව ඉදිරියේ සෙක්ස් කරනවා.

    ඩිවාන් ජර්මානි දාස් විසින් මහරාජා නමින් මේ චරිතය අළලා පොතක් ලියනවා. ඒ කරුණුවලට අනුව පිරිමි ගැහැණු 1500ක් 2000ක් පමණ සහභාගිවන මහා පූජා රංජිත් කරලා ති‍යෙනවා. සියලු කාන්තාවන් කන්‍යාවන් වන අතර රංජිත් විසින් ඒ අයගේ සිරුරු මත මධු වත් කරනවා. අර පිරිමි ඒ සිරුරු ලෙවකනවා. අනතුරුව සියල්ලන් එක පොදියෙ රමණය කරනවා. රංජිත් බලාගෙන ඉන්නවා.

    ඉතිං ඉන්දියාවෙ ශෘංගාර ඉතිහාසයෙන් අල්පමාත්‍රයක් විතරයි මේ. ඒවා කියවලා අපි ආපහු ව්‍යභිචාරය කරන්න ඕන කියනවා නෙමෙයි. ඒත් අඩුගානෙ සෙක්ස් දිහා තරමක් නිදහස්ව, සුන්දරව බලන්න අපිට මේ ඉතිහාස කාරණා වැදගත් වෙයි කියල හිතනවා.

  • 1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1948 පළවූ ගිහිගේ වැඩිහිටි සඟරාවට වඩා ලොකු වෙනසක් 1954 පළවෙන විවාහකයන්ගේ සඟරාවෙ තියෙනවා. ගිහිගේ සඟරාව බෞද්ධ සහ වෙනත් ඇදහිලි මිත්‍යා සමග පවත්වන සම්බන්ධය විවාහකයන්ගේ සඟරාවේදි අපිට මුනගැහෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ කාලෙ හිතාගැනීමට පවා අපහසු විද්‍යාත්මක කාරණා ස්පර්ශ කිරීමේ උනන්දුවක් මේකෙ තියෙනවා. නුගේගොඩ මොඩර්න් පොත් සමාගම ලිංගික විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා විශාල මෙහෙවරක් කරලා තියෙනවා.

    “අප සමාජය පුරුදු කර ඇති ව්‍යාජ ලැජ්ජාශීලී ගතිය මෙම අවශ්‍ය දැනුම ලබාගැනීම බාධා කරන තිරයකි. එයට අප වහල්විය යුතු නොවේ. කාමය උල්පන අවිනීත කුණුසරුපයෙන් නොව අවශ්‍ය ලිංගිකත්වය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය දැනුමක් ලබාගැනීමට උපකාරවන අන්දමින් මෙම සඟරාවේ මංගල කළඹ ඔබ අත තබනෙමු”

    1922 පළවෙන ෆ්‍රැන්සිස් මාර්ෂල්ගෙ ෆිසියොලොජි ඔෆ් රිප්‍රොඩක්ෂන් වගේ පොත්වලින් උපුටාගැනීම් පළකරමින්, බ්‍රිතාන්‍ය ආදී රටවල ලිංගික සංස්කෘතිය ගැන විස්තර කරමින් විවාහකයින්ගේ සඟරාව විසින් ලංකාවට සම්පාදනය කරන දැනුම ප්‍රශස්ත මට්ටමක තියෙනවා. ඒ වගේම ඒ කාලෙ පාවිච්චි වෙන වචන පවා වෙනස්. උදා විදිහට කන්‍යාසිවිය වෙනුවට ප්‍රශස්ත රජ්ජුව කියල යොදනවා. ප්‍රශස්ත රජ්ජුව විවර නොවී තිබියදීත් ගැබ් ගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරනවා.

    කාලයක් පුරා විවාහයේ ර‍සය පවත්වාගන්න කායික අනුරාගයේ ඇති වැදගත්කමත් රති ඉරියව් ගැනත් කතා කරනවා. උපත් පාලනයේ වැදගත්කම අවධාරණය කරනවා. ඒ කාලෙදි උපත් පාලනයත් පවක් හැටියෙන් සළකන ලද වගක් තමයි පේන්න තියෙන්නෙ. විවාහකයන්ගේ සඟරාව විසින් ගබ්සාව පාපයක් වන අතර ගැබ්ගැනීම වැළැක්වීම පාපයක් නොවෙන හැටි පැහැදිලි කරනවා. ගබ්සාව විෂයෙහි පසුගාමී අදහසක් වුනත් ඒ කාලය සම්බන්ධයෙන් වඩා ප්‍රගතිශීලී තැනක මේ සඟරාව වැඩ කරමින් තිබුණු වගක් පේනවා.

    වැදගත්ම දෙයක් තමයි සිරුර සුවඳවත් කරන ආකාරයන් ගැන දැනුම ලබාදීම. ඒ කාලෙ ඩියොඩ්‍රන්ට් වර්ග තිබුනෙ නෑ. ඩියොඩ්‍රන්ට් තියෙන අද කාලෙත් ස්වභාවික ගැමි සුවඳ ගැන වර්ණනා ලියන හෙළයො බොහොමයි. ඒත් මේ සඟරාව සිරුරේ එක් එක් ප්‍රදේශ සුවඳවත් කරන පිළිවෙත් කියා දෙනවා. සම්භෝගයේදි සුගන්ධවත්බවහෙි වැදගත්කම අවධාරණය කරනවා.

    ප්‍රසුතියකින් පසු ලිංගික කාර්යයේ යෙදිය යුතු අන්දම, සැබෑ නිවුන් සහ ව්‍යාජ නිවුන් දරුවන් අතර වෙනස, නපුංසකයන්, ඌන සහ අධිවෘද්ධි ලිංගිකයන් ආදී තත්වයන් ගැන තොරතුරු කියනවා. වැදගත්ම ලිපියක් විදිහට ආගම සහ ලිංගිකත්වය ගැන සාකච්ඡාවක් පළවෙනවා.

    ‘රති කලාවො දුරාතීතයේ නම් ප්‍රමුඛ ආගමික ලක්ෂණයක් විය. පියවි මිනිසුන් බොහෝ සෙයින් මෙම ස්වභාවික රස වරප්‍රසාදය ආගම හා සම්බන්ධ කොට සිරිත් විරිිත් තනාගත් බව පෙනේ. බැබිලොනිය, ග්‍රීසිය, ඉන්දියාව වැනි දේශයන්හිද සමෘද්ධිමත් කාලයන්හි පවා රති පූජාව ආගමික චාරිත්‍රයක්ව පැවතිනි. ශිව ලිංගිය ශුක්‍රයෙන් පූජා කිරීම මෑතක් වන තුරු දකුණු ඉන්දියාවෙ සිරිතක් විය.’

    සියලු පැරණි ආගම් ලිංගිකත්වය බාරගනිද්දී ‍බුද්ධාගම, ජෛන ආගම, ඉස්ලාමය සහ ක්‍රිස්තියානිය විසින් ලිංගිකත්වය බැහැර කරන ආකාරය මේ ලිපිය පෙන්වා දෙනවා. විනය පිටකයෙ පාරාජිකා පාලියෙන් උදාහරණයක් ගෙනෙමින් භික්ෂුවක් විසින් ස්ත්‍රියකගේ ස්ථානත්‍රයක් සංසර්ගයෙන් සේවනය කළහොත් එය පාරාජිකාවක් වන හැටි කියනවා. ඒ තුන වෙන්නෙ මුඛ මාර්ගය, ගුද මාර්ගය සහ යෝනි මාර්ගය යන තුනයි. ඒ කාලෙ පටන්ම මේ බහු ආකාර සංසර්ග විධි පැවතුනත් අසූගනංවලත් බ්ලෝජොබ් එකක් දෙන්න ලංකාවෙ ගෑනු දැනගෙන හිටියෙ නැති එක පුදුමයක්. බ්ලූ ෆිල්ම්වලට පිං සිද්ද වෙන්න දැන් නම් ඒ අර්බුදය අවසන්.

    විවාහකයන්ගේ සඟරාව වඩාත් නාගරික, ඒ වගේම බටහිර විද්‍යාත්මක දැනුමට නැඹුරු වුණු සඟරාවක් බව පේනවා. මේ දැනුම පරිශීලනය කරපු පිරිස් ගැන යම් වටහා ගැනීමක් ගන්න තිබුණා නම් ඉතා වැදගත් කියල හිතෙනවා. මොනවා වුනත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙමින් ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත්වෙන්න පෙර කාල‍යේදී,  54දි මේ වගේ සඟරාවක් කරන්න මොඩර්න් පොත් සමාගම පෙළඹීම අගය කළ යුතුයි.

    (මේ ස්කෑන් පිටපත් ලබාදීම වෙනුවෙන් නන්දිත බැද්දේගමට අපගේ ස්තුතිය)

  • නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    1948 ලංකාවෙ පළවුන කාම සඟරාවක්. මේක මාව සුරතාන්තගත කරපු වැඩක්. දිනෙත් මල්ලිකාරච්චි ශූරීන්ට ස්තුතිවන්ත වෙනවා මේක මාවෙත තැපැල් කිරීම ගැන.

    ‘කාම විද්‍යාවෙන් උගන්වන්නේ ඉන්ද්‍රියයන් සහ ඒවා ආශ්‍රය කොටගෙන උපදින හැඟීම් නොමග යා නොදී හරිමග ගෙනා යා හැකි ශාස්ත්‍රය සහ ශිල්පයයි’

    ගිහිගේ සඟරාවෙ කතුවැකිය වෙන රහස තමන්ගේ පාඨකයාට කියන්නෙ එහෙමයි. ඒ කාලෙත් සෙක්සොලොජිස්ට්ලා ඉන්නවා. ඒ ගැන දැන්වීම් පළවෙනවා. හැබැයි මොනවගේ උපදෙස් දුන්නද කියල නම් ෂුවර් නෑ. ඩියුරෙක්ස් ලිංගාවරණ සහ කංචුක ගැන දැන්වීම් පලවෙනවා.

    ලකුණැති සොලොස් රතිකෙළි දැන වෙන වෙනම

    කර රුති පහස විඳ විඳ රුති වඩන පෙම

    රතිගති රුවැති දිගුනෙත සමග මනරම

    නොනැවති පහස විඳ වෙහෙසෙමිනි තුන්යම

    ඒ කාලෙත් කියවෙනවා සො‍ළොස් රතිකෙළි අතීතයේ මිනිස්සු දැන හිඳ අභාවයට ගිය කතාවක්.

    ස්ත්‍රියක් කාමාශාවෙන් පෙළෙන බව වටහා ගන්න විදිහ විස්තර කරනවා. ලස්සනම දේ ළඟම ඉන්න පොඩි එකෙක් වඩාගෙන පේන්න හුරතල් කරන එක. ඇඟ කම්මැලි අරින්න වගේ ඇඹරුනත් ෂුවර් නෑ.

    ඒ වගේම කාම ලැදි වුනාට මත්විරෝධී ගතියකුත් තියෙනවා. ගෑනුන්ගෙ පීරියඩ්ස් ගැන එහෙම කියනවා මරු කතා ටිකක්. යුරෝපියන්ගේ මතය වැරදියි කියමින් පරණ සාම්ප්‍රදායික පීරියඩ් විරෝධයම අරගෙන එනවා. ඒ ආර්ටිකල් එකේම පෑඩ් විකුණනවා.

    ගොනොරියා සිපිලිස් ආදී සමාජ රෝග ගැනත් කතා කරනවා. නරක ස්වාමි පුරුෂයන් නිසා පතිව්‍රතතාවය ආරක්ෂා කරන ගුනගරුක කාන්තාවන්ට පවා මේ රෝග වැළ‍ඳ‍ෙන බව කියනවා. බය වෙන්න එපා මේ අහන්න ලැබෙන දේවල් නිසයි එහෙම කීවෙ කියනවා.

    මේ කාම ශාස්ත්‍රය ජ්‍යොතිශයත් එක්ක හොඳටම ගැටගැහිලා තිබුණු වගක් පේනවා. ඒත් අසූ ගනන් වල කාම පත්තර රැල්ලෙ මේ නැකැත්බලි විශ්වාස තිබ‍ුනෙ නෑ.

    විවාහ දිනයේදී යුවළකට තෑග්ගක් විදිහට දෙන්න හොඳම ගිහිගේ වාර්ෂික කලාප එකතුවක් කියලත් සඳහන් කරනවා. මොනවා වුනත් ඇඩ්වර්ටයිසින් පැත්ත නම් හොඳටම කරලා තියෙනවා. හැම පිටුවකම මොනවා හරි විකුණනවා.

    මේ පත්තරවල අන්තර්ගත කාරණාවලට වඩා වටින්නෙ ඒ කාලෙ සමාජයෙ ලිංගිකත්වය ගැන තිබුණු ප්‍රශ්න, මතවාද සහ නිදහස පිළිබඳ කාරණා මේ හරහා අනාවරණය කරගන්න පුළුවන් එකයි. එක පත්තරයකින් ගොඩක් දේවල් කියන්න අමාරුයි. ඒත් අපේ රටේ කාම පත්තර ඉතිහාසෙ සුවිශේෂ තැනක් ගිහිගේ පත්තරේට අනිවාර්යෙන්ම හිමිවෙනවා.

  • සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස

    සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස

    සුජිත් අක්කරවත්ත එක්ක ලංකාවෙ ශෘංගාරවංශය ගැන කරගෙන ගිය නිදහස් කතාබහේ දෙවෙනි කොටසයි මේ.

    ක්‍රිව දෙවෙනි සියවසේදි වගේ වෝහාරික තිස්සයි ගෝඨාභය රජුයි විසින් සෙක්ස් කියන එක පිටමං කළා. ඕක මිහිඳු හාමුදුරුවො ආපු වෙලාවෙ ඉඳලා තිබුනු ප්‍රශ්නයක්. බුදු දහම තිබුනෙ දහමක් විදිහට. ඒක රාජ්‍යයට පිලිගන්න ඕන වුනාම රාජ්‍යයට ගැලපෙන විදිහට සංස්කරණය කරන්න වෙනවා. ඉතින් බුදුදහම රාජ්‍ය ආගම වෙද්දි රාජ්‍යයට ගැලපෙන විදිහට බුදුදහම හැඩගැහුනා. සාහිත්‍යය, ආගම, රාගය වගේ ඒවා කොහෙත්ම රාජ්‍ය එක්ක බැඳිලා පවතින්න පුළුවන් දේවල් නෙමෙයි. රාජ්‍යයන් මේවා පිලිගන්න ගියාම වෙන්නෙ රාජ්‍යයේ හැඩයට මේවා තලාගන්න එකයි. බුදුදහම ලංකාවෙ තිබුනෙ මිනිස්සු කැමති දහමක් විදිහට. රාජ්‍ය ආගමක් ලංකාවෙ තිබුනෙ නෑ. අශෝක අධිරාජයාගෙ බලපෑමත් උඩ අපි මේ බුදුදහම රාජ්‍ය ආගම විදිහට පිලිගත්තා. ඒකත් එක්කම බුදුදහමෙ වෙන වෙන හැඩතල හැදුනා. මුල්කාලෙ ඕක අවුලක් වුනේ නෑ. මොකද මිහිඳු හාමුදුරුවො මහරහත් කෙනෙක් නිසා. එයාට සෙක්ස් ඇරියස් තිබුනෙ නෑ. ඊට පස්සෙ සංඝ පීතෘන් වෙන්නෙ මහරහතුන් නෙමෙයි. අපි වගේම ඇරියස් තියෙන අය. එතකොට ඒ ගොල්ලොන්ගෙ අතින් ඔය දහම එන්න එන්න පටුවෙනවා.
    පළවෙනි ගෝඨාභයයි වෝහරික තිස්සයි තමයි ඕක පටන්ගන්නෙ. වෝහාරික තිස්ස කියන්නෙම ව්‍යවහාරයට ගෙනාවා කියන එක. ව්‍යාවහාරික තිස්ස. ඔය කියන්නෙ ප්‍රැක්ටිකල් බුඩිසම් ගෙනාවෙ එයා කියන එක. යතාර්ථයට ඔබ්බෙන් වූ යතාර්ථයක් විදිහට ආගමක් තියෙන්න බෑ, ඒක තියෙන්න ඕන මේ යතාර්ථය තුලමයි කියන එක තමයි වෝහාරික කිව්වෙ. හැබැයි බුදුදහම යතාර්ථයේ හිරකරන්න බෑනෙ. ඒක යතාර්ථයෙන් එපිට පවතින එකක්නෙ. සම්මුති සත්‍යයෙන් ඔබ්බෙ තියෙන දෙයක් ගැනනෙ බුදුදහම කතා කරන්නෙ. මෙතනදි වෝහාරික කරන්නෙ ඒක සම්මුතියට ගේන එක. මොකද රාජ්‍යයට සම්මුතියක් ඕන කරනවා. බුදුදහමත් එක්ක රාජ්‍යයක් ගෙනියන්න බෑ.

    මේ සිදුවීම වෙන්නෙ මිහිඳු ඇවිත් අවුරුදු 500ට විතර පස්සෙ. වෝහාරිකට තිබුන ප්‍රශ්නෙත් අපි තේරුම් ගන්න ඕන. සම්මුතිය පිලිගන්නෙ නැති දහමක් එක්ක කොහොමද රාජ්‍ය ඉස්සරහට ගෙනියන්නෙ කියන එක ඇත්ත ප්‍රශ්නයක්. ඉතින් ඔතනින් පටන්ගත්ත එක දිගටම එන්න ගත්තා. අන්තිමට මිනිස්සුන්ට ලෞකික ජීවිතයක් ඉතුරු නොවෙන ගානටම බුද්ධාගම රාජ්‍ය ඇතුලෙන් ඉස්සරහට ගෙනාවා. ඕක දරාගන්න බැරුව තමයි මහසෙන් ඇවිත් ක්‍රි.ව 300දි ගැහුවෙ. මහා විහාරයයි අභයගිරියයි දෙකම කඩලා දාලා ජේතවනාරමය කියන නව චින්තන ගුරුකුලය හදනවා. ඒත් මේ ගැටුම ඉවර වුනේ නෑ. සීගිරි කාශ්‍යප තමයි තීරණය කළේ මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලන්න ඕන කියල. ලෞකිකකරණය කරන්න ඕන කියල. ඒක හින්දයි ඉතිහාසෙන් සීගිරිය පිටමං වෙන්නෙ.

    දඹදෙනි යුගයෙදි අපි සම්මුති බුදුදහම හොඳටම පිලිගත්තා. ඒ කියන්නෙ රාජ්‍ය විසින් පනවන හැමදේම අපි පිලිගන්නවා කියන එකයි. හාමදුරුවරු ටික බ්‍රාහ්මණයොත් එක්ක එකතු වෙලා රාජ්‍යයට ඕන විදිහට බුදුදහම හදලා දුන්නා. මත්පැන් තහනම් කලොත් වැඩියෙන් භාන්ඩාගාරයට සල්ලි ලැබෙනවා. තහනම් කරලා තියන්න තියන්න පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙනවා.

    ඉතින් රාජ්‍යයට ඕන විදිහට බුදුදහම අර්ථකතනය කරලා දෙන එක තමයි භික්ෂුන්ට පැවරිලා තියෙන්නෙ. භික්ෂුන්ට වෙන ජීවිතයක් නැති වුනා. භික්ෂුත්වය රාජ්‍යයේ පිරුවටයක් විදිහට තමයි පවතින්න ගත්තෙ. භික්ෂුන් කල්පනා කළා අපිට සීල සමාධි ප්‍රඥා කිසි එකක් ඕන නෑ, රාජ්‍යයට ඕන විදිහට ආගම සකස් කරලා දීමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්න පුළුවන් කියල. ඉතින් මොකද වුනේ රාජ්‍යයි ආගමයි එකතු වෙලා මිනිස්සුන්ට ලෞකිකත්වය අහිමි කළා. රාජ්‍යයි ආගමයි විතරක් ලෞකික සුව විඳින්න පටන්ගත්තා.

    දැන් පහන්තුඩාවෙ සිද්ධියට මිනිස්සු පහර දෙන විදිහ බලන්න. භික්ෂුන් සම්බන්ධ වුනු ඔයිට වඩා නරක දේවල් කොයිතරම් අපි ප්‍රවෘත්ති වල දකිනවද? කවුරුවත් ඒවට පහර දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. පාදිලියන්ටත් එහෙමයි.

    අපේ පැවතුනු සංස්කෘතියම ශෘංගාර එකක්. රන්මසු උයන, නාලන්දා ගෙඩිගේ වගේ තැන් ගැන අහලා ඇතිනෙ. අපි ව්‍යවහාරය කියල දෙයක් පිලිගත්තෙ නෑ 1824 වෙනකල්. ඉතින් ශාංගාරය කියල වෙනම බෙදීමක් අවශ්‍ය වුනෙත් නෑ. දැන් උදා විදිහට අපේ සංස්කෘතියෙ සමලිංගිකත්වය ගැන වෙනම සඳහනක් වෙන්න දෙයක් තිබුනෙ නෑ මොකද ඒක තහනම් වෙලා තිබුනෙ නැති හින්ද. බයිසෙක්ෂුවල්, ගෲප් සෙක්ස් වගේ දේවල් ගැන වෙනම සඳහන් කරන්න දෙයක් නෑ. අපේ කැටයම්වලත් ඒවා දකින්න පුළුවන්. ඒවා හරි ලොකු වෙන්නෙ ඒවා තහනම් කරපු රටවල. දැන් ලිංගික නිදහස මේ රටේ තිබුන නම් චින්තන ධර්මදාසගේ පොත් බල්ලෙක්වත් කියවන්නෙ නෑ. ඒවාට තැනක් හම්බුවෙලා තියෙන්නෙම ලිංගික නිදහස නැති හින්ද.

    නාලන්දා ගෙඩිගේ, බෙල්ගෙ කාලෙ සංරක්ෂණය කරන්න පවා ඉඩ දුන්නෙ නෑ. ඒ කාලෙ තිබුනෙ වික්ටෝර‍ියා රැජිනගෙ බලය. නාලන්දා ගෙඩිගේ ඔය තියෙන තැන නෙමෙයි තිබුනෙ. ඔය ජලාශෙ මැද තිබුනු දූපතේ තිබුනෙ. උන් නාලන්දා ජලාශය පුළුල් කළා. ඕක කැඩුවා. පස්සෙ පරණවිතාන ලොකු අරගලයක් කරලා තමයි ඕක ඔතන පිහිටෙව්වෙ. නාලන්දා ගෙඩිගේ තිබුනු තැන තමයි නාලන්දා ජලාශය හැදුවෙ. මේක යටකළා ජලාශෙට. පුළුවන් නම් කිමිදිලා බලන්න. තව ගොඩක් ඔය වගේ මූර්ති තියෙනවා වතුර යට. ඔය අපි දකින්නෙ ගොඩට ගෙනල්ලා හයිකරපු ටික විතරයි.

    නාලන්දා ගෙඩිගේ ඔතන පිහිටන්නෙ ලංකාවෙ මධ්‍ය ලක්ෂය ඔතන පිහිටන හින්ද. ඉතිං ඒකත් එක්ක බැඳුනු විශ්ව ශක්තීන් ගැන විශ්වාස එක්ක පිහිටපු තැනක්. බුදුදහමයි තන්ත්‍රයාන බලපෑමයි එකට තිබුනෙ. රාගයේ උපරිම තැන නිවනයි කියන අර්ථයෙන් ඒක ආධ්‍යාත්මික වුනා. කජිරාවො වලටත් වඩා ඉස්සරහ ගිය තැනක්.

     

    මේ හැමදෙයක්ම සම්පූර්නයෙන් නැතිවෙන්නෙ සුද්දන්ගෙ වික්ටෝරියානු එක හින්ද තමයි. දැන් මීට අවුරුදු තිහ හතලිහකට කලින් වුනත් ලංකාව මීට වඩා සෙක්ෂුවලි නිදහස් තැනක්. මහින්ද ඇවිත් නැති කරපු ටික තමයි අද මේ අපි දකින්නෙ. එතකොට සුද්දොන්ගෙන් ඇතිවුනු බලපෑම තේරුම් ගන්න පුළුවන්නෙ. ඒ ගොල්ලො ඒක-විවාහ නීතිගත කළා, අනිත් ලිංගිකත්වයන් තහනම් කළා. ලංකාව කවදාවත් විවාහ ජීවිතයක් කියන එක පිලිගත්තෙ නෑ. විවාහය පිලිගත්තෙ නෑ කියන්නෙ ලිංගිකත්වය රාජ්‍යයට අදාල නෑ කියන එක. ඒක 1824 වෙනකල් අපේ රටේ තිබුන. දඹදෙනි කාලෙදි යම් යම් නීති පැවතුනා. ත්‍රීසම්වලට නීතියක් පැනවුනා ඒක කුල සිරිත් සම්ප්‍රදායක් වෙන්න ඕන කියල. මුලින් තිබුනෙ කවුරු හරි කැමති නම් ඒ අයගෙ සෙක්ස් ගැන රාජ්‍යයට ප්‍රශ්නයක් නෑ කියන එක. දඹදෙනි යුගයෙන් පස්සෙ අපි කැමති වුනාට බෑ අපේ කුල සම්ප්‍රදායන් ඒකට එකඟ වෙන්න ඕන. ඒක සම්මුතියක්. හැබැයි ලියාපදිංචියක් නෑ.

    ලංකාවෙ කසාදය කියල එකක් තිබුනෙ නෑ. පෘතුගීසින් තමයි පහතරටට කසාදය අඳුන්නලා දුන්නෙ. පෘතුගීසින් කළේ පහත රට කසාදය අඳුන්නලා දීලා උඩරට මිනිස්සුන්ගේ නිදහස් ලිංගිකත්වය පහත් අශිෂ්ට විදිහට හඳුන්වපු එක. ඒ කාලෙ පහතරට මිනිස්සු උඩරැටියන්ට පහරදුන්නෙ එහෙමයි. ඒ අය වනචරයි කියල. අපිට කසාදය කියන එකට සිංහල වචනයක්වත් නෑනෙ.

    රාජ්‍යය කසාදය පිලිගන්නෙ නෑ කියන්නෙ ලිංගික දේවල් ඒ ඒ අයගෙ රුචි අරුචිකම් මත සිදුවිය යුතුයි කියන එකනෙ. ඒක කොයිතරම් ලිබරල්ද? මෙච්චර දියුණු සංස්කෘතියක් තිබුනත් අපි විවාහය පිලිගත්ත නැති ජාතියක්. අපිට තිබුනෙ අඹුව කියන එකනෙ. අඹාගන්නවා කියන එකයි අදහස. අඹුකමට තියාගන්නවා කියලනෙ කියන්නෙ. සහේට ගන්නවා කියලත් කිව්වා. ඒ කියන්නෙ හවුල්කාරයා කියන එකනෙ.

    අපි පෘතුගීසි කසාදෙට කිව්වෙ හිරයක් ගන්නවා කියල. ඒක හිරේ යනවා වගේ වැඩක් විදිහටයි අපේ මිනිස්සුන්ට දැනුනෙ. කසාද නොබැඳ කවුරු හරි එක‍ට හිටියොත් හිරේ දානවා කියන එකයි නීතිය. මිනිස්සු ඒකම හදාගත්තා එයා හිරයක් ගත්තනෙ කියල. ඒ ඒකට දාපු පොඩි අපහාසාත්මක යෙදුමක්. වහරෙන් හැදෙන වචනවල තියෙනවා ඒ කාලෙ මිනිස්සුන්ට ඒ ගැන තිබුනු හැඟීම. ආගම කියන වචනෙත් එහෙම එකක්. ආගම කියන්නෙම පිට කියන එක. බුදුදහම අදහන්නෙ නැති අයටනෙ ආගමේ කියන්නෙ. බුදුදහම නෙමෙයි කියන එක. ආගම කියන එක අපේ නෙමෙයි කියලයි කියවෙන්නෙ. බුදුදහම අ‍පිට ආගමක් නෙමෙයි. ඒක අපේ ජීවන විලාසය.

    දැන් කොයිතරම් ලිබරල් වුනත් රනිල් වික්‍රමසිංහටත් බෑනෙ ලිංගිකත්වය විවෘතව බාරගන්න. කොයිතරම් නිර්භීත වුනත් මංගල සමරවීර වුනත් ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්නය බලය ඇතුලට ගෙනාවෙ නෑ කියල මං හිතනවා. මේක තමයි ලංකාවෙ මේ වෙලාවෙ තියෙන ලොකුම ප්‍රශ්නය.

  • සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය

    සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය

    මේ සුජිත් අක්කරවත්ත එක්ක ෆෝන් එකෙන් ඇතිවුනු සංවාදයක්. මේ සංවාදය සුජිත්ගේ කතාව වගේම නිදහසේ ගලායන්න ඉඩහරිනවා. ලංකාවෙ සෙක්ස්වලට තහනම් වැටීම ගැන අපි අතර ඇතිවුනු අහම්බ කතාබහක්. මගේ බාධා කිරීම් අයින් කරලා සුජිත්ගේ කතාව විතරක් ඉතුරු කරනවා.

    හැමෝම මොකක් හරි දෙයක් ආවම ඒක හිස්ට්‍රිවලට බද්ධ කරලා මොකක් හරි දෙයක් ඉදිරිපත් කරනවා. රාජ්‍යයත් එහෙමයි ජනතාවත් එහෙමයි. කාටවත් මේක ගැඹුරින් තේරුම් ගැනීමේ උවමනාවක් නෑ. ඒ අවස්තාවට මේක පාවිච්චි කරනවා විතරයි. (සුජිත් අද කාලෙ ඉතිහාස කාරනා ගැන ඇතිවෙන උනන්දුවට කියන්නෙ සිල්ලර උනන්දුවක් කියල)

    ඔය පහන්තුඩාව වගේ සිද්ද වලින් තමයි ආන්ඩුව යන්නෙ. පරිසර සිද්දිය දවස් තුනයි, නැවේ සිද්දිය දවස් තුනයි, අවුරුදු පහලොවේ ගෑනු ළමයගේ සිද්දිය දවස් තුනයි. විපක්ෂයක් නැති රටක ඕක වෙනවා. දේශපාලනික සමාජයකුත් නෑ දේශපාලනික පක්ෂෙකුත් නෑ. එෆ්බීනෙ අද මාධ්‍ය දෙයියො වෙලා තියෙන්නෙ. දවස් තුනකින් ඕක ඉවරයි. බලන්නකො කාගෙ ගොසිප් වලින්ද වැඩිපුර මේවා උස්සන්නෙ කියල. ඒ ගොල්ලො දන්නවා කුහක බවයි රසයයි එකට කළතලා ඕක ඉදිරිපත් කරන්න. ඕක විතරක් නෙමෙයි. ඔය පරිසර එක බලන්න. කවුද අද පරිසරය ගැන කතා කරන්නෙ? ඒ මූමන්ට් හදපු අයවත් කතා කරන්නෙ නෑ. දැන් රළ පනාවෙ ප්‍රශ්නෙ. ඒකත් දවස් දෙකයි. ඇත්ත කතන්දරේ ඒක. හැබැයි ලංකාවෙ යටපත් කරපු ලිංගික නිදහස සම්බන්ද ප්‍රශ්නයක් කොහොමත් තියෙනවා.

    විඳපු නැති සමාජයක් යමක් කැමැත්තෙන් බාරගන්න දන්නෙ නෑ. තමන් නොලබන රසයක් වෙන කෙනෙක් ලබනවට කැමති නෑ. ඒක ‍මනෝ විද්‍යාත්මකයි. අපේ දැනුම් සමාජය වුනත් ඔහොමයි. ලිංගිකව කුහකයි. ප්‍රබුද්දයොත් එහෙමයි.

    මේක දඹදෙනි යුගයේ බ්‍රහ්මනයො බුද්දාගම අල්ලගන්න තැන ඉඳන් එන ප්‍රශ්නයක්. ඇත්තටම සීගිරි කාශ්‍යප පන්නා දාපු දවස‍ෙ ඉඳන් එන ප්‍රශ්නයක් සුද්දො ඇවිල්ලා සම්පූර්ණ විකෘති කළා. දඹදෙනි යුගයෙන් පස්සෙ මේක යම්දුරකට සංස්ථාපිත තැන්වල හරි පැවතුනා. ත්‍රීසම් එක, එකගෙයි කෑම ලංකාවෙ තිබුන. ඒකට නිල සංස්ථාවක් තිබුන.

    දඹදෙනි යුගයෙදි බ්‍රාහ්මන කියවීමක් එනවා හරියට දැන් අපිට චීන කියවීමක් එනවා වගේ. දැන් අපේ සාහිත්‍ය, කලා ඔක්කොටමත් චීන බලපෑම එනවා. ඒවා හරියට ටොයිස් බඩු වගේ වෙනවා. ටික්ටොක් එහෙම අරන් බලන්නකො. දේශපාලනයත් චීනකරනය වෙනවා. පපඩං වගේ වෙනවා. ඒ වගේ දඹදෙනි යුගයෙදි බ්‍රාහ්මන චින්තනය තනිකර නිල බුදු දහමෙ චින්තනය බවට පත් වෙනවා. බුදුදහම අයින් වෙලා බුද්ධාගම කියල එකක් ‍එනවා. ආගමක් නෑනෙ බුදුදහමෙ. ආගම කියන්නෙම බුදුන් එපා කියපු එකක්නෙ. හැබැයි දඹදෙනි යුගයෙන් පස්සෙත් සුද්දො එනකංම මේ ලිංගික නිදහස සම්බන්ද තත්වයන් යම් තත්වයක් තිබුනා සමාජ සංස්තා විදිහට. එකගොයි කනවා කියන්නෙ ඉතින් ත්‍රීසම්නෙ. ඔය මාක්ස්වාදී ඉතිහාසඥයො කියනවා දේපොල පිට යන එක වළක්වන්නයි මේ එකගෙයි කෑවෙ කියල. නෑ, ඒක ත්‍රීසම්වලට කැමති අය කරපු දේ රාජ්‍ය විසින් බාරගන්නෙ රාජ්‍යයට අනුයුක්ත දෙයක් විදිහට. දේපොල කතාව ඒකට ගැටගැහෙන්නෙ එහෙමයි. දේපොල හේතුවක් වුනත් එකගෙයි කෑවෙ ත්‍රීසම්වලට කැමති අය. නැත්තං මොන එකකට වුනත් තව එකෙක් එක්ක එක ගෑනියෙක් තියාගෙන මරාගන්නෙ නැතුව හිටියා කියන එක ලේසි දෙයක්ද?

    ජයසේන ජයකොඩිගේ බැද්දෙ ගෙදර ජනප්‍රිය වුනා. මේ දවස්වල සුදත් රෝහනගේ ඔය නාට්ටිය ආයිමත් පෙන්නනවා. බලන්න ඒක කොයිතරම් ආසාවෙන් බලනවද කියල. සුදත් රෝහන ඒක වැරදි විදිහටයි අර්තකතනය කරලා තියෙන්නෙ, පොතේ හරියට තියෙනවා. ඇයි ඒක මිනිස්සු ඔච්චර කැමැත්තෙන් බලන්නෙ? පහන්තුඩාවට ගල්ගහන මිනිස්සු ගෙදර ටීවී එකේ බැද්දෙ ගෙදර බලනවනෙ.

    මිනිස්සුන්ගේ සීයට අනුවක් රාජ්‍ය කියන එක ඇත්ත විදිහට පිලිගන්නවා. නිරෝදායනය වෙන්න කිව්වම ගෙදරට වෙලා ඉන්නෙත් ඉතින් ඒ වගේම එකක් තමයි.

    සුජිත් අක්කරවත්ත

    හොඳට හිතලා බැලුවොත් බලය උත්පාදනය වෙන තැනක් තමයි කුහකත්වය කියන්නෙ. ලිංගිකව අනෙකා යටපත් කිරීමනෙ අවසාන අර්ථයෙන් බලය කියන්නෙ. මේ පොදු මහා සාධකය පටන් ගත්තෙම ලිංගික යටපත් කිරීමෙන්. ආගම බිහිවෙන්නෙ එහෙමයි. රාජ්‍යයි ආගමයි එකට ලේසියෙන්ම ගැටගැහෙන්නෙ ඒකයි. නැත්තං කොහොමද ඔය දෙක එකට පවතින්නෙ? බලයයි ආගමයි එකට තියෙන්න විදිහක් නෑනෙ.

    රාජ්‍ය වික්ටෝරියානු නීතිය පිලිගත්තම මිනිස්සුත් ඒක පිලිගත්තා. ඉස්කෝලෙ යන්න කියල රාජ්‍ය කිව්වම මිනිස්සු ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. නැත්තං දැනුම ගන්න ඉස්කෝලෙ යන්නම ඕන නෑනෙ. ඒ කාලෙ ගුරුකුල, තිබුනා, චින්තකයො හිටියා, පිරිවෙන් තිබුන. මිනිස්සු දැනුම ගත්තා. හැබැයි අධ්‍යාපනය ඉස්කෝලෙන් දෙන්න කියල රාජ්‍ය නියම කළාම අපි ඉස්කෝලෙ යන්න ඕන. ඉස්කෝලෙ නොයන එක අපරාදයක් වෙනවා. ඉස්කෝලෙ යන එකා උගතා වෙලා නොයන එකා නූගතා වෙනවා. පාර්ලිමේන්තුවෙ අටපාස් කිව්ව‍ට ඇත්තටම උන් නූගත් නෑනෙ. දැන් ජීඑලුයි විමල් වීරවංසයි උගත්කමෙන් ලොකු වෙනසක් තියෙනවා කිව්වට මොකද්ද දැන් තියෙන ඇත්ත වෙනස?
    රාජ්‍ය කියල තියෙනවනෙ ලිංගිකව හැසිරෙන්න ඕන මෙහෙමයි කියල. ඉතින් සීයට අනූවක් හිතන්නෙ ඒක තමයි විදිහ කියල. ඒ සීයට අනූවම දන්නවා ඒ විදිහට ඒ වැඩේ කරන්න බෑ කියල. ඉතින් රහසින් විඳිමත්, කුහකකමත් ඇතිවෙනවා. තමන්ට නැති ප්‍රමෝදයක් අනුන් විඳිනකොට ඒකට ගහනවා.

    සීගිරිය වටකරලා මුගලන් තමයි මේක පටන් ගන්නෙ. හැබැයි ලිංගිකත්වය සම්බන්ධ රාජ්‍ය නිල මතයක් ඇතිවෙන්නෙ දඹදෙනි යුගයෙන් පස්සෙ තමයි. දඹදෙනි යුගයෙන් පස්සෙ සැබෑ බුදුදහම නැතිවෙලා යනවා. දැන් මේ සිංහල කියන්නෙ අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයිනෙ. තව අවුරුදු පනහකින් සිංහලකම කියල එකක් හොයාගන්නවත් බෑ. දැන් මේ සිංහල කියන්නෙ අර ජාතික ඇඳුම වගේ එකක්නෙ. මේ බන්ඩාරනායකගේ හුටප්පරේට මොන එහෙකටද ජාතික ඇඳුම කියන්නෙ? ලංකාවෙ කැටයමකවත් ඔය මගුල ඇඳපු එකෙක්වත් ඉන්නවද? ඒත් අපි ඕකට ජාතික ඇඳුම කියනවනෙ.

    රාජ්‍ය පවත්වාගෙන යන්න බ්‍රාහ්මන මතය පිලිගන්න වුනා.

    බ්‍රාහ්මන ආගමේ සෙක්ස්වලට සීමා පනවලා තියෙනවා. එක අවධියක් විතරයි සෙක්ස් වෙනුවෙන් වෙන් කරන්නෙ. ඒ කාලෙ විතරයි සෙක්ස් කරන්න ඕන. බ්‍රාහ්මන කියන්නෙ හින්දුදහම නෙමෙයි. ඒක ආර්යයන්ගෙන් ඒ කියන්නෙ යුරෝපෙන් ආපු අය හරහා ඇතිවෙන එකක්. බ්‍රාහ්මන කියන්නෙ ඉන්දියාවට පිටින් එන කට්ටියක්. ඒ ගොල්ලො ඇවිත් ඉන්දියාවෙ තිබුන බහුදේවවාදයට උඩින් මහා බ්‍රහ්මන් කියල කෙනෙක් හදනවා. පීතෘ දෙවියෙක් නිර්මාණය කරනවා. මහා බ්‍රහ්මන් කියල එකෙක් හින්දුදහමෙ හිටියෙ නෑ. මැවුම්කාර දෙවිකෙනෙක් මැව්වා. හින්දුදහමෙ සෙක්ස්වලටත් දෙවි කෙනෙක් හිටියා. ඒකෙ මේ වගේ තහනමක් තිබුනෙ නෑ.

    ඔය බ්‍රහ්මන්ව මවපු බ්‍රාහ්මනයොන්ගෙන් පස්සෙ තමයි අධ්‍යාපනය ආයතනගත වෙන්නෙ, මේ අය තමයි රාජ්‍ය උපදේශකයො වෙන්නෙ. ඊට පස්සෙ කාලෙක මේ හින්දුවාදය බුදුදහම හින්ද චින්තන තලයේ පරාජයට පත්වෙනවා. ආපහු ශංකරාචාර්ය ඇවිල්ලා බුදුහාමුදුරුවන්වත් අවතාරයක් කරලා මේකෙ විශාල පිබිදීමක් ඇති කරනවා.

    බ්‍රාහ්මනයො රාගවිරෝදී වුනේ නෑ. ඒත් ඒ ගොල්ලො ඒක අවධියකට සීමා කළා. ඊට පස්සෙ සෙක්ස් කරනවට දෙවියො කැමති නෑ වගේ එකක් ගෙනාවා.

    ලංකාවෙ වුනත් ගබ්සාවට එහෙම මුලින්ම විරුද්ද වෙන්නෙ හාමුදුරුවො නෙමෙයි. මුලින්ම විරුද්ද වෙන්නෙ කතෝලික සභාව. බිෂොප්ලා. ඒක දෙවියන්ගෙ මැවුම්වාදයට විරුද්දව යන හින්ද. ඊට පස්සෙ තමයි හාමුදුරුවරුත් විරෝදයට සෙට් වෙන්නෙ. හැමදාම පල්ලිය තමයි ගබ්සාවට විරුද්දව දැඩිව ඉන්නෙ. දෙවියන් විසින් මැවූ දෙයක් මිනිසා විසින් නැසිය නොහැකියි කියලනෙ කියන්නෙ. මේක මැවුම්කාර දේව ආභාෂය.


    මතු සම්බන්ධයි.

  • ඒක කරන්නම ඕන ටෙස්ට් එකක්

    ඒක කරන්නම ඕන ටෙස්ට් එකක්

    සුනිල් පෙරේරා  ගායනා කරන මේක නං කරන්නම ඕන ටෙස්ට් එකක් සිංදුවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරගෙන යන එච්අයිවී පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුනා. සමලිංගික, විෂම ලිංගික, සංක්‍රාන්ති ලිංගික, ලිංගික ශ්‍රමික හෝ මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වී ඇති ඕනෑම කෙනෙකුට අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවුනහොත් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව වුවත් ළඟම ඇති රජයේ සායනයට පැමිණ නොමිලේ HIV පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒ වගේම www.know4sure.lk වෙබ්අඩවිය හරහා  ඔබේ රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි එච්අයිවී පරීක්ෂාවක් සඳහා පහසුවෙන් වෙලාවක් වෙන්කරගැනීමටත් දැන් අවස්ථාව තියෙනවා. HIV පිළිබඳ දැනුවත් විය යුතු බොහොමයක් කාරණා ගැනත් මේ වෙබ් අඩවියේ සාකච්ඡා කරනවා.

    මැකුවොත් හිරේ කියන පාඨයත් සමග සමාජගත වූ HIV මුලින්ම ක්‍රියාත්මක වුනේ එකම සහකරුවෙකුට පමණක් ලිංගික ක්‍රියාවන් සීමා කිරීමේ ආගමික සදාචාර නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. අයාලේ යන අයට දෙවියන් විසින් දුන් දඬුවමක් වගෙයි මේක බාරගත්තෙ.  නමුත් පිළිසිඳ ගැනීමකින් තොරව ලිංගික එක්වීමේ හැකියාව මිනිසා සතු  කළ මානව ලිංගික නිදහසේ පුරෝගාමී  පුංචි රබර් කොපුව -කොන්ඩමය නැවතත් මෙතනදි ආරක්ෂාව වෙනුවෙන් පෙරමුන ගත්තා . ඒ නිසා එච්අයිවී ගැන බියකින් තොරව ලිංගික තෘප්තිය සොයායාමේ නිදහස ලැබුන.

    කොන්ඩමයේ ඉතිහාසය

    කොන්ඩමයක් මානව ඉතිහාසයේ මුලින්ම නිෂ්පාදනය වුනේ කවදද කියන එක හරියටම කියන්න පුළුවන්කමක් නෑ. වෛද්‍ය ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන වර්න් බුලො කියන්නෙ මේක මිත්‍යා කතා අතර හැංගිලා ගිහින් කියල. මධ්‍යතන යුගයෙ ඉඳන් සත්ව බඩවැල් ආදියෙන් නිපදවන කොන්ඩම පාවිච්චි වුනා. තවත් පර්යේෂකයො කියන්නෙ මේ ඉතිහාසය දහවෙනි ශතවර්ෂයේ පර්සියාව දක්වා යනවා කියල. ඒත් කොන්ඩම භාවිතයෙන් රෝග වැලැක්වීමට පුළුවන් කියල මුලින්ම දොස්තරලා හොයාගත්තෙ 16 වෙනි සියවසේදි.  ගේබි්‍රයල් ෆැලොපියො කියන ඉතාලියානු දොස්තර තමයි මුලින්ම නිර්දේශ කළේ කොන්ඩම භාවිතයෙන් ලිංගික රෝග බෝවීම වළක්වන්න පුළුවන් කියල.

    1800 ගනං වෙනකල් කොන්ඩම් හැදුනෙ සතුන්ගෙ කොටස්වලින්. ඒවා දරුවන් පිළිසිඳ ගැනීම වැළැක්වීමට සහ රෝග බෝවීම වැළැක්වීම වෙනුවෙන් පාවිච්චි වුනා. මේ කාලෙ කොන්ඩම වල රිබන් එකක් තිබුන. ඒක පහල කෙලවරෙන් ගැටගහ ගන්නයි හදලා තිබුනෙ. බුලො කියන විදිහට කොන්ඩම් වැඩිපුර භාවිතා වුනේ ගණිකා වෘත්තිය ආශ්‍රිතව නිසා ඒ අපවාදය කොන්ඩම සමගත් බැඳී තිබුන. ඒ වගේම පිරිමි කවදාවත් කොන්ඩම පළඳින්න ඒ තරම් කැමති වුනේ නෑ.

    ලොව සුප්‍රකට පෙම්වතා කැසනොවා 1700 කියන විදිහට තමන් සැබවින්ම ජීවත් වෙන ඒ මොහොතෙදි මැරිච්ච හම් කෑල්ලකින් තමන්ව වහගන්න එයා කැමති නෑ. කැසනොවා තව ටිකක් කල් ජීවත් වුනා නම් වෙනස් විදිවල කොන්ඩම් එයාට අත්හදා බලන්න තිබුන. සමහර විට එයා ඒවට වැඩියෙනුත් එක්ක කැමති වෙන්නත් ඉඩ තිබුන.

    1800 ගනංවලින් පස්සෙ රබර් කොන්ඩම් හඳුන්වාදෙනවා. මුල් කාලෙදි මේ කොන්ඩම්වලින් ආවරණය වුනේ ශිෂ්න මුන්ඩය විතරයි. යුරෝපීයයන් ඒවා ඇමරිකන් ටිප්ස් විදිහට හැඳින්නුවා. 1869දි මුල්වරට ශිෂ්නය සම්පූර්ණයෙන් ආවරණය වෙන රබර් කොන්ඩමයක් එනවා. නමුත් ඒ මැදින් යන මූට්ටුවක් තිබුන. ඒක අපහසුකාරී වුනා. ඒ වගේම ඒවා මිළ අධික වුනා. සෝද සෝදා නැවත පාවිච්චි කළ හැකි වුනා.
    මේ සියවසේ අවසාන භාගයෙදි තමයි මිළ අඩු කොන්ඩම හඳුන්වා දුන්නෙ. තුනී මුට්ටුවක් රහිත කොන්ඩමයක් වුනත් මේවා ඉක්මණින් කැඩෙන්න පටන් ගත්තා. මේ අතරම මාළු බොකුවලිනුත් කොන්ඩම් නිෂ්පාදනය වෙන්න ගත්තා.

    1873දි කොන්ඩම් කර්මාන්තයට දරුණු පහරක් වදිනවා. ඇමරිකානු ප්‍රතිසංස්කරණවාදියෙක් වන ඇන්තනි කොම්ස්ටොක් විසින් කොම්ස්ටොක් ලෝ කියන නීතිය ගේනවා. මේ නීතියෙන් කොන්ඩම සහ වෙනත් උපත්පාලනය සඳහා යොදාගන්නා දේවල් සහ සදාචාර විරෝධී ලෙස හඳුන්වන සෙක්ස් ටෝයිස් තැපැල් මගින් යැවීම තහනම් කරනවා. තව පළාත්වල වෙනත් දැඩි ස්වරූපයන්ගෙන් මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ගත්තා. කොන්ඩම් නැති වුනේ නෑ. ඒවා අඳුරු කර්මාන්ත වුනා. සමාගම් තමන්ගේ නිෂ්පාදනවලට කොන්ඩම් කියන්නෙ නැතුව රබර් සේෆ්, කැප්ස්, මහත්වරුන්ගේ රබර් මෙවලම් වගේ නම් වලින් හැඳින්නුවා.

    කොම්ස්ටොක් නීතිය තියෙද්දිම අද දක්වා කොන්ඩම නිෂ්පාදනයේ දැවැන්තයන් දෙදෙනා කර්මාන්තයට පිවිසෙනවා. 1883දි. ජර්මානු යුදෙව්වෙක් සංක්‍රමනිකයෙක් වන ජුලියස් ශ්මිඩ් තමන්ගේ කොන්ඩම් නිෂ්පාදනය ආරම්භ කරන්නෙ සොසෙජ් කවර ව්‍යාපාරයත් සමග. එයාගෙ කොන්ඩම්වල නම රැම්සෙස් ඇන්ඩ් ශීක්. ශ්මිඩ් රබර් වලින් කොන්ඩම් හැදුවා. ඇමරිකාවෙ ප්‍රමුඛතම කොන්ඩම් නිෂ්පාදකයා වෙන්න ශ්මිඩ්ට පුළුවන් වුනා. 1916දි ශ්මිඩ්ට එයාගෙ ප්‍රතිවාදියා මුනගැහුනා. ඒ තමයි මර්ලෙ යන්ග්. ට්‍රෝජන් කියන බ්‍රෑන්ඩ් එක එයාගෙ.

    1930 ගණං වෙද්දි කොන්ඩම්වලට තියෙන නීතිමය තත්වය ශක්තිමත් වුනා. රෝග වැලැක්වීම වෙනුවෙන් කොන්ඩම් පාවිච්චි කළ හැකිය කියන පිළිගත හැකි සාක්ෂිය තමයි ඒකට හේතු වුනේ. ඒ වගේම දොස්තරලාට රෝග වැලැක්වීම සඳහා කොන්ඩම් නිර්දේශ කරන්නත් නීතියෙන් අවසර ලැබුනා.
    මේ අතරදි ලේටෙක්ස් කොන්ඩම් හඳුන්වාදුන්නා. වඩා තුනී වෙමින් වැඩි තෘප්තියක් ළඟා කරදෙන්න ඒවාට පුළුවන් වුනා. ඒ වගේම පොදු ජනතාවට මිළට ගත හැකි වුනා. 1930 ගණන්වල මැද වෙද්දි ප්‍රධාන කොන්ඩම් නිෂ්පාදකයො 15 දෙනෙක් හිටිය අතර මිලියන එකහමාරක් කොන්ඩම් දවසට නිෂ්පාදනය වුනා.

    සමාජ විද ්‍යාඥ ජොෂුවා ගැම්සන් කියන විදිහට දෙවෙනි ලෝක යුද්දෙ වෙද්දි දවසට කොන්ඩම් මිලියන තුනක් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඇමරිකානු හමුදාවලට කොන්ඩම් ලබාදීම. 1940 ගණන්වලදි ප්ලාස්ටික් සහ පොලියුරතේන්වලින් කොන්ඩම් හදන්න ගත්තට ඒවා වැඩි කාලයක් පැවතුනේ නෑ. මේ අතර පළවෙනි පාට පාට කොන්ඩමය ජපානයේ නිෂ්පාදනය වෙනවා.
    1960-70 වෙනකල් කොන්ඩම් අලෙවිය වැඩිවෙනවා. ඊට පස්සෙ එකපාරටම ඒක කඩන් වැටෙනවා. ඒකට හේතුව වෙන්නෙ උපත් පාලන පෙත්ත සහ IUD ක්‍රමයන් හඳුන්වාදීම. උපත් පාලනය කියන හේතුවට කොන්ඩම් එක්ක තවත් තරගකරුවන් ඉදිරිපත් වෙනවා.

    මේ විදිහෙ උපත් පාලන ක්‍රම ගණනාවක් හඳුන්වාදුන්නට 1965 වෙනකල්ම ඒවා තහනම් විදිහටයි පවතින්නෙ. කනෙක්ටිකට් වල ශ්‍රේෂ්ටාධිකරණය පළවෙනි වතාවට විවාහක අයට උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න නීතිමය අවසරය දෙනවා. අවිවාහක අයට උපත් පාලන අයිතිය ලැබෙන්නෙ තවත් අවුරුදු හතකට පස්සෙ. ඒ කොහොම වුනත් 1977 දක්වාම කොන්ඩම් ඇඩ්වර්ටයිස් කරන්න තහනම්. මේ දැන්වීම පළකිරීම නීතිගත වුනාට පස්සෙ වුනත් රූපවාහිනී ආයතන තමන් විසින්ම ඒවා බාරගැනීම ප්‍රතික්‍ෂේප කළා.

    නැවත කොන්ඩම් ජනප්‍රිය වෙන්නෙ 1980 ගණන්වල HIV පැතිරෙන්න ගන්නවත් එක්ක. ඒත් මේ මාධ්‍ය නාලිකා කොන්ඩම් පිළිබඳ දැනුවත් කිරීම් තමන් විසින්ම වාරණය කරනවා. ඇමරිකානු ජ්‍යෙෂ්ට හමුදා වෛද ්‍යවරුන් පවා මේ දැනුවත් කිරීම් මාධ්‍ය විසින් කළ යුතුයි කියල කිව්වත් ඒ අය ඇහුම්කන් දෙන්නෙ නෑ. ඒ මාධ්‍ය බයවෙනවා උපත් පාලනයට විරුද්ධ තමන්ගේ පාරිභෝගිකයන් තමන්ට අහිමි වෙයි කියල. ඒ දැන්වීම් මගින් ප්‍රජාවගේ යහපත් රසය සහ පිළිගැනීම පිළිබඳ තත්වයන් කඩකරනවා කියල ඒ අය කියනවා.

    පළමු වරට කොන්ඩම් ඇඩ් එකක් ටීවී එකේ යන්නෙ 1991දි. ඒ ට්‍රෝජන් කොන්ඩම් ගැන. එතනදි කොන්ඩම් එකෙන් සිද්ද වෙන රෝග වැළැක්වීම ගැන මිස උපත් පාලනය ගැන කිසි දෙයක් කතා කරන්නෙ නෑ. මේ අවුරුද්දෙම ෆොක්ස් ච ැනල් එක ශ්මිඩ්ගෙ රැම්සස් ඇඩ් එක ප්‍රතික්‍ෂේප කරනවා ඒකෙ ශුක්‍රානු විනාශ කිරීමක් දැක්වෙනවා කියල. ප්‍රයිම් ටයිම් එකේ පළවෙනි වතාවට කොන්ඩම් දැන්වීමක් ප්‍රචාරය වෙන්නෙ 2005දි. 2007දිත් ෆොක්ස් එක මේ දැන්වීම් බාරගැනීම ප්‍රතික්‍ෂේප කරනවා ඔවුන් උපත් පාලනයට විරුද්ධ නිසා.

    ඉතින් අදටත් ලංකාවෙ කොන්ඩම් එකක් පොලිසිය විසින් නීති විරෝධී හෝ අපහාසාත්මක, අපචාරාත්මක තත්වයකින් සැලකීම ගැන වැඩිය පුදුම වෙන්න දෙයක් නෑ. ඒත් මේ පුංචි රබර් කොපුව තමයි ලිංගික රෝග බෝවීමේ අවදානම වළක්වන, ලිංගික නිදහස ආරක්ෂා කරන ප්‍රබලම මෙවලම වෙන්නෙ.

    HIV වලට බයවෙන්න දෙයක් නෑ!

    මේ වෙද්දි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක HIV සාර්ථකව පාලනය කිරීමට ඖෂධ සොයාගෙන ඇති නිසා තවදුරටත් මේක බිය විය යුතු මාරාන්තික රෝගයක් නෙමෙයි. නිසි උපදෙස් මත ඖෂධ ලබාගන්නවා නම් ලිංගිකව හැසිරුනද ඔබෙන් තව කෙනෙකුට HIV බෝවෙන්නෙත් නෑ. මේ නිසා HIV ඇති අය සමාජයෙන් කොන්කිරීම හෝ ඒ අය ගැන බයෙන් කලබල වීම නූතන යුගයට අයිති හැසිරීමක් නෙමෙයි. ඒ නොදැනුවත් බව පිළිබඳ කතන්දර.

    මේකෙන් අදහස් වෙන්නෙ අප්‍රවේශම්කාරී වීම ප්‍රශ්නයක් නෑ කියන එක නෙමෙයි. විවෘත ලිංගික ඇසුරකදි කොන්ඩමයක් පැළඳීම හැමවිටම වැදගත්. නමුත් යම් අතපසු වීමක් වුවහොත් දෙවන පියවර වන්නේ පරීක්ෂාවක් සිදුකරගෙන සැක බිය දුරුකර ගැනීම.

    අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු සති 4-6ක් අතර කාලයකදි මේ ටෙස්ට් එක කරගැනීම සුදුසු වෙනවා. මේ ටෙස්ට් එක නිසා ඔබේ ජීවිතයත් ඔබව ඇසුරු කරන අනෙක් අයගේ ජීවිතත් ආරක්ෂා වෙනවා. නෝටි වුනත් නයිස් විදිහට කරන සෙක්ස් කරන්න අපි ඉගෙන ගන්න ඕන.

    මේ ගීතය වෙනුවෙන් සුනිල් පෙරේරා මුදල් අයනොකරම තමන්ගේ ගීතයක තනුව සහ තමන්ගේ හඬ ලබාදීම විශේෂයෙන්ම අගය කළ යුතු දෙයක් වෙනවා.


    HIV සහ ලිංගාශ්‍රිත රෝග පර්යේෂණ සඳහා දුරකතනයෙන් පහසු වේලාවක් සහ දිනයක් වෙන් කරවා ගැනීමට

    www,know4sure.lk
    – 0766447873 – 0779803244
    ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන
    – 0112 66 71 63 – 0703 533 633