Sexual Behavior in the Human Male
ඇල්ෆ්‍රඩ් කින්සි කියන්නෙ සෙක්ස් කියන විෂයෙ මහා පිපිරුම. ෆ්‍රොයිඩ් එක පැත්තකින් ලිංගිකත්වය සම්බන්ධ මානසික කලාපය එලිපෙහෙලි කරගෙන එද්දි කින්සි සමාජ විද්‍යා ක්ෂේත්‍රයෙ මේ පුපුරුවා හැරීම කරනවා. ඒක වෙන්නෙ 1948 කින්සි විසින් ලියන සෙක්ෂුවල් බිහේවියර් ඉන් ද හියුමන් මේල් කියන පොතත් එක්ක. අද අපි ගත කරන ඉන්ටරේනෙට් සහ පෝර්න් යුගයෙ ඉඳන් බලද්දි මේ පොත කිසිම කම්පනයක් ඇති කරන එකක් නෙමෙයි. ඒත් 1940 ගණන්වල ඇමරිකානු සමාජයට ඒ ප්‍රකාශනයෙ කම්පනය බරපතල එකක් වුනා. ඒ කාලෙ ඇමරිකාව තිබුනෙ අද ලංකාව යන්න උත්සාහ කරන තැන. තනිකරම වික්ටෝරියානු සදාචාරය සමාජය රෝගී කරමින් තිබුන. ඒ කාලෙ ෆිල්ම් එකකවත් නිදන කාමරයක් පෙන්නන්න පුළුවන් වුනේ නෑ. ඒ නිදන කාමර දර්ශනවලදි හැමතිස්සෙම ඇඳන් දෙකක් තිබුන. එක ඇඳක නිදාගැනීම සංඥා කිරීම පවා අශ්ලීල වුනා. සිපගැනීමේ දර්ශනයක් චිත්‍රපටියක පෙන්නනවා නම් එක කකුලක් පොලොව ස්පර්ශ කරමින් තිබීම අනිවාර්ය වුනා. ඒක තමයි ශිෂ්ටත්වයේ මායිම. ෆිල්ම්වල සෙක්ස් පෙන්නුවෙම නෑ. ඒ වෙනුවට වැසි කුණාටු අකුණු වගේ ඒවා තමයි රූපවල තිබුනෙ.
ඒ කාලෙ තිබුන සෙක්ස් සම්බන්ධයෙන් ලියවුනු ජනප්‍රිය පොතක්. ඒකෙ නම ද අයිඩියල් මැරේජ්. ඒ කියන්නෙ පරමාදර්ශී විවාහය කියන එක. ඒක ලියන්නෙ තියඩෝර් වෙල්ඩික් හෙන්ද්‍රික් වැන්දිවොල්ට් කියන ඕලන්ද ජාතික ගයිනොකොලොජිස්ට් කෙනෙක්. මේක ලියන්නෙ 1926දි. මෙන්න මේ පොතත් එක්ක සංසන්දනය කරද්දි අපිට තේරුම් ගන්න පුළුවන් කින්සිගේ වැඩේ තියෙන විප්ලවකාරීබවේ තරම.
මුලින්ම මේ පොතේ නමම අයිඩියල් කසාදයක් කියන එක. ඒ කියන්නෙ එහෙම කසාදයක් තියෙනවා කියල පොතේ මුල් පිටුවෙන්ම අපි පිලිගන්නවා. ඒක තනිකරම ක්‍රිස්තියානි ආගමික දෘෂ්ටිවාදයක්. සැමියෙකුගේ සහ බිරිඳකගේ යුතුකම් ඒකෙ පරිච්ඡේද විදිහට බෙදා දැක්වෙනවා. හරියට අපේ සිඟාලෝවාදෙ වගේ. අවසානයේ මේ පිලිවෙත් පිලිපැදීමෙන් ලබන සතුටුදායක කසාද ජීවිතයක් පිළිබඳ සිහිනය ඒකෙ තියෙනවා.
කින්සි එයාගෙ පිරිමියෙකුගේ ලිංගික චර්යාව පොත අතාරින්නෙ මේ පසුබිම උඩට. එයාගෙ පොතේදි එයා කිසිම සදාචාරමය ආස්ථානයක් ගන්නෙ නෑ. ඒක විද්‍යාත්මක එළඹුමක් වෙන්නෙම මේ හින්ද. අද ලංකාවෙ දොස්තර කෙනෙක් මොකක් හරි දෙයක් ගැන කතා කරත් ඒක කරන්නෙ සදාචාර එළඹුමකින්. හොඳ නරක කියල බෙදා වෙන්කිරීමකින්. ඒක විද්‍යාව නෙමෙයි. විද්‍යාවෙ කිසිම දෙයක් හොඳ හෝ නරක වෙන්න බෑ. සභ්‍ය හෝ අසභ්‍ය වෙන්න බෑ. ප්‍රකෘති හෝ විකෘති වෙන්න බෑ. ඒ විදිහෙ අර්ථකතනයක් එනවා කියන්නෙම ඒක විද්‍යාත්මක නෑ කියන එක. අර අයිඩියල් මැරේජ් එකේ තිබුණු ආගමික ආස්ථානය ගන්නවා කියන එක.
කින්සි ඒ වෙනුවට ඒ මිනිස්සුන්ගෙ ඇත්ත ලිංගික ඉතිහාසයන් එකතු කරන්න ගන්නවා. කිසිම විනිශ්චයකින් තොරව සියල්ල වාර්තා කරනවා. ඒක පිටු 850ක දැවැන්ත පොතක්. ඒ පොතේ මිනිස්සු 6300ක ලිංගික ඉතිහාස කතාවන් අඩංගු වෙනවා. විවිධාකාරයේ අයගෙන් කින්සි දත්ත එකතු කරනවා. පිම්පියන්, හිරගෙවල්වල ඉන්න මිනිසුන්, සමලිංගිකයන්, ද්විලිංගිකයන්, පීඩොෆයිල් අය එක්ක පවා එයා සාකච්ඡා කරනවා.
ඒ අයගෙ මාස්ටර්බේෂන්, කසාදයට පෙර ලිංගික සම්බන්ධතා, කසාදයේ ලිංගික සම්බන්ධතා, කසාදයෙන් බැහැර ලිංගික සම්බන්ධතා, විකල්ප ලිංගික සම්බන්ධතා, අසාමාන්‍ය චර්යා ආදී සියල්ල ගැන තොරතුරු ලබාගන්නවා. මෙතනදි සිද්ද වුනු වැදගත්ම දෙයක් තමයි අර අයිඩියල් මැරේජ් කියන පොත ලියන විට උපකල්පනය කළ සමාජය යතාර්ථයක් වශයෙන් නොපවතින බව ඔප්පු වුනු එක. එක එක අයගේ විවිධාකාර ලිංගික චර්යාවන් සහ ආශාවන් හෙලිදරව් වුනා. තමන්ගේ වෙනස්කම තමන්ට පමණක්ම ඇති දෙයක් නෙමෙයි ඒ හා සමාන තවත් මිනිසුන් ඉන්න වග මිනිස්සුන්ට තේරුනා. ආගමෙන් සදාචාරයෙන් මවා පාන සමාජය ඇත්තක් නෙමෙයි කියන එක පැහැදිලි වුනා.
ලිංගිකත්වයේ ඇති විචිත්‍රත්වය සහ අප්‍රමාණ විවිධත්වය කින්සිගෙ පොතෙන් විදහා පෑවා. ඒ තමයි පළවෙනි වතාවට මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය සමාජයක් ඉදිරියේ වාස්තවික දත්ත හැටියෙන් නිරුවත් වුනු මොහොත. කින්සි තමන්ගේ වාර්තාවෙ කිසි තැනක ප්‍රකෘති විකෘති වගේ බෙදා දැක්වීම් කළේ නෑ. ඒ වෙනුවට ටිපිකල්, ඒටිපිකල් වගේ යෙදුම් වලින්, ඒ කියන්නෙ ආකෘතික සහ ආකෘතියෙන් පිට වැනි වචන යොදාගෙනයි එයා මේ සමාජ වර්ගීකරණය කළේ. කිසිම විදිහකින් ආචාර් ධර්මීය විනිශ්චයක් තමන්ගේ වාර්තාව ඇතුලට එන්න එයා ඉඩ තිබ්බෙ නෑ.
1960 ගණන් වලදි බිහිවෙන මාස්ටර්ස් සහ ජොන්සන් දෙවෙනි ලිංගික කැරැල්ලට පදනම වෙන්නෙ කින්සිගෙ මේ වාර්තා. මාස්ටර්ස්ලා සෙක්ස්වල තියෙන ජීව විද්‍යාත්මක අර්ධය පරීක්ෂා කළා. සුරතාන්තයකදි නිශ්චිතවම සිද්ද වෙන ශාරීරික වෙනස්කම් ආදිය උපකරණ භාවිතා කරමින් අධ්‍යනය කළා. කින්සි තමන්ගේ අධ්‍යනය අරගෙන ගියේ සමාජ විද්‍යාව පැත්තට.
එයා සත්ත්ව විද්‍යාඥයෙක්. දෙබරු ගැන පර්යේෂන කරපු කෙනෙක්. එයා මිනිස් ලිංගික චර්යාව අධ්‍යනය කරන්නත් මේ ක්‍රමවේදයන්ම පාවිච්චි කළා.
ඔය දැන් ලංකාවෙ ආණ්ඩුවට තියෙන අමාරුව ඒ කාලෙ ඇමරිකානු ආණ්ඩුවටත් තිබුන. මිනිස්සුන්ගෙ ජීවිතය ව්‍යවස්තාවලට අනුව පාලනය කරන්න උත්සාහ කළා. ඒ අයගේ පුද්ගලික ලිංගික චර්යාවන් සභ්‍ය අසභ්‍ය විදිහට හැඳින්නුවා. සමලිංගික චර්යාවන් වරදකාරී කළා. මේ තත්වයන් වෙනස් වෙන්න ගන්නෙ 1960 ආරම්භ වෙන හිපි විප්ලවයත් එක්ක. එක පැත්තකින් උපත්පාලන පෙති නිපදවෙනවා, ගෑනු රස්සාවලට යන්න පටන් ගන්නවා, දික්කසාද වීම් වැඩි වෙනවා, සමලිංගික සම්බන්ධතා විවෘත වෙනවා, කලු-සුදු විවාහයන් නීතිගත වෙන්නෙ පවා මේ කාලෙදි. මේ සියල්ලට කින්සිගේ වාර්තා බලපානවා.
1953දි කින්සි දෙවෙනි බෝම්බෙත් අතාරිනවා. ඒ තමයි සෙක්ෂුවල් බිහේවියර් ඉන් දි හියුමන් ෆීමේල්. මේකෙන් සිද්ද වුනු වැදගත්ම දේ තමයි ගැහැණිය යනුද ලිංගික සත්වයෙකි කියන එක මහ හඬින් ප්‍රකාශ වුනු එක. ඒක සදාචාරයේ කටු කඩලා යන තරමෙ එකක් වුනා.
මේ කින්සිගෙ බලකාය ඒ කාලෙ සියලු අසංස්කෘතික යැයි සැලකෙන ක්‍රියාවල යෙදුනා. කින්සි එයාගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ලිංගික ඇසුරන් පවත්වාගෙන ගියා. ඒ වගේම එයා බයිසෙක්ෂුවල් කෙනෙක්. ඇත්තටම කින්සිට මේ ලිංගික විෂය ඇතුලට යාමේ දරුණු අභියෝගය බාරගන්න හේතුවත් එයා ගැනම තිබුනු ලිංගික කුතුහලය කියන්න පුළුවන්.
එයාගේ වාර්තා අනුව වයස, කාලය, පරිසරය, සමාජය සහ දැන උගත්කම අනුව එක් එක් පුද්ගලයාගේ ලිංගිකත්වය පිළිබඳ දැනීම විඳීම වෙනස්වන ආකාරය පැහැදිලි කෙරුනා.
කින්සි සහ පිරිස විවිධාකාරයේ මිනිසුන් ලිංගික ක්‍රියාවල යෙදෙන හැටි රූපගත කළා. සෙක්ස් ෆෙටිෂ් ගැන චිත්‍රපටි හැදුවා. මේ හැම දෙයක්ම දත්ත විදිහට පමණක් එකතු කරන්න වගබලා ගත්තා. ඇතැම් විකෘති යැයි සලකන ලිංගික චර්යා ඇති අය සමග කළ සාකච්ඡාවන් හෙලිදරව් නොකිරීම ගැන නීතිමය ප්‍රශ්නවලට පවා කින්සි මැදි වුනා. මේ ආන්දෝලනාත්මක හෙලිදරව් කිරීම් නිසාම එයාට පර්යේෂණවලට ලැබුනු අරමුදල් පවා නැති වුනා.
ඒත් කින්සි අවසාන මොහොත වෙනකල්ම තමන්ගේ ලිංගික අරගලයේ හිටියා.