Tag: book

  • කින්සිගේ විප්ලවය

    කින්සිගේ විප්ලවය

    Sexual Behavior in the Human Male

    ඇල්ෆ්‍රඩ් කින්සි කියන්නෙ සෙක්ස් කියන විෂයෙ මහා පිපිරුම. ෆ්‍රොයිඩ් එක පැත්තකින් ලිංගිකත්වය සම්බන්ධ මානසික කලාපය එලිපෙහෙලි කරගෙන එද්දි කින්සි සමාජ විද්‍යා ක්ෂේත්‍රයෙ මේ පුපුරුවා හැරීම කරනවා. ඒක වෙන්නෙ 1948 කින්සි විසින් ලියන සෙක්ෂුවල් බිහේවියර් ඉන් ද හියුමන් මේල් කියන පොතත් එක්ක. අද අපි ගත කරන ඉන්ටරේනෙට් සහ පෝර්න් යුගයෙ ඉඳන් බලද්දි මේ පොත කිසිම කම්පනයක් ඇති කරන එකක් නෙමෙයි. ඒත් 1940 ගණන්වල ඇමරිකානු සමාජයට ඒ ප්‍රකාශනයෙ කම්පනය බරපතල එකක් වුනා. ඒ කාලෙ ඇමරිකාව තිබුනෙ අද ලංකාව යන්න උත්සාහ කරන තැන. තනිකරම වික්ටෝරියානු සදාචාරය සමාජය රෝගී කරමින් තිබුන. ඒ කාලෙ ෆිල්ම් එකකවත් නිදන කාමරයක් පෙන්නන්න පුළුවන් වුනේ නෑ. ඒ නිදන කාමර දර්ශනවලදි හැමතිස්සෙම ඇඳන් දෙකක් තිබුන. එක ඇඳක නිදාගැනීම සංඥා කිරීම පවා අශ්ලීල වුනා. සිපගැනීමේ දර්ශනයක් චිත්‍රපටියක පෙන්නනවා නම් එක කකුලක් පොලොව ස්පර්ශ කරමින් තිබීම අනිවාර්ය වුනා. ඒක තමයි ශිෂ්ටත්වයේ මායිම. ෆිල්ම්වල සෙක්ස් පෙන්නුවෙම නෑ. ඒ වෙනුවට වැසි කුණාටු අකුණු වගේ ඒවා තමයි රූපවල තිබුනෙ.

    ඒ කාලෙ තිබුන සෙක්ස් සම්බන්ධයෙන් ලියවුනු ජනප්‍රිය පොතක්. ඒකෙ නම ද අයිඩියල් මැරේජ්. ඒ කියන්නෙ පරමාදර්ශී විවාහය කියන එක. ඒක ලියන්නෙ තියඩෝර් වෙල්ඩික් හෙන්ද්‍රික් වැන්දිවොල්ට් කියන ඕලන්ද ජාතික ගයිනොකොලොජිස්ට් කෙනෙක්. මේක ලියන්නෙ 1926දි. මෙන්න මේ පොතත් එක්ක සංසන්දනය කරද්දි අපිට තේරුම් ගන්න පුළුවන් කින්සිගේ වැඩේ තියෙන විප්ලවකාරීබවේ තරම.

    මුලින්ම මේ පොතේ නමම අයිඩියල් කසාදයක් කියන එක. ඒ කියන්නෙ එහෙම කසාදයක් තියෙනවා කියල පොතේ මුල් පිටුවෙන්ම අපි පිලිගන්නවා. ඒක තනිකරම ක්‍රිස්තියානි ආගමික දෘෂ්ටිවාදයක්. සැමියෙකුගේ සහ බිරිඳකගේ යුතුකම් ඒකෙ පරිච්ඡේද විදිහට බෙදා දැක්වෙනවා. හරියට අපේ සිඟා‍ලෝවාදෙ වගේ. අවසානයේ මේ පිලිවෙත් පිලිපැදීමෙන් ලබන සතුටුදායක කසාද ජීවිතයක් පිළිබඳ සිහිනය ඒකෙ තියෙනවා.

    කින්සි එයාගෙ පිරිමියෙකුගේ ලිංගික චර්යාව පොත අතාරින්නෙ මේ පසුබිම උඩට. එයාගෙ පොතේදි එයා කිසිම සදාචාරමය ආස්ථානයක් ගන්නෙ නෑ. ඒක විද්‍යාත්මක එළඹුමක් වෙන්නෙම මේ හින්ද. අද ලංකාවෙ දොස්තර කෙනෙක් මොකක් හරි දෙයක් ගැන කතා කරත් ඒක කරන්නෙ සදාචාර එළඹුමකින්. හොඳ නරක කියල බෙදා වෙන්කිරීමකින්. ඒක විද්‍යාව නෙමෙයි. විද්‍යාවෙ කිසිම දෙයක් හොඳ හෝ නරක වෙන්න බෑ. සභ්‍ය හෝ අසභ්‍ය වෙන්න බෑ. ප්‍රකෘති හෝ විකෘති වෙන්න බෑ. ඒ විදිහෙ අර්ථකතනයක් එනවා කියන්නෙම ඒක විද්‍යාත්මක නෑ කියන එක. අර අයිඩියල් මැරේජ් එකේ තිබුණු ආගමික ආස්ථානය ගන්නවා කියන එක.

    කින්සි ඒ වෙනුවට ඒ මිනිස්සුන්ගෙ ඇත්ත ලිංගික ඉතිහාසයන් එකතු කරන්න ගන්නවා. කිසිම විනිශ්චයකින් තොරව සියල්ල වාර්තා කරනවා. ඒක පිටු 850ක දැවැන්ත පොතක්. ඒ පොතේ මිනිස්සු 6300ක ලිංගික ඉතිහාස කතාවන් අඩංගු වෙනවා. විවිධාකාරයේ අයගෙන් කින්සි දත්ත එකතු කරනවා. පිම්පියන්, හිරගෙවල්වල ඉන්න මිනිසුන්, සමලිංගිකයන්, ද්විලිංගිකයන්, පීඩ‍ොෆයිල් අය එක්ක පවා එයා සාකච්ඡා කරනවා.

    ඒ අයගෙ මාස්ටර්බේෂන්, කසාදයට පෙර ලිංගික සම්බන්ධතා, කසාදයේ ලිංගික සම්බන්ධතා, කසාදයෙන් බැහැර ලිංගික සම්බන්ධතා, විකල්ප ලිංගික සම්බන්ධතා, අසාමාන්‍ය චර්යා ආදී සියල්ල ගැන තොරතුරු ලබාගන්නවා. මෙතනදි සිද්ද වුනු වැදගත්ම දෙයක් තමයි අර අයිඩියල් මැරේජ් කියන පොත ලියන විට උපකල්පනය කළ සමාජය යතාර්ථයක් වශයෙන් නොපවතින බව ඔප්පු වුනු එක. එක එක අයගේ විවිධාකාර ලිංගික චර්යාවන් සහ ආශාවන් හෙලිදරව් වුනා. තමන්ගේ වෙනස්කම තමන්ට පමණක්ම ඇති දෙයක් නෙමෙයි ඒ හා සමාන තවත් මිනිසුන් ඉන්න වග මිනිස්සුන්ට තේරුනා. ආගමෙන් සදාචාරයෙන් මවා පාන සමාජය ඇත්තක් නෙමෙයි කියන එක පැහැදිලි වුනා.

    ලිංගිකත්වයේ ඇති විචිත්‍රත්වය සහ අප්‍රමාණ විවිධත්වය කින්සිගෙ පොතෙන් විදහා පෑවා. ඒ තමයි පළවෙනි වතාවට මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය සමාජයක් ඉදිරියේ වාස්තවික දත්ත හැටියෙන් නිරුවත් වුනු මොහොත. කින්සි තමන්ගේ වාර්තාවෙ කිසි තැනක ප්‍රකෘති විකෘති වගේ බෙදා දැක්වීම් කළේ නෑ. ඒ වෙනුවට ටිපිකල්, ඒටිපිකල් ‍වගේ යෙදුම් වලින්, ඒ කියන්නෙ ආකෘතික සහ ආකෘතියෙන් පිට වැනි වචන යොදාගෙනයි එයා මේ සමාජ වර්ගීකරණය ‍කළේ. කිසිම විදිහකින් ආචාර් ධර්මීය විනිශ්චයක් තමන්ගේ වාර්තාව ඇතුලට එන්න එයා ඉඩ තිබ්බෙ නෑ.

    1960 ගණන් වලදි බිහිවෙන මාස්ටර්ස් සහ ජොන්සන් දෙවෙනි ලිංගික කැරැල්ලට පදනම වෙන්නෙ කින්සිගෙ මේ වාර්තා. මාස්ටර්ස්ලා සෙක්ස්වල තියෙන ජීව විද්‍යාත්මක අර්ධය පරීක්ෂා කළා. සුරතාන්තයකදි නිශ්චිතවම සිද්ද වෙන ශාරීරික වෙනස්කම් ආදිය උපකරණ භාවිතා කරමින් අධ්‍යනය කළා. කින්සි තමන්ගේ අධ්‍යනය අරගෙන ගියේ සමාජ විද්‍යාව පැත්තට.

    එයා සත්ත්ව විද්‍යාඥයෙක්. දෙබරු ගැන පර්යේෂන කරපු කෙනෙක්. එයා මිනිස් ලිංගික චර්යාව අධ්‍යනය කරන්නත් මේ ක්‍රමවේදයන්ම පාවිච්චි කළා.

    ඔය දැන් ලංකාවෙ ආණ්ඩුවට තියෙන අමාරුව ඒ කාලෙ ඇමරිකානු ආණ්ඩුවටත් තිබුන. මිනිස්සුන්ගෙ ජීවිතය ව්‍යවස්තාවලට අනුව පාලනය කරන්න උත්සාහ කළා. ඒ අයගේ පුද්ගලික ලිංගික චර්යාවන් සභ්‍ය අසභ්‍ය විදිහට හැඳින්නුවා. සමලිංගික චර්යාවන් වරදකාරී කළා. මේ තත්වයන් වෙනස් වෙන්න ගන්නෙ 1960 ආරම්භ වෙන හිපි විප්ලවයත් එක්ක. එක පැත්තකින් උපත්පාලන පෙති නිපදවෙනවා, ගෑනු රස්සාවලට යන්න පටන් ගන්නවා, දික්කසාද වීම් වැඩි වෙනවා, සමලිංගික සම්බන්ධතා විවෘත වෙනවා, කලු-සුදු විවාහයන් නීතිගත වෙන්නෙ පවා මේ කාලෙදි. මේ සියල්ලට කින්සිගේ වාර්තා බලපානවා.

    1953දි කින්සි දෙවෙනි බෝම්බෙත් අතාරිනවා. ඒ තමයි සෙක්ෂුවල් බිහේවියර් ඉන් දි හියුමන් ෆීමේල්. මේකෙන් සිද්ද වුනු වැදගත්ම දේ තමයි ගැහැණිය යනුද ලිංගික සත්වයෙකි කියන එක මහ හඬින් ප්‍රකාශ වුනු එක. ඒක සදාචාරයේ කටු කඩලා යන තරමෙ එකක් වුනා.

    මේ කින්සිගෙ බලකාය ඒ කාලෙ සියලු අසංස්කෘතික යැයි සැලකෙන ක්‍රියාවල යෙදුනා. කින්සි එයාගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ලිංගික ඇසුරන් පවත්වාගෙන ගියා. ඒ වගේම එයා බයිසෙක්ෂුවල් කෙනෙක්. ඇත්තටම කින්සිට මේ ලිංගික විෂය ඇතුලට යාමේ දරුණු අභියෝගය බාරගන්න හේතුවත් එයා ගැනම තිබුනු ලිංගික කුතුහලය කියන්න පුළුවන්.

    එයාගේ වාර්තා අනුව වයස, කාලය, පරිසරය, සමාජය සහ දැන උගත්කම අනුව එක් එක් පුද්ගලයාගේ ලිංගිකත්වය පිළිබඳ දැනීම විඳීම වෙනස්වන ආකාරය පැහැදිලි කෙරුනා.

    කින්සි සහ පිරිස විවිධාකාරයේ මිනිසුන් ලිංගික ක්‍රියාවල යෙදෙන හැටි රූපගත කළා. සෙක්ස් ෆෙටිෂ් ගැන චිත්‍රපටි හැදුවා. මේ හැම දෙයක්ම දත්ත විදිහට පමණක් එකතු කරන්න වගබලා ගත්තා. ඇතැම් විකෘති යැයි සලකන ලිංගික චර්යා ඇති අය සමග කළ සාකච්ඡාවන් හෙලිදරව් නොකිරීම ගැන නීතිමය ප්‍රශ්නවලට පවා කින්සි මැදි වුනා. මේ ආන්දෝලනාත්මක හෙලිදරව් කිරීම් නිසාම එයාට පර්යේෂණවලට ලැබුනු අරමුදල් පවා නැති වුනා.

    ඒත් කින්සි අවසාන මොහොත වෙනකල්ම තමන්ගේ ලිංගික අරගලයේ හිටියා.

  • මලක සුවඳින් අවදිවන්න

    මලක සුවඳින් අවදිවන්න

    පෘතුවිය. අවුරුදු මිලියන 114ට කලින් එක උදේක ඉර පායමින් තිබුන. පෘතුවිය මත පළමු වරට ඉර රැස් විඳිමින් මල් පිපෙමින් තිබුන. පෘතුවිය මත ශාඛ ජීවිතය විශාල පරිණාමීය වෙනසකට ලක් කළ මේ සිදුවීමට අවුරුදු මිලියන ගානකට කලින් පෘතුවිය ශාඛවලින් ආවරණය වෙලා තිබුන. මුලින්ම පිපුනු මල් වැඩි වෙලාවක් නොතිබෙන්න ඇති. කොහොමටත් මල් කියන එකම දුර්ලභ සංසිද්ධියක් වෙන්න ඇති. මොකද ඒ වෙනකොටත් මල් හැමතැනම පිපෙන්න කාරණා සකස් වෙලා තිබුනෙ නෑ. එක දවසක මේ සියල්ල සම්පූර්ණ වුනු මොහොතක පෘතුවිය පුරාම විවිධ වර්ණ වලින් විවිධ සුවඳින් මල් ඇතිරිල්ලක් එලෙන්න ඇති. ඒක විඳගත හැකි සවිඥාණයක් ඒ වෙද්දි තිබුනා නම්….

    ඊට ගොඩකාලෙකට පස්සෙ මේ මල් කියන සියුමැලි සුවඳ ජීවීන් තවත් වර්ගයකගේ සවිඥානකත්වයේ වැදගත්ම පරිවර්තනයක් ඇති කරනවා. මානවයො මේ මල්වල අලංකාරයට වශී වෙනවා, ඒවායින් ආස්වාදයට පත්වෙනවා. මානවයාගේ සවිඥානය වර්ධනය වෙද්දි තමන්ට උපයෝගීතාවයක් නැති නමුත් ඔවුන් වටිනාකමෙන් සළකපු පළමු දේ බොහෝවිට මල් වෙන්න ඉඩතියෙනවා. මල්වලින් මානවයාගේ ජීවිතය ගලවා ගැනීම වගේ දේකට උදව්වක් නෑ. ඒත් ඒවා ගිණිය නොහැකි තරම් කලාකරුවන් කවීන් මුනිවරයන් අවදි කරලා තියෙනවා. ඉන්ස්පයර් කරලා තියෙනවා. මල් දෙස බලා සිට ජීවත්වෙන හැටි උගන්නැයි ජේසුස් අපිට කියනවා. බුදුන් මලක් පාවිච්චි කරලා නිහඬ දේශනාවක් කරනවා. එයා මල අල්ලාගෙන ඒ දෙස බලා සිටින්නැයි කියනවා. ටික වෙලාවකට පස්සෙ ඒ පිරිස අතර හිටපු මහා කාශ්‍යප තෙරුන්ගෙ මුවට මදහසක් නැගෙනවා. එතන හිටපු අයගෙන් මේ දේශනය වැටුහුනු එකම කෙනා මහා කාශ්‍යප. පුරාවෘත්තයෙ හැටියට මේ අවබෝධයේ මදහස ආචාර්යවරුන් වහන්සේලා විසි අටකට උරුම වෙනවා. එතැනින් සෙන් දහමේ උපත සිදුවෙනවා.

    මලක සුන්දරත්වය දැකීමෙන් සුළු මොහොතකට හෝ ඕනම මනුෂ්‍යයෙක් තමන්ගේ අභ්‍යන්තර සුන්දරත්වයට අවදි වෙනවා. ඔවුන්ගේ සැබෑ ස්වභාවයට අවදි වෙනවා. මානව සවිඥානකත්ව පරිණාමයේ සුවිශේෂතම තැනක් තමයි මේ සුන්දරත්වය කියන දේ වැටහීම. සතුටේ සහ ආදරයේ හැඟීම් මේ දැනීමත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලයි තියෙන්නෙ. අපි නොදැනුවත් වුනත් මලක් අපිට කියන්නෙ අපි තුල පවතින හැඩයක් නැති, උසස්, දිව්‍යමය තත්වයක් ගැන හැඟීමක්. මලක් කියන්නෙ ඉතාම කෙටි වෙලාවක් පවතින අතිශයින්ම සියුමැලි ආධ්‍යාත්මික බවක් දනවන විකසිත වීමක්. ඒක ඒ මල දරන ගහට ඇති ගුණයක් නෙමෙයි. ඒක හරියට වෙන යතාර්ථයකින් අපිට එවන පණිවුඩයක් වගේ. හැඩයන් ආකෘතීන් පවතින මේ ලෝකයත් ආකෘතියක් හැඩයක් නොමැති වෙනත් ලෝකයකුත් අතර පාලමක්. මල් වලින් දැනෙන සුවඳ මතුපිට සංවේදනයක් විතරක් නෙමෙයි. ඒ සුවඳ කියන්නෙ ඇතුලතින් දැනෙන හැඟීමකුත් වෙනවා. අවබෝධයට පත්වීම නැත්තං එන්ලයිට්න්මන්ට් කියන එක වඩා පුළුල් අදහසකින් ගත්තොත් මලක් පිපෙනවා කියන්නෙ ගහක් අවබෝධයට පත්වීම කියල අපිට දකින්න පුළුවන්.ඕනම ජීවිත ආකෘතියක් අවබෝධයට පත්වෙනවා කියල අපිට කියන්න පුළුවන්. ඛනිජයක් වුනත්, එළවලුවක් වුනත්, සතෙක්, මනුස්සයෙක් වුනත් මේ අව‍බෝධයට පත්වීමේ ක්‍රියාවලිය තුලින් ගමන් කරනවා. ඒත් ඒක අන්තිම විරල සිදුවීමක්. මොකද ඒක පරිණාමීය ක්‍රියාව ඉක්මවා යන්නක්. එක විදිහකට ඒ පරිණාමීය භෞතික ක්‍රියාවෙන් ඛන්ඩනයක් සලකුනු කිරීමක්. වෙනම පැවැත්මකට ගන්නා වූ පිම්මක්. වැදගත්ම දේ ඒක ‍භෞතිකත්වයෙන් අඩුවීමක් දුරස්වීමක් දැනෙන තැනක්.


    Echart Tolle

    A New Earth

  • SEX / MADONNA

    SEX / MADONNA

    1992දි මැඩොනා සෙක්ස් කියල පොතක් ලියනවා. ඒක කොෆි ටේබල් බුක් එකක්. වෝනර් බ්‍රදර්ස්ලගෙ පොත් සමාගම සහ මැවෙරික් කියන මැඩොනාගෙ එන්ටර්ටේන්මන්ට් කොම්පැනිය එකතු වෙලා පොත කරන්නෙ. ඒකෙ ගොඩක් තියෙන්නෙ ෆොටෝස්. ඒවා සැඩොමැසොකිසම් නැත්තං ස්ව/පරපීඩකකාමය පැත්තට බර නිරුවත් ඡායාරූප.

    මැඩොනා මේ පොත වෙනුවෙන් තමන්ට චරිතයක් නිර්මාණය කරනවා. එයාගෙ නම මිස්ට්‍රස් ඩීටා. 1930 ගණන්වල ජර්මානු නිළියක් වුනු ඩීටා පාර්ලොගෙන් තමයි එයා මේ නම ගන්නෙ. මේ පොතේ බිග් ඩැඩි, වැනිලා අයිස්, නයොමි කැම්බල් වගේ අය ගරු නිරූපණ කරනවා. පොත එන්නෙ ඇලුමිනියම් කවරයක් එක්ක.

    පොතත් එක්ක මැඩොනාගෙ ඉරොටික් කියන සිංදුවෙ තනි සීඩී එකක් තිබුන. ඒ සිංදුවත් ඇතුලත් ඉරොටිකා ඇල්බම් එක රිලීස් වුනදාට පහුවෙනිද තමයි පොත එලියට එන්නෙ. පලවෙනි දවසෙ විතරක් පොත් 150,000ක් විකිනෙනවා. වැඩිම වේගයකින් අලෙවි වුනු කොෆි ටේබල් බුක් එක විදිහට සෙක්ස් ඉතිහාසගත වෙනවා. ඊටපස්සෙ පිටපත් මිලියන 1.5ක් අලෙවි කරමින් නිව්යෝර්ක් ටයිම්ස් බෙස්ට් සෙලර් ලිස්ට් එකේ උඩට එනවා.

    සෙක්ස් පොතට පුදුම තරමෙ අවධානයක් ලැබෙනවා. ඒ වගේම සදාචාරවාදීන් සහ ස්ත්‍රීවාදීන් පන්න පන්නා පහර දෙන්නත් ගන්නවා. ඒත් මැඩෝනා තමන්ගෙ නිර්මාණය වෙනුවෙන් නොසැලී පෙනී ඉන්නවා. පහුවෙද්දි විචාරකයො අතර මේ පොතෙන් ඇති කරන සංස්කෘතික බලපෑම ගැන කතිකා ඇති වෙන්න පටන් ගන්නවා. ඉතාම නිර්භීත පශ්චාත් ස්ත්‍රීවාදී- පෝස්ට් ෆෙමිනිස්ට් වැඩක් විදිහට පොත සළකුනු වෙනවා. මුද්‍රිත පොත් අතර වඩා ඉක්මණින් මුද්‍රණ අවසන් වෙන පොතක් විදිහටත් සෙක්ස් වාර්තා තියනවා

    මේ පොතට ආපු දැඩි විරෝධයට මැඩෝනා එයාගෙ ආර්ට් ඇතුලෙන්ම උත්තර දුන්නා. එයා හියුමන් නේචර් කියන සිංදුවෙ මෙහෙම කියනවා.
    මම මොනවා හරි වැරදි දෙයක් කිව්වද? ඌප්ස්.. මම දැනගෙන හිටියෙ නෑ මට සෙක්ස් ගැන කතා කරන්න බෑ කියල.. මම සොරි කියන්නෙ නෑ. ඒක මනුස්ස ස්වභාවය – හියුමන් නේචර්

    මේ පොතට ෆොටෝ 80000ක් විතර අරගෙන තියෙනවා. ඒත් පාවිච්චි කරලා තියෙන්නෙ මේකෙන් අල්පයයි. මේ පොතේ එන ප්‍රචන්ඩ ෆොටෝ ගැන සෑහෙන කතාබහ ඇතිවුනා. මේක ආර්ට් නෙමෙයි පෝර්න් කියල කිව්වා. මැඩෝනා සෙක්ස්වලට ගිහින් ඉවර වුනා කියල කිව්වා.

    මේ ගැන මැඩෝනා එක්ක කරන එම්ටීවී ඉන්ටවිව් එකකදි අහනවා. මිනිස්සු මේක බාරගන්න එකක් නෑ කියල හිතුවෙ නැද්ද කියල. මොකද ඒ කාලෙ සෙක්ස්වලට තිබුන සංස්කෘතික වාරණයත් එක්ක.
    මැඩෝනා කියනවා,

    “මං ඒක කළේම මට එහෙම මිනිස්සු මේක බාරගන්න එකක් නෑ කියල නිකං ඉන්න බැරි වුන හින්ද. මේ පොතෙත් ඇල්බම් එකෙත් මං කතා කරන්නෙ ඇමරිකාවෙ තියෙන සෙක්ෂුවල් රිප්‍රෙෂන් එක ගැන. මං හිතන්නෙ මේක තමයි ඒක කතා කරන්න හරිම වෙලාව..
    යුරෝපය ඇත්තටම මේ වගේ දේවල් ගැන අපිට වඩා විවෘතව බාරගන්නාසුලුයි. ඒ ගොල්ලො වැඩක ආර්ටිස්ටික් වටිනාකම තේරුම්ගන්නවා. ඇමරිකාවෙ අයට බෑ තමන්ගෙ අගතීන් වලින් එලියට ඇවිත් මේ දේවල් සාකච්ඡාවට ගන්න”

    එතනදි නිවේදකයා අහනවා “ඒ කියන්නෙ ඔයා පිළිගන්න ලිංගික සදාචාරය යුරෝපියානු එකක්. ඇමරිකානු එකක් නෙමෙයි?”
    මැඩෝනා කියනවා ඔව් ඒක එහෙම පිළිගන්න වෙනවා කියල.

    මැඩොනා විශ්වාස කරන්නෙ සුන්දරත්වය නැත්තං අනුරාගයම තමයි කාන්තාවකගේ බලය කියල.
    “ඔයාට පුළුවන් ලස්සන කෙල්ලෙක් වෙලා ඕන නං නියපොතු පාට කර කර ගෙදරට වෙලා ඉන්න. නැත්තං ඔයාට පුළුවන් එලියට ඇවිත් සමාජයට මොනවා හරි දෙයක් කියන්න. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න. ඒ තමයි ඔයා ඔයාගෙ බලය පාවිච්චි කරන විදිහ”

    තමන්ගෙ ආර්ට් ඇතුලෙ ඇමරිකානු සමාජය වෙනස් ලිංගිකත්වයන්, වෙනස් ආශාවන් පිළිගන්න දිශාවට යම් හෝ වෙනස්කමක් ඇති කළා කියල මැඩෝනා විශ්වාස කරනවා.

    “මේ ඉරොටික් වීඩියෝවෙන් සෙක්ස් ග්ලැමරයිස් කරනවා කියල කෙනෙක් කියන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් ඒක පිලිකුල් සහගතයි කියන්නත් පුළුවන්. හැබැයි මං ඒකෙ කොතනවත් අනාරක්ෂිත සෙක්ස් ප්‍රමෝට් කරන්නෙ නෑ. කවුරු හරි සෙක්ස් ෆැන්ටසියක මාව සතෙක් වගේ දම්වැලකින් බැඳගෙන ගියා කියල ඒක අනාරක්ෂිත දෙයක් විදිහට මං දකින්නෙ නෑ…

    මගේ පොත මගේ වීඩියෝ එක කියන්නෙ ෆැන්ටසියක්. මං කියන්නෙ නෑ කාටවත් ඔයා ගිහින් මේක කරලා බලන්න කියල. ඒ වීඩියෝ එක බලලා පොත කියවලා ගන්න ආස්වාදය තමයි ඒ නිර්මාණයේ පරමාර්ථය. එතනින් එහා දෙයක් නෙමෙයි….
    මේ පොතේ මගේ දේවලුත් තියෙනවා. තව අයගෙ දේවලුත් තියෙනවා. ඕන කෙනෙක් ලියද්දි එහෙමයි. අන්තිමේදි ඒකෙ ෆැක්ට්ස් මොනවද ෆැන්ටසි මොනවද කියල වෙන් කරන්න බෑ…

    මේ පොත සහ වීඩියෝ එක මට මාව නිදහස් කරන අත්දැකීමක් වුනා. පොඩි ළමයින්ට විතරයි එහෙම නිරුවතින් ඉන්න පුළුවන් වෙන්නෙ. ඒ මුලු කාලය පුරාම මං හිටියෙ හිනාවෙවී. මට ආපහු මං පොඩි එකෙක් වුනා වගේ දැනුනා. පාරවල් දිගේ හෙළුවෙන් දුවන්න පුළුවන් වුනා…

    වෝනර් සමාගමෙන් මට සීමා තුනක් දුන්නා. ළමයි එක්ක සෙක්ස් බෑ. සත්තු එක්ක සෙක්ස් බෑ. ආගමික දේට නිග්‍රහ කරන්න බෑ. ඒ එකක්වත් මගේ සෙක්ෂුවල් ෆැන්ටසි නෙමෙයි. ඉතින් ඒවා ඇත්තටම මට සීමාවන් වුනේ නෑ….

    මගේ ප්‍රකාශනය මියුසික්ද, පොතක්ද, මොකක්ද කියල අදාල නෑ. මොකක් හරි ප්‍රකාශනයකින් මට ඕන දේ මං කියනවද කියන එක විතරයි අදාල. ඒක මිනිස්සු කොහොම ගන්නවද කියන එක ගැන මට කරන්න දෙයක් නෑ. මීඩියා ගැන මට පාලනයකුත් නෑ. ඒත් මං දන්නවා මට කියන්න ඕන වුනේ මොකක්ද කියල. ඒක විතරයි මගේ පාලනය යටතේ තියෙන්නෙ….

    සෙක්ස්වලදි අතපය බඳින එකේ දැනෙන සනීපයක් තියෙනවා. ඒක හරියට ඔයා පොඩි කාලෙ අම්මා කාර් සීට් එකට තියලා බෙල්ට් එක දානවා වගේ. එයාට ඕන ඔයාව පරිස්සම් කරන්න. ඒක ආදරයේ ක්‍රියාවක්…”

    – මැඩෝනා

    සෙක්ස් පොතෙන් වදන් හයක්

    1. හයිය වෙන්න. නිදහස සහ දෙවියන් විශ්වාස කරන්න. ඔයාට ආදරය කරන්න. ඔයාගෙ ලිංගිකත්වය තේරුම් ගන්න. හිනාවෙන් කල්ගත කරන්න. මාස්ටර්බේට් කරන්න. මිනිස්සුන්ව ඒ අයගෙ ආගමෙන්, පාටෙන්, ලිංගික පැවතුම්වලින් විනිශ්චය නොකරන්න. ජීවිතේට ආදරේ කරන්න.
    2. හැමෝම හිතනවා මං නිම්ෆොමේනියැක් කෙනෙක් කියල. සෙක්ස් හොයාගෙන පිස්සුවෙන් දුවනවා කියල. ඒත් ඇත්තටම මං වැඩිපුරම කරන්නෙ පැත්තකට වෙලා පොතක් කියවන එක.
    3. මං දන ගහන්නෙ යාඥා කරන්න නෙමෙයි.
    4. යවන්න ළංවෙද්දි හැමෝම ඔයාට ආදරෙයි
    5. සික් පර්වර්ට් අයට තමයි මං හැමදාම කැමති
    6. හොඳ හයිය ගෑනු ලොකු හිකීස් තියනවා.
  • තී හා තා

    තී හා තා

    සුරත් ද මැල්ගෙ තී හා තා පොත එලියට ආවම මගේ පළවෙනි ප්‍රතිචාරය වුනේ පොත නොකියවා ඉඳීම. ඒකට ලොකුම හේතුව වුනේ නම. තී හා තා කියපු ගමන් පරණ සිංහල සම්භාව්‍ය ගතියක් ඇවිත් මූට හරිහමන් නමක්වත් දාගන්න බෑ කියල හිතුන. දෙවෙනුව ඒ පොත සාහිත්‍ය සම්මානවලට නිර්දේශ වීම. සම්මාන ගන්නවා කියන්නෙම මං නොකියවන වර්ගයේ පොත්. මොකද සම්මාන දෙන්නෙ සාහිත්‍ය කෘතිවලට. මං කියවන්න කැමති සාහිත්‍ය නොවන කෘති. තෙවනුව ඒකට ආපු විචාර කදම්බය. එකපාරටම රටේ නම දරාපු විචාරකයො පොත ඉතසිතින් වර්ණනා කරන්න ගත්තා. ඒ වර්ණනාවල තිබුනෙම සබන්මය ගතියක් විතරයි. ඒක නිසා මම තෙවනුවත් තී හා තා නොකියවන්න තීරණය කළා.

    මට අහම්බෙන් යාලුවෙක් යූටියුබ් වැඩකට පොතක් ගැන කතා කරන්න ආරාධනා කළා. සාමාන්‍යයෙන් පොත් නොකියවන මම කල්පනා කළා මොන පොතක් ගැන කතා කරනවද කියල. එතකොට මට නැවත මතක් වුනා තී හා තා. මට ඕන වුනා ඒ පොතයි සම්මානයි විචාරයි ගැන කතා කරන්න. ඉතිං ග්‍රන්ථ එකේ එක්දින සේවාවෙන් පොත ගෙදරට ගෙන්න ගත්තා.

    ඒ පොත මගේ සියලු විනිශ්චයන් පරාජය කළා. ඒක කොහෙත්ම සම්මානවලට සුදුසු ගණයේ පොතක් නෙමෙයි. ඒක මං වගේ පිටුවහල් සාහිත්‍ය කැමති උන්ගෙ පොතක්. වැදගත්ම දේ ජීවිතේ පළවෙනි වතාවට මට පොතක් ඇතුලෙ මගේ ජීවිතේ එක්තරා අවධියක් විසඳෙනවා දැනුනා. ඒක පුද්ගලික වූත් ආත්මීය වූත් අත්දැකීමක්. තී හා තා කියන්නෙ අපේ පරම්පරාවක් එකට පැතූ ආදර හීනයක් ගැන ඇත්ත කතාව.

    ඒක අතිශය අවංක ලිවීමක්. තමන්ගෙ ජීවිතේ පොඩ්ඩක්වත් බේරන්න උත්සාහ නොගෙන සියල්ල නිරුවත් කර දැමීමක්. මං හරිම කැමතියි මිනිස්සු තමන්ගෙ ජීවිතේ ලියනවට. අර සුගපාලද සිල්වා කියනවා වගේ ජීවිතේ කණපිට ගහලා බලනවට. ඒවා සාහිත්‍ය නෙමෙයි. සාහිත්‍ය කියන්නෙ ජීවිතේ අමුවෙන් එලියට නොදැමීමේ උත්සාහයන්. ඊට සළුපිළි ඇන්දවීමේ වෑයම්. සුරත් කරන්නෙ තමන්ගේ ඇතුලට ගිහින් තමන්ව ලියන එක. වෙන කිසි දෙයක් එයා ලියන්නෙ නෑ. එයාවම විතරයි. ඒක ප්‍රචණ්ඩ ලිවීමක් කියලයි මං කියන්නෙ.

    ඒ වගේ පොතක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ගෞරවය මගේ කිසි හැඟීමක් වාරණය නොකර ඒ ගැන ලියන එක.

    අපි ආදරේ ගැන කතා කරනකොට හරිම සුන්දර විදිහට කුළුඳුල් ආදරේ ගැන කතා කරනවා. සමහරු ඒ කුළුඳුල් ආදරේ එක්ක මැරෙනකල්ම ජීවත් වෙනවා. හැමෝගෙම ඒ කාලෙ ප්‍රාර්ථනාව වෙන්නෙ ඒක.දඟකාර සමනල් අවධියේ අපි
    ඉගිලුනේ අපේක්ෂාවන් කරා
    පිණි සුළඟේ දැවටුනු කාංසියට ගී ගැයූ
    අපේ ගී ඇසුනේ අපට පමණයි…. ක්ලැරන්ස් සුසිමා එකේ කියනවා.

    තී හා තා කියන්නෙ ජීවිතේ තමන්ගෙ හීනයක් බඳු ආදරය කුළුඳුලේම හිමිවුනු තරුණයෙකුගේ ඛේදාන්තය. ඒ මදිවට ඒ හීනයක් වගේ ආදරය තමන්ගෙ පරම්පරාවෙ හැමෝමත් ඉතසිතින් පතන ඉරිසියා කරන සාමූහික හීනයක් වුනාම තත්වය වඩාත් දරුණුයි. ඒ හීනය තමන්සතු කරගැනීමෙන්ම ජීවිතයේ උපරිමය අත්පත් කරගත්තා හා සමාන එක්ස්ටසියකින් පෙළෙන ආදරයක රෝගය තමයි තී හා තා.
    මිනිහෙකුට තමන්ගේ හීනය සැබෑවීමේ භයංකාරය සුරත් ලියනවා.

    මේ කතාවෙ ලස්සන තියෙන්නෙ මේක 90 දශකෙ අපි හැමෝගෙම කතාව වුනු එක. සොයිසාපුර මහල් නිවාස එක්ක බැඳුනු අමුතු නාගරික සංස්කෘතිය මේ පොත ඇතුලෙ තියෙනවා. ඒ ජීවත් වුනු මිනිස්සු ගැන, ඒ පිට්ටනිවල උරපු කංසා ගැන, කෙල්ලොන්ගෙ පස්සෙන් ගිය පාරවල් ගැන ඒ පිටුවල තියෙනවා. ඒක ලංකාවෙ වෙනමම උපසංස්කෘතියක්. ඉන්ටර්නෙට් කාලෙට කලින්, මෝබයිල් යුගයට එළඹෙමින් ගතවුනු අපේ නව යොවුන් ප්‍රේමය තමයි ඒ. දහම් පාසැල් ඇතුලෙ, බස් හෝල්ට් ගානෙ, ආදරය වෙනුවෙන් ජීවිතේ ඕනම දෙයක් කරන්න ලෑස්ති ඒ කාලෙ ප්‍රේම ජින්තුව සුරත් පොතට ගේනවා.

    මේ පොතේ එන දිව්‍යාට අපි හැමෝම ආදරේ කළා. මගේ ජීවිතේ අවුරුදු හතරක් පහක් විතර දිව්‍යා වෙනුවෙන් දිව්‍යාත් නොදැන ගතවුනා. එතකොට ගීත්ගෙයි දිව්‍යාගෙයි ආදරේ හොඳින්ම යන දවස්. පොතේ සමහර තැන්වල ගීත් දිව්‍යා එක්ක මේ බස් හෝල්ට් එකේ ගතවුනු කතාව කියද්දි ඊට ටිකක් එහායින් දිව්‍යා එනකල් මං බලන් ඉඳපු තැන් පවා තියෙනවා. ඒ කියන්නෙ දිව්‍යා ගීත් ප්‍රේමයට සමාන්තරව පැවතුනු සැබෑ නොවූ ප්‍රේමයක කතාවක් මටත් තියෙනවා. මං විතරක් නෙමෙයි ඒ කාලෙ සිය දෙනෙකුට විතර දිව්‍යා ගැන එහෙම සමාන්තර කතා තියෙනවා. මගේ කතාව මං දිගන්තය පත්තරේට කොටස් වශයෙන් ලිව්වා. පෙම් කවක් ලියනවා මං ආයෙත් කියල නමකින්. මතක විදිහට අවසාන කොටස ලියන්න බැරි වුනා. එහෙම මාත් එක්ක රොමාන්තික පුද්ගල සම්බන්ධයක් තියෙන ප්‍රබන්ධයක් මට කියවන්න ලැබුනු පළවෙනි වතාව. ඒක හරිම අමුතු අත්දැකීමක්.

    මේ කතා කරන නවයොවුන් ප්‍රේමය ගැන ලියවුනු පුරාවෘත්ත තියෙනවා. වස්සාන සිහිනය, සුළඟ වගේ ඇවිදින් කියන්නෙ ඒ වගේ අපිව හොල්මන් කරපු ආදර කතන්දර. ඒත් සුරත් ලියන පෙම්වතාගෙ චරිතය මීට කලින් සාහිත්‍යයක අපිට මුනගැහිලා නෑ. ඒක හරිම සුවිශේෂී පිහිටීමක්. තමන්ගේ ජීවිතයේ ප්‍රාර්ථනා කළ හැකි උපරිම සිහිනය අත්පත් කරගත් පෙම්වතෙකුගේ ට්‍රැජඩිය අපි කලින් කියවලා නෑ. බාහිර හේතුවක් නැතුවම තමන්ගේ ඇතුලතින්ම පුපුරා යමින් විනාස වෙන ආදරයක කතාව කලින් ලියලා නෑ.මේ පෙම්වතා තමන් විතරක්ම වූ ලෝකෙක ජීවත් වෙන කෙනෙක්. එයාට ලෝකෙම කැරකෙන්නෙ එයාගෙ වටේ. එයා කැරකෙන්නෙ එයාගෙ පෙම්වතිය වටේ. නමුත් පෙම්වතිය කියන්නෙ එයාට තියෙන එකම වටිනාකම. ඒ හින්ද පෙම්වතිය කියන්නෙ එයාට අයිති වස්තුවක්.

    මේ නාසිස්මික ස්වභාවය නිසාම ගීත්ට ආදරේ කරන්න බැරි වෙනවා. තමන් ගැනම වූ තමන්ටම පාලනය කර ගත නොහැකි උද්දච්ඡකම විසින් එයාගෙ හැඟීම් අවහිර කරනවා. එයාගෙ ආදරය සැකය බය පාලනය මූලික එකක් වෙනවා. නාසිස්මික ප්‍රේමයක් කියන්නෙ විෂ සහිත සම්බන්ධයක්. ඒක ඇතුලෙ ඒ නාසිස්මික චරිතය විසින් අනෙකාගේ සියලු සාරයන් උරාබොනවා.

    නමුත් ඒක ආදරය කියල හඳුන්වනවා. ලංකාවෙ ගොඩක් ප්‍රේමකතාවල පෙම්වතා තමන්ගේ පෙම්වතිය ගැන දරන්නෙ පොසෙසිව් ආකල්පයක්. බනින, සැරකරන, සමහර විට ගහන පෙම්වතුන් ඕනතරම්. ඒ සියල්ල පෙම්වතියත් ආදරය හැටියෙන් තේරුම් ගන්නවා. කාලයත් එක්කයි ප්‍රශ්නය එලියට එන්න පටන් ගන්නෙ.

    ගීත් කියන්නෙ නාසිස්මික පෙම්වතෙක්. ඒ කියන්නෙ ආදරය කරන්න බැරි පෙම්වතෙක්. ඒකෙ තියෙන ශෝචනීය කාරණය වෙන්නෙ එයාගෙ ඇතුලෙ ඉන්නවා එයාටම නිදහස් කරගන්න බැරුව දුක්විඳින පීඩිත පෙම්වතෙක්. පිටත නරුමභාවය විසින් ඇත්තෙන්ම යටපත් කරන්නෙ එයාගෙම අභ්‍යන්තර ආත්මය.
    ගීත් ලෝකෙම දකින්නෙ ගේම් එකක් විදිහට. එයාට ඕන දිනන්න. එයාගෙ විදිහට. ඒ ගේම් එක ඇතුලෙ එයාට එයාවම මගඇරෙනවා. තී හා තා කියන්නෙ මේ නාසිස්මික ප්‍රේමයේ අභ්‍යන්තරය ඉතාම සියුම් විදිහට ලියවුනු තැනක්. පොතේ භාෂාවෙ උපහාසාත්මක ටෝන් එක පවා ඒ ගීත්ගේ ආත්මයේ සද්දෙ කියනවා. අපි කතාව පුරා යන්නෙ අපිටම දිරවන්නෙ නැති නරුමයෙක් එක්ක. ඒ නරුමයාගේ හැඟීම් එක්ක.

    ගීත් ජීවිතේ ආදරේ (නො)කරනවට වඩා දෙයක් කරන්නෙම නෑ. ඒ ආදරය කිරීම කියන්නෙ රිදවීමක් නැත්තං පීඩා කිරීමක්. කුළුඳුල් ආදරේ තිබුනු රොමාන්තික ගතිය කාලයත් එක්ක හඳගමගෙ ෆිල්ම් එකක ගානට එනවා.

    ප්‍රේමය කොයිතරම් විසකුරු වුනත් අපි ප්‍රේමයේ නාමයෙන්ම ඒක අල්ලගෙන ඉන්න වෙලාවල් තියෙනවා. මෙච්චර කාලයක් රැකගත් ප්‍රේමය කොහොම හරි ජීවත් කරන්න ට්‍රයි කරනවා. ගොඩක් ප්‍රේමකතා ගතවෙන්නෙ ඒ විදිහට. ළමයි, ගෙවල්, ව්‍යාපාර ප්‍රේමය පවත්වාගැනීමේ උපක්‍රම වෙනවා. අන්තිමට ප්‍රේමය පවත්වාගැනීමම අපිට මහන්සියක් වෙනවා. ඒ මහන්සියම ප්‍රේමය වෙනවා. මං මේ තරම් දේවල් කරලා තියෙනවා කියල හිතෙනවා. අපි ඒකට ආදරේ කියනවා.

    දිව්‍යා එක තැනකදි ගීත්ට මේක කියනවා. අපි පොඩි කාලෙ නොදැන ගත්ත තීරණවලට දැන් වගකියන්න බෑ කියල. ජීවිතේ ඊට වඩා ලොකුයි කියල. ඒත් ඒ වෙද්දි ගීත්ට දිව්‍යා කියන්නෙ තමන්ගෙ ශරීරයේ කෑල්ලක් මිසක් වෙනම ජීවිතයක් නෙමෙයි.

    තමන්ගේ පිරිමිබව පසක් කිරීමේ තරගයෙන් ගීත් දිනනවා. ඒත් ආදරෙන් එයා පරදිනවා. එයාගෙ ජීවිතේ බුද්ධත්වය ප්‍රත්‍යක්ෂ වෙන්නෙ එතනදි. සමස්ත ජීවිතය කියලම ගොඩනගා ගත්ත තේරුම එයාට අහිමි වෙනවා. ගීත්ට තමන්ගේ දෙවෙනි ඊඩිපස් ආවේශයෙන් විමුක්තිය ලබාදීමේ මහා කාර්යය දිව්‍යා විසින් කරනවා. පිරිමියෙක් ජීවිතේ තේරුම් ගන්නෙ ගැහැණියක් විසින් ආදරේ කුඩු කරන තැනදි.

    තී හා තා කියන නම පොතට එන හැටි මගදි කියවෙනවා. මගේ තේරුම් ගැනීමට පවා පොතේ හිනාවක් එනවා. ඒ වගේම අපි සම්භාව්‍යයි කියල හිතන ඒවා අපි නොහිතන විදිවලට නිර්මාණය වෙන්නත් පුළුවන් කියල යෝජනා කරනවා. ඒ ට්විස්ට් එක මරු.

    මේක මහා කතාන්දරයක් නෙමෙයි. මෙලෝ රහක් නැති කොල්ලෙකුගෙ ඔලුව ඇතුලෙ ඉඳන් ලෝකෙ සුන්දරම ගැහැණිය එක්ක ප්‍රේම ගමනක් තියෙන්නෙ. ඒ ගමන පුරාම අපි බලාපොරොත්තු වෙන්නෙ ඒ කෙල්ල ගීත්ගෙන් නිදහස් වෙන්න කියල. (ඇත්තට අපි දිව්‍යා පස්සෙන් ආපු කාලෙදි අපේ ඒකායන බලාපොරොත්තුව වුනෙත් ඒක) මොකද කතාව ඇතුලෙ අපිට ගීත් ඒ තරමට එපාවෙන හින්ද. ඒක එපාවීම ඇතුලෙ ඉන්ටරෙස්ට් එකක් හදන අමුතු සංයෝගයක්. ඒත් අන්තිම මොහොතේ ගීත්ගෙ නරුමයා දිව්‍යා විසින් මරාදමන තැනදි අර තමන්ට ඇත්තටම දැනෙන දේ කියාගන්න බැරි අසරණ ගීත් අපිට මුනගැහෙනවා. ගීත්ට ගීත් මුනගැහෙනවා. ඒත් ඒක සිද්ද වෙන්න දිව්‍යා යන්න ඕන.

    තී හා තා කියන්නෙ අනූව දශකයේ ආදර පුරාවෘත්තය. ඒක ලියාතැබීම සුරත් ද මැල් විසින් අපේ පරපුරටම කරපු රොමාන්තික මෙහෙවරක්. පොත කියවලා ඉවර වෙන තැනදි මට මෙතෙක් මගේ මතකය පතුලෙ නොවිසඳී තිබුනු අතීත වින්‍යාස ගොඩක් විසඳුනා. මගේ නව යොවුන් ප්‍රේමයක බන්ධනයෙන් මාව නිදහස් වුනා වගේ ආධ්‍යාත්මික හැඟීමක් ඒක.


    Chinthana Dharmadasa