සුරත් ද මැල්ගෙ තී හා තා පොත එලියට ආවම මගේ පළවෙනි ප්‍රතිචාරය වුනේ පොත නොකියවා ඉඳීම. ඒකට ලොකුම හේතුව වුනේ නම. තී හා තා කියපු ගමන් පරණ සිංහල සම්භාව්‍ය ගතියක් ඇවිත් මූට හරිහමන් නමක්වත් දාගන්න බෑ කියල හිතුන. දෙවෙනුව ඒ පොත සාහිත්‍ය සම්මානවලට නිර්දේශ වීම. සම්මාන ගන්නවා කියන්නෙම මං නොකියවන වර්ගයේ පොත්. මොකද සම්මාන දෙන්නෙ සාහිත්‍ය කෘතිවලට. මං කියවන්න කැමති සාහිත්‍ය නොවන කෘති. තෙවනුව ඒකට ආපු විචාර කදම්බය. එකපාරටම රටේ නම දරාපු විචාරකයො පොත ඉතසිතින් වර්ණනා කරන්න ගත්තා. ඒ වර්ණනාවල තිබුනෙම සබන්මය ගතියක් විතරයි. ඒක නිසා මම තෙවනුවත් තී හා තා නොකියවන්න තීරණය කළා.

මට අහම්බෙන් යාලුවෙක් යූටියුබ් වැඩකට පොතක් ගැන කතා කරන්න ආරාධනා කළා. සාමාන්‍යයෙන් පොත් නොකියවන මම කල්පනා කළා මොන පොතක් ගැන කතා කරනවද කියල. එතකොට මට නැවත මතක් වුනා තී හා තා. මට ඕන වුනා ඒ පොතයි සම්මානයි විචාරයි ගැන කතා කරන්න. ඉතිං ග්‍රන්ථ එකේ එක්දින සේවාවෙන් පොත ගෙදරට ගෙන්න ගත්තා.

ඒ පොත මගේ සියලු විනිශ්චයන් පරාජය කළා. ඒක කොහෙත්ම සම්මානවලට සුදුසු ගණයේ පොතක් නෙමෙයි. ඒක මං වගේ පිටුවහල් සාහිත්‍ය කැමති උන්ගෙ පොතක්. වැදගත්ම දේ ජීවිතේ පළවෙනි වතාවට මට පොතක් ඇතුලෙ මගේ ජීවිතේ එක්තරා අවධියක් විසඳෙනවා දැනුනා. ඒක පුද්ගලික වූත් ආත්මීය වූත් අත්දැකීමක්. තී හා තා කියන්නෙ අපේ පරම්පරාවක් එකට පැතූ ආදර හීනයක් ගැන ඇත්ත කතාව.

ඒක අතිශය අවංක ලිවීමක්. තමන්ගෙ ජීවිතේ පොඩ්ඩක්වත් බේරන්න උත්සාහ නොගෙන සියල්ල නිරුවත් කර දැමීමක්. මං හරිම කැමතියි මිනිස්සු තමන්ගෙ ජීවිතේ ලියනවට. අර සුගපාලද සිල්වා කියනවා වගේ ජීවිතේ කණපිට ගහලා බලනවට. ඒවා සාහිත්‍ය නෙමෙයි. සාහිත්‍ය කියන්නෙ ජීවිතේ අමුවෙන් එලියට නොදැමීමේ උත්සාහයන්. ඊට සළුපිළි ඇන්දවීමේ වෑයම්. සුරත් කරන්නෙ තමන්ගේ ඇතුලට ගිහින් තමන්ව ලියන එක. වෙන කිසි දෙයක් එයා ලියන්නෙ නෑ. එයාවම විතරයි. ඒක ප්‍රචණ්ඩ ලිවීමක් කියලයි මං කියන්නෙ.

ඒ වගේ පොතක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ගෞරවය මගේ කිසි හැඟීමක් වාරණය නොකර ඒ ගැන ලියන එක.

අපි ආදරේ ගැන කතා කරනකොට හරිම සුන්දර විදිහට කුළුඳුල් ආදරේ ගැන කතා කරනවා. සමහරු ඒ කුළුඳුල් ආදරේ එක්ක මැරෙනකල්ම ජීවත් වෙනවා. හැමෝගෙම ඒ කාලෙ ප්‍රාර්ථනාව වෙන්නෙ ඒක.දඟකාර සමනල් අවධියේ අපි
ඉගිලුනේ අපේක්ෂාවන් කරා
පිණි සුළඟේ දැවටුනු කාංසියට ගී ගැයූ
අපේ ගී ඇසුනේ අපට පමණයි…. ක්ලැරන්ස් සුසිමා එකේ කියනවා.

තී හා තා කියන්නෙ ජීවිතේ තමන්ගෙ හීනයක් බඳු ආදරය කුළුඳුලේම හිමිවුනු තරුණයෙකුගේ ඛේදාන්තය. ඒ මදිවට ඒ හීනයක් වගේ ආදරය තමන්ගෙ පරම්පරාවෙ හැමෝමත් ඉතසිතින් පතන ඉරිසියා කරන සාමූහික හීනයක් වුනාම තත්වය වඩාත් දරුණුයි. ඒ හීනය තමන්සතු කරගැනීමෙන්ම ජීවිතයේ උපරිමය අත්පත් කරගත්තා හා සමාන එක්ස්ටසියකින් පෙළෙන ආදරයක රෝගය තමයි තී හා තා.
මිනිහෙකුට තමන්ගේ හීනය සැබෑවීමේ භයංකාරය සුරත් ලියනවා.

මේ කතාවෙ ලස්සන තියෙන්නෙ මේක 90 දශකෙ අපි හැමෝගෙම කතාව වුනු එක. සොයිසාපුර මහල් නිවාස එක්ක බැඳුනු අමුතු නාගරික සංස්කෘතිය මේ පොත ඇතුලෙ තියෙනවා. ඒ ජීවත් වුනු මිනිස්සු ගැන, ඒ පිට්ටනිවල උරපු කංසා ගැන, කෙල්ලොන්ගෙ පස්සෙන් ගිය පාරවල් ගැන ඒ පිටුවල තියෙනවා. ඒක ලංකාවෙ වෙනමම උපසංස්කෘතියක්. ඉන්ටර්නෙට් කාලෙට කලින්, මෝබයිල් යුගයට එළඹෙමින් ගතවුනු අපේ නව යොවුන් ප්‍රේමය තමයි ඒ. දහම් පාසැල් ඇතුලෙ, බස් හෝල්ට් ගානෙ, ආදරය වෙනුවෙන් ජීවිතේ ඕනම දෙයක් කරන්න ලෑස්ති ඒ කාලෙ ප්‍රේම ජින්තුව සුරත් පොතට ගේනවා.

මේ පොතේ එන දිව්‍යාට අපි හැමෝම ආදරේ කළා. මගේ ජීවිතේ අවුරුදු හතරක් පහක් විතර දිව්‍යා වෙනුවෙන් දිව්‍යාත් නොදැන ගතවුනා. එතකොට ගීත්ගෙයි දිව්‍යාගෙයි ආදරේ හොඳින්ම යන දවස්. පොතේ සමහර තැන්වල ගීත් දිව්‍යා එක්ක මේ බස් හෝල්ට් එකේ ගතවුනු කතාව කියද්දි ඊට ටිකක් එහායින් දිව්‍යා එනකල් මං බලන් ඉඳපු තැන් පවා තියෙනවා. ඒ කියන්නෙ දිව්‍යා ගීත් ප්‍රේමයට සමාන්තරව පැවතුනු සැබෑ නොවූ ප්‍රේමයක කතාවක් මටත් තියෙනවා. මං විතරක් නෙමෙයි ඒ කාලෙ සිය දෙනෙකුට විතර දිව්‍යා ගැන එහෙම සමාන්තර කතා තියෙනවා. මගේ කතාව මං දිගන්තය පත්තරේට කොටස් වශයෙන් ලිව්වා. පෙම් කවක් ලියනවා මං ආයෙත් කියල නමකින්. මතක විදිහට අවසාන කොටස ලියන්න බැරි වුනා. එහෙම මාත් එක්ක රොමාන්තික පුද්ගල සම්බන්ධයක් තියෙන ප්‍රබන්ධයක් මට කියවන්න ලැබුනු පළවෙනි වතාව. ඒක හරිම අමුතු අත්දැකීමක්.

මේ කතා කරන නවයොවුන් ප්‍රේමය ගැන ලියවුනු පුරාවෘත්ත තියෙනවා. වස්සාන සිහිනය, සුළඟ වගේ ඇවිදින් කියන්නෙ ඒ වගේ අපිව හොල්මන් කරපු ආදර කතන්දර. ඒත් සුරත් ලියන පෙම්වතාගෙ චරිතය මීට කලින් සාහිත්‍යයක අපිට මුනගැහිලා නෑ. ඒක හරිම සුවිශේෂී පිහිටීමක්. තමන්ගේ ජීවිතයේ ප්‍රාර්ථනා කළ හැකි උපරිම සිහිනය අත්පත් කරගත් පෙම්වතෙකුගේ ට්‍රැජඩිය අපි කලින් කියවලා නෑ. බාහිර හේතුවක් නැතුවම තමන්ගේ ඇතුලතින්ම පුපුරා යමින් විනාස වෙන ආදරයක කතාව කලින් ලියලා නෑ.මේ පෙම්වතා තමන් විතරක්ම වූ ලෝකෙක ජීවත් වෙන කෙනෙක්. එයාට ලෝකෙම කැරකෙන්නෙ එයාගෙ වටේ. එයා කැරකෙන්නෙ එයාගෙ පෙම්වතිය වටේ. නමුත් පෙම්වතිය කියන්නෙ එයාට තියෙන එකම වටිනාකම. ඒ හින්ද පෙම්වතිය කියන්නෙ එයාට අයිති වස්තුවක්.

මේ නාසිස්මික ස්වභාවය නිසාම ගීත්ට ආදරේ කරන්න බැරි වෙනවා. තමන් ගැනම වූ තමන්ටම පාලනය කර ගත නොහැකි උද්දච්ඡකම විසින් එයාගෙ හැඟීම් අවහිර කරනවා. එයාගෙ ආදරය සැකය බය පාලනය මූලික එකක් වෙනවා. නාසිස්මික ප්‍රේමයක් කියන්නෙ විෂ සහිත සම්බන්ධයක්. ඒක ඇතුලෙ ඒ නාසිස්මික චරිතය විසින් අනෙකාගේ සියලු සාරයන් උරාබොනවා.

නමුත් ඒක ආදරය කියල හඳුන්වනවා. ලංකාවෙ ගොඩක් ප්‍රේමකතාවල පෙම්වතා තමන්ගේ පෙම්වතිය ගැන දරන්නෙ පොසෙසිව් ආකල්පයක්. බනින, සැරකරන, සමහර විට ගහන පෙම්වතුන් ඕනතරම්. ඒ සියල්ල පෙම්වතියත් ආදරය හැටියෙන් තේරුම් ගන්නවා. කාලයත් එක්කයි ප්‍රශ්නය එලියට එන්න පටන් ගන්නෙ.

ගීත් කියන්නෙ නාසිස්මික පෙම්වතෙක්. ඒ කියන්නෙ ආදරය කරන්න බැරි පෙම්වතෙක්. ඒකෙ තියෙන ශෝචනීය කාරණය වෙන්නෙ එයාගෙ ඇතුලෙ ඉන්නවා එයාටම නිදහස් කරගන්න බැරුව දුක්විඳින පීඩිත පෙම්වතෙක්. පිටත නරුමභාවය විසින් ඇත්තෙන්ම යටපත් කරන්නෙ එයාගෙම අභ්‍යන්තර ආත්මය.
ගීත් ලෝකෙම දකින්නෙ ගේම් එකක් විදිහට. එයාට ඕන දිනන්න. එයාගෙ විදිහට. ඒ ගේම් එක ඇතුලෙ එයාට එයාවම මගඇරෙනවා. තී හා තා කියන්නෙ මේ නාසිස්මික ප්‍රේමයේ අභ්‍යන්තරය ඉතාම සියුම් විදිහට ලියවුනු තැනක්. පොතේ භාෂාවෙ උපහාසාත්මක ටෝන් එක පවා ඒ ගීත්ගේ ආත්මයේ සද්දෙ කියනවා. අපි කතාව පුරා යන්නෙ අපිටම දිරවන්නෙ නැති නරුමයෙක් එක්ක. ඒ නරුමයාගේ හැඟීම් එක්ක.

ගීත් ජීවිතේ ආදරේ (නො)කරනවට වඩා දෙයක් කරන්නෙම නෑ. ඒ ආදරය කිරීම කියන්නෙ රිදවීමක් නැත්තං පීඩා කිරීමක්. කුළුඳුල් ආදරේ තිබුනු රොමාන්තික ගතිය කාලයත් එක්ක හඳගමගෙ ෆිල්ම් එකක ගානට එනවා.

ප්‍රේමය කොයිතරම් විසකුරු වුනත් අපි ප්‍රේමයේ නාමයෙන්ම ඒක අල්ලගෙන ඉන්න වෙලාවල් තියෙනවා. මෙච්චර කාලයක් රැකගත් ප්‍රේමය කොහොම හරි ජීවත් කරන්න ට්‍රයි කරනවා. ගොඩක් ප්‍රේමකතා ගතවෙන්නෙ ඒ විදිහට. ළමයි, ගෙවල්, ව්‍යාපාර ප්‍රේමය පවත්වාගැනීමේ උපක්‍රම වෙනවා. අන්තිමට ප්‍රේමය පවත්වාගැනීමම අපිට මහන්සියක් වෙනවා. ඒ මහන්සියම ප්‍රේමය වෙනවා. මං මේ තරම් දේවල් කරලා තියෙනවා කියල හිතෙනවා. අපි ඒකට ආදරේ කියනවා.

දිව්‍යා එක තැනකදි ගීත්ට මේක කියනවා. අපි පොඩි කාලෙ නොදැන ගත්ත තීරණවලට දැන් වගකියන්න බෑ කියල. ජීවිතේ ඊට වඩා ලොකුයි කියල. ඒත් ඒ වෙද්දි ගීත්ට දිව්‍යා කියන්නෙ තමන්ගෙ ශරීරයේ කෑල්ලක් මිසක් වෙනම ජීවිතයක් නෙමෙයි.

තමන්ගේ පිරිමිබව පසක් කිරීමේ තරගයෙන් ගීත් දිනනවා. ඒත් ආදරෙන් එයා පරදිනවා. එයාගෙ ජීවිතේ බුද්ධත්වය ප්‍රත්‍යක්ෂ වෙන්නෙ එතනදි. සමස්ත ජීවිතය කියලම ගොඩනගා ගත්ත තේරුම එයාට අහිමි වෙනවා. ගීත්ට තමන්ගේ දෙවෙනි ඊඩිපස් ආවේශයෙන් විමුක්තිය ලබාදීමේ මහා කාර්යය දිව්‍යා විසින් කරනවා. පිරිමියෙක් ජීවිතේ තේරුම් ගන්නෙ ගැහැණියක් විසින් ආදරේ කුඩු කරන තැනදි.

තී හා තා කියන නම පොතට එන හැටි මගදි කියවෙනවා. මගේ තේරුම් ගැනීමට පවා පොතේ හිනාවක් එනවා. ඒ වගේම අපි සම්භාව්‍යයි කියල හිතන ඒවා අපි නොහිතන විදිවලට නිර්මාණය වෙන්නත් පුළුවන් කියල යෝජනා කරනවා. ඒ ට්විස්ට් එක මරු.

මේක මහා කතාන්දරයක් නෙමෙයි. මෙලෝ රහක් නැති කොල්ලෙකුගෙ ඔලුව ඇතුලෙ ඉඳන් ලෝකෙ සුන්දරම ගැහැණිය එක්ක ප්‍රේම ගමනක් තියෙන්නෙ. ඒ ගමන පුරාම අපි බලාපොරොත්තු වෙන්නෙ ඒ කෙල්ල ගීත්ගෙන් නිදහස් වෙන්න කියල. (ඇත්තට අපි දිව්‍යා පස්සෙන් ආපු කාලෙදි අපේ ඒකායන බලාපොරොත්තුව වුනෙත් ඒක) මොකද කතාව ඇතුලෙ අපිට ගීත් ඒ තරමට එපාවෙන හින්ද. ඒක එපාවීම ඇතුලෙ ඉන්ටරෙස්ට් එකක් හදන අමුතු සංයෝගයක්. ඒත් අන්තිම මොහොතේ ගීත්ගෙ නරුමයා දිව්‍යා විසින් මරාදමන තැනදි අර තමන්ට ඇත්තටම දැනෙන දේ කියාගන්න බැරි අසරණ ගීත් අපිට මුනගැහෙනවා. ගීත්ට ගීත් මුනගැහෙනවා. ඒත් ඒක සිද්ද වෙන්න දිව්‍යා යන්න ඕන.

තී හා තා කියන්නෙ අනූව දශකයේ ආදර පුරාවෘත්තය. ඒක ලියාතැබීම සුරත් ද මැල් විසින් අපේ පරපුරටම කරපු රොමාන්තික මෙහෙවරක්. පොත කියවලා ඉවර වෙන තැනදි මට මෙතෙක් මගේ මතකය පතුලෙ නොවිසඳී තිබුනු අතීත වින්‍යාස ගොඩක් විසඳුනා. මගේ නව යොවුන් ප්‍රේමයක බන්ධනයෙන් මාව නිදහස් වුනා වගේ ආධ්‍යාත්මික හැඟීමක් ඒක.


Chinthana Dharmadasa