පෘතුවිය. අවුරුදු මිලියන 114ට කලින් එක උදේක ඉර පායමින් තිබුන. පෘතුවිය මත පළමු වරට ඉර රැස් විඳිමින් මල් පිපෙමින් තිබුන. පෘතුවිය මත ශාඛ ජීවිතය විශාල පරිණාමීය වෙනසකට ලක් කළ මේ සිදුවීමට අවුරුදු මිලියන ගානකට කලින් පෘතුවිය ශාඛවලින් ආවරණය වෙලා තිබුන. මුලින්ම පිපුනු මල් වැඩි වෙලාවක් නොතිබෙන්න ඇති. කොහොමටත් මල් කියන එකම දුර්ලභ සංසිද්ධියක් වෙන්න ඇති. මොකද ඒ වෙනකොටත් මල් හැමතැනම පිපෙන්න කාරණා සකස් වෙලා තිබුනෙ නෑ. එක දවසක මේ සියල්ල සම්පූර්ණ වුනු මොහොතක පෘතුවිය පුරාම විවිධ වර්ණ වලින් විවිධ සුවඳින් මල් ඇතිරිල්ලක් එලෙන්න ඇති. ඒක විඳගත හැකි සවිඥාණයක් ඒ වෙද්දි තිබුනා නම්….

ඊට ගොඩකාලෙකට පස්සෙ මේ මල් කියන සියුමැලි සුවඳ ජීවීන් තවත් වර්ගයකගේ සවිඥානකත්වයේ වැදගත්ම පරිවර්තනයක් ඇති කරනවා. මානවයො මේ මල්වල අලංකාරයට වශී වෙනවා, ඒවායින් ආස්වාදයට පත්වෙනවා. මානවයාගේ සවිඥානය වර්ධනය වෙද්දි තමන්ට උපයෝගීතාවයක් නැති නමුත් ඔවුන් වටිනාකමෙන් සළකපු පළමු දේ බොහෝවිට මල් වෙන්න ඉඩතියෙනවා. මල්වලින් මානවයාගේ ජීවිතය ගලවා ගැනීම වගේ දේකට උදව්වක් නෑ. ඒත් ඒවා ගිණිය නොහැකි තරම් කලාකරුවන් කවීන් මුනිවරයන් අවදි කරලා තියෙනවා. ඉන්ස්පයර් කරලා තියෙනවා. මල් දෙස බලා සිට ජීවත්වෙන හැටි උගන්නැයි ජේසුස් අපිට කියනවා. බුදුන් මලක් පාවිච්චි කරලා නිහඬ දේශනාවක් කරනවා. එයා මල අල්ලාගෙන ඒ දෙස බලා සිටින්නැයි කියනවා. ටික වෙලාවකට පස්සෙ ඒ පිරිස අතර හිටපු මහා කාශ්‍යප තෙරුන්ගෙ මුවට මදහසක් නැගෙනවා. එතන හිටපු අයගෙන් මේ දේශනය වැටුහුනු එකම කෙනා මහා කාශ්‍යප. පුරාවෘත්තයෙ හැටියට මේ අවබෝධයේ මදහස ආචාර්යවරුන් වහන්සේලා විසි අටකට උරුම වෙනවා. එතැනින් සෙන් දහමේ උපත සිදුවෙනවා.

මලක සුන්දරත්වය දැකීමෙන් සුළු මොහොතකට හෝ ඕනම මනුෂ්‍යයෙක් තමන්ගේ අභ්‍යන්තර සුන්දරත්වයට අවදි වෙනවා. ඔවුන්ගේ සැබෑ ස්වභාවයට අවදි වෙනවා. මානව සවිඥානකත්ව පරිණාමයේ සුවිශේෂතම තැනක් තමයි මේ සුන්දරත්වය කියන දේ වැටහීම. සතුටේ සහ ආදරයේ හැඟීම් මේ දැනීමත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලයි තියෙන්නෙ. අපි නොදැනුවත් වුනත් මලක් අපිට කියන්නෙ අපි තුල පවතින හැඩයක් නැති, උසස්, දිව්‍යමය තත්වයක් ගැන හැඟීමක්. මලක් කියන්නෙ ඉතාම කෙටි වෙලාවක් පවතින අතිශයින්ම සියුමැලි ආධ්‍යාත්මික බවක් දනවන විකසිත වීමක්. ඒක ඒ මල දරන ගහට ඇති ගුණයක් නෙමෙයි. ඒක හරියට වෙන යතාර්ථයකින් අපිට එවන පණිවුඩයක් වගේ. හැඩයන් ආකෘතීන් පවතින මේ ලෝකයත් ආකෘතියක් හැඩයක් නොමැති වෙනත් ලෝකයකුත් අතර පාලමක්. මල් වලින් දැනෙන සුවඳ මතුපිට සංවේදනයක් විතරක් නෙමෙයි. ඒ සුවඳ කියන්නෙ ඇතුලතින් දැනෙන හැඟීමකුත් වෙනවා. අවබෝධයට පත්වීම නැත්තං එන්ලයිට්න්මන්ට් කියන එක වඩා පුළුල් අදහසකින් ගත්තොත් මලක් පිපෙනවා කියන්නෙ ගහක් අවබෝධයට පත්වීම කියල අපිට දකින්න පුළුවන්.ඕනම ජීවිත ආකෘතියක් අවබෝධයට පත්වෙනවා කියල අපිට කියන්න පුළුවන්. ඛනිජයක් වුනත්, එළවලුවක් වුනත්, සතෙක්, මනුස්සයෙක් වුනත් මේ අව‍බෝධයට පත්වීමේ ක්‍රියාවලිය තුලින් ගමන් කරනවා. ඒත් ඒක අන්තිම විරල සිදුවීමක්. මොකද ඒක පරිණාමීය ක්‍රියාව ඉක්මවා යන්නක්. එක විදිහකට ඒ පරිණාමීය භෞතික ක්‍රියාවෙන් ඛන්ඩනයක් සලකුනු කිරීමක්. වෙනම පැවැත්මකට ගන්නා වූ පිම්මක්. වැදගත්ම දේ ඒක ‍භෞතිකත්වයෙන් අඩුවීමක් දුරස්වීමක් දැනෙන තැනක්.


Echart Tolle

A New Earth