මේ සුජිත් අක්කරවත්ත එක්ක ෆෝන් එකෙන් ඇතිවුනු සංවාදයක්. මේ සංවාදය සුජිත්ගේ කතාව වගේම නිදහසේ ගලායන්න ඉඩහරිනවා. ලංකාවෙ සෙක්ස්වලට තහනම් වැටීම ගැන අපි අතර ඇතිවුනු අහම්බ කතාබහක්. මගේ බාධා කිරීම් අයින් කරලා සුජිත්ගේ කතාව විතරක් ඉතුරු කරනවා.
හැමෝම මොකක් හරි දෙයක් ආවම ඒක හිස්ට්‍රිවලට බද්ධ කරලා මොකක් හරි දෙයක් ඉදිරිපත් කරනවා. රාජ්‍යයත් එහෙමයි ජනතාවත් එහෙමයි. කාටවත් මේක ගැඹුරින් තේරුම් ගැනීමේ උවමනාවක් නෑ. ඒ අවස්තාවට මේක පාවිච්චි කරනවා විතරයි. (සුජිත් අද කාලෙ ඉතිහාස කාරනා ගැන ඇතිවෙන උනන්දුවට කියන්නෙ සිල්ලර උනන්දුවක් කියල)
ඔය පහන්තුඩාව වගේ සිද්ද වලින් තමයි ආන්ඩුව යන්නෙ. පරිසර සිද්දිය දවස් තුනයි, නැවේ සිද්දිය දවස් තුනයි, අවුරුදු පහලොවේ ගෑනු ළමයගේ සිද්දිය දවස් තුනයි. විපක්ෂයක් නැති රටක ඕක වෙනවා. දේශපාලනික සමාජයකුත් නෑ දේශපාලනික පක්ෂෙකුත් නෑ. එෆ්බීනෙ අද මාධ්‍ය දෙයියො වෙලා තියෙන්නෙ. දවස් තුනකින් ඕක ඉවරයි. බලන්නකො කාගෙ ගොසිප් වලින්ද වැඩිපුර මේවා උස්සන්නෙ කියල. ඒ ගොල්ලො දන්නවා කුහක බවයි රසයයි එකට කළතලා ඕක ඉදිරිපත් කරන්න. ඕක විතරක් නෙමෙයි. ඔය පරිසර එක බලන්න. කවුද අද පරිසරය ගැන කතා කරන්නෙ? ඒ මූමන්ට් හදපු අයවත් කතා කරන්නෙ නෑ. දැන් රළ පනාවෙ ප්‍රශ්නෙ. ඒකත් දවස් දෙකයි. ඇත්ත කතන්දරේ ඒක. හැබැයි ලංකාවෙ යටපත් කරපු ලිංගික නිදහස සම්බන්ද ප්‍රශ්නයක් කොහොමත් තියෙනවා.
විඳපු නැති සමාජයක් යමක් කැමැත්තෙන් බාරගන්න දන්නෙ නෑ. තමන් නොලබන රසයක් වෙන කෙනෙක් ලබනවට කැමති නෑ. ඒක මනෝ විද්‍යාත්මකයි. අපේ දැනුම් සමාජය වුනත් ඔහොමයි. ලිංගිකව කුහකයි. ප්‍රබුද්දයොත් එහෙමයි.
මේක දඹදෙනි යුගයේ බ්‍රහ්මනයො බුද්දාගම අල්ලගන්න තැන ඉඳන් එන ප්‍රශ්නයක්. ඇත්තටම සීගිරි කාශ්‍යප පන්නා දාපු දවසෙ ඉඳන් එන ප්‍රශ්නයක් සුද්දො ඇවිල්ලා සම්පූර්ණ විකෘති කළා. දඹදෙනි යුගයෙන් පස්සෙ මේක යම්දුරකට සංස්ථාපිත තැන්වල හරි පැවතුනා. ත්‍රීසම් එක, එකගෙයි කෑම ලංකාවෙ තිබුන. ඒකට නිල සංස්ථාවක් තිබුන.
දඹදෙනි යුගයෙදි බ්‍රාහ්මන කියවීමක් එනවා හරියට දැන් අපිට චීන කියවීමක් එනවා වගේ. දැන් අපේ සාහිත්‍ය, කලා ඔක්කොටමත් චීන බලපෑම එනවා. ඒවා හරියට ටොයිස් බඩු වගේ වෙනවා. ටික්ටොක් එහෙම අරන් බලන්නකො. දේශපාලනයත් චීනකරනය වෙනවා. පපඩං වගේ වෙනවා. ඒ වගේ දඹදෙනි යුගයෙදි බ්‍රාහ්මන චින්තනය තනිකර නිල බුදු දහමෙ චින්තනය බවට පත් වෙනවා. බුදුදහම අයින් වෙලා බුද්ධාගම කියල එකක් එනවා. ආගමක් නෑනෙ බුදුදහමෙ. ආගම කියන්නෙම බුදුන් එපා කියපු එකක්නෙ. හැබැයි දඹදෙනි යුගයෙන් පස්සෙත් සුද්දො එනකංම මේ ලිංගික නිදහස සම්බන්ද තත්වයන් යම් තත්වයක් තිබුනා සමාජ සංස්තා විදිහට. එකගොයි කනවා කියන්නෙ ඉතින් ත්‍රීසම්නෙ. ඔය මාක්ස්වාදී ඉතිහාසඥයො කියනවා දේපොල පිට යන එක වළක්වන්නයි මේ එකගෙයි කෑවෙ කියල. නෑ, ඒක ත්‍රීසම්වලට කැමති අය කරපු දේ රාජ්‍ය විසින් බාරගන්නෙ රාජ්‍යයට අනුයුක්ත දෙයක් විදිහට. දේපොල කතාව ඒකට ගැටගැහෙන්නෙ එහෙමයි. දේපොල හේතුවක් වුනත් එකගෙයි කෑවෙ ත්‍රීසම්වලට කැමති අය. නැත්තං මොන එකකට වුනත් තව එකෙක් එක්ක එක ගෑනියෙක් තියාගෙන මරාගන්නෙ නැතුව හිටියා කියන එක ලේසි දෙයක්ද?
ජයසේන ජයකොඩිගේ බැද්දෙ ගෙදර ජනප්‍රිය වුනා. මේ දවස්වල සුදත් රෝහනගේ ඔය නාට්ටිය ආයිමත් පෙන්නනවා. බලන්න ඒක කොයිතරම් ආසාවෙන් බලනවද කියල. සුදත් රෝහන ඒක වැරදි විදිහටයි අර්තකතනය කරලා තියෙන්නෙ, පොතේ හරියට තියෙනවා. ඇයි ඒක මිනිස්සු ඔච්චර කැමැත්තෙන් බලන්නෙ? පහන්තුඩාවට ගල්ගහන මිනිස්සු ගෙදර ටීවී එකේ බැද්දෙ ගෙදර බලනවනෙ.
මිනිස්සුන්ගේ සීයට අනුවක් රාජ්‍ය කියන එක ඇත්ත විදිහට පිලිගන්නවා. නිරෝදායනය වෙන්න කිව්වම ගෙදරට වෙලා ඉන්නෙත් ඉතින් ඒ වගේම එකක් තමයි.
හොඳට හිතලා බැලුවොත් බලය උත්පාදනය වෙන තැනක් තමයි කුහකත්වය කියන්නෙ. ලිංගිකව අනෙකා යටපත් කිරීමනෙ අවසාන අර්ථයෙන් බලය කියන්නෙ. මේ පොදු මහා සාධකය පටන් ගත්තෙම ලිංගික යටපත් කිරීමෙන්. ආගම බිහිවෙන්නෙ එහෙමයි. රාජ්‍යයි ආගමයි එකට ලේසියෙන්ම ගැටගැහෙන්නෙ ඒකයි. නැත්තං කොහොමද ඔය දෙක එකට පවතින්නෙ? බලයයි ආගමයි එකට තියෙන්න විදිහක් නෑනෙ.
රාජ්‍ය වික්ටෝරියානු නීතිය පිලිගත්තම මිනිස්සුත් ඒක පිලිගත්තා. ඉස්කෝලෙ යන්න කියල රාජ්‍ය කිව්වම මිනිස්සු ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. නැත්තං දැනුම ගන්න ඉස්කෝලෙ යන්නම ඕන නෑනෙ. ඒ කාලෙ ගුරුකුල, තිබුනා, චින්තකයො හිටියා, පිරිවෙන් තිබුන. මිනිස්සු දැනුම ගත්තා. හැබැයි අධ්‍යාපනය ඉස්කෝලෙන් දෙන්න කියල රාජ්‍ය නියම කළාම අපි ඉස්කෝලෙ යන්න ඕන. ඉස්කෝලෙ නොයන එක අපරාදයක් වෙනවා. ඉස්කෝලෙ යන එකා උගතා වෙලා නොයන එකා නූගතා වෙනවා. පාර්ලිමේන්තුවෙ අටපාස් කිව්වට ඇත්තටම උන් නූගත් නෑනෙ. දැන් ජීඑලුයි විමල් වීරවංසයි උගත්කමෙන් ලොකු වෙනසක් තියෙනවා කිව්වට මොකද්ද දැන් තියෙන ඇත්ත වෙනස?
රාජ්‍ය කියල තියෙනවනෙ ලිංගිකව හැසිරෙන්න ඕන මෙහෙමයි කියල. ඉතින් සීයට අනූවක් හිතන්නෙ ඒක තමයි විදිහ කියල. ඒ සීයට අනූවම දන්නවා ඒ විදිහට ඒ වැඩේ කරන්න බෑ කියල. ඉතින් රහසින් විඳිමත්, කුහකකමත් ඇතිවෙනවා. තමන්ට නැති ප්‍රමෝදයක් අනුන් විඳිනකොට ඒකට ගහනවා.
සීගිරිය වටකරලා මුගලන් තමයි මේක පටන් ගන්නෙ. හැබැයි ලිංගිකත්වය සම්බන්ධ රාජ්‍ය නිල මතයක් ඇතිවෙන්නෙ දඹදෙනි යුගයෙන් පස්සෙ තමයි. දඹදෙනි යුගයෙන් පස්සෙ සැබෑ බුදුදහම නැතිවෙලා යනවා. දැන් මේ සිංහල කියන්නෙ අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයිනෙ. තව අවුරුදු පනහකින් සිංහලකම කියල එකක් හොයාගන්නවත් බෑ. දැන් මේ සිංහල කියන්නෙ අර ජාතික ඇඳුම වගේ එකක්නෙ. මේ බන්ඩාරනායකගේ හුටප්පරේට මොන එහෙකටද ජාතික ඇඳුම කියන්නෙ? ලංකාවෙ කැටයමකවත් ඔය මගුල ඇඳපු එකෙක්වත් ඉන්නවද? ඒත් අපි ඕකට ජාතික ඇඳුම කියනවනෙ.
රාජ්‍ය පවත්වාගෙන යන්න බ්‍රාහ්මන මතය පිලිගන්න වුනා.
බ්‍රාහ්මන ආගමේ සෙක්ස්වලට සීමා පනවලා තියෙනවා. එක අවධියක් විතරයි සෙක්ස් වෙනුවෙන් වෙන් කරන්නෙ. ඒ කාලෙ විතරයි සෙක්ස් කරන්න ඕන. බ්‍රාහ්මන කියන්නෙ හින්දුදහම නෙමෙයි. ඒක ආර්යයන්ගෙන් ඒ කියන්නෙ යුරෝපෙන් ආපු අය හරහා ඇතිවෙන එකක්. බ්‍රාහ්මන කියන්නෙ ඉන්දියාවට පිටින් එන කට්ටියක්. ඒ ගොල්ලො ඇවිත් ඉන්දියාවෙ තිබුන බහුදේවවාදයට උඩින් මහා බ්‍රහ්මන් කියල කෙනෙක් හදනවා. පීතෘ දෙවියෙක් නිර්මාණය කරනවා. මහා බ්‍රහ්මන් කියල එකෙක් හින්දුදහමෙ හිටියෙ නෑ. මැවුම්කාර දෙවිකෙනෙක් මැව්වා. හින්දුදහමෙ සෙක්ස්වලටත් දෙවි කෙනෙක් හිටියා. ඒකෙ මේ වගේ තහනමක් තිබුනෙ නෑ.
ඔය බ්‍රහ්මන්ව මවපු බ්‍රාහ්මනයොන්ගෙන් පස්සෙ තමයි අධ්‍යාපනය ආයතනගත වෙන්නෙ, මේ අය තමයි රාජ්‍ය උපදේශකයො වෙන්නෙ. ඊට පස්සෙ කාලෙක මේ හින්දුවාදය බුදුදහම හින්ද චින්තන තලයේ පරාජයට පත්වෙනවා. ආපහු ශංකරාචාර්ය ඇවිල්ලා බුදුහාමුදුරුවන්වත් අවතාරයක් කරලා මේකෙ විශාල පිබිදීමක් ඇති කරනවා.
බ්‍රාහ්මනයො රාගවිරෝදී වුනේ නෑ. ඒත් ඒ ගොල්ලො ඒක අවධියකට සීමා කළා. ඊට පස්සෙ සෙක්ස් කරනවට දෙවියො කැමති නෑ වගේ එකක් ගෙනාවා.
ලංකාවෙ වුනත් ගබ්සාවට එහෙම මුලින්ම විරුද්ද වෙන්නෙ හාමුදුරුවො නෙමෙයි. මුලින්ම විරුද්ද වෙන්නෙ කතෝලික සභාව. බිෂොප්ලා. ඒක දෙවියන්ගෙ මැවුම්වාදයට විරුද්දව යන හින්ද. ඊට පස්සෙ තමයි හාමුදුරුවරුත් විරෝදයට සෙට් වෙන්නෙ. හැමදාම පල්ලිය තමයි ගබ්සාවට විරුද්දව දැඩිව ඉන්නෙ. දෙවියන් විසින් මැවූ දෙයක් මිනිසා විසින් නැසිය නොහැකියි කියලනෙ කියන්නෙ. මේක මැවුම්කාර දේව ආභාෂය.
මතු සම්බන්ධයි.