Tag: ashoka handagama

  • ඇයි හඳයා මෙහෙම? – ඇල්බොරාදා හෙවත් කක්කා බාල්දිය

    ඇයි හඳයා මෙහෙම? – ඇල්බොරාදා හෙවත් කක්කා බාල්දිය

    ඇල්බොරාදා කියන්නෙ අළුයම කියන එකටයි. හඳයා එයාගෙ අලුත් ෆිල්ම් එක, නෙරූදාට කක්කා ගැසීමට නම තියන්නෙ අළුයම (ඇල්‍බොරාදා) කියලයි. සමහර විට ඒ මේ වෙද්දි පොලිටිකලි කරෙක්ට් කැන්සල් කල්චර් එක විසින් නෙරූදාව දූෂකයෙක් ලෙස හඳුන්වාදෙමින් කරගෙන යන පටු ව්‍යාපෘතිය ‘අවදිවීමක්’ හැටියෙන් හඳයා අර්ථගන්වන හින්ද වෙන්න පුළුවන්.

    හඳයා තමන්ගේ අලුත් චිත්‍රපටය කරන්නෙ මේ metoo රැල්ලේ දේශපාලනයට අත්දෙකම උස්සමින් වග පැහැදිලියි. මේ හින්ද ලංකාවෙ පොලිටිකලි කරෙක්ට් සිනමා ධාරව පටන් ගන්නෙ හඳයාගෙ ඇල්බොරාදාගෙන්. මේ චිත්‍රපටියට විදේශීය ඇගයුම් සම්මාන ලැබුනොත් කාලෙකට කලින් යුද්ධය, වියළි කලාපය අන්තර්ජාතික සිනමාවේ විකිණුනාක් මෙන් පොලිටිකලි කරෙක්ට් රැල්ලක් මෙහේ ඇතිවෙන්නත් නියමිතයි. ඒත් අවාසනාවට මේ වෙද්දි නෙට්ෆ්ලික්ස් වැනි මුලදී මේ රැල්ල උඩ බෝට්ටු පදිමින් සිටි ප්ලැට්ෆෝම් පවා මේ කරෙක්ට්නස් එක ජෝක් කරමින් ඉන්න කාලෙක තමයි අපි මේක ආනයනය කරන්න යන්නෙ. උදා විදිහට ත්‍රී බිල්බෝර්ඩ්ස් වගේ ෆිල්ම් එකක් මේ පොලිටිකලි කරෙක්ට් රැල්ල පිටිපස්සෙ ඉන්න සෝෂල් ජස්ටිස් වීරයන්ව කරකවලා අතෑරියා. ඒ ඉල්ලන යුක්තියටම ප්‍රතිවිරෝධයක් විදිහටයි ඒ චිත්‍රපටි හැදුනෙ. කලාව මේ ප්‍රවණතාමය දේශපාලන දෘෂ්ටීන් මත නොපිහිටා මානුෂීය අර්ථයන් මතම පිහිටිය යුතුයි කියල ආත්ම ප්‍රකාශන කලාවේ යෙදෙන නිදහස් කලාකරුවන් විශ්වාස කළා.

    ඒත් ලංකාවට ටික ටික මේ අතීතය පවා නිවැරදි කරන ළදරු වලිප්පුව එබිකම් කරන්න ගත්තා. බ්ලැක් ලයිව්ස් මැටර් කැරලිකරුවන් බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කොල්ස්ටන්ගේ ප්‍රතිමා පෙරලාදාන්නෙ එයා අතීත වහල් හිමියෙක් කියල චෝදනා කරමින්. නමුත් ඒ නගරයම ඉදි කරන්නෙත් කොල්ස්ටන්. අපිට ඒ විදිහට අතීතය නිවැරදි කරන්න පුළුවන්ද? එහෙම කරන්න අපි කවුද?

    ලංකාවෙ ඇඩ්වර්ටයිසින්වල තමයි මේ පිස්සුව මුලින්ම මතු වුනේ. ‘කලු’ කියල ගැහැණියක් හඳුන්වාදීමට විරුද්දව ස්ත්‍රීවාදී රංචුවක් මුලින්ම කෝලාහල කරලා ඒ දැන්වීම කැන්සල් කළා. ඊට පස්සෙ මෑතක නැවත සකලබුජං කොටකලිසම් සිංදුව නිවැරදි කරන්න තවත් බිස්කට් එකක් ලොකු වෑයමක් දැරුවා. ඒ සිංදුව ළමා මෙහෙකාර සේවය ගැන කියවුනු සිංදුවක් කියමින් ඒ වචන වෙනස් කරලා අලුත් බහුබුතයක් එලියට දැම්මා. මේකට අනිවාර්යෙන්ම සම්මාන ලැබෙන්න නියමිතයි. ඒත් ඇත්තටම ඒකෙන් කලේ අර පැරණි ගීතයේ රසය, මතකය විකෘති කිරීම සහ විනාශ කිරීමයි. සකලබුජං අහපු කිසි් කෙනෙක් ඒක ළමා මෙහෙකාරයෙකුට හිනාවෙන සිංදුවක් හැටියෙන් රසවින්දෙ නෑ. ඒ කාලෙ බුලින්ග් කියල සංකල්පයක් පවා නෑ. මෑත යුගයේ සංකල්ප, ඒ සංකල්පය උපදින්න පෙරවූ යුගයකට අරන් ගිහින් ඒ තත්වයන් විනිශ්චය කරන්න යොදාගැනීම අමනෝඥ ක්‍රියාවක්. එතනදි සිද්ද වෙන්නෙ අදාල සමාජයේ පැවති සංස්කෘතික තත්වයන් නොතකා හරිමින් තමන්ගේ ප්‍රවණතාමය කාරණයක් අස්වාභාවික ලෙස මතු කිරීම. නෙරූදා ගැන හඳයා කරන්නෙත් ඒ විදිහෙම වැඩක්.

    නෙරූදාගේ නමින් චිලියේ අන්තර්ජාතික ගුවන්තොටුපොලක් නම් කරන්න යද්දි ඒ රටේ සෝ්ෂල් ජස්ටිස් වීරයො කැරලිගැහුවෙ ස්ත්‍රී දූෂකයෙකුට ගෞරව කළ යුතු නෑ කියලයි. නෙරූදා විසින්ම තමන්ගේ ජීවිතයේ අතීතය දෙස හැරී බලමින් කළ ප‍ාපොච්චාරණයන් නෙරූදාවම අපරාධකාරයෙක් විදිහට හඳුන්වන්න මේ අපරිණත‍යො පාවිච්චි කරනවා. ඒ අවංකබව සහ අවලෝකනය වෙනුවට කොහේවත් නැති සංස්කෘතික යුක්තියකින් නෙරූදාට දඩුවම් දෙන්න හදනවා.

    හඳයා කරන්නෙ ඒ රැල්ල උඩ පදින්න උත්සාහයක් බව කියන්න වෙනවා.

    මං හඳයාගේ ෆෑන් කෙනෙක්. ඉතා දරුණු රසිකයෙක්. ඒ ආදරය නිසාම හඳයා ගැන දැඩි විචාරයකට යාමේ අයිතියත් මට තියෙනවා. හඳයා ඇල්බොරාදා මගින් කරන්නෙ නිර්මාණයක් නෙමෙයි, අපරාධයක්. ඒක ඉතාම අසාධාරණ අපරාධයක්.

    ඇල්බොරාදා නරඹන හැම කෙනෙක්ම නෙරූදාගේ සටහන් කියවන්නම ඕන. වාසනාවකට ෆිල්ම් එකත් එක්ක ඒ පොත සිංහලට පරිවර්තනය වුනා. තමන්ගේ කතාව කියන්න මුද්‍රන කවුළුවක් හෝ නෙරූදාට විවෘත කරන්න තරමට සරසවි නිෂ්පාදකයො සාධාරණ වීම අගය කරන්න ඕන.

    නෙරූදා ලංකාවෙ ගත කරන්නෙ ඉතාම කාංසාමය කාලයක්. හුදකලාව සහ ඇසුරු කළ හැකි සමාජයක් නොවීම නෙරූදාට ලංකාව ගැන මතකය අඳුරු කලාපයක් කරනවා. එයා ලංකාවට එන්නෙත් බුරුමයේ ත්‍රස්තවාදී පෙම්වතියකගෙන් පලායාමේ උවමනාවෙන්. ඒ පෙම්වතිය නෙරූදාව තමන්‍ටම පමණක් අයිති කරගැනීමේ ආලයේ ස්වභාවික යැයි සම්මත උමතුවෙන් පෙලෙනවා. ඒ ආදරේට නෙරූදා බයවෙනවා.

    නෙරූදා ලංකාවෙ ගත කරන්නෙ නෙරූදාගේ කවියක් තරම්ම වේදනාව මුසු කාව්‍යමය කාලයක්. ඒත් හඳයා තමන්ගේ චිත්‍රපටිය ඇතුලෙ ඒක දේශපාලන කක්කා බෙට්ටක් කරනවා. ඇත්තටම ලංකාවට හිමිකරගන්න තිබුනු සුන්දර සිනමා අවකාශයක් හඳයා විසින් අහිමි කරනවා.

    නෙරූදා සම්මතයේ නීති තඹ සතේකට නොතකන නිදහස් සෞන්දර්යවාදියෙක්. නෙරූදා පවතින්නෙම තමන්ගෙම වූ මානුෂිකත්වය ගැන අදහසක කියල පැහැදිලියි. ඒක බලයට අසාධාරණයට එරෙහිවීමත් සමගම තවත් තලයකින් වරදකාරීත්වය, සංවේදීබව, පසුතැවීම හා කාංසාව ආදිය මුසුවුනු සංකීර්ණ ඉසව්වක්. නෙරූදා තමන්ගේ මතක සටහන් ලියා තබන්නේ ඒ විනිශ්චයෙන් තොර දෙවියන් ඉදිරියේ බඳු විශ්වයක ඉඳන්. ඉන් පිටත පැවතුනු දරුණු යතාර්ථයට සාපේක්ෂව නෙරූදාගේ ලෝකය ළමයෙකුගේ තරම්ම අහිංසක එකක්.

    මුහුදෙන් අල්ලන- මරන මාළුවෙක් ගැන පවා නෙරූදා කම්පාවෙනවා. ඒ වගේම ඒ කාලෙ ලංකාවෙ අපේ මිනිස්සුන්ගේ දාමරිකකම් එයා විනිශ්චයකින් තොරව සටහන් කරනවා. උදා විදිහට ලංකාවෙ ඒ කාලෙ පැවතුනු අලි දඩයම සහ අලින්ට කරන හිංසනය නෙරූදා දකිනවා. ඒ ගැන සානුකම්පිතව බලනවා විනා එයා ලංකාවෙ මිනිස්සු නොමිනිසුන් විදිහට තමන්ගේ ඇගයීම්වලින් ඔවුන්ව විනිශ්චය කරන්න වෑයම් කරන්නෙ නෑ.

    ඒ වගේම පවතින දැඩි වික්ටෝරියානු සදාචාර පසුබිමත් එක්ක නෙරූදාගේ වටිනාකම් පවතින්නෙ ඊට ප්‍රතිවිරුද්ධ තලයක. එක දවසක පිරිමි දා හතරක් පමණ සමග එකම නිවසක රමණය කළ කාන්තාවකගේ කතාවක් අහන නෙරූදා කියන්නෙ ඒ කාන්තාව වෙනුවෙන් එයාගෙ හදවතේ වෙනම ගෞරවනීය කලාපයක් විවෘත වුනා කියලයි.

    ලංකාවෙ ගත කරන කාලය පුරාම විවිධ ගැහැණුන් සමග ආස්වාදය ලබන නෙරූදාට කායික සතුටක් මිස තමන්ගේ හිස් පැවැත්ම යම් පමණකින් හෝ පිරෙන මානසික තෘප්තියක් එයින් ලැබෙන්නෙ නෑ. එයාට ඊට වඩා යම් ගැඹුරු, ඇත්ත දෙයක් ඕන වෙනවා. එයාගෙ උමතු බුරුම පෙම්වතිය එයාව හොයාගෙන ඇවිත් ගෙදර වත්තෙම පදිංචි වෙනවා. ඒක ඇත්තටම සිදුවුනු දෙයක් වුනත් හඳයා ෆිල්ම් එකේ මේක පෙන්නන්නෙ හීනයක්ද යතාර්ථයක්ද කියල හිතාගන්න බැරි බොඳවූ මානයක. ඒක හරිම ලස්සන සිනමා භාවිතයක් කියල මං හිතනවා. ඇත්තට බාහිරින් සිදුවෙනවාටත් වඩා නෙරූදා තුල ඇතිවෙන බය, පීඩාව ඒකෙන් නිර්මාණාත්මකව මතුවෙනවා.

    ඒ වගේම හඳයා තමන්ගේ වියමන ඇතුලෙ දේශපාලනිකව නෙරූදාව කොටු කරනවා. ගෙදර ඇත්තට ඉන්න බ්‍රම්පි වෙනුවට දෙමළ මනුස්සයෙක් අඩංගු කරනවා. ඒ මනුස්සයාට සදාචාර විනිශ්චයන් ලබාදෙනවා. මුලදීම හඳුන්වාදෙන යකාගෙ මූන බවට කවිකාර නෙරූදාව පත්කරන්න කෘතිය පුරා පිඹුරුපත් අඳිනවා.

    නෙරූදා මේ සැඩොල් තරුණිය දකින්නෙ දෙවඟනක් විදිහටයි. ඒ සමාජයෙන් ප්‍රතික්ෂේප වුනු නාඳුනන ජීවිතය නෙරූදාගේ කාංසාත්මක පැවැත්මට දිව්‍යමය අරමුණක් වෙනවා. වැසිකිලි බාල්දිය හිසෙන් රැගෙන එන තරුණියක් ගැන ප්‍රේමයෙන් බැඳීම කොයිතරම් රූපාකාර්ථමයද? ඒක මාරම තැනක්. ෆ්‍රොයිඩ් කක්කා විස්තර කරන්නෙ ළමාවියේදී අඳුරගන්නා පිවිතුරුම ත්‍යාගය හැටියටයි. තමන් විසින් පිටතට නිර්මාණය කරන එකම වටිනාම දේ. දෙමව්පියන් විසින් ප්‍රතිකේෂප කරන, සඟවන තමන්ගේ දේ. අපි රත්තරං සහ සියලුම ත්‍යාගයන් පිළිබඳ මේ ළමා වියේ කක්කාමය ආශාව පවත්වාගෙන යනවා කියලා ෆ්‍රොයිඩ් විස්තර කරනවා.

    ඒ කක්කා බාල්දිය හිසින් ගත් තරුණියක් ගැන ඇතිවන ආශාව ඉතාම ගැඹුරු මානසික හැඟීමක් වෙන්න ඕන. ඒක සිහිනයක් තරම්ම ගැඹුරුයි. දේශපාලනයක් ඇතුල්වෙන්න බැරි තරම් සංස්කරණයෙන් තොරයි. සමාජයෙන් පහත් යැයි දකින, ප්‍රතික්ෂේප කරන මේ කක්කා තරුණිය තමයි නෙරූදාගේ ජීවිතේ දිව්‍යමය ත්‍යාගය වෙන්නෙ.

    හඳයා නෙරූදා විස්තර කරන දේවරූප සංකල්පය පාවිච්චි කරනවා. නමුත් ඒ අතර තමන්ගේ ප්‍රබන්ධමය යතාර්ථයකින් නෙරූදාගේ දේවරූපය කෙලෙසනවා. ඒ දිව්‍යමය ආදරය අපවිත්‍ර කරනවා.

    මෙතනදිත් හඳයා නෙරූදාගේ දේවරූපය සහ විය හැකි යැයි උපකල්පිත සෝෂල් ජස්ටිස් යතාර්ථය දෙපැත්තට ඡේදනය කරනවා. ඒත් සෝෂල් ජස්ටිස් ප්‍රබන්ධයට නෙරූදාගේ අත්දැකීම අසාධාරණ විදිහට යටපත් කරනවා.

    ඒ කාලෙ සාමාන්‍ය සැඩොල් තරුණියකගේ ජීවිතය ගත්තොත් එතන ‘දූෂණය’ කියල දෙයක් පවතින්න හැටියක් නෑ. ඒ ගැහැණු පිරිමි සබඳතාවල ආදරය කියන්නෙම බලහත්කාරයක්. අපේ රාවණා යුගයේ පටන්ම පැහැරගෙන ඒම ආදරයක් විදිහටයි පවතින්නෙ. මානව විද්‍යාවේ බොහෝ ගෝත්‍රවල පැහැරගෙන යාම විවාහයක්. හැම කෙල්ලෙක්ම වගේ බඩවැටියක, ලන්දක කවුරු හෝ පිරිමියෙකුගේ ආශාවකට නතුවෙනවා. ඒක අපි අද දරන ශිෂ්ට යැයි සම්මත සංස්කෘතික ආකල්පවලට පෙරපැවති යුගයක්. අපි පූසෙක් අතින් පූසියක් දූෂණයට ලක්වෙනවා කියල කියන්නෙ නෑ. අපේ සංකල්පය ඒ අවකාශයට අදාල නෑ.

    ඒ වගේම යම් බලයක් ඇති කෙනෙකුගේ උවමනාවට ලිංගිකව අවනත වීම ඉතාම ලේසියෙන් සිද්ද වෙනවා. ලංකාවෙ බොහෝ නිර්මාණවල වලව්වෙ හාමු විසින් බලෙන්, අඬා වැළපෙන ගම්බද තරුණියන් කෙලෙසන හැටි පෙන්නනවා. ඒත් මේ අවස්ථාව ගැඹුරින් හිතලා, හොයලා බලලා නිර්මාණය වුනේ පියාඹන අශ්වයා ටෙලි නාට්‍යයේ විතරයි කියලයි මං හිතන්නෙ.

    ඒ නාට්‍යයේ වලව්වෙ හාමුගෙ ආශාව පිණිස යන ගැහැණිය ඒ පසුවත් ඒ මොහොත මෙනෙහි කරමින් තනිව සතුටු වෙනවා. තමන්ගේ ගඳගහන පිරිමියා වෙනුවට පිරිසිදු පිරිමියෙකුගේ පහස ලැබීම ගැන ඇතුලතින් ආඩම්බර වෙනවා.

    ‘හාමු ළඟ වළාකුලු සුවඳයි’ ඒ ගැහැණිය තමන්ගේ සැමියාට කියනවා.

    මෙතනදි කාරණා දෙකක් වැඩකරනවා. එකක් බලය නැත්තං පවර් කියන එක. අනික සිඩක්ෂන් කියන එක. අපි දේශපාලනිකව යමක් දිහා බලලා විනිශ්චය කරන්න යද්දි මගහරින කාරණය තමයි සිඩක්ෂන් හෙවත් වසඟය. වසඟය බලහත්කාරයක් නෙමෙයි. වසඟයකදී දෙපාර්ශ්වයම තෘප්තියක් අත්විඳිනවා. බලය, ධනය, රූපය හෝ කක්කා බාල්දියක් වුනත් වසඟයට බලපාන්න ඉඩ තියෙනවා.

    උසස් යැයි සම්මත කෙනෙකුගේ ආකර්ශනයට බඳුන්වීම පහත් යැයි ප්‍රතික්ෂේපිත කාන්තාවකට දැනෙන්න ඉඩ තියෙන්නෙ අද අපි කැම්පස් එකක් ඇතුලෙ ඉඳන් විනිශ්චය කරන ආකාරයෙන් නෙමෙයි. ඒක බොහෝ විට බලහත්කාර දූෂණයකට වඩා අප්‍රකාශිත කැමැත්තකින් ඉඩදීමක් වෙන්න පුළුවන්.

    නෙරූදා කොළඹ ගෙදර නිදාගන්නෙ බූරු ඇඳක. හඳයා ඒක වියන් ඇඳක් බවට පෙරලනවා. ඒ ඇඳ රූපයක් විදිහට බලයකින්, සල්ලාලකමකින් ආරෝපනය කරනවා. නෙරූදාගේ අතින් බූරු ඇඳක් උඩ කෙළෙසෙන සැඩොල් තරුණියකගෙන් ඒ ස‍ෝෂල් ජස්ටිස් බලහත්කාරයේ ස්වරූපය හදන්න අමාරු වුනා වෙන්න පුළුවන්.

    මේ සැඩොල් තරුණිය ගැන ආදර උමතුවෙන් ඇය වෙනුවෙන් පළතුරු සාරි ආදිය තබමින් ආදර පූජා කළ හැටි නෙරූදා ලියනවා. ඒත් ඒ ආදරයේ භාෂාව ඇයට තේරෙන්නෙ නෑ. ඇය එක්ක කතා කළ හැකි භාෂාවක් නෙරූදා දන්නෙ නෑ. සැඩොල් තරුණිය හඳුනන ආදරයේ භාෂාව කුමක් විය හැකිද? ඒක අනිවාර්යෙන්ම ශරීරමය භාෂාවක්. ආදරය ප්‍රකාශ කරන තෑගිමය සංකල්පවලට පෙර පැවති එකක්.

    තමන් අතින් අල්ලාගත් සැණින් ඇය කාමරය වෙත පියමං කළ බවත්, ඇඳ මත නිරුවත් වූ බවත් නෙරූදා ලියනවා. හඳයා මේ අවස්ථාව ප්‍රචණ්ඩ බලහත්කාරී දූෂණයක් බවට පෙරලනවා. හඳයාගේ සැඩොල් තරුණිය කෑ ගසමින් වන සතෙක් මරණයෙන් ගැලවෙන්න දඟලනවා බඳුව පොරබදනවා. මෙය බලාසිටින හඳයාගේ දෙමළ බ්‍රම්පි පවා කැළඹීමට ලක්වෙනවා.

    හඳයාගේ බ්‍රම්පි නෙරූදාව ප්‍රතික්ෂේප කරන්නෙ ස්ත්‍රී දූෂණයක් කළ නිසාද නැත්නම් සැඩොල් තරුණියක් සමග රමණය කිරීමෙන් නෙරූදාත් සැඩොලෙක් බවට පත්වූ නිසාද කියල අපැහැදිලියි. එය අනිවාර්යෙන්ම දෙවැන්න විය යුතු නමුත් මේ සදාචාර විනිශ්චයක යෙදෙන සිනමා කෘතිය ඉඟිකරන්නෙ පළමුවැන්න දිශාවටයි.

    දෙවඟනක් දූෂණය වූ සැටියෙන් හඳයා නෙරූදාගේ සැඩොල් තරුණිය හා රමණය විකෘති කරනවා. ඇය පිළිමයක් මෙන් ඇදේ වැතිර හිටියා කියල නෙරූදා සටහන්වල ලියනවා. ඒක අකමැත්තක් හැටියෙන් එයා දකිනවා. ඒත් ලංකාවෙ ගෑනු මළකඳන් මෙන් ඇදේ වැතිර සිටීම නෙරූදාට අමුතු වුනාට අපිට අමුතු වෙන්න විදිහක් නෑ. පරසතු මල් චිත්‍රපටියෙ ‘කැමති දෙයක් කරගන්න’ කියල අනුලා ඇදේ දිගාවෙන්නෙත් මේ විදිහටමයි.

    නමුත් ඇගේ සහභාගීත්වයක් නැතුව තමන්ගේ ආස්වාදය වෙනුවෙන් පමණක් පැවති සංසර්ගය ගැන නෙරූදා පසුතැවිලි වෙනවා. ඒත් ඒ කාලෙ නෙමෙයි අද පවා රමණයේදී තමන්ගේ ආස්වාදය වෙනුවෙන් ක්‍රියාකාරී වෙන ගැහැණු ලංකාවෙ කොයිතරම් අල්පද? අපේ අම්මලා පවා විශ්වාස කලේ එය පිරිමින්ට සතුටු වෙන්න ඉඩ ලබාදීමක් හැටියෙන් විතරයි. එහෙම බැලුවොත් අපිට තාත්තලා සීයලා ආදී පරණ පරම්පරා සියල්ල ස්ත්‍රී දූෂකයො හැටියට නම් කරන්න වෙනවා.

    මං මෙතනදි ස්ත්‍රී දූෂණයට අනුබල දෙනවා නෙමෙයි. ඒත් කන්සෙන්ට් කියන දේ නොපැවති යුගයකට කන්සෙන්ට් එක අදාල කරගැනීම වැරැද්දක්. ඒ වගේම නෙරූදා විසින් තමන්ගේ ඇතුලාන්තය ගැන විවෘතව තැබූ සටහන් ඉතාම ඌනිත ආකාරයකින්, පටු දේශපාලන කෝණයකින් අර්ථකතනය කිරීම සිනමාකරුවෙක් හැටියට හඳයා කරන බරපතල වැරැද්දක්.

    එතනින් නොනැවතී හඳයා මේ සැඩොල් ත‍රුණිය දියේ ගිල්වා මරාදානවා. ඒ මදිවට නෙරූදාගේ හිසේ කක්කා බාල්දිය තබා ප්‍රසිද්ධියේ ඇවිද්දමින් ඊට දඩුවම් දෙන්නත් යනවා.

    මීට කාලෙකට කලින් අනෝමා ජනාදරී හඳයාට මීට සමානම චෝදනාවක් කරනවා. මං පුද්ගලිකව ඒ චෝදනාව විපරීත, අසාධාරණ එකක් හැටියෙන් බැහැර කළා. අනෝමා එක්ක හිටගත්තට වඩා පිරිසක් එතනදි මං වගේම හඳයා එක්ක හිටගත්තා. මං ඒ චෝදනාවලට විරුද්ධ වුනේ ඒවා සම්බන්ධතාවයක් ඇතුලෙ සිදුවු දේ පසුව වෙනත් ආකාරයකින් අර්ථ ගන්වමින් ස්ත්‍රියක් වීමේ දේශපාලන වාසිය (සෝෂල් ජස්ටිස් බල ධූරාවලියේ පහතින් පිහිටීමේ වාසිය) ලබන්නට ගොනු කරන විකාරසහගත කතන්දර බැව් පෙනෙන්න තිබුනු නිසා. දැන් හඳයා ආපහු හැරිලා නෙරූදාට මේ චෝදනාව කරන එක කොයිතරම් අයිරොනිකල්ද?

    දැන් අර නෙරූදා‍ගේ කක්කා බාල්දිය මගේ ඇඟට පෙරලෙන්නට නියමිතයි. නහය වහගන්න ඕන.


    චින්තන ධර්මදාස

  • කොන්දේසි විරහිතව නිදහස වෙනුවෙන්

    කොන්දේසි විරහිතව නිදහස වෙනුවෙන්

    පහන්තුඩාව කලබගෑනියත් එක්ක ප්‍රකාශනයක සභ්‍ය අසභ්‍ය බව ගැන කතා බහක් ආයෙත් ඇති වෙලා. pornography යන්නෙන් “අශ්ලීල” “අසභ්‍ය“ යන සිංහල තේරුමක් තමයි හැඟවෙන්නේ. erotic කියන්නේ සරාගී කියන තේරුම. erotic සහ pornography අතර මායිම් වෙන්වන තැනක් පැහැදිලි නැහැ. මායිම බොඳවී ගිය අඩවීන් දෙකක්. ඒ දෙක අතර වෙනස උත්ප්‍රාස ජනක ලෙස මෙලෙස හඳුන්වන්න පුළුවන්.

    ”ඔබ කැමති නම්, ඒක pornography. මම කැමති නම් ඒක erotic” (If you like it, it’s pornography. If I like it, it’s erotic)

    ඇත්තටම ලංකාවේ නීතිය ඇතුලේ වත්, මම විශ්වාස කරන විදියට වෙන රටක වත්, obscene හෙවත් අසභ්‍ය කියන වචනය හරියට නිර්වචනය කරලා නැහැ. D H ලෝරන්ස් ගේ (Lady Chatterley’s Lover ) චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කියන නවකතාව 1928 ලියුවට එහි සංස්කරණය නොකල මුල් පිටපත් එංගලන්තේ පළවුණේ 1960 ප්‍රසිද්ධ නඩු විභාගයෙන් එම නවකතාව “සරාගී නවකතාවක්” හැටියට තීන්දු කලාට පස්සේ. මේ විභාගය කෙරුනේ 1959 එක්සත් රාජධානි පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණු අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත යටතේ. මේ නඩු විභාගයට E M Forster E. M. Forster, Helen Gardner, Richard Hoggart, Raymond Williams and Norman St John-Stevas, ඇතුළු ප්‍රසිද්ධ ලේඛකයින් ගණනාවක් සාක්ෂියට කැඳවා තිබුණා.

    එය ඒ කෘතියට අදාල නඩු තීන්දුවක්. නිර්වචනයක්. තවත් කෘතියක සභ්‍ය අසභ්‍ය බව තීරණය කරන්න මේ තීන්දුව නිර්නායකයක් විදියට යොදා ගත හැකි වුනත් ඒ කෘතියේ, කලාත්මක, සාහිත්‍යමය, විද්‍යාත්මක සහ අධ්‍යාපනික වැදගත් කම සලකලා තමයි එය විනිශ්චය වන්නේ.

    Pornography කියන වචනයට working definition එකක් (ක්‍රියාකාරී නිර්වචනයක්) “ලිංගික ආශාවල් උද්දීපනය කිරීමේ සහ තෘප්තිමක් කිරීමේ අරමුණින් වැඩිහිටි විනෝදාස්වාදන සේවා සපයන සමාගම් විසින් විකුණන/සපයන සවිස්තරාත්මක ඉපැහැදිලි ලිංගික ජවනිකා ඇතුලත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන.” විදියට දෙන්න පුළුවන්, කියලා ඒ පිලිබඳ ලියවුනු පොත පතේ සඳහන් වෙනවා.

    ජපාන සිනමාකරු, නගාශි ඔශිමා In the realm of senses ගේ කියන චිත්‍රපටය, පැහැදිලි සවිස්තරාත්මක ලිංගික ජවනිකා ඇතුලත් චිත්‍රපටයක්. එහෙත් එය නිල් හෙවත් pornographic චිත්‍රපටයක් ලෙස සැලකෙන්නේ නැහැ.

    Pornographic Sites කියන්නේ වැඩිහිටි වින්දන අවකාශයක්. ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක්. ලෝකයේ හැම දියුණු රටකමත්, අසල්වැසි ඉන්දියාවේත් porn නිෂ්පාදන කෙරෙනවා. දැඩි නීති රීති සහිත අරාබි රටවලත් කෙරෙනවා. වාරණ වැඩි වෙන තරමට ඒවාට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා.

    porn කර්මාන්තය ට ස්ත්‍රීවාදී විරෝධයක් තියෙනවා. එය පුරුශාධිකාරීයි කියා නිරීක්ෂණය කෙරෙනවා. ඒක බොරුවක් නෙවෙයි. porn හැදෙන්නේ ම පිරිමි ප්‍රේක්ෂකයෙක් ඉලක්ක කරගන බව පේනවා. ඒකට හේතුව මේ නිෂ්පාදන සඳහා වැඩිම ඉල්ලුමක් තියෙන්නේ පිරිමින් ගෙන් නිසා. ලෙස්බියන් දෙන්නෙකු ගේ porn film එකක් වුනත් හැදෙන්නේ පිරිමි වින්දනය සඳහා.

    හැම කර්මාන්තයකම වගේම මේ කර්මාන්තයේත් අකටයුතු කම්, සූරාකෑම් සිද්ධවෙනවා. ස්ත්‍රීන් පීඩාවට පත් කෙරෙනවා. ඒවාට විරුද්ධව කෙරෙන අරගල සමස්ත ස්ත්‍රී විමුක්තියත් සඳහා කෙරෙන අරගල සන්දර්භයක විය යුතුයි.

    පුද්ගලිකව මම කොන්දේසි විරහිත ප්‍රකාශන නිදහසක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. එය යුටෝපියානු ඉලක්කයක් වෙන්න පුළුවන්. ඒත් ඒක තමයි මගේ ඉලක්කය.

    පහන්තුඩාවේ වීඩියෝව ඇස ගැටෙන්නේ හාමුදුරු කෙනෙකුට. නිරන්තර එහි සරන්නෙකුට හැරෙන්නට, ඒ අඩවි වල වීඩියෝ සොයාගන්නා සෙවුම් පද ( search words) හොඳින් දන්නා කෙනෙකුට ඇරෙන්න එවැන්නක් අහම්බෙන් මුණ ගැසෙන්නට තියෙන ඉඩ කඩ ඉතාම අඩුයි. තහනම යෝජනා කරන්නෙම නිදහස උපරිමයෙන් විඳින කෙනෙක්. හාමුදුරුවන් ඒ පැමිණිල්ල කර මේ මහා කලබගෑනිය නොවන්න ට එය කිහිප දෙනෙකුගේ පමණක් ඇස ගැටී යට ගැසෙන්න ට තිබුණු වීඩියෝවක්. යෝහානි ගේ මැණිකේ මගේ සිතේ සින්දුව වගේම වයිරල් වුනත් පුදුම වෙන්න දෙයක් නැහැ.

    අක්ෂරය තහනම් වුනාට, ඒ තහනම ගෙනා අයම අන්තර් ජාලයට මුදාහැරී වීඩියෝවක් මිලියන ගණනක් දෙනා නැරඹුවා.


    අශෝක හඳගමගේ ෆේස්බුක් පිටුවෙන්