පහන්තුඩාව කලබගෑනියත් එක්ක ප්‍රකාශනයක සභ්‍ය අසභ්‍ය බව ගැන කතා බහක් ආයෙත් ඇති වෙලා. pornography යන්නෙන් “අශ්ලීල” “අසභ්‍ය“ යන සිංහල තේරුමක් තමයි හැඟවෙන්නේ. erotic කියන්නේ සරාගී කියන තේරුම. erotic සහ pornography අතර මායිම් වෙන්වන තැනක් පැහැදිලි නැහැ. මායිම බොඳවී ගිය අඩවීන් දෙකක්. ඒ දෙක අතර වෙනස උත්ප්‍රාස ජනක ලෙස මෙලෙස හඳුන්වන්න පුළුවන්.

”ඔබ කැමති නම්, ඒක pornography. මම කැමති නම් ඒක erotic” (If you like it, it’s pornography. If I like it, it’s erotic)

ඇත්තටම ලංකාවේ නීතිය ඇතුලේ වත්, මම විශ්වාස කරන විදියට වෙන රටක වත්, obscene හෙවත් අසභ්‍ය කියන වචනය හරියට නිර්වචනය කරලා නැහැ. D H ලෝරන්ස් ගේ (Lady Chatterley’s Lover ) චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කියන නවකතාව 1928 ලියුවට එහි සංස්කරණය නොකල මුල් පිටපත් එංගලන්තේ පළවුණේ 1960 ප්‍රසිද්ධ නඩු විභාගයෙන් එම නවකතාව “සරාගී නවකතාවක්” හැටියට තීන්දු කලාට පස්සේ. මේ විභාගය කෙරුනේ 1959 එක්සත් රාජධානි පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණු අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත යටතේ. මේ නඩු විභාගයට E M Forster E. M. Forster, Helen Gardner, Richard Hoggart, Raymond Williams and Norman St John-Stevas, ඇතුළු ප්‍රසිද්ධ ලේඛකයින් ගණනාවක් සාක්ෂියට කැඳවා තිබුණා.

එය ඒ කෘතියට අදාල නඩු තීන්දුවක්. නිර්වචනයක්. තවත් කෘතියක සභ්‍ය අසභ්‍ය බව තීරණය කරන්න මේ තීන්දුව නිර්නායකයක් විදියට යොදා ගත හැකි වුනත් ඒ කෘතියේ, කලාත්මක, සාහිත්‍යමය, විද්‍යාත්මක සහ අධ්‍යාපනික වැදගත් කම සලකලා තමයි එය විනිශ්චය වන්නේ.

Pornography කියන වචනයට working definition එකක් (ක්‍රියාකාරී නිර්වචනයක්) “ලිංගික ආශාවල් උද්දීපනය කිරීමේ සහ තෘප්තිමක් කිරීමේ අරමුණින් වැඩිහිටි විනෝදාස්වාදන සේවා සපයන සමාගම් විසින් විකුණන/සපයන සවිස්තරාත්මක ඉපැහැදිලි ලිංගික ජවනිකා ඇතුලත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන.” විදියට දෙන්න පුළුවන්, කියලා ඒ පිලිබඳ ලියවුනු පොත පතේ සඳහන් වෙනවා.

ජපාන සිනමාකරු, නගාශි ඔශිමා In the realm of senses ගේ කියන චිත්‍රපටය, පැහැදිලි සවිස්තරාත්මක ලිංගික ජවනිකා ඇතුලත් චිත්‍රපටයක්. එහෙත් එය නිල් හෙවත් pornographic චිත්‍රපටයක් ලෙස සැලකෙන්නේ නැහැ.

Pornographic Sites කියන්නේ වැඩිහිටි වින්දන අවකාශයක්. ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක්. ලෝකයේ හැම දියුණු රටකමත්, අසල්වැසි ඉන්දියාවේත් porn නිෂ්පාදන කෙරෙනවා. දැඩි නීති රීති සහිත අරාබි රටවලත් කෙරෙනවා. වාරණ වැඩි වෙන තරමට ඒවාට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා.

porn කර්මාන්තය ට ස්ත්‍රීවාදී විරෝධයක් තියෙනවා. එය පුරුශාධිකාරීයි කියා නිරීක්ෂණය කෙරෙනවා. ඒක බොරුවක් නෙවෙයි. porn හැදෙන්නේ ම පිරිමි ප්‍රේක්ෂකයෙක් ඉලක්ක කරගන බව පේනවා. ඒකට හේතුව මේ නිෂ්පාදන සඳහා වැඩිම ඉල්ලුමක් තියෙන්නේ පිරිමින් ගෙන් නිසා. ලෙස්බියන් දෙන්නෙකු ගේ porn film එකක් වුනත් හැදෙන්නේ පිරිමි වින්දනය සඳහා.

හැම කර්මාන්තයකම වගේම මේ කර්මාන්තයේත් අකටයුතු කම්, සූරාකෑම් සිද්ධවෙනවා. ස්ත්‍රීන් පීඩාවට පත් කෙරෙනවා. ඒවාට විරුද්ධව කෙරෙන අරගල සමස්ත ස්ත්‍රී විමුක්තියත් සඳහා කෙරෙන අරගල සන්දර්භයක විය යුතුයි.

පුද්ගලිකව මම කොන්දේසි විරහිත ප්‍රකාශන නිදහසක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. එය යුටෝපියානු ඉලක්කයක් වෙන්න පුළුවන්. ඒත් ඒක තමයි මගේ ඉලක්කය.

පහන්තුඩාවේ වීඩියෝව ඇස ගැටෙන්නේ හාමුදුරු කෙනෙකුට. නිරන්තර එහි සරන්නෙකුට හැරෙන්නට, ඒ අඩවි වල වීඩියෝ සොයාගන්නා සෙවුම් පද ( search words) හොඳින් දන්නා කෙනෙකුට ඇරෙන්න එවැන්නක් අහම්බෙන් මුණ ගැසෙන්නට තියෙන ඉඩ කඩ ඉතාම අඩුයි. තහනම යෝජනා කරන්නෙම නිදහස උපරිමයෙන් විඳින කෙනෙක්. හාමුදුරුවන් ඒ පැමිණිල්ල කර මේ මහා කලබගෑනිය නොවන්න ට එය කිහිප දෙනෙකුගේ පමණක් ඇස ගැටී යට ගැසෙන්න ට තිබුණු වීඩියෝවක්. යෝහානි ගේ මැණිකේ මගේ සිතේ සින්දුව වගේම වයිරල් වුනත් පුදුම වෙන්න දෙයක් නැහැ.

අක්ෂරය තහනම් වුනාට, ඒ තහනම ගෙනා අයම අන්තර් ජාලයට මුදාහැරී වීඩියෝවක් මිලියන ගණනක් දෙනා නැරඹුවා.


අශෝක හඳගමගේ ෆේස්බුක් පිටුවෙන්