Tag: political

  • මාලිමාවාසීන්ගේ රුසියානු බඩු

    මාලිමාවාසීන්ගේ රුසියානු බඩු

    එංගලන්තෙ ජීවත් වෙන මාලිමාවට බැතිමත් තරුණයෙක් පෝස්ටුවක් දමමින් මේ ලංකාවට එන්නෙ රුසියානු බඩු බවත් ඒ අය ටුවරිස්ට්ලා නොවන බවත් ප්‍රකාශ කරලා තිබුණ. ඒ වගේම එංගලන්තෙ වගේ රටවල මේ රුසියානු ‘බඩු’ වලට ඇතුල්වෙන්න පවා නොදෙන බව මේ තරුණයා ප්‍රකාශ කරලා තිබුනෙ ආඩම්බරෙන්. වඩාත් ආකර්ශනීය විදිහට මේ තරුණයා විසින් රුසියානුවන් ‘නියම සුද්දන්’ නොවන බවත් නියම සුද්දා කවුද යන්න තමන් දන්නා බවත් තමන්ගේ එංගලන්තවාසී බව ඇතුලෙ ඉදිමෙමින් සළකුණු කරනවා. මේ ප්‍රකාශ ඇතුලෙ මට පැහැදිලිව පේන කාරණා කීපයක් තියෙනවා.

    එකක් ලිංගික ශ්‍රමික වෘත්තිය සම්බන්ධයෙන් ඔහු තුල ඇති පහත් පිලිගැනීම. ඒ හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව එයා මේ යුවතියන් ‘බඩු’ බවට ඌනනය කරනවා. මේක ලංකාවෙ අපි ‘බයි’ සංස්කෘතිය කියලා විවේචනය කරපු මිසොජිනිස්ටික් තත්වයක්. ලිංගිකව නිදහසේ හැසිරෙන ගැහැණුන් පහත් විදිහට තේරුම් ගැනීම. පිරිසිදු නැති, වටිනාකමක් නැති, ඇතුල්වෙන්න පවා අයිතියක් නැති කොටසක් විදිහට දැකීම.

    මෙතන තවත් වැදගත් දෙයක් වෙන්නෙ මේ සියලු රුසියානු තරුණියන් ‘බඩු’ බව තීරණය වෙන්නෙ කිසිම සමීක්ෂණයකින් හෝ වාර්තාවකින් නෙමෙයි. උදයංගගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන පිංතූර දාන හින්ද. මේ අය ලිංගික ශ්‍රමිකයන් වෙන්න පුළුවන්, නිරූපිකාවන් වෙන්න පුළුවන්, උදයංගගෙ මිතුරියන් වෙන්න පුළුවන්, තොරතුරු තාක්ෂණවේදීන් වෙන්න පුළුවන්. වෙන ඕනම කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ සියලු තත්වයන් අතරින්, උදයංග පිංතූරයක් පළ කරන සැණින් මේ තරුණයා තීරණය කරනවා පැමිණෙන සියල්ලන් ‘බඩු’ බවට. මේකත් බයි ලක්ෂණයක්. දකුණු පළාතේ ඉතා කුප්‍රකට මිනීමැරුම කුරාම් ෂීක් සිද්දිය සිද්ද වුනෙත් මේ එංගලන්තවාසී තරුණයාට සමාන උපකල්පනයක් මත. කුරාම්ගේ රුසියානු පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නා ‘බඩුවක්’ විදිහට රාජපක්ෂවාදී සම්පත් විදානපතිරණ නිගමනය කරලා තිබුන.

    දෙවෙනුව මේ මාලිමාකාමී තරුණයාගෙ ඔලුවෙ ‘නියම සුද්දන්’ ඉන්නවා. ඒ සුද්දන් යනු වැඩියෙන් ඩොලර් වියදම් කරන අයයි. මේ කතාවම මේ පක්ෂයේ ආර්තිකය සම්බන්ද විශේෂඥ සුනිල් හඳුන්නෙත්තිත් කියනවා. එයා කියන විදිහට අපිට දැන් එන්නෙ, අපෙන් කාලා, අපේ තැන නිදාගෙන, අපේ බීච් එක පාවිච්චි කරලා යන සංචාරකයො. එහෙම අයගෙන් ආර්ථිකයට වැඩක් වෙන්නෙ නෑ. අපි සංචාරකයෙක් මනින්න ඕන එයා දෙන ටිප් එකෙන්. වියදම් කරන ප්‍රමාණයෙන්. (මේ කියන හඳුන්නෙත්ති කන බොන අඳින විදිහ ගැන එයාගෙම ප්‍රකාශ සංසන්දනය කිරීමෙන් වැඩි ආනන්දයක් ලබන්න පුළුවන්)

    ලංකාවට වියදම් කිරීමේ හැකියාව නැති, විවිධ නිර්මාණශීලීත්වයන්ගෙන් හෙබි විදේශිකයො ගොඩක් එනවා. ඒ අය ලංකාවෙ මිනිස්සු එක්ක එකතු වෙලා විවිධ ව්‍යාපාර ආරම්භ කරනවා. ලංකාව ගැන යූටියුබ් චැනල් කරනවා. වැදගත්ම දේ මේ අය ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු එක්ක මුහු වෙනවා. ඒ හින්ද වඩාත් සංචාරක හිතැති සංස්කෘතියක් නිර්මාණය වෙනවා. ඒ අවශ්‍යතා සහ ආශාවන්ට වඩා නිවැරදිව සමීප වෙන්න පුළුවන් අවස්ථා නිර්මාණය වෙනවා. තමන්‍ට හුරු, සමීප සංස්කෘතියක ජීවත්වෙන අය විසින් ලබන අත්දැකීම් විඳින්න තවත් විදේශිකයන් පෙළඹෙනවා. ඒ අය කරන්නෙ ඇත්තටම මිළ කළ නොහැකි සංචාරක ප්‍රවර්ධනයක්.

    මෙතනදි හඳුන්නෙත්ති කතා කරන්නෙ තමන්ගේ අතට ලැබෙන මුදල පමණක් ගණං කරන හෝටල්කාරයෙක් වගේ. Eco System එකක් ගැන කිසිම දැනීමක් නැතිව. අපේ රටට එන හැම විදේශිකයාම අපිට වැදගත්. ඔවුන් වියදම් කරන මුදල කියන්නෙ ප්‍රධාන සාධකය නෙමෙයි.

    අපි ආපහු මාලිමාකාමී තරුණයාගේ කතාවට එමු.

    වඩාත් හාස්‍යජනක කාරණය වෙන්නෙ එංගලන්තයට ගිහින් ඒ රටේ ආර්ථිකය මත යැපෙන මේ තරුණයා එය මහා ආඩම්බරයක් හැටියෙන් පිළිගනිමින් ලංකාවේ ශ්‍රම රැකියාවක් පිණිස එනවා යැයි ඔහු උපකල්පනය කරන කාන්තාවන් දෙස අවඥාවෙන් බැලීමයි. ලංකාවෙන් වෙන රටවලට පෝලිමේ පනින අතර වෙන රටකින් ලංකාවෙ රස්සා පිණිස එන එකට විරුද්ධ වීම කුහකයි. ඒ කුහකකම රාජපක්ෂවාදයේ ලකුණක්. අපේ උත්සාහය විය යුත්තේ ඕනෑම කෙනෙකුට ලෝකෙ ඕනෑම රටකට ගිහින් තමන් කැමති ඕනෑම රැකියාවක් කිරීමේ අවස්ථාව නිර්මාණය කිරීම මිස දේශසීමා අඳිමින් මිනිස් සංචරණය සීමා කිරීම නෙමෙයි. නිදහස් වෙළඳපොලක වැදගත්ම කාරණයක් මිනිස්සුන්ට ඕනම තැනක ගිහින් තමන් කැමති රැකියාවක් කිරීමේ නිදහස. ඒ අය එක්ක එන්නෙ මුදල් විතරක් නෙමෙයි. දැනුම, සංස්කෘතිය, අදහස්, ජාන, ජීවන සහ සිතීමේ විලාස.

    ගණිකා වෘත්තිය කියන්නෙ අපේ රටේ ආඩම්බරෙන් කරන වෘත්තියක් නෙමෙයි. ඒ වගේම ඒ වෘත්තීය පුහුණුවෙන් සහ දැනුමෙන් අපි ඉන්නෙ අන්තිම පහත් අඩියක. නමුත් සංචාරක කර්මාන්තයේ වර්ධනයට මේ ආශා කර්මාන්තයේ පැවැත්ම අනිවාර්යයක් වෙනවා. මෙතනදි රුසියානු ලිංගික ශ්‍රමිකයන් කියන්නෙ මේ කර්මාන්තයේ ඉතාම ප්‍රවීනයන් හැටියටයි පිළිගන්නෙ. ඒ අය ලංකාවට ඇවිත් තමන්ගේ වෘත්තියෙහි යෙදීම අපිට සලකන්න වෙන්නෙම ආයෝජනයක් හැටියට.

    මේ මාලිමාභක්තික තරුණයා විසින් කරපු ප්‍රකාශය වෙනුවෙන් මාලිමාවේ ෆේස්බුක් ප්‍රචාරක හැටියට නිල වශයෙන්ම පෙනී සිටින දර්ශන ඩයසුත් පෙනී ඉන්නවා. එයාට අනුව මේ ලිංගික ශ්‍රමිකයන් ලංකාවට පැමිනෙන එකෙන් ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන්ට ඇති අවස්ථා අඩුවීම නිසයි මාලිමාව මේ රුසියානු කාන්තාවන්ට විරුද්ධ වෙන්නෙ. ඒක අන්තිම ආරක්ෂණවාදී පිළිවෙතක්. තමන්ගේ රටේ වෘත්තියක් වශයෙන් පිළිනොගත් ක්ෂේත්‍රයක රැකියාවක් පිණිසවත් වෙන රටක කෙනෙක් එන එකට විරුද්ධ වීම විකාරසහගතයි. අපි ඒක පැත්තකින් තියමුකො. වැදගත් කාරණය වෙන්නෙ මාලිමාව ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක. (වෘත්තියක ආරක්ෂාව ගැන හිතන කෙනෙක් මුලින්ම උත්සාහ කරන්නෙ ඒ වෘත්තිය නීතිගත කරන්නයි) අවාසනාවට මං තාම කිසිම තැනක මාලිමා ප්‍රධානියෙක් ඔය සම්බන්ධයෙන් කතාවත් කරනවා අහලා නෑ. නමුත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් මාලිමාව ඉදිරිපත් වෙනවා නම් අපි එකපයින් ඒකට සහයෝගය දෙනවා.

    නමුත් මාලිමාවාසීන් දැනගත යුතු කාරණයක් වෙන්නෙ වෘත්තියක් නීතිගත කිරීමට කලින් ඒ වෘත්තිය සම්බන්ධයෙන් ගරුත්වයක් ඇති කිරීමේ වැදගත්කමයි. කාන්තාවන් ‘බඩු’ බවට පත් කිරීමේ සංස්කෘතියක් ඇතුලෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න පුළුවන් වෙන්නෙ නෑ. පළමුව ලිංගික ශ්‍රමිකයෙක් යෙදෙන වෘත්තිය ගරුත්වයක් ඇතුව පිළිගන්න කියන එක මාලිමා බැතිමතුන්ට දේශනා කරන්න. දෙවෙනුව ලංකාවේ ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කිරීමට පියවර ගන්න. තෙවනුව ලිංගික සෞඛ්‍යය පිළිබඳ තත්ව තහවුරු කිරීමට අරගල කරන්න. ඊට පස්සෙ පුළුවන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ක්‍රියාත්මක වෙන්න.

    මාලිමාවට සම්බන්ධ අයගේ මෙවන් අනියම් ප්‍රකාශ වැදගත් වෙන්නෙ ඒවා තුලින් මාලිමාවේ අවිඥානය කියවෙන නිසයි. ඒ කාලෙ X කණ්ඩායම කිව්වෙ ‘ඔබේ අවිඥාණය අපි’ කියල. ඒ වගේ කාන්තාවන් දිහා බලන දෘෂ්ටිය, මුදල් සම්බන්ධයෙන් ඇති ආකල්පය, බටහිර ධනපති දියුණුව ගැන ඇති ආශාව, ආඩම්බර වෙන්න මොකුත්ම නැත්තං බටහිර රටක ඉන්න එක ගැනවත් ආඩම්බර වෙමින් ලංකාව ආරක්ෂා කරන්න ගන්න උත්සාහය මේ ආදී ලක්ෂණ අපි නැවත නැවත සිහියෙන් කියවාගන්න ඕන. මේ ලක්ෂණ අපිට මතක් කරන්නෙ අපි දන්න පරණ ‘බයියාව’. එතකොට අපිට මාලිමාව මොනවා කිව්වත් ඒ පිටිපස්සෙ පවතින සාමූහික අවිඥානය තේරුම් ගන්න පුළුවන් වෙනවා.

  • පතිරණලාගේ ප්‍රේමය (බුද්ධික පතිරණ නොවේ)

    පතිරණලාගේ ප්‍රේමය (බුද්ධික පතිරණ නොවේ)

    බුද්ධික පතිරණගේ යැයි කියන ආදර්ශා සමග වූ කතාබහක හඩපටයක් සමාජ මාධ්‍යවලට ලීක් වෙලා තිබුණ. කෙනෙකුගේ පුද්ගලික ලිංගික ජීවිතය කොයි ආකාරයකට ගතවුනත් එය ප්‍රසිද්ධ අපහාසයක් හෝ වෙනත් ආකාරයක පහත හෙලීමක් වෙනුවෙන් භාවිතා කරනවා කියන්නෙ ඒ විනිශ්චය කරන කෙනාගේ අශිෂ්ටත්වය විදහා දැක්වීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. ඒ වගේම සදාචාරවාදයේ සුදු රෙද්ද යට හැංගුනු දෙබිඩිබව ඉහලට ඔසවා තබන ප්‍රතිරූප බිමහෙලීම සඳහා එවන් ඕපාදූප පාවිච්චි කිරීමේ දේශපාලන වැදගත්කමත්, අපි නොකළත් එය අවතක්සේරු කරන්නේ ද නැත.

    කෙසේ වෙතත් පතිරණ – ආදර්ශා කතාවේ අපිට ලිංගික යමක් නැති බව කියන්න ඕන. ඒක ලිංගිකත්වය කොයිතරම් පීඩාවක්, අසරණබවක් විදිහටද මේ සංස්කෘතිය ඇතුලෙ පාවිච්චි වෙන්නෙ කියන එකට උදාහරණයක්. ඇමති කෙනෙක් වුනත් තමන්ට ආශා කරන ගැහැණියක් එක්ක විවෘතව නිදාගන්න බැරිවෙලා තියෙනවා. ඒ ආශාව නිසා වද විඳිනවා. අසරණ වෙනවා. ලිංගිකත්වය මේ තරම් අවුලක්ද?

    පතිරණ කිසි දවසක බීලා නෑ කියන එක පැහැදිලියි. ඒ වගේම පතිරණට කාන්තා ඇසුරෙත් කිසිම පුරුද්දක් නැති වගත් පැහැදිලියි. ඒ හින්දම හංගගෙන ඉන්න උවමනාව අහස පලාගෙන යන තරම් කියලත් පැහැදිලියි.

    පතිරණට ඕන ආදර්ශා කැමති දෙයක් බොන්න දීලා ඇයව බදාගෙන ඉන්නයි. තමන්ගේ ලිංගික ආශාව එළිපිට ප්‍රකාශ කරන්න පවා පැකිලෙන අසරණ පිරිමියෙක් තමයි පතිරණගෙන් පේන්නෙ. මත්පැන්, කෑම, බිල්, මුදල් සහ සමාධි පදනම තමයි ශෘංගාර කතා ඇතුලෙත් ඇහෙන්නෙ.

    සමහර විට ගැහැණියක් බදාගෙන සිටීම පවා පතිරණ වගේ කෙනෙකුට ලොකු දෙයක් වෙන්න පුළුවන්. සමහර විට සෙක්ස් කියල කරන්නෙමත් එච්චරක් වෙන්න පුළුවන්.

    මේ සිදුවීම ත්‍රීසම් එකක් විදිහටත් සමහර අය අර්ථකතනය කරනවා දකින්න ලැබුන. ඒත් මෙතන ත්‍රීසම් එකක් තියා අවම ලිංගික ක්‍රියාවක්වත් සිද්ද වෙයිද කියල විශ්වාස කරන්න අමාරු තත්වයක්. ඒ තරමට පිරිමි පාර්ශ්වය දුර්වලයි.

    අනෙක් පැත්තෙන් ගැහැණියගේ ඉල්ලීම ඊටත් වඩා දුක්ඛිතයි. ඇය කියන හැටියට ඇයට උවමනා බීලා කාව හෝ බදාගෙන වැළපෙන්නයි. ඈට වෙන ආකාරයකින් පිටකර ගත නොහැකි විශාල වේදනාවක් පවතිනවා වෙන්න පුළුවන්. නමුත් ඇයට මුණගැහෙන්නෙ බදාගත්ත ගමන් ආශාවෙන් සසලව යන පුහු සදාචාරය විසින් කාමයෙන් නිරාහාර කොට ඇති වේදනාත්මක පිරිමියෙක්.

    සමහර විට ඇයට පිරිමියෙක් හා ලිංගික එක්වීමකට අවශ්‍ය උත්ප්‍රේරකය වෙන්නෙ බීලා දුක කියන එක වෙන්න පුළුවන්. එතකොට දුක අහන අයියලා ගොඩක් ඇයට මුණගැහෙන්න පුළුවන්. ලංකාවෙ බහුලව සෙක්ස් කියල සිද්ද වෙන්නෙ දුක කියන සහ දුක අහන අයියලා නංගිලාගේ කතන්දර. ඒක සතුට නිදහස පිළිබඳ මුනගැහීමක් නෙමෙයි.

    බාගෙ වොඩ්කා බෝතලයක්, බෙදාගෙන කන ෆ්‍රයිඩ් රයිස් එකක්, දුක කියල බදාගෙන අඩන්න ඕනකමක්, දුකට බදාගත්තම කෙලින් වෙන ශිෂ්නයක්. මේ අපිට කාමරයක් ඇතුලෙ මුණගැහෙන ඛේදවාචකයක්.

    තමන්ගේ සිංහල බෞද්ධ සදාචාරය ඇතුලෙ හිරකරගෙන ඉන්න ලිංගික තෙරපුම පතිරණගේ පැවැත්ම ඇතුලෙ දැඩි ලෝභයක් දක්වා පරිවර්තනය වෙලා තියෙනවා. සියල්ලට ඉහළින් පවතින මුදල් ලෝභය ගැන සංඥා කරනවා. තමන්ගේ ජීවිතයේ පරම හිඟකමෙන් පෙලෙන ස්ත්‍රී ඇසුරට පවා හෙට්ටු කරමින් මුදල් වියදම් කරන කුණුකමක් පතිරණගෙන් පළවෙනවා.

    මේක ලංකාවෙ රූපකයක් විදිහට සලකන්න ඕන. අඩුවැඩි වශයෙන් අපේ ලිංගික ඇසුරන් බොහොමයක මේ සංස්කෘතික අසරණක‍ම, කාලකණ්ණිකම බෙදාගැනීමයි සිද්ද වෙන්නෙ. ඒවා ආශාවෙන් පිරුණු, ශෘංගාරයෙන් මත්වුණු, මිනිස්සු නිදහස් කරන වර්ගයේ ඇසුරු කිරීම් නෙමෙයි. දෙදෙනාගේ මුණගැහීම සිද්ද වෙන්නෙ මග වැරදුණු උවමනාවන් එක්ක.

    පතිරණත් පව්. ආදර්ශාත් පව්. ඒවා ෂෙයාර් කරන අපිත් පව්.

    ආදර්ශා පස්සෙ මේ ඇසුරු කිරීම් එක්ක විසකුරු ගැහැණියක් දක්වා පරිවර්තනය වෙනවා. ඒ විසකුරු බව අතීතයේ තමන් සමග නිරුවත් වුනු හැම පිරිමියෙකුගේම රෙදි ගලවනවා.

  • ඩයනා බය වුනේ කාටද?

    ඩයනා බය වුනේ කාටද?

    ඩයනා ගමගේ කංසා සම්බන්ධයෙන් ඉතාම ප්‍රගතිශීලී මැදිහත්වීමක් කරන කෙනෙක්. ඒ වගේම කාන්තාවක් විදිහට බය නැතුව මේ අදහස් මතු කරන එක විශේෂයෙන්ම අගය කරන්න ඕන. නමුත් ඩයනාගේ මේ පෙනී සිටීම් ගැන අපට මුල පටන් තිබුණු ප්‍රශ්නය වුනේ ඇය මේ කියන විවෘත නිදහස් සංස්කෘතිය සැබවින්ම දරනවාද කියන එකයි. කංසා නීතිගත කිරීම ලංකාවට ඉතාම අවශ්‍ය සාධනීය පියවරක් බව තරයේම විශ්වාස කරන අතර එවන් යෝජනාවක් ඉදිරිපත් කරන කාන්තාවක් හැටියට ඩයනා තවමත් පැරණි පුහු සදාචාරවාදී සංස්කෘතියම කරපින්නාගත් කෙනෙක් වීම අවාසනාවක් බවත් අපි විශ්වාස කරනවා.

    මේ ආකාරයෙන් ප්‍රගතිශීලී ඩයනාගේ සැඟවුනු කුහක සදාචාරය එලියට පැන්නේ මෑතක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීයි. එතනදි ඇයට කවුරුන් හෝ විසින් ඇය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා කළා යැයි චෝදනා කිරීමක් සම්බන්ධයෙන් කරුණු පළ කරනවා. ඩයනා කියන්නෙ තමන් කිසිසේත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය බවක් නොකී බවයි. සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මේ ප්‍රකාශය අපද දැක තිබුනු අතර එය ඩයනාගේ තවත් බය නැති පියවරක් හැටියෙන් විවිධ තැන්වල අගයන්නටද පසුබට වුනේ නෑ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මේ රටේ සෞඛ්‍යාරක්ෂාව සහ මිනිස් ආරක්ෂාව යන අංශ දෙකෙන්ම වැදගත් කාරණයක්. එමගින් ගණිකා වෘත්තිය නියාමනය කිරීමට හැකිවන අතරම සමාජ බෝවීමේ අවදානම අවම කරන ක්‍රියාවලීන් නීත්‍යානුකූලව ක්‍රියාවට නැගීමට හැකිවෙනවා. ඒ වගේම විවිධ කාරණා නිසා ලොව පැරණිතම වෘත්තියක් වන ගණිකා වෘත්තියට යොමුවන කාන්තාවන්ට නීතිමය ආකාරයෙන් ආරක්ෂාව සැලසිය හැකි වෙනවා. එමෙන්ම ඔවුන්ව ඇසුරු කරන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවටත් ඒක හේතු වෙනවා. එය ලංකාවේ රජයක් විසින් ක්‍රියාවට නැංවිය හැකි මානුෂිකම වෙනස්කම හැටියෙන් අපි විශ්වාස කරනවා.

    ඒ වගේම රටේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මේක ආර්තික ව‍ශයෙන් බලපානවා. ඕනම රටකට ගිය කෙනෙක් ඒ රටට ආවේණික ආහාර මෙන්ම ලිංගිකත්වය රසය විඳිය යුතු බවයි අපේ විශ්වාසය. රටක් විඳිනවා කියන්නෙ එබඳු ඉන්ද්‍රියමය විඳීමකට. තායිලන්තයට ගිය කෙනෙක් දන්නවා මේ ලිංගික නිදහස කොයිතරම් ආකර්ශනීයද කියන වග. පාරාදීසය යැයි විරුදාවලී ලත් අපේ රට පාරාදීසයකට අවශ්‍යම වූ මත්වීමේ සහ ලිංගිකව හැසිරීමේ නිදහසින් සීමා වී තිබීම ඇත්තටම ඛේදජනකයි.

    ඒත් ඩයනා කියන්නේ තමන් එවැන්නක් නොකී බවයි. තමා පැවසුවේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් පිළිපැදිය යුතු නීති ගැන බවයි. වක්‍රාකාරයෙන් ඇය සමාජයට කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් ඇය පෙනී නොසිටින බවයි. කංසා නීතිගත කරන්න බය නැති ඩයනා ගණිකා වෘත්තිය නීතිගත කරන්න බය වෙන්නෙ ඇයි?

    ඒක තමයි අපේ මුග්ධ වූ සදාචාරයේ ස්වරූපය. එක විටෙක මහා ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අය තවත් විටෙක ඊට සමාන්තරවම මේ මුග්ධ සදාචාරය රකින්නට පෙනී ඉන්නවා. එයින් බයට පත්වෙනවා. අපවාදයෙන් සැලෙනවා. ගැහැණියක් විදිහට මිනිස් නිදහස පිළිබඳ ගැඹුරු අදහසකින් මේ ඩයනා කංසා වෙනුවෙන් පෙනී සිටියා නම් එයා මෙහෙම කතාවක් කියයි.
    ‘ඔව් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන තමයි. ඒත් මං එහෙම දෙයක් ප්‍රකාශ නොකළ වග කියන්න ඕන. කවුරු හරි ඒ වෙනුවෙන් සටන් කරනවා නම් ඒ කාන්තාවන් වෙනුවෙන් මං ඒ සටනට සහයෝගය දෙනවා’’

    ඒත් ඩයනා මේ චෝදනාවෙන් කෝපයට පත්වෙනවා. එයා අපි නොදන්නා කවුරුන් හෝ තවත් කාන්තාවන් පිරිසකට බැන වදිනවා. ඒ බැනවැදීම ඇතුලෙ ඇගේ අතිශය නොදියුණු සංස්කෘතික කලාපයක් එලියට පනිනවා. ‘කොළඹ හතේ නෝනලා…’ කියමින් බැන වැදීම ආරම්භ කරන ඇය කියන්නේ මේ නෝනලා විසින් යතුරු පාර්ටි දමන බවයි. පළමුවෙන්ම ඇය කාන්තාවක් විදිහට තවත් කාන්තාවකගේ හෝ පිරිසකගේ ලිංගික කාරණයක් ඉදිරියට දමමින් ඔවුන්ගේ සදාචාරය ප්‍රශ්න කරනවා. එය කාන්තාවක් හැටියට ඉතා පහත් ක්‍රියාවක්. ඒ වගේම කවුරුන් හෝ යතුරු පාර්ටි දැමීම අපකීර්තියක් වෙන්නෙ කොහොමද? යතුරු පාර්ටි හෙවත් කී පාර්ටීස් හැටියෙන් හඳුන්වන ස්වින්ගින් සාද ( පෙම්වතුන් පෙම්වතියන් ජෝඩු වශයෙන් මාරු වෙමින් අනුරාගය විඳින සාදයන්) ඉතා දියුණු සංස්කෘතියක්. තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් සමග හාද වුනා යැයි කියමින් මිනි මරාගන්නා සමාජයකට විවෘත ආදරයක රසයක් එකතු කිරීමක්. ඩයනා මෙතනදී කරන්නේ ඒක අපවාදයක් හැටියෙන් ඉලක්ක කිරීමයි. එතනදි නිරුවත් වෙන්නෙ සාද පැවැත්වූ අය නෙමෙයි ඩයනාගේ නොදියුණුකමයි.

    ඒ වගේම කොළඹ හතේ යැයි කියමින් මේ ආඩපාලිය මතුකිරීම හරහා ඇගේ අවලස්සන පංති හීනමානයක්ද ඉස්සරහට පනින වග කියන්න ඕන. නොදියුණු, කුහක සංස්කෘතියක් දරමින් කංසා නිදහස වෙනුවෙන් ඇය පෙනී සිටින විට කංසා සංස්කෘතිය ගැන ඩයනා දන්නේ මොනවාදැයි හිතෙන එක වරදක් නෙමෙයි.

    මළ කඳන් එකට ගැටගැසූ පරිද්දෙන් ගතවන බහුතර ගැහැණු පිරිමි සම්බන්ධතාවලට වඩා කී-පාර්ටි පෙම්වතුන් ජීවිතය රස විඳින්නෝයි. ඒ අය අලුත් අත්දැකීම් සොයා යන්නෝයි. සමාජයෙන් පැනවූ සදාචාර නීති නොතකා තමන්ගේම ශෘංගාර සංස්කෘතියක් තනාගත්තෝයි.

    කංසා නිදහස අයිති ඒ වගේ මිනිස්සුන්ට. නම ලන්ඩන් වුනාට හැම ඩයනා තාම වැඩවසම්ය.

  • පියුමි හංසමාලි ෆේස්බුක් පිටුවේ තබා තිබූ සංවේදී සටහන

    පියුමි හංසමාලි ෆේස්බුක් පිටුවේ තබා තිබූ සංවේදී සටහන

    පියුමි කියන්නෙ ලංකාවෙ සරාගිතම නිළිය. ඒ දවස්වල නැවක් ගිලුනත් ආණ්ඩුව ඒක වහන්න පියුමි ගැන පුවතක් පාවිච්චි කළා. ඉරාජ්ගෙ පීචං නිර්මාණ මිනිස්සු අතරට ගියේ පියුමි ගැන අනුරාගය හින්ද. පසුගිය දවසක පියුමි කලාකරුවන් විසින් පැවැත්වූ #GotaGoHome අරගලය වෙනුවෙන් සම්බන්ධ වුනා. තමන් විවාහ වෙන්නට සිටින සැමියා තමන්ට යන්න එපා කී බවත් ඒත් තමන් කෙසේ හෝ ඒ අවස්ථාවට පැමිණියේ මිනිස්සු විඳින දුක තමන්ටද දැනෙන නිසා බවත් පියුමි සටහන් කර තිබුන.

    මේ ඊට පස්සෙ පියුමි ෆේස්බුක් එකේ ලියලා තිබුනු සටහනක්.

    ගෙයක් දොරක් හදලා ‘වාහනයක් අරගෙන’දරුවට උගන්වලා ‘දරුවා බන්දලා’ දරුවන්ගෙ දරුවො හදලා ‘නැවතිලා හුස්ම ගන්නකොට’… නොදැනිම හුස්ම පොද ගිහින්😢 අනෙ දෙවියනෙ මගෙ රටට වෙච්ච දෙයක්.ඉක්මනටම හොඳක් වෙන්න දෙවියෙනේ.මිනිස්සු බඩගින්නෙ දුක් විඳිනවා. වේලක් කැවොත් ඊලඟ වේල කන්න මහා අරගලයක් දෙනවා😭 තවත් අය මහා දවාලෙ අව්වෙ දුක් විඳිනවා බුමිතෙල් පොලිමෙ. තවත් අය වැස්සෙ තෙමෙනවා ගැස් පොලිමේ. ලෙඩ වුන අසරන තාත්තලා, ගැස් පොලිම් වල ඉඳලා ඇද වැටි මිය යනවා. හරිම ආමාරුවෙන් petrol ටික ගහගත් උදවිය ඒ ටික ඉවර වෙනකල් මහා පාරෙ trafick එකේ ඉන්නවා. ඒ උද්ගොශන නිසා පාරෙ යන්න බෑ ආමාරුයි😭 පුංචි දරුවො පාසැල් ඇරිලා පැය ගානක් පාරෙ ගෙදරට යන්න බෑ. රට බේරාගන්න කියලා සියලු දෙනා පාරට බැස්ස නිසා මහා පාරෙ පාරවල් හරස් වෙලා😭 කවදාවත් tv නොබලන මම අම්මා එක්ක News බලන්න ඉඳගත්තාම අසරණ අම්මලා අඬනවා බඩු මිල අඩු කරන්න අපිට කන්න බොන්න ගන්න විදිහක් නැ කියලා😭 තවත් අය කියනවා දවසට එක වේලයි මාත්තයො අපි කන්නෙ අපිට ජිවත් වෙන්න විදිහක් නැ කියලා😭 වැඳලා ඉල්ලනවා 🙏 මාත් මේවට සම්බන්ධයි සාමාවෙන්න. සර්ට මාත් චන්දය දුන්නා. ඒ දුන්නෙ මගෙ රටට හොදක් වෙයි.සිතලා. ඒත් මොකක්දො සාපයක් වැදුනා වගේ දෙයක් වුනා. අපි කිසිම කෙනෙක්ට හිතා ගන්න බැ. ඒත් ඉක්මනට මෙ කරදර නැති වෙලා සියලුම දෙනාට සැනසීම ලැබේවා කියලා උඩ ඉන්න දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන පිළියමක් නෑ. ඇත්තමයි හරිම දුකින් මෙ සටහන ලියමි. #piumihansamali

  • වි‍රෝධයට – Sex අවුල්ද?

    වි‍රෝධයට – Sex අවුල්ද?

    ලංකාවෙ මෙතෙක් පැවති අසිරිමත්ම විරෝධතාවය #GoHomeGota බව අවිවාදිතයි. මේ තරම් විසල් විරෝධයක් ඉතිහාසයේ කිසිදවසක පැවතිලා නෑ. ඒ හින්දම ආණ්ඩුවට විශාල අභියෝගයක් වගේම හුරුපුරුදු විරෝධතා ව්‍යාපාරවලටත් මේක ලොකු අභියෝගයක්. අපි දැකලා තියෙන යටි ගිරියෙන් මොරදෙන වාමාංශික විරෝධතා රැල්ලට වෙනස් විදිහෙ කලර් එකක් මේ අලුත් පරම්පර‍ාවෙ අරගලය ඇතුලෙ තියෙනවා. ඒ ගොල්ලො සෙල්ෆි ගහනවා, සිංදු කියනවා, නටනවා. අපිට පුරුදු දහම්පාසැල් විරෝධතා වගේ නෙමෙයි මේක විනෝදයි. ඒ නිසාම බෝවෙනසුලුයි. විනෝදයම විරෝධයක් වෙනවා.

    මේ අතරෙ කිසි දවසක අපි දැකලා නැති සටන්පාඨ ටිකක් බෝර්ඩ්වල කුරුටු ගාලා ඉස්සෙන්න පටන් ගන්නවා. මේවා දැකලා සීරියස් විරෝධතාකරුවො කුපිත වෙනවා. මේක බඩගින්නෙ ප්‍රශ්නයක් ඒ හින්ද විහිලු කරන්න එපා කියනවා. විරෝධය පාවා දෙනවා කියල චෝදනා කරනවා. ඒත් ඒ අය අමතක කරන දෙයක් තමයි මේ විරෝධතාවය අයිති ඒ අලුත් පරම්පරාවට කියන එක.

    සෙක්ස් ගැන ලියවුනු සටන්පාඨත් මේ අතර තිබුන. ඒවා දැකපු ගමන් සිංහල බෞද්ධ විරෝධතා පිරිස් අපහසුතාවයට පත්වුනා. ඒ අයට ඒ බෝඩ් ඉස්සරහ හිටගන්න අවුලක් වගේ දැනුනා. විරෝධය වල් වේගෙන යනවා වගේ පේන්න ගත්තා. මං හිතන්නෙ මේ පෝස්ටර් ගෝඨාභය කියන පුද්ගලයාට වඩා රාජපක්ෂ සංස්කෘතිය ඉලක්ක කරගත්තා කියල. මේ වෙලාවෙ ගෝටාට විරුද්ධව හිටගෙන ඉන්න සමහර අයත් දන්නෙම නැතුව රාජපක්ෂ සංස්කෘතියේ උරුමයන් ආරක්ෂා කරනවා. සෙක්ස් කියන්නෙ රාජපක්ෂලා විසින් දැඩිවම යටපත් කරපු, ඒ යටපත් කිරීමේ අසහනයම වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ සැත්කම් විදිහට ජාතිවාදයට හරවලා වැඩට ගත්තු දෙයක්. රාජපක්ෂ සංස්කෘතියට සෙක්ස්වලින් ගහන එක දේශපාලනිකයි. ඇත්තටම ඒක ගෝටාට ගහනවටත් වඩා දේශපාලනිකයි.

    ‘පෝර්න් හබ් එකේවත් මෙහෙම අරිනවා දැකලා නෑ හාමුදුරුවනේ!’

    එක කෙල්ලෙක් ලියලා උස්සගෙන හිටියා. පෝර්න් හබ් ගැන කතාවක් කෙල්ලෙකුට මහ පාරෙ පෝස්ටරයක් විදිහට උස්සන් ඉන්න පුළුවන් කියන්නෙම මොන තරම් පෙරළියක්ද? මේ ආණ්ඩුව පැය 48 ජාතික මෙහෙයුම් දාලා පෝර්න් හබ් වීඩියෝ හදපු උන් අල්ලපු ආණ්ඩුවක්. ඒවා තමයි ඒ අය කරපු රට දියුණු කරන වැඩ. මං හිතන්නෙ මේ විරෝධය එන්නෙ එතනින් කියල. ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවෙ පුරුෂමූලික ආධිපත්‍යයටත් මේ කෙල්ලගෙ පෝස්ටරෙන් දමලා අරිනවා.

    ‘ලයිට් කපන්න එපා යකෝ මිනිහගෙන් වදේ’

    මේ පෝස්ටරෙත් අල්ලන් හිටියෙ ලස්සන කෙල්ලෙක්. ලංකාවෙ ලයිට් කැපීමත් එක්ක ජනගහනය වර්ධනය වීම ගැන සංඛ්‍යාත්මක දත්ත වාර්තා තියෙනවා. කරන්න වැඩක් නැතුවට හැදුනු ළමයි ඕන තරම් ඉන්නවා. ඒ වගේ සැලසුමක් නැතුව හැදුනු ළමයි රාජපක්ෂලා වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුව මේ වෙද්දි ඇඳ උඩටම ඇවිත් කියන එකත් මේ ලයින් එකේ තියෙනවා. තවදුරටත් මේක දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි පුද්ගලික ප්‍රශ්නයක්. තමන්ගේ රාත්‍රී නින්දට, නිදහසට බලපාන ප්‍රශ්නයක්.

    වැදගත්ම කාරණය වෙන්නෙ මේ පෝස්ටර් කෙල්ලන් විසින් ප්‍රසිද්ධියේ උස්සන ඉන්න එක. ඒක ලොකු සංස්කෘතික වෙනසක යෝජනාවක්. මේවට විරුද්ධව කතන්දර ලියන අය රිදෙන්නෙ අන්න ඒ සංස්කෘතික යෝජනාවට. කෙල්ලො සෙක්ස් ගැන එලිපිට කතා කරනවා කියන්නෙ රාජපක්ෂ සංස්කෘතියට විරෝධයක් තමයි. ඒ මවාගත්ත සිංහල බෞද්ධ වික්ටෝරියානු සළුපිලි ඉරාදැමීමේ ප්‍රචණ්ඩ ක්‍රියාව මේ කෙල්ලො සිම්පල් පෝස්ටරයකින් කරනවා.

    මිනිස්සුන්ට තියෙන්නෙ ජීවිතේ මූලිකම අවශ්‍යතා දෙකයි. ඒ තමයි ආහාර සහ ලිංගික කියන දෙක. කෑම ගැන කතා කරනවා වගේම සෙක්ස් ගැන කතා කරන එකත් රාජ්‍ය විරෝධයක අත්‍යවශ්‍ය ලකුණක් විදිහටයි මං දකින්නෙ. රාජපක්ෂ ආණ්ඩුව වැඩියෙන්ම පාලනය කලේ සෙක්ස්. එක පැත්තකින් අසභ්‍ය ප්‍රකාශන පණත්, ලිංගික අධ්‍යාපන තහනම් හරහා ලිංගිකව වැහුනු, අසහනයෙන් පිරුනු ජනතාවක් බිහිකළ අතරම අනෙක් පැත්තෙන් ස්ත්‍රී දූෂණ, බලහත්කාරකම් සහ සමලිංගික භීතිකාව ප්‍රවර්ධනය කළා. ඒ යටපත් කළ ගැහැණිය නැවත තමන්ගේ ලිංගික අයිතිය අතට අරගෙන රාජපක්ෂලාට දමා ගැසීමක් විදිහටයි මට මේ පෝස්ටර් පේන්නෙ.

    ‘ඔබේ දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඇයි? නන්දසේන වැනි විපත් නැවත සිදු නොවීමටයි’මේ පෝස්ටරය කෙලින්ම රාජපක්ෂ හිතවාදී මැදගොඩ අබේතිස්සලා විසින් පැහැර ගත් ලිංගික අධ්‍යාපන අයිතිය පිළිබඳ අපිට මතක් කරනවා. ඒ අධ්‍යාපනය අවශ්‍ය වන්නෙම රාජපක්ෂලා වැනි රටකට අනවශ්‍ය උපත් පාලනය කිරීමටයි කියල කනේ පාරකුත් ගහනවා. මේ ලිංගික කලාපයේ රාජපක්ෂ චින්තනය විසින් පැනවූ සීමාවන් ප්‍රශ්න කිරීම, තල්ලු කිරීම කියන්නෙ විරෝධයේ ප්‍රබල ප්‍රකාශනයක්. මේක විනෝදයක් විදිහට කෙනෙකුට පේන්න පුළුවන්. ඒත් ඊට යටින් තියෙන බරපතල විරෝධය මිස් වෙන්න බෑ.

    එක්ස්ප්‍රස් පර්ල් නැව ගිල්ලන්න ආණ්ඩුව පාවිච්චි කරපු පියුමි හංසමාලිත් අරගලයට එකතු වෙලා තිබුන. පියුමි කියන්නෙ ලංකාවෙ සෙක්ස් රැජින. පියුමි හිටියෙ ලිංගික කුහකත්වයේ ප්‍රතිමූර්තියක් වෙන ඉරාජ්ලා එක්ක. ඒ පියුමි තමයි දැන් පාරට බැහැලා ‘ගෝ හෝම් ගෝටා’ කියන්නෙ. වෙන විදිහකින් ඉරාජ්ට මැද ඇඟිල්ල පෙන්නන්නෙ. විවිධ මෝස්තර විලාසිතාවලින් ජනතාවගේ අනුරාගය අවුළමින් හිටපු පියුමිත් ගෑස් තෙල් ප්‍රශ්නෙට පාරට බහිනවා කියන්නෙ මේ වෙලාවෙ සෙක්සිම තැන මහපාර කියන එකයි. ඒක දේශපාලනික නැද්ද?

    මේ පෝස්ටර් විසින් යම් කෙනෙක්ව කළඹවනවා නම්, එයාගෙ සීරියස් බව ගිලිහෙනවා වගේ දැනෙනවා නම් එයාටත් රාජපක්ෂවාදී ලිංගික කුහකත්වයේ බලපෑම තියෙනවා. ඒක ප්‍රශ්න කිරීමත් මේ විරෝධයේම කොටසක්. අපි එලවන්න හදන්නෙ රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි රාජපක්ෂ සංස්කෘතියක්.


    චින්තන ධර්මදාස