දස්සා ගැන මං මේ ටික ලියන්නම  ඕනි. ඒ දස්සා නළුවෙක් වෙන හැටි මං බලන් හිටපු හින්ද. ඌ අද හොඳම නළුවා විදිහට සම්මාන ගනිද්දි මට දැනෙන ආදරය ඇත්තටම ඒ ට‍්‍රයි එක, කට්ට, ජීවිතේ බාර ගැනීම ගැන දැනෙන මනුස්සකමේ ආදරයක්. එහෙම නැතුව හොඳම නළුවා කියන සම්මානෙ ඇති බුබ්බක් නෙමෙයි. ඒත් ඒක දස්සා වගේ එකෙකුට ලැබුනම ඒ සම්මානයට වෙනම තේරුමක් එනවා.

දස්සව මට මුනගැහෙන්නෙ මහරගම ස්ටුඩියෝ ආටිසන් එකේදි. ඒක මහේන්ද්‍ර පෙරේරා ඇක්ටින් උගන්නන්න දාපු ඉස්කෝලයක්. මහේන්ද්‍ර පුළුවන් තරම් විධිමත්ව ඒ වැඬේ කරන්න බැලූවා. කොටින්ම මැටියෙන් හදපු ෆිල්ම් තියටර් එකක් පවා තිබුන. රංගනයට අමතරව ස්ක‍්‍රිප්ට් රයිටින්ග්, ඩිරෙක්ටින්ග්, මියුසික් වගේ තව ගොඩක් දේවල් එතන ඉගැන්නුවා. ඒක හරි ලස්සන ජොයින්ට් එකක්. ඒත් හැමතිස්සෙම වෙන්න නියමිත විදිහටම ආර්ථික කාරණා කළමනාකරණය කරගන්න එතනදිත් බැරිවුනා.

ස්ටුඩියෝ ආර්ටිසන් ප්‍රොජෙක්ට් එක අසාර්තක වුනාට ඒකෙන් ගොඩක් කට්ටිය නිර්මාණය වුනා. විශේෂයෙන්ම නළුවො. මහේන්ද්‍ර නළුකම ඉගැන්නුවෙ කොහොමද කියන්න මං දන්නෙ නෑ. මූලික ශාරීරික අභ්‍යාසවලින් පස්සෙ උන්ව සාමාන්‍ය සමාජෙට තල්ලූ කරලා දැම්මා. වඩාත්ම වැදගත් දේ විදිහට මං දැක්කෙ සදාචාරමය සීමාවලින් එපිට ජීවිතේ වගේම මිනිස්සු ආශ‍්‍රය කරන්න මහේන්ද්‍රගෙන් ලැබුන පෙළඹවීම. මං දස්සා හැදෙනවා දැක්ක තැන එතන.

පොඩි පොඩි සල්ලි නැති ෂෝර්ට් ෆිල්ම්වලට, වේදිකා නාට්ටිවලට, අහුවෙන  ඕනදේකට වැයවෙන්න මහේන්ද්‍ර උන්ව පුරුදු කළා. ර`ගපාන්න ආපු උන් නළුවො විදිහට විතරක් නෙමෙයි, සෙට් වල ප්‍රොඩක්ෂන් කරන්න පවා ආවා. ඒක අවිධිමත් වුනත් පූර්ණ අත්දැකීම් කලාපයක්. කවුරුහරි නැවත රංගන පාසැලක් ගැන උනන්දු වෙනවා නම් ස්ටුඩියෝ ආර්ටිසන් ප්‍රොජෙක්ට් එක ස්ටඩි කරන්නම  ඕනි.

දස්සා නිතරම ආටිසන් එකේ හිටියා. නිකං ඉන්න වෙලාවට ඌ තනියම මහේන්ද්‍රගෙ ස්ලෝමෝෂන් වගේ එක්සර්සයිසස් කර කර හිටියා.  ඕනම දුසිරිතකට ඌ හිනාවෙවී එකතු වුනා. ජොයින්ට් එකක් හොයන්න වුනත්, ඔතන්න වුනත්,  ඕන තැනක පත්තු කරන්න වුනත් දස්සා වටපිට බැලූවෙ පැකිලූනෙ නෑ. ජොයින්ට් විතරක් නෙමෙයි, අනිත් කොයිදේකදි වුනත් ඌ පනින්න කලින් හිතලා බැලූවෙ නෑ.

ඒක දස්සාගෙ තියෙන ලස්සනම ගුනයක්. කොයි වෙලාවකවත් ජීවිතේ කිසිම දේකට උගේ සතුට හොරකම් කරන්න බැරිවුනා. දස්සා ලොකු පවුලක, අතමිට ඇතුව හැදුන එකෙක් නෙමෙයි. ඉබ්බන්වල හන්දියෙ අනවසර ඉඩමක දස්සලට කෑම කඩයක් තිබුන. ඒකෙන් තමයි කීයක් හරි හොයාගන්න පුළුවන් රස්සාවකට යන්නෙ නැතුව, කවදා හරි නළුවෙක් වෙනවා කියන ආසාවෙන් අවුරුදු ගනං පාරෙ රස්තියාදු වුන දස්සා නඩත්තු වුනේ. කොයිතරම් අමාරුකම් තිබුනත් දස්සාගෙ හීනය විශ්වාස කරන්න උන්ගෙ පවුලෙ අයට පුළුවන් වුනා. ඒක තමයි දස්සට තිබුන හයිය.

එක දවසක දස්සලගෙ කඬේ ඩෝසර් කරලා අයින් කළා.
‘කඬේ කඩලා දැම්මනේ…’ දස්සා ඒකත් කිව්වෙ හිනාවෙවී.
ඒ හැම අමාරුකමකදිම කිසිම කුහකකමක්, වෛරයක් නැතුව හිනාවෙන් ජීවිතේ බාරගන්න පුළුවන් එක දස්සාගෙ තිබුන දිව්‍යමය ගතියක්.

දස්සා නළුවෙකුට  ඕනකරන දේහලක්ෂණ ඇතුව ආපු එකෙකුත් නෙමෙයි. ඌ පුංචියි. ඒ මදිවට දෙබස් කියද්දි ගොඩක් පැටලෙන අවුලකුත් තිබුන. මූනත් පොඩි එකෙකුගෙ වගෙයි. මූට නළුවෙක් වෙන්න ගොඩක් අමාරු වෙයි කියල මාත් හිතුවා. ඒත් දස්සා අත්ඇරියෙ නෑ. ඌට මහේන්ද්‍ර පෙරේරා ඉන්ස්පිරේෂන් එකක් වුනා.

බූඩිගේ නිම්නය කරන කාලෙදි ප්‍රොඩක්ෂන් එකේ කෑම සප්ලයි කළේ දස්සා. එතකොට අර කඬේ තිබුන. බත්මුල් බැඳගෙන සෙට් එකට වෙලාවට ගේනවට අමතරව දස්සා ෆිල්ම් එකේ කරන්න තිබුන හැම වැඩකටම පුළුවන් උපරිම සප් එකක් දුන්නා. සමහර ලොකේෂන් පවා හෙව්වෙ ඌ. අපි වැඬේ අත්ඇරලා ගියාට පස්සෙත් ෆිල්ම් එක ඉවර වෙනකල් දස්සා බූඩිට ලොකු හයියක් වුනා.

එක කාලෙක අපි වසන්තිලාගෙ ගෙදර හැමදාම සෙට් වෙන පුරුද්දක් තිබුන. එතන  ඕන වෙලාවක කංසා තිබුන. දවසක් කාගෙ හරි ඔත්තුවකට ඒ ගෙදරට පොලිසිය පැන්නා. කංසාත් එක්ක දස්සලා අපි ඔක්කොම පොලිසියට ගෙනිච්චා. දස්සා දවස් දාහතරකට කිට්ටු වෙන්න රිමාන්ඞ් එකේ හිටියා. රිමාන්ඞ් එක ගැනවත් දස්සාට නරක කතාවක් කියන්න තිබුනෙ නෑ.

‘එතන මාර ආතල්.. මාර පොරවල් ඉන්නෙ.. වෙනම ලෝකයක්…’

දස්සා හැමතිස්සෙම අලූත් අත්දැකීම් වලින් අමන්දානන්දයට පත්වුනා. ඒවා හොඳද නරකද කියලා විනිශ්චයක් ඌට තිබුනෙ නෑ. ඒක හරිහමන් නළුවෙකුට තියෙන්නම  ඕන ගුනයක්.
නළුවෙක් විදිහට දස්සාගෙ ගමන මටසිළුටු එකක් නෙමෙයි කොහොමවත්. ඌට මේ තරම් මිනිස්සු ආදරේ ඒකයි. ඌ කරන ර`ගපෑම මොකක් වුනත් මේ තරම් දැනෙන්නෙ ඒකයි. ඌ කොන්දේසි විරහිතව ජීවත් වෙන එකෙක්.

මේක දස්සාගෙ විතරක් නෙමෙයි. කළණ, ජගත් වගේ තව ගොඩක් මේ පරම්පරාවෙ නළුවන්ගෙ ඇත්ත කතාව. උන් සීනිබෝල නෙමෙයි. උන්ගෙ ජීවිත කොළඹ නන්නත්තාරෙ ගිය ජීවිත. පොඩි එහාමෙහා වීමකින් උන් ජීවිතේ නැතිවෙන තරම් අවදානම් ගත්තා. කිසිම හව්හරණක් නැතුව ජීවිතේට මූනදුන්නා. උන් නළුවො විදිහට සම්මාන ගනිද්දි මට දැනෙන්නෙ ඒ ජීවිතේ ගැන භක්තියක්.

අද මේ පරම්පරාවෙ එවුන් අත්පත් කරගත්ත සාර්ථකත්වය කොයිතරම් වුනත් උන් එතනට අතිශයින්ම සුදුසුයි. එයින් එකෙක් ලංකාවෙ හොඳම නළුවා වෙද්දි උගේ හැම වචනයක්ම, හුස්මක්ම, බදාවැළඳ ගැනීමක්ම ඒ තරම් කම්පනයක් ඇති කරන්නෙ උන්ගෙ ජීවිතවල තියෙන මේ බර දැනෙන හින්දමයි.

මහේන්ද්‍ර හොඳම නළුවා විදිහට සම්මාන ගත්තද කියන්න මතකයක් මට නෑ. ඒත් මහේන්ද්‍ර හොඳම නළුවො පරම්පරාවක් හැදුවා. ඒ ඇති.